තණමල්විල කට්ටිය හැබෑ ජීවිතයේදී මුණ ගැහුණොත් මොකද කරන්නේ? |
මේ ටෙලියෙදී, කට්ට කාගෙන, දූවිලි නාගෙන; ගමේ බාසාවෙන්ම
කියනවා නම් ‘පුක ඉරාගෙන’ foot සයිකලයක් පදින දීප්ත වැනි ගමේ කොල්ලෙකුට සිරාවටම
love කරන රසිකාවන් ඇත්තටමත්; හැබෑ ජීවිතයේදීත් එහෙම හාදයෙකුට පෙම් බඳීවිද?
'.... එහෙම කරන්නට හිතක්වත් පහළ වෙන්නේ නිකම්ම නොවේ;
මුළු ටෙලියේම තියෙන සීන්ස් 488ම දීප්ත ඉන්නා නිසාමත් නොවේ. තණමල්විලදී රසිකයන්
නොදැනුවත්වම ‘දැහැන්ගතව - එක්තරා සමාධියකට සමවැදී’ ඉන්නා නිසාය. එය නොසලකා හැරිය
හැකිද?’ පසුගිය පෝස්ටුවේ අවසන මම විමසීමි.
මේකනේ.... රසිකාවන් විතරක් නොවේ, රසිකයනුත් දීප්තට
ආකර්ෂණය වීමේ රහසක් තිබේ. අරලගංවිල කොල්ලකු එය දකින්නේ මෙහෙමය.
“තණමල්විල
වටින්නෙ තණමල්විලින් එළියට ආ කොල්ලන්ට. තණමල්විලම ඉන්න කොල්ලන්ට නෙවේ. තණමල්විල
ආතල් එක තියෙන්නෙ ඉදිරියට යන්න මඟක් යන්තම් හරි පේන දීප්ත වගෙ කොල්ලන්ට මිස කූරා,
පතෝලයා වගෙ වැලේ වැල් නැති කොල්ලන්ට නොවෙයි.
ගමේ ඉන්න ඉගෙනගත්; වැදගත් යශෝධරා වැනි
අක්කලා දීප්ත වැනි කොල්ලන් දිහා මිස, කූරා පතෝලයා වැනි උන් දිහා බලන්නෙවත් නැත.
එවැනි මිනිසුන්
සමඟ කතා කිරීමටවත් උනන්දු වෙන මධ්‍යම පාන්තිකයන් සිටීද? තමන් සමඟ සෙට් වෙන අනාගතයක් තියන කොල්ලන්ට, වැලේ වැල් නැති කෙල්ලන් කොහොමත්
ආදරේය.
කෙල්ලොන්ට ඕනෑ අනාගතයක් තියෙනවා වගේ පෙනෙන කොල්ලෙක් එක්ක සෙට් වෙන්නද? |
දීප්තයා හරහා අපි ගමට ආදරේ
වෙන්නෙ, අපි බහුතරයකගෙ චරිතෙ දීප්ත නිසා මිසක්, අපි ගමට ආදරේ නිසා නොවෙයි. අපි මේ
ටෙලියට ආදරේ රොෂාන් රවීන්ද්‍ර දීප්ත හරහා අපිව ගමෙන් එළියට අරගන්නා නිසා.
ගමෙන් වැඩට එන කොල්ලෙකුගෙ
හීනය තමා, තමන් වැඩ කරන තැන ලස්සන කොළඹ කෙල්ලක් සෙට් කරගැනීම. රොෂාන් අයියා මරියා
හරහා අපෙ ඒ ෆැන්ටසිය සැටිස්ෆයි කරයි. (කොළඹදී මගේ ඒ fantasy හීනෙ උන් කෙල්ල මගෙ ජීවිතයෙන්
අවුරුදු 4 නැති බංගස්තාන කළාය.)
‘තණමල්විල
කොල්ලා’ අපේ මේ ආසාව මතු කරල, දීප්තගෙ කර උඩ නග්ගලා අපිව ඒකෙ අරන් යනව.
ගම්වල
ජීවිතය සුන්දර වෙන්නෙ ගමෙන් එළියට ආ මිනිසුන්ට විතරයි. ගම්වල තියන කටුක බව ඒ කට්ටෙ
හිටපු මිනිස්සු විතරයි දන්නෙ.
මේක නොස්ටැලොජික් කෑදරකමක්; පොඩි එකෙකුට අසනීපයක් හැදුනොත් බස් තුනක
නැගල නුවර මහ ඉස්පිරිතාලෙට එනකොටම ඔය සුන්දර බව නැතුව යනව.
ඔය වගෙ පරිසරයක ජීවත්
වෙච්ච නිසා මං දන්නවා ඔය ජීවිතයෙ තියන කටුක බව.
මේ කතාවෙ
පෙන්නන්නෙ ගමේ ජීවිතේ තියන ආතල් එක. ඇත්තටම මැටි
ගෙදරක හිර උන මගෙ යාළුවො හිතන්නෙ, ‘ගමෙන් එළියට
ආපු මම තමයි හොඳම ආතල් එක ගන්නෙ’ කියල. නගරෙ ඉන්න මගෙ යාළුවො කියන්නෙ “මචං. උඹලගෙ
ගමේ ගිහින් ආතල් එකක් දාලා එමුද?” කියල.
මචං, උඹලගෙ ගමේ ගිහින් ආතල් එකක් ගනිමුද? |
ඔය ක්‍රොස්
සෙක්ෂන් දෙකම දැකපු කෙනෙකුට තමා, ‘හැමදේම සතුට
පේන්න පටන් ගන්නෙ ඒකෙන් ඈත් උනාම’යි කියල තේරෙන්නෙ.
ගමේ ඉන්නකොට
හිතෙනව ‘කොළඹ තමයි සිද්දිය කියල. එහාට
ආවට පස්සෙ ගමේ හිටිය කාලය ගැන දුක හිතෙනව. කොළඹ ඉන්නකොට ඕස්ට්‍රේලියාවට යන්න
හිතෙනව. එහෙ ගියාම, කොළඹ යාළුවොත් එක්ක හිටපු කාලය මතක් වෙනව; ගමේ හිටපු ජීවිතේ
අගේ කරනව.
ප්‍රංශයට ගිය
දීප්තට තමා ගමේ ආතල් එක නියමෙටම දැනෙන්නෙ. නැතිව ගමේ ඉන්න කූරට නෙමෙයි.
වැලි ගොඩ දාන
එකේ ආතල් එක කතා කරන්නෙ නෑ, කරවටක් දියේ ගිලිලා එක වැලි කූඩයක් හරි උස්සපු එකෙක්
නම්. (වැලි ගොඩ දැමිල්ලෙ ආතල් එක කරවටක් වතුරෙ
ගිලී එකම එක වැලි කූඩයක්වත් ඔසවා ඇති කොල්ලෙකුට පවසා කුණුහරුප දුසිමක් අසාගන්නා
ලෙස මම යෝජනා කරමි).
මෙහෙම කියන්නේ ගමට අපහාස කිරීමට නෙවේ. මම තාමත් ගමට ආදරේ, ගමේ
යන එකෙක්; අරලගංවිල කොල්ලෙක්.”
සමාවෙන්න ඕනි
කොල්ලෝ! ඔයාගේ දිග කමෙන්ටුවෙන් ටිකයි පෙරාගත්තේ, සකස් කරලා. (කමක් නැහැනේ. මම
ඔහොමමයි, මට ඕනි වැඩේ කරලා, ෂේප් කරගන්නත් බලනවා. මං එහෙම කළාම මොකෝ? මේ දවස්වල
හිටු කියලා එහෙම බබා හුකුං සීන් තියෙන්නේ ආදුරුසෙට ගන්න!)
ඕනි තරම් බබා හුකුං සීන් තියෙන්නේ ආදුරුසේට ගන්න.......... |
ඒ විතරය?
අරලගංවිල කොල්ලා වැලි ගොඩ දාන කතන්දරේ කියනකොට නම් හිතුණේ, මේ ලියන මටත් කන පුරෝලා
එකක් දුන්නා වගෙයි කියලාය.
“ප්‍රදීප්,
මටත් ඕනේ ඔයාලා වැලි ගොඩ දාන හැටි බලන්න.... ෂෝක් එක්ස්පීරියන්ස් එකක්නේ.” මම ටෙලිෆෝනයෙන්
ප්‍රදීප්ට කීවෙමි. ඒ අවුරුදු විස්සකට විතර එහා පැත්තේදීය.
“ආ ඇත්තද? එන්න
එන්න නිමල් මහත්තයා.... ඒත් ඔයා එන්නෙ වැස්ස තදට තියෙන දවසක නං ඔය එක්ස්පීරියන්ස්
එක ගන්න බැරිවෙයි ඔන්න.” ප්‍රදීප් කිව්වේ හිනාවෙමිනි.
අච්චු කන්තෝරුවේ රස්සාව
එපාවුණු ප්‍රදීප් ශම්මි කුමාර හිටියේ අවිත්තාව, පිටිදූවේය. “වෙන රස්සාවක් හරි
යනකල් ගඟේ වැලි ගොඩ දාන යාළුවො දෙන්නෙකුට එකතු වුණා. කොරියා ගමනත් කවදා කෙරෙයිද
ෂුවර් නෑ අයියේ.....
දැන් නං හිතෙනවා ගම ආ එකත් මෝඩකමක් කියලත්....” ඔහු එහෙම කිව්වාමය මට ‘ වැලි පාරු දොලදුක’ හැදුණේ.
ඉතින්, දවසක් එහාට
ගිහින්, ප්‍රදීප්ලා එක්ක වැලි පාරුවේ ගඟ මැදටත් ගියාමය, මට ඒ සුමේ කොච්චර අමාරුද
කියා වැටහුණේ.
මේක දිගටම කළෝතින් අකාලේ මැරෙන්නයි වෙන්නේ! |
“පණ යනවා නිමල්
අයියේ...
මේ වැඩේ දිගටම කළොතින් ලෙඩවෙලා අකාලෙ මැරෙන්නයි වෙන්නේ. හුස්ම අල්ලගෙන
වතුරේ කිමිදිලා වැලි බාල්දිය පුරවගෙන පාරුව උඩට ගේන එකේ අමාරුව ඔයාටම පේනවනේ
දැන්...”
ප්‍රදීප් අහන වෙලාවෙත් මා හිටියේ එපා වෙලාය. ඒ වැලි ගොඩ දමලා නොවේ;
පාරුවේ වාඩිවී බලාගෙන ඉඳලාය; පාරුවට වැලි
ලෝඩ් එකක් පුරවාගන්නා තෙක්, ගඟ මැද පාරුවේ- අව්වේ කරවෙමින් නිකම්ම ඉඳලාය.
TV එකෙන් නම්
ඒවා බලාගෙන ඉඳීම ආතල්ය. එක එපිසෝඩ් එකක්ම වුණත් විනාඩි විස්සක්වත් නැහැනේ!
“ඇත්තටම මේ
ටෙලි නාට්‍ය නැවත දැක්කම අද හැදෙන ටෙලි නාට්‍ය මොනවද කියලා හිතෙනවා. එදා අපි මේ එක
දර්ශනයක් කරන්න පුදුමාකාර විදිහට මහන්සි වුණා. දවසටම කරේ දර්ශනයි දෙකයි.
සුදත්
රෝහණලා කියන්නේ කවදාවත් කඩදාසි ළිපේ දාලා ඇවිල්ලා වගේ ශිල්පීන්ව මහන්සි කරවලා-
මරවලා වැඩ ගත් අධ්‍යක්ෂවරු නෙවෙයි.
ඇත්තටම මේවා භාවනාවකට සමවැදිලා වගේ කරපු
නිර්මාණ. අද සමහර ටෙලි නාට්‍යවල පිටපත ලියන්නේ ක්ෂණිකව, ඒ වෙලාවට. නළු-නිළියන්ට තිර
පරීක්ෂණ නැහැ. හෙට එන්න කියලා චරිත දෙන අධ්‍යක්ෂවරු දැන් ඉන්නේ.
එදා ටෙලිනාට්‍ය
කතාවක මුල, මැද, අගක් තිබුණා. ඒවා බලනකොට ප්‍රේක්ෂකයෝ චරිත තුල ජීවත් වුණා. දැන්
හැදෙන නිර්මාණ හරිම හරසුන්. නිඳාගන්නේ මේකප් දාගෙන, නැඟිටින්නේ මේකප් දාගෙන.....”
මේවා කියන්නේ
‘කරුවල ගෙදර’ ටෙලි නාට්‍යයේ
රංගන ශිල්පී ප්‍රගීත් රත්නායකය.
ඔයා කියපු වැරදිවලින් කීයක් තණමල්විල කොල්ලෙක් ටෙලියේ තියෙනවද? |
“ප්‍රගීත්, ඔයා
කිව්ව වැරදිවලින් කීයක් ‘තණමල්විල කොල්ලෙක්’ එක සම්බන්ධයෙනුත් වලංගුයිද?” මට ප්‍රගීත්
හමු වුණා නම් අසන්නෙමි!
‘තිබ්බා -
ගැහුවා productions’ එක්කලා ‘තණමල්විල කොල්ලෙක්’ එකේ වෙනස, ප්‍රදීප්ටත් පෙනිලා
ඇතිවාට කිසිම සැකයක් නැත. එහි එක් එපිසෝඩ් එකක තත්පර 10කටත් අඩු දර්ශනයක් රූගත
කිරීම ගැන මේ අපූරු සාක්කිය දෙන්නේ සම්පත් දඩල්ලගේය.
“තණමල්විල කොල්ලෙක්- 21 කොටසේ මෙම සිද්දිය මතකද?
මෙම ටෙලිනාට්‍යයේ පොලිස් නිලධාරියෙකුගේ චරිතයකට රංගනයෙන් සම්බන්ධ වීමට මටත්
අවස්ථාවක් ලැබුනා.
එක් දිනක මගේ ජංගම දුරකථනයේ සටහන් වූ වීඩියෝවක් මේ.
ඔබ විශ්වාස කරනවද, මෙම පොඩි සිද්දිය රූපගත කිරීම සඳහා නිර්මාණකරුවන්හට මෙම සතා ගමන් කරනකල් හෝරා දෙකක් එකම ඉරියව්වකින් බලා සිටින්න වූ බව.”
තත්පර දහයක්වත් නැති සීන් එකක් ගන්න පැය දෙකකටත් වැඩිය බලා උන්නා!- සම්පත් දඩල්ලගේ |
හැබෑ නිර්මාණකරුවන්
එහෙමය. හිතේ ඇඳුනු රූපය ඒ ලෙසින්ම තිරය හරහා තමන්ගේ රසිකයන්ට තිලිණ කරන්නටය; ඔවුන්
දත කන්නේ.
ඒත්, එහෙම කළ හැකිවන්නේ..........
නැත. ඒ විස්තර කියන්නට මා වෙහෙස විය යුතු නැතිය; බියංකා
කුමාරසිරි රසිකාවියගෙන් කවි දෙකක් ණයට ගත්තාම ඇතිය.
‘තිරය
පිටුපස සිට නිලය ඇල්ලූ රසවතුන්ට ආදරෙන්! ❤
හානා හීය අඬහැර පෑමකින් දැනී
ඇතැමුන් මේ වටා එක්රොක් වුණා වැනී
හෙළයේ කලාවට වුණු අගතියක් දැනී
‘ෆාහිම්’ නමින් බරපැන උහුලන්න වුණී
මදුනාගල අහස, වෙල් ඉපනැලිද දෙණී
අයිෆල් කුළුණ දක්වා යන දුරද පෙනී
ඉපයූ ධනය දිය කර මෙහෙවරක් වැනී
ඉටු කළ යුතුකමින් ඇත නුඹ හදේ ඇනී’
අයිෆල් කුළුණ දක්වා යන දුරද පෙනී
ඉපයූ ධනය දිය කර මෙහෙවරක් වැනී
ඉටු කළ යුතුකමින් ඇත නුඹ හදේ ඇනී’
කම්මනා හොති බ්‍රාහ්මණෝ! |
හොඳ දේ
කරනවා නම් ජාතිය ජන්මය ගැන කවුරුන්වත් හොයන්නේ නැතිය.
ඉතාම මෑත කාලයේදී ජාති
භේදයකින් තොරව කාගේත් හදවතේ ලැගුම් ගත් මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු ඊට හොඳම
නිදසුන් සපයයි.
එක්කෙනෙක් හමීඩ් රිස්වාන්ය. අනෙකා ෆාහිම් මවුජුඩ්ය.
දියට පැන
සියදිවි නසාගන්නට ගිය දමිල තරුණියක් බේරාගන්නට ගිහින් හමීඩ් රිස්වාන් ජල රකුසාට
පැරදුණේ සංවේදී කාගේත් නෙතට කඳුළු උනවමිනි. හමීඩ්ගේ ප්‍රාණ පරිත්‍යාගී වෙහෙස
කාගේත් පැසසුමට ලක් වුණේ, ඔහුගේ උතුම් මනුස්සකම නිසාවෙනි. ෆාහිම් මවුජුඩ් පැසසුමට
ලක්වන්නේ ශ්‍රී ලංකේය ටෙලිවිෂන් කලාවට කළ- කරන අනගි මෙහෙවර වෙනුවෙනි.
“ඒ
මනුස්සයාගේ ජාතිය වැඩක් නැහැ මචං.
නිකමට බලපංකො මචං හදල තියෙන ටෙලි කීයකට වියදම් කරලා
තියෙනවද කියලා. තුට්ටු දෙකේ ඒවා නෙවෙයි බං....
තාරා, බැද්දේ කුලවමිය, වීරයා ගෙදර
ඇවිත් ..... දැන් ‘තණමල්විල කොල්ලෙක්’... කලාත්මකද නැද්ද කියන්න නං මට තේරෙන්නෙ නෑ
මචෝ.
හැබැයි එව්වා නියමයි මචං...”
තණමල්විල කොල්ලෙක් හදන්න කෝටි පහක් ගිහින්! |
රසික
මිතුරෙකු අපේම හිතවතෙක්ට පිළිතුරු බැන්දේ ‘ෆාහිම් මවුජුඩ්’ ටෙලි නාට්‍ය නිෂ්පාදනය
කරන්නේ ලාභය පතා බව කියන විටය.
“උන්
කරන්නේ බිස්නස් එකක් බං. මුස්ලිම් මිනිස්සු හම්බ මොළකාරයෝ බිස්නස්වලදී. අපි ඉතින්
කැවුම් කන්න හපන් ජාතියේ මෝඩයෝනේ....” මිතුරා කිව්වේය.
“අඩෝ....
ඒකට කවුද පළි.
මෝඩකමට බෙහෙත් නෑ මචං. කලාව කරන්න වුණත් මචං බංකොලොත්කාරයෙකුට
පුළුවන්ද මං අහන්නේ? කොයි දේද මචං දිගටම කරන්න හිතෙන්නේ අතින් කයිට් වෙනවා නං.
හොඳ
නාට්ටියක් හදලා ලාබ ගත්තට පව් නෑ මචං. ලාබ තියෙන්නෝනි නේන්නං මචං..... එතකොටනේ පොර
ලෝස් නැතුව තව එකක් හදන්නේ.....”
කතාව ඇත්තය! මෙහෙම නිෂ්පාදකයෙකු නොහිටියා නම්.... ධනුක ඩිල්ශාන් කියන විදිහට
නම් මේ ටෙලියේ නිෂ්පාදන වියදම රුපියල් කෝටි පහකි! මේ ලංකාවේ ලොකුම පිරිවැය
දරා කෙරුණු දැවැන්ත නිෂ්පාදනයයි!!
මැක්බත් දර්ශනය දැක්කාම මට මතක් වුණේ අපේ අබරන් මාස්ටර්ය! |
“අයියෝ ගුණේ. ඕවත් ප්‍රශ්නද? අපි ටවර් එකේ ටීටර් නැටුවේත් පුළුවන් තරම්
පිරිමහලා, උඹ දන්නවද? ඇඳුම්-මාල-වළලු ලාබෙට හදාගන්න හැටි මං උඹට
කියල දෙන්නම්.
නාට්ටියට එන කොල්ලො-කුරුට්ටන්ට කියලා දැන් තියාම රබර ඇටයි, සිගරැට් පෙට්ටිවල ඇතුළේ තියෙන ඊයම් කොළයි
එකතු කරෝපං. රබර් ඇට, ඊයම් කොළවලින් දවටලා අරන් හදපු මාල ලයිට් එළිය වැදිලා දිස්නේ දෙන්නේ
රත්තරංවලටත් වැඩිය එළියට.
දෝතියට අඳින්න කොයි ගෙදරින්ද සාරියක් දෙකක් හොයාගන්න බැරි?”
අබරන් මාස්ටර්
එව්වා කියද්දී දකින්න තිබ්බේ අපේ තාත්තාගේ මුහුණය. ඒකේ තිබුණු අජූවය.
“ඒ මනුස්සයා තවම
ඉන්නේ අටසිය ගණන්වල වගෙයි. ඒ මදිවට කුණුකම. ඉච්චිකමටත් සීමාවක් තියෙන්න එපැයි!
හරියට කන්නවත් නැති තුන්වේල හයින් හාමතේ ඉන්න මිනිස්සු වගේ ඔහේ ඉන්නව ඇති පොදි
ගගහා!....”
අපේ දෙවෙනි
පොසොන් නාට්‍ය අත්දැකීම ගැන කියද්දී මම එසේ ලිව්වෙමි.
විධුර ජාතකය
රඟන්නට ගිහින් අපට හමුවුණු ඒ ටවර්හෝල් නාට්‍යකරුවා කළ ඉච්චිකම් අදත් නොකෙරෙනවා
නොවේ.
අහම්බෙන් ටෙලි නාට්‍යයක් බලන මට ඒ කාරණය ගැන ; අද කාලයේ ඉච්චිකමක් ගැන
හෝඩුවාවක් දැනගන්නට ලැබුණේ උදාර පෙරේරා ෂෙයාර් කරගෙන තිබුණු අරුත්බර පෝස්ට්
එකකිනි. ස්තුතියි උදාර!
එකම ලොකේෂන් එකේ එකම ඈන්ගල් එකෙන්..... |
එහෙම ඉල්ලීස හෝ
මට්ටකුණ්ඩලී සිටුවර නිෂ්පාදකයෙකු රොෂාන් රවීන්ද්‍රට හමුවුණා නම්....
තත්පර 10ක්වත්
නැති ඉබ්බා පාර පනින දර්ශනය ගන්නට පැය දෙකකට වඩා වැය වුණු බව කියන්නට සම්පත්
දඩල්ලගේට ඉඩක් පෑදෙන්නේ නැත. මුල්ම එපිසෝඩ්ස් එකහමාර shoot කරන්නට මාස දෙකක් ප්‍රංශයේ
හිටි බව ධනුක ඩිල්ෂාන්ට කියන්නට හම්බ වෙන්නෙත් නැත.
කලා රසිකයන්
වෙනුවෙන් ඔබට බොහොමත්ම ස්තුතියි රොෂාන්! You deserve it!
මා ඔබට ස්තුති
කරන්නේ ‘කල දුටු විට වළ ඉහගන්නා තාලෙට වැඩකොට නැති බව’ පෙනෙන නිසාය.
නොමසුරු
නිෂ්පාදකයෙකු හමුවෙලා වුණත් රොෂාන් ‘තණමල්විල කොල්ලෙක්’ එකේදී මසුරු වුණු තැන්
නැතිවාමත් නොවේ. (මේ මට වැටහුණු විදියයි.)
තණමල්විල මඟුල්- අවමඟුල්- පින්කම්-
සැමරිලි සේරම කෙරෙද්දී අපට කිසිම අඩුවක් දැනුණේ නැත; වැඩියත්ම නිවැරදිව කියනවා නම් අරපිරිමසාගත් බවක් දැනෙන්නට ඉඩ තිබ්බේ නැත. එහෙත් විමසිල්ලෙන් බලද්දී ඒවායේ සකසුරුවම- අරපිරිමසාගෙන ඇති හැටි දැකගත හැකිය.
ඒ සූරකම නිකම්ම
කෙරුණු දෙයක් විය නොහැකිය. රොෂාන් රවීන්ද්‍ර, සුසිත විජේමුණි සුසංයෝගය එක්ව කළ
මෙහෙයුමක් වෙන්නට ඇතිය.
නොමසුරු විය යුතු තැනදී එහෙමත් කළ යුතුය........ |
වෙන්න ඕනෙත්
එහෙමම තමාය.
අවශ්‍ය තැනදී මසුරු විය යුතුය; නොමසුරු විය යුතු තැනදී එහෙමත් කරන්න
ඕනෑය.
හොලිවුඩ්වල, බොලිවුඩ්වල තියා කොලිවුඩ්වල කරන දේවල්වත් කරන්නට අප පුංචි
වැඩිය. හැබැයි ‘තුට්ටු දෙකේ අස්සයාව වැටට උඩින් පන්නන්නට’ වුණත් මොළයක් තිබිය
යුතුය.
නැණ හීන; අනුන්ගෙන්ම කඩා-වඩාගන්නට පුරුදුවී සිටින්නන් සරස්වතියගේ ආශීර්වාදය
වැඩියෙන් ලබනවාවත්ද? අප ඉන්නේ ඕනෑම දෙයක් දඩමීමා කරගෙන අනුන් රවටන්නට- හූරාගෙන;
මරාගෙන කන්නට සූදානම් ආත්මාර්ථකාමීන් පිරුණු ලොවකය.
ගරා වැටී ඇති අපේ
සිනමාව වළ පල්ලට යන්නට එක හේතුවක් වුණෙත් ඒ ‘නිෂ්පාදකයන්ව හූරාගෙන-මරාගෙන කෑම’ බව
මගේ දැනීමයි.
සමහර
නිෂ්පාදකයන් එකෙන්ම නට්ටං වෙද්දී ඒවා අධ්‍යක්ෂණය කළවුන්ට ලක්ෂ්මී පහළ වෙලා තිබුණේ
හිතාගන්නටවත් බැරි විදිහටය. කලාව කරන්නට යැයි, කලාව පෝෂණය කරන්නට යැයි ‘කලා
රිටවල්වලින්’ පොර talk දුන් ඒ ‘කලා රිට්ටන්’ වැඩි දෙනෙකු ගැන අද නාමමාත්‍ර
සඳහනක්වත් නැත්තේ ඔවුන් සතුන්වූ නිසාද?
“සත්තු තව හොඳයි මහත්තයෝ.... මිනිස්සුන්ව
තේරුම් ගන්න මේ කපේදී බෑ. පොඩි වාසියක් ගන්න ළඟින්ම ඉන්න එකාට කෙළලා අරියි කිසිම
අනුකම්පාවක් නැතිව. බල්ලෙකුට කන්න වේලක් දුන්නොත් ඌ දැක්ක තැන නගුටවත් වනනවා. ඒත් මට
කෙළින්න ආවේ නම් නොදන්නා පිට එවුන් නෙවෙයි. අපේම ඈයෝ. සේරමලා; හය දෙනාම බාවලා ගමෙන් ආපු ගමන
තමයි මේ....” දෙමළියේ හීන් මහත්තයා අපට කිව්වේ දෙමළිය පර්වතය තරණය කරන අතරේය.
දෙමළිය වැව හදවා තියෙන්නේ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ සෙන්පතියෙකුලු..... |
කියවෙන විදියට
නම් දෙමළිය වැව දුටුගැමුණු රජතුමාගේ සෙන්පතියකු විසින් තනවන ලද්දකි.
“අපි ඉතින් ඔව්වා
ගැන හොයන අය නෙවෙයිනේ මහත්තයෝ.
අද මේ කළුගල් පර්වතේට නඟින්නෙත් ඔය මහත්තුරුන්ව තනියම
එවන්න බැරි නිසා. ගම්බාරේගේ කීම අහක දාන්නයැ.
ගමේ මිනිස්සු මෙහෙ ඌරන්ට වෙඩි
බඳිනවා. අපි නං එව්වා දන්නා හින්දා කමක් නැහැ. ඔය මහත්තුරු විතරක් ආවා නං බලන්න
තිබ්බා.....”
ඉස්සරහින්ම
යමින් හිටි හීන් මහත්තයා, අපට ඔහුගේ පස්සෙන්ම මිස හිතුමතේ එහෙ-මෙහෙ යන්නට ඉඩ
දුන්නේ නැත.
“පේනවා නේද....
ඊයේ පෙරේදා වෙලාවකත් අලි මෙතනට ඇවිත්, වතුර බොන්න.”
“මෙහෙම කළුගලක
වතුර විලක්? අලි කොහොමද මෙතනට එන්නේ.... අපිත් මේ ගල උඩට නැග්ග හැටි දැක්කනේ...”
උන් මෙහෙ හැම අඟලක් නෑරම හොඳට දන්නවා. මේ කැලේ අයිති උන්ටනේ....... |
එතකොට හීන් මහත්තයා පෑ හිනාව මට තවමත් මතකය.
“උන් එක්ක දුවලා බේරෙන්නත් බෑ,
උන්ට අරෝවක් කරලා බේරෙන්ටත් බෑ. මේ උන්ගෙ කැලේ....
උන් මෙහෙ අඟලක් නෑර දන්නවා.
දෙමළිය වැව හිඳුණත් මේ ගල්කෙම හිඳෙන්නෑ මහත්තයෝ. ඔන්නං තදම ඉඩෝර කාලෙක වුණත්
ඇවිදින් බලන්නකො....”
කෝ ඩ්‍රැකී? වෙනදාට පළමුවැනියා එයයි කියනවානේ! මටත් පළමුවෙනියා වෙන්න පුලුවන්. හැබැයි මෙහේ රටට ගැලපෙන වෙලාවකට පෝස්ට් එක පබ්ලිෂ් කරලා තියෙන්න ඕනෑ.
ReplyDeleteමං ආව... ටිකක් සුනංගු වුණා.
Deleteමේ පොස්ටුව නම් පබ්ලිෂ් කරන්න වුනේ රටට නෙවෙයි, කම්පියුටරේට ගැලපෙන වෙලාවටයි. ලෙඩ දිදී තිබ්බේ. එයාට ඕනි වෙලාවට වැඩ කරමින්.
Deleteපබ්ලිෂ් කලාට පස්සේ වැඩ නොකරම තිබ්බා. ඊයේ රෑ තමයි මංජු හිතවතා ඇවිත් ගොඩ දාලා දුන්නේ. එහෙමෙන් හරි ඔයාත් එක වුනානේ!
මම දැන් තමයි තණමල්විල කොල්ලන්ව බලන්න පටන් ගත්තෙ. තාම 12 වෙනි කොටස. රසවත් සටහනක්! ස්තුතියි.
ReplyDeleteතරූ. ඔයාගේ පාර පෙන්වීමකින් දැකලා 'රල බිඳෙන තැන' බලන්න සූදානමින් මාස දෙක තුනක් තිස්සේ මම කල් බලමින් ඉන්නවා. ඒ අස්සේ ඔයා දැන්ලු 'තණමල්විල කොල්ලා' බලන්නේ... මොකෝ පරක්කු?
Deleteමහා ගැඹුරකිං කියන දේවල් වේලිච්ච කමට ම පෙන්නලා මහා වියළි නිරුදක අත්දැකීමක් දෙනවට වඩා, මේ ටෙලියෙදි පොඩ්ඩක් ආතල් මුසු කරලා ගැඹුරකට ගෙනියනව කියල මට පේනව.
ReplyDeleteඑහෙම එක තැනක් තමා අර , පහුගිය කොටසෙ කූරා කියන්නෙ... "ඇයි අපිට විතරක් මේ ගමෙං පිට වෙන්න බැරි උනේ?" කියල. එතකොට අර ආතල් මුසු කිරීම පතෝලයගෙන්: "උඹ ගමට හිර වෙලා නෙවෙයි, උඹට කළවං වෙලා"
ඔයා හරි ඩ්රැකී.
Deleteසුසිත ස්ක්‍රිප්ට් එක ලියද්දී ගැඹුරටම හිතන අයටයි, උඩු පෙලම ගන්න අයටයි - දෙගොල්ලටම ගැලපෙන්න ලියලා. වතාවක් හීන් අයියා කිව්වා මතකයිද 'දේශපාලනේ එපා. උන් මරුවැල් ඇද්දා. අපේ එවුන් පැටලුනා.' එකම කොච්චර සරලව පෙනෙන ගැඹුරු විග්‍රහයක්ද?
නොහිතන අයටත් හෙමිහිට හරි මේ කතන්දර මීටර් වෙයිම කියලා තමයි මට හිතෙන්නේ.............
යාල, හා විශේෂයෙන් කුමණ කැලෑවල ගල් කෙම් හුඟක් තියනවා. වතුර මට්ටම අඩුවුනාම දියබීමට එන සමහර සත්තු වැටිල මැරිල ඉන්නව
ReplyDeletePra Jay, එහෙම තැන් තියෙනවා. ඔකඳ දේවාලය ළඟ ගල් පර්වතයේම වුනත් එහෙම ඒවා ගොඩක් තියෙනවනේ. කොළඹ කිට්ටුවම- සාලාව හන්දියෙන් වමට හැරිලා යනවිට තියෙන (ලෙනවර රජමහ විහාරය වගෙයි නම මතක-) පන්සලේ චෛත්‍යය පිටුපස ගල් පර්වතයේත් එහෙම ගල් කෙමක් තියෙනවා.
Deleteගිහින් බලන්නයි ඔත්තුව දුන්නේ.
දෙමළිය කළුගල් පර්වතයේ ගල්කෙම ලොකුයි. පුදුමේ අලි එතනට නඟින එකයි. අපේ නඩේ එතනට නැංගෙත් හති හලාගෙන.... මාත් ඇතුළුව...