එව්වායිනුත් අතිවිශේෂයි ‘මැංචෝසන්
චාරිකා’ පොත! |
මල්ලිකා අක්කලා ඒ දවස්වල අපේ සාවියේ හිටි ඇති-පැති
උදවිය. මල්ලිකා අක්කගේ එකම මල්ලී ටැයියා අපේ සුනිල්ගේ හොඳම යාළුවා. ඒ හින්දමයි අපි
තුන් දෙනා එකට ගෙවල්වලින් පැනලා යන්න
plan ගැහුණෙත්... ප්ලෑන හිතා ගන්න බැරි විදිහට ගැස්සිලා
ගිහින් අන්දොස් වුණු එක වෙනම වැඩක්..
එහෙම වුණයි කියලා අපේ පවුල් අතර හිතවත්කම් නැති වුණේ නෑ. බැණ අඬ ගහගත්තේ නැති
වුණත් ගොඩක් වෙලාවට මල්ලිකා අක්කලාගේ අම්මට; නුගේගොඩ ඇන්ටිට හිත රිදෙන්න දේවල් අපෙනුත්
කියවුණා. එහෙම වුණේ ඒ ඇත්තිගේ කටත් එච්චර හොඳ නැති නිසා.
කටට හපන් එයාගේ කුප්පිදු චේතනා. මං ඔරොප්පු වුණේම එව්වා නිසා.
හැබැයි, ඒ වගේම තමයි එයාට හිතෙන වෙලාවට අනුන්ට
උදව්-පදව් කිරීමේ යහ ගුණයත්. 1966 අපි අජාසත්ත නාට්‍යය කරන දවසේ, නාට්ටිය කණ්ඩායමේ
බඩවල් පිරෙව්වේ නුගේගොඩ ඇන්ටිලගෙ ගහේ කොසුයි වනාත වත්තෙන් හොරෙන් කඩපු පොලුයි.
‘කෑ දේ ගඳයි - දුන් දේ සුවඳයි’ කියනවනේ.
ඒ කතාව සහතික ඇත්ත. අගේ කර කර හරි මල්ලිකා අක්කා මට කියවන්න දුන්නු එයාගේ පොත්වලට;
පත්තර- සඟරාවලට අදත් මං පිං දෙනවා.
එව්වායිනුත් අතිවිශේෂයි ‘මැංචෝසන් චාරිකා’ පොත!
ඒ විස්තර කියන්න ඇහැකිනෙ තව පස්සේ වුණත්.
පුරුදු විදිහටම මෙන්න පොතේ කොටස් තද රතු පාටින්. මං වහන්සේගේ අටුවා-ටීකා-ටිප්පණි
විතරක් පුරුදු කළු පාටින්.
‘ආර්.ඊ. රාස්ප් සහ තවත් අය
විසින් රචිත ‘The Singular Adventures of Baron Munchausen’ නමැති ග්‍රන්ථයේ
සිංහලානුවාදය’ කියලයි පළමු මුද්‍රණයේ තුන්වෙනි පිටුවේ පළවී
තියෙන්නේ.
එහෙනං ඔන්න යනවා ‘මැංචෝසන් චාරිකා’ පොතේ
පස්වෙනි පිටුවට.
මෙම කතා සත්තවාදී බවට සහතිකය
දැනට හැම කටයුත්තක්ම ඉවර කරලා
විවේක සුවෙන් ඉන්න මගේ ගමන් බිමන් හා වීරකිරියා අවිස්වාස කරන, ඒවා විහිළු කතන්දර
හැටියට ගණන් ගන්න උදවිය ඉන්නා විත්තිය පළමු වතාවට අහන්න ලැබුණු නිසාවෙන්, මේ
සියල්ලම අකුරක් ගානේ ඇත්තේ කතා බව ඔප්පු කරන්නට අදිස්ටාන කරගත්තු මම, ඒ සඳහා
ලංකාවේ නම් දරාපු යුක්තිගරුක රාජෝත්තමයාණන් වන, නයිකස්රීන් විරාජමාන කැකිල්ලේ
මහරජ්ජුරුවන් වහන්සේගේ වාසලට පැමිණ, නියමිත චාරිත්තරයට අනුව නරි අඟක් පේකොට රාජ
ලාංඡනේ ඔබ්බවා අත්සන් කරවා ගන්නට යෙදුණ පහත සඳහන් දිවුරුම් සහතිකය ඉදිරිපත් කරන්නට
තීන්දු කර ගත්තාය.
ලාබ චේතනාවෙන් කිසිසේත් ඈත්
නොවූ සත්තවාදී සත්පුරුසයන් වන පහත අත්සන් කරන අපි වනාහි, කොයි කවර දේසෙදීත් ගරුතර මැංචෝසන්
සාමිවරයා විසින් කරන්ට යෙදුණු වීර වික්කරම වැඩ එකක් එකක් පාසා, අබමල් රේණුවක වත්
පරසේරුවක් නැති තනි ඇත්තේ කතන්දර බව දිවුරා කියා සිටිනවාත් හැර, අප විසින් කරන්නට
යෙදුණු වීර කිරියාවල් සත්තවාදී සැබෑ හැටියට එක හිතින් පිළිගත්තු හැම සියලු දෙනාම, මේ
කතන්දරත් මුළු හිතින් විස්වාස කරනවා හොඳයි කියාද කියා සිටිම්හ.
මේ වගත් මෙසේ ම,
ගිය මාසේ පෝය දා ඉරිමා උදේ
කැකිල්ලේ මහ වාසල රජ්ජුරුවන් වහන්සේ සැතපී වදාරන වෙලාවේ දී නිසාවෙන් අත්සන් කළේ
ඒ කාලෙ පොතක පිටුවල සැකැස්ම එච්චර ලකයක් ඇතිව කෙරුණු විත්තියක් නෙවෙයි පෙනෙන්නේ. ‘මැංචෝසන් චාරිකා’ පොතේ පටුන යොදලා තියෙන්නේ 6-7 පිටු දෙකටයි. සාමාන්‍යයෙන් පොතක පටුන, පිදුම වගේ දේවල් යොදන්නේ ඔත්තේ පිටුවකටනෙ. ඒ වගේමයි, දැන් හුඟක් උදවිය ‘අලුත් පරිච්ඡේදයක්’ පටන් ගන්නකොටත් ඒක ඉරට්ටේ පිටුවකට දාන්නෙ නෑ.
හැබැයි, කුරුප්පු මහත්තයා ‘පටුන’ කියන සම්ප්‍රදායික
වචනය වෙනුවට මේ පොතේදී පාවිච්චි කරන්නේ ‘පිම්මෙන් පිම්ම’ කියන අපූරු යෙදුමයි. හිනා
වෙන්න හිනා- පෝස්ටුවකදී කියාපු ‘ආර්යාවගේ පිම්ම’ කතන්දරේ තමයි
මට මේ වෙලාවේ මතක් වුණේ.
ඔන්න මම 1 සිට 18 දක්වා පොතේ පටුනේ යොදා තියෙන ‘පිමි’ ටික නං මෙතන ඉදිරිපත් කරන්නේ
නෑ, හොඳේ. Blog පෝස්ටුවලට පිටු අංක වැදගත් නැහැනේ.
මස්සිනාත් එක්ක නැව් නැගිල
ලංකාව බලා යාත්තරා කරන්න... (foto- ශාන් විජේතුංග) |
හාපුරා කියා ලංකාවට
කර දිය වළල්ල වටේ ගොහිල්ල, රට
තොට බලා ගන්න තද ආසාවක් මගෙ හිතේ නළියන්න උනේ කටේ කිරි සුවඳ යන්නත් ඉස්සර. මගෙ
අප්පච්චිත් එසේ මෙසේ පුද්ගලයෙක් නො වෙයි. රට රාජ්ජවල ඇවිදලා කියල පුරුදු ඇත්තෙක්.
මගෙ කතන්දරේ හමාර කරන්න ඉස්සෙල්ල ඔහෙලට ඒක තේරේවි.
ඒත් පෙනේද දරුවන්ට ඇති ආදරේ?
නිතර දෙවේලේ කන් කෙඳිරි ගාලත් මගෙ මේ අදහසට අම්මණ්ඩිගෙන් තියා, එහෙව්
අප්පච්චිගෙන්වත් නෑ නො වැ වචනෙකින්වත් බුරුලක් ලැබුණෙ.
මා ගැන හිත වැටිච්ච මගෙ මස්සිනණ්ඩියෙක් හිටිය. අපරාදෙ කියන්න බෑ. ඇද නැති කදිම
ගැටයෙක් හැටියට මාව ගණන් ගත්තු මේ මස්සිනා, මගෙ අදහස ඉස්ට කර දෙන්න පුළුවන් හැම
දහිරියක්ම යෙදුව. මං වගෙ නෙවෙයි, මිනිහ කටින් ජය ගන්න ගජ හපන. ඒකෙන් තමා මට පොට
පෑදුණෙ.
ගලෙන් පට්ටයක් ගත්තැයි
කියමුකො!
මස්සිනාත් එක්ක නැව් නැගිල ලංකාව බලා යාත්තරා කරන්න අප්පච්චිගෙන් අවසර ලැබුණ.
මස්සිනාගේ බාප්ප තමා ඒ කාලෙ ඒ රටේ ආණ්ඩුකාරය.
රාස්ප් මහත්තයා අද ඉන්නවා නං!
මැංචෝසන් උන්නැහෙව අච්චර අමාරුවෙන් දත කාලා මෙහාට එවන්නේ නැති වෙයි. අද
යන්තමින්වත් පුළුවන්කමක් තියෙනවා නං ශ්‍රී ලංකාවෙන් චුත වෙලා යන්නනෙ හැමෝම try
කරන්නේ.
සුල්තාන්තුමාත් මාළිගාව කඩා
වැටිල යට වෙයි කියල පරාණ බයේ දිව්ව... |
දරයි වතුරයි දා ගන්න කියලා දූවක් අයිනෙ නැංගුරං දැම්ම විතරයි, පටන් ගත්ත- අම්ම
මුත්තා කාලේවත් අහල නෑ එහෙම කුණාටුවක්! මහ රූස්ස ගස් බුරුතු පිටින් ඉදිරි ඉදිරී
ඉහළට ගසා ගෙන යන්න වුණා. වට පනහෙ හැටේ ගස් වුණාට මොකද කියන්න බැරි තරම් ඉහළටයි ඒව
ගියෙ. ගහක් පෙනුණෙ හුළඟේ පාවෙන චූටි පිහාට්ටක් තරමටයි.
කුණාටුව නැවතෙනවත් එක්කම ගස්
එක එක බිමට පාත් වෙලා, කලින් තිබුණටත් වැඩිය හොඳින් නියම තැන්වල ආයිත් හිටවුණා.
කුණාටුවක හෝඩුවාවක්වත් ඉතුරු වුණේ නෑ. ඔක්කොටම වඩා ලොකු ගහට නං බැරි වුණා, මේ හරිය
කර ගන්න. සුළඟේ සැරට ඉදිරිල යනකොට ගහේ අතු අස්සෙ ගම ජෝඩුවක් පිපිඤ්ඤ කඩ කඩා උන්න.
ඒ රටේ පිපිඤ්ඤ පල ගන්නෙ ගස්වල!
ඉතිං, මේ ගම ජෝඩුව කියන්න
බැරි තරං ඉවසිල්ලකින් අතුවල එල්ලීගෙන අහසින් ගමන් කළා. මේ දෙන්නගේ බරට පැත්තකට ඇල
වෙච්ච ගහ බිමට වැටුණෙ හරහට.
ඔය කුණාටුව පටන් ගන්න වෙලාවට, මිනිස්සු- යට වෙලා මැරෙනවට බයේ ගෙවල් අත ඇරලා දිව්ව. ඒ රටේ සුල්තාන්තුමාත් මාළිගාව කඩා වැටිල යට වෙයි කියල පරාණ බයේ දිව්ව. මේ කියන වෙලාවට උන්නාන්සේ උයන හරහ ආපහු මාළිගාවට යහපත් වෙනව. වාසනාවට වාගෙ ගහ වැටුණේ උන්නාන්සෙ පොළොවට පාත් කර ගෙනයි. ඇඟිල්ලක්වත් හොලවන්න ඉඩ තිබ්බෙ නෑ!
ඔය එපා කරාපු පාලකයෝ ඉන්න
රටවලට, මේ
කියන ජාතියේ කුණාටු... |
ඔව්. ලොකුම ලොකු වාසනාවක්!
කිව්වහම මොකද, ඒ සුල්තාන්තුමා එපා කරපු හිතුවක්කාර පාලකයෙක්. රටේ වැසියො ජීවත්
වුණේ මිහි පිට අපායක. තමන්ගෙ හෙංචයියලට විතරයි වෙන හැන්දකින් බෙදුවේ.
උන්නාන්සේගේ අටුකොටු ඔක්කොම කෑම බීමවලින් පිරිල ඉතිරිල ගොහින්. ඒ උනාට අහිංසක
වැසියන්ට නොමැරී මැරෙන්නයි සිද්ද වෙලා
තිබුණෙ.
ඔන්න රජෝ, පුරස්නයක් අහන්න හිතුණා. ‘ඔය එපා
කරාපු පාලකයෝ ඉන්න රටවලට, මේ කියන ජාතියේ කුණාටු නිතර-නිතර එනවා නං’ කියලා
ඔහෙලාටත් හිතුණා නේද?
හා, හා. කාරි නෑ! එහෙම හිතුණත් ප්‍රසිද්ධියේ එහෙම දේවල් කියන්නයැ. නේද? මං නිකමට
ඇහුවේ, මගේ කඩප්පුලි - නසරානි ගතිය ඉස්මතු වුණු හින්දා.
මේ සාහසිකයගෙ මරණේ අහම්බෙන් වෙච්ච
දෙයක්.
කොහොම හරි පිපිඤ්ඤ කඩ කඩා
හිටිය ගම ජෝඩුවට පරණ පිනක් මතු උණා. වැසියො කතිකා කරල, සුල්තාන්තුමා පරලොව යවාපු
එකට කළගුණ සැලකීමක් විදිහට රට පාලනේ කිරීම මේ දෙන්නට පැවරුව.
කුණාටුවෙන් නැවට සුළු සුළු
අලාබහානි සිද්ද උණා. ඒත්, උවමනා කරන දේවල් නැවට පටවා ගෙන, අලුත් සුල්තාන් ජෝඩුවටත්
ආයිබෝවන් කියල, යහතින් අපේ ගමන පිටත් උණා. ඊට පස්සේ හුළඟත් අපට හිත ඇතිව හැමුව.
ලංකාවට ළඟා වෙන්න ගත උණේ හරියටම සුමාන හයයි.
සුමාන දෙකක් විතර ලංකාවේ ගත
කළායින් පස්සෙ දවසක ආණ්ඩුකාරතුමාගෙ වැඩිමල් පුතා මට අඬ ගැහැව්ව, දඩයමේ යන්න. මමත්
අහන්න ඉස්සෙල්ල කැමති උණා.
මගෙ යාළුව උහයි; හයි හත්තිය ඇති මිනිහ. රටේ උණුහුම් දේසගුණේටත් පුරුදුයි. කරපු මහ
රාජකාරියකුත් නෑ- වනාන්තරේට කිට්ටු කරනකොට මට හොඳටෝම මහන්සියි. යාළුවට ඉස්සරහින්
යන්න ඇරල මම ටිකක් පහු වෙලා ගියා.
අපි ගියේ ගඟක් අද්දරින්. ගං
ඉවුරෙ ටිකක් වාඩි වෙලා ගිමන් අරින්න හිතන්න උණෙත් නෑ, හිටි හැටියේම පිටිපස්සෙන්
ලොකු සද්දක් ඇහුණා. පස්ස හැරිල බැලින්නං, මගෙ ඇඟේ ලේ වතුර උණා.
එනව නේද තඩි සිංහයෙක් කැලේ පෙරළගෙන.
වෙන්න යන දේ සිංහයට දැනිලද කොහෙද- |
මගෙ අතේ තුවක්කුව තිබුණට
මොකද, පුංචි මූනිස්සන් දාල තිබුණෙ. දිගින් දිගට කල්පනා කරන්න වෙලාවක් නො වෙයි. සතා
බිම දමා ගැනිල්ල කොහොම උණත් බය කර ගන්නවත් වෙඩිල්ලක් තියන්නයි මම සූදානම් උණේ.
කුරුමාණම අල්ලන කොටම, වෙන්න යන දේ සිංහයට දැනිලද කොහෙද- ගොරවගෙන පැන්න මා දිහාවට.
මොකුත් හිතා ගන්න ඉඩක් නෑ. මං
නිකම්ම ඈතට වීසි වෙලා ගියා. එතෙන්දි දැක්ක දේ මතක් වෙනකොට දැනුත් මගෙ මයිල් කෙලින්
හිටිනව.
මං ඉස්සරහින් හිටියේ, මාව ගිල
ගන්න හොඳට කට ඇරගෙන බලා ඉන්න සද්දන්ත කිඹුලෙක්!
මැංචෝසන් සාමිටත් හෙනහුරා ලබනවා වගෙයි නිතරෝම. හෙනහුරු දෙයියෝ අපල කරන්න ගත්තහම කාටවත් ගැලවිල්ලක් නැහැල්ලුනේ. ඒකනෙ විෂ්ණු දෙයියන්නාන්සේටත් බටකොළ කකා හත් අවුරුද්දක් ඉන්න වුණයි කියන්නේ.
‘හෙනහුරු ගුණ්ඩු- බත්තලං...’
විත්ති ලියන එකට මේ මටත් හෙනහුරා අපල කරනවා වගෙයි. දෙවෙනි
කොටසේ කරුණු වගයක් තහවුරු කර ගන්න සූදානං වෙලා හිටිද්දී, ප්‍රියංකර තල්මේදා
හිතවතාට ඉස්පාසු නැති තරමට වැඩ යෙදිලා.
සති අන්තය නිසා වෙන්නැති.
මං හිතාගෙන හිටි පිළිවෙලට ‘හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස’ publish කරන්න හිටියෝතින් පරක්කු වෙනවා. ඉතිං, ‘මැංචෝසන් චාරිකා’ වැඩේ ඉස්සරහට ගත්තා.
හැබැයි අකුරු කර ගන්න වුණේ ටිකයි.....
මං හිතාගෙන හිටි පිළිවෙලට ‘හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස’ publish කරන්න...(foto- සෙරාන් එච්. ගමගේ) |
තව දවස් හතරකින් හමු වෙමුකෝ එහෙනං....!
තව ඩිංගෙන් අමතක වෙනවා. ‘මෙම කතා
සත්තවාදී බවට සහතිකය’ අකුරු කරද්දී තමයි මේක මගේ කල්පනාවට ආවේ. කැකිල්ලේ
රජ්ජුරුවන් ගැන නං මරු සිංදුවක් හිට ලියවිලා තියෙනවනෙ, ප්‍රේමකීර්ති ද අල්විස් සක්විත්තා අතින්.
ඒත් ‘නරි අඟ’ ගැන නං මතක ඇති සාවියක තිබ්බ බවක් මතක නෑ. දසනායක රත්නවතී; අපේ ආච්චී
ඒ ගැන කියාපු කතන්දරේ විතරයි යන්තමට මතක.
මගේ මතකය අලුත් කර ගන්නත් එක්ක, දන්නා පින්වතෙක්- පින්වන්තියක් කියනවද ‘නරි අඟ’
ගැන විස්තර?
ඔය එපා කරාපු පාලකයෝ ඉන්න රටවලට, මේ කියන ජාතියේ කුණාටු නිතර-නිතර එනවා නං - ඒම ආවත් තවත් අසරණ වෙන්ටෙ පොඩි මිනිහ තමා.....
ReplyDeleteහැම විටම හැම දේකින්ම තැලෙන්නේ පොඩි මිනිසුන්ය කියනවනේ නමී.
Deletehttps://sithiwilimanpetha.blogspot.com/2022/02/7.html?showComment=1645800195687#c713656283710744133
Deleteකුරුප්පු මහත්තයා ගොළු හදවතේ "සුගත්" කියලා හැමෝම දන්නවා නේද?
ReplyDeleteනරි අඟ ගැන කතාවක් මීට අවුරුදු හයකට විතර ඉස්සර දිනමිණ අතිරේකයක තියනවා. ඒක මෙතැනට දාන්නම් දිග වැඩි නිසා කොටස් දෙකක් විතර වේවි.
නටවන රිළා නැටි අග දැන් නරි අං
නරි අං කීවාම බොහෝ දෙනෙකුට නුපුරුදු වචනයක්. එහෙත් ඇත්තම කියනවා නම් ගෝනගේ අඟ ගෝන අඟ, මුවාගේ අඟ මුව අඟ, හරකාගේ අඟ හරක් අඟ වගේම තමයි නරියාගේ අඟ නරි අඟ. අනෙක් සතුන්ගේ වගේම තමයි නරියාගේ හිස මුදුනේ කන්දෙකට මැදින් එන පුංචි අඟක් තමයි ඒක. වැඩිම වුණොත් අඟල් 2ක් 3ක් උස හිටියි. වයසත් එක්ක එය ඉබේම ගැලවිලා වැටෙන තත්ත්වයකුත් තියෙනවලු. ධන නිධාන වාසනාවට, සෞභාග්‍ය උදාකර ගැනීමට මෙන්ම හදි හූනියම්වලටත් පාවිච්චි කරන දෙයක් හැටියට තමයි විස්තර දන්න අය මෙය හඳුන්වා දෙන්නේ. විශේෂයෙන් සමහර ලොකු ලොකු ව්‍යාපාරිකයොයි ගුරුකම් කරන කට්ටඩියොයි අතර තමයි මේ රහස මේ වනවිට වැඩිපුරම කැරකෙන්නේ.
නොයෙකුත් පුද පූජා සඳහා ඉන්දියාවේ යන හින්දු භක්තිකයින්, දින දෙක තුන මහා වනාන්තරවල ඇවිද අදාළ යෝගිවරු පූසාරිවරු මුණගැසී ආපසු එනවිට ඒ කීපදෙනකු අත හෝ මෙම නරි අඟට සමාන දෙයක් තිබෙනවා. ඒ බොහෝ දෙනාට තම සෞභාග්‍ය උදාකර ගැනීමට ලබාදුන් දෙයක් මිසකඉන් එහාට ඒවා ගැන යමක් කීමට ඔවුන් දන්නේ නෑ. ඔවුන් තම හිතවත් ව්‍යාපාරිකයිනට ඒවා ලබාදෙන්නේ ව්‍යාපාරික ස්ථානයේ ලාච්චුවේ තබාගන්න කියලා. “වරදින්නේ නෑ සල්ලි ගලාගෙන එනවා” කියලයි දෙන හැමකෙනාම කියන්නේ.
බොහෝ ව්‍යාපාරිකයින් වෙළෙඳසලට නැතිනම් තම ව්‍යාපාරික ස්ථානයට සුවඳ දුම් අල්ලන ගමන් කොහොමටත් ලාච්චුවට දුම් අල්ලන එක කෙරෙනවා. ඒ ගමන්ම මිතුරා ලබා දුන් දෙයටත් දුම් අල්ලන්න අමතක කරන්නේ නෑ. බොහෝ වෙලාවට එය නරි අඟකට දුම ඇල්ලීමක් කියලා දුම අල්ලන අය දන්නෙත් නෑ.
තව තවත් විස්තර හොයලා බලනකොට නඩු හබවලට සම්බන්ධ වෙලා ඉන්න අය තමයි වැඩිපුරම නරි අඟ ගැන උනන්දුවෙන්නේ. එය මිට මොළවාගෙන තමාට වාසනාව ගෙන එනතුරු බලාගෙන ඉන්න අය අපට ඉඳහිට හරි මුණ ගැහෙනවා. ඒ ප්‍රතිඵල භුක්ති විඳපු අය නරි අඟ විවේචනය කරලා කතා කරන්න කට අරින්නේ නෑ. ඒ තරමට බලසම්පන්න වූ පුදසත්කාර කිරීමට තරම් හේතු කාරණා සහිත දෙයක් වෙලා මෙම නරි අඟ සමහර අයට.
කුඩා පෙපරමින්ට් පෙත්තක් උඩ ක්‍රමයෙන් සිහින් වී ගිය පොඩි මොල්ලියක් වගේ උලක් උඩට නෙරාවිත් තියෙන අව සුදු පැහැයෙන් යුක්ත ඝන දෙයක් තමයි මෙම නරි අඟ ලෙස හඳුන්වන්නේ. අඟලක් විතර උස ඇති. නරි හිසට සම්බන්ධ වෙලා තිබුණා යැයි කියන එහි යට කොටසේ කුඩා හම් තීරුවක් වැනි දෙයක් එම යට කොටස වටේට දක්නට ලැබෙන අතර එය ලොම් සහිතයි.
මෙය තමයි මහා ඉහළින් කතා කරන අනර්ඝතම වස්තුව. පරම්පරා ගාණකට මදි නොකියන්නට සෞභාග්‍ය උදාකරලා දෙන නරි අඟ.
මුලින් සඳහන් කළ ආකාරයට මේ නරි අඟ සොයාගන්න හැටි අපේ ගම්වල පැරණි වෙදමහත්වරු කට්ටඩි මහත්තුරු හොඳට දන්නවා. එයාලා යනවා කැලේට නරි රංචු ලැගලා ඉන්න ගස් බෙන, හුඹස්, කුඩා ගල්ගුහා හොයාගෙන. ඒවා ළඟට ගියාම එයාලට තේරෙනවා උන් පොරකාපු තැන්. පැළෑටි පොඩිවෙලා, තණකොළ ගැලවෙලා යන තරමට පොරකාපු තැනක් නම් නරි අඟක් ගැලවිලා වැටිලා තිබුණොත් පේනවා. හොයාගන්න ලෙහෙසියි.
ඒත් ඒ විදියට හැම තැනකින්ම හොයා ගන්න පහසුවෙන්නේ හැම නරියකුටම අං තියෙනවා නම් විතරයි. එහෙම නෑ. නරි අඟක් පිහිටන්නේ බොහෝම කලාතුරකින් එකෙකුට. උගේ රූපකාය පවා රංචුවේ ඉන්නා අනෙක් නරියන්ට වඩා වෙනස්. උස මහතින් පවා අනෙක් සත්තුන්ට වඩා වැඩියිලු. හැසිරීම් රටාව දිහා හොඳට බලාගෙන හිටියොත් අං තියෙන නරියා හඳුනාගන්න පුළුවන් කියන එක තමයි දන්නා කියන අය කියන්නේ.
දළ ඇතුන් ගණනාවකින් එකෙකුට ගජමුතු පිහිටනවා වගේ කතාවක් මේක. කරුණු කාරණා හොයාගෙන යනකොට එයටත් වඩා දුර්ලභ දෙයක්ද කියලත් හිතෙනවා. දුර්ලභයි කියන්නේ ඉහළ මිලක් තියෙනවා කියන එක. ඒ කියන්නේ නරි අං ගජමුතුවලටත් වැඩිය වටිනවා කියන එකද.
බැලූ බැල්මට නරියයි අලියයි කියන්නේ සමාජ මිම්ම අනුව අහසට පොළොව වගේ. ඒත් ඇත්ත මෙයයි. නරි අං ගොඩක්ම දුර්ලභ දෙයක්. ඒත් තියෙනවා. හමුවෙච්ච, ළඟ තියාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ වගේම ඒවා සොයාගන්න අපේ පැරැන්නන් වගේම කැළේ කොළේ හොඳට හුරුපුරුදු වෙලා ඉන්න අය ළඟ නොයෙකුත් උපක්‍රමත් තිබුණා.
නරි පොරකාපු ගුහා ඇතුළටත් හිමින් සීරුවේ රිංගලා බලලා හොයාගන්න නැතිනම් ඒත් උත්සාහය අත හරින්නේ නෑ. එළියේ පොරකාපු තැන්වල කොළරොඩු වැඩිනම් ඒ තැන්වලට ගෙනත් දානවා පිදුරු හරි වියළි ඉලුක් තණකොළ, මානා වැනි දෙයක්. පොරකාලා තියෙන හැමතැනම ආවරණය වෙන පරිදි ඒවා තුනීකරදාලා ගිනි තියනවා. කොයි තරම් ලොකු ගින්නක් ඇතිවුණත් නරි අඟක් වැටිලා තියෙනවා නම් ඒ වටේට ගිනි ගන්නේ නැතිව ඉතිරිවෙනවා. රවුමට ඒ තැන ඉතිරිවෙලා අනෙක් සේරම දැවිලා අළුවෙලා ගියාම හොයාගන්න හරි ලෙහෙසියි.
ReplyDeleteහිතාගන්න පුළුවන්ද නරි අඟේ තියෙන හාස්කම. කිසිම වැදගම්මකට නැතැයි හිතන නරියකුගේ හිසේ තිබිලා වැටුණ දෙයක අගය. ඒ කියන්නේ අසාමාන්‍ය ශක්තියක් ගොනුවෙලා තියෙන වස්තුවක් කියන කතාව හරි. මීට අවුරුදු පනහකට හැටකට විතර ඉස්සර අපේ රටේ වලව් සංස්කෘතිය හිස ඔසවලා තිබුණ කාලයේ වලව්වේ සාලයේ මැද තෝරාගත්තු තැනෙක බන්දේසියක් මත තමයි නරි අඟට තැනක් වෙන්වෙලා තිබිලා තියෙන්නේ. බොහොම පරිස්සම් සහිතව ආදරයෙන් රැකබලාගෙන තියෙන්නේ. අඟක් තිබෙන එක ඒ වලව්වට ආඩම්බරයක් කියන ආකල්පයෙන්. නිවසට මෙන්ම නිවසේ ජීවත්වන්නන්ට මහත් සෞභාග්‍යය ගෙන දෙන්නක් ලෙස නරි අඟට ඒ ලෙසින් ලොකු පිළිගැනීමක් ලැබී තිබුණා.
නරියන් දහස් ගණනකින් නොව දස දහස් ගණනකින් එකෙකුට පිහිටන එය පහසුවෙන් හොයාගන්න හැකි දැනුමක් තිබුණ ගැමි ජනතාවගෙන් වලව්වේ හාමුලාට හාමිනේලාට මේවා තෑගි ලෙස ලැබුණා ඇතැම්විට. සමහර වැදි ජනතාවගේ අතින් ලැබුණු තැන් ගැනත් හෙළිවෙනවා.
මේ විදියට ලබාගෙන එදා වාසනාවත් සමඟ තියෙන ඉඩකඩම්, හරකා බාන, ගෙවල් දොරවල් වැඩි කර ගන්න තියාගත්තු නරි අඟ අද ලොකු ලොකු ගුරුකම් සඳහා රහසේම උපයෝගී කරගන්නවා කියන එක තමයි ආරංචි හැටියට තියෙන්නේ.
ඒත් ඒ දේවල් ඒ විදියට සිදුවෙද්දි මෑතක ඉඳලා නරි අං හැම පැත්තෙන්ම මතුවෙන්න පටන් අරගෙන. වැඩියෙන්ම එන්නේ අපේ රටේ ජීවත්වන එක්තරා ජන කොට්ඨාසයක් අතරින්. ඔවුන් ඒවායින් කරන ගුරුකමක් නෑ. සල්ලිවලට විකුණනවා. ඒක හොඳ ජීවන මාර්ගයක් කරගෙන. කලක් අති දුර්ලභ දෙයක්ව පැවැති එය දැන් එම ජනකොටස් සමහර අය ළඟ දහය දොළහ තියාගෙන ඉන්නවා.
කවුද මේ තරම් නරි අං තියාගෙන ඉන්න මිනිස්සු කියලා දැනගන්න තුරු ඉවසුමක් නැතිව ඇති. ඔව්. ඒ තමයි අපට මගතොටේදී මුණගැහෙන අහිකුණ්ඨික ජනතාව.
තැනින් තැනට යමින් නයි, රිළව් නටවලා නැතිනම් සාත්තරයක් කියලා ජිවිතය ගැට ගහගන්න ඒ අය වැඩිපුරම ගැවසෙන්නෙත් සාමාන්‍ය මිනිසුන් බහුලව ඉන්න ප්‍රදේශවල. ඔවුන් තැනක් නැතිම තැන කාලෙන් කාලෙට හුදෙකලා තැන්වල කූඩාරම් අටවා ගත්තත් ඒ හැම දෙයක්ම කෙරුවේ ජනාකීර්ණ තැන් කිට්ටුව. ඒ තැන්වලට නියරක්, බඩවැටියක් දිගේ නරියෙක් දෙන්නෙක් එන්න පුළුවන්. ඒත් නරියන් සිය දහස් ගණනකින් එකෙකුට පිහිටනවා යැයි කියන නරි අඟ දහය පහළොව එක්කෙනාගේ අතට එන්නේ කොහොමද?
මේ හින්දම නරි අඟට තිබුණ මිලත් අඩුවෙලා අහිකුණ්ඨික අය. එයට ඉල්ලන්නේ ඉතා අඩු මිලක් වීම ඒකට හේතුවයි. ලක්ෂ ගණනින් දස ලක්ෂ ගණනින් ගිය එක දහස් ගාණට වැටිලා. නරි අං විකුණන අහිකුණ්ඨික කොල්ලෙක්ගෙන් රුපියල් දෙතුන් දහකට වුණත් එකක් ගන්න පුළුවන් අද.
දවස් ගණන්, සති ගණන් කැලෑ ගානේ ඇවිදලා පැරැන්නෝ හොයාගත්තු අති දුර්ලභ දෙයක් කොහොමද මේ ගාණට දෙන්නේ. නොදන්නා කෙනාට සුළු දෙයක් වුණාට මේ වගේ දේවල් ගැනම ඇහැගහගෙන ඉන්න අයට මෙය ලොකුම ලොකු ප්‍රශ්නයක් වෙලා. සෞභාග්‍ය උදාකරගන්න නරි අඟක් තියාගෙන පුදසත්කාර කරපු මිනිස්සු නරි අං අහුරක් පොට්ටනියේ දමාගෙන ඉන්න අහිකුණ්ඨික කොල්ලෝ දිහා පුදුමයෙන් බලාගෙන ඉන්නෙ කොහොමද මෙහෙම වෙන්නේ කියලා.
බොහෝදෙනෙකුට නරි අඟක් දැකලා හරි එක මේ යැයි තේරුම් ගැනීමේ හැකියාවක් නැතත් දන්නවා හඳුනනවා යැයි කියන අය පවා හොඳට ඒ පැත්ත මේ පැත්ත හරවා බලා එම අයගේ නරි අඟක් සල්ලි දීලා අරගෙන පර්ස් එකේ දාගන්න අවස්ථා කොතෙකුත් තියෙනවා. තවදුරටත් හොයලා බලනකොට අහිකුණ්ඨික මිනිසුන් ළඟ මෙහෙම නරි අං විකුණන්න තියෙනවා කිව්වට නයි නටවන අය නොවෙයි රිළවුන් නටවන අය අතරින් තමයි මේවා එළියට එන්නේ.
නටවන රිළාමොටෙක් මැරුණම උගේ වලිගයට වටිනාකමක් එනවා. නිකම් ළපටි උන් නෙමෙයි වයසට ගිහින් මැරෙන රිළවකුගේ වළිගෙ කපලා අරගෙන කුණුගඳ එන්න අළු ටිකක් ගාලා අව්වේ වේලා ගන්නවා. කරවෙනකල් නෙමේ භාගෙට. නැත්තන් අමාරුයි. අමාරුයි කියන්නේ කීපයක් අපතේ යනවා.
ReplyDeleteරිළා නැට්ටක් අතට ගත්තු ගමන් ඒකෙ පුරුක් තියෙන්නේ කොයි කොයි දුරින්ද කියන්න පළපුරුද්ද තියෙන අය දන්නවා. හොඳට කැපෙන බ්ලේඩ් තලයක් අරගෙන වලිගයේ පුරුකෙන් පුරුකට අදාළ හම කොටසයි මස් කොටසයි විතරක් ගාණට රවුමට කපා ගන්නවා. පළපුරුදු කෙනා දන්නවා ඊට පස්සේ ඇට කැඩෙන්නේ නැතිවෙන්න පුරුකෙන් පුරුක ගලවගන්න.
මුල් කොටස තරමක් ලොකු බොත්තමක් වගේ තිබුණාට ඒකෙ අනෙක් පැත්තට උල්වෙලා ගිහින් ඊළඟ පුරුකේ බොත්තම වගේ කොටසේ කුහරයට තමා සම්බන්ධ වෙලා සවිවෙලා තියෙන්නේ. ඒ විදියට රිළා නැට්ටේ පුරුකක් කැඩෙන්නේ නැතිව ගලවා ගත්තනම් ඒක තමයි මේ කියන නරි අඟ.
ඒ විදියට හදාගත්තු නරි අං තමයි රුපියල් දෙතුන් දාහට විකිණෙන්නේ. දැන් දැන් කඩවල ලාච්චු ඇතුළෙයි පර්ස්වලයි පැෂන් එකක් විදියට නරි අං කියලා සමහරු දාගන්න පුරුදුවෙලා ඉන්නේ ඒ රිළා නැට්ටේ පුරුකක්.
නරියගේ හිස මුදුනෙ තිබිලා ගැලවිලා වැටෙන හරි අඟේ යට කොටස වටේට යන්තමට තියෙන ලොම් සහිත නරි හම පවා මේ රිළා නැටි පුරුකේ ඉතිරිවෙන ලෙසට සකස් කර ගන්න දක්ෂයෝ ඒ අහිකුණ්ඨිකයන් අතර ඉන්නවා. ඒ දක්ෂකම නිසාම තමයි සැබෑ නරි අඟක් දැකලා තියෙන කෙනෙක් වුණත් මේ රිළා නැට්ටට රැවටෙන්නේ.
නොදන්න දේවල් සෑහෙන තරමක් දැනගත්තා සෑම්. ගොඩාක් ස්තූතියි.
DeleteX 2 - නියම කොමෙන්ටුව
Deleteයකඩෝ, මේකෙ පෝස්ට් ඇතුලෙ පෝස්ට් නොවැ? ස්තූතියි.
Deleteස්තුතියි Sam අංග සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කළාට.
Deleteඅපේ ආච්චී කියාපු විස්තරත් ඔයිට ගොඩක් කිට්ටුයි. හැබැයි අඩුයි.
ගොයම් කපලා, පාගලා ඉවර වෙලා පිදුරු කමත වටේට ගොඩ ගහලා තියෙන පසළොස්වක දවසක නරි රංචු එතනට එනවලු සෙල්ලම් කරන්න. එහෙම එන නායක නරියාගේ අඟක් තිබ්බොත් ඒක හැලෙනවලු සෙල්ලම් කරද්දී. ඒත් එක හොයාගන්න වෙන්නේ අර පිදුරු කමත පුරා විසුරුවලා ගිනි තියලාලු. නරි අඟ තියෙන තැන පිදුරු ගිනි ගන්නෙ නැතිලු!
https://india.mongabay.com/2020/04/a-tale-of-non-existent-jackal-horns-and-its-online-sales/
ReplyDeleteලින්කුවට ස්තුතියි Pra Jay මහත්තයෝ.
Deleteඒ ලිපිය කියවද්දී මට මතක් වුණේ අලි කෙඳි මුදු. එව්වාත් සුබ පළ දෙනවලුනේ. හැබැයි ඒ අලි කෙන්ද අලියාගේ නැට්ටෙන් ඉබේ ගැලවිලා වැටෙන වෙලාවක- බිමට වැටෙන්න නොදී අල්ලාගෙන එයින් හද ගන්න මුද්දක් විය යුතුයිලු... අහම්බයන් කොච්චරද?
හ්ම්ම්... ඔය ලියල තියෙන්නෙ අපූරුවට...
ReplyDeleteඔය පොතේ තියෙන හැම එකක්ම වගේ තිබුණු ෆිල්ම් එකක් තිබුණා. මේ ඒකෙ කෑල්ලක්.
https://www.youtube.com/watch?v=DXRp3qWJDWA
මට ඔය පොතේ තියෙන එකම අවුල, අවසාන හරියට යනකොට අතිශයෝක්තිය වැඩි වෙලා චාටර් වෙන එක. හඳට යන හැටි, හඳේ රජ්ජුරුවො හම්බෙන හැටි එහෙම... විශ්වාස කරන්න බැරි ම බොරු ඒ හරියෙ තියෙන්නෙ. අනික් ටික නං පංකාදුයි.
ඔව් ෆිලුම නියමයි.
Deleteඅතිශයෝක්තිය වැඩි වෙලා චාටර් වෙන ගතියක් කියල හිතෙන්නෙ, දැන් අපි හඳ කියන්නෙ පාලු ගල් ගෙඩියක් කියල ගැන දන්න නිසා වෙන්නත් ඇහැකි. ඒක ලියපු කාලෙට අනුකූලව, එහෙමම නොවෙන්නත් ඇහැකි. එහෙම වුනත්, පරිසරය වැනිල්ල එහෙම අපූරුවට කරලා තියනවා.
Deleteමහත්වරුනේ, ඔක්කොම ටික අදම කියලා ඉවර කරන්න එපා. හොඳේ.
Deleteපොතේ තව ගොඩක් ලියන්න තියෙනවනේ.
මට නං වැඩියෙන් මතක් වෙන්නේ මේ කතාවේ සිද්ධි අදට සම්බන්ධ වෙන විදිහයි!
https://www.youtube.com/watch?v=xLU_GvlaTtI
ReplyDeleteමේ තියෙන්නෙ තව කොටසක්. මෙතන ඉන්නව අර "මොන්ටි පයිතන්" කණ්ඩායමේ, "හෝලි ග්‍රේල්" ෆිල්ම් එකේ හිටපු සර් රොබින්.
1988 වගේ ඈතක හදපු film එකක්නේ නේද, ඩ්රැකී? කොහොමද අද හදනවානම්?
Deletehttps://www.youtube.com/watch?v=5oOK3e53elo
ReplyDeleteමෙන්න සාක්ෂි. අපේ අන්දිරිස් කිත්තා ඊතලයක් විදලා, ඒකෙ එල්ලිලා හුණු පිටියෙ ඉඳං නාරංගොඩපාලුවට ආව කියල කිව්වම ඒක විශ්වාස කළේ නෑ.
මට මතක් වෙනවා ඒ කාලෙ ආව දෙබස් කවපු චිත්‍රපටයක්. සුරලොව මිහිර. අනේ ඒකෙ තිබ්බ වැඩ කෑලි මම බලා හිටියේ කට ඇරගෙන. නාග චම්පා එකත් ඒ වගේ!
Deleteම්ම පොත කියෙව්වේ අටේ හෝ නාමයේ පන්තියේදී වගේ, දැන් හම්බවුනත් ආසාවෙන් කියවයි, ස්තූතියි නිදි මතක් කලාට. හැබැයි අපේ ඩ්රකිට ගහන්න කතා ලියන්න බහ මැන්චෝසන් ට.
ReplyDeleteඩ්රැකී ආදිපාද තුමෙක්නේ අජිත්. මැන්චෝසන් සාමිවරයෙක්නේ. අජිත් මහත්තයෝ- ඔය දෙන්නාගෙන් වැඩිය බල සම්පන්න කව්ද හැබෑට?
Deleteපොත කියවලා නැහැනෙ. ඕනෙවට වඩා අතිශෝක්තියට බර කතාවලට මම කැමති නැහැ. අතිශෝක්තිය බැරි නිසා ජීවිතේ යම් ප්‍රශ්නවලටත් මුහුන දීල තියෙනවා. දැන් නිමල් කතාව දාන්න පටන් ගත්ත නිසා කියවන්න ඕනෙ.
ReplyDeleteLotus, මම නම් මේ පොතට අදත් කැමතියි.
Deleteඕනවට වඩා අතිශයෝක්තිය මේ පොතේ තියෙන්නේ හාස්‍යය මැවීමේ ගුණය නිසා වෙන්නැති. අනෙක අතේ පැලවෙන බොරු නෙව කියන තරමක් කියන්නේ.... අද පොලිටික්කන් වගේ!
ඔව්. හැබැයි මම කැමතිම පොත් දෙකක් තමයි මගේ හපන්කම් (ගෆූර් ගුල්යාම්) සහ නපුරු පාලකයො තුන්දෙනා. ඒවගෙත් අතිශෝක්තිය තිබුනට ජීවිතේ වඩා සංවේදී කාරනා කතා කරනවා කියලා මට හිතෙන්නෙ. මොහාන් රාජ් මඬවලගෙ පොත්වලත් ඔය අතිශෝක්තිය හා විකාරරූපි බව තියෙනවනේ (මම පාවිච්චි කරන වචන හරි කියලා හිතනවා). නමුත් ඒවත් මටනම් ජීවිතය ගැන සංවේදී නිසා කියවන්න කැමතියි. අපි හිතන විදිහ හා ජීවිතයේ නැඹුරුතා අනුව තමයි.
Deleteරුචිකත්වය පැත්තෙන් නං මම ටිකක් කපුටෙක් වගෙයි Lotus. පොත්, films, සිංදු... වගේ කොයිවයෙදීත් හොඳට ඉදිරිපත් කෙරිලා තියෙන ඔක්කොටම කැමතියි.
Deleteමොහාන් රාජ් මඩවලගෙ පොත් හැම එකක්ම ප්‍රින්ට් කරන්න කලින් ටයිප් සෙටින් කලාම කියවීමේ අවස්තාව මට ලැබෙනවා. දෙතුන් වතාවක්ම එය කියවමින් මොහාන් හා සාකච්ඡා කරන්නත් වෙනවා. ඒ බව ඒ පොත්වල ටයිටල් පිටුවකත් සඳහන් වෙන බව කියන්නේ නයෙක් එලවමින්!
මැන්චෝසන් අපට ඉංග්ලිෂ් පාඩම් පොතේදීත් හමුවුණා. මං හිතන්නේ හතේ පන්තියේ. ඒකේ තිබුණේ අර මැංචෝසන්කාරයා හිමෙන් වැහුණු නගරයක් වෙත යනකොට රෑ වෙලා අස්සයා කණුවක ගැට ගහලා නිදාගත්තු කතාව
ReplyDeleteරසික මහත්තයෝ, මම නම් හොඳට ඉංග්‍රීසි බැරි නිසා ඒ පොත් කියවන්නේ ඉතා අඩුවෙන්.
Deleteමැංචෝසන් චාරිකා සිංහල පරිවර්තනය මටත් සුවිශේෂී එකක්. කරුණු දෙකක් නිසා.
ReplyDelete1. මට පුංචී අම්මාපොඩි කාලේ ගුණසේන පොත් කඩෙන් අරං දීපු පොතක්. මේකෙන් මගේ සිතේ නිර්මාණකරණය ගැන මාර උනන්දුවක් ඇතිවුණා.
2. පරිවර්තක දොන් බෝල්ඩ්වින් කුරුප්පු පසු කලෙක මගේ හිතවතෙකු වුණා. ඔහු ඉන් පසු පළ කළ පොත් රාශියක් මට අත්සන් සහිතව තැපෑලෙන් එව්වා.
තැපෑලෙන් ලැබුණු හැම පොතකම මුල් පිටුවක මගේ නමත් ඇති!
Deleteයකෝ තියෙනවා නේන්නම්.
Deleteඅතට ගත්ත පළමුවෙනි පොතේම මෙන්න මෙහෙම තියනවා
"අන් කිසිවකුට නොපෙන්නු අත් පිටපත ගැන අවසන් තීරණය මගේ හිතවතකුට බාර කළෙමි. ඒ මා ලියන බොහෝ දේ පිළිබඳ ගුණදොස් පෙන්වා දී ඒවා මුද්‍රණය කරවීමට මට සහය වන නිමල් දිසානායකය. තරුණ ලේඛකයෙකු හා නවකතාකරුවෙකු ද වන ඔහුගේ විනිශ්චය කුමක් වුවත් එයට හිස නමන්නට සැරසීගෙනය එම වගකීම ඔහුට පවරන්නේ.
ඒ "මග හොදට නොතිබුණොත්" පොතෙනි.
දොන් බෝල්ඩ්වින් කුරුප්පු ගේ මරණය අසා මා ලියූ ලිපිය:
ReplyDeleteසිංහල මැංචෝසන් සාමි ගේ නික්ම යාම - In memory of Don Baldwin Kuruppu
https://rasikalogy.blogspot.com/2017/06/in-memory-of-don-baldwin-kuruppu.html
දොන් බෝල්ඩ්වින් කුරුප්පු ගැන මා ලියූ මේ ලිපිය ද කියවන්න.
ReplyDeleteකෙළින් මිනිහා! - In memory of Don Baldwin Kuruppu
https://rasikalogy.blogspot.com/2017/07/in-memory-of-don-baldwin-kuruppu.html
ලිපි දෙකම කියෙව්වා. රසික මහත්මාණෙනි. ස්තුතියි!
Deleteකුරුප්පු මහතා සමඟ මගේ සම්බන්ධය ගැන මං ලියූ 'ආවොත් නොයා බැරිය' posts කිහිපයේ links මේ. විවේක ඇති නම් කියවා බලන්න.
http://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_22.html
http://nidigepanchathanthare.blogspot.com/2018/07/blog-post_3.html
http://nidigepanchathanthare.blogspot.com/2018/07/blog-post_11.html
😁👌
ReplyDelete