li Item

Tuesday, January 24, 2023

ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස

ට්‍රීන් ට්‍රීන් ට්‍රීන් ට්‍රීන්...

Call එකක්. නෙවිල්ගෙන්. “අද දවසම ඔයා ගෙදර ඉන්නව නේද? ගවීන් එයි...”. ගවීන් අපට ක්ෂණික ට්‍රීට් එකක් දෙන්නලු හදන්නේ. සතුටයි දුකයි දෙකෙන්ම හිත පිරිලා තියෙන වෙලාවක...
ගවීන්ට නං වැඩියෙන්ම දැනෙනවා ඇත්තේ දුක වෙන්නැති...

කිව්වා වගේම කෙරුණේය. ගවීන් ආවේය- ආවා නෙවෙයි මර්වින් එයාව කැටුව ආවේය.

ඔයාලා තුන් දෙනාම එංගලන්තෙට ගියාම... (ගවීන්, ජනනි හා දරු පැටියා)

දුකයි මචං! / ඒත් බං මේ කාලකන්නි මහ එවුන් ඉන්නකල් මේ රටේ ඉඳල වගතුවක් වෙන්නෑනෙ. /ඔයාලා තුන් දෙනාම එංගලන්තෙට ගියාම ස්වර්ණතිලකයි රානියි? / ජනනිගේ අම්මටයි තාත්තටයි විතරක් නෙවෙයි නිමල් අංකල්, අපේ අම්මටත් මම ගියාම හෙණ ප්‍රශ්නයක්. / ගවීන්ට මේ සැරේ පාද යාත්‍රා ගමන miss වෙනවා. /
බය වෙන්ඩ එපා මචං. අපි යනකොට- කන බොනකොට එහෙම foto ගහල උඹටත් එවන්නං! /තවත් දුක හිතවන්න එපා තමීර.

ගවීන් හිටියේ ජනනිලගේ ගෙදර බින්න බැහැලාය.
ජනනිගේ එකම නංගි රුසිරුව, සම්පත් එයාලගේ ගෙදරට කැන්දන් ගිහින්ය. ඒ ගෙදරත් වෙන කවුරුන්වත් නැති නිසා, ඔවුන්ට ඒ ගෙදරින් එන්නත් බැරිය. ජනනිගේ දෙමවුපියන් දැන් තනිවමය!

එකේක විදිහට රට හැර යන හිතවතුන්ගේ නම් ලැයිස්තුව තවත් දිග එකකි. මා දන්නා උගත් තරුණයන් තිදෙනෙක්ම මේ සති දෙක තුළ පිටරට ගියහ. මේ රට හැර යන්නට සුදුසුකම් සපුරා ගනිමින් ඉන්නවුන්ගේ නම් ලැයිස්තුව ඊට වඩා ගොඩක් දිගය.
“මානෙල්, රෝසිත් රට ගියොත් තමුසෙලා දෙන්නත් ලංකාවේ තනි වෙනවනෙ...” රෝසිත් සුදුසුකම් සපුරා ගනිමින් සිටින විත්තිය දැනගත්තාමය මං එහෙම ඇහුවේ.

“මොනා කරන්නද ලොකා. එයාලගේ දියුණුව ගැන හිතන්න එපැයි!”

මානෙල් නංගි එහෙම හිතද්දී අයස්මන්ත මහත්තයා හිතන්නේ වෙනත්ම විදිහකටය.
“මම අපේ කෙල්ලෝ තුන් දෙනාටම කියල තියෙන්නේ ඉගෙනගෙන පුළුවන් විදිහකට පිට රටකට පලයල්ල කියලයි. කොච්චර ඉගෙන ගත්තත් මේ රටේ උගත්කමට තැනක් තියෙනවද? මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න වාතාවරණයක් තියෙනවද... වැඩිහිටියෝ තනි වෙනවයි කියල ඒ ළමයින්ගේ අනාගතේ බිල්ලට දෙන්න බැහැනෙ.”

ශ්‍රී ලංකාව තරුණ තරුණියගෙන් වියුක්ත, මහල්ලන් හා මැහැල්ලන් පමණක් ඉතිරි වෙන මහලු මඩමක් වීගෙන යයි...

‘පතිරූප දේශයක්’ නොවෙන බැවින් ශ්‍රී ලංකාව තරුණ තරුණියගෙන් වියුක්ත රටක් වීගෙන යයි; මහල්ලන් හා මැහැල්ලන් පමණක් ඉතිරි වෙන මහලු මඩමක් වීගෙන යයි...

අන්තිමට සිරි ලංකාවේ ඉතිරි වෙන්නේ මොකුත්ම කර-කියා ගන්නට බැරි පරම්පරාවක්ද? නැතිනම් දුර නොබලන- දුර නොපෙනෙන; නොසිතන පරම්පරාවක්ද?

‘සිතුවිලි රළබිඳුම’ blog අඩවියේ ‘Litseeker’ මේ posts මාලාවේ දෙවැන්නට මෙවන් comment එකක් එවා තිබිණි.

‘සවන්දීම හා සානුකම්පිත වීම හරිම වැදගත්. මට මතකයි මං ගුරුවරයෙකු ලෙස සේවය කළ පළමු පාසැලේ පහ ශ්‍රේණියේ ළමයෙක් සියදිවි හානි කරගත්තා. පසුව දැනගන්නට ලැබුනේ පංතියේ ප්‍රථම ස්ථානය සඳහා තවත් ළමයෙක් සමග ඇතිවුන ගැටුමක ප්‍රතිඵලයක් කියලා.’

සිය දිවි හානි කර ගැනීම ශ්‍රී ලකාවේ ප්‍රශ්නවලට විසඳුමක් වෙමින් තිබෙන්නේද?
ලොකු අම්මාට සදය සිනහවක් පහළ වෙන්නේ මෙන්න මෙතැනදීය. ඇය සිනහ වෙන්නේ තමන්ටමය. හුඟ දෙනෙකු සිනා වෙන්නේ අනුන්ටය. ලොකු අම්මා; නිදි වැඩියෙන්ම සිනා වෙන්නේ එයාටමය. අද මෙතැනදී එහෙම හිනා වෙන්නේ එයාගේ සුපිරි මරි මෝඩකමක් මතක් වුණු බැවිනි.
ජීවිතයේ එකම එක වතාවක් පමණක්- ඔව්, එකම එක වතාවක් පමණක් නිමල් දිසානායකටත් ජීවිතය එපා වී තිබේ. ඒ ගැන මීට
අවුරුදු හතරකට පෙර ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන දයාබර ඔබට මා කෙටියෙන් කියූ බවත් මට මතකය.

එදා මට හිතුණේ ලෝකේ ඉන්න ලොකුම අවාසනාවන්තයා මං කියලයි; පරාජිතයා මං කියලයි. මොකටද ජීවත් වෙන්නේ? මට හිතුණු බව තවම මතකයි. එවෙලේ මම හිටියේ මහවැලි ගඟ අසබඩ. සීතල වතුර කඳ නිසොල්මනේ ගලාගෙන ගියේ ‘එනවා නං එන්න’ කියාගෙන; මාව ඒ ජලකඳට පිළිගන්න බලාගෙන.
ඒත් ඒ මොහොතේ මට මතක් වුණේ අපේ ගෙදර අය...

තව මාස හයක්වත් ජීවත් වෙන්නට බැරි වෙන මට්ටමේ හිටිය අපේ තාත්තා ගෙල වැල ලාගෙන සියදිවි නසා ගත්තෙ පමුණුවටම දැනෙන විදිහටයි. ‘කකුල් දෙකම කපල තියෙන කෙනෙක් කොහොමද බෙල්ලේ වැල දාගන්නේ. මරල එල්ලල වෙන්ඩ ඇති!’ මිනිස්සු කිව්වේ කිසිම දෙයක් නොදැන; අපේ තාත්තාගේ උපායශීලී බව නොදැන. හොඳ වෙලාවට මරණ පරීක්ෂණයෙන් හෙළිදරව් වුණේ තාත්තා සියදිවි නසාගත් විත්තිය.

ඊට අවුරුදු හය-හතකට පස්සේ ලොකු නංගී වස බීල ජීවිතේ නැති කර ගත්තේත් ඒ වගේම කටකතා වැස්සක් පමුණුවට වස්සවමින්. අවිවාහක තරුණ කෙල්ලක් හිටි ගමන් වහ බිව්වම ඒ වගේ කටකතා හැදෙනවා නේන්නං.

හැදිච්ච කටකතා ගමටම ආයෙත් මතක්  කරවන්නද?

‘ඒවා මතක නැතිව වගේ, ඉතිං උඹත් හදන්නේ තවත් කටකතා ගොන්නක් හදවන්නද? හැදිච්ච කටකතා ගමටම ආයෙත් මතක්  කරවන්නද?

ටිකක් හිතපං නිමල්... එකම පවුලේ තාත්තයි, ලොකු දුවයි, ලොකු පුතයි තුන් දෙනාම සියදිවි හානි කරගත්තය කියල නේද කතාව පැතිරෙන්නේ. එතකොට නංගිල මල්ලිලටත් මොන තරං ලජ්ජාවක්ද වෙන්නේ. උන්ටත් මැරෙන්නද උඹ කියන්නේ...’ ඒ වෙලාවේ මට කල්පනා වුණේ ඒ ගැනමය.
මගේ මරණය මට විතරක් නොවේ බලපාන්නේ.

මැරුණත් මැරෙන්නට වෙන්නේ අපේ හිතාදරයන්ට- සමීපතමයන්ට ප්‍රශ්නයක් නොවෙන විදිහටය! හැබෑ ආදරය කියන්නේ ඒකට නේද?
ඒ සිතිවිල්ල නිසා, නිදි මහවැලි නදියට නොපැන්නේය; නිදිගෙ ජීවිතය බේරුණේ ඒකෙන්ය.

අතිශය ලජ්ජාවෙන් වුවද මේ ටිකත් කිව යුතුමය. එදා මගේ ළතැවිල්ල කොතරම් බොළඳ එකක්දැයි වැටහුණේ මාස කීපයක් යන්නටත් කලින්මය. එහෙම ප්‍රශ්නෙකුත් තිබුණා යැයි දැන් නම් මට මතක් වෙන්නෙවත් නැති තරම්ය.     

"... අද ඔයා විඳවන ප්‍රශ්න තාවකාලිකයි. සමහර ප්‍රශ්න විසඳෙන්න අවුරුදු ගණන් යනව, සමහර ඒව විසඳෙන්නෙ නෑ, ඒවා ඔක්කොම ඔයාව ශක්තිමත් කරනව. අදට වෙනකන් ඔයා ලොකු ලොකු ප්‍රශ්න පහුකරන් ආවා වගේම මේකත් පහු කරනවා... අනිවාර්යයෙන් ඔයා ප්‍රශ්න එක්ක සටන් කරොත් ශක්තිමත් වෙලා දවසක දිනනවා!! ඔයා ගැනම සතුටු වෙයි එදාට ❤❤ "  ****

එහෙම උදානයක් දකින එකත් මට නං ලොකු උත්තේජනයක්. සතුටක්.
දඟකාර පුංචි දෝණිට සතිපතාම ලියුමක් ලියපු ලොකු අම්මත් ඒ සතුට නොඅඩුව වින්දා- ලැබුවා, ප්‍රශ්නවලින් ජය ගත්තු දූල-පුතාල ඒවා කියමින් ලියුම් එව්වාම.

ඉන්නකෝ චුට්ටක්. මේ දැන් ඔයාලා කියාපු උදානය ‘ගෙඩිය පිටින්ම’ ඔයාලටත් කියවන්න දෙන්නයි හදන්නේ.
මං ඒක දැක්කේ
සඳරුවන් තිලකරත්න පුතාගේ fb එකේ තියෙද්දී.

මම වැඩ කරපු ජරාම  තැනක්, නැවතිල හිටියෙ මේකේ BASEMENT එකේ, වැඩ කරේ උඩ LAUNDRY එකේ..,

‘අවුරුදු 12 කට කලින් මගේ මිනිය හම්බ වෙන්න තිබ්බ තැන මෙතන!! 😥😥. (කැමතිනම් කියවන්න) මම වැඩ කරපු ජරාම  තැනක්, නැවතිල හිටියෙ මේකේ BASEMENT එකේ, වැඩ කරේ උඩ LAUNDRY එකේ.., අයිතිකාරයො 2, උන්ගෙ ගෑනු 2යි මාව නොමරා මරල වැඩ ගත්ත Agreement එකක් නිසා... වෙන තැනක වැඩට යන්න බැරි විදියටත්, මට ලංකාවට යන්නත් බැරි වෙන විදියටත් මගේ පඩි සල්ලිත් passport එකත් හිරකරන් හිටියෙ. තව ප්‍රශ්න ගොඩාක් වුනා... මානසිකව සහ ශාරීරිකව මම හොඳටම දුර්වල වෙලා ලෙඩ වෙලා හිටියේ... ඒ වෙලාවේ මගේ තත්වෙ දන්නෙ මම විතරයි...

මම රටටත් අලුත් නිසා අසරණකමට Suicide කරගන්න තත්වෙටම ආවා, අවශ්‍ය දේවල් අතේ තියෙද්දි  මගේ පවුලෙ අයව මතක් වෙලා මම ඒක නැවැත්තුවා... තප්පර ගානක් එහා මෙහා වුනානන් අද මෙහෙම කතාවක් නෑ...

මම හිතුවා කොහොම හරි මගේ  අසරණකම නැති කරගන්නව කියල. මම UK සිවිල් නීතිය සහ තව ගොඩක් දේවල් ඉගෙනගත්තා. අයිතිකාරයො එක්ක රංඩු කරන්න ගත්තා, උන්ගේ නීතිවිරෝදී වැඩ හෙළි කරනව කිව්වා... සාක්ෂි එකතු කරගත්තා. මගෙන් නීති විරෝදී ලෙස වැඩ ගත්තා කියල Complain කරනව කියල අයිතිකාරයන්ට තර්ජණය කරල මගේ පඩි සල්ලිත් අරන් යන තරමට ශක්තිමත් වුනා...

මාව හිරකාරයෙක් වගේ තියාගන්න හදපු මෙතන තිබ්බ මිල අධික Washing machines ඔක්කොම විනාස කරා යද්දි 🤣🤣. (ඒක කරේ ඒ මිනිස්සු තව කෙනෙක්ට මට වගේ වද දෙන්න කලින් ආයෙ දහස් වාරයක් හිතන්න සලස්වන්න).

මම අයින් වුනාට පස්සෙ අයිතිකාරයන්ව නීතියට අහු වෙලා දඩ ගෙවල, උන් උන් රංඩු වෙලා නඩු කියාගෙන... Business එක විකුනන්න වෙලා, අයිතිකාරයන්ගෙ ගෙවල් පවා නැති වෙලා... පාඩු පියවන්න ගිහින්. 🤔🤔🤔... අද මේ business එක අයිති වෙන කෙනෙක්ට.

මේ අත්දැකීමෙන් පස්සෙ කිසිම මනුස්සයෙක් විශ්වාස කරේ නෑ... කාටවත් මාව අන්දන්න බෑ... හැමෝටම නිහතමානීව කතා කරාට, ගරු කරාට කාටවත් බයත් නෑ... හැමෝම කවුද කියල දැනගෙන ආශ්‍රය කරන්නෙ. ජීවිතේ අතහරින්නෙත් නෑ... කාටවත් ඕන විදියට ජීවත් වෙන්නෙත් නෑ...

මීටත් වඩා දරුණු ප්‍රශ්න මැද...

මාව පල්ලෙහාට දාපු උන්ට වඩා සෑහෙන්න උඩට ආරක්ෂාකාරීව නැග්ග 😉😉.

මම අද මෙතනට ගියේ මට එදා තිබ්බ මූසල හැඟීම ආයෙත් එයිද බලන්න. නෑ...
මට අද සතුටුයි අවුරුදු 12කට පස්සෙ මෙතනට එන්න මම ජීවත් වුන එක ගැන.
🙂🙂🙂 මම අද සෑහෙන්න දේවල් ජීවිතේ දිනල තියෙනව. අද මම ගෙවන ජීවිතේ එදා මට Dream එකක් වෙලා තිබ්බ ජීවිතේටත් වැඩිය හොඳ එකක්. (අවුරුදු ගානක් ගියා මේ තත්වෙට එන්න).

එදා මම ලංකාවෙ IT කරල UK වලට ඇවිත් ඉගෙනගන්න ගමන් අනුන්ගෙ ඇඳුම් හෝදපු එකෙක්. අද UK Degree 2ක් තියෙන 3 වෙනි එකත් කරන ගමන් ඉන්න UK Professional Qualifications ගොඩක් ‍තියෙන Skilled  Specialist Engineer කෙනෙක්.

මේ හැමදේමත් කරගත්තෙ ප්‍රශ්න ගොඩාක් මැද, දියුණු වෙන්න අමාරු රටක ඉඳන්. මීටත් වඩා දරුණු ප්‍රශ්න මැද. අලුත් ප්‍රශ්නත් එක දිගට එනව, නවතින්නෙ නෑ... මට මේ දේවල් කියන්න ලැජ්ජාවක් නෑ... බොරු මාන්නය, සෝබනය නෑ.  ලැජ්ජ වෙන දේවල් මම කරල නෑ... තමුන් විඳපු දුක ගැන කාටවත් කියන්න ලැජ්ජ නම් තමුන් ලෝකෙන් Reject වෙයි කියල හිතන භය, දුර්වල චරිතයක්.👎

මම මේක දැම්මෙ ලොකුකමකටවත් අනුකම්පාව ගන්නවත් නෙමෙයි. මට ඒ කිසි දෙයක් වැඩක් නෑ. මට ඕන වුනේ ප්‍රශ්නවලින් ඉන්න හැමෝටම කියන්න!!’
(මරණාසන්න රෝගීන් ඉන්නවා
, ඔයාටත් වඩා ප්‍රශ්න තියෙන ජීවිතයක් හරි කමක් නෑ ඒගොල්ලොන්ට දෙන්න කියල දෙවියන්ගෙන් ඉල්ලන්න...😥😥😥 ) ඒක නිසා ජීවිතේ අතාරින්නෙපා!! 🙏🙏🙏

තව දෙයක්,
අනේ ඇයි මට විතරක් මෙහෙම ප්‍රශ්න කියල හිතන්නෙපා! ලෝකෙ බලවත්ම මිනිස්සුන්ටත් ප්‍රශ්න තියෙනව ඔයා නොදන්න...

කාටවත් ඊරිසියා කරන්න එපා, හානිය ඔයාගෙ මනසට විතරයි වෙන්නෙ!
මිනිස්සුන්ට ලොකුකම් පෙන්නන්න එපා! දවසක පොඩි මිනිස්සු අතින් සමච්චල් වෙයි.

නරක කරල හොඳ බලාපොරොත්තු වෙන්න එපා!

කාවවත් පහතට අදින්න එපා, ඔයාව පහතට වැටෙයි.
නරක කරල හොඳ බලාපොරොත්තු වෙන්න එපා!

"හොඳ" වපුරන්න, අස්වැන්නත් "හොඳ"ම වෙයි.. "
ජය වේවා!

- සඳරුවන් තිලකරත්න’

සඳරුවන් පුතේ, ඔන්න ඔහොම තමයි ඉන්න ඕනි. ප්‍රශ්නයක් මතු වුණාම එඩිතරව ඒකට මුහුණ දෙන්න ඕනි.
‘දඟකාරී..’ විශේෂාංගයට තවමත් ලියනවා නං ලොකු අම්මා එහෙම ලියාවි, අනිවාර්යයෙන්ම. ඒ වගේ ධනාත්මක සජීවී උදාහරණවලටයි වැඩි-වැඩියෙන් ප්‍රචාරය දිය යුත්තේ. පරාජිත කතන්දරවලට නෙවෙයි.

සමහරුන් කරනව වගේ ප්‍රශ්නයකට බයේ පැනල ගියාම හරි යනවද- ඒ ප්‍රශ්නෙට උත්තර ලැබෙනවද? නැහැනේ. මොන අවාසනාවක්ද මන්දා. දැන් ලංකාවේ ඉන්න ගොඩාරියක් ගැටවර-ගැටවරියන් හිතන විදිහ කොයිතරම් පටුද?

ජනවාරි 19 වෙනිදා උදේ දැකපු ප්‍රවෘත්තියකින් කියැවුණේ- මාතලේ, ආඳාවල පාලු නිවසක එල්ලෙමින් තිබියදී හොයා ගත්තු මළ සිරුරු දෙකක් ගැන. එකක් අවුරුදු 17ක් වයස ගැටවර ප්‍රේමවන්තයාගේ. අනෙක අවුරුදු 14ක පෙම්වතියගේ.  ඒ දෙන්නගෙ ප්‍රේම සම්බන්ධයට ගෙවල්වලින් විරුද්ධ වුණාලු!

තමන්ව ප්‍රතික්ෂේප කළ පෙම්වතියව ඝාතනය කරපු විශ්ව විද්‍යාලයීය සිසුවෙකු ගැන පුවතත් තවම උණුසුම් එකක්!
මෙයාල
ආදරය තේරුම් ගත්තු අයද?
ආදරයට නිර්වචන ගොඩයි; අටුවා ටීකා ගොඩයි; තව ඉස්සරහට ඒ ගොඩ තවත් ලොකු වේවි!

ඒ එක්කම යොවුන් හිත්වල ආදරය උපදින්නත් පුළුවන්. ඒත්...

යව්වන වයස එළැඹෙද්දීම ගැහැනු-පිරිමි සිරුරුවල ඊස්ට්‍රජන්- ප්‍රොජෙස්ටජන්- ටෙස්ටස්ටරෝන් වගේ හෝර්මෝන නිපදවීම ඇරඹෙන බව කවුරුනුත් දන්නවා. ඒ හෝමෝනවල බලපෑම නිසා ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වීම පටන් ගන්න බවත් දැන් පරපුර දන්නවා. ඒ එක්කම යොවුන් හිත්වල ආදරය උපදින්නත් පුළුවන්. ඒත් ගොඩාරියක් වැඩිහිටියන් දකින්නේ ඒක බරපතල වැරද්දක් විදිහටයි.

මට හොඳටම මතකයි, මගෙ ඥාති දියණියකගේ පාසල් ප්‍රේමය දැනගත්තු ගමන් අම්මෙක් කුලප්පු වුණු තරම. දන්නවද? ඒ අම්මාත් පාසල් වියේදීම දඩබ්බර පෙම්වතියක් වුණු කෙනෙක්; පස්සේ යෝජිත විවාහයකට එළඹුණු කෙනෙක්. ඒ අම්මට මතක් වුණේ නෑ ‘මාත් ඉස්කෝලේ යද්දී මෙහෙම කළා නේද’ කියන කාරණාව. ‘දුවගේ වයසේ  හිටිද්දී මං හැසිරුණෙත් මෙහෙමම නේද’ කියන කාරණාව.
කොහොමෙන් හරි අපට ඉස්සෙල්ලාම calm down කරවන්නට; සංසිඳුවන්නට වුණේ පරල වෙලා හිටි ඒ අම්මාවයි.

ඒකේ ප්‍රතිපල පෙනෙන්නේ දැන්.
අර දියණියගේ පාසල් ප්‍රේමය දිගටම පැවතුණා. නීති-රීති යටතේ; සොයා බැලීම් යටතේ. දැන් ඒ දෙන්නා එක්දරු මාපියන්. මං දන්නා තරමට ඉතා සතුටින් ඉන්න පවුලක්.

එයාලට හරි ගියාට හැම යොවුන් පෙමක්ම සාර්ථක වෙන්නෙ නැහැනෙ.
‘ගස්සලා යවමුද 4’ post එකේදී මම කිව්වා ජෝඩු දෙකක් ගැන. එකක් a ගැන. ඒ දෙන්නා ගොඩක් දුර ගිහිං හිටියේ.
"නිමල්, අපට දැන්මම බඳින්න බෑ. ඒකට තව කල් ඕනේ නිසා අපි බබාව නැති කරන්නයි යන්නේ. මගේ ළඟ සත පහක් නෑ. ඔයාගෙන් සල්ලි ඉල්ලාගන්නයි මං අද ආවෙත්." එයා කීවා.

මම කර අරින්න හිතුවේ නෑ, සල්ලි දුන්නා. ඊට මාස ගණනකට පස්සේ එයාලා කසාද බැන්දා. එක සාක්කිකාරයෙකුට අත්සන් කළෙත් මං. දැන් එයාලට කරදඬු ලොකු වුණු දරුවොත් ඉන්නවා.

හැබැයි වරින්වර මට හිතෙනවා 'සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට' මාත් හවුල් කියලා. ඒ ගැන පසුතැවිල්ලක් නම් නෑ. 

ඒකෙන් මං කියන්නේ නැහැ එහෙම 'නූපන් බිළිඳුන් නසා දැමීම' හොඳ දෙයක් කියලා. ඒත් මොකද කරන්නේ, වෙන විකල්පයක් නැත්තම්? කියලයි එදා මං ලිව්වේ.

තවත් ජෝඩුවක් ගැනත් ඒ post එකේදිම ලියවුණා.

මගේ ළඟම ඥාති සහෝදරයෙක් කරදර මූණකුත් එක්ක මාව හොයාගෙන ආවා. "හරිම ප්‍රශ්නයක් අයියේ.... අපේ ලොකු පුතා ගෑනු ළමයෙක් එක්ක යාළු වෙලයි ඉන්නේ. ඒ ගොල්ලන්ගේ ගෙදර අයත් මේ සම්බන්දෙ දන්නවා. අවුරුද්දකින් දෙකකින් විතර දෙන්නා බඳිනවාලු.

තීරණය ඔයාලමයි ගන්න ඕනේ. හැබැයි මොනවා තීරණය කළත්...

-ඒත් දැන් ගෑනු ළමයා ප්‍රෙග්නන්ට්. පුතාලා හදන්නේ දරුවාව නැති කරන්න.

අයියා දන්නවනේ අපේ එක්කෙනාගේ හැටි. උපාසිකාවනේ... එහෙම තියෙද්දිත් ඒ අම්මංඩි මේකට කැමතියි, නැත්තං ලජ්ජාවේ බැරිවෙයිලු. මගේ හිතට නම් හරි මදි එහෙම කරන එක. පාපයක්නේ, ඒකයි ප්‍රශ්නේ." මිනිහා මට කිව්වා.

එයාගෙ කතාවෙන්ම මට තේරුණා මං මොන උත්තරය දුන්නත් එයාලා 'ඒ කරුමෙට' කර ගහන්නයි යන්නේ කියලා. මාව හම්බ වෙන්න ඇවිත් තියෙන්නේ එක විදියක පාපෝච්චාරණයකට.

"තීරණය ඔයාලමයි ගන්න ඕනේ. හැබැයි මොනවා තීරණය කළත් පහු කරන්න එපා. ඕනේ මංගල්ලයක් කියලා කසාද බඳිනවා නම් ඒක කරවපල්ලා ඉක්මනින්ම. එහෙම නැතිව බබාව නැති කරනවා නම් ඒකත් දඩ-බඩ ගාලා කරන්න වෙයි. පහුවෙන තරමට ගෑනු දරුවා අන්තරාවේ!"

ඉස්සෙල්ලාම කිරිකැටියා ගස්සලා යවපු එයාලගේ කසාදෙ එක සාක්කිකාරයෙක් වුණෙත් මං.......

ඒ සිද්ධියට අදාළ කිරිකැටියාත් නොදුටු මව්පියන්ට සාප කරමින් එලොව යන්න ඇති.’

හැබැයි, ඒ තරුණ ජෝඩුව කසාද බැඳලා දැන් සිඟිති දරුවෙකු හුරතල් කරනවා. හරිම ආදරෙයි දරුවට. මැණිකක් වගෙයි දරු සිඟිත්තාව රකින්නේ. මං එයාලට සමීප නම් අහගන්න තිබ්බා නූපන් දරුවා ගැන එයාලා දැන් මොනවද හිතන්නේ කියලා.’  මගෙ අතින් එහෙම ලියැවුණේ 2018.

2022 වෙද්දී ඒ දෙන්නා ඉතාමත් ඉසුරුමත්. දරුවන් දෙන්නෙකුගෙ මව්පියන්.
හැබැයි, මාස කීපෙකට කලින් දෙන්න දික්කසාද වුණා!

‘එහෙම වෙන්නේ ‘ආදරය’ හරිහැටි වටහා නොගැනීම නිසාවත්ද’ කියලයි ලොකු අම්මා කල්පනා කරන්නේ. නිදි තවමත් කල්පනා කරමින් ඉන්නෙත් ඒ ගැන...

30 comments:

  1. මගේ අදහසකටත් ඉඩ දුන්නට ස්තූතියි. මට හිතෙන්නේ උදව් අවශ්‍ය කෙනා හොයාගෙන යන, ලඟට එනකං ඉන්නැති සංවිධානාත්මක උපදේශන සේවාවක් අවශ්‍යයි කියලා. එමෙන්ම වඩාත්ම වැදගත් දේ තමන් එකඟ නොවන අන් අයගේ මත ද්වේශයෙන් තොරව ඉවසීමේ ගුණය අධ්‍යාපනය හරහා කුඩාකල සිටම ලබාදිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. අන් මත ගරු කිරීමත්, ඉවසීමත් පුරුදුයි නං ඉබේම වගේ ඉවසීමටත් පුරුදු වෙනවා නේද, Litseeker ?

      Delete
    2. අන් අදහස් හා එකඟ නොවන සමහර අය දාන ‍කමෙන්ටිස් බලනකොටනං අන් මත ගරුකිරීම කොහෙද කියලා හිතෙනවා.

      Delete
    3. අන්මත් ගරු කිරීම කියන්නෙ ඇත්තටම හැමෝටම අදහස් යෝජනා තියෙනවා.. ඒවා කියන්න ඉඩ දෙන්න ඕනි කියන එකද🤔

      Delete
  2. මගේ පලමු රැකියාවේ පලමු නැවේ ලැබුනේම කටුක අත්දැකීම්. මේ ගැන කොළොම්පුරේ බ්ලොග් අඩවියේ ලියවුනා. බැජ් එකේ ගොඩාක් උන් රැකියාව දමලා ගියත් එන දේවල් වලට මුහුණදීගෙන කාගෙන හිටියා. දැන් කාලේවගේ දුරකථන ඇමතුමක් දීලා හිතේ දුක කියන්න වත් ලියුමක් ලියලා අරින්නවත් ක්‍රමයක් තිබුනේ නෑ.
    හිත හයිය කරගත්තොත් අපිව වට්ටන්න බෑ.. වෙලාවකට හිතෙනවා අපේ දරුවන් මේවාගේ කට්ටක් කන්න හිත් හයිය තියෙයිද කියලා..

    ReplyDelete
    Replies
    1. සමාජය එන්න එන්නම සැප පහසුකම් වැඩි වෙනකොට දුක්, ප්‍රශ්න වලට මුහුන දෙන්න තියෙන හැකියාව අඩු වෙනවා🤔🤔🤔

      Delete
    2. ඔයා හරි නවීන්.
      පොඩි කාලේ හිටංම බැරි අමාරුකම්/ ප්‍රශ්න/ වගේ දේවල් ළමයින්ට දැනෙන්න අරින්න ඕනි. මල් යහනාවලම ළමයින්ව සතවපුවාම කොහොමද එයාල කට්ට කන්න පුරුදු වෙන්නේ, එහෙම නේද අසංග?

      Delete
  3. ගොඩක් පොඩි උං දැන් පොඩි ප්‍රශ්න වලටත් ජීවිතේට සමුදෙන්න පටං අරන්. මට හිතෙන්නෙ පොඩි කාලෙ ඉඳලම පොතේ අලෝගන ඉඳලම උංට සමාජෙ ජීවත් වෙන්නෙ කොහොමද කියන එක ගැන අත්දැකීමක් නැති කම කියලයි. මේකට ඒ ළමයින්ගෙ දෙමව්පියොත් බොහෝ දුරට වග කියන්න ඕන.
    ඇත්තම කිව්වොත් මටත් තියෙන්නෙ ඔය තත්වෙ තමයි. නමුත් මීට කාලෙකට කලින් අන්තිම බින්දුවට වැටිලත් ‘යම් හේතුවක් නිසා‘ අදටත් කාගෙන ඉන්න පුලුවත් කමක් ලැබිල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ටිකක් ධනාත්මක උත්තරයක්..

      මේ ඔක්කොම පාසලෙන් අධ්‍යාපනයයෙන් උගන්න ඕනි කියන එකට වඩා...

      දෙමව්පියන්ට එහෙම කරන්න උනේ ඇයි. එහෙම නැත්නම් මේ සමාජ ක්‍රමේ ඇතුලෙ ලමයි ඉහල තැනකට යවන්න බෑ කියලා හිතනවා.. තමන්ට නොලැබුනු අධ්‍යාපනේ දෙන්න හදනවා.. පොඩි දුකක්වත් නොදී මල් වගේ ළමයි හදනවා...


      ඔය වයසට තවම තාර්කික මොලේ වැඩිලත් නෑ..

      මේ මොලේ වැඩිච්ච උදවියත් ළමයිටම බැන බැන ඉන්නවා...


      රටේ තත්වෙ එහෙමයි...

      ප්‍රශ්නය ගැන කොච්චර කතා කරත් වැඩක් නෑ හරි හේතුව වත් හොයන්නෙ නැතුව.. අඳුරෙ අතපත ගගා..........

      Delete
    2. ප්‍රශ්නයකට උත්තර හොයන්න ප්‍රශ්නයක් තියෙන විත්තියවත් දැනගෙන ඉන්න ඕනිනේ. අපේ රටේ ගොඩක් දෙමව්පියන්/ බලධරයන් එහෙම නැහැනේ.

      Delete
    3. ඒක හරි. එකඟයි.
      අපි ටික හරි හේතුව ගැනත් හරියට කතා කරමුකො🤓🤓🤗🤗

      Delete
  4. සිඟිති ප්‍රස්න වලටත් අද අයගෙ උත්තරය... සියදිවි නහගැනීම. අධ්‍යාපනේ කොළපුරවන තැනක තියෙන නිසා ... ළමයි මේවාට මුහුණදෙන හැටි ගැන දැනුවත්වීමක් පාසල් වලින්වත් වෙන්නෙ නෑ.

    ඒ අස්සෙ බුද්ධිමත් තරුණ පෙළ රට යද්දී, පෙරිල ඉතුරුවෙන රොඩ්ඩ මෙහෙ රැඳෙන එක... පාලකයන්ගෙ පැවැත්මට තවත් පහසුවක්.

    ReplyDelete
    Replies
    1. නමී මොකද කියන්නෙ පාසල් වලින් උගන්නෙ නැති එකේ මොකක් හරි වැඩපිලිවෙලක් කරමුද උගන්නන්න

      Delete
    2. ඊට කලියෙන්... මං මොනාහරි තව ඉගෙනගන්න වෙයි නවියෝ 😂

      Delete
    3. //ඒ අස්සෙ බුද්ධිමත් තරුණ පෙළ රට යද්දී, පෙරිල ඉතුරුවෙන රොඩ්ඩ මෙහෙ රැඳෙන එක... පාලකයන්ගෙ පැවැත්මට තවත් පහසුවක්.//

      මෙච්චර කල් ඔය බුද්ධිමත් කියන හාදයො ටික හදේ ද හිටියෙ නැත්නම් උන් යන්න කලින්ම පාලකයන්ට සෑහෙන අමාරුකම් වලට මුහුණ දීලා, රට හොඳ තැනක තියෙන්න එපැයි..

      Delete
  5. මං නම් මේකට කැමතියි
    https://www.bbc.com/news/world-europe-59847371

    ReplyDelete
    Replies
    1. https://end-of-life.qut.edu.au/assisteddying

      Delete
    2. මර්සි කිලින්වලට ඉඩ තිබ්බේ එකම රටක විතරයි නේද, Pra Jay මහත්තයෝ.

      Delete
  6. නිදි මාමෙ ඔයාලට ඒ තත්වෙට එන්න ආර්ථික ප්‍රශ්න කියන දේත් ගොඩක් බලපාන්න ඇති ද🤔

    ReplyDelete
    Replies
    1. ඒ තත්වෙට එන්න කීවෙ කීපදෙනෙක්ම suicide කරගන්න තැනට පත් වුණ එක..

      Delete
    2. මට නම් නවීන්- දරා ගන්න අමාරු වුණේ බරපතල විශ්වාසය කඩ කිරීමක්... ඊළඟට අහන්න හෙම එපා- කවුද, කොහොමද කියලා, ඒවා කියන්නේ නෑ.

      Delete
  7. සඳරුවන් කියලා තියෙන "මරණාසන්න රෝගීන් ඉන්නවා, ඔයාටත් වඩා ප්‍රශ්න තියෙන- ජීවිතයක් හරි කමක් නෑ ඒගොල්ලොන්ට දෙන්න කියල දෙවියන්ගෙන් ඉල්ලන්න" ඒක හොඳ tactic එකක්. මේ මොහොතේ එක තත්පරයක් ජීවත් වෙන්න, තමන්ගෙ පවුලෙ අය එක්ක එක විනාඩියක් කාලය ගතකරන්න අවශ්‍ය නමුත් එහෙම වාසනාවක් නැතුව ජීවිතය අතහරින්න වෙච්ච කීදාහක් ඇතිද.

    අර චූටි අලි පැටියා හා කිඹුලගෙ ෆොටෝ එක්ක ඇත්ත එකක්ද, හදපු එකක්ද.

    ReplyDelete
    Replies
    1. චූටි අලි පැටියා බේරාගන්න මව දරණ වෑයම කියවෙන foto එක මම දැක්කේ fb එකෙන්. ටික දවසකට කලින්, දන්නවනෙ- ඒක එදාම බාගෙන සංචිතයේ තිබුනේ.
      හැබැයි Lotus, එක හදපු එකක් වගේ මට නං දැනෙන්නේ නෑ. (මම හරියට දන්නේ නෑ ඒ ගැන.)

      Delete
  8. //මේ හැමදේමත් කරගත්තෙ ප්‍රශ්න ගොඩාක් මැද, දියුණු වෙන්න අමාරු රටක ඉඳන්// මම හිතන්නේ මේ රටේ දියුණු වෙන්න ලෙහෙසියි අනිත් රටවලට වැඩිය. නැත්නම් සඳරුවන් ඔහොම දියුණු වෙන්නෙත් නැහැ. මටත් ඩිග්රි දෙක තුනක් තියනව. මුලදී හොටෙල් එකක වැඩ කරන ගමන් එක ඩිග්රියක් කලේ. තමන් මහන්සි වෙනවා නම් මේ රටේ අවස්ථා තියනවා දියුණු වෙන්න. හැබැයි හිතන්න අමාරු එහම වහල් තත්වයකට වැටුන කියන එක. පාස්පෝර්ට් එක දෙන්න තරම්. මම අසූවේ අග සහ 90 දශකයේ මුල් කාලේ කිහිප දෙනෙකුට පනින්න උදව් කරලා තියනව ඒ කියන්නේ අරාබියේ ඉඳන් ගෙවල් වල වැඩට ඇවිත් අරාබි කාරයෝ පාස්පෝර්ට් තියන් හිටි අය . මට හයිඩ් පාක් එකේ හෙම හම්බ වෙලා ඕක කීවහම පොලිසි අරන් ගිහින් නීතිඥයෝ හොයල දීලා මෙහෙ ඉන්න හදලා දීල තියනව.
    සියදිවි හානි කර ගැනීම් ගැන කියද්දී කතාවක් මතක් වෙනවා. වෙනම ලිපියකින් ඇරෙන්න ලියන එක තේරුමක් නැහැ. නිදි එහෙම නොකරපු එක හොඳයි. ආදර්ශමත් චරිතයක්.

    ReplyDelete
    Replies
    1. //සියදිවි හානි කර ගැනීම් ගැන කියද්දී කතාවක් මතක් වෙනවා. වෙනම ලිපියකින් ඇරෙන්න ලියන එක තේරුමක් නැහැ.// ඉතින් ලියමුකො අජිත් මහත්තයෝ. මේක වසංගතයක් වේගෙන එනවා වගෙයි.

      අමාරුවේ වැටී හිටි කිහිප දෙනෙකුට ඔයා උදව් කළ එක ගැන මෙන්න මගෙන් තුති මල්, එව්වා තමයි පින්!

      Delete
  9. ආ අමතක උනා... ගවීන් කොල්ලට විස්කරා කියන්න... 🙏!

    ReplyDelete
    Replies
    1. පණිවිඩේ දෙන්නම්, ගාණක් හෙවනවා නං!

      Delete
    2. ඒ පැත්තෙන් ඉල්ලගන්නෝ

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්