හරි, හරි. ඔයා චණ්ඩියනෙ! |
“හරි, හරි. ඔයා චණ්ඩියනෙ. ඒ මිනිස්සුන්ට ඕනි
මඟුලක් කර ගන්නෙයි කියලා, ඔයා කියාගෙන ආපු දේ කියල ඉන්නකො.” සංජේව අස්වසමින්ය, මං
කිව්වේ.
“මට මේක හිතුණේ රංජි, ඔයාව මෙහෙන් ටිකක් ඈත් කෙරුවොතින් හොඳ නිසා... හැබැයි, ඔයත්
කැමතියි නං විතරයි...”
“කැමති වෙන්න හරි අකැමැති වෙන්න හරි ඉස්සෙල්ලම මොකක්ද කියල දැනගෙන ඉන්න එපැයි!”
සංජේ එයාගේ අලුත්ම යෝජනාව ගෙනාවේ එතකොටය.
ඒ හාදයා කියූ විදිහට එයාලගේ ගමේ බතික් වැඩපළක් පටන් ගැනීම වැඩියෙන් හොඳය. “අපේ
වත්තෙ ඕනි තරං ඉඩ තියෙනවා. වැඩට ගන්න, රස්සාවක් කරන්නැති ගෑනු ළමයිනුත් එහෙ ඕනි
තරං ඉන්නවා. මෙහෙදී වගේ ඩයි කරලා අහක යවන වතුර කාටවත් ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ....
පාලු ඉඩම්නෙ වැඩිපුර තියෙන්නේ.”
ඒ දවස්වල අපට තිබුණු ලොකුම ප්‍රශ්නයකි; ඒ.
අපේ ඉඩමට අඩි දෙක-තුනක් විතර පහළිනි, මීන
සංහාරය කෙරුණු කොටුවෙ ආච්චිගේත්-
වනාත වත්තෙත් ඕවිටි තිබ්බේ. වනාතේ ඕවිට වැවිල්ලක් නැතිව අතෑරුණු
ගමන්මය. ඊට එපිටින් තිබුණු වනාතේ කුඹුරු ලියැදි ටිකත් තිබුණේ පුරන් වෙච්ච ගමන්ය. වනාත
වත්තේ කට්ටිය හදන හරකුන් දවල්ට දිගේලි කළේ ඒ පුරන් ලියැදිවලය.
දීපානි බතික් වැඩපළ පුළුල් වෙද්දී... ඩයි
කිරීමෙන් පස්සෙත්, රෙදි සේදීමෙන්
පස්සෙත් ඉවතට යවන වතුර වැඩි වුණේය. මුලින්ම නම් ඒකෙන් කාටවත් කිසිම බලපෑමක් වෙන බව
පෙනෙන්නට තිබ්බේ නැත. මාස කිහිපයක් යද්දීය වැඩේ පත්තු වුණේ.
වනාත වත්තේ අධිපතිනිය අපේ වත්තේ වැට ළඟටම ඇවිදින්, අපේ ආච්චීට මහ සද්දෙන් කතා කළේ
එයින් පසුවය.
“රතනවතී, අපි දෙගොල්ලෝ මෙච්චර කාලෙකට උඹ
නොදකින් කියාගෙන නෑ.... අල්ලපු වතු දෙකේ ඉඳලත්. මත්තටත් එහෙමම ඉන්න ඕනි නං හොඳ
හිතින් රංජිගෙ බතික් කෙරුවාව නවත්තල දාන්නයි කියනවා.”
ඔය වත්තෙන් පල්ලෙහාට ඇවිත් බලනවා... (මේ ඉන්නේ වනාත වත්තේ කවුරුන්වත් නොවේ. එකල නිතරම ගැටුණු යෝධයා හා පඬිතුමාය.) |
අපේ රංජියා මොනවා කෙරුවත් ඔහෙට මොකෝ? ඔහෙලට වගේ අපට රබර්- කුරුඳු තියෙනවැයි... කුඹුරු පොල් යායවලුත් තියෙන එකක්යැ, ආදායම් උපදින.” අපේ ආච්චීත් සද්දෙන්ම උත්තර දුන්නාය.
“කුඹුරු? අපේ කුඹුරු ලියැදි ටිකට වෙලා තියෙන
නස්පැත්තිය හින්දා තමයි මේ කියන්නේ. ඔය වත්තෙන් පල්ලෙහාට ඇවිත් බලනවා... අපේ හරකෙකුට
කවන්න එක තණකොළ ගහක්වත් ලියැදිවල තියෙනවද කියලා. සේරම මැරිලා. සේරම... සේරම
මැරිලා, ඔහෙගෙ මහ ලොකු මුණුබුරාගේ කෙහෙල්මල් බතික් කෙරුවාව නිසා.”
ඒ වෙලාවේ වනාතේ ඇත්තියට කටින් ගැහුවත්, අපේ
ආච්චී හවස් වරුවේ තනිවම වෙල පැත්තේ ‘නිරීක්ෂණ චාරිකාවක’ යෙදුණාය. යෙදී ආපහු ආවේ,
පිටත්ව ගිය අභිමානවත් දසනායක රත්නවතී නොවේ. කම්පිත මුහුණෙන් යුතු, පරාජිත
රත්නවතියෙකි!
“ඇත්තනේ බං! මහ පවුකාර අපරාදයක්නෙ සිද්ද වෙලා තියෙන්නේ... අර මහ අම්මණ්ඩි
අපිත්තෙක්ක ඉරිසියාවට කිව්වයි කියලයි මම හිතුවේ. නෑ බං ගුණේ... උඹට වුණත් රඟේ
තේරෙයි, ගිහිල්ලා බලලම ආව නං..... ග්‍රාමසේවක මහත්තයටත් කියනවයි කිව්වේ, ඇත්තටම
වෙන්නැති.” ආච්චී කිව්වාය.
“අනේ මේ අම්මෙ. උන්ට ඕනි කුදයක් ගහ ගන්නෙයි
කියන්න. ග්‍රාමසේවකව එක්ක ආවත් අපි නිදහස්. අපේ බතික් ඩයි වතුර අපි කෙළින්ම යවන්නේ
අපේ වත්තේ වළකට. උන්ගෙ වත්තට නෙවෙයිනේ... එව්වා පොළොව යටින් එහාට ගලන එකට අපි මොනව
කරන්නද?” දිසානායක හේවගේ ගුණපාල තර්ක කළේ එහෙමය.
“අනේ බං ගුණේ. උඹේ තර්කෙ උඹටම හරි. ටිකක්
මනුස්සකම ඇතිව හිතපං. ඔය ඩයි වතුර පොළොව යටින් අරුන්ගේ කුඹුරු ලියැදිවලට යන්නෙ
නැත්තං එව්වයේ තණකොළ සේරමත් මැරිල යයිද?”
ආච්චීගේ තර්කය සහේතුකයි වගේ පෙනුණත්, කට අපේ
තාත්තාගේ තරම් සද්දය ඇති එකක් නෙවේ. අන්තිමේදී අපේ තාත්තා වාදයෙන් දිනුවේ එබැවිනි.
“උඹට කියනවට වැඩිය හොඳයි යකෝ, මගේ කට ගලක උලා ගන්නවා.... අර අම්මණ්ඩි ආයෙම බැණ අඬ
ගහගෙන ආවමත් ඔය පඩික්කම් කටත් අරං උඹම පලයංකො ඉස්සරහට....”
මං කියන්නේ ඔයාට එහෙ යමු කියලා... මමත් ගෙදර නවතින්නං. අපි.... |
“අදනෙ යකඩෝ පෙනෙන්නේ ඔයා බලන දුර! එතකොට ඔයා
කියන්නේ, මෙහෙ සේරම අකුළගෙන අපට ඔයාලගේ ගමට එන්න කියලද? එතකොට රෙදි මෝලේ ඔයාගේ
රස්සාව?”
“කවුද කිව්වේ ඔයාලගේ සනුහරේටම අපේ දිහා එන්න කියල. මං කියන්නේ ඔයාට එහෙ යමු
කියලා... මමත් ගෙදර නවතින්නං. අපි බතික් වැඩපළක් දාමු එහේ...”
තීරණයක් නැතිවම එදා අපේ කතාව ඉවර කරන්නට
වුණේය.
එහෙම කරන්නට වුණේ සංගීතය පටිගත කිරීම අවසන් වුණු බැවිනි.
“මොකද රංජි මල්ලී, ඔයාගේ අතීසාර මිත්‍රයා
කියන්නේ?” සංජේ ඈතට යනතුරු ඉඳලා ප්‍රතිවාදියෙකු මට කිට්ටු කළේ විස්තර හාරන්නටය.
“ඔයාලටත් කියන්න දෙයක් තියෙනවා නං එයාම කියයිනේ!” කියලාය මං ගැලවුණේ. එහෙම කිව්වත්
සංජේ ගෙනා යෝජනාව ගැන මට අමතක වුණේ නැත. යෝජනාවටත් වඩා, මට හැඟුණේ සංජේට තිබුණු
උවමනාවයි.
‘එයාට ඕනි මාව මේ යක්කුන්ගෙන් ඈත් කර ගන්න!
ඇයි ඒ....
ඇයි ඒ කියන්නේ. තමුසෙට තේරෙන්නෙ නැද්ද ඒ මනුස්සයගෙ හිතේ තියෙන ආදරේක තරම....’
ආදරේ!
ඒ වෙද්දී කුමාර කරුණාරත්නගේ ආදර නිර්වචනවලටත් වඩා මගේ හිත දිනාගෙන තිබ්බේ එඩ්වඩ් මල්ලවාරච්චිගේ ආදර විවරණයි.
එඩ්වඩ් මල්ලවාරච්චිගේ ‘ප්‍රාර්ථනා’ නවකතාව පළ වුණේ 1970දීය.
එහි දෙවෙනි කොටස; සුභා 1971දීත්- තෙවැන්න; සුභ ප්‍රාර්ථනා 1972දීත් පළ කෙරිණි.
එඩ්වඩ් මල්ලවාරච්චිගේ ‘ප්‍රාර්ථනා’ නවකතාව පළ වුණේ 1970දීය. එහි දෙවෙනි කොටස... |
මා නම් ආදරයෙන්
ආතුරවී; ප්‍රේමයෙන් මුසපත්වී ‘ප්‍රාර්ථනා’ පොත කිහිප වතාවක්ම කියෙව්වා මතකය. හොඳටම
සංවේදී වෙමින්; ඉකි ගසමින්; හොටු පෙරෙන තරමට කඳුළු පෙරමින් ඒ පොත කියෙව්වා මතකය.
අද්‍යතන ගැටවර- ගැටවරියෝ බොලඳ ප්‍රේම යාදිනි
ගීතවලට වහ වැටී සිටිතියි-
මහා පදරංග ජාතකයටත් වඩා දිග මෙගා ටෙලිවල පැටලී හිඳිතියි-
ජංගම දුරකථන සමාගම් පොහොසත් කරමින් love කරතියි- ඒවා විවේචනය කෙරෙද්දී නිහඬවම
සිටින මට.... මගේ යොවුන් අවදියේ තකතිරුකම් මතක් වෙන්නේ නැති හැටි!
සමහරුනට බොළඳ ලෙසින් පෙනුණත් මට නම් ආදරය
යනු අදටත් අතිශය සංකීර්ණ හැඟීමකි; සුන්දර එකකි; මා භාවාතිශය කරන්නකි.
සමහර විට, ඒ මා උපතින්ම උරුම කරගෙන සිටින විදිහ වෙන්නටත් ඉඩ තිබේ. එහෙමත් නැතිනම්
මා හැදී-වැඩුණු පරිසරයේ; මා මුහුණ දුන් අත්දැකීම්වල බලපෑම වෙන්නටත් හැකිය. මට
කිසිසේත් අමතක කරන්නට බැරි තරමට- මා කියවූ පත-පොතත්, බැලූ චිත්‍රපටත්- මොට්ට මගේ
ජීවිතය හැඩ ගැස්සූ බව මගේ මතයයි.
ඒ තියරිය ලෝකයේ හැම දෙනාටම ආදේශ කරන්නට තරම්
පටු හිතක් මට නැත. මං කියන්නේ මා ගැන විතරකි!
ආදරයක් ඇති විය හැක්කේ කවුරු කවුරුන් අතරද?
ඒකට වයස බලපානවාද? පෙනුම.... තරාතිරම... ගතිගුණ... එවැනි දාහක් දේවල් එදා ගැටවර
වයසේ සිටි මට තේරුම් ගන්නට තිබිණි.
ආදරයේ අග්‍ර ඵලය විවාහයද... මම එවැනි දේත් සිතමින් සිටියෙමි.
ඉඳහිටවත් ඔබේම ඇතුළාන්තයට එබී බලන පුරුද්දක් ඔයාලට තියෙනවද... |
හිතාදර රසික- පාඨක හිතවතුනි; හිතවතියනි.
ඉඳහිටවත් ඔබේම ඇතුළාන්තයට එබී බලන පුරුද්දක් ඔයාලට තියෙනවද.... ඔබේම ඇතුළු හදත්
එක්ක අවංක සංවාදයක යෙදෙනවද... ඔබේ සියලු රහස් දන්නා; ඔබේ හොඳ නරක දන්නා ඔබේම
යටිහිත එක්ක ඔබ රහසින්වත් කතා කරනවාද?
එහෙම කෙරෙන පුරුද්දක් මට නම් තිබේ!
අපි දවසකට කිහිප වතාවක් කන්නාඩියට එබී,
බාහිර ලෝකයට තමන්ව පෙනෙන්නේ කෙසේදැයි පිරික්සා බලන්නෙමු. එහෙත් අපේ හදවතට එබී
බලන්නට නොසිතන්නෙමු.
එහෙම බලන්නට වැඩි දෙනෙකුට හිතෙනවා නම්.....
ජීවිතයේ දේවල් සිද්ද වෙන්නේ මට උවමනා විදිහට
නොවේ; මා කැමැති විදිහටමත් නොවේ. ඒවා දෛවයේ ලියවී තියෙන විදිහට සිද්ද වෙනවාද-
නැත්තං කර්මානුරූපව සිද්ද වෙනවාද යන්න මම නොදනිමි. නමුදු ඒවා සිදු වෙයි. සමහර විට
එක පිට එක... එක දිගට ගොඩාරියක්...
එහෙම වෙන්නේ කොච්චර පුදුම සහගත ලෙසින්දැයි හිතෙන්නේ එව්වා මෙහෙම අකුරු කරන්නට
ගියාමය; පෙළ ගස්වන්නට ගියාමය.
මගේ ඇත්තම ඇත්ත ජීවිත කතාව හිතාදර ඔබ
වෙනුවෙන් ‘නිදිගෙ පංච තන්තරේ’ blog අඩවියට ලේඛනාරූඪ කරමින් ඉන්නා නිසා, ඒ සිදුවීම්
වෙනස් කරන්නට; බොරු ලියන්නට ඉඩක් මට නැත!
එබැවින් මගේ පංච තන්ත්‍ර- පදරංග කතන්දරය පැටලිල්ලක් ලෙසින් පෙනෙනවා නම්, ඒ ගැන
කණගාටුව පළ කරනවා හැරෙන්නට දෙයක් මට කළ නොහැකිය.
විශේෂයෙන්ම ආදරය නම් විෂය කෙරෙහි මට තිබුණේ;
තියෙන්නේ තරමක් වෙනස් ආකල්පයකියි මට හිතෙයි.
එක්කෙනෙකුට විතරක් ආදරය කරමින්, විහින්
සිරගත වී හිටින්නට කෙනෙකුට පුළුවන්ද? එකවර දෙතුන් දෙනෙකු වෙත ආදරය පුදමින්... ආදරය
විමධ්‍යගත කිරීමක් කරන්නට බැරිද?
එහෙම කරන්නේ සසල හදක් ඇති චපලයන්ද?
‘වලු බලිගේ දපු කොමුවත් නොද ඇයතේ’ කියන්නේ.... |
ඒ උද්ධෘතය මට හම්බ වුණේ, සිසිර කුමාර
මාණික්කආරච්චි මහතාගේ ‘අපේ පොතේ ඔහොම නැතේ’ කෘතියේ ‘සුං මදනා’ කවි පේළියේ
කවියකිනි.
‘ගිඟින් ළයොත් පෑ එත්තේ නැසද ඇතේ
සුං මදනා නන්නට වෙම් සජ ගමතේ
වලු බලිගේ දපු කොමුවත් නොද ඇයතේ
එදන බෙකා ගටු ගොහගෙන ගඳ ඉනිතේ’
මං සුදනා වීමට කිසිම
ඕනෑකමක් මට නැත. නමුදු මගේ සමහර දේවල්වල ඇද ඇර ගන්නට උවමනාවක් මට තිබ්බත් වැඩක්
වුණේ නැත.
සංජේ මට කොතෙක් කියා සිටියත්, වෙනත් සමරිසි සබඳකම් නැති කර ගන්නට මට බැරි වුණේය.
නමුත් ඒවා යම්තාක් දුරකට සීමා කර ගන්නට නම් හැකි විණි. ඒකත් එයාගේ අවාසියට
හිටියේය. එයිනුත් වුණේ සංජේට විරුද්ධවාදී වූවන්ගේ ගොඩ වැඩි වීමය. ඒ මං නිසාය!
ඒ වෙන විටත් සංජේ කෙරෙහි අපේ තාත්තාගේ හිත බිඳවන්නට ප්‍රයත්න දැරෙමින් තිබුණු
විත්තිය මටත් රහසක් විණි.
තාත්තාගේ හිත කොහොම
වෙතත්, මගේ හිත නම් හොඳටම බිඳී ගිහින්ය. ඒ අදය.
මා post එකක් ලියන්නේ
එක හුස්මට නොවේ. නැවති-නැවතී විවේක ගනිමිනි. ටිකක් කොටලා මහන්සි දැනුණාම, ඒ
රාජකාරිය නවත්වමි. වෙනින් එකකට මාරු වෙන්නෙමි.
උඩින් තියෙන ඡේදය ලියා අවසානයේය, විවේකයක් ගෙන අද ප්‍රවෘත්ති හෙව්වේ.
හෙට රටේ අනාගත පුරවැසියන් බවට පත් වෙන්නේ මේ.... |
ළමා මන්ද පෝෂණයෙන් පෙලෙන
රටවල් අතර හත්වෙනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්වෙලා. අපේ රටේ පවුල් දහයකින් හතක්ම කන-බොන
එක අඩු කරලා. එහෙම කරලත් කන්නේ ගුණාත්මක; පෝෂණීය දේවල් නෙවෙයිලු. එයින් තත්ත්වය
තවත් දරුණු වෙනවලු. Unicef වාර්තාවකින් ඒ විත්තිය කියවෙන්නේ.
අරගොල්ලෝ වැරදි කළා,
මේගොල්ලෝ වැරදි කළා කියමින් අපේ රටේ පාලක ගොල්ල එක-එකාට ඇඟිලි දික් කර ගනිමින්;
තර්ක කරමින් කල් මරනවා. තියෙන අසාධ්‍ය තුවාලය සනීප කර ගන්න බෙහෙත් හොයනවා නෙවෙයි;
තුවාලයේ අතීතය හොයමින් ඉන්නවා. ඒ අතරේ ඉඩ තියෙන හැම වෙලාවේම තම-තමන්ගේ මල්ලට බෙදා
ගන්නවා.
පාලකයන්ගේ හා හිතවතුන්ගේ ගෙවල්-දේපල ගිනි තිබ්බය, කඩා බිඳ දැම්මාය කියන කතන්දර ටික
වුණත් විමසලා බලන්න වටිනවා. (සමහර සිද්දි කෙරෙව්වේ කොහොමද කියලා සජීවී
සාක්ෂිත් එළියට ආවනෙ.
ආණ්ඩුවට හිතැති මැති- ඇමතිවරුන්ගෙ ගෙවල් 47කට තමයි හානි වුණා කිව්වේ. (බොහොම
අමාරුවෙන් ජනතා සේවය කරමින් ඉන්න ඒ බේසික් පුතාලා එච්චර දේපල කන්දරාවක් උපය ගත්තේ
කොහොමද කියලා වෙනම සොයා බලන්න වටිනවා.) නමුත් ඒ පොහොසත් අසරණයන්ට බෙදලා දෙන්න එකක්
රුපියල් මිලියන 17ක් වටිනා ගෙවල් 101ක් කඩිමුඩියේ ගන්න තරමට අපේ රජය කාර්යක්ෂමයි;
අනුකම්පා සහගතයි. එව්වට නං සල්ලිත් තියෙනවා.
ඒ අස්සේ, ඒ දේශපාලුවන්
දෙන්නෙක්ම බොර දියේ මාළු බාමින්, එයාලගේ දූවරු කොළඹ, විශාඛා විදුහලටත් දමා
ගෙනලු!
එයාලගේ ළමයි විතරද ළමයි? එයාලගේ දරුවෝ විතරද දරුවෝ....
අර unicef වාර්තාවෙන් කියවෙන රටේ මන්ද පෝෂිත අහිංසක ළමයි දරුවෝ නෙවෙයිද?
හෙට රටේ අනාගත පුරවැසියන් බවට පත් වෙන්නේ මේ මන්ද පෝෂිත ළමයි නේද...
පෙරේදා රාත්‍රියේ මට
පිළියන්දලට ගොස් එන්නට සිද්ද වුණේය. මහරගම සිට යන විටත්, එන විටත් මඟ දෙපැත්තේ
තියෙන සේරම පෙට්‍රල් ෂෙඩ්වල දිගම දිග වාහන පෝලිම්ය. සමහර ෂෙඩ් වසා දමා තිබියදීත්ය;
ඒ පෝලිම් තිබුණේ.
මහරගම, ජනාධිපති විදුහල අසල Laugh පිරවුම් හලේ වාහන පෝලිම.... |
ඒ පෝලිම්වල උතුරමින් තියෙන්නේ අසහනයයි; බලාපොරොත්තු කඩවීමේ හැඟීමයි; කේන්තියයි. දැන් දැන් ඒවා පුපුරා යන ලකුණුත් පෙනෙයි!
මේ අමන පාලකයන්ගේ ඇස්
ඇරෙන්නේ තව කොච්චර දේවල් විනාශ වුණාට පස්සෙද... රට වැසියන්ගේ හිත හොඳටම අවුල්වී;
බිඳී තැන-තැන මංකොල්ල කෑම්, කැරලි- කෝලාහල, මිනීමැරීම් වෙන්න පටන් ගත්තාමද?
සමස්ත ජාතියක්ම සිත්
බිඳී වේදනාවෙන් සිටිද්දීය, මං වහන්සේ අපේ පරණ හිත බිඳීම් ගැන ඔබට කියමින් හිටියේ.
මා පීලි පැන්නේ මෙහෙම කියූ තැනදීය: ‘ඒ වෙන විටත් සංජේ කෙරෙහි අපේ තාත්තාගේ හිත
බිඳවන්නට ප්‍රයත්න දැරෙමින් තිබුණු විත්තිය මටත් රහසක් විණි.’
එහෙම ප්‍රයත්න
දැරෙමින් තිබියදී, සිංහබාහු වේදිකාගත කෙරෙන්නට නියමිත දිනයත් කිට්ටු වෙමින්
තිබිණි.
“Light රිහර්සල් එකට
ඉස්සෙල්ල සේරම වැඩ ටික කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනි. ලජ්ජ වෙන්න බැහැනේ නිමල්ලගේ
තාත්තේ හරියට නොකර.” එස් අයියා කිව්වේය. “අනෙක නිමල්ල තාත්තේ, ලුම්බිණිය බුක්
කරගෙන තියෙන වෙලාව ඉවර වෙනකොටම, රිහර්සල්ස් ඉවර කර ගන්නත් වෙයි.... තාත්ත දන්නවද
මන්දා, නාට්‍යවල ලයිට් රිහර්සල්ස් බලන්නම පුරුදු වෙච්ච දහ දොළොස් දෙනෙකුත් එදාට
එන්න ඉඩ තියෙනවා.”
“අපේ වැඩ ටික නම්
වෙලාවට කෙරෙයි මිස්ටර් එස්... දැනටම ගුහාව හදල ඉවරයි! තව තියෙන්නේ සුප්පා දේවිටයි,
සිංහසීවලීටයි කොටි හමෙන් ඇඳුම් දෙක හදන එක විතරයි.
ඒක නෙවෙයි එස් මහත්තයෝ, මොකක්ද අර තව මිනිස්සුත් අපේ රිහර්සල්ස් බලන්න එනවයි
කිව්වේ.” අපේ තාත්තා එස් අයියාගෙන් අහද්දී මාත් රබර් කන් දෙක දික් කරගෙනය හිටියේ.
වනමෝහිනී එකේ කාන්ති ගුණතුංගයි අනිත් නිළියොයි ඒ ඇඳුමට හරි හැඩට හිටියා..... |
“එතකොට එදාට shows
දෙකක්ම කරන්නත් වෙයි නේද?”
“ඔව් ඔව් මිස්ටර් එස්. රූපාව දාලා එකකුයි, රංජිව දාලා එකකුයි.”
අපේ නාට්‍යයේ සිංහසීවලී චරිතය act කළේ (පසු කාලයක වස බී සියදිවි නසාගත්) අපේ ලොකු නංගී නෝනා; හෙවත් පුෂ්පා රංජනීය. එතකොට එයාට අවුරුදු 13ක් විතරය.
“නෝනාට නං එක ඇඳුමයි
ඕනි වෙන්නේ. රූපට දෙකක් ඕනි.... එතකොට උඹටත් එකයි...” තාත්තා ගණන් බලද්දී මට පුදුම
හිතුණේය.
“මට එකක්! එහෙම කොහොමද තාත්තේ? මට දිගටම දෝතියයි හැට්ටෙයි ඇඳගෙනද ඉන්න වෙන්නේ?” මට
නොඉවසිල්ලෙන් කියැවුණේ හිතා-බැලිල්ලකින් තොරවය.
“සිම්බෝ, වනමෝහිනී
දෙකේ විදිහටයි කොටි හමෙන් විදිහට ඇඳුම හදන්නේ. වනමෝහිනී එකේ කාන්ති ගුණතුංගයි
අනිත් නිළියොයි ඒ ඇඳුමට හරි හැඩට හිටියා.....” අපේ තාත්තා කියා තිබිණි. ඒ films
දෙකම බලලා තිබුණු නිසා කොටි හමෙන් හැදූ ඇඳුමක් ඇඳගෙන සුප්පාදේවියට රඟන විදිහ මගේ
හිතෙත් මැවී තිබිණි. ඒ නිසාය මං කලබල වුණේ!
“ගොන් බිජ්ජෝ, මිනිස්සු හිනස්සන්නද හදන්නේ?” මං කියා ඉවර කරනවාත් එක්කම අපේ තාත්තා ගුගුරා හැළුණේය. “දෝතියයි හැට්ටෙයි ඇඳගෙන... දෝතියයි හැට්ටෙයි ඇඳගෙන.”
.......
“ආදරයේ අග්‍ර ඵලය විවාහයද...”. අපෝ නෑ . කෙනෙක් එහෙම හිතනවානම්, බොහෝවිට එතැන සැබෑ ආදරයක් නෑ . එතකොට කියන්න වෙන්නේ මෙහෙම . Love is a temptation, arising from the sensation to feel penetration.
ReplyDeleteගොඩක් ස්තුතියි චමී, ඔයා ඉංගිරිසියෙන් කියලා තියෙන දේ තවමත් හරියට සිංහලට පෙරලගන්න බැරිවයි ඉන්නේ. අදහස හිතට ආවාට.
Deleteආදරය වනාහි සුරාන්තය ලැබීමේ උවමනාවෙන් කුලුගැන්වූනු උද්වේගී හැගීමකි.
Delete“අපේ රටේ පවුල් දහයකින් හතක්ම කන-බොන එක අඩු කරලා. එහෙම කරලත් කන්නේ ගුණාත්මක; පෝෂණීය දේවල් නෙවෙයිලු”. මේක ආර්ථික අහේනියේම ප්රතිපලයක් නෙවෙයි . නොදැනුවත්කම හා කම්මැලිකම (ගෘහණියන්ගේ) සමව වගකිය යුතුයි.
ReplyDeleteතරමක් දුරට එකඟයි චමින්ද මහත්තයෝ. මං දන්නා ගෘහිණියන් ඉන්නවා පලා කොළ ටිකක් සුද්ද කරන්න කම්මැලි. අමුමිරිස් කපන්න බැරි-( අත දනවලු- නුපුරුදු නිසා.)
Deleteමස් මාලු වල වැදගත්කම අඩු කරන ආගමික හා ෛවදය කතා ද වගකිව යුතුයි
Deleteමම සර්ව භක්ෂකයෙක් නෙව මහත්තයෝ. අසනීපය නිසා ඉටි සහිත කෑම අඩු කරලා, ප්‍රෝටීන් සහිත කෑම වැඩි කරන්නයි වෙලා තියෙන්නේ, හැබැයි, මම පලා වර්ගවලට හරිම කැමැතියි, වැඩියෙන් කෑමට එකතු කර ගන්නවා.
Deleteපයා විශ්වාස කරයිද මන්දා- පර්චස් 9.05 ඉඩමේ ගෙදරට අමතරව පලා ජාති වවාගෙන තියෙන තරම.
කතුරුමුරුන්ගා, මුරුංගා, තෙබු, කර කොළ, තැල් කොළ, නිවිති, ගොටු කොළ, වැල් කොහිල, තිත්ත අඟුණ, කුරීඤ්ඤං, කෝවක්කා, ජපන් බටු හෙවත් සිංගප්පූරු!
මල් පිපුනත් ගති නෑරෙයි කොහොඹ රුකේ
ReplyDeleteසිල්ගත්තත් බලලට බයලු මූසිකේ
කල් තිබුනත් බලු වලිගේ උනපුරුකේ
සොල්පයකුත් ඇද යන්නේ නෑ ඒකේ
මේ තියෙන්නේ පුරාණේ කියවෙන විදිහට!
Deleteආදරය ගැන බලන්න වටින ෆිල්ම් එකක් තමයි Her. බලලම කතා කරමුද නිදි? එක්කෙනෙකුට විතරද ආදරේ කරන්න පුළුවන් කියන එකට උත්තරේ සමහරවිට එතන තියෙනව.
ReplyDeletehttps://www.youtube.com/watch?v=dJTU48_yghs
Deleteඩ්රැකී, Her බලලා තියෙනවා 2016. ඒත් එච්චා සුවිශේෂ විදිහට හිතට වැදිලා නෑ වගේ. ආයෙම බලන්නංකෝ.
Deleteඅඹතලේ හිටපු කෙනෙක්ගෙන් අහන්න ඕනෙ අග්‍ර ඵලය ගැන
ReplyDeleteඅග්‍ර ඵල? හැන්දෑවට නා...ලා, අරක්කු කාලක් බී....ලා අඹතලේ කස්ටිය සෝවාන් ඵල ලබල වගේ නං හිටියා.🤔
Deleteකොයි කාලේද අප්පේ ඒ?
Deleteපරණ කතන්දර ගොඩක් තියෙනවා වගෙයි, අපි නොදන්න.
එබැවින් මගේ පංච තන්ත්‍ර- පදරංග කතන්දරය පැටලිල්ලක් ලෙසින් පෙනෙනවා නම්,
ReplyDeleteනැතුව නැතුව, හොඳටම පටලැවිල්ලක්. ඒත් අපි කැමතියි ඒකට.
Praසන්ன
ප්‍රොෆයිල් එකේ හැව ඇරිය වත්දෑ, ඇනෝ ආවෙ?😮
Deleteඌ වැරදිලා භූමිතෙල් පෝලිමට ගිහිං...
Deleteඉස්සෙල්ලාම ප්‍රසන්නට ස්තුතියි.
Deleteබස්සා මාත්තයට, ඩ්රැකී ආදිපාදතුමාට ඊළඟට ස්තුතියි!
ආ, පෝස්ට් එකට අදාල කමෙන්ට් එකකුත් දාන්න ඕන නේද? නිදි අර එඩ්වඩ් මල්ලවාආරච්චිගෙ ඒකාලෙ පොත් හොයාගන්න නැද්ද? පස්සෙ කාලෙ ලියපුව නං තියනවා, ඒත් මට ඕනෙ, ඔය සුභා සහ ආරාධනා පොත් දෙක.
ReplyDeleteදෙන්ඩද එඩ්වඩ් ජයකොඩිගෙ සිංදුවක් instead?
Deletehttps://yanhella.blogspot.com/2016/01/music-3.html
පිං! අම්මපා එහෙමත් කාලයක්? ඒ කාලෙයි, මයිනගෙ සවුබාගෙ කාලෙයි ආයෙ එන එකක් නෑ කියන්නෙ.🤔😒😟
Deleteප්‍රාර්ථනා, සුභා, සුභ ප්‍රාර්ථනා පොත් තුන 70-71-72 අවුරුදුවල ගැහුවට පස්සේ ආයේ ගැහුවේ නැද්ද මන්දා. ඒ ආලේ ඊ එව්වා සල්ලි දීලා ගත්තේ නෑ. ඒවා ගන්න වෙනම කට්ටියක් හිටියා. එයාලාගෙන් පස්සේ ඒ පොත් අතින් අත ගිහින් 'ලහඳු'වැටත් ඉතිරි වුණේ නෑ, බස්සා මහත්තයෝ.
Deleteඩ්රැකී, සිංදුවක් නෙවෙයි එහෙම පිටින්ම අපූරු සංගීතයක්ම දීලා තියෙන්නේ!
ReplyDeleteඒක මෙතන ඉඳම්ම කියෝගෙන එන්ඩෝනෙ පිළිවෙලට...
Deletehttps://yanhella.blogspot.com/2016/01/music.html
අහල තියෙනවද, "ඌකාන්ත චන්ඩලේකා, බිත්තර්රත්තායක, ඉන්ඩානී පෙලේලා, ඇටුලූ **කාන්ට ගායික් ගායිකාවන් කාසියක් ගී ගයින බහා හංගීත රාට්රීය"?
Deleteහෙහ්,හෙහ් බිත්තර්රත්තායක. දෙකක් කම්මුතු කොලා, තව එකයි ඉතුරු.👌😁
Deleteපිළිවෙලට කියවගෙන එන්නන්කෝ, ඩ්රැකී.
Deleteබස්සා මහත්තය කියා තියෙන විදිහට නං තුනයි තියෙන්නේ.
තව මරු බඩ්ඩක් හම්බුණා... බාගෙන අහන්න.
Deletehttp://madhawawijesekara.blogspot.com/2012/06/31.html
ඩ්රැකී මහත්තයෝ, ඔහේට රාජකාරි කරන්න වෙලාවක් හෙම තියෙනවයි?
Deleteඒක උනේ, මම අපේ පොඩිරාළට අහන්ඩ දෙන්ඩ ඔයිං පොඩි කොටසක් හෙව්වා. හොයන්නාට ඒ හොයාපු එක ඇරුණාම අනික් ටික හම්බුණා. මං ඉතිං තනියම කන ජාතියෙ නෙමෙයි නෙ. බෙදා හදාගෙන කෑම තමා හොඳ ම...
Deleteඩේටා පුරස්න හින්දා දැන් නෙව මේ පොස්ටුව දැක්කෙ.
ReplyDeleteආදරය, කායික සම්බන්ධතා විමධ්‍යගත කරොත්..... පළමු කෙනා අප කෙරේ තබපු විස්සාසයට එරෙහි වීමකුත් වෙනවා ඉතීම්.
ඒ කියලා අපේ හිත බඳිට එකත් ලේසි දෙයක් නෙවේ...
මං කියන්නේ මගේ ගැනයි, නමී. මගේ චපල ගතිය, අනිස්ථිර ගතිය ගැනයි. ... ඒක හොඳයි කියලවත්, නිවැරදි යැයි කියලවත් මම කියන්නේ නෑ. හිත බඳින එක මට නං කර ගන්න බෑ!
Delete"වලු බලිගේ දපු කොමුවත් නොද ඇයතේ" කියද්දි මතක් උනේ පෙරළුම් කවි ආශ්‍රයෙන් නිර්මානාත්මක ගීයක් අග්නිදාහය ෆිලුමට ලියපු ජයන්ත චන්ද්‍රසිරිගේ 'කාන්නු ගොයියක් ...' ගීය
ReplyDeleteනමී, පද පෙරළිය ප්‍රයෝජනයට ගත්ත තව සිංදුවක් මේ. 'වික්ටර්- සුජාතා ගයන 'අම මාදරෙයි'
ReplyDelete