li Item

Wednesday, December 23, 2020

යුවති කිරිල්ලී - අටවෙනි කොටස

මාලතී ඔහු දෙස බලා සිටියේ මුරණ්ඩු බැල්මක් දෑසෙහි රඳවාගත් ගමන්මය. ඇගේ දෙතොල් පෙති....

යුවති කිරිල්ලී හින්දා මේ දවස්වල කිරිල්ලියන් ගැන විමසිල්ලෙන් සිටින නිසාය, මේ පරෙවි කිරිල්ලියගේ කතන්දරෙත් ඇස ගැටුණේ. ඊට කලින් මොනර කිරිල්ලී, සුළං කිරිල්ලී වගේ කිරිල්ලියන් රැසක් මතකයට ආවත් පරණම එක්කෙනා ‘සිකුරු බැද්ද’ චිත්‍රපටයේ ආ ‘වී කිරිල්ලී’ය. එච්චරක් විතරක් කියලා අදට සමු ගන්නං, හොඳේ? පසුගිය කොටස නැවැත්තුවේ එතැනින්ය.

අද කොටස පටන් ගන්නට තියෙන්නේ පොතේ 7 වෙනි පරිච්ඡේදයෙනි.

7

“ඔයා මොනවද කියන්නේ කියලා ඔයාවත් දන්නවද මාලතී?”

ධනුෂ්ක ඇසුවේ නොඉවසිල්ලෙනි. ඒ කටහඬෙහි නොසන්සුන් බව ඉහවහා යන තරම්ය.

මාලතී ඔහු දෙස බලා සිටියේ මුරණ්ඩු බැල්මක් දෑසෙහි රඳවාගත් ගමන්මය. ඇගේ දෙතොල් පෙති එකට තෙරපී තිබුණේ සිතේ තෙරපෙන හැඟීම් සිර කරගන්නට මෙනි.

“මං දන්නවා අප්පෝ! මං දන්නවා.....!”

ඇගේ කටහඬ අන් කවරදාකටවත් වඩා සන්සුන්ය. එහි තිබුණේ නිවුණු නිසල බවකි. ධනුෂ්ක ඒ නිසසල බවට වඩාත් අකැමැතිය. එය බියජනක එකක් බව ඔහු දනියි.

“කොච්චර රැලි පෙරළීගෙන ආවත්, ඝෝෂාව තිබුණත් වෙරළට බය වෙන්න ඕනෙ නෑ. බය වෙන්න ඕනෑ ගැඹුරු මුහුදටයි. සාන්තයි වගේ පෙනුණට ඔක්කොම අතුරු අන්තරාවල් තියෙන්නේ ඔය චංචල නැතුව සාන්ත-දාන්තව තියෙන ගැඹුරු මුහුදෙම තමා!” ධනුෂ්ක සමඟ එකට උසස් අධ්‍යාපනය ලබන ‘දාර්ශනිකයා’ බ්‍රයිටන් මුහුදු වෙරළේදී කියූ කතාවක් ධනුෂ්කට හොඳහැටි මතකය. අද මාලතීගෙන් පළ වන්නේද එවන් ගැඹුරු බවකි.

ඉරයි හඳයි එකට හම්බ වෙන්නෙ නැති වුණත් හැමදාම ඉර පායනවා.... හඳත් පායනවා. මාත් ඒ වගේ තමා....

“එක ආකහේ පායලා තිබුණට කවදාවත්ම ඉරයි හඳයි එකට හම්බ වෙන්නෙ නෑ අප්පෝ.... එහෙම වුණොත් එදාට හඳක් ඉතුරු වෙන එකකුත් නෑ. ඉරයි හඳයි එකට හම්බ වෙන්නෙ නැති වුණත් හැමදාම ඉර පායනවා.... හඳත් පායනවා. මාත් ඒ වගේ තමා ධනුෂ්ක අප්පො....”

“මාලතී, ඔය හරියට නවකතාවක චරිතයක් වගේනේ ඔය කියවන්නේ...”

“නෑ අප්පෝ! ...” මාලතී ධනුෂ්කගේ කතාවට බාධා කළාය.
“... ඔය පොත්වල ලියල තියෙන්නෙත් අපි වගේ අයටම හිතෙන දේවල්නෙ... මං ඉර ඉල්ලලා අඬන්නෙත් නෑ... හඳ ඉල්ලලා අඬන්නෙත් නෑ. ඒ වුණාට මං ඉරට, හඳට ආදරෙයි. කවුරුවත් මට කියලා නෙවෙයි මං ඒවට ආදරේ කළේ.... ඒක මෝඩකමක් වෙන්නැති. ඒත් මං ඒ මෝඩකම දිගටම කරනවා.... මං ඒවාට දිගටම.... මැරෙනකල්ම ආදරෙයි. ඒ වගේම මං අප්පොටත් ආදරෙයි.....”
කළ ගෙඩිය ගැනීමට පහත් වූ මාලතීට ඒ සඳහා ඉඩ නොලැබිණි. ධනුෂ්ක ඇගේ අතින් අල්ලා ගත්තේය.

“ඔයාට යන්න දෙන්න බෑ මාලතී!”

“අනේ අප්පෝ!.... මට පරක්කු වුණා. අපේ අයියයි අප්පච්චියි දෙන්නමත් ගෙදර... මාව මරයි!”

ධනුෂ්ක පරාජය භාර ගත්තේය.

එහෙම නං දැන්වත් හේරත් මල්ලිලා දිහාවට එක සැරයක් ගොඩ වෙලා අපෙ අම්මට කතා කරලා එමුකො....
හද ගැබ ඇතුළේ තෙරපෙන වේදනාවන් තව දුරටත් සඟවාගෙන සිටිය හැකිද? මේ වේදනාවන්ගෙන් මිදෙන්නට ඇත්නම්.... ධනුෂ්ක සියල්ලම හෙළි කරන්නට වූයේය. සුසුම්ලමින්, තැවෙමින්, කෝපයෙන් හා වේදනාවෙන් දැවෙමින් ඔහු සියල්ලම කීවේය. එහෙත් එය අසා සිටින්නට එතැන වූයේ ගලින් ගලට හැපෙමින් පහළට ගැලූ දිය දහරාව පමණකි.

********

සිසිලියානා කුල්ල උකුලෙහි තබාගෙන සහල්වල වී අහුලයි. කැසපට කවාගත් සරමේ පොටක් අල්ලාගෙන අත් පිටුපසට බැඳගත් විල්මට් මිදුලේ එහා-මෙහා ගියේ සිත සන්සුන් කර ගැන්මට තැත් කරමිනි.

“මම කිව්වනේ සිසිලි, මගේ හිතේ කහටක් නැතිය කියලා... ඉතිං එච්චරයි! වෙන මොනවද?”

“ඉතිං එහෙම නං දැන්වත් හේරත් මල්ලිලා දිහාවට එක සැරයක් ගොඩ වෙලා අපෙ අම්මට කතා කරලා එමුකො.... උන්දෑ අදද හෙටද දන්නෙ නෑ....
උන්දෑට හිතේ සැනසිල්ලේ මැරෙන්ඩ පුළුවන් වෙයි.... ඔහේ එහෙම කළොත් නං....”

අහුලාගත් වී ඇටයක් මුවට දැමූ සිසිලියානා එය සපන්නට වූවාය.

“නිකං කල්පනා කරපං... උන්දැ එදා ඉඳලම මොනවද කළේ කියලා. මං මේ උඹලට පාච්චල් කරනවා නෙවෙයි. උන්දෑ වලව්වේම හැදිලා මහ අප්පොගෙ හාන්නැහේ වගෙනෙ එහෙ හිටියේ...... ඒ කාලේවත් උන්දෑට තේරුණේ නැද්ද අප්පොගෙයි, අප්පොලා කත් ඇදපු සුද්දොන්ගෙයි උවමනා එපාකම් පිරිමහන්න විතරක් ඔතැන ලැගල හිටපු එක වරදක්ය කියලා....
උඹව බඩට ආවට පස්සෙවත් උන්දැව කසාද බන්දලා දුන්න නිසා හොඳයි.... නැත්තං උඹත් අවජාතක එකියක් කියල නේද හංවඩු ගැහෙන්නේ?”

උඹලගෙ හිතේ මේ මීගහපැලැස්සේ ඉන්නෙ මැරිලා ඉපදිච්චි එවුවොය කියලද? .... මූණට නොකිව්වට බං, මේකෙ ඉන්න වැඩි හරියක් ඔය තෝම්බු ඔක්කොම දන්නවා!

හඬමින් සිටි සිසිලියානා කිසිත් කියුවේ නැත.

“උඹලටත් අමතක වෙලා නං මං කියල දෙන්ඩ එපායැ.... උන්දෑ කීයටවත් කැමති වුණාද මං උඹව පෙළවහට ගන්ඩ හදනවටවත්. උන්දැට ඕනි කළේ උඹලවත් එක-එකාගෙ දොළ පිදේනියක් කරන්ඩ. එක තාත්තාගෙ ලේ නොවුණා නං, දන්තුරේ බණ්ඩාරගෙ අතින්ම තමයි උඹව සල්ලං වෙන්නෙත්...”

“හෙමිං දෙයියනේ... හෙමිං! කාටවත් ඇහුණොත්.... ලොකු මහත් වෙච්චි දරුවොත් ඉන්න එකේ....” සිසිලියානා වටපිට බැලුවාය.

“උඹලගෙ හිතේ මේ මීගහපැලැස්සේ ඉන්නෙ මැරිලා ඉපදිච්චි එවුවොය කියලද? .... මූණට නොකිව්වට බං, මේකෙ ඉන්න වැඩි හරියක් ඔය තෝම්බු ඔක්කොම දන්නවා!”

“ඒ වුණාට ඔහෙත් දන්නවානෙ මගෙන් කිසිම නෝබිනාකමක් නොවිච්ච බව... ඒ දවස්වල වැරදියට හිතා ගත්තත්...”

“මට මතකයි බං.... මං උඹට මුකුත් කිව්වෙ නෑනෙ. හැබැයි ඕවා ඔක්කොම මගේ ඔළුවෙ තියෙද්දී මට බෑ උඹලගෙ අම්මට වැඳ වැටෙන්ඩ.... උන්දැව මෙහාට එක්කං ආවත් මට කාරි නෑ. මාත් පුළුවන් උදව්වක් කරන්නං, උඹලට උන්දැව බලා ගන්ඩ. එච්චරයි!”

ඈතින් එන මාලතී දුටු සිසිලියානා නැඟිට්ටාය. නහය සූරා දමා චීත්ත පොටින් දෙනෙතත්, නහයත් පිස දැමූ ඈ ගෙතුළට වැදුණාය.

********

මට හිතුණේ නිකම්ම නිකං නොවේ. මාලතීගේ චරිතයට තෝරාගෙන හිටියේ නදීව නිසාය. එතකොට නදී චන්ද්‍රසේකර....

නදී චන්ද්‍රසේකර වතුර කළගෙඩිය උකුළේ තියාගෙන එනකොට කොහොමට හිටීවිද?

මට හිතුණේ නිකම්ම නිකං නොවේ. මාලතීගේ චරිතයට තෝරාගෙන හිටියේ නදීව නිසාය. එතකොට නදී චන්ද්‍රසේකර නව යොවුන් රූමතියකි.

ඒ කතන්දරයත් ටිකක් දිගය! මුලටම යනවා නම්....

යුවති කිරිල්ලී මුද්‍රණය කෙරිලා ටික කාලයකට පස්සේ ඉරිදා දවසක, මැදිවියේ මහත්මයෙක් මා සොයාගෙන ගෙදරටම ආවේය. ඇත්තම කියන්නේ නම්, මට ඒ මුහුණ දැක-පුරුදු බවක් දැනුණේ නැත.

“වාඩිවෙන්න!” මම කීවෙමි.

“ගොඩක් ස්තුතියි මිස්ටර් නිමල්!”

කිසිම කලබලයක් නැති නිවුණු හඬකින් කියූ ඒ මහත්තයා වාඩි වුණේය. දහදිය නිවා ගැනීමට අත තිබුණු පුවත්පතකින් පවන් සලා ගත්තේය. මමත් බලා සිටියෙමි. “මිස්ටර් නිමල් මාව අඳුනනවද මන්දා... මම සෝමපාල ලැනරෝල්.”

එතකොට නං මට ලජ්ජා හිතුණේය. දුටු මනතින්ම අප අඳුනා ගන්නේ නළු-නිළියන් විතරය. ගායක-ගායිකාවන් විතරය. කතා රචකයන්, නිෂ්පාදකයන්, අධ්‍යක්ෂවරුන්.... තව කී දෙනෙකුගේ දායකත්වයෙන්ද කලා නිර්මාණ බිහි වෙන්නේ?

“සමන්ති ලැනරෝල්.... ඒ මගේ නෝනා!” සෝමපාල මහතා කියුවේ ඉතාම නිහතමානීවය.
මේත් එහෙම තිරෙන් පිටුපස හිඳින වැඩකාරයෙකි! රුවෙන් හඳුනා නොගත්තාට මම ඔහු ගැන ‘නමෙන්’ දැනගෙන සිටියෙමි. ඒ පත්තරවලින්ය.

කොතරම් දක්ෂයන්ට වුණත්, සමහර වෙලාවට ලොකු අසාධාරණයකුත් වෙයි! විශේෂයෙන් ඔහුට හෝ ඇයට හෝ වඩාත් ප්‍රසිද්ධ කෙනෙකු හා ඥාති සබඳකමක් ඇති විට...

“සමන්ති ලැනරෝල්.... ඒ මගේ නෝනා!”
සෝමපාල මහතා කියුවේ ඉතාම නිහතමානීවය.

“මම ඔබතුමා ගැන කියවලා තියෙනවා... ‘හන්තානේ කතාව’ ගැන එහෙම....” මට තිබුණේ සෝමපාල මහත්තයාත් සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස එයට සම්බන්ධ වී සිටි බව ගැන මතකයකි. සමන්ති ලැනරෝල්ගේ වදන්වලින් කියනවා නම්, ඒ 1966 වසරය.

(මා පේව්මන්ට් එකේ රජ වෙන්නට පටන් ගත් අවුරුද්දය.)

‘හැටේ දශකය අගභාගයේදී සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාවට නළුනිළියන් බඳවාගන්නවා කියලා සරසවිය පත්තරේ දැන්වීමක් තිබුණා. මගේ මතකයේ හැටියට ඒ 1966 ඔක්තෝබර් මස නව වැනිදා. 'කොල්ලන්ගේ කතාවක්, කෙල්ලන්ගේ කතාවක්, සරසවියේ කතාවක්කියලා තමයි ඒ දැන්වීම පළ කරලා තිබුණේ. පත්තරේ තිබුණු ඒ දැන්වීම නිසයි මම හන්තානේ කතාව චිත්‍රපටයට එකතු වුණේ. ස්වර්ණා මල්ලවආරච්චියි, මමයි විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් දෙදෙනෙකුගේ චරිත දෙකකටයි පණ පෙවුවේ....’

කිසිම පම්පෝරි ගැහිල්ලක් නැතිව කතා කළ සෝමපාල මහත්තයාය, ගායක කීර්ති පැස්කුවෙල්වත් නළුවෙකු කරලා තියෙන්නේ.....

“මිස්ටර් නිමල් films එහෙමත් බලනවද....?” අපේ කතාබහ වඩාත් දික් ගැසුණේ ප්‍රස්තුතය නිසාය.

 “ඉතිං, මිස්ටර් නිමල් ... මම ඔයාගේ පොත කියෙව්වා.... ටෙලියක් කරන්න හොඳ කතාවක් හොය-හොයා ඉන්නකොට තමයි මට මේ පොත හම්බ වුණේ... ඉතිං.... මම මිස්ටර්ව හොයාගෙන ආවේ පොතේ අයිතිය අපට ගන්න පිළිවෙලක් ගැන කතා කරගන්න.... මට ප්‍රොඩියුසර් කෙනෙකුත් හොයාගෙනයි ඉන්නේ...”

ලැනරෝල් මහත්තයා කියාගෙන ගියේය. “නදී චන්ද්‍රසේකරව තමයි අපි මාලතීට තෝරාගෙන තියෙන්නේ! අපේ නෝනා; සමන්තිව සිසිලියානාගෙ කැරැක්ටර් එකට ගන්නයි සූදානම..... ඒවා ගැන වුණත් මිස්ටර් නිමලුත් දැනගන්න ඕනි නිසයි මම කියන්නේ........” ඒ අව්‍යාජ මනුස්සයා මට ඒ විස්තරත් කිව්වේය!

කිසිම පම්පෝරි ගැහිල්ලක් නැතිව කතා කළ සෝමපාල මහත්තයාය, ගායක කීර්ති පැස්කුවෙල්වත් නළුවෙකු කරලා තියෙන්නේ. ඒ වග නම්, මං වුණත් දැනගත්තේ මෑත දිනෙකය.

‘... ඔය ඉන්නා අතරේ මාව ටෙලි නාට්‍ය නළුවෙක් හැටියට විජය ධර්ම ශ්‍රී ගේ චාරුලතා තුළින් හඳුන්වා දුන්නේ සෝමපාල ලැනරෝල්. ඊට පස්සේ ගව්වෙන් ගව්ව ටෙලි නාට්‍යයේ මම අචලා අලස් එක්කත් බෙනට් රත්නායකගේ තරු ටෙලි නාට්‍යයේ වසන්ති චතුරානි, ග්‍රැන්විල් රුද්‍රිගු සමගත් රඟපෑවා....’

යුවති කිරිල්ලී ටෙලියේ නිදාන කතාව හෙළි කිරීම අදට; ටිකකට නවත්තන්නේ...

යුවති කිරිල්ලී ටෙලියේ නිදාන කතාව හෙළි කිරීම අදට; ටිකකට නවත්තන්නේ පොතේ කතාවෙනුත් කොටසක් ආයෙත් ලියලා ඉන්නටය. මොකද, පොතේ පිටු 208න් හිතාදර පාඨක ඔබ මේ කියවන්නේ 62 වෙනි පිටුව බැවිනි.  

ධනුෂ්කට අතරමඟදීම රාමන්ව මුණ ගැසිණි.

“පුංචි අප්පොව තමා මං ඔයාන්න යනවා.....”

“මොකටද රාමන්?”

“යේක පුංචි අප්පොට ලියුමක්.... එංගලාන්තේ ඉන්දලා එක්ස්පෙරෙස් ලියුම තමා ඇවිල්ලා තීනවා.... යේක කුමාරිහාමි තමා, පෝඕඕඕඕම... පය වෙලාාාාා පලාන ඉන්නවා....”

ධනුෂ්ක කඩිනමින් ඇවිදගෙන ගියේය. ඔහු හා සමව ගමන් කිරීමට නොහැකි අසරණ රාමන් ටික දුරක් දුවමින්ද, තවත් ටික දුරක් ඇවිදිමින්ද ගියේය.
“යේක නාකි මුනියා කෝම තමා යෙනවා කොල්ලාාාාාාාා වගේ....” තමන්ගේම දෙකකුල් දෙස බැලූ රාමන්, තමාටම කියා ගත්තේය.

කුමාරිහාමි සිටියේද නොඉවසිල්ලෙනි. ලිපිය සීඝ්‍රගාමී එකක් වීම නිසා ඇගේ කුතුහලයද ඉහවහා ගොසිනි.
“අනේ දළදා හාමුදුරුවනේ! මයෙ කොල්ලට කරදරයක් වෙන්ඩ නං ඉඩ දෙන්ඩ එපා!”

පුතුට ලැබුණු ලිපිය ගැන සැමියාට කිව යුතුද-නැතිද යන්න ඇයට වැටහුණේ....

“කාගෙන්ද මයෙ පුතා? යාළුවෙකුගෙන්ද...”

ලිපිය පුතු අතට දෙමින් කුමාරිහාමි ප්‍රශ්න වැලක්ම නැඟුවාය. ආපසු ලිපිනය කියවූ ධනුෂ්කගේ මුහුණ වෙනස් වී යනු කුමාරිහාමි පැහැදිලිවම දුටුවාය. හදිසියේ පපු පෙදෙසින් සියුම් වේදනාවක් මතු වූ නිසා ඈට ඒ ගැන අසන්නට ඉඩ නොලැබිණි. තම අපහසුව ගැන කිසිවක් නොකියූ කුමාරිහාමි අසලම වූ පුටුවක වාඩි වූවාය.

ලිපිය රැගත් ධනුෂ්ක කාමරයට වැදී දොර වසා ගත්තේය.

රාත්‍රී කෑම වෙලාව වෙන තුරුමවත් ඔහු එළියට ආවේ නැත. බියපත් වී සිටි කුමාරිහාමි සිටියේ දෙගිඩියාවකය. පුතුට ලැබුණු ලිපිය ගැන සැමියාට කිව යුතුද-නැතිද යන්න ඇයට වැටහුණේ නැත.

ඇයගේ සැනසුමට හේතු වූයේ රාත්‍රී කෑම මේසයට ධනුෂ්ක වේලාසනින්ම පැමිණීමය.

“අප්පච්චි, මං හෙට කොළඹ යනවා. ආයෙම එංගලන්තෙට යන්න ටිකට් එක බුක් කරගන්න ඕනේ....”

දන්තුරේ බණ්ඩාර පුතු දෙස බැලුවේ විස්මයෙනි. කුමාරිහාමි සතුටත් දුකත් අතර මැදි වී සිටියා, කිසිත් නොකීවාය.

මේසයටම නැඹුරු කරගෙන සිටි ධනුෂ්කගේ මුහුණ මව්පිය දෙදෙනාම නොදුටුවෝය; පැය කිහිපයකදී ඒ මුහුණ ඇදී ගොස්, නෙත් යට ගිළී- වැහැරී තිබුණු බව ඔවුහු නොදුටුවෝය.

********

මෙයා නිකං සී.අයි.ඩී. එකෙන් වගෙයිනෙ. හැම එකටම උත්තර බඳින්න ඕනේ....

“මේ මොකද මේ, මල්ලිව ඇදිල ගිහිල්ලා?”

එරන්දතී සොහොයුරාගේ වෙනස ගැන පුදුම වූවාය. “හැතැප්ම අනූවක් විතර එක දිගට එද්දී ලේසි නෑ නේද මල්ලී...” දමින්ද හේතුවක් ඉදිරිපත් කිරීම ධනුෂ්කට සහනයකි.

“පාන්දරින්මනේ ආවෙත්, අක්කා...”

“එහෙනං ඉතිං රාමන්ට ඊටත් වඩා අමාරු ඇතිනේ....”

“බලන්නකො දමින්ද අයියේ! මෙයා නිකං සී.අයි.ඩී. එකෙන් වගෙයිනෙ. හැම එකටම උත්තර බඳින්න ඕනේ.... කෝ, මිලින්දයා තාම නිදිද?”

“අපරාදේ! ඊයෙ රෑ මල්ලි අපට ටෙලිෆෝන් කරන්න පැය බාගයකට විතර ඉස්සෙල්ලා මිලින්ද ගියේ. යාළුවෙකුත් එක්ක කොහෙද යනවය කිව්වා.... හෙටයි එන්නෙ... මල්ලී එන බවක් දන්නවා නං මිනිහා කීයටවත් යන්නෙ නෑ.” දමින්ද කීවේය.

“ඒකට කමක් නෑ. ඔයා අද ගෙදර නැවතුණානෙ, මල්ලිට උදව් වෙන්න කියලා. ඒ මදියැ... නේද මල්ලී.... යං යං, මං තේ ලෑස්ති කරවලා තියෙන්නේ. මල්ලි වොෂ් එකක් දාගෙනම එනවද....?”

... අකරුණාවන්ත ස්වභාවය ගැන ධනුෂ්කට තරහය. “අප්පච්චි තව හොඳයි මෙයාට වඩා!”

“ඒක හොඳයි! එම්බසි එකටත් යන්න තියෙන නිසා මේවම ඇඳගෙන ගිහිල්ලත් බෑ. මං ඇඳුනුත් ගෙනාවා.... අන්න, අම්මත් මොනවද මන්දා දුන්න අක්කලාට.... මයෙ හිතේ හැලපද කොහෙද. සිළිඳු මැණිකා තමා රෑ තිස්සේ මැරෙන්න ඇත්තේ ඔව්වා හදන්නත්...”

“ඒකට මොකෝ? එයාලට වලව්වෙ ඉතිං එච්චර වැඩක් පලක් තියෙන එකක්යැ කරන්න. ඉඳල හිටලවත් මෙහෙම දෙයක් කරන එක හොඳයි, කන එව්වට ණය ගෙවෙන්නවත්...”

එරන්දතී සමඟ ඒ මාතෘකාව පිළිබඳව කතා කරන්නට ධනුෂ්ක කැමති නැත. කොතෙකුත් හොඳ ගති ඇතත් සොහොයුරිය මෙහෙකරුවන්ට සලකන අකරුණාවන්ත ස්වභාවය ගැන ධනුෂ්කට තරහය. “අප්පච්චි තව හොඳයි මෙයාට වඩා!”

තම හිතවතෙකු බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ සේවය කරන බැවින් ධනුෂ්කත් සමඟ එහි යාමට දමින්ද ඉදිරිපත් වූයේ ස්වේච්ඡාවෙනි. එබැවින් රාමන්ට නිවසෙහිම නැවතීමට සිදු විය.

“එහෙනම් රාමන්ට පුළුවනිනේ මාත් එක්ක යන්න.... ඔයා අපේ කාර් එකේනෙ යන්නේ මල්ලිත් එක්ක... මටත් පොඩි වැඩ වගයක් තියෙනවා!”

තේ මේසයේදී එරන්දතී  යෝජනා කළාය. විරුද්ධත්වයක් නොමැතිවම එයට අනුමැතියද ලැබිණි.

වැඩ ඉවර වෙනකොට රාමන්ව බාගෙට මැරිලා තියෙයි....

“පව් දුප්පතා! එරන්දතීගෙ පොඩි වැඩ ඉවර වෙනකොට රාමන්ව බාගෙට මැරිලා තියෙයි.... අක්කත් එක්ක එහෙ-මෙහෙ යන්න වුණාම නං පණ යනවා මල්ලී. තොරන් සේවෙ වගේ තමා.” දමින්ද රිය පාරට ගත්තේය.

ශිෂ්‍යයෙකු ලෙසින් අධ්‍යාපනය ලබමින් සිටියදී තාවකාලිකව ආපසු පැමිණ තිබුණු බැවින්, ධනුෂ්කට වීසා පිළිබඳ ප්‍රශ්නයක් මතු වුණේ නැත. ගුවන් යානයේ අසුනක් වෙන් කරවා ගැනීමට නම් සති දෙකක කාලයක් බලා සිටිය යුතු බව ට්‍රැවල් ඒජන්සියේ කළමනාකරු ඔවුනට දැන්වීය.

“මට හරිම ඉක්මනට එහෙ ඉන්න ඕනෑ.”

“හෙට ෆ්ලයිට් එකේ නං සීට් එකක් තියෙනවා. ඒත් ළඟ වැඩි ඇතිනේ, මිස්ටර් බණ්ඩාරට....” පරිගණක මඟින් දත්ත පරීක්ෂා කළ කළමනාකරු ආචාරශීලී සිනහවක් පෑවේය.

“මොකද මල්ලී කරන්නේ?”

“හැබැයි, ටිකක් ටච් එකේ ඉන්න. හදිසියේ හරි කවුරු හරි බුකින් එකක් කැන්සල් කළොත්...”

“නෑ. මම හෙට ෆ්ලයිට් එකේ යන්නම්!” කළමනාකරු නවතමින් කී ධනුෂ්ක මස්සිනා දෙසට හැරුණේය. “එච්චර ලැහැස්ති වෙන්න දෙයක් නැහැනෙ අයියේ...”

ධනුෂ්ක පසුවදාම පිටත් වීමට තීරණය කළ බව ඇසූ එරන්දතී පුදුම වූවාය. හදිසියේම පැමිණි ඔහු එසේම හදිසියෙන් පිටව යාම අමුතු දෙයකි! එහෙත් කොතෙකුත් උත්සාහ ගත්තත්, ඊට හේතුව ධනුෂ්කගෙන් අසා ගැනීමට ඇය සමත් වූයේ නැත.

ඔක්කොමලත් එක්ක ඩිනර් එකට එළියට යමු කියන්න....

“මං හිතා හිටියේ අද මල්ලිත් මෙහෙ ඉඳීවි කියලා... ඔක්කොමලත් එක්ක ඩිනර් එකට එළියට යමු කියන්න. හැමදාම අක්කලා උයන ඒවාම කාලා ඇතිවෙලා... ෂඃ! ඒ චාන්ස් එකත් මිස් වුණා, අපරාදෙ!!”

දමින්ද මුහුණ විරූපී කර ගත්තේය.

“අපොයි ඔව්! අපි උයන ඒවා තමයි නරක....”

එරන්දතීද තරහෙන් ගැස්සුවාය. ධනුෂ්කත් රැඟුමට සහභාගී වූයේ සිනාසෙමිනි.

“හොඳ වෙලාවට අපි අදම යන්නේ.... නැත්තං ඉතිං මට තමා සාම හමුදාව වගේ මැදින් ඉන්න වෙන්නේ.... නේද රාමන්?”

********

“පොරොන්දනුත් අපූරුවට ගැළපෙනවලු, මයෙ කොල්ලා පිංකාරයා!”

සිසිලියානා ගෙට ගොඩ වැදුණේ සතුට දෝරේ ගලා යවමිනි. “මං එමින් ගමන මුදලිහාමිගේ ගෙදරටත් ගොඩ වැදුණා. කුසුමාවතී කිව්වෙ... චන්දරාගෙත් ඉහේ මලක් පිපිල වගේලු! ... ඒකිටත් සන්තෝස නැතිය...”

මේකි... දැන් ගාණට වැඩියි!

කියවමින් සිටි පුවත්පත පහත් කොටගෙන මව දෙස බලා සිටි වික්‍රම නැඟණිය දෙස බැලුවේය. උළුවස්සට හේත්තු වී සිටි මාලතී නෙත් කරකවා, හිස නටවා, ඉඟි මැරුවාය!

පුවත්පත එතැනම බිම දැමූ වික්‍රම සොහොයුරිය අසලට පැන්නේය.

“උඹට මං.....”

“අපෙ අම්මේ.... මෙන්න අයියා මට ගහනවෝ......” මාලතී කෑ ගසමින් මිදුල දිගේ දිව ගියාය. වික්‍රමද නැවතුණේ නැත.
සොහොයුරිය අල්ලා ගත් ඔහු ඇගේ කණක් මිරිකාගෙන අතකින් ඇදගෙන ආවේය.

“මේකි... දැන් ගාණට වැඩියි!”

“ඕකි වැටෙයි මයෙ පුතේ! ළඟදී දොහකත් මේකිව දිය ඇල්ල ළඟ ලෙස්සලා වැටිලා තිබුණා.... කකුලකුත් ඇමැට්ටි වෙලා...”
සොහොයුරාගේ අවධානය මවගේ කතාවට යොමු වී තිබියදී මාලතී ග්‍රහණයෙන් මිදුණාය. රැකවරණය පතා තමා වෙතට දුවගෙන ආ දියණියව සිසිලියානා මුවා කර ගත්තේ ඇයට තරවටු කරමිනි. ඒ බොරුවටය!

“හොඳ වැඩේ උඹටත්... අයියට ඔච්චං කරන්ඩ යනවට..”

කොල්ලෙක් මේකි පස්සෙන් පන්නාන එන්ඩ ඇති අපෙ අම්මා, මේකි අම්මලට නොකිව්වට... 

“කවුරු හරි කොල්ලෙක් මේකි පස්සෙන් පන්නාන එන්ඩ ඇති අපෙ අම්මා, මේකි අම්මලට නොකිව්වට...”

“පිස්සුද මයෙ පුතේ? මේකි තාම පුංචි එකීනේ.....”

“හොඳ පුංචි එකී.... මාත් දැන් හිතලයි තියෙන්නෙ, කාව හරි හොයලා මාලතීවත් පිළිවෙලක් කරවන්ඩ....”

මව පුතු දෙසට සෙනෙහැති බැල්මක් හෙළුවාය.

“මට ඕනෙ නෑ අයියා.... දැන්ම කෝලං කරන්ඩ ඕනේ නෑ!”

“ඒවා එතකොට බලා ගනිමුකෝ.... මං ඉපදුණේ උඹට ඉස්සෙල්ලනේ නංගියේ.... ඉතිං උඹට බෑ මං කරන්ඩ ඕනි එව්වා කියා දෙන්න.... මෙතැන පැහෙන්ඩ හදනවා....” වික්‍රම සොහොයුරියව හොඳ හැටි මැඬෙව්වේය.....

8 comments:

  1. දැන්වත් යුවති කිරිල්ලී කතාවෙන් ටෙලියක් හදන්න කවුරුවත් උත්සාහ කරන්නේ නැද්ද?? පොතේ අයිතිය කාට හරි (මේ කියන සෝමපාල ලැනරෝල් මහත්තයාටද?) පවරා දුන්න බවකුත් කලින් කියැවුනා නේද?.

    ඔයාටත්, ඔයාගේ බ්ලොග් රසිකයන්ටත් සුබ නත්තලක් වේවා.! (අලුත් අවුරුද්දට කලින් තව බ්ලොග් පෝස්ට් එකක් හෝ දෙකක් දානවානේ, එතකොට අලුත් අවුරුද්දට සුබ පතන්නම්.

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි සෑම් මහත්තයෝ!
      නත්තල නම් හොඳයි. තියෙන කොරෝනා නීති-රීති නිසා බයෙන්-බයෙන් අපි දෙල්තොට Wind Loft එකට ගියා.... ඉතාම සොඳුරු තෙදිනක් ගත කරලා ඊයේ රෑ තමයි ආවේ.

      දුකත් හිතුණා අපට ලැබුණු වාසනාව අහිමි කීදාහක් ඉන්නවද කියලා.

      තව පොස්ට් එකක් කොටන්න කලිනුයි මේ උත්තර දීගෙන යන්නේ.

      Delete
  2. අතර මගින් කතා
    නතර කරන සතා
    කතර මැදදි ඉතා
    මීරිිගුව වැනි වෙතා

    ටෙලියට මක් වුනේ
    දැනගන්නට අනේ
    තව සතියක් දෙකක් විතර
    ඉන්නට සිදු වුනේ

    ReplyDelete
    Replies
    1. අතරමඟීන් කතා
      නතර කරන සතා
      කිව්වට මක් වෙතා
      ඔහෙත් එහෙම සතා!

      පටන් ගන්න ටෙලි
      හුඟක් මැරෙයි ගිලී
      එයට නොගහ පළි
      කියවන්නකො යළී

      Delete
  3. ඔය සෝමපාල ලැනරෝල් මහත්තයගෙ මී මුත්තා ගැන මගෙ අවසානයක් නැති කතාවෙ මුල හරියෙ සඳහන් වෙනව...

    ReplyDelete
    Replies
    1. එහෙම කියනකොට තමයි ඩ්රැකී වැඩේ අහුවෙන්නේ.... මේ කතාව අවුරුදු කීයක් තිස්සේද ලියවෙන්නේ.....

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්