li Item

Wednesday, December 16, 2020

යුවති කිරිල්ලී - හත්වෙනි කොටස

කොහොමද උඹට විතරක් නිල්පාට ඇස් හම්බ වුණේ කියලා දැනගත්තමය කියමු...

“.... මොන මඟුලකට ඔව්වා හාරා අවුස්සන්ඩ යනවද බං? කොහොමද උඹට විතරක් නිල්පාට ඇස් හම්බ වුණේ කියලා දැනගත්තමය කියමු... මොකෝ දැන් ඒක මාරු කරගන්ඩද, මෝඩියේ? මටත් ඔය වගේ ඇස් දෙකක් තියෙනවා නං කියලයි මං හිතන්නේ. තව ටික දවසක් ගියාම උඹටම තේරෙයි!”

ඔයාගෙ ඇස්දෙකට තමා මාව පිස්සු වැටෙන්නේ...’යි ධනුෂ්කත් නිතර කියන බව මාලතී චන්ද්‍රාට කියුවේ නැත. 

********

“මං අප්පොත් එක්කලා තරහම තරහයි.....”

යටැසින් බැලූ මාලතී තොඳොල් බසින් කීවාය. ඇගේ බොළඳ ඉරියව් දෙස ධනුෂ්ක බලා සිටියේ ආසාවෙනි. ඇය යටැසින් බලන බැල්ම හදවත විනිවිදගෙන යන ඊතලයකි. එකම එක මොහොතකට රෝස්මරීගේ නිල් නෙතු යුවලත් - මුහුණත් ඔහුගේ මනසෙහි ඇඳී ගියේය.

“ඕං ඉතිං අප්පොගෙ මූණ කළු ගැහුණා. මං බොරුවට කිව්වේ.... ඕකට ඔය තරම් කේන්ති ගන්ඩ එපා.... කේන්ති ගත්තම ඉක්මනටම නාකි වෙයි. ඔක්කොටම වඩා ඔහොම කේන්ති ගත්තම නං....”

“ඇයි නැවැත්තුවේ..... මොකක්ද ඒ කියාගෙන ආවෙ?”

“මට මතක් වුණා මිලින්ද මහත්තය එදා කියපු කතාව.....”

ඇයි කිව්වෙ අප්පොයි ... හප්පොයි...

මාලතී මුව වසාගෙන සිනා වුණාය. දිගින්-දිගටම විමසූ ධනුෂ්කට ඒ කතාව අමතකව තිබිණි.

“........ ඇයි කිව්වෙ අප්පොයි ... හප්පොයි...”

“ආ.... දැන් එහෙනම් මාව පේන්නේ හප්පෙක් වගෙද?”

“අනේ නෑ....... ඒ වුණාට අප්පෝ දවසක් හරි නෑවිදින් හිටියාම නං මට හරීයට දුක හිතෙනවා.....”

ඔහු උනන්දුවෙන් බැලුවේය. මාලතී දිය දහර දෙස බලා සිටියි. සති කිහිපයකින්ම සුපුරුදු වැසි වැටී නැති බැවින් කඳු යායම වියළී ගොසිනි. දිය ඇල්ලේ වතුරද අඩුය. අත වූ සිහින් කෝටුවෙන් මාලතීගේ නළලත වූ කෙස් රොදක් මෑත් කළ ධනුෂ්ක ඒ දෑසට එබුණේය. ඔහුගේම ඡායාව ඒ නිල් දෑසේ මනාව පිළිබිඹුව තිබිණි.

“පළවෙනිම දවසෙ මං ආවේ නැතිවමත් දුක හිතුණද?”

දෙනෙත් පියාගත් ඈ හිස සැලුවාය. දෙනෙත් කෙවෙණි තුළ සිරගත වී තිබුණු තුනී කඳුළු පටලයෙන් බිඳු කිහිපයක් නෙතු පියන් අතරින් නිදහස සොයා ගලා වැටිණි. සැලෙන සුරත එසවූ ධනුෂ්ක ඔහුගේ දබරැඟිල්ලෙන් ඒ කඳුළු බිඳු පිස දැමුවේ සුමුදු මල් පෙත්තක පිනි කැටයක් පිසලන ලෙසිනි; ආදරයෙනි; සෙනෙහසකිනි.

මගේ දවසම ගෙවිල යන්නෙ හැන්දෑවෙ ඔයාව හම්බ වෙන්න එන වෙලාව එනතුරු ඉවසිල්ලක් නැතුව.....

“ඇස් අරින්නෙපා මාලතී.... ඔහොමම ඉන්න. මට ඔයාගෙ ඇස් දෙක දිහාව බලාගෙන කතා කරන්න බෑ, ගොළු වෙනවා.....” මාලතී කීකරු වූවාය. ධනුෂ්ක ඇයගේ නළියන නෙතුපිය දෙස බලාගෙන දිගටම කතා කළේය.

“මට ඔයාව දකින්නෙ නැතිව ඉන්න බෑ.... වලව්ව ඇතුළේ මගේ දවසම ගෙවිල යන්නෙ හැන්දෑවෙ ඔයාව හම්බ වෙන්න එන වෙලාව එනතුරු ඉවසිල්ලක් නැතුව..... ඒත් කෙල්ලෙ මං ඔයාට කරන්නෙ වරදක්.... අපරාධයක්... මට සහගහනවා...”

“අ....ප්....පො!” ඇගේ මුවින් කෙඳිරිල්ලක් පිට වූයේය.

මාලතී දෙනෙත් හැර බැලුවාය. ඔහුගේ දැහැන බිඳ වැටී තිබිණ. ධනුෂ්ක ඉවත බලා ගත්තේ සොවින් උතුරණ හදවතින් යුතුවය.

“දුක හිතෙන කතා කියන්ඩ එපා අප්පො....”

දෙදෙනාම ගොළු වූහ. කාලය ඉකුත්ව යන බව පවා ඔවුහු නොදත්හ.

********

සිසිලියානාත්, මාලතීත් පැමිණෙනු දුටු හේරත් හිඳ සිටි තැනින් නැඟිට්ටේය. ඔහුගේ ඔඩොක්කුවට වීසිවී තිබුණු ලී කැබලි ගසා දැමූ හේරත් දහදිය පිස දැමීය.

“අක්කේ.... මං මේ උදලු මිටක් සුද්ද කරන්ඩ ගත්තා!”

“අම්මට දැන් මොකද මල්ලියෙ?”

“දැන් හොඳා බං...”

ඒ වුණාට මේ හිමේ නැඟල එනකොට.... බත් කාලා ආවත්....(foto- ශෂින් විජේතුංග)

මවත්, දුවත් ගෙදරට ගොඩ වූහ. හේරත්ගේ බිරිඳ; රන් මැණිකා පැමිණියේ අත දරුවාත් ඇකයෙහි රුවා ගෙනය.

“සිසිලි අක්කේ, දැන් නං අම්මාට සනීපයි. උණ වාගේ තිබුණා පහුණු ටිකේම. ඒත් තාම හරියකට ඇඟට පණ නෑ වගෙයි අක්කා.... මං අක්කලට තේ ටිකක් වක්කරන්නං...”

“එපා නංගියේ.... අපි තේ බීල තමා දොට්ට බැස්සේ.”

“ඒ වුණාට මේ හිමේ නැඟල එනකොට.... බත් කාලා ආවත් දිරෝලා ඉවර වෙනවනෙ අක්කා... අම්මේ! මේං සිසිලි අක්කලා ඇවිල්ලා...” රන් මැණිකා ඇඳෙහි වැතිරී සිටි මහලු ගැහැනියට හඬගා කීවාය.

ංඈ...?”

සිසිලියානා අක්කා ඇවිල්ලා... මාලතී දූත්  ඇවිල්ලා....

ඇඳෙහි වැතිරී සිටි ගැහැනිය නැඟී සිටීමට ගත් වෑයම දුබල එකකි. වාරු නොමැතිව වැතිරුණු ඈ දුටු සිසිලියානා වහා එතනට ගියාය. ඇඳ උඩින් වාඩි වූ ඈ මවගේ උරහිසට පිටුපසින් අත යවා වත්තන් කොටගෙන අම්මාව ඇඳ විට්ටමට හේත්තු කරවූවාය.

මාලතී කිරි අම්මා දෙස බලා සිටියේ සංවේගයෙනි. බුලත් හෙප්පුවත් රැගෙන පැමිණි හේරත් අසල වූ පුටුවක වාඩි වූයේය.

මගේ මුළු ඉතිහාසයකින් පදාස පිටින් එයට ඇතුළු වීලා තියෙන බව...

ඔබෙන් කාට කෙසේ වුවත්, මගේ ජීවන අත්දැකීම් නම් නොමැකෙන පරිද්දෙන්ම මගේ මතකයේ නිදන් වී තිබෙන බව නිශ්චිතය. එදා 1996දී මා ‘යුවති කිරිල්ලී’රචනා කරනවිට හිතාමතා නොකළත්, මගේ මුළු ඉතිහාසයකින් පදාස පිටින් එයට ඇතුළු වීලා තියෙන බව මටත් පෙනෙන්නේ දැන්ය!
චරිතවලට දුන් නම් පවා....

මේ හේරත්ලා හිටි ඉසව්ව තනිකරම උගුරැස්සගහවත්තේ අපේ ගෙවල්වලට පැය බාගයක දුරක්  උඩහින්, කන්දේ තිබුණු හේනේ පුතාලගේ ගෙදරයි. හේනේ පුතාගේ අම්මා සිසිලිය. ඒ නමේ අගට ‘යානා’ කෑල්ලක් නම් තිබුණාදැයි මට අවිනිශ්චිතය. ‘හේනේ පුතා’ය කිව්වාට එයා; රත්නපාල මට සහෝදරයා වෙන කෙනෙකි. ඒ ගෙදර ප්‍රධානියා; සිසිලිගේ සැමියා කොහොවිලේ ගෙදර බාප්පාය.

රත්නපාලත් හමුදාවේ සේවය කළ කෙනෙකි. 

චන්ද්‍රා කියන්නේ අපේ කඩේ සීයාගේ ලොකු දුවයි; මට ‘කඩේ පුංචි’ වුණේ ඇයයි. කඩේ සීයාගේ ලොකු පුතා ‘රහුබද්දේ විදානේලාගේ වික්‍රමසූරිය’ මට ලොකු මාමා වුණේය! 

ඇත්තම චරිතවල ගති-සොබා කිහිපයක්.... ලියන්නාගේ හිතට තදින්ම කාවැදී ඇති ගති ලක්ෂණ සමහරක් නිර්මාණකරණයේදී එකම චරිතයකට ආරෝපණය කෙරෙන්නටද ඉඩ ඇත. බදුල්ලේම හිටි සෝමා පුංචිගේත්, මහරගම සිටි දසනායක රත්නවතී- අපේ ආච්චිගේත් ගති කිහිපයක්ම එකට මුහුවී සිසිලියානා නිර්මාණය වෙලාය! 

අපේ ආච්චී මිස, සෝමා පුංචි අත්කම් වැඩ කරනවා නම් මං දැකලා තිබුණේ නැත.

‘සිසිලියානා කුප්පි ලාම්පුවක් ළඟින් තබාගෙන දිගින් දිගටම පැදුර විවීමෙහි යෙදුණේ භාවනාවක යෙදෙන්නාක් මෙනි.’ - සිසිලියානා කැත්ත සැමියාට දී මෝල් ගහ අතට ගත්තාය.’ - ‘ඈ සිසිලි, කොහෙද උඹ ඔය හම්බ කරන සල්ලි තියල තියෙන්නේ? පැදුරු වියනවා..... වත්තෙ එළවලු ටිකත් කඩලා විකුණනවා... අම්මපා, ඔය සල්ලිවලට මොනාද බං කරන්නේ?කියලා පසුගිය පෝස්ටුවේ ලියවී තිබුණු ඒ ස්වභාවයන් අර දෙන්නාටය අයිති වුණේ. සෝමා පුංචිත්, අපේ ආච්චිත් දෙදෙනාම යකඩ ගැහැනු වූහ. ඒත් අපේ ආච්චී මිස, සෝමා පුංචි අත්කම් වැඩ කරනවා නම් මං දැකලා තිබුණේ නැත. අපේ ආච්චීය පොල් අතු විවීම, කැවුම් හැදීම, රේන්ද ගෙතීම වැනි දේවල් මට පුහුණු කෙරෙව්වේත්. 

සෝමා පුංචිත් අත්වැඩවලට හපනියක් බව මං දැනගත්තේ ගිය සතියේය.

අවුරුදු 82කේදී ඇය කළ ගෙත්තමක්; ඒකත් පොඩි පහේ එකක් නොවේ, අනෝමා මානෙල් නංගී fb එකේ දාලා තියෙනවා දැක්කාමය! චිරං ජයතු සෝමා පුංචි!!

‘යුවති කිරිල්ලී’ නම හොඳද කියලා ශබ්ද ශාස්ත්‍රය දන්නා හිමි නමකගෙන් අහගෙන ටික කාලයකට පස්සේ ‘අරිසෙන් අහුබුදු’ මහත්තයා ලංකාව පුරාම ජය කෙහෙළි නැංවූයේය, නම් තැබීම සම්බන්ධයෙනි. අපේ හිතවතුන් ගොඩ දෙනෙකුගේ දූ-දරුවන්ටත් නම් තබා තියෙන්නේ එතුමාණන් විසින්ය. 

අහුබුදු කාගේවත් පස්සෙන් පන්නගෙන ගිහිං නම් දැම්මේ නෑ තමයි. හැබැයි නම් දාගන්න ආපු උන්ට චුකුලි, බුකුලි, මුකුළි, පුකුලි වගේ....

මේ වසරේදී එතුමන්ගේ 100වෙනි උපත් සමරුව යෙදෙයි. ඒ අස්සෙම මගේ හිතවතෙකු ‘සහන් කසීර වික්‍රමසිංහ’ සහෘදයාගේ ප්‍රකාශයක් උපුටා එවා තිබිණි. එහෙම කරලා තිබ්බේ, මේ දවස්වල සිංහල භාෂාව ගැන අප කිහිප දෙනෙකු බරපතල විදිහට ‘වලියකට පැටලී’ ඉන්නා හින්දාය. එහෙම නමුත් සහන්ගේ ප්‍රකාශය මොට්ට එකක් නොවේ!

Sahan Kaseera Wikramasingha - ‘අහුබුදු මහත්තයා ලංකාවේ උන්ගේ ඉහවහා ගිය හීනමානය සහ මළපහවල වර්ණයෙන් හරි අනික් මිනිස්සුන්ට වඩා විශේෂ වෙන්න හදන ගතිය හොඳින් අඳුනගත්තා. එතුමා කළේ ඒක හොඳ ආදායම් මාර්ගයක් කරගෙන එතුමාගේ පරම්පරාවටම ගොඩ යන්න පුළුවන් විදියේ වෙළඳ පොළක් නිර්මාණය කරපු එක. ඔව්! අහුබුදු කාගේවත් පස්සෙන් පන්නගෙන ගිහිං නම් දැම්මේ නෑ තමයි.

හැබැයි නම් දාගන්න ආපු උන්ට චුකුලි, බුකුලි, මුකුළි, පුකුලි වගේ රිලව් කෑ ගහනකොට ඇහෙන සද්ද නම් විදියට දාපු සදා වන්දනීය, සදා පූජනීය, සදා ගෞරවනීය ආරියසේන ආශුබෝධයාණෝ තමන්ගේ දුවට දම නම් මොකක්ද?

සමන්ති!

මිණිබිරියට දැම්ම නම මොකක්ද?

සඳනි!’

පීල්ල මාරු කරගෙන ටික දුරයි ආවේ... ඔන්න එහෙනං ආයෙම පොතට....

සංසාරේ හැටි තමා දුවේ! උපදිනවා... ලෙඩ දුක් වෙනවා...

මොකෝ? දෝණියන්දට දුක හිතිලය....බුලත් කොළයක නටුවත්, අග්ගිස්සත් කඩා දැමූ ඔහු ඒ මත හුණු තැවරුවේ මාලතී දෙස බලමිනි.

සංසාරේ හැටි තමා දුවේ! උපදිනවා... ලෙඩ දුක් වෙනවා... නේද සිසිලි අක්කේ?”

මයෙ දුවත් මා බලන්ඩ ඇවිල්ල පුතේ...

කිරි අම්මා සතුටින් ඔද වැඩිලාය. ඇගේ දෙනෙතින් වැටුණු සතුටු කඳුළු සිසිලියානා තමන්ගේ ඔසරි පොටින් පිස දැමුවාය.

දුවේ, ගෙනෙන් හැන්දකුයි පිඟානකුයි... වතුර ජෝගුවකුත් ඉල්ලාන වරෙංකො... මං බත් මුලක් බැඳං ආවා මල්ලියෙ. උඹලටත් එකක් ගෙනාවා. අම්මා ආසයිනෙ කොල්ලු මාළුවට...

මොකට නැහුණද මයෙ දුවේ.... අපරාදේ කියන්ඩ බෑ.... රන් මැණිකාත් පිට එකීය කියලා නෑ.... හේරත්ටත් වැඩිය හොඳට මා ගැන බලනවා.... වාසනාවන්. ඒකිත් නැත්තං ආයේ වෙන කවුද මෙව්වා බලලා කරන්නෙ?”

මාත් ආසා නැතිව නෙවෙයි අපෙ අම්මා, අපෙ අම්මව අපේ ගෙදරම නවත්ත ගන්ඩ.... හරි නං මමයි අම්මව බලා ගන්ඩ ඕනි... ඒ වුණාට අපෙ අම්මා කැමති නැහැනෙ එහෙ ඇවිදින් ඉන්ඩ...

මිදුල හරහා බුලත් කෙළ පහරක් ගැසූ හේරත් නැවතත් ඇතුළට ආවේය. අම්මා ඔහෙ හිටපුදෙං අක්කේ.... අපිට ඕක ඔය හැටි දෙයක් නෙවෙයිනෙ අම්මව බලා ගන්න එක.

අපි ඔය වලව්ව අස්සේ කුස්සියේම මුලු ගැන්නිලා හිටියා මිසක්.....

මං ඒක දන්නවා මල්ලියෙ...සිසිලියානා බත් මුළ පිඟාන මතින් තබා දිග හැරියාය. කෙසෙල් කොළයේ ඔතා තිබුණු බත් මුළෙන් වහනය වූ සුවඳ දැනුණු මාලතී කටට කෙළ උනා එන බව වටහා ගත්තාය. හෙප්පුවෙන් බුලත් කොළයක් ගත් ඈ එයින් කැබැල්ලක් මුවට දමා ගත්තාය.

දැන් නං අරයගෙ හිතෙත් මොකවත් නැහැ. ඊයෙත් එයාම තමා කිව්වේ අම්මව බලන්ඩ ගියෙත් නෑ නේද කියලා...

මාලතීට පුදුම සිතුණි. අප්පච්චි එසේ කියූ බවක් ඇයට නම් මතක නැත. ඔහු කිරි අම්මා ගැන එතරම් පැහැදීමකින් නොසිටින බව පමණක් මාලතීට සහතිකය.

මං වැරදි කළා තමා මයෙ දුවේ.... විල්මට් මාත් එක්කලා තරහ වුණාට කාරි නෑ. ඒ සන්දියේ අපිට හොඳ නරක කියා දෙන්න කවුරුවත් හිටියයැ..... අපි ඔය වලව්ව අස්සේ කුස්සියේම මුලු ගැන්නිලා හිටියා මිසක්, දන්නා දා ඉඳලාම.

ඔව්වා වැඩක් නෑ අම්මා!

මහ අප්පොලා කිව්ව කරපු දේවල්.....

ඔව්වා වැඩක් නෑ. මේ පොඩි එකීත් ඉන්නවා.... මොනවටද ඔය ගිය එව්වා අවුස්සන්නේ?” මැටි කෝප්පයට අත සේදූ සිසිලියානා තෙත අතින් කිරි අම්මාගේ මුව පිස දැමුවාය. කතාව අතරමඟ නතර කරන ලෙසට කළ සංඥාවක් බඳු ඒ ක්‍රියාවෙන් පසු කිරි අම්මා ඒ ගැන කතා කළේ නැත.

********

මෙහෙමවත් වෙලාවක නිවාඩුවක් ගන්න බැරි නං ඉතිං රස්සාවල් කරලත් වැඩක් නැහැනෙ.

වික්‍රමගේ පැමිණීමත් සමඟම නිවසට අමුතුම ජීවයක් ලැබුණා මෙනි. කලකින් පැමිණි පුතු වෙනුවෙන් විල්මට් දින කිහිපයක නිවාඩුද ලබා ගත්තේය.

මෙහෙමවත් වෙලාවක නිවාඩුවක් ගන්න බැරි නං ඉතිං රස්සාවල් කරලත් වැඩක් නැහැනෙ. සින්නතම්බි මුදලාලි  නම් වැඩිය කැමති නෑ ලොරිය වෙන කෙනෙකුට දුවන්න දෙන්න..... මුදලාලි කීවා දවසක් නිවාඩු ගන්නයි කියලා.... එදාට ලොරිය නොදුවා ඉන්නම්ලු.... මිනිහා කොහෙද මාව තම්බන්නේ... මම අර ශාන්ත කොලුවව පංගාර්තු කළෙත් කපටිකමටමයි. ඌ වැඩ කරයි, දවස් තුන-හතරක් හරි....

ශාන්තය කිව්වේ අප්පච්චි?”

ඔව් පුතේ. අර උඹලගේ ඉස්කෝලෙම හිටියේ... මිනිහත් පහුණු ටිකේ ලොරියක් එලෙව්වා. මුදලාලි ඒක විකුණලා. අලුත් එකක් හොයා ගන්නකල් මිනිහට මේ දවස්වල වැඩ නැතිව හිටපු එකත් හොඳට හිටියා.

වික්‍රමට සුසුමක් හෙළුණේ නිතැතිනි. ශාන්තත් එහෙනං ලොරි එලවනවා..... ඉගෙන ගත්තු ඔක්කොම පාරේ....!ශාන්ත පාසලේ සිටි දීප්තිමත් සිසුවෙකු බව ඔහුට මතකය.

ඔන්න පුතේ මං මෙහාටම ගෙනාවා!

සිසිලියානාගේ හඬින් හැරී බැලූ වික්‍රමට සිනහ නැඟුණි. තවමත් දුම් දමන රොටි කිහිපයක් සහිත පිඟාන දෙස ඔහු ආසාවෙන් බැලුවේය. සුවඳ හමන ලුණුමිරිසක්ද තසිමක තිබිණි.

එහෙ කට්ට අව්වනේ. ඔක්කොටම වඩා අමාරු....

කන-බොන එව්වා මොකුත් පුතාට අල්ලපු පාටක් නං නෑ...

ඔය මොනවා තිබුණත් අම්මා හදන ඒවාට යටයි අපෙ අම්මා...

වික්‍රම රොටියක් අතට ගෙන ලුණුමිරිස් හැන්දක් එය මතටම බෙදා ගත්තේය.

ඔයත් කෑවා නං... මාලතී තවම රොටී හදනවා. ඒකිම තමා කියව්වේ අයියාත් ආසා හින්දා රොටි හදමුය කියලා... පව්! ඒකිටත් ආසා ඇතිනෙ...සිසිලියානා පිඟානකට රොටියක් දමා ලුණුමිරිස්ද බෙදුවාය. විල්මට් පිඟාන අතට ගත්තේ පුතු දෙස බලමිනි.

පුතාට තව දියල්ලා...

මම ගන්නං අපෙ අම්මා...

මයෙ පුතා තවත් ඩිංගිත්තක් කළු ගැහිලා.

එහෙ කට්ට අව්වනේ. ඔක්කොටම වඩා අමාරු ඒකයි.

බොලේ.... අද තාම කිරි දෙවුවෙත් නෑ.... ආං හඳියි පැටියයි දෙන්නම අඬනවා... පුතා ඇවිත් හිටි සන්තෝසෙට ඒකත් අමතක වුණා!

වතුර සෙම්බුව රැගත් මව හරක් මඩුව දෙසට කඩිනම් ගමනින් යන දෙස බලා සිටි වික්‍රම තවත් රොටියක් බෙදා ගත්තේය. විල්මට් රොටී කැබැල්ලක් මුව තුළට දමාගෙන දිගු කල්පනාවකට වැටුණේය.

කවදා හරි යුද්දෙ ඉවර වෙනකං බලා ඉන්නයැ?

ආන්න මුදලිහාමි මාමත් පුතා එනකල් මඟ බල-බලා ඉන්නවා. මොකද්ද වැදගත් කතාවක් තියෙනවය කිව්වේ

විල්මට් කිව්වේ ඉවත බලාගෙනය. වික්‍රම හොරැහින් පියා දෙස බැලුවේය. අප්පච්චිත් පෙර නොවූ ගරු-සරුවකින් තමාට සලකන බව වික්‍රමට වැටහී තිබිණි.

චන්ද්‍රාත් ලියල එවල තිබුණා, අප්පච්චි.

ඕවා ඉවරයක් කරල දාපුවම හොඳයිනෙ පුතේ! කවදා හරි යුද්දෙ ඉවර වෙනකං බලා ඉන්නයැ? මාරුවක් ගන්නත් තව කල් තියෙනවා ඇතිනේ...

තව මාස දහතුනක් තියෙනවා අප්පච්චි.”

“ඒකනේ..... මුදලිහාමිටත් තව කෙල්ලො ඉන්නවානේ, දීග-තලග දෙන්ඩ. ඉතිං ඉක්මනින් ලොකු කෙල්ලගෙන් නිදහස් වෙලා ඉන්ඩ එපායැ!”

“මං කතා කරගන්නං අප්පච්චි.”

සිසිලියානා ගෙට ගොඩ වූයේ පිය පුතුන්ගේ කතාවට එකතු වෙමිනි. “ඒක හොඳයි මයෙ පුතේ. කොච්චර වුණත් කුසුමාවතීලත් කැමති නැතිවය ලොකු කෙලීගෙ කටයුතු කරලා නිදහසක් වෙන්ඩ.”

වික්‍රම හිස සැලුවේය.

“දුවේ.... මේං මේ කිරි ටික උණු කරලා ගනිංකො හොඳ එකී වගේ.... මං ඊයේ දරට ගිහින් එද්දී වේලිච්චි දළුක් අතු ටිකක් දැකලා අරං ආවා. ඒවා ළිපට දාලා කිරි ටික උතුරවාපං දුවේ! එතකොටවත් හඳීට කිරි උනයිද බලන්න.... මේ ටිකේ ඒකිගෙත් කිරි අඩුයි. වස්සාට දෙන්ඩ හංගනවදවත් මංදා.”

සිසිලියානා සැමියාටත්, පුතුටත් තවත් ලුණුමිරිස් බෙදුවාය.

මට ඒ විත්තිය මතක් වුණේ පරෙවි කිරිල්ලියෙකු ඇමෙරිකානු ඩොලර් මිලියන 1.9කට විකිණී ඇති බව....

‘යුවති කිරිල්ලී’ට රුපියල් 10,000/-ක් නිකම්ම නිකං ලැබුණේය. ඒ ගැන විස්තර කියන්නේ අද නොවේ, පස්සේ දවසකය!

මට ඒ විත්තිය මතක් වුණේ පරෙවි කිරිල්ලියෙකු ඇමෙරිකානු ඩොලර් මිලියන 1.9කට විකිණී ඇති බව දැනගත්තාමය. (ඩොලර් මිලියන ගණනත් එක්ක බලද්දී රුපියල් දහදාහ මොන මී බෙට්ටක්දැයි මටම සිතිණි.)

අපේ හිතවත් මාධ්‍යවේදී ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා 2020 නොවැම්බර් 29 වෙනි ඉරිදා ‘දේශය’ පත්තරයට ලියා තිබුණු වාර්තාවකිනි මා එය දැනගත්තේ. ‘ලොව වැඩිම මිලට අලෙවි වූ පරෙවි  කිරිල්ලී’ සිරස යොදා, ඒ ගැන ප්‍රියන්ජන් ලියා තිබුණේ මෙලෙසිනි.

‘පරෙවි ලෝලයෝ ලොව කොහෙත් සිටිති. එහෙත් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.9ක් ගෙවා පරෙවියකු මිලදී ගන්නා අයකු සිටිය හැකිද?  ලොව වැඩිම මිලකට අලෙවි වූ එම පරෙවියා පිළිබඳව වාර්තා වන්නේ බෙල්ජියමෙනි. මෙම පරෙවියා නිව් කිම් නමින් හැඳින්වෙන අභිජනන පක්ෂියෙකි. අවුරුදු දෙකක් පමණ වයසැති නිව් කිම් මිලට ගෙන ඇත්තේ චීන ජාතික ධනවත් පරෙවි පියාසර තරග රසිකයකු විසිනි.

බෙල්ජියමේ පිපා නමැති වෙන්දේසි මධ්‍යස්ථානයේ සති දෙකක කාලයක් මුළුල්ලේ පැවැති වෙන්දේසියක් අතරතුර පසුගිය ඉරිදා මෙම පරෙවියා ඉහළම මිලට අලෙවි විය. සුපර් ඩුපර් හා හිට්මෑන් යන අන්වර්ථ නම්වලින් පෙනී සිටි  ලංසුකරුවන් දෙදෙනෙක් පරෙවියාට ලංසු තැබූහ.  නිව් කිම් සඳහා මුලින් තැබුණු ලංසුව වූයේ යුරෝ 200කි. අඩ හෝරාවකට පසු   එය යුරෝ 350,000 දක්වා ඉහළ ගියේය. පසුගිය වසරේ ආමන්ඩෝ නමැති පිරිමි පරෙවියා අලෙවි වූයේ ඩොලර් මිලියන 1.4කටය.  ආමන්ඩෝව හිමිකරගෙන සිටියේ සුපර් ඩුපර් යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටි ලංසු තබන්නා විසින් නියෝජනය කළ ධනවත් චීන ව්‍යාපාරිකයාය. ලංසු තැබීම දිගින් දිගටම සිදු වූ අතර අවසානයේ චීන ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි සුපර් ඩුපර් යුරෝ මිලියන 1.6 ( ඩොලර් මිලියන 1.9 ) දක්වා ලංසුව ඉහළ නැංවීය. දශකයකට පමණ පෙර, පරෙවියකු සඳහා හිමි වූ වාර්තාගත මිල වූයේ නිව් කිම් වෙනුවෙන් ලංසුව ආරම්භ කළ මිලෙන් දහයෙන් එකකි.

මොනර කිරිල්ලී, සුළං කිරිල්ලී වගේ කිරිල්ලියන් රැසක් මතකයට ආවත් පරණම එක්කෙනා ‘සිකුරු බැද්ද’ චිත්‍රපටයේ ආ ‘වී කිරිල්ලී’ය.

නිව් කිම් ගැහැනු පක්ෂියෙකි. එම චීන ජාතිකයාගේ අරමුණ නිව් කිම් හා ආමන්ඩෝගෙන් අගනා පැටවුන් බෝකිරීමය....’

යුවති කිරිල්ලී හින්දා මේ දවස්වල කිරිල්ලියන් ගැන විමසිල්ලෙන් සිටින නිසාය, මේ පරෙවි කිරිල්ලියගේ කතන්දරෙත් ඇස ගැටුණේ. ඊට කලින් මොනර කිරිල්ලී, සුළං කිරිල්ලී වගේ කිරිල්ලියන් රැසක් මතකයට ආවත් පරණම එක්කෙනා ‘සිකුරු බැද්ද’ චිත්‍රපටයේ ආ ‘වී කිරිල්ලී’ය. එච්චරක් විතරක් කියලා අදට සමු ගන්නං, හොඳේ?

2 comments:

  1. පරෙයියන් ඔච්චර ගණන්ද ?දන්නෙම නැති පැත්තක්

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං අජිත් මහත්තයෝ. මාවත් උඩ ගියා ඒ ගණන් දැක්කම.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්