li Item

Tuesday, May 11, 2021

Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස

නිමල් දිසානායක ඒ දුවන කෝච්චියට බෙල්ල තිබ්බේ එහෙමය.

“.... මෙයා ඔතෑනි වැඩියි නිමල් අයියේ.... අක්කයි අම්මයි සැර කළොත් ඒ පැත්තට වුණත් නැවෙන්න බැරි නෑ... ඒකමයි මට බය.... මගේ බැංකු පොත, ෆෝන් එක එහෙමත් එයාගේ bag එකේ තිබුණේ....” 

“ඇයි නංගි, එව්වා එයාට දීලා තිබ්බේ.....”

“මෙහෙම වෙයි කියලා කවුද අයියේ හිතුවේ.... අපි ගමේ යද්දී වැඩි පරෙස්සමටය කියලා ඒවා සේරම එයාගේ බෑග් එකේ දාගෙන ගියේ.... ගෙදර ගියාට පස්සේ ඒවා බේරුම් කර ගන්න උවමනාවක් වුණෙත් නෑ. දැන් මගේ අයිඩෙන්ටියවත් මගෙ ළඟ නෑ....”

ඒ කාලයේ ඒකත් ලොකු ප්‍රශ්නයකි.

අන්තිම අසරණ අඩියකට වැටිලා ඉන්නා ඒ යුවතිය වෙනුවෙන් මට කළ හැකි උදව්ව මොකක්ද?
“අනේ අයියෙ... ඔයාට පුළුවන් නේද එයාලගේ ගෙදරට යන්න.... මං අලුත් ෆෝන් එකක් ගත්තා.... ඒ නොම්මරේ එයාට දීගන්න කිසිම විදියක් නෑ.... අනේ බුදු අයියේ, එහාට ගිහිල්ලා- මේ නොම්මරේ එයාට දීලා-  එයාට කියන්නකො එක වතාවක් හරි මට ඒකට කතා කරන්නයි කියලා...”

ඇය ඉල්ලන ඒ උදව්ව නම් කොහොමෙන් හරි ඉටු කළ හැකි මට්ටමේ පුංචි එකකි. එකම පරහ, අම්මලා ඊසිව වෙනින් කොහේ හරි රඳවලා තියෙනවා නම්ය. “නංගී, ඒ වැඩේ කොහොම හරි කරලා දෙන්නං, හැබැයි ඊසි ගෙදර ඉන්නවා නම් තමයි ඔන්න...”

මේ නිමල් දිසානායක ඒ දුවන කෝච්චියට බෙල්ල තිබ්බේ එහෙමය.

ඕනෑම මෙහෙයුමක් සැලසුම් කරන්නට කලින් දත්ත එකතුකොට විශ්ලේෂණය කරන්නට වෙයි....

“ඉතිං, අයිය අදම එහාට යනවද?”

“අද හරි හෙට හරි... ඊසිලා අක්කලට සැක නොහිතෙන විදිහට එපැයි එහෙ යන්න.... හෙට රෑ නවයහමාර විතර වෙද්දී ඔයා මට කෝල් එකක් දෙන්න. ඒ වෙද්දී මොනවා හරි කරලා ඉවර කර ගන්න පුළුවන් වෙයි!”

ඇයගේ අලුත් ජංගම දුරකතන අංකයත් ඉල්ලාගෙනය මං ආපහු press එකට ගියේ.
මංජුල වෙඩිවර්ධනගේ ‘මේරි නම් වූ මරියා’ පොත තහනම් කරන්නට යන වෙලාවේ වගේම
‘රහස් මෙහෙයුමක්’ දියත් කරන්නට මේ ලියන්නාට සිද්ද වුණේ එහෙමය. 

ඕනෑම මෙහෙයුමක් සැලසුම් කරන්නට කලින් දත්ත එකතුකොට විශ්ලේෂණය කරන්නට වෙයි. විය- නොවිය හැකි දේවල් ගැනත්; සේරෝම අහම්බයන් ගැනත් සිතා බලන්නට වෙයි.
මට තිබුණු ලොකුම අවාසිය මා නිතර ඊසිලාගේ ගෙදරට ආ-ගිය කෙනෙක් නොවීමයි. මේ හදිසියේ අහේතුකව මට හදිසියේම එහාට කඩා පාත් වෙන්නට බැරිය.

ඔව්! කළ යුත්තේ ඒකය, ඒත් ඒකටත් විශ්වාසවන්ත කෙනෙක් ඕනෑය....

හරි!
මුදියන්සේ අපේ press එකේ සේවය කරමින් හිටි කෙනෙකි. එයාගේ බිරින්දෑ එතකොටත් අච්චු කන්තෝරුවේම වැඩය.
(ඒ ජෝඩුවටම මාව විශ්වාසය. ඒ දෙන්නා හිතේ හංගාගෙන හිටි රහස් ආදරය එකිනෙකාට කියා ගත්තෙත් මං වහන්සේ සංවිධානය කළ විනෝද චාරිකාවක් ගිහින් එන අතරේය. කල්තොට දූවිලි ඇල්ල බලන්නට ගිය දවසේ චාරිකාවක්! ඊසිගේ පලහිලව්ව සිද්ද වෙද්දී එයාලා කසාද බැඳලාත්ය.)
ඒ ජෝඩුවත්, ඊසිගේ පොඩි අක්කාත් යහළුවෝ වූහ. ඊසිලාගේ ගෙදරටත් යන උදවියය.

“මුදියන්සේ, අද හවසට ගෙදර යන ගමන් අපේ ගෙදර පැත්තෙන් එනවා. මට තමුසෙලා දෙන්නව හම්බ වෙන්න ඕනි පොඩි වැඩකට.”
“ඇයි නිමල් අයියෙ, කරදරයක්ද?” මුදියන්සේ එතකොට ඇහුවා මතකය.

 ‘මගෙන් මංගල යෝජනාවක්ඇබැද්දිය වෙන්නට ගිහින්වත්....

“තමුසෙලා එනවකො... මට ලොකු උදව්වක් ඉල්ල ගන්න තියෙනවා....” මං එහෙමය. සමහර වෙලාවට දෙන්නේ කෙටි උත්තරය. මට වාගෙම අනෙක් අයටත් පට ගාලා click වෙනවා කියලාය මං හිතන්නේ. ‘මගෙන් මංගල යෝජනාවක්’ ඇබැද්දිය වෙන්නට ගිහින්වත්, මං වහන්සේ පාඩමක් ඉගෙන ගත්තේ නැති හැටි!   

අනෙක් අතට මං ටිකාක් විතර අසාධාරණය කියලාත් හිතෙයි. මට යමක් කරවා ගන්නට ඕනෑ වුණාම කෙක්කෙන් හරි, කොක්කෙන් හරි එය කරවා ගන්නවාමය.
හුඟ දෙනෙකුව නම්මවා ගැනීමේ වාසනාවන්ත අධිකාරී බලයකුත් මට උප්පතියෙන්ම ලැබිලා තිබේ. එහෙත්, ඒ ගමන්ම ඉතා ආඩම්බරයෙන් කිව යුතුය! දැනුම්-තේරුම් ඇති; මතක ඇති කාලයක නම් මා ඒ බලය යුතු ලෙස යොදවලා නැතිය!!

“මේකයි කතන්දරේ....”
එදා හවස අපේ ගෙදරට ආ මුදියන්සේ ජෝඩුව මගේ කතාව අසාගෙන සිටියහ. මුදියන්සේ මොට්ට ප්‍රශ්නයක් ඇහුවේ, එහෙම අසාගෙන ඉඳලාත් අන්තිමටය.

“දැන් මොකක්ද නිමල් අයියා කරන්න යන්නේ?”
“මං කරන්න යනවා නං තමුසෙලට එන්න කියනවද මිනිහෝ. මම නෙවෙයි යක්ෂයිනේ.... තමුසෙලා දෙන්නයි මේ හපන්කම කරන්න යන්නේ.... හැබැයි රජෝ තිතට වැඩේ දෙන්න ඕනි, හොඳද!”
“හ්හ්හ්ඈ?”

තිස්සෙම බය-බිරාන්ත වෙච්චි ගමන් වගේය; ඇස්ගෙඩි දෙක නෙරවා ගත්තු ගමන්ය.

“ඔය කට වහ ගන්නවා මුදියන්සේ... එක්කෝ තමුසෙගෙ කටට මැස්සෝ රිංගයි, නැත්තං තමුසෙගෙ හුස්ම ටික බඩටම ඇදිලා යයි ඔය අදින ඇදිල්ලට....” මුදියන්සේ එහෙමය. තිස්සෙම බය-බිරාන්ත වෙච්චි ගමන් වගේය; ඇස්ගෙඩි දෙක නෙරවා ගත්තු ගමන්ය. අද කියන්නට පටන්-ගන්න දෙයක් කියලා ඉවර කරන්නේ හෙටය!

එහෙම වෙලාවක කාට වුණත් ඕනාවට වඩා කතා කරන්නට ඉඩ නොදී, කියන දේ එල්ලයටම කියා දමන්න ඕනිය.

සාධාරණ ඒකාධිපතිවාදය ගැන දන්නවද? තමන් ඒ තියරිය අනුගමනය කරන බව කෙනෙකු එකහෙළා කියනවා මට ඇහුණේ, මං සේවය කළ ආයතනයකදී; ආයතන ප්‍රධානියාගෙන්. වස් කවි කියවීම ගැන posts ලිව්වෙත් එහෙ ගැනයි! මාත් පෙළක් වෙලාවට උන්නහෙව අනුගමනය කරනවා, කිසිම හිරිකිතයක් නැතිව. ඒ concept එක හොඳ හින්දා. 

“මෙහෙමයි.... තමුසෙලා ජෝඩුව හෙට හවසට ඊසිලගේ ගෙදරට යනවා.... ජයමුතුගම ‘අම්ම ගහයි*’ලගේ ගෙදරට ගිහින් එන ගමන් විදිහට.... ඒ එනකොට මේ අම්මන්ඩිට හදිසි ශාරීරික අවශ්‍යතාවක් ඇති වුණයි කියනවා... ගෑනු කෙනෙකුට හැම තැනම යතහැකියැ..... එයාලගේ ගෙදරට ආවේ ඒ හින්දයි කියලා....”
*(‘අම්ම ගහයි’ හාදයාත් මුද්‍රණ සගයෙකි. හිටියේ ඊසිලාගේ ගෙවල්වලට වඩා දුරින්ය. ඒ ටික ලිව්වේ පෙරවදනක් හැටියටය!)

“චිකේ නිමල් අයියේ, ලජ්ජා නැතිව ඔව්වා කියන්න පුළුවන්ද? අපි නිකං ගොඩ වැදුණයි කියමු. ඒ ඇතිනේ....” මුදියන්සේ බිරිය මගේ කතාව මැද්දට පැන්නාය.

“කිව්වම අහපං මොට්ටියේ.... කෙහෙල්මල් ලජ්ජාව! මොකෝ, ගෑනු ටොයිලට් යන්නෙ නැති අයද? තමුසෙලා එහෙම හදිසි ඕනෑකම් නොහැදෙන අයද?
තමුසෙලා දෙන්නා නිකම්ම එහාට ගියා කිව්වම සැක හිතයි.  මම කිව්වට දෙනවලකො නියම ඇක්ටින් පාරක්. ටොයිලට් එකට යන්න ඕනකමටම එහාට ආවයි කියනවා.... ඔන්නං, ලජ්ජාවෙනුත් ඇඹරෙනවා... අර ඒ දවස්වල මේකව දැලේ දාගන්න ඇඹරුවා වගේ....”

හරි, හරි. එහෙම ඇඹරුණේ නැතිවට කමක් නෑ!

“අනේ, නිකං ඉන්න නිමල් අයියේ.... මං එහෙම ඇඹරිච්ච එකක් නෑ!”

“හරි, හරි. එහෙම ඇඹරුණේ නැතිවට කමක් නෑ. දැන් තමුසෙ ලජ්ජාවෙන් ඇඹරුණේ... ඒ වගේ කරනවකො... එතකොට පොඩි අක්කා තමුසෙව ගේ ඇතුළට එක් කරගෙන යයි.
මුදියෝ, ඔන්න එතකොට එනවා තමුසෙගෙ චාන්ස් එක. ඒ දෙන්නා ගෙට ගිය අතරේ ලේසියෙන්ම මේ නොම්මරේ ඊසියට දෙන්න තමුසෙට පුළුවන් වෙයි....!”

ඒ හැරුණු විට විශේෂ අවවාදයක්ද ඔවුනට දීමට මම අමතක නොකළෙමි.

“.... මේ මුදියන්සේ හාමිනේ... තමුසෙ දන්නවනේ මහත්තයාගේ හැටි. මෙයා ඇද-, හිත-හිතා වචන හොයනකොට හෙට වෙයි. ඒ හින්දා ඔබතුමියම කතාව කියනවා.... ගෘහ මූලිකයාට වැඩිය කට අරින්න ඉඩ නොදී.... තේරුණානෙ?”

“තේරුණා, තේරුණා. ඒ වුණත් අම්මේ, නිමල් අයියත් බාරගන්න ලෙඩ!
පොඩි අක්කයි, අම්මයි දෙන්නා අපට ගහල පන්නයිද මංදා...  ඒත් ඉතිං ඔයාට බෑ කියන්නය?” ඒ කුටුම්බයේ නිල නොලත් ගෘහ මූලික අංගනාව කිව්වාය. “... ඊසියත් ඉඳල-ඉඳලා කර ගත්ත දෙයක් හැබෑට!”

“මුදියන්සේ, තමුසෙ ඊසිට මේ ටෙලිෆෝන් නොම්මරේ දෙනකොට... විස්තර නොකිව්වට කමක් නෑ. කෙල්ලගේ නමත් මේකෙම ලියලා තියෙන නිසා ඒ බූරු වහන්සේ දැනගනියිනේ, කෙල්ලගේ ෆෝන් නොම්මරේ වග....” මුදියන්සේ ඔළුව වැනුවේය.

“ඔළුව වැනුවට මදි මහත්තයෝ.... තමුසෙ වැඩේ හරියට නොකළොත් නං, මම තමුසෙගේ ඔළුව පළන එක පළනවාමයි, රජෝ!” කියලා තරවටුවකුත්, අනුපානෙට....

හවස හයෙන් පස්සේ අපේ ගෙදර ඔරලෝසුව දිව්වේ හරිම හෙමින්ය.

“ආ.... එහාට යනකොට මේං මේකත් අරගෙන යනවා... අවුරුද්ද පහු වෙච්චි ගමන් නිසා හිස් අතින්ම ගේකට යන්න  හොඳ නැහැනෙ...... හොර වැඩකට යතත් චාරිත්තරත් රකින්ඩ එපැයි.” මම කලින්ම සූදානම් කරගෙන තිබුණු ‘චීස් බිට්ස්’ ටින් එකකුත් එයාලාට භාර කළෙමි.

“මතකයි නේද කියන්ඩ ඕනි දේවල්... ඔන්න මං බලාගෙන ඉන්නවා තමුසෙලා දෙන්න ආපහු එනකල්... ඊසිගෙ කෙල්ල නවය විතර වෙද්දී මට කතා කරයි....”

පහුවදා හවස හයෙන් පස්සේ අපේ ගෙදර ඔරලෝසුව දිව්වේ හරිම හෙමින්ය. මුදියන්සෙලා දැන් එතියි- දැන් එතියි කියලා නොඉවසිල්ලකින් මඟ බලාගෙනය මං හිටියේ. ටෙලිෆෝනය නාද වීම පවා මට දැනුණේ කරදරයක් පරිද්දෙනි.

තුන්වෙනි වතාවටත් ඒ කරදරය සිද්ද වුණේ හතහමාරට විතරය.
මම රිසීවරය එසෙව්වෙමි; කණට ළං කළෙමි.
දෙයියෝ සාක්කි! කතා කරන්නේ ඊසිලාගේ පොඩි අක්කාය.

“නිමල් අයිය නේද? අනේ නිමල් අයියේ, මෙහෙම කියනවට මාත්තෙක්ක තරහ වෙන්න නං එපා.
ආයෙමත් නං මුදියන්සේලා වගේ, එක-එක්කෙනා අතේ අපේ මල්ලිට අරකිගේ පණිවිඩ එවන්න එපා.... අපේ මල්ලිට දැන් ඒකිව එපා වෙලා තියෙන්නේ..... ඔයා ඒකිට ඒ පණිවිඩේත් කියනවා නේද එහෙනම්...”
ඒ අංගනාව කියාගෙන ගිය විදිහට මට හුස්ම ගන්නටත් අමතක වුණු තරමය.

අනේ මං වගේ මෝඩයෙක්...

අප තුන්දෙනාම අපූරු ගොන් හරක්ය; නිකං හරක් නොවේ- මී හරක්ය!

රහස් ගමනකට තෝරා ගත්තේ අපූරු ගොන් බානක් නේද? අනුමානයක් නෑ, උන් දෙන්නා වැඩේ කාලාය. මුන් දෙන්නා මෙච්චරටම හරක්ද?

මගේ ඉවසිල්ල හොඳටම නැති වෙලා තියෙද්දීය; මං තරහෙන් පුපුරමින් ඉඳිද්දීය, මුදියන්සේ ජෝඩුවගේ ආගමනය සිද්ද වුණේ. ගේට්ටුව ළඟ මෝටර් සයිකලය නවත්තලා ඒ ජෝඩුව ගෙට ගොඩ වැදුණේ සතුටුදායක; ජයග්‍රාහී ලීලාවෙනි.
ඒ විදිහ දැකලය මගේ බැන වැදීම ටිකාක් විතර සුනංගු වුණේ.

“ඔන්න නිමල් අයියේ, කියපු විදිහටම වැඩේ කළා....”
“කළා....?”
“ඒකනෙ. පොඩි අක්කා හිතුවෙවත් නෑ අපි එහෙම ගමනකට ආපු බවක්... තේ බීලා මිසක් යන්න දෙන්නත් බැහැයි කිව්වා.....” කියාගෙන ගියේ මුදියන්සේ බිරියයි.
“... මෙයාට වාසියට හිටියා, නිමල් අයියා කිව්ව විදිහටම පොඩි අක්කා මාව ටොයිලට් එකට එක් කරගෙන ගිය එක.... නේද අනේ... එතකොටනේ ඔයා ඊසියාට විස්තරේ කියලා ටෙලිෆෝන් නොම්මරේ දුන්නේ...”

ඒ විදිහට නම් වැඩේ කෙළවිලා තියෙන්නේ වෙනින් තැනකින්ය. නමුත් ඒ කොහෙන්ද?

“මුදියන්සේ, තමුසෙ ඊසි එක්ක කතා කරනකොට වෙන කවුද එතැන හිටියේ? තමුසෙලා මෙහාට එන්නත් පැය බාගෙකට විතර ඉස්සෙල්ලනෙ පොඩි අක්කා මට කතා කරලා මෙහෙම කිව්වේ.....”

“ච්චඃ! අ..අ..අ..අනේ නිමල් අයියේ... බුදු හාමුදුරුවන්පල්ල දිවුරලා කියන්නේ.... අපි නං හරියට වැඩේ කළා... ඊසියාම පොඩි අක්කට ඕක කිව්වද දන්නෑනේ...” මුදියන්සේ එහෙම කියද්දීය, මට ඒ පැත්තකුත් තියෙන බව හිතුණේ.

හොරා කකා හිටපු එකා පහුගිය ටිකේ හිතේ හැටියට උගෙ සුරේ වතුරෙ.....

පස්සේ තේරුණු විදිහට සිද්දවී තියෙන්නෙත් ඒකය.

“මට කියනවකො බලන්න ඊසි කියපුවා සේරම!” මම ඇසුවෙමි. මුදියන්සේගෙන් ඒ ටික වමාරවා ගන්නට හැට පැයක් විතර දත්මිටි කමින් ඉවසාගෙන ඉන්නටය, මට සිද්ද වුණේ.

‘ඊසියා කිව්වා කෙල්ලගේ බැංකු පොතේ කියපු තරම් සල්ලියක් නැහැල්ලු.... එයාලගේ ගෙවලුත් එච්චර සරුවට නැහැල්ලු..... ගමකලු ඉන්නෙත්.... පොඩි අක්කලා කිව්ව විදිහට ඌට ඉනා බේතක් දීලා වගෙයිලු.... අම්මලා ළය විරේකයකුත් කරවලා ඉවරයිලු...’
මුදියන්සේ කිව්වේ නැවති-නැවතී මතකෙට ආ විදිහටය.

“දැන් මිනිහට ඉස්සර නොතිබිච්චි සැහැල්ලු ගතියකුත් තියෙනවලු!”

“සැහැල්ලු ඇති නේන්නං, හොරා කකා හිටපු එකා පහුගිය ටිකේ හිතේ හැටියට උගෙ සුරේ වතුරෙ..... sorry, මට මෙතැන කෙල්ලෙක් ඉන්නවා කියල මතක් වුණෙත් නෑ හලෝ, අර පර බල්ලගෙ වැඩේ අහලා....
ආයෙ දෙකක් නෑ! ඔය කියන විදිහට නම් ඌම තමයි කෙල්ලගේ ෆෝන් නොම්මරේ පොඩි අක්කලට දීලා තියෙන්නේ....”

මං හිටියේ කේන්තියෙනි. මිනිසුන්ට මේ තරමටම දීන විය හැකිද? කෑදර විය හැකිද?
ආදරය කරනවා කියන්නේ මේකටද... පරිත්‍යාගය- අවංක බව- මානුෂීය වීම නැත්තටම නැතිව ගිහින්ද? පෙම්වතා තමන්ව රැවටූ බව දැනගත්තාම ඒ තරුණිය මොනවා කර ගනීවිද? ඇය තමාගේ දෙමව්පියන්ට- නෑදෑයන්ට- ගමේ උදවියට මුහුණ පාන්නේ කොහොමද....
මට කල්පනා වුණේය.

ඒ සේරමත් හරි! ඒවා වෙන්නේ පස්සෙන් පහුය.
තව ටික වෙලාවකින් ඒ ගෑනු ළමයා මට කතා කළාම කියන්නේ මොනවාද? ඇත්තම කිව්වොත්.... බොරුවක් කියන එකත් හොඳ දෙයක් නොවෙයි නේද...

මේ අහ ඉඳගෙන ගමේ මිනිස්සුන්ට මූණ දෙන්නත් බෑ.

ෆෝන් එකේ rings ගියාම මං ඒක ඉස්සුවේ නොඋස්සා බැරිකමටය.
ටික වෙලාවක් යනතුරු ටෙලිෆෝනය දිගේ ගලාගෙන ආවේ අඬන; ඉකි බිඳින සද්ද විතරය. කියනවාට වඩා අසාගෙන සිටීම ලේසි නිසා මමත් අසාගෙන උන්නෙමි. අන්තිමේදී ඇයටම ඇති වෙලාය කතා කරන්නට ඇත්තේ.....

“එයා කතා කළා නිමල් අයියේ.... ඉහි... ඉහි... එයාට මාව එපාලු.... මං එයාට කවලා තිබ්බ ඉනාව අම්මලා ඇඟෙන් අයින් කෙරෙව්වලු, ගුරුකමක් කරල..... මහා පව් කතන්දර අයියේ.... එයාලට පටිසන් දෙනවා. මට දැන් කර-කර හිටිය රස්සාවත් නෑ.... මේ අහ ඉඳගෙන ගමේ මිනිස්සුන්ට මූණ දෙන්නත් බෑ. ගෙදරිනුත් එළියට නොබැහැ ඉන්නයි වෙලා තියෙන්නේ....”

මං අහගෙන හිටියා විතරය... හූමිටි තිබ්බා විතරය... ඒ පැත්තටවත්, මේ පැත්තටවත් බර වෙන විදිහට මොකුත්ම නොකියා හිටියා විතරය.
එහෙම වුණත් ඉතාම අසීරු රාජකාරියකින් මාව මුදවා තිබීම ගැන හිත යටින් ඊසිට ස්තුතිවන්ත වීමි. මිනිහා කෙල්ලට කතා කරන්නට ඇත්තේ අම්මාත්, පොඩි අක්කාත් ඉන්නා තැනම විය යුතුය.

ඒ අනුමානය නම් හරියටම හරි ගිය එකකි.

“ඔයා දන්නෑ නිමල් අයියේ අපේ අම්මගේ හැටි..... මම එයාලා කියන විදිහටම හිටියා... කියන විදිහටම කළා... එහෙම ඉඳලත් අපේ අම්මා මට ගෙදර ලියල දුන්නේ නෑ....
මොකටද නිමල් අයියේ එහෙම අම්මලා... මොකටද එහෙම අක්කලා......
ඒ අතින් අරයා හොඳයිනෙ අපේ එවුන්ට වඩා.... එයා මට ආදරෙයිනෙ.... ඉතිං මම ආපහු අම්මලට හොරෙන් මාතර ගියා....

දැන් අපිට හොඳයි නිමල් අයියේ...

මේ සැරේ නං පොලීසියෙන් ආවත් මාව ගෙනියන්න බෑ. මං අරයව කසාද බැන්දා....” මාස කිහිපයකට පස්සේ දවසක ඊසි ගොයියා මට ටෙලිෆෝන් කර විස්තර කිව්වේය.

එතකොට නම් මට පිස්සු හැදුණේය. ඊසිට මොළේ පෑදුණේ; පෙම්වතියගේ සැබෑ අගය වැටහුණේ පමා වෙලාය.
එහෙම වුණෙත් අම්මා ගෙදර උරුමය පවුලේ එකම පුතාට පැවරුවේ නැති වුණාමද?

ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියටත් බයයිලුනේ. ඒ කතාව මතක් වුණු නිසා මං එදා ඊසිගේ කතාවත් අහගෙන හිටියා විතරය. ඊට පස්සෙත් වරින්-වර ඊසි මට දුරකතනයෙන් ඇමතුවේය. මේ පෝස්ටුවේ මුලින්ම කියූ විදිහට ඊසි අන්තිම වතාවට මට කතා කළේ මාර්තු 11වෙනිදාය.

“දෙයියන්ගේ පිහිටෙන් දැන් අපිට හොඳයි නිමල් අයියේ...
අපේ ලොකු පුතාත් මේ අවුරුද්දේ විභාගේ කරන්න ඉන්නේ.... අපේ එක්කෙනාත් ඇඳුම් මහන්න පටන් ගත්තා...
සැරයක්- දෙකක් පමුණුවෙත් ඇවිදින් ගියා හදිසියේ, රෙදි හොයන්න.
ඔයාලගේ ගෙදර ආවේ නැත්තේ කොරෝනා නිසා... ඔයා පරෙස්සං වෙන්න ඕනිනේ අපට වැඩිය....
මම ආයෙම කතා කරන්නංකො වෙලාවක! අපේ එක්කෙනාටත් ආසයිලු ආයේම සැරයක් ඔයාව හම්බ වෙලා කතා කරන්න....”

ජීවිතයට මුහුණ පෑමේ අභියෝගය ජය ගන්නැයිදිරිමත් කළෙමි. එච්චරය!

ඒ මඟුල වෙනුවෙන් මගෙන් කෙරුණු දෙයක් නැතිම තරම්ය.

නමුත් ඒ තුරුණු පෙම්වතියගේ සියලු බලාපොරොත්තු බිඳ වැටී අසරණව සිටියදී, ඇගේම සොහොයුරෙකු ලෙස දවසක්- දෙකක් ඇයට කතා කොට ‘ජීවිතයට මුහුණ පෑමේ අභියෝගය ජය ගන්නැයි’ දිරිමත් කළෙමි. එච්චරය!

ඔවුනගේ සාර්ථකත්වයට මගේ දායකත්වය ඉතා සුළුය.
එහෙත් ඔවුන්ගේ දියුණුව; අභිවෘද්ධිය පිළිබඳව දැනගන්නට ලැබීමත් මට සතුටක් ගෙන දෙයි. මට වඩාත්ම සතුටු ඒ මංගල්ලයත් un දොස් වීමකින් යුතුව; සකල දෝෂයන් දුරින්-දුරුවී සුඛාන්තයකින් කෙළවර වුණු හින්දාය

හතුරෙකුට වුණත් වෙන්නට ඕනේ හොඳක්ය; යහපතක්ය෴

29 comments:

  1. හිතුවේ ඊසි වාගේම ගෑනූ පාරානෙත් ඊසිගේ සල්ලිවලට දේපල වලට කෑදර දෙන්නාට දෙන්නා තකට තක දෙන්නෙක් කියලා. කොහෙම නමුත් අහිංසක ජීවිතයක් අසරණ නොවි ඛේදවාචයකින් අවසන් නොවුනු එක නම් අගෙයි...

    ReplyDelete
    Replies
    1. ඊසිගේ තන්හාපතිකමයි, ඉච්චිකමයි මාත් හොඳට දැක තිබ්බා අසංග. ගෑනු ළමයා ගැන නම් කියැවුණු දේවල් විතරයි දන්නෙ. මට හමුවුණෙත් එකම එක දවසක් විතරයි.
      හැබැයි ඒ දෙන්නා තකට-තක නොවෙයි නම් දැන් ඉන්නවාය කියන තැනට එන්න අමාරුයි කියලා හිතනවා.
      කාට වුණත් හොඳක් වෙන්නනේ ඕනි. අන්තිමට ඒක වෙලා...

      Delete
  2. එක හුස්මට කියෙව්වා. දැන්, ඇදපු හුස්ම හිරවුනා වගේ දැනෙනවා😢. මේක මෑතකදී කියවපු නිදිගේ හොඳම පෝස්ට් වලින් එකක්. ආයෙ එන්නං කෙමෙන්ට් කියවලම බලල අදහස් දක්වන්න.

    ReplyDelete
    Replies
    1. https://www.cannabiscare.cc/products/love-potion-1-sativa/

      Delete
    2. බස්සා - Pra Jay මහත්තුරු ජොයින්ට් project එකක්වත්ද?

      Delete
    3. //බස්සා - Pra Jay මහත්තුරු ජොයින්ට් project එකක්වත්ද?//

      එහෙනං, ඔව්, වොව් එතුමා ඔය කුරුමානං අල්ලන්නෙ, මාව වැටට තියලා ඇණ වලින් "ජොයින්ට්" කරන්න තමා. ලිස්සන්න දන්න නිසා යාන්තං බේරිලා ඉන්නවා 🤔

      Delete
  3. ඒක පට්ට.. ඔහොම වෙච්චි නිසා හොඳයි. නැත්නම් මට මළ පැනලා හිටියේ ඊසියා එක්ක.. :))

    ReplyDelete
    Replies
    1. ඔව් කමි. මැද්දෙදි මමත් ඊසි එක්ක තරහෙන් හිටියේ. ආයෙම මාතර ගියාය, පෑහුණාය කීවාම නං හිත හැදුණා.
      පුදුමේ අර ගෑනු ළමයා මාස ගණනකට පස්සෙත් ඊසිව ආයෙ ගාරගත්ත එකනෙ.

      Delete
  4. https://www.aliexpress.com/w/wholesale-love-potion.html

    https://thetravelingwitch.com/blog/how-to-make-and-use-love-potions

    ReplyDelete
  5. මෙච්චර පෙම් සිත් සනසපු නිදිට අනංඟයා නොවිද්දා වෙන්න බෑ. ඔහොම යනකොට ඒවත් ලියවෙන්නේ නැතෑ.

    ReplyDelete
    Replies
    1. හූම් හූම්!
      (බස්සා මහත්තයට පිං දිදී උත්තරේ කෙටුවේ, පැතුම්!)

      Delete
  6. 'ඒ මඟුල වෙනුවෙන් මගෙන් කෙරුණු දෙයක් නැතිම තරම්ය'... 'නමුත් ඒ තුරුණු පෙම්වතියගේ සියලු බලාපොරොත්තු බිඳ වැටී අසරණව සිටියදී, ඇගේම සොහොයුරෙකු ලෙස දවසක්- දෙකක් ඇයට කතා කොට ‘ජීවිතයට මුහුණ පෑමේ අභියෝගය ජය ගන්නැයි’ දිරිමත් කළෙමි'.

    ඊටත් වඩා ලොකු දෙයක් තියෙනවද නිමල්. ඔය වෙලාවට හම්බවෙන ටිපිකල් ශ්‍රී ලාන්කික උපදෙස (බොහෝ දුරට) 'මේ ඔයාගෙ කරුමෙ, ලබන ආත්මෙ හොඳ කෙනෙක් ලැබෙන්න පිං කරන්න' වගේ එකක්නෙ.

    ReplyDelete
    Replies
    1. Lotus, මං කලින් කියල තියෙනවානෙ මගේ විදිහ ගැන. තවමත් මට ඕනිම දුකක - කරදරයක වුණත් සැඟවුණු හොඳකුත් හොයා ගන්න පුළුවන්.

      මට මල්ටිපල් මයෙලොමාව හැදුනු අලුත උපදේශන සේවා සපයන කට්ටියක නෝනා මහත්තයෙක් කතා කළා. බොහොම කරුණාවෙන්. මුල හරිදීම ඒ නෝනා මට කිව්වා 'ඔයා බය වෙන්න නං එපා' කියලා. මම කිව්වා 'අනේ මට බය වෙන්න බැරි වුණා' වගේ කතාවක්.... ඒ විස්තර කියවන්න ඉඩක් තියේ නං මෙන්න link එක.
      https://nidigepanchathanthare.blogspot.com/2018/08/blog-post_29.html
      ඒවා ලිව්වේ 2018 නිසයි ආයේ මතක් කළේ.

      මහා බඹා හරි- දෙවියන් වහන්සේ හරි- ස්වභාව ධර්මයා හරි- විශ්ව ජීවන ශක්තිය හරි මාව නිර්මාණය කරවද්දී, මට ගොඩාක්ම දීලා තියෙන්නේ සුබවාදී ආකල්ප.
      ඒවාට පිං දිදී මං ඒවා අනෙක් අයටත් දෙනවා හැකි තරම්! මොකද, ළිඳකින් වතුර ගන්න තරමට තමයිනෙ අලුතින් වතුර උනන්නේ!
      අනේ, ස්තුති කරන්නත් අමතක වුණා, ඔයා dash පාරක් ගහන්න බෝලේ උස්සලා දෙනවා දැක්ක ගමන්!

      Delete
  7. "කොයි දේ වෙන්නෙත් හොඳටයි'' කියන්නේ මේ වගේ සිදුවීම් නිසා තමයි.

    ඊසි ගේ පොඩි අක්කා, ඔයාට ටෙලිපෝන් කරලා කියාපු දේවල්, එයා (පොඩි අක්කා) දැනගත්තේ කොහොමද?

    මේකේ මහමොළ කාරයා ඔයයි කියලා, ඊසි එයාගේ අක්කාට කියලද? එහෙම නැතිනම් නිකං ගෙස් කරලාද?

    ReplyDelete
    Replies
    1. ඔව් සෑම් මහත්තයෝ. වෙන හැම දේම වෙන්නේ හොඳට නේන්නං!

      ඊසිම තමයි 'අපේ රහසිගත මෙහෙයුම' ගැන කියමින් අපිව පාවා දීලා, ඒ වෙලාවේම අර ටෙලිෆෝන් නොම්මරය ලියපු කොළ කෑල්ල පොඩි අක්කාට දීල තියෙන්නේ.
      මට ලියන්න බැරිවෙලා. ඊසි අභිමානවත් පෞරුෂයක් තිබුණු කෙනෙක් නෙවෙයි. හන්ගොල්ලෙකුගේ කොන්දක් තිබෙන කෙනෙක්. ඒ මම දැක්ක විදිහ.
      පොඩි අක්කා හරිම උනන්දු, ප්‍රාණවත්, කෙළගෙන ඉස්සරහට යන බුලට් එකක්! කොන්ත්‍රාත් වැඩ ගන්න- දෙන්න ආවාම ඒ බව හොඳට පෙනුණා.
      සැර කරලා අහලවත් නෙවෙයි ඊසි පාවා දීලා තියෙන්නේ. කැමැත්තෙන්.
      ඒ මෝඩයා හිතන්න ඇත්තේ (මම තේරුම් ගත්තු විදිහට) කාව පාවා දීලා හරි අම්මගෙන් ලකුණු ගන්නයි; ඉඩම ලියවාගන්න.

      Delete
    2. ඊසිට, මෝඩයා කියනවට වඩා ගල් ආඳා කියන එක වඩා ගැලපෙනව කියල හිතෙන්නෙ, මට විතරමද?

      Delete
    3. නෑ බකුස්... මටත් එහෙමයි හිතුණෙ

      Delete
    4. සමහර අය හරි-වැරැද්ද දන්නෙත් නෑ; තෝරාගන්න දන්නෙත් නෑ එයාලට ඕනි මොනවද කියලා. පව්! ඒකෙන් එයාලා අතින් නපුරුකමුත් සිද්ද වෙනවා. මට නම් ඊසිව පෙනෙන්නේ ඒ ගතිය වැඩි කෙකෙකු හැටියට.

      Delete
  8. අර ඊසිය වගේම කුහකයෙක් හිටිය අපේ ගමේ. ඕකා අත්මාර්ථකාමී වෙනව විතරක් නෙවෙයි, ඒක හිරියක් නැතුව පෙන්නනවත් එක්ක.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නෙත් ඩ්රැකී, එයාලගේ මොළේ කැපාසිටි එක අඩු නිසා නේද?

      Delete
  9. නියමයි මේකනම්. අන්තිමට උන් දෙන්න එකතු වුනානේ. කෙල්ලත් ගොඩ , ඔන්න පින් වැඩ

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, එන්න- ඔයාලත් පිං අනුමෝදන් වෙමු!

      Delete
  10. Read both today, Easy is a Satya Preme Brunga Rajayek neda.

    This is the one of the best by NiDi (no beating around the bush)Wijebahu

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි විජේබාහු මහත්තයෝ.
      වටේ පඳුරු තලන්න වෙන්නේ ඉතිං පොඩි පොඩි කතන්දර ගොඩකුත් කියා ගන්න තියෙන නිසා.
      ඒක තමුන්නාන්සේලාට තරමක වදයක් තමයි කියලත් නොදන්නවා නෙවෙයි. ඒත් හත්වලාමේ මක් කොරන්නද?

      Delete
  11. ආසාවෙන් කියෙව්වා අය්යෙ

    ReplyDelete
  12. ඇයි ඉතින් ෆෝන් නම්බරේ යැව්වේ, ඒකම ඇති නොවෑ!

    ReplyDelete
    Replies
    1. අපිට පුළුවන් උපරිමෙන් අනුන්ට උදව් කරන එකනෙ හොඳ... එතකොට එයාලත් තව ඇයට උදව් කරයිනේ!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්