ඉස්සන් පිසාපිය - රා කළයක්ම බීපිය........... |
‘ඉස්සන් පිසාපිය - රා කළයක්ම බීපිය - මෝව අඹවාපිය - මෙතුන කරලා මාව කාපිය’ කියලා දහංගැටයකිනි, ගියවර පෝස්ටුව අවසන් කළේ. දහංගැට තේරුම් ගන්නට බහුශ්‍රුතකමක් ඕනෑය; ඊටත් වඩා දැනුම්-තේරුම් ඇතිකමක් දහංගැට නිර්මාණය කරන්නට අවැසි වෙයි!
මේ දවස්වල එහෙම නැතිව නිර්මාණය කෙරුණු දහංගැට නිර්මාණ රැසක් මුහුණු පොතෙන් දැකගන්නට ඇහැකි වෙයි. ඒවා ආපහු පත්තුවී ඇති බව පෙනෙන්නේ ඒවාට වැටෙන කමෙන්ටුවලිනි. ප්‍රභූහු; ප්‍රභූ පුත්‍රයෝ, පුතාණෝලා විතරක් නොවේ පුරුදු පරිදිම අප්‍රමාණ සංඛ්‍යාවක් එකට එකතුවී, එව්වායින් තම-තමන්ගේ වරුණ හුදී ජනතාවට කියා දෙමින් හිඳිති.
රටට කෙළින්නට; අපට කෙළවන්නටය ඒ.
කාට කෙළවා හරි, කෙසේ හෝ ජයග්‍රහණය කළහොත් සැණකෙළි කෙළින්නට හැකි බව උහු පළපුරුද්දෙන්ම දනිති.
මහ බැංකුව කොල්ල කෑවේ යැයි චෝදනා ලද්දවුන්ගෙන් ‘සන්තෝෂම් ලබාගත් 118ක්’ දැන් තරග බිමේලු. ‘මම සුදනෙක්මි’යි තවම එකෙකුවත් කියා නැතිවා වගෙය.
හැටෙන්-හැටපහෙන් විශ්‍රාම යා යුතු යැයි රටුනට කියමින් ඔවුහු (තමන් වියපත්ව; මහලුව; වළ පයයි- ගොඩ පයයි තබාගෙන හිටිද්දීත්) රට හදන්නට තමන්ටම බලය දෙන්නැයි ඉල්ලති. අපට සිදුවී ඇත්තේ ‘හිකෙන් පුනා වෙවී’ බලාගෙන ඉන්නටය!
පහුගිය පාර්ලිමේන්තුවේ 70ව පැනපු අයම 69 දෙනෙකි! |
ඉතින් අපේ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේත් (එහෙම හිනා වෙවී වෙන්නැති) දායක-දායිකාවන්ටම දානය පිළියෙළ කිරීමට ඉඩ ලබා දුන්හ.
රතන සූත්‍ර සජ්ජායනයට සපැමිණ, පන්සලේම ලැගුම් ගෙන හිටි සංඝයා වහන්සේලා පිරිස වෙනුවෙන් උදේ හීල් දානය, දහවල් දානය හා ගිලන්පස ආදිය දිගටම පිළියෙළ කිරීම පොඩිපටු සෙල්ලමක් නොවුණු බවත් එහෙන්-මෙහෙන් කියවෙන්නට පටන් ගැනිණි. ඒවා කනට වැටී තිබුණත්, මා අනුන්ගේ සීනි කිරන්නට ගියේ නැත!
ඒ දවස්වලමය; පිරිත් මණ්ඩපයේ තබා තිබුණු පැන් කළ උතුරා ගියේ!
ඒකෙන් ගම්මණ්ඩියේ සැදැහැවතුන්ගේ ශ්‍රද්ධාවත් උතුරා පිටාර ගලන්නට වුණේය.!!
“පින්වතුනි, මේ තාක් දුරට අපේ පිංකම කිසිම අඩුපාඩුවක් නැතිව සිද්ද වෙලා තියෙනවා. ඒ නිසා තමයි පිරිත් පැන් කළගෙඩි උතුරලා ගියේ...” හාමුදුරුවෝ දෙසූහ. පිරිස සාදුකාර දුන්හ. එයින් පසු ලොකු හාමුදුරුවන් වහන්සේ තවත් තුරුම්පුවක් ඇද්දාහ. මුලදීත් යන්තමින් විතරක් සඳහන් කෙරුණු යන්ත්‍ර - සුර - සුවඳ කුඩු ගැන කතාවකි ඒ.
“පින්වතුනි, ඔබලාට මතක ඇති, අපි සඳහන් කළා ‘පිරිත් සජ්ජායනය කරද්දී ගමටම බෙදන්නට පිළියෙළ කෙරෙන පිරිත් පැන් ගැන.... ඒ විතරක් නෙවෙයි රතන සූත්‍ර යන්ත්‍ර හා සුර ගැන. ඒ විදියට අපි රතන යන්ත්‍රය සටහන් කරවපු රත්තරන්- රිදී හා තඹ තහඩුත්, සුරත්, සුගන්ධ ධූප කුඩුත් සිද්ධි වෙන්නට තිබ්බා..... පිරිත් සජ්ජායනය අවසන් වුණාම ඒවා මහජනතාවට ලබා දෙනවා. ඒත් නොමිලෙම නෙවෙයි... යම්කිසි මුදලක් අය කරලා...
හැබැයි, අපේ දායක සභාවේ උදවියට ඒවා සපයන්නේ ඒ ගණනටම නෙවෙයි.... අඩු මුදලකට.....”
පිරිත් පැන් කළගෙඩි උතුරලා ගියාටත් වැඩියෙන් මගේ ආවේගයන්............ |
අනේ සමාවෙන්න.
එදා හාමුදුරුවන් වහන්සේ කියූ ගණන්-හිලවු නම් එකක්වත් මට මතක නැත. හැබැයි, ඒ කතාවෙන් සිද්ද වුණු දේත් මගෙන් කියැවුණු දේත් මතකය.
මොකද කියනවා නම්, පිරිත් පැන් කළගෙඩි උතුරා ගියාට වැඩියෙන් මගේ ආවේගයන් උතුරා ගිය බැවිනි.
මම ගණිතයට සමතෙක් නොවෙමි. O/L විභාගයේදී ඒ විෂය ගොඩ දාගත්තේ ක්වින්ටස් අල්විස් වීරක්කොඩි මිතුරාට පින් සිදු වෙන්නටය. එහෙම මොට්ටයෙකු වුණත්, තවමත් පොඩි-පොඩි ගණන් කිහිපයක් එකතු කරගන්නට, අඩු කරගන්නට, වැඩි කරගන්නට, බෙදා ගන්නට කැල්කියුලේටර පාවිච්චියක් මට නුපුරුදුය.
මහා ගණිතඥ රාමනුජන් උන්නැහේ නම් තත්පරෙන් හදන ඒ ගණන්, විනාඩි කිහිපයක් ගෙන; එවෙලේ මනෝමයෙන් හදාගත් මම උඩ ගියෙමි! ඉතින්, කට පියාගෙන ඉන්නද?
“අවසරයි හාමුදුරුවනේ!” මම නැඟිට්ටෙමි.
ඒ දවස වෙනතුරුම උන්වහන්සේ මා හා බෙහෙවින් හිතවත්ව හිටියහ.
ඒ බවට මා සතුව ඇත්තේ එකම සාක්කියකි. ඒ ඡායාරූපය ගත්තේ පන්සලේ බුදු මැඳුරේ පඩිපෙළ උඩදීය; කැමරාකරුවා වුණේ උන්වහන්සේය; 1968-70 අතර දවසකය; මා පේව්මන්ට් එකේ රජ වෙන කාලයේය.
මා එදා; දායක සභාවේදී එහෙම අවසර පැතුවේ ඊට අවුරුදු දහයකටත් වැඩි කලකට පසුවය.
මේ foto එක මට අරගෙන දුන් ඡායාරූප ශිල්පියා වුණෙත් මේ ලොකු හාමුදුරුවන්මය........... |
“ඔව්, ඔව්... රංජි?”
“... හාමුදුරුවනේ, මට පොඩි-පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා....”
“ඒ මොනවද දිසානායක ඒ?” සිනහ මුසුව එතුමෝ විමසූහ. කුලතුංග සරුත්, රම්‍යා ඇන්ටිත්, අපේ ආච්චිත් වගේ අනිත් හැමෝමත් කන් දීගෙන සිටිති. මම කතාව කරගෙන ගියෙමි.
“දැන් ඔබ වහන්සේ කිව්ව විදිහට මේ මුළු පින්කමටම වියදම් වුණු මුදල මෙච්චරයි. ඒත් ඔබ වහන්සේම කියපු යන්ත්‍ර, සුර ටික මෙච්චරයි.... එව්වා විකුණන්න යන්නේ මේ, මේ ගණන්වලටයි. එහෙම ගණන් හදද්දී ඔබ වහන්සේගෙන් පුංචි අතපසු වීමකුත් වුණා කියලයි මට හිතෙන්නේ..... අපි මුලින් සූදානම් වුණේ පිරිත් කියන කාලෙදී ස්වාමීන් වහන්සේලාගේ දාන-මාන සේරම පන්සලේදීම හදාගන්නනේ. පස්සේ ඒ කටයතු සේරමත් ගමේ අයම බාරගත්තු නිසා එතනිනුත් ලොකු වියදමක් අඩු වුණානෙ.....”
එතකොට නම් උන්වහන්සේට ටිකක් තරහ ගියා වගෙය.
“හරි දිසානායක. මම හැම සතේම ගණන් හැදුවා නෙවෙයි. මේ නිකම් කියන්න ලැහැස්ති වුණේ....”
මගේ නොසරුප්කම! කට පියාගෙන වාඩි වෙන්නේ නැතිව තවත් කතා කළෙමි. “අවසර.... මමත් කියන්න හැදුව ප්‍රධාන කාරණාව ඒක නෙවෙයි!”
ශිව දේවයාට වගේ තෙවෙනි ඇසක් අපේ උපාසකම්මලාට තිබ්බා නම්, එදා මගේ අළුවල අළුවත්... |
“එහෙනං?”
“දැන් මේ වියදමයි, සුර-යන්තර එහෙම විකුණන්න ලැහැස්ති වෙන ගණනුයි බැලුවාම හාමුදුරුවනේ, පන්සලත් නිකං ජාවාරම්කාර කළු කඩයක් වගේ වෙන්නනේ හදන්නේ....” ඇත්තය. දායක සභාවක් ඉදිරිපිටදී ‘කළු කඩය’ යන වචනය සැර වැඩියි වගෙය.
ජාවාරම කියන වදනත් උපහාසාත්මකය.
වචනයක් පිට වුණොත් වුණාමය. ආයේ අලි-ඇතුන් ලවාවත් අද්දනු බැරිය. මුහුණ රතු කරගත් ලොකු හාමුදුරුවෝ රවා බැලූහ. ශිව දෙවියන්ට වගේ අපේ උපාසිකාවන්ට තුන්වෙනි ඇහැක් තිබ්බා නං හෙම, මගේ අළුත් අළු වෙලා ඉවරය.
“මේකයිනෙ හාමුදුරුවනේ... ඔබ වහන්සේ මේ රතන සූත්‍ර සජ්ජායන පිංකම පටන් ගත්තේ ලංකාවේම මිනිස්සුන්ට සෙතක්- ශාන්තියක් යහපතක් කරන චේතනාවෙන්නෙ...”
“ඉතින්...”
“වැඩියෙන්ම ඔහොම පිහිටක් ඕනි වෙන්නෙ අසරණ වෙලා ඉන්න දුප්පත් මිනිස්සුන්ටනේ. දැන් ඒ මිනිසුන්ට පිහිට වෙනවා නම් අපි කරන්න ඕනේ, මේ රතන යන්තරයි, සුරයි පුළුවන් තරම් අඩු මුදලකට ඒ මිනිස්සුන්ට දෙන්න හදන එක නේද?”
“අඩුම මුදලකට දෙන්න නේන්නං මේ ලැහැස්ති වෙන්නේ, දිසානායක.”
පැටලුනාට පස්සේ අතෑරලා පස්සට යන්නට බැරිය. පෙනුණේ හාමුදුරුවන් වහන්සේ තර්කයට සූදානම් නැති බවය. ඒත් ගොන්කම නිසාම මගේ කට වැහුණේ නැත.
මට නම් එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ..... (foto- චන්දන දිසානායක) |
“මට නම් එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ හාමුදුරුවනේ..... ඔබ වහන්සේ දැන් කියපු ගණනට සුරයි, යන්තරයි විකුණනවා නම් ආදායම මෙච්චරයි.... එතකොට ලාබය මෙච්චරයි....” මම ගණන් හදා පෙන්වීමි.
“... ඒ කියන්නේ වියදම වගේ හතර ගුණයක් විතර වෙනවා ආදායම..... එතකොට හාමුදුරුවනේ පන්සලත් ජාවාරමක් කරන කළු කඩයක් වගේ වෙනවා නේද?”
පන්සලේ සමිති ශාලාවෙන් කසුකුසු නැඟෙන්නට විණි. ඒවා මුණු-මුණුවක්ම විනා තේරුම් ගත හැකි ඒවා නොවීය.
“නිමල් දිසානායක මහත්තයාට මම කියන්න කැමතියි, එහෙම ලැබෙන ලක්ෂ ගණනාවම යහපත් වැඩකට යොදවන්නයි අපි ලැහැස්ති වෙලා ඉන්නේ. ඒකත් දැන්මම කියන එක හොඳ බවයි මට පෙනෙන්නේ.... අපේ අදහසක් තියෙනවා, අපේ පන්සලට ලොකු සංඝාවාසයක් හදන්න... කාමර ගණනාවක් තියෙන, ලොකු සංඝාවාසයක්.... ස්වාමින් වහන්සේලා විසිහතර නමකට වැඩ ඉන්න පුළුවන් එකක්."
(දැන් මතක් වෙයි..... ඔය 1976-80 විතර විය යුතුය. අපේ තාත්තා මියගියේ 76 දීය. ‘ඇට අටක් දෙනව’යි කියා ජයවර්ධන උතුමාණෝ 77 බලයට පත්වී සිටියහ. එහෙත් තුන් හවුල්; සමඟි පෙරමුණු ආණ්ඩුවේ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත්, කෙනෙකුට හිමිව තිබිය හැකි නිවාස ගණන... වගේ දේවල් එතකොටත් අපට මතක තිබිණි.)
මැතිනියගේ ආණ්ඩුවෙනුත් කිව්වේ ඕනැවට වඩා ලොකුවට ගෙවල් හදන්න එපා කියලනේ! |
“අනේ හාමුදුරුවනේ, පහුගිය ආණ්ඩුවෙන් ගිහි අපටත් කිව්වානෙ ඕනිවට වඩා ලොකු ගෙවල් හදන්න එපාය කියලා.... පන්සලේ ඉන්නෙ ඔබ වහන්සේලා හතර දෙනයි.... එහෙම එකේ විසිහතර නමකට වැඩ ඉන්න සංඝාවාසයක් හදන එක.......”
හාමුදුරුවෝ, මට ඉවරයක් කරන්නටවත් ඉඩ නොතියා අන්තිම තුරුම්පුවත් සෙල්ලම් කළහ. ඉන් පසුව මම කට පියා ගත්තෙමි.
“දිසානායක දන්නවද, මම ලැහැස්ති වෙන්නේ ප........ වගේ අපේ පන්සලෙත් පිරිවෙනක් පටන් ගන්න.....”
අපේ පන්සලේ සිට විනාඩි පහක පා ගමනින් යා හැකි දුරක පිහිටි ප....... පන්සලේ එවිටත් පිරිවෙනක් තිබුණේය. එහෙමය කියලා, උන් වහන්සේගේ අභිලාෂයට විරුද්ධ වන්නට අයිතියක් මට නැත.
‘ඉස්සන් පිසාපිය - රා කළයක්ම බීපිය - මෝව
අඹවාපිය - මෙතුන කරලා මාව කාපිය’ කවිය ගැන මෙච්චෙල්ලා නොලිව්වේ සුදුසුම තැනදී
කියන්නටය. දැන් නම් එය කියන්නට සුදුසුය!
ඉස්සන් කිව්වේ ඉරිසියාවටය. ඉරිසියාව උයලා; කාලා හරි ඉවර කරපිය! රා කළයම බීලා ඉවර කරපල්ලා කියන්නෙත් - රාගය නිමා කරගන්න කියන අදහසින්.
මෙතැන ‘මෝ’ කියන්නේත් මවට නෙවෙයි; මෝහයට. ඉතින්....ඉරිසියාව, රාගය, මෝහය විතරක් නෙවෙයි ‘මමත්වයත් දුරු කරලන්න’ කියලයි කවියේ අවසන් පදයෙන් කියන්නේ. ‘මාව අඹවාපිය!’
අපේ පන්සලේ සේරම වැඩ කෙරුණේ නුහුරට වගෙය! |
මට හිතුණේ අපේ පන්සලේ වැඩ කෙරෙන්නේ ඔය සේරටම විරුද්ධව කියලාය.
මම කලාතුරකින්වත් පන්සලට යාම අතහැර දැම්මෙමි. අපේ ගෙදර අය නම් එහි ගියහ.
කිසිම ගණන් වෙනස් කිරීමක් නැතිව, ජීවම් කෙරුණු රතන යන්ත්‍ර, සුර පමණක් නොවේ සුවඳ දුම් කුඩු පවා මාස ගණනාවක් තිස්සේ අලෙවි කෙරිණි.
ඒ අතරේ දවසක පන්සලේ තිබුණු ලොකු දානමය පින්කමකට අපේ ආච්චීත් සහභාගි වූවාය. මොනවාදෝ ව්‍යංජනයක් පිළියෙළ කරගෙන අපේ ආච්චී පන්සලට ගියේ රම්‍යා ඇන්ටිත් එක්කය.
“අනේ රංජි, හාමුදුරුවරු සේරම පේළියට වාඩි වෙලා හිටියා. ඔයාලගේ ආච්චියි, මායි දෙන්නත් අපි ගෙනිච්ච එළවලු බෙදන්න ගියා..... ලොකු සාදු පාත්තරේ අතින් වහලා, ආච්චිට දානේ බෙදන්න දුන්නේ නෑනෙ- තරහ පිරිමහන්න ඕනේකමට....”රම්‍යා ඇන්ටි කිව්වාය.
“...එහෙම කරලා විතරක් නිකන් හිටියා නං කමක් නැහැ පුතේ..... අර හාමුදුරුවරුයි මිනිස්සුයි මැද්දේ කිව්වනේ, JVP නිමල්ගේ දානේ මට බෙදන්න එපයි කියලා...” අපේ ආච්චී කිව්වේ හඬමිනි.
ඇය හරිහැටි දැනගෙන හිටි jvp කතන්දරයක් නොවීය. ආච්චී ජවිපෙට කිව්වෙත් ‘චේ ගුරාකාරයන්’ කියලාය. අපේ ආච්චීට ඔවුන් පෙනුණේ ‘ජාතියක්-ජන්මයක්-ආගමක් ධර්මයක් නැති; මිනී මරණ; තුවක්කුවලින් ආණ්ඩු පෙරළන්නට යන්නවුන් විදිහටය; අඩු වයසෙන් මැරෙන්නට උපන් එවුන් විදිහටය.
හාමුදුරුවන් මාත් ඒ ගොඩට දැමීම ආච්චීට රිස්සුම් දුන්නේ නැත.
ආයෙත් එතන පස් පාගන්න මම නම් යන්නේ නෑ! |
“අනේ රත්තරන් පුතේ... ඔය උඹට අපහාස කරපු පන්සලේ පස් පාගන්න මම නම් ආයෙත් යන්නෑ.... මම අද හෙට මැරෙයි... එදාට මගේ පාංශුකූලෙටත් ........ එහෙන් වඩම්මන්න එපා පුතේ....”
ආච්චිගේ මළගමට ගමේ පන්සලෙන් කවුරුන්වත් සහභාගී කරවා ගත්තේ නැත. එහෙත්, ඒ වෙද්දී අපට තිබුණු සබඳතා මත ගිගුම්මඩුවේ අනෝම හිමියන් ඇතුළු පිරිසක් පාංශුකූලයට සහභාගී කරවා ගැනීමට හැකිවිය.
ආච්චියේ.... ඊටත් වඩා ලොකු හපන්කමකුත් අපට කරගත හැකි විණි. ඔබේ හත් දොහේ බණට වැඩියේ ගංගොඩවිල සෝම හාමුදුරුවන් වහන්සේය! (ඔව්, එක අතකට මේවා තනිකරම පම්පෝරිය!)
ඒත් මේ කතාව එතැනින්වත් ඉවර නොවේ!
අපේ පන්සලට යාබදවම තිබෙන පාරෙන් වත්තේගෙදර හන්දියට යන එක ඉතා පහසුය. දවසක් මා එතැනින් යද්දී ලොකු හාමුදුරුවන් වහන්සේ මා නවත්වා ගත්හ. නවත්තා ගත්තා විතරක් නොවේ, දිරච්ච ලණුවකුත් ගිල්ලන්නට වෙර දැරූහ.
“එදා ළමා නිවාසේ කුලතුංග මහත්තයා නේද රංජිට අරහෙම කතා කරන්න ඉගැන්නුවේ? නැත්තං rprද? මාත් එවෙලේ තරහ ගත්තු එක වැරදියි තමා. රංජි තවමත් මා එක්ක අමනාපෙන්ද ඉන්නේ?”
කිසිම කෙනෙක් මාව නං උසි ගැන්නුවෙ නෑ හාමුදුරුවනේ! |
“අනේ හාමුදුරුවනේ, කුලතුංග සර් හරි වෙන කවුරු හරි උසි ගන්නලා නෙවෙයි මම කතා කළේ... මට පෙනිච්චි දේ... මට හිතුණු දේ.... ඔබ වහන්සේ එක්ක නම් මගේ කිසිම අමනාපයක් නැහැ.... අදහස් එක්ක මිස....”
මට ඉමහත් සහනයක් දැනුණේ එච්චරට දෙයක් කියා ගත්තාමය. ‘ආච්චියෙ, මම ඒ කෝන්තරය පිරිමැහුවේ ඔයා වෙනුවෙනි!’
මා දන්නා විදිහට නම් පන්සලේ තවත් පිරිවෙනක් පටන් ගැනුණේ නැත. ලොකු හාමුදුරුවන් වහන්සේ අපවත් වීලාය. සුවිසල් සංඝාවාසයක් පමණක් ශේෂවී තිබෙයි෴
පන්සල් ජාවාරම් ආදිය ගැන කියන්න කටට ආව වචන ටික සැර වැඩි නිසා ගිළ ගත්තෙමි.
ReplyDeleteඅම්මෝ හොඳා ඩ්රැකී, පරෙස්සමෙන්, උගුරේ හිරවෙයි!
Deleteඅසංග එහෙම දැක්කද ළඟදි...?
ReplyDeleteඩ්‍රැකි දන්නවාද නිසල දිය ගැඹුරුයි කියලා. සද්දේ වහලා බලන් ඉන්නේ වෙලාවට වැඩේ දෙන්න
Deleteනාවිකයා නිසා කිමිදෙන්නත් දන්නවා ඇතිනේ. අසංග, නිසල දිය යට ඉඳගෙනද කල් බලන්නේ?
Deleteපිටිසර පලාත්වල තවමත් "සිල්වත් හාමුදුරුවරු" වැඩ ඉන්න "පන්සල්' ඉතුරු වී තිබීම වාසනාවක්.
ReplyDeleteIf you don't have anything nice to say, don't say anything at all කියන කියමන නිසා පන්සල් ගැනවත් සෝම හිමියන් ගැනත් මුකුත් නොකියා ඉන්නම්.
සෑම් මහත්තයෝ, ගොඩාරියක් හාමුදුරුවරු නරක නැහැ. අපේ උපාසක-උපාසිකාවෝ අන්ධ භක්තිය නිසා එයාලව spoil කරනවා කියලයි මට හිතෙන්නේ. හාමුදුරුවන් වහන්සේලාට වුණත් ඒ track එකට වැටුණොත් හැරීමක් නැහැ.
Deleteකියවලා ඇති නේද ගුණදාස ලියනගේ මහත්තයාගේ 'තෙවෙනි සිල් පදය නොකඩමි' පොත.
යකඩෝ මේකත් අර අනගිරත්න උන්නැහැ පන්සල් ගියා වගේ වැඩක් නොවැ කරලා තීන්නේ.
ReplyDelete//ගංගොඩවිල සෝම හාමුදුරුවන්
ඒකනං අවුලක් නැහැ නිමල් ඒකාලේ රජ වෙන්න හිතලවත් නැති කාලෙනේ.මඩිහේ හාමුදුරුවන් එක්ක කොක්ක පටලවා ගන්නාතෙක් අවංක බුද්ධ පුත්‍රයෙක්.
//දිරච්ච ලණුවකුත් ගිල්ලන්නට
හෙහ් ඒකත් නරකම නැහැ.පොලිස් කාරයෝ වගේ.
ඒක නේන්නං සිරිබිරිස් උන්නැහේ.
Deleteවිරුද්ධකාරයෝ සේරම එක්කෝ JVP, නැත්තං අබෞද්ධයෝ හරි දේශද්‍රෝහියෝ!
අපායට යන්ට ඕනෑනම් නුඹට
ReplyDeleteකරපන් මහ ඇමතිකම තුන් දවසකට
නැත්තම් පන්සලක දේවාලයක සිට
නායකකමක් කරපන් එක දවසකට
-උපුටා ගැනීමකි-
ස්තුතියි චමී!
Deleteගොඩක් සතුටුයි ඔයාටත් 'යක්කඩුවේ ශ්‍රී ප්‍රඤ්ඤාරාම' හාමුදුරුවන්ගේ 'වනකතා පොත් දෙක' මතක තිබීම ගැන. ඔය කවිය හින්දද කොහෙද තමා පොත ටිකකට හරි තහනම් කෙරෙන්නත් ගියේ... තහනම් කෙරුණාද කියල නම් මතක නැහැ.
කිිිිිිසිදා සාදා නිම නොවෙන ලංකාවේ පංසල්.
ReplyDelete(මේක කියල බුකියෙන් ගුටි නොකා බේරුනේ 99න් )
මාස ගානකින් ගොඩ උනේ කොටස් තුනම කියෙව්වා ඉතිරි ටිකත් බලන් ඒන්නම්
කාලෙකින් නේන්නං මධු. FB එකෙන් නං දැක්කා ගමන් ගොඩක් ගිය බව!
Delete