li Item

Thursday, October 22, 2020

ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස

මේ ලෙඩේ හැදුණු වෙනත් දොස්තර මහත්තයෙකු ඉන්නවා වෙන්නට බැරිය!

“තව විනාඩි දහයෙන් අපි ඔතන.” මට ඇසුණේ මෙහා කෙළවරින් කියූ දේ පමණකි. එහා කෙළවරින් කියන්නට ඇතිදේ හිතා ගැනීම යන්තම්වත් අමාරු නැතිය. ‘හරි සර්!’, ‘හොඳයි සර්!’, ‘පේෂන්ට්ලව ready කරලයි තියෙන්නෙ සර්!’ වගේ උත්තරයකි; ලැබෙන්නට ඇත්තේ.

එතකොට වෙලාව රෑ දොළහත් පහු වෙලාය!

හම්බන්තොට මහ රෝහලේ අංක 8 වාට්ටුවේ; අක්ෂි වාට්ටුවේ ලෙඩුන්, 2020 ඔක්තෝබර් 12 අඟහරුවාදා; ඒ රාත්‍රී ජාමයේ සූදානම්වී පේළි සැදී බලා උන්නේ එයාලාගේ ඇස් පරීක්ෂා කරන්නට ලොකු දොස්තර මහත්තයා එනතුරුය. අයස්මන්ත පීරිස් මහත්තයා එනතුරුය. මං දන්නා තරමින් නම් වෙනින් දොස්තර මහත්තයෙකුට මේ ලෙඩේ වැලඳී නැතිවා විය යුතුය.

වෛද්‍යවරයෙකුට ලෙඩක් තිබේදැයි කියන්නට නම් ලේසි-පාසු පුතයෙකුට බැරිය. කවුරුන් හෝ එහෙම කියන්නට යනවා නම් ඒකා අරිටත් වඩා සමත් දොස්තරෙකු විය යුතුයිනෙ.

එහෙත්, දොස්තරකම තියා කොන්දොස්තරකමවත් කරලා නැති මමත් මේ අසනීපය හඳුනන්නෙමි. හඳුනන නිසා කියන්නෙමි; ‘Workaholic!’ කියන්නේ ඒ දුර්ලභ රෝගය වැළඳී ඇති මනුස්සයාටය.

අදත් හම්බන්තොට එන බස් තිබුණේ අඩුවෙන්ලු...

තුෂාර අයස්මන්ත පීරිස් අක්ෂි වෛද්‍ය විශේෂඥතුමා ඒ රෝගියෙකි.

“නිමල් අයියේ, අදත් හම්බන්තොට එන බස් අඩුවෙන් තිබිල තියෙන්නේ. හෙට උදේ පාන්දරමත් බස් තියෙන එකක් නැහැ. දවල් වෙලා තියෙන බස්වල ඇවිත් ලේ test කරල බෙහෙත් ගන්න වෙන්නෑ. මම එනව රෑ නවය-නවහමාර වෙනකොට ඔයාලගේ ගෙදරට..... යන්න ලෑස්ති වෙලා ඉන්න.... මාත් එක්කම හම්බන්තොට යතහැකි.....”

දෙවෙනි කොරෝනා රැල්ල නිසා දැන් කාගේත් ගමන්-බිමන් අඩුය. ඒ මඟී හිඟය හින්දාමදෝ දැන් මාකුඹුරෙන් පිටත් වෙන මාතර, හම්බන්තොට බස් රථත් සමහර විට ධාවනය නොවෙයි.

අප හම්බන්තොට යන දවසට යන්නේ පාන්දර 4.30 මාතර බසයේය. එහෙම ගියාම මාතරින් 6.05ට පිටත් වෙන තිස්සමහාරාම බස් එක අල්ලා ගන්නට හැකිය. එය උදේ 8.15 විතර වෙද්දී හම්බන්තොටය.

“එතකොට නෙවිල්?”

පුරා වසර හතරක් තිස්සෙම හැමදාම වගේ මගේ තනියට යන්නේ නෙවිල්ය.

සාදර අනුග්‍රහය.. ටිං ටිං! (2015දී දුඃසාධ්‍යව සිටි නිදි සමඟ අයස්මන්ත පවුලේ අය) 

(ඒ ගමන වෙනුවෙන් එතරම් වෙහෙසක් දරන ඒ මනුස්ස ප්‍රාණියාට, අද වෙනකල් මං කටක් ඇරලා ‘ස්තුතියි!’ කියල කියා නැත. ලොකු කෘතඥතාවක් හිතේ තිබ්බත්, මං එහෙම කිව්වා නං ඒ යක්ෂයාගෙන් කියවෙන කඩුලු කතන්දර සීයක් හිතට නැඟෙන නිසාය; ඒ තුෂ්ණිම්භූත වීම! ළඟක ඉඳලා ඒ යෝධයාත් අතරින් පතර බ්ලොගයේ ලිපි කියවන බව තේරෙයි. ඒ නිසා, ඔන්න දැන් ලියලාම ‘ගොඩක් ස්තුතියි නෙවිල්!’ යැයි කියන්නෙමි.)

කියවනවා නම් කියවපුවාවේ. අනෙක් මිතුරනුත් ඒ පලේමය; කියවන්නේ පොත්-පත්තර-ලියවිලි නොවේ. FB එකේ කෙටිම-කෙටි පෝස්ට්ස් විතරය.

“එතකොට නෙවිල්?” කියලා ඇහුවාම අයස්මන්ත පීරිස් හඬ නළුවක චරිතයක් වුණේය.

“හා, හා, හා! යුෂ්මතා ඒ ගැන කරදර විය යුතු නැත, නිමලෝ, ඒ වගකීම මේ සිරිමතුන් ඉටුකොට අවසන්ය..... ඒකටත් සාදර අනුග්‍රහය ...ටිං ටිං... අයස්මන්ත පීරිස්!”

“විහිළු නැතිව කියනවා මනුස්සයෝ. ඒ මිනිහා මෙහෙම හදිස්සියේ, සතියේ මැද දවස් දෙකක් නිවාඩු ගත්තම හරි යනවද? ඊටත් නෙවිල්ල අම්මා?” (මගේ තනියට යනවාය කිව්වාම නෙවිල්ගේ boss; අපේ සුමිතුරු වල් ප්‍රියන්ත නෙවිල්ට නිවාඩු නම් දෙයි! ඒත්.... අර වයසක මනුස්සයා...)

කෙනෙකු කතාබහ කළ යුත්තේ ‘මුගෙ වාග් කෝෂය නං අන්තිමයි’ කියලා ...

නෙවිල්ලා අම්මා තරමක ඩිමෙන්ෂියා රෝගී ගතියකිනි ඉන්නේ. (ඉතිං එහෙ හරි-හරි ජරමර නිතරම වෙයි! ඒ රසබර විස්තර ළඟදීම ලියන්නට ඕනෑය.) නෙවිල් කොහේ හරි යනවා නම්, අම්මාගේ ඒ රාජකාරි පොඩි අයියා මෙරිල්ට පවරන්නට වෙයි.

“ඒ සේරටමත් සාදර අනුග්‍රහය.. ටිං ටිං... ඩොක්ටර් අයස්මන්තමයි....”

මේ මිනිහාට ඕනේ මගේ කට අවුස්සාගන්නටය. මං ඇවිස්සී, තදබල ආක්‍රෝශ පරිභවයකින් සංග්‍රහ කරන තුරුම එයාලාගේ බඩ පිරෙන්නේ නැත.

සුභාවිත වදන්වලින් දෙඩුවාම ‘බැනුම’ රහ නැත. එහෙම නැතිව බැන වදින්නට වෙයි. එතකොටය එයාලාට උඩ පනිමින් ‘මුගෙ වාග් කෝෂය නං අන්තිම සවුත්තුයි’ කියලා කියන්නටත් අවස්ථාව ලැබෙන්නේ!

“ඔන්න මං ටෙලිෆෝන් එක තියනවා..... ඇයි යකෝ... කියන මල දානයක් එක සැරේ කියනවකො. මට වැඩ නැහැයි කියලද හිතන්නේ?”

මා ඒ ප්‍රශ්නය නෙවිල්ට නම් යොමු කරන්නෙම නැත.

ඒ නසරානියන් ‘චීත්තවාහිනිය’ කියන්නේ ‘නිදිගෙ පංච තන්තරේ’ටය!

“තමුසෙට ඉතිං මොනවද තියෙන වැඩ? ගෙදර නිකම් ඉඳගෙන චීත්තවාහිනියට අපේ විස්තර ලියනවා මිසක්? නැද්ද මචං...” ඒ නසරානියන් මේ ‘චීත්තවාහිනිය’ යන අපර නාමය පටබැඳ තියෙන්නේ ‘නිදිගෙ පංච තන්තරේ’ වෙනුවටය.

එහෙම වෙලාවට හූමිටි තියන්නට ever ready මචංලා තුන් දෙනෙක්ම සිටිති. පීරිස්, ගවීන්, මර්වින්! තමිර හර්ෂකත් ඉඳහිට ඒ පිරිසට එකතු වෙයි.

“තියන්නෙපා.... තියන්නෙපා... ෆෝන් එක තියන්න එපා. Joke නෙවෙයි. මම ප්‍රියන්ත අයියටත් කිව්ව. තව ටෙස්ට්ස් වගයකුත් කරන්න තියෙන නිසා, සමහර විට දවස් දෙක-තුනක්ම ඔයාලට එහෙ ඉන්න වෙයි කියල. ප්‍රියන්ත අයියා කිව්ව, නෙවිල්ට නිවාඩු දෙන්නං කියල. නෙවිල් අයියටත් විස්තරේ කිව්ව. එයා පොඩි අයියා මෙරිල්ව ගෙදර පැත්තේ ඇවිත් යන්න සෙට් කරගන්නම් කියලත් කිව්ව.... නවයාමාරට විතර ඔයාව අරන්, නෙවිල් අයියවත් අරගෙන highway එකට දා ගනිමු....”

ඒ විදිහටම රෑ ජාමේ යමින් ගමන, දොළහට විතර හම්බන්තොට පෙනී-පෙනී තියෙද්දීය දොස්තර මහත්තයා ‘තව විනාඩි දහයෙන් අපි ඔතන’ කියලා මොබයිලයෙන් කීවේ.

අලුත් අක්ෂි සායනයේදී පළමු රෝගියා පරීක්ෂා කරමින්...

“හෙටත් උදේ හය වෙන්න කලින් ward එකට යන එකේ මොකටද මේ මහ රෑත් වාට්ටුවට යන්නේ? සාංකාවද...” මට කියවුණේ නොහිතාමය.

“අඩෝ! ලෝකල් නසාර්, මේ බලපන්කො මචං මෙයාගේ කතාව....” වාහනය එළවන නෙවිල්ව හිනස්සන්නට ඔහොම ‘ගිනි ඇවිළවීම’ මගේ පුරුද්දකි. හිනාවෙන විට අපේ මොලයට කෙරෙන රුධිර සැපයුම වැඩි වෙයි; එයින් නිඳිමත අඩුවෙයි.

“... ඔයාලා දන්නෙ නෑ නිමල් අයියේ, සමහර පේෂන්ට්ලව දවසකට තුන්-හතර පාරක්ම වුණත් බලන්න වෙනවා. ඇස්වල ප්‍රෙෂර් එක.... ඔපරේට් කරලා තියෙනවා නං ඒවා.... හෙට උදේ operate කරන්න ඉන්න අයගේ කන්ඩිෂන් එක..... එහෙම නැතිව දවසකදී සිය ගාණකට treatments කරන්න බෑ....” පීරිස් ඊළඟට කිව්වේය.

අපිත් ඔහු සමඟම වාට්ටුවට ගියෙමු.ඒ යනකොටත් ලෙඩුන් සූදානමේය; සීරුවෙන් පෙළ ගැසී පෝලිමේය!

අප එහි යන දිනයකටම යොදාගත් සංග්‍රහයක් විඳින අතරේ....

ඒ පරීක්ෂා කිරීම් හමාර වෙන තුරු අපි දෙන්නා ඔහේ කිරා වැටුණෙමු. එය හමාරවී දොස්තර මහත්තයා කාමරයට එනකොටම නිරෝෂා නංගී කාමරයට එබෙයි.
“.... අපේ සර්.... දොඩම් වගයකුත් තියෙනවා... කෝපිද... දොඩම්ද .... නිමල් අයියට සීනි නොදා නේද?”

නිරෝෂාත් කාර්ය මණ්ඩලයේය. ‘අපේ සර්’ට සලකන විදිහටමය අපටත් සලකන්නේ. මං ‘අපේ සර්’ කෑල්ල ඉලිප්පුවේ සහේතුකවය. එහි සේවය කරන කාර්ය මණ්ඩලයේ ලොකු-කුඩා සියලුම දෙනාට අයස්මන්ත මහත්තයා ‘අපේ සර්’ය. “හරි වැඩේ මචං. මුං පුරුද්දටම මගේ ගැන කියද්දී ඒ කෑල්ල දැම්මොත් අලුතින් එන Doctor අහයිනෙ ‘මම කාගේ සර්ද?’ කියලත්...”

මම ඒ ප්‍රශ්නය වාට්ටුවේ මිසී කෙනෙකුගෙනුත් ඇහුවෙමි.

“ඒක යස වැඩක්නේ.... අපේ සර්ට අපේ සර් නොකියා වෙන මොකක් කියන්නද නිමල් අයියේ... අපේ සර් හම්බන්තොටින් ගියාට අපේම තමයි!”

රජයේ වෛද්‍යවරයෙකුට එක සේවා ස්ථානයක එක දිගට සේවය කළ හැක්කේ වසර 4ක් පමණි. එයින් පසු ස්ථාන මාරුවක් ලබාගත යුතුය. “මම රත්නපුරේට ඉල්ලලා තිබුණේ.... මෙච්චර දවස් පරක්කු වුණෙත් මෙහාට අලුතින් ඩොකෙක් එනකල්... එයා ආවා.... ඊළඟ සතියෙ ඉඳන් මම රත්නපුරේ...”

හම්බන්තොට මහ රෝහල දැන් අලුත් ගොඩනැඟිල්ලකට ගෙනිහින් .....

එයින් කියැවුණේ දොස්තර මහතාට රත්නපුර මහ රෝහලට ස්ථාන මාරුවක් ලැබී අවසන් බවය!

පීරිස් මහතාගේ රත්නපුරේ ගමන ගැන හම්බන්තොට රෝහලේ හැමෝම එළිපිට කතා කිරීමෙන් වැළකී සිටිති. කතා කළත් වහෙන්-ඔරෝ බාසාවෙනි; ඒකත් නෙත් කෙවෙණි උතුරා පිටාර ගලන්නට පටන් ගන්නා තෙක් විතරය.... එතැනින් එහාට දිගු විරාමයකි; දුකකි; ඉරකි; තිතකි!

දුක කියැවෙන ඇමතුම්, පණිවුඩ ගොඩාරියකි.

“එතකොට ක්ලිනික් එක හදන වැඩේට මොකක්ද වෙන්නේ?”

හම්බන්තොට මහ රෝහල දැන් අලුත් ගොඩනැඟිල්ලකට ගෙනිහින් අවසන්ය. පැරැණි ගොඩනැඟිලිවල තියෙන්නේ අක්ෂි වෛද්‍ය අංශයත්, කොරෝනා වාට්ටුත් පමණකි. මෙතෙක් පොඩි ඉඩක හිර කෙටී- ලොකු වැඩ ගොඩක් කරමින් හිටි ‘අක්ෂි සායන අංශය’ත් පැරැණි වාට්ටුවකට සංක්‍රමණය කරවන්නට කටයුතු කෙරෙන බව අපටත් ආරංචි විණි.

“ටිකකින් එතනටත් යනවා.... එතකොට බලා ගන්නවකො.”

නිරෝෂා නංගිගේ සංග්‍රහයෙන් පස්සේ එනිකා මිසී හා දොස්තර මහත්තයාගේ සාකච්ඡාවය. ලෙඩුන් පිළිබඳවය; උදෙන්ම කටයුතු කෙරෙන්නට ඕනෑ විදිහ ගැනය..... ඊළඟට අලුත් clinic එක හදන තැනට....

15 සිකුරාදා රෝහල් අධ්‍යක්‍ෂ S.D.U.M.රංග මහතාගේ සුරතින් පීත්ත පටිය කපා... 

ගිය මාසයේ අප හම්බන්තොට ආවාම සැලසුම් හැදෙමින් තිබිණි. මාසයකදී වැඩවල අන්තිම අදියරටත් ඇවිදින්ය. “මෙච්චර ඉක්මනට?”

“අපේ වැඩ එහෙම තමයි. සිකුරාදාට open කරනවා!”

“අනිද්දා.... මේ සිකුරාදාම?”

“හ්ම්!”

“එතකොට ට්‍රාන්සර් එක.....”

“ඕපනින් එකෙන් පස්සේ එහාට...”

සති දෙකකට විතර කලින් හිතවත් මර්වින් මට කතා කළේය. “නිමල්, පීරා ක්ලිනික් එක හදවලා ඉවර වෙලා ඒකට බුදු පිළිමයක් වඩම්මන්න හදනවා. මං ඒ වැඩේ අපිට බාරගත්තා. මොකද කියන්නේ?”

“මොනව කියන්නද? හා. නෙවිල්ටත් කිව්වද?”

“කිව්වා. මම විස්තරේ කියන්නම් ප්‍රියන්තලගේ අම්මගේ; චිත්තම්මාගේ තුන්මාසේ දානේ ගෙදරදී....” මර්වින් එහෙම කිව්වාට බණ-දානය දවස් දෙකේම අපට නිවිහැනහිල්ලේ ඒ විස්තර කතා කරගන්නට නොලැබිණි. ඉතිං මර්වින් තනියම වැඩේට උර දීලාය. දාරුමය බුදු මැදුරකුත් හදවන්නට සැලසුම් කරලාය. කවුද දන්නෙ මෙහෙම තදියමේ වැඩ කෙරුණු විත්තියක්?

සුදු මාමා හැදූ ‘දාරුමය බුදු මැඳුර’ අක්ෂි වෛද්‍ය සායනය එකලු කරයි!

“ඉස්පිරිතාලේ කිට්ටුවම ඉන්න සුදු මාමා තමයි ලීවලින් ලස්සනට බුදු මැදුර හැදුවේ. හොඳ වැඩකාරයා. සල්ලිත් එපා කිව්වා..... පිං වැඩක් හින්දා....”

දොස්තර මහත්තයාගේ නිල නිවාසයට ගිහිල්ලාවත් එක සැරේ ඇඳන්වලට වැටෙන්නට බැරි විණි.... බ්‍රහස්පතින්දා රෑට- සිකුරාදා උදේට තියෙන වැඩ ගැන කතාබහය! ඇයි, බදාදා උදේට?

“මචං මම නම් උදෙන්ම වාට්ටුවට යනවා. ඔපරේෂන්ස් වගයකුත් තියෙනවා. ක්ලිනික් එකත් තියෙනවා. උඹලව දකින්නවත් හම්බ වෙන එකක් නෑ දවල් එක දෙක වෙනකල්..... අසංගටත් උදෙන්ම එන්න කියලයි තියෙන්නේ. මිනිහා tests ටිකට ඕනි කරන තැන්වලට දෙන්නව එක්කං යයි....”

අසංග ඉස්පිරිතාලයේ සේවය කරන්නෙකු නොවුණාට එතැනත්, මුළු හම්බන්තොටමත් නොදන්නා කෙනෙකු නැත. මා දැක ඇති හොඳම PR; මහජන සබඳතා මැනවින් දන්නා දක්ෂයෙකි, අසංග!

අයස්මන්ත මහත්තයාගේ උපදෙස් හා සැලසුම් අසාගෙන, අප නිඳා ගන්නා විට දෙකටත් කිට්ටුය. හයට ඇහැරී බලද්දීත් මේ මනුස්සයා රාජකාරියට ගිහින් ඉවරය! එහෙම ගිහිනුත් දවසෙම වැඩය. ඉතිං ‘වර්කහොලික්’ කියන එක වැරදිද?

Blood testsවලට ලේ දීලා එනකොට...

අපේ පරීක්ෂණවලට ඕනෑ කරන රුධිර සාම්පල්ස් දීලා එද්දී සුජානි නංගිගේ මහත්තයා සාන්ත තීන්ත වගයක් අරගෙන එමින් හිටියේය. “අයියලා අද එනවයි කියලා තිබුණේ නැහැනෙ.”

“ඔව් සාන්ත, බස් නැතිවෙන හින්දා දොස්තර මහත්තයා ඊයේ රෑම අපිව එක්කගෙන ආවා....”

අප හම්බන්තොට එන දවස් කලින්ම අහගන්නා සුජානි නංගී අපේ උදේ කෑම සූදානම් කරයි. කොතැනක හෝ තියෙන අයිල කඩයකින්, පෙට්ටි කඩයකින් සප්පායම් වෙන්නට මට තියෙන දොළදුක සංසිඳුවා ගන්නට ඒ කට්ටියම මට ඉඩ තියන්නේ නැත. හුඟාක් දවස්වලට සුජානි නංගී විතරක් නොවේ, වාට්ටුවේ මිසීලාත් නානාප්‍රකාර කෑම ජාති අපටත් එක්කම හදාගෙන ඇවිත්ය.

එයාලාගේ හුඟක්ම treats- පාටි- සංග්‍රහ යොදාගන්නෙත්, අප එන දවස් අසාගෙනය.

ඒ අපට ඇති ආදරයකට- ගෞරවයකට වඩා දොස්තර මහත්තයාට ඇති ආදරයටය; ගෞරවයටය.

එහෙම දාන-මාන ලැබීම අතින් සීවලී මහ රහතන් වහන්සේ හරිම වාසනාවන්තයිලු. එනිසාමය අපේ ඉස්සර උදවිය බුදු හිමියන්ගේ පින්තූරයක් නැතත්, පාත්තරයට අතක් ඔබාගත් ගමන් ඉන්නා සීවලී හාමුදුරුවන්ගේ රූපයක් ගෙයි ඉදිරිපස බිත්තියෙම එල්ලුවේ. (මෙතැනදීත්, ඉහතින් දුඃසාධ්‍යව කියා යෙදුණු තැනදීත් මගේ අතින් සිදුව තිබුණු වැරැදි දෙකක් නිවැරදි කළෙමි. ඒ කට්ටකාඩුවේ ලොකු මල්ලී කමෙන්ටුවෙන් ඒවා පෙන්වා දුන්නාමය. ලොකූ- ඔයාට ස්තුති කරමින් මෙතනම ඒ බව ලියන්නේ සමහර දෙනෙකු comments නොකියවන බැවිනි!)

සීවලී හිමියන් වාගේම පිං කන්දරාවක්.....

සීවලී හිමියන් වගේම පිං කන්දරාවක් පීරිස් මහත්තයාත් කරලා ඇති. ඒ පිං අපටත් පළ දෙයි!

“අපොයි ඔව්. තමුසෙට නම් පළ දෙයි, මෙන්න කියලා. බලපං මචං, හැමදාම පස්සෙන් එලෝලා-අහලා කෑම හදලා දෙන ඒ මිනිස්සුන්ටත් මූ ගෙදරට එන්න එපා කිව්වනේ!” අවුරුදු දෙකක් විතර පරණ සිදුවීමක් සිහි වෙන වාරයක් පාසා නෙවිල් මට ආඩපාලි කියයි.

ඇත්තය. එහෙම ආඩපාලි කියන්නට වටිනවාය!

එදා මගේ mood එක හොඳටම හොඳ නැති දවසකි. සුජානි නංගී දුරකථන ඇමතුමක් දුන්නේ ඒ අතරේය. “නිමල් අයියා... අපි දැන් කොළඹ එන ගමන් ඉන්නේ. ඔයාලගේ ගෙදරටත් ඇවිත් යන්නයි හදන්නේ....”

එහෙම ආවාම සුළුවෙන් හරි සංග්‍රහයක් කරන්න ඕනේ නේද? අල්ලාප-සල්ලාපයේ යෙදෙන්න ඕනේ නේද? ඒ ටික කර ගන්නට තරම් සුවයක්-සනීපයක් නැති නම්.... “අනේ නංගී... අද එන්න එපා.... වෙනින් දවසක.... කලින් කියලා එන්න.” මම කීවෙමි. සුජානි නංගිගේත්, සාන්තගේත් හිත රිදුණා වෙන්නටත් ඇති. එහෙම විත්තියක් අද වෙන තුරුවත් මට කියලා නම් නැතිය.

හැබැයි, ඒ විස්තරේ එළියට දැම්මෙත් මම වහන්සේමය. අපේ මිත්තරයන් ඇත්තම ඇත්ත දන්නවා වුණත් මාව අවුස්සන්නට ‘ඒ වැරැද්ද’ දඩ මීමා කර ගනිති!

“තීන්ත නේද, සාන්ත?”

ඒකනේ! අලුත් වාට්ටුවට ගාන්න අනූදාස් ගානක තීන්තත් මදි වුණාලු!!  

“ඔව් නිමල් අයියේ, තවම තීන්ත ගාලා ඉවර නැහැ.... තීන්ත මදි වුණාලු. දැනටත් 90,000/- පැනලා තීන්තවලට විතරක්!”

මට නම් ඒවා ගැන මෙලෝ සංසාරයක් වැටහෙන්නේ නැත. ඒත් නෙවිල්ට එහෙමද? WAL Constructions එකේ සුපර්වයිසර් කෙනෙක් නෙව? සාන්තත් කරට කරය.

“එච්චර යන්න විදිහක් නැහැනෙ සාන්ත!”

“දන්නෙ නැත්ද අපේ අයියලා.... ඉතිං, යංකො නෙවිල් අයියේ, තීන්ත ගාන තැනට ගිහින් එන්න!”

‘තල තෙලට වේළේ - මී බෙටි කුමට වේළේ’ කිව්වා වගෙය. මගෙන් එතැනට පලක් නැතත්, මමත් පස්සෙන් වැටුණෙමි. එයාලගේ විග්‍රහ-විශ්ලේෂණ කෙරෙද්දී බුකවාගෙන අසාගෙන හිටියෙමි.

අපරාදේ... තනියෙන් හරි ක්වාර්ටර්ස් එකට ගියා නං......

9 comments:

  1. ලොකා වැරදි දෙකක් දැක්කා...අසාධ්‍ය කියන්නෙ මරණයෙන් කෙලවර වන පරිදි ඒ කියන්නෙ නැවත නො නැගිටින්ඩම ලෙඩ ඇදට වැටෙන එක...ඒ හිංද අර 2015 ෆොටෝ එකේ ඉන්නෙ දුස්සාධ්‍ය ලොකා මිසක් අසාධ්‍ය ලොකා නෙවෙයි. අනික සීවලී හාමුදුරුවෝ සිවුපසය ලබන ශ්‍රාවකයන් අතරයි අග්‍ර...බුදුන් වහන්සේගෙ භගවා කියන ගුණයේ එක පැහැදිලි කිරීමක් වෙන්නෙ උන්වහන්සෙගෙ ඇති අනභිභවනීය සිවුපසලාභී බව....ඒ හිංද බුදුහාමුදුරුවන්ටත් වඩා කියන කථාව සාවද්‍යයි....පීරිස් ජීවකයාණන් සබරගමුවට සාදරයෙන් පිළිගන්නා බව කරුණාකර කියන්න....

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි ලොකූ.
      වැරදි දෙකම පිළිගන්නවා; හැදුවා.

      මේ ගමන්ම දොස්තර මහත්තයාටත් ඔබේ පණිවිඩය දන්වලා යවනවා.

      Delete
  2. අනූවක තීන්ත. ඕක හදල තියෙන්නෙ තීන්තවලින්මද දන්නෑ. හැක්..

    පීරිස් මාත්තය රත්නපුරේ ආවහම අපිටත් බැරියැ එතුමා ලවා ඇස් බලාගන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න හරි ගණන අනූවත් ඉක්මවලා තිබුණා.

      ඔන්න ඔයාගේ ගැනත් පීරිස් මහත්තයට කියනවා. කිව්වත් නැතත් එන සේරටම ප්‍රතිකාර කරන එක තමයි එයාගේ පුරුද්ද...
      ප්‍රසන්න කොහෙද ඉන්නේ?
      රත්නපුර කිට්ටුවද?

      Delete
    2. නෑ රත්නපුරේ ඉඳල කිලෝමීටර් 40 ක් විතර ඇඹිලිපිටිය පැත්තට වෙන්න.

      Delete
  3. දුස්සාධ්‍ය ගැන ඉගනගත්තා. ස්තුතියි.
    එතකොට ඒක ලියන්න ඕනෙ ලොකුමල්ලිතුමා ලියන විදිහටද, නිදිවහන්සේ ලියන විදිහටද?

    ReplyDelete
    Replies
    1. අම්මෝ Pra Jay මහත්තයා සිංහල ලිවීම ගැනත් උනන්දුයි එහෙනම්!

      කට්ටකාඩුවේ ලොකූ ලියන දුස්සාධ්‍ය සිංහල වචනේ. එයාගේ ක්‍රමයයි වඩා නිවැරදි.

      මං කැමති දුඃසාධ්‍ය කියලා ලියන්න. පුරුදු වෙලා තිබුණේ ඒ විදිහට නිසා. හැබැයි එහෙම ලියන්නේ සංස්කෘත වචනයක් නිසයි. මම ඒ ගැන දැනගත්තෙත්, ඔයාගේ කමෙන්ට් එකට උත්තර ලියන්න කලින් මේක ගැන හෙව්වට පස්සේ.

      හැබෑට, මට තව කොච්චර දේවල් ඉගෙනගන්න තියෙනවද?

      Delete
  4. චිත්තවාහිනිය - ඒක මරු නම. නිදී ගේ චිත්තවහිනිය ..නම වෙනස් කරමුද හේ හේ

    ReplyDelete
    Replies
    1. ඔන්න අජිත් මහත්තයෝ ඔබතුමාට කැමති නමක් කියත හැකි.

      ඔය පැත්තේම බොහොම කාලෙකට කලින් හිටිය විලියොන් උන්නැහේ කෙනෙක් නේද කියලා තියෙන්නේ 'රෝස මලට මොන නමක් කිව්වත් ලස්සනවත් සුවඳවත් අඩු නොවෙන බව?'

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්