නෑ නෑ, ගෑනු
යාළුවෙක්.... ඔයාම කතා කරලා බලන්නකෝ... |
දහනායක සර් එවලේම දුරකතන ඇමතුම ගත්තේය; කතා කළේය; මට ඉඟි මැරුවේය!
“සුනන්ද.... මගේ යාළුවෙක් ඉන්නවා මෙතන..... නෑ නෑ, පිරිමි යාළුවෙක් නෙවෙයි.... ගෑනු යාළුවෙක්... ගොඩක් දේවල් දන්නවා.... කතා කරලා බලන්නකො....” හිසෙන් සන්කොට මට එතනට එන්නැයි කී දහනායක සර් ටෙලිෆෝනය මගේ අතට දුන්නේය.
සීත කඳුකර තැපැල් කන්තෝරුවක සිට සුනන්දගේ කටහඬ ගලා එමින් තිබෙන සැටි මට ඇසිණි......
ඒ කටහඬ මහීගේ තරම් තාරුණ්‍යයෙන් පිරි එකක් නොවීය; තරමක් තැන්පත් එකක් විය. “ඉතින් කොහොමද නිමාලි....”
හිත කීරි ගැසී ගියේ ඒ ප්‍රශ්නයත් එක්කමය. දහනායක මහත්තයා සුනන්දට මා කුලවද්දා තිබෙන්නේ ඒ නමෙන්ය. දැන් හැරෙන්නට බැරිය. මට පැවරී තිබෙන්නේ ඒ චරිතය රඟන්නටය. මම කිසිවක් නොකීවෙමි. සමහර තැනකදී නිශ්ශබ්දතාව වඩාත්ම දොඩමලුය! මගේ ඒ උපාය හරි ගියේය; සුනන්දම දෙවෙනි ප්‍රශ්නයත් ඇහුවේය.
“මොකද ඔයා ගොළු වෙලා?’
“ගොළු වෙලා නෙවෙයි... මම මේ කල්පනා කරනවා...”
“කල්පනා කරනවා...? මොනවද අප්පේ ඔය වයසට ඔය හැටි කල්පනා කරන්නේ...”
“වයසට කියන්නේ
ඔයාද මගේ පෙකණි වැල කැපුවේ?”
අනෙ අම්මෝ.... මේ රැජිනිට යන තරහක්.... |
“අනෙ අම්මෝ... මේ රැජිනිට යන තරහ!.... ෂේප්, ෂේප්... තරහ නැතිව කියන්නකෝ, ඔයා මොනවද ඔය හැටි කල්පනා කරන්නේ කියලා....” මගේ බොරු අමනාපය තේරුම් ගත්තා වගේ සුනන්ද හිනැහෙමින් කිව්වේය.
“ඔයාට කතා කරන්නේ කවුරුය කියලද කියලා මට හිතාගන්න බැරි වුණා තවම.....”
“ඒක කොහොමද ඔච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ....”
“මේකයිනේ.... දහනායක මහත්තයා ඔයාට සුනන්ද කිව්වට මාත් කොහොමද එහෙම කියන්නේ? ඔයාගෙ තරාතිරම- වයස- තත්ත්වේ සේරටම ගැළපෙන විදිහට බලලා එපාය කතා කරන්න ඕනේ.”
“ඔයා මරුනේ නිමාලි.... වෙන කෙල්ලෙක් නං ඔච්චර හිතන්නෙ නැහැ. බඃ ගාලා නම කියයි....”
“ංආ, ඔය අහු වෙන්නේ.... හොර ගෙඩියා. මෙයා මේ අනිත් කෙල්ලෝ ගොඩා...රියක් එක්ක කතා කරනවා වගේ නේද මාවත් කතාවට අල්ලා ගන්න හදන්නේ?” වචන එක එල්ලේ කිව්වත්, ඒවායේ බරපතළකම හෑල්ලු වෙන විදිහට ‘tone’ එක; කටහඬේ තානය හුරතල් කළාම හරිය.
“අනේ නැහැ නිමාලි. සත්තයි! මේ ඔයා වගේ එක්කෙනෙකුට කතා කරනවාමයි..... Mister දහනායකගෙන් අහන්න ඕනි නම්.”
“අනේ මම ඒ වැඩේට නං ආසම නෑ, ඒක හරි ජරා වැඩක්නේ.... එක-එක්කෙනාගෙන් තව අය ගැන අහන එක.”
වෙලාව ගත වෙනවා
අප දෙන්නාට දැනුණේ නැත.... |
පළමු කතාබහේදීම මං ලකුණු රැස් කරගත්තේ එහෙමය. අපේ කුළුඳුල් සංවාදය පැය බාගයකටත් වඩා ඇදිලා ගියේ අප දෙන්නාටම නොදැනීය. ඒ සංවාදය අවසන් වෙද්දී මම ඔහුට සුනන්ද කියා අමතන්නට පුරුදුවී සිටියෙමි. පසුවදාත් මට අමතන බව කියමිනි සුනන්ද විරාමයට එළැඹුණේ.
“සුනන්දත් හරි කතාකාරයා නේද, ඔයා වගේම.” දහනායක මහත්තයා ඇහුවේ මා කාමරයෙන් පිටතට එද්දීය. “මිනිහා ඔයාට මොනවද කිව්වේ?”
“... හෙටත් කතා කරන්නම් කිව්වා. දැන් අපිට ෆෝන් එකක් ගන්නයි සර් වෙන්නේ. අරහෙන් මහී, මෙහෙන් සුනන්ද.... දෙන්නටම මාත් එක්ක දිගට කතා කරන්න ඕනිලු.... විනාඩි දෙක තුන කතා කරලා මදිලු. ඉතින්... තිස්සෙම සර්ලට කරදර කරන්න .....”
“මොන කරදරයක්ද නිමල්.... සමහර වෙලාවට දවස් දෙක තුනකට සැරයක්වත් අපිට call එකක් එන එකක්යැ? කෝල් එකක් එන වෙලාවටවත් ඔයාලා වගේ කෙනෙක් ඇවිත් යන එක කොච්චර එකක්ද? අපිත් ඉතින් රස්සාව කරනවා තමයි. ඒත් මේ ළමයි එක්ක කතාබහක් කරන්න කියලය?” දහනායක සර් හීල්ලුවේය!
පහුගිය අවුරුදු කිහිපයේ නම් ළමා නිවාසයේ එහෙම පාළුවක් තිබ්බේ නැති තරම්ය.
දිදුල මන්තුජ
පුතාගේ උපන් දිනයදා............. |
ළමුන් 20-30ක් ඉන්නා තැනකින් එහෙම ඇහුණේ ඒ දරුවන්ගේ උපන් දින සාද පැවැත්වෙනවාට නොවේ. ඔබේ, මගේ වගේ අයගේ B’day සැමරෙන හින්දාය. පෙරේදා (2020.8.9) දිදුල මන්තුජ පුතාගේ උපන් දිනයයි. එදා සුපුරුදු විදිහටම; හැම අවුරුද්දකම කරන විදිහට දිදුලගේ මව්පියෝ ළමා නිවාසයේ ළමුන්ට දන් වේලක් පිරිනමා ඇවිත් ගෙදරදී පාටියකුත් දැම්මෝය.
“පව් නිමල් මාමේ, කොරෝනාවලින් පස්සේ ළමා නිවාසෙට ඉස්සර වගේ කට්ටිය එන්නෙත් නැහැල්ලු, මේ දවස්වල අඩුපාඩුත් ගොඩයිලු..... මිනිස්සු කැමති උයාගෙන ඇවිත් දානේ දීලා බර්ත්ඩේ කේක් එහෙම කපලා සංග්‍රහ කරන්නනේ.... බඩු ගෙනත් දීලා යන්න නෙවෙයිනේ...”
‘ඒ නිසාද කොහෙදය, ළඟකදී ඒ පැත්තෙන් අර සිංදුව ඇහුන්නැත්තේ’ මම සිතුවෙමි.
අලුත්
මැති-ඇමැතින් දිවුරුම් දෙන සුබ මොහොතේ....... |
“.... ඔව්, නිමල් මාමේ. ළමා නිවාසේ බෝඩ් එකකුත් එල්ලලා තියෙනවා ඕනි කරන දේවල්වල ලැයිස්තුවක් ලියලා.... පුළුවන් අයට ගෙනත් දෙන්නලු කියලා....” මටත් උපන් දින කේක් දෙමින් නිරෝෂා; දිදුලගේ අම්මා කීවාය!
අගෝස්තු 12 බදාදා අලුත් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන සුබ මුහුර්තයෙදී මම පිරිමි ළමා නිවාසයට ගියෙමි. වර්තමාන තත්ත්වය ගැන ලිව්වාට කමක් නැතිදැයි අහගන්නටය. දැන් නිවාසයේ පාලන කටයුතු කරන්නේ කේ.එම්. නිශාන්ත මහත්මායි. “බොරු නෙවෙයිනේ නිමල් මහත්තය කියන්න යන්නේ... කියෝපු කවුරු හරි උදව්වක් කළත් අපේ දරුවන්ටමනේ හොඳක් වෙන්නේ.”
වත්තේ පොල් කඩන්නට ගියත් මේ ලියන්නා නම් හතර මායිම හොයා බලන ජාතියේය. නිශාන්ත මහතාගෙනුත් ගොඩාක් දේවල් දැනගන්නට පුළුවන් වුණේ එහෙම නිසාය.
“අපි සල්ලි නම් මෙහාට භාර ගන්නෙම නෑ. වියළි ආහාර, අවශ්‍ය දේවල් විතරයි පිළිගන්නේ. එව්වාත් පොතක ලියලා, සහතික කරලයි ගන්නේ.....” පොඩි සංග්‍රහයකට ගන්නැයි මා ගෙනගිය බිස්කට් පෙට්ටියත් පොතේ ලියමින් නිශාන්ත මහතා කිව්වේය.
කමක් නෑ. කියවන
කාට හරි උදව්වක් කරන්න හිතුණොත්.......... |
“මම ආව දවසේ ඉඳලා නිවාසේ ළමයින්ගේ foto ගන්න ඉඩ දෙන්නෙ නෑ. උපන් දිනේකට සංග්‍රහයක් ගෙනාවත් කේක් කපලා, සිංදු කියලා එයාලට විතරක් සෙලිබ්රේට් කරන්න දෙන්නෙත් නැහැ. හැබැයි නිවාසේ ඉන්න හැම ළමයෙකුගේම උපන් දිනේ දවසට අපි පොඩි කේක් එකක් කපලා, තෑග්ගක් දීලා පුංචි උත්සවයක් ගන්නවා. එයාලත් දරුවොනේ...” නිශාන්ත කිව්වේ මගේ දෙනෙතටත් කඳුළු නංවමිනි.
“මම සර්ගේ නමයි, නිවාසයේ ටෙලිෆෝන් නොම්මරෙයි බ්ලොග් එකට දාන්නද, කාට හරි තව විස්තර ඕනි වුණොත් අහගන්න.” එහෙම අවසර අරගෙනය මේ ලියන්නේ.
පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානය, 213, පමුණුව පාර, මහරගම- එහි ලිපිනයයි. දුරකථනය: 0112 850 328ය.
ඒ ටික ලිව්වේ මගේ පරණ ණයෙන් ටිකාක් හරි ගෙවා දමන්නටත් එක්කය; කෙනෙකුට යහපතක් කරන්නට කැමත්තන්ට ඔත්තුවක් දෙන්නටත් ඒකකය!
හදවත ගැහෙන; නාඩි වැටෙන මනුස්සයෙකුට කන- බොන- අඳින පලඳින දේවල් විතරක් තිබිලා ඇතිද? අපට මනුස්ස ආස්සරේකුත් ඕනෑය! එහෙම නැතිව ගියෝතින් පිස්සු හැදෙනවා නේද?
අපිත් ඉතින්
හිරේක දාලා වගේ කොටු කරලා තමයි මේ රස්සාව කරද්දී.... |
“...ඒකනෙ නිමල්. අපිත් ඉතින් හිරේක දාලා වගේ කොටු කරලා තමයි මේ රස්සාව කරද්දී.... එහෙම එකේ වටපිටාවේ කෙනෙක් ආවාමත් සතුටක්... අපට ඇති කරදරයක් නෑ.... ඔයා ඇවිත් ෆෝන් එක පාවිච්චි කරන්න. ඔයා calls ගන්නවා නෙවෙයිනෙ. එයාලා ඔයාට කතා කරන එකනේ! වියදමක් යන එකක්යැ.....” එදා දහනායක මහත්තයා කිව්වේය.
එකල ළමා නිවාසයට යන-එන මගේ ගමන්, යළිදු වතාවක් සිය ගුණයකින් වැඩි වෙන්නට පටන් ගත්තේ එතැන ඉඳලාය.
“සුනන්ද මොනවද ඇහුවේ? මට හොඳටම ෂුවර් මිනිහා අද රෑට ආයෙමත් මට කතා කරනවා.... ඔයා ගැන අහන්න.... ඔයා මොනවද කිව්වේ?”
“එහෙම එක පාරටම විස්තර කියන්න හොඳ නැහැනෙ සර්. එතකොට කිසි ගතියක් නැතිව යනවනෙ. මම එයාට ගැඹුර දුන්නා... සර් එයාට කියන්න තියෙන්නේ අහන දෙයක් මගෙන්ම අහගන්න කියලා. එතකොට සර්ගේ ඇඟ බේරිලා... පස්සේ දවසක වුණත් සර්ට දෝෂාරෝපණයක් කරන්න සුනන්දට බැහැනේ....”
“පුදුමයි මනුස්සයා ඔයා එක්ක pal වෙච්චි එක.... මිනිහා කොල්ලෙකුත් නෙවෙයිනේ, තලත්තෑනි මනුස්සයෙක්නේ. ඔයාගේ වයසේ දරුවනුත් ඉන්නවා....”
පෙනෙන විදිහට
නම් සුනන්ද හොඳ උගතෙක් වගේ..... |
“හැබැයි සර්, සුනන්ද හොඳ උගත් මනුස්සයෙක්... කතා කරද්දී පෙනුණේ මට නම් එයාගෙනුත් ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා වගෙයි....”
“ඔව්, ඔව්. උගතා විතරක් නෙවෙයි, මිනිහා කවියා! ගිය සතියේ ‘ප්‍රියාවී’ පත්තරෙත් එයාගේ නිසඳැස් කවි පෙළක් වැටිලා තිබ්බලු!”
ඒ වනවිටත් පත්තර පිස්සෙකුවී හිටි මම, දවස නිවසෙන් පළවුණු ‘ප්‍රියාවී’ පත්තරයේත් නිත්‍ය පාඨකයෙක් වීමි. දහනායක මහතාගේ ඔත්තුව ඔස්සේ ගිය මට ඒ කවි පෙළ හොයාගැනීම චුට්ටක්වත් අමාරු වුණේ නැත. කවි පෙළෙන් කියැවුණේ හුදෙකලාවේ වේදනාව ගැනයි.
කවියා හිඳින්නේ සීත කඳුකරයක නොවේ. මුහුදු වෙරළක තනියෙන්මය; තැවෙමින්ය.
එදා රාත්‍රියේම මමත් එයට පිළිතුරු කවි පෙළක් ලිව්වෙමි. (අනේ, එම කවි පේළි දෙකෙන් එකක්වත් සුරැකිව තිබුණා නම්....)
මට හොඳටම මතකය. නසරානි මා හැකිතාක් සුමුදු වදනින්; ළගන්නා අයුරෙන්; ළබැඳි විලසින් ලියුවේ ‘ළඟක ඉන්නවා නම්.... ඔබේ හුදෙකලාව මකා දමන්නට ඇත්නම්...’ කියන අරුත දෙන විදිහටය. ඒවා ලිව්වෙත් හැකිතාක් පරෙස්සමින්, හැඩට-රුවට-පිළිවෙලටය.
එහෙම පරෙස්සමක් නොවුණත් කමක් නැතිය. මගේ අත් අකුරු රවුම්ය; පිළිවෙලය; ලස්සනය. ‘නිමල්ගෙ අකුරු කෙල්ලෙකුගේ වගෙ’ කියලාත් සමහරුන් ඒ දිනවල කියා තිබිණි. (ඒ කාරණයත් මගේ වාසියට- සුනන්දගේ අවාසියට හිටියේය. එහෙම දේවලුත් උදව්වී, පුංචි උගුලක් ඇටවුණේ නොහිතූ-නොපැතූ අයුරිනි.)
එයා හිටියේ
මුහුදු වෙරළක පට්ට තනියෙනි! |
අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. පත්තරයේ තිබුණු නමට, සුනන්ද සේවය කළ තැපැල් කන්තෝරුවට, පසුවදාම ඒ ලිපිය තැපැල් කළෙමි.
තුන්වෙනි වතාවේ මා ටෙලිෆෝනයට යනවිට සුනන්ද උන්නේ අකනිටාවටත් වඩා ඉහළිනි. “ඔයාව අදහන්න වටිනවනේ..... කවුද දන්නේ ඔයා කවිකාරියක්ය කියලා... ඒ මදිවට ඔයාගේ අකුරු... හෙර! ඊයේ නිකමටවත් කිව්වෙ නැහැනෙ ඔයා ලියුමකුත් එවපු බවක්...”
“ඉතින් එතකොටනේ ඔයාට වැඩියෙන් සතුටු හිතෙන්නේ...”
සුනන්දගෙත් මගෙත් කතන්දරය විතරක් කියාගෙන ගිහින් හරි යන්නේ නැත. මහී ගැනත් කිව යුතුය..... එහෙම නේද? පළමුවෙනි දවසෙම දහනායක මහත්තයා සුනන්ද ගැන කී තොරතුරු අනුව, ඔහු ගැන චිත්‍රයක් මවාගැනීම මට අපහසු වුණේ නැත. ඒත් මහී? ඒ මනුස්සයා ගැන කාගෙන් අහන්නද? මහී ගැන මොනම දෙයක්වත් නොදැන අඳුරේ අත-පත ගාමින් .....
ඒත් හිතට එකඟව ඇත්තම කියනවා නම්, මට වඩාත් සතුටක්; ප්‍රමෝදයක් දැනුණේ මහී සමඟ සංවාදයේ යෙදෙන විටය. සුනන්ද එක්කලා පැවැත්වුණු අරුත්බර කතාබහේදී නොවේ. මට හිතෙන්නේ එය මනුස්ස ස්වභාවය බවයි.
අපි ත්‍රාසයට කැමති වෙමු; කුතුහලයට කැමති වෙමු; අන්තරායන්ට මුහුණ පෑමට- අවිනිශ්චිත තත්ත්වයන්ට මුහුණ දීමට කැමැත්තෝ වෙමු. සමාවෙන්න. ඔබ එසේදැයි මා දන්නේ නැත. මා නම් එසේය.
හරි වැරදි
තීරණේ කරන්න මං දෙයියන්නාන්සේද? |
“ඉතින්...” මහී මුල පුරයි.
“ඉතින් කිතුල්
- නාකි පතුල්....” මම ඔලොක්කුවට කියමි.
“ඔහොම කියනකොට නම් ඔයාගේ චූටි කට තලන්නයි හිතෙන්නේ.....” මහී කිව්වේ හැඟුම්බර කෙළිලොල් හඬකිනි.
“ආාාාාාා හිතේ
ඇති!”
“ඇයි, එහෙම හිතුවම නරකද?”
“මම කවුද ඔයා හිතන දේවල හරි-වැරදි තීරණේ කරන්න.... දෙවියන්නාන්සේයැ? මං අහල නං තියෙනවා, ඔයාලා වගේ අය ඔය කටට එන පරක්කුවෙන් නිකමට කිව්වට, කරන්න වෙලාව ආවොත් කියන දේවල් කරන්නෙ නෑ කියලා....”
“කරන්නෙ නෑ කියලා? කරන්නෙ නෑ කියලා? මේ මහී නං එච්චර මෝඩ නැහැ බබෝ.... චුට්ටක් ඉඩ දීලා බලන්නකො කරන්නෙ නැද්ද කියලා.....”
“චීඊඊඊඊඊයා..
ඔන්න මං තියනවා......”
“එපා, එපා.... තියන්න එපා. ඕකනෙ කියන්නේ....මම නරක දෙයක් කිව්වද? වැරදි දෙයක් කිව්වද? ඔයා එක්ක බැහැනෙ, විහිළුවක්වත් කරන්න...”
මහීගේත් මගෙත් සංවාද ඔහොමය. ඒවායේ බරක් තිබ්බෙම නැතිය; හරයක්-අරුතක් තිබ්බෙම නැතිය. වෙලාව ගියා විතරය. එහෙත් ඒ කතාබහ එපා වෙන්නේ නැත; ඇතිවීමක් වෙන්නේ නැත. මහීට නිදහස තිබුණත් මට? බතික් වැඩපොළේ වැඩ තිබිණි; සුනන්ද එක්ක කතාබහටත් වෙලාව යොදාගන්නට තිබිණි.
කෙල්ල එහෙනං
මගෙ ගැනත් හිතනවා..... |
“මේ, මහී. ඔයාට මෙහෙම පැය ගණන් මාත් එක්ක කතා කරන්න ගියාම හොඳ බිලක් එයි නේද?” අන්තිමේදී මට කියැවිණි.
“කෙල්ල එහෙනං මගේ ගැනත් කරුණාවෙන් හිතනවා.....”
“පිස්සු.... මං ඇහුවේ.....”
“හරි, හරි. මම ඔයාට කියන්නම්කො. මම වැඩ කරන්නේ රේල්වේ ටෙලිෆෝන් එක්ස්චේන්ජ් එකේ..... මරදානේ.....”
ඒ දවස්වල මා දැනගෙන හිටි ටෙලිෆෝන් එක්ස්චේන්ජ් එකක් නැතිය. අන්ද-මන්දවී මොහොතකට මා නිහඬවූ බැවින් මහීටත් ඒ බව වැටහුණා විය යුතුය.
“මෙහෙමයි. එදා ඔයා දෙමටගොඩ රේල්වේ වැඩපොළට කතා කළා නේද? ඔයා කෝල් එක ගත්තම කෙළින්ම ඒක එන්නේ මෙහෙට. ඊළඟට අපෙන් කෙනෙක් ඒ ලයින් එක දෙමටගොඩට කනෙක්ට් කරනවා.... එතකොටයි ඔයාට එහාට කතා කරන්න පුළුවන් වෙන්නේ...” මහී දුරකථන හුවමාරු මධ්‍යස්ථානයක තොරතුරු සේරම මට කියා දුන්නේය. එදා, අවුරුදු 45කට එහා මට අරුමැසි දෙයක් වුණු ඒ තාක්ෂණික කරුණු අද රහස් නොවේ..... අද ඊට වඩා පුදුම හිතෙන දේවල් නූතන ලෝකයට දායාදවී තිබෙයි!
“ඒක තමයි මේ මහත්තයා හිතෙන-හිතෙන හැම තිස්සෙම එක-එක්කෙනා එක්ක නිදහසේ කදේ ගහන්නේ.... කොච්චර කෝල්ස් ගත්තත් සල්ලි වියදම් වෙන්නෑනෙ.....”
පාඩුවක් වුණත් ඔයා වගේ කෙනෙක් එක්ක කතා කරන්න තියන chance එක.... (කියන පමාවෙන් මේ fotos හොයා එවූ 'කොලොම්පුරේ' අසංගට පින්!) |
“මට ගෙවන්න වෙන්නෙ නැහැ තමයි. ඒත් මම duty පිට ඉන්න නිසා මගේ job එකත් කරන්න වෙනවා..... එතකොට තමයි මම ඔයාට චුට්ටක් ඉන්න කියලා කියන්නේ....”
“අනේ, ඔයාගේ වැඩත් පාඩු කරගෙන....”
“පිස්සුද නිමා? මොන පාඩුවක්ද? පාඩුවක් වුණත් ඔයා වගේ කෙනෙක් එක්ක කතා කරන්න තියන chance එක miss කරගන්නවද මං?”
“ඔව්, ඔව්. අඳුරන්නේවත් නැති කෙල්ලෝ එක්ක ආණ්ඩුවේ වියදමෙන්ම වරු ගණන් ටෙලිෆෝන් කර-කර ඉන්නවට මෙයාට පඩිත් ගෙවනවනෙ....”
“මොකක්ද වස්තුවේ.... තිස්සෙම එල්ලෙන්න හදන්නේ.....”
“එල්ලෙන්න..... එල්ලෙන්න මං.........”
නිමල් මහත්තයාත් තරුණ කාලේ හොඳ හොඳ නාඩගම් නටලා තියන බව නම් පේනවා. ඔයා කවුද කියලා දැනගත්තාම මේ දෙන්නා සියදිවි නසා ගන්න නොහිතුනා නම් පුදුමයි.
ReplyDeleteඅද නම් මට (පළමුවෙනියා වෙන්න) තරඟයක් දෙන්න කෙනෙක් නැහැ. තාම ලංකාවේ වෙලාව පාන්දර තුනයි විස්සයි.
තරුණ කාලේ විතරක් නොවෙයි සෑම් මහත්තයෝ. ජීවිතේම එක විදිහක සෙල්ලමක් වගෙයි නේද? හැමෝගෙම.... මට ටිකක් වැඩියෙන් නටන්න පිට්ටනි ලැබෙන්නැති.
Deleteකම්පියුටරේ ලෙඩ දුන්නා. සතියක් විතර වැඩ නතර වුණා. හදලා ගිය ගමන්ම නුපුරුදු වෙලාවක post එක පබ්ලිෂ් කළ ඒකත් ඔයාට වාසියට හිටියා, එහෙනං.
loneliness කියන්නෙ කොයි තරම් ලොකු issue එකක්ද කියල මම මේක කියවනගමන් හිතුවෙ. තනියම (single) ඉන්න අයටත් වඩා marriages ඇතුලෙ lonely වෙල ඉන්න අය වැඩිද මන්ද. Self love කියන එක අපි වැඩි දෙනෙක් practise කරන්නෙ නැති නිසා හැම වෙලේම හිතන්නෙ පිටින් කෙනෙක් ඇවිල්ලා අපේ තනි කම නැති කරයි කියලා. අන්තිමට රැවටිලා විතරයි.
ReplyDeleteඅනේ මහත්තයෝ, හරිම දුකයි මට නම් මිනිසුන් තනිවෙලා- කොටුවෙලා- හිරවෙලා ඉන්න හැටි දැක්කම. විහින් ....
Deleteඅපේ සතුට තියෙන්නේ කොහොමද තව කාගේ හරි ළඟ. ඒක තියෙන්නේ මගේ ළඟ. හැබැයි ඒක දැනෙන්න පටන් ගන්නේ අවංකවම තව ජීවීන්ට- ගහකොළට- පරිසරයට සමීප වෙනකොට නේද?
ඔයා 'ප්‍රමුදිත ජීවිතයක්' පොත කියෙව්වාද? දලයි ලාමාතුමන් හා ඩෙස්මන්ඩ් ටුටු දෙදෙනාගේ විශේෂ හමුවක සටහන් පොත. The Book of Joy' පොතේ පරිවර්තනය.
Deleteපොත ගැන කිව්වට ස්තුතියි නිමල්. වහාම order කලා අපේ library එකෙන්. අපි ඉන්න state එකේ මේ දවස්වල covid restrictions නිසා online බලන්න order කලා. බොහොම ස්තුතියි.
Deleteමට පොඩ්ඩක් හොල්මන්. මීටරේ අප්සෙට්ද කොහෙද? මේ නිමාලි කියල ලියන්නේ අලුත් නවකතාවක්ද ? එහෙනම් මේ ළමා නිවාස ගැනත් ලියල තියෙන්නේ?
ReplyDeleteඅජීත් මහත්තයාට පළමුවෙනි කොටස මග හැරෙන්න ඇති වගේ. මේ ඔකොම ජීවිත නවකතාවේම කොටස්....
DeleteAndeema kalawaknam Nimal/Nimalee ehi Picasso ya. Ohoma yang (Wijebahu)
ReplyDeleteඔන්න විජේබාහු මහත්තයෝ, ඔබතුමාගේ කමෙන්ට් එක සංවර්ධනාත්මක විවේචනයක්; කාරුණිකව කෙරෙන දිරිගන්වන ඇනුමක් විදිහට බාරගත්තා. ස්තුතියි!
Deleteනිමල් නිමාලි උනා එහෙනම්.... දැන් කාලේ තාක්ෂනේ දියුනු හින්දා ඔය වැඩ කරන්න අමාරුයි.
ReplyDeleteඔයා හරියටම හරි අසංග..... ඒ නිසාමයි මේවාත් ලියලා තියන්න ඕනි අත්දැකීම් හැටියට මට හිතුණේ.
Deleteනිකමට හිතන්නකෝ මේ තාක්ෂණ දියුණුව එදා තිබ්බා නම් රවීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ 'නෞකා ඩුබී' - සිංහල 'මංගල යාත්‍රාව' වගේ පොතක් ලියවෙයිද?
“Sometimes we have to try on a few different personalities before we find ourselves.”
ReplyDelete― Lindsey Kelk
Pra Jay මහත්තයෝ, ඔහොම හැම ක්ෂේත්‍රයකම හැකිතාක් ගවේශනාත්මක වීම හැම විටම නැණස පාදනවා නේද...
ReplyDeleteමං ඇවිත් කියවද්දි පෙරහැර ගිහිං...
ReplyDeleteමේ පෝස්ටුව කියවා අසල්වැසි පිරිමි ළමා නිවාසයේ අවශ්‍යතාවන් දැනගත් කිහිප දෙනෙක්ම කණ්ඩායම් වශයෙන් එකමුතුවී, සෑහෙන ද්‍රව්‍ය තොගයක් ගෙනවුත් පිරිනැමූ බව නිවාසයෙ ප්‍රධාන පාලක මහත්මා, ඊයේ (2020 අගෝස්තු 19) බෙහවින් ස්තුතිවන්ත වෙමින් මට කිව්වා.
ReplyDeleteඒ හැම දෙනාටම මාත් ස්තුතිවන්ත වෙනවා, නිදිගෙ පංච තන්තරේ අඩවියෙන් එහෙම යහපත් කටයුත්තකටත් සම්මාදම් වෙන්නට ලැබීම වෙනුවෙන්!