li Item

Saturday, June 24, 2023

හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස

“හරි හරි... මම ඉල්ලන වෙලාවට කිරි තේයි, කෝපියි නොදී හිටියොත් බලමුකෝ, මෙච්චර ගොඩක් ගෙනිහිල්ලත්...- මේ සැරේ තමයි මම එකෙක්ව බාවන්නේ!

උඹලා කතරගම දෙවි හා..මු..දු..රු..වොන්ගේ පිහිටෙන් එහාට එනකොට...

ඒ තර්ජනයට බයේ හෙම නොවෙතත්, ප්‍රියන්තත්- අපේ සමන්තිත් දෙන්නා පොඩි ඉඩක්වත් ලැබුණු හැම වෙලාවකම තේ හෝ කෝපි හදලා දෙන්නට සූදානමින්ය, හිටියේ. ‘Anyone need coffee?’ ප්‍රශ්නය තිස්ස දෙවේලේම සමන්තිගේ මුවගේ රැව් දෙමින් තිබ්බේය. “ඇයි බං එකම පවුලේ අය වෙලත් Sam වගේ වෙන්න බැරි එයාලගෙ ලොකු අයියට?” අයස්මන්ත කීප සැරයක්ම නෙවිල් අනුරසිරිවත් හවුල් කරගෙන මාව අවුස්සන්නට හැදුවේය.

“එ..යා මේ කපේ..දී වෙනස් වෙන කෙනෙක් නෙවෙයි මචං. එයාට හිතුණොත් විතරයි තේ හදන්නේ. එහෙම කරන්නෙත් ඉක්මනට අපිව ගෙදරින් එළවන්න ඕනි වුණාමයි.”

මර්විනුත් හිටියා නං ඔහොම වෙලාවට අර ගොල්ලන්ට sup එක දෙන්නේ උඩ පනිමිනි. එහෙම ‘හිටියා නං’ කියලා කිව්වේ අන්තිම මොහොතේ මර්වින්ට පාද යාත්‍රා ගමන නොඑන තැනට කරුණු යෙදුණු බැවිනි. ඒ යක්ෂ පැටියා ‘ඒ දුක්මුසු ආරංචිය’ අන්තිම විනාඩිය තෙක්ම අපෙන් හංගාගෙනත් හිටියේය.

බඩු මලු ඇසිරීමටත් හවුල් වුණු මර්වින් හොරගල් අහුලමිනි, දිගටෝම හිඳ තිබ්බේ. ඒ ඉඳිල්ල නවතන්නට වුණේ පීරිස්ගේ හෙළිදරව්ව නිසාය. “යකෝ, උඹ අර පණිවිඩේ මෙයාලට කියන්නේ හෙට දවල් අපි පිටත් වුණාට පස්සෙද?”

“නෑ නෑ පීරා! දැන් කියන්නයි යන්නෙ... උඹලා මට සමා වෙන්න ඕනි මචංලා. මට මේ සැරේ ඔයාලත් එක්ක පාද යාත්‍රාවේ එන්න වෙන්නෙ නෑ.”
“ඒ මොකද මචං?” / “හෑ?” / “එහෙනං තමුසෙ අපි ප්‍රැක්ටිස් වෙන්න ඇවිදිද්දීත් ආවේ...” / “ඒ විතරක් නෙවෙයි, මුරුතැන් පූජාවට, අනිත් පූජාවලට ඕනි කරන බඩු එහෙමත් ලැහැස්ති කළේ...”

“ඒවා සේරම කළා තමයි යකුනෙ, ගමන යන්නම හිතාගෙන හිටිය නිසා... ඒත්... අපේ ලලිතට සනීප නෑ. කකුල් දෙකත් ඉදිමිලා. අපේ මාධවටත් office එකේ ගමනක් යන්න වෙලා. ඉතිං ලලිතව විතරක් තනියම ගෙදර දාලා එන්නයැ බං... ඒත් පීරා, මම බස් එකේ කතරගමට ඇවිත් ඉන්නං- උඹලා කතරගම දෙවි හා..මු..දු..රු..වොන්ගේ පිහිටෙන් එහාට එනකොට.”

කතරගම දෙවියන්නාන්සේත් ටිකක් හරි අසාධාරණයි වගේය. අපේ ගමන් නඩයේ ලොකුම දේව භක්තික ‘දේවාල මාමා’ට මෙහෙම වෙන්නට ඉඩ හැරීම අයුතු දෙයකි. “ඉතිං මනුස්සයො, තමුසෙලා ගෙදර වැඩට එන ගෑනු කෙනාව හරි ගෙදර නවත්තගන්න බැරිද?”
“එහෙම බෑ බං! එක දිගට දවස් පහ-හයක්නේ...”

මේ වෙද්දී ඒ ගවේෂකයන් අවාසනාවන්ත විදිහට මිය ගිහින්ය කියලා තීන්දුවකට ඇවිත්ය.

ඔහොම වෙලාවට අප්පරසිද්දියේ කියවෙන කතාවල් දෙයියන්ට වුණත් නෑහෙන තරම් රහසෙන්; හෙමින්ය කියවෙන්නේ. “හුඟක් දෙවිවරු වුණත් ගෙදර අම්මණ්ඩිට යටයිනෙ මචං.” / “අනෙක මචං මූ කතරගම දෙයියන්ගෙ වාහනෙත් මොන්ටෙරෝ එකක හප්පපු එකානේ. ඒකට තමයි දෙයියෝ ඔය තමුසෙට දඬුවම් කළේ!” / “එහෙමත්ම නෙවෙයි ළමයි. සමහර වෙලාවට දෙයියෝ වුණත් අහක බලනවා- වෙලාව නරක නං.”

මේ නම් එහෙම නරක වෙලාවක් වෙන්නැතිය!

“ප්‍රසිද්ධ ටයිටැනික් නැවේ මුහුදු පතුලේ සුන්බුන් නැරඹීමට හා ගවේෂණය කිරීමට පුද්ගලයින් පස් දෙනෙකු සමඟ අත්ලාන්තික් සාගරයේ පතුලට ගිය ගිල්විය හැකි සංචාරක නෞකාවක් දින දෙකකට ආසන්න කාලයක් අතුරුදන්ව තිබෙන අතර මෙය සොයා යාමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකය. (මං මේ post එක ලියා අහවර වෙද්දී ඒ ගවේෂකයන් අවාසනාවන්ත විදිහට මිය ගිහින්ය කියලා තීන්දුවකට ඇවිත්ය.)
මෙහි ගමන් කළ බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපති ගවේෂක හමිෂ් හාඩින්, කීර්තිමත් ප්‍රංශ කිමිදුම්කරුවෙකු වන පෝල්-හෙන්රි නර්ජොලට් සහ පකිස්ථාන ව්‍යාපාරික ෂාසාදා ඩාවුඩ් සහ ඔහුගේ 19 හැවිරිදි පුත් සුලෙයිමාන් ඩාවුඩ් යන අය මෙන්ම OceanGate Expeditions හි නිර්මාතෘ ස්ටොක්ටන් රෂ් යන පස්දෙනා ගැන තවම කිසිදු තොරතුරක් නැත.

කැනේඩියානු පර්යේෂණ යාත්‍රාවක් වන Polar Prince නමැති ආධාරක යාත්‍රාව සමඟ ඉරිදා (ජූනි 18) උදෑසන ටයිටන් නමැති ගිල්වන නෞකාව ජලයෙන් යටට ගියේය. පැයකුත් විනාඩි 45කට පමණ පසු ටයිටන් නෞකාව ධ්‍රැවීය ප්‍රින්ස් සමඟ සම්බන්ධතා නැති කර ගත් බව බලධාරීහු පවසති.

Titan නෞකාව දින හතරක හදිසි ඔක්සිජන් සැපයුමකින් සමන්විත වේ.
OceanGate
ටයිටැනික් සුන්බුන් නැරඹීම සඳහා දින අටක මෙහෙයුම් සඳහා එක් පුද්ගලයෙකුට ඩොලර් 250,000ක් අය කරයි.’

ඒ ගණන් හිලවු ටක්කෙටම හරි නං, අර ධනපති ගවේෂකයන් ‘ඉල්ලාගෙන කාලා’ තියෙන්නේ ඩොලර් දෙලක්ෂ පනස්දාහ ගණනේ තම-තමන්ගේ අතින් සල්ලිත් ගෙවලයි.

පාද යාත්‍රාවේ යන පිරිසත් එහෙම යන්නේ තම-තමන්ගේ ධනව්‍යයෙනි. මේ වතාවේ නම් අපේ මුදලින් නඩත්තු වෙන පින්බර දේව භක්තික දේශපාලඥයෙකුත් එතුමාගේ අන්තේවාසිකයන් පිරිවරාගෙන පාද යාත්‍රාවේ යෙදුණේය. කළ පින් ඇති උන්නාන්සේ අනෙක් පා ගමන්කරුවන් වගේ දස වද වින්දේ නැත; හෝහපුටුවන්ගෙන්- මදුරුවන්ගෙන්- කිනිතුල්ලන්ගෙන් පහර කෑවේ නැත.
ඒ එතුමන් වෙනුවෙන් අටවා තිබුණු කූඩාරම්වල සුවපහසු යහනාවන් මදුරු දැල්වලිනුත් ආවරණය කර තිබුණු බැවිනි.

අර සුකුමාර දේහයන්ට තද අව්ව ඔරොත්තු නොදෙන නිසා...

මගේ දැනුමේ හැටියට එතුමන් මේ පා ගමනේ යෙදෙද්දී ආරස්සාවට සහපිරිවර ආරක්ෂකයනුත් පිරිවරාගෙන සිටියේය. පයින් ගමනේ යෙදුණු ඒ ආරක්ෂකයන් අතරේ, නියමිත කාලාන්තරයක් ඇතිව- තාලයකට අනුව ‘හරෝහරා’ කියන්නෙකු පවා හිටි බවය, අපට දුටුවේ!

හත්වලාමේ, එහෙම ආරක්ෂක විධිවිධාන යොදා නොතිබ්බා නම්...
සකල ශ්‍රී ලාංකිකයන්ම ශෝකයෙන් ආතුර වෙන්නට වුණත් ඉඩ තිබිණි. හත්තිලව්වට ගහපු කලාබරේ වගේ එහෙම වුණා නං...

පොත්තන කලපුව අසලදී- ළිං තුනට යන පාර අයිනේදී අසරණ බැතිමතියක ඝාතනය කළ මිනීමරු අලියා අරුන්නාන්සේට වුණත් පහර දෙන්නට ඉඩ තිබ්බේය. ඒ සිද්දියෙන් බය වුණු නිසාද, නැත්තං අර සුකුමාර දේහයන්ට තද අව්ව ඔරොත්තු නොදෙන නිසා වාහනවලින්ම පාද යාත්‍රාවේ වැඩිය නිසාද මන්දා දෙවෙනි දවසෙන් පස්සේ මම නං එයාලාව නොදැක්කෙමි.

“තමුසෙ නොදැක්කට කමක් නෑ, නිමලෝ. උන්නැහේ කතරගම දේවාලෙට ගෙඩි පූජාවක් එහෙමත් කළා, අපේ පූජාව  තියපු දවසෙම.”
“ඉතිං හලෝ, ඔහෙලත් ගෙඩි පූජාවක් නේද තිබ්බේ...”
“උඹ දන්නෑ... දේවාලේ ඇතුළේ මාර කලබලේ වුණේ. අර මනුස්සයා දේවාලේ ඇතුළේ බිම පෙරළිලා වැන්දා කියපංකො. දේවාලෙ ඇතුළේ හෙණට සෙනඟත් තෙරපි- තෙරපි හිටියේ. මේ! කලබලේ අස්සේ අපට ආපහු දුන්නේ එයාලගේ පූජා වට්ටිය. එයාලට දෙන්න ඇත්තේ අපේ එක...”

(අතුරු කතා අඩුකොට ගමනේ විස්තර වැඩියෙන් කියන්නැයි හිතාදර පාඨක විජේබාහු මහත්තයා ඉල්ලීමකුත් කර තිබුණත්- මේවා නොකියාත් බැරිය. අර දේවාලයේ බිම පෙරළි-පෙරළී වැඳුම් පිදූ උතුමාණන්ට හැරෙන තැපෑලෙන්ම දේවාශීර්වාදය ලැබී; වාසනාව පළ දී තිබිණි. තිබ්බාට වඩා උසස් තානාන්තරයක්...)

2023 ජුනි 15 වෙනිදා හවස හයාමාරට කතරගම දේවාලයේ පැවැත්වුණු පූජාවට රොක් වෙන බැතිමතුන් අස්සේ හිර වෙන්නට නොගිහිංය, මං වහන්සේ හිටියේ. ඒ නිසා මට ඒ දේශපාලතුමාගේ වන්දනය දැක ගන්නට ඉඩ ලැබුණේ නැත. ඒත් එතැන සිදු වුණු දේ අඩු නැතිවම අපේ ගමන් සගයන්ගෙන් අපටත් දැන ගන්නට ලැබිණි.
දේවාලය ඇතුළට ගියේ අපේ නඩයේ ලොකුම බැතිමතුන් තිදෙනාත්, පසිඳුත්, තමිරත් විතරකි.
නෙවිලුත්, නමීත් මාත් එක්කම වාඩිවී උන්හ. Samට දේවාල බිමේ සරන බැතිමතුන්ගේ අසිරි බලා ගන්නවාට වැඩි දෙයක් නොතිබිණි.

එහෙම නේන්නං. වැඩක් බාර දුන්නම හරියට පිළිවෙලට කරන්න ඕනිනේ!

“බලනවා නමී. තමිරත් ‘වෙන්ඩ කපු උන්නැහේ’ කෙනෙක් වෙලා. ගෙදරදී වෙනම හින්දලා ගත්තු පොල්තෙල් එහෙමත් පූජාවට අරගෙනයි ආවේ. දැක්කනෙ... අදත් දේවාල මාමා පස්සෙන්මයි. ආන්න ආදර්ශෙට ගන්නවා නං මිනිස්සු!”

“එහෙනං ඔබතුමා මේ bag එකත් අරගෙන එයාගෙ පස්සෙන් යනවද, මටත් ටිකක් මෙහෙන් වාඩි වෙලා rest කරන්න.” තමිරත් හිටි ගමන් පෙරළා පහර එල්ල කරයි.
“මං? මේ ඉන්නේ නමී... මෙයාට දීහං.” එදා පොටේ තව කෙනෙකුත් කතාවට ඇද ගැනෙයි.
“අම්මො අම්මෝ! ගිය වතාවේ මට දුම් කබල අමතක වුණා මතකයිනෙ. අනේ තමීර, මට බෑ...” අවුරුද්දක් තිස්සෙම සිහි ගන්වන කතන්දර අහලා නමිනං උන්නැහෙට ඇති වෙලා වගෙය.

“එහෙම නේන්නං. වැඩක් බාර දුන්නම හරියට පිළිවෙලට කරන්න ඕනිනේ...”

හරියට පිළිවෙලට?
Blog ලිපි ලිවීමෙදී මගෙන් කෙරෙන්නේ නැත්තෙත් ඒකමය. හොඳම උදාහරණය උඩින් ඇති විස්තරයයි. 15 වෙනිදා පූජාව පැවැත්වුණේ අපේ පාද යාත්‍රා ගමනේ අවසාන අදියර විදිහටයි. ගමන පටන් ගත් හරියවත් නොලියාය, මං වහන්සේ ඉස්සරහට පැන තියෙන්නේ.

ඒ හින්දා ඔන්න යනවා 11 උදේට.

10 වෙනිදා රාත්‍රියේ හම්බන්තොට නවාතැන් අරගෙන හිටි අපි උදෙන්ම ගියේ දෙබරවැව කොඩි(කාර) මිසීලාගේ ගෙදරට. ගිය අවුරුද්දෙත් අපිට උදේ කෑම හැදුවේ එහෙ. ඉස්සෙල්ලම පර්සිගෙන් තැඹිලි පූජාවක් අපි වහන්සේලාට. ඊළඟට උදේ කෑම. Fully වෙජිටේරියන්!
කෑම කොච්චර හදලද කියන්න හොඳම මීටරේ තමයි, කොඩි මිසී- නැන්දම්මවත්; පර්සිගේ අම්මාවත් ගෙන්නාගෙන තිබීම. කොඩි අක්කල නංගිලා එක්ක උයන අතරේ ප්‍රියන්ත ඒ පැත්තට ආවෙවත් නෑ.

“ප්‍රියන්ත ඇඳුම් pack කරනවද?”
“නෑ අයියේ. එයා ඔයාලට ගෙනියන්න දවල්ට කෑම උයනවා.”

“එහෙනං දවල්ට විතරක් නෙවෙයි, රෑටත් ඇති තරමට තමයි උයනව ඇත්තේ! අනේ නංගි- ප්‍රියන්තට මතක් කරන්න... ගිය සැරෙත් කෑම ගොඩක් අහක දාන්න වෙච්චි විත්තිය, රෑටත් කෑවට පස්සේ.”
“මෙයා හම්බන්තොට මිනිස්සුන්ගෙ හැටි තවම දන්නෙ නෑ! යුෂ්මතා එපැයි කිව්වට වැඩක් නෑ. මෙහෙ මිනිස්සුන්ගේ හිතට මදි අමුත්තන්ගේ බඩ පැළෙන්න කන්න නොදුන්නොත්. එකට බාධා නොකර පාඩුවේ ඉන්නවා නිමල් අයියේ...” දිග කාලයක් හම්බන්තොටම හිටි පීරිසුත් එහෙ ගති-සොබා හඳුනාගෙනය.

මේ වතාවෙත්...

“මම ඔබතුමාගෙන් ඇහුවනේ, මෙහෙන් දවල්ට කෑම හරි ගස්සනවද කියලා. කොහෙද? කිව්වද, හංගන් හිටියා...” මගෙන් නෝක්කාඩුවක්...

පීරිස් රඟයි. “ඒවා සර්ප්‍රයිස්!”

Surprise තමා! මතක ඇතිවම ගෙනියන්න පටව ගත්තු හාල් කිලෝ තුනක් ආපහු යවන්න ඕනි. වේල් දෙකක්ම උයන්න ඕනේ නැති වෙන විදිහනේ. තව මොන මොනවා හදනවාද- දෙනවාද කියලා අහන්නත් බැරිය. මං හැදූ කෑම සැලැස්ම වෙනස් කළත්, ගෙනියන්නට අරගෙන ආ බඩු?

“Doctor, මෙහෙ පන්සලේ හාල් කිරි දානයක් දෙනවා ගමේ අයට. යාළුවෙක් call කළා, ගෙනියන්න එන්නයි කියලා. ගේන්නද?” තැඹිලි කෝම්බ එකතු කරන අතරේ පර්සි අහයි.
“හාල් කිරි?”
“ඔව් නෙවිල් අයියේ, අර අම්මාවරුන්ගේ දානවලට හදන්නේ.”
“ආ... කිරියා! අපේ පැත්තෙ ඒවාට කියන්නේ කිරියා කියලනෙ...”

ඉතිං, කොඩි මිසීලාගේ අංග සම්පූර්ණ උදේ කෑම මේසයට ‘හාල් කිරි’ත් එකතු වුණේය! ඒවා ඔක්කොම රස වින්දාට පස්සේ...
අපට අතරමඟදී පාවිච්චියට ගන්නට අඹ- බිලින්- පොළොස්- පරිප්පු වෑන්ජනත්, අළුකෙසෙල්- හා මිශ්‍ර බැදුම් වර්ග දෙකකුත්, අච්චාරුත්, කොස් මදුළු තැම්බුමකුත්, තඩි බත් බාල්දියකුත් අපට ගෙනියන්නට ලැබිණි!

“නිමල් අයියෙ, අපේ අම්මත් පොල්කිරි නොදා අලකොළ මාළුවක් හදල දුන්නා. ඒකත් නරක් වෙයිද?” ඒ අස්සේ තමිරත් මට කොඳුරයි.

බත් ඇති තැනටම කොසුත් හම්බ වෙයි!
මේ වතාවෙත් උස්සාගෙන යන දේවල්වලින් වැඩි හරියක් පොරෝජනයට ගන්නට නොවෙන පාටය. දැන් ආයෙමත් ඒවා ගණන් බලන්නද... ඒ වගෙමයිනෙ, කවුද දන්නේ මොනවා වෙයිද කියලා... යනකොටම තමයි තේරෙන්නෙ... කොච්චර දත කෑවත් ‘පළමුවෙනි වතාවේ
කැබලිත්ත දේවාලයට ගිය ගමනේදී සිද්ද වුණු පරක්කුව’, ‘වල් දඹල බූව ගෑවී කන්නට වුණු පරිප්පුව’ එහෙමත් මගේ හිතින් අහක් කරන්නට බැරිය. ගිනි පෙනෙල්ලෙන් බැට කෑ එකා කණාමැදිරි එළියටත් බය වෙන කතන්දරේ ඇත්තනෙ ඉතිං!

ඊට පස්සේ කෙලින්ම පානමටය. කකුල් දෙකේ හිරි ඇර ගන්නට ඉඩක් ලැබුණේ අරුගම්බේදී plain tea එකක් බොන්නට ගියාම විතරය.

‘ගොඩාරියක් දේවල්වලදී මනු සතාගේත් අනිත් සතුන්ගේත් වෙනසක් නැති හැටි. ඒ හැමෝම අලුත් තැනකට හොම්බ දමන්නේ චකිතයකිනි. ලගින්නට; රිංගන්නට කැමති පුරුදු තැනකටමය.’ මට එහෙම හිතුණේ, “අර තියෙන්නේ... ගිය  සැරේ අපි තේ බීපු අර කඩේටම යමු.”යි යෝජනා වුණාමය.

ඉතිං, ඒ තේ කඩේ තිබ්බ අරුගම්බේ නගරය අපට නොපෙනී ගියේ එයින් පැය බාගයකට විතර පසුවයි.

ඔහොම කිව්වට නිස්සද්දවම ඉන්නෙත් නෑ... තව ටිකකින් අපිට කියයි.

පානමදීත් පුරුදු විදිහටම ‘ශ්‍රී ගණදෙවි දේවාලය’ට ගිහිං, වන්දනා කර- තින්නෝරු තිලක තියාගෙන, සමන්ති නංගීට ආඬියා ළිඳත් පෙන්නුවෙමු.

“ඔයාලා කොහෙද?” මම එතනම හිටි සිංහල නඩයක හාදයෙකු හා සල්ලාපයට වැටුණෙමි. මං ඒ කෙටි කතාබහ හමාර වී වාහනයට එනවිටත් අපේ යක්ෂ පැටවුන් අවි අමෝරාගෙනය.
“හරි, හරි. අද රෑට කන්න දෙන්න කට්ටියක් හොයා ගත්තා.” / “ඔන්න බලන්න සමන්ති නංගී, දැන් ඉතිං ඔයාලගේ ලොකු අයිය අපිට මෙහෙමයි  සලකන්නේ.” අයස්මන්ත දෑතේ ඇඟිලි කතිරයක්සේ ගටා පෙන්නමින් කියයි. / “නමියෝ, නිදිගෙන් අහනවා එයාලගෙ ටෙලිෆෝන් නොම්මරත් ඉල්ලගත්තා නේද කියලා.”

“තමුසෙලා ඕනි මඟුලක් කියා ගන්නවා. ඒ මිනිස්සු ගැන මම තමුසෙලටත් කියන්නයි හැදුවේ... ඔන්න බලනවා. මං එක වචනයක් කියන්නෑ!” මං හිතුවා ටක්කෙටම හරිය. බොරු තරහක් මවාගෙන මං කියුවාට පස්සේ ඇවිටිලි ගොඩක් ඉදිරිපත් වෙයි.

“නෑ, නෑ. දිසානායක. එහෙමමත් කරන්න එපා, ඉතිං.” / “ඔයාට විහිළුවක්වත් තේරෙන්නෑනෙ.” / “නෑ මචං, නිමල් අයිය ඔහොම කිව්වට නිස්සද්දවම ඉන්නෙත් නෑ... තව ටිකකින් අපිට කියයි.” / “පොරට ඔය හිතේ හංගගෙන ඉන්න දේවල් නැහැනේ.”
ඔහොම කියද්දී හිනා නොවී හිටිතෑකිද?
“ඉතිං ඉතිං නිමල් අයියේ?”

“තමීර, එයාලත් රත්නපුරේ.” රත්නපුරයෙකු වෙන තමිරත් ඉතිරි හරිය අහගන්නට එබෙයි.

“කිරිඇල්ලේ... මං කතා කරපු හාදයාගේ දෙවෙනි සැරේ මේ. අනිත් කට්ටිය කෝඩුලා...” නෝක්කාඩු කතන්දර අමතක වෙන මගෙන් සේරෝම විස්තර කියවෙයි. ගිරවෙකු වුණු මගේ ගොන්කම මටම තේරෙන්නේ ඊළඟ මොහොතේදීය.

“මම උඹට රහසෙන් කිව්වා හරි නේද මචං, නිමල් දිසානායකට පුළුවන්ද බං එක විනාඩි පහක් කට වහගෙන ඉන්න? බෑ! බෑ බෑ බෑ!!”
“අහපල්ලකො බලන්න අයෙමත් හෙම මොනවත්... මේ දිසානායකගෙන්...”
ඇත්තක්ම කියමි. අප එකතුව ගත කරන හැම මොහොතක්ම රසබර වෙන්නේ මෙහෙම ‘
ප්‍රණය කලහ’යන් නිසාවෙනි.

“අම්මෝ ලොකූ. හරිම dry zone එකක්නේ... dust එක ඇවිස්සෙන හැටි!”
“Sam, මේ තවම පටන් ගත්තා විතරයි. පානම ඉඳලා ඔකඳ
දේවාලෙට කිලෝ මීටර් 20ක් යන්න තියෙනවා.” අයස්මන්ත මහත්තයා සමන්තිට එහෙම උත්තර දෙද්දී තරමක අඩු වේගයකින් පැදවෙන අපේ වාහනයත්- දමිළ නඩයක් දූවිල්ලෙන් නහවයි.

... ෆැෂනබල් ගතිය අඩුයි. 

“අනේ පව් doctor. ඒ මිනිස්සු මේ දුරත් පයින්මද යන්නෙ?”

“සෑම්, ඔය ගොඩක් දෙනා එන්නෙ යාපනේ ඉඳලා... 45 days වෙනවා එයාලගේ ගමන පටන් අරං... මේ ටිකත් යන එක එයාලට nothing.”

“මේ සැරේ සෑහෙන්න සිංහල අය පාද යාත්‍රාවේ යනවා වගෙයි.”
“ඒකනෙ මචං, මාත් බැලුවේ.”
“ඔයාලා කොහොමද සිංහල අයව අඳුරගන්නේ හරියටම?”
“වැඩියත්ම නංගී, ඇඳුම්වලින්. එයාලගේ ඇඳුම් වැඩි හරියක් හරි colourfull! අනෙක බඩු බෑග්ස්... ඒ මිනිස්සුන්ගෙ ෆැෂනබල් ගතිය අඩුයි. ඔයා දන්නවද ඔය විදිහට සරම් ඇඳල බඩු මලු ඔලුවේ තියාගෙන එන අය අතරේ ලොකු jobs කරන මිනිස්සුත් ඉන්නවා. ඒ සේරමලා දැන් එයාලගෙ status ඔක්කොම අමතක කරලයි ඉන්නේ.”

“Just pilgrims?”
“Exactly!”
à ඊළඟ කොටසට.

28 comments:

  1. මේ ගමනත් මොනව නැතත් හොඳ කෑම විස්තරයක්නං බලාගත්තහැකි වගෙයි.

    අර එතුමා මගදිම එර්දි උනාද දන්නෑ,

    ReplyDelete
    Replies
    1. මේ මොනා කියනවද පෂා. සමහර අය අපිව දැකල හිතුව අපි දන්සලක් දෙන්න හදනවයි කියලත් 😂

      Delete
    2. කට කට නමී! ඔබතුමා මගෙ යාලුවෙක්ද නැත්තං නෙවිල්ලගේ යාලුවෙක්ද?

      Delete
  2. ඔයාලා කොහොමද සිංහල අයව අඳුරගන්නේ හරියටම?”
    “වැඩියත්ම නංගී, ඇඳුම්වලින්. එයාලගේ ඇඳුම් වැඩි හරියක් හරි colourfull //

    නිමල් අයියේ මම හිතන්නේ වයිවර්ණ ඇදුම් අදින්නේ දෙමළ ජාතිකයෝ... සුභ ගමන්.....

    ReplyDelete
    Replies
    1. මටත් කියෝනකොට හිතුනෙ ඒක තමයි. සිංහල අයට වැඩිය දෙමළ අය තමයි පාට අඳින්නෙ.

      Delete
    2. ලලිත්, ප්‍රසන්න.
      විශේෂයෙන් මේ ගමනේදී... ඔකඳ දේවාලය ඉදිරිපිට අටවන පුංචි කඩ වීදියේ දිරිපිට සෑහෙන වෙලාවක් වාඩිවෙලා මම බලාගෙන හිටියේ එයාලගේ ඇඳුම් රටා- අඳින රටා වගේ දේවල්....
      මට නම් හරිම විචිත්‍රවත් ඇඳුම් මෝස්‌තර සංදර්ශනයක්....
      ගොඩක් තද පැහැති සමකින් යුතු එකේක වයසේ මොඩ්ල්ස්ලගෙ.

      Delete
  3. ඉන්දිකල හම්බඋනේ නැද්ද මේ ගමන.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් ලියන්න තියෙනවා ප්‍රසෝ!

      Delete
  4. වස්ගමු යනවයි කිව්වෙ, මේ පැත්තෙත් එනව ද?

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී, සෙනසුරාදා උදේ වස්ගමු ගිහිං ඊයේ රෑ දොළහට ගෙදර ආවේ. නුවර පැත්තෙන් නෙවෙයි ගියේ, බකමූණ- ලග්ගල හරහා.

      Delete
  5. //තරමක අඩු වේගයකින් පැදවෙන අපේ වාහනයත්//
    තවලමේ වාහනයකුත් පැක් කරගෙන ගියාද?😮🤔

    ReplyDelete
    Replies
    1. කොළඹ ඉඳලම van එකක ඔකඳට යනතුරු ගියේ. ඔහොම අඩු වේගෙකින් යන්නම වුණේ පානම ඉඳලා ඔකඳ තෙක් යද්දියි බස්සා මහත්තයෝ.

      Delete
  6. මම කොළඹ ගමයා කියන්නේ මොකද්ද කියලා අහල chatgpt එකඟ කිවනේ ඒ කිරිය කියන කෑම ජාතිය කියල. හදන හැටිත් දාල තිබ්බ. පස්සේ ෆේස්බුක් එකේ කට්ටිය තමා ඒ මොනවාද කියල කිවේ. කව්ද මචන් දේශපාලන බුවා නවින් දිසානායක ද ? ගෙඩි දෙනවා කියන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. https://monara.com/sri-lanka/minister-of-state-for-defense-joins-the-kataragama-pada-yatra

      Delete
    2. නමී ගොඩාරියක් ස්තුතියි link එකට. එහෙට ගියාම තමයි මේ වතාවේ ගමනේදී අලියා ගහලා මැරුණු කාන්තාව ගැන එකම ප්‍රවෘත්ති සඳහන දැක්කෙත්.

      Delete
    3. ගෙඩි පූජාවේදී පලතුරු වර්ග එකක්වත් කපන්නේ නෑ, අජිත්. හැම එකක්ම සම්පූර්ණ ගෙඩි වශයෙනුයි පූජා කරන්නේ.

      Delete
    4. ස්තූතියි නමී , ගෙඩි පිටින් දෙනවා වගේ.

      Delete
  7. Replies
    1. +++++++ Pra Jay මහත්තයාගේ වැට spam වෙලා තිබිලයි හොයා ගත්තේ. ස්තුතියි! ++++++++

      Delete
  8. හාල් කිරි? ඔන්න බලමු ඕවට අපි කියන්නෙත් කිරියා නේ, ඔහෙලා අපේ ගම් පළාතේද?
    ඔය අල කොළ මාලුව (ගහල/හබුරු කොළ) මම නම් කාල නෑ.
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. අපේ ගම පළාත නම් මටවත් හිතා ගන්න බෑ විජේබාහු මහත්තයෝ. තාත්තගේ තාත්තා මාතර පැත්තෙ. අම්ම නුගේගොඩ. අපේ අම්මගේ සේරමලා බදුල්ලේ. මාත් උපන්නේ බදුල්ලේ. 12 ඉඳලා පදිංචිය මහරගම.
      මෙහෙ කියන්නේ 'කිරියා', තිස්සදී තමයි මාත් ඔය හාල් කිරි කතන්දරේ අහගත්තෙ.
      කොඩි මිසීගේ මහත්තයා පර්සි ගැනත් අපූරු කාරණයක් කියන්න තියෙනවා. හැමදාම එයා රෑ කෑමට ගන්නේ මීකිරි හට්ටියක්. සීනි පැණි එක්ක නෙවෙයි- පලා මැල්ලුමක් එක්ක.

      Delete
    2. මියන දලු, කැරම් කොකු, අල කොළ ගොබ එහෙම දැන් දැන් නගරවලටත් එමින් තියෙන්නේ විජේබාහු මහත්තයෝ.

      Delete
    3. අපේ බද්දේගම සියා උදේට කෑවේ රයිස් බබල් යෝගට් එක්ක (ඒ කිව්වේ බත් එක්ක මීකිරි) ඒ ගෙදර ඕන වෙලාවක මීකිරි හට්ටියක් තිබුණා.
      මම විජේබාහු

      Delete
    4. එක එක පැතිවල පුරුදු. විජේබාහු මහත්තයෝ, හම්බන්තොටින් මට පුරුදු වුණු ඉතාම රසවත් අතුරුපසක් තමයි මීකිරි- පැණි එක්ක කුරක්කන් පිට්ටු.

      Delete
    5. මේ එක එක පලාත් වල කෑම විස්තරය හරිම රසවත්.

      මගේම නිෂ්පාදන: පාන් ටෝස්ට් කරලා මාගරින් ගලා, පොඩ්ඩක් දියවෙන්න රත් කරලා,හකුරු වෙච්ච මී පැණි ගාලා කන එක - මී වදයකී ජීවිතේ!

      පිට්ටු සමඟ, සීත කල කිරි සහ සීනිත් රස කෑමක්.

      Delete
    6. බස්සා මහත්තයෝ, එහෙම කනකොට සීනි ඇට තරමක් ලොකුයි නං නියම ගති.

      Delete
    7. ඇයි වැලි හකුරු සමග මී කිරි ?
      Best combination is chilled curd with slightly warmed honey

      Delete
    8. අපට බැනුම් අහන්නත් වෙයි මෙහෙම කෑම ජාති ප්‍රවර්ධනය කරනවය කියලා.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්