ඉරණමටම
ඔක්කොම බාර දීලා,
මමත් නිකං බලා ඉන්නෙ නැහැ.... |
මම ඔය ඔක්කොමලටම පෙන්නනවා දවසක... ඉරණමටම ඔක්කොම බාර දීලා, මම නං නිකං බලා ඉන්නෙ නැහැ බං.... අන්තිම මොහොත වෙනකල්ම දහිරිය දානවා.....!”
“අනේ අක්කා, මටත් අක්කට වගේ දහිරියවන්තකමක් තියෙනවා
නං....!” මාලතී කීවේ ඇත්තටමය.
චන්ද්‍රා සියුමැලි තරුණියක වුවද එඩිතර සිතැත්තියකි.
ඈ ජීවිතයට මුහුණ දෙන ආකාරය ආදර්ශවත්ය. තමන්ටත් ඇයව අනුගමනය කරන්නට නොහැක්කේ
මන්දැයි මාලතීට නොවැටහේ.
“ජීවිතේට අයාලේ යන්ඩ දීලා බෑ නංගියේ... ආදරේ කරපු හැමෝම
එකට එකතු වෙලා නැහැ බං. දාහක් හීන දැකලා; පැතුම් පතාගෙන ඉඳලා, දෙන්න දෙපැත්තට
වෙච්චි ආදරවන්තයො තමයි මාලතී ලෝකේ වැඩියෙන්ම ඉන්නේ..... අනෙක් අතට මුලදී ඒ වාගෙ
ආදරෙන් එකතු වෙච්ච අය ළඟ වුණත්, ටික කාලයක් ගියාට පස්සෙ; මුලදී තිබිච්චි ආදරේ
ඉතිරි වෙලා තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්....”
“මට නං දැන් මොකුත්ම තේරෙන්නෙ නැහැ අක්කා!”
“මම අහිතකින් කියනවා නෙවෙයි මාලතී. බලාපං... තවමවත්
ධනුෂ්ක අප්පෝ දෙවෙනියට එවනවාය කිව්ව ලියුම එව්වෙ නෑ. සමහර වෙලාවට ආයෙමත් අර ගෑනිත්
එක්ක එකතු වෙලාද දන්නෙත් නෑ...”
මාලතී වෙවුලා ගියාය.
මෙවැනි තත්ත්වයක් මතු වී තිබෙනවාවත්
දැයි ඇයටත් සිතුණේ වරක් හෝ දෙවරක් හෝ නොවේ. එසේ නම්....?
ධනුෂ්ක
අප්පෝ දිය ඇල්ල ළඟට එතැයි ඈ සිතුවාය. |
පසුගිය දිනවල මාලතී නිතිපතාම දිය ඇල්ලට ගියාය. ඒ එකම
බලාපොරොත්තුවකිනි. ධනුෂ්ක අප්පෝ එහි එතැයි ඈ සිතුවාය. හැමදාම ඇය ආපසු එනතුරු චන්ද්‍රා
බලා සිටියේත් විමසිල්ලෙනි.
මැලවුණු මුහුණින් ආපසු පැමිණෙන මාලතී දුටු චන්ද්‍රා
කරුණු සිදු වී ඇති ආකාරය වටහා ගත්තාය.
“මාලතී, අපි තුන්මාසෙ දානෙ ඉවර වුණාම ඔය ගැන හොඳට හිතල
බලමු!”
චන්ද්‍රා මාලතීගේ හිස අතගා කීවාය.
“ඒ කියන්නේ තව සුමාන කීයද දෙයියනේ?” තවත් සති කිහිපයක්
තුළදී තමාගේ ඉරණම තීන්දු කළ යුතු බව සිහිපත් වූ මාලතී වඩාත් අසරණ වූවාය.
සති කිහිපයක් යනු දිගු කලකි. එවැනි දිගු කාලයක් තුළදී
බොහෝ දේ සිදුවිය හැකි බව ඇයට වැටහුණේ නැත. සිහිනයකිනුදු නොපැතූ- නොසිතූ අයුරින්
මවත්, පියාත්, සොහොයුරාත් තිදෙනාම තමාට සදහටම අහිමි වී ගියෙත් ඉතාම කෙටි පැය
කිහිපයක් තුළදී බව මාලතී සිතුවේ නැත.
ජීවිතය යනු එයයි! ජීවිතය යනු අවිනිශ්චිත ඉරණමම නොවේද?
18
“වික්‍රමගෙ වෙනුවෙන් අපිට පුළුවන් හැම දෙයක්ම අපි කරනවා
අංකල් ... ආයෙ ඒ වගේ යාළුවෙක් මට කවදාවත්ම හම්බ වෙන්නෙ නෑ!”
චන්දන මුදලිහාමිට කීවේ නිකම්ම නොවේ.
ආයෙ ඒ
වගේ යාළුවෙක් මට කවදාවත්ම හම්බ වෙන්නෙ නෑ! |
තුන් මාසයේ බණ දෙසුම දා හමුදා මිතුරන් කිහිප දෙනෙකු සමඟ
චන්දනද මාලතීගේ නිවසට පැමිණියේය. කිසිදු වෙනසක් නොපෙන්වමින් බණ ගෙදර ඕනෑම
කටයුත්තකට සහාය වීමට ඉදිරිපත් වූ ඔවුහු පැය කිහිපයක් තුළදී කාගේත් හිතවතුන් බවට
පත් වූහ.
“දැන් ඔය මාලතීලගේ අයියා...... මගේ කෙල්ල එක්ක සම්බන්ද වෙන්නත්
ඉස්සෙල්ලයි මම විල්මට්වයි සිසිලියානාවයි ආස්සරේ කළේ. මංගල්ලෙ නොකෙරුණාය කියලා අපි
ඒ කෙල්ලව අත්හැරියෙ නෑ... නෑකමටත් වැඩිය ලොකුයිලු යාළු මිත්තරකම.... අර පුරාණේ
මොකක්ද කවියකුත් තිබුණාලුනේ.... මට දැන් මතක නැහැනෙ..... චඃ!”
ලොකු හාමුදුරුවන් වඩම්මවාගෙන එනතුරු බොහෝ දෙන කතා බහට
වැටී උන්හ. චන්දනත් මිතුරෝත් මුදලිහාමිව කතාවට පෙළඹවූහ. මත්පැනින් දොඩමළුව සිටි
මුදලිහාමි දිගටම කියෙව්වේය.
“මරු බයිට් එක මචං......”
“ඔය කතා කරන්නේ පොර නෙවෙයි... කෂිය වෙන්නැති...”
පාර දිගේ ඇදෙන මෝටර් රථය දුටු කවුරුත් කලබල වූහ. එය බණ
ගෙදරට පැමිණෙන බව පෙනුණත්, එතුළ සිටින්නේ කවුදැයි කිසිවෙකුත් දැන
සිටියේ නැත. ධනුෂ්කත්, මිලින්දත් වාහනයෙන් බසිනවා දුටු
මුදලිහාමි ඉක්මන් ගමනින් පඩිපෙළ දිගේ පහළට බැස්සේය.
ධනුෂ්කව
දුටුවනම මාලතී වෙනස් වූ අයුරු චන්දන හොඳින් දැක.... |
“මාලතී දුවට කතා කරපල්ලා.....”
මාලතී ඉදිරියට ආවා නොවේ. චන්ද්‍රා ඇයව තල්ලු කරගෙන ආවා
සේ යැයි ධනුෂ්කට සිතුණි. කිරි අම්මාත් පසුපසින් ආවාය.
“මට ආරංචි වුණාට මෙහෙ හිටියේ නැහැනෙ....” යැයි
කියන්නට සිතුණත් ධනුෂ්ක නිහඬ වූයේය. ඔවුනොවුන් කලිනුත් හඳුනන බවක් බලා සිටින අයට
නොහැඟෙනසේ ඔහු ආචාර කළේය. මාලතීද දෝත නඟා දෙමිතුරන්ට ප්‍රතිආචාර කළාය. පිටුපසින්
සිටි රාමන් අත වූ කිරි හට්ටි කිහිපය මුදලිහාමිට භාර දුන්නේය.
වට-පිට බැලූ මිතුරෝ හමුදා සෙබළුන්සේ පෙනුණු කිහිප දෙනා
අසලින් වාඩි වූහ. මිලින්දත් ධනුෂ්කත් ඔවුන් හා කතාවට වැටෙද්දී චන්දන හැකිතාක්
නිහඬව සිතිවිල්ලේ අසා සිටියේය.
ධනුෂ්කව දුටුවනම මාලතී වෙනස් වූ අයුරු චන්දන හොඳින් දැක
තිබුණේය.
********
දමින්දත් එරන්දතීත් එවෙලෙහි වලව්වට පැමිණෙතියි කිසිවෙකු
බලාපොරොත්තු වූයේ නැත. වාහනය නවත්වනවා දුටු වහාම දන්තුරේ බණ්ඩාරත්, කුමාරිහාමිත්
පෝටිකෝව අසලට කඩිනම් ගමනින් ආවෝය.
“මයෙ පුතාලා මේ වෙලාවේ?”
“අපිට හිතුණා.... අපි ආවා අම්මා....”
එදා
මාළිගාවේදී හම්බ වෙච්ච අර රෝසපාට ඔසරිය ඇඳලා හිටපු කෙල්ලගේ.... |
“උඹ ඉක්මනට
ඔය ටික කරන්ඩ ඕනෑ, ලත වෙවී නොඉඳ. රාමන් අයියත් දැන්ම එන එකක් නෑ.... අප්පොලත් බණ
අහලම එයි මයෙ හිතේ....”
“අපෙ අම්මා.... කෝ මල්ලිලා?”
ගිමන් නිවාගත් එරන්දතීට ධනුෂ්කගේත්, මිලින්දගේත් අඩුව පෙනුණි.
“ඔන්න දෙන්නම රාමනුත් එක්කලා සිසිලියානලගේ බණ ගෙදර ගියා මයෙ
දුවේ.........”
“සිසිලියානලගේ?”
“ඇයි ළමයෝ... අර බස් එක හෙළට පෙරළිලා තුන් දෙනාම මැරුණේ...” අප්පෝ දියණියට සිහිපත් කර වූයේය.
“ආ මට මතකයි. එදා මාළිගාවේදී හම්බ වෙච්ච අර රෝසපාට ඔසරිය
ඇඳලා හිටපු කෙල්ලගේ අම්මලා නේද අප්පච්චි.....”
“අනේ, අනේ. දූට ඒ කෙල්ලව මතකයි... උන්ගෙ අම්මා .... ඔය
මැරිච්චි සිසිලියානාත් ඒ කාලේ දූව වඩාගෙන හැදුවා. ඒවා මතක නැද්ද?”
දමින්ද සිනාසෙන්නට වූවේය. සියල්ලෝම ඔහු දෙසට හැරුණාහ.
“මොකද පුතේ එක පාරටම හිනා වෙන්ඩ ගත්තේ?”
“අප්පච්චි, මෙයාට ඒ කෙල්ලව මතක හිටියේ ඒකි ලස්සන
හින්දා... ගෑනු ඉතිං ආසා නැහැනෙ, තමන්ට වැඩිය ලස්සන එකියක් දකින්නවත්...”
ඔය කවුරු හරි මැති-ඇමැත්තෙකුට පන්දං අල්ලලා; හාමුදුරුවෝ
තෙමෙද්දී වුණත් උන්ට නොතෙමෙන්න කුඩ ඉහළලා.... |
“මල්ලිලා මොකට ගියාද ඔය ගමේ-ගොඩේ ගෙවල් අස්සේ
රිංගන්න.... රාමන්ව යැව්වා නං ඉවරයිනෙ!”
කුමාරිහාමි මඳ සිනා පෑවාය.
කුඩා කල සිටම එරන්දතී මෙහෙකරුවන්ට කතා කළේ හෙළා දකිමිනි. ඔවුන්ට කරුණාව පෙන්වීම ඇය
දුටුවේ වරදක් මෙනි. ‘මල්ලී මොකටද උන්ව කරට ගන්නේ?’යි එරන්දතී නිතරම මැසිවිලි
කියන්නට පුරුදුව සිටියාය.
‘දූගෙ ඒ කාලේ ගති තවම වෙනස් වෙලා නෑ!’ කුමාරිහාමි තනිවම සිතුවාය.
“මයෙ දුවලා හදිස්සියේම ආවේ... නිකංය කිව්වට...?”
“නිකංමත් නෙවෙයි අපෙ අම්මා... මගේ යාළුවෙක් කිව්වා එහෙ
හොඳ බිස්නස්කාරයෙක් එයාගේ දුවට හරියන මනමාලයෙක්ව හොයනවයි කියලා. නරකද අපි මල්ලිට
එයාව කතා කළොත්? දෑවැද්දට කෝටි බාගෙකටත් වැඩියෙන් හම්බ වෙනවා....” එරන්දතී කීවේ
අවධාරණය කරමිනි. දෙමහල්ලෝ උනුන් මුහුණු බලාගත්හ.
“මයෙ දූ දන්නෙ නෑ.... අපි නිල්ගල වලව්වෙ දූ- පූර්ණිමාව
තීන්දු කරගන්ඩයි හිතා ඉන්නේ. ඔය වගේම දේකුත් හම්බ වෙයි.... ඊටත් අපේම ඈයොනෙ දුව!”
“ඇත්තම කිව්වොත් මාත් ඔය බිස්නස්කාරයොන්ට කැමති නෑ දුවේ.
අම්මා කියනවා වගේ නිල්ගල කට්ටිය අපේම අයනෙ.... වලව්කාරයෝ! දැන් බිස්නස් කරලා
කෝටිපතියො වෙලා ඉන්න හුඟක් එවුවො හරි ජාති-ජම්මයක්වත් ඇති ඈයො නෙවෙයිනේ.... ඔය
කවුරු හරි මැති-ඇමැත්තෙකුට පන්දං අල්ලලා; රටේම තියෙන මගඩි කරලානේ ඕකලා හැදෙන්නෙ....”
අප්පච්චිගේ අප්‍රසාදය හමුවේ එරන්දතී නිරුත්තර වූවාය.
නොදන්නා
වතුරකට බහින්නට පෙරාතුව හොයා බලනවා නං හොඳයි නේද? |
“මොකටද එයා අකමැති වෙන්නේ?” දන්තුරේ බණ්ඩාර දෙබැම ඉහළට
නංවා ඇසුවේය. ඔහුගේ නාස්පුඩු නළියමින් තිබෙන බව දුටු කුමාරිහාමි නිහඬ වන්නැයි
දියණියට ඉඟි කළාය.
********
එංගලන්තයේ
හිටිද්දීත් සිංහලෙන් පොත් තුනක්ම ලියලා, මුද්‍රණයෙනුත් පහරවා ඇති ‘කොළඹ ගමයා’; අජිත් ධර්ම කියන්නේ ‘ප්‍රකාශන ගැන නම් මතක කරන්න එපා. කරපු පොත් තුනෙන්ම කෑව හේ හේ....’ කියලාය. ඒ තුනෙන්ම කෙළවාගෙන හින්දාය. ඒත් මොකද
අජිත්? (ආයෙමත් අපි හමුවෙන දවසක් හිතා ගන්නටවත් බැරි නිසා, අමතක වෙන්නට කලින් මේ
‘කට කැඩිච්ච’ කතාවත් ඔන්නොහෙ දැන්ම කියමි! තුන ඔය තරමින්වත් බේරා ගත්ත එකත්
වාසනාවක්නේ!)
ආසාව හින්දාම තමා ලියූ පොත්, අතින් වියදම් කරගෙන- අච්චු ගස්වාගෙන; එව්වා
වේයන්ට- කාවුන්ට- මීයන්ට දන් දීගෙන ඉන්නා ගොඩ දෙනෙකු ඒ විත්තිය කාටවත් කියන්නටත්
ලජ්ජාය. සමහරවිට, ‘උච්චමානය තියෙන රචකයන්ට’ මේවා තිත්ත කසායක් වගේ විය හැකිව
තියෙද්දීත්, මං මේවා ලියන්නේ තවත් කවරෙකු හෝ අමාරුවේ වැටීමෙන් වළක්වා ගන්නටය.
මේ ආසා රෝගයෙන් ආතුරවී, අතේ සල්ලිත් නැතිව 2001දී පොතක් අච්චු ගැස්වූ හැටි ගැන පැතුම් හේරත් අපූරුවට අකුරු කරලා තිබුණේ කලකට පෙරය. ඉඩක් තියේ නම් කියවා බලන්නට වටිනා post එකකි ඒ.
එහෙම කර්තෘ ප්‍රකාශන පළ කරවාගැනීම ‘අතින් සල්ලි දීලා #*# ගැනීමක්’ වගේ
වුණත්, එයින් ගොඩ යන්නටත් බැරිවා නොවේ.
මේ හැමෝම ‘දැනගෙන කතරගම ගිය’
උදවියයි. |
පළමුවැන්නා උපුල් සාන්ත සන්නස්ගල ටියුෂන් ගුරුතුමායි. දෙවැන්නා චන්දන
මෙන්ඩිස් දන්ත වෛද්‍ය මහත්මායි. තෙවැන්නා මාධ්‍යවේදී මොහාන් රාජ් මඩවලයි.
උපුල් බය නැතිවම ‘සරසවි දියණියෝ’ 5,000ක් අච්චු ගැස්සෙව්වේය. මෙන්ඩිස්
මහත්තයා ‘සැඟවුණු ලොවේ සවාරියක්’ පොතෙන් 3,000ක් පළ කෙරෙව්වේය. (ඒ පොත් දෙකම මුද්‍රණය
කෙරුණේ මා සේවය කළ ආයතනවලදීය.)
මොහාන් රාජ් කතුවරයා මා වෙත යොමු කර තිබුණේ, විදර්ශන ප්‍රකාශන අධිපති ජනක ඉණිමංකඩ මහතායි.
ඒ මොහාන් මාගම් සෝලිය දෙවෙනි මුද්‍රණයට සැරසෙන අවදියේය.
ජනක මහතාගේ පළමු පොත; විදර්ශන පළමු ප්‍රකාශනය ‘කර්නල් සහ එරෙන්දිරා’ත් අලෙවිය අතින් එතරම් සාර්ථක වුණා යැයි මට හිතෙන්නේ නැතිය. නමුදු, එයින් ලද අත්දැකීම් ජනකට ලොකු පිටුවහලක් වුණු බව ස්ථිරය! මං එහෙම කියන්නේ 2021 මාර්තු 3 වෙනිදා විදර්ශන ප්‍රකාශන ආයතනය 24 වසර සපුරන බැවින්ය. මෙන්න ජනක මහතාණෙනි, මගෙනුත් සුපැතුම්!
මගේ කිසිම දැනහැඳුනුම්කමක් නැති එක්කෙනෙක්වත් දැන් මෙතැනට ඇදගත යුතුය.
නැත්තං ‘අඳුරන අයගේ පිට කසනවා’ කියන චෝදනාව එන්නට පුළුවන්නෙ. මහින්ද ප්‍රසාද්
මස්ඉඹුල! ඔහු එකෙන්ම; ‘සෙංකොට්ටං’වලින්ම ගොඩ ගිය බව මගේ අදහසයි.
මා දන්නා විදිහටත්, තොරතුරු කියැවී තියෙන විදිහටත් මේ හැමෝම ‘දැනගෙන කතරගම
ගිය’ උදවියයි. පොත පළ කිරීමේදී විතරක් නොවේ, ලියද්දීත්..... ඔවුන් කොතරම් අධ්‍යයනය
කර තිබේදැයි හොයා බලන්නට වටිනවාය.
1996 වකවනුවේ නොතිබුණු වාසියකුත් අද්‍යතන පරම්පරාවට තිබේ. වත් පොත; මුහුණු පොත; fb
හෙවත් ෆේස් බුක්! (ඔන්න DKR, ඔයාට ආයෙමත් ස්තුතියි හෙවත්- නොහොත් යෙදුම නිවැරදිව කරන්නට උපදෙස් දුන්නාට!)
ඔය ඉව,
දැනීම,
හැකියාව සේරම තිබ්බත් මදිය;
වාසනාවත් තියෙන්නම ඕනිය. ඒ
වගේම... |
ඒකට අතින් වියදම් යන්නේ නැතිය. ඉස්සර නම් ලේඛකයෙකු හැටියට නමක් හදා ගත යුත්තේ පත්තරවලට ලියලාය. ඒකටත් වඩා මේක ලෙහෙසිය.
මේ 2021යි! අද එදාට වඩා ගොඩාරියක් වෙනස්ය!!
අද කාලේ යමක් අලෙවි කරගන්නට නං ‘දැන වෙළෙඳං’ම විය යුතුය. ඒ කාරණය පොත්වලට වඩාත්
අදාළය.
ඔය ඉව, දැනීම, හැකියාව සේරම තිබ්බත් මදිය; වාසනාවත් තියෙන්නම ඕනිය. ඒ වගේම
ඔබ ලියූ පොත readable; කියවන්නට හිතෙන එකක් වෙන්නත් ඕනිය.
යුවති කිරිල්ලී 3,000 ඔක්කොම වගේ විකිණුණේය. ඒ ගිහාන් ශ්‍රීනාත් අල්විස් හිතවතාගේ
බෙදාහැරීමේ කෞශල්‍යයට පිං සිදු වෙන්නටය. එහෙව් අවංකයන් හමු වෙන්නටත් පෙර කළ පිං
තිබෙන්නට ඕනෑය; මේ මට වගේ!
පොත් බෙදා හැරියා වගේම, ඒවා අලෙවිවූ පසු මට මුදල් ගෙනවිත් දෙන්නටත් ගිහාන් කිසි
විටෙකත් අමතක නොකළේය. ගොඩක් ස්තුතියි ගිහාන්!!
මීගහපැලැස්සේ උදවිය නං රබර් ඇස් නෙරවා බලාගෙන ඉන්නට ඇත්තේ පොත් ගැන නොවේ.
“මෙලහකටත් මේකෙ එවුන් රබර් ඇස් දාගෙන ඇත්තේ... අප්පො
මොකද තකහනියක් බණ ගෙදර ආවේ කියලා. උඹට ඕනේ හැම එකාටම උඹලගෙ පලහිලව් පෙන්නන්ඩද?”
චන්ද්‍රා කසුකුසුවෙන් බැන වැදුණාය.
“බොට ඇහුණද මං කියපු එක?”
ධර්ම
දේශනාවෙන් පසු යුවතියෝ කිහිප දෙනෙක්.... (foto- තිළිණ කළුතොටගේ) |
“අඬපං... තව අඬපං. එතකොට සේරම හරි යයි... ඒ මිනිස්සු ආව
කියමුකෝ, ඒකෙ වැරැද්දක් නෑ... ඒ වෙලාවේ ඉඳලා මූණ එල්ලගෙන- කඳුළු වක්කර-කර ඉන්නකොට
හැමෝම දැනගනීනෙ මෝඩියේ, මොකක් හරි හොරයක් තමයි කියලා. ඒකයි හරකියෙ මං මේ
කියන්නේ... හිටපංකෝ ඉස්සෙල්ලා හිටියා වගේ...”
ධර්ම දේශනාවෙන් පසු යුවතියෝ කිහිප දෙනෙක් කැවිලි- පෙවිලි-
කෙසෙල් ගෙඩිවලින් පිරිසට සංග්‍රහ කිරීම ඇරැඹූහ. චන්ද්‍රා ධනුෂ්කටත් මිලින්දටත්
සත්කාර කළාය. ඇයවත්, අනෙක් යුවතියන්වත් ගෙන ආ බන්දේසිවලින් කිසිවක් ගැනීමට චන්දන
මිතුරන්ට ඉඩ දුන්නේ නැත.
“එපා මචං ගන්න එපා! මාලතී නංගී දැන් හරියට අපිට සලකන්නේ
පිට එව්වන්ට වගේ.... අපි කන්නේ මාලතී නංගිම ගෙනාවොත් විතරයි...”
“ඒක හරි මචං...! මොකද මාලතී නංගී මෙහාට එන්නෙම නැත්තේ?”
තවකෙක් චන්ද්‍රාගෙන් ඇසුවේය.
“ඇයි, අපි කළුද?” චන්ද්‍රා විහිළුවකින් තත්ත්වය මඟ
හරවන්නට වෑයම් කළාය.
“පිස්සුද නංගී, කවුද කියන්නේ ඔයා කළුයි
කියලා... ඒ වුණාට නංගිලයි, නංගිලාගේ යාළුවොයි අපිට
සලකන්නේ අපි කළුයි වගේනේ....”
චන්දනගේ කතාව ධනුෂ්ක අසා සිටියේ කෝපයෙන් දැවෙමිනි. එය
සඟවාගෙනම සිටින්නට වෙර දැරූ ඔහු මිලින්ද හා එක්ව සිනාසුණේය.
“ආයෙ මොකටද ඕකට වාද කරන්නෙ? මම මාලතී නංගී ලවාම
චන්දනට සංග්‍රහ කරවන්නංකො... ඉවරයිනේ!”
චන්ද්‍රා එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකුටම විද්දාය. නෙත් කොනින් ධනුෂ්ක අප්පො දෙස
බැලූ ඈට, ඇයගේ ඉලක්කය නොවැරදුණු බව පැහැදිලිවම පෙනිණි.
ඔය හාදයට
තමයි මාලතීව කතා කරන්ඩ හිටියේ... |
“කවුද මුදලිහාමි අර චන්දන කියන්නෙ?”
ආපසු යාමට පඩිපෙළ බසින අතරේ ධනුෂ්ක මුදලිහාමිගෙන් ඇසුවේ
තව දුරටත් කුතුහලය ඉවසා සිටීමට නොහැකිවූ හෙයිනි.
“වික්‍රම ඔය හාදයට තමයි මාලතීව කතා කරන්ඩ හිටියේ... මං හිතන්නේ වික්‍රම
චන්දනට කියලා තියෙන්ඩත් ඇති. අපරාදේ කියන්ඩ බෑ, යස ඉලංදාරියා! මාලතීටම
කැපෙනවා.....”
********
“නරකද අපෙ අම්මා, ඉක්මනටම මල්ලිගේ කටයුතු ටිකත්
එකලාසයක් කරවව්වොත්....” එරන්දතී කන්නාඩියට එබී බැලුවාය.
සැහැල්ලු නිදන ඇඳුමකින් සැරසෙමින් සිටි කුමාරිහාමිගේ පිළිබිඹුව කැඩපතේ දිස්වුණි.
හැරී බැලූ කුමාරිහාමිගේ දෙනෙත්, ඈ දෙසම බලා සිටි දියණියගේ
දෑස හා ගැටිණි.
“මයෙ දුවත් ඉතිං, අප්පච්චි වගේම කලබලකාරී... මේ
දවස්වල ගොයම් කැපෙනවනේ දූ.... වී ටික පාවර කරවන්ඩයි, තව
කටයුතුයි එකක්යැයි දුවේ... අප්පච්චි ඔය ටිකෙන් නිදාසක් වුණාම අපි නිල්ගල වලව්වට
යන්න දිනයක් යොදා ගන්ඩ තමයි ඉන්නේ... මයෙ දූලත් එනව නොව?” කුමාරිහාමි පනාව අතට ගත්තාය.
“මං පීරන්නං අම්මා....” එරන්දතී පනාව ඉල්ලාගෙන
කුමාරිහාමිගේ හිස පීරන්නට වූවාය.
“මොකද අම්මා තනියෙන් හිනා වෙන්නේ?”
“මට කල්පනා වුණේ මයෙ දුවේ.... අපි පුංචි සංදියේ නං අපෙ අම්මලා; කිරි අම්මලා අපට රාත්තිරියේ කොණ්ඩේ පීරන්ඩ දුන්නේ නෑ ගෙවල් ඇතුළේ.....”
“ඒ ඇයි අම්මා?”
“ඒක තමා මයෙ දුව, මාත් මේ කල්පනා කරව්වේ....”
එරන්දතී කන්නාඩියට එබී බැලුවාය. සැහැල්ලු නිදන ඇඳුමකින්
සැරසෙමින් සිටි.... |
“මයෙ දූ ඔන්න මල්ලිත් එක්ක එල්ලෙන්නේ හෙම නෑ.... ඊටත්, මේ දවස්වල ඔයාට ඔහොම කේන්ති ගන්ඩ නාකයි දුවේ!”
ආලින්දයේ වාඩිවී කතාවක යෙදී සිටින අප්පොත් දමින්දත් දුටු
දෙමිතුරෝ, වාහනයෙන්
බැස ඔවුන් වෙත ගියහ.
“අයියලා හදිසියේ?”
“අක්කත් ආවා... ඇතුළේ....” දමින්ද හිසෙන්
සංඥාකොට පෙන්නුවේය.
“එහෙනං ආයෙ දෙකක් නෑ.... මන්ත්‍රණ සභාවක් දාගෙන ඇති!” මිලින්දගේ සිනාවට සැවොම හවුල් වූහ.
ඒ අතරේම වලව්ව තුළට ගිය ධනුෂ්ක මවගේ නිදන කාමරයට හිස
පෙව්වේය. “මාමල බෑනල අරහේ.... අම්මල දූල මෙහේ... මොකෝ සතර කන් මන්ත්‍රණයක්ද?
මිලින්දයා කිව්වා හරි තමා...”
“කොහෙද තමුසෙලා ගියේ?” .....
බ්ලොග් ලියන්න ඉස්සෙල්ලා පොතක් ලියපු කෙනෙක් හැටියට මම දන්නේ ඔයා විතරයි. අනික් සියලුම දෙනා, මුලින්ම බ්ලොග් ලියලා ඊට පස්සේ පොත් ලියා පලකල අය නේද?
ReplyDeleteදැන්නම් ෆේස් බුක්, බ්ලොග්, වැනි මාධ්‍ය මගින් තමන්ගේ ලේඛන හැකියාව පිළිබඳව තක්සේරුවක් නොමිලේම ලබා ගන්න අවස්ථාව තියනවානේ!
අර පින්තුරයේ ගිහියන් කුඩ ඉහලාගෙන යද්දී, හාමුදුරුවරුන් තෙමි තෙමී යන එක දැක්කාම, මට හිතුනේ, හාමුදුරුවරුත්, තල් අත්තයි (කුඩයයි), පාත්‍රයයි අනිවාර්යයෙන් අරගෙන යා යුතුයි කියලා යම් තැනක (විනය පිටකය විය හැකියි) තිබුනා කියලයි. ඒ ගැන හොයා බැලුවට විස්තර ලැබුනේ නැහැ. නමුත්, මම මෙපමණ කලක් දැන නොසිටි දෙයක් දැන ගත්තා. එනම්, අලුතින් පාත්‍රයක් පිළිගැනීමට අවසර ලැබෙන්නේ, පැරණි පාත්‍රයට "පැච් පහක් දාලත්" ගොඩ ගන්න බැරි නම් පමණක් බවයි.
සෑම්!
Deletepress රස්සාව කළ නිසා මට අත්දැකීම් තියෙනවා ආධුනික පොත් කතුවරු කිහිප දෙනෙක් ගැනත්. සමහර පොඩි ප්‍රකාශකයන් යැයි කියාගන්නා අය එහෙම කතුවරුන්ව අන්දවනවා, නියමෙට.
අන්දවලා පොතා ගහන්න ලැස්ති කරවා ගන්නවා. සමහර වෙලාවට 1000ක් ගහනවා කියලා ගස්වන්නේ අඩු ගණනක්. බෙදා හැරීමත් එයාම කරන නිසාත්; ඇනවුම දෙන්නේ එයාම නිසාත්; සියලුම සම්බන්ධීකරණය කරන්නේ එයාම නිසාත්; අතින් සල්ලි වියදම් කරන කතුවරයා මේවා දන්නෙ නෑ. නොවිකිනෙන පොතක් නිසා, විකිනුනු පොත් ටිකේ සල්ලිවත් ඒ මනුස්සයට දෙවුනාද මන්දා.
ඔය අමාරුවේ වැටෙන්නේ අධිතක්සේරුවෙන් ඉන්න අය.
fb නිසා තමන් ගැන තක්සේරුවක් ඇති කරගන්න ලේසියි නේන්නං. කොහෙද සමහරුන්ට ඒකටවත් ඉවසිල්ලක් නැහැනෙ.
මාත් බුද්ධාගම ගැන දන්නෙ ටිකයි. කොහේදෝ කියෙව්වා සිවුරු පරිහරණය ගැන. ඔය පාත්තරේට පැච් 5ක් දාන කතාව වගේ රසවත් එකක්.
ඉස්සර සිවුරු මහන්න ගත්තේ මළමිනී ඔතලා සොහොනට ගිහින් දමපු රෙදිලු. ඒවායෙ සැරව, ඕජස් ගෑවිලා අපවිත්‍රව තියෙන නිසා සෝදලා අරන් තමයිලු කෑලි, කෑලි මූට්ටු කරලා සිවුර මහලා, ඇසට ප්‍රිය නොවන කහට පාටින් පඬු පෙව්වේ.
ඒ සිවුර දිරාපත් වුණාට පස්සෙත් ඒවා පුච්චලා අළු අරගෙන, වරිච්චි බිත්තිවල මැටි ගහන්න ගනිද්දී, ඒ මැටිවලට මිශ්‍ර කරගන්නවලු.
දැන් වෙළෙන්දොත්, සැදැහැවන්තයොත් අපූරුවට තියෙන පට රෙදි අරන්, අඟල් හතරයි හතරේ 4x4 කෑලිවලට කපලා, අතින් මහ-මහ මූට්ටු කරලා කඨින චීවර හදන හැටි ගැන මම ලියපු විස්තරේකුත් මේ link එකට ගිහින් කියවන්නකෝ, කියවලා නැත්තං. මොකද මේක මම ලීවේ 2018 මැයි මාසේ.
https://nidigepanchathanthare.blogspot.com/2018/05/blog-post_3.html
/මුද්‍රණයෙනුත් පහරවා// ඒක මාර යෙදුම. හා හා. මගේ පලමු පොතත් විකුණුනා කියලා දන්නවා. නමුත් ගෙවපු මුදල ආවේ නැහැ. කොටසක් වගේ ආව . ඒක (පොල්කට්ටෙන් එපිටට) බ්ලොග් එකේ ලිපි නිසා තවමත් සමහරු පොතට හොඳ කියන නිසා ඒකට සතුටුයි.මුදල් හොයන්නම නෙමේ අච්චු ගැහුවේ. නමුත් පොඩි පාඩමකුත් ඉගෙන ගත්ත, දෙවෙන පොතට මුදල් වියම් කලේ නැහැ. වියදම් උනේ එලි දැක්වීමට. පස්සෙයි තේරුනේ ඒවා ප්‍රකාශක තැන කරන්න ඕනේ කියල. ඒකත් මට දුන්න ඒවා විකිණුනා. තවමත් විකිනෙනවා. හොද ප්‍රතිචාර දෙන අය ඉන්නවා. එකම ප්‍රශ්නය පරක්ෂක වැරදි යවලත් ඒවා හදන්නේ නැතිව මුද්‍රණය කරපු එක. එයා එහෙම කලේ ඇයි කියන එක අදත් ප්‍රශ්නයක්. තුන්වන පොත මම ගහන්න ඉඳල මට බෙදා හරින්න බැරි නිසා ප්‍රකාශක මහත්මයෙකුට දුන්න. මට වියදමක් ගියේ අර එලි දැක්වීමට සහ ශෝදුපත් වලට. එතැන් ප්‍රශ්නය වුනේ මගේ පිට කවරය අයින් කරලා බොළඳ පිට කවරයක් දාපු එක. හැබැයි පොත විකිනිල (ගහපු දාහෙන් මට දුන්න කොටසින් 50-60 තවම තියනවා). ඊට අමතරව ඒ පොතෙන් කොටස අරගෙන තමන්ගේ අත්දැකීම් විධිහට ලියපු අයත් ඉන්නවා. එනිසා කලකිරීමක් තිබෙනවා. අරපිට කවර ප්‍රශ්නය මත සමහරුන්ට පොත ඇල්ලුවේ නැහැ කියල දන්නවා. ඉදිරියේදී පොතක් ලියන්න අදහසක් නැහැ.
ReplyDeleteබලාගෙන යද්දී කෙලවිලාමත් නෑ නොවැ. වැටි වැටි තමයි නැගිටින්නේ ඔන්න ඔහේ හතරත් පහරවලාම දාමු.
Delete'මුද්‍රණයෙන් පහරවා' කියන යෙදුම මගෙන් ලියවුනේ හේතුවක් ඇතිවයි. මහරගම භික්ෂු මධ්‍යස්ථානයට සම්බන්ධකමක් ඇති මුද්‍රණාලයක් තිබ්බා. (දැන් තියෙනවද කියලා නම් දන්නෙ නැහැ.) ඒකෙ නම 'රුවන් පහරුව'.
Deleteඑයාලගේ වැඩක් කරලා දෙන්න වුණාම, මම ඒ නම දැකපු ගමන් හොල්මන් වුණා. පස්සේ හොයද්දී ඒක හෙළ නමක්!
සිරි ලියනගේ මහතාගේ 'නිරුක්ති සහිත සිංහල' ශබ්ද කෝෂයේ 'පහර' වදනට දී තිබෙන අරුත් මෙන්න= යම් ආකාරයකින් කරන පහරදීම, ගැසීම, ප්‍රහාරය; සුළඟේ වේගය; ගංගාවක හෝ ගලායන ජලයක තෙරපීම; මුද්‍රණාලය, අච්චු කන්තෝරුව; වසුරු, වර්චස්.
තවත් එකක්. අනුන්ගේ ළමයින්ට උප්පැන්න ලියන කොයි තරම් සූරයෝ ඉන්නවද ලෝකේ. ඒ අයට අනුකම්පා කරලා තමුන්නාන්සේ ලියන එක දිගටම කරන්න.. පොත් වුණත්!
පොතේ වැරදි නොහදා මුද්‍රණය කිරීම ගැනත් වචනයක් කියන්න ඕනි. පොතක් මුද්‍රණය කරන්න ගන්නකොටම ගිවිසා ගන්නවා 'ටයිප් සෙටින් කොට සෝදුපත් බැලීමට දෙන වාර ගණන' ගැනත්. මොකද සමහර කතුවරුන්ට හතර පස් වතාවක් බලලත් වැරදි අහුවෙන්නේ නැතිව දෝස්මුර දානවා. අපි නං හැමවිටම කියනවා ප්‍රින්ට් අවුට්ස් දෙන්නේ දෙපාරයි, අමතරව අවශ්‍ය නම් වෙනම මුදල් අය කරනවය කියලා. ඔයාගේ පොතේදී වුණේ ඊහෙම දෙයක්වත්ද?
// මොකද සමහර කතුවරුන්ට හතර පස් වතාවක් බලලත් වැරදි අහුවෙන්නේ නැතිව දෝස්මුර දානවා// නිදි මම දෙපාරක් ඒ ගොල්ලම කියල වැරදි හදල යැව්වා. ඒත් හදන්න "අමතක" වෙලා.
Deleteපව් අජිත් මහත්තයෝ! ඒ උදවියට ඩිමෙන්ෂියාව වෙන්නැති!!
Deleteලොකු පොත් සාප්පු දාගෙන ඉන්න ප්‍රකාශකයින්ගේ එකාධිකාරිය නිසා ලංකාවේ පොත් කියවිල්ල අඩුවෙන්නේ.
ReplyDeleteඅසංග මහත්තයෝ. ඔයාගේ කමෙන්ටුවට වචනයක් එකතු වෙනවා නම් වඩා හොඳයි නේද? ඒකාධිකාරය නිසා 'යම් තරමකට' කියමුද? පොත් කියවීමට පුරුද්දක් නැති අයට නිකන් දුන්නත් එයාලා කියවන්නේ නැහැනෙ.
Deleteඒ වගෙමයි, පොතක් ගන්න හිතාගෙන හිටියත් දුරු-කතර ගෙවාගෙන පොත් ගන්න යන්නේ කීයෙන්-කී දෙනාද?
මගේ අදහස නං හොඳ පොත් ප්‍රකාශක සමාගම් වුණත් තියෙන බවයි, නරක ඒවා වගේම. 'යින් හා යැන්' තමයි, ලෝකේ හැටිනේ!
ඉස්සර මම ප්‍රින්ටිං ඉගෙනගත්ත කාලේ proof prints ගත්තේ ""සෝදු පත් පහරුව"" ලෙස හුදු හෙලුවෙන් වනාපු යන්තරයෙන් කියලා මතක් උනේ දැන් නේ !!
ReplyDeleteමරු නම!
Deleteමම නං විධිමත්ව ප්‍රින්ටින් ඉගෙනගත් කෙනෙක් නෙවෙයි සෑම් මහත්තයෝ!
මගෙ පොත් ප්‍රින්ටින්, පබ්ලිශින් වියදම සම්පූර්ණයෙන් ප්‍රකාශක විසින්.
ReplyDeleteවිකිණුන සමහර ඒවාගෙන් බොහොම පොඩි මුදලක් හුඟක් ඉස්සර මට ලැබුනා. පිටපත් ගණනක් මට ලැබුනා යාලුවන්ට දෙන්න එහෙම. කකුල කැඩිල ගෙදර ඉන්න කාලෙ මට ඕනෙකම තිබුනෙ ලියන්න විතරයි. ඉතින් ලිව්වා. පබ්ලිශ් වුනා. පබ්ලිශර් කිව්වා සමහර කතෘලා පොත් කඩවලට ගිහින් පොත් ප්‍රොමෝට් කරලා දානවයි කියලා. ඕව කරන්න බෑනෙ. ඉතින් ඔය මදෑ.
ලොකුම අමාරුව පොත් මිලදී ගන්න ඕන අයට උදව් කිරීම. ලඟදිත් කීපදෙනෙක් මාව කන්ටැක්ට් කලා. පොත් කඩවල හොයා ගන්න බැරුව. ඒවායෙ වැඩ කරන අය ස්ටොක් රෙකෝර්ඩ් අප්ඩේට්කරන්නෙ නෑ. ශෙල්ෆ්වල නෑ. පබ්ලිශර්ගෙන් ගන්න හෝ ඩිලිවර් කරගන්න පුලුවන් දැන්. එක පොතක සිංහල වර්ෂන් එකක් කරන්න ප්ලෑන් එකක් තියනවා. ඒකෙ සම කතෘ කෙනෙක් ඉන්න නිසා සමහරවිට එයා ඒක ප්‍රොමෝට් කරයි
[පබ්ලිශර් කිව්වා සමහර කතෘලා පොත් කඩවලට ගිහින් පොත් ප්‍රොමෝට් කරලා දානවයි කියලා.] මම මගේ පොත ලිව්ව කාලේ කඩ වලට ගිහින් කොනේ රාක්කවල පහලම තට්ටුවේ දාල තියෙන මගේ පොත අරන් පේන තැන් වලින් තියන වැඩ නම් කරලා තියෙනවා .. හෙහ් හෙහ්
Deleteඒ දවස් වල ඉස්කෝලෙන් අස් වෙලා අතේ සල්ලි නැති කාලෙනේ.. පොත් කඩවලින් හම්බවෙන සුළු මුදල උනත් හෙන වටිනවා .. මට නම් ඒක හරි ජොලි වැඩක්
Pra jay මහත්තයා වාසනාවන්තයි. මම දන්නවා මුළු ප්‍රකාශන වියදමම අතින් දරලා, ප්‍රසිද්ධ පොත් සමාගමකින් පොත් අච්චු ගස්වපු කතුවරුන් ගැනත්. ඒ ආශාව වැඩි, සල්ලිය ඇති උදවිය.
Deleteමට නං පුදුමයි පොත් කඩවලට ගිහින් ප්‍රමොෂන්ස් කෙරෙන තරම් පොත් සංස්කෘතියක් ලංකාවේ තියෙනවද කියලා.
පොතක් ඉල්ලලා එව්වත් යවන්න ගියාම තැපැල් ගාස්තුව කීයක්ද? සමහර වෙලාවට පොතේ මිලට වඩා වැඩියි නේද?
පැතුම්, ඔයාත් ලකී! හැබැයි රජෝ, දැන් තත්ත්වේ වෙනස් වෙන්න පුළුවන්.
Pra Jay මහත්තයෝ. සාමාන්‍යයෙන් පොතක් අච්චු ගැහුවාම 1,000කට නම් ප්‍රකාශකයා කතුවරයාට පොත් 10ක් දෙනවා නොමිලේ. 9හිථංනකො පත්තරවලට දෙන්නවත් ඒ ගණන ඇතිද කියලා.) ඊට වැඩියෙන් අවශ්‍ය නම් 33% ක් විතර මිල අඩුවෙන් පොත් ගන්න පුළුවනි- කර්තෘ භාගයේ වටිනාකමට. අත්පිට මුදලට ගොඩක් ගන්නවා නං 50%ක් විතර කොමිස් එහෙකුත් දෙන අවස්ථා තිබ්බා.
අලුත් පොත සාර්ථක වේවා! කියලා සුබ පතනවා ගහන්න ඉස්සෙල්ලාම.
ලංකාව වගේ රටක පොතක් ලියල කොටි ගණන් හම්බ කරන්න පුළුවන් කියල මට නම් හිතෙන්නේ නැහැ... දැනට ලංකාවේ එහෙම හම්බ කරන කතුවරු ඉන්නවද ? හොඳම අලෙවියක් තියෙන කෙනෙකුට උනත් පොත් ලියල විතරක් ජිවත් වෙන්න ප්‍රමාණවත් ආදායමක් ලැබෙනවද ?
ReplyDeleteමට නම් හිතෙන්නේ කතෘ ප්‍රකාශන කරන එකෙන් වැඩි ආදායමක් ගන්න පුළුවන් කියල ..
මගේ පොත මම අපේ අක්කා කෙනෙකුගේ මාර්ගයෙන් පුස්තකාල වලට දැම්ම... මට මතක විදියට පළාත්සභා හරි ප්‍රාදේශීය සභා වල හරි තියෙන පුස්තකාල වලට ..
ඒ වගේ වැඩ පබ්ලිෂර්ල කරන්නේ නැහැනේ...
නමුත් ඉතින් ඒ හැමෝම ඒ කාලේ මට උදව් කලේ මම පොඩි එකා හින්ද .. හෙහ් හෙහ් ..
ප්‍රකාශකයෝ කරන්නේ අපි මහන්සි වෙලා මාකටින් කරහම පොත විකුණලා ලාභ ගන්න එක. අපූරු ධනවාදයක් වෙලාවකට . අපියි මෝඩයෝ. අපි එකතුවෙලා කරන්න ඕනේ බෙදා හරින වැඩෙත්
Deleteපැතුම්. පොත් ලියලා යැපෙන අය ගැන නම් මට දැනුමක් නැහැ. සාමාන්‍යයෙන් කර්තෘ භාගය- රෝයල්ටිය 10%යි කතුවරයෙකුට ලැබෙන්නෙ. මම දැනුවත්ව එකම එක කතුවරයෙක් හිටියා 15%ක රෝයල්ටියක් ලබන. දැන් තත්ත්වය නෙවෙයි මම කියන්නේ. 2009 වෙනතුරු. එහෙම 15% ගෙව්වෙත් ඒ කතුවරයාව දිගටම ඒ ප්‍රකාශන සමාගමට සම්බන්ධ කරලා තියාගන්නයි. එතුමාගේ පොත් අලෙවිය වගේම ප්‍රසිද්ධියත් ගෙනෙන නිසයි ඒ තත්ත්වය තිබ්බේ.
Deleteඅජිත් මහත්තයෝ, මම නම් කියන්නේ ඉස්සෙල්ලාම පොත් කියවන පුරුද්ද හැම ගෙදරකටම ඇති කරවන්න ඕනි කියලයි. කෝටි 2 පැනපු ජනගහනයක් ඇති රටකට පොතකින් 1000ක් කියන්නේත් ගණනක්ද, මිනිස්සු පොත් කියවනවා නම්?
හිස් මත්පැන් බෝතල් උජාරුවෙන් සාලයේ කැබිනට්වල සෝබනේට තියන ගෙදරකවත් පොත් කිහිපයක් පේන්න තියෙනවද බලන්නකො!
එන්නට බැරි විය පුතේ
ReplyDeleteවැඩ මහ ගොඩකුත් වෙතේ
කියවන්නට කල් නැතේ
කොටල දුවන්නෙමි මෙසේ
මතු වැඩ වෙන වැඩක සිරවී හිටින කල
Deleteඅමතක කළ යුතුය, ඇබ්බැහි පුරුදු කළ
අවසන් කළ පසුව ඉගෙනුම් වැඩ ප්‍රබල
එළැඹෙයි කවි කරන්නට නිසි ඉඩද- කල