li Item

Tuesday, March 9, 2021

අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස

එතකොට තමයි මට උදව් කරන්නම ඕනි!

“එතකොට තමයි දිසානායක මට උදව් කරන්නම ඕනි.....” උත්තරය සුසිලාගෙන්ය.

“ඒ කොහොමද?” දැන්-දැන් මගේ විස්මය දෙගුණ-තෙගුණ වෙලා වගෙය.
“මම
එහෙම එනවා නං එන්නෙ......” සුසිලා කියාගෙන ගියාය.... “...වැඩි දවසක් අපේ ගෙදරවත් ඉන්න බලාගෙන නෙවෙයි!”

“ඇයි? අරූ කිව්වද එහෙම ආවත් උඹව බාර ගන්නවා කියලා....” මට කියැවුණේ නිකම්මය. (සයිකල් බැචා ගැන ඒ වෙද්දීත් මගේ හිතේ ඉපිද තිබුණේ ලොකුම අප්‍රසාදයකි. අහිංසක කෙල්ලන් රවටා වාසි ලබා ගන්නේ ගොබ්බ නිවටයන් නෙවෙයිද, මං අහන්නේ?)

“මම එච්චර මෝඩ නෑ දිසානායක! එයාට එක සැරයක් මාව එපා නං, මට එයාව දහස් වතාවක් එපා. අපිව එපා මිනිස්සු පස්සේ යන්නේ මොන එහෙකටද? ඊට වැඩිය සැපයි තනියෙන් ඉන්නවා....” සුසිලා කීවාය.
ඒ අතින් බැලුවාම නම් සුසිලා great කෙල්ලෙකි!
සමහර තරුණයන්ටවත් එහෙම ගට්ස් නැත.

“එහෙනම් තමුසෙ කොහාටද යන්න හිතාගෙන ඉන්නේ, කසාදෙ එපා වුණොත්?”

උත්තරය තනි වචනේ එකක් වුණේය. “රට!” සුසිලා කිව්වාය.

‘රට?’ මමත් එයම පුනරුච්ඡාරණය කළෙමි. සුසිලා ඒ ආදර්ශය නම් ලබන්නට යන්නේ එයාලගේ ලොකු අක්කාගෙනි. ඒ පවුලේ වැඩිමල් දියණියත් හිටියේ මැද පෙරදිග රටක, ගෘහ සේවිකාවක් විදිහට සේවය කරමිනි.

 ‘ලොකු අක්කා සුසිලාටිකාක් විතර විසේකාරියෙකි. සැමියා නෝංජලයෙකි.

ඒ ගෙදරදීම විඩෙන්-විඩේ කියවී තිබුණු විදිහට ‘ලොකු අක්කා සුසිලා’ ටිකාක් විතර විසේකාරියෙකි. සැමියා නෝංජලයෙකි.

“නැත්තං නිමල් පුතෝ, තමන්ගේ මිනිහවයි, ළමයින්වයි මෙහේ දාලා- ඔය දේස-දීපංකරවල ගිහින් අනුන්ට වාල්කම් කරන්න ගෑනියෙක්ව යවනවද හරි-හමං මිනිහෙක්? මම ඒත් xxxxxxට කිව්වා, මගේ ලොකු දූ තමා, ඒ වුණාට දැන් එයාගේ පවුලනේ...
කම්මුලට දෙකක් ගහලා- කොන්ඩේ බූ ගාලා ගේ අස්සට දාගෙන ඉන්නයි කියල. මොන... යන්න දුන්නා! දැන් ලොකු දුවට මෙහෙ මතක නෑ. අවුරුදු ගාණකට සැරයක් ආවත් මාසයක්වත් ගෙදර ඉන්න බෑ. විමානේ රත් වෙනවා....අපේ එකියෙක් වුණාට පුතෝ....”
අම්මා සුසිලා ලොකු දෝණි ගැන කතා කළේවත් කලාතුරකිනි.

“තමුසෙලා අක්කද ඔය ඔපීනියන් එක දුන්නේ?” මම සුසිලාගෙන් ඇසුවෙමි.
“දෙයි මෙන්න කියලා... එයාට ඕනි තනියම ඒ රටට වෙලා ඉන්න. කීයටවත් මාව එහාට නං ගෙන්නගන්න එකක් නෑ. ඒ හින්දා තමයි උඹ මට උදව් වෙන්න ඕනි....”

කතාව නිරවුල් වුණේ එහෙමය.

සුසිලාට විවාහය එපා වුණෝතින්, ඇයට ඕනෑ කරන්නේ විදේශගත වෙන්නටය. “කියපංකො දිසානායක, එහෙම වුණොත් උඹ මට උදව් කරනවා නේද?”
ඒ සැලසුමට සහයෝගය දීමට මම පොරොන්දු වුණෙමි.
“හැබැයි සුසිලො.... කසාද බැන්දට පස්සේ, තමුසෙට මිනිහා හරි යන්නේ නැත්තං විතරයි... හරිනේ!”

ඒ සැලසුමේ වැඩි කොටසක් තාත්තා සුසිලා හෝ අම්මා සුසිලා හෝ දැනගත්තේ නැතිය. මල්ලී සුසිල්ට රහස කියා තිබුණාද කියලාත් මං හෙව්වේ නැත.

සන්තානං මෑණියනේ, නොදන්න එකෙකුට රෙද්ද උස්සන්නේ කොහොමද....

'ඉස්සර ඉතින් ලව් මැරේජ් හරි අඩුයිනේ, නැගලම යන්නේ ඇවැස්ස නෑකංවලින් කරේ ගැහිල්ල හරි කරගහගන්න එකනේ. ඔව් ඔව් තන්නාසේ දේපල පිට යනවට.
ඔය අස්සේ පට්ට සිරා ඇවැස්ස ලව් නොතිබුනාමත් නෙමෙයි.
ඒ ඇරුනහම ඉතින් කපුවෙක් ලව්වා හිර හෙවිල්ල තමයි නැගලම ගියේ. අනිත් ක්‍රමය තමයි කාගේ හරි රෙකමදාරුවක් මාර්ගෙන් ගෑණියෙක් මිනිහෙක් හෙවිල්ල. මට නං ඔය දෙකම හෙන කොයිල්.

ලව් කරනවා කියන්නේ තමන්ට හොඳයි වාගේ හිතෙන කෙනෙක් සෙක්ස් කරන්ඩ දීර්ඝ කාලීන වැඩසටහනකින් කැමති කරගන්න එකනේ (සරලව).
ඒකවත් නැතුව ජීවිත කාලයම නිදාගන්න ඇඳ බෙදාගන්ඩ එකෙක් කොහෙවත් ඉන්න කපුටෙක්ට හරි දන්න කියන ඔටුවෙක්ට හරි කියලා හොයාගන්නවා කියන්නේ මොන නවනිංගිරා වැඩක්ද? අනේ මන්දා මට නං හිතාගන්ඩ බෑ.
සන්තානං මෑණියනේ, නොදන්න එකෙකුට රෙද්ද උස්සන්නේ කොහොමද.... නොදන්න එකියෙකුට බිජ්ජ පෙන්වන්නේ කොහොමද.’

ඇල අකුරෙන් තියෙන ටික ලිව්වේ ලක්මාල් කන්දෙවිදාන හිතවතාය; මගේ වෙනුවෙන් නෙවෙයි; ‘අඩයාලම group’ එකට.
මනමාලියෝ හෙවිල්ලයි, මනමාලියෝ කොං කිරිල්ලයි’ කියන ලිපියට.

අපේ කෙල්ලට රජ සැප දෙන්න පුළුවන් මිනිහෙක්! තව මොනවා....

මං ලියාගෙන යන කතන්දරේදී ‘කසාද බැන්දට පස්සේ, තමුසෙට මිනිහා හරි යන්නේ නැත්තං විතරයි...’ කියන ටික කොටද්දී තමා මටත් sex පැත්ත ගැන ලක්මාල්ගේ (මං ඒ නමින් කිව්වට වැඩි දෙනෙක් එයාව දන්නෙ නම් ‘අටමා’ කිව්වමයි.) මේ ප්‍රශ්නය මතක් වුණේ!

තවත් එකක්.... මං අමද්‍යපිකයා, ඒත් ලක්මාල් ඒකේ අනිත් කොණ! ඒ වුණත් අර ‘මනමාලියෝ හෙවිල්ල...’ ලිපියේ මෙහෙමත් තිබ්බා. ‘... ජීවිතේට නොකරපු දෙයක්. නිකොටින් සහ ඇල්කොහොල් නැතුව ලියන පළවෙනි එක මයේ හිතේ....’ එහෙමය කියලා post එකේ රහ අඩුවක් නැහැනෙ ලක්මාල්! කාට හරි ඒ මතය ගැන තව දැනගන්න හිතෙනවා නං එහාටම ගිහින් බලන්නකො!

“අනේ මිස්ටර් නිමල්, ලොකු දෙයක් ඔයා කළේ! අපේ සුසිලා යන්තමට හරි හිත මෙලෙක් කරගත්තේ ඔයා කියපු දේවල් අහලාලු...” තාත්තා සුසිලා තකහනියක්ම, අපේ ගෙදරට ඇවිත් කිව්වේය.
“සුසිලා එහෙම කිව්වද?”
මං ඇසුවේ යමක් කිව යුතු නිසාමය;
ඇත්තත් නොකියා- බොරුත් නොකියා මඟ හරින්නටය.

“කිව්වා නේන්නං.... අනේ මිස්ටර් නිමල්. ඒකිට පිස්සු... ඒ මනුස්සයගෙ රස්සාවත් හොඳයි, ගේදොරත් හොඳයි, සිගරැට්- සුරුට්ටු- බීම පාවිච්චියකුත් නෑ. සූදුවට යන්නෙත් නෑ. අපේ කෙල්ලට රජ සැප දෙන්න පුළුවන් මිනිහෙක්! තව මොනවා හොයන්නද?

දැන් ඔයා අතේ තමයි සේරම තියෙන්නේ.... සුසිලා කියනවා ඔයාට xxxව මුණ ගස්සන්නලු. ඔයා හොඳයි කිව්වොත් xxxව කසාද බඳින්නම්ලු! අද-හෙට දවසකම අපි යමුද, xxxලගේ ගෙදර....”

“එහෙම යන්නේ කොහොමද? ඒ මනුස්සයා බලයිනෙ, මේ මොන විගඩං වැඩක්ද කියලා.... මං ඔයාලගේ නෑදෑයෙක්යැ?”

රෑට කාලා මිසක් යන්න දෙන්නේ නෑ ඕං! බත් නැතිවට කමක් නැහැනෙ...

“නෑ, නෑ. අපි ඒ පැත්තේ ඉඩමක් බලන්න ආව ගමන් එහාටත් ගොඩ වැදෙන විදිහට යමු! මම දැක්කා, ඇරැව්වල ඉඩමක් විකුණණවය කියල බැනරුත් දාලා තිබුණා..... ඒ ඉඩම බලන්න ගිය විදිහට....” තාත්තා සුසිලාට උවමනා වුණේ හැකිතාක් ඉක්මනින් මට මනාලයාව මුණ ගැස්වීමටයි.

ඉතිං අප දෙන්නා සවසක xxxලගේ ගෙදරට ගොඩ වැදුණේ, වෙනත් ගමනක් යමින් ගමන් වගෙය.

මනාලයාගේ නිවාස අලුතින් හැදූ එකකි; කලඑළියත් හොඳය. ඔක්කොටම වඩා xxx බොරු සෝබනකාරයෙක් නොවේ. කෙළින්ම මුහුණ බලාගෙන කතා කරන්නෙකි. රඟන්නෙකුත් නොවේ. ඒවා මගේ cctv එකට අසුකරගත්තේ තේ බොන අතරේය.
“අද ඉතිං, මෙහාටම එනවයි කියලා ආවේ නැති වුණාට කමක් නෑ.... නිමල් අපේ ගෙදරට ඉස්සෙල්ලම ආවෙත් අදයිනෙ. රෑට කාලා මිසක් යන්න දෙන්නේ නෑ ඕං! බත් නැතිවට කමක් නැහැනෙ... ඉක්මනට නූඩ්ල්ස් ටිකක් හදයි අපේ අක්කා!
මං උයපු කුකුල් මස් එහෙකුත් තියෙනවා.”

මං එන්නෙ ඇයිදැයි කියලා xxx දැනගෙන හිටියා වෙන්නටත් ඇති, එච්චර සාරෙට ආගන්තුක සත්කාර කළේ!

“දැක්කා නේද xxxගේ හැටි!” පහුවදාම මා හමුවන්නට ආ සුසිලා ඇහුවාය. ඒ වෙද්දීත් සුසිලා හිත හදා ගනිමින් හිටි බවය, මට එවෙලේ හිතුණේ. ඊට කලින් මනාලයා ගැන කියන හැම විටෙකම සුසිලා පාවිච්චියට ගත් ‘ජූතකයා’ නම එදා කියුවේ නැත; කිව්වේ ඔහුගේ නමයි.

“දැක්කා නේන්නං.... උඹේ පින සුසිලො!”
“මගේ පින?”
“පින නේන්නං.... ලේසිපාසු පිනක් නෙවෙයි බං. මරු ගේ පොඩ්ඩ... පොඩ්ඩ කිව්වට ලොකු ගෙයක්... ගෙදරකට ඕනි කරන බඩු-මුට්ටු සේරමත් තියෙනවා..... ඔයාලගේ ගෙදරට වැඩිය සාරයි! xxxත් මරු මනුස්සයෙක්නේ! කලබලකාරයෙකුත් නෙවේ, උඹ කියපු හැටියට හෙමිනෙකුත් නෙවෙයි සුසිලො... ඒ මදිවට, මනුස්සයට රහට උයන්නත් පුළුවනි.”
මටත් නොදැනීය එච්චර සහතිකයක් xxxට මගෙන් දෙවුණේ!

මඟුල් සාරි මිලදී ගැනීමට යද්දී තාත්තා සුසිලා දුවගේ අතට ගෙඩි සුපියල්වලින්ම 25,000/-ක්ද කොහෙද දුන්නේය....

මගේ රෙකමදාරුව සුසිලා පිළිගත්තේ , කියන දේ කරන බව පෙන්වමිනි. මංගල්ලය තීන්දු වුණේය.

“මිස්ටර් නිමල් තව උදව්වක් කරන්න ඕනි බැහැයි නොකියා.... පොඩි දුවට මඟුල් සාරි ගන්න යනවා අනිද්දට. ඔයත් එන්න ඕනි ඒ ගමන යන්න.... ඇත්තම කියනවා නං, අපේ සුසිලාට කොයි මොහොතේ හරි පස්ස ගහන්න හිතෙයි කියල අපි දෙන්නම හරි බයෙන් ඉන්නේ...” තාත්තා සුසිලා හොරෙන් කීවේය.

“අනේ ඔව්, රත්තරං පුතෝ! ඔය කළා වගේ මේ ඩිංගටත් අපට උදව් වෙන්ඩෝනි, බැහැයි නොකියා. අපේ දෝණියන්දෑ මහා හිතුවක්කාරී!
අපටම පුදුමයි පුතෝ, ඔය දරුවා කීව දේවල් හරි කෙල්ල ඇහුවට...” අම්මා සුසිලාත් මුණු-මුණුවෙන් කීවාය.

මගේ මතකය හරි නම්, මඟුල් සාරි මිලදී ගැනීමට යද්දී තාත්තා සුසිලා දුවගේ අතට ගෙඩි සුපියල්වලින්ම 25,000/-ක්ද කොහෙද දුන්නේය. තාත්තාගේ ඉදිරිපිටදීම සුසිලා ඒවා මගේ අතට පත් කළාය. “අනේ දිසානායක, මේක ඔයා අතේ තියාගෙන යං. උඹට මට වැඩිය සිහිය තියෙනවනේ!”

“ඔව්, ඔව්. පොඩි දුව, මිස්ටර් නිමල්ගේ සිහිය ඔයාටත් තිබ්බා නං....”

ඕනෑම කෙනෙකුට වැඩියෙන් මතක හිටින්නේ අංජ-බජල් වැඩය; කන්නට වුණු කට්ටය. ඒ මඟුල ගැන කියන්නට තියෙන්නේ එය සාමාන්‍ය එකක් වුණු විත්තියයි. පෝරුව ගහන්නට, මඟුල් ගෙදර හා මඟුල් මඩුව සරසන්නට හෙමත් තිබුණෙන් මට විවේකයක් තිබ්බෙම නැති තරම්ය.
විස්තරත් මතකයේ ඇත්තෙම නැති තරම්ය.
එතෙක් කෙරුණු ටික මදිවාට මංගල සභාවේදී කතාවකුත් කරන්නට මට සිද්ද වුණේය. කොච්චර බැහැයි කිව්වත් තාත්තා සුසිලා මට කර අරින්නට ඉඩ තිබ්බේ නැත.

එදා මංගල සභාවේදී අනේ මේ ගෑනු බර උහුලන තරමකවියත්, එහි උත්පත්ති කතාවත්....

කොහොමටත් කතාවකදී අවවාද- අනුශාසනා- මුරුංගා ඇත්තට නැංවීම් නොකරන මේ පුතයා වෙන කවරදාටත් වඩා පරෙස්සමෙනි එදා කතා කළේ. මට හොඳටම මතකය.... එදා මංගල සභාවේදී ‘අනේ මේ ගෑනු බර උහුලන තරම’ කවියත්, එහි උත්පත්ති කතාවත් මගෙන් කියවුණේය.

කරුණු දෙකක් ගැන මෙතැනදී කියන්නට උවමනාය.

මේ බ්ලොගය ලියන්නට පටන් ගෙන පෝස්ටු 340ක් ලියන තුරුමත් මේ මැටි මෝල් වහන්සේට එක කාරණයක් සිහිපත් නොවුණේය. පැරැණි ඡායාරූප හෙව්වත්, අරයාගෙන්- මෙයාගෙන් ඒවා ගැන විමසුවත් වැඩිපුරම ලැබුණේ ඍනාත්මක උත්තරය. ‘ඩිංගෙන් Hong Kong හිරේ ලියද්දීය, මට හරිශ්චන්ද්‍රගේ මංගල්‍ය උත්සවය සිහි වුණේ; ඒ මඟුලේදී නෙවිල් දෙවෙනි මනාලයා වුණු විත්තිය මතක් වුණේ.
“හරිශ්! මම ඔයාලගේ ගෙදර එනවා, අද හෙටම දවසක. වෙඩින් ඇල්බම් එකයි, තව තියෙන තරම් fotos එහෙමයි එළියට අරං තියාගන්නවද?” මම දුරකතනයෙන් ඇසුවෙමි.

ඒ උත්සාහය හරියට හරිය. පැරැණි තොරතුරු අඩංගු මහාර්ඝ නිධානයකි ‘මංගල ඡායාරූප’ කියන්නේ. (ඒවා පිටපත් කර දීම වෙනුවෙන් ගවීන්ට ස්තුති කළ යුතුය.)

මගේ කල්පනාවේ හැටියට නම්, මා කතාවක් පවත්වන ඉරියවුවෙන් සිටින හොඳම ඡායාරූපය සුසිලාගේ විවාහ මංගල්‍යයේදී ගනු ලැබූවකි. ඒත් ඒ ගැන අහන්නටවත්- එය ලබාගෙන ඉදිරිපත් කරන්නටවත් ඉඩක් නැතිය.....

ඉතිං දවස් දෙක තුනකට විතර පස්සේ, දෙවෙනි ගමනටත් සහභාගී වන්නට ‘නිදිට’ සිද්ධ වුණේය. එදා නං මං එහි ගියේ ‘මස් මඩුවට දක්කාගෙන යන හරකෙකු’ වගේ අසීරුවෙනි. “අපේ පැත්තෙන් ස්තුති කතාව කරන්න ඕනැත් මිස්ටර් නිමල්..... මං අපේ කිළුටු කුමාරයට දැන්මම කියලයි තියෙන්නේ ඔයා කතාව කරන බව. නැත්තං ඒ මනුස්සයා කතාව පටන් ගනියි....”

මම දෙවියන්ට පිං අනුමෝදන් කළෙමි!

‘කිළිටි කුමාරයා’යයි කීවේ තවත් හොඳ UNP බලකණුවකටය. වියපත් කෙනෙකුවූ ඔහු හොඳ බුද්ධිමතෙකි. අවාසනාව එතුමා පිරිසිදුකම ගැන යන්තම්වත් නොතැකීමයි. ඊළඟ නස්පැත්තිය කතාවක් පටන් ගන්නට දන්නවා වුණත් එය නවත්තන්නට එතුමා නොදැන සිටීමයි.

කොහොමෙන් හරි එදාත් අපට යහතින් ආපහු එන්නට ඉඩ ලැබුණේය. සති දෙකක් විතර ගියත් සුසිලා ආපසු මා හමු වෙන්නට ආවේ නැත.
මම දෙවියන්ට පිං අනුමෝදන් කළෙමි!

“නිමල් අයියේ.... මොන වැඩ තිබුණත් අද රෑට ඔයාට අපේ ගෙදරට එන්න කියන්නයි කියලා අපේ තාත්තා කිව්වා....” ඊටත් පස්සේ දවසක උදෙන්ම අපේ ගෙදරට ආ මල්ලී සුසිලා පණිවිඩයක් කිව්වේය.
“පොඩි අක්කත් කීවා, ඔයා එනකල් එයත් බලාගෙන ඉන්නවයි කියලා.”

මංගල්ලේ අන්දොස් වෙන්න යන්නේ, හිතුවට වැඩිය පරක්කු වෙලා වගෙයි!
තවත් හිතා බලන්නට දෙයක් නැත. මට එදා දවල් දවසම ගෙවුණේ හරිම හෙමින්ය. මට මතක හැටියට නං සූරිය දිවිය රාජයාගේ මදාවි පුත්තරයාත් තාත්තාට හොරෙන්- සූරිය දිවිය රථය පොළොවට කිට්ටුවෙන්ම එළවාගෙන ගියෙත් එදා වෙන්නැතිය.
එදා හැන්දෑකරේ මගේ හිත දෙමෝලෙන් පිටි කොටද්දීය, මං සුසිලලාගේ ගෙදරට ගියේ.

මොන? කිසිම කලබලයක වගක් නැත!
අවුලක ඡායා මාත්‍රයක්වත් නැත!! සේරෝම හොඳටම සාමකාමී පාටය!!!

සුසිලා තවමත් බෝම්බයේ සේව නූලට ගිනි තියලා නැතුවා වගෙය.

ඔන්නං කියන්නකො ජූතකයම කිව්වාය කියලත්!

සතුටු කතාබහ අල්ලාප-සල්ලාප නැඟලා ගියේය. කැවුම්, කෙසෙල් ගෙඩි, කේක්, තේ, කෝපි, සිසිල් බීම වැසි වැස්සේය. එහෙම කෙරෙන අතරේය, නව දිවියට සැපත් මනාලයා- කාටවත් අමුත්තක් නොපෙන්වමින්; හීන් සීරුවේ නිමල් දිසානායකයන්ව පසෙකට කැඳවා ගෙන ගියේ.

“මගේ ගැන හොඳ රෙකමන්ඩ් එකක් දීලා සුසිලාව කසාදෙට කැමති කෙරෙව්ව එකට ඔයාට ගොඩක් ස්තුතියි, නිමල් අයියේ!”
“ගණන් ගන්න එපා xxx! ඔයාලට යහපතක්නේ වුණේ!” මම වැටකොළු-පතෝල පන්නයේ උත්තරයක්  දුන්නෙමි.
(ඒ අස්සෙම මගේ හිත ප්‍රශ්නයකුත් ඇසුවේය! කලින් දවසක තාත්තා සුසිලා කිව්වා වගේම මනමාල බැචා සුසිලාට රජ සැප දීලාවත්ද?)

“හැබැයි නිමල් අයියා ඔය කළා වගේම මට තව උදව්වකුත් කරනවාමයි කියලා පොරොන්දු වෙන්න ඕනි.” මනමාල බැචා හොර බැල්මකුයි, හීන් හිනාවකුයි ඇතිව කිව්වේය.
ඒ බැල්මත්, හිනාවත් මට දිරෙව්වෙ නැත! ඒ බව නොපෙන්නා, සැහැල්ලු ස්වරයකින් මම ආයෙමත් දෙපැත්තටම නැති ප්‍රකාශයක් කළෙමි. “නැතුව, නැතුව!”

අලුත් මනාලයාගේ උත්තරය ආවේ එතකොටය. “එයාට පොඩ්ඩ ඇත්තන් තද වෙනවනේ.... බැරි වෙලාවත් එහෙම වෙලාවක හරි ඇවිත් එයාට රට යන්න ඕනියි කිව්වොත් ඔයා උදව් කරන්න හෙම එපා. ඔන්නං කියන්නකො ජූතකයම කිව්වාය කියලත්!”

පසුවදන:
ඒ මංගල්ලේ අක්කා සුසිලාගේ විවාහය වාගේ වුණේ නැතිය. දැන් සුසිලාත් xxxත් ආච්චිලා සීයලාවී මුණුබුරු-මිණිබිරියන් සුරතල් කරති!
අතුරු කතාවක් විදිහට කියන්නට තියෙන්නේ මල්ලී සුසිලාත් විවාහ වුණේ යෝජනාවකිනි. “අනේ පුතෝ, මගේ බඩින් වැදුවේ නැති වුණාට, මේ දෙවෙනි ලේලි කෙල්ල තමයි මගේ දූ!” ඩිමෙන්ෂියා රෝගයෙන් බැට කන ‘අම්මා සුසිලා’ හොඳ කල්පනාවෙන් සිටිද්දී, ඒ ලේලිය ගැන කියයි.
“මාව නාවලා, කවලා පොවලා- බුලත් විටත් කොටලා දීලා සේරම කරනවා.... මේ කෙල්ල ගිය ආත්මෙක මගෙම දුවෙක් පුතේ...”

වාසනාව තියේ නම් කිසිවක් අන්දොස් නොවන්නේ එහෙමය෴

15 comments:

  1. අන්දොස් මංගල්ලෙ නම දැක උලව්වේ
    ඇඟේ ලේ වතුර නැතුවයි කියෙව්වේ
    හොඳිං ඉවර වී ඇතිි ඒ කතාවේ
    සැනසිල්ලයි අපේ හිතට ගෙනාවේ

    ReplyDelete
    Replies
    1. කෑමක් වුවද තෝරන්නේ බලලාය
      රස-නීරස දැනෙන්නේ පස්සෙන් පහුය
      ලියවිල්ලකදි වුව ඒ නීතිය පොදුය
      යොදන නමක් කුතුහල ඇති කළ යුතුය

      කෙනෙකුට වෙන්න යනවා නං අන්දොස්කම්
      හිත උණු වීම ගතියකි සුදනන්ගෙ උතුම්
      ඒ ගැන තුතියි! තව තියෙනා සේරම නම්
      තහනම්, ලියන්නට සොයනෙමි විදිහක් යම්!

      Delete
  2. අපිවත් අන්දෝස් උනා නේන්නං. ජූජකයා වැඩ්ඩා හින්දා සුසිලාට උපරිම "රජසැප" දීලා නම්ම ගන්න ඇති.

    ReplyDelete
    Replies
    1. එහෙමම වෙන්ඩෝනැ අසංග මහත්තයෝ! එච්චරට විපිරියාසයක්නේ වෙලා තිබ්බේ!!

      Delete
  3. දැන් නෙවිල්ටත්

    ReplyDelete
    Replies
    1. කසාදයක්ද?
      සති කීපෙකට කලින් ඒ හාදයා අලුත් වාහනයක් නං ගත්තා.... Pra Jay මහත්තයෝ.

      Delete
    2. ඔව් ඉතිං ආයිත් හිතල බැලුවාම තාම ලපටි වැඩියි නේද කසාදෙකට?

      ඔන්න ඔහෙ නිමල්ටත් කලවයස හරියනකං හිටියාවෙ, එතකොට දෙන්නටම මනමාලියො හොයල ඩබල් වෙඩිං එකක් ගන්න බැරි‍යැ

      Delete
    3. මේක ශෝක් සංවාදයක්.

      Delete
  4. NiDi may have helped the honeymoon as well!!!! So susila decided to stay. (untold part of the story) Wijebahu

    ReplyDelete
    Replies
    1. විජේබාහු මහත්තයෝ, කසාදයක් කඩන පාප කරුමේ කරගන්නද හදන්නේ?

      Delete
  5. මේ මංගල්ලේ මුකුත් දෝසයක් නැති නිසා ඒකට නම දාන්න තිබුනේ අන්දොස් මංගල්ලේ කියලා නොවෙයි, un දොස් මංගල්ලේ කියලයි.
    අදනම් මං එනකොට පෙරහරේ හොඳ හරිය ගිහිං .

    ReplyDelete
    Replies
    1. අනේ සෑම්!
      ඔයා තමයි මට හරිම මාතෘකාව තෝරලා දුන්නේ. සත්තයි! මට 'un දොස් මංගල්ලේ' හිතට ආවේ නැති හැටි. හරිම ක්‍රියේටිව්!
      ගොඩාරියක් ස්තුතියි!
      පරක්කු වෙලා ඇවිත් වුණත් මසුරං වටිනා දෙයක්නේ කිව්වේ.
      ආයෙමත් ස්තුතියි!!

      Delete
  6. 'වාසනාව තියේ නම් කිසිවක් අන්දොස් නොවන්නේ එහෙමය'. නිමල්ගෙ නිගමනය එහෙම වුනාට වාසනාවටත් වඩා බලවත්ව මට නම් පෙනුනෙ සුසිලාගෙ තීරණ ගැනීමෙ හැකියාව. ප්‍රශ්නය ගැන නිමල් එක්ක කතා කිරීම, යාලුවෙලා හිටියකෙනා ගැන (පසුව හෝ) හරියට තේරුම් ගැනීම, ඒ හේතුව නිසා ගෙදරින් යෝජනා කරන කෙනා ගැන සලකා බැලීමට තීරණය කිරීම, ඒකත් හරි නොගියොත් රට යනවා කියන එක. She knew exactly what she wanted in life.

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක වුනානේ, නිමල් වගේ යාලුවෙක් සුසිලට හම්බවුනේ නම් 'වාසනාවට' තමයි.

      Delete
    2. Lotus! හරියට ඔයාට සුසිලාව හම්බ වෙලා තියෙනවා වගෙයිනෙ. එයාලගේ අම්මගේ ගතිගුණයි වැඩියත්ම සුසිලට තිබුණේ. ඒ අම්මා යකඩ ගැහැනියක්. ඉදිරි පොස්ට් එකකදිත් ඒ අම්මා මට කල උදව්වක් ගැන කියනවාමයි. හරි වෙලාවට.ඒ ගෙදර හැමෝම මට නම් හොඳම යහළුවන් වුණා. ලොකු අක්කා විතරයි වැඩිපුර හමුවී නැත්තේ....

      හැබැයි, (එයාලට අවමන් කරන්න කියනවා නෙවෙයි.) අම්මා සුසිලයි, සුසිලයි දෙන්නා තමයි ඒ ගෙවල්වල ගෘහ මූලිකයෝ!

      ව්‍යංග්‍යයෙන් වුණත් මට කරලා තියෙන පැසසුමටත් ස්තුතියි!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්