li Item

Friday, September 2, 2022

දහතුනේ මාරකේ... Thirteen Lives

නිඳි කුමරිය ඉන්නේ නිඳාගෙනය. (අපේ සමහර දේශපාලුවන් වගේ නිදි වැදිලා හෙම නොවේ!) කිසිවෙක් ඇයගේ නින්දට බාධා කරන්නේ නැත. ඒ එයින් ඇය කෝපයට පත් වෙතැයි බියෙනි. ඇගේ කේන්තිය ඇවිස්සුනොත් කෙරෙන පළිගැනීම දරුණු එකකි. 2018 ජුනි 23 වෙනිදා සිදු වුණේත් එවැන්නක්ද?

‘වල් ඌරෝ’ යොවුන් පාපන්දු ක්‍රීඩකයන් 12 දෙනාත්, ඔවුන්ගේ යොවුන් පුහුණුකරුත් බිල්ලට ගැනීම කෝපවූ ‘නිදි කුමරිය’ගේ චේතනාව විණිද...

උතුරු තායිලන්තයේ, චියැං රායි ප්‍රාන්තයේ තාම් ලුආන්ග් නන්ග් නොන් (Tham Luang Nang Non) ගුහාවේ කොටු වුණු ළමා පාපන්දු ක්‍රීඩකයන් 12 දෙනෙකුත්, ඔවුන්ගේ යොවුන් පුහුණුකරුත් ‘බිල්ලට ගැනීම’ කෝපවූ ‘නිදි කුමරිය’ගේ චේතනාව විණිද...

ඇත්තම කියතොත් මේ පෝස්ටුව නම් ලියවෙන්නේ මගේ හෘදයාභ්‍යන්තරයේ තෙරපෙන හැඟීම් සමුදායකින් නිදහස් වීම පිණිසය; භාව විරේචනයක් කරගනු පිණිසය.
ඒ තරමටම පීඩනයකිනි, පසුගිය පැය කිහිපය මා ගෙවා ගත්තේ. ඒ සියල්ල ඇරඹුණේ, හරියටම මීට පැය 23 හමාරකට ඉස්සෙල්ලාය. (මේ ලියන මොහොත- 2022 අගෝස්තු 17 වෙනිදා උදේ 5.50ය.)

‘ආයුබෝවන් ! බයිස්කෝප්වාසි යාලුවනේ. කාලෙකට පස්සේ මට හිතුනා ආයෙත් බයිස්කෝප් එකට සබ් එකක් ලියන්න ඕන කියලා. එහෙම හිතාගෙන ඉන්න කොට තමයි මට අහම්බෙන් වගේ මේ ෆිල්ම් එක හම්බ වුනේ. ඉතින් මගේ පරණ සබ්වලට කමෙන්ට් දාපු හැමෝටම ගොඩක් ස්තුතියි.

මම අද අරගෙන ආවේ සුපිරිම සුපිරි ඇඩ්වෙන්චර් ෆිල්ම් එකක්. නිකම්ම නිකන් එකක් නෙමෙයි, පැය දෙකහමාරක් පුටුවෙන් නැගිටින්නේ නැතුව බලන්න පුලුවන් පිස්සු හැදෙන ෆිල්ම් එකක්. ඒකත් සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරන ලද විශිෂ්ට ගණයේ චිත්‍රපටයක්. ඔයාලට මතකද 2018 වර්ෂයේ මුළු ලෝකෙම අවධානය දිනාගත් ඒ සිදුවීම....’ සුපුන් නිරෝෂන් (නීරෝ) එයාගේ පෝස්ටුව පටන් ගෙන තිබ්බේ එහෙම කියමින්.

සුපුන්ගෙ ලිපිය පළවී තිබුණේ ‘බයිස්කෝප් සිංහලෙන්’ අඩවියේ- ‘Thirteen Lives’ ෆිලුම ගැන පෝස්ටුවේ.

මං වහන්සේ film පිස්සෙක්, අත දරුවා කාලෙ හිටන්ම. ඒ පිස්සුව පෙර භවයක හිටම එනව වෙන්නැති. දැනටත් හැමදාම උදේට කම්පියුටරය ඉස්සරහින් වාඩි වුණාම, මං බයිස්කෝප් සිංහලෙන් අඩවියට යනවාමයි. එයාලා ලෝකෙ තියෙන හොඳම- අලුත්ම films ඔක්කොම එයාලගේ අඩවියෙන් දෙනව වගෙයි, මට නම් පෙනෙන්නේ; සිංහල subs එක්කම.

ඉතිං, එහාට ගොඩ වැදුණම මගේ වෙලාවත් ඉතිරියි; ඩේටාත් ඉතිරියි! හොඳ films ගැන දැන ගන්නත් පුළුවනි.

ඒ මදිවට film එකේ ට්‍රේලරයත් බැලුව නිසා පොඩි කසන දැවිල්ලකුත් හැදිල තිබ්බා...

එහෙම දැනගෙන තමා ‘සමුදුරු මූර්තිය’,
‘හරි හුරතල් විනාකිරි සංග්‍රාමය’ වගේ posts ලියැවුණේත්. ඊට පස්සෙත් හොඳ films නම් ගොඩක් බැලුණා, ඒ site එකෙන් අරං.

ඒත් නිදිගෙ පංච තන්තරේ අඩවියට ඒ ඔක්කොම ගැන ලියන්න විදිහක් නැහැ නෙව; මං වහන්සේ ලියන්නෙ මගේ ජීවිත අත්දැකීම් එක්ක මුහු කරන්න යමක් තියෙනවා නම් විතරයිනෙ. එහෙම තිබුණු නිසා තමයි ‘විරූපීට රැවටෙන්නේ සුරූපී කියලා’,
‘ප්‍රේමණීය චාරිකාවක්’ වගේ posts එහෙම ලිව්වෙත්.

ඒ පුරුද්දට, ඊයේ; 16 වෙනිදා පාන්දර ඒ අඩවියට ගියාමයි, ඒ අලුත්ම post එක දැක්කේ.

‘...2018 ජුනි මාසයේ උතුරු තායිලන්තයේ චියැං පළාතේ තාම් ලුආන්ග් නන්ග් නොන් ගුහාවට පිරිමි ලමුන් දොළොස් දෙනෙකුගෙන් යුත් පාපන්දු කණ්ඩායමක් සහ ඔවුන්ගේ පුහුණුකරු ඇතුළු වෙනවා. මෙයාලා ඇතුලට ගිහින් ටික වෙලාවකට පසු ධාරානිපාත මෝසම් වැසි ඇද හැලීමට පටන් ගන්නවා. කන්ද මුදුනට පතිතවන එම ධාරානිපාත දියදහරා ටිකෙන් ටික කන්ද ඇතුලට ඇවිත් මේ ගුහාවේ ජල මට්ටම ඉහල යාමට පටන් ගන්නවා.

-ගුහාවට ඇතුළු වන ස්ථානයේ සිට කිලෝමීටර් 4ක් පමණ ගුහාවේ ඇතුලත දැඩි අඳුරු ස්ථානයක මේ පුහුණුකරු ඇතුළු සිසුන් දහ දොළොස් දෙනා සිර වෙනවා. නොනවත්වා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් කෝප වූ සොබාදහමේ හිරිහැරත් විඳිමින් ලෝකයෙන්ම එකතුවුණු ඇති දක්ෂ කිමිදුම්කරුවන් සහ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණු ස්වෙච්ඡා සේවකයන් සමග තායි හමුදා නිලධාරීන් ඇතුළු ධෛර්යවන්ත මිනිසුන්ගේ මුදා ගැනීමේ මෙහෙයුමයි මේ...’

එවෙලේම ‘බයිස්කෝප් ඩවුන්ලෝඩ්’ සයිට් එකට ගියා.
... එතැනින් තමයි මම ගොඩ වෙලාවට films බාගන්න ඕනි links හොයා ගන්නෙ. ලොකු files, පොඩි files... ‘Thirteen Lives’ ෆිලුමට එතැන දීල තිබ්බා MB 800 ඉඳලා 2.1 GB දක්වා බරැති files ගොඩක links.

මක්කටෙයි සුනංගු වෙන්නේ, ෆිලුම බාගත්තා.

.

ඊයේ උදේ මොකුත් ලියන mood එහෙකත් නෙවෙයි මං හිටියේ. ඒ මදිවට film එකේ ට්‍රේලරයත් බැලුව නිසා පොඩි කසන දැවිල්ලකුත් හැදිල තිබ්බා. Film එක බැලුවා ඉතිං!

අපේ මිතුරු රෑනේ සේරම එහෙම උදවියයි!

බොන මිනිස්සු හරිම කැමතියිනෙ, දන්න කියන හැමෝමත් බොනව නං.
මම කිව්වේ තේ- වතුර වගේ දියර ජාති බීම ගැන හෙම නෙවෙයි, හොඳේ.

“ටිකක් හරි බීල බලනවා හලෝ!” අනන්තවත් මිතුරන් මට කියා තිබේ. තවමත් කියනු ලැබේ. “නිකම්ම අරක්කු- කසිප්පු කියලා තමුසේ මේවා පාච්චල් කළාට එහෙම කරන්ඩ වටින්නේ නෑ...” ඔවුන් කියන්නේ මගේ සමච්චල් ඉසිලිය නොහැකි තැනය. මොන labelsවලින් තිබුණත්, ඉහළම brands යැයි කියා ගත්තත්, ඒවා කණකට ගන්නේ මේ නිදි නොවේ. මට ඒ සේරම ‘අරක්කු- කසිප්පු’ය.

මං ඒවා බොන්නේ නැතත්, එයාලගේ අර පුරුද්ද නං මටත් තිබේ. හොඳ පොතක් කියෙව්වාම; රසබර ගීයක් ඇහුවාම; හොඳ නාට්‍යයයක්- ටෙලි නාට්‍යයක්- ෆිලුමක් නැරඹුවාම පුළුවාාාාාාං තරම් කට්ටියවත් ඒ ගොඩටම ඇද ගන්නටය, මං දත කන්නේ. විහිළුවක් වුණත් ඒ ටිකමය. අපේ මිතුරු රෑනේ සේරම එහෙම උදවියයි!

ෆිලුම ගැන කීම නවත්තලා, (මේ දැන් ලැබුණු) ලියවිල්ලක්,මට ලැබුණු විදිහටම- ඔබේ රසාස්වාදය උදෙසා මෙතනට ඔබනවාට, අමනාප නෑ නේද?

‘ශීලා, අගමැති/ජනාධිපති සහන අරමුදලට රුපියල් 5000ක් පරිත්‍යාග කළා...
අනික් අතට පණ්ඩු
, රුපියල් 5000ක් වටිනා විස්කි බෝතලයක් ගත්තා...

ප්‍රශ්නය වන්නේ, වැඩිපුර දායක වූයේ කවුද...??

01. ශීලා පරිත්‍යාග කළ රුපියල් 5000ට ඇයට 30%ක බදු සහනයක් ලැබිණි. එම නිසා, ඇයට ඇත්තටම රුපියල් 1500 ආපසු උපයා ගැනීමට හැකි විය. වෙනත් වචන වලින් කිවහොත්, රු. 5000 පරිත්‍යාග කිරීමෙන් ඇය රුපියල් 3500 ක ශුද්ධ දායකත්වයක් ලබා දුන්නාය...

02. මධ්‍යසාර මත, එකතු කළ මුළු බදු (සුරාබදු සහ GST) දළ වශයෙන්. MRP (නිෂ්පාදකයා සඳහන් කරන මිළ) වලින් 72%. ඉතින්, පණ්ඩු රුපියල් 5000ක් ගෙවනකොට රුපියල් 3600ක් රාජ්‍ය භාණ්ඩාගාරයට ගියා.
ඒ වගේම විස්කි පෙග් 12.5ක් රස විඳීමේ සතුට ඔහු ලැබුවා...!!!

මාගේ මේ පෝස්ටුව ලිවීමේ ව්‍යායාමය ඒ අපයෝජන ගැන කීමට නොවේ!

ඒ නිසා පණ්ඩු වැඩි දායකත්වයක් ලබා දුන්නා පමණක් නොව, ඔහු ස්කාගාරයේ රැකියා ද, ඒවායේ ලේබල්, බෝතල්, කැප්, යන්ත්‍රෝපකරණ ආදිය සපයන්නන් ද, අලෙවිකරණ සමාගමේ රැකියා ද, වයින් ස්ටෝර්ස් එකේ රැකියා ද ආරක්ෂා කිරීමට දායක වූවා සේම ඊට අමතරව, ඔහුට උසස් විනෝදාත්මක හැඟීමකින් යුතුව කාලය ද ගෙවිය හැකි විය.

අනෙක් අතට, ශීලාගේ සල්ලි කොහෙ ගියාද කියා ඇයවත් හරි හැටි දන්නේ නැහැ.......

සිතන්න...!

ඊළඟ වතාවේ, ඔබ මධ්‍යසාර බෝතලයක් මිලට ගන්නා විට, ඔබ ඔබේ ජාතියට සේවය කරන බව සිතට ගන්න...!!!
වගකීම් සහිත පුරවැසියෙකු වන්න. ඔබට මෙම වැසි බර මෝසම් කාලය උණුසුම්ව ගත කිරීමට වාසනාව ලැබේවා...!!!

උපුටා ගන්නා ලදී...’
කවුරුන් හෝ වේවා ඒ ලියවිල්ල සකස් කළ කෙනාගෙත්, එය share කළ අයගෙත් චේතනාව රසිකයන්ට වින්දනයක් ලබා දීම කියලයි මට හිතෙන්නේ.

(මට නං එහෙම දෙයක් කියවද්දීත් මතක් වෙන්නේ අපි ගෙවන කෙළවරක් නැති බදු හිතුමතේට අපයෝජනය කෙරෙන ක්‍රම ගැනයි!)

මාගේ මේ පෝස්ටුව ලිවීමේ ව්‍යායාමය ඒ අපයෝජන ගැන කීමට නම් නොවේ; හුදෙක්ම මගේ අභ්‍යුදය උදෙසාත් නොවේ; ආදරණීය රසික-රසිකාවන්ගේ රසාස්වාදයට ඉතාම ගැලපෙතියි මට සිතෙන චිත්‍රපටයක් ගැන ටිකාාාාාක් කියාාාාා.... මගේ උමතුව ඔබ සැමටත් බෝ කිරීම පිණිසය!

“මේ චිත්‍රපටය නොසිඳෙන අප්‍රතිහත ධෛර්යයත්, මිල කළ නොහැකි ස්වෙච්ඡා සේවයත් කියාපාන සුසමාදර්ශයක්.

-නිමක් නොපෙනෙන මර උගුලකට හසු වුණු යෞවනයන් පිරිසකගේ දිරියත්- කිමිදුම්කරුවන්ගේ අමිල කැපවීමත්- ලෝකයේ හතර දෙසින්ම පැමිණි මානව හිතවාදීන් හා එක්වුණු තායි බලධාරීන්, නිලධාරීන්, පුරවැසියන් ආදී දහස් ගණනකගේ වෙහෙසවීමත් පෙන්වන්නක්.” කියලයි, ෆිලුමේ අධ්‍යක්ෂ රොන් හාවර්ඩ් වරෙක කියා තිබුණේ.

දරුණු ගැටලුවකදී මානවයාට සියලු භේද පසෙකට ලා එකට එකතුවී වෙහෙසෙනවා නම් කළ නොහැක්කක් නොමැතියි!! 

“මනුෂ්‍යත්වයේ මහිමය උරගා බලන කදිම ආදර්ශයක් මේ!

-දරුණු ගැටලුවකදී මානවයාට සියලු භේද පසෙකට ලා එකට එකතුවී වෙහෙසෙනවා නම් කළ නොහැක්කක් නොමැතියි!! ඒ බව මේ සිදුවීමෙන් සනාථ වෙනවා.” චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය සැපයූ Van Sandwijk කියා තිබ්බෙත් ලොකු ඇත්තක්.

ඒ ගැටවර ළමයින් කණ්ඩායම හිර වුණේ, තායිවාසීන් කියන විදිහට නම් ‘නිදි කුමරියගේ කඳු යායේ’ තාම් ලුආන්ග් නන්ග් නොන් ගුහාවේ.
Wild Boar’ (වල් ඌරෝ) පාපන්දු කණ්ඩායමේ ගැටවර ළමයින් 12 දෙනෙක්.... (අවුරුදු 11 ඉඳලා 16 දක්වා වයසෙයි එයාලා හිටියේ.) එයාලා ගුහාව බලන්න යනවා, ඒ ගොල්ලන්ගෙ පුහුණුකරුවත් එක්ක. ඒ coach හාදයා; Ekapol Chanthawong වුණත් එච්චර මෝරපු වයසක කෙනෙක් නෙවෙයි. අවුරුදු 25යි වයස.

එයාලා ගුහාව ඇතුළේ ඉන්න අතරේ මොර සූරන මෝසම් වැස්සක් ඇද හැලෙන්න පටන් ගන්නවා. ධාරානිපාත වරුසාව නිසා තැන්-තැන්වල එකතු වෙන වතුර කන්දරාව, ගුහාව ඇතුළට පිරෙන්න පටන් ගන්නවා... ඒ විත්තියක් නොදැන ගුහාවේ ඇතුළටම යන ‘වල් ඌරෝ’ ෆුට්බෝල් කණ්ඩායම ගුහාවේම හිර වෙන්නේ, වතුර මට්ටම ඉහළ නඟින්න ගත්තමයි!
ඔවුන් කොටු වෙන අභ්‍යන්තර ගුහාවේ ඉඳලා, ගුහා සංකීර්ණයේ ප්‍රවේශ වෙන තැනට දුර කිලෝ මීටර 4ක්!

වචනවලින් මේක කියනව වගේ නෙවෙයි, එහෙම තැනකට ගිහිල්ලම බලන්න වෙනවා.

මට නං ඒ වගේ ගුහා සංකීර්ණයක් මොන වගේද කියලා බලා ගන්න හම්බ වුණා; ලංකාවෙදිම, අවුරුදු 35කට විතර ඉස්සර. (මුදිත කරුණාමුනි හිතවතා තමයි අපට එතැන ගැන ඔත්තුව දීලා පාර පෙන්නුවේ. ඒ වෙනුවෙන් මුදිතට කොච්චර ස්තුති කළත් මදි. මොකෝ, දැන් වගේ විස්තර හොයා ගන්න අන්තර්ජාල පහසුකම් ඒ කාලෙ අපට තිබ්බයි කියලයැ?)

අවුරුදු දහස් ගණනාවක් පැරණියි කියලා කියවෙන, ස්වභාවික ප්‍රධාන හුණුගල් ගුහාව හා සම්බන්ධ කුඩා ගුහා දොළහක්! වැඩි ඈත දුරකත් නෙවෙයි, ඇඹිලිපිටිය පාරේ, පල්ලෙබැද්ද කුංතොට හන්දියේ ඉඳල කිලෝ මීටර් 12ක් දුරින්. පාර නොකිව්වත් ‘වවුල්පනේ’ කිව්වම නං ඔයාලට මතක් වේවි.

වවුල්පනේ හුණුගල් ගුහාව මැදිනුත්... (අපට ඔත්තුව දුන් මුදිතට ස්තුතියි!)

(මම ආයෙම වවුල්පනේට යැවෙනවා නං හෙම නොවැරදීම යැවේවි, ගොඩකවෙල ඉන්න නොදුටු හිතවතෙක් හමු වෙන්නත්! එයා, නයා වගේ වුණාට blog ලියන අපි කාගෙත් හිතවතෙක්.... ඊට වඩා නම්- ගං- තෝම්බු ඕනි නෑනේ...) 

වවුල්පනේ හුණුගල් ගුහාව මැදිනුත් ‘හල්විනි ඔය’ නිසංසලේ ගලාගෙන යනවා. හල්විනි ඔයේ වතුර වැඩියි නං වවුල්පනේ ගුහාවලට ඇතුළු වෙනව බොරු.
(1987 විතර අපි යනකොට නොතිබුණු පහසුකම් ගොඩක් දැන් එහෙ තියෙනවා වගෙයි.) ඔය ගලාගෙන යන පාර දිගේම ගිහින්; බඩ ගාගෙන තමයි අපි ගුහාවෙන් එළියට ආවේ. එතකොට අපි හැමෝම වවුල් බෙටිවලින් නෑවිලා හිටියෙ....

වවුල්පනේ ගුහා සංකීර්ණය තුළ අඳුරේ, වවුලන් ලක්ෂ ගාණක් නොනැවතී එහා-මෙහා ඉගිලෙමින් ඉන්න නිසා, මොන ජගතෙකු වුණත් ඒ වවුල් බෙටි ප්‍රහාරවලින් බේරෙනවා බොරු!

ඒ අන්ධකාර ගුහාව හරහා (විදුලි පන්දම් දෙකක එළියෙන්) යන්න අපට ගත වුණේ පැයක් විතර! ඒ වෙලාවේ මට දැනුණු සංවේදනාවන් සිය දහස් ගුණයකින් දැනෙන්න ගත්තා, ‘Thirteen Lives’ බලන වෙලාවේ. මේ film එක හෘදයාබාධ තියෙන කෙනෙක්- කාටත් තේරෙන සිංහලෙන් කියනවා නං ‘හාර්ට් ඇටැක්කාරයෙක්’ බලන්න ගත්තොත් මොනව වෙයිද මන්දා...

ගුහාව අස්සේ හිර වුණු කට්ටිය තවමත් පණ පිටින්ද නැද්ද කියලා කිසිම ආරංචියක් නැති දවස් දහයක්!
ජුලි දෙවෙනිදා තමයි එයාලා පණ පිටින් ඉන්න බව හොයා ගන්නෙ.

ඒ මොහොත film එකේදී එළඹෙන්නේ විනාඩි 40ක් ගියාට පස්සේ. (කොහොමද චිත්රපටකාරයන්ගේ දස්සකම; උපක්‍රම? එවෙලේ පැය බාගයක් විතරම මගෙ පස්ස තිබ්බේ පුටු ගැට්ටේ!)
එතැන ඉඳලා තමයි 'මයිල් ඉස්මයිල් වෙන' රියල් fight එක!

ඊයේ උදෙත් මොකක් ගැනද මීළඟට ලියන්න යන්නෙ?’ කියලා නමී මගෙන් අහලයි තිබ්බේ. 

‘මෙම ගලවා ගැනීමේ ප්‍රයත්නයට කිමිදුම්කරුවන් 100කට වැඩි පිරිසක්, ගලවා ගැනීමේ සේවකයින් විශාල සංඛ්‍යාවක්, රාජ්‍ය ආයතන 100ක පමණ නියෝජිතයන්, පොලිස් නිලධාරීන් 900ක් සහ සොල්දාදුවන් 2,000ක් ඇතුළු 10,000කට වැඩි පිරිසක් සම්බන්ධ වූහ. පොලිස් හෙලිකොප්ටර් 10ක්, ගිලන් රථ හතක්, කිමිදුම් සිලින්ඩර 700 කට වැඩි ප්‍රමාණයක් සහ ගුහාවලින් ජලය ලීටර් බිලියනයකට වඩා පොම්ප කිරීම අවශ්‍ය විය...’ කියල හරිම කෙටියෙනුයි ඒ ගැන සුපුන් නිරෝෂන් ලියල තිබුණේ.

ඒ විස්තරයෙ නොතිබුණු ටිකක් මේ. ඒ මෙහෙයුමට රටවල් 17 කින්- ස්වේච්ඡා සේවීන් විදිහට පැමිණි 5,000කට වැඩි පිරිසකුත් ඇතුළත්.

බයිස්කෝප් සිංහලෙන් අඩවියේ පළ වෙන ලිපි කොපි කරගන්න බෑ නෙව. සුපුන්ගේ ලිපියෙනුත් තොරතුරු ගත යුතු නිසා, මම විස්තරත් කියලා ‘නමියගේ වීදියේ’ නමීගෙන් ඇහුවා, ඒකට ක්‍රමයක් ගැන.
ඊයේ උදෙත් ‘මොකක් ගැනද මීළඟට ලියන්න යන්නෙ?’ කියලා නමී මගෙන් අහලයි තිබ්බේ. එයා හරි සතුටෙන් ඉන්නේ
මැංචෝසන් චාරිකා පෝස්ටු වැල ඉවර වෙන බව දැකලා. (මිනිහට ඒක එච්චර අල්ලලා ගිහිං නෑ!)

මේ post එක ලියන්නට හිතන එක ගැන දැනගත්ත ගමන් ඒ හාදයා, සුපුන්ගේ ලිපිය අලුතෙන්ම කොටලා- මට එවලත් තිබ්බා ඊයෙම හවස. ස්තුතියි නමී!

අර 13 දෙනාගෙන් කාටවත් මොකුත් නොවී බේරා ගත්තු බව දැනගෙන හිටියා වුණත්...

දවස් දහයක් තිස්සේ කෑමක්- බීමක්- එළියක් නැති අඳුරු ගුහාවක හිර වුණු ගැටවරයන් දොළොස් දෙනාව කෙලින්-කටින්; පණ පිටින් තියා ගන්න අර ක්‍රීඩා පුහුණුකරුවා මොන-මොන දහංගැට ගහන්න ඇද්ද?
ඒ අතරේ විටින්-විට මතුවෙන ගැටලු ගැන නම් හිතා ගන්නවත් බැරි තරම්...
ඔව්! ගැටලු තමා. ඒ ළමයින්ගෙන් සමහරෙකුට පීනන්නවත් බෑ, කිමිදෙනවා තියා. එයාලා හිර වෙලා ඉන්න තැන හිට, එළියට එන්න පැය හයක් යනවා, පළපුරුදු කිමිදුම්කරුවන්ට වුණත්....
ඒකට මොකද කරන්නේ? කොහොමද එයාලව එළියට ගෙනෙන්නේ- පණ පිටින්!

කොහොමද එයාලව එළියට ගෙනෙන්නේ- පණ පිටින්!
ඒ අතරේ ආයෙමත් වැස්ස අද හැලෙන්නයි හදන්නේ...
එතකොට... සින්ක් හෝල්! එහෙමයි තායිලන්තයේදී කඳු වැටියේ ඉඳලා ගුහාව ඇතුළට වතුර ගලා එන තැන් හඳුන්වන්නේ.

මගේ මතකය එක සැරේම ගියේ ‘අඩාරය’ ළඟට.
වවුල්පනෙත් තියෙනවා ලොකු ‘සින්ක් හෝල්’ එකක්. එතෙන්ට තමා අඩාරය කියන්නේ.

“මේ පැත්තෙන් කන්දට නැග්ගම මහත්තයලට ගුහාව ඇතුළට බහින්න පුළුවන්... ගුහාවට උඩින් පොළොව දිගේ ගලාගෙන එන වතුරවලින් එතන පොඩි දිය ඇල්ලකුත් හැදිල තියෙනවා. ගෑනු අයට නං එතැනට බහින්න බෑ... ඒත් මහත්තයලට මොකද බැරි? කොල්ලොනෙ...” එදා වවුල්පනේදී අපට පාර පෙන්නූ හිතවතා කිව්වේය.
“වැස්ස කාලෙට නං ඒකත් බෑ!”

එදායින් පස්සෙත් කිහිප වතාවක්ම එහාට ගියත්, එතැනින් ගුහාව මැදට බහින්නට නම් අපෙන් කවුරුන්වත් එඩිතර වුණේ නැත. 

එදා උඩින් ගුහාව ඇතුළට බැහැලා, ටෝච් එළියෙන් වටපිටාව බලද්දී අපි දැක්කේ කොණක ඉන්නා පෙණ ගොබය විහිදුවා ගත් නාගයෙකි!
‘අහක යන නයි ඉන්න ගුහා අස්සට දෙවනි සැරේටත් බැහැලා කවා ගනිල්ලකො!’

මට හිතෙන්නෙම වවුල්පනේ හුණුගල් ගුහාව බලන්න ගිහින් තියෙන කෙනෙකුට, මේ film එක හොඳටම විඳින්න පුළුවන්ය කියලයි. ඒකට හොඳම හේතුව මේ ෆිලුම හදද්දී ඉතාම; ඉතාම ක්ෂුද්‍ර කාරණා පවා ඉතාම; ඉතාම සැලකිල්ලෙන් අධ්‍යයනය කරලා තිබීමයි.
Film එක ගැන මං කියවූ එක ලිපියක තිබුණා, මේ සිනමාකරුවන් ‘ජලය තුළදී ශබ්දයේ ගමන් වේගය හතර-පස් ගුණයකින් වැඩිය’ කියන කාරණයත් සැලකිල්ලට ගෙන තිබෙන බව.

ඔයාලටත් ඒ ලිපිය කියවන්න දෙන්න ඇහැක් නං...

උගුලෙන් බැරි නං හබකෙන්!කිව්වලු.  

‘අනේ බූරුවා! ඒ Anatomy of a Miracle: The Making of Thirteen Lives පෝස්ටුවේ කොච්චර බර- බර ඉංගිරිස් වචන තිබ්බද උඹට නොතේරුණු? උඹ ලියන්නෙත් සිංහලෙන් නේද? පුළුවන් නං පරිවර්තනේ කරලම ලියපංකො’ මගේ හිත මටම අභියෝග කළා.

‘උගුලෙන් බැරි නං හබකෙන්!’ කිව්වලු.
එක පාරටම...

එක පාරටම මට කල්පනා වුණා fb එකට ලියන චිත්‍රපටලෝලී හිත හොඳ කොල්ලෙක් ගැන. ගෝඨා ගෝ ගමේදී පැය 68 උපවාසය කරන්න ගියාට පස්සෙයි, මං එයාව අඳුන ගත්තේ. එයා ලියන දේවල් කියවලා තිබ්බා විතරයි, ඊට කලින්. එයාට පුළුවන් වෙයිද; කැමති වෙයිද මේ වැඩේට අත ගහන්න...
‘මට ලොකු උදව්වක් කරනවද?’ මම එයාට විස්තරේ කිව්වා. එයා බිසි- කොරියන් විභාගෙකට සූදානම් වෙමින් ඉන්නේ. එතකොටම මතක් වුණා, විභාගයක් ඉවර කරලා ඉන්න; බොග දාන සද්ධි විහාරික සගයෙක් ගැන.

මං උන්නැහේටත් කතන්දරේ කීවා.

“මගේ පෝස්ටුව ඕනවට වැඩිය දික් කරන්නත් බෑ. කොටස් දෙකකට දාලත් බෑ. ඔයා මේ ලිපිය translate කරලා, මගේ post එක ගැනත් කියලා ලිපියක් publish කරන්න. මමත් ඔයාගෙ post එක ගැන මගේ ලිපියේ ලියන්නං... එකම දවසේ, එකටම, අපි දෙන්නගෙ posts දෙක publish කරමු. එතකොට කැමති කෙනෙකුට posts දෙකම කියවල ඉවර වෙලාම film එක බලතෑකිනෙ...”

මගේ යෝජනාවට ‘ඩ්‍රැකී’ එක හිතින්ම මනාපය දුන්නේය.

(Netflix මේ ෆිල්ම් එක රිලීස් කළේ අගෝස්තු 5. බයිස්කෝප් සිංහලෙන් අඩවියේ මේ ෆිලුම ගැන post එක වැටුණේ අගෝස්තු 15. දැනටම එතනින් සිංහල සබ්ස් ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා 4,407 දෙනෙක්. ඒ අපේ පෝස්ටුවල වැඩ කෙරෙන අතරේය.)

වල් ඌරෝ කට්ටිය මරු කටෙන් බේරී අවුරුද්දකට පස්සේ...
ඩ්‍රැකී ඒ පරිවර්තන කාරිය කරන අස්සේ, (එංගලන්තයේ ඉන්නා) අපේ කොළඹගමයා; අජිත් ධර්මකීර්ති මහත්තයාටත් චිත්‍රපටයක් ගැන ලියන්නට හිතිලය; ලියලය, වේදිකාව - The Platform - අරගලයක - විනාශයක - බලාපොරොත්තුවක -වේදිකාව’ නමෙන්.

ඒක ස්පාඤ්ඤ ෆිලුමක් වගෙම, ප්‍රේක්ෂකයන් හොල්මන් කරවන එකක් වගෙත් නිසා.... මම බැලුවේ ‘බයිස්කෝප්’ අඩවියෙන් ඒ film එකට subs දීලා තියෙද කියාය. දීලනේ! අද ඊයේ නෙවෙයි, අවුරුදු තුනකට කලින්!!

ඉතිං, ඒකත් බලන්න එපැයි... මූඩ් එක හොඳ වෙලාවක. (ට්‍රේලරය බැලුවමයි ඒ තීරණේ ගත්තේ.)

ඉතිං ඉතිං, මේ පෝස්ටුව කියවූ ඔබ Thirteen Lives’ ෆිලුම බලන්න නේද හිතුවේ. එහෙම නං ඊට කලින් ‘ඩ්‍රැකීගෙ අඩවිය’ට ගිහින් නොවරදවාම ‘ප්‍රාතිහාර්යයක ඇනටොමිය’ පෝස්ටුවත් කියවලා ඉන්නවද?

අර බර-බර ඉංගිරිස් වචනවලට සිංහල තේරුම් දීලා- ඩ්‍රැකී ලියලා තියෙන සරල සිංහල post එකේ draft එක අද; අගෝස්තු 29 උදේම එවල තිබුණා. ඒ අනුවාදිත ලිපිය කියෝපුවම මට උණක් හැදුණා; ඩ්‍රැකීගෙ ලිපිය ආයෙමත් කියවල- අනෙක් සේරම කටයුතු පැත්තකට දාල ආයෙමත් වතාවක් Thirteen Lives බලන්න උණක්!

Film එකට වඩා රසවත්; පුදුම සහගත ‘ෆිලුම හැදීමේ විශ්වකර්ම වැඩ ටික’ ඒ post එකෙන් දැන ගන්නට ඇහැකිය.
මගේ කාරුණික ඉල්ලීම නං ‘අනේ, එහෙම දැනගෙන අහක වෙලා චිත්‍රපටය නරඹන්නට වාඩි වෙන්නැයි’ කියන එකය෴0෴

71 comments:

  1. හරේ... මේ පෝස්ට් දැමිල්ලත් අර දහතුන් දෙනා බේරගත්ත වැඩේ තරම්ම ත්‍රාසජනක අත්දැකීමක් කරපු නිදි රාළට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. එහෙම ඔට්ටු නෑ රජෝ... වැඩේ ත්‍රාසජනක වුණේ අපි දෙන්නම හින්දා...දෙන්නටම ස්තුති කරගනිමු!

      Delete
    2. දෙන්නෙක් ලියල ඊට පස්සේ නමියත් ලියල අන්තිමට දහතුන් දෙනෙක් ලියයි ද දන්නේ නැහැ. මට හිතුනෙම හෙන බෝරින් ෆිල්ම් එකක්. කියල.

      Delete
    3. අජිත් මහත්තයෝ, අපි කියනවට ෆිලුම බලලා කියන්නකො හිතුනු දේ.

      Delete
  2. ළමයි බේරගන්න කරපු විජ්ජාව අර උඩ දාල තියෙන රූපසටහනට වඩා, හෙණ ම සංකීර්ණ බව ෆිල්ම් එක බැලුවම පේනවා. මොක ද, ගොඩක් ඉඩ තියෙන උමගක ඒ වැඩේ ලේසියි. නමුත් යන්තම් එක කිමිදුම් කාරයෙකුට රංගල යන්න විතරක් ඉඩ තියෙන තැන්වලදි ඔක්සිජන් ටැංකියත් බේරගෙන හැඩ පාර ගලන තැන්වලදි ලණුවත් අල්ලගෙන, ළමයෙක්වත් අරගෙන එන එක ලේසි වැඩක් නෙවෙයි. සාමාන්‍යයෙන් කිමිදුම් කරුවෙකුට පැය තුනහමාරක් විතර යනව ඔය ගමනට. නමුත් ළමයෙක් අරගෙන යන කෙනෙකුට පැය හයක් විතර ගියා.

    ReplyDelete
    Replies
    1. ළමයින්ගේ නුපුරුදු බව, ආතතිය, බොර වතුර වීම වගේම සමහර තැන්වලදී ගල්වල තියුණු තුඩුවල පැටලීම වගේ දේවල් ගැන වැටහෙන්නේ දෙවෙනි සැරේටත් ෆිලුම බලද්දී... මං ටියුබ් ලයිට් එකක්ද මන්දා.... මේ බේරාගැනීමේ මෙහෙයුමේදී මියගිය 'කිමිදුම් ශූර සමන්'ට වුණු දේ... හොඳම උදාහරණයක්...

      Delete
    2. සමන් වගෙම, ඊට කලින් අර ජෙනියක් ස්ටාට් කරන්න ට්‍රයි කර කර හිටපු කෙනෙක් අරගෙන එද්දි වෙච්ච කළබැගෑනියත් හේතුවක් වුණා, ළමයි බේරගන්න අමාරු බව තේරුම් යන්න.

      ඔය ඔපරේෂන් එකේ දි දෙන්නෙක් මළා. සමන් සහ, මෙහෙයුමට පස්සෙ ලේ ආසාදනයක් නිසා මිය ගිය කෙනෙකුත් උන්නා.

      Delete
  3. වැලැක්විය නොහැකි වූ කරුණු කිහිපයක් නිසා "ගිනි සිසිල" මාසික වැඩිහිටි සඟරාවේ සැප්තැම්බර් 2022 කලාපය අද උදෑසන නිකුත් නොවෙන බව කරුණාවෙන් දැනුම් දෙමි.

    -රසික සූරියාරච්චි, සංස්කාරක, "ගිනිසිසිල" වැඩිහිටි සඟරාව
    සිංහල සංස්කෘතික හමුවේ සමලිංගික ලේඛක සංසදය,
    නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය, ඕස්ට්‍රේලියාව

    ReplyDelete
    Replies
    1. මේක අපහාසාත්මක කමෙන්ට් එකක් නිදි. හරියට කියවලා බලලා කළ යුත්ත තීරණය කරන්න. මං නං මගේ ගෙදර සාලෙ තවත් කෙනෙකුට අපහාස කරන්න ඉඩ තියන්නෑ.

      Delete
    2. මමත් ඔයා එක්ක එකඟයි ඩ්‍රැකී 99%ක්!
      1% තමයි අපහාසාත්මක කියන වචනේ. මට අනුව නං ඒක උපහාසයක්, හුදු විහිළුවක් කියන දෙකෙන් එකක් වෙන්න පුළුවන්. (එහෙම සැහැල්ලුවෙන් ගැනීම මගෙ මොට්ට කමක් නිවටකමක් වෙන්නත් ඇහැකියි!)

      ඊයේ උදේ උත්තර ලියාගෙන යද්දී (පළමු උත්තරය ලියවිලා තියෙන්නෙ 2.56 ට.) මම මේ comment එකට උත්තර ලිව්වේ නෑ, පළමු වටයේදී. අනෙක් සේරටම පිළිතුරු ලියලා, ඉවර වෙනකලුත් මේ anonymous මහතාගේ comment එක මගෙ ඔලුවේ තිබ්බා.
      මගෙ වටහා ගැනීමේ හැටියට නං මේ කෙනා මෙයින් වර්ග එකකට හෝ කිහිපයකට අයත් එක්කෙනෙක්:
      1. සමාජය එක්ක ලොකු තරහකින් ඉන්න කෙනෙක්
      2. හුදු විහිළුකාරයෙක්
      3. කා සමඟ හෝ ලොකු තරහකින් ඉන්න කෙනෙක්- ඒත් තමන්ගේ නමෙන් ප්‍රසිද්ධියේ එය පිරිමසා ගැනීමට තරම් ශක්තියක් නැති කෙනෙක්
      4. ඒත් ඇති තරං කාල වෙලාව හා සම්පත් ඇති කෙනෙක් (මේ comment එකම තවත් අඩවි ගොඩකටත් යවා තිබුණ නිසයි මට එහෙම හිතුණේ.)
      5. මානසික ව්‍යාධියකින් පෙලෙන්නෙක් (එහෙම අයට ජීවිතයේ කොතැනකදී හෝ බොහෝ විට පීඩාවක්- අසාධාරනයක් සිදුවී තිබෙනවා විය හැකියි.)
      6. නොනමින් හෝ කැපී පෙනීමේ ආසාවකින් පෙලෙන්නෙක්
      7. මොන මට්ටමේ හිටියත් උගත්- යම්කිසි හැදියාවක් තිබෙන නිර්මාණශීලී කෙනෙක් (සමහර අඩවිවලට එකම ඕලාරික අසැබි විහිලුව දිගින් දිගටම යවන්නන් දැක තිබෙන නිසයි එහෙම කිව්වේ.)
      ඕව තමයි මගෙ හැඟීමේ හැටියට ප්‍රධාන.

      ඉතිං මේ කෙනා ගැන ඇත්තටම මට හිතුණේ දුකක් එක්කම යම්කිසි ගෞරවයක්.
      'අනේ, ඩේටා පුච්චගෙන- රත්තරන්වලටත් වැඩිය වටිනා කාලය වැය කරගෙන මේ මනුස්සයා කරන සුමයක්!' කියලයි මට හිතුණේ.

      ඒ හින්දා මම කෙටුවේ වචන දෙකක උත්තරයක්. 'අනුකම්පාවෙන් ස්තුතියි!'
      ඒ මොහොතේම මට හිතුනා 'අනුකම්පාවෙන්' වචනෙන් එයාව පහත් කරනවා වගේ නේද කියලා. ඒ නිසා ඒ වචනේ නැතිව තනි වචනේ publish කළා.

      මගේ අවංක හැඟීමයි මේ ලිව්වේ; ලියන්න වුණු නිසා. කාටවත් රිදවන්න නං නෙවෙයි!

      Delete
    3. ඔ්කෙ තියෙන බරපතළකම වැටහෙනවා, මම අර එවපු ලිංක් එකත් බැලුවනම්...

      ඔබේ ප්‍රතිපත්තියට මං එකඟ වෙනවා. කොහොමත් මට වඩා සමාජයේ අත්දැකීම් තියෙන කෙනෙක්නේ නිමල් අයියා. මීනස්සු එක්ක ගනුදෙනු කරන හැටි ගැන ඔයා දන්නවනෙ.

      Delete
    4. ඒ link එකටත් ගිහිං බැලුවා.
      ඩ්රැකී, හිනා යන දේකුත් කියන්න වෙනවා ඉස්සෙල්ලම - මාත් හරිම මොට්ටයෙක්- අත දික්කරලා හඳ පෙන්නුවාම හඳ වෙනුවට ඇඟිල්ල දිහාව බලපු එකා වගේ.

      ඒ link එකට ගිහිං කියවද්දී මට හිතුණේ 'ඒ දවස්වල blog අඩවි කොච්චර කියවන්නන් හා comment කරන්නන් ගැවසුණු තැන්'ද කියලයි. ඔයා මට පහදලා දෙන්න හදපු පණිවුඩය හිතට වැටුණේ දෙවෙනියටයි

      ඒත් මම තවම හැම දේම ඉගෙන ගනිමින් ඉන්නේ... ඩ්රැකී මාහත්තයෝ. විශේෂයෙන් මට වැරදෙන ඒවා. මේ වගේම දිගටම මට උදව් කරන්න. ස්තුතියි!

      Delete
    5. ඇට් යුව සර්විස්

      Delete
  4. මුලිංම කියන්නෝන මෙච්චර ළඟපාතක තිබිලත් මම ඔය වවුල්පනේ බලන්න තාම ගිහින් නෑ කියන එක. ඒ හින්ද ආපහු නිදි ඔය ගමන යනවනං මග ඉඳලම னයෙක්වත් දාගෙන ගියොත් හොඳා.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න මහත්තයෝ, තමුන්නැහේව තියන්න වටින්නේ නෑ. වවුල්පනෙට ගිහිං බලන්න.
      මගෙන් කලින් කොතන හරි ලියවෙච්ච දෙයකුත් ආපහු මතක් වෙනවා.
      80 ගණන්වල wal ප්‍රියන්තගේ van එකේ අපි 10 දෙනෙක් දවස් 5 ට්‍රිප් එකක් යන්න පිටත් වුණා. හාල්- තුනපහ, සාස්පාන් එහෙම පටවාගෙන. පමුණුවේ අපේ ගෙදරින් පිටත් වෙලා මහරගම හන්දියට යන අතරේ ප්‍රියන්ත ඇහුවා 'දැන් අපි කොහෙද යන්නෙ?' කියලා. මම යෝජනා කළා 'දියවින්නේ යමු. එහෙ ගමත් ලස්සනයි... මරු දිය ඇල්ලකුත් තියෙනවය' කියලා. යෝජනාව ස්ථිර වුණා.
      එතකොට මර්වින් කිව්වා 'මම අපේ මාමලා ගහපු පොතක් ගෙනාවා, නිමලයට දෙන්න. මේ තියෙන්නේ.' කියලා. පොත දුන්නා. ජර්මන් ජාතිකයෙක් වගෙයි මතක, ඒ පොතේ කතුවරයා - ශ්‍රී ලංකාවේ දිය ඇලි 100ක් ගැන විස්තර ඒ ඉංග්‍රීසි පොතේ තිබුනා. පාරත් ලියා තිබ්බා, ළඟම Rest house එක ගැනත්.
      අවිස්සාවේල්ලට යන ඩිංගට, තීරණේ වුණා යන දිහාව. 'රත්නපුරේ පැත්තෙන් පටන් අරං දිය ඇලි 100ම බලමු! එක trip එකෙන් බැරි නං හතර පහකින්වත්...' (එතකොට අපේ වත්කම් ඉඩ දුන්නේ මඟ තියෙන පන්සලක බණ මඩුවක නවතින්න විතරයි!)

      අනේ සුද්දගෙ ඉංගිරිසි පොතෙන් බලාගෙන, ගම්වල උදවියගෙන් පාර අහ-අහා ගොඩ තැන් හොයා ගත්තේ. ඒ හුඟ වෙලාවට, ඒ ගම්වල උදවියත් කිව්වේ, ඔයා කියන කතාව. 'එහෙම එකක් තියෙනවලු තමා.... අපි නං ගිහිං නෑ! කියලා.
      ඊළඟ ලස්සන වැඩේ, එතකොටත් සමහර කුඩා දිය ඇලි සදහටම අවසන් ගමන් ගිහිං, කැලෑ එළි කිරීම නිසා. දැන් ඒ ලැයිස්තුවට තවත් එව්වා එකතු වෙලා.
      ඉතිං රජෝ, වවුල්පනේටත් මොනවා වෙයිද කියන්න බැහැනේ..... කොහෙ හරි රටකින් වීසා ගහගෙන එහෙම බලන්න යන්න වුණොත්! දැන්ම ගිහිං බලමු!

      Delete
    2. දියවිනි ගමන ගැන ලියපු postsවල links මේ:
      http://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_75.html
      http://nidigepanchathanthare.blogspot.com/2018/07/blog-post.html http://nidigepanchathanthare.blogspot.com/2018/07/blog-post_27.html http://nidigepanchathanthare.blogspot.com/2018/07/blog-post_24.html http://nidigepanchathanthare.blogspot.com/2018/08/blog-post.html

      Delete
    3. වැදගත්ම දෙයක් අමතක වුණා, වවුල්පනේ යනකොට
      තේ පැන් සංග්‍රහයක් ලැහැස්ති කරවන්නත් හිතාගෙන ඉන්නවලු, හිතවතෙක්!

      Delete
    4. දියවිනි කතා සීරීස් එක නියමයි වගෙයි උඩිං පල්ලෙන් බැලුවම පෙනුනෙ. නිදහසේ වෙලාවක කියවන්න ඕන.

      Delete
    5. එතකොට අහන්න හිතෙන්නේ ප්‍රසන්න, ගොඩකවෙල ගෙවුඩ තිබුණයි?

      Delete
    6. තේ නම් මන්දා, ප්‍රසන්නගෙ ෂොප් එක ඉස්සරහම තියෙනව කොළ පාට බෝඩ් එක ගහපු දැල් කඩේ...

      Delete
    7. කොළ පාටින් ගහන්නේ රතු පාටින් ගහන්න ඕනි එකක් නේද?

      Delete
    8. රතු පිටත් තියෙනවා , අවර්ණත් තියෙනවා.

      Delete
    9. ඒක වහල සෑහෙන කල් බ්‍රෝ

      Delete
  5. මේ ෆිල්ම් එකනං නොවරදවාම බලන්න ඕන. ඒ දවස්වල ඔය ළමයි ටික බේරගන්නකල් කොච්චර ඕක ගැන ඇහැ ගහගෙන හිටියද.
    ඔය ළමයින්ව ගුහාවෙන් එළියට ගේනකොට මත් කරල ගෙනාවයි කියල කතාවක් තියෙනවනෙ. මොකද මගදි කලබල උනොත් එහෙම කිමිදුම්කරුවන්ගෙ ජීවිතත් අනතුරේ වැටෙයි කියල හිතල. නමුත් උං ඇතුලෙ හිටපු කාලෙ අනුව කෙහොමත් හාමත් වෙලා තමයි ඉන්න ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. දැන්ම බලන්න ෆිලුම. ඒක ප්‍රමෝට් කරන්නේ අපිට මොකුත් ලැබෙනවට එහෙම නෙවෙයි- හොඳේ!

      Delete
  6. වවුලගෙ පෝස්ට් එකත් බලන්න ඕන. පුලුවන්නං ඔය වවුලවත් ගමන එක්ක යං. මොකද උගේ යාලුවෙ ඇතිනෙ ගුහාව ඇතුලෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. නිකං ම වවුල කියන්නැතුව ටිකක් ආදරෙන් කතාකරනවකො, වවුල්පනේ කියල.

      Delete
    2. කොමිටල් ඩැකියා ලිස්ට් එකට දාගනින්.

      Delete
    3. අන්න වැඩේ... දවසෙන් ගිහිං එන්න පුළුවන්.... දවස් දෙකක් ඉඩ තියෙනවා නං දියවින්නටත් ගිහිං, එහෙ පන්සලේ රැයක් නැවතිලා එන්න පුළුවනි.

      හැබැයි දැන් ගමන් යන්න වෙන්නේ- ඉඩකඩම් විකුනලා තමයි...

      Delete
  7. නිදි, ඩ්‍රැකී @
    හෑඃ... මුන් දෙන්න තරඟෙට post දාල නෙව... කියවන ජහමනයා ගැන වගේ වගක් නැතුවා

    ReplyDelete
    Replies
    1. තරගෙට නෙවෙයි නමියෝ... ඊයේ පාන්දර පහමාරට අපි දෙන්නා ටෙලිෆෝන් කණේ තියාගෙන- three, two, one කියලා count down කරලා දෙන්නම එකම වෙලාවේ පෝස්ටු දෙක publish කළේ.
      ඊළඟ තත්ත්පරේ දෙන්නම එකිනෙකාගේ ලිපිවල linksතුත් posts වලට දැම්මා. එහෙම කළේ කියවන අය ගැන කොච්චර කතා වෙලාද?

      කොච්චර කයිවාරු ගැහුවත්- කියවන අය නැත්තං අපට ලියවෙයිද, මෙහෙම?

      Delete
    2. නමියො,
      එක එක විගඩං කරනව ඉතිං අපිත්... බොලාගෙ හුදී ජන මෙව්ව එක උදෙසා

      Delete
  8. මං මේ post එකට කොමෙන්ට් කොරන්නෙ හිට.... ෆිලුම බලලාමු. එතකන් තොපට සිටින්නවේහු.

    ReplyDelete
    Replies
    1. හිටගෙන කොමෙන්ට් කරන්න එපා බං ඉඳගෙන කරහං.

      Delete
    2. අඩේ පෂා... ඒම කියන්ට එපා. මේ කරමේ පෙර විසූ ජනපටි වරුත් පාවිච්චි කොලා බම්

      Delete
    3. ඔය කෙරේමේ ආදී කාලේ හිට එන එකක් නෙව නමී. නිකං නෙවෙයි යක්කු-යක්ෂනියොත් රවට්ටන්න පාවිච්චි කෙරෙනවා. නිකංද ගෙවල්වල උළුවස්සේ 'බාලගිරි අද නෙවෙයි හෙට' කියලා ගහන්නේ. (නව ඇමති මණ්ඩලේ අද නෙවෙයි හෙට- කියල ගහනවා හෙම නෙවෙයි ඕන්.)

      Delete
  9. පොස්ට් ඔක්කොම කියවනවා...

    ReplyDelete
    Replies
    1. සන්තෝසේ බෑ ලලිත්! ඉක්මන් කළොත් වැඩිය හොඳයි. හෙටානිද්දා හිට බිල් වැඩි වෙයි!!!

      Delete
  10. පිචැර් එක බලලාම කොමෙන්ට් කරන්නම්..

    ReplyDelete
  11. කමෙන්‍ට් ඩ්‍රැකීතුමාගෙ පෝස්ට් එකට දැම්ම

    ReplyDelete
    Replies
    1. ඌට බම්බු ගහගන්න කියල ඒක මෙතෙන්ට දාන්නෙපැයි.

      Delete
    2. https://en.m.wikipedia.org/wiki/House_of_Bamboo

      Delete
    3. ගිහිං බලද්දී Pra Jay මහත්තයො, සෑහෙන වෙලාවක් යන වැඩක්. තමුන්නාන්සේලාට උත්තර දීලා හොයන්න ගන්නන්! එතකල් ස්තුතියි.
      මෙලහකටත් ඩ්‍රැකී ෆිල්ම් එක හොයලා බලලත් ඉවරද දන්නෑ!

      Delete
    4. මොකද්ද? මම දැක්කෙ එකයි.

      Delete
    5. එක film එකයි තමා. ඒත් ඩ්රැකී එතැන තියෙන ඉතිහාසේ... ඒවාටයි වෙලාව යන්නෙ... විශේෂයෙන් 1954 ෆිල්ම් එකක් නෙව.

      Delete
    6. ප්‍රා දාල තිබුණෙ කමෙන්ට් දෙකයි. එකක් ආණ්ඩුකාරවරයා ගැන, අනික හවඩ් උච්ඡෘරණය ගැන. 1954 ෆිල්ම් එක මොකද්ද?

      Delete
    7. ආ... හරි හරි බම්බු ගෙදර නේ? මං වලිගෙ පාගගෙන ඉඳල තියෙන්නෙ.

      Delete
    8. බම්බු ගෙදර හොයා ගත්තාද? බැලුවද?

      Delete
    9. තවම නෑ. මේ සතිය පට්ට බිසී නේ...

      Delete
  12. නිමල් අයිය, ගොඩක් ස්තුතියි. මාවත් මතක් කළාට. ලොකුම ස්තුතිය කතා මැද කතා සහිත ආකර්ෂණිය විස්තරයට. අනර්ඝයි !!
    තව ගමන් විස්තර ලියමුකො. මතකද අපි අවාරේ සිරීපාදේ ගියා. ඒ්වත් ලියමු.
    මේවා එකතු කරල පොත් කීපයක් ගහමු. මං හිතන විධියට යුවති කිරිල්ලි ගෙන් පස්සෙ පොතක් කලේ නැහැනෙ.
    තව තව රසවත් කතා ලියන්න ඔබට ශක්තිය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මුදිත! පරණ ගමන්- වැඩ ගැන blog එකේ දිගටම ලියවෙනවා. ඔයා 'යුවති කිරිල්ලී' පොතේ වැඩවලට කල උදව් ගැනත් මම ලිව්වා.
      වැඩේ කියන්නේ මට ජීවිතේ පුරා උදව් කළ- කරන අය කප්පරක්! මම මැරෙන තුරුම ඒවා අමතක වෙන එකකුත් නෑ.ලියන්න- සඳහන් කරන්න වෙන්නේ, අදාළ තැනකදී විතරයිනේ.
      අමුතුවෙන් ඔයාට කියන්න දෙයක් නෑ, සව්ලියස් කරුණාමුනි කිවිඳුන්ගේ පුතණ්ඩියා නිසා 'ඖචිත්‍යය' දන්නවා නෙව.

      මුල්ම කාලේ ඔයාත් අපේ ගමන් සගයෙක් නිසා කියන්නේ- ඒ දහ දෙනාගෙන් කට්ටිය හැලුණා; අලුතෙන් එකතු වුණා; තව හැලුණා.... නමුත් ප්‍රියන්ත, මර්වින්, නෙවිල් හා මං තවම ඇතුළේ!

      Delete
    2. යුවති කිරිල්ලීගෙන් පස්සේ තව පොත් තුනක් ගැහුවා මුදිත. සුපර් ස්ටාර්, හිනා වෙන්න හිනා හා හිනා තවත් හිනා කියලා.
      හිනා පොත් දෙකයි. යුවති කිරිල්ලී පොතයි blog එකේ 'අකුරු මැකී නෑ' ලේබලය යටතේ පළ කරල තියෙනවත් එක්ක.

      Delete
    3. මෙන්න මුදිත, යුවති කිරිල්ලී පොත ගැන ලියද්දී මතකයක් අවදි කල තැන: https://nidigepanchathanthare.blogspot.com/2021/01/blog-post_18.html

      Delete
  13. Replies
    1. එහෙම නෙවෙන්නං කරන්න ඕනි, ඉයන් මහත්තයෝ. කැප කළ වෙලාව ගැන ඔයාට දුක හිතෙන එකක් නෑ.

      Delete
  14. මගේ ශත දෙක -
    ඔන්ට බලුහා.
    colin... අප්පෙ පට්ට නළුවෙක් ඉතීම්. ඒවගේම තමා viggoත්. දෙන්න වයෂ පෙෂ් දකින්නත් නිකාන් මොකක්ද වාගේ. Thirteen Lives (2022). හොඳ Survival/adventure ෆිලුම්ක්.
    අමාරු අවස්තාවක ටීම් එකක් විදිහට වැඩකරමින්, අමාරු තීරණ ගන්නෙ කොහොමද කියල හොඳට දනවන... ෆිලුමෙන්. විශේෂයෙන්, වෙච්ච වැරැද්දෙන් ගොඩ එන්න... ළමයින්ගෙ තරුණ පුහුණුකරු කරපු දේ ඉතා වැදගත්. ඔහු අභියෝගයේදී මනස ශක්තිමත් කරගන්න විදිහ පොඩි අයට කියල දෙනවා. මං දැක්ක ඒ දවස්වල කියල තිබ්බ... ළමයි ඒ මානසික මට්ටම පවත්වන් නොගියා නම්, ඒ අය බේරෙන්න නොහැකි වෙන්නත් තිබ්බ කියල. මොකද හිටපු පරිසරයෙන් සම්පූර්නයෙන්ම වෙනස්, භාහිරයත් එක්ක කිසිම සම්බන්ධයක් නැතිව ඉන්නවා කියන්නෙ මිනිහෙක්ට නෙවෙ සතෙක් ට උනත් බොහොම අමාරු වැඩක්. ඒ අමාරු වැඩේ මේ ළමයි දවස් ගණනක් ආහාරයක්වත් නැතුව කරා කියන්නෙ පුදුමයක්ම තමයි.
    ඒ නිසා ෆිලුමෙන් ඒ පැත්තත් පොඩ්ඩක් cover උනානම් මීට වඩා කියල හිතුන. බේරාගැනීම මෙහෙයුම සම්බන්ධයෙන් ෆිලුම කෙරිච්ච නිසා ඉතීම් අවුලකුත් නෑ. මොකද එහෙම කරානම් ෆිලුම පැය දෙකාමාරකටත් වඩා දික් වෙනව.
    ෆිලුම ගෙනාව නිදිට හා ඩ්‍රැකීට ස්තූතිය... වෙහෙස වෙලා post දෑවට 🙏

    ReplyDelete
    Replies
    1. ෆිලුම බලලා දිග comment එකක් ලිව්වට ස්තුතියි නමී.

      මුලින්ම මෙහෙම පොස්ට් එකක් ලියන්න අවශ්‍ය දත්තයක් විදිහට සුපුන්ගේ ලිපිය කොපි කරගන්න ක්‍රමයක් ඇහුවමත් තමුන්නැහේ කරපු යෝජනාව මතකද?
      'ගලව ගත්තට පස්සේ, ඒ ළමයින් දැන් කොහෙද- කොහොමද- මොකද කරන්නේ වගේ දේවලුත් පොස්ට් එකට දැම්මොත් හොඳයි නේද?' කියලා.

      එතකොට මං ඔයාටම එහෙම පොස්ටුවක් ලියන්න යෝජනා කළාම, කැමති වුණා නං...

      Delete
    2. ... ඔය භාවනා වගේ දේත් අපේ ආදරණීය රසික- රසිකාවන්ට කියන්න තිබ්බා නේද?

      Delete
    3. ප්‍රණාමයේ ප්‍රමාණය වැඩි ද මන්දා?

      Delete
    4. භාවනාව ගැන ඉද්රියෙදී පොස්ටුවක් කරන්න ඉන්නෙ... හැබැයි කවද එයිද දන්නෙ නෑ. නිදි දන්නවානෙ... මගේ ස්පීඩ් එක ගැන 😂

      Delete
    5. නිමා කරනු මිස වැඩ ඇති තමා අත
      පමාවට කරුණු මට උවමනා නැත

      නමී, ඔය කවි පද දෙක ශ්‍රී නේරුතුමාගේ අදහසක් පාදක කරගෙනයි ලියවිලා තියෙන්නේ. මම ඕක ඉගෙන ගත්තේ කැළණියේ ටයර් කොර්පරේෂන් එකේ මුර කුටියෙන්. 1979 විතර. තජක වැඩවලට යන්න විජේවන්ත අයියාව pick කරගන්න එහාට ගිය වෙලාවක.
      ඒවා ගැන posts කිහිපයක් ලිව්වාත් එක්ක.
      https://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_1.html

      Delete
  15. ප්ලට්ෆොර්ම් එකටත් යන්න. ඒක වැදගත්.

    ReplyDelete
    Replies
    1. ඒක බලන එක එච්චර ලෙහෙසි නෑනේ. මං පිළිකුල් භාවනාවත් පිළිකුල් කරන කෙනෙක්!

      Delete
    2. මං බැලුවා. අනර්ඝ සමාජ විවරණයක්...

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්