li Item

Sunday, November 29, 2020

යුවති කිරිල්ලී - සිව්වෙනි කොටස

කෙනෙකුට තමන්ගේ අත්දැකීම්වලින් මිදෙන්නට හැකිද?

නිර්මාණයක් කරද්දී හෝ ජීවිත විස්තරයක් කරද්දී හෝ කෙනෙකුට තමන්ගේ අත්දැකීම්වලින් මිදෙන්නට හැකිද?

සාමාන්‍ය කතාබහේදී පවා අපෙන් එළියට එන්නේ අපේ ජීවිතයයි! හැබැයි එහෙම ඒවා වටහා ගන්නට නම් ඔබ ‘Tube Light’ එකක් නොවිය යුතුය; හොඳ මීටරයක් ඇති කෙනෙකු විය යුතුය; කියන්නාගේ frequencyයටම අසන ඔබේ ෆ්‍රීකුවන්සියත් ‘සුසර’ කරවාගත යුතුය!

ඉතිං....

ගෙදරට පැමිණි චන්ද්‍රක්කාට යන්නට නොදුන්නේ මාලතී විතරක් නොවේ. සිසිලියානාත් එසේ කළේ මෙසේ කියමිනි.

“හිටිං දුවේ, මං කේතලේ ළිප තිබ්බා. වතුර පැහෙනවද කොහෙද... මං තේ ඩිංගක් හදන්නම්කො...” සිසිලියානා දුම් ගෙට ගියේ කඩිනමිනි.

“ඒක නෙවෙයි චන්ද්‍රක්කා, මං බලං හිටියේ අපෙ අම්මා යනකල්... අද නං චන්ද්‍රක්කගේ මූණ එළිය වෙලා. ඈ අක්කා... අපෙ අයියා අක්කට ලියුං එව්වෙ නැත?”

කට කඩනවා උඹේ... නැන්දව ඇවිස්සුවොත්....

“උඹල අයියගෙ වැඩේ ඉතිං මට ලියුං ලිය-ලියා ඉන්න එකනේ. වික්‍රමට වෙන රාජකාරි නැහැනෙ කරන්න.”

මැඩගෙන සිටි සිනහව පුපුරා ගියෙන් චන්ද්‍රා කතාව නැවත්වූවාය. මාලතී හිස ඔසොවා බැලුවේ සතුටෙනි. “ඔන්න අපෙ අම්මා, අපෙ අයියා ච...”

යුවතිය මාලතීගේ කෑ ගැසීම අවසන් කරන්නට ඉඩ දුන්නේ නැත. දකුණතින් මාලතීගේ කට වසා, වමතින් මාලතීගේ නහය මිරිකූ චන්ද්‍රා තර්ජනයක්ද කළාය. “කට කඩනවා උඹේ... නැන්දව ඇවිස්සුවොත්....”

තේ කෝප්ප දෙකත් රැගෙන එමින් සිටි සිසිලියානා දෙදෙනාගේ දබරය දුටුවාය. මුවින් පමණක් නොව දෙනෙතිනුත් සිනාසෙමින් ඈ යුවතියන් දෙදෙනා දෙස බලා සිටියේ උතුරා යන තරමේ මව් සෙනෙහසකිනි.

“මේ දවස්වල ඉතිං අපෙ මාලතී දූටත් රජ සැපනෙ දුවේ.... කකුල ඇමැට්ටි වෙලා හිංදා මාත් ඔහේ ඔක්කොම රාජකාරි කරලා දෙනවා.....”

“අනේ අපෙ අම්මා, ඔහොම කියන්න පව්!”

පුත්තර රත්නෙගේ එංගලන්තේ ඉගෙන ගැනිල්ල ඉවරෙටම ඉවර කරලද.....

“ඇති, ඇති. උඹේ බොරු අනුකම්පාව....” සිසිලියානා තරහවක් පෑවාය.

“ඈ දුවේ, වික්‍රම පුතා ලියුං එවල තිබුණය?”

විළිබර සිනහවක් චන්ද්‍රාගේ මුවගට නැඟිණි.

“හ්ම්.... එයා සනීපෙන් ඉන්නවලු නැන්දා.... මේ දවස්වල නං ඉතිං කරදරයක් නෑලු සටන් විරාමේ හින්දා.... නැන්දලාටත් බය නැතිව ඉන්නලු. ඉක්මනටම තව ලියුමක් එවාවි නැන්දා....”

“අනේ, මයෙ කොල්ලට දළදා හාමුදුරුවන්ගේ පිහිටාරස්සාවෙන් කිසිම අපල-උපද්‍රාවක් වෙන්න එපා!”

******

“එතකොට පුත්තර රත්නෙගේ එංගලන්තේ ඉගෙන ගැනිල්ල ඉවරෙටම ඉවර කරලද ඔය ඇවිල්ලා ඉන්නේ...?”

හාන්සි පුටුවේ වාඩි වී සිටි දන්තුරේ බණ්ඩාර දෙකකුල් පුටුවත උඩින් තබා ගත්තේය. ඔහු මෙතෙක් වෙලා සිටියේ කල්පනා කරමිනි. බිරිඳ මේ ගැන යමක් දනිතැයි ඔහුට හැඟේ. තමා කෝප වෙන විදිහේ යමක් වෙතොත් එය කියන්නට කුමාරිහාමි මැළි වෙන බවත් ඔහු දනියි.

දෙබැම ඝනව වැඩී නළල මැදින් යා වී තිබුණේ ඔහුගේ ප්‍රතාපවත් පෙනුම තවත් වැඩි...

කුමාරිහාමි එක වරම කතා කළේ නැත. දන්තුරේ බණ්ඩාරගේ තියුණු බැල්මට හසු නොවන සේ දෙනෙත් වෙනතකට යොමු කළ ඇය කල් ගත්තාය. ‘අප්පොට කේන්ති ගිහිලද මන්දා....’ ඈ හොරැහින් සැමියා දෙස බලමින් ඔහුගේ හැඟීම් වටහා ගන්නට තැත් කළාය.

දන්තුරේ බණ්ඩාර මනාව වැඩුණු සිරුරකට හිමිකම් කියූවෙකි. වඩා පැහැපත් නොවූ ඔහුගේ සම කළුවන් එකක්ද නොවේ. මුළු ගතම පාහේ රෝමයෙන් වැසී තිබීම දන්තුරේ බණ්ඩාර පෙළපතේ පිරිමින්ට ආවේණික වූ ලකුණකි. අප්පෝ විටෙක ඒ ගැන උද්දාමයට පත් වීමටද පුරුදුව සිටියි.

“ඈ මැණිකේ... පුතා මොකද කියව්වේ?”

කුමාරිහාමි තවත් වරක් ඔහු දෙස බැලුවාය. සැමියාගේ, මනාව තෙල් ගා පිටිපසට පීරා ඇති කෙහෙ රැලිවලට විදුලි එළිය වැදී පරාවර්තනය වන්නේ දිස්නයක් විහිදුවමිනි. අප්පොගේ දෙබැම ඝනව වැඩී නළල මැදින් යා වී තිබුණේ ඔහුගේ ප්‍රතාපවත් පෙනුම තවත් වැඩි කරවාලමිනි.

“දූලගෙ අප්පච්චි ඩිංගිත්තක් ඉවසලා ඉමුකො.... දන්නවනෙ, පුතණ්ඩියත් ඉතිං අප්පච්චි වාගෙම බව. මයෙ පුතා ඔය තකහනියක්ම ඇවිල්ල ඇත්තෙත් නිකම්ම වෙන්ඩ බෑ.”

පොඩ්ඩක් ඉවසලා ඉමු දෙයියෝ!

“ඒකම නේන්නං මාත් මේ දැනගන්ඩ තනන්නේ...”

එවර අප්පොගේ කටහඬ මඳක් දැඩි වී තිබිණි. කුමාරිහාමි පරීක්ෂාවෙන් සැමියා දෙස බැලුවාය. දන්තුරේ බණ්ඩාරගේ දෙනාසා පුඬු නළියමින් තිබේ. සැමියා කෝප වී තිබෙන බව කියවෙන හොඳම ලකුණ එය බව කුමාරිහාමි දනී.

“පොඩ්ඩක් ඉවසලා ඉමු දෙයියෝ! මයෙ පුතා හිච්චි එකෙක් නොවෙනකොට ආයෙ කලබල වෙලා පුළුවන?”

“මැණිකේ, ඒ හින්දම තමයි අපි ඕවා හොයල බලන්න ඕනැත්. දැන් කාලේ හැදෙන එකාලා තඹ සත පහකට මායිං කොරන්න බෑ. මොකුත් කරදරයක් හෙම නං, විපත්තියක් හෙම නං බල-බලා ඉඳලා, නහය ළඟටම ගිලුණාම හොයලා වැඩක් ඇතිය.... දෙමව්පියන්ගේ යුතුකම දරුවෝ ගැන හොයලා බලන එක.”

“ආයෙ කවුද නෑ කියව්වේ? ඉන්ඩකෝ... එක පාරටම ඔව්වා ඔය කියන කලබලේ අහන්ඩ ගිහිල්ලා....”

අම්මයි අප්පච්චියි දෙන්නාම ලීලෙ පෙන්නලා බෑ....

“එක පාරට බැරි නම් තුන්-හතර පාරකට හරි කමක් නෑ, අහලා බලමු. හැබැයි එහෙම නාහා ඉඳලා ඕං පස්සේ මං පුතණ්ඩියත් එක්කලා ඔව්වා කතා කරන්න ගියාය කියලා නොරොක් වෙනවා හෙම නෙවෙයි.”

සැමියා අනතුරු අඟවන්නේ ආවාට-ගියාට නම් නොවේ. අප්පොත් ධනුෂ්කත් එක කරුණක් ගැන කිසිම විටෙක සමාන අදහස් නොදැරූහ. දෙදෙනාම එකිනෙකා නුරුස්සතියි සිතෙන තරමට ගැටුම් ඇති වුණත්, දන්තුරේ බණ්ඩාර තම එකම පුතුට බෙහෙවින්ම ඇළුම් කළේය. ඒ රහසිනි.

“අම්මයි අප්පච්චියි දෙන්නාම ලීලෙ පෙන්නලා බෑ. මැණිකෙගේ ආදරේ පෙන්නුවාම ඇති. අඩුම ගාණේ අප්පච්චිටවත් බය පක්සපාතකමක් ඇතුව දරුවො හැදෙන එක තමා හොඳ!” ඔහු කුමාරිහාමිට තමාගේ දහම පවසා තිබුණේ දෙදරුවන් කුඩා සංදියෙදීමය.

ධනුෂ්ක උසස් අධ්‍යාපනය ලැබීම අතහැර දමා ලංකාවට ආවේ ඉතා හදිසියෙනි; අනපේක්ෂිත අයුරකිනි. ගහෙන් ගෙඩි එන්නාක් මෙන් කෙරුණු ඒ ගමන ගැන කිසිවෙකුත් දැන සිටියේ නැත. අඩුම තරමින් එසේ ආවේ මන්දැයි කීමටවත් ඔහු නොසිතූ සෙයකි. ඒ ප්‍රශ්නය මතු වුණු විටෙක පවා ධනුෂ්ක හීන් සීරුවේ මඟ හැර යන්නට පුරුදුව සිටී.

“දූලගෙ අප්පච්චි ඕං ඔහොම දුර-දිග බලලා වැඩ කරනවා නං මං හරී කැමති.... එතකොට පුතණ්ඩියත් හැදෙයි.... බෙලිමල් වගයක් තම්බලා ඇති. ගේන්ඩය?”

උඹලගෙ අම්මට කියාපං මං පිං දුන්නාය කියලා. දැන් ඉතිං....

කිතුල් හකුරු කැබැල්ලක් විකා බෙලිමල් තැම්බූ වතුර බීමට ඔහු ඉතා කැමති බව දන්නා කුමාරිහාමි, පිළිතුර ලැබෙන තුරු පමා නොවී ගෙට ගියාය.

******

“ඕං මං ආවා......! නැන්දා, මේං මේකත් අපෙ අම්මා දෙන්ඩ කීවා....” චන්ද්‍රා කුඩා පාර්සලයක් මේසය මතින් තබමින් කිව්වාය.

“මොනවද දුවේ?”

“කිතුල් පිටි වගයක් නැන්දා. ළඟදී අප්පච්චි කිතුල් ගහක් කැපුවා...”

“අනේ දුවේ, උඹලගෙ අම්මට කියාපං මං පිං දුන්නාය කියලා. දැන් ඉතිං මේ වගේ එව්වා හැදෙන්නේ කලාතුරකින්නෙ. හැමෝටම වැඩ වැඩි හින්දා.... අපෙ දූලගෙ අප්පච්චිත් මෙව්වාට හරී කැමති. උන්දැට පිත තියෙන නිසා මේක අපූරු අවුසදය නෙව!”

“චන්ද්‍රක්කේ, අනිත් දවසේ අපෙ අම්මටත් ඕනි කරන අවුසදයක් තියෙනව, ගේන්ඩ හොඳේ?” මාලතී කීවාය.

අපිව දැන් තියාම කෝලමකට අරංනේ...

“මං උඹට දෙකක් දෙනව දැං.... මේකි ගාණට වැඩියි දුවේ.... තිස්සෙම මාව කේන්ති ගස්සනවා.... අපිව දැන් තියාම කෝලමකට අරංනේ...”

“මං කිව්වේ අපෙ අක්කා. ඔය අර අසනීපෙ තද වෙලා. කටු කොහිල...” යුවතියෝ දෙදෙනාම සිනහසෙන්නට වූහ. සිසිලියානාත් පසෙකට හැරී සිනා වූවේ දියණියට මුහුණ නොපෙනෙන ලෙසිනි.

“එහෙනං දුවේ, මං විගහිං නාලා එනකං නංගිත් එක්ක ඉඳිං තරහ නැතිව.”

“ඉඳා! ඒකටද මේ චන්ද්‍රක්කා ආවේ? මීට ඉස්සෙල්ලත් අපෙ අම්ම නාන්න ගියේ මට තනියට අයව නවත්තලද?”

“බලාපං දුවේ, මේකිගෙ කකුල හොඳ නැති නිසාය කියල හොඳ හිතිං කරන්ඩ ගිය දේත් පේන්නෙ වැරදියට...”

“මේකිට පිස්සු නැන්දා... නැන්ද ගිහින් එන්ඩ...” චන්ද්‍රා මාලතීට ටොක්කක් ඇන්නාය. කිළිටි රෙදි පිරවූ බාල්දියත් අතින් ගත් සිසිලියානා පෑල දොරින්ම පිටවී ගියේ දුවන-නොදුවන තරම් වේගයෙනි.

“චන්ද්‍රක්කෙ, අම්මා ගියා නේද?”

“මොකෝ?”

උඹ දන්නවද මෝඩියෙ ඒ කවුද කියලා?

“බඩ්ඩක් කියන්නං?”

“......”

මාලතීගේ කතාවට චන්ද්‍රා සවන් දීගෙන හිටියේ කුතුහලයෙන් දැවෙමිනි. අවසානයේදී ඈ කතා කළේ අවවාදාත්මකවය.

“එහෙනං එහෙමයි මේ අඩව් ඇල්ලුවේ....? ඇත්ත කියාපං... ඔච්චරමද වුණේ? ඔන්න හංගලා හෙම පස්සේ අහු වෙන්ඩ එපා!”

“බුදු හාමුදුරුවන් පල්ල ඔච්චර තමා අක්කා.” මාලතී දිවුරුවාය.

“උඹ දන්නවද මෝඩියෙ ඒ කවුද කියලා?”

“කවුද අක්කෙ ඒ?”

“ඔය ඇත්තටමද උඹ අහන්නේ? උඹ තාම දන්නෙ නෑ ඒ දෙන්නා කවුද කියලා....”

“ම්හු!”

“යකෝ, ඒ ධනුෂ්ක අප්පොයි මිලින්ද මහත්තයයි!”

“අප්පො එංගලන්තෙලුනෙ....!”

නිතරම ගෙදරින් පිටව නොයන මාලතී ගමේ තොරතුරු දැන සිටියේ අඩුවෙනි. සිසිලියානා වුවද ගෙවත්තෙත් ගෙදරත් වැඩටම කල් ගත කළා විනා බැහැර නොගියාය.

කවුරුවත්ම නැති වෙලාවක් එනකං....

“ගිය සුමානේ ධනුෂ්ක අප්පෝ හදිස්සියේ ආපහු ඇවිල්ලා.... මිලින්ද මහත්තයත් මේ දවස්වල වලව්වෙ ඉන්නවලු. ඇයි, උඹ අඳුරන්නේ නැතිය?”

“පුංචි දවස්වල දැක්කට පස්සේ දැකල නෑ අක්කෙ. මිලින්ද මහත්තයය කිව්වෙ එරන්දතී කුමාරිහාමිගෙ මහත්තයාගෙ මල්ලිනේ? එයාව නං දැකලම නෑ, අහල තියෙනව මිසක්ක.”

“ඔය දන්න හරිය මදැයි... එතකොට කවුද පහළට බැහැල ආවේ.... එයා කොයි වගේද කියපංකො බලන්ඩ...”

චන්ද්‍රා හොඳින් සවන් දුන්නාය.

“අඩමානයක් නෑ, ඒ ඇවිත් තියෙන්නේ ධනුෂ්ක අප්පො! හැබැයි කෙල්ලේ, විල්මට් මාමා හෙම ඕක දැන ගත්තොත් උඹව පට්ට ගහයි... දන්නවනෙ, මාමා අප්පොලත් එක්ක ආස්සරයක් නැති බව... බලාගෙනයි!”

“පිස්සුද අක්කෙ? ඒකමයිනේ මං මෙච්චර දවසක් අක්කා එක්ක මේක කියන්නත් බල-බලා හිටියේ- කවුරුවත්ම නැති වෙලාවක් එනකං.”

‘ඉටු-අනිටු’ ගණ පිළිබඳව තරමක පැහැදීමක් මටත් තිබේ. ඒ හැඟීම ඇති වුණේ ‘දිනමිණ’ පත්තරයට නම තැබීම ගැන....
“ඒක නං හොඳයි....! හැබැයි නංගියේ, මං නම් උඹට කියන්නේ- ඇඟට ගුණයි ආයෙමත් ඔය වෙලාවට ඇල්ලට නොගිහිං ඉන්න එක.”

එය මාලතී බලාපොරොත්තු නොවූ අවවාදයකි!

******

“අයියේ.... තමුසෙ මේවා විශ්වාස කළත් නැතත් කමක් නෑ. ඔයා ලියන පොතට නමක් දාද්දී හොඳ එකක් දානවා. නියම හාමුදුරු නමක් ඉන්නවා පිළියන්දල පන්සලක. අපේ ගෙදර plan එක බලලා කිව්වා ගෙදර නිතරම ලෙඩ-දුක්-අවුල් තියෙනවය කියලා.... බිත්තියක් කඩලා උළුවස්ස මාරු කරන්නත් කිව්වා.... යං ඒ හාමුදුරුවෝ මුණ ගැහිලා හොඳ නමක් තෝරාගන්න.” අපේ සුනිල් මට අවවාදයක් දුන්නේය.

ඕනාවට වඩා විශ්වාස නොකළත් ‘ඉටු-අනිටු’ ගණ පිළිබඳව තරමක පැහැදීමක් මටත් තිබේ. ඒ හැඟීම ඇති වුණේ ‘දිනමිණ’ පත්තරයට නම තැබීම ගැන කියවා තිබුණු විස්තරයක් හින්දාය. එහෙම කියෙව්වේ කොතැන තිබිලාද කියා නම් මතක නැතිය.

ඒත් හොයා බලද්දී අහු වුණේ, ඒ විත්තිය අන්තර්ජාලයෙත් තියෙනවා කියලාය.

“එවක විද්‍යාලංකාර මහා පිරිවෙනේ අධිපතීත්වය හෙබවූවෝ ප්‍රමුඛ පෙළේ පැවිදි පඬිවරයාණ නමක වූ සාර්ව භෞම පණ්ඩිත රත්මලානේ ශ්‍රී ධර්මාරාම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේය.

පරම විඥානාර්ථ බෞද්ධ සමාගම් ප්‍රධානීන් තමා සඳරැසින් ඉවත් කළ නමුත් මෙතෙක් පවත්වාගෙන ආ ලේඛන කාර්යය අත්හැරීමට සූදානම් නැති බවක් පිරිවෙන්පති හිමියන් හමුවේ පැවසූ පෙරේරා මහතා නව පුවත්පතක් ඇරඹීමේ තම අදහස මුල්වරට හෙළි කළේය. අභිනව පුවත්පතට නමක් යෝජනා කරන ලෙසද ඔහු නාහිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

හාමුදුරුවන් වහන්සේ හොඳය කියුවේ ‘යුවති කිරිල්ලී’ නමය! (මුද්‍රණ දෙකක් පළ විණි.)

පෙරේරා මහතා සඳරැසින් ඉවත් කිරීමේ පසුබිම් කතාවත් නව පුවත්පත ඊට විකල්පයක් ලෙසින් බිහි කිරීම පිළිබඳවත් ගැඹුරින් කල්පනා කළ ධර්මාරාම නාහිමියෝ සඳරැසට විරුද්ධව නම් හොඳ දිනමිණ කියා නොවැයිගත් කටටම පවසන්නට යෙදුණාහ. මේ කතා ප්‍රවෘත්තියට අනුව දිනමිණ පුවත්පතේ උත්පත්ති ස්ථානයත් ඊට නම් තැබීමත් සිදුව ඇත්තේ විද්‍යාලංකාර පින් බිමේදීය.

ක්ෂණිකව තීන්දු කෙරුණක් සේ දිස්වුවද ශ්‍රී ධර්මාරාම නාහිමියන් ලබා දුන් දිනමිණයන අකුරු සතර සිංහල ශබ්ද ශාස්ත්‍රයටත් අක්ෂර විද්‍යාවටත් අනුකූලවූ ද පුවත්පතකට අන්වර්ථ වන අන්දමේ අරුතකින් ද යුක්ත වූවකි. දිනමිණ පුවත්පත මේසා දීර්ඝ කාලයක් මෙරට දනන් තුඬඟ රැව් පිළිරැව් දෙන නමක් බවට පත්ව තිබීම ම ඊට සාක්ෂ්‍යයක් වැන්න. 

“හාමුදුරුවෝ ගණ ගැන දන්නවා වුණාට මගේ පොතට නමක් යෝජනා කරන්නේ කොහොමද පොත කියවන්නේ නැතිව....” මම සුනිල්ට කීවෙමි.

“ඉතිං අයියට පුළුවනිනේ නම් කීපයක් හදාගෙන යන්න.... එතකොට හාමුදුරුවෝ හොඳ එකක් තෝරලා දෙයිනෙ.” අපේ ලොකු නෑනා; මල්ලිකා යෝජනා කළේ එතකොටය.

හාමුදුරුවන් වහන්සේ හොඳය කියුවේ ‘යුවති කිරිල්ලී’ නමය!

උඹලගෙ අම්මාට දැං කීයක් විතර ඇද්ද? උන්දැට තාමත් යස අපූරුවට ඇසුත් පේනවා නේද...?

පොත පළ වුණාට පස්සේ සිංහල ගුරුතුමෙකු මේ නම ගැන කියා එව්වේ, මං නොදැන හිටි කාරණයකි. එතුමාට අනුව යුවති, කිරිල්ලී වචන දෙකම ස්ත්‍රී ලිංගික වදන්ය. එබැවින් වඩාත් යෝග්‍ය වන්නේ ‘යොවුන් කිරිල්ලී - යෞවන කිරිල්ලී’ වැනි නමක් යෙදීමය!

ඊට පසුව මුද්‍රණයකදී හෝ ඒ විදිහට නම වෙනස් කරන්නට මට හිතුණේ නැතිය.

“අද උඹලගෙ හේරත් මල්ලි ටවුමට ඇවිල්ල හිටියේ...” විල්මට් බීඩිය උරා දුම් උගුරක් පිට කළේය. සිසිලියානා වට්ටිය විවීම නවතා හිස එසවූවාය. හේරත් ඇගේ සොහොයුරෙකි. සිසිලියානාගේ වයස්ගත මව නැවතී සිටින්නේ හේරත්ගේ නිවසේය.

“හේරත් මල්ලි මොකොද කීවෙ...?”

“මුකුත් නෑ.... ඕං උඹලගෙ අම්මා කිව්වලු මාලතී කෙල්ලව දකින්න ආසය කියලා.... හුඟ දවසකින් උඹ එහෙ ගියෙත් නෑ නේද කෙල්ලේ....?”

“අනේ මයෙ දුවේ, දැන් ඉතිං කකුලත් හොඳ එකේ ගිහිල්ලා වරෙං මයෙ අම්මා.... මං බත් මුලකුත් බැඳලා දෙන්නං. කිරි අම්මා ආසයිනේ දුවේ උඹ එනවට...”

කියවමින් සිටි නවකතා පොත පසෙකින් තැබූ මාලතී හිස සැලුවාය.

“ඈ බං සිසිලි.... උඹලගෙ අම්මාට දැං කීයක් විතර ඇද්ද? උන්දැට තාමත් යස අපූරුවට ඇසුත් පේනවා නේද...?”

කඳු අතරින් පාර ඉදිරියට ඇදෙන්නේ දඟර ගැහෙමිනි.....

“ඇස්වහක් කටවහක් නෑ, පූරුවේ වාසනාව! මයෙ හිතේ දැන් අම්මට අසූපහත් පැනලා....”

“ඉස්සර මිනිස්සුන්ට තියෙන හයිය කොහෙන්ද දැන් ඉන්න අපිට? ඇයි ඉතිං, අපි කන තරමක් කන්නෙ වස-විසනේ.... කෘමිනාශකයි, රට පෝරයි...”

“කනවා විතරක් නෙවෙයිනෙ... තිස්සෙම බොන්නෙත් බඩවැල් බොකු ඔක්කොම දිය වෙලා යන එව්වාකොට....” ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් සිසිලියානා ඇණුම් පදයක් එල්ල කළාය. විල්මට් පරාජය පිළිගත්තේ නිකම්ම නොවේ.

“උඹලටත් ඉතිං පේන්නේ මං පොඩ්ඩක් කටේ ගාගන්න එකමනේ.... ජරා වැඩ පුරුදු වුණාම ඉතිං ගෙදර ගෑනිගෙන් වුණත් කතන්දර අහන්න ඕනි තමයි...!”

4

නිල්වන් කඳු අතරින් පාර ඉදිරියට ඇදෙන්නේ දඟර ගැහෙමිනි. දෙපැත්තෙන්ම පෙනෙන තෙක් මානයේ තේ පඳුරුය. මෑතදී කප්පාදු කර ඇති තේ ගස් ළා දලුවලින් වැසී ඇති බැවින් වඩාත් ලස්සනය. ධනුෂ්ක රියේ කවුළුවෙන් පිටත දසුනට නෙත් යොමා සිටියේ ආසාවෙනි.

මිලින්ද නින්දකට වැටී සිටියේය. පැය කිහිපයක ගමන විඩාබර එකක් වුවද ධනුෂ්කට රථයේ යද්දී නිදන්නට නොහැකිය.

“මිලින්ද මාත්තියට නං ඔඳට නින්ද ගීල්ලා!”

බුලත් කහට බැඳී ඇති දත් පෙනෙන සේ රාමන් සිනා වුණේය. නිහඬව සිටිනවාට වඩා යමක් කතාබහ කරමින් වාහනය පැදවීමට රාමන් කැමතිය. එවිට වෙහෙස හෝ නිඳිබර ගතිය හෝ දැනෙන්නේද අඩුවෙනි.

මෙතෙක් දිනක් සිහිනයෙන් දුටු ඒ මුහුණ... සිය දහස් වාරයක් සිතෙන් මවා ගත්....
“එයාට මහන්සි ඇති.”

ධනුෂ්කගේ සිත සැතපුම් දහස් ගණනක් ඈතට ගොස් තිබිණි. රෝස්මරී.... ලූක්.... තවත් දහසක් දේ ගැන සිතට නැඟෙන්නේ සිතට අවශ්‍ය වූ නිසා නොවේ. ඒ කිසිවක් ගැන මතක් කර ගන්නට ධනුෂ්ක කැමති නැත.

අප්‍රසන්න සිතිවිලිවලට මැදි වී සිටි ධනුෂ්කගේ මුහුණින් පළ වූයේද නොපහන් බවකි. ඉදිරිපස කන්නාඩියෙන් ඒ මුහුණ දුටු රාමන්, පුංචි අප්පොට කතා කිරීමට මැළි වූයේය. ධනුෂ්ක ඔහුගේම සිතුවිලි විජිතයේ තනි වී සිටියේය.

“රාමන්, ඔහොම නවත්තපං ටිකක්!”

ධනුෂ්කගේ විධානය හදිසියේ ලැබුණු එකකි. කලබල වූ රාමන් රිය හසුරුවා ගත්තේ වෑයමෙනි. ගැස්සුණු මිලින්ද නින්දෙන් පිබිදුණේ එවිටමය. ධනුෂ්ක රියෙන් බැස්සේ මිතුරාගේ අතකින් අදිමිනි.

“කම් ඕන්... හරි අප්....”

‘පුංචි අප්පොත් මිලින්ද මාත්තියත් කොහෙද තමා යනවා?’යි සිතූ රාමන් හැරී බැලුවේ හොරෙනි.

තමා පසු කරගෙන ගිය මෝටර් රථය නැවැත්වූ බව මාලතීට දැනිණි. එහෙත් ඒ ඇයිදැයි එක එල්ලේ නොබැලූ ඈ යාන්තමින් හිස හැරවූවාය. රියෙන් බැස ගත් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මුහුණ ඇයට අමතක නොවන්නකි.

මෙතෙක් දිනක් සිහිනයෙන් දුටු ඒ මුහුණ... සිය දහස් වාරයක් සිතෙන් මවා ගත් ඒ මුහුණ...

18 comments:

  1. මට පිස්සු නිසා වෙන්න ඇති මං කැමතියි නිමල් දාන පින්තූරවල සම්බන්ධකම් බලන්න. ඇහිබැම නිසා සමුරායිකාරයෙක් මේප්ල් වගේ කොල පාකිරීම, පැත්තකින් ඉඳන් කට කැඩීම, බෙල්ල කඩන්න හදන මූර්තිශිල්පිනියක් හා හීනෙන් දකිනකොට වතුරෙ ගිලිලා ඉඳීම ගැන

    https://www.thoughtco.com/identify-maple-sycamore-yellow-poplar-sweetgum-leaves-1343480#:~:text=Other%20trees%20with%20%22maple%2Dlike,paperbark%20maple%20(Acer%20griseum).

    ReplyDelete
  2. Pra Jay මහත්තයෝ, ඉස්සෙල්ලාම ඉතාම ස්තුතියි ‘හොරා කන්න ආව බල්ලාට පොල් බෑයෙන් දමලා ගහනවා’ වගේ හොඳ වැඩක් කිරීම වෙනුවෙන්. ඔයා දුන්නු link එකට ගියාම එතැනත් සිත් ඇදගන්නා fotos ගොඩක් ගබඩා වෙලා තියෙන නිධානයක් බව දැක්කා... මීට ඉස්සෙල්ලත් ඔයාගේ ලින්ක්වලින් මගේ පෝස්ටු හරවත් හා ලස්සන වුණානේ....

    ඇත්තටම මගේ වටහාගැනීම්වලින් (මම කැමති දේවල් තේරුම් ගැනීම තුළින්) තමයි නිදිගෙ පංච තන්තරේ හැඩ කරන්නේ.
    මගේ මූලික අරමුණ නිසා මට ලියන්න වෙන්නේ මගේ ජීවිත කතාව විතරයි. ඒ තිත්ත කසායට මීපැණි, තල් සූකිරි වගේ අනුපානත් එකතු කරන්නේ එහෙම නොකළොත් ඔයාලට කියවීම එපා වේවි කියලා හිතෙන නිසයි.

    ඒ වගේම මට යමක මුල්ම පෙනුමත් හිතට වැදෙනවා. එම නිසාමයි මේ බ්ලොගයේ ලිපිවලට fotos යොදන්නේ. විචිත්‍රවත් පෙනුමක් දෙන්න.... මුලින් පෝස්ටුව ලියලා පරතර ලකුණු කරගෙන ඉවර වෙලා ගැළපෙන fotos හොයන්න ගන්නවා.....

    එහෙම හොයද්දී මම ඉගෙනගත් දෙයක් තමයි ‘captions’වලට යොදන වචනවලිනුත් වැඩක් වෙන බව... ජාලයේ ඒවා එක්ක foto එක පෙන්වන නිසා කුතුහලයක් ඇති කරවලාත් සමහරුන්ව බ්ලොගයට ගෙන්නා ගන්න පුළුවන්නෙ. (මොකද, මම එහෙම ගිහින් බලන වෙලාවල් තියෙන නිසා. දන්නවනේ, මාත් පිස්සු එකේ හොඳම එක කියලා.) ඔන්න ඕකයි, මුල් කාලයේ මම යොදපු කැප්ෂන්ස් ටිකෙන් ටික වෙනස් වෙන්න හේතුව.

    මම ජාලයේ වැඩ ගැන; ගත හැකි ප්‍රයෝජන ගැන දන්නෙ බොහොම අඩුවෙන්... මං මැන්ටලයක්නෙ. ඒත් නිතරම විමසිලිමත් වෙනවා.... විශ්ලේෂණ කරමින් යම්-යම් දේවල් තේරුම් ගන්න වෑයම් කරනවා.
    ඉතිං ගැළපෙන fotos හොයද්දී තමයි යුද්දේ පටන් ගන්නේ.... කියවෙන විස්තරවලට අදාළ වෙන්නත් ඕනි, ඇවිස්සෙන කැප්ෂන් එකක් දාන්න උදව් වෙන එකක් වෙන්නත් ඕනි, වර්ණ හරි යන්නත් ඕනි... සේරටම එච්චර වෙලාවක් කැප කරන්නත් බැහැනෙ.

    අනෙක එක-එක්කෙනාගෙන්ම ඉගෙනගෙන තියෙන හැටියට බ්ලොගය කියවන රසිකයන්ගේ data අඩුවෙන් පිච්චෙන විදියටයි, screen එකට ගැළපෙන විදිහටයි ෆොටෝ edit කරන්නත් වෙනවා.... ඒවත් ටිකෙන්-ටික තමයි මං ඉගෙන ගන්නේ....

    දැන් නම් මගේ ළඟ බාගත්තු fotos දාහක් විතර තියෙනවා එක-එක කැටගරිවලට වෙන් කරගෙන. ඒ සේරම එදිනෙදා ජාලයේ සරද්දී හමුවුණු ඒවා. හැබැයි මගේ හැඟීම අනුව ඒ හුඟාක් fotos වුණත් ‘කතා කරන ඒවා’ නෙවෙයි! ඒත් එහෙම ඒවායෙන් හරි මගේ වැඩේ කර ගන්න බලනවා....
    මේ දිග උත්තරේ දුන්නේ blogs ගැන උනන්දු වෙන කෙනෙකුට පලක් වේවි කියලයි. මටත් මේවා ගැන මූලික දැනුම ලැබුණේ ‘ඉරිදා ලක්බිම’ පත්තරේට ක්‍රිෂ්ණ විජේබණ්ඩාර මහත්තයා ලියපු විශේෂාංග ලිපි පෙළින්නෙ.

    අනේ Pra Jay මහත්තයෝ, මේක තමයි මෙතෙක් ලියැවුණු දිගම comment එක. හිතට ආව දේ ලිව්වා... ඉතිං වරදක් ඇතොත් සමාවෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. හෙහ්, දෙයියො ඉවසන හැටිත් ෆෝටෝ එකක තියනවනෙ

      Delete
    2. නිදි ගෙ දිග කමෙන්ට් එකෙන් සෑහෙන්න දැනුවත් වුණා...

      ප්‍රා, ඒ දෙය්යො නං තනිකරම කාලි...

      Delete
    3. ඔය පින්තුර දමන වැඩේ මට මීට පෙර නිමල් අයියා දැනුවත් කළා නමුත් බ්ලොගය වෙනුවෙන් කැපකරන්නත් ඉඩප්‍රස්ථා හොයගන්නත් කාල වේලාවක් නැති වෙලා ඉන්න මේ දොහේ ඔය වැඩ කරන්න බැරිව ගිහිල්ලායි ඉන්නේ.

      Delete
    4. Pra Jay මහත්තයෝ, දෙවියෝ කියන්නෙත් කලෙක මිනිස්සු වෙලා හිටි අයම නේද?

      ඩ්රැකීට නං මේ දවස්වල දේවාරූඩේ.... එහෙම වෙලා තියෙන එකත් හොඳා!

      අසංග, උවමනාව අපේ නං වෙලාවත් අපේ නං අපේ වැඩවලට වෙලාව හොයා ගන්නත් ඕනි අපිම නේද? NO PAIN NO GAIN නේද කියමන.

      Delete
    5. //කලෙක මිනිස්සු වෙලා
      තව නිදි,මිනිස්සුන්ගේ සිතුවිලිවලට රූපකායක් දීපු බවක් පේන්ට තියේ.
      සෑම ගැහැණියක් තුලම කාලි ඉන්න බව කියන්නෙත් නිකන් නෙමේනේ.

      Delete
    6. අම්මෝ, සිරිබිරිස් උන්නැහේ, මං මොකුත් නොකියා ඉන්නන්....

      Delete
  3. අර, කාර් එකේ යන ගමං මාලතී දැකපු එක, කැළෑ හඳේ ජෝන් ජයපාල මාලනීව දැකපු එක සිහිපත් කළා...

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී මහත්තයෝ, ඔයාටත් අපේ දොස්තර මහත්තයට වගේ පොත්වල පදාස පිටින්ම මතකයිනෙ!

      Delete
  4. පොත් කබඩ් එකෙන් යුවති කිරිල්ලී පොත අරන් ආයෙමත් කියවන්නත් හිතුනත් පොතේ කතාවට වඩා බ්ලොග් එකේ කතාව රසවත් වාගේම විචිත්‍ර බවත් දැනෙනවා. මොකද කතාව අස්සෙන් නිදිගේ නිදාන කතා ජිවන අන්දර ගෙතෙන හින්දා.

    ReplyDelete
    Replies
    1. ඔය අත්දැකීම් තමා අසංග මට තියෙන ලොකුම වත්කමත්!

      Delete
  5. මට ටිකක් අවුල් වෙලා වගේ දැනෙනවා හාමුදුරුවනේ , කොයි කතාවද කලින් කියෙව්වේ , මොන කතාවේ මොන කොටසද කියවන්න ඕනේ කියලත් මතක නැහැ. මගේ වයස නිසා හැදෙන ලෙඩේ ද , එහම් නැත්නම් නිදි ගේ ඔලුව යකාගේ කම්මල වගේද

    ReplyDelete
    Replies
    1. මගේ ඔළුව නං යකාගේ කම්මලටත් වඩා පිස්සිගේ පලා මල්ල වගේ කිව්වමයි වැඩියෙන් හරි.

      අජිත් මහත්තයාගේ ඔය පැටලිල්ලට හේතුව විදිහට මට හිතෙන්නේ මෙහෙම දෙයක්. ඔයාලා වැඩියෙන් පුරුදු වෙලා ඉන්නේ තාක්ෂණික- වඩා බුද්ධිමය- වඩාත් තාර්කික දේවල් ඔලුවේ දරාගෙන ඉන්නනේ.

      මගෙන් වැඩිපුරම ලියවෙන්නේ සරල ජීවිත අත්දැකීම් වගේ නිසා.... කියවද්දී ඒවාට වැඩි බරක් වැටෙන්නැතිව ඇති.

      වැඩේ වඩා ලෙහෙසි කරවන්නයි කියන්නේ... දැන් මම හුඟක්ම වෙලාවට කොටස් වශයෙන් දාන්නේ අවධි දෙකක කතා විතරයි. මාරුවෙන් මාරුවට. බොහෝ විට දවස් තුනෙන් තුනට.

      Delete
  6. “ඒ තිත්ත කසායට මීපැණි, තල් සූකිරි වගේ අනුපානත් එකතු කරන්නේ එහෙම නොකළොත් ඔයාලට කියවීම එපා වේවි කියලා හිතෙන නිසයි.” - නිමල්ගෙ ජීවිත කතාව තිත්ත කසායක්නම් නෙවෙයි. නෙල්ලි ගෙඩියක් වගේ. එකපාරට ගිලලා දාන්න බෑ. හෙමින්, හෙමින් රසවිදිමින් කන්න ඕන. හැබැයි රසයි. ඊටත් වඩා ගුනයි.

    ReplyDelete
    Replies
    1. අම්මෝ චමි, කොච්චර නිහතමානීය කියලා හිතාගෙන හිටියත්, ඔයාගේ කමෙන්ටු වගේ ඒවා කියවද්දී ආඩම්බරත් හිතෙනවනෙ.... 'අතැඹුල'; නෙල්ලි ගෙඩියේ රස හත හා ගුණය මතක් කිරීම නිසයි වඩාත්ම.
      ගොඩක් ස්තුතියි චමී.

      Delete
    2. ආඩම්බරවීමේ ඇති වරදක් නෑ. එයින් කෙනෙක් නිහතමානී නැතියැයි කියවෙන්නේද නෑ. ආඩම්බරකම් පෙන්නීමනම් හොද නෑ.නිදි එහෙම ආඩම්බරකම් පෙන්නන පාටක් නෑ.

      Delete
    3. එහෙම පෙනෙනවා නං හොඳයි, චමී. ඒකත් ප්‍රශංසාවක්.. ස්තුතියි!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්