li Item

Thursday, March 24, 2022

නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!

අකාරුණික දෛවය ඒ තාත්තාට දකින්නට බිහි කරවලා තිබුණේ ‘අසම්පූර්ණ දකුණතක්’ සහිත පුතෙක්.

‘පෑරෙනා තරමටයි සමහර මතක මිහිරැති
ඒ නිසාමයි සමහරු හිත හදා ගන්න අකැමැති’

මේ කියන්නේ ඇත්තක්ද? එක සැරේම උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක් නේද?

චුට්ටක් හිතන්නකෝ හොඳටම දුක්මුසු; අසුන්දර අතීතයක් තියෙන කෙනෙකුත් ‘හිත හදා ගන්න’ අකැමැති වේවිද කියලා. නිදිගෙ පංච තන්තරේ නොකඩවා කියපු හිතාදර රසික- රසිකාවන් නම් දන්නවා, නිදිගෙ අතීතය ගැන;
අපේ අම්මාට මාව ලැබුණේ අවුරුදු දාහතේදී බව;
මං අපේ අම්මගේ කුසට ආවාම, බදුල්ලේ ආච්චී- අපේ අම්මාගේ අම්මා, මාව
‘ගස්සලා යවන්න’ යෝජනා කළ බව. ඒ සිදුවීම නිසාම, අපේ තාත්තා නං මැරෙන තුරාමත් බදුල්ලේ ආච්චී ගැන තරහෙන් කතා කළ බව. මට නං කවදාවත් බදුල්ලේ ආච්චී ගැන තරහක් ඇති වුණේ නෑ.... මට පෙනුණේ, වගකිව යුතු මව් පදවිය දරන්නට තරම් දැනීමක් නැති ගැබ්බර යුවතියකගේ මවට පෙනුණු දෙයමයි... එයාගේ ඇසින්! 

ඒ වගේ පුළුල් දැක්මක් ඇති දූලා- පුත්තු තව ඉන්නවා!

බලන්ගොඩ මූලික රෝහලේදී, 1999 සීතල දෙසැම්බරයේ 3 වෙනිදා- අවුරුදු පහළොවේ යුවතියක් දරුවෙකු ප්‍රසූත කළා. දරුවාගේ පියා රෝහලට එන්නට ඇත්තේ දහසක් බලාපොරොත්තු ඇතිව. ඒත්...

අකාරුණික දෛවය ඒ තාත්තාට දකින්නට බිහි කරවලා තිබුණේ ‘අසම්පූර්ණ දකුණතක්’ සහිත පුතෙක්. ආබාධිත දරුවෙකු එක්ක අනාගතයට පිය මනින්නට තරම් ශක්තියක් ඒ තාත්තාට නැති වෙන්නට ඇති. (මට හිතෙන විදිහට ඒ තාත්තාත් එච්චර මේරූ වයසේ කෙනෙකු වෙන්න බෑ.
එහෙමත් නැත්තං හොඳට කරුණු-කාරණ දන්නා කෙනෙක් වෙන්නැති. අවුරුදු 15ක් දැරියක් අපයෝජනය කළා කියන චෝදනාව ඒ මනුස්සයාට එල්ල වෙන්නත් ඉඩ තිබුණනෙ.)

කාරණාව මොක වුණත්, පුතාගේ උප්පැන්න සහතිකයෙ ‘පියාගේ නම’ තීරයට තමන්ගේ නම දෙන්නට පවා අකමැති වෙන ඒ තාත්තා රෝහලෙන් පිටව යන්නෙ, ආයෙම කවදාවත් තමාගේ සොඳුරියවයි- සහජාත පුතාවයි හමු නොවෙන්නට කුරිරු තීන්දුවක් අරගෙන!

නිමල් බැලුවද සිහිනයකි රෑවැඩ සටහන, ඒකට ආවෙ මාර ඇම්බිෂස් කොල්ලෙක්...

අන්න එහෙමයි අවුරුදු පහළොවේ අම්මෙක් අසරණ වුණේ; තනි වුණේ. එහෙම තනි වුණු වෙලාවක දැරියක් මොනවා කරයිද?

“... මගේ අම්මට මාව ලැබෙද්දී එයා ගොඩක් චූටි කෙල්ලක්. වයස අවුරුදු පහළොවයි! ඉස්කෝල යුනිෆෝම් එකේ දූවිලි ගාගෙන දුවන කාලෙ. එහෙම කාලෙක මාව ලැබෙද්දී....” ඒ පුතණ්ඩියා; සුමීර ගුණසේකර අම්මා ගැන සිහිපත් කරද්දීත් මම හිටියේ හොඳටම ඉකි ගැසෙමින්; ඇස් දෙකේ කඳුළු පුරෝගෙන.

අපරාදේ කියන්න බෑ. සුමීර, හිතක් පපුවක් තියෙන ඕනිම කෙනෙකුව අඬවයි, එක විනාඩියෙන්. ඒ තරම් සංවේදී; අනුන්වත් සංවේදී කරවන එයා අවුරුදු 23ක හැන්ඩි කොල්ලෙක්!

“නිමල් බැලුවද ‘සිහිනයකි රෑ’ වැඩ සටහන, ඒකට ආවෙ මාර ඇම්බිෂස් කොල්ලෙක්...” හිතවත් මිතුරු වල් ප්‍රියන්ත මගෙන් ඇහුවේ මාර්තු 13 වෙනිදා රෑ, sweet අතුලලාගේ ගෙදරදී. අතුල එදා, අපි කීප දෙනෙකුට ‘රාත්‍රී භෝජන සංග්‍රහයක්’ සූදානං කරලා තිබ්බා. 

“අනේ නෑ ප්‍රියන්ත. මං ඒක බලන්නෙ නෑ. ගොඩක් දිගයිනේ...” මං කිව්වා.

එච්චරකුත් නොවේ; (දැන් ගෙදරින් අයින් කොට ඇති) රූපවාහිනියෙන් එය බලන කාලයේම මේ වැඩ සටහන බැලිල්ල නැවැත්තුවේ, ඒක විකාශය වන්නේ යක්කු ගස් නඟින වෙලාවට හින්දාය.
“අපරාදේ! මම කියනවට ඒක බලන්න. ඒ boy ලැහැස්ති වෙන්නේ ‘ලංකාවේ පළවෙනි ආබාධිත ප්‍රවෘත්ති නිවේදකයා’ වෙන්න....” ප්‍රියන්ත හොඳටම impress වෙලා තිබ්බේ ඒ කාරණේ නිසා. ප්‍රියන්ත ඇල්ලුවේ මගේ හරිම නිලේ.

“ ඔහොම කියනකොට නං ඒක බලන්න හිතුණා!” මම කියන්නත් කලින් ප්‍රියන්ත ඒක හොයාගෙන; මට මොබයිල් එක දික්කළා.
“මේ තියෙන්නේ. පෙබරවාරි 27 වෙනිදා වැඩ සටහන.” ගෙදරදී නිදහසේ ඒ වැඩ සටහනට එබී බලන එකවත් කළ යුතු යයි මට එදා සිතිණි.

කවුද නොසොයාම ගොඩ ලන්න ඉවුරට ආව...

එයට නිදහසක් ලැබුණේ ඊයෙයි. අන්තර්ජාලයෙන් ‘සිහිනයකි රෑ’ වැඩ සටහන බලන්නට පටන් ගෙන චුට්ට වේලාවකින්ම මගේ දෙනයන කඳුළු දියෙන් සේදෙන්නට පටන් ගත්තා මට මතකය!

මේ post එකේ මුලින්ම යොදා ඇති කවි දෙපදය, සුමීර උපුටන විට දිගටම programe එක බලන්නට හිතට ආවා මට මතකය.

මං කවියට මනාප බවත්, පෙම් කවි ලියා, දැන් හොඳ කවි ලියන්නට වෑයම් කරන බවත් ඔබ දැනටම දනියි.

ඉන්ද්‍රා ලියනගේ කිවිඳිය සුමීරට එවා තිබෙන මේ කවි දෙකත් ඒ වැඩ සටහනේදී කියවෙයි:
   අතක් අල්ලන් පාර පනින මව්           ගංගාව
   කොතෙක් අසරණද මං එවන් දසුනක්    ගාව
   කොතක් වගෙ වඳින්නට මවක් නැති සංකාව
   මතක් වෙනවද අම්මෙ දාල ගිය මේ       මාව  

   දුඟද මඩ කළල් දියඹේ ගිලෙද්දී              පාව
   කවුද නොසොයාම ගොඩ ලන්න ඉවුරට   ආව
   සුවඳ දිගු අත්වලට කොහොමට පෙනුණිද මාව
   තවද නොසොයමි නුඹව අම්මේ ආපහු     නාව

සුමියුරු ගීත දහයක් එක්කම, සුමීර ගුණසේකරගේ ජීවිත අන්දරයත් ක්‍රමයෙන් රූපවාහිනී තිරය මත දිග හැරෙද්දී මටත් වුණේ හිතවත් ප්‍රියන්තට වුණු දේමය. අතිශය හෘදය සංවේදී මේ වැඩ සටහන ගැන ඔබ සැමටමත් කියන්නටයි මට හිතුණේ.
ඒ එක්කම පැයකුත් විනාඩි 53ක දිගු වැඩ සටහනක් නරඹන්නට හිත ඇතත්, ඉඩ නැති පිරිසකුත් සිටින්නට පුළුවන් බව මගේ හිත කියන්නට ගත්තේය.

... ඒත් අම්මගෙන් නොලැබුණු ආදරය මට ලැබුණා පර්වතයකින්...

මගේ නිර්දේශය මේකය. ඔබට ඉඩ; වෙලාව හා සම්පත් තිබේ නම් මේ පෝස්ටුව කියවීම මෙතැනින්ම නවතා දමන්න. මේ වදන් කිහිපය උඩින් click කොට ඒ වැඩ සටහන නරඹන්න. 

මගෙන් මේ blog ලියවිල්ල කෙරෙන්නේ එසේ කළ නොහැකි රසවතුන් වෙනුවෙනි.
ඒත් යළි-යළිදු පවසන්නෙමි; සුමීර දනවන හැඟීම් ඔබට දනවන්නට නම් මම අපොහොසත්මි. මට ලියන්නට අවකාශ ඇත්තේත්, සුමීර කියූ දෙයින් අංශු මාත්‍රයක් පමණකි.
අනෙක, ලියා තිබෙන වචනවලට ඇත්තේ අකුරු විතරය. ඒවා උච්චාරණය කරද්දීය, හැඟීම් ඊට මුසු වෙන්නේ. රූපාවලි ඒ හැඟීම් තවත් උද්දීපනය කරයි!

“... අම්ම තාත්තා නැති වෙච්ච එකම කොල්ලා මම නෙවෙයි. දැන් ඔබට මාව පේනවා. රටේ ලෝකේ ඉන්න එකම ආබාධිත කොල්ලත් මං නෙවෙයි. ඒත් අම්මගෙන් නොලැබුණු ආදරය මට ලැබුණා පර්වතයකින්....” සුමීර පර්වතයකියි හඳුන්වන්නේ දැන් 93 වියැති කතෝලික සිස්ටර් කෙනෙකි. අනාථ දරුවෙකු සනාථ කොට, දැනුමින්; ගුණයෙන් පරිපෝෂිත කොට සමාජයට දායාද කර තිබෙන්නේ ඒ පූජක මාතාවයි.

“ප්‍රශ්නවලට දාර්ශනික උත්තර දෙන්න ලේසියි. මට දැන් අවුරුදු 23ක්. දැන් අපේ අම්මටත් අලුත් ජීවිතයක් ඇති. මම හැම තිස්සෙම හිතන්න ඕනි මගේ පැත්තෙන් විතරක් නෙවෙයි.... අම්ම මාව දාලා ගියේ මට අවුරුදු දෙකේදී.
-අම්මා මාව දාලා ගිහින් තියෙන්නෙ, මගෙ උප්පැන්න සහතිකේ හදන්න ඕනි විස්තර අරගෙන එන්නං කියලා...
-අපේ අම්ම වගේම, හෙටත් අම්මලා දරුවන් අතහැර දාලා යයි.
-මං වැඳලා ඉල්ලන්නේ. දරුවන් හදන්න කලින් හිතන්න ඔබ ඒ පදවිය දරන්න තරම් සුදුසු කෙනෙක්ද කියලා... ඔබ බිහි කරන්න යන්නෙ සෙල්ලම් බඩුවක් නෙවෙයි, ජීවිතයක්.” සුමීර දෝත් එකතු කොට වඳින්නේ තවමත් නූපන් දරුවන් වෙනුවෙනි.
‘මට වන් දුකක් තවකෙකුට නොවේවා’යි පතමිනි.

මං ආස නෑ ඒ මං මවා ගන්න හීනය damage කර ගන්න!

සුරත අහිමි පුතෙකු හදා-වඩා ගන්නට වෙර දැරූ අම්මෙකුගේ දිරිය උල්පත එදා සිඳී ගියේ පුතුගේ වාසනාවටද?

“... මාව හදපු සිස්ටර් මට රූපයක් දුන්නා. ඒ සිස්ටර් මට මගේ අම්මව පෙන්නුවා. කතාවක් තියෙනවනේ වදපු අම්මට වඩා හදපු අම්මා උතුම්ය කියලා....”
සුමීර එහෙම කියද්දී ‘සිහිනයකි රෑ’ වැඩ සටහන ඉදිරිපත් කරන මහේෂ් නිශ්ශංක හීන් සීරුවේ කඳුළක් පිස දැමුවා මට හොඳට මතකය.

‘අම්මා
අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමී
පැහැදිලි නැති
එක ඡායාවක් ඇත... ඉන්ද්‍රානි පෙරේරා ගායිකාවගේ ඒ ගීතය කියන්නේ සුමීරගේ ආත්මීය ශෝකාලාපයද? ඒ නිසාම විය යුතුය; සුමීර ඒ ගීතය දෙවැන්න ලෙස තෝරා ගන්නේ.

සුමීර තෝරාගත් ගීත දහය වැඩ සටහනේදී ගායනා කරන්නේ පසිඳු බෝමිරිය හා ඉෂිනි අවිශ්කා බණ්ඩාර තරුණ ගායක - ගායිකා දෙදෙනා විසිනි.

‘ඇයි අම්මව හොයා ගන්න උත්සාහ නොකරන්නේ?’ සමහරුන් විමසනවාලු. සුමීර ඒ ගැන හිතන්නේ මෙහෙමය.
“සමහර විට අම්මා මාව පිළිගනියි, ඒත් ඒකට ඉඩ තියෙන සීයට ගණන හරි අඩුයි... ඒ වගේම මම පරණ තුවාල අවුස්සන්න අකමැතියි...” තේරෙන වයසෙදී දැක නොමැති අම්මාව මනසින් මවා ගන්නා මේ පුතු කියයි.

“... මම එහෙම මගේ අම්මව හොයාගෙන ගියොත්, මගේ එක ආසාවක් සංසිඳෙයි. මොකද මට තියෙන්නේ අම්මගේ බොඳ වෙච්ච රූපයක්නෙ. මම කන්නාඩියක් ඉස්සරහට ගිහින් මවා ගන්නවා මගේ අම්මගෙ කොණ්ඩේ.... මං හිනා වෙනවා. මගේ අම්මත් හිනා වෙද්දී මේ වගේ වෙන්න ඇති, තාත්තත් මං වගේ කඩවසම් ඇති. එහෙම මවා ගැනිල්ල තමයි මගේ ආතල් එක. මගේ බාසාවෙන්ම කියනවා නම් ඒක මගේ ස්‌වයං වින්දනය.
මං ආස නෑ ඒ මං මවා ගන්න හීනය damage කර ගන්න; ඒ අතීතය හොයාගෙන ගිහින්. ඒක වැලලිච්ච අතීතයක්....” එහෙම කියන සුමීරම ඊළඟ මොහොතේ ‘ප්‍රතිවිරුද්ධ අදහසක්’ තෙපලයි. “... නමුත් ඈතින් ඉඳගෙන හරි අම්මව දකින්න ආසයි....”

අප මේ සොයන්නේ ආදරයද/ සෙනෙහසද/ අපේම නැති වුණු අර්ධයද?

ඒ අතරේම තමාව හදා-වඩාගත් අම්මා ගැනත් ශෝක වෙයි. “ඒ අම්මට දැන් 93ක්. ලස්සනට හිටිය ඒ සිස්ටර් දැන් වයසට යනවා; දුර්වලයි. කොච්චරද කියනවා නං මට එයාව hug කරන්නත්  බයයි!”

මගේ ආත්මානුකම්පාව ලියලයි. අපේ අම්මා-තාත්තා දෙන්නාම ඉඩ තිබියදී පවා ‘අපව ආදරයෙන් වැළඳ නොගත් විත්තිය’ සුමීරට කිව හැකි නම්.... අදත් මා ඒ කෝන්තරය පිරිමහන විදිහ සුමීර දන්නවා  නම්....
අප මේ සොයන්නේ ආදරයද/ සෙනෙහසද/ අපේම නැති වුණු අර්ධයද? ඔහු ලුහුබැඳ යන්නේ කුමන වර්ගයේ ආදරයක් පසුපස දැයි ‘සිහිනයකි රෑ’ පූරක මහේෂ් විමසන විට සුමීර උත්තර දෙන්නේ මෙහෙමය. “...
මට තේරෙන්නේ නෑ මං මේ මොනවද හොයන්නේ කියලා....”නමුදු සුමීර තෝරා ගන්නා පළමු ගීතය විමසන ඔබට යම් බඳු අදහසක් ලැබෙයි! ඔහු තෝරා ගන්නේ සුනිල් එදිරිසිංහයන් ගයන මේ ගීතයයි.

 ‘සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක්
  සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්...’

එතනදී සුමීර මෙසේද කියයි: “පළමු ගීතය මං වෙනුවෙන් තෝරා ගත්තේ. මම ප්‍රේමය හොයන- අයදින- ඒ තුළ ජීවත් වෙන මනුස්සයෙක්. හමු නොවුණත් ආදරයට පිපාසිත කෙනෙක්.”

මේ හාදයාගේ තව විශේෂත්වයක් තිබෙයි!
ඔහු උපතින් බෞද්ධයෙකි; දෑවුරුදු වියේදී කතෝලික පූජකවරියකගේ පූර්ණ රැකවරණය යටතට පත්වූ පසු කතෝලිකයෙකු වූ කෙනෙකි. සුමීරට අම්මා වුණු ඒ පූජකවරියයි, පාසලේ ගුරු-දෙගුරු රැස්වීමට පවා පැමිණ තිබෙන්නේ.
“ඉස්කෝලේ ගුරු දෙගුරු රැස්වීමට සිස්ටර් ආවා ලෝගුව දාගෙන....” ඔහු ආදරයෙන් සිහිපත් කරයි. එතනදී අනෙක් දෙමාපියන්ට ගැටලුවක් වී තිබෙන්නේ, පූජක ලෝගුවක් හැඳගත් කාන්තාවකට දරුවෙකු සිටිය හැකිද යන්නය.
අපි එහෙමය.

මම අම්මලා ගොඩක්ගෙන් කිරි බිව්වා.... අම්මල ගොඩ දෙනෙකු අතින් හුරතල් වුණු වාසනාවන්ත පුතෙක් මං.

සම්මත ජන සමාජයේ අපි සම්මතයෙන් එහා දකින්නට අසමත්තු වෙමු! සුමීර අභියෝග කරන්නේ දෛවයට පමණක් නොවේ; මුළු මහත් සමාජයටමය.

“... මගේ දුක මොන දුකක්ද?
එක අම්මෙක් අහිමි වුණාට මම අම්මලා ගොඩක්ගෙන් කිරි බිව්වා.... අම්මල ගොඩ දෙනෙකු අතින් හුරතල් වුණු වාසනාවන්ත පුතෙක් මං.
නමුත් තව සුමීරලා ගොඩක් ඉන්නවා ළමා නිවාසවල. මට ලැබුණු හැම අවස්ථාවක්ම ළමා නිවාසවල ඉන්න අනිත් සුමීරලට ලැබෙන්නෙ නැහැ. මම නියෝජනය කරන්නේ ඒ ළමා නිවාසවල ඉන්න ළමයින්ව. තාත්තල අම්මලා දාල ගිහින් ළමා නිවාසවල ඉන්න හැම ළමයෙක්ටම දෙමාපියන් ගැන තියෙන්නේ වෛරයක්  නෙවෙයි. සමාජ සම්මතයක් තියෙනවා එවැනි දරවන් සමාජ අපචාර කරන්නන්; සමාජ දූෂකයන් වෙනවය කියලා.

-ඔබ ළමා නිවාසෙකට ගිහින් බලන්න. එයාල තරම් අම්මා- තාත්තට ප්‍රේම කරන අය නෑ....”

(අඩි දහයේ පාරකින් හා තාප්පයකින් විතරය අපේ ගෙදරත්- පමුණුවේ පිරිමි ළමා නිවාසයත් වෙන්වී තියෙන්නේ. එහි නිවසන ළමුන් පිළිබඳ අත්දැකීමක් ‘නැණ බලේ දිනාවී’ කැටගරිය යටතේ ‘තුම්පනේ බදුල්ල මාතර...’  post එකෙන් ලිව්වෙමි.) 

සුමීරගේ දැක්ම ආදරයෙන් පිරුණු එකකි; සෙනෙහස තැවරුණු එකකි.
‘මගේ දුක මොන දුකක්ද?’ කියා ඇසෙද්දී මට හිතුණේ ඉක්මනින්ම සුමීර ගැන; මේ වැඩ සටහන ගැන post එකක් ලියන්නටය.
(නමී, ඔබ මට සමා විය යුතුය. ටික දවසකින් මගේ අතීත විත්ති පමණක් කියවෙන පෝස්ටුවක් ලියවුණේ නැත.
‘නමියගේ වීදිය’ blog අඩවියේ රචක නමී, මගේ ඒ පමාව ගැන කීප වරක්ම මට සිහිපත් කළේය. ‘ඊළඟට ලියනවා’ මම කීවෙමි. ඒ පොරොන්දුව කඩ කරමිනි; මේ post එක ලියන්නේ.

මෙවන් සමාජ කියවීමක් ඇති කෙනෙකු ගැන සටහනක් තැබීම යුතුකමකි.

මතකයන් එක්කෝ අපව ජීවත් කරවනවා; නැත්තං මරවනවා....

භද්‍ර යව්වන වියේදී යොවුන් ආදරයක් ආරම්භ කළ මේ යෞවනයා, ඒ පෙම පටන් ගත් දවසේ ‘අත පත් වුණු ඒ යුවතියගේ කෙස් ගස් කිහිපයක්’ තවමත් සුරකියි. ඒ දයාර්ද්‍ර ප්‍රේමය අහිමි වුවත් ඔහු ‘ආදරයට ආදරය කරන්නේය’.   

“අපි ආදරේ කරන්න ඕනි ඒ මතකවලට.
අර කියන්නේ... මතකයන් එක්කෝ අපව ජීවත් කරවනවා; නැත්තං මරවනවා. පොතක්-පතක් කියවන්න පෙම්වතෙක් පෙම්වතියක් හුරුවෙච්ච දවසට ඛේදවාචකවලින් මේ ප්‍රේම කතන්දර ඉවර වෙන්නෙ නෑ. කෝච්චියට බෙල්ල තියල මේ ප්‍රේම කතන්දර ඉවර වෙන්නෙ නෑ.
බාල්කයක ලණුවකින් එල්ලිලා මේ ප්‍රේම කතන්දර ඉවර වෙන්නෙ නෑ. අන්තර්ජාලයට ඡායාරූපයක් එකතු කිරීමෙන් මේ ප්‍රේම කතන්දර ඉවර වෙන්නෙ නෑ. ලස්සනට ප්‍රේම කතන්දරයක් පටන් ගන්නවා වගේම, අපට පුළුවන් නම් ලස්සනට ඒක ඉවර කරන්නත්...” සුමීර කියන්නේ අද්‍යතන තරුණ පෙම්වතුන්- පෙම්වතියන් හැම දෙනාටමය.

එහෙම කියන මේ හාදයා විටෙක “මම හරි චූල මනුස්සයෙක්!” කියලාත් අපට කියයි. මට නම් ඒ අනතිමානී ප්‍රකාශය මහමෙරකි. අද මේ රටේ සිටින පාලක පැලන්තියටත් මෙසේ අනතිමානීවී තම-තමන් දෙස බලන්නට හැකි නම්...

ඒ වැඩ සටහන විකාශය වෙලා දැන් සති තුනකටත් වැඩියි. 27,473 දෙනෙක් ජාලයෙන් එය නරඹා තිබෙනවා. ලැබී ඇති comments ගණන 141ක්. නමුත් සුමීර හෙළි කරන මේ කාරණාව නම් තවමත් කිසිවෙකුගේ අවධානයට ලක් වුණු බවක් මට නං හොයා ගන්න නැහැ.

‘මම අද මම විදිහට කතා කරන්න නෙවෙයි මේ වැඩ සටහනට ආවේ... අපි වෙනුවෙනුයි කතා කරන්න ආවේ... මම ආවේ ළමා නිවාස ප්‍රජාවයි, ආබාධිත සමස්ත ප්‍රජාවයි නියෝජනය කරමින් කතා කරන්න...’ යැයි පවසන සුමීර හෙළි කරන්නේ අපේ නීති ක්‍රියාත්මක කරන්නන්ගේ අමනෝඥ මන්ද බුද්ධික ස්වභාවයයි!

ඒ අත්දැකීම ඔබත් දැනගත යුතුම එකකි: මේ දැරිය අපොස/ උසස් පෙළ විභාගයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ 3 වෙනියා ලෙස සමත් වුණාය.
“ඒත් එයාට විශ්ව විද්‍යාලයට යන්න බැරි වුණා. හේතුව ස්ථිර පදිංචියක් නැතිකම.”

අපේ නීති ක්‍රියාත්මක කරන්නන්ගේ අමනෝඥ මන්ද බුද්ධික ස්වභාවය...

“ඔබ වගකීමෙන්ද කියන්නේ?” සුමීරගේ හෙළිදරව්වෙන් පුදුම වෙන මහේෂ් නිශ්ශංක අසයි!

“එයා කෑගල්ලේ ළමා නිවාසේදී පළමු වරට උසස් පෙළ ලියන්නේ. දෙවෙනි වර ලියන්නෙ පුත්තලමේ තැනක නතර වෙලා...” යැයි කියන සුමීර ළමා නිවාස ක්‍රියාත්මක වෙන ස්වභාවය හා ඒවායේ පවත්නා නීති-රීති ගැන අපට පෙන්වා දෙයි.

“කිසිම ළමා නිවාසයක ඒ පළාතේම; ඒ ගමේම ළමයෙක් නේවාසිකව තියා ගන්නෙ නෑ. ඈතක තියෙන නිවාසෙකට තමයි යවන්නේ. එහෙම කරලත් එකම ළමා නිවාසයක එක දිගටම ළමයෙක්ව තියා ගන්නෙත් නෑ. වෙන එකකට මාරු කරනවා. එතකොට කොහෙන්ද ළමයෙකුට ස්ථිර පදිංචියක්...

-තවත් එකක්!
ළමා නිවාසෙක ඉන්න ළමයින්ගේ ලෝකය සීමා වෙන්නේ ඉස්කෝලේටයි, නිවාසේටයි විතරයි. අපි නිවාසයෙන් එළියට එන්නේ පාසල් යන්න. ඉස්කෝලේ ඇරුණු වහාම ආයෙමත් නිවාසෙට.
එහෙම කොටු වුණු ළමයි අවුරුදු 18 වෙච්ච ගමන් නිවාසයෙන් බැහැර කරනවා. ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න අත්දැකීම් නැති මේ ළමයින් වෙනුවෙන් හඬක් නඟන්න මට ඕනි!”

අත්තුක්කංසනය හෝ පරවම්භවනය හෝ අහිංසකයන් වෙනුවෙන් අකුරටම නීතිය කරවන්නට හෝ පුහුණු කරන බහුතරයක් දෙනාය අද මෙරටේ ඉන්නේ. බලැත්තන් වෙනුවෙන් පමණි නීතිය නැවෙන්නේ. එවන් රටකය සුමීර මේ හඬ නඟන්නේ.
මුලින්ම ජාතක කළ පියා වෙතින් ප්‍රතික්ෂේප වුණු/ ඊළඟට වැදූ මව වෙතින් අතහැර දැමුණු/ ළමා නිවාසවල හැදී-වැඩුණු මේ 23 හැවිරිදි/ සුරත අහිමි තරුණයාගේ පරාර්ථකාමී අධිෂ්ඨානය වැඩි දෙනෙකුට ආදර්ශයක් වේවා!

(ලජ්ජාවෙන් වුණත් කියන්නට වෙන්නේ, මට නම් මේ කපේදී සුමීර තරමටම පරහිතකාමී වෙන්නට බැරි විත්තියයි.)

මේ ‘සිහිනයකි රෑ’ වැඩ සටහනෙන් හෙළිදරව් කෙරෙන ඉතාම වැදගත් ලෙස මා සලකන තවත් කරුණකි: ‘අවංක වීම’.
“... එක අතක් නැතිව උපන්නට මොකද, දැන් මට ප්ලාස්ටික් අත් හතරහමාරක් තියෙනවා. අද එද්දී එයින් එකක් දාගෙන ආවේ නැත්තේ ඔබට අවංක විය යුතු නිසයි.
ඒත් මට ඕනෑ, ඔබ මාව අත නැති එකා විදිහට මතක තියා ගැනීම නෙවෙයි; මගේ නම නිසා හඳුනා ගැනීමයි; මගේ අදහස් නිසා මාව මතකයේ රඳවා ගැනීමයි.”

මිනිහෙක් සම්පූර්ණ වෙන්නේ අවයව ඔක්කොම හොඳට තිබුණොතින් විතරද?

උදාර අදහස් නිසා; කාටවත් යහපතක් සිදු වෙන වැඩ කිරීම නිසා කෙනෙකුගේ නම බැබළීම ගැන මං ඉතා කැමතිය. ඒ නිසාමය නන්නාඳුනන/ හමුවී හෝ කතාබහ කොට හෝ නැති සුමීර ගැන මෙසේ පෝස්ටුවක් ලියන්නේ.

දැනටමත් ඔහු ලංකාවේ ලාබාලම සන්නාම තානාපති කෙනෙකු ලෙසින් කටයුතු කරයි. මාධ්‍ය ක්ෂේත්‍රයට එන්නට සිහින දකිමින් අධ්‍යාපනයේ නියැලෙයි.

‘සිහිනයකි රෑ’ වැඩ සටහනෙන් හා සුමීරගේ වත් පොතෙන් දැනගත් කරුණු ඇසුරු කරමිනි, මං වහන්සේ මේ පෝස්ටුව ලිව්වේ; මගේ අත්දැකීම් හා තොරතුරුත්- දැක්මත් මුසු කරමින්. එනිසාම සුමීරට අගතියක් වන්නටත් ඉඩ තිබේ. එබැවින් ‘මා මෙවන් ලිපියක් ලියන බවත්- එය පළ කරන්නට පෙර ඔහුට අදාළ කොටස් පෙන්වා ඔහුගේ අදහස් දැන ගන්නට කැමති බවත්’ සුමීරට දන්වා යැවීමි.

“නෑ නිමල් ප්‍රශ්නයක් නෑ. ලියන්නාට ඇති නිදහස් අයිතිය උදුරා ගැනීමට මම සූදානම් නෑ. ඒ නිසා කොහොම ලිව්වත් ප්‍රශ්නක් නෑ.” සුමීරගේ වචන 19 උත්තරය ‘බොහෝ දේ’ කියන්නේය.
එයින් එකක් විතරක් මම මෙහිලා සඳහන් කරමි. ‘ඔහු දැන්මම සැබෑ මාධ්‍යවේදියෙකු ලෙස සිතයි!’

රූපවාහිනී නාලිකාවක news කියන ‘ලෝකයේ පළමුවෙනි ආබාධිත නිවේදකයා’ වෙන්නට පෙරුම් පුරන සුමීර ගුණසේකර අපෙන් මෙහෙම අහයි.
“මිනිහෙක් සම්පූර්ණ වෙන්නේ අවයව ඔක්කොම හොඳට තිබුණොතින් විතරද?”

ඉතිං, පරිපූර්ණයෙකු නොවන මගේ මේ ලියවිල්ල සුමීරගේ වදන් තරම් හැඟුම්බර නැත; සවිස්තරාත්මකත් නැත. මං කළේ ‘සයුර මෙබඳුය’ කියා කීමක් විතරය. සාගරය කෙබඳුද කියා තත්ත්වාකාරයෙන්ම දැන ගනු රිසි නම් ඔබ මුහුදු වෙරළකට යා යුතුමය!
සුමීර සහභාගී වුණු
‘සිහිනයකි රෑ’ වැඩ සටහනටත් ඒ තියරිය සාකල්‍යයෙන්ම අදාළය෴



35 comments:

  1. අප තුළ කම්පාවක් ඇති කළත් ඔහු තරම් වාසනාවන්ත නොවූ දහස් ගණනක් ඇති. ඒ සැම වෙනුවෙන් සැලසුම් සහගත වැඩ පිළිවෙළක අවශ්‍යතාව මෙයින් තහවුරු වෙනවා. ඒත්, කාටද කියන්නේ!

    ReplyDelete
    Replies
    1. ඇත්තයි, සත්තයි.... කාටද කියන්නේ?
      ඒත් මෙහෙම හරි කියමු!
      කියමනක් තියෙනවනේ Litseeker 'අඳුරට සාප කරමින් සිටිනවාට වඩා එක පහනක් දැල්වීම වටී' කියලා.

      Delete
  2. “මිනිහෙක් සම්පූර්ණ වෙන්නේ අවයව ඔක්කොම හොඳට තිබුණොතින් විතරද?”
    සම්පූර්ණයෙන් පිලිගන්න ඕනෑ කියමනක්.
    මේ ලිපිය කියවද්දී අපමණ සිතුවිලි සීතේ ඇදිලා ගියත් ඔබට වාගේ සිතට දැනෙන්නට කෙටි කොමෙන්ටුවකින් ලියාගන්නට බෑ. හැබැයි හදවතට ලොකු බරක් දැනුනා කියන්නම ඕනේ.හෙටම ඔය වැඩසටහන බාගෙන බලන්න හිතා ගත්තා. ඔහුට ඔහුවාගේ අසරණවුනු දරුවන්ට සෙතක් හයියක් වෙන්න ලැබේවා කියා පතනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අසංග, අද්‍යතන සමාජයෙන් අහන්න ඕනිම ප්‍රශ්නයක් තමයි සුමීර අහන්නේ.
      කඳ බඩ අපූරුවට තියෙන, රුව ලස්සන තියෙන, පෞරුෂය වැගිරෙන, කථිකත්වයෙන් සපිරි - ඒත් අභ්‍යන්තරය හිස්; අසම්පූර්ණ මිනිසුන්ව නේද අපි අගයන්නේ? අපිව පාලනය කරන්නට- අපේ දූ පුතුන්ගේ අනාගතය විසඳීමේ වගකීම අපි බාර දෙන්නේ එහෙම අයටම නේද?

      මේ වැඩ සටහන බලද්දී හිතට දැනුණු බර නිසාම තමයි මේ පෝස්ට් එක ලිව්වෙත්!

      Delete
  3. අවයව ඔක්කොම තිබිලත් අසම්පූර්ණ මිනිස්සු මේ ලෝකෙ ඕනතරං ඉන්න එකේ තමන් වගේම අසරණ වෙලා නමුත් තමංට ලැබුණු වාසනාව නොලැබී අදත් දුක් විඳින ළමයි ගැන හඬක් නගන මොහු අගය කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔයාලා මේ කරන්නේ ඒ ඇගයීම තමා. ස්තුතියි ප්‍රසන්න.

      Delete
  4. සිහිණයකි රැ බැලුවා, ලසස්නය්, දුකය් වගේම සතුටුය්. මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විජේබාහු මහත්තයෝ.
      ටික දවසකින් නේද?

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කමෙන්ට් එක මේ පෝස්ට් එකට අදාල නොවන නිසා ඩිලීට් කලේ.

      Delete
    3. හ්ම්...අදාල නෑ කියමුකො, ඒත් කමෙන්ට් දෙකක් මකලා එකයි කියන එක? බොහොම විරල සිදුවීමක්. 🤔😮😨

      Delete
    4. බස්තුමා වයින් බිව්වාම එක දෙක වෙලා පෙනුනට මං බිව්වාම දෙක එක වෙලා පේනව.

      Delete
    5. මගේ අනුමානය හරි එහෙනං. බොන්න වෙන කේස් එකක්.🤣😉

      Delete
    6. බස්සෝ, මටත් පුදුමයි. Pra Jay බීලා නං වෙන්න බෑ. comment එක කෙටුවට පස්සේ නීතිමය පැත්ත දැකල වෙන්නැති මැකුවේ.

      Delete
    7. ඔව්. ජජ් කරන එකට බයේ

      Delete
  6. හිතට බරක් දැනුනු ලියමනක්... සියලු අවයව නිසි පරිදි තියෙන මිනිස්සු රටට ජාතියට පිළිලයක් වෙද්දී මෙවන් විදිහට සිතන පතන තරුණයො තමයි රටකට අවශ්‍යය. ඔහුගෙ පැතුම් ඉක්මනින්ම සපල වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.💔🌹🙏......
    ස්තූතියි නිදි මෙය අප සමග බෙදා ගත්තාට!

    ReplyDelete
    Replies
    1. ඔයාලටත් ස්තුතියි නමී, මගේ කෝණයෙන්ම බලන එක ගැන.

      Delete
  7. කියෙව්වා. කියන කතාව ඇත්ත, අම්මව හොයලා වැඩක් නෑ. ඇත්ත සිදුවීම නොදන්නා නිසා, අම්මට දොස් කියන්නත් බෑ. අම්මා,අප්පා දෙන්නම තාමත් ඇති.බාගදා මේවා දැකලා, නොදැක්කා වගේ ඉන්නවත් ඇති නේද?🤔😒

    ReplyDelete
    Replies
    1. තියෙන තත්ත්වය ඒ හැටියෙන් බාරගෙන, සුබවාදීව බැලීම නෙව බකුසුතුමෝ වෙන්න ඕනි. හැම පැත්තෙන්ම බලලා; විග්‍රහ කරලා බලන එක තවත් හොඳයි. 'අත්තානං උපමං කත්වා' තමන් උපමා කොට සිතා- කියන එකයි මම නං නිතරම කරන්නේ.

      සුමීරත් ඒකම කරන හැඩයි. මගෙන් වචනයක්වත් නොලියවුණු දෙයකුත් කියන්න හිතෙනවා දැන්. කොහොමද සුමීර පන්සලේ බෝධි වෘක්ෂය යට ඉඳගෙන බයිබලය කියවීම?

      Delete
  8. සංවේදී කතාවක්. හැබැයි ඒ තරුණයා එපමණ දෙයකින් සැලුනේ නැහැ කියන්නේ ලොකු දෙයක්. ළමා නිවස වල වෙනසෙන අනිත් අය ගැන කියන්න බැරි කතාවක්. එහෙම වෙන්නේ නරක වැඩිහිටියන් නිසා. මේ ළමය ඒ අතින් වාසනාවන්තයි කතෝලික සිස්ටර් නිසා.

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, මට කල්පනා වෙන්නේ 'ඇයි අපේ බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහය යටතේ සුමීරලා බිහි නොවෙන්නේ' කියන කාරණයයි!

      Delete
    2. හොඳ හාමුදුරු වහන්සේලා ඇති, ඒ අයට නෙමේ මේ කියන්නේ. ඔහොම කොල්ලෙක් හමු වුණාම රෑට ගෙනල්ල තෙල් ගාගෙන , ගලක් ක්**ගෙන , ඊට පස්සේ මූදේ නාන්න බැරිවෙන්න අහවල් වැඩෙත් කරලානේ පස්ස බලන්නේ.ඒකෙන් ඊට පස්සේ බිහි වෙන්නේ සමාජයට වෛර කරන , බුදු බණ කියල බොරු දෙසන නාන-සාරලා

      Delete
  9. මම දන්න ළමා නිවස දෙක තුනක් තියනවා එක පළාතක. ඒ පළාතේ ඇමතියා ඒකෙ ලමයි - ගැහැණු පිරිමි දෙගොල්ලම උස්සගෙන යනව - දේශපාලකයන්ගේ දොළ පිදේනියට . ඒකෙන් ඒ දේශපාලකයා , ළමා නිවාස රන් කරන හාමුදුරුවෝ ලොකු ප්‍රයෝජන ලබනව. දේශපාලකයා ගොඩක් ලොකු අය අල්ලාගෙන තියෙන නිසා කිසිම රජයකින් කරදරයක් නැතිව ජීවත්වෙනවා. මිනිහ බලයෙන් පිරිහුනේ ඒ සේවය ලබා ගත්තේ නැති එකක් බලයට පත්වුනහම විතරයි. ඒ එක කතාවක්.
    අනික - ළමා නිවාසෙට එන ඔක්කොම කෑම තෑගී ඔක්කොම විකුණනවා පාලිකාව. ළමයිව වැඩට යවනව ගෙවල් වල. ඒ ළමයින් ගෙන වැඩ ගන්න නරුමයොත් ඉන්නව.
    අර සිස්ටර් කොපමණ හොඳද

    ReplyDelete
    Replies
    1. සිංහල බෞද්ධයා කියන්නේ බොහෝ විට තමන්වම නොදන්නා අන්ධ භක්තිකයෙක් වෙන්නැති.
      දවස් කීපයකට කලින් දැක්කා රටට සිදුවී ඇති සියලු විපත් දුරු වීම සඳහා සෙත් පතලා දියවන්නා මන්දිරයේ මහා පිරිත් සජ්ජායනාවක් පවත්වන්නට හදන බවකුත්.

      ඒ අතරේම මෙහෙම යතිවරුන් වහසේලාත් ඉන්න බව කියන්නම ඕනි, උන්වහන්සේට දොහොට්ත් මුඳුනේ තබා
      නමස්කාර කරමින්.
      https://www.lankahotnews.net/2022/03/buddhist-monks.html

      Delete
    2. සිංහල බෞද්ධයා කියන්නේ බොහෝ විට තමන්වම නොදන්නා අන්ධ භක්තිකයෙක් වෙන්නැති.
      දවස් කීපයකට කලින් දැක්කා රටට සිදුවී ඇති සියලු විපත් දුරු වීම සඳහා සෙත් පතලා දියවන්නා මන්දිරයේ මහා පිරිත් සජ්ජායනාවක් පවත්වන්නට හදන බවකුත්.

      ඒ අතරේම මෙහෙම යතිවරුන් වහන්සේලාත් ඉන්න බව කියන්නම ඕනි, උන්වහන්සේට දොහොත් මුඳුනේ තබා
      නමස්කාර කරමින්.
      https://www.lankahotnews.net/2022/03/buddhist-monks.html

      (අකුරු වැරදිලා තිබුණු නිසයි මේ කමෙන්ටුව යලිත් දාන්නෙ)

      Delete
  10. අවාසනාවන්ත හුඟක් අය අතරින් වාසනාවන්ත වූ එක් අයෙක් ! මේ තොරතුරු ජනගත කළාට තුති.

    ReplyDelete
    Replies
    1. මාලිනී, මේ තොරතුරු කියවා බලන හැම දෙනාටමත් ස්තුතිවන්ත වෙමින්- එයාලා වෙනුවෙන් කෙරුණු comment එකක් විදිහටයි මම ඔබේ කමෙන්ටුව දකින්නේ. ඔබටත් ස්තුතියි!

      Delete
  11. "නෑ නිමල් ප්‍රශ්නයක් නෑ. ලියන්නාට ඇති නිදහස් අයිතිය උදුරා ගැනීමට මම සූදානම් නෑ"- අය්යා, අන්කල්, සර් කෑලි දාන්නෙ නැතුව නිමල් කියලා කිව්ව එකෙන්ම මට නම් සුමීර ගැන පැහැදීමක් ඇතිවුනා. කවදා හරි ඔහු true professional කෙනෙක් වෙන ලකුණු.

    තමන්ගෙ ජීවිතේ වුනු 'අවාසනාව' ගැන සුබවාදීව බලමින්, එතනින් නවතින්නෙ නැතුව තවත් පියවරක් ඉදිරියට ගිහින් තමන්ට සමාන හෝ ඊටත් වඩා නරක තත්වෙක ඉන්න අය වෙනුවෙන් යමක් කරන්න හිතන්න පුලුවන් ඉතා ශක්තිවන්ත අයට විතරයි. නිමල් කිව්වා වගේ අපේ අනුකම්පාව ඔවුන්ට කිසිසේත් අවශ්‍ය නැතුව වගේම අපේ සමාජයේ ගොඩක් අය කියන විදිහට 'අනේ පව්, දුකයි' කියන කොට ඔවුන්ට තියෙන පොසිටිව් ශක්තියත් නෙගටිව් වෙලා යන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. වැඩ සටහන පටන් ගැනීම හා කමෙන්ට්ස් ටිකක් කියවලා ආවා. එතන කමෙන්ට්ස් සහ මේ පෝස්ට් එකේ කමෙන්ට්ස් ඔක්කොම පොසිටිව් වීම ගැන සතුටුයි.

      Delete
    2. Lotus, නැවතත් කියනවා. Post එක කියවමින් එහි යටි පෙළත් විමංසනය කරන ඔයාගේ ප්‍රතිචාර ගැන මම ඉතාම සතුටු බව. ඒ ගතිය අනෙක් බ්ලොග්ස්වලට ඔබ එවා තිබෙන කමෙන්ට්ස්වලටත් පොදුයි!

      ඒ වගේමය්, පොසිටිව් පැත්ත දකින්නට තමයි මමත් හරිම ආසා. එහෙම සහෘදයන් තවත් බෝ වේවා!
      (එහෙමය කියල ඔයාලා දකින මගේ අඩුපාඩු නොකියා ඉන්න එපා, හොඳේ.)

      Delete
  12. සාමාන්‍යයෙන් බලන සිහිනයකි රෑ ඒ එපිසෝඩ් එක බලන්න බැරිවුණා.
    උපතක් එක්ක ලැබෙන කාල, ගති, උපධි සම්පත් කොහොම ලැබුණත් ප්‍රයෝග සම්පත්තිය නිසිපරිදි යොදාගත් අඳුරෙන් ආලෝකයට ගිය තරුණයෙක්.

    ReplyDelete
    Replies
    1. දැන් blogs කියවන්නටත්, comment කරන්නටත් තරම් සුවය ලබා ඇති බව දැකීමත් සතුටක් අනුර.
      ඉක්මනින් ඔයාගේ බ්ලොගයට ලිපියකුත් ලියවේවා කියා පතන්නම්.

      සුමීරගේ ගමන තවත් ඉදිරියටය කියලයි මං හිතන්නේ!

      Delete
  13. හරිම ලස්සන ලෝකය දිනන්න තනන තරුණයකුගේ කතාවක්. ජීවිතය එහෙමයි . මේ ලෝකෙට එන්න කාවහරි ප්‍රයෝජනවත් උනාට ඉන් පස්සේ ජෙවිතේ ගෙවෙන්නේ වෙන කෙනෙක් ළඟ. කන්‍යා සොහොයුරිය ළඟ ඔහුට අවශ්‍ය ආදරය නොඅඩුවම ලැබුන නිසා අද ඔහු පරිපුර්ණ තරුණයක් විදිහට ලෝකය දකිනවා. ඔහුගේ සිහිනයට මමත් සුබ පතනවා. හැකි උනොත් සිහිනයකි රෑ බලන්නම්. ඒ නැතත් අඩු නැතුවම ඔබ අපට කතාව කියලා දීපු නිසා බොහොම තුති.

    ReplyDelete
    Replies
    1. මං ලියලා තියෙන්නේ ඔක්කොම නෙවෙයි, ලියෝනි. ඔයා සිහිනයකි රෑ වැඩ සටහන බලන්න. ඒක සුමීරටත් කරන උපහාරයක්!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්