li Item

Wednesday, August 26, 2020

ආදර පූජාසනේ - සිව්වෙනි කොටස

තිස් තුන් කෝටියක් දෙවියන් පිහිට     වුම

තිස් තුන්වන කවෙන් පතනෙමි ඔබට මම!

ඔයා හොඳටම දන්නවා අපි අතරෙ වුණු දේවල්.....
එහෙම කියලා පහුගිය පෝස්ටුවෙන් සමුගත්තට පස්සෙත් මහී, සුනන්ද, අජන්ත, ජිනසිරි හතර දෙනාම ආයෙ-ආයෙත් මගේ ඉස්සරහ පෙනී හිටියා. එක-එක විදිහේ ආවේගවලින් ආවේශ වෙලා, එක-එක වචනවලින් එයාලා ඇහුව දේවල් නම් හුඟක්ම එක විදිහයි. (තවම අජන්තයි, ජිනසිරියි සීන් එකට කැන්දන් ආවෙ නැති බව ඇත්ත. ඒත්, එයාලා වුණත් තේරුම් අරගෙන ඉවරයි, ඉක්මනටම එයාලා ගැනත් හෙළිදරව් වෙන විත්තිය.) 

‘ඔයාට වටින්නෙ නැහැ ඔච්චර පරණ අතීතෙක කුණු-කන්දල් අවුස්සන්න; ප්‍රසිද්ධියේම’. ‘අපි ඒවා කළේ  ඔයාවවත්, වෙන කාවවත් අමාරුවේ දාන්න නෙවෙයිනෙ. ජොලියට....’.

එතකොටම ජිනසිරි ඉස්සරහට ආවා. “ඔයා දන්නවා අපි දෙන්නා අතරේ වුණ දේවල් ඊට වැඩිය බරපතළ බව.” අපි දෙන්නා හමුවුණු දවසේ වගේම ජිනසිරි කිව්වේ කඳුළෙන් දිලිසෙන ඇස්දෙක පිස දමමින්.

“ඔයා අපිට එක බොරුවක් හරි නොකියා හිටියා වෙන්නැති. ඒත්.... හිතට එකඟව කියන්න; අපේ ඇස් දිහා කෙළින් බලාගෙන කියන්න ඔයා අපිව රැවට්ටුවේ නැහැයි කියලා..... ලුම්බිණි හෝල් එකේදී මාව........” ඒ පාර සුනන්දත් නෝක්කාඩුවෙන්....

‘Please, දැන් මම මොනවා කිව්වත් වැඩක් නැහැනෙ.... වෙච්චි දේවල් වෙලා ඉවරයි. එව්වා නැති කරන්නයැ? මේ සේරම ලිව්වට පස්සේ, ඒවා කියවන අයටම අපි කියමු එයාලගේ තීරණ කියන්නය කියලා.’ මම කියමි.

මහරගම පිරිමි ළමා නිවාසය ගැන තිබුණු සඳහන දැකලා....
සැබෑව මෙයයි; එදවස කිසිවකු රවටන අරමුණක් මට නොවිණි. එහෙත් ඒ උදවියට විහින් රැවටෙන්නට ඕනෑ තරමට දේවල් කෙරුණු බව නම් ඇත්තය; එයට පසුබිම තැනුවෙමි; කරුණු සම්පාදනය කළෙමි. හිත්පිත් නැති අයුරින්, ඉතා දරුණු ලෙස මගෙන් එසේ කෙරුණු බව නම් නොවළහා පිළිගන්නෙමි.... ප්‍රධාන වශයෙන්ම ඒවා කෙරුණේ ළමා නිවාසයේ ටෙලිෆෝන් එකේ උදව්වෙනි!

‘ආදර පූජාසනේ’ දෙවෙනි පෝස්ටුවේදී ‘මහරගම- පිරිමි ළමා නිවාසයට’ ආධාර උපකාර අවශ්‍යව ඇති බව මම ලිව්වෙමි. ඒ ලිපිය කොටමින් ඉන්නා අතරේ, අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුව හිතවත් මර්වින්, ගවීන්, රාජිත වැනි කිහිප දෙනෙකුටද යැව්වෙමි.

එයාලා ‘අවැසියාවේ මිතුරෝ’ කණ්ඩායමේ ලොක්කන්ද කොහෙදය. මං ඒ කණ්ඩායමට කරලා තිබෙන ලොකුම උදව්ව ගැළපෙන නමක් හදා දීමය. ඉතින් මං අර මැසේජස් යැව්වේ අඟහරුවාදාය. ඉරිදා වෙද්දී බඩු තොගයක්ම නිවාසයට ගෙනත් දෙන්නට එයාලාට හැකි විණි. 

18 අඟහරුවාදා උදේ, නිවාසයේ වත්මන් පාලකතුමා; නිශාන්ත මහතා කෝල් එකක් දුන්නේය. “මිස්ටර් නිමල්. තව කණ්ඩායම් කිහිපයකුත් බ්ලොග් එක කියවලා, ආධාරත් අරං මෙහාට ආවා. ගොඩක් ස්තුතියි එහෙම වැඩක් කළාට.......”

ඉතින්, මාත් මගේ බ්ලොගය කියවන රසික හිතවතුන්-හිතවතියන් වෙත ස්තුති කළ යුතුය. මා කළ විස්තරයට එතරම් ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම මට ඉමහත් ගෞරවයකි!

මෙතැනදී මං කළේ තොරතුරු සම්පාදනයක් විතරය. අතරමැදියෙකු වීමක් නොවේ. මෙදා අතරමැදියා වුණේ බ්ලොගයයි; එදා  අතරමැදියා වුණේ අජීවී ටෙලිෆෝනයයි.

ඒ Pen Pal කතන්දරේ නිමාව දුටුවේ තිත්ත කුණුහරුප ලියුමකිනි!
එමෙන්ම මගේ පෙර වැරදි තිබුණු බවත් අමතක නොකොට පිළිගන්නට වෙයි. ඒ කිව්වේ ජයන්තිගේ ඉල්ලීම පිට හරි, පෑනේ මිතුරෙකුට ලියුම් ලිවීම ගැනය. ඒ  Pen Pal පලහිලව්ව නං අන්තිම වුණේ තිත්ත කුණුහරුප ලියුමකිනි. එහෙම වුණත්, ඒ ‘PS’ රාජකාරිය කරද්දී එයිනුත් පාඩම් ඉගෙනගෙන වඩ-වඩාත් මුහුකුරා ගිය; තවත් ඇට්ටර වුණු නිමල් දිසානායක කෙනෙකි; මෙදා හිටියේ.

අද වනතෙක්ම, ඒ ඇට්ටරකම දවසෙන් දවස තවත් වැඩි වුණා මිස අඩු වුණේ නැති බවත් ආඩම්බරයකින් නොව පාපොච්චාරණයක් වශයෙන් හෝ කියන්නට ඕනෑය. උණ පුරුකේ දැම්මත් බලු වලිගයේ ඇදය නොයනවා වගේ, මගේ ජන්ම දෝෂයනුත් මා හැරදා නොයයි.

“හැමදාම ඔයා කතා කරනවා විතරයි. මමම ඇවිත් ඔයාව හම්බ වෙන්නං කිව්වත් එපයි කියනවා. මොකක්ද ළමයො.... ඔයාගෙ ෆොටෝ එකක්වත් එවන්නකො.” මහී දවසක් කිව්වේය.

“හොඳට හිටියි.... අපායට කැලැන්ඩරයක් ගහන්නද හදන්නෙ, මගේ පින්තූරෙ දාලා?”

“.... විහිලු නෙවෙයි, නැද්ද ඔයාගෙ ෆොටෝ එකක්?”

“මොකද නැත්තෙ? එ....ක....ක් නෙවෙයි ගො....ඩා.....රි...ය...ක් තියෙනවා.”

“ඒකනෙ හලෝ, එවනවකෝ එකක්... හොඳ ළමයා වගේ.”

“සලකලා බලන්නංකෝ..ඕ..ඕඕ..” මං මහීට එහෙම කිව්වෙත් නිකම්ම නොවේ; හිතේ තවත් අයිඩියාවක් ලියලද්දීය.

සුනන්ද එවූ මල් කූඩයේ එතෙක් මා දැක නොතිබුණු ‘එවර්ලාස්ටින්’ මල්ද...
ඒ අතරවාරයේ දවසක් සුනන්ද කියූ දෙයකින් මම බිරාන්ත වීමි. “ඔන්න නිමාලි මම ඔයාට මල් කූඩයක් එව්වා! හෙට හම්බ වෙයි!’’

සුනන්දට ලිපි තැපැල් කළත්, අපේ ගෙදර ලිපිනය මා ඔහුට දී තිබුණේ නැත. මට ලියුම් ආවේ පිරිමි ළමා නිවාසයේ ලිපිනයටය. මට හිතුණේ කවුරුන් අත හෝ මල් කූඩයක් එවනවා කියලාය. “කවුද ගේන්නේ?”

“ඇයි? බය වුණාද? ගෙදරට නෙවෙයි එවන්නේ.... මහරගම ස්ටේෂමට.... ඔයාට ගිහින් ඒක අරගන්න බැහැනේ. මම ඒක එව්වේ දහනායක මහත්තයාගේ නමට.... එයාටත් කියලයි තියෙන්නේ දැන්මම..... බාගයක් එයාට. බාගයක් ඔයාට.”

“ඔයාට නං පිස්සු! අපරාදෙ වියදං...”

“ඒ වියදමෙන් මං නට්ටං වෙන්නේ නෑ...”

සුනන්ද එහෙම කිව්වත් ඒවා තිබුණු මල් කූඩය සුවිසල් එකකි. මඟුල් ගෙයක් සරසන්නට තරම් මල් එහි තිබිණි. එක මල් වර්ගයක් මා පළමුවරට දැක්කේ ඒ මල් කූඩයෙනි.

“ඒ එවර්ලාස්ටින්..... සදාකල් පවතින!..... මාස ගණනාවක් වුණත් තියෙයි... නටු විතරයි මැරිලා යන්නේ...”

“ඇත්තමයි, ඒවා හදපු මල් වගෙයිනෙ....” මටත් කියවුණේය!

අධිවේගී මාර්ගය නිසා පාලටුවේ දහනායක මහත්තයලගෙ ගෙවලුත්.....

මොළය පුදුමාකාරය. ඒ මල් ගැන මතකයට ආවේ අදය. පෝස්ටුවේ 4 වෙනි කොටස ලියද්දීය. දහනායක මහත්තයලාගේ ගමේ නම මතක් වුණෙත් අදය!
ගෙදර පිරිත් පින්කමක් තියෙන දවසක එහෙ එන්නැයි, දහනායක මහත්තයාත් - අයෝධ්‍යා අක්කාත් බල කරලාම කියා සිටියෝය. මතක හැටියට නම්, මං එහෙ ගියේ දහනායක මහත්තයාගේ මල්ලීත් එක්ක බස්වලිනි. පාර නං යන්තම්වත් මතකයේ නැත.... ගමේ නම ‘පාලටුව’ය. බ්ලොගය කියවන ඒ පැත්තේ කෙනෙකු ඉන්නවා නං, මේ දහනායක මහත්තයලා ගැන පොඩි සෝදිසියක් කරනවාද?

ඒ පැත්තෙන් Highway එක යද්දී දහනායක මහත්තයලගෙ ගෙවලුත් විතැන් වෙලාවත්ද?

ගෙදර තිබුණේ පුංචි කඳු බිමක, තේ වත්තක් අයිනේය!

ඉතින්, සුනන්දගේ මල්වලට ‘ස්තුතියි’ කියලා විතරක් නිකම් ඉන්නට ආඩම්බරකාර මට හිතුණේ නැත. එයාටත් යමක් යැවිය යුතුය. ඒ වෙද්දී මේ රස කතන්දර-හුටපට කළු අක්කලාගේ ගෙදරදීත් සාකච්ඡා වෙලා ඉවරය. වැඩේ දිගටම ගෙනියන්නැයි එහේ අසන්නන්ගෙනුත් කෙළවරක් නැති ඉල්ලීම්ය. (ඒ කතන්දරවල පාත්‍ර වර්ගයාගේ හැබෑ නම්-ගම් විතරය එයාලටත් රහස් වුණේ!)

“මොනවද කළු අක්කේ සුනන්දට යවන්නේ? තෑගි බාරගෙන නිකම්ම ඉන්න පුළුවනෑ ණයකාරයෙක් වෙලා.... මගේ හිතට මදි-මදි වගෙයි.”

“නිමල් මල්ලිට මම අල දෝසි ටිකක් හදලා දෙන්නද යවන්න?”

අපේ ආච්චිගෙන් අත් රේන්ද හා තැටින් රේන්ද ගොතන්නට ඉගෙනගෙන තිබුණයින්...

“එපා, එපා. එතකොට ඒ මනුස්සයා අහනවාමයි ‘කවුද හැදුවේ’ කියලා. මං හැදුවා කියලා බොරුවක් කියන්න බැහැනෙ. මට ඕනේ මමම කළා කියන්න පුළුවන් වෙනින්.....”

දෙමටගොඩ කැන්ටිම කරද්දී, අර එපාම කරපු කෝකි බාස්ලාගේ හොරකම්වලින් පස්සේ; කෝකියන් වහ කදුරු වුණාට පස්සේ කැන්ටිමේ ඉව්වෙත්; අතුරු කෑම ජාති හැදුවෙත් කළු අක්කා හා මං වහන්සේය. ඒ කෑම ජාතිවලින් නොම්මර එකට ආවේ ‘අල දෝසි’ය.

“හරි. මම කියන්නං වැඩක්. ඔයාට ලස්සනට මල් මහන්නත් පුළුවන් එකේ කොට්ට උර දෙකක් විතර මහලා යවමු. කොල්ලෙකුට තියා කෙල්ලෙකුටවත් ඔච්චර සීරුවට මල් මහන්න ලේසි නෑනෙ.” කළු අක්කා කිව්වේ මගේ අත්කම් හැකියාවන් ගැන දැනගෙන හිටි හින්දාය. අත් රේන්ද ගොතන්නට- ස්මොක් කරන්නට- මල් මහන්නට තිබුණු හැකියාවන් නිසාමය, මට බතික් කරන්නටත් දොර ඇරුණේ. ඒ වෙද්දී කළු අක්කාගේ ලොකු දෝණියන්දෑ; සෝමලතාත් අපේ දීපානි බතික් එකේ වැඩ කරමින් උන්නාය.

කළු අක්කාගේ කොට්ට උර යෝජනාව මගේ හිතට ඇල්ලුවේය! ඒ අනුව දවස් ගණනාවක් මහන්සිවී හදාගත් ‘මල් කිනිත්තක් බැගින් මැසූ කොට්ට උර දෙකක්’ සුනන්දගේ අතට ගියේ පාර්සල් තැපෑලෙනි.

එක් දිනක් හැන්දෑවක හිතවතෙකුට ෆෝන් කළ කතන්දරයක් කියන මර්වින් පෙරේරා....
“අනේ නිමාලි.... බොරු ප්‍රශංසාවකට කියනවා නෙවෙයි.... ඔයා කතා කරන විදිහෙන් නං හිතාගන්නවත් බැහැ එක තැනකට වෙලා මෙච්චර සීග්‍ර වැඩක් කරන්න ඉවසිල්ලක් තියෙනවය කියලා........” කොට්ට උර දෙක දැකපු සුනන්ද කිව්වේ පුදුමෙන් මුසපත් වෙලා විත්තිය හොඳටම දැනුණේය.

'එක් දිනක් හැන්දෑවක මං - හිතවතෙකුට දුරකතනෙන් කතා කළා

යොමුවෙලා වැරදි අංකයක් - අන් කෙළවර සිට අඟනක් කතා කළා’  

ප්‍රේමකීර්ති ද අල්විස් ලියන ඒ කතන්දරයත් මෙවැනිම කතන්දරයක් නොවේද? ඒ මනුස්සයා වහ වැටිලා ඉන්නේ ‘ඒ අරුමැසි කටහඬ අයිතිකාරියගේ රුව’ දැකලා නොවේ; වැඩ දැකලා නොවේ; ඒවා කිසිවක්ම නොදැක-නොදැන අඳුරක හිඳිමිනි.

'මා මුමුණන මේ ගීතය ළඳුනේ, සවනට ඇසෙනව නම්

එවන් සැඳෑවක ඔබ අමතන තුරු ඉවසිල්ලෙන් ඉන්නම්

කොතැනක- කොයිබක කවුරුන් වේවා, කටහඬ සවන පතයි

අමතනු මැන මට, මගෙ දුරකතනයෙ අංකය විසිහතරයි!’

කෙනෙකුගේ කටහඬ සංසාරික මතකයක්සේ තවත් කෙනෙකුට දැනෙන්නට බැරිද? එතෙක් ගැඹුරට යන්නට ඕනෑ නැත. මා විශ්වාස කරන පරිදි, මට බොහෝ දෙනෙකුගේ හිත දිනාගන්නට හැකිවී තිබෙන්නේ මගේ කටහඬ නිසා නොවේ.

මා ඔවුනට හොඳින් සවන් දෙන නිසාය; ඔවුන්ගේ නම මතක තියාගෙන නිතර එය භාවිත කරන නිසාය. මේවා අත්හදා බලා තියෙන- අත්දුටුවයි සත්තයි කාරණාවල්ය!

එයා රබර් බෝනික්කියක් නෙවෙයි! මගේ පෙම්වතී....
‘ආදර පූජාසනේ - 2’ පෝස්ටුවට කමෙන්ටුවක් එවමින් රසික Lotus හිතන්නට දෙයක් කියයි
‘lotus  August 15, 2020 at 6:26 PM

loneliness කියන්නෙ කොයි තරම් ලොකු issue එකක්ද කියල මම මේක කියවන ගමන් හිතුවෙ. තනියම (single) ඉන්න අයටත් වඩා marriages ඇතුලෙ lonely වෙල ඉන්න අය වැඩිද මන්ද. Self love කියන එක අපි වැඩි දෙනෙක් practise කරන්නෙ නැති නිසා හැම වෙලේම හිතන්නෙ පිටින් කෙනෙක් ඇවිල්ලා අපේ තනිකම නැති කරයි කියලා. අන්තිමට රැවටිලා විතරයි.

දැන් ඉස්සරටත් වඩා අපි තනි වෙන්නෙමු! අපෙන් බොහෝ දෙනෙක් සිරගතවී සිටින්නේ ස්වේච්ඡාවෙනි; තමන්ම තනාගත් සිරකුටිවලය!

හැට පැනපු ‘සෙන්ජි නකජිමා’ දරු දෙන්නෙකුගේ තාත්තෙක් වෙලත්, තදටම තනිකමෙන් පීඩා වින්දලු. අන්තිමට එයා නතර වෙලා තියෙන්නේ ‘සඕරි’ ළඟ.

“සඕරි රබර් බෝනික්කියක් නෙවෙයි. ඇය දැන් මගේ පෙම්වතියයි. ඇය කවදාවත් මාව පාවා දෙන්නේ නෑ. ඇය මුදල් පසුපසම හඹා යන්නියකුත් නෙවෙයි. ඈ මගේ හිතේ ඇති හැම දෙකටම ඇහුම්කන් දෙනවා. ඇයට ටිකක් වැඩියෙන් මගේ උදව් උවමනායි තමයි. ඒත් ඇය මගේ ජීවිතය ලස්සන කරනවා.....”

සෙන්ජි එහෙම කියන්නේ සිලිකන් රබර් බෝනික්කියක් ගැනයි; ඒ බෝනික්කියන් සමඟින් ලිංගික සහවාසයටත් ඉඩ තිබෙයි. නිෂ්පාදකයන් කියන්නේ මෙවැනි බෝනික්කියක මිලදී ගත්තාම, ජීවිතේටම ආයෙමත් යුවතියක උවමනා නොවෙන බවයි!

දැනටමත් වෙළෙඳ පොළේ මෙවැනි සිලිකන් තරුණියන් වර්ග 50කට වඩා ඇති බවත්, සිලිකන් තරුණයන් පවා වෙළෙඳ පොළට එමින් සිටින බවත් වාර්තාවලින් කියවෙනවා!

එක මොහොතක ඉන්න ඔයා නෙවෙයි ඊළඟ මොහොතේ ඉන්නේ!

සෙන්ජිටත් වඩා තනිකමෙන් පෙළෙන අය අද ලෝකේ කොච්චර ඉන්නවා ඇතිද? සුනන්දලාවත් දාන්නට වෙන්නේ ඒ ගොඩටද?

“දැන් නම් මාලි, ඔන්න ඔයාගෙ ෆොටෝ එකක් එවන්නම වෙනවා.....” සුනන්ද කිව්වේ, කොට්ට උර යැව්වයින් පස්සෙ සුමානයේය!

“අර මොකෝ, මෙච්චරකල් නොතිබ්බ ආසාවක්?”

“ඔන්න එහෙනං ඇත්තම කියනවා. ඔයාගෙ කටහඬ ඇහෙද්දී මගේ හිතේ මැවෙන රූපෙම නෙවෙයි තව කෙනෙකුගේ හිතේ ඇඳෙන්නේ. ඒ වගේමයි වෙලාවක ඉන්න ඔයා නෙවෙයි, තව වෙලාවක ඉන්නේ. වෙලාවක ඔයා පොඩි ළමයෙක් වගේ... තවත් වෙලාවකට මහා පැහිච්චි අම්මණ්ඩියෙක් වගේ... වෙලාවකට දාංගලේ; වෙලාවකට හුරතලේ....”

“ංංංම්...එච්චරද ඉ...ති...ං?”

“තරහ නැහැනේ කිව්වට... වැදගත්ම දේ තමයි....; මට වැදගත්ම දේ තමයි ඔයාගේ තියෙන චූටි මහන්තත්ත ගතිය..... ඔන්න මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. උත්තර දෙනවා නං මම හරිම කැමතියි. බැහැයි කියලා හිතෙනවා නං ඒකත් බාරගන්නවා මොකුත් නොකියා....”

“ නොකිව්වත් ඔයාට වෙන කරන්න දේකුත් නැහැනෙ...” වචන කටෙන් පනිද්දීමය, උත්තරය ටිකාක් අකාරුණික බව මටම තේරුණේ. මං කළේ ඒකටම තව චුට්ටක් එකතු කිරීමය; තරමක ඔච්චමට වගේ..... “එහෙම නේ...ද ම...හ...ත්....ත...යෝ?”

“ආන්න.... ආන්න, ආන්න මං කිව්ව දේ. ඉරිසින්නාන්සෙ කෙනෙකුටම තමයි කියන්න පුළුවන් වෙන්නෙ, ඔයා දැන් කියපු ටික කිව්වේ තරහෙන්ද- ආදරෙන්ද එහෙමත් නැතිනම් ඔලොක්කුවටද කියලා තේරුම් ගන්න... අන්න ඒකයි මාලි ඔයා ළඟ තියෙන වෙනස...”

කොල්ලො ඔයාගෙන් අහන්න බයේ ඇත්තේ!

“ඉත්තින්? මොකක්ද ඔයා අහනවය කිව්වේ?”

“ඔන්න අහනවා එහෙනං.... ඔයාට boy ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?”

“අපෝ.... මං තවම හිතලවත් නෑ....”

“මම හිතුවා හරි... ඔයා වගේ කෙල්ලෙකුට තවමත් කොල්ලෙක් නැහැයි කියන්නේ කොල්ලො ඔයාගෙන් අහන්න බයේ ඇත්තේ.......”

“බය වෙන්න? මට?”

“ඒක තමයි මාත් මේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ.... ඔයා කොයි වගේද කියලා.... ඉතින් ඒ හින්දමයි මට ආසා හිතුණේ ඔයා ඇත්තටම මොන වගේද කියලා බලා ගන්න. මාත් මනුස්සයෙක්නේ මාලී..... දැන් මට නින්ද යන්නෙත් නෑ, ඔයා මොන වගේද, මොන වගේද කියල මතක් වෙනවා.....”

“අනේ ර..ත්..ත..ර...නේ ඒක නං ඉතිං එච්චර හොඳ ලෙඩක් නෙවෙයි.”

“ඕක තමයි වැඩේ... මෙච්චර කාලෙකට ඔයාගෙන් වචනයක් ගත්තා නං ගත්තේ ගලකින් පට්ටයක් ගත්ත වගෙයි... මට කියන්න... ඔයාගෙ ෆොටෝ එකක් එවන්න පුළුවන්ද බැරිද?”

එවන්නං.... හැබැයි යථා කාලයෙදී....
සාමාන්‍ය වෙලාවක නම් මා කරන්නේ තවත් ප්‍රශ්නයකින් දමා ගසන එකය. ‘බැහැයි කිව්වොත් මොනවද කරන්නේ? හායි කිව්වොත් මොකද කරන්නේ?’ වගේ. ඒත් ඒ වෙලාවේ එහෙම කරන්නට මට හිත දුන්නේ නැත. ඒ මහීගේ පෙරැත්තයත් මතක් වුණු බැවිනි. හිතේ නළියමින් තිබුණු ‘අයිඩියාව’ ක්‍රියාත්මක කරන්නම ඕනිය කියලා හිතා ගත්තෙමි.

“හා එවන්නං!”

“...එවනවා?”

“හ්ම්!”

“කවදටද එවන්නේ....?”

“යථා කාලයේදි...”

“අනේ.... ඇත්තටම එවනවද?”

“ඔව් කිව්වොත් කිව්වම තමයි සු....දෝ....! හැබැයි එවන්නෙ අවුරුදු කීපෙකට කලින් ගත්තු එකක්!! ඒක දැක්කම නං ඔයාට මගෙත් එක්ක කතාව එපා වෙයි ඔන්න!!!”

16 comments:

  1. හරේ... අද නං මම එක වුනෝ!!!

    ReplyDelete
  2. මේක නං එච්චර හොද සෙල්ලමක් නෙවෙයි නිමල් මහත්තයො. මිනිස්සු බලාපොරොත්තු ගොඩ නගා ගන්නව කල් යනකොට. ඊට පස්සෙ අපේක්ෂා භංගත්වයට පත් වෙනව. පවු නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පවු නේන්නං!

      බුද්ධිය තියෙන්නේ හැකිතාක් දුරකට ඒ කරුමෙන් බේරෙන්න නේද?

      Delete
  3. යකඩො දෙකත් මං ම නෙ?

    ReplyDelete
  4. හෑ... තුනත් මං ම යි. මේ වැඩේ හරියන්නෑ. මං යනව යන්ඩ.

    ReplyDelete
  5. හතරත්...




    නෑ එක්කො ඕන් නෑ.

    ReplyDelete
  6. I guess I am 5th?
    Yoko muwa maranna epaya. kohomada me hora vice wede digatama karagena geye? Pirimi voice eka paninnema nedda? nethnam munge kan ahenne nedda? Wijebahu

    ReplyDelete
    Replies
    1. විජේබාහු මහත්තයෝ. ඒ එක්කෙනේකුගෙන්ම තමයි ඔබතුමාගේ අන්තිම ප්‍රශ්නෙට උත්තර උත්තරය දැනගන්න වෙන්නේ.....

      මට හිතෙන විදිහට මට තියෙන නාසිකය ස්වරය ඔතනදී වාසියට හිටින්නැති.

      මුල්ම ප්‍රශ්නෙට උත්තර නං ඊළඟ කොටසේ ලියවෙනවා....

      Delete
  7. මගේ comment එකට වටිනාකමක් දුන්නට ස්තුතියි, නිමල්.
    ඔය sex dolls ලන්කාවෙත් ප්‍රචලිත වෙනවනම් (දැනටමත් access තියෙන අය ඇති), ගැහැනු, පිරිමි දෙගොල්ලන්ටම හොඳක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! කමෙන්ට් එක වටිනවා නේන්නං!

      Lotus මහත්තයෝ.
      ඔහොම කෙළින් කතා කරනවා නං, ඔයාට පරෙස්සම් වෙලා ඉන්න වෙයි. අපේ සුචරිතවත්; සදාචාර සම්පන්න; සුසිල්වත් ඇත්තෝ ආඳා මාළු අතින් නොකන; ඉරටෙන් කන පින්වත්තු. ඒ වැඩි දෙනෙකුට sex dollsලා ඕනි නැහැනේ...

      Delete
  8. ලොකාට කියන්ඩ ලොකා ඔයා ඔය කරල තියෙන වැඩේ තියෙනව නේද...ඒක හරි පල් වැඩක් මෙයා, ඊයා, කක්කි වැඩක්......හා එහෙම නෙවෙයිද කියන්ඩකො පැටියෝ...

    ReplyDelete
    Replies
    1. එහෙම නේන්නං රත්තරනේ.... මොන කටකින්ද හොඳයි කියන්නෙ අම්මනේ.....

      Delete
  9. https://www.amazon.com/Best-Sellers-Health-Personal-Care-Sex-Dolls/zgbs/hpc/11441819011

    https://en.wikipedia.org/wiki/Artificial_vagina

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ,
      මොනවද මේ කරන්නේ 'වනචර තැන්වලට' යන්න පාර පෙන්නලා?
      මේක බුදුන් උපන් රට.... (මං නෙවෙයි කියන්නෙ.) ධර්මද්වීපය!
      රටේම ඉන්නේ සිල්ගත් අය විතරයි!

      Delete
  10. එහෙම ගතියක් තියෙන එක හොඳයි ඇත්තටම. අර පෝස්ට් එකෙන් මෙතෙන්ට පැන්න

    ReplyDelete
    Replies
    1. අජිත් මහතාටත් ඉඩ තියෙනවයි පරණ පෝස්ටුත් කියවන්න...

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්