li Item

Friday, April 10, 2020

කොරෝනා කොරපු; කොරන හරිය! -පස්වෙනි කොටස

හරියටම කියනවා නම් අප්‍රේල් නවය වෙනවිට 1,00,085 ක්......

දවස් සීයට 90,000 ක් පැනලා බව එක hit කවුන්ටරයක් කියයි. අනෙක් හිට් කවුන්ටරය කියන්නේ අවුරුදු දෙක පිරෙද්දී 1,00,085 ක් බවය.

කොරෝනා හෙවත් Covid 19 වෛරසය හඳුනාගෙන දවස් 100 ක් සපිරෙද්දී ලෝකයේ කොරෝනා මරණ අනූදාහ පැනලාය. රටවල් 200 කට වැඩි ගණනක රෝගය පැතිරී තිබෙයි. 

පහළොස් ලක්ෂයකට වැඩි පිරිසක් කොරෝනා ආසාදිතයන්ය.

අනෙක් හිට් කවුන්ටරය ‘නිදිගෙ පංච තන්තරේ’ය. මේ බ්ලොගය ලියන්නට අරන් 2020 අප්‍රේල් 1 වෙනිදාට දෙවසරකි. අවුරුද්දයි දවස් නවයකදී බ්ලොගයට පිවිසුම් වාර ලක්ෂය ඉක්මවන්නට හැකි වෙතියි මම කිසි විටෙකත් නොසිතුවෙමි. එහෙම ඉඳලා වුණත් 1,00,085 දැකලා මට ලොකු සතුටක් දැනුණේ නැත.

අප්‍රේල් 19 වෙනිදාට 'රාජ හෝ මා හෝ ගංගා හෝ' ජාතියේ වැඩක් වෙයි!
බොහොමයක් දෙනා බියෙන්, සැකෙන්, අනිස්ථිර බවෙන් තෝන්තු වෙමින් හිඳිද්දී මට විතරක් සතුටක් කොයින්ද? මමත් පුහුදුන් මිනිසෙක්මි. මගේ mood එක හොඳටම බැහැලාය.

ගොඩ දෙනෙකු වගේම මාත් මේ දවස්වල වින්දනයක් ලබන්නේ, සතුටක් ලබන්නේ ‘පවිත්‍රා’ හින්දාය. 
රටේ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට හොඳටම පිං අයිති වෙයි. 

ලෝක බලවතාටවත් කරගන්ට බැරිවෙන දෙයක් සිරි ලංකාවේ සිදුවෙන්නට යන බව ඇමතිතුමිය සිරි මුඛයෙන් දෙසා වදාරා තිබේ. 

225න් එක්කෙනෙකු හරි ඕනෑමය කියලා රටුන් කියන්නේ අප්‍රේල් 19 වෙනිදාටය.
අප්‍රේල් 19 වෙනවිට කෝවිඩ් 19 ආසාදිත සියලු රෝගීන් හඳුනා ගන්නට හැකි වෙන බව ඇය කීවේ ‘කොරෝනා පැතිරීම වැළක්වීම සඳහා වූ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානයේ’ මාධ්‍ය සාකච්ඡාවකදීය. ඉතින් සතුටු වෙන්නට බැරි අමු කුහකයන්ට පමණි.

වැරැද්ද කොරෝනා සංඛ්‍යා ලේඛන ගලාගෙන ඒමේය. ඒවා බලමින්- කියවමින් හිඳිද්දී මොන සතුටක්ද? දැනෙන්නේ මහා උදාසීනකමකි. මටත් කොරෝනාවත්ද?

මම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන ‘කොරෝනා රෝග ලක්ෂණ’ දෙස බලන්නෙමි. නැත... මේ එවැන්නක් නොවේ. දුක්බර ලතැවුලේ ප්‍රතිඵලයයි.

සකුණි අක්කයි රයන් විහඟ මල්ලියි.........
ඇත්තය. අද මා’තින් ලියවෙන්නේ FB එකේ පළවුණු posts ගැන නෙවෙයි වගෙය. ලියාගෙන යද්දී යළිදු ඒ පීල්ලට වැටෙන්නටත් ඉඩ තිබේ. එහෙත්, සමාවෙන්න. මගේ දුකත් ඔබට කිව යුතුය. ලියන්නට නම් හිත නිදහසේ තිබිය යුතුය. මේ කරන්නේ භාව විරේචනයකි. 

අපේ ලොකු මල්ලී සුනිල් බලංගොඩ, රාස්සගල තනියෙන්ය. එයාගේ ලොකු පුතණ්ඩියා එංගලන්තයේ කොටුවෙලාය. දෙවෙනියා ගොඩගම තනියෙන්ය. නංගී මානෙලුත් දූ සිඟිත්තියත් කොට්ටාවේය.  එයාලගේ පුතා බිරියත් දරු පැටවුන් දෙන්නාත් එක්ක මාකුඹුරේ හිරවෙලාය.

තව කීදාහක් මේ වාගේ විසිරිලා ඉන්නවා ඇතිද?

“කොකු සීයේ.... මගේ බර්ත්දේ එක. ඔයා අද හවසට එනවද? මල්ලිත් ඉන්නවා.” සකුණි දුරකතනයෙන් ඇහුවාය. “කඩේ ආච්චිත් ආවෙ නෑ සීයේ. නැන්දිටත් බැහැල්ලු.” 4 වෙනිදා උදෙන්ම කෙල්ල නෝක්කඩුවක් කිව්වාය.

ෆොටෝ එකක රාමුවී කොටු වෙන්නට කැමතියිද?
“ඇඳිරි නීතියනේ පුතේ. අපි ආවොත් පොලීසියේ මාමාලා ලොකු සීයාවයි, නැන්දවයි, කඩේ ආච්චිවයි අල්ලගෙන යයි. නෙවිල් සීයට කාර් එක ගේන්නත් බැහැනෙ සකූ....”

නෙවිලුත් ගෙදරට කොටුවී කන්කෙඳිරි ගායි.

“කොරෝනා හැදුණා නම් හොඳයි හලෝ. අම්මා විනාඩි පහෙන්-පහට අහනවා, මොකද අද වැඩට යන්නේ නැද්ද කියලා. කොරෝනා, කර්ෆිව් කතන්දර කිව්වට එයාට මතක නැහැ.” නෙවිල්ලගේ අම්මාට ඩිමෙන්ශියාවය. මේ කියනදේ මේ මතක නැත වෙයි. පරණ දේවල් නම් අකුරක් නෑර මතකය.


“දැන් කොයි වෙලාවේ හරි මාව පොලිසියට අල්ලාගෙන යනවා curfew අස්සේ අපේ අම්මට නැතිවම බැරි හාල්මැස්සොයි පොල්තෙලුයි හොයන්න ගිහින්. ඒ මනුස්සයා දන්නෙ නැහැනෙ කඩ වහලා බඩු හිඟ කතාවක්... පිරිමහගැනිල්ලකුත් නැහැ. ඊයේ සීනි බෝතලේට වතුර වක්කරලා...” ඒ වගේ දේවල් ඉවසාගත්තත්, නෙවිල්ට තියෙන ලොකුම කරදරය අම්මාත් එක්ක ගෙදරට කොටුවී හිඳීමලු.

මා නම් ඉන්නේ තනිවමය. ඒත් මට තනිකම් දෝෂයක් නම් වෙන්නට විදිහක් නැත. ඒ අපේ lane එකේ අසල්වැසියන් නිසාය. ඒත් උදෙන්ම දොර හරින්නට ඕනෙය. මං තවම පණ පිටින් බව ඔවුනට සන්නිවේදනය කරන්නේ එහෙමය. අනේ සංසාරේ!

හැට පැනපු අය ගැන කිව්වා විතරයි 225 න් 160 ක් විතරම ...
මං වගේම පිළිකාවෙන් පෙලෙන සමන්ති නංගීත් එංගලන්තේ ගෙදරක පුතාලා දෙන්නාත් එක්ක නිවාස අඩස්සියේය. “වැඩට යන්නත් එපා කිව්වා ලොකූ. ඔයාට වගේමයි... ඉමියුන් සිස්ටම් එක වීක්නේ.... අම්මව බලන්න යන්නවත් විදිහක් නැහැ.” සමන්ති කියයි.

බොහොමයක් දවසට අම්මාත් කතා කරයි. එහෙම කරන්නෙත්, දිවැසින් දැකලා වගේ මං nap එකක් දමන වෙලාවටමය. කම්මැළිකමට උත්තර නොදී හිටින්නටත් බැරිය. 

එතකොට අම්මා සුනිල්ට, මානෙල්ට, බඩා මල්ලියා දීපාල්ට කෝල් කරයි. “මොකද දන්නේ නැහැ. ලොකා ටෙලිෆෝන් එකට ආන්සර් කරන්නෙ නැහැනේ.” කියයි. එයාලටත් ඉන්න නැතිය. ඒ හින්දා මං ටෙලිෆෝනයට එනවාමය.

අප දුවමින් හිටි රැට් රේස් එක නවත්තලා ටිකාක් හරි හිතා බලන්නට...............
දැන් ඒ ජංජාලය සිදුවෙනවා සිකුරුය! ඉකුත්දා හවස ඉඳලා මගේ ටෙලිෆෝනය dead ය. Rings යයි. කතා කරන අයටත්, මටත් මොකුත්ම නෑහෙයි. 
ටෙලිකොම් එකට පැමිණිලි කළත් මදි නෙවැ; ඊයෙත්, පෙරේදාත් ඒක සිහිපත් කරන්නට විනාඩි දහයකටත් වඩා දේවිකා නංගිලාගේ ගෙදර තපින්නට විණි. එහෙම යන්නට වුණාම අප දෙගොල්ලටම කොරෝනා සිහිපත් වුණේ නැතිය. 

(මේ පෝස්ටුව පබ්ලිෂ් කරලා අදත් පැමිණිල්ල ගැන ටෙලිකොම් එකට මතක් කළ යුතුය. දවස් තුනක් තිස්සේ එය රූටින් එකක් වෙලාය.)

අපට දැනෙන්නේ මහා කරදරයක් විදිහටය. ඒත් අප දුවමින් හිටි Rat Race එක මොහොතකට නවතා; ඇසිල්ලක් හිතා බලන්නට අවස්ථාවක් කොරෝනා අපට ලබාදී තිබෙනවා නොවේද?

කොරෝනා ගැන මා දුටු සංවේදී දසුන මේ අම්මාය!
‘මිහිපිට සිටින දියුණුම ක්ෂීරපායී සත්ත්වයාගේ කිසිම මැදිහත් වීමක් නොමැතිවත් පෘථිවි තලයට පැවතිය හැකිය! අවශ්‍ය වන්නේ ඒ සඳහා ඉඩක් ලබාදීම පමණකි.’ සති තුනකදී රේල් පාරේ පැලවී, පල දරමින් ඉහතින් ඔබ දුටු පත්තක්කා වැල කියන්නේ ඒකද? අද සොබා දහම අභිමානයෙන් මානවයාට කියාපාන්නේ ඒ ධර්මතාවයි.

කොරෝනා ගැන මා දුටු සංවේදීම දසුන මේ ආච්චි අම්මාය; සාඩම්බර දසුන ඇයය; පරාර්ථකාමීම දසුන ඇයය!

අනුන්ගේ විපත පවා තමන්ගේ සැපතක් කරගන්නා අවස්ථාවාදීන්.......
අම්මේ ඔබට දිගාසිරි වේවා! වස්තුව-වලඳුව නැතත් ඔබ පොහොසත්ය. සුනාමි ආධාර පවා ගසා කෑ බව කියවුණු; කොරෝනා ආධාර පවා  විනිවිද භාවයකින් තොරව වියදම් කරතියි පෙනෙන අපේ සමහර බලධාරීන් පවා ඔබ ඉදිරියේ අන්ත දුගීන්ය.

හිතවත, හිතවතිය. ඒ පුවත කියවා, වීඩියෝව නරඹා ඔබම තීරණය කරන්න, මා කියන්නේ සත්‍යයද කියා. 

ඒ මවගේ අභිමානය; ඍජු බව; දැක්ම සහිත දේශයේ දූ-පුතුන් අපේ රටේ නියමුවන් වෙනවා නම්.....!!!

දෙවියන් වහන්සේ කියන්නෙත්...........
අනුන්ගේ විපත තමන්ගේ සැපතක් කරගන්නා, බෙදාදෙන ආධාරයක් පවා තමන්ගේ ඇත්තන්ටම බෙදන්නට- තමන්ගේ පුරසාරම කියන්නට උපායක් කරගන්නා උදවියයි මේ අසීරු මොහොතේ හැංගී සිටින්නේ. එහෙම කීම අසාධාරණද මංදා. එයාලා 100%ක්ම නිරෝධායනයවී වසංගතය මඩින්නට සහාය දෙනවා වෙන්නැතිය.

‘මේ වෙලාවේ කට වරද්දාගෙන පීචං නොවී ඉඳපල්ලා!’ අත්දැකීම් බහුල වැඩිහිටියන් එයාලාට කියන්නට ඇත.

ඒක ෂුවර්ය. කීකරුවී පුරුදු අයට එය අසීරු නැත. සේරටම වඩා ඉහළින් වැජඹුණු දෙයියනුත් ‘ආදාහනයවී පැමිණෙන්න’ කියලා නරයන්ට පණිවිඩයක් ඒවා ඇත්තේ එහෙයිනි; සූදානම් ශරීරෙ කියාය.

බුද්ධියක් නැති දේශපාලුවන් බොර දියේ මාළු බාන්නට.........

එහෙත් බොර දියේ මාළු බාන නරියන්ට එය නොතේරෙන බව පහුගිය ටිකේ පෙනිණි..

කොහොම වුණත්, ජාතිවාදී ගින්නක් අවුළුවන්නට පෙර ඒ ප්‍රශ්නයට විසඳුම් ලැබීම රටේ වාසනාවකි.
එවන් බොර දියේ මාළු බාන්නන් ඉන්නේ එක ජාතියක විතරක් නොවේ; එක රටක විතරකුත් නොවේ.

මට එහෙම හිතුණේ ‘බටහිර වෛද්‍යවරු මේ තීරණාත්මක අවස්ථාවේ කරති’යි කියවෙන දේවල් ගැන කියවන වේලාවේය. ඒවා කියන්නේ; ඒ චෝදනාව කරන්නේත් වෛද්‍යවරුන් කොටසකි. ඒ ආයුර්වේද වෛද්‍යවරුන්ය.


උපාධිධාරී රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ එකමුතුවය.

දුම් ඇල්ලීම, තේ පානය, උණු වතුර සේවනය ....

ඉස්සර වුණේ කවුරුන්දැයි මා නොදනිතත් ‘හුමාලයෙන් දුම් අල්ලන්න, උණුවතුර බොන්න...’ වගේ උපදෙස් මා නම් පළමුව දුටුවේ FB එකෙන්ය. දොස්තර මහත්වරුන්, ආයුර්වේද වෛද්‍යවරුන් ඒ උපදෙස් දෙනවා පෙනුණේ ඊට පස්සෙය.

‘පුරුදු විදිහටම හොඳ පැත්ත බලපන් නිමල්!’ යටි හිත මට උපදෙස් දෙයි; මෙහෙයවයි. ඇත්ත නේන්නං. කොරෝනාවට තේ හොඳයි කතාව අල්ලලා ගිහින්ය.

කොච්චර අල්ලලා ගිහින්දැයි කියතොත් අද තේ වෙන්දේසියේදී අපේ තේවලට ඉහළ මිලකුත් හම්බ වෙලාය.

අනේ සාදු!
මහ සඟ රුවනය කියන්නෙත් පොදු ජනතා දුක- ගැටළු වැටහෙන පිරිසකටය.
පන්සල් වත්ත අස්වද්දන්නට; ගොදුරු ගමේ අසරණ දායක දායිකාවන්ට පිහිට වෙන්නට ඉදිරිපත්වී සිටින මේ යතිවරයන් වහන්සේලා දකිද්දී පසඟ පිහිටුවා වැඳ වැටෙන්නට හිතෙයි! මහ හයියෙන් සාදු කියා සාදුකාර දෙන්නට හිතෙයි!!

ඒ එක්කම කියවෙන පුවතකින් අර පොසිටිව් තින්කින් කැලේ යයි.

GMOA එක ජනපතිව රැවැට්ටුවා හොඳින් තෙම්පරාදුවී ඇතැයි කියවෙන ජනපතිතුමාව එහෙම ලේසියෙන් රවටන්නට ඇහැකිද? වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වැනි උගතෙකු එහෙම කියන්නේ හේතු රහිතවමද?


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉන්නේ ‘නිකම්ම වෛද්‍යවරුන්’ කියලාත් කියැවී තිබෙන්නේ ඇයි?

ඒ කතාවල ඇත්ත-නැත්ත තීරණය කරගත හැක්කේත් ජහමනයා වෙන අපට නොවේ. ඒ මහාජනයන්ටම පමණකි.  ඒ සඳහා සමහරවිට පස්සේ කාලෙක කොමිසමක් පත් කෙරේවි!

අද බ්ලොගයේ තියෙන සේරම පින්තූර FB එකේ තිබුණේ. ටිකක් ජාලයෙන්. ඒ නිර්මාණශීලී හපනුන්ට, ඒවා ෂෙයාර් කරගෙන තිබුණු උදවියට වගේම ඒවා මට එවූ හැමදෙනාටම ගොඩාරියක් ස්තුතියි!!!

18 comments:

  1. //ගොඩ දෙනෙකු වගේම මාත් මේ දවස්වල වින්දනයක් ලබන්නේ, සතුටක් ලබන්නේ ‘පවිත්‍රා’ හින්දාය. //

    එයා අර කොරෝනා හැදිච්ච චීන ගෑනු එක්කෙනාව ඉඹපු හැටි දැක්කාම මටත් කොරෝනා හදා ගන්න හිතුනා.

    //කොච්චර අල්ලලා ගිහින්දැයි කියතොත් අද තේ වෙන්දේසියේදී අපේ තේවලට ඉහළ මිලකුත් හම්බ වෙලාය.//

    මමත් මේක දැක්කා. ඉහල මිලක් කිව්වාට ලැබිලා තියෙන්නේ රුපියල් 700 යි නේද ?? ඒ කියන්නේ US $ 3.50 යි නේ??

    ආයුර්වේද වෛද්‍ය වරු මේ ලෙඩේට බෙහෙත් තියනවා කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් මේ ලෙඩේ සිරුරේ තියන ප්‍රතිශක්තියෙන්ම හොඳ වෙන්න ඉතාම ඉහල සමභාවිතාවයක් තියන නිසා, සිංහල බෙහෙත් බීපු රෝගියෙක් සිංහල බෙහෙත් වල බලයෙන් හොඳ උනා කියා තර්ක කරන්න පුළුවන්. එහෙම කිව්වාට මම සිංහල වෙදකමට ගරහන කළු සුද්දෙක් නොවෙයි. එහෙම කලොත් සිංහල වෙදෙක් වෙච්ච මගේ සීයා වලෙන් නැගිටලා එයි. නමුත් මට හිතෙන ඇත්ත ඒකයි

    ReplyDelete
    Replies
    1. ඔව් සෑම්. මාත් ඔයා එක්ක එකඟයි. මම දන්නා තරමටත් වෛරස් රෝගවලට බෙහෙත් නැහැ කියන එකයි මගේ අදහස.

      හැබැයි ඒවාට විරුද්ධව සටන් කරන්නට; අපේ සිරුරේ ප්‍රතිශක්තිකරණ ශක්තිය වැඩි කරගන්න හැකි නම්... ලෙඩේ මර්දනය වෙනවා. වෙනිවැල්ගැට, ඉඟුරු-කොත්තමල්ලි, රතුළූණු වගේ ගොඩක් ජාති කරන්නේ ඒක නේද?

      මාත් දේශීය වෙදකම විශ්වාස කරනවා; හරියට දන්නා කෙනෙකු කරනවා නම්.

      Delete
  2. පරිස්සමින් ඉන්න නිමල්.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල නම් පරෙස්සම ඉතාම ඉහළයි කුමාර. ගේ ඇතුලෙමනේ. වහලය තමයි ඉහට කඩා වැටුණොත්... ඒ ගැනත් සැකයක් නැහැ වඳින්න යන දේවාලයක් නොවෙන නිසා.

      මට දක්වන සෙනෙහස ගැන ඔයාටත්, පාඨක හැම දෙනාටත් ස්තුතියි. ඒ වගේම නිදුක් - නිරෝගී සුව පතනවා.

      Delete
  3. වසන්ගතය ඉවර වුනාට පස්සෙ ආයුර්වේද ,දේශී‍‍‍ය, යන්ත්‍ර මන්ත්‍ර, රාවණා , ආගම් , දේසපාලක ඔක්කොටම බැරියැ ක්‍රෙඩිට් ගන්න. නැත්නම් අපි කලා නම්/අපේ මෙතඩ් කලා නම් ඔයිට ඉක්මනට ඉවරකරනව කියන්න බැරියැ, දැනට මීඩියා එකෙන් කරල.

    ReplyDelete
    Replies
    1. Pra Jay, අපේ අය අනුන්ගේ ළමයින්ට උප්පැන්න ලියන්න හරිම සූරයෝ තමා.

      Delete
  4. අම හිතන්නේ පවිත්‍රා තියපු ටාර්ගට් එක කරන්න පුළුවන් කියලායි. අප්‍රේල් 19 ඒවා 2020, 2021, 2022 වශයෙන් ඉස්සරහට තියෙන හැම අවුරුද්දෙම තියෙන නිසා.

    හිට්ස් ලක්ෂයයට හදවතින්ම සුභපැතුම්.

    ReplyDelete
    Replies
    1. අප්‍රේල් 19 වෙනිදාවල් ගොඩාරියක් එන්න තියෙන බව මට කල්පනා වුනේම නැහැනේ ඉයන් මහත්තයෝ. ඔයා ඒ point එක දුන්නාම තමා තේරුණේ, ඇමතිතුමියගේ හපන්කම.

      සුපැතුමට ස්තුතියි. ඒ ඉලක්කයට ආවේ, ඔයා වගේ හීනෙකින්වත් දැනගෙන නොහිටි ගොඩ දෙනාගේ උදව්-උපකාර නිසයි!

      Delete
  5. Replies
    1. ස්තුතියි මිතිල. ඉයන්ට කිව්වා වගේම 'බ්ලොග්' ලෝකයේ ගොඩක් දෙනාත්, හිතවත් පාඨක- පාඨිකා හැම දෙනාත් එකතු වෙලයි ඒ ඉලක්කයට මාව තල්ලු කළේ.

      Delete
  6. ලක්සෙට කොඩිය දැම්මට සුබ පැතුම්ම්..
    අර ආච්චි අම්මනන් පවු අප්ප... හැඹැයි ඒ මනුස්සයටත් ඇඳිරි නීතිය කියන දේ තේරෙනවා .. මේ අපේ ඉන්න රට හරක්ට වඩා... ජය වෙවා..

    මාතලන් සින්ඩියෙන් ආවෙ :D

    ReplyDelete
    Replies
    1. සුදු මහත්තයාට ස්තුතියි. මාතලන්ගේ සින්ඩියෙන් තමයි දැනටත් වැඩිම පිවිසුම් ගණන තියෙන්නේ. පසුගිය දිනවලත් පිවිසුම් 672 කින් 73 ක්ම මාතලන්ගේ සින්ඩියෙන් ආව අය.

      ආයෙමත් එන්න! මගේ ලක්සෙට කොඩිය දැමීමට වැඩිය සතුටක් ඔයාලා අර වයසක අම්මා ගැන දැනගැනීම. සත්තයි!

      Delete
  7. නිදි ලක්ශේ කතාව කීවහම ගිහින් බැලුව , අවුරුදු හයටම තුන් ලක්ෂයක් . ඒ කියන්නේ ප්‍රතිශතයක් වශයෙන් මාව පැරදුවට සුභ පැතුම් . ආච්චි අම්මගේ කතාව බැලුව දුක හිතෙනවා. ලංකාවේ කොරෝනා රෝගීන් අඩුයි නම් සතුටුයි. ආණ්ඩුවෙන් කළා හෝ නොකලාමිනිසුන් මැරෙන්නේ නැත්නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ. මම ඔයාව අබිබවා ගිහින් නැහැ. එක්කෝ සමානයි. තුන් ලක්ෂය හයෙන් බෙදුවාම පනස් දාහයි. දෙකෙන් වැඩි කලාම ලක්ෂයයිනේ. සුබපැතුමට ස්තුතියි.

      ඊටත් වැඩිය ස්තුතියි අර වයසක අම්මාගේ පුවත බැලුවාට. ඔයා වගේ කාර්ය බහුල අය ඒක බලන්නට වෙලාව වැය කරයි කියලා හිතුවේ නැහැ. මේ පොස්ටුව ලියද්දී තිබුණු හෝන්දු-මාන්දුව එහෙම පිටින්ම හේදිලා ගියා ඔයයි, ඉහලින් තියෙන සුදු මහත්තයයි දෙන්න ඒ අම්මා ගැන කියා තිබුණු දේ දැක්කාම.

      ආණ්ඩුවේ ප්‍රකාශ හුඟාක් එක්ක සසඳද්දී වැඩි හරියක් අන්විශ්වාසබල්! පෙනෙනවානේ දැන් GMOA එකත් ජනපතිතුමාව රවටලාය කියන්නේ.

      Delete
  8. පලමුවෙන්ම හදපිරි සුබ පැතුම් එක එක් කරන්න ඕනේ.කොරොනා නිවාඩු දවස් හින්දා මම ලබපු හොදම සිංහල අවුරුද්ද මේ අවුරුද්දේ ලැබුවා.ගෙදරට වෙලා දරු පැටව් එක්ක ගත කරන්නට ලැබුනා.වෙන අවුරුදු වල වාගේ ඇදුම් සාප්පු සවාරි යන්න ඕනේ උනේ නෑ. නෑ ගෙවල් වල යන්න ඕනේ උනේ නෑ.කොටින්ම කිවිවොත් මහ රෑ නැකැත් තිබුන නිසා චාරිත්‍ර කරන්න ඕනේ උනේ නෑ.

    ReplyDelete
    Replies
    1. බලාගෙන යද්දී තනි අලියා වුනාමත් හෙන ඇඩ්වාන්ටේජස් තියෙනවා නේද? ඉරිසියා හිතෙන්නේ නැද්ද අසංග මහත්තයෝ?

      Delete
  9. දෙවසරක සාහිත්‍යයමය ප්‍රයාමයට තුති. සුභ නව වසරක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චමි. ඔයාටත් නව වසර වඩාත් සුවබර එකක් වේවා!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්