li Item

Thursday, November 12, 2020

යුවති කිරිල්ලී - පළමුවෙනි කොටස

බලපං.... ඒකි මේ පැත්ත බලනවද කියලා....

යුවතිය ලිස්සා වැටෙන හැටි ඔහු හොඳ හැටි දුටුවේය.

“වැටුණා!”

ධනුෂ්කට කෑ ගැසුණි. බයිනෝකියුලරයෙන් දෙනෙත් මෑත් කළ ඔහු මිලින්ද දෙස බැලුවේය. වාඩිවී සිටි මිලින්ද සිනාවෙයි.

“ඉතිං මොකෝ....? මට නං පොඩ්ඩක්වත් රිදුණෙ නෑ. උඹට රිදුණද මචං...? මගෙ කුක්කු පැටියා!” මිලින්දගේ මුහුණේ වූයේ උපහාසාත්මක සිනහවකි.

“ඇයි හපාචියෝ... ඔහොම කෑ ගැහුවම ඒකිටත් ඇහෙයි. බලපං.... ඒකි මේ පැත්ත බලනවද කියලා.... ඔය බයිනෝ එකෙන් බලපං බං. උඹට බැරි නං මෙහෙ දීපන්... උඹේ සුරංගනාවිගෙ කකුල කැඩිලද දන්නෙත් නෑ.”

ධනුෂ්කට ඉවසිලි නැත. ඒ වනවිටත් ඔහු දුර දක්නය තුළින් බලමින් සිටියේය. යුවතිය තවමත් කලින් සිටි ඉරියව්වෙන්ම වැතිරී සිටී. සිහින් තැති ගැන්මක සේයාවක් හදවත හරහා දිව යනු ඔහුට දැනිණි. “අමාරුද දන්නෙ නෑ.” වහා හැරුණු ධනුෂ්ක දුර දක්නය මිතුරාගේ උකුළට දමා ගල්කුළ කෙළවරට පා නැඟුවේය.

කඳු අතරින්- ලඳු පඳුරු අතරින් හීන් සීරුවේ මිහිදුම් පටලයක් රිංගා එමින්....

“ඒ සැරේ උඹ මොකාටද අඳින්න හදන්නේ....?”

මිලින්ද ධනුෂ්කගේ අතින් අල්ලා ගත්තේ ඔහුව වළක්වන අදහසින්ම නොවේ. මිතුරාගේ අත ගසා දැමූ ධනුෂ්ක දෙඅත් ගල්කුළ මත තබා වාරු දී ගලෙන් පහතට රූටා ගියේය. ඔහුගේ පයක වැදුණු ගල් ගෙඩියක් පහතට පෙරළී ගියේ හඬ නංවමිනි. එය තවත් ගල් ගෙඩිවල හැපෙමින් පෙරළෙන අයුරු ධනුෂ්ක බලා හිටියේය.

අවරට ගමන් අරඹා තිබුණු සැඳෑ හිරු සියල්ල දෙසම බලා සිටිනවා මෙනි. රන් පැහැ රිවි කිරණ අවට ඒකාලෝක කරයි. කඳු අතරින්- ලඳු පඳුරු අතරින් හීන් සීරුවේ මිහිදුම් පටලයක් රිංගා එමින් තිබිණි. එයට තනි රකින්නට කාන්දු වෙමින් තිබුණේ සීතලකි.

ගලක් පෙරළෙමින් එන හඬ ඇසී මාලතී හැරී බැලුවාය. සුවිසල් ගල්කුළ අහසට නැඟී සිටියි. එය අඳුරු භූතයෙකු වාගෙය. පසුබිමින් පෙනෙන රත් පෑ අහස ගලේ අඳුරු ඡායාවට අමුතුම ගුප්ත බවක් එකතු කරවා ඇත. ගල මත කාගේදෝ ඡායාවක් දුටු මාලතී සලිතව වෙවුලා ගියාය.

තමාගේ රැවුම මිතුරාට නොපෙනෙන බව ඔහුට සිහිපත් වූයේ....

ඒ ඡායාව හිමියා ගලේ අද්දරටම වී හිඳී. පහතට නැමීගත් ඔහු යමක් කියන බව පෙනුණෙන් ඈ තවත් බියපත් වූවාය. එහෙත් ඔහු කීවේ කුමක්දැයි ඇයට ඇසුණේ නැත.

“මචං පරෙස්සමෙන්!” මිලින්ද මිතුරාට පමණක් ඇසෙතැයි සිතුණු තරමට කෑ ගසා කීවේය. එය අවස්ථාවෝචිත අවවාදයකි.

“ගුඩ් ලක් මචං!” මිලින්ද දෙවෙනි වරටත් නිහඬතාව බිඳ දැමුවේය. ඔහුගේ මුවග රැඳුණු සිනහව නොපෙනුණද මිතුරා තමාට සිනහසෙන බව ධනුෂ්කට පැහැදිලිය.

නැවතුණු ධනුෂ්ක රවමින් ඉහළ බැලුවේය. තමාගේ රැවුම මිතුරාට නොපෙනෙන බව ඔහුට සිහිපත් වූයේ නැත. එහෙත් දුර දක්නයෙන් ධනුෂ්ක දෙස බලා සිටි මිලින්ද ඒ රැවුම හොඳ හැටි දුටුවේය. ඒ විසුළු රැවුම දැක සිනා නඟන්නට වූ ඔහු මාරුවෙන් මාරුවට යුවතිය දෙසටත්, ධනුෂ්ක දෙසටත් දුර දක්නය යොමු කළේය.

කඳුකරයට ඇද හැලෙන ධාරාණිපාත වැස්සෙන්... (මේ එවන් විටෙක රාවණ ඇල්ල වියරුව හිටිද්දීය!)

ධනුෂ්ක ඒ වන විටත් පැහැදිලිවම පාඩමක් ඉගෙන ගෙන තිබිණි. පහතට බැසීම ප්‍රවේසමෙන් කළ යුත්තකි.

කඳුකරයට ඇද හැලෙන ධාරාණිපාත වැස්සෙන් පස සේදී ගොස් ඇත්තේ ගල් ගෙඩි පමණක් ඉතිරි කරවමිනි. සමහර ගල් ගෙඩි පහළට නොවැටී තවමත් රැඳී ඇත්තේ අඩමානයටය. වැරදීමකින් හෝ එවැනි ගලක් මතට පා තැබීම තවත් කරදරයක මුල වෙනු නිසැකය. බෑවුමද වඩාත් තියුණු එකකි. “මේ හරිය පරෙස්සමෙන්ම බහින එක ඇඟට ගුණයි වගේ....” දෙගිඩියාවක් ඇති තැනකදී අසල තණ පඳුරක් හෝ අතු රිකිල්ලක් හෝ අල්ලා ගැනීමට ධනුෂ්ක මැළි නොවූවේය.

මකුළු දැලක පැටලුණු සතෙකු අල්ලා ගැනීමට මකුළුවෙකු දැල මැදට යන්නේ ප්‍රවේසමිනි. දැල සෙලවී - ජීවියා ගැලවී යතැයි  බියෙන් ඌ සැලකිලිමත් වෙයි. සෙමින් පහතට බසින මිතුරාවත් මිලින්දට පෙනුණේ එපරිද්දෙනි.

“බාගයක් නං බැහැල ඉවරයි. කෙල්ල තාම එතැන. තුවාල ඇති.... නැතිනං මෙලහටත් නැඟිටල ගිහිල්ල.” ධනුෂ්ක සිතුවේය.

පිස්සු ඩබල් වෙන ලස්සනක්නෙ මේකිට තියෙන්නේ..... ෂඃ.... බුවාගෙ බොක්කෙ පින...

බෑවුමේ පහතම කොටස තෙතබරිය. දිය ඇල්ලෙන් විහිදී එන පිනි වැස්සෙන් නැහැවෙන හැම දේම තෙමිලාය. බොහොමයක් අතු රිකිලිවලත්, ගල් ගෙඩිවලත් පෙඳ පාසි සරුවට වැඩී තිබේ. ඒවා තවත් ලෙස්සනසුලු බැවින් ධනුෂ්කගේ පහළ බැසීමේ වේගයද අඩාළ වී ඇත.

මාලතී නැවතත් වතාවක් හිස හරවා වටපිට බැලුවාය. මෙවර මිලින්දගේ දෑස ඇයගේ මුහුණටම යොමු වී තිබිණි. දුර දක්නයෙන් පෙනුණු ඒ මුහුණේ සුන්දරත්වයෙන් ඔහු තිගැස්සී ගියේය.

“පිස්සු ඩබල් වෙන ලස්සනක්නෙ මේකිට තියෙන්නේ..... ෂඃ.... බුවාගෙ බොක්කෙ පින....” මිලින්දට ඉබේම සිවුරුහං බෑවිණි.

“මේ පොඩ්ඩ බැහැගන්න මෙච්චර වෙලා යයි කියලා කවුද හිතුවේ?” පහතට බැසීමට කල්ප කාලාන්තරයක් ගත වුණාසේ හැඟුණු ධනුෂ්ක තමා සමඟම කෝප වී සිටියේය.

******  

බිම දිගේ ඇදුණු සෙවණැල්ල දුටු සිසිලියානා ගෙය ඇමදීම නවතා පිල දෙස බැලුවාය. විල්මට් පිලට ගොඩ නැඟෙමින් සිටියි. කුණු දූවිලි ටික කොස්සෙන්ම පිල අයිනට තල්ලු කළ ඈ කොස්ස බිත්තියට හේත්තු කළාය. චීත්තයෙන් දෑත් පිස දමා ගනිමින් ඇය පෙරට ආවේ ප්‍රශ්නයක්ද නඟමිනි.

“හ්ම්හ්.... ලොරිය ගැරේජ් එකට දැම්මා....” විල්මට් උරහිස මතින් දමාගෙන සිටි කමිසය...
“අද කලියෙන්ම ආවා....?”

“හ්ම්හ්.... ලොරිය ගැරේජ් එකට දැම්මා....” විල්මට් උරහිස මතින් දමාගෙන සිටි කමිසය වැලට දැම්මේය. බසයෙන් බැස පාර දිගේ මඳ දුරක් ඇවිදගෙන එද්දීම කමිසය ගලවා ගැනීම ඔහුගේ පුරුද්දකි. අත වූ බෑගය ඇඳ මතින් තැබූ විල්මට් බැනියමද ගලවා වැලට විසි කළේය. රෙදි වැලේ නොරැඳුණු බැනියම බිමට වැටිණි.

සිසිලියානා සැමියාගේ බැනියම අහුලාගෙන නැවතත් වැලට දැමුවාය. පිල මත ලණු ඇඳේ හාන්සි වී සිටි විල්මට් ගෙතුළට කන් දීගෙන සිටියේය. කිසිදු හඬක් නැත.

“දුවේ....! කෙල්ල කෝ... සද්දයක්වත් නැත්තෙ?”

සිසිලියානා කිසිවක් කියුවේ නැත. ඈ සැමියා රැගෙන විත් තිබුණු සිලි-සිලි බෑගය අතට ගත්තාය. විල්මට් දෙවෙනි වරටත් ‘දුවේ’යැයි හඬ නැඟුවේ තරමක් උස් හඬකිනි.

“ඒකි ඇල්ලට ගිහින් වතුර ගේන්න. තවම ආවෙ නෑ මයෙ හිතේ.”

“ඇයි බං මෙච්චර වෙලා ඉන්න ඕනැද වතුර ගේන්න යන්න. මේ ගොම්මං සමයමේ?....”

“ඇයි බං මෙච්චර වෙලා ඉන්න ඕනැද වතුර ගේන්න යන්න. මේ ගොම්මං සමයමේ? ඇහැ කණ පේන වෙලාවෙ කලිං ගෙහුල්ලා ඔය ගේන වතුරක් ගේන්න එපායැ. අනෙ අම්මපා උඹලගෙත් මොළේ පුකට බැහැලද? ඔය ළමිස්සියෙක්ව තට්ට තනියම ඔය කන්දෙ යවන්නෙ මේ වෙලාවෙ?”

“මඟ එනවා ඇති මයෙ හිතේ.... වෙනදට නං මෙලහටත් ඇවිල්ල.... මොකෝ නාඳුනන අයයෑ මේකෙ ඉන්නේ?”

විල්මට් කාරා කෙළ පිඬක් ගැසුවේ කෝපය පෙන්වීමට මෙනි. සිසිලියානා සිලි-සිලි බෑගයේ ඇත්තේ මොනවාදැයි බලමින් දුම් ගෙට ගියාය.

ළිප දල්වන අතරෙත්, කේතලය ළිප මතින් තබද්දීත් ඇය මාලතීගේ පමාව ගැන සිතුවාය. “ඉක්මනට අතුගාලා දාලා ගිහිල්ලවත් බලනවා...” ඇය අමුතුම කඩිනමකින් අතුගාන්නට වූවාය.

******

තව නොබෝ වෙලාවකින් අඳුරු වැටෙන බව මාලතී දනී.

“අපෙ අම්මා එනේකක් නෑ මාව හොයන්න....” මාලතී දකුණු පය සොලවන්නට වෙර දරුවාය. ඉහිලුම් නොදෙන තරමේ වේදනාවක් යටි පතුලෙන් නැඟී ආවේය. නිමේෂයක් තුළ ඒ වේදනාව සියොලඟ පුරා දිව ගොස් හිස් මුඳුනෙන් පිට වූයේ කෙඳිරිල්ලක් නංවමිනි. අනාරාධිත කඳුළු බිංදු කිහිපයක් දෙනෙතට උනනු දැනී මාලතී ඉවසා සිටියාය. ඊළඟ නෙතු පිය සැලීමේදීම ඒ කඳුළු දෙකොපුල් මතින් ගලා ගියේ තවත් කඳුළුවලට ඉඩ දෙමිනි.

රෝමයෙන් ගැවසී ගත් ඒ සුදු පැහැ පා යුග.... ඩෙනිම් කොට කලිසම... රතු ටී ෂර්ටය... පාදාන්තයේ සිට ඉහළට දිව ගිය....

මෙවර ධනුෂ්ක ආධාරයට අල්ලා ගත් අතු රිකිල්ල වියැළී ගිය එකක් බව ඔහු දැන සිටියේ නැත. එය හඬ නඟමින් බිඳී ගියේය. කඩිනමින්ම තවත් අත්තක් අල්ලා ගැනීමට ධනුෂ්ක සමත් විය. “හොඳ වෙලාවට මේක අල්ල ගත්තේ... නැත්තං මාත්...” ධනුෂ්ක යුවතිය සිටින ඉසව්ව දෙසට නෙත් යොමු කළේය.

හඬ ඇසුණු මාලතී හැරී බැලුවාය. දැඩි බෑවුමේ ගලක් මත අසීරුවෙන් නැඟී සිටින ඔහුගේ දෙපා ඈ පළමුවෙන්ම දුටුවාය. සපත්තු... රෝමයෙන් ගැවසී ගත් ඒ සුදු පැහැ පා යුග.... ඩෙනිම් කොට කලිසම... රතු ටී ෂර්ටය... පාදාන්තයේ සිට ඉහළට දිව ගිය ඒ නිල් නුවන් ඔහුගේ මුහුණේ රැඳී නතර විණි. ධනුෂ්කගේ විමසිලිමත් දෑසත්, තරව පියැවී තිබුණු දිගු දෙතොලත් ඔහුගේ කඩවසම් බව තවත් වැඩි කොට තිබිණ.

මාලතී විළියෙන් රත් පැහැ ගැහුණාය.

බිඳී ගිය අතු කැබැල්ලට ධනුෂ්ක ශාප කළේය. ඔහුට අවශ්‍යව තිබුණේ නිසොල්මනේම ඈ වෙත යාමටය. ඒ හඬ නොවන්නට ඔහු එන බවක් දැන ගැනීමේ වෙනත් මඟක් ඇයට නොතිබිණි. ඇය කලබල වූ බව ඔහු පැහැදිලිවම දැක්කේය.

සීතය එක්වරම දෙගුණ- තෙගුණ වූවාසේ...

තවත් පහළට බැසීමට ඇත්තේ යාර කිහිපයකි. “ඉක්මනට මේ ටිකත් බැහැලා....” ධනුෂ්ක යුහුසුළු වූයේය.

තවත් විනාඩි කිහිපයක් ගත වීමට පෙර ඔහු තමා කරා එන බව මාලතීට පැහැදිලිවම පෙනේ. මෙතෙක් වෙලා ඈ මෙතැනම වැතිරී සිටියේ උදව්වට කෙනෙකු එතැයි බලාපොරොත්තු වෙමිනි. තමාගේ ප්‍රමාදය නිසා අම්මා දිය ඇල්ල අසලට පැමිණෙන්නට ඉඩ තිබිණි. කොහෙත්ම නොසිතූ ලෙස නන්නාඳුනන තරුණයෙකුගෙන් උදව් ලබන්නට වෙතැයි ඇය සිහිනයකිනුදු අපේක්ෂා නොකළාය.

වටපිටාවේ සීතය එක්වරම දෙගුණ- තෙගුණ වූවාසේ ඇයට හැඟිණ. මාලතී කිළිපොලා ගියාය; වෙවුළුවාය. ඔහු තවත් ආසන්න වී ඇත.

ඇයට නව පණක් ලබා දුන්නේ විළිබර ලජ්ජාවයි. ඇය සිරුරේම පවත්නා වීරිය දෙපයට යෙදුවාය; වෙර ගත්තාය. ඇගේ වෑයම සඵල එකකි. එහෙත් දැනුණු වේදනාව දැඩිය. ඒ වේදනාව දරා ගන්නට මාලතී දත්මිටි කෑවාය. ඒ සියුමැලි තොල් පටක් ඇගේම දත් පහර වැදී ඉරිතලා- පුපුරා යනු හැඟුණද මාලතී ගණනකට නොගත්තාය.

පුරුදු විදිහෙන් වෙනස් නේද?

කොර ගසමින්, වෙලෙවි ගමනින් අඩි පාර වෙතට පා නැඟූ මාලතී ආපසු බැලුවේ නැත. ඇය පාදයෙන් නැඟෙන වේදනාව ගැන සැලකිල්ලක් දැක්වූයේවත් නැතිවම දුවන්නට වූවාය.

ඈතින් ඈතට දිව යන යුවතිය දුටු ධනුෂ්ක එතැනම නැවතී බලා සිටියේ ළතැවිල්ලෙනි.

“බෑඩ් ලක් මචං! බෑඩ් ලක්.” මිලින්ද කෑ ගසා කී කිසිවක් ධනුෂ්කට ඇසුණේ නැත; දිය ඇල්ලෙන් විහිදෙන පින්නෙන් තමාව වැසී යනු ඔහුට දැනුණේ නැත; තෙත්ව යන ඇඳුම් ඇඟට ඇලී සීතල වැඩි කරවන බවක්වත් ධනුෂ්කට හැඟුණේ නැත.

මිහිදුම තවත් දැඩිව ගලා එන්නට පටන් ගෙන තිබිණි. ඒ හා තරගයට මෙන් අඳුරද මෝදු වෙද්දී ධනුෂ්ක ආපසු ඉහළ නඟින්නට වූයේය.

******

පුරුදු විදිහෙන් වෙනස් නේද? නිමල් දිසානායකට කොහොමද ධනුෂ්ක, මිලින්ද, මාලතී, සිසිලියානා, විල්මට් වගේ කට්ටියකට set වෙන්නේ? ‘නිදිගෙ පංච තන්තරේ’ ලියනවය කිව්වේ නිමල් දිසානායකගේ ජීවිත කතාවනේ..... එහෙම නේද? ඉතිං මොකද මේ....

සවි ලබා - තටු ඉදී පියා සලන්නට වූ ‘යුවති කිරිල්ලී’ මගේ අවධානය...

සැබැවි! මම ඔබට එසේ කීවෙමි. කරුණාකර දැන් මේ ටිකත් කියවනු මැනවි!!

“‘යුවති කිරිල්ලී’ මගේ කුළුඳුල් නවකතාව නොවේ. එහෙත් මුද්‍රණයෙන් පළවන මගේ පළමු නවකතාවයි.

අඩක් ලියා අවිවේකය නිසා අතරමඟ නතර කොට තිබුණු කතාවක් නැවත ලියා හමාර කිරීමට මා අදිටන් කරගෙන සිටි අවදියයි ඒ.

මහද ගැබ කැදැල්ලක් කොටගෙන හදිසියේ ජනිත වී - සවි ලබා - තටු ඉදී පියා සලන්නට වූ ‘යුවති කිරිල්ලී’ මගේ අවධානය ඈ වෙතටම ඇද ගත්තාය. වෙනතකට සිත යොමු කරවිය නොහෙනසේ ඈ මා වසඟ කර ගත්තාය. දයාබර ඔබටත් ඇගේ කතාව කියවිය හැකි වනසේ එය ලියා නිමා කරන්නට මට අවශ්‍ය විණි. එය එක්තරා ආකාරයක ආවේගයක් විය. ඒ ආව්ගයෙන් මිදෙන්නට නම් කළ යුතුව තිබුණේ ඒ කතාව ලිවීමයි. දින විසි එකක් තුළදී ලියැවුණු ඒ කතාව දැන් ඔබ සුරතේය.

.......

පොතක් ලියන්නැයි කලක් තිස්සෙම මා පොළඹවමින් සිටියේ ළබැඳි නෙවිල් අනුරසිරියි. ඊට අවශ්‍ය උත්තේජනය මට ලැබුණේ සොමිල් ලගත්ගෙනි. මේ හිතාදර මිතුරෝ ‘යුවති කිරිල්ලී’ පළවනු දකින්නට දැඩි ආශාවෙන් මා ඊට පොළඹවාලූහ. මෙයින් පළමුවැන්නා ලෙටර්ප්‍රෙස් ක්ෂේත්‍රයෙදීත්, දෙවැන්නා ඕෆ්සෙට් ක්ෂේත්‍රයෙදීත් මට හමු විණි.”

ඉතිහාසය ගැන තව මොනවා.... (අනුරාධපුර සමාධි පිළිමය- 1870දී ගත් fotoවකි.)  

මං වහන්සේ ඔහොම ලියල තියෙන්නේ පොතේ 5 වෙනි පිටුවේ ‘සඳහනක්...’ යටතේයි. 1996 මාර්තු 12 වෙනිදා.

ඉතිහාසේ ගැන තව මොන-මොනවා ලියවෙයිද කියල මටවත් දැන්ම හිතාගන්න බෑ. මගේ පළමු නවකතාව එක්කලාත් ගොඩක් දේවල් සිදු වුණා.... තවමත් සිදු වෙනවා.... ඉතිං ‘යුවති කිරිල්ලී’ පොතම ටිකෙන්-ටික ඔයාලට කියවන්න දෙන ගමන්ම ‘අර දේවලුත්’ ටිකෙන්-ටික ලියන්නං. පංච තන්ත්‍ර ආකෘතිය නිසා මගෙන්ම මටම ඒකට අවසර තියෙනවා.

පොතේ කතාව පළ කරන්නේ රතට හුරු දුඹුරු පාටින්.

වර්තමානයේ ලියවෙන දේවල් කළු පාටින්. එහෙම හොඳයි නේද? මෙතැනදී නං මට ඔයාලගෙනුත් ලොකු උදව්වක් ඕනෑ. මං මේ සේරම දකින්නේ කම්පියුටරෙන්. දන්නවනෙ, නිදි ජංගමයෙක් පාවිච්චි කරන්නැහැනෙ.

ඉතිං මේ පාට දෙකේ ‘විදිහ’ අවුල් නම් හෙම ඉක්මනින්ම මට කියන්න. ඊළඟ කොටසට කලින්, කරන වෙනසක් කරන්න ඕනිනේ!

‘මගෙ මොකක්ද එක හෝදන්නේ ඇල් වතුරෙන්ද, උණු වතුරෙන්ද නැත්තං මිරිස් වතුරෙන්ද කියලා තීරණේ කරන්නේ මං.’ කියලා ‘කොන්ත නෝනා’....
‘මගෙ මොකක්ද එක හෝදන්නේ ඇල් වතුරෙන්ද, උණු වතුරෙන්ද නැත්තං මිරිස් වතුරෙන්ද කියලා තීරණේ කරන්නේ මං.’ කියලා ‘කොන්ත නෝනා’ කිව්වලුනේ! අනේ මං එච්චරටම අන්තෙකට ගිහින් නැහැ. අවශ්‍ය තැනදී විතරක් නම්‍යශීලී වෙන්නත් නිදිට පුළුවන්.... මට ඕනෑ කරන්නේ කියවන ඔයාලගෙත් රුචියට ගැළපෙන විදිහට මේ බ්ලොගය සකස් කරන්නයි. වැඩි දෙනෙක් මේවා කියවන්නෙත් ජංගම දුරකතනවලින්ය කියන කාරණේ අමතක කරලා හරි යනවයැ?

ඔන්න.... ඒ ටික ඔබ-තමුන්නාන්සේලා වෙතින් ඉටු වෙනකල් ආයෙමත් පොතට.

“ඔය දැක්කනේ ඉතිං. ඔයිට වැඩිය දෙයක් වුණත් ඔච්චරයි. උඹල අම්මල දූලා ඕනෑ කුදයක් ගහ ගනිල්ලා.....” විල්මට් මාලතීට හිතේ හැටියට බැණ වැදුණේය. ඔහු එපමණකින් නොනැවතී සිසිලියානාටද දොස් පැවරුවේය. අම්මාත් දුවත් ගෙට වැදී නිසොල්මන්ව උන්හ.

“අපෙ අම්මා හෙම කටක් අරිනවා නෙවෙයි ඔන්න. අප්පච්චි මෙතැන යකා නටයි...” මාලතී අම්මාට දැනමුතුකම් කියුවාය. සිසිලියානාට දුවගේ උපදෙස් අවශ්‍ය නැත. මෙවැනි අවස්ථාවක නිහඬව සිටීම හොඳම පිළියම බව ඈ දනියි. ඔහු තවත් ඇවිස්සෙන්නේ කුමක් හෝ කියුවොත් පමණි.

...ටිකක් කටේ ගාගෙන ආවාම ආයෙමත් අප්පච්චි යාදින්න පටන් ගනී. කොහෙද, උඹගෙත් දාංගලේ...
බැණ වැදීමෙන් වෙහෙසට පත් වූ අප්පච්චිගේ හඬ බාල වී යනු මාලතීට වැටහිණ. “ඇති යන්තං...”

විදුලි පන්දම රැගත් විල්මට් මිදුලට බැස්සේය. ඉණතුරෙන් බීඩියක් ඇදගත් ඔහු එය මුවග රැඳෙව්වේය. “ගින්දර ටිකක් දියල්ලා...” සිසිලියානා ගිනි පෙනෙල්ල ගෙනාවේද කතා බහකින් තොරවමය.

‘මේ මනුස්සයා බැනියමක්වත් නෑඳ ගිහිල්ලා ...’ ඇය රෙදි වැල මත වූ සැමියාගේ කමිසය ඔහුට දිගු කළේ ගරුසරුවෙනි.

“ංආ. රෑ වෙනකොට සීතල වැඩි වෙයි....”

විල්මට් කමිසය ඇඳගත්තේ නැත. එය උරහිසට උඩින් දමාගත් ඔහු ගල් පඩි පෙළ බැස යන දෙස සිසිලියානා බලා සිටියාය. අඳුරේ ඉදිරියට ඇදෙන ඔහු වංගුවෙන් හැරී යන බව ඇය වටහා ගත්තේ දැල්වෙන බීඩියේ ගිනි පුළිඟුව දීප්තිමත්ව යද්දීය. එය හොඳහැටි නොපෙනී ගිය පසු ඈ ගෙට ගොඩ වැදුණාය.

“ටිකක් කටේ ගාගෙන ආවාම ආයෙමත් අප්පච්චි යාදින්න පටන් ගනී. කොහෙද, උඹගෙත් දාංගලේ නෙව.... කෝ බලන්න උඹෙ කකුල...” සැමියා සිටියදී සිසිලියානා මාලතීගේ කකුලට කුමක් සිදු වී ඇත්දැයි එතරම් සෙව්වේ නැත.

“දෙයි හාමුදුරුවනේ.... බෙර කොටේ වගේ ඉදිමිලා දුවේ...”

........

20 comments:

  1. මං ඊයෙ මේකෙ කමෙන්ට් එකක් දැම්මනෙ. දැං ඒක නැනෙ...!

    ReplyDelete
    Replies
    1. බොලා මහරෑ තිස්සේ අහුමුලු වල කරක්ගහලා ඇවිත් නිදිමතේ වෙන එකක වෙන්නෑ දාන්න ඇත්තේ.

      Delete
    2. එහෙම වෙන්ඩැති. සමහරවිට මං ලිව්වට පබිිලිස් කරන්ඩ නැතුව ඇති.

      Delete
    3. එහෙම වෙලාත් ආයෙ කමෙන්ට් කළාට ස්තුතියි!
      ඩබලටම! මේ ඔහෙලා දෙන්නා දෙමස්සිනෝද?

      Delete
  2. අපි කවුරුත් ලැදි
    නිදි නොවනා නිදි
    කතා ගොඩක් බැදි
    බලමුයි පෙල සැදි

    ReplyDelete
    Replies

    1. මුල ඉඳලම ලැදි
      ලැදියාවට ලැදි
      සැපතෙදි විපතෙදි
      කර අරින්නෙ නැති
      කෙනෙකි 'අසෝ' මට
      වචන තමයි මදි!

      Delete
  3. ලස්සන කතාවක්,,,සුභ පැතුම්....

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි ලලිත් මහත්තයෝ. කතාව ටිකක් පරණයි... 96 ලියල පළ කරපු එකක්නේ!

      Delete
  4. කතාව පටං ගන්නෙ ම කොල්ලෙකුයි කෙල්ලෙකුයි සම්බන්ධ කරලා ඇති කරන කුතුහලේකිං. ඉතිං කොහොමද මේ කතාව මුල සිට අගට කියවලා ඉවර නොකර පැත්තකිං තියන්නෙ? අනික් කොටස් ඉක්මණටම කියවන්න බලාපොරොත්තු වෙනව.

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී, ඔයාගේ දැන් ලියන කතාවත් එක්ක බලද්දී මේක මොන කුතුහලයක්ද? ඇත්තමයි, ඉවසිලි නැතිව ඉන්නේ ඊළඟ කොටස දානකල්.
      සතියකින් එක දානවය කියලනේ පොරොන්දුවකුත් දීලා තියෙන්නේ!
      https://drackey.blogspot.com/2020/11/18.html#comment-form

      Delete
  5. අනික, පාට වෙනස් කරන එක හොඳ අදහසක්. ඔ්ක මම මිට කලිං දැකල තියෙනව යාංහෑල්ලෙදි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩ්රැකී පාට දෙකේ වෙනස ගැනත් කිව්වාට!

      Delete
  6. //පොතක් ලියන්නැයි කලක් තිස්සෙම මා පොළඹවමින් සිටියේ...........//

    මහරගම සහ හයිලෙවල් පාර ගැනත් නෙවිල් කියයිද?

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ තරම්වත් මේ හාදයා දැන් පොතක් බලන්නේ නෑ. ෆෝන් එකේ විතරයි, Pra Jay!

      Delete
  7. අඩේ නෙවිල් ලොක්කා වෙනස්වෙලා තියන තරම.

    ReplyDelete
    Replies
    1. ඔන්න සිරිබිරිස් උන්නැහේ, ලොක්කාගේ ඒ කාලේ foto එකකුත් ළඟම එනවා.

      Delete
  8. මේකෙන් පටන් ගත්ත කියවන්න ඕන්

    ReplyDelete
    Replies
    1. සතුටුයි. ස්තුතියි ගොඩාරියක් අජිත් මහත්තයෝ!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්