li Item

Wednesday, March 3, 2021

අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස

තමන්ට සුදුසු රූප ශ්‍රීයෙන් අගතැන්පත් පංච කල්‍යාණියන් දෙදෙනෙකු සොයා දුන මැනවැයි.... 

‘දඹදිව් තලෙහි බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි එක්තරා කෙළඹි ගමක කුමාරවරු දෙදෙනෙක් වාසය කරන්නාහ.

මේ කුමරුවන් දෙදෙනා සියලු ශිල්ප ශාස්ත්‍රයෙහි නිපුන් ව සුදුසු කළ වයසට එලඹෙන්නේ ඔවුනගේ දෙමාපියන්ගේ බලවත් පෙරැත්තය නිසාම සරණ බන්ධනයන්ට ඇතුලත් වීමට සිතා තමන්ට සුදුසු රූප ශ්‍රීයෙන් අගතැන්පත් පංච කල්‍යාණියන් දෙදෙනෙකු සොයා දුන මැනවැයි එක්තරා ධූර්තයෙකුහට වස්තු දී ඉල්ලා සිටියෝය.... එකල කුමාරවරු නම් මෙකල ඩ්‍රැකී හා ලොකු මල්ලී වන මම ම වම්හ... 

.... ... ... එකල ධූර්තයෙකුව සිට පංචකල්‍යාණියන් මාරු කොට කරකාර බන්දවා දුන් හෙයින් මෙකල එම ධූර්තයානෝ රහමෙර දෙස බැලීමෙන් පවා අපුලක් ඉපදවෙන නොනිළ වශයෙන් කෙසේ වතුදු නිළ වශයෙන් තනිකඩ ජීවිතයක් ගෙවන ලොකා මහතා වීය.
මෙසේ එක් වැරැද්දකින් පවා සසර තුල මහත් අනිටු ප්‍රතිපලවලට ගොදුරු විය හැකි බැවින් සසරට භය ඇතිකරගෙන වාසය කළ යුතු වන්නේය.
(ඔය මැද්දෙ හිස් තියෙන්නෙ ඩ්‍රැකීටයි
, ලොකාටයි තව ඕන කෙනෙකුටයි පුරවා ගන්ඩය.)

ලෙහෙසියෙන් කෙනෙකුට නොලැබෙන ‘පුබ්බේ නිවාසානුස්සති ඥානය’ ලබාගත්තු කට්ටකාඩුවේ ලොකු මල්ලී උන්නැහේ, මගේ පෙර කළ අකුසලයක් හොයාගෙනය; කට්ටකාඩුවේ ලොකූ ඒ කාරණාව ‘පතාගෙන ඇවිත් -9’ පෝස්ටුවට comment එකක් ලියමින්ය කියලා තිබ්බේ. ඒක සුළුකොට තැකිය යුතු අකුසලයක් නොවන්නේමය; ආත්ම ගණනාවක් පටිසන් දෙනවාත් වෙන්නැතිය. 

ඔය විත්තිය මං වහන්සේ කොල්ලා කාලයේ දැනගෙන හිටියා නං.....! කීයටවත් ‘අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති...’ පෝස්ටුව ලියවෙන නිමිත්ත මට නොලැබෙන්නට ඉඩ තිබිණි. 

එහෙම වුණා නම්, එදා අපේ තාත්තාගේ තර්ජනාංගුලිය ඉස්සරහදී- මා ගින්නට හසුවී හේබාලා ගිය ළපටි කෙහෙල් දල්ලක් නොවී ඉන්නවා සිකුරුය;
අහිංසක පාසල් පෙම්වතුන් යුවලක් ගැන ‘ගිරවා සේ’ නොකියා ඉන්නට මේ මැටිමෝල් දිසානායක එඩිතර වෙනවා සිකුරුය. දැන් ඉතිං මක් කරන්නද? ඒවා සේරම සිද්දවී අහවරය.

මේ ආත්මයේ අනුන්ගේ මඟුල්වලටකරලා තියෙන අප්‍රමාණ උදව්වල හැටියට ලබන ආත්මයේ....

හැබැයි, මේ දිසානායක- මේ ආත්මයේ ‘අනුන්ගේ මඟුල්වලට’ කරලා තියෙන අප්‍රමාණ උදව්වල හැටියට ලබන ආත්මයේ ‘සූසැට කෙලක් දිවියාංගනාවන්’ ලබනවාට කිසිම සැකයක් නැත්තේමය! මතකයි නේද, මා පිළිබඳ සිතැතිව හිටි ‘අනූ’ කෙරෙහි උපන් දයාවෙන් යුතුව මංගල යෝජනාවක් කළ හැටි. එවැනි උදව් කරන්නට මොහොතක්වත් පැකිළෙන්නේ මේ පුතයා නොවේ. 

මං සුසිලාට කරන්නට හැදුවෙත් එහෙම උපකාරයකි!

“බලපන් බං.... මම අරයට සිය පාරකටත් වැඩියෙන් අඬගැහැව්වා උඹව හම්බ වෙන්න එමු කියලා.... මළ කෝලම කියනවා ලජ්ජයිලු! දැන් මොකක්ද දිසානායක කරන්නේ?” සුසිලා පස්සේ දවසක මා හමු වන්නට ඇවිත් කිව්වාය.

මට ‘අන්දොස්’ ගැන කල්පනා වුණේ එතකොටය! ඒ විත්තියක් මං සුසිලාට කීවේ නැත!!

අන්දොස්ලා හිටියේ සුසිලලාගේ පරණ මහගෙදරය. අලුතෙන් ගෙයක් හදාගත්තාට පස්සෙත් ඒ කුඩා නිවස කඩා-බිඳ දමන්නට අම්මා සුසිලා කැමති වුණේ නැත.
“මේ ගොල්ලෝ දන්නවද පුතෝ, ඒ ගේ පොඩ්ඩේ සිරියාව? අපි දෙන්නා කසාද බැඳලා ඔය ගෙදරට ආවත් හරි, කිරි ඉතිරෙන්න පටන් ගත්තා... එච්චර වාසනාවන්ත තැනක් ආයෙම මහ පොළොවට සමතලා කරලා දාන්න ලෝබයි නිමල් පුතේ.... ඒක මිසක්, ඔය ගේ පොඩ්ඩ කුලියට දීලා මට පතා සීයක් හම්බ වෙනවා කියලද?”
පැරැණි ගේ කඩනවාට විරුද්ධව, අම්මා සුසිලා නිදහසට කරුණු කිව්වේ එහෙමය.

ඒ දවස්වල, ඒ ගේ පොඩියේ පදිංචි වී හිටියේ අන්දොස්ලාය.
මට හමුවී ඇති සිරියාවන්තම පිරිසෙන්, අන්දොස්ට හිමිවෙන්නේ ඉහළම තැනකි. එයාලාගේ පවුලේ අනෙක් අය ගැන යන්තම්වත් මතකයක් දැන් මට නැතත්, අදටත් අන්දොස්ගේ හිනා මුහුණ නම් හොඳින් මතකය.

අන්දොස් ඒ දවස්වල රස්සාව කළෙත්, අපේ ‘දීපානි බතික්’ වැඩපොළේය. 
ඒ හාදයාට ලස්සන නමක් තිබුණත් අපේ කවුරුනුත් පාවිච්චි කළේ ඒ නම නොවේ. එහෙම වුණේ ඒ කොල්ලා වචන දහයක් කියනකොට එක වතාවක් හරි ‘අන්දොස්’ කියලාත් කියවෙන හින්දාය.

අප හිටියේ රංගල- Knuckles Edge නවාතැනේය.

පහුගිය දවස් තුනේ; පෙබරවාරි 26,27,28 දවස්වල අප හිටියේ රංගල- නකල්ස් එජ් නවාතැනේය. අවුරුදු 20-30ක් තිස්සේ එකට සංචාරයේ යෙදුණු අපේ පිරිසෙන් 14 දෙනෙකුම මේ ගමනට එකතු වී සිටියෝය. Knuckles Edge තරමක් මිල වැඩි නවාතැනක් වුවත්, මටත් තව මිතුරන් කිහිප දෙනෙකුටත් සතයක්වත් ගෙවන්නට සිදු වුණේ නැත.

ඒ ඇති-පැති මිතුරන් කිහිප දෙනා විසින් අපේ අනුග්‍රාහකත්වය දැරිය යුතු බව WAL ප්‍රියන්ත හිතවතා යෝජනා කර තිබූ බැවිනි. ඒ යෝජනාව ඒකමතිකව සම්මත කොටගෙන, අප කිහිප දෙනෙකුගේම බරපැන දැරූ සුහද මිතුරනි, ඔබ සැමටම ගොඩාරියක් ස්තුතියි!   

Knuckles Edge සොඳුරු පියසේ නැවතී සිටි අපට ගෙදරදීවත් නොලැබෙන තරමට සැලකිලි ලැබිණි. “.... අපේ ටාර්ගට් එක ‘එක සැරයක් මෙහාට ආව ගෙස්ට්ස්ලා ඊළඟ පාරත් මෙහාටම ගෙන්නා ගන්න එක’යි. දැනටත් වැඩියෙන්ම මෙහාට එන්නෙ රිපීටර්ස්ලා!” සියලු මෙහෙයුම් කරවන අතරේ තමනුත් ඒවාට හවුල් වෙන දුෂාන් කීවේය.

කාර්ය මණ්ඩලයේ මුරලි- රොෂාන් හා මධුෂ්, දුෂාන් මහතාගේ ඒ අරමුණ ඉටු කරගන්නට සහාය වුණේ, අප කාගේත් සිත් දිනා ගනිමිනි.

28 වෙනිදා ආපසු එද්දී නම්, දොස්තර අයස්මන්ත මහත්තයාට ලෙඩක් වැටිලා තිබිණි. ලෙඩේ දැම්මේ අපේ නඩේම සාමාජිකයෙකි. කරටිය කැඩෙන්නට ගහලා හිටි ‘ඔහු’ නවාතැනේ කාර්ය මණ්ඩලයේ දුෂාන්, මුරලි, රොෂාන්, හා මධුෂ් එක්කලා මං වහන්සේ කතා කරමින් හිටි තැනට කඩා පාත් වුණේය; එයාත් කතාවට මැදිවී දාහක් දේවල් දිගටම කියෙව්වේ, අප පස් දෙනාටම කටක් අරින්නට ඉඩ නොදෙමිනි.

කාර්ය මණ්ඩලයේ මධුෂ්, මුරලි, පාලක දුෂාන් හා රොෂාන් එක්කලා කතා කරමින් ඉඳිද්දී....

“මල්ලිලා.... කාට හරි ඇහැක මොකාක් හරි අප්සට් එකක් තියෙනවා නං... අපේ අයස්මන්ත මහත්තයා ඉන්නවා.... ෆස්ට් ක්ලාස් ඇස් දොස්තර මහත්තයෙක්. එයාට කියමු.... ලජ්ජා වෙන්න ඕනි නෑ.”

ඒකෙන් ඇදුණු ලොතරැයිය ගැන දොස්තර මහත්තයා හිටියේ ළතැවිල්ලෙනි.

“ඇයි මචං මටම මෙහෙම වෙන්නේ? හැමදාම ලෙඩ්ඩුන්ගේ ඇස් බල-බලා ඉඳලා ටිකක් relax වෙන්න බලාගෙන මෙහෙම කැලේකට ආවමත් මං ඒකම කරන්න ඕනිද? ඇයි මචං, එහෙම ඇස් බලනවා නං ඒක හරියට කරන්නත් ඕනි නේද? ඉක්විප්මන්ට්ස්  නැතුව- මගේ area එකෙනුත් පිට...” 

එහෙම කිව්වත් පිටත්වී එන ගමනෙදී, මඟ රැකගෙන හිටි රෝගීන් දෙදෙනාව බලන්නටත් අයස්මන්ත මහතා පසුබට නොවුණේය.

“පීරිස්, මට කල්පනා වුණේ ඔයා දෙමළ කතා කරන්න බැරිව හිටියා නං කොහොම වෙන්න තිබ්බද කියලයි!” මට කියැවුණේ දොස්තර මහත්තයා රෝගීන් දෙන්නා එක්ක දෙමළ බසින් සංවාදයේ යෙදී, ‘වාරෙන්’ කියලා පිටත් වෙද්දීය.
එතැනින් අපේ සංවාදය හැරුණේ සමුගන්නා විටෙක කියවෙන වදන්වලටයි. “මම එයාලට දෙමළෙන් කිව්වෙ  ‘වාරෙන්- එන්නම්’ කියලයි. ඒ කියන්නේ ‘පොයිට්ටු වාරෙන්- ගිහින් එන්නං’ කියන එක කෙටියෙන්...”

“සිංහලෙන් වුණත් යන්නං කියන්නේ නැති සිරිතක් තියෙනවනෙ. ගිහිල්ලා එන්නං කියල නේද කියන්නේ!” වළන් කඩේ සම්පත් ඇහුවේය. 

“එන්නං කිව්වට, ඒකත් කියන්න වෙන්නේ හිතල බලලයි මචං... දවසක් මරණ ගෙදරකට ගිහින් එන්න හදනකොටත් මට පුරුද්දට කියවුණානෙ ‘ගිහිල්ල එන්නම්’ කියල. ඒ මිනිස්සුන්ගේ මූණ නරක් වුණා, ඒක කියපු ගමන්....”

හැමදාම ලෙඩ්ඩුන්ගේ ඇස් බල-බලා ඉඳලා ටිකක් relax වෙන්න බලාගෙන මෙහෙම කැලේකට ආවමත්...

“ඇයි පීරෝ, ඒක හරියට තව මරණ ගෙදරකට එන්නං කියනවා වගෙයිනෙ! මේ, මේ, මෙන්න මචං මේකා අපේ කතාව අස්සේ, ඒ කතාවත් note කරගන්නවා මුගෙ blog එකට ලියන්නද කොහෙද....” සම්පත් කේලම කියද්දී මර්විනුත් හුරේ දැම්මේය.

වංගු වැඩි- කඳුකර පටු පාරක හින්දාදෝ නෙවිල් අපට අවධානය දුන්නේ ඉඳහිට විතරය. සුක්කානම තිබ්බේ එයා අතේය!

යමක් අමතක වෙන්නට පෙරාතුව මං කෙටියෙන් හරි සටහනක් තියාගන්නේ අපූරු කතන්දරවලය. ඒවා මගේ උනන්දුව දල්වාලයි! රසික ඔබට?
අන්දොස් කතන්දරයත් එහෙමය. පළමු වතාවට ඒ යෙදුම මගේ කණට වැටුණේ අන්දොස්ගෙනි. එනිසාම අන්දොස් මගේ හිතටත් වැටුණේය; රැඳුණේය.

“අන්දොස්.... මට තියෙනවා කොල්ලෙක් ගැන හොයාගන්න....” නිදහස් වෙලාවක මම ඒ හාදයාට කීවෙමි.
‘ඒ මොකටද?’ කියලා නොවේ; එතකොට අන්දොස් ඇහුවේ. ‘කවුද නිමල් අයියේ?’ කියලාය.

“ඔයාලගේ සුසිලක්කලගෙ ගෙදරින් කෑම ගන්න හාදයෙක්... xxxxx එකේ වැඩ කරන කොල්ලෙක්. ෆුට් සයිකලේක යන සුදු ලස්සන හාදයා....”
“ඇයි නිමල් අයියේ, ඌ ඔයාට පොල්ලක්වත් තිබ්බද? ඌ මහ අන්දොස් පොර!”
“මට පොලු තියලා නෙවෙයි මිනිහෝ.... මම දන්න කෙනෙකුට එයා ගැන විස්තර ටිකක් ඕනි වෙලා හොයනවා.... ඒකයි.”

ඌ සුසිලක්කව මෝරා කරගෙන ඉන්නේ....

අන්දොස් වටපිට බැලුවේය; කටහඬ බාල කළේය. “මිනිහට තව මඟුලක්වත්ද? නිමල් අයියා සුසිලක්කගෙන් අහගන්ඩකෝ! හැබැයි මම කිව්වා කියලා නං කියන්න එපා ඔන්න, මාර අන්දොස් කේස් එකක් වෙයි. අපිව ගෙදරිනුත් එළියට දායි!!”

“ඒ මොකෝ... සුසිලක්කා ඒ කොල්ලව අඳුරනවද?”
“අඳුරනවද කියලත් අහනවා ! පව් වැඩේ නිමල් අයියේ! ඌ සුසිලක්කව මෝරා කරගෙන ඉන්නේ.... අපිත් නොදන්න ගාණට ඉන්නේ... ඌ සල්ලි දීලා කෑම ගන්නවා වුණාට, ඒ සල්ලි ඌට දෙන්නෙත් සුසිලක්කා.... ඌ නියමෙට සුද්දෙ දානවා. මහා අන්දොස් වැඩ!”

“දෙන්නා යාළුයිද?”
“යාළුකමක් නැත්තං අක්කා ඌට සල්ලිත් දෙයියැ? ඌ හැන්ඩියා හින්දා, පමුණුවේම තව කෙල්ලො දෙතුන් දෙනෙක්මත් දාගෙන ඉන්නේ... සුසිලක්කලා දන්නෑ වගෙයි.”

“මට ඒ හාදයාව බලාගන්න ඕනි. මම කොහොමද.... ඒ කොල්ලව බලා ගන්නේ?” මම අන්දොස්ගෙන් ඇසුවෙමි.
“නිමල් අයියට උදේ හත වෙද්දී සුබසාධක පාර ගාවට එන්න පුළුවනි නං, මාත් එන්නම්.... ඒ වෙලාවට තමා පොර වැඩට යන්නෙ... මාත් එක්කත් fit... මං ඌව නවත්තගෙන කතාත් කරන්නං අයියට පොරව පෙන්නලා විතරක් මදි නං.....”

අන්දොස්ගේත්- මගෙත් සුමන්ත්‍රණය ක්‍රියාවට නැංවුණේය.
ඉගිල්ලීගෙන පාපැදියෙන් ආ කොල්ලාව නවත්තාගන්නට අන්දොස්ට හැකි වුණේය. ඔවුන්ගේ කෙටි කතාබහට කන්දීගෙන හිටිද්දී මට තේරුම් ගියේ එකකි. කොල්ලා පිංගුත්තරයෙකි; අංකූරෙකි!
දැන් නම් සුසිලාට ‘ප්‍රේමවන්ත අනංගයා’ ගැන ඇත්තම කියන එක හොඳය. දැන-දැනම හිතවතියකට අමාරුවේ වැටෙන්නට ඉඩ හැරිය හැකිද?

සුසිලා කිව්වේ අකම්පාල වෙමින්ය!

“මොකක්ද සුසිලො.... තමුසෙගෙ හැන්ඩියා කල්ලතෝනියෙක්ද.... නැත්තන් පොකට් ගහන එකෙක්ද මෙච්චර හැංගිමුත්තන් කරන්නේ.... තමුසෙලට සපෝට් කරන්න හදන මාව හරි හම්බ වෙන්න නොඑන්නේ... නියම ආදරයක් තියෙන කෙනෙක් නම්, මේ වෙලාවේ මඟාරින එකද කරන්නේ.... පෙ-නෙ-න වි-දි-හ-ට නං....”      

“මටත් තේරෙන්නේ නැතිව නෙවෙයි දිසානායක.... එයා දැන් මාවත් මඟාරිනවා.... අපේ ගෙදරින් කෑම ගන්න එකත් නැවැත්තුවා....” සුසිලා කිව්වේ අකම්පාල වෙමින්ය; ලේන්සුවෙන් ඇස්වල තෙතමාත්තු කරමිනි.
“දැන් මොකක්ද කියහන් නිමල්, මම කරන්න ඕනේ!”

“මේකයි කාරණේ. අපි දෙන්නම හොඳටම දන්නවනෙ ඔයාලා තාත්ත ඔයාලට කොච්චර ආදරේද කියලා.... කවදාවත්ම එයා ඔයාලට නරකක් වෙන්න දෙන මිනිහෙක් නෙවෙයිනේ... නේද?” මම ඇසුවෙමි.

“ඒක නම් ඇත්ත තමයි බං. ඒත් මට අර ජූතකයා දකිනකොටත් තරහ යනවනෙ නිමල්....”
“හරි.... එච්චරටම උඹට ඒ මිනිහව අල්ලන්නෙ නැතිනං අපි ඔයාලගේ තාත්තට කියමුද වෙන කෙනෙක් ගැන බලන්නය කියලා...” දැන් නම් සුසිලාගෙන්මය, අදහසක් පිට කරවාගත යුත්තේ. මගේ උත්සාහය ඒකටය.

“හරි... මම කියන්නද වැඩක්...” හිටි ගමන් සුසිලාගෙ කටට පණ ඇවිත්ය.
“තමුසෙටම තමයි සුසිලෝ දැන් කියන්න තියෙන්නේ.... මම මොනව කියන්නද. ප්‍රධාන නිළිය තමුසෙනේ!” මා කීවේ රඟමිනි. එහෙම දේවල්වලින් පවතින දුඹුල් වාතාවරණය ලිහිල් වෙයි.

“... දිසානායකට බැරිද ඔය මිනිහව හම්බ වෙලා බලන්න....”
“ මම!...... බලලා?”

කෙනෙකු ලොකු මහත් වෙනතුරු ඒ ජීවියා ගැන තීරණ ගැනීම වැඩිහිටියන් විසින් කළත්....

“උඹත් බලලා කියපන්කො, මිනිහව මට ගැළපෙනවද කියලා.....”
“මම කිව්වට හරි යයිද සුසිලො.... එයාව කසාද බැඳගන්න යන්නේ මම නෙවෙයිනෙ....” මම කීවෙමි. ඒත් වැනෙන ස්වරයකිනි; හරියට ‘හා, මම ගිහින් මනමාලයාව බලලා එන්නංකො එහෙමනං’ කියන්නා වගෙ tone එකකිනි. දැන් පෙනෙන විදිහට ‘මනාලයා’ ගැන සුසිලාට තියෙන්නේ දෙගිඩියාවක් මිස සාධාරණ නොරිස්සුමක් නොවේ.

“තමුසෙ ඇත්තටම නේද ඔය කියන්නේ?”

“සත්තකටම.... උඹටත් හිතෙනවා නම් මිනිහව මට හරි යනවා කියලා මම මිනිහව බඳින්නං. එතකොට සේරම හරිනෙ?”
“මේ, මේ, මේ. උඹ මාවත් අමාරුවේ දාන්න වගෙයිනෙ ඔහොම හරහට කතා කරන්නේ.... තරහෙන් ඉන්න ගමන් කොහොමද බං කරන්න ඕනි දේවල් තේරෙන්නෙ.... මූණට තරහට නහය කපාගන්න තරම් කලබල වෙලා හරි යන්නේ නෑ සුසිලා....”

ඇත්තම කියනවා නම්, මගේ හිතිවිල්ල ‘කෙනෙකු වැඩිහිටියෙකුවූ පසු තම-තමා ගැන තීරණ ගත යුත්තේ තම-තමා විසින්මය’ කියන එකය. එහෙව් එකේ සුසිලාට ඒ මනමාලයා ගැළපෙනවා යැයි මා තීරණය කරන්නේ කෙලෙසකද?
අතුරේ යන්නට මං බය නැත. ඒත් තවත් කෙනෙකු අතුරේ යැවීමට නම් මම බිය වන්නෙමි.

“නෑ, නෑ. උඹ බය වෙන්න එපා. අරයාත් කෙළින් තීරණයක් ගන්නැතුව මඟ අරින එකේ, මට හිතුණා උඹත් කියනවා නං මේ කසාදේ කරගෙන බලන්න.... මම දන්නවා, උඹ අපි කාටවත් නරකක් කරන්නෙ නැති විත්තිය.... කසාදෙ හරි ගියොත් එහෙමයි.... නැති වුණොත්....” සුසිලා කියන්නේ වැනෙනසුලු අයුරකින් නොවේ; තිරසර හඬකිනි.
දැන් පසුබට වෙන්නේ මගේ හිතයි!

මගේ ඉහපිට කඩා වැටෙන්නට යන්නේ පුදුම මරාලයකි.

“සුසිලා... අපි හෙමිහිට තීරණේ කරමු බං.... හදිස්සියක් නැහැනෙ... උඹ කිව්ව පළියට කොහොමද මම එයාව හම්බ වෙන්නේ... හම්බ වුණාට විතරක් ඇතැයි? ටිකක් කතාබහ කරලා ඕනි නේද, මනුස්සයා ගැන දැනගන්න වෙන්නේ....”

මා කිව්වේ මට පෙනුණු බාධක ගැනය.
“ඒකට බය වෙන්න එපා. මම තාත්තට කියන්නං උඹත් එයාව බලලා ඉන්න ඕනිය කියලා. එතකොට තාත්තා මොකක් හරි කරයිනේ...”

“හරි! ඒ කියන්නේ මම මිනිහව හොඳයි කිව්වොත්, උඹ එයාව බඳිනවා. හොඳයි, බැන්දට පස්සේ උඹට හිතුණොත් මිනිහව ගැළපෙන්නෙ නෑ කියලා....?” මං ඇහුවේ බැරෑරුම් ස්වරයෙනි.
“එහෙම වුණෝතින් එතකොටත් උඹම තමයි මට උදව් වෙන්න ඕනි.” සුසිලාත් එවැනිම බැරෑරුම් ස්වරයකින් කීවාය.

‘මොන මඟුලක්ද මේ කියන්නේ?’ මට හිතුණේ එහෙමය. මේ මගේ ඉහපිට කඩා වැටෙන්නට යන්නේ අහක යන මරාලයකි.

“මං කොහොමද සුසිලො, තමුසෙට උදව් වෙන්නේ?”

“මෙහෙමයි!” සුසිලා කියන්නට පටන් ගත්තේ කල් තියාම ලියා කටපාඩම් කරගෙන ආවා වගෙය. “මට හිතුණොත් ඒ කසාදෙන් වැඩක් නෑ කියලා, මම සුමානයක්වත් එහෙ ඉන්නෙ නෑ.... මගේ ඇඳුම් ටිකත් අඩුක් කරගෙන ආපහු එනවා.....”
“ඇවිත්.... තමුසෙලගෙ අම්ම-තාත්තා එහෙම එන්න ඉඩ දීලා නිකං ඉඳියිද?” ඒ ප්‍රශ්නය මගෙන්ය.

“එතකොට තමයි දිසානායක මට උදව් කරන්නම ඕනි.....” උත්තරය සුසිලාගෙන්ය.

“ඒ කොහොමද?” දැන්-දැන් මගේ විස්මය දෙගුණ-තෙගුණ වෙලා වගෙය.
“මම එහෙම එනවා නං එන්නෙ......” සුසිලා කියාගෙන ගියාය............

11 comments:

  1. නිමල්ගෙ යාලුවො යෙහෙලියො හැම එකාම එකීම කෙල්ලොන්ට කොල්ලන්‍ට ට්‍රයි කරලා ඇනගෙන/දාගෙන/බැදලා/ඩිවෝස්වෙලා/ආයිත් ට්‍රයි කරලා/ ආයිත්........... යන කැටගරීස්වලින් එකකට හෝ වැඩිගණනකට අයත් වෙනවා. නිමල් හැර!
    මොකක්හරි දූත හෝ බූත බලපෑමක් වෙන්න ඇති තමයි (නොලියවෙන්නෙ). නෙවිල් ලියපු දාක ඔය බලපෑම නැතිවෙයි

    ReplyDelete
    Replies
    1. ඔය රහස් ගොඩාක් දන්න මිනිහා තමයි නෙවිල්. හැබැයි එයාගේ කට අරවන්න බොතල් ගනනාවක් පෙව්වත් බැරිවෙයි. (නිදිගේ මැංගෝ ෆෙන්ඩ් නිසා)

      Delete
    2. Pra jay, අසංග
      මේ මංගල්ලේ වෙන දවස්වල නම් මම නෙවිල්ව අඳුනන්නෙවත් නැහැ. අඳුරගත්තට පස්සේ ඉඳලා අද වෙනකල් වුණත් ඒ මනුස්සයාත් නොදන්නා මගේ රහස් තියෙනවා.

      ආයෙ ආයෙමත් කියන්නේ, එහෙම වෙන්නේ නෙවිල්ව අවිශ්වාස නිසා නෙවෙයි. මම මගේ රහස් ප්‍රවේසම් කරගන්න නිසා....

      ඒ අන්තරාවර්තී ගතිය ආරක්ෂා කරගන්න නෙවිලුත් නොදැන උදව් වෙනවා ගොඩක් දේවල් ඒ මනුස්සයට මීටර් නොවෙන නිසා.
      නෙවිල් ලියනවා නෙවෙයි, හමුවෙලා අහගන්න බලන්නකො. මට ගහන්න වුණත් ඒ මනුස්සයට කරුණු මතක් කරලා දෙන්න වෙන්නේ මටමයි!

      Delete
    3. තව ඩිංගෙන් අමතක වෙනවා Pra Jay මහත්තයෝ. නිමල්ගේ යාලුවො සේරමත් මේ මහා පොළොවේම ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සුම තමයි ඔයා කියලා තියෙනවා වගේම.

      මාත් ඒ ගොඩේම නෙවෙයි වගේද?

      Delete
  2. මදැයි, මේ කොටස කියවනකම්ම මම හිතුවෙ නිමල් මේ කතා මාලාවට 'අන්දොස් මංගල්ලේ' කියලා නම දැම්මෙ අනිත් අයගෙ වැරදි නිසා වුනු (හෝ නොවුනු) මංගල්ලයක් කියන තේරුමෙන් කියලා. මට මේක කියවද්දි මතක් වෙන්නෙම Devdas ෆිල්ම් එක. දැන් ඔය අන්දොස් "ඌ මහ අන්දොස් පොර!" කියන්නෙ ඒ 'නරක' කෙනෙක් කියන තේරුමින්ද.

    "නොනිළ වශයෙන් කෙසේ වතුදු නිළ වශයෙන් තනිකඩ ජීවිතයක් ගෙවන ලොකා මහතා" හපොයි... නිදි notorious කේස් එකක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. මේ කතාවේ තව එක කොටසයි තියෙන්නේ. ඒ නිසයි වැඩිය මොකුත් ලියන්නේ නැත්තේ, Lotus!

      අන්දොස් කියනකොට මගේ ඔළුවට එන්නෙ අවුල්, විපරීත, කචල්, කපටි, වංචාකාරී, තරමක් වෙනස් වගේ අදහස් ගොන්නක්. මේ මංගල්ලෙට අන්දොස් විශේෂණය දමපු එක සාධාරණද කියල කියන්නකො තුන්වෙනි කොටස කියවලාම.

      නිදිත් තවම හොයාගන්න හදනවා එයාගේ කැටගරිය මොකක්ද කියලා! මතකෙ තියාගන්නන්කෝ ඔය නොටෝරියස් කතන්දරෙත්!!!(හඃ, හඃ , හා.)

      Delete
    2. හැම දවසකම අපි අලුත් දෙයක් ඉගෙනගන්නවා කියන්නෙ මේ නිසා තමයි. අන්දොස් කියන වචනයෙ තේරුම ඉගෙනගත්තා, thanks නිමල්.

      notorious කතා ටික අහන්න කට්ටිය කීයටවත් අකමැතිනම් වෙන එකක් නැහැ

      Delete
  3. ලොකා තනිකඩ වෙන පෙර අකුසල කර්මය පංචකල්‍යාණියන් නොවේ පච කල්‍යාණියන් බන්දලා දුන්න එක.

    ReplyDelete
    Replies
    1. අපොයි, අපොයි. එහෙම කියන්ඩ පව් අසංග. සුසිලාව හරියටම තේරුම් ගන්න හැකි වෙන්නේ ඊළඟ කොටස කියෝපුවාමයි.

      Delete
  4. Magaula kadunoth NiDi ta Susula wa kara gahanna wei wage, ohoma yan (Wijebahu)

    ReplyDelete
    Replies
    1. ඈ? මාව කරකවලා අතෑරියා වගෙයිනෙ විජේබාහු මහත්තයෝ. එහෙම පොසිබිලිටි එහෙකුත් තිබිලා නේන්නං!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්