එහෙම හිතෙන්නේ මාව වැඩියෙන් ඇවිද්දවන
හින්දාය. (foto- සෙරාන් එච්. ගමගේ) |
එහෙම හිතෙන්නේ මාව වැඩියෙන් ඇවිද්දවපු හින්දාය. මට පෙබරවාරි දෙවෙනිදා වෛතාලයෙන්ම අවදිවී, හම්බන්තොට යන්නට වුණේය. එහෙම ගිහින්, බෙහෙතුත් අරගෙන ගෙදර එද්දී රෑ ජාමේ වෙලාය.
වෙනින් දවසක නම් ටිකක් දවල් වෙනතුරු නිඳාගෙන විවේක ගන්නට තිබුණා වුණත් මෙදා;
පෙබරවාරි තුන් වෙනිදා එහෙම කරන්නට බැරි විණි
අපේ ටෙලිෆෝනය බෑඟිරි ගාද්දී හතට විතර ඇති!
“නිමල් අයියේ, කොහොමද ඔයාගේ රිපොර්ට්ස්?” විමසන්නා
අහන්නේ දැඩි හිතවත්කමටය. “...අවුලක් නැහැනේ. ඔයාට හෙට trip එක යන්න පුළුවනිනේ?”
විමසන්නා කියලා කිව්වේ එදා උදේ හතරපස් දෙනෙකුම මගේ තත්ත්වය විමසූ බැවිනි.
“ඩොක්ටර් මැඩම් නං කිව්වා අවුලක් නැහැයි කියලා...” පුරුද්දක් හැටියටම මගේ
රුධිර පරීක්ෂණ වාර්තා, MRI වාර්තා වගේ දේවල් එකක් දිහාවේවත් මං බැල්මක් හෙළන්නේ
නැත. එව්වා කියෙව්වාට මට තේරෙන්නෙත් නැත. මං දන්නේ මට ප්‍රතිකාර කරන දොස්තර
මහත්වරුන්- මහත්මීන් හා අයස්මන්ත මහතා වගේ උදවිය ඒ වාර්තා පිරික්සා බලා කියන දේවල්
විතරය.
සමහරු නං මං තරමට මෝඩ ගස් නොවෙති!
මගේ පලෝලේ හිතවතුන්ගෙන්- හිතවතියන්ගෙන් වැඩි දෙනෙක්
කතාබහ කරද්දී එයාලගේ ලෙඩදුක් ගැන කතා කරති; ලබා ගන්නා ප්‍රතිකාර ගැන කතා කරති. ‘අර
ලෙඩේට අර දොස්තර මහත්තයා හොඳයි. මේ ලෙඩේට මේ දොස්තර මහත්තයා හොඳයි!’ කියලා
රෙකමන්ඩ් කිරීමත් කරති; ඒ විතරක් නෙවෙයිය- අද කියන මේ ගමනේදී වුවත් දොස්තර
මහත්තයෙකු; ඉගෙනුම අවසන් කොට පුහුණුව ලබන වෛද්‍ය සිසුවෙකු කියන දෙදෙනෙක්ම සිටියදී
පවා... ඔවුන් අබියසදීම, අනේකප්‍රකාර සර්වාංග රෝගාබාධවලට ගත යුතු බෙහෙත් වර්ගත්
නියම කළහ. එයාලාට නැත්තේ වෙද නළාවක් විතරය.
මතකද අපි කල්පිටියේ ගියා...
මද්දලාගේ ‘රෝද
දෙකේ රස්තියාදුවෝ’ එක්ක....(foto-ශාන් මාරසිංහ) |
“නිමල්, අපි මේ සැරේ book කරලා තියෙන්නේ නියම තැනක්.
First timeනෙ අපි බත්තලංගුණ්ඩුවේ යන්න හදන්නේ. කොහොම හරි යමු!” හිතවත් ප්‍රියන්ත කල් තියාම කිව්වේය.
දෙසැම්බරයේ අග ඔවුන් ගිය හේවාහැට, 'ඔය ළඟ හේන' සංචාරයට මම සහභාගී නොවීමි. ඒ මට
තිබුණු ඈලි-මෑලි-අබල-දුබලතා හේතුවෙනි.
“කල්පිටියේ හෝටලයක අපි නවතින්නේ. එක දවසක් බත්තලංගුණ්ඩුවේ camping කරනවා....” ප්‍රියන්ත
කියයි.
හරියටම අවුරුදු තුනකට කලින් 2019 පෙබරවාරි 3වෙනිදා,
කල්පිටිය මුහුදු වෙරළේ කූඩාරම් ගසාගෙන රාත්‍රියක් ගත කිරීමට අපට අවස්ථාව ලැබිණි.
“මර්වින්, මතකද අපි කල්පිටියේ ගියා... මේ සැරේ ප්‍රියන්ත යන්න හදන්නේ එහෙ. ඔයාගේ
කාර් එකේ නෙවිලුයි, ගවීනුයි, මමයි ගියේ.... මද්දලාගේ ‘රෝද දෙකේ රස්තියාදුවෝ’ එක්ක....”
“ආ ඇත්තද? යුෂ්මතුන් මාව හලලා ගියේ ඒ සැරේනෙ..... පොෂ් යාළුවො අඳුනාගත්තම.” අයස්මන්ත මහත්තයා ඒ නෝක්කාඩුව කියන්නේ දහස්වෙනි වතාවට
වෙන්නැතිය.
“අසද්ද බොරු කියන්න එපා පීරිස්. එදා ඔබතුමාට එන්න බැහැයි
කිව්වා. මධූලව අලුතින් අඳුනගත්තු බව නං ඇත්ත...”
නිදිගෙ පංච තන්තරේ බ්ලොගයේ පාඨකයෙකු වීම නිසා හිතවතෙකු වුණු මධුශංඛ විතානගේ, fb
එකෙන් ‘රෝද දෙකේ රස්තියාදුව’ නමින් group එකක් පවත්වාගෙන යන්නෙකි.
‘කල්පිටිය වෙරළේ කඳවුරු බිමක රාත්‍රිය ගත කරන්නට යමු’දැයි මද්දා මගෙන් ඇහුවේය.
“යමු! හැබැයි මධූ මම එන්නේ තව ගැළපෙන දෙතුන් දෙනෙක් එක්ක. එයාලා මටත් වැඩිය හොඳයි.
අපිට මෝටර් සයිකල් නං නෑ. කාර් එකක තමයි එන්නේ.....”
අප ඉස්සෙල්ලාම කල්පිටියේ ගියේ එදාය.
මද්දලාගේ නඩයට ඕනෑ කරන්නේ නොකා- නොබී- නොනිඳා හරි ඉල
කැඩෙන ගමන් යන්නටය. යන්නෙත් රෝද දෙකේ යකඩ අස්සයන් අරාගෙනය.
මං වගේ මැන්ටල් එහෙම ගමන්වලට ගියාම මධූලාටත් වදයකි! ඒ
නිසාය; යළිත් වතාවක් ‘ඒ රස්තියාදුවකට’ මං සහභාගී නොවුණේ!
“එහෙම නොගිය එකත් හොඳයි හලෝ... නැතිනං විටක්වත් නොකන
වැස්ස වලාහකයා සාප කරලා වැස්ස වස්සවනවනේ!” නෙවිලුත් මතක් කළේ අයස්මන්ත දිහාවට ඉඟි
කරමිනි.
අපි; 25ක් විතර වස්ගමුවට කිට්ටු නිවහනක
නතර වී.... (foto- මිෂාන් රන්දික) |
කල්පිටිය වෙරළේ ටෙන්ට්ස් අටවා ගන්නටත් කලින් ඇද හැලුණු අකාල මේඝයකට හසුවී එදා අපි සැවොම දියබත් වීමු. “මේ මෙහාට වහින කාලයක් නෙවෙයිලු නිමල් අයියේ. එක දිගට වැහි පොදක් නැතිව තිබ්බ මාස තුනකට පස්සෙයි මේ වැහලා තියෙන්නේ.” තෙතබරියන් වී හිටි මද්දා එදා කිව්වේය.
ඒ අකල් වැස්ස ගැන ගවීන් කල්පිටියේ සිට දොස්තර මහත්තයාට
වාර්තා කළාම ලැබී තිබ්බේ කදිම උත්තරයකි.
“මොකද කියන්නේ. ආයි වස්සවන්නද? තොපි මාව හලලා කල්පිටියේ trip එකක් ගියා කියලා මං
වැස්ස වලාහක දෙයියන්ට කිව්වා. ඒකයි වැස්සේ. ටිං ටිං, වැස්සට සාදර අනුග්‍රහය-
අයස්මන්ත පීරිස්! ”
එහෙම බලයක් තියෙන අය ඉන්නවාද?
‘රේඛාව’ film එකේ සුනිල්ටත් එහෙම බලයක් තිබුණා යයි කිව්වත් ඒ බොරුවකි!
අයස්මන්ත පීරිස් මහතාටත් එහෙම විශේෂ බලයක්; චිත්ත
ශක්තියක් ඇතැයි මම නොකියමි. නමුත් දෙවෙනි වතාවටත් ඒ අබග්ගයම සිදු වුණාම....
ඒ විස්තර සේරෝම මෙතෙක් නොලියා හිටියේ ‘කොළොම්පුරේ- අසංග රණසිංහ ආරච්චි’ හිතවතා ඒ ගැන බ්ලොගයකින්ම ලියන බව කී නිසාය. ඒ post එක ලිව්වාට පස්සේ අසංගගෙ ‘පරිගනකයා’ යකාට ගිහින් වැඩේ නැවතුණේය.
අපේ ඒ වස්ගමුව සංචාරයටත් අයස්මන්ත මහතාට එන්නට බැරි තැනට කටයුතු යෙදුණේය. අපි; 25ක් විතර වස්ගමුවට කිට්ටු නිවහනක නතර වී සිටියෙමු. අපට නාන්නට- බොන්නට වතුර ගෙනාවේ පවා බවුසරයකිනි. “මෙහාට හය-හත් මාසෙකින් වැස්ස නෑ!” හෝටලයේ බලධාරීන්ගෙන් කියවිණි.
එදාත් හිටි ගමන් අනෝරා වැස්සක් කඩා වැටුණේය.
‘මගේ සාපෙ තමයි ඔය!’ ඒ විත්තිය ඇසූ දොස්තර මහත්තයා උදම් ඇනුවේ දුරකතනයෙනි. “මීට
පස්සෙවත් යුෂ්මතුන් ඉගෙන ගන්නවා හොඳයි උත්තමයන්ව හලලා ගමන් ගියොත් ඔහොම තමයි
කියලා.”
මං කොහාට යතත් ප්‍රමාද වෙන්නේ
නැත! (foto- සෙරාන් එච්. ගමගේ) |
“යන්න තමයි මචං හිතාගෙන නං ඉන්නේ...”
“අනේ මචං, යන්න බැරි වුණත් වස්සවන්න නං එපා. බර ගණනක් trip එක යනවා... පොඩි
එවුනුත් එක්කම.” නෙවිල්ගේ ඉල්ලීම සඵල වුණේය. ඒ දින තුනේදී වැස්සේ නැත!
(අයස්මන්ත මහතා දියණියන් දෙදෙනෙකුත්, ඥාති පුත්‍ර
පසිඳුත් ගමනට කැඳවාගෙන ආවේය.)
වැසි නොවට දින තුනේදීය කිව්වේ පෙබරවාරි 4-5-6 දවස්
තුනේදීය. 2 වෙනිදා හම්බන්තොට ගිහින් ඇවිත් දවස් තුනක් ඒ trip එකටත් ගිහින් 6වෙනිදා
රෑ ගෙදර ආවා විතරය. 8-9-10 දවස් තුනේදී තවත් trip එකක් යන්නට වුණේය.
‘පිට-පිටම ඔහොම මහන්සි වුණාට කමක් නැද්ද?’ කියලා හිතවත් Pra Jay මහත්තයා විමසුවේ ඒ
විස්තර දැන ගත්තාමය.
අපි පෙබරවාරි 8-9-10 බලංගොඩ- බදුල්ල- නුවරඑළිය.... ගමන නං ගියේ නෑදෑ-හිත මිතුරන්
බලන්නටය.
ඉතිං පෙබරවාරි 2-10 අතරතුර මාව එච්චර රවුමක් ගැස්සෙව්වාටත් පස්සේ, මට හෙනහුරා
ලබලාය කියන එක වැරදිද?
ඒ ගමන්වලින් අද කියන්නට යන්නේ පෙබරවාරි 4-6 කල්පිටි ගමන
ගැනය.
ගමනට ගියේ වාහන 5කි. 28 දෙනෙකි.
“අන්න ප්‍රියන්ත කිව්වා හරියටම උදේ පහට පිටත් වෙනවයි කියලා....” නෙවිල් 3 වෙනිදා
හැන්දෑවේ කිව්වේය.
“එහෙනං ඔයා හතරහමාර වෙද්දි අපේ ගෙදරට එන්න. ඔයාලගේ බඩුත් පටවගන්න එපැයි!” මම
කීවෙමි.
“එහෙම නැතිව?” නෙවිල් අනුරසිරි රවුමක් කැරකිලා රඟා
කිව්වේය.
“තමුසෙට බෝතල් ගැන මතක් කළත් චූන් වෙනවද?” මට කියැවුණේ තරහෙනි. ගමනක් යන්නට සැරසෙන
දවස් ආසන්නයේ නෙවිල්- පීරිස් දෙන්නා කීප වතාවක් අපේ ගෙදරට එවෙනවාමය. ඒ හැම සැරේම
එයාලා බෝතල- ෂැන්ඩි- බයිට් අඩුම කුඩුම අරගෙන එති.
ඒවා ගබඩා කොට තියන්නේ අපේ ගෙදරය.
එහි සැලසුමට අනුව අප උදේ... (foto- සෙරාන්
එච්. ගමගේ) |
“පේනවද මිස්ටර් නිමල්? අපි එහෙමයි. රෑ දවල් මහන්සිවී කන්ට දේ රැස් කරත්.....” හිටි
ගමන් මගේ පැත්තට හැරී, මාවත් අවුස්සන්නට මේ දෙන්නාම හපන්නුය.
මට මත්පැන් වර්ග සේරම ‘කසිප්පු’ය. නැත්තං අරක්කුය.
“මොන අපරාදයක්ද ඕයි? කසිප්පුවලට මෙච්චර..”
“කවුද යකෝ කසිප්පු බොන්නේ? මේවා ෆොරීන් products. වස-විස
නෑ...”
එහෙම කතන්දර ඇහෙද්දී දත්මිටි කාලාම මගේ දත් වහල්ලෙන් බාගයක් ගෙවිලා ගිහින්ය.
උඩවැඩියා පන්තියේ ආචාර්ය එම්.ජී. ප්‍රේමරත්න මහතාට පින්
සිදු වෙන්නට මං කොහාට යතත් ප්‍රමාද වෙන්නේ නැත. නෙවිල් නං එය දකින්නේ වෙනම කෝණයකිනි.
“ඒක නෙවෙයි හලෝ. ඇත්ත කියනවා. ගමනක් යනවයි කිව්වම තමුසෙට නින්ද යන්නෙ නෑනේ....
ගියාට පස්සේ ආපහු ගෙදර එනකලුත් ඉවසිල්ලක් නෑනෙ... එහෙම කියනවා.”
තුන්වෙනිදා රෑ දෙකට විතර පිබිදී, පෝස්ටුවකුත් upload
කරලා ලැහැස්තිවී බලා හිටියත් නෙවිල් ආවේ 4.45ටය. අනුන්ගේ වාහනයකින් පිනට යන මං ඒ
මනුස්සයාට ගෙම්බර් පෙන්නන්නට ගියාම කොහොමද? ඒ නිසා එයාගේ පරක්කුව ගැන මොකුත්ම
නොකියා, අමාරුවෙන් කට පියාගෙන හිටියෙමි.
පහට ප්‍රියන්තලාගේ ගෙදරට යද්දී එයාලා නැඟිට්ටා විතරය. ‘පැයක් පරක්කු වෙලා පිටත්
වෙන්නය කියලා කල්පිටියෙන් ඊයේ රෑ කිව්වා!’.
ප්‍රියන්ත අපේ සංචාරයට වෙන් කරවාගෙන තිබුණේ පැකේජයකි.
එහි සැලසුමට අනුව අප උදේ දහයටය එහාට ගොස් සිටිය යුත්තේ. ‘බෝට්ටුවල මොකක්ද වෙනසක්
වෙන්නැති. උදේ එකොළහට එහාට ආවම ඇතිලු.’
ඒ තීරණය මර්වින් දැනගෙන හිටලාත් නැත. ඇඹුල්දෙනිය;
නෙවිල්ගේ මස්සිනාත් එක්කමය මර්වින් ආවේ. “කෝ හරිශ්... ඔයා එක්ක නේද හරිශ්ලත් එනවයි
කිව්වේ?”
එයාලා සැන්ඩ්විච් හදාගෙන ආවා.
මම කට්ලට්ස් හැදුවා... ඒක ලේසියිනෙ.... (foto-
සෙරාන් එච්. ගමගේ) |
එදා උදේ හයට පිටත් වෙනතුරුම එන-එන අයට මාතෘකාව වුණේ ‘වෙලාව වෙනස් වීම’ය.
“නිමල් අයියා අද ඩිෆෙන්ඩරේ යන්න එපා. ඔයාට ඊට වඩා පහසුයි
සරත් අයියලාගෙ van එකේ ගියාම. හරිශ් අයියයි, මල්කාන්ති අක්කයි දෙන්නත් ඒකට එයි...”
බබීතා නංගි යෝජනා කළාය.
වෙනදාට එකම වාහනයකට නඟින මර්වින්, නෙවිල්, ඇඹුල්දෙනිය, හරිශ්, හක්ස්ලි, නන්ද
කුමාර, සාන්ත හා මං වහන්සේ කල්ලිය මෙදා සීසීකඩව වාහන හතරකට යැවුණේ එහෙමය!
“පීරිස් අයියලා එහෙන්ම පිටත් වෙලා... ඇරගෙන යනවලු සෑහෙන
ඉස්සරහින්....”
“එයාට කුක්කන් ගායනේ!”
“එයාට මොන ගාය තිබ්බත් කමක් නෑ... අපිට නං දැන් බඩගිනියි. කොහෙද කන්න නවත්තන්නේ
කියලා අහමුද.”
“මැණිකෙ නංගී, වෙනදට නං මටත් මොනවා හරි හදන්න ඇහැකිද
කියලා බබීතා අහනවනේ... මේ පාර මගෙන් ඇහුවෙවත් නෑනේ.” ඒ ගැන අහන්නටත් මට මතක් වුණේ
එතකොටය.
“මේ සැරෙත් එයාලා සැන්ඩ්විච් හදාගෙන ආවා. මම කට්ලට්ස් හැදුවා... ඒක ලේසියිනෙ
අයියේ!”
අපේ බඩගිනි සංවාද අස්සේ මොබයිල් ෆෝන් හත අටක්මත් පණිවිඩ
හුවමාරු කරගෙනය.
“පීරිස් අපිව උදේට කන්න හොඳ තැනකට එක්ක යන්න මඟ
නැවතිලාලු....”
යන්තමින් මතක තියාගත් විදිහට, දැදුරු ඔයට මෙහායින්, හලාවත නගර සභාවෙන් සංචාරකයන්ට
ගිමන් හැරීමටම සකස් කළ ඉඩකටය, අයස්මන්ත මහතා වාහනය හැරෙව්වේ.
අප එතනට යන විටත් වාහන විස්සක්-විසිපහක් එතැනය; ගිමන්
හරිනවාය; පාතරාසය ගන්නවාය. අපිත් වැඩ අල්ලන්නට පටන් ගත්තෙමු.
ඔයාලටත් දැනෙනවද රසම රස සැමන් සැන්ඩ්විච්- බිත්තර සැන්ඩ්විච්- කට්ලට් සුවඳ?
කොහෙන්දෝ ඉදුණු කෙසෙල් ගෙඩි වගයකුත් මතු වෙලාය. අඩුවකට තිබ්බේ උණු තේ එකක් විතරය.
අප නවාතැනට සේන්දු වුණේ
එවෙලේය! |
“අන්න එක කඩේක එක්කෙනෙක් නං ආවා.... ගෑස් සිලින්ඩරයක් හෙමත් අරගෙනයි ආවේ. අපිට
පරක්කු වෙන්නේ නැත්තං තේ එකක් හදව ගනිමුද?” plain tea එකක අඩුව තදින්ම දැනෙන නිසා
මම ප්‍රියන්තගෙන් විමසුවෙමි.
“එපා නිමල්, දැන් හැමතැනම ඔමික්‍රෝන්.... හෝටලේට ගියාම බොමු!” තේ බොන්නට තැනකුත්-
නැකතකුත් ප්‍රියන්ත නියම කළේය.
ප්‍රියන්ත කියූ ඒ නැකත උදා වුණේ උදේ දහයමාරත් පහු
වුණාමය. අප නවාතැනට සේන්දු වුණේ එවෙලේය. ඒ හෝටලය Atara Lagoonය. තැන නං ලස්සනය!
නිස්කලංකය!! සිත්ගන්නාසුලුය!!!
ඊළඟට පොඩි පහේ යුද්ධයකි. අපේ නඩයේ විසිඅට දෙනෙකු ඉන්න බව
දැනටමත් හිතාදර රසික ඔයාලා දන්නවානේ... ‘මොනවද බොන්නේ?’ ප්‍රියන්ත පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදීව
අහයි. එකිනෙකා පරයමින් මාත් ඇතුළු සැවොම තම-තමන්ගේ රුචිය කියති. එතැනම මනාප විසි
අටකි!
ප්ලේන් ටී / මට ටී / මට කෝපි / අපේ ළමයි
තේ බොන්නෙ නැහැලු / Orange ජූස් තියෙනවද? /ඊට වැඩිය හොඳයි Milk ෂේක්.... / මට
උණුවතුර එකක්!
අවශ්‍ය ලැයිස්තුව හදා ගන්නට කලින් සංශෝධන ගොඩාරියක්
කෙරුණු නිසා ඒ ඇණවුම් කිරීමේ යුද්ධයට පැය භාගයක් විතර ගත වුණේය! එහෙම වෙලාවට ඒ
සේරම කචල්-බචල් ඉවසාගෙන ඉන්නට ප්‍රියන්තට පුළුවනිය. මට නං එච්චර ‘ක්ෂාන්තිවාදී’
වෙන්නට බැරිය!
ප්‍රියංකර තල්මේදාට මං වහන්සේ මෙහෙම
‘හැඩිදැඩියා’ කිව්වේ අර සද්දය දාන්නට කලින්... (foto- සෙරාන් එච්. ගමගේ) |
“මිස්ටර් නෙවිල් අනුරසිරි... පොඩ්ඩකට මෙහාට එනවද?” දුරින්වූ මේසයක් අසල සිටි
නෙවිල්ට නිමල් දිසානායකගෙන් අතිශය ආචාරශීලී කැඳවුමක්. ඒ හාදයා කිට්ටුවට එද්දී
නිදිගෙ අර ආචාරශීලීකම විතැන් වෙලා ගිහින්ය.
“දැන් මොකක්ද ප්‍රියන්ත කිව්වේ...”
“ඇයි ඇහුණේ නැද්ද. අදට ඕනි කරන ඇඳුම් විතරක් අරගෙන යං කියලා.... එව්වා නොතෙමෙන
විදියට වෙනම ගෙනෙන්නය කියලත් කලින් කිව්වෙ...”
“ඇයි යක්ෂයෝ, තමුසේ මට ඒ පණිවිඩේ කිව්වද?” මම කඩා පැන්නෙමි. “තමුසේ මට කිව්වේ
බෝට්ටුවේ ඇඳුම් බෑග්ස් ගෙනියද්දී තෙමෙන්න පුළුවන් නිසා පොලිතින් කවරවලින් ඇඳුම්
ඔතන්න කියලා විතරයිනේ. අදට- හෙටට කියලා වෙනම ගෙනෙන්න....”
“ගහන්න නිමල් අයියා, ගහන්න. බැනලා විතරක් මේ හාදයට මදි!
පොල්ලක් ඕනිද?” හක්ස්ලි මට උඩගෙඩි දෙයි.
“...ආ, මං ඒක කිව්වේ නැද්ද?” ඒ අතරේ නෙවිල් සැහැල්ලුවෙන්
අහයි.
ඒ යක්ෂ පැටියාට හොඳ උත්තරයක් දෙවෙන එක වැළකුණේ හෝටලයේ
මාලන් මහතා තවත් හාදයෙකු සමඟින් දර්ශන පථයට ඇතුළු වුණු නිසාය. ඒ අමුත්තාව ප්‍රියන්තට
හඳුන්වා දුන්නාටත් පස්සේ, අමුත්තාගෙන් සද්දයක්!
“ෂ් ෂ් ෂ්...” කිව්වා වගෙය මට මතක.
ඒ හැඩිදැඩියා සාම්ප්‍රදායික ‘Attention please!’, ‘Silence please!’ හෝ ‘හලෝ’ හෝ
නොකියූ බව නම් මට හොඳටම මතකය!
ඒ හාදයා; ප්‍රියංකර තල්මේදාට මං වහන්සේ මෙහෙම ‘හැඩිදැඩියා’ කිව්වේ අර සද්දය දාන්නට
කලින්; පළමු දර්ශන මාත්තරයෙන්ම මට ඒ හාදයාව හඳුන්වන්නට සුදුසු යැයි හිතුණු ‘නාම
පදය’ ඒක නිසාය.
(මගේ ඔහොම නසරානි ගති ගැන නම් නිදිගෙ පංච තන්තරේ දිගටම කියවන රසික පාඨකයනට
අමුතුවෙන් කියන්නට ඕනෑ නැතිය.
Priyankara Thalmedha හිතවතාණෙනි, මේ වාක්‍යය ලිව්වේ ඔබ වෙනුවෙනි! හැඩිදැඩියා
කිව්වේ ඔබේ විලාසය නිසාය. අටාරා ලැගූන් එකට අපේ නඩය හමු වෙන්නට ආවා වුණත්, ඔබ
අමුතුවෙන් සැරසී සිටියේ නැත.)
අපිට එහාට යන්න වෙන්නේ
බෝට්ටුවලින්. එක බෝට්ටුවකට දාන්නෙ... (foto-
සෙරාන් එච්. ගමගේ) |
මේ යක්ෂයා කවුද? කොට කලිසමකින් හා ටී ෂර්ට් එකකින් සැරසී
ඉන්නා ඒ හාදයා හදන්නේ අපේ ප්‍රධාන ඉලක්කය මඟ හරවා ලන්නටද? වෙනින් කොහාට හරි යමුයි
කියන්නටද?
ඒ විචිකිච්ඡාව දවා අළු කරමින් ඒ යක්ෂයා ඊළඟට තද හිනාවක් පෑවේය. ඒකත් හොඳ සද්දෙටය.
“හැබැයි.... කොච්චර රස්නේ වුණත් බත්තලංගුණ්ඩුව මාාාාාර ලස්සනයි. මම තමයි ඔයාලව ඒ
දූපතට එක්ක යන්න ආවේ. මාරම ආතල් ගමනක්!”
අවුල් වී තිබුණු කෙස්ස අතින් පස්සට කරමින් ප්‍රියංකර
කිව්වේය. දින ගණනාවකින් නොකපා තිබණු රැවුලත්, අව්වට පිළිස්සුණා වැනි තද දුඹුරු
පැහැයත් කෙනෙකුගේ හිතේ ඇති කරවන impression එක ඒ හාදයාගේ කතා ශෛලියෙන්- සුහද විවෘත
සිනාවෙන් කණපිට හැරෙන්නේ එක මොහොතිනි.
‘මාර ප්‍රවේශයක්!
-හොඳ සන්නිවේදකයෙකු වෙන්නම ඉගෙනගෙන වගේ’. මට සිතිණි.
පස්සේ දැනගත් විදිහට ප්‍රියංකර තල්මේදා කල්පිටියේ සිට බත්තලංගුණ්ඩුවට සංචාරකයන්
බෝට්ටුවලින් ගෙනයෑම අරඹන්නට කලින් බැංකු සේවයේත් නිරත වූවෙකි. මේ දැනීම එතැනදී ලබා
ගත්තක්ද?
“අපිට එහාට යන්න වෙන්නේ බෝට්ටුවලින්. එක බෝට්ටුවකට
දාන්නෙ ඔයාල හත් දෙනෙක් විතරයි... අපට පැයයි විනාඩි පහළොවක්- තිහක් විතර වෙලාවක්
යනවා එහාට යන්න. කල්පිටියේ ඉඳලා නාවික සැතපුම් 24ක් තියෙනවා බත්තලංගුණ්ඩුවට...
කිලෝ මීටර්වලින් නම් 36ක්!”
අපි බත්තලංගුණ්ඩුවට ගිහිල්ලම බත් කමු නේද?
(foto- සෙරාන් එච්. ගමගේ) |
“බඩගිනිද?’ අපට තවත් ප්‍රශ්නයක්.
“අපි බත්තලංගුණ්ඩුවට ගිහිල්ලම බත් කමු නේද? දැන්... තව මොනවත් ප්‍රශ්න තියෙනවද?”
මට දැන් තිබෙන ප්‍රශ්නය ඉස්සෙල්ලාම කිව යුතුය.
අපේ ගමන පටන් ගත්තා විතරයි වගෙය. තවම පළමු දවසේ මුල් භාගය ගැන විතරය මං කියා
තියෙන්නේ. ඉතිරිවා ලියන්නට තව එක කොටසකින් හැකි වේවිද? ලියලම එපැයි බලන්න, නේද....
එතකල්...
බත්තලංගුන්ඩුවට කිහිප සැරයක්‍යන්න හදලා තාම යන්න බැරිවුනු බකට් ලිස්ට් එකේ තියෙන තැනක්. දූපටට ගිහින් බත් කමු කිව්වේ නැත්නම් කස්ටිය බෝට්ටු ගැට්ට අල්ලන් මාලුන්ට කන්න බත් දාන්න ගන්න හින්දාවෙන්නැති.
ReplyDeleteඅසංග, බත්තලංගුණ්ඩුව විතරක් නෙවෙයි අපි ගියේ..... ඒ විස්තරත් කියන්නන්. මේක යන්න වටිනා ගමනක්.
Deleteබෝට්ටුවේ යද්දී ගැට්ට අල්ලන් බත් කන්න ගත්තා නං බත් කොහොම වෙතත් කන්න ගිය අපිත් මුහුදේ තමයි.
බෝට්ටුවේ යන ගමන් බත් කන්න නොවෙයි කිව්වේ. බත් කාලා බෝට්ටුවේ ගියා නම් කාපු බත්ටික මාලුන්ට කන්න දැමීම.එකත් තේරුනේ නැත්තම් බෝට්ටු ගමනේදී සී සික් හැදිලා වමනේ යාම ගැනයි කිව්වේ...
Deleteබොලේ හැබෑට, දැනුයි වැටහුණේ.
Deleteඅසංග, ඔයා අත්දැකීම් සහිත මුහුදු යාත්රිකයෙක් බව කල්පනා වෙන්නේ නැහැනේ.
අපි බෝට්ටුවල මුහුදු ගමන් කිහිපයක්ම ගිහින් තිබුනත්, වාසනාවට වගේ කාටවත්ම sea sick හැදුණේ නැති නිසා ඒ ගැන කල්පනා වෙන්නෑ.
නියම ගමනක් නොවැ...
ReplyDeleteඔව් නමී. සුප්පා!
Deleteහ්ම්....තල්මේදා. අමුතුම නමක්. අන්සතු දිනපොතෙත්, බත්තලං ගුණ්ඩුව ගැන තිබ්බද කොහෙද? ඒ නමෙත් මොකක් හරි තේරුමක් ඇති නේද?
ReplyDeleteඅල්මේදා Almeida කියන පෘතුගීසි / ස්පැනිශ් නමෙන් ආපු එකක් වෙන්න පුලුවන්. හැබැයි ඔය වේරියේශන් එක ඒ රටවල නෑ මං හිතන්නෙ. ලංකාවෙ වෙනස්වෙලා හැදුන එකක් වෙන්න ඕනෙ.
Deleteඅල් මයිදා - Al Maida, මුලින්ම අරාබි වචනයක්... පස්සෙන් පහු පෘතුගීසි
Deleteඊයේ රෑ ප්‍රියංකර තල්මේදාගෙන්ම නම ගැන අහගන්න හිතාගෙන ටෙලිෆෝන් කළා. එයා කට්ටියක් එක්ක බත්තලංගුණ්ඩුවේ camping එකකට ගිහින් හිටියේ. පස්සේ ඒ ගැන අහලා බලමුකෝ.
Deleteප්‍රයිවට් හොස්පිටල් වල දොස්තරලාගෙ රෙකමදාරු අපි විමසලා නොබැලුවොත් ලෙඩාටත් සාක්කුවටත් බඩුම තමයි. නිමල්ගෙ වාසනාවට යාලුවො හොයලා බලනවා.
ReplyDeleteඔව් චමී, එයාලා නැත්තන් මම මෙලහට අඩි හයක් යටට ගිහින්!
Deleteබත්තල්ංගුඩුව කියලා පොතක් තියෙනවා නේද මංජුල වෙඩිවර්ධන ලියපු. නිමල්ලා ගියෙ එහෙද එතකොට.
ReplyDelete'අටාරා ලැගූන් එකට අපේ නඩය හමු වෙන්නට ආවා වුණත්, ඔබ අමුතුවෙන් සැරසී සිටියේ නැත' ඉතින් ඒ මනුස්සයා ටයි කෝට් ඇඳගෙන එයි කියලද නිමල් හිතුවෙ.
මංජුලගේ පොතේ කියන්නේ මේ බත්තලංගුණ්ඩුව ගැන තමයි. මමත් ඒ පොත කියෙව්වා කාලෙකට කලින්.
Deletelotus, සාමාන්‍යයෙන් හෝටලෙකට අමුත්තෝ එද්දී ටිකක් පිළිවෙලකටනෙ එන්නේ. ඒකයි මට එහෙම හිතුණේ. (මගේ ගොන්කම.) එයා ඇවිත් තිබුණේ බෝට්ටු සවාරියට යන්න බලාගේනමයි කියලා තේරුණේ පස්සේ.
නිමල්ගෙ ‘ගොන් කම' නෙවෙයි. අපි ඕනෙ කෙනෙකුට එහෙම හිතෙන්න පුලුවන්.
Deleteසාමන්‍යයෙන් ලංකාවෙ ඔය වගේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ අය තමන්ගෙ වැඩේ ගැන ඉතා හොදින් පුහුනු වෙලා ඉන්නවා වගේම, පාරිභෝගිකයින්ට සතුටු වෙන්න පුලුවන් සේවාවක් දෙනවා කියන එක තමයි මගෙත් නිරීක්ෂණය. මගේ අත්දැකීම් සීමිත ඇති, නමුත් මම ඉතාම අගය කරන දෙයක් තමයි සංචාරක හෝටල් වල අවුරුදු දහ අට, විස්සෙ හොඳටම තරුන ලමයි පවා අපි ඉංග්‍රීසියෙන් කතාකලොත් පැකිලීමක් නැතුව ඉංග්‍රීසියෙන්ම සෑහෙන හොඳින් කතා කරන එක. මමනම් ලංකාව ගැන හුඟක් සතුටු වෙන්න දෙයක් ඒක.
ඔව් Lotus, ඔයා හරි. ප්‍රියංකරලාගේ සර්විස් එක ඉතාම තදින් මගේ හිතට වැදුණා. අපි
Delete(වැරදිලා පබ්ලිෂ් එබුනා.. මෙන්න ඉතිරි ටික.) තරුණ පරම්පරාවේ ප්‍රගතිය ගැන සෑහෙන්න සතුටු වෙන්න ඇහැකි. වයසට යන්න යන්න අපේ ආත්මාර්ථකාමී ගති වැඩි වෙනවද මන්දා.
Deleteඒ ගැන තියෙන ඉතාම අප්‍රසන්න මතකයක් කිව්වට කමක් නැහැනේ.
2008-9 වගේ අවුරුද්දක අපේ අම්මත් ලංකාවට ආව වෙලාවක අපි යාල, වරහන camping කරන්න book කළා. එහාටම ගියාට පස්සේ කියාපි 'පාද යාත්‍රාවේ එන පිරිස නිසා අපිට වරහන නවතින්නට ඉඩ දෙන්න බැහැ'යි කියලා. පස්සේ දවසක් ඒ වෙනුවට දෙන්නම් කියලත් කිව්වා.
මං පොඩි කොක්කක් දාගත්තා. එහෙම නං අපට කලින් දන්වන්නට එයාලට යුතුකමක් තිබෙන බවත්, කොළඹ සිට දුර ගෙවාගෙන ආ වියදම- කාලය අපතේ බවත් කිව්වා. ඒ පාර මගෙන් ඇහුවා වෙන වතුර පාරක, පුළුල් වැලි තලාවක කෑම්පින් කරන්න කැමතිද කියලා. මම හා කිව්වේ පැනලා.
අපි එතන නැවතුණා. පොඩි පොද වැස්සක් වැටුණා හවස හතට විතර. මෙන්න බොලේ වැල්ලෙන් (මේරු මතු වෙනවා වගේ) කුරුමිණි සත්තු වගයක් මතු වෙන්න ගත්තා. ට්‍රැකර් කිව්වේ 'කැකිරි ඉබ්බෝ' කියලයි. එදා රෑ අපිට ලන්තාරුමක්වත් පත්තු කරගන්න බැරි වුණා. අර සත්තු නහයේ- කටේ- කනේ හිට රිංගන්න ගත්ත. ඈතින් ගිනි මැලයක් ගහලා ඒ එළියෙන් තමයි අපි රෑට කෑවෙත්.. එදා රෑ ඉහේ හිට පොරවාගෙන- දාඩියෙන් තැම්බි තැම්බී තමයි අපි කට්ටිය වැල්ලෙ නිඳා ගත්තෙත්.
උදේ බලනකොට අපේ ට්‍රැකර් විතරක් යස අගේට පෙරවාගැනිල්ලක් නැතිව නිඳි. මිනිහගේ පැදුර වටේට කොහොඹ අතු පේලියට තියාගෙන. එතකොට කැකිරි ඉබ්බෝ ළඟට එන්නේ නැතිලු.
හැබැයි, අපි දහ දෙනෙක් රෑ තිස්සේ වද විඳිද්දී මිනිහා නෙවෙයි, අපිට ඒ කෙම කිව්වේ. තනියම හොරාට කොහොඹ අතු දාගෙන බේරුණා මිස!
ඒක නම් ඉතාම නරක අත්දැකීමක්. මම නම් කිව්වෙ ඉතාම සීමිත, මෑත කාලයේ (කොවිඩ් වලට පොඩ්ඩක් කලින්) අත්දැකීම් වලින්. නිමල්වගේ නිතරම ඇවිදින කෙනෙක්ගෙ අත්දැකීම් එක්ක සන්සන්දනය කරන්න බෑ.
Delete('කුරුමිනියාස් රෑ තිස්සෙ ගෝ ඇටෑක්' වෙලානේ).
නරකයි නේන්නං lotus!
Deleteමං දැකලා තියෙන නරකම ට්‍රැකර්. වාසනාවට අපිට හමු වෙන වෙන ට්‍රැකර් මහත්වරුන් ගොඩාරියක් ගොඩක් හොඳ අය.
හෙනහුරා බැරිනං උගේ මහ එකා උනත් කමක්නෑ මේ එක්තැන් වෙලා ඉන්න අපිවත් ඔහොම ඇවිද්දෝනවනං. :D
ReplyDeleteගමනෙ ඉතුරු විස්තරෙත් දාමු.
අපොයි ප්‍රසන්න මහත්තයෝ කට, කට. ඉතිරි හරියත් කියනකල් ඉන්නකෝ. කට වරද්දා ගන්න එපා. හෙනහුරු ගුණ්ඩුව අඹරපු හරියට මං තවම ආවේ නෑ.
Deleteසෙනසුරා කොහෙද ඇවිද්වන්නෙ? එයා කරන්නේ අණ්ඩක් කඩල පැත්තකට කරල තියෙන එකයි මේ මට වෙලා තියෙනව වගේ.
Deleteඇවිද්දවන්නෙ රාහු. එයා හරි ඔළුවක් නැති කෙනෙක්. නිකං වටපිට බලබලා ඇවිදින එක විතරයි. ඵලයක් හරිම අඩුයි.
අමාරුවෙන් උණත් මේ ටික කෙටුවෙ වැරදි දේවල් සමාජගතවීම වලක්වන අදහසින් මිස බ්ලොගයට අනතුරක් කරන අදහසකින් එහෙම නෙවෙයි.
මේ වගේ දේවල් කියන්න පුළුවන්කම ලැබෙන්නෙත් අරෙහෙම දේවල් නිසා තමා. ඒකට පිං!
හරිම අපූරුයි අනුර!
Deleteඔයා හොඳටම දන්නවනෙ, මං හරිම කැමතියි හරියටම නිවැරදි දේවල් සටහන් වෙනවට. වැරදි දේවල් එහෙමම තියෙන්න හැරියොත් ඒවා තවත් පැතිරෙනවා.
ඔය හෙනහුරා ඇවිද්දවන කතාවත් ඒ වගෙයි, පොතකින් නෙවෙයී මගේ දැනීමට එකතු වුණේ. කට වහරෙන්. ඇසීමෙන්.
දැන් ඒ කතාව වැරදි බවත්, එහෙම රස්තියාදු ගැස්සවීමට වග කිව යුත්තා රාහු බවත් කිව්වාට බොහොම ස්තුතියි!
සේරටම වඩා ස්තුතියි, පොඩි අනතුරකට මුහුණ පාලා ලියන වැඩ නොකර ඉන්න අතරේ අමාරුවෙන් හරි මගේ වැරැද්ද පෙන්වලා දුන්නාට.
ඉක්මන් සුවය ලැබේවා කියලා blogs කියවන හිතවතුන් හැම වෙනුවෙන්ම පතනවා!
ඉක්මනින්ම 'ජිනාගේ කොළම'ට අලුත් ලිපියක් වැටේවා!!
ඔන්න මාත් අනුරතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා හිට ආයෙ ඇවිදින් blog ලියන්ටත් හැකි වේවා කියල......
DeleteThis comment has been removed by the author.
Deleteඅනුර වෙනුවෙන් ස්තුතියි කියන්නං නමී. අතක ආබාධයක් නිසා අනුර මේ දවස්වල ලියාගන්න බැරිව ඉන්නේ...
Deleteනිදි සැපෙන් සනීපෙන් ඉන්න එක ගැන සතුටුයි. බත්තලන්ගුන්ඩු යන්න ඕනේ ඊළඟ පාරවත්. වෙඩ්ඩා ගේ පොත කියව්වහම හිතුන ඒ කාලෙම.
ReplyDeleteඅජිත්. ඊයේ රෑ දොස්තර මහත්තයා අපේ ගෙදර ආවා දූලා තුන් දෙනාත් එක්ක. බත්තලංගුණ්ඩු ගමනට ගිය දූලා දෙන්නම කියනවා 'අද වුණත් ආයෙම එහාට යන්න තියෙනවා නං යනවා. එච්චරට ලස්සනයි, ආසයි' කියලා.
Deleteහූම්ම්...
ReplyDeleteගමන් යාම අපටත් ලොකු සතුටක් ය
කලින් ගිය මතක තවමත් රසවත් ය
ගමන් සගයො ලැබෙනා එක පෙර පින් ය
ලබන් නෙනම් හෙනහුරු වුව සැපතක් ය
තැනින් තැන වෙනස් දේ නෙත ගැටෙන විට
ReplyDeleteපළින් පළ නොයෙක විසිතුරු පෙනෙන විට
වරින් වර ගමන් යන පින ලැබෙනකොට
දිවිය අලුත් වෙනවා වගෙ දැනෙයි මට!
නිදි මාමෙ, ඔය අමුතු ගුණ්ඩුව මොකක්ද හැබෑටම🙄
ReplyDeleteඒක නං නවීන් පුතේ දැනගන්න වෙන්නේ කොටස් 4ම කියවලා බලලයි. 4 තාම ලියනවා!
Deleteඒකත් එනකල්ම බලාගෙන ඉන්න වෙනව එහෙනම්...
Deleteහිනා කතා ලියපු නැවැතුවද නිදි මාමෙ😞
හිනා කතා විදිහට ඉදිරිපත් කලේ මගේ පොත් දෙකක තිබුණු එව්වානේ. දැනට එච්චරයි, මගේ ලග එකතු කරපු තව කතා ගොඩක් නම් තියෙනවා, නවීන්.
Deleteතව තියෙනවා නම් එච්චරයි ඉතින්😁😁😁 හිමීට ඒවත් ලියමුකො එහෙනම් මාමේ😁😁😁
Delete