li Item

Friday, January 20, 2023

ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස

ඉගෙන ගත්තා හෝ නැතෑ හෝ අම්මා කෙනෙකුට කොයි දරුවත් එකයි. උණහපුළුවාගේ පැටියා ඌට අගෙයිලුනෙ නේද? ඉතිං එයාට මොනම අඩුවක්වත් කලේ නැහැ. එයාට ඉල්ලන හැම දෙයක්ම දුන්නා.

ඒක එයාගේ විනාශයටම හේතුවුනා.....

ඒ දෙන්නා ගොඩක් සතුටින් සාමයෙන් කලක් යනතුරුම හිටියා. (foto- මිලාන් වීරරත්න)

ඒත් එයා දෑතේ රස්සාව දැනගෙන හිටියා. එයත් රැකියාව හැටියට කලේ වඩුවැඩයි. එයාට ලස්සනට කැටයම් වැඩ කරන්න පුළුවන්. එයා විවාහ වුනේ ගමේම දුප්පත් පවුලක ගැහැණු ළමයෙක් එක්ක. ඒ දෙන්නා ගොඩක් සතුටින් සාමයෙන් කලක් යනතුරුම හිටියා.

අයියා මහන්සි වෙලා වැඩකලා. මාසෙකට ආදායම රුපියල් විසිතිස්දාහ පැන්නූ අවස්ථාවනුත් තිබුනා. සමහර දවස් වලට රෑටත් වැඩ. එයා ඒතරම් මහන්සි වුනා.
ඉගෙන ගන්න අතරතුරේ මමත් එයාට පුළුවන් තරමින් උදව්කලා.

ඒත් ඒ දෙන්නා අතරේ සතුට සමාදානය වැඩි කලක් තිබුනේ නැහැ. සුළු සුළු අඬදබර සමහර අවස්ථාවන් වලදී ඇතිවුනා. අයියා දවසින් දවස බොන්න පටන් ගත්තා. දියනුව බිඳවැටුනා. ඉතිං ඔහොම කාලය ගතවුනා.
ඒ අතරතුරේ සිදුවුනු සිදුවීම් නම් ඉතාමත් කණගාටුදායකයි.
ඒ සෑම සිදුවීමකටම හේතුව වුනේ එයාලගෙ පවුල් ජීවිතේට එයා විවාහ වෙලා හිටිය අක්කගේ අම්මා නිතර නිතර ඇඟිලි ගැසීම. අක්ක අපේක්ෂා කලේ ඇත්තටම සමනල් ජීවිතයක් ගතකරන්න. විලාසිතා, ඇඳුම් පැලඳුම්, ආභරණ පසුපස ඈ ලුහුබැඳ ගියා. උපයන දේ මදිවුනා ජීවත් වෙන්න.

අයියා කසාද බැන්දෙ මහලොකු දෑවැද්දක් එක්ක නෙවෙයි. ඇඳිවත පමණින් ඇයව කැන්දගෙන ආවේ. ඒ දේවල් එහෙම සිද්ධවුනේ ඒ අක්කගේ අම්මගේ අනුවන ක්‍රියාකලාපයන් හන්ද.

කොහොම වුනත් දවසින් දවස අඬදබර වැඩිවෙද්දි අයිය නොබී ගෙදර එන දවසක් නැතිවුනා.
අයියා මහ ගෙදරම පදිංචිව හිටිනිසා මේ හැම දෙයක්ම අපටත් පේනවා ඇහෙනවා. අම්මයි තාත්තයි ඒ දෙන්නට ගොඩක් අවවාද දුන්නා. ඒත් පලක් වුනේ නැහැ. අවසානයේ විවාහය දෙදරා ගියා.
අක්කා එයාලගේ ගෙදර ගියා.

අද මේ වෙනතුරුත් දරුවව බලන්නවත් ආවේ නැහැ. දැන් වසරක් ගෙවිලා ගිහිල්ලත් අවසානයි.

අයිය පිස්සෙක් වගේ ජීවත් වෙනවා. අවසානයේ අපිටත් ගෙදර ඉන්න බැරි තත්වයක් උදාවුනා.
වෙන කරන්නට දෙයක් නැති තැන, අවුරුදු විස්සක් ජීවත්වුනු ගෙය  අතහැර දාලා එන්න සිද්ධවුනා. දැන් මහගෙදර ඉන්නෙ අයියා විතරයි. හම්බ කරන හැම සතයක්ම වියදම් කරන්නේ බීමත්කමට.
අඩුම තරමින් අඳින්න ඇඳුමක්වත් ගන්නේ නැහැ.

අනවසර ඉඩම් කැබැල්ලක දැනට අපි පුළුවන් තරමින් හොඳට ගෙයක් හදාගෙන...

ගෙදර තිබුන බඩු වලින් වැඩි හරියක් එයාගේ දේවල්. ඒවයින් බාගයක්වත් දැන් ගෙදර නැහැ. විකුණලා නැතිකරලා දාල. මිනිස්සු ඇයි මේ විදිහට විනාශ වෙන්නෙ කියල මට හිතෙනව ලොකු අම්මේ. බීලබීල තැන්තැන්වල වැටිලා ඉන්නකොට කොහොමද අහක බලාගෙන යන්නේ.

මට හරි දුකයි ලොකු අම්මේ.
අපිට හැමදෙයක්ම නැතිවෙලා ගියා ලොකු අම්මේ. විදුලි බිල ගෙවන්නෙ නැතිව මේ ලඟකදී විදුලියත් කපාහැරලා. කවුරු කොහොම අවවාද කලත් එයා හැදෙන්නෙ නැහැ ලොකු අම්මේ.

දැනට අවුරුදු දහයකට කලින් ආණ්ඩුවේ බිමකින් අල්ලාගත් අනවසර ඉඩම් කැබැල්ලක දැනට අපි පුළුවන් තරමින් හොඳට ගෙයක් හදාගෙන ඉන්නවා. තවම විදුලියවත් අරගෙන නැහැ.
ලොකු අම්මට මම ලියන හැම ලිපියක්ම ලියන්නේ කුප්පිලාම්පු එලියෙන් ලොකු අම්මේ. මම පාඩම් කරන්නෙත් ඉගෙනගන්නෙත් මේ විදිහටමයි. ඒක මට කොහොමටවත් ප්‍රශ්නයක් නෙවෙයි ලොකු අම්මේ.

ලොකු අම්මට මොනවද හිතෙන්නෙ මම මේව ලියන කොට. මේ මගෙ අභ්‍යන්තරයේ පතුලයි ලොකු අම්මෙ.

සමහරු මේවගේ දේවල් දැනගත්තාම මගෙන් ඈත්වෙනවා. එහෙම වෙලත් තියෙනවා. ඒ වෙලාවට මට මා ගැනම මහා ලොකු කනගාටුවක් ඇතිවෙනවා.

මගේ ලොකු අම්මෙ මේ දේවල් ලොකු අම්මට ලීවේ; මම ලොකු අම්මට දයාබර නිසා. ලොකු අම්මා මට ගොඩක් සමීපයි  කියලා මට දැනෙනවා.
මේ දේවල් දැන ගත්තාම ලොකු අම්මා මගෙන් ඈත්වෙන්නෙ නැහැ නේද? ඇත්තමයි, මට මීටත් වඩා අභ්‍යන්තරයක්, පෞද්ගලිකත්වයක් නැහැ. බොහෝ දේවල් හිතේ තදකරගෙන ඉන්නවාට වඩා කාටහරි කියනවා නම් හරි එහෙම නැතිනම් ඒගැන ලියනවා නම් හරි, හිතට ගොඩක් සැහැල්ලුයි.

ඉතිං හෙට දවසටත් මගෙ ජීවිතේට අළුතින් යමක් ඇතුළුවෙයි. එයද මම මගේ ජීවිතයට ලන්කරගන්නම් දයාබරත්වයෙන්. මගේ අම්මෙ මට වෙනසක් නම් කරන්න එපා. අවසාන වශයෙන් මම කරන ඉල්ලීමත් එයමයි.

ආයෙත් මගේ ලොකු අම්මට ලියන බලා පොරොත්තුවෙන් මෙතකින් සමුගන්නම්. මගේ පෞද්ගලිකත්වය නුඹට ලීවේ සත්තකින්ම මම නුඹට දයාබර නිසයි.

මගේ දයාබර ලොකු අම්මටත් පිවිතුරු පවුලේ සැමටත් නිදුක්නිරෝගී සුව. දීර්ඝායුෂ.

මේ හැමදා දයාබර පුතා
චමත්...’

එව්වගෙ තියෙන ඉමිහිරි මතකයන්. ඒත්... ඒත්...

නිදිගෙ පංච තන්තරේ දිගටම කියවන ආදරණීය රසික-රසිකාවියන් සමහරවිට පුදුම වෙලත් ඇති, දැන්නම්. චමත් පුතාගේ දිගම දිග; පිටු තුනක ලියුම දිගටම blog post එකට පිටපත් කෙරුවා මිසක්, මං වහන්සේ ඒක මැද්දට කඩාගෙන පැන්නෙ නැහැනේ. ඇත්තමයි, මෙච්චර කාලෙකට පස්සේ වුණත්, ආයෙම ඒ ලියුම් කියවද්දී මගෙ නම් දෑසට කඳුළු පිරෙනවා. එහෙම ලිපියක් මැදට කඩා පනින එකත් වැරැද්දක් කියලයි මට හිතුණේ.

චමත් පුතාට කරන ගෞරවයක් විදිහටයි, මම ඒ ලියුමේ තිබුණු අක්ෂර වින්‍යාසය- පද බෙදීම වගේ දේවල් එකක්වත් වෙනස් නොකළෙත්.

සමහර යෙදුම්; ලියුමේ අවසන් ටිකේදී දෙසැරයක්ම ලියැවී තියෙන ‘නුඹ’ වචනය එහෙම- චමත් පුතා නොකියන අදහසුත් මට කිව්වා. ඒ පිටු තුනේදී එයා එකම වචනයක්වත් කපා හැරලා- කුරුටු ගාල තිබුණෙත් නෑ. එකම එක තැනක විතරක් කාක පාද ලකුණකින් ‘නම්’ කියන වචනය එකතු කරලා තිබුණා. ඒ ‘ලියනවා නම් හරි,’ කියන තැනදී.
හොඳින් නිරීක්ෂණය කරනව නං, එහෙම දේවලිනුත් යම්-යම් කාරණා කෙනෙකුට දැන ගන්න ඇහැකියිනේ.

මම ඒ ලියුම කොම්පියුටරෙන් අකුරු කරමින් ඉන්න අතරතුරෙයි, අපේ හිතවත් අයස්මන්ත පීරිස් දොස්තර මහත්තය අපේ ගෙදරට ගොඩ වැදුණේ. වැඩේ නවත්තලා, අපි දෙන්නා කතාවකට වැටුණා. රටතොට විතරක් නෙවෙයි ලෝකය ගැනත් මගෙ දැනුම update කෙරෙන එක මූලාශ්‍රයක් තමයි උන්නැහේ. අනෙක අයස්මන්ත ත්‍රිභාෂා උගතෙක් නෙව!

කොම්පියුටරේ ළඟ තිබුණු චමත් පුතාගේ (අවුරුදු 25ක් පරණ) ලියුම මම අයස්මන්ත මහත්තයට දුන්නා. ‘කියෝලා බලන්නකෝ!’.

කියවලා ඉවර වෙද්දී අයස්මන්තට හීල්ලුණේ නිකම්ම. ලොකු අම්මගේ විත්තිය මෙච්චර දවස් එයාලා වුණත් දැනගෙන හිටියෙ නෑ. දැනගෙන හිටිය නෙවිල්ටත් ඔව්වා මතක නෑ!
“ආ ලොකු අම්මේ, කොහොමද සැපසනීප?” කියල තවමත් ඒ අතීතය සිහිපත් කරමින් මගෙන් අහන්නේ පතිරගොඩ වාසිත හිතවතා විතරයි!!

“අයියේ, දැන් ඉන්න පරම්පරාවට නං කාලයක් ගිහිං වුණත් කාට හරි පෙන්නන්න මේ වගේ ලියුම් ඉතිරි වෙන එකක් නෑ නේද?” අයස්මන්ත ඇහුවා.

ඇත්ත නේන්නං.
නිදිගෙ පංච තන්තරේ ලියද්දී, මගෙ හමස් පෙට්ටියේ තියෙන
ලියුම් කීයක් නං දැනටම ‘ලොකු උදව්වක්’ වෙලා තියෙනවද? එව්වගෙ තියෙන ඉමිහිරි මතකයන්. ඒත්... ඒත්... ඊ මේල් ලියුම්වල, messenger පණිවුඩවල එහෙම ළබැඳි මතකයන් ගැබ් වෙලා තියේවිද...

මේ දවස්වල නං කෙල්ල හරිම සන්තෝසෙන් ඉන්නේ. තාත්තණ්ඩිට ළඟින් හෙලවෙන්න දෙන්නෙ නෑ!

ඉතිං චමත් පුතාගේ ලියුමෙන් කියැවුණු ප්‍රශ්න ගැන හිතද්දී... මට හිතෙන වැදගත්ම කාරණේ, මෙච්චර කාලයක් ගිහිල්ලත් තව තවත් චමත් පුතාලා බිහි වෙන එක. මනුස්සයන් අතරේ දිගටම ඔහොම තමයි. ඒකත් ඇත්තයි.

දුරාතීතයේ වගේම ප්‍රශ්න... ගැටලු... සිත් බිඳීම්... සිත්තැවුල් ඒ විදිහටම නූතන පරම්පරාවේ දූලා / පුතාලටත් උරුම වෙනවා- මනුෂ්‍ය සොබාව නිසාත්, සමාජයේ; රටේ; පාලන තන්ත්‍රයේ වැරදි නිසාත්.
එයාලට විතරක් නෙවෙයි, තවම හය හතර නොතේරෙන පොඩි දරුවන්ටත් ඒවා බලපානවය කියලා කවුද හිතන්නේ?

මානෙල් නංගිගේ දියණිය රෝසිගේ දුව තව සති දෙකකින් කොහොම ඉඳීවිද? මට හිතෙනවා.

මේ දවස්වල නං කෙල්ල හරිම සන්තෝසෙන් ඉන්නේ. තාත්තණ්ඩිට ළඟින් හෙලවෙන්න දෙන්නෙ නෑ. තව සති දෙකකින් තාත්ත ආයෙම පිටරට රස්සාවට යන බව හිමන්‍යා දෝණි දන්නෙ නෑ.

සමිත් අබුඩාබියේ රස්සාවට යනකොට දූ පොඩ්ඩට මාස කීපයයි, වයස.
එහෙම ගිය සමිත් ලංකාවට ආවේ අවුරුදු දෙකකින්. Mobile තිරයෙන් හැමදාම තාත්තව දැකල තිබ්බ නිසා පොඩි කෙල්ල තාත්තව දැක්ක ගමන් අඳුරගත්තා. සමිත් එන්න කලින් වුණත්, කවුරු හරි පුංචි හිමන්‍යාගෙන් ඇහුවොත් ‘කෝ සමිත්ගේ දූ?’ කියලා- කෙල්ල විනාඩියක්වත් පරක්කු වෙන්නෑ. ‘මේ ඉන්නේ’ හුරතලේට කියමින් එයාවම පෙන්නා ගන්නයි පුරුදු වෙලා ඉන්නේ.

තරුණ තාත්තෙක්- කුළුඳුල් දෝණිය ඉපදිලා මාස කීපෙකින් විදේශගත වුණේ, කොච්චර දුකකින්ද කියලා මට තවම මතකයි. ඒ දෝණියන්දෑගේ හුරතල් බලන්නම වටිනා කාලේ, ඒ තාත්ත ආයෙමත් රට යන්න හදන්නේ කොච්චර දුකකින්ද කියලත් දැන් දැන් කියවෙනවා.
මෙහෙ ඉඳලා රස්සාවක් කරලා හම්බ වෙන සොච්චමින් කාලා නෙවෙයි- ලෙව කාලා ඉන්නත් අමාරු විත්තිය කවුරු- කවුරුනුත් කියනවා, දැන් නම්.

වෙනින් රටකටවත් ගියොත්...

තනි මට ඔහොම ජීවන ප්‍රශ්න ගැන එච්චර දැනීමක් නෑ. ගොන් මෝලා! ගිය සතියේ දවසක ඒ නිසාම වස ලජ්ජාවකුත් වුණා. මහරගම හන්දියට ගිහිං කොණ්ඩේත් කපාගෙන ගියා තුනපහේ කඩේට. “මට දෙන්න මිරිස් කුඩු 250කුයි, තුනපහ කුඩු ග්‍රෑම් 100කුයි.”
ඒ අයිටම්ස් දෙක කිරනකල් කැෂියර් නෝනාගෙන් මම ඇහුවා ‘බිල කීයද?’ කියලා. හම්බ වෙච්ච උත්තරේ 650/-ක්. ගණන් වැරදිලා තමයි! මට හිතුණා. “හරිද... හයසිය පනහද?”

“ඔව් මහත්තයා, මිරිස් කුඩු දෙසිය පනහට පන්සීයයි. තුනපහ කුඩු සීයට රුපියල් එකසිය පනහයි!” විස්තර එක්කම උත්තරේ ආපි!

ප්‍රශ්නයක් කියන්නේ ප්‍රශ්නයක්...

මෙහෙම රටක තුන්- හතර දෙනෙකු ඉන්නා පවුලකට මාසික ආදායම කීයක් වුණෝතින් ඇතිද? බඩු මිල අහසට නැංගාට කාගෙද පඩි වැඩි වුණේ? පවුලේ කවුරු හරි රට යන්නම ඕනි ජාම බේරා ගන්න නං.... බැරි නම්?

2023 මුලදීම මගෙ නෙත ගැටුණු මේ ඛේදනීය පුවත වාර්තාකොට තිබුණේ ප්‍රියන්ත දසනායකයි.    

‘මවුපියන්ට සලකා තමාගේ සිහින ලෝකය ගොඩනගා ගැනීමට සරිලන රැකියාව සොයා ගැනීමට නොහැකි යැයි ලිපියක් ලියා ඇති අකුරැස්ස පරදුව ප්‍රදේශයේ 29 හැවිරිදි තරුණයකුගේ සිරුර නිවසේ නිදන කාමරයේ එල්ලෙමින් තිබියදී සොයාගත් බව අකුරැස්ස පොලිසිය කියයි.
විදේශ රැකියාවක සිහිනය සැබෑ කරන්නට වෙරදැරූ 29 හැවිරිදි තරුණයකු අකුරැස්ස රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බව වෛද්‍යවරු පැවසූහ. මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කසුන් අංජන ජයසිංහ (29) නමැති ස්ථිර රැකියාවක් නොමැති තරුණයකු බව පොලිසිය කියයි.

පෙදරේරුවකුගේ අත්උදව්වට ගොස් කෙසේ හෝ ජීවිතය ජය ගැනීමට වුවත් කොරියන් විභාගයෙන් ලකුණු පහක් අහිමිවීමේ දුක සිත්තැවුලක් වී තිබූ බව පොලිසිය සඳහන් කරයි.

පවුලේ බර කර මත තබා ගත් සිය පුතා මවුපියන්ට සලකන්නට නොහැකිවීම ගැන ඉතාම දුකින් කටයුතු කර ඇතැයි මව පොලිසියට කියා ඇත. සිය බාල සොහොයුරන්ගෙන් එක් සහෝදරයකු භාණ්ඩ බෙදාහැරීමේ තාවකාලික රැකියාවක යෙදෙන අතර අනෙක් සහෝදරයා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින බවට හෙළිවී යැයිද පොලිසිය කියයි.
සිය මිතුරන් සමග පෙරදින ක්‍රිකට් ක්‍රීඩා කර ඇති හෙතෙම පියා හා මව දෛනික කුඩා කුලී වැඩකට ගොස් සිටි බවත් මවට ලැබුණු තොරතුරක් මත පැමිණෙද්දී, නිවසේ දොර වසාගෙන මියගොස් සිට ඇති බවත් මවුපියන් රැකබලා ගන්නට සලකන්නට සුදුසු රැකියාව නොලැබීම නිසා පෙරදින මහණ වෙන්නට පන්සලකට යන බවත් මවට පවසා ඇති බව පොලිසිය කියයි.

සිය බාලම සොහොයුරා සමග දහවල් බනිස් ගෙඩියකින් බඩ පුරවාගෙන මල්ලි පන්ති ගිය අතරතුර ‘මව්පියන් රැකබලා ගැනීමට හරිහමන් රැකියාවක් නොමැති’ බව සඳහන් කරමින් සිය අත් අකුරින් ලිපියක් ලියා තබා ඇති බව පොලිසිය කියයි. මළ සිරුර අකුරැස්ස රෝහලේ තැන්පත් කර තිබූ අතර හදිසි මරණ පරීක්ෂණය...’

තවත් තරුණයෙකුගේ බිඳුණු සිහිනයක්!
ඇයි මේ?

ඇත්තමයි. 1998 ලොකු අම්මා විදිහට (වේශාන්තරණය කරගෙන) ඉන්න කාලේත් සමාජයේ මේ විදිහේ ප්‍රශ්න ගොඩාරියක් තිබුණද? මට හිතෙන්නේ අඩුයි කියලයි... නැත්තං මම දැක්ක විදිහේ වැරැද්දක් වෙන්නත් පුළුවනි.

කොහොම වුණත් ප්‍රශ්නයක් කියන්නේ ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් තියෙන ඕනෑම කෙනෙකු හිතන්නේ එයාගේ ප්‍රශ්නය තමයි අතිශයින්ම වැදගත් කියලා. ලොකු අම්මට ලියුම් එවපු දූලා-පුතාලා වැඩි දෙනෙකුටම එයාලගේ ප්‍රශ්න තිබුණා.
“මොකද මන්දා ලොකු අම්මෙ. මම පිවිතුරු පත්තරේ දාන්නයි කියලා මගේ ලස්සනම ලස්සන නිර්මාණ ගොඩක් එව්වා. තාම දැම්මේ නැහැ. මම ලියන ඒවා හරිම ලස්සනයි කියල මගෙ යාළුවොත් කියනවා. එහෙමත් කියද්දී, අංජන අයියා පත්තරේ දාන්නේ අඳුනන අයගේ ඒවා විතරයි වගේ. ලොකු අම්මට බැරිද අංජන අයියට කියල මගෙ නිර්මාණ දෙක තුනක් පත්තරේ දම්මවන්න...” ඒ එක දුවෙකුට තිබුණු ලොකුම ප්‍රශ්නය!

කේයස් (සාගර පලන්සූරිය) කවියා කවියෙන් හරිම අපූරුවට...
ඒ ලියුමත් එක්කම එයා එවලා තිබුණු නිර්මාණ දෙක තුනේම ගත යුත්තක් නෑ; නිර්මාණශීලීත්වයක් නෑ කියලයි මට හිතුණේ. ඒ විත්තිය එයා වගේ කෙනෙකුට කිව්වත් වැඩක් වෙන්නෑ. උණහපුලුවට උගේ පැටියා මැණිකක් වගෙයිලුනේ. දුර්වල නිර්මාණයක් වුණත් ඒක නිමැවූ කෙනාට එහෙම හිතෙන්නෙ නැහැනෙ.

‘තමන්ගේ දේ තමන්ට ලොකුයි’ කියලා පෙන්නන හොඳම උපහැරණ කතන්දරයක්, කේයස් (සාගර පලන්සූරිය) කවියා කවියෙන් හරිම අපූරුවට ලියල තිබුණා; කාලෙකට ඉස්සර. අපේ සහෝදර ‘බොග දමන්නෙකු’ වන ඩ්‍රැකී ඒ පැරණි මිණි කැටය ආයෙම ඔප දමා පළ කරල තිබ්බා. ‘උගත්කම’ කවි පංතියේ කවි 21ක්- මෙන්න එයින් 1/7ක්. මුල්ම කවි තුන:

එළු සකු මගද පොත් කට පාඩමින්      දනී
මිනිහා පණපිටින් යන පොත් ගුලක්   වැනී
වැගිරෙන විලස සාහිත රස අමර       පැනී
පොතක් ලියන්නට සිතිවිලි පහළ       වුනී

පොළොවට ගැට ගසන්නා වාගේ     අහස
වද විඳ පොතක් ලිවුවා නො බලා වෙහෙස
කියවන අතර ඒ පොත අහගනු       පිණිස
කැඳවා ගති ළඟට සිය පෙම්බර       දිගැස

හැම වචනය ම පදමට ගෙන     පියකරුව
පොත කියවයි හෙතෙම සාහිත රස ඉරුව
පුදුමේ මහත අහගෙන ඉන්නට     බැරුව
ඇය පැන ගියා පසු දින ඔහුගෙන්    දුරුව

කොහොම කොහොමෙන් වුණත් ‘දඟකාරී  මගෙ පුංචිම දෝණී’ විශේෂාංගය ජනප්‍රිය වුණා කියලයි, මට දැනුණේ.
ඒකට හොඳම සාක්ෂියකුත් මගෙ ළඟ තිබුණා. ඒකම ඔයාලට ඉදිරිපත් කරන්නයි ගොඩක් වෙර දැරුවේ, පරණ ලිය-කියවිලි අවුස්සමින්. මොන? තවම හම්බ වුණේ නෑනෙ. Bad luck!

දැන් නම් සංගීතා දූගේ දුවත් යෞවනියක්!

මං හොයමින් ඉන්නේ සංගීතා වීරරත්න දෝණිය ලොකු අම්මාට එවපු ලියුම.
එතකොට සංගීතා දූ යෞවනියක්. එයා නම් ලොකු අම්මට ලියල තිබුණේ ප්‍රශ්නයක් ගැන නෙවෙයි. ලොකු අම්මගේ ලියවිල්ල ගැනයි. දැන් සංගීතා දූගේ දුවත් යෞවනියක්!

බොරු පම්පෝරි නොගහ ඇත්තම කියන්න ඕනිනේ.

වෙන කිසිම ප්‍රසිද්ධ කෙනෙකුගෙන් නං ඒ විශේෂාංගයට ලියුම් හම්බ වුණේ නෑ. හැබැයි සතියක් පාසාම ලොකු අම්මාටයි, නිමල් දිසානායකටයි රුපියල් දාහක් හරි දෙදාහක් හරි ලැබුණා, පාඨක ලියුම් මල්ලකුත් එක්ක.
(ඔව්! ඔව්!! ඒ දෙන්නාම; ලොකු අම්මයි- නිදියි දෙන්නම එක්කෙනෙක් තමා.) පිවිතුරු පත්තරේට ලිව්ව විශේෂාංගයටයි, සිකුරු විජිතය නවකතාවටයි තමා ඒ ගෙවීම ලැබුණේ. එක ලිපියකට 500/- බැගින්ද 1,000/- බැගින්ද ගෙව්වේ කියල මට නිච්චියටම මතක නැති හැටි.

ට්‍රීන් ට්‍රීන් ට්‍රීන් ට්‍රීන්...
Call එකක්. නෙවිල්ගෙන්. “අද දවසම ඔයා ගෙදර ඉන්නව නේද? ගවීන් එයි...”.
ගවීන් අපට ක්ෂණික ට්‍රීට් එකක් දෙන්නලු හදන්නේ. සතුටයි දුකයි දෙකෙන්ම හිත පිරිලා තියෙන වෙලාවක...
ගවීන්ට නං වැඩියෙන්ම දැනෙනවා ඇත්තේ දුක වෙන්නැති...
 

33 comments:

  1. කවුරු හරි රට යන්නම ඕනි ජාම බේරා ගන්න නං// හිංගල ජාතිය පිට දෙසෙක ගෙහුං හරි රැකෙයි කියලා හිත හදන් ඉන්ට තමා තියෙන්නෙ... අපට දැන් 😂🙈

    ReplyDelete
    Replies
    1. පිට දේසෙක හිංගල ජාතිය රැකෙයි? ඩී. බී කුරුප්පු මහත්තයාගේ 'සිංගරු සිරිත' පොත කියවලා තියෙනවද නමී?

      Delete
    2. මේක මගේ ප්‍රියතම මාතෘකාවක්. අත්දැකීමෙන් කියන්නේ. තමන්ගේ ආදායම කලමනාකරනය කරගැනීමට දන්නා කෙනා ලංකාවේ හිටියත්, රට ගියත් හැදෙනවා. ඒක බැරි කෙනාට කොහේ හිටියත් බෑ . මන් ඉන්න රටේ අවුරුදු 30ක් වැඩකරලා ගෙදර යනකොට ගිනුමේ සතයක් නැති, ජීවත්වෙන්න මාර්ගයක් නැති ලංකාවේ උදවිය හම්බෙලා තියෙනවා.

      Delete
    3. සිංගරු සිරිත පොත... කියෝල නෑ නිදිතුමෝ

      Delete
    4. වෙලාවක පොත දෙන්නන්කෝ පොත කියවලා බලන්න. සිංගරුවෝ වචනේ හදාගෙන තියෙන්නේ සිංහල, කැන්ගරු වචන දෙකෙන් කෑලි අරං. කැන්ගරු දේශයේ ඉන්නා සිංහලයන් හඳුන්වන්න.

      Delete
  2. ඒ කාලෙ තිබ්බ ප්‍රශ්නවලට වැඩිය දැං කාලෙ තියෙන ප්‍රශ්න වැඩියි. තුන් හතරදෙනෙක් ඉන්න පවුලක දවසෙ කන බොන දේවල්වලට වියදම 1500 පනිනව.

    ReplyDelete
    Replies
    1. ප්‍රසෝ, බන්දුල මහත්තයා නෙවෙයි නේද ඔය ගණන් කිව්වේ? ඊයේ එක්කෙනෙක් කිව්වා දැන් මිරිස් කුඩු 250ක් රුපියල් 660/- කියලා.

      Delete
    2. මිරිස් කුඩු 250 ක් එක දවසෙන් කනවනං ඌ මනුස්සයෙක් වෙන්න බෑ. :D

      දවසට 1500 ක් කියන්නෙ මාසෙකට 45000 ක් ලයිට් වතුර බිල් නැතුව.

      Delete
    3. ටිකක් ගැඹුරින් බැලුවාම ඒ ප්‍රශ්න වලින් භාගෙකටත් වැඩිය අපි විසින්ම හදාගත්ත ඒවා. (“පොඩි පුතුගේ ෆෝන් තුනයි - ලොකු දුවගේ ෆෝන් පහයි - ප්‍රිය බිරිදගෙ ෆෝන් තුනයි - අපේ ගෙදර ෆෝන් එකොලහයි“ වගේ ඒවා)

      Delete
    4. ප්‍රසන්න, දවස් දෙකක්-තුනක් ඇතුළත මිරිස් කුඩුවල මිල වෙනස් වෙලා තියෙන හැටියි මට කියන්න ඕනි වුණේ.
      මාසෙට 45000/-ක් හොයාගන්න ඇහැකිද ලේසියෙන්?

      Delete
    5. ඔව්නේ චමී, මට වුණත් හිතෙන්නේ අපි කොච්චර අධිපරිභෝජනවාදීද කියලයි.

      Delete
    6. මිනිස්සු වියදම් කරන්නේ තමන්ගේ අතේ තියෙන සල්ලි නම් අධිපරිභෝජනය රටක ආර්තිකයට හොදයි. අපේ උන් පුරුදුවෙලා ඉන්නෙම ණයට අරගෙන බාල් නටන්නනේ.

      Delete
    7. 100%ක්ම එකඟයි චමී. අධිපරිභෝජනය නිසා ධනවතුන්ගේ අතේ ඇති මුදල් ඉවතට ගලා යනවනේ. මදල් සංසරණය නොවීම ලොකු ප්‍රශ්නයක් නේද?
      ගැටලුව වෙන්නේ ණයට අරං බාල් නටන එක තමා!

      Delete
  3. ඔන්න රට යන යටත් බද්දක් ගහලා ,,,හික්...

    ReplyDelete
    Replies
    1. රජයට සෑහෙන ආදායමක් ලැබෙයි. මේ මාස දෙක තුළ මම දන්නා හත් දෙනෙක් රට හැර යනවා. ඒ කලකිරීමෙන්.
      ඊයේ රෑ සාකච්ඡාවකදී එක තරුණයෙක් (රට දාලා යන්නෙ නැතැයි කියමින් හිටි) කිව්වා, මේ එන මැතිවරණයෙන් ලැබෙන ප්‍රතිඵල අනුව තීරණය කරන බව -රට යනවද නැද්ද කියලා.

      Delete
    2. තමුන්ගේ ඉරනම විසදීම අනුන්ට බාරදෙනතාකක්ල් කොහේ හිටියත් සැනසීම දුරබව ඔහුට පහදා දෙන්න. පලාත්පාලන මැතිවරනයක් තමන්ගේ ජීවිතය වෙනස්කරන සාධකයක් කරගන්නේ ඇයිදැයි මටනම් නොතේරෙයි.

      Delete
    3. චමින්ද මහත්තයෝ, මගෙ ලිවීමේ වැරද්දක් වෙන්නැති, ටිකක් වැරදි හැඟීමක් ඇතිවෙලා වගෙයි.
      අර තරුණයා අදහස් කළේ 'නැවත නැවතත් එකම වැරැද්ද කරන- නිවැරදි තීරණ නොගන්නා මිනිසුන් ඉන්නා රටක දිගටම විසීමෙන් කිසිදා සුගතියක් අත් නොවෙන බවයි,' පතිරූප දේශයක වෙසෙන්නට නොලැබීම කොයිතරම් අවාසනාවක්ද?
      බණේ උපධි විපත්ති කියන්නේ ඒකට නේද?

      Delete
    4. කෙනෙක්ට ගැලවීම- සැනසීම සොයා ගන්න වෙන්නේ තමන් තුලින්මය කියන මතයට මම 100%ක්ම එකඟයි. චමී. නිවන තිබෙන්නේත් බඹයක් පමණවූ මේ සිරුර තුලමය -කියලත් බණකදී කියවෙනවා ඇහුණා වතාවක්.

      Delete
    5. තේරුණා . දේශපාලන සාක්ෂරතාවය අඩු රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙද්දී යමක් වැටහෙන කෙනා ඉච්ඡාභංගත්වයට පත්වීම පුදුමයක් නෙවෙයි.

      Delete
  4. හොඳ වෙලාවට මම ඔය පත්තර කෝලම් වලට ලියල. පිටරට ගියා. නැවතුනා අහුවෙච්ච තැන

    ReplyDelete
    Replies
    1. අහුවෙච්ච තැන නැවතුණා?
      මට මතක් වුණේ අජිත් මහත්තයෝ, අංගුලිමාල බුදුන් වහන්සේ පසුපස ලුහුබඳිමින් 'නවතිනු' කියල කියපු හරිය.

      Delete
    2. ඒ කිව්වේ නිදි මම ලන්ඩන් ආවේ නතර වෙන්න නෙමේ. ආපහු යන්න බලාගෙන. මම ලියපු එකේ ඉතිරි ටික වැටිලා නැහැනේ. "හොඳ වෙලාවට මම ඔය පත්තර කොලම් වලට ලියල නැහැ" ඒ කීවේ නිදි වගේ ලොකු අම්ම කෙනෙකුටනේ අහුවෙන්නේ. මට මතකයි කුමරි පත්තරේ වගේ එකක් කෙල්ලෙක් වගේ ලියල තියෙන්නේ තලස්තැනි පුවත්පත් කලාවේදියෙක් කියල. 😃

      Delete
    3. මට නං හිතෙන්නේ අජිත් මහත්තයෝ, ලියන කෙනාගෙ දෘෂ්ටිය , හිතන විදිහ හා තේරුම් ගැනීමේ ශක්තිය තමයි වඩාත් වැදගත් කියලා. ගැහැනු පිරිමි බවට වඩා. ඉස්සර.... ඉස්ස්සර.... ඉස්සර හිටි පුවත්පත් කලාවේදීන් ගොඩක්
      දෙනා (ජනමාධ්‍යවීදී සහතික නොතිබුණු අය වුණාට) ගොඩක් ගවේෂණශීලී අයයි; විචක්ෂණශීලී අයයි කියලයි මගෙ මතකය කියන්නේ.

      Delete
    4. ඒක වෙන්න පුළුවන්, දැන් වැඩිපුරම ඉන්නේ පට්ට හොරු ටිකක්

      Delete
    5. බුද්ධියෙන් අඩු, ප්‍රතිපත්තියක් නැති, තමන් කරන දේ තමන්වත් නොදන්නා අය කියලයි මට හිතෙන්නේ, අජිත්!

      Delete
  5. අපට නං ඉතිං "ඉව" තියනවා නෙව? රට "අපේ වරිගෙට" යන බවත්, හිටියොත් වැලේ වැල් නැතිවෙයි කියල හිතුන නිසා, සුනඛයත් රට ගියා.

    ReplyDelete
    Replies
    1. රට බල්ලට යනකොට සුනඛයන් රට යන එක පුදුමයක්ය, ටොමී?

      Delete
  6. කට්ටකාඩුවේ ලොකූ අයෙත් වැඩ අල්ලලා. ගිහිං කියවන්ඩ වටිනවා.
    'ආලයෙන් පාරාජිකාවීම හෙවත් මට නැත්තං තොටත් නෑ'
    https://kattakaduwa.blogspot.com/2023/01/blog-post.html

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්