Tuesday, July 17, 2018

දියවිනි ඉනාව - තෙවෙනි කොටස




විශේෂ නිමිත්තක් ගැන මා කිව්වා ඔබට මතකද, දියවිනි ඉනාව - 2 අන්තිමට.

කුමාර් රත්නසිරි
ඒ සෝමේ මල්ලිගේ බාලම පුත්‍ර රත්නය රත්නසිරියි. මාර්තුවල අප හතර දෙනෙකු දියවින්නට ආ ගමනේදී රැය පහන් කළේ සෝමේ මල්ලිලාගේ ගෙදරය. ගේ ළඟම අපට අභයස්ථානයකුත් තිබිණි. මහ රෑ වෙනතුරු ගී සයුරක් රැල්ල නැඟුවේය. රත්නසිරිගේ හපන්කම පෙනුණේ එතනදීය. 

අද සිටින බොහෝ තරුණ-තරුණියන් ගීතයක් සහමුලින් දන්නේ නැත. මාත් එහෙමය. හැබැයි ඒ නව පරපුරේ අඳෝනා සිංදුය, මා දන්නේ නැත්තේ. මට ඒවායේ වචන මතක හිටින්නේ නැත. වයසේ වැරැද්ද වෙන්නට ඕනෑය. කරුමය අලුත් පරපුරේ වැඩි දෙනෙකුටත් ඒ 'ඩිමෙන්ෂියා' රෝගය තිබීමය. වචන මතක අයටත් තාලය බැරිය. ඒකට නම් සමාවක් දිය යුතුය. මං හිතන්නේ එව්වා ගයන උදවියටවත් දෙපාරක් එකම විදියට ගයන්න අමාරු බවය.


ඒ අතින් රත්නසිරි great ය. රසිකත්වයත් ඉහළය. හැකියාවත් ප්‍රබලය. මට හිතෙන්නේ කැම්පස් එකේදී හොඳට පොලිෂ් වෙලා කියලාය. අප ගැයූ පැරැණි රසාංගවලට නෙවිල් කොන්ගෝව ගහද්දී ඔහු අපූරුවට දර්බග් එක වැයුවේය; ගැයුමටත් හවුල් වුණේය. මේ වතාවෙත් පැදුරකට ඔහුගේ සම්මාදම ඕනෑමය කියා මම කලින්ම ඔහුට දැනුම් දුන්නෙමි. 

මොන? කට්ට කරුවලේ මොන සිංදුද? සේරම චක-බ්ලාස් විණි. අපි නිදා ගත්තෙමු! ජුනි 9 වෙනිදා රෑ ගිය කරන්ට් එක ආයේ ආවේ 10 වෙනිදා ඉර පෑව්වාටත් ගොඩාරියක් පස්සෙනේ.

අපේ මැණික් ගැරිල්ලේදීත් වුණේ සිංදු කීමට වුණු දේමය. හමුවුණේ ඉල්ලම් ගල් විතරය. යහමින් 'කහඳ ගල්' 'ඉල්ලම් කැට' තිබුණත්, ඉල්ලම සෝදා-ගරා 'නාම්බුව' බලද්දී තිබ්බෙ රබහ කෑලි විතරය. භූමියෙන් වාසනාව පෑදෙන්නත් වාසනාව ඕනෑය.

මම මේ දැන් අත්ල පිරික්සා බැලුවෙමි. ධන රේඛා තියේද කියා බලන්නට නොවේ. කැපුණු සලකුණ තියේද බලන්නටය. 

පන්සලට පහළින් තියෙන වෙල් යායේ ගොයම් කපනදා දියවින්නේ එන්නැයි, සෝමේ මල්ලිගේ සොහොයුරු ගුණසිංහ මට ලියුමක් එවා තිබිණි. එවිට අප ගැරිල්ල අත් හැරලාය. බලංගොඩට ගිහින්, බසයෙන් නවනැලියට. එතැන සිට පයින්ම; තනියම පහළට.... දියවින්නට. එව්වා නම් මා කළේ තිබුණු විසේටය.

එහෙම ගිහින් ගොයම් කපද්දී මගේ අල්ලෙන් පදාසයක්ම කැපිණි. ඒ දවස්වල හැමදාම හවසට, රෑට, පාන්දරට කියා වෙනසක් නැතිව ගිය පියංගිරි දොළට පවා මෙදා මා පිය නැඟුවේ බොහෝම සීරුවෙනි! දෙපා හිරිවැටී ඇති බැවිනි. ආරෝග්‍යා පරමා ලාභා කියන එක නම් සහතික ඇත්තය.

පියංගිරි දොළ නිසංසලේ.....
"නිමල්, අපිට බැරිද පන්සලට හොඳ ටොයිලට් එකක් හදලා දෙන්න?" ඉන්දිරා හෝ මර්වින් හෝ ඇසූ බැව් මට මතකය. එයාලා ඒ ගැන ටිකක් සරුවට සාකච්ඡා කරලාත් තිබිණි. 

ඉන්දිරා කිව්වේ සමහර විට 'සම්පත් බැංකුවේ සුබසාධක සංගමයෙන්' ඒකට ඉල්ලීමක් කරලා බලන්නත් හැකි බවය. "මචං මට පුළුවන් වෙයි පොඩි සපෝර්ට් එකක් ගන්නත්!"

මට මචං කියන්නේ 'ඉන්නා' විතරය කියා කලිනුත් කිව්වෙමි. මා කාටවත් එහෙම නොකිව්වත් ඇය තව හුඟ දෙනාටත් එහෙම කියන පරාණකාරියකි.

අපේ ගොඩ දෙනාට දැන් 'කොමොඩ්ස්' නැති 'ටොයිලට්'වලට යාම පුරුදු නැත. එතැනත් වයසේ වැරැද්ද වගේම, ජන්මෙට වඩා ලොකු පුරුද්ද ඉස්සරහට පැනලාය. පන්සලේ පොදු කැසිකිළි දෙකම උක්කුටිකයෙන් වාඩිවීම අමතක උදවියට ඇල්ලුවේ නැත. මට පෙනුණේ ඒ ප්‍රශ්නය විජිත හාමුදුරුවෝ මැනවින් පුරෝකථනය කරගෙන තිබුණු වගයි. 

"මහත්තයෝ. ආවාස ගෙයි ඇතුළේ තියෙන්නේ එක ටොයිලට් එකයි. ඒක තමා අපි කවුරුත් පාවිච්චි කරන්නේ. නඩේ උදවියටත් ඒක පාවිච්චි කරන්නැයි කියන්න. ඒත් මහත්තයලගේ කට්ටිය වැඩි නිසා පොඩි අපහසුවක් නම් වේවි මගේ හිතේ." සෙනසුරාදා පාන්දර අප එහි ගිය කිට්ටුවම උන්වහන්සේ කීහ.


අපේ අයට පහළ වුණු හිතිවිල්ල ගැන අහිතක් හිතන්නට එපා යැයි මා විජිත හාමුදුරුවන්ගෙන් ඉල්ලන්නේ දැන්ය. අද්‍යතන විදිය නිසාවෙනි. 

2018 මැයි මාසයේ 16 වැනිදා කොළඹ පුරපතිනිය කියා තිබුණේ වැසිකිළිය පිළිසකර කරනතුරු නිල නිවසේ පදිංචියට යන්නට බැරි බවය. අවුරුදු හතරකට කලිනුත් නවීකරණය කර ඇති ඒ සුපිරි 'කක්කුස්සිය' මෙදා පාර 'රෙනවේට්' කරන්නට යන්නේ ගෙඩි රුපියල්වලින්ම ලක්ෂ 57 ක් වැනි සොච්චමක් වියදම්  කරලාය! අප ඉන්නේ එහෙව් 'බුදුන්ගේ දේශයක'ය.

ඒ දවස්වල අපේ ගරන නඩයේ කවුරුනුත් 'එළි බැස්සේ' වෙල පහළ ලන්දට ගිහින්ය. අපි වැඩි හොඳට කලාපත් බෙදා වෙන් කරගෙනය හිටියේ.

අනගාරික ධර්මසේකරතුමා
"නිමල්, රටක ඉන්න මිනිස්සුන්ගේ හැදියාව බලාගන්න පුළුවන් හොඳම තැන තමයි පොදු වැසිකිළි. එව්වා පිරිසිදුව තියෙනවා නම් ඒකෙන් තේරෙන්නේ ඒ රටේ මිනිස්සු යමක්-කමක් හිතන බුද්ධිමත් මිනිස්සුය කියලයි..... පේනවානේ අපේ රටේ පොදු වැසිකිළිවල පැත්ත පලාතකින්වත් යන්න පුළුවන්ද කියලා නහය වහගන්නේ නැතිව." 

ඒ අපූරු දර්ශකය ගැන මට කිව්වේ ජී.අයි.ඩී. ධර්මසේකර මහත්තයාය. ඒ එතකොටය; අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයේ කළමනාකරු ලෙස මා වැඩ කරන කාලයේය. අවුරුදු තිහකටත් එහාය. (දැනටමත් ඒ අවදිය ගැන ටිකක් 'නැණ ලැබ ගත්තෙමි.... පෝස්ටුවල කියා ඇත.) 

දැන් ධර්මසේකර මහත්තයා නැත. නැතය කිව්වේ ඔහු 'අනගාරික' වී ඉන්නා බැවිනි. නමෙන් වෙනස් වෙන්නට තිබුණත් ඒ කාලයේත් ධර්මසේකර මහතා ගෙව්වේ ඉතාමත් අපිස්, අල්පේච්ඡ, අහිගුන්ඨික ජීවිතයකි; ඒ පණ බේරා ගන්නටත් එක්කය! වෙස් වලාගෙනත් එක්කය.

 
වෙස් වලාගෙන කියද්දී මට හිතෙන්නේ මා වැනි රසිකයන් ඒ දවස්වල ගණන් ගැනුනේ 'අමු මෝඩයන්' ලෙස නොවේද කියලාය! නිකමට මතක් කරලා බලන්න, ෆිල්ම්ස්වල ටෙලි නාට්‍යවල චරිත වෙස් වලාගෙන හිටි අවස්ථා ගැන. හිච්චි එකෙකුට පවා මේ ඉන්නේ මොකාදැයි පෙනේ. නාට්‍යයේ ඉන්නා චරිතවලට නම් එහෙම හඳුනාගත හැකි පාටක් නැත.

හැබැයි ඉතාම මෑතක නම් අපූරු වෙස් වලාවක් දැකගන්නට වාසනාව ලද්දෙමි; පත්තරවලින්! හොඳට බලන්න! මේ කවුදැයි අනුමාන කළ හැකිද? නොහැකි නම් මේ පොස්ටුවේ ටිකාක් ඉස්සරහට යන්න, තරහ නැතිව.




ඒ 89 භීම සමයයි. කාලවර්ණ උස මනුස්සයෙක් ප්‍රෙස් එකට ආවේය. මා එක්ක හිනැහුණේය. මගේ මේසය ඉදිරිපිටින් තිබුණු පුටුව ඇදගෙන ඉඳගත්තේය. හොඳට හුරුපුරුදු විදියය. මට නම් ඔහු දැක-පුරුදු නැත! අර දික්පිටියා ආයෙමත් හිනැහුණේය. 

"නිමල්ට අඳුනගන්න බැරිද?" මම විපිලිසරවී උන්නෙමි. කටහඬ නම් හුරුය. මා අහස පොළොව ගැටලද්දී ඔහුම කතා කළේය. 

"ඔයාටත් මාව අඳුනාගන්න බැරි නම් මට බයවෙන්න දෙයක් නෑ.........." එවෙලේ මට දිග කතාවක් කිව්වේ ජී.අයි.ඩී. ධර්මසේකරය. කලින් රැවුල වවාගෙන- ජාතික ඇඳුමෙන් හිටි ඔහු, මුහුණ සහමුලින්ම මුඩු කර- කෙස්ස කොටට කපා- කලිසම හා කමිසයට බැස අමුතුම කෙනෙක්වී උන්නේය. මා දැක ඇති හොඳම වෙස් වලාව ඔහුගේය. එතැනදී නම් ජයලත් මනෝරත්නත් ධර්මසේකර උන්නැහේට පරාජය වෙයි.

ජී.අයි.ඩී. ධර්මසේකර ලේඛකයා නම් මට කිසිදා අමතක නොවන්නෙකි. ඒ 'කාලය සඟරාවේ' ලේඛකයකු ලෙසිනි. 

කාලය ගැහුවේ ඩිමයි 1/4  ප්‍රමාණයෙනි. පිටුවක කොලම් තුනකි. අකුරු 10 point ය. ධර්මසේකරගේ එක වැකියක් අර කොලමකටත් වඩා දිගට දුවන ඒවාය! 

කොහොමත් 'කාලය'ට ලියූ කාගෙත් වැකි දිගය. අදහසුත් දිගම දිගය. එහි අයෝග්‍යතාව නූගත් මට තේරුණු තරමට ගෙවිඳු කුමාරතුංග මහතාට පහදා කිව්වෙමි. ඒ පොත-පත කියවන පාඨකයෙකු වශයෙනි. මාකටින් පැත්තත් බැලුවොත් ප්‍රින්ටර් වශයෙන් අපටත් සුබ බැවිනි. ඒවා පිළිගත් බවක් තබා, ඇසුණු බවක්වත් නොදැක්කෙමි. 

පොන්ත නෝනාගේ මොකක්ද එක හෝදන්නේ ඇල් වතුරෙන්ද, උණු වතුරෙන්ද එහෙමත් නැත්නම් මිරිස් වතුරෙන්ද කියා තීරණය කිරීමේ මානව හිමිකම ඇයට හිමිය. ගෙවිඳුලාටත් එහෙමමය. අප වැනි සොකඩ-හින්නිකිතර-කැම්පස් නොගිය පාඨකයන්ගේ අදහස් මොකට මායිම් කරන්නද? ප්‍රතිඵලය වුණේ දිග අදහස්- දිගම දිග වැකිවලින් ඕසෙට පළවුණු 'කාලයේ' ආයුෂ කෙටි වීමය! 

ඒ මගේ මතයයි, මා වැරැදි විය හැකිය. වැරැදියි නම් ඒකට සමාවෙන්න.

ඒත් මා 100% ක්ම වැරදි නැතැයි හිතෙන්නේ මෙවැනි තැන් දැක්කාමය. මං මේ ටික උපුටාගත්තේ 'කාලය' බ්ලොග් අඩවියෙනි.

"මා නම් ජනමාධ්‍යවේදියෙකු නො වෙයි. කලක් කාලය සඟරාව සංස්කරණය කළත් පසු කලෙක ලක්මිණ පුවත්පතේ කතුකම නිල නොවන අයුරින් කළත් මා ජනමාධ්‍යයකු වන්නේ නැහැ. කාලය සඟරාව 1987 සිට හතරවරක් විටින් විට පවත්වාගෙන යෑමට උත්සාහ කළත් එය නොහැකි වූවා. ජනතාව ආකර්ෂණය වන අයුරකින්  ලියන්න කියන්න මට බැහැ......" උපුටනය නලින් ද සිල්වා මහතාගේ 'හොරා පොලිස්' පෝස්ටුවෙනි.

මත ගැටුම් ඇති වුණත් ඒ හැම එකක්ම පුද්ගලික ඒවා නොවුණු බැවින් කිසි විටෙක අප අතරවූ හොඳ හිත පලුදු වුණේ නැත. එයට හොඳම සාක්ෂිය ගෙවිඳු මහතා මගේ අවසන් බොස් වීමය. 2014 වෙද්දී මා අවසන් වරට රැකියාව කළේ 'විසිදුනු ප්‍රකාශන' එකේය. ඒ අත්දැකීම් සියල්ල අමරණීයය. වෙනම ලිවිය යුතුය.

මදැයි! දියවින්නේ 'එළි බහින' තැනින් පටන් ගෙන, නුගේගොඩ 'විසිදුනු' තෙක් ආ දුර. දැන් ආපහු හැරෙමු.

දියවින්නේ පන්සල ආදි කාලේ එකකි. ඒ කිව්වේ යඨාලතිස්ස රජ කාලයේය. ඒකට සාක්ෂියකුත් තිබේ.


"මහත්තයෝ, මගේ අදහසක් තියෙනවා මේ පරණ සංඝාවාසය ටිකක් ලොකු කරලා හදාගන්න. ඒක කරගන්න පුළුවන් කියලත් විශ්වාසයි! ඒ ප්ලෑන් එකේ හොඳ කැසිකිළි කීපෙකුත් තියෙනවා........" 

විජිත හාමුදුරුවන් වහන්සේ අපට සියල්ල නොකීහ. අහිතකින් නොවන බවත් අපි දැනගෙන සිටියෙමු. විශාකා සිටු දුව පති කුලයට යනදා ලැබුණු එක අවවාදයක් විජිත  හිමියනුත් තදින් පිළිපදිනවා සේය. ගෙයි ගිනි පිටට නොදෙනු!

උවමනාවෙන් අහගෙන ඉන්නවා නම් බොහොමයක් දෙනා කතා කරන්නට කැමැතිය. එළියට නොදෙන එව්වාත් හෙළි කරන්නට කැමැතිය. හාරා-පාරා අහන සිරිතක් නැති මට ගොඩක් විස්තර ලැබෙන්නේ හොඳින් සවන් දෙන නිසාම විය යුතුය.

ශ්‍රී දේවගිරි රජමහ විහාරයේදීත්, දියවින්නේදීත් එකතු වුණු විස්තරවල හැටියට නම් විජිත හාමදුරුවෝ කොච්චර නැහීගෙන වැඩ කළත් තවම උන්වහන්සේට තියෙන්නේ වැඩක් කරන්නට; දියවින්නට වැඩක් කරන්නට ඇති ඇම්ම පමණි. 

පන්සලේ නායකකමවත් නැත! ඒකට උන්නාන්සෙලා දෙනමක්ම වැඩ හිඳිති; වැඩක් නොකරම! ඒ ඉන්නේත් ළඟ-පාතක නොවේ.  

බල්ලා පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ. මං උපහැරණයක් කිව්වා විතරය. බයේ බැරිය. දැන් ඉන්නා උන්නාන්සේලා (නරේන්ද්‍රසිංහ රජ්ජුරුවන්ගේ කාලේ උන් ගණින්නාන්සේලා වගේ නොවේ.) හරි තේජස්ය. උසාවියේදී වුණත් රැස් වළල්ලම පෙන්නති; පෙන්නලා හිරෙත් යති.

දියවින්න පන්සලට අපවත් වුණු ලොකු හාමුදුරුවන් සතුව තිබුණු ලක්ෂ විසි දෙකහමාරක් ඇතත්, පන්සලේ දේකට ඒවා වියදම් කරන්නට නම් අර නායක දෙපොලේ අත්සන් නැතිව බැරිය. 

ඒ සල්ලි ඔහේ පැටවු ගහද්දී විජිත හාමුදුරුවෝ වීරිය පාරමිතාව පුරමින් නැහෙති. මගේ මිත්තියාදුෂ්ටිකකමට මෙහෙම ලිව්වාට උන්නාන්සේගේ මූණටම මෙව්වා කියන්නට මට හිත් දුන්නේ නැත. ඒත් කොච්චර ගල් හිතක් වුණත් හිටි ගමන් උණුවෙන බව පෙන්නමින් විජිත හාමුදුරුවන්ම කතා කළහ.

"මට දුක අපේ ලොකු උන්නාන්සේ කෙනෙක්ම මට විරුද්ධව බුද්ධ ශාසන අමාත්‍යංසෙට පෙත්සම් ගහපුවම. ඒ දෙපොලම මගේම සංඝ පරම්පරාවෙ. ඒක හරියට තාත්තා කෙනෙක් පුතෙක් ගැන පිට කෙනෙකුට පෙත්සමක් ගහනවා වගේ දෙයක්! මගේම වාසනාවට වගේ ඒ ගැන අහලා එවපු ලියුම ආවෙත් මෙහාට. මං ඒ ලියුම ලොකු හාමුදුරුවන්ට ගෙනිහින් දෙන ගමන්ම ඇහුවා; ඔබ වහන්සේද මේක යැව්වේ කියලා. උන්නාන්සේත් ඔව් කිව්වා. ලියුමේ තිබුණේ මගේ ගැන විස්තර වාර්තාවක් එවන්න කියලයි. ඉතින් මමම පිටු දාසයක වාර්තාවක් හදලා යැව්වා."


ෆ්‍රෙඩී සිල්වා
කෙනෙක් දියුණුවේ ඉහළට යනවා//
බලා හිඳින්නට බැරි නම්

කර වටටම දාපියව් තොප්පියක්
ලෝකේ චාරේ ඒකයි දැන්
හලෝ- ලෝකේ චාරේ ඒකයි දැන්
හා ලාබයි, ලාබයි. සත පනහයි පෙත්සමක්, ලාබයි!

විද්‍යාකර විද්‍යාලයේදී අපිත් එක්ක එක පන්තියේ හිටි කාන්ති ලංකා ප්‍රධාන නිළි චරිතයට යොදා, ජෝ දේව් ආනන්ද් 1972 දී හැදූ 'සුජීවා' චිත්‍රපටයට ප්‍රේමකීර්ති ද අල්විස් ලියා- ෆ්‍රෙඩී සිල්වා ගැයූ ඒ ගීය විජිත හාමුදුරුවෝ උපදින්නත් කලින් එකකි. හාමුදුරුවනේ, එදත් එහෙමය. අදත් එහෙමය. අපේ එවුන්ගේ හැටි එහෙමමය. පෙත්සම් කාපර්ලාය.

හැබැයි එකක් නම් නිට්ටාවටම කියන්නෙමි. කවුරු මොන චෝදනාව කළත් මම නම් ඉලක්කය හරියටම ගෙන ඔබ වහන්සේට එකම එක චෝදනාවක් කරන්නෙමි. දැකපු වැරැද්ද නොකියා ඉන්නේ කොහොමද? ඒකෙන් නම් ඔබවහන්සේ නිදොස් වෙනවා බොරුය. 

මගේ චෝදනාවෙන් කියවෙන්නේ 'ඇවැතක්දැයි' හොයාගෙන  ඉතිරි කොටස කොටන්නෙමි!    

Sunday, July 15, 2018

මගේ චූස් - මටම චූස්






"මහ කළු සිංහලයා පලා යනවෝ!" කියා ගිරි නිඝන්ඨයා මොර දුන්නේය. ඒ වළගම්බා රජතුමා පලා යනවා දුටු විටදීය. එහෙම පලා ගිය රජු ශ්‍රී ලංකාවේ හැම තැනම, හැම අස්සක-මුල්ලක තිබෙන හැම ගල් ගුහාවකම ඉඳලා තිබේ. ඕනෑම පළාතක තියෙන, ඕනෑම ගල් ගුහාවක් ගැන හොයා බලන්න. වළගම්බාත් එතනට ඈඳාගෙනය. රජ්ජුරුවොත්, ගලුත් අතර පුදුම විදියේ සම්බන්ධකමක් තිබිලා වගේය. "වළගම්බා - ගල් ගෙම්බා - ගලක් ඇතොත් - බූබම්බා" කියා කවුදෝ කටහැකරයෙක් කියනවාත් මට ඇහී තිබේ!

සල්ගලත් ඒ වාගේ ගලකි. හරියටම කියනවා නම් ආරණ්‍ය සේනාසනයකි.

අපේ සුනිල් අහිංසකයෙකි. මට වඩා සිය ගුණයක් හොඳය. ඒත් මිනිහගේ කරුමෙක මහත. පිටින් පෙනෙන්නේ එපා කරපු එකෙක් විදියටය. අපි බතික් කරන කාලයේ එව්වා සුනිල්ගේ අතේ යැව්වාම බෙන්තොට මුදලාලි නෝක්කාඩු කියයි. "අනේ ළමයෝ, එයාව එවන්න එපා. මිනිහා හිනාවෙන්නවත් දන්නෑනේ. ඔය ළමයා එන්න." නිතරම හිනාවක් මුහුණේ තියෙන මං නිකම්ම සුර දූතයෙක් වෙලාය.

එතකොට අපි දෙන්නාම පුංචිය. ජංගි අඳින කොලු පැටව්ය.

මාලිනී ෆොන්සේකා
ඒ මං නමෝ විත්තියෙන්ම වට වන්දනාවේ ගිහින් ආ අලුතය. එහෙම ගියේ නැන්සි අක්කලා එක්කය. දවස් පහක ට්‍රිප් එකක් නොවේ; දවස් පහක වට වන්දනා ගමනකි! ගියේ මායි අපේ සීයයි දෙන්නාය. අප දෙන්නාව යැව්වේ ආච්චිය. අනේ ආච්චියේ, ආයෙමත් කියමි. මතු මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න! ආච්චි තිස්සෙම පැතුවේ එහෙමය. ම්ම්ම්... ගමනට ගාස්තුව කීයද දන්නවාද? වැඩිහිටියෙකුට රුපියල් පහළොවයි, හාල් සේරු දෙකයි, පොල් ගෙඩියයි. මට ඒකෙන් බාගයකි.

රුපියල් පහළොව කිව්වාම අද නම් හිතෙන්නේ සොච්චමක් කියලාය. ඒ ගැන පුංචි අයුරුවක් කිය යුතුය. ඒ දවස්වල (1968 දී) තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ 'පුංචි බබා' චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වුණු මාලනී ෆොන්සේකාට ගෙවා තියෙන්නේත් 1750/= කි.
  
කවටයාමුණේ අපායෙන්....  
ඒ ගමනෙන් මගේ මතක සංචිතයේ තියෙන්නේ කවටයාමුණේ විහාරයේ අපායත්, තවත් තැනක හිටි සත පහේ කාසි ගිලින යකාත්, සිංදු දෙකකුත්, නැන්සි ආච්චිගේ ප්‍රකාශයකුත්ය. "හා, හා, නඩේ ඉක්මන් කරනවා හොඳයි, හැම තැනදීම සේරම වන්දනා ගාථා නොකිව්වට කමක් නෑ. උදේම යන පන්සලේදී පන්සිල් ගන්නවා. අපි යන-යන තැන්වලදී කියන්න ඕනේ ගාථාව කියලා මම වන්දවන්නම්. හවසට අන්තිම පන්සලට ගියාම හිතේ හැටියට වැඳගන්නවලා. ඔන්න එතැනදී පව් සමා කරලා, දෙයියන්ට පින් දෙන එකයි ඇත්තේ!"

හැම රාත්තිරියකම අප නවාතැන් ගත්තේ පන්සලකය. නැන්සි ආච්චිලා රැයින් නැඟිටලා උදේට උයා ඉවර වෙනවාත් එක්කම නඩේ කවුරුනුත් පිඟන් අරන් පෝලිමේ ගොස්, කෑම ගන්නට ඕනෑය. අපි උදේට කාලා ඉවර කරන්නත් කලින් දවල්ටත් උයා, ලොකු වළන්, සාස්පාන් පිටින්ම බස් එකටත් පටවලා අහකය. වට වන්දනා ගමනකදී ලංකාවෙන් බාගෙකටත් වැඩි හරියක් cover කෙරෙයි. එදා එහෙම ගියත් අද නම් මට එහෙම ගමන් අරහංය. එව්වා හොඳ රථ ගාය තියෙන උදවියටය.

නැන්සි ආච්චී අඩුම තරමින් මාස දෙකකට වතාවක්වත් ගමනක් සංවිධානය කරයි. අපි වට වන්දනාවේ ගිහින් ආ අලුතම ඇය තවත් ගමනක් ගැන කියන්නට අපේ ගෙදරට ආවාය.


"මේ සැරේ යන්නේ එක දවසක ගමනක්.  සල්ගල ආරණ්‍ය සේනාසනේට." 

නැන්සි ආච්චිත්, අපේ අම්මාත් දෙන්නාම ඒ දවස්වල අඳින්නේ දිග ගවොම්ය. ඉස්සරහින් දිගටම පලා තිබුණු ඒ පැටන් එක දැන් වැඩිය නැහැ නේද? ඒ කාලේ නම් 95% ක්ම එව්වාට පුරුදුව හිටි අයයි. 'කිමෝනා'කිව්වෙත් ඒ ගවුම්වලටද කොහෙදය. එදා නැන්සි ආච්චී ඇඳගෙන ආවෙත්, අපේ අම්මා ඇඳගෙන උන්නෙත් එව්වාය. "මොකද කියන්නේ, ලීලාත් එනවද? ගුණපාල උන්නැහේට දැන් ඔව්වායේ යන්න බැහැනේ."

අම්මා බැලුවේ තාත්තා දිහාය. තාත්තාගෙන් අහන්නට ඕනෑ එයාට මුල් තැන ලැබෙන විදියේ ප්‍රශ්න විතරෝමය. "ඔයා මොකද කියන්නේ? නැන්සි අක්කලා සල්ගල යන්න හදනවනේ...."

අම්මාගෙ ගවුමේ දැවටෙමින් හිටි මම ටිකාක් ඈත්-මෑත්වී, මාත් ඉන්නවා යැයි නොකියා කිව්වෙමි. 

ගොරකා යකා මල්ලට දෙමල්ලක් දෙන්නම් කිව්වා වාගේ උත්තරයක් තාත්තාගෙන් හම්බ වුණේය. "රංජියාවත් එක්කගෙන ඔයාත් යන්න. එක දවසනෙ." මට නිම්-හිම් නැත. සතුට කියාගන්න විදියක් තිබ්බේම නැත. 

මොනවා කරන්නද, අපේ ගෙදර දරුවන් දෙමව්පියන්ව හෝ දෙමව්පියන් දරුවන්ව හෝ බදාගන්නා; වැලඳගන්නා සිරිතක් කවදාවත් තිබුණේ නැත.
  

ආරණ්‍යවාසීව ඉන්නා හාමුදුරුවන් වහන්සේලා දවසෙන් වැඩි හරියක් කරන්නේ භාවනා කිරීමය. (ආත්මාර්ථකාමී) උන්වහන්සේලාට අවශ්‍ය බවුන් වඩා මාර්ග ඵලයකට පැමිණීමටය. පන්සල්වල ඉන්නා (පරාර්ථකාමී) උන්නාන්සෙලා ඉන්නේ ගිහියන්ව නිවන් දැක්කීමටය. 

මට නම් අසා පුරුදු 'මාර්ග ඵලවලට සපැමිණි උත්තමයන් ඒ බව ප්‍රදර්ශනය නොකරන බව'යි. දැන් එහෙම නොවේ. මදිය නොකියන්නම ප්‍රදර්ශනකාමී (අප්‍රසිද්ධියේ තව මොන-මොන කාමීකම් තියෙනවාද යන්න වෙනම කතාවකි.) පන්සල්වල ඉන්නා උන්නාන්සෙලා විතරක් නොව ගිහියනුත් මාර්ග ඵල ලබලාය. 

(අනේ, උන්නාසේලා ඵල ලබලා විතරක් නතර වෙත්වා! ඵල නෙලලා ලෙලි අල්ලපු වතුවලටත් විසි කරන්න ගියෝතින් නම් මළ හත්තිලව්වක් වෙනවා සහතිකය.)

දැන් සුනිල්වත් සීන් එකට කැන්දාගන්නට වෙලාව හරිය.

නැන්සි ආච්චී ගියා විතරය. සුන්නා ඉස්සරහට ආවේය. "මොකක්ද තාත්තෙ? ලොකයියා වට වන්දනාවෙත් ගියේ. දැන් මේකටත් යවන්න හදන්නේ..." නහයෙන් අඬමින් කිව්වේය. ඒ දවස්වල ඔහු නහයෙන් ඇඬීමට හරිම සූරයෙකි. ඒක පටන් ගන්නෙත් සුපුරුදු පද දෙකකින් එකකිනි. 

එක්කෝ 'මොකද්ද තාත්තේ' කියලාය. නැත්තං 'ඉතින් තාත්තේ' කියාය. ඔය දෙකම තාත්තාට කොච්චර පුරුදුද කියතොත් සුනිලා 'මොකක්ද...' කියද්දීම තාත්තා ඔච්චමට "මොකඩ්ඩ ටාට්ටේ" කියා කියයි. එතැනින්ම සුනිල් කියන්නට ආ දේ ඉවරය.

එදත් සුනිල් පරාදය. කෙලින්ම විරුද්ධ වීම ජය ලබන්නට මඟක් නොවේ. ඒ සඳහා උපායශීලී විය යුතුය!

ඊළඟට සුනිල් කළේ මාත් එක්ක කණු-කුණු ගෑමය. "ඔයාට නං පව් අයියේ. එක සැරයකුත් ගියා.... මං තමා ගියේ නැත්තේ.... " දිගටම කියද්දී මගේ හිතටත් ඒ කාරණය වැදිණි. පව් නේන්නම්. අසාධාරණයි නේන්නම්. ඒත් මේ සැරේ නොගිහින් ආයේ සල්ගල යන්නයැ? සීයාගෙන් තාත්තාටත්, තාත්තාගෙන් මටත් අඩු නැතිවම උරුම වුණු ජානවල බල මහිමය මතු වුණේ එවිටය! මල් හතේ උපායක් මගේ ඉස්මුදුනටම ඇවිල්ලාය.

"හරි, ඔයාටත් ට්‍රිප් එක යන්නනේ ඕනේ. මං දන්නවා ඒකට කරන්න හොඳ වැඩක්. හැබැයි දැන්ම කියන්නේ නෑ. හරිද. මේක රහසක්. කාට හරි කිව්වොත් ඔයාටයි ගමන යන්න බැරිවෙන්නේ ඕං!"


ඒ දවස් ටිකේ සුනිල්ට මා දෙයියෙකි. දිවිය රාජයෙකුට වාගේ සැලකිලිය. "ඔන්න තමුසේ මොනවා කළත් වැඩක් වෙන්නේ නැතිවෙයි, ඇඳන් යන්න එකක් නැති වුණොත් නම්. මතක ඇතිව ඇඳුමක් හෝදලා තියාගන්නවා  කිලුටු  කරගන්නේ නැතිව." එතකොටත් සුනිල් තාත්තාගෙ foot සයිකලය පදියි. ගස් බඩ ගායි. ලවක්-දෙවක් නැතිව කැලේ-කොළේ රිංගයි. කොයි වෙලේ බැලුවත් ළඟ ගස් ගඳය. ඇඳුම්වල පැල්ලම්ය. ඒ දවස්වල අපට තිබුණේ ඇඳුම් කෑලි දෙක-තුනකි. හතරක් නම් නොවේ!

අපරාදේ කියන්න බැරිය. අපේ අම්මා හොඳ ගෘහිණියකට වඩා යස ගුරුවරියකි. 

"ළමයි පොඩි කාලේ ඉඳලාම තමන්ගේ වැඩ තමුන්ම කරගන්න පුරුදු වෙන්න ඕනෑ. තමන්ගේ ඇඳුම් කිලිටි නං එව්වා හෝදාගන්න එක තමන්ගේ වැඩක්." කොහොමද ඒ පොත? මං කියන්නේ ඒ පාඩම තියෙන පොත ගැනය.

එයා කෙල්ල කාලෙත් ඔහොම සම්‍යක් ප්‍රයෝග කළ බව වාර්තා වෙයි. 

"ඔව්..... රංජි පුතා, ලීලක්කා හරී හෙර. උයන වැඩක් කරන්නෙම නෑ. දරට යන්න නං එන්නෙම නෑ. මායි, හින්නි අම්මයි, කඩේ නංගියි එකතු වෙලා දරට යනවා ඕං. ලීලක්කා ඉංගිරිසි පත්තර කෑල්ලක් අරං එක දිහා බලාගෙන 'යස් යස්' කිය-කියා ඉන්නවා. ආය අපේ අම්මලට ඉංගිරිස් තේරෙනවය? ඒකි ඔන්නොහෙ පාඩම් කරපුවාවෙ කියනවා!"

සෝමා පුංචි ඔය පට්ටන්දර දිගාරිද්දී අපේ අම්මා නෑ කිව්වේ නැත. තාත්තාත් ගොළු වී උන්නා මතකය. හරිම ඇත්ත එළි වුණේ ඊටත් කාලෙකට පස්සෙය. 

රේල්ලුවේ වැඩ බාරගෙන, අල්ලපු ගෙදර කුලියට අරං එහාට ආ දිසානායක හේවගේ ගුණපාල හැන්ඩියාට පෙනෙන්නලු රහුබැද්දේ විදානෙලාගේ ලීලාවතීගේ අර ඉංගිරිස් පාඩම තිබුණේ! අනේ ගුණපාල! හැබැයි උන්නැහේ අර මායම්වලට අහු නොවුණා නම් හෙම අද මෙව්වා කොටන්නට මාත් නැත. මං පතාගෙන ඇවිත් තිබුණේ ඩී.එච්. ගුණපාලට සහජාතව ආර්.වී. ලීලාවතීගේ කුසෙන් හෑල්ලු වෙන්නනේ!

ඉතින් සුනිලා ඒ දවස්වල පුදුම විදියට සංවර වී, diposit වී මගේ උපදෙස් පිළිපැද බොහෝම කීකෝරුව කල් යවද්දී දවස උදා වුණේය.
  

මං හීනෙනුත් දැක්කේ කලින් වට වන්දනාවේ යද්දී ලීලක්කලා, අමරක්කලා, සුමනක්කලා, අයිරාංගනීලා, මලවිසූරිය අයියලා අර සිංදු කියන හැටිය. 'සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා....' 'ඕලු නෙළුම් නෙරිය රඟාලා - කිකිණි හඬන....."
ඇත්තටම පුදුමත් හිතෙයි.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 'ග්‍රැමෆෝන් ගී යුගය' කෘතියට අනුව සැළලිහිණි කොවුල් ගීය 1953 වකවනුවේ එකකි. ඕලු නෙළුම් 1956 හැදුනු 'රේඛාවේ' එකකි. ඒ ගීත දෙකම හැට පැනපු එව්වාය. ඒත් තවමත් හොට බිම ඇනී නැත. අලුත් සිංදු ඉක්මනින් වයසට ගිහින් අයසට පත් වෙන්නේ ඇයි?

"අපිට ඇහැරෙයිද අයියේ?" ටොකු තුනකුත් ඇනගෙන පැදුරට වැටෙනවාත් එක්කම සුනිලා කෙඳිරුවේය. ඒ දවස්වල අප වෙලාව බලාගත්තේ කෝච්චියෙනි. රැයද දවාලද කියා වෙනසක් නැත. කැලනිවැලියේ පුංචි කෝච්චිය ඒ කාලයේ දිව්වේ අප වැන්නවුන්ට වෙලාව කියන්නටම වාගේය. රේල්ලුවේ වෙලාවල් අපට කට පාඩම්ය. ඔරලෝසුවක් පැත්ත පළාතක නොතිබුණු ඒ සමයේ කෝච්චිත් වෙලාවටම වාගේ දිව්වේය.

ඊට අමතරව අවේලාවල වෙලාවට කරන්න ඕනෑ වුණේ රැයින් පිබිදෙන එකය. ඒ ඉතින් ගමනක් බිමනක් යන දවසකය. එහෙම වෙලාවට පැදුරට වැටෙන අන්තිම තත්පරයේ, ඇහැරෙන්නට ඕනෑ කරන වෙලාව හිතේ තදින් ධාරණය කරගෙන- ඒ ගණනට ටොකු ටිකක් ඇන ගත්තාම හරිය. හරියටම හරිය!

ලොකු නංගී - අනිල් හා සුනිල් 
"මං තමුසෙට කිව්වනේ, තමුසෙත් එක පාරටම නැඟිටින්නේ නෑ ඔන්න. මුලින්ම නැඟිටින්නේ මං විතරයි. අම්මත් එතකොට ඇහැරෙනවා. අම්මා තේ හදනකොටයි තමුසෙත් නැඟිටින්නේ.... ඉතිරි හරිය මතකනේ... හරියට කළේ නැත්තම් තමුසෙට ගෙදර ඉන්න වෙයි!" මම දත්මිටි කමින්, තරහෙන් පිපිරෙමින් සුනිල්ට කෙඳිරුවෙමි. "දැන් චරු-චුරු  ගාන්නේ නැතිව නිදා ගනිං!"

මගේ ප්ලෑනේ මුල හරිය හරියටම හරි ගියේය!

තුනට මං නැඟිට්ටා. ඊළඟට අම්මා. තේ හැදීම.... තාත්තාට දෙන එක... ඒ අස්සේ මං බෙලෙක් කෝප්පයක් බිම දැම්මෙමි. ඒ සුනිල්ට දුන් සංඥාවයි. එතෙක් හොරට නිඳාගෙන උන් සුනිලුත් නහයෙන් අඬාගෙනම නැඟිට්ටේය. "අනේ තාත්තේ..... මාවත් එක්කං යන්න කියන්නකෝ... " දිගටම මැසිවිලිය. මා ඔහුට කියා දුන් විදියටම, හරියටම ඒක කන්දොස්කිරියාවක් වෙන තරමට දිගටම නහයෙන් ඇඬුවේය. තාත්තාට යකා නැංගේ එතකොටය!

"මොකද්ද යකෝ උදේ පාන්දරම මේ අඬෝවැඩියාව? වගතුවක් වෙයිද ඉතින්..... "

"ඉතින් තාත්තේ... මාවත් එක්ක යන්න කියන්නකෝ. ලොකා ගිය පාරත් වන්දනාවේ ගියේ.... "

"ඉටින් ටාට්ටෙ- ඉටින් ටාට්ටෙ..... හරි. රංජි, උඹ හිටපන් ගෙදර. මල්ලී අම්මත් එක්ක ගියාවේ. සල්ලි බැඳලා තියෙන්නෙ එකහමාරකට විතරනෙ..."

තාත්තා 'අවසාන තීන්දුව' ප්‍රකාශයට පත් කොට, බීඩියකුත් පත්තු කරං ලොකු බරකින් නිදහස් වෙන්නට ගියේ මට අභියාචනයකට ඉඩක් නොතියාමය! අන්තිමට මගේ චූස් මටම චූස් වුණේ එහෙමය!
  

පසුවදන:
අද වෙනතුරුත් මා සල්ගල ගිහින් නැත. යන්නට හිතුනෙත් නැත. එහෙත් මේ ඇබැද්දිය; මගේ නැණ බලේ මටම එරෙහිව පත්තු වුණු හැටි ලියන්නට යද්දී අන්තර්ජාලය හරහා සල්ගල ගියෙමි! ගියා විතරක් නොවේ... අජිතා එදිරිමාන්න Photographic Society of Sri Lanka - 2012 ජුනි කණ්ඩායමේ සල්ගල ගමනට සහභාගි වෙමින් අරගත් ඡායාරූපත් මගේ පෝස්ටුව සරසන්නට යොදා ගතිමි. අජිතා, ගොඩක් ස්තුතියි.


Wednesday, July 11, 2018

ආවොත් නොයා බැරිය - තෙවෙනි කොටස


පද්මා ලාලනී කුරුප්පු. 
අද එතන ඉඳලාය.


අපරාදේ කියන්නට බැරිය. රංජිත් කුමාර මහතා අනුන්ගේ දරුවනුත් තමන්ගේ කියා 
උප්පැන්න ලියාගන්නා වරිගයේ නොවේ! මුලින් කී ලිපියේත්, "ජීවිතයෙන් සමුගත් 
'සරසවිය' මිතුරියගේ මව එනම් 'ගොළු හදවතේ' ඇත්ත දම්මි" ලිපියේත් මගේ නම හංගා තිබුණේ නැත. 2018 මැයි 31 'සරසවිය' පුවත්පතේ 12,17 පිටු දෙක පුරා ඒ ලිපිය පළවී තිබුණේ පද්මා ලාලනී මහත්මියගේ අභාවය නිමිත්තෙනි.

ආපහු කුරුප්පු මහත්තයා ළඟට යන්නට කලින් කරුණාසේන ජයලත් නවකතා රචකයාණන්ගේ කෘති ගැන පොදු සාධකයක් පිළිබඳව කිව යුතුය. මා මෙය කියෙව්වේ 
කොහි තිබීදැයි යන්න නම් මතක නැත.

ඔහුගේ හැම පොතකටම ඇත්තේ අකුරු හයක නමකි!


කුරුප්පු මහතාට දූලාත් පුතාලාය. 2016 අප්‍රේල් 16 වෙනිදා ඔහු දෙවෙනි දියණිය සුභාෂිනීත් සමඟ ලංකාවට ආවේය. නැවතී හිටියේ ගල්කිස්සේ මැඳුරකය. දින හතර-පහක්ම ඒ දෙන්නාට ගමේ; මව් බිමේ කෑමත් හදාගෙන මා එහි ගිය විටදී, එකම වතාවක්වත් සුභාෂිනීට 'දුවේ' කියනවා ඇහුණේ නැත. පොඩි පුතා කියනවා මිස. හැබැයි ඔහු ඉතා ආදරය කළ දරුවන් රැසක්ම ඔහුට විය. අර්බත් දරුවෝ හත් දෙනාත් එක්කම නම් 50 ටත් වැඩිය. 

දෑවුරුද්දකට කලින් එද්දී ඔහු ටයිප් සෙටින් කරගෙන ආ පොත් අටකුත් තවම මා ළඟය. බාගෙට වැඩ කෙරුණු 'පරණ ගමට යමු' කොහාට යාවිද කියා හිතා ගන්නටවත් බැරිය.

2009 කාලය වන විටය 'ආවොත් නොයා බැරිය - 1' පෝස්ටුවේ මුලදී කෙටූ ලෙස කිත්සිරි හෙට්ටිහේවා මහතා කඩා පාත් වුණේ. "ඔන්න නිමල් මම දන්නේ නෑ. මට නම් දොස් කියන්න එපා. මට ක‍රන්න දෙයක් නෑ. මිස්ටර් කුරුප්පු කිව්වා මං ආයේ ඕස්ට්‍රේලියාවට එන්න කලින් ඔයාට කම්පියුටර් එකක් අරන් දීලම එන්න කියලා."

"ඉතින් කිත්සිරි මහත්තයා, මං කම්පියුටරයක් ඕනෙයි කිව්වේ නැහැනේ."

"එව්වා මං දන්නේ නැහැ. මිස්ටර් කුරුප්පු කියනවා ඔයාට දැන් කම්පියුටරයක් ඕනේ නැති වුණාට ගෙනාවාට පස්සේ ඒකේ වටිනාකම තේරෙයි කියලා. මිස්ටර් කුරුප්පු ගොඩක් ඇප්රිෂියෙට් කරනවා නිමල් එයාට කරල තියෙන උදව්. ඒකයි එයාට ඕනේ මෙහෙම උදව්වක් හරි නිමල්ට කරන්න."

කිත්සිරි මහත්තයා මට බුරුලක් දුන්නේම නැත. "නිමලුත් දන්නවනේ මිස්ටර් කුරුප්පු කොච්චර ස්ටබර්න්ද කියලා.... මට පුළුවන් මොකක් හරි කම්පියුටරයක් අරන් එන්න. ඊට වැඩිය හොඳ නැද්ද නිමල්ම එකක් බලලා ගන්න එක." කිත්සිරි මහත්තයා හරියටම නූලට මිෂන් එක කළේය. අන්තිමේදී මම මංජු (රවීන්ද්‍ර ප්‍රසාද් පෙරේරා) ගේ පිහිට පැතුවෙමි. (මංජු ගැන 'අජාසත්ත -2 පෝස්ටුවෙදීත් කිව්වේ මගේ මුල්ම පරිගණක ගුරුතුමා ඔහු බැවිනි.)  ඔහු මා කැටුව ගොස් මට වඩා පලදායි විය හැකි පරිගණකයක් හා අවශ්‍ය මෙවලම් තෝරා දුන්නේය.
   
මංජුගේ කුටුම්බයයි ශෙරානුයි         

මුලදී මා කළේ නරඹන ටෙලි නාටක දෙක-තුන අන්තර්ජාලය හරහා බැලීමයි. අතොරක් නැති වෙළඳ දැන්වීම්වල කරදරයෙන් බේරෙන්නට එමඟින් හැකි විය. ඊළඟට ට්‍රිප් එකක් යන අතරේ ඇඹිලිපිටියේ නන්ද කුමාරලා ගෙදරදී සාන්තත්, ෂෙරානුත් බලන නිසා 'ප්‍රිස්න් බ්‍රේක්' එපිසෝඩ් එකක් බැලුවා විතරය. ඊට වහ වැටුණේ පුදුම විදියටය. මගේ කොම්පියුටර් ඇබ්බැහිය ඔහොම දිගට-දිගට ඇදිණි......


බ්ලොග් එකක අදහස මගේ ඔළුවට ආවේ 2017 ඔක්තෝබර් 24 වෙනිදාය. එය කොටාගෙන යද්දී එපා විණි. ඒ ලියන්න හැදුවෙත් මෙවන් දේවල් නොවේ! ..... හැබැයි මම ටිකාක් ඉස්සර වුණා නම් කුරුප්පු මහත්තයා කොතරම් සතුටු වෙන්න තිබුණාද? මා කම්මැළියෙකි, එක දිගට ලියාගෙන යද්දී ඒ අසනීපය තවත් වැඩි වෙයි. මොන හේතුවකින් හෝ පංච තන්ත්‍ර ආකෘතිය හින්දා මට කම්මැළි නැත. දැනට මා ලියා ඇති දිගම පෝස්ටු මාලාවටත් ඇත්තේ කොටස් පහකි. අනෙක් අයගේ බ්ලොග්ස්වල කොටස් තොග ගණන් දකිද්දී නම් මට පුදුමත් හිතෙයි.

කුරුප්පු මහත්තයාත් අතිශය ඉහළ වේගයකින් නිර්මාණ කළ කෙනෙකි.




හිතුවෙවත් නැති විදියට මගෙන් මේ සේරම කෙරෙන්නේ කුරුප්පු මහත්තයා බලහත්කාරයෙන්ම මට පරිගණකයක් අරං දුන් හින්දාය. මේ ඔහු දුන් පගාවක්ද?

මා රස්සාව කරන කාලයේ කවදාවත් පගා අරන් නැත. කොමිස් අරගෙන නැත. ඉස්සෙල්ලාම මා කුරුප්පු මහතාට දුන් පගාව ගැනත් කියලා අහවරවී තවත් පගා රහසක් හෙළි කරන්නං!

2016 අප්‍රේල්වල ලංකාවට ආ කුරුප්පු මහත්තයාට යම්කිසි සිහිවටනයක් දිය යුතු යැයි මට හිතුණේය. කොහේ යතත් මගේ උරයේ එල්ලී, මා එක්කම එන 'හචා බෑගයේ' මගේ 'අයි පෑඩ්' එකත් තිබෙයි. ඒක තියෙන්නේ අතීතය පින්තූරවලින්, වීඩියෝවලින් හිර කර ගන්නටය. 

එතකොටත් නෙවිලුත් එක්කම කුරුප්පු මහතා බලන්නට ගිහින් පැරැණි රසාංග ටිකක් ගායනා කළ හැටි ඒකේ හිරවෙලාය. (කුරුප්පු මහතා සිංදු මතක් කළා මිස කිව්වේ නැත.) ඒ.ඩී. රංජිත් කුමාර මහතා තව ඡායාරූප ශිල්පියෙකුත් කැටුව එහි ආ දවසත් ඒකෙ හිරවෙලාය. මා කළේ එව්වායින් පුංචි වීඩියෝ එකක් නිමවා DVD එකකට ගෙන ඩී.වී.ඩී. ස්ටෑන්ඩ් එකකුත් එක්කම එය ඔහුට දීමයි. 

(පාලිත සමන් කුමාර මිත්‍රයා 'DVD stand එක කාටදැයි අසා 'එහෙනම් ඒක මගෙන් නිමල් අයියට දෙන තෑග්ගක් හියලා හිතන්නකෝ!' යි කියා සල්ලි ගත්තෙත් නැත! ස්තුතියි පාලිත.)


එහෙම දෙන ගමන් මා ඔහුට කිව්වේ ඔහු මට දුන් පරිගණකය දැන් මා කොතරම් දේවලට යොදා ගන්නවාද කියාය. හිනා මලකින් මූණ පුරවාගෙන කුරුප්පු මහත්තයා කිව්වේ වචන තුනකි. "ඒකනේ මං කිව්වේ."

DVD එකත් එක විදියක පගාවකි. එහෙම බැලුවොත් නම්, නොදැන හෝ ඔහු අවසන් වරට මවුබිමෙන් සමුගත් දිනයේ ඔවුන් කටුනායක ගුවන් තොටුපළට හැරලීමත් පගාවකි. අනේ මන්දා.... දැන් මට ලැබුණු එකම පගාවේ කතන්දරයට ඉඩ දෙන්නෙමි.

ඒ දවස්වල අපේ ප්‍රෙස් එකට එන තරුණයෙක් සහතික වගයක් මුද්‍රණය කරගෙන යයි. ඔහු එනවිටම පෙරමඟට ගිහින් පිළිගන්නා කෙනෙකුත් හිටි නිසා මං ඒ ගැන හොයා බැලුවෙම නැත. දවසක් අර තරුණයා ආවත් "රිෂෙප්ෂනිස්ට්" නිවාඩුය. අපේ බොස් අර තරුණයාගේ වැඩය කරවලා දෙන්නැයි මට පැවරුවේය. 

රහස එළි වුණේ එවිටය. ඒක මහා භයානක ජොබ් එකකි. ගහන්නේ හොර සහතික වගයකි. ජොබ් එක කරනාතරේ තොරතුරු එකතු කරගැනිල්ල මට අසීරු වුණේ නැත.

ඒ සහතික ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හැදෑරූ බව සහතික කරමින් දෙන එව්වාය. පිටරට යන්නට වීසා ගන්නා මගඩියකි. ජොබ් එක හමාර වෙන්නේ කිසිදු සලකුණක් ඉතිරි නොකර, ඒ සඳහා පාවිච්චි වුණු සියලු දේත් අර තරුණයාගේ වාහනයටම පැටෙව්වාට පසුවය. ඒකට බොස් නොසෑහෙන ගාණක් කපාගන්නටත් ඇත. 

පිටත් වන්නට සූදානම්වී අර තරුණයා මා ළඟට ආවේය. "තෑන්ක්ස් මිස්ටර් නිමල්, මගෙ ජොබ් එක හොඳට කරවලා දුන්නා.....'' යැයි කියමින් ඔහු මගේ අතට යමක් ගුලි කළේය.

"No, No... තෑන්ක්ස්! මං කළේ බොස් පවරපු ජොබ් එකනේ." පිළිකුල හංගාගෙන මා ඔහුට කිව්වත්, ඔහු නික්ම ගියේ බලෙන්ම අර මුදල් මගේ කමිස සාක්කුවට ඔබලාය. එතැන රුපියල් දෙසිය පනහක් තිබිණි.

ඒ දවස්වල ප්‍රෙස් එකේ තේ හදන්නේ ඉන්ද්‍රජිත්ය. ඔහු ගෙන්නාගෙන මම අර සල්ලි ඔහුට දුන්නෙමි. "බිස්කට් පෙට්ටියක් ගෙනල්ලා තේත් එක්ක හැමෝටම බෙදනවා." 

විස්කෝතු ගෙනෙන්නට ගිය ඉන්ද්‍රජිත් ආපහු ආවේ තව රුපියල් තිහ-හතළිහක් මදිය කියාගෙනය. ඒකත් ගියේ මගේ සාක්කුවෙනි. මා තේ බොන්නට යද්දී මේසය උඩ තිබුණේ මගේ තේ එක පමණි. බිස්කට් නැත. බොස්ගේ මේසය තිබුණෙත් මගේ මේසය අසලින්ම නිසා ඒකට එබී බලද්දී  එතැනත් තියෙන්නේ තේ එක විතරය. මම ඉන්ද්‍රජිත් ගෙන්නුවෙමි, විමසුවෙමි.

"නිමල් අයියලට ගේන්න ඉස්සෙල්ලා බිස්කට් ඉවර වුණා!"


එහෙම අතීතයක් හිමි මටය, කුරුප්පු මහත්තයා ඔහුගේ වියදමින් පරිගණකයක් ඇඟේ ගැහුවේ! ඒක දිවැසින් බලලා කළ දෙයක් වාගෙය. කවදාවත් මට එය පගාවක්; අයුතු ත්‍යාගයක් ලෙස හැඟුණේ නැත. ඒ මට කුරුප්පු මහත්තයාව මගේම කෙනෙක්; තාත්තෙක් ලෙස දැනුණු නිසාවෙනි.

අද මගේ කාලයෙන් වැඩි හරියක් ගෙවෙන්නේ එහෙම දුන් කොම්පියුටරය එක්කය. දැන් මා නිවසින් බැහැර යන්නේ එහෙමත් වෙලාවකය. මගේ දෙකකුල් හිරි වැටිලාය. සෙරෙප්පු දෙකක් දාගෙන නම් යාම බොරුය. සෙරෙප්පු පටිය ඇඟිලිවලට හිර වෙන්නේ නැත. සෙරෙප්පු දෙක දෙපයේ තියෙනවාදැයි මට දැනෙන්නේත් නැත. සමහර වෙලාවට මේ විදියට මගේ අදහස් කොටා ගන්නටත් බැරිය. ඇඟිලි එක උඩ එක යයි. මස් පිඬු පෙරළේ. එහෙම වුණත් එව්වාට මා නැවැත්විය නොහැකිය. මගේ දැක්ම මේකය.

'කෙනෙකු මරා දැමිය හැකිය. එහෙත් පරාජය කළ නොහැකිය!' ඒ සත්‍යය මාරාන්තික රෝගයකට ගොදුරු වූවෙකු සම්බන්ධයෙන් වුවද වලංගුය!!

පනස් පහක් උන්නාම හොඳටම ඇති යැයි හිතාගෙන උන් මට දෛවය 'බෝනස් එකක්සේ ආයු දිගුවක්' දී තිබේ. එය කොච්චර දිගදැයි කියලා නම් දැන ගන්නට ක්‍රමයක් නැත. කුරුප්පු මහත්තයා මට කොම්පියුටරය දුන්නේ 2009 වසරේය.

ඊට වසර හතරකට පස්සේ 2013 දී මගේ 'ඉරණම' මට ලෙඩක් දැම්මේය; 'මල්ටිපල් මයෙලෝමා' දුන්නේය..... ඒත් කුරුප්පු මහතා දුන් කොම්පියුටරය දැන් ලෝකය පුරාම මාව අරන් යයි!

ඒවා වෙනම ලියන තෙක්, සැඳෑ තරු එළියේ කිමිදුණු කුරුප්පු මහතාණෙනි  
"ඔබට සදා සතුට, සැනසුම, සමාදානය හිමි වේවා!" 
කියා පතන්නෙමි.



පසුවදනකි: ඩී. බී. කුරුප්පු මහත්මාට සැබෑ ලෙසම හිතවත් කරුණාවන්ත අයට හෙළි කිරීමට රහසකුත් මට තිබේ. ඔහුගේ මුද්‍රිත පොත්වලින් සිය ගණනක් තවමත් අපේ ගෙදර ගබඩාවී ඇත. ඒවා අලෙවි කරවීමේ යෙදෙන්නට කලක්, ඉඩක් හෝ හයියක් දැන් මටත් නැත. ඔහුගේ දියණිය සුභාෂිනීටත් ඒවාට මැදිහත් වෙන්නට හැකියාවක් ඇතැයි නොසිතමි. ඉතින් කවුරුන් හෝ මැදිහත්වී මේ පොත් රැසට උපරිම යහපත කරන්නේ නම් එයම කුරුප්පු මහතාට කරන උපහාරයකුත් වනු නිසැකය!

Tuesday, July 10, 2018

නැණ ලැබ ගත්තෙමි - ඔහු සෙවණේ හිඳ - සිව්වෙනි කොටස


භාෂා නෛපුණ්‍යය තිබුණු පළියටම හැමෝටම කරන්නට බැරි වැඩ කිහිපයක් තිබෙයි. එකකි 'ව්‍යාපෘති ලිවීම'. ලාල් අයියා ඒකට සූරයෙකි. අමද්‍යපයටත් මුද්‍රණාලයක් ලැබුණේ, පුස්තකාල ගොඩනැඟිල්ලක් ලැබුණේ ඒ හපන්කම නිසාවෙන්මය. ටැක්ට්ෆුල් වීම නිසාවෙන්ය.

ඒ ඔහුගේ 'tactful' ගතියට පින් සිදු වන්නටය, අපේ සමන්ති නංගි එංගලන්තයට යැවුණේත්!

ලොකු නංගිගේ අකල් මරණයෙන් පසු අපේ පවුලේ බාලම දෙන්නා එංගලන්තයට 
ගෙන්නා ගන්නට ඩැඩා කටයුතු යෙදුවේය. වීසා ඉල්ලුම්පත් පුරවා දෙන්නටත්, සම්මුඛ පරීක්ෂණයට අප කැටුව යන්නටත් ලාල් අයියා කැමැති වුණේය. 

එවිට සමන්ති නංගිට අවුරුදු දහසය ලබන්නට ඔන්න-මෙන්නය. 

"නිමල්, අපි සමන්තී නංගිටත් වීසා ඉල්ලමු. හැබැයි එයාට මෙව්වා දැන්ම කියන්න ඕනේ නෑ. හරි ගියොත් යනවා, නැත්තං සද්ද නැතිව ඉන්නවා. තවම දාසය පිරිලා නැති නිසා පුංචි ඉඩක් තියෙනවා වීසා හම්බ වෙන්න." ලාල් අයියා මට තේරුම් කර දුන්නේය.

'ලොකු දෙයක් ලාල් අයියේ. ඉන්ටර්විව් එකට යන්නෙත් ඔයාමනේ. අපේ අම්මට නම් ඔය වගේ එව්වයෙදි  පොයින්ට් එකට කතා කරන්න දන්නේ නැහැනේ." මම කීවෙමි.

අම්මාගෙ ඒ ගතිය නම් අදටත් එහෙමය. අපේ ඩැඩා ඒවාට කියන්නට පුරුදුව හිටියේ 'මම්බෝ-ජම්බෝ' කියලාය.  සුද්දන්ට තියා, සිංහලෙන් හිතා ඉංග්‍රීසියෙන් කතා කරන මටත් අපේ අම්මා ඉංගිරිස්වලින් කියන සමහර දේවල් අප්‍රබංශය. ඒ කාලයේ ඉන්ටර්විව්වලදී අපට කැමැති 
භාෂා පරිවර්තකයෙක් කැටුව යන්නට අවසර තිබීම අපේ වාසියට හිටියේය. ලාල් අයියා කළේ 'පරිවර්තක ජොබ්' එක නොවේ, 'ලෝයර් ජොබ්' එකත්ය. ඒක වැඩ කළේය.

තුන්දෙනාටම වීසා ලැබිණි. එව්වාට කොහොම ස්තුති කරන්නද?

වීසා ලැබී අපේ බාලම තිදෙනා එංගලන්තයට ගිය අලුතම.... 
"පවුල් සංවිධාන සංගමයෙන් කෙරෙන්නෙ දරුවන් නැති කිරීම නෙවෙයි. හුඟ දෙනෙකුට තියෙන වැරැදි අවබෝධයක් තමයි ඒ. අපේ අරමුණුවල මුලින්ම එන්නේ හැම විවාහක යුවලක්ම පවුලක් බවට පත් කිරීම. යුවලක් පවුලක් වෙන්න නම් දරුවන් ලැබිය යුතුයි. දරුඵල නැති, දරු සම්පත් ප්‍රමාද වෙන යුවලවලට වෙනම ප්‍රතිකාර කරන සායනයක් අපි පවත්වාගෙන යනවා. දෙවැනි එක තමයි දරු සම්පත් පමා කරගන්නට අවශ්‍ය නම් ඊට උපදෙස් ලබා දීම....." ඔය විදියට විධිමත්ව FPA හඳුන්වා දීමට අප පුරුදු වුණේ ලාල් අයියාගේ කතාවලිනි. ඔහු ඒ ටයිප් එක අමද්‍යපයටත් හඳුන්වා දුන්නේය.

"සලඅතසයෙ තියෙනවා මූලික අරමුණු හතරක්. බුදු දහමේ 'සම්මා වායාම'වලදී කියනවා වගේ. කිසි දවසක මත් වතුර පාවිච්චි නොකළ අයෙක් ඒ තත්වයේම තියා ගන්නට කටයුතු කිරීම. නූපන් අකුසල් නූපදවීම. දෙක, මත් වතුරට පුරුදු වුණු කෙනෙක් එයින් මුදවා ගැනීම, ඒ කියන්නේ උපන් අකුසල් නැති කරගැනීම. අපි කිසි දවසක මත් වතුර පාවිච්චි කරන්නේ නැහැ..........."

බොහෝ අවස්ථාවලදී අසා සිටින්නන්ට එපා නොවන්නට ලාල් අයියා 'තෙල බෙදුවෙත්' 'බෙදන්නට පුරුදු කෙරුවෙත්' එහෙමය. 

ඒවාට සිංගප්පූරුව, ඉන්දුනීසියාව හා යුගොස්ලෝවියාවේදී ඔහු ලද සන්නිවේදන පුහුණුව උපකාරී වූවා විය යුතුය.

මිනිස් මොළය
දැන් ලෝකය ගොඩාක් දියුණුය; කාර්ය බහුලය. අපේ මොළයත් එහෙමය. දවසකට කොයි තරම් සිතුවිලි කන්දරාවක් හිතක පහළ වෙනවාද? යම්-යම් දේවල්වලට ප්‍රතිචාර දක්වන්නට; පිළිතුරු දෙන්නට අපව මෙහෙයවනවාද? ඒ සේරම කෙරෙන්නේ විද්‍යුත් ආවේග 
එහා-මෙහා යැවීමෙනි. සම්ප්‍රේෂණය කිරීමෙනි. දවසකදී කොච්චර ප්‍රමාණයක්ද කියලා හිතමුද..... 

මෙන්න උදව්වක්! ලෝකයේම තිබෙන ටෙලිෆෝන් සේරගෙන්ම එක දවසකදී හුවමාරු වෙනවාට වඩා පණිවිඩ කන්දක් අපේ මොළය හරහා එහා-මෙහා වෙයි.

මට හිතෙන්නේ මගේ මොළය ටිකාක් O.T ත් කරනවා ඇති. ලාල් අයියා වැනි අයගේ මොළවලට නම් ඉස්පාසුවක් ඇත්තෙම නැතිව ඇති.

ඒ නිසාම වෙන්නට ඕනෑය; FPA එකේ දක්ෂයන් අමද්‍යපයටත්, අමද්‍යපේ දක්ෂයන් FPA එකටත් කැන්දාන ගියේ. දක්ෂයන් එක්ක වැඩ කරන්නට නම් තමාගේ දක්ෂකමුත් යාවත්කාලීන කරගත යුතු බව ඔහු හොඳින්ම දැන සිටියේය.

කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ අමද්‍යප ශාලාව අබියසදී....(බෙල් බොටම් යුගයේදී....) ඉදිරි පෙළේ වමේ සිට පස්වෙනියාට ඉන්නේ මං වහන්සේය. දකුණු කෙලවරේ ලාල් අයියා සිටී.
මට පණ තිබෙන තාක් අමතක නොවන අත්දැකීමක් ලබාදීම සම්බන්ධයෙන් මා ලාල් අයියාට හොඳටම ණය ගැතිය. ඒ අත්දැකීම ලද්දේ FPA එකේ ප්‍රොජෙක්ට් එකකදීය. එම ව්‍යාපෘතිය දියත් වුණේ එළිමහන් සිර කඳවුරුවල සිටින රැඳවියන් වෙනුවෙනි. 

සාමාන්‍යයෙන් යහපත් කල්කිරියාවෙන් යුතුව බන්ධනාගාරයේ සිටින සිරකරුවන්, නිදහස් වීමට ආසන්න කාලයේ එළිමහන් කඳවුරුවලට යැවෙයි. වීරවිල හා පල්ලෙකැලේ කඳවුරුවල රැඳවියන් උදෙසා තිබුණු වැඩ සටහන් දෙකකටයි මා සහභාගි වුණේ.

වීරවිල කඳවුරේ බලධාරීහු සාදරයෙන් අප පිළිගෙන, සංග්‍රහ කළහ. ඒ අතරම අපට කරුණු කිහිපයක්ම අවධාරණය කළහ. "මුන් සිගරැට් ඉල්ලයි. සල්ලිත් ඉල්ලයි. දෙන්න හෙම එපා!"

තේ පානයෙන් පසු කවුදෝ කෙනෙක් යටත් නිලදරුවෙකුට සිරකරුවන් කැඳවන්නැයි 
අණ දුන්නේය. මම බලා උන්නෙමි. 

බොර පැහැගත් සුදු ජම්පර ඇඳගෙන, ඔවුහු නිරුවත් දෙපයින් යුතුව ඇවිදගෙන ආහ. ඒ වනවිටත් රැස්වීම් ශාලාවේ අපට අසුන් පනවා තිබිණි. හැබැයි අපේ වැඩ සටහනට සහභාගි වෙන පිරිසට මොකුත්ම නැත. අඩුම ගණනේ පැදුරක්වත්.... 
ඔවුහු  සියලු දෙන කිසිදු ඇණවුමක් නැතිවම බිමින් වාඩි වූහ.

දෙයියනේ! එතන හිටි වැඩි දෙනා මැදි වියේ වූවන්ය. ඔවුන් බිම වාඩිවී සිටියදී 
මා පුටුවකට පත බෑවෙන්නේ කෙලෙසකද?

වැඩිහිටි අය වාඩිවෙලා ඉන්නවට වැඩිය උඩින් වාඩිවෙන්න එපා! ගෙදරදී අපට පුහුණු කරවා තිබුණේ එහෙමය. ඒත් දැන්? ඒ මදිවාට ඔවුන් වැඩි දෙනාගේ මුහුණු විඩාබරය. අප්‍රාණිකය. උද්යෝගයකින් තොරය! සිරගතවී හිටියත් ඔවුන්ටත් ආත්මයක් තිබෙනවා නොවේද? අභිමානයක් තිබෙනවා නොවේද? ඒ ආත්ම අභිමානය පලුදු වුණොත්......

අන් අය ගැන මම නොදනිමි. මා සම්බන්ධයෙන් නම් එය මෙවැනිය.

මා ආඩම්බරකාරයෙක් නොවේ. එහෙත් අභිමානවත් කෙනෙක්මි.

අද වනතුරුත් මා සේවය කළ එකම ස්ථානයකදීවත් මා හාම්පුතුන්ට 'සර්' කියා නැත. මා එසේ ආමන්ත්‍රණය කරනවා නම් එහෙම කරන්නේ 'බොක්කෙන්ම'ය; හැබෑ ගව්රවයෙනි. ඒ  උගත් අයටය. එසේ වුවත් සිඟා කෑමේ යෙදී සිටින්නෙකුට වුවත් අගෞරව නොවන ලෙස හැසිරෙන්නට තරම් මා නිහතමානීය. ඒ ඔවුන් සතුවත් අභිමානයක් ඇතැයි අදහන නිසාය. 
මගේ අභිමානය මට අනුප්‍රාණය සපයනවා සේම අන් අයටත් ශක්තිය දෙනවා ඇති නේද?

වීරවිල එළිමහන් සිර කඳවුරේ පින්තූරයක් සොයද්දී බන්ධනාගාර ලාංඡනයත් ඒ පිළිබඳ විස්තරත් මට හමු විණි. මා ඒවා මෙතන උපුටා දක්වන්නේ අපේ රටේ දෙපාර්තමේන්තු අපේම බස ගැන දක්වන නොසැලකිල්ල ගැන කනගාටුවෙනි! 

මේවා කරන අයට ඒ සඳහා ගෙවන වැටුපට අපටත් දායක වන්නට සිදුවී තිබීම නිසා ඒ දුක තවත් වැඩිවෙයි. රට- ජාතිය- ආගම වෙනුවෙන් මැරෙන්නට හදන උදවියවත් උත්තම ජාතියකට අනන්‍යවූ භාෂාවක් තිබිය යුතු බව තකන්නේ නැති හැටි.
ලාංඡනය


 
සිංහයා මගින් සංකේතවත් වන්නේ ජාතියේ අභිමානයයි.
 
වී කරල් දෙක මගින් රටේ සෞභාග්‍ය පෙන්නුම් කරයි.
 
දෙපර්තමේන්තුවේ අනන්‍යතාවය භාෂා තුන මගින් (සිංහල,දෙමළ හා ඉංග්‍රීසි) පෙන්නුම් කරයි.
 
රැකවරණ්‍ය,ආරක්ෂාව හා පුනරුත්ථාපනය යන්න ප්‍රධාන තේමාව වේ. ඒ සංකේත වන්නේ වාක්‍ය මගින්ය.
 
රැදවියන්ගේ ආරක්ෂාව යතුරු දෙක මගින් පෙන්නුම් කෙරේ.


ආදර්ශ පාඨය

රැකවරණය,ආරක්ෂාව,පුනරුත්ථාපනය
මම දිවුරා කියමි! මා එදින ඒ අහිංසකයන් ඉදිරියේ වාඩි වුණේ කඳුළින් දෑස පුරවාගෙනය. දේශනය පැවැත්වූයේ කිසිදාක නොදැනුනු අපහසුවක් දැනෙද්දීය. ඒ සිදුවීමේ කූඨප්‍රාප්තිය එළඹුණේ වැඩ සටහනෙන් පසුවය.

මට මතක හැටියට නම් එවිට සවස හතරහමාරට-පහට විතර ඇතිය. රාත්‍රී ආහාර වෙලාව. 

එක් සිරකරුවෙක් ලොකු බත් සාස්පානකින් පෝලිමේ එන සිරකරුවන්ගේ බෙලෙක් පිඟන්වලට බත් හුණ්ඩුවකින් එකක් බෙදයි. තවකෙක් 'චෝරෝස්' ගා හොදි හැන්දක් නාවයි. නොඉවසිල්ලෙන් පෝලිමේ පැමිණ බත් සලාකය ගන්නවා මිස කිසිවෙකු බත් කනවා නම් 
මා දුටුවේ නැත. ඒකට හේතුව හෙළිවුණේ ටිකකට පසුවය.

බන්ධනාගාර නියාමකයෝ සිර කඳවුර බලන්නටත් අපට අවස්ථාව දුන්හ. වීරවිල එළිමහන් සිර කඳවුරේදී නම් චිත්‍රපටවල ඉන්නා අය වැනි 'ඉතාම දරදඬු නියාමකයන්' අපේ ඇස නොගැටිනි.

එහි විස්සක-තිහක වැනි පිරිසක් 'ගාල්' කරන කුඩා ගෙවල් ටිකක් ඈතින්-ඈතින් තිබිණි. ගෙවල්ය කිව්වාට බිත්ති හතරක් හා වහලයක් පමණි ඒවාට තිබුණේ. 

ඒවාට ජනෙල් නැත. විදුලිය නැත. ඇතුල් වෙන්නටත්-පිට වෙන්නටත් එකම-එක දොරක් විතරක් ඇත. එච්චර විතරක් නොවේ, එක මුල්ලක බිත්තියේ පහළින්ම ඌරු මීයෙකුට ලේසියෙන්ම රිංගන්නට හැකි තරමේ කුඩා කවුළුවකි.

ලාල් අයියේ, ඔයා මෙව්වා දැක්කාද කියා අද වෙනතුරුත් මම නෑසුවෙමි. එහෙත් දැන් ලියමි. ඔබ සිටියේ නියාමක මහත්වරුන් සමඟ සාකච්ඡාවකය. 

මා සිටියේ වැඩිහිටි සිරකරුවෙකු සමඟ සාකච්ඡාවකය. කඩිමුඩියේ සිර කුටියට ඇතුළු වුණු ඔහු අතෙහි තිබුණු රාත්‍රී කෑම වේල, පොලිතින් කෑල්ලකින් ඔතා ඊට පසු එය තවත් රෙදි දෙක තුනකිනුත් සීරුවට එතුවේය. 
"ඇයි ඕක ඔච්චර ඔතන්නේ?" කුතුහලය නිසාම මම ඇසුවෙමි.  

"දැන්ම කෑවොත් පාන්දර වෙද්දී උහුලාගන්න බැරි තරම් බඩගින්නක් එනවා. රෑ වෙනකල් මේක පරෙස්සම් කරගන්න ඕනනේ....." බත් පත පෙනෙන්නටම තිබුණොත් බලවන්ත හාදයෙක් ඒක ඩැහැගනී. වියපත් ඔහු වෙන මොනවා කරන්නද? "ඉතින් කරුවලේ බත් කන්නේ කොහොමද?" මම තවත් ගොන් ප්‍රශ්නයක් ඇසුවෙමි.

"වෙන මොනවා කරන්නද මහත්තයෝ? හයට ඉස්සෙල්ලා අපිව මේක අස්සට දාලා, ලොක් කරලා ජේලර් මහත්තුරු යනවා. පාන්දර වෙනකල් අපෙන් එකෙකුට ලෙඩක්-දුකක් වුණත් එයාලට කතා කරන්න විදියක් නෑ. එකෙක් මළා වුණත් එච්චරයි.....".

එහි මුල්ලකවූ 'ඌරු හිල' රාත්තිරියේ 'පොඩි කතාවක් කරන්න' ඕනෑවෙන අයටය. ලොකු කතාවක් කරගන්න නම් තැනක් නැත. 

ඒ සේරමත් මට කියන ගමන් ඔහු ඇසුවේ 'නැද්ද මහත්තයෝ සිගරැට් කොටයක්වත් ගන්න විදියක්?' කියාය. මා මෙසේ කියන්නේ අදට වසර තිස්පහකටත් වඩා ඈත අතීතයක තොරතුරුය. මානව හිමිකම් සුරැකෙන, ඇති ඇත්තන්ට මුදල් විසිකොට 'අසනීප සැප' ගත හැකි බන්ධනාගාර රෝහල් ඇති යුගයක තතු හෙම නොවේ!

'අපි සපත්තුවක් නොවී සපත්තු හදන අච්චුවක් වෙන එකයි වටින්නේ. එකම අච්චුව පාවිච්චි කරලා එක-එක වර්ගයෙන්, එක-එක මෝස්තරවලින්, එක-එක වටිනාකමින් යුතු සපත්තු හදන්න පුළුවන්!" ඒ ලාල් අයියා නිතර පාවිච්චියට ගත් උපහැරණයකි.

ඒ අච්චුවෙන් නිපැයුණු කෙනෙකි, ජගත් කුමාර. ඒ දවස්වල ඔහු සලඅතසයේ කාරක සභිකයෙකි. පසුව සමෘද්ධි නියාමකයෙක්වී, එම සංගමයේ සභාපතිවී දැන් දේශපාලනයටත් බැහැලාය.

ඉදිරි පෙළේ දකුණු කෙලවරේ ඉන්නේ ජගත් කුමාරය.
අද ඉන්නා දේශය පාලනය කරනවා යැයි තෙපර බාන උදවිය හැට පිරුණත් අත අරින්නට නොකැමැති අයයි.

ලාල් අයියලා එක්ව ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ තරුණ ජනගහණ කමිටුව පිහිටුවීමේදී ඇති කරගත් සම්මතයක් මට මතක් වෙයි. කෙනෙකුට එහි සභාපතිත්වය දැරිය හැක්කේ එක වසරක් පමණි. ලේකම් ධුරය වෙනුවෙනුත් ඒක එහෙමමය. මට හිතෙන්නේ අපේ රටේ දේශපාලන පක්ෂවල තනතුරු ගැනත් එවන් සම්මතයක් ඇති වෙනවා නම්.......

ඉතින් ලාල් අයියේ, ඔබට ඉතාමත් ස්තුතියි!
ඒ මන්දැයි මේ උපුටනයත් කියෙව්වාට පසු කියන එක වඩා හොඳය.

මේ උපුටනය Antler Group of Companies  fb එකේ 2014.10.3 වැනිදා පළ වූවකිනි.
ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණයෙහි ලා කැපී පෙනෙන මෙහෙයක් ඉටු කළ මෙම සංවිධානය 1981 වර්ෂයේ දී නෝර්වේ හි “ බර්ගන්” නුවර පැවති ජාත්‍යන්තර යහපත් අමද්‍යපයන්ගේ මහා සම්මේලනයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව ජාත්‍යන්තර වශයෙන් අමද්‍යප දිනයක් සැමරීමට “ජාත්‍යන්තර අමද්‍යපයන්ගේ සංවිධානය” විසින් ඒකමතිකව තීරණය කරන ලදී.

මෙහිදී මෙම දිනය ජාත්‍යන්තර වශයෙන් සැමරිය යුතු බවට යෝජනා කරන ලද්දේ, එවක සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානයේ ලේකම් ධූරය දැරූ ලාල් හේවාපතිරණ මහතා විසිනි. අනතුරුව හේවාපතිරණ මහතාගේ යෝජනාව අනුව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නිවාරණයෙහි ලා අනගිභවනීය සේවයක් ඉටුකළ “ජෝන් බී. ෆින්ච්” මහතා හට ගෞරව පිණිස ඒ මහතා මිය ගිය දිනය වූ ඔක්තෝබර් මස 03 වැනි දිනය ජාත්‍යන්තර අමද්‍යප දිනය ලෙස සැලකීමට එදින රැස්වූ සමුළුව තීරණය කරන ලදී.

එතකොට ලාල් අයියට කියන්නනේ තිබුණේ ''නිමල් දිසානායක කියලා කබ්බෙක් ඉන්නවා. උගෙ උපන් දිනෙත් එදාමනේ." කියලා. එහෙම නොකිව්වත් එහෙම වුණාට ස්තුතියි, හැබැයි මගේ යාළු බොනපාට්ලා නම් හිටු කියලා බනිනවා, මට. "මූ ඉපදිලා තියෙන්නෙත් අපිට හතුරුකම් කරන දවසකමයි. බාර් වහලා හින්දා පලයල්ලකෝ හොර pot හොයාගෙන!" කියමින්.


ඉතින්, ලාල් අයියා නිසා මා ඇති කරගත් පුරුද්දක් ගැන ඔහුට තුති පුදමින් 'නැණ ලැබ ගත්තෙමි....' පෝස්ටු මාලාව හමාර කරන්නෙමි.

මා අත් ඔරලෝසුව පළඳින්නේ ඔහුව අනුගමනය කරමිනි. ඔරලෝසුවේ මුහුණත ඇඟ පැත්තට හැරී තියෙන විදියටය. මුලින් නම් මා කළේත් එහෙම නොවේ. 
"ඇයි ලාල් අයියා ඔය විදියට ඔරලෝසුව බඳින්නේ?" මම ඇසුවෙමි. 
"නිමල්, මෙහෙම බැන්දම වෙලාව බලන්න ලේසියි. අනෙක් එක ඔරලෝසුවේ මූණත කොහෙවත් වැදෙයි කියලා බයකුත් නෑ!" 

ලාල් අයියාගේ ඒ කීම ඇත්තදැයි හොයා බැලීම අන්තිමේදී ඔයගොල්ලන්ටම බාරය!