li Item

Monday, December 7, 2020

පතාගෙන ඇවිත්... -සිව්වෙනි කොටස

(වමේ සිට) තුවාන්, දයානන්ද, ඇන්ඩර්සන් බංගලාවේ දෙදෙනෙක්, හරිශ්චන්ද්‍ර, හා අජන්ත (වාඩිවී-) නලින්, අනිල් හා ප්‍රියන්ත....

... මිතුරන් පිරිසක් හා එක්ව හවුලේ කරගෙන ගිය ඒ කුකුළු කොටුවේදීය, මා නෙවිල්ගේ පළමු මිතුරන් සමූහය හඳුනා ගත්තේ.

හැබැයි, මගේ මිම්මෙන් නම් මේ යාළුවන්ගෙන් එකෙකුටවත් ඒ දවස්වල ‘මිත්‍රයන්’ කියලා කියන්නට බැරිය! 

මං ඒ කට්ටිය හඳුනාගත් කිට්ටුවම..... අත්දකින්නට වුණු දෙයක් නිසාය මං එහෙම කිව්වේ...

... වෙසක් පෝයක් උදා වුණේය. ඒ කාලේ අදට වඩා ‘සුසිල්වත් බෞද්ධයන්’ අඩුය. බණ දෙසීම්- දන් දීම්- පහන් පින්කම්- පිච්ච මල් පූජාවන් එහෙමත් අඩුය. පන්සලුත් අඩුය; ආරාම අසපු; නිකායවල් එහෙමත් අඩුය! හැබැයි මිනිස්සුන්ගේ බෞද්ධකමේ අඩුවක් තිබුන්නැතිය. ඒ හින්දාමද කොහෙද එකල මිනිසුන්ගේ පපුවේ තෙතමනයත්; මනුස්සකමත් වැඩියෙන්  තිබුණේය; ජාති-ආගම් භේද අඩුවෙනි; එනිසා වෙසක් උත්සවය කියන්නේ අබෞද්ධ අයත් උත්සවාකාරයෙන් සැමරූ ‘ප්‍රීති වෙසක්’ එකක්ම වුණේය.

“මචං අපි වෙසක් බලන්න යනවා.... යමුද?” press එකේදී නෙවිල් ඇහුවේ කුමුදුලාල්ගෙනි. මාත් ඉන්නා වෙලාවකය. කට ඉස්සර වුණේ මගේය. “ ඕගොල්ලෝ පයින්ද යන්නේ?”

ඒ කාලේ අදට වඩා ‘සුසිල්වත් බෞද්ධයන්’ අඩුය. බණ දෙසීම්- දන් දීම්- පහන් පින්කම්- පිච්ච මල් පූජාවන් එහෙමත් අඩුය.....

“පිස්සුවටද පයින් යන්නේ? මෝටර් සයිකල් තියෙන්නේ...”

මෝටර් සයිකලයක් කිව්වාට එතකොට නෙවිල්ට තිබුණේ චැලියකි. ඒ චැලිය මේ මනුස්සයාට විකුණලා තිබුණෙත් මෙයාගෙම යාළුවෙකි. යාළුවාගේ තරමත්; චැලියේ තරමත් හෙළි වුණේ වෙසක් පෝයෙන් පස්සේ දවසකය!

අපේ සුනිල්ලා එක්ක මහරගම හිට කොළඹටම පයින් ගිය මගේ වෙසක් සංචාර එතකොට නැවතිලාය. සුනිල් කසාදත් බැඳලාය.

“මටත් අවරුදු දෙක-තුනකින්ම වෙසක් බලන්න යන්න ලැබුණෙ නෑ...” කෙළින්ම මාත් එන්නදැයි නොඅසමිනි, මං කිව්වේ. “ජගතාත් එයි කිව්වොත් නං....!” කුමුදුලාලුත් කිව්වේය.

ජගත්ගේ මිතුරෙකු වුණු කුමුදුලාල්, නෙවිල්ගේ යාළුවෙකුවී තිබුණෙත් අහම්බෙනි.

එතකොට නෙවිල් හා රේණුක ලෙනගල කෝට්ටේ CMS ඉස්කෝලේලු. ලෙනගල ඉඳලා තියෙන්නේ ඉහළ පන්තිවලය. “අපි තමුසෙලා වගේ සරීර හොරු නෙවෙයි. Sporty කොල්ලෝ.... ඉස්කෝලේදී නෙවිල් කිව්වාම ඔක්කොම දන්නවා.... සෙල්ලම් ඔක්කොම කළා ගල් ඉබ්බෝ..... තමුසෙලා වගේ තාච්චි පැන්නා විතරක් නෙවෙයි!” නෙවිල්ම මට එයාගේ වරුණේ කියමින් කට-පට්ට ඇද්දේ කුමුදුලාලුත් ඉන්නා තැනකදීය.

ජගත් චන්දන, දේවප්‍රිය, නිදි හා කුමුදුලාල්....
හැබෑය, මං කරලා තියෙන sport එකක් නැත; වැඩියත්ම අව්වට අකමැති නිසාය.

අව්වේ ඉන්නට යන්තම්වත් කැමැත්තක් නැති මං කැමැත්තෙන්ම අව්වේ හිටියේ ‘තාච්චි පනිද්දී’ විතරය. සමහරුන් ‘shop’ පනිනවා කියලා කිව්වෙත් ඒ සෙල්ලමටමය.

හරියාකාරව විමසද්දී පෙනෙන්නේ ඒ සෙල්ලම ජය ගන්නට නම් ‘ඔළුව’ත් මදිය නොකියන්නටම ඕනෑ බවය. විද්‍යාකර විද්‍යාලයේ SSC පන්තිවලදීත් අප; කොල්ලන්-කෙල්ලන් විසිපහක්-තිහක් එකතුවී ඒ ක්‍රීඩාව කරද්දී, නිතරෝම වගේ අපේ පිල මෙහෙයවන්නට පැවරුණේ ‘ඔළුව ලොකු’ මටය.

ඒ හින්දමදෝ ‘දෙකොටු-ගොඩ කොටු, ලුණු සීනි, එගොඩ-මෙගොඩ, පැදුරු-කොට්ට, මුලු ඉල්ලීම’ වගේ දාහක් නීති ප්‍රයෝගවලින් වැඩියෙන්ම වැඩ ගත්තෙත් අපේ පිලය! මං උදම් ඇනුවේ එව්වා නිසාය. නෙවිල්ව පලිච්චි කළෙත් ඒ හින්දාය.

“අනේ තමුසෙ කරපු සෙල්ලම්!”

“ඇයි? බොරුයි කියලද හිතුවේ? දැන ගන්නවා හලෝ.... මෙන්න, මගේ ක්‍රීඩා සහතික මිටියේ size එක..... ඒවා බලලයි සර්ලා මේ නෙවිල් අනුරසිරි පෙරේරාට ශිෂ්‍ය නායකකමක් දුන්නෙත්.... නිකං පගාවට කියලා හිතුවද?”

මෙන්න, මගේ ක්‍රීඩා සහතික මිටියේ size එක.....

කුමුදුලාල් මොකුත් කියන්නේ කලබලයෙන් නොවේ; හෙමිහිටය. නෙවිල් එහෙම කිව්වාමත් kumudu හිනා වුණේය. කට ඇරියේය...

“ඉතිං මචං, නිමල් අයියට කියපන්කො එදා; ශිෂ්‍ය නායකකම දෙන්න කතා කරනකොටත් උඹ හිටියේ ඉස්කෝලේ තාප්පෙන් පැනලා අපිත් එක යන ගමන් කියලා.”

පස්සේ කාලෙක ලියන්නට හැකි වනසේ මෙහෙම ඒ තොරතුරු මගේ මතකයේ ගබඩාවී තියේවි කියලා නං එදා ඒ දෙන්නාම හිතන්ට නැතිවා sureය.

“කුමුදුත් ඉස්කෝලෙන් පැන්නද?”

වාඩුව පිරිමසා ගන්නට වගේ විස්තරය කියන්නට ගත්තේ නෙවිල්ය. “මූද? මූ අපිට හපන්... මේකා ගියේ තර්ස්ටන් එකට.... ජගතුයි, ප්‍රියයි දෙන්නත් හිටියේ අපේ පන්තියේ. ජගතා කුමුදුලගේ අල්ලපු වත්තෙ හිටිය යාළුවනේ.... ඉතිං මූ සමහර දවසට ඉස්කෝලෙන් පැනලා ඇවිත් අපිත් එක්ක අපේ පන්තියේ වාඩි වෙලා ඉන්නවා... ඉඳලා අපිත් එක්කම ආයෙත් පනිනවා....!”

(ප්‍රියා කියලා කියැවුණේ පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස්හි අධිපතියාටය; 1996 සිට 2009 දක්වා මගේ බොසා වුණෙත් මේ ප්‍රියදර්ශන පෙරේරාය.) 

මෝටර් බයිසිකලය මිලදී ගත් දිනය- ඒකෙ අංකය- වැය වුණු මුදල- මුල් හිමිකරුවාගේ නම, ගම, ලිපිනය සේරම එක්සයිස් පොතක ලියන්නේ මුලින්මය.....

අමද්‍යප press එකට පැමිණීමෙන් පස්සේ, පාසල් සමයේදී ඇතිව තිබුණු කුමුදු හා නෙවිල්ගේ මිත්‍රත්වය වැඩි වුණේය. (පසු කාලයක කුමුදුලාල් එයාලගේ ඉඩම උපුල් සාන්ත සන්නස්ගලට විකුණලා මහරගමට ආවත්, ජගත් චන්දන තවමත් ‘රෝයල් තැප්‍රෝබෙනියන්’ එකට අල්ලපු වත්තේම හිඳියි!)

“කවුරු කවුරුද වෙසක් බලන්න යන්න හදන්නේ නෙවිල්?” කුමුදු ඇසුවේය.

“අපේ වැඩ මේ ගොයියගෙ තරං plan කරන ඒවා නෙවෙයිනෙ මචං. එදා වේල ටුවර්ස් වගේ. ලලියා එයි.... ලලීල මල්ලි නලිනුත් සමහරවිට එයි. තුවානයා එයි... දයානන්ද, අජන්ත එහෙමත් එයි... යන වෙලාවට එන එවුන් ටික තමයි යන්නේ...” 

“නිමල් අයියත් යනවද?” මගෙන් ඇහුවේ කුමුදුය.

එතකොටත් කුමුදුට මෝටර් බයිසිකලයක් තිබුණේය. දැන් කොහොමද කියලා දන්නෙ නැතත් ඒ දවස්වල නම් Kumudu නොම්මර එකේ පොත් තබන්නෙකි. මෝටර් බයිසිකලය මිලදී ගත් දිනය- ඒකෙ අංකය- වැය වුණු මුදල- මුල් හිමිකරුවාගේ නම, ගම, ලිපිනය සේරම එක්සයිස් පොතක ලියන්නේ මුලින්මය. ඊට පස්සේ ඒ පොතේ ලියවෙන්නේ ඒ බයිසිකලය වෙනුවෙන් එදිනෙදා වියදම් කෙරුණු මුදල්ය. ඉන්ධන- නඩත්තු- රෙපෙයාර් වියදම් සේරම ඒ පොතට යනවාමය!

මේවාත් ලියන්නම ඕනි යැයි හිතෙන්නේ මගේ මිත්තරයන්ගේ සුවිශේෂතා උකහා දැක්වීමට තරම් වටිනා නිසාය.

එයා එදිනෙදා කන-බොන වියදම් සේරමත් ලියූවෙකි. සත පහකට අඹ ගෙඩියක් කෑවත් එය පවා.....

මීට වඩා හොඳ ගණන් තබන්නන් එකම එක්කෙනෙකි, මට හමුවී තියෙන්නේ. ඒ අබරන් මාස්ටර්ගේ ගෙදරදීය. එයා එදිනෙදා කන-බොන වියදම් සේරමත් ලියූවෙකි. සත පහකට අඹ ගෙඩියක් කෑවත් එය පවා..... 

“එනවා නං යං!” ඔන්න එතකොට නං නෙවිල් මගේ දිහා බලලා කිව්වේය. මං ගමනක් සූදානම් කරනවා නම් නායකයා මං වහන්සේය. ඒකට අලුතින් කාව හරි සම්බන්ධ කර ගන්නවා නම් මගේ අනුමැතියත් සහිතව විය යුතුය. එහෙම හිතූ මට හැඟුණේ ඒ නඩයේ නායකත්වය උසුලන්නේ නෙවිල්ය කියලාය.

“නිමල් අයියා දන්නවද, ඔය හිමාලෙටත් උඩින් පියාඹන කුරුලු රංචුවල වුණත් ඉස්සරහින්ම යන එකා සැරෙන් සැරේට වෙනස් වෙන බව...” අයස්මන්ත පීරිස් මහත්තයා මේ ළඟදීත් අපේ සංවාදයක් අතරේ ඇහුවේය.

“... එහෙම කරන එකෙන් කුරුල්ලන්ගෙ energy එක save වෙනවලු....”

“අර ඊතලේ මූණතක හැඩේට යන එකෙන්ද?”

අපිට කෙළින්ම නොපෙනුණාට එහෙම v shape එකට යද්දී සුළඟට විරුද්ධව ඇතිවෙන ප්‍රතිරෝධය අඩුයි!

“එහෙම තමයි ඒ ගමන ගැන ඇනලයිස් කරපු අය කියන්නේ... අපිට කෙළින්ම නොපෙනුණාට එහෙම v shape එකට යද්දී සුළඟට විරුද්ධව ඇතිවෙන ප්‍රතිරෝධය අඩුයිලු! සත්තුන්ට වුණත් ලීඩර්ෂිප් එකක් යටතේ, පිළිවෙලකට වැඩ කරනවා නං වාසි වෙනවයි කියන්නේ.... මේ මං යටතේ වගේ..... සාදර අනුග්‍රහය ටිං ටිං අයස්මන්ත පීරිස් යටතේ ...”

එතකොට නම් ඉක්මන් ප්‍රතිචාර දෙකක්ම ලැබුණේය. “අඩෝ xකෝරිස්, දිගටම ඕවා තියාගන්න එපා. කෙනෙකුට නායකකම දෙන්න ඕනි වෙලාව අපි දන්නවා. මූ බලපන්කො මචං....”

“Doctor එක ගලෙන් කුරුල්ලො ගොඩකට ගහනවනේ....!”

“ඒ point එකත් පීරිස්ම කිව්වය කියලා ඔයාලට තේරුණේ නැද්ද? අර මුලින්ම කිව්වේ.... ඉස්සරහින් යන එකා සැරෙන් සැරේට වෙනස් වෙනවය කියලා..... මම නම් එහෙමයි. පස්සෙනුත් යනවා.... ඕනේ කරන වෙලාවට ඉස්සරහිනුත් ....”

“අඩෝ, ඒ පාර මූත්!” එතකොට නං අනෙක් තුන්දෙනාම එකට; එක පාර්ශ්වයකට එකතු වෙලාය. “තමුසේද? තමුසෙ ඉස්සරහින් යනවා නෙවෙයි හලෝ, ඉස්සරහට පනිනවා.... බලෙන්. තරුණ නායකත්වයට බලයට එන්න ඉඩ නොදී! නැද්ද මචං...”

නෙවිල්ලාගේ නඩයට නායකත්ව ප්‍රශ්නයක් තිබ්බෙම නැත. තිබුණේ ඇඟ බේරා ගැනීමේ ප්‍රශ්නය විතරය. තරහ අවසරය!...

දැන් එහෙම කිව්වත් ඒ දිනවල නෙවිල්ලාගේ නඩයට නායකත්ව ප්‍රශ්නයක් තිබ්බෙම නැත. තිබුණේ ඇඟ බේරා ගැනීමේ ප්‍රශ්නය විතරය.

තරහ අවසරය! මේවා කියන්නේ කාටවත් රිද්දන්නට හෙම නොවේ. මා දුටු විදිහෙන් මා එළඹුණු තීරණ හරිදැයි විග්‍රහ කරගනු පිණිසය. දයාබර පාඨක ඔබටම නිගමනය කිරීම පහසු වෙන්නටය.

“ඔයාත් කුමුදුලා එක්කම අපේ ගෙදරට එන්න. අටහමාරට විතර...” නෙවිල් කිව්වේය.

එතකොට හෙල්මට් නීතිය තිබුණේ නැතිවා විය යුතුය. එහෙමත් නැතිනං ඒ නීතිය වෙසක් පෝය දවසට තැකුවේ නැතිවා වෙන්නත් ඇහැකිය. අදට වුණත් වෙසක් දවසේ, තුන්දෙනාත් එක්කම double දාලා ගියාට අල්ලන්නෙත් නැහැනේ!

ඉතිං එදා රෑ නවයට - නවයහමාරට විතර අලුත් නඩයක් එක්ක අලුත්ම විදිහේ අත්දැකීමක් ගන්නට මම පිටත් වීමි. (ඒ පැත්තෙන් මගේ ගොන්කම දන්නවානේ. මට යතුරු පැදි කොයිකත් මෝටර් සයිකල්ය. අනෙක්වා කාර්- වෑන්- ජීප් හෝ බස්ය.) එක-එක පන්නේ මෝටර් සයිකල් හය-හතක්ම පිටත් වුණේය.

තලපත්පිටියෙන් ඇඹුල්දෙනියට, එතැනින් පිටකෝට්ටේ හරහා වැලිකඩ- බොරැල්ල- මරදාන පැත්තට හැරෙනකල්මත් නිසංසලේ ගියෙමු...... හුටා!

...ඒ දණ්ඩේ කොටා - යන කලටා - වැටුණේය ගඟටා. කොටා ගඟට වැටුණාට පස්සේ සිද්ධිය ඉවර නිසා ඊළඟ පදේ කියාගන්නට බැරිව හිරවී හිටි කවියා.....

මතකයි නේද කවියන් හතර දෙනාගේ හතරපද කවිය?

ඒ දණ්ඩේ කොටා - යන කලටා - වැටුණේය ගඟටා. කොටා ගඟට වැටුණාට පස්සේ සිද්ධිය ඉවර නිසා ඊළඟ පදේ කියාගන්නට බැරිව හිටි කවියා ‘පදේට යවන උඩයක් යද්දී’ අමාරුවෙන් ‘හුටා’ කියා කවිය සම්පූර්ණ කළේලු. ඒ හුටා මෙතැනටත් ඔබියි!

මරදාන පාරේ චුට්ට දුරක් ගියා විතරය. (අපේ මෝටර් සයිකල් සේරම ගියේ පොකුරට වගෙය.) ජලි-බිලි-ජකිලි-බබලි වගේ සද්ද ටිකක් පොකුර අතරින් ආවේය. ‘මචං- මචං!’ කියලා කලබලයෙන්  කියනවාත් ඇහුණේය. බයිසිකල් ටික පාර අයිනට කෙරුණේය. එකක් කැඩිලාය. විශාරදයෝ ප්‍රශ්නය විසඳා ගන්නට උපරිම උත්සාහය දැරූහ. උත්තරයක් පැත්ත-පලාතක තිබ්බේ නැත.

ඒ සයිකලයේත් දෙදෙනෙක් ඇවිත් හිටියහ.

“උඹලගෙ නරක වෙලාව මචංලා... කරන්න දෙයක් නෑ... මේ වෙලාවේ සයිකල් හදන තැනක් කොහෙන් හොයන්නද... අපි යන්නං... උඹලා දෙන්නා සයිකලෙත් තල්ලු කරගෙන ගෙදර පලයල්ලා... බැරි වෙලාවත් සයිකලේ හදා ගන්න හම්බ වුණොත් මෙහෙන් ඇවිත්...” කට්ටියම එකතුවී ඉතා නිර්ලෝභීව, අර දෙන්නාට අප යන්නට අදහස් කරන පාර කිව්වෝය; ඉසව් කිව්වෝය; මානුෂීය උපදෙස් දුන්නෝය.

පුංචි බොරැල්ල හරියේ හෝටල තිබුණත්, බඩගිනි වෙලා තිබුණත් මෙයාලා ඒ එකකටවත් යන පාටක් නං....

නුපුරුදු පිරිසක් මැද තක්බීර්වී; තුෂ්ණිම්භූතවී හිටියා මිස මේ ‘දිසා+නායක’ කට දාන්නට ගියේ නැත.

‘හොඳ නායකයෙක් හොඳ අනුගාමිකයෙක්ද විය යුතුය. අනුන්ගේ නායකත්වය යටතේ සිටින්නටද හැකියාව ඇත්තෙක් විය යුතුය.’ තරුණ ජනගහණ කමිටුව මඟින් පැවැත්වූ නායකත්ව පුහුණු වැඩ සටහන්වලදී එතකොටත් මට උගන්වා තිබුණු බැවිනි, එහෙම හිටියේ. 

එතැන සෑහෙන වෙලාවක් තාවර වෙවී ඉඳලා, අර දෙන්නාව මඟ දමලා පිටත් වෙද්දීම නඩේ එක්කෙනෙක් ‘බඩගිනියි මචං’ කියලා කිව්වේය. ඊට විනාඩියකට පස්සේ තව එකෙක් ඒකම කිව්වේය. පුංචි බොරැල්ල හරියේ හෝටල තිබුණත්, බඩගිනි වෙලා තිබුණත් මෙයාලා ඒ එකකටවත් යන පාටක් නං පෙනුණේ නැත. දැන් මරදානටත් කිට්ටුය....

‘මොනවා හරි කාලා දාමුද මචං...’, ‘අම්බානක බඩගිනියි මචං’, ‘මරදාන පැන්නට පස්සේ හෝටල් අඩුයි මචං’ වගේ නිදැල්ලේ යැවුණු ප්‍රකාශ විතරය කෙරුණේ. ඒවාත් ඔහේ කරන්නං වාලේ ඉලක්කයක් නැතිව ගහන ගල්ය. ‘මචං’ කියනවා මිස නමක් නැත! කව්රුන්මවත් තීරණයක් ගත්තෙත් නැත.

මම නෙවිල්ගේ පිටට තට්ටු කළෙමි.

“බඩගිනි නං අර තියෙන්නේ හෝටල්.... දන්සැල්ද හොයන්නේ?”

තමුසෙලාගේ තියෙන්නෙ යාළුකම්ද... බලනවා... අර දෙන්නව මඟ දාලා ගිය...

“පිස්සුද හලෝ.... තමුසෙ දන්නෙ නෑ... දැන් කට පියාගෙන ඉන්නවා... හෙට කියන්නං.” නෙවිල් ඒ ටික කිව්වේ හෙමින්ය. කතන්දරේ සේරම කියැවුණේ ඊට පහුවදා වෙන කවුරුන්මවත් නැති වෙලාවකය. අප දෙන්නා ලොකු වාදයකටත් පැටලිලා ඉන්න අතරේය.

“තමුසෙලාගේ තියෙන්නෙ යාළුකම්ද... බලනවා... අර දෙන්නව මඟ දාලා ගිය ලස්සන... මම ලැහැස්ති කරපු ගමනක් නම් ඒ මිනිස්සුත් එක්කම ආපහු හැරිලා එනවා මිසක් වෙසක් බලන්න යන්නෙ නෑ දිගටම...” මට කියැවුණේ ගොඩාරියක් සැරෙන්ය; තරහෙන්ය. “මම නං ඔහොම නල්ල-මලේ යාළුකම් දැක්කමයි ඔය...”

“තමුසෙත් හරි චමින්ද කෙනෙක් හලෝ!” නෙවිල්ට කියැවුණේ නිකම්මය. (ඒ දවස්වල ‘චමින්ද’ කිව්වේ නාකින්ටය. වියපත් ගැහැනු චමිලලා වූහ.)

“... හොඳ වෙලාවට තමුසෙ එවෙලෙ කට වහගෙන හිටියේ... නැත්තං බලා ගන්න තිබ්බා අරුං හිනාවෙන ලස්සන. හලෝ, අපිත් හැරිලා ආවයි කියලා අර දෙන්නට හොඳක් වෙනවද? ඔක්කොමලගේම ගමන නවතිනවා ඇරෙන්න. ඕන්නං උන් දෙන්නා පස්සේ දවසක ගිහින් වෙසක් බලයිනේ.... යාළුවොයි කියලා අපේ ගමනත් නවත්තන එක මොන මෝඩ වැඩක්ද?”

හොඳයි, ඔයාලා හිතන්නේ මොකක්ද?

හොඳයි, ඔයාලා හිතන්නේ මොකක්ද?

ඊට පස්සෙත් ඔය සිදුවීම මතු වෙන; කියවෙන හැම වෙලාවකම නෙවිල් මගෙන් බැනුම් අහයි. අදටත් එයාලා ‘එදා කළ දේ හරි’ය කියලාය මේ මනුස්සයා කියන්නේ.... මං වැරදියි වෙන්නටත් ඉඩ තිබේ. හැබැයි, අදටත් මං වැඩ කරන්නේ නම් ඒ ප්‍රතිපත්තියේම ඉඳගෙනය.

ඊට පස්සේ ඇදුණේ බඩගිනි කතාවයි... “හරි... ඒ කතාව පැත්තකින් තියමුකෝ. එතකොට තමුසෙලා අර බඩගිනියි කිය-කියා දිගටම ගියේ මොන මඟුලක් කරන්නද, හෝටලේකට නොයා?”

“ආ. දැන් කියන්නම් ඒක... එහෙම ගියාම මොකද වුණේ?”

“මොනා වෙන්නද? කාලා ආවා මිසක්...” මට මතක තිබුණෙත් එච්චරය.

“තමුසෙට මතක නැද්ද හලෝ, ඒ හෝටලේට යමුයි කිව්ව xxxට කට්ටිය කියපු දේවල්...”

මට හරියටම මීටර් වුණේ එතකොටය. ‘හෝටලයේ කෑම රස මදි’ යැයි එකෙක් දොස් කිව්වේය. Service එක සවුත්තු යැයි තව එකෙක් කිව්වේය. ඒ සේරටම වගකිව යුත්තා වුණේ xxxය. බැන්නේ xxxටය. මරාගෙන කෑවේ නැති ටික විතරය. ඒ හෝටලය එයාගේම වුණත්, එච්චරටම බනින්නට නොවටී.

සමහර වෙලාවට ඊළඟ විනාඩියේ ‘පොදු සතුරා’ වෙන්නේ වෙනින් එකෙකි!!

“ඉතිං නෙවිල්, ඔය විදිහට තමුසෙලා තැනකට යන්න කලින් එතනට කලින් ගිහින් බලාගෙන ඇවිත් ඉන්න වෙනවනේ!”

“ඒ නිසා තමයි හලෝ හැම එකාම බඩගිනියි කිය-කියා ගියා මිසක් යන්න තැනක් නොකිව්වේ!” ඒ කට්ටිය පුරුදු වෙලා හිටියේ තිස්සෙම තමන්ගේ එවුන්ගෙන්ම එකෙකු බයිට් එකට ගන්නටය. එතකොට හැදෙන්නේ පොදු සතුරෙකි. සමහර වෙලාවට ඊළඟ විනාඩියේ ‘පොදු සතුරා’ වෙන්නේ වෙනින් එකෙකි!! අපේ දේශපාලඥයන්ට වගේමය!!!

දැන් නම් හැම දෙනාගේම පොදු සතුරා ‘කොරෝනා’ය.

අපේ ඒ දබරයෙන් පස්සේ වුණත්, නෙවිල්ට බෝවී තිබුණු ඒ දුර්ගුණය, අවුරුදු ගණනාවක්ම දිගට පැවතුණේය. මට හොඳටම මතකය. දවසක් ලුම්බිණි රඟහලේ නාට්‍ය දර්ශනයක් බලලා එමින් ගමන වත්තේගෙදර හන්දියෙදී අපි අකල් වැස්සකට කොටු වීමු.

නෙවිල් මෝටර් සයිකලය අගුවකට ඇද ගත්තේය. පැය බාගයක් විතරම වැස්ස ඇද හැළුණේය. “බලනවා... තමුසෙගෙ කෙහෙල්මල් නාට්‍ය බලන්න ගිය හින්දනේ මේ තෙමෙන්නේ... ටිකක් හොයන්න තිබ්බනේ.” කඩ පිලේ අගුවේ හිරිකඩට තෙමෙමින් ඉඳිද්දී නෙවිල් සැරෙන්-සැරේ චරු-චුරු ගෑවේය.

හා පැංචලා හිටියේ ඉස්සරය; දැන් දැවැන්ත හාවොත් සිටිති!

“මොනවද කලින් හොයන්නේ... අද රෑට වහිනවද කියලද... ඇයි, මට පණිවිඩ එවලා වස්සවන්න- වැස්ස වලාහක දෙය්යෝ අපේ අම්මගෙ වාහෙ කියලද තමුසෙ හිතන්නේ?” කෙඳිරිල්ල හින්දා තරහෙන් හිටි මට කියවුණේය. බුද්ධ මන්තර නාහන යකුනුත් ‘කුණුහරුප’වලට මෙල්ල වෙනවාලු! මේ යකාවත් මෙල්ල කරවන්නට වෙන්නේ එහෙම කඩා පැනිල්ලකිනි.

(බය නැතිව මේ අගනා කෙම්- රහස් නිල ඇල්ලීම් හෙළි කරන්නෙත් නෙවිල් තවමත් මේවා නොකියවන බව හිතා ගෙනය. කියෙව්වත් එයාගේ හිතෙන් ඉක්මනටම මේවා මැකිලා යන බව සහසුද්දෙන්ම දන්නා හින්දාය. දක්කන විට යනවා විනා ප්‍රශ්න කරන්නට තරම්වත් හිතක් මේ මනුස්සයාට නැත. මරන්නට වුණත් ගෙනියන එක ලේසිය.

-මා ලියූ දෙයක් වුණත් කියවූ කවුරුන් හෝ අවුස්සලා; ‘කෑල්ලක් විතරක් උලුප්පලා’ පෙන්නුවාම නං මේ හාදයා මාත්තෙක්ක වලියට එයි. දැනට දෙතුන් වතාවක් එහෙම වෙලා තිබේ! -අප පුරුදු වෙලා ඉන්නේම කොනක් විතරක් අල්ලාගෙන ඇවිස්සෙන්නටය- අවුස්සන්නටය. තල් අත්ත උඩට බෙලි ගෙඩිය වැටුණාම ලෝකය කඩා වැටෙනවාය කියා දුවමින් වනය කැළඹවූ හා පැංචාගේ වැඩේම කරන්නටය.

හා පැංචලා හිටියේ ඉස්සරය; දැන් දැවැන්ත හාවොත් සිටිති! 

-අරහෙම වෙලාවක ඇවිස්සුණු නෙවිල් ඒ ගැන ඇසුවත්, මගෙන් දෙවුණේ ‘රෙඩිමේඩ්’ උත්තරයකි. ‘කෑල්ලක් විතරක් නෙවෙයි, මුළු post එකම කියවලා බලලා ඉන්නවා ඉස්සර වෙලා!’ මනුස්සයාත් එහෙම කියෙව්වා හෝ නැතා හෝ වෙන්නට ඇහැකිය. ඊට පස්සේ කොක්කට නම් ආවේ නැත.)

ඒ නං මහ රෑ වෙනතුරු බීලා- සිංදු කියමින් විනෝද වෙලා එහෙම ඉවර වෙලාය! 

හැබැයි ඉතිං අප සේරම මිනිසුන්ය. සමහර වෙලාවට එකම වැරැද්ද යළි-යළිත් කරන්නෙමු. ඉස්සරත් කරලා තිබෙන්නෙමු.

එක්ගල්ඔය බංගලාවට යන අතරේ, බඩල්කුඹුරේදී මගේ ‘හද්දා ගොං පිම්මක්’ වැරදී ‘පරෙයියන් ඇල්ලට බිල්ලක් වෙන්නට ගිහින්, මගේ වම් අතත් පැනපු වතාවේ’ත් නෙවිල් ඔය විදිහටම ප්‍රශ්නයක් ඇසුවේය. අර අකල්වැස්ස ගැන වගේම ප්‍රශ්නයක්... ඒ නං මහ රෑ වෙනතුරු බීලා- සිංදු කියමින් විනෝද වෙලා එහෙම ඉවර වෙලාය!

“බලනවා තමුසෙ කරගන්න දේවල්.... ඇල්ලට වැටිලා?” හරියට මං හිතලා මැරෙන්න ගියා වගෙය. විහින් පරෙයියන් ඇල්ලට පැන්නා වගෙය.

ඔහොම දේවල් මගේ මතකයේ තිබ්බට මේ මනුස්සයාට නං මතක නැතිය. මගේ අමනකම් හංගාගෙන ඉන්නා පුරුද්දක් මට නැති නිසා පෙළක් වෙලාවට මමම ඒවා මතු කරන්නෙමි. එහෙම කරන්නේ මා කොතරම් වෙනස්වී ඇත්දැයි කියා, නොකියා කියන්නටය. “නෙවිල් අයියා නිසා ලොකාත්.....

8 comments:

  1. ඔව්වා රස මතක. මට මතකයි අර තාප්පවල පින්තූර අඳින උදවියට බනිස් දෙන්ඩ ගිහිල්ලත් නෙවිල්ගෙන් අහගත්ත හොඳට...

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්.... හාදයා එහෙම තමා ඩ්රැකී!

      Delete
  2. ලෙනගල ගෙ නෑදෑයෙක් කෝට්ටෙ ඔප්ටීශියන් කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. මට මතක හැටියට ඒ රේණුක ලෙනගලගේ අයියා. කොට්ටෙ පැත්තේ ඉඳලා එද්දී දකුණු පැත්තේ හරස් පාරක් පටන්ගන්න හරියෙම වගේ තිබ්බේ. ලඟකදී නම් එයාලව හමුවෙලා නෑ.

      Delete
    2. සන්දකව හමුවෙලා තියෙන්නේ අඩුවෙන්... ඒත් මතක ඇති. ලාල් හේවාපතිරණ කියන්නේ සන්දකලගේ මාමා හෝ මහප්පා.

      Delete
  3. “බලනවා තමුසෙ කරගන්න දේවල්.... ඇල්ලට වැටිලා?”
    මැවිලා පේනවා නෙවිල් කියන හැටි.....

    ReplyDelete
    Replies
    1. අසංග,ටිකක් සප්පායම් වෙලා ඉඳිද්දී නේද?

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්