li Item

Wednesday, July 19, 2023

හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස

“එතෙන්ටම අදිමු. ඇදලා දවල්ට උයමු. ඔන්න දැන්මම කිව්වා. මේ වතාවේ කටුපිල ආරේ දන්සල තිබුණත් මම නං ඒකෙන් එක බත් කටක්වත් කන්නෑ.” පීරිස් කියන්නේ පරණ කෝන්තරය මතක් කරමිනි.

“පිස්සුද doctor. ගිය සැරේ දන්සලේ වැඩ කරපු එව්වොම නෙවෙයි මේ සැරේ ඉන්නේ.” ප්‍රියන්ත කියන්නේ අයස්මන්තගේ කේන්තිය සමනය කරවන්නට තැත් දරමිනි!

මහෞෂධයන්ගේ චරපුරුෂ ගිරා පණ්ඩිතයාණන්- චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් වහන්සේගේ හා කේවට්ට පණ්ඩිතයන්ගේ සතරකන් මන්ත්‍රණයට සවන් දුන්නා සේ...

අපේ පාද යාත්‍රා ගමන්වල පළමුවැන්නේදී රූපවාහිනී වාර්තාකරුවෙකු හා උරණ වුණු අයස්මන්ත, ඒ වාර්තාකරුවා නිරුත්තර කළේ ‘ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව’ත් ඇද ගනිමිනි.

හතරවෙනි ගමනේදී අයස්මන්තට නප්පියටම නැග්ගේ දන්සලේ හාදයෙකු පොඩි දරුවෙකුට වතුර ගන්නට නොදෙනවා දුටුවාමය. 

දොස්තර මහත්තයාත් එක්කලා එහෙම අනීතික; අයුතු දේවල් සුම්මංය!

ඉතිං, දොස්තර මහත්තයා කටුපිලආර දන්සලේදී නං, බුරුලක් පෙන්නුවේම නැත. අපි ඔක්කොමල්ලා ඉල්ලා හිටියත්, අයස්මන්ත සුදහ ගින්දරේම හිටියේය; එහෙම කරලා ආඩම්බරෙන් ඔළුව උස්සාගෙනත් හිටියේය. අන්තිමේදී නං Biscuit පැකට් එකක් විතරම කෑවාද කොහෙදය.

ළිං තුනේ සිට පරණ තොටුපලට කිලෝ මීටර් 16ක් දුර ගෙවිය යුතුය. ඒ ගමනේ 2/3ක් විතර ගෙව්වාම ඔබටත් අප හා සමඟම කටුපිලආරට ළඟා වීමට හැකිය.

තුන්වෙනි දවසේ පාන්දරින්ම අපි ඒ ගමන පටන් ගත්තේ හැටකට වුණත් ගහන්නට යන’ size එකෙන්ය. ඒත්, දෙවෙනි පැය ගෙවී තියෙද්දී (අපි කිව්වොත් ලෙඩකි. ඒ නිසාය මේ වැකියේදී 'මං' වචනය යොදන්නේ.) මං නම් හිටියේ හැටකගෙන් අම්බානකට කාලා වගේය.

එහෙම වෙන්නේ ඒ හරියේත් පාරේ ඇති වැලි තට්ටුවේ ගණකම නිසාය. අටහමාර නවය වෙනකොටම ඒ වැල්ල රත්වී අහවරය. එනිසා යටින් ගින්දරය.
ඒ ඉසව්වේ පාරට හෙවණ දෙන රූස්ස වෘක්ෂ රාජයන් වහන්සේලාත් නැති තරම්ය. එනිසා උඩිනුත් ගින්දරය.

ඉතින් පාද යාත්‍රාවේ යන උදවියට වෙන්නේ උඩිනුත් ගින්දර- යටිනුත් ගින්දර- මැද්දෙ සවුන්දරවාගේ තැම්බි-තැම්බී ඉස්සරහට ඇදෙන්නටය.

මට දැනුණු විදිහට නං ඒ ඉසව්වේදී අපටත් වඩා අසරණවී හිටියේ කාන්තා නඩයකි. ඒ නඩේ උන්නේ තුන් දෙනෙකි. තුන් දෙනාගේම බර-බද්දල් එහෙමත් පුංචි නැත. දවල් වෙද්දී ඒ තුන් දෙනා ගමනේ යෙදෙමින් උන්නේ, එකිනෙකා අතර විනාඩි පහළොවක; පැය බාගයක විතර පරතරයක් ඇතිවය. අපි එයාලව overtake කළෙමු. එහෙම කරද්දී ඔවුන් ගැන හොඳ සෝදිසියකින් ඉඳලා තිබ්බේ, අපේ නෙවිල් උන්නැහේය.

මතකද හලෝ, අර තුන් දෙනා. එයාලා ගිය පාරත්, ළිං තුනේ කූඩාරමක් අටවාගෙන හිටියේ අපිට එහායින්.

ආ..හා..!මට කියැවුණේ ලතාවකටය.

ඒ ලතාවෙන් අනුප්‍රාණය ලද්දාවූ නෙවිල් අනුරසිරි මානවක තෙමේ තමන්ගේ නිරීක්ෂණාක්ෂියට හසු කරගෙන තිබූ සියල්ල වමාරන්නට වූයේය- එවෙලේ නෙවිලුන් හා සම්භාෂණයේ යෙදෙමින්, ගමනේ යෙදී හුන් නිමල් දිසානායක තෙමේ වන්නාටය. මතු වැඩ පිණිස මේ තතු මැනවින් ධාරණය කොටගත මනායකියාලා, (උම්මග්ග ජාතකයේ කියවෙන මහෞෂධයන්ගේ චරපුරුෂ ගිරා පණ්ඩිතයාණන්- චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් වහන්සේගේ හා කේවට්ට පණ්ඩිතයන්ගේ සතරකන් මන්ත්‍රණයට සවන් දුන්නා සේ) යුහු-යුහුව නිහඬතාව රකිමින්; එකඟකොට ගත් සිහියෙන් යුතුව සවන් දෙමින්, ඒවා සියල්ල මනා ලෙස මතකයේ ගබඩා කර ගත්තේය.

ඇම්ම තිබුණු දමිල තරුණයෝ නම් වීරයන් වගේ වීර ගස්වලට නැඟී අතු කපා... (කහපාටින් බබළන්නේ ඉදුණු පලු ගෙඩියි. වීර ගෙඩි රතට කිට්ටු පාටය.)

ඔයාල නේද එදා රෑ සාස්පානකට තට්ටු කර-කර සිංදු කිව්වේ?” පසුව නෙවිල් එක්ක කතාවට වැටුණු එක ලලනාවක් ඇහුවාම නං ඒ හාදයාට හිනා වෙන්නට උත්පත්තියෙන්ම ලැබී තිබුණු කටත් මදි වුණා වගෙය. මෙහෙම ගමනකදී ඉතිං පිරිමහගන්න වෙන්නේ අහුවෙන දේකින්නෙ...

මං වහන්සේ මෙහෙම දිගින් දිගට විස්තර කළාට ඔබතුමන්ලා- ඔබතුමීලා අපේ නෙවිල් අනුරසිරිතුමා ගැන අහිතක් හිතිය යුතු නැත. එයාගෙ හිත උණු වෙන්නේ එහෙමත් වෙලාවක- එහෙමත් අය ළඟදී විතරකි.

ඉතිං... ඔයාල තුන් දෙනා විතරක් තනියම... එහෙම ඇවිල්ලත් තුන් දෙනා එකටම ඇවිදින්නේ නැතිව තුන් පොළක...නිහතමානී හිනාවකින් මුහුණ සරසාගෙන නෙවිල් ඇහුවේය. ආන්න ඒ ‘ජංසන්’ එකේදී ඒ දෙන්නාගේ ගමනට- එයාලගේ කතාවම දෝලාවක් කර ගන්නට ඉඩ දීලාය, මං වහන්සේ උවමනාවෙන්ම පහු වුණේ.

අපිටත් පාද යාත්‍රාවේ යන්න ආසයි.අපේ ගමන් විස්තර කියවන; අසන මිතුරන් (මිතුරියන් නොවේ) රැසක්ම වරින්-වර අපට කියා තිබේ. ඉතිං යත හැකිනේ!කියලා උත්තර දුන්නාමය, එයාලා ‘නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටය’ හොයන්නට පටන් ගන්නේ.
එහෙව් උදවියට මං නම් කියන්නේ අර ‘කාන්තා ත්‍රිත්වය’ ආදුරුසෙට ගන්නැයි කියලාය! හිත ඇත්නම් පත කුඩා නැත!!

ඒ ඉසව්වෙදීත් නිදි ගමන් කළේ ඈතින් පෙනෙන රූස්ස ගස් දිහාව බලමින්ය. එහෙම බැලුවේ පලු, වීර තිබේදැයි කියලාය. කුමන පිවිසුමෙන් ඇතුළු වූ ඉසව්වේ නම් ඉදී පලබර වුණු වීර ගස් රැසක්ම තිබිණි. ඊට වඩා අඩුවෙන්, ගෙඩි පිරුණු පලු ගසුත්. (මේ වතාවේ පලු ගස්වල සරුවටම ගෙඩි හැදිලා තියෙන්නේ අවුරුදු අටකට  පස්සෙලු!)
මං වහන්සේත් අයිති වුණේ ඒවා දිහාවේ බලමින්, හූල්ලමින් යන පාද යාත්‍රිකයන් ගොන්නටය. ඔහොම දේවල් ගැන එච්චර නොදන්නා; එච්චර උනන්දුවක් නැති ගොබිලන් ගොන්නටය- අපේ නඩේ වැඩිදෙනා වැටෙන්නේ.

ඇම්ම තිබුණු; ගැම්මක් ඇති දමිල තරුණයෝ නම් වීරයන් වගේ වීර ගස්වලට නැඟී පහතින් තිබුණු අතු කපා දැමුවෝහ. මටත් එයින් අත්තක් ලැබුණෙන් මගේ ‘වීර’ දොළදුක නම් සංසිඳුණේය.
අහෝ! වීරවලට වඩා රසවත්, පැණියෙන් පිරුණු පලු අතු කපමින් සිටි පුණ්‍යවන්තයන් මට හමු නොවුණු හැටි...

එහෙම විස්සෝපයෙන් හිටිද්දී වුණත්, ගිනි මද්දහන එළඹෙද්දී ‘පුණ්‍යවන්ත කටුපිලආර දන්සලේ පියස්ස’ දැකගැනීමේ වාසනාව ලැබෙනකොට නං...
‘අම්මෝ! යාන්තං ඇති.’යි මට  කියැවුණේය.
“දන්සල පටන් අරගෙනත් ඉවරයි.” / “දවල්ට උයන්න ඕනෙත් නෑ...” / “මේ සැරේ දන්සල් වැඩේ කරන්නේ හමුදාවෙන් වගෙයි  නේද?” / “වෙනදට වඩා නං ගොඩක් පිළිවෙලයි වගේ.”

වෙනත් පාද යාත්‍රිකයන් බොහෝ දෙනෙකුට නොලැබෙන දෙවෙනි පහසුකමකුත්...

“සිග්නලුත් තියෙනවා!”

අයස්මන්ත මහත්තයා යුහු-යුහුව පියනන්ද මහත්තයාට කතා කරයි. කියවෙන්නේ අප දෙදෙනෙකුටම වෛද්‍යාධාර අවැසි තරම් බවයි.
“පියනන්ද, අපි කටුපිලආරෙම ඉන්නං. විශේෂ අවසරයක්වත් අරං... සෆාරි ජීප් එකකින්? එහෙනං අපි මෙතනම ඉන්නං. නැතිව ඉස්සරහට ගියොත් ඔයාලව මඟ ඇරෙන්න පුළුවන්. ගිය සැරෙත් අපිට පාර වැරදිලා අවුලක් වුණේ මෙතනින් ඉස්සරහට යද්දිනෙ...” ටෙලිෆෝන් සංවාදෙ ඉවර වෙලා පීරිස් අපේ දිහාව බැලුවේ ‘සාදර අනුග්‍රහය අයස්මන්ත පීරිස්- ටිං ටිං!’ කියන්නා වගෙය.

සිග්නල්ස් තියෙන නිසා තමිර, නමී දෙන්නත් බරට වැඩය!
“අනේ අයියේ, Can I have a call ප්ලීස්?” සමන්තිගේ ජංගමයා මිය ගිහින් නිසා- ඉල්ලීමක්. Sam කතා කළේ මානෙල්ටයි.

“ලොකූ! පවන් ඇවිල්ලා... මම පවීට කිව්වා මර්වින් අයියත් එක්ක මෙහෙට එන්න කියලත්!” සෑම් සතුටින් ඉපිලෙයි.
“ඔන්න Sam මගේ යුතුකමත් කළා. මම මර්වින්ටත් කිව්වා අද හවසට හම්බන්තොටට එද්දී පවන්වත් එක්කගෙන එන්න කියල. අද රෑ එයාලා හම්බන්තොට නසාර්ලගේ ගෙදර ඉඳලා, හෙට උදේ කටගමුවට එයි.”
“Where is Katagamuwa?”
“එතන තමයි නංගී, යාල block 1 එකේ පිටවීමේ ගේට්ටුව තියෙන්නේ. එතනදීත් count කෙරෙනවා පාද යාත්‍රාවේ ආව අය කී දෙනෙක් පිට වුණාද කියලා. දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් අපි හෙට උදේ නවයට කලින් එහෙ ඉඳීවි.”

ඒ කතාවල් සේරම ඉවර වෙනතුරු ප්‍රියන්ත කල් බැලුවේය. “මම ගිහින් ඩොක්ටර්ටත් බත් එකක් ගේන්නං. මෙතනම ඉඳගෙන කන්න...”

“බෑ ප්‍රියන්ත. මම නොකෑවට කමක් නෑ, ඔයාල කාල එන්න.” අධිෂ්ඨාන පූර්වකව; ආඩම්බර පෙරදැරිව අයස්මන්ත පීරිස් මහත්තයා ක්ෂුධා ගින්නේ හිටිද්දී අපි දන්සලට පිය මැන්නෙමු.

ඒ දන්සලේ ආහාර පිසුවේ කවුරුන් හෝ වේවා, සුපිරියටම ඒ රාජකාරිය ඉටුකොට තිබිණි. ඔබට බෙහෙවින්ම ස්තුතියි! මහ ලොකු දේවල් නැතත් ලුණු ඇඹුල් පදමට යොදා සැකසූ දෙතුන් වර්ගයකින් ඔබ අපේ රස නහර පිනෙව්වේය.
එදා බතට තිබ්බේ, කඩල පරිප්පු - සෝයා - අඹ ව්‍යංජන තුන් ජාතියත් බැදපු පපඩමුත්ය. “ඇත්තමයි ලොකූ. හරිම රසයි!” අපේ සමන්තිත් සහතිකයක් දුන්නාය.

අපේ දොස්තර මහතා surprises දෙන්නට උපන් කෙනෙකි.

අපට කෑම පාර්සලුත් ඔතාගෙන ළිං තුනට එන්නැයි ‘නදීක ගෙස්ට්’ එකේ අයට රහසෙන්ම යෝජනාකොට තිබ්බේ එයාය. ඒ පළමුවැන්නයි. වෙනත් පාද යාත්‍රිකයන් බොහෝ දෙනෙකුට නොලැබෙන දෙවෙනි පහසුකමකුත් ඒ යක්ෂයා සැලසුම් කර තිබුණේය.

අපි ඇවිත් තියෙන්නේ අලි ඉන්න කැලේකට. උන්ට කලින් notice දීලා නැහැනේ...

“ඒ නිමල් මහත්තයෝ, අපේ සර් මට කලින්ම කිව්වා ඔහෙගෙ ගෙදරට ටෙලිෆෝන් කරනකොටවත් මේ ගැන කට හොල්ලන්න එපැයි කියලා. මම කල් තියාම ජීප් එකකටත් කියලයි බලාගෙන හිටියේ ඔහෙලා block oneවලට ඇවිත් මට කියනකං.” පියනන්ද මහත්තයා මට ඒ රහසත් හෙළි කළේ, වාහනය රැගෙන කටගමුවට පැමිණි විගසමය.

“අපේ සර්ට ඕනේ මහත්තයලව පුදුම කරවන්නලු.”

අපේ බඩු මලු ජීප් රියට පටවන්නට හදද්දී, නමී උන්නැහේ මගේ කණට කෙඳිරුවේය. “නිදි, සල්ලිත් ගෙවල සෆාරි යන ජීප් එකක් ගෙන්නගෙන බඩු මලු විතරද පටෝගෙන යන්න හදන්නේ?”
“මටත් jeep එකේම යන්නයි මුලින් නං කිව්වේ...” ඒ එක්කමය එහෙන්-මෙහෙන් විකල්ප අදහස් කියවෙන්නට ගත්තේ.

‘දොස්තර මහත්තයගෙ කකුලෙ දිය පට්ටත් තියෙද්දී... නරකෙයි- වාහනෙන්ම ගියොත්... / වාහනේකුත් තියෙන එකේ මොන xකේ අමාරුවකටද මචං පයින්ම ගාටන්නේ? / කතරගම දෙයියන්ට බාරයක් එහෙම වෙලා නැහැ නේද මේ ගමන දිගටම... පයින්ම එනවයි කියල. / මූ ගිනස් එකට යන්න හදනවද කියන්නත් බැහැනේ කොල්ලෝ!’ එහෙම දේවල් කියැවුණේ රහසෙන් වගේය; දොස්තර මහත්තයට ඇහෙන්නටය.

Results ක්ෂණිකය. “තවත් විරෝගෙන බලං ඉන්නෙ ඇට කන්නද? නැඟපල්ල ඉතිං... මේකෙම යං.”

jeep රියේ නැඟිලා, මේ වංගියේ කටුපිලආර ළඟ හිට මැණික් ගඟ තෙක් අප ආවේ ඉන් පස්සෙය. එහෙම ආවත් අප නවතින්නට තෝරා ගත්තේ, පරණ තොටුපොළ- නුගගස්ආර වැනි ඉස්සෙල්ලාම හම්බ වෙන කඳවුරු බිම් නොවේ; අවසානය වෙන වරහනත් නොවේ.
මැණික් ගඟේ අතරමඟ වැලි තලාවකි.

“වරහනටම ගියොත් හමුදාවෙන් අපිට වැලි තලාවේ නවතින්න දෙන්නෑනෙ. කිඹුලෝ ඉන්නවය කියලා. දැක්කනෙ ගිය සැරේ, රණ්ඩු වෙන්නත් වුණා.”
“ඒක නේන්නං. හැබැයි පස්සෙ පස්සේ සෙනඟ වැඩි වෙනකොට වැල්ලෙත් නවතින්න දුන්නා...”
“උන් එක්ක රණ්ඩු වෙනවට වැඩිය හොඳයි මචං, මේ හරියෙන් ගඟට බහිමු.”
“හැබැයි මේ හැම තැනින්ම අලි ගඟට බැහැලා... මේ අලුත් අලි බෙටි...”

“මනුස්සයෝ, අපි ඇවිත් තියෙන්නේ අලි ඉන්න කැලේකට. උන්ට notice දීලා නැහැනේ මේ දවස් ටිකේ කැලේටම වෙලා හිටපල්ල කියලා...” එහෙව් වහසි බස් දෙඩුවත්, එදා රාත්තිරියේ අලියෙක් ගඟට බැහැලා දිය සැනහෙන වෙලාවේ නං අපි කවුරුත් සද්ද වහගෙන බිල්ලන් වාගේ හිටියෙමු!

නමී, ඔයයි පසිඳුයි දෙන්නා ඉක්මනට අර හරියෙන් වැල්ලේ පූ වළක් හාරන්න!

“නිමල් මහත්තයෝ, ඔහෙලට අද රෑට ඕනි කරන දේවලුයි- අද රෑට උයන දේවලුයි විතරක් තියාගෙන, ඉතිරි දේවල් අපි කටගමුවට ගිහින් තියන්නං. එතකොට උදේට උස්සගෙන යන්න තියෙන බර අඩුයි නේද?” පියනන්ද මහතා ආපහු යන්නට සැරසෙයි.

“අඩෝ නිමලාවතී. මම තවම දවල්ට කාලත් නෑ. දවල්ට මොනවත් උයන්නේ නැද්ද?” ඒ අතරේ පීරිස් නැති කලබලයක් මවයි.

“උයනවා. උයනවා මහත්තයෝ.
කෝ ඔයාලා යවන bags ලැහැස්ති කරලා ඉවරද?
නමී, ඔයයි පසිඳුයි දෙන්නා ඉක්මනට අර හරියෙන්
වැල්ලේ පූ වළක් හාරන්න. උයන්න වගේම අපිට බොන්නත් වතුර ගන්න වෙන්නෙ ඒකෙන්.
මම ටක් ගාලා මේ යවන දේවල් ටික තෝරලා දෙනකල්, Sam- ඔයයි නෙවිලුයි මේ කැරට් ටිකයි, ගෝවා ටිකයි හීනියට කපලා ගන්න. ළූණු- අමුමිරිසුත්!
මිස්ටර් බෝගහවත්ත, ඔයත් මෙතනට ඇවිත් මම ඉල්ලන දේවල් හොයල දෙනවද?” ඔහොම වෙලාවට විධාන දෙන්නට, වැඩ පවරන්නට මං නං පැකිළෙන්නේ නැත.

කියන්නටත් කලින් ප්‍රියන්ත දර එකතු කරයි, ළිප අවුළුවයි.                      

“මේ, jeep එකට මේ බඩු මලු ටික පටවල දෙන්නකො, හොඳ ළමයි වගේ. පියනන්ද මහත්තයලව ඉක්මනට පිටත් කරන්න එපැයි.”
“ඔන්න බලපල්ලා මචං. මේ සේරම අමතර බඩු- ආපහු කොළඹටම උස්සගෙන යන... මෙතැනම කිලෝ දහයක් පහළොවක් තියෙනවා... නැද්ද මං අහන්නේ.”

“නැද්ද කියලා බලා ගන්නවා අත ගාලා.
ඉස්සෙල්ල මේ ටික වාහනේට පටවලා ඉන්නවා.” මගේ ගෝරනාඩුවට බයේ නොවේ, පියනන්දගේ නිහඬ කඩිමුඩිය නිසාමය- බඩු මලු ජීප් රියට පැටවීම ඉක්මන් වුණේ.

“නිමල් අයියේ වතුර නටනවා. මම හාල් හෝදලා දෙන්නෙයි?”
“නෑ ප්‍රියන්ත. උයන්න හදන්නේ ‘ස්ට්‍රින්’. හරිම ලේසියි. ගමනකදී අරගෙන යන්න හොඳ දෙයක්. ඉක්මන්... ඒකට පරිප්පුවකුත් උයමු.
පව්! පීරිස් මහත්තයට මහන්සියටද- බඩගිනි වැඩිකමටද මංදා තද නින්දකුත් ගිහිං.”

රයිස් නූඩ්ල්ස්වලටත් වඩා පහසුවෙන් හදන්නට පුළුවන් ස්ට්‍රින්, පරිප්පු කරියත් එක්ක අනුභව කරද්දීමය, තමිරට රොටි මතක් වුණේ. “නිමල් අයියේ, අපි පිටි කිලෝ දෙකකුයි- පොල් ගෙඩි දෙකකුයි උස්සගෙන ඇවිල්ලත් රොටි හදන්නෙ නෑ වගෙයි.”

ශ්‍රීපාදස්ථානයේ නොකඩවා පත්තුවෙන දොළොස් මහේ පහන වාගේ, අර වතුර සාස්පානත් එදා රෑ...

“ඔයාලා කනව නං විතරක් රොටි හදමු. මම නං අද රෑට නොකා ඉන්නයි හිතුවේ. දැන් මේවත් කාලා... පොල් ගෙඩියක් ගාල දුන්නොත් මම දැන්මම පිටි අනල තියන්නං. කවුද රොටි පිච්චිල්ල බාර ගන්නේ? නාගත්තට පස්සේ මට නං බෑ ආයෙමත් ළිප ළඟ තපින්න.”

“තමිර, අපි පුච්චමු මචං. තමුසේ පිටි අනල දෙනවකො.”

“තමිර, පොල් ගෙඩියක් බිඳලා දීපං මචං. මම ගාන්නං.” ස්ව කැමැත්තෙන්ම ඒ කාරියට ඉදිරිපත් වුණු නමී වැටුණේ සකල අමාරුවකටය. ඒ තමිරගේ පොල් බිඳීමේ දක්ෂතාව හින්දාමය!
“අඩෝ, කොහොමද මචං මේවා ගාන්නේ, මේ හිරමණයෙන්. උඹ පොල් බිඳලා නෙවෙයි, කුඩු කරලනේ බං. උඹ ඔය ගෙනාපු මන්නෙන්මද ගෙදරදීත් පොල් බිඳින්නේ?”

“ගෙදරදී ඔහොම වෙන්නේ නෑ මචං. මේ රස්නෙට පොල් ගෙඩි පුපුරලා තියෙන්න ඇත්තේ.” තමිර නිදහසට කියූ කාරණාවයි, ඒ.
“නිමල් අයියේ, රොටි අනද්දී ඒකට ළූණු- අමුමිරිස්- කරපිංචා එහෙමත් දාමු නේද?”
“දාමු! මෙන්න කැරට් අල දෙකකුත් තියෙනවා... ඔයාම කපන්නකෝ තමිර, පොල් ගෑවෙනකං.”

කෑලි කීපයකට කැඩිලා තිබුණු පොල් ගෙඩිය ගෑවාට පස්සේ පිටි අනල තිබ්බත්, රෑ නවයට විතර රොටි පුච්චන කොන්තරාත්තුවට කර ගැහුවේ සෑම් හා ප්‍රියන්තය; නෙවිල්ලා ඕමි ගහමින් සිටියහ.

අප හිටි තැනට පල්ලෙහායින් මිස ඉහත්තාවෙන් පාද යාත්‍රිකයන් නැවතී උන්නේ නැත. ඒ නිසාම අපට දෙපැත්තෙන් ගිනි මැල දෙකක්ම අවුළුවන්නට සිද්ද වුණේය. ඒ රාජකාරිය ස්වේච්ඡාවෙන්ම කරට ගත් ප්‍රියන්ත, එක ගිනි මැලයක් අද්දරින් වතුර පිරවූ සාස්පානකුත් තිබ්බේය.
ශ්‍රීපාදස්ථානයේ නොකඩවා පත්තුවෙන දොළොස් මහේ පහන වාගේ, අර වතුර සාස්පානත් එදා රෑ නොකඩවාම උතුරමින් තිබිණි!

“අර elephant ගඟට ආවට පස්සේ I could’nt sleep ලොකූ. මේ පොඩි පොඩි ගොම්බෝ ඇඟට පනිනවනෙ. හිරිකිතයි!” රෑ මැද්දේ ඇහැරුණු මට, Sam කීවාය.
“ගොම්බෝ නෙවෙයි ගෙම්බියේ... ගෙම්බෝ. ඔය ගෙම්බොත් නෙවෙයි, ඇටිකිත්තෝ!”
“හරි, හරි. මොක්කු වුණත් උන් සෙවලයි සෙවලයි වගේනෙ ලොකූ. මම ඔයාට තේ එකක් හදන්නද?”
මෙන්න බොලේ වැඩක්!

“Coffee please!” වැතිරීගෙන හිටි තැනින් ඔළුව ඉස්සූ පීරිස් උත්තර බඳියි.

“ඇයි යක්ෂයො, තමුසේ නිදියගෙන නෙවෙයිද ඉන්නෙ?”
“කමක් නෑ, මම හදන්නං ලොකූ.” සමන්තිටත් හිනාය!
එතකොට ප්‍රියන්තත් නැඟිට්ටේය. “වතුර එක නට නටා තියෙන්නේ සෑම්.”

අනේ ලොකූ, මගේ ඇඟට පැනපු පොඩි ගෙම්බෙක් වතුර එකට පැන්නා. අර! අ..නේ.. ඌව තැම්බෙනවා!

“ඊයා!”
සමන්තිට උදව්වට ගිය ප්‍රියන්ත වතුර සාස්පානට ටෝච් එක ඇල්ලුවා විතරකි; Sam විලාප දුන්නාය.

“හා හා නංගී. අරහේ තව අය නිඳි.”
“මොකද ප්‍රියන්ත වෙලා තියෙන්නේ.”
“අනේ ලොකූ, මගේ ඇඟට පැනපු පොඩි ගොම්... පොඩි ගෙම්බෙක් වතුර එකට පැන්නා. අර! අ..නේ.. ඌව තැම්බෙනවා.”

ඇටිකිත්තාව අහකට දමා ඒ වතුරෙන්ම කෝපි හදන්නට එකඟ වූයේ, අපේ සමන්ති නොවේ. අලුතින් වතුර සාස්පාන රත් වෙද්දී, අපේ නඩයම පිබිදිලා ඉවරය.

එතැන සිට වරහනට- එතැනින් කටගමුවට...
එහාට සේන්දු වෙනකොටත් පියනන්ද මහත්තයා ඉතා සරු උදේ කෑම මේසයක් සූදානම් කොට අහවරය. “අපේ සර්! සර්ලා එනවයි කියල ආරංචි වෙලා, මේ මාමා තැඹිලි ටිකක් ත්‍රී වීලරේට පටවගෙන ඇවිත්. සර් තමයි මේ මාමගෙ ඇස්දෙක ඔපරේෂන් කරල තියෙන්නේ...” පියනන්ද මහතා වියපත් ගැමියෙකු පෙන්නා කියයි. බැතිබරව;ගෞරව පුරස්සරව අපට තැඹිලි කපා දෙන්නේ ඒ කෘතවේදීත්වය පළ කරන්නාමය.

ඒ අස්සේ, වනජීවියේ කෙනෙකු අයස්මන්ත මහතාට බුලත් අතක් පිළිගන්වයි.
“අපේ සර්නේ යාල යන අයට ප්‍රයෝජන ගන්න මෙතන වතුර ටැංකිය හදන්න කියල සල්ලි දුන්නේ. අපි බලාගෙන හිටියේ අද සර්ගේ අතින්ම ඒක විවෘත කරන්න.”

ඒ පිංකම්වල ආනිශංස අපටත් ලැබෙයි; ගරුසරු ලැබෙයි; සත්කාර පිදෙයි.
අයස්මන්ත මහත්තයෝ- තව-තවත් යහපත් දේවල්ම කරන්න. අපිත් ඒ පින් අනුමෝදන් වන්නෙමු!

තරගෙට වගේ උදේ කෑම කන අතරේ- නසාර්ගේ වාහනය එයි. මර්විනුත්, පවනුත් ඒකේය.

එතන හිට නදීක ගෙස්ට් එකටà ඊට පස්සේ විඩා නිවාගෙන සෙල්ල කතරගමටà ගණදෙවි පූජාවකට...- හැන්දෑවේ පැවැත්වෙන මහා දේවාලයේ පූජාවට...- කඩවර දේවාලයේ පූජාවලට හා තවත් දේවාල ගණනාවක පූජාවලට... පිරිත් සජ්ජායන පිංකම්වලට... ඔව්වා සේරම විස්තර ඇතිව නොකිව්වාට කමක් නැත! දෙවිවරු තරහ වෙන්නෙත් නැත!!
ඒවාත් කියන්නට ගියෝතින්, ‘හරෝහරා - පස්වෙනි සැරේටත් 8’ post එකත් ලියන්නට වෙයි;
ඒ මදිවාට- මේ ලියන්නාට පව් සම්භාරයක් පුරවා ගන්නටත් සිද්ද වෙයි!

විමලරත්න කුමාරගමයන් ‘අයියනායක’ කවි පන්තියේදී කිව්වා හරිය. ‘නිදි, සමහර දේවල් තමුසෙ පිළිනොගත්තාට කමක් නැත. එසේම එව්වාට ගැරහිය යුතුත් නැත.’
ඔව්වොව්... මට හොඳටම මතකය!
  

   සංහිඳ ළඟ බාරයට කිරි                      ඉතිරීම
   කෙම්මුර දවස්වල පහනින්                 සැරසීම
   වන අතු කඩා ගස් දෙබලක                දැවටීම
   මා නොකෙරුවත් නොකෙළෙමි එය    ගැරහීම

කතරගමින් පිටත්වී හම්බන්තොටට එනවිට සුපුරුදු පරිදිම අසංග අපට දවල් ආහාරය පිළියෙළ කරලාය. මදුවිතත් මේසයට වඩමවා ගැනිණි.

හැබැයි, කුමාරගමයන්ටත් කලින් ‘මුනිදාස කුමාරණතුංග’යන් කියා තිබෙන දේකුත් මට අමතක කරන්නට බැරිය.
   ‘විමසුවැයි යමෙක් යා නම්     නරකාදී
   මට සුවයි එහි මැ යනු වෙනතක නෑ දී

මාත් අපායට ගියත් කමක් නැත! මේ වතාවේ මේ දෑසින් දුටු දෙයක් ගැන විමසීමක් නොකළොතින් හිතට නිවනක් නැති හින්දාය, මේ විමසන්නේ.

‘දෙවියන්ට එක සැරේකට පෙනී සිටිය හැක්කේ එක තැනක විතරක්ද?’ / ඒක එහෙම නම්, එකම දෙවියන් නමින් දේවාල දහස් ගණනින් ඉදිවී තිබීමෙන් පලක් වෙයිද?
මට නම් තවත් අතුරු ප්‍රශ්නයකුත්, ඒ එක්කම හිතට නැඟෙන්නේ නිරායාසයෙනි.
‘කිසිදු
දේව ප්‍රතිමාවක් නැති; දොළොස් වසරක් තිස්සේ ශරවනභව ෂඩාක්ෂරයෙන් ජපයෝග පූරණය කරනු ලද්දාවූ සකොණ යන්ත්‍රය පමණක් ඇතැයි කියැවෙන කතරගම මහ දේවාලයේ විතරක්ද දෙවිඳුන් වැඩ හිඳින්නේ?’ඔය සේරම හුටපට ඇවිස්සුණේ කඩවර දේවාලයේ තැබූ පූජා දෙකක් නිසාය!

පූජාවන් දෙකම තිබ්බේ අපේ නඩයේ දෙන්නෙකි. එක්කෙනෙක් හැන්දෑවේය; අනෙකා හිමිදිරියේය.

“ඇයි හලෝ, දෙපාරක් රස්තියාදු වෙන්නේ අපරාදෙනෙ. පූජා දෙකම එක සැරේ තිබ්බ නං ඉවරයිනෙ...” කඩප්පුලි නිමල් දිසානායක අර බැතිමතෙකුගෙන් ඇහුවේ, කට තියාගෙන ඉන්නට බැරිකමටය.
එක්කෙනෙකුගෙන් මට ලැබුණු උත්තරය මෙහෙමය.
“ඊට වැඩිය හොඳයිනෙ දෙපාරකට පූජාවල් තියන එක... දෙයියෝ හොඳට බලනවා එතකොට...”

පස්වෙනි වතාවටත් B.N. අසංක හිතවතා නම් ඉස්තරම් පූජාවක් තිබ්බේය. ඒ අපටය; දිවාහාර පූජාවය. කතරගමින් පිටත්වී හම්බන්තොටට එනවිට සුපුරුදු පරිදිම අසංග අපට දවල් ආහාරය පිළියෙළ කරලාය. ඉක්මනින්ම මදුවිතත් මේසයට වඩම්මවා ගැනිණි.
එදා වැඩියෙන්ම කතාබහ කෙරුණේ මං වහන්සේගේ බඩු ලැයිස්තුව ගැනයි; නිරපරාදේ උස්සං යැවුණු බර ගැනයි.
    

“අම්මට සිරි! ඉතිං බඩු ඉතිරිත් වෙලා පියනන්දලට දුන්නද?
මෙහෙන් මට අරං තියන්න දුන්නු ලැයිස්තුවේ බඩු ගනිද්දී මාත් තව ටිකක් වැඩිපුර අරං තිබ්බා- මදි වෙයි කියලා.” අසංකත් හිනා වෙවී කිව්වේය. “පොල් ගෙඩි අටට දහයක් ගත්තා... එළවලු ගනිද්දීත් පන්සීයට කිලෝ එකක් ගණනේ විතර ගත්තනෙ...”
(ස්තුතියි අසංග ඇතුළු ගෙදර හැමෝටම.)

“මචංලා, හොඳට අහගනිල්ලා. මීට පස්සේ අපි එනකොට අච්චර දුරක් ඔය බඩු උස්සගෙන ඇවිල්ල පියනන්දලට දෙන්න ඕනි නෑ... ගමන පිටත් වෙන්න කලින්, පියනන්දලට දෙන්න හිතන බඩුවල වටිනාකමට Gift Voucher එකක් අරගෙන එමු!” (පීරිස්ගේ එම යෝජනාව පිළිගැනුණේ, නොනැවතුණු හිනා මැද කෙරුණු ඔල්වරසන් දීමකිනි.) 

ඉතිං එදා දවල්ට කන්නට කලින් අප කවුරුනුත්- මදිය නොකියන්නටම හිනා කෑවාය කියමින්, මේ posts මාලාව මෙතැනින් නිමා කරන්නෙමි.

ඒ තවත් කාලීන කරුණු කිහිපයක් ගැන ඉක්මනින් ලියලා, ඊට පස්සේ හිටිහැටියේ අතරමඟින් නැවැත්වූ ‘තිස් එකේදී..’ පෝස්ටු මාලාව ලියන්නටය෴0෴

41 comments:

  1. පාද යාත්‍රාව දෙපයින් ට්‍රැක්ටරයෙන් ජීප් රථයෙන් හරි ආරක්ශාකාරිව අවසන්කළා නෙව..
    පාද යාත්‍රාවේ ගිය සැමටම ස්කන්ධ කුමාර දෙවි පිහිටාධාර ලැබේවා ...

    ReplyDelete
    Replies
    1. බෝම පින් අසංග මහත්තයෝ!
      බ්ලොගය කියවන ඔබ හැමටත් ස්කන්ධ කුමාර දෙවි පිහිටාධාර ලැබේවා ...

      Delete
  2. චිකන් තම්බපු වතුරෙන් බත් හදන්න පුලුවන්නං ඇටිකිත්තෙක් තම්බපු වතුරෙන් තේ හැදුවම මොකද වෙන්නෙ අනේ.

    ලබන පාරත් පාද යාත්‍රාව ගිහිල්ල අපට තවත් රසවත් විස්තර ටිකක් කියන්න (ලියන්න) හැකියාව ලැබේවා කියල පතනව කට්ටියටම.

    ReplyDelete
    Replies
    1. ඔබේ පැතුම ඉටු කරන්නට ලැබේවායි පතනවා, ප්‍රසෝ!

      Delete
  3. අපිත් පාද යාත්‍රාවේ ගියාවගේ දැනුනේ.... වනන්තරේක වගේ ඇවිදින්න යනවා නම් මමත් එනවා... අවුවයි වැල්ලයි නම් දැකලම එපාවෙලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ලලිත්, විඳිනකොට නං ඒ අත්දැකීම මාර කට්ටක් වුණත් පසුව සිහිපත් කරද්දී ලොකු සතුටක් දැනෙන්නේ.

      Delete
  4. යන එන ජනගහනයත්, වියලි කාළගුණයත් බැලුවාම නෑමට, කෑම සෑදීමට සහ විශේෂයෙන්ම බීමට ගන්නා වතුර තත්ත්වය පිළිබඳ ප්‍රශ්ණයක් ආවෙම නැත්ද? දවසට දෙපාරක් නාන අයට සහ බටහිර හයිජීන් පුරුදු පුහුණ කරපු අය, ඒකට මූහුණ දුන්නේ කොහොමද? එහෙම නැත්නම්, යාත්‍රාවට පමණක් "ඌරොන්ට මොන සෞඛ්‍යද?" ක්‍රමවේදය අනුගමනය කලාද?

    මතක විදිහට, මොකක්ද ෆිල්ටර් ගැජමැටික් එකක් තිබ්බා, ඔහොම වතුර පෙරා ගත හැකි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අපහාසයට, උපහාසට හෝ විනිශ්චයට නොව හුදෙක්ම " ඇටිකිච්චන් විචිකිච්චාව" නිසාම ඇසූ ප්‍රශ්ණයක් බව කරුණාවෙන් සළකන්න.🙏

      Delete
    3. බීමට ගන්නා වතුර පිලිබඳ ප්‍රශ්නයක් මේ වතාවේ ආවේ නෑ. දුරෙන් දුර වුණත් වතුර ටැංකි පිහිටුවා වතුර පිරවීම නිසියාකාරව කෙරුනා.
      පූ වළකින් ගන්නා වතුර අපි නං බිව්වත් එක්ක- උණු නොකර.
      අපි රෑ ගත කරන්න නැවතුනු තුන් පොලේම නාන්න වතුර තිබ්බා, බකුසුතුමෝ.
      උදේ හවස සිරුරුකිස කරන්නට පුරුදු මට නං ඒ පුරුද්ද කරගන්න බැරි වුණා, දිගටම. ඇණ තියාගෙන වාඩි වෙන එකත්- නැඟිටින එකත් වේදනාකාරී වදයක් වුණු නිසා.
      කටගමුව පිටවීමේ දොරටුව අසල වනජීවී නිලදරුවන්ගේ නිවස්නයක කොමෝඩ් තියෙන ටොයිලට් එකක් මට නං පිහිට වුණා...
      වන්දනාකරුවන් කැලේට තමයි ටොයිලට් යන්නෙ- වතුර බාල්දියක් අරගෙන. හැම වතාවේම අපි ඉස්සරහින්ම යැවෙන විදිහට වග බලාගත්තෙත්, ඔය ප්‍රශ්නය ගැන හිතපු නිසා.

      Delete
    4. වතුර පිරිසිදු වෙන පෙති වගයක් තියෙනවා නේද බස්සා මහත්තයෝ. හැබැයි වතුරට ඒක දාල පැය ගාණක් ඉන්න ඕනිද කොහෙදැයි...
      අර පූ වලේදී වෙන්නෙත් පසෙන්ම වතුර ෆිල්ටර් වීමක්නෙ.
      විල්පත්තුවේ මාළු වාඩිවල උදවියත් වැල්ලේ ළිං හාරනවා. දවස් කීපයක් යනකල් ඒවාට උනන වතුරේ ලුණු රහ නෑ. ටිකයි කිවුල. ලුණු වතුර උනන්න ගත්තම එයාලා අලුතින් ළිඳක් හාරා ගන්නවා.

      Delete
    5. https://biologyreader.com/traditional-water-purification-methods.html

      Delete
    6. බොහොම පිං, මේ දිග විස්තරය දුන්නට. අඩේ ඇත්ත නේන්නං, පූ වලත් එක්තරා ආකාරයක ෆිල්ටර් එකක් නෙව?

      Delete
    7. උනන්දුවෙන් යමක් අහනකොට දිග විස්තරයක් වුණත් ලියවෙනවනේ, බස්සා මහත්තයෝ.

      Delete
  5. මේචචර දවසක් ආසාවෙන් කියවපු කතාව ඉවර වෙච්ච දුකට කියන කතා මේ, ඈ? 😉
    දැන් ඉතිං ගහයි නේද වංගු කනේ වැලි ගෑවෙන්න? 🤣

    ReplyDelete
    Replies
    1. හිතාමතා වංගු ගහන්නේ නෑ මහත්තයෝ. ලියාගෙන යනකොට හිතට එනවා... ඉතින්....

      Delete
    2. අවුලක් නෑ නිදි. අනිත් අය ඕකට කිව්වෙ පඳුරු තලනවා කියලයි. රවි තමයි ඒ කලාවේ පිකාසෝ.🤣

      Delete
  6. දැන් පයින් යාම, වාහනේ යාම, බඩු උස්සන් යාම, බදු වාහනේ යැවීම කරන්නේ දෙය්යන්ට උන බාර අනුවද? දන්නේ නැති හින්ද අහන්නේ.
    බර අඩු කුඩාරමක් තිබුනානම් මාරු නේද, ගෙම්බෝන්ගෙන් බේරෙන්න.
    මොනවා! ගමන ඉවරද?
    නිදි ගේ බදු මල්ල, අපේ ගෙදර උන්දැගේ airport යාම හා සමානයි (කලින් ගියාට කිසි ප්‍රශ්නයක් නැත, පරක්කු උනොත් හබක් නේද)
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. විජේබාහු මහත්තයෝ, කොච්චර බැණුම් ඇහුවත් - මම නං සැලසුම් හදන්නේ ටිකක් වැඩියෙන් කන-බොන දේ ගෙනියන්නයි. තිහක් විතර ජීප්වල කැබිලිත්ත ගිය වතාවේ උඩහට වැහැලා, ගඟේ වතුර වැඩිවෙලා අපි ඉවුරේ එක තැනකම කොටු වුණා පැය හයකට වඩා. ආරවල් කීපයකින්ම එගොඩ වෙද්දී පුදුම වදයක් විඳින්න වුණා. දවසේ ගමන දවස් දෙකක් වුණා.
      අපේ ජීප් තුනේ නායකයා; මඩ සාන්ත මහත්මයාගේ උපදෙස 'කැබිලිත්තේ යනකොට යන-එන වෙලාව හිතන්න එපා. උයන්නට ගෙනා දේවල් සේරම අරගෙන යමු.' පිළිපැද්ද නිසයි ඒ වතාවේ අපි හාමත් නොවුනේ!

      සමහරුන් නම් කූඩාරම් අරගෙන ගිහින් තිබ්බා. ඒකෙත් හැටි! ගෙඹි ප්‍රශ්නේ ආවේ මේ වතාවේ විතරයි.

      Delete
    2. අමතක වුණා කියන්න. අපේ නඩේ වැඩි දෙනෙක් දුෂ්කර ක්‍රියා කළේ ස්ව කැමැත්තෙන්. බාරයක්- පොරොන්දුවක් ඉටු කරන්න නෙවෙයි. බැතිබරව ගිය දෙතුන් දෙනා වුණත් බාරහාර වෙලා තිබුණයි කියලා මම හිතන්නේ නෑ, විජේබාහු මහත්තයෝ.

      Delete
  7. "අපි ඔක්කොමල්ලා ඉල්ලා හිටියත්, අයස්මන්ත සුදහ ගින්දරේම හිටියේය; එහෙම කරලා ආඩම්බරෙන් ඔළුව උස්සාගෙනත් හිටියේය". ඉතින් අයස්මන්ත නොකා හිටියා කියලා කලින් දන්සැලේ ඒ 'වැරදි' කරපු මිනිස්සු ඒ වගේ දේවල් අනාගතයේදී නොකර ඉඳියිද. මමත් ඔය වගේ ස්වයං වර්ජන හරියට කරන කෙනෙක්, හැබැයි දැන් නම් බලන්නෙ වෙන කෙනෙක් අතින් වෙන injustice එකක් (විශේශයෙන්ම ඔය වගේ public places වලදි), පුලුවන් නම් ඒ වෙලාවෙම ඒ කෙනාට පැහැදිලි කරලා දෙන්න. (ඒ වෙලාවෙදි ඒක diplomatically කරන්න පුලුවන්නම්).

    ReplyDelete
    Replies
    1. මමත් මටම දඬුවම් කරගන්න වෙලාවල් තියෙනවා Lotus. ඒක හින්දු දහමේ තියෙන එකක්වත්දෝ කියලා මට හිතෙනවා.

      Diplomatically...?
      ලංකාවේ නං එහෙම වැරද්දක් පෙන්නා දෙන්න හිතුවත් එල්ලයි. අපේ මිනිස්සු හිතන්නෙම 'මම හරි- අනෙකා වැරදි' කියලනේ.

      Delete
  8. ‘දෙවියන්ට එක සැරේකට පෙනී සිටිය හැක්කේ එක තැනක විතරක්ද?’ ඊට කලින් අහන්න ඕනෙ ප්‍රශ්ණෙ ඇත්තටම දෙවියො ඉන්නවද කියලා නෙවෙයිද

    ReplyDelete
    Replies
    1. Lotus, දෙවියන් ගැන මගේ මතය මම මීට කලින් ලිව්වා 'හරෝහරා 9' post එකේ.
      https://nidigepanchathanthare.blogspot.com/2019/09/blog-post_34.html
      තවමත් මගේ ඒ අදහස වෙනස් වෙලා නෑ.
      ගිය වතාවේ පාද යාත්‍රාවේදී හමුවී- හිතවත් වුණු (උගත් - පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක් කරන) මිතුරෙකු කිව්වේ දැනට එයාට කතරගම දෙවියන් තෙවරක් හමුවී ඇති බවයි. තවම මට ඒවා ගැන විස්තර එයාගෙන් අහගන්න ලැබුණේ නෑ.

      Delete
    2. කතරගම දෙවියන් තෙවරක් හමුවී ඇති යාලුවගෙ අත්දැකීම එයාගෙ අවසර ඇතුව නිමල්ට පාඨකයින් එක්ක බෙදා ගන්න පුලුවන්නෙ.

      Delete
    3. එයාගෙන් විස්තර අහගත්තට පස්සේ බලමු නේද, Lotus...

      Delete
  9. අපේ පරණම ලියන අප්පු කෙනෙක් ආයෙ ලියනවා. ආයෙ මොනවද, කතා ටික වෙඩි වගේ තමයි. 🙏👌

    පොඩි හාමුදුරුවෝ

    ReplyDelete
    Replies
    1. 'පොඩි හාමුදුරුවෝ' හරිම අපූරු ලියවිල්ලක් නෙව.
      ඒ අඩවියට comment එකක් යවා ගන්න තමයි බැරි. මෙහෙම එකකුයි යවන්න හැදුවේ- බකුසුතුමෝ.

      අනෙ අප්පේ දුක තමයි
      සංසාරේ හැටි තමයි
      පතාන ආ හැටියටයි
      සේරම වෙන්නේ!

      Delete
    2. ඒක වර්ඩ්-ප්‍රෙස් සයිට් එකක්, බ්ලොගර් නෙමෙයි. ඉතිං කමෙන්ට් කරන එක ටිකක් අමාරුයි.අනික මම ඔය දැම්මෙ ටිකක් පරණ ලිපියක්. කතෘ, ඒ කාලෙ කොහොමත් ටිකක් හොරයි පිලිතුරු දෙන්න, දැන් කොහොමද මන්දා? හැබැයි හරි අපූරු ලිපි ලියනවා. කමෙන්ට් කරන්නෙ මෙහෙම:

      email address: nidigepanchathanthare@gmail.com
      Name: නිදිගෙ පංච තන්තරේ
      Blog Address: http://nidigepanchathanthare.blogspot.com

      Delete
    3. ඔහෙට කියන්න, නිදි, නිල්-කටුරොල් රහතන් වහන්සෙ මේ ලඟදී මෙහාටත් වැඩියා. වැඩියෙ අහසින් තමයි - ප්ලේන් එකෙන්. අපේ හෝතම්බුවා නං දානයකුත් දුන්නා පස් නමකට. දෙනමක් මෙහෙ කැම්පස් යනවලු. ටික කාලෙකින් ඉර්දි වෙයි, මහිතේ.🤔

      Delete
    4. දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තුතියි බස්සා මහත්තයෝ.

      Delete
  10. මේ ගමන සංවිධානය කළ - සහභාගී උනු... නිදි, ඩොක්ට, මර්වින්, නෙවිල්, තමීර, ප්‍රියන්ත, සෑම්, පසිඳු සියලු දෙනාට මාගේ උපහාරය 🙏

    ReplyDelete
    Replies
    1. ඔබතුමා දාලා තියෙන ගමනට සහභාගී වුණු නම් ලැයිස්තුවේ එකක් අඩුයිනෙ.

      Delete
    2. සහභාගී උන මන්වහන්දෑ... සහභාගී උන අනික් අයට ඉස්කූටි කළා ඉතීම්

      Delete
    3. යුතුකං කරද්දීත් තමුන් ගැන අමතක කරලා බැහැනේ නමී! ඒකයි ඇහුවේ...

      Delete
  11. හරියටම අපිත් ඔකඳ ගියා වගේ දැනෙනවා නිමල් අය්යේ. වෙනදා වගේම ආසාවෙන් කියෙව්වා

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්