li Item

Monday, February 24, 2020

ශ්‍රී ලංකා not Vs England - දහවෙනි කොටස

ඒ හැම දෙනාටම ඕනෑ වුණේ කඩයේ වගකීම අනිල්ට.......
අන්තිමේදී බොරලැස්ගමුවේ සිල්ලර බඩු කඩයේ ප්‍රශ්නය එංගලන්තය දක්වාම ඇදුණේය.
අපේ ගෙදර හිටි දැනුම්-තේරුම් ඇති එක්කෙනෙක්වත් පොඩි මාමාට කඩයේ වගකීම පවරනවාට කැමැත්ත නොදුන්නේය. 

ඒ හැම දෙනාටම ඕනෑ වුණේ අන්නාට කඩය බාර දෙනවා දකින්නටය.
“අනිල්ට හොඳට ගණන් හිලව් තේරෙනවා. වාණිජ කරපු නිසා Accounts එහෙමත් කරලනේ ඉන්නේ. ඉගෙන ගෙනත් තියෙන එකේ අපරාදෙනෙ සිකියුරිටි විදියට අනුන්ට කඹුරන්නේ.... අනිල්ට කඩේ බාර දීලා පඩියක් ගෙව්වාම හරිනේ! 
මොනවා කළත් එක බඩවැල කඩාගෙන ආව තමුන්ගේ එකානෙ.” 
මට විරුද්ධව අවි අමෝරාගත් පාර්ශ්වයෙන් කියවුණේ එහෙම කතන්දරය.
පොඩි මල්ලී බූරු කප්පිත්තා. කඩේ බාප්පා වුණත්....
“රංජි... පොඩි මල්ලී බූරු කප්පිත්තා..... කඩේ බාප්පා වුණත් මිනිහට බදුල්ලේ කඩේ බාර නොදුන්නේ ඒ හින්දනේ. අනිලා වැඩේ කරයි.” අපේ අම්මාත් එංගලන්තයේ සිට කීවාය. (අපේ අම්මාගේ favourite පුතණ්ඩියා අනිල්ය.) මම පරාජය බාර ගතිමි. 
“... පස්සේ අනිලුයි අපියි හැමෝම පෞද්ගලිකව අපොස සාපෙළ කළා... එයින් පසුව මම නම් උසස් පෙළට වාණිජ විෂයයන් තෝරගත්තේ කලා විෂයන් නොතිබුණු නිසයි... 
එතැනදී අනිලුත් මාත් එකම පන්තියට වැටුණේ... ඇත්තටම ඒකයි අපේ ජීවිතයේ ස්වර්ණම අවධිය... කිසිදාක අමතක නොවන කාලය... 
-වාණිජ සමිතියේ සභාපති විදිහට අනිල්ව තේරුණේ නිතරගයෙන්මයි. එතරම්ම සුදුසුකම් තිබුණා එයාට... 
මට මතකයි අපේ පන්තියේ හිටි ලලිත්, ජයසිරි, අතුල තුන්දෙනා. නිතරම ගුරුවරුන්ගෙන් බැනුම් අහපු අය... 
ඒත් අනිල්ට හැම ගුරුවරයෙක්ම ආදරෙන් හිටියේ.... පන්තියේ වැඩ උනන්දුවෙන් කරන හොඳ ළමයෙක් හින්දා ....
අපට 'ව්‍යාපෘති' වැඩවලට සමූපකාරවලට- ගෙවල්වලට එහෙමත් යන්න වුණා.
-අපට ඒ කාලේ තිබුණා ‘ව්‍යාපෘති’ කියලා විෂයයක්... අපි ඒකට කළේ ‘සමුපකාරය’ ගැන... කණ්ඩායම් පහකට බෙදලා.... මාත් අනිලුත් එකම කණ්ඩායමකට වැටුණේ... 
-අපට එළියට ගිහින් සමීක්ෂණ කරන්නත් සිද්ධ වුණා... ගෙවල්වලට, සමුපකාරවලට එහෙමත් යන්න වුණා...
-මට මතකයි, එහෙම වැඩවලදී හැමදාම ලකුණු වැඩියෙන්ම ලැබුණේ අපේ කණ්ඩායමටයි. ඒ අපේ කණ්ඩායමේ නායක අනිල් නිසයි... 
එයාගේ අදහස්වලට තමා අපිත් වැඩ කළේ... අපේ සර්ගෙන් අපට මාරම ප්‍රශංසා ලැබුණා... අනෙක් ටීම්වලට ජෙලස් හිතෙන තරමටම.” 
අනිල්ගේ පන්තියේ සිටි උදිතා සූරියාරච්චි එවූ මැසේජ් එක වෙනම පෝස්ටුවක දමන්නට තරම් විස්තරාත්මක එකකි.
උදිතා විතරක් නොවේ, පාසල් කාලය ගැන කියද්දී ඕනෑම කෙනෙකුගෙන් කියවෙන්නේ ජීවිතයේ ස්වර්ණම අවධිය එය බවයි. අනේ! අනාගත වැඩිහිටි පරම්පරාවට එහෙම කියන්නට හැකියාවක් ලැබේවිද?
පාසල් ළමයි දෙලක්ෂ අනූහය දාහකට කිට්ටු ගණනක් මතට ඇබ්බැහි වෙලා?
අපේ; උදිතාලගේ පාසල් සමය අද තරම් සංකීර්ණ නැත. අසීරු, දුෂ්කර එකක් වුණේත් නැත. දැන් එය හිතාගන්නටවත් අසීරු තරමේ එකකි. 
අද කියවන්නට ලැබුණු පුවතකින් පෙනෙන්නේ ‘නූතන පාසල් සමය’ විස කැවී ඇති තරමය. 
දුම්වැටි, මත්පැන්, මත්පෙති, ගංජා, හෙරොයින් හෝ වෙනත් කුමනාකාරයේ හෝ මත්ද්‍රව්‍යයක් භාවිත කරන පාසල් සිසුන් සංඛ්‍යාව 2,95,873ක්ලු. 
ඒ සිසුවෝ අවයස වුරුදු 18කට වඩා අඩු අය වෙතිලු. 
මේ තත්ත්වය මර්දනය කිරීම සඳහා වෙනම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන් මාලාවක් දියත් කෙරෙන්නේලු!     
පෙනෙන විදියට නම් හැම ඉස්කෝලයකටම පොලිස්කාරයෙකුත් පත් කරන්නට යනවා වගෙය. සේරෝම නීතියෙන්ම කරවන්නට.... 
ඉතින්, අපේ අම්මාත්, තාත්තාත් හිතුවේ අවවාදවලින්ම; නීතිවලින්ම ළමයින් හැදෙනවා කියලාය. 
‘හොඳට හැදෙන්න ඕනේ!’, ‘පාඩම් කරපල්ලා’ වගේ අවවාද දුන් පමණින්ම වැඩේ කෙරෙනවාය කියලා ඔවුන් හිතන්නට ඇති. දරුවන් ඉගෙනගන්නවාදැයි එයාලා බැලුවේ වාරාවසානයේ ලැබෙන රිපෝට් කාඩ් එකෙනි.
පිරිමියෙකුට පැදුර පෑගෙන පමාවෙන් බඩ ගැබ්බර වෙන ජාතියේ......
නමුත් තර්ජනාංගුලියෙන්ම, බිය ගැන්වීමෙන්ම සුපිරි ළමයින් නොහැදෙන බවට හොඳම උදාහරණයත් අපේ පවුලේ පිරිසය. 
ලජ්ජාවෙන් වුණත්; අප්‍රමාණ පසුතැවිල්ලකින් යුතුව වුණත්, දැන් මේ පාපොච්චාරණය කළ යුතුමය. උදිතා සූරියාරච්චි නංගිගෙන් මේ තරම් ‘චරිත සහතික’ ලැබෙන තුරුම, අනිල්ගේ පාසල් දිවිය ගැන මගේ දැනීම තිබුණේ බිංදුවේය. අනිල් ගැන විතරක් නොවේ; අනෙක් අය ගැනත් එහෙමමය. මම හොඳ ලොකු අයියා කෙනෙක් වීමිද? 
කිසිසේත්ම නැත!  
මාත් ආදර්ශයට ගෙන තිබුණේ අපේ අම්මාත්, තාත්තාත් දෙන්නාවය. ගමේ භාෂාවෙන් කියනවා නම් අප හැමෝම ‘හැදුණේ දුටහට’ය. කලිනුත් කිව්වෙමි. අපේ දෙමව්පියන් වගකිවයුතු මව්පිය භාවය ගැන කිසිම දැනීමක් තිබුණු අය නොවේ.
තාත්තා දැලි රවුළු එන කාලයේ සිටම මදනයා හිසට ගැසූ කෙනෙකි. අපේ තාත්තා අම්මව කසාද බැඳගෙන තියෙන්නේ බොරු වයසක් දමලා, බාලාපරාධයකුත් කරමිනි! ඒ තරම් තදියමක් තිබිලය!!
අම්මා ‘පිරිමියෙකුට පැදුර පෑගුණත් බඩ ගැබ්බර වෙන පරම්පරාවක’ අංගනාවකි. ඒ ජාඩියට මූඩිය සුසංයෝගයේ ප්‍රතිඵලය අප දහදෙනෙකි.  
මේවා ලියන්නේ තරහෙන් නොවේ; වේදනාවෙනි.  
ඇටෙන්-පොත්තෙන් පැහෙනකොටම ආදරේ හොයාගෙන කැදලි වෙන්නට පෙරුම් පුරන.........
අදටත් ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්, ටෙස්ටස්ටරෝන් හෝමෝන වහනය වෙන්න ගත්තු ගමන්ම අම්මලා-තාත්තලා වෙන්නට පේවෙන කී දෙනෙකු මේ ලක් පොළෝ තලය මත ඉන්නවාද? 

සිරුර මෝරන තරම් ඉක්මනටම බුද්ධියත් මෝරනවද? එහෙම උපදින දරුවන්ට හරිහමන් රැකවරණයක්, ආදරයක්, පෝෂණයක්, අධ්‍යාපනයක් ලැබෙනවද? 
මා දන්නා ගෙවල් කිහිපයකින්ම දවස තිස්සේ කන් අඩි පළන සද්දෙන් ඇහෙන්නේ ‘ප්‍රේම විලාපයන්’ය. එහෙමත් නැතිනම් ‘කෑදර-ආදර යාදිනි’ය. 
අසල ගෙදරක තවම මොන්ටිසෝරියටවත් නොයන ළමයෙකු පුන-පුනා ගයන්නේ ‘ආදරෙයි වස්තූ....’ ගීතයයි. එක්කෝ 'මතකයන් ඔබේ- සිතේ තබාගෙන- දුක් විඳිනා මා ඔබගේ- පළමු පෙම්වතා' කියලාය. තවත් විටෙක ‘ඇස් දෙක පල්ලා’ හෝ ‘සමු අරන් යා යුතුය’ ගී දෙකය! ඒ ගෙවල්වල ළමුන් දවස තිස්සේ තරගයට channel surfing කරන අම්මලා එක්ක බලන්නේත් මෙගා ටෙලිය! 
එහෙම කාලයක නොවුණත්, අම්මා-තාත්තා දෙන්නම නැති ගෙදරක, කුටුම්බ සංරක්ෂණය කරමින් සොහොයුරු-සොහොයුරියන් කැලතක් ආම්බාං කරද්දී.... 
මගෙන් කොතරම් වැරදි වෙන්නට ඇතිද? 
ලොකුම වැරැද්ද නංගිලා මල්ලිලා ගැන තිබුණු අඩු අවධානයයි. 
ඇඳුම්-පැළඳුම්-කෑම්-බීම් සැපයුවාට මාත් ඔවුන්ට ආදරය පෙන්නුවේ නැත. 

‘ළමයින්ට ආදරේ පෙන්නන්න ඕනේ උන් නිඳාගත්තට පස්සේ’ කියලාය අපේ තාත්තා ‘බණ’ කිව්වේ.
මේ බූරු පුතාණෝටත් ඒවා දිව්‍ය වාක්‍ය වගේ වුණේය!
මේ බූරු පුතාණෝටත් ඒ දවස්වල ඒවා දිව්‍ය වාක්‍යයන් වගෙය! එහෙම වෙලාත්...
උදිතා සොහොයුරිය බෙහෙවින් හැඟීම්බරව කියන විදියට අපේ අන්නා ‘මහරගම බුවෙනකබා විද්‍යාලයේ’ බ්‍රයිටෙකි. 
“.... මට මතකයි අනිල් අපේ විවාද කණ්ඩායමේ උද්යෝගිමත් දක්ෂ සාමාජිකයෙක්... දැනුම මිනුම කණ්ඩායමේ මමත් අනිලුත් දෙන්නම හිටියා... 
ක්‍රීඩාව පැත්තෙනුත් එහෙමයි... මම මලල ක්‍රීඩා සහ නෙට්බෝල් කණ්ඩායමේ හිටියා... අනිල් වොලිබෝල් ටීම් එකේ හිටියා. 
මට මතක විදියට හවුස් කැප්ටන් වෙලා හිටියෙත් අනිල් වගෙයි....”
එයින් එක කාරණයක් නම් ඔබට අලුත් නොවේ. එකම වසරක බුවෙනකබාවේ වොලිබෝල්, නෙට්බෝල් කණ්ඩායම් හතරේ නායකත්වය දරන්නට ‘දිසානායක’ සොහොයුරු-සොහොයුරියන් හතර දෙනෙකුටම වාසනාව ලැබිණි. 
පුෂ්පා, අනිල්, අජිත්, මානෙල් හතර දෙනාය ඒ.
“පේනවා නේද පවුලක ළමයි ගොඩක් ඉන්න එකේ රඟේ. මොන තාත්තටද මෙහෙම වාසනාවක් ලැබෙන්නේ? බැටෑලියන් එකක් හදාගන්නත් තිබුණා තව හිටියා නම්.” 
ඒ කාලය වෙද්දී ජීවතුන් අතර හිටියා නම් ‘දිසානායක හේවගේ ගුණපාල’ උන්නැහේ උදම් අනනවා සිකුරුය!
තව ටික දෙනෙක් හිටියා නම් පවුලෙන්ම බැටෑලියන් එකක් හදාගන්නත් තිබුණනේ!
ඔන්න ආයෙමත් උදිතාගේ අතීතාවර්ජනයට ඉඩ දෙනවා.
“-උසස් පෙළ අවසාන කාලයේදි හැම සෙනසුරාදා ඉරිදම සහ පෝය දිනට... දවස පුරා තිබුණු සුබසිංහ සර්ගේ වාණිජ සහ එකවුන්ට්ස් පාඩම්වලට අපි හැමෝම ආවේ හරිම ආසාවෙන්... ඒක මාර නිදහස් ලෝකයක්. අපි විතරයි ඉස්කෝලේටම. 
-කෑම කෑවෙත් අපි එකටමයි. සින්දු කියකියා නටනටා පිස්සු නැටුව හැටි තවම මතක් වෙනවා, අද ඊයේ වගේ... 
-අනිල් තමා එතකොට අපේ එනවුන්සර්... මට මතකයි, අනිල් හරිම ලස්සනට ඇන්දා කිරිකොකා වගේ. කුණු බිඳක් නැහැ... අපි නම් ගිය තැන වාඩිවෙනවා. 
දිවුල් කහට ගාගෙන, ඇඳුම්වල දූවිලි නාගෙන හිටියේ. 
-වෙලාවකට අපට අයියා කෙනෙක් වගේ අවවාදත් දෙනවා. ගොරෝසු කටහඬක් තිබුණට අනිල් හරිම අහිංසකයි...” 
ඒවායේ credit එක නම් අපේ තාත්තාට දෙන්නට වෙයි. තාත්තා නොසරුප් වදන් දෙඩුවාට අපට ඒවා තහංචිය. 
අපේ සුසිරිත් වැඩි හරියක් නීති-රීතිවලින්ම තාත්තාත්, ආච්චීත් අපට හුරු කළ ඒවාය. 
‘වැඩිහිටි අය කතා කරනකොට අහගෙන ඉන්නවත්; මැදට පනින්නවත් එපා’. ‘කවුරු මොනවා දුන්නත් අපෙන් නාහා ගන්න එපා’. ‘කෑම කනකොට සද්ද ඇහෙන්න; චව් චව් ගාලා විකන්න එපා’.....
විශාඛා සිටු දියණියන්ටවත් එයාගේ තාත්තාගෙන් අපට තරම් අවවාද ලැබිලා නැතිය.
පූර්ණවර්ධන සිටුවරයාට විශාඛා දියණියන්ව පාවලා දෙන දවසේ, ධනංජය සිටුවරයා තමුන්ගේ දෝණියන්දෑට දුන්නාටත් වැඩියෙන් අපූරු  අවවාද නම් අපට හැමදාමත් ලැබුණේය; මදිය නොකියන්නම. 
‘ඉතින් හොඳයිනේ, ඔයාලා අකුරටම ඒවා පිළිපදින්න ඇතිනේ!’ ඔබ කියනු ඇති. ඒකකට අදාළව මා දැනටමත් ලියා ඇති දේවලින් එකක් විතරක් මතක් කරමි. ඒකත් අනිල් මල්ලී ගැනය. (කරුණාකර මෙතැන click කරලා ඒ පොස්ටුව කියවා බලන්න). 
එහෙම හැදූ දරුවෙක් විනීත නොවී ඉඳියිද? ඒ නිසාය උදිතා නංගී කියන මේ වදන් මා පිළිගන්නේ.... 
“-අපට කවදාවත් නරක විහිළුවක්වත් කරලා නැහැ.... සමහර කොල්ලන් වගේ. 
-මතක තියෙන විදියට කිව්වා, නිමල් අයියේ.....  
තව අමතක උන සිද්ධි ඇති ඕන තරම්. 
පාසලෙන් අයින් උනාට පස්සේ සමහරු කැම්පස් ගියා. සමහරු ගුරු පත්වීම් ලැබිලා දුර පලාත්වලට ගියා. සමහරු වෙනවෙන කෝස් කරන්න ගියා. අපේ හැම කෙනෙක්ම වගේ අදටත් හොඳ තැන්වල ඉන්නවා. 
-ඒ ගැන කියද්දි නම් මට අනිල් ගැන හිතෙන්නේ දුකක්... හැමෝටම වඩා දක්ෂයෙක් වුණු අනිල්ට ඇයි මෙහෙම වුණේ කියන එක ගැන.....”
'ඇයි හැමෝටම වඩා දක්ෂයෙක් වුණ අනිල්ට මෙහෙම වුණේ?' උදිතා සූරියාරච්චි නංගි අහන්නේ ඒකය!
ස්තුතියි උදිතා නංගී. ඔයා අහන කාරණාව..... ‘ඇයි අනිල්ට එහෙම වුණේ?’ 
පරණ track එකට වැටී මේ කියාගෙන යන්නේ ඒ හේතු-ප්‍රත්‍ය ගැනය.
පවුලේ උදවියගේ බලවත් චිත්ත ප්‍රසාදය මැද්දේ, බොරලැස්ගමුවේ කඩයේ වගකීම අනිල්ට පැවරිණි. පොඩි මාමා දෙවෙනියාය. 
ඒක හරියටම දැන්; විස්සයි විස්සේ ලංකාවේ වෙන වැඩ වගෙය. 
පොඩ්ඩා අලුත් ගමනක් යන්නට හදයි. 
පරිණත ලොක්කා දැන් දෙවෙනියා නිසා හැකිතාක් වැඩේ අල කරනවා වගෙය. කොච්චරද කියනවා නම් මිරිස් කුඩු වීරයාව දඹදිව වන්දවාගෙන ඇවිත්, දියවන්නා රාජ සභාවේ තානාන්තරයකුත් දීලාය. 
සමහරවිට මේ පෝස්ටුව publish කරන්නට කලින්, මල්ලියා ඒ පට්ටම ගලවලා දමන්නටත් ඉඩ තිබෙයි.
ඉතින් අනිලුත්, පොඩි මාමාත් දෙන්නා එකතුවී ‘දැහැමෙන්’ කොහොම වෙතත් ‘සෙමින්’ වෙළෙඳාම කරගෙන ගියෝය.
පියඹා.... යනවා මා ආකාසයේ...............
මට නම් දැනුණේ ලොකු නිදහසකි. කුරුල්ලා මිටෙන් හැරියා වගෙය. 

දැන් තරුණ ජනගහන කමිටුවේ වැඩවලට නිදහස තිබෙයි; කාලවෙලාවත් තිබෙයි. වැඩි-වැඩියෙන් පත-පොත කියවන්නට, කරුණු එකතු කරන්නට, චතුර සන්නිවේදකයෙකු වීම සඳහා වෙහෙසෙන්නටය; මගේ එදවස් ගෙවුණේ.
මා organize කළ සිරිපා ගමනකදී ජෝඩු වුණු පෙම් යුවල කිහිපයක් ගැන කිව්වා මතකයිද? පොඩි මාමාත් එයින් එක පෙම්වතෙකි. ඔහු පෙම් ලොව ජයගෙන, පති-පතිනි විජිතයේ කිරුළු පැළඳුවෙත් ඒ කාලයේය.
පතිනිය හිටියේ ඇරැව්වලය. පොඩි මාමා එහේම බින්න බැස්සේය. 
“ලොකා... හැමදාම ගෙදර ඉඳලා කඩේට යන්නයි- එන්නයි ගියාම එපා වෙනවා. මං හදන්නේ කඩේම නවතින්නයි. එතකොට ටිකක් රෑ වෙනකල් කඩේ අරගෙන ඉන්නත් පුළුවන්නේ.” අනිල් කීවේය. 
ඒ කතාවේ ඇත්තක් නොතිබුණාම නොවේ. 
“එතකොට තමුසෙට කෑම... එහෙමනං මල්ලිකා අක්කලාගේ ගෙදරටම කියලා කෑම හදවාගනිමු.” මමත් කීවෙමි.
රෑට විතරක් ඔය ආප්පයක් හරි කොත්තුවක් හරි කාලා ෂේප් කරගත්තෑකි....
“අපෝ, අපෝ. ඒවාට ගියොත් නෑදෑකමුත් නැති කරගන්නයි වෙන්නේ. මට ඔය කඩේකින් කන්න බැරියැයි. නැතිනම් අපේ කඩේ ළඟම තට්ටුවේ කීර විකුණන අක්කට කියලා උදේටයි, දවල්ටයි කෑම දෙකක් ගෙන්නා ගන්නත් පුළුවන්. එහෙම කළාම රෑට විතරක් ඔය ආප්පයක්, කොත්තුවක් කාලා ෂේප් කරගත්තෑකි.” 
පෙනුණේ අනිල් මල්ලියා කලින්ම හිතලා-බලලා තිබුණු බවය. 
එදා වැඩියෙන් නොහිතා හිටි බව පෙනෙන්නේ, දැන් අකුරු කොටන මේ තකතිරු ලොකු අයියාය!

22 comments:

  1. Replies
    1. මැතක ඉදන් ඩ්‍රැකියා එක වෙනවා
      උපහැරනයක් දැන් මට මතකයට එනවා
      කකුලුවන් දිය රත්වනතුරු තුටු වෙනවා
      එවාගෙමයි ඩ්‍රැකියාට ලගදිම කෙලවෙනවා

      Delete
    2. උතුම් සිහල පරපුර සිහි තිබෙන තුරු
      උතුම් රාජ සිහ ‌ලේ ටික තිබෙන තුරු
      නෙතින් කඳුලු ‌නොහෙලමි දිවි තිබෙන තුරු
      ආඩම්බරයි ‌ලෝවාමහ පායෙ කණු

      - ‌කොහොමද ඒක?

      Delete
    3. විටෙකදී මරා ගන්නට මෙන් දත කනවා
      තව මොහොතකදී මිතුරන්වී හිනැහෙනවා
      තව ඉදිරියෙදි වේවිද හොඳ-හොඳ ඒවා
      blog කොල්ලන්ගෙ දඟ වැඩනේ මේ මේවා!

      Delete
  2. මට කලින් එක කියවන්න මගෑරිලා වගේ. දැන් යනව ඒක කියවන්න.

    ReplyDelete
    Replies
    1. නිවාඩු දවසම තුනක් නිසා වෙන්ඩ ඇති ඩ්රැකීට එකක් මඟ හැරෙන්න ඇත්තේ.

      Delete
    2. නිවාාඩුු දවස් තමයි වැඩ අධික...

      Delete
  3. මට නම් ස්වර්ණමය ටයිම් එක පාසල් කාලය නෙමෙයි, පාසල් නිවාඩු කාලය !

    මං හිතන්නෙ දැන් අපිට ලමා කාලයේ හොඳම දේ ලෙස පේන්නෙ වගකීම්, පීඩනය, රහිතබව.(නිමල්ට නම් වගකීම් තිබුනා. වැඩි දෙනෙකුට අවු 10, 12, 15 ට අඩු කාලය පීඩනය අඩුම කාලය)
    හුඟක් නාකි වුනාමත් ඊට ලඟ තත්වයක් එනවා, ඒත් එතකොට ලෙඩ, පසු තැවීම්, නෑදෑයන්ගේ ප්‍රශ්න පේන එක, මරණ බිය වගේ දේවල් නිසා ඒතරම් ප්‍රසන්න නෑ.

    ReplyDelete
    Replies
    1. පාසල් නිවාඩු කාලයට අපේ සුනිල්ගේ බිරිය කිව්වේ 'භීෂණ සමය' කියලා. පුතාලා දෙන්නම ගෙදර ඉඳෙන නිසා.
      ඇත්තටම Pra Jay, වගකීම් - බැඳීම් අඩු තරමට නිදහසේ සතුට විඳින්න හැකියි නේද?

      Delete
    2. ස්වර්ණමය සාමය ඉතින් රුසියාවේ හිටපු කාලේ හේ හේ

      Delete
    3. අජිත් මහත්තයෝ, ඔයා නම් පුනරුත්පත්තියක් ලැබුවොත් උපදින්නේ රුසියාවේ.

      Delete
  4. //නැතිනම් අපේ කඩේ ළඟම තට්ටුවේ
    බලමුකෝ මේකත් දැකල තීන පාරේමද ගිහිල්ල තියෙන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. සිරිබිරිස් උන්නැහේගේ අනුමානය හරිද කියලා ඉක්මනටම බලමුකෝ.

      Delete
  5. එංගලන්තයටම දිග ඇදුන නම් සෑහෙන්න ලොකු ප්‍රශ්නයක්

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි අජිත්. සමහරුන් ප්‍රශ්න විසඳාගන්න බලන්නේ බුද්ධියෙන්- අත්දැකිම්වලින් නෙවෙයිනේ. හැඟීම්වලින්..... එතකොට ප්‍රශ්න ගොඩ වෙනවා.

      Delete
  6. සෑහ‌ෙ‌න ග‌ොඩක් මගෑරිල තිබිල අද උද‌ේම ඉවර කලා ඔන්න

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මධු, ඔබතුමා පහුගිය ටිකේ ඇහැ ගැහුනේ නැහැ තමා! ගමන් ගොඩක් ගියා වගෙයි.

      Delete
    2. රැකියාවේ ‌පොඩි ව‌ෙනසක් උනා අයියන්ඩි වැඩ ටිකක් වැඩි උනා

      Delete
  7. මම නම් ඉස්කෝලෙ කාලෙට ආසයි.ඒත් අතේ සතේ තිබ්බ නැති කාලයක්නේ.ඒ කාලෙට වඩා දැන් නම් දාහෙන් සම්පතයි

    ReplyDelete
    Replies
    1. රවීන්ජය, එහෙම අතේ සතේ නැති එකේ හොඳකුත් දැනුනේ නැද්ද? හම්බ වෙන සත පහ කෝටියක් විතර වටිනවනේ. ගොඩක් ලැබෙනකොට අගය අඩුවෙන් දැනෙන්නේ නැත්ද?

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්