“මගෙ දෙයිය! මගෙ අම්ම!! මගෙ දෙයියට උම්ම පන්සීයක් විතර දුන්නත් මගේ හිතට මදි, අම්මප- සත්තයි- බුදු හාමුදුරුවන්පල්ල- නිමල් අයියේ..ඒ..ඒ.ඒ.ඒ...” කියමිනි අසෝක පියසිරි ඉස්සරහට පැන, මාව ඉඹගෙන ඉඹගෙන ගියේ.
එතැන උන්නු හැමෝම කැකිරි පළමින් හිනා වුණේ එතකොටයි!
![]() |
කොච්චර සුපිරි මතකයක් තියෙන කෙනෙකුට වුණත් එහෙම වෙන්න... |
ඉතාම සීරුවෙන්; සැලකිල්ලෙන් මේ posts කියවන
කෙනෙකුගේ හිතේ ලොකුම ප්‍රශ්නයක් දැනටමත් පැන නැඟී තිබෙනවා විය හැකිය! ඒ රාත්‍රියේ
ඒ පැත්ත පළාතේ නොහිටි අසෝකයෙක් මේ වෙලාවේ මේ කතන්දරය මැද්දට උන්හිටි ගමන් කඩා පාත්
වුණේ කොහොමද? එහෙම පුරස්නයක් ඔබේ හිතටත් එන එක සාධාරණය!!
අසෝක හිතවතා මේ නිමල් දිසානායකයාව කිටි-කිටියේ
බදාගෙන ඉඹගෙන- ඉඹගෙන ගියේ එවෙලේම නොවේ. ඒ රාත්‍රියෙන් සති දෙකකට විතර පස්සෙ දවසකය;
අපේ ගෙදරදීය; තව දහ-පහළොස් දෙනෙකු ඉදිරිපිටදීය!
අසෝක පියසිරි හිතවතාගේ ඒ ‘කොමඩි’ රංගනය මේ දැනුත් මගේ ඇස්දෙකේය; තෙත් වී ගිය
ඇස්දෙකේය. (ඔයාට නිවන් සුව ලැබේවා- අසෝකයෙනි!) ඒ මොහොතේ මතකය ගැනය, පෝස්ටුවේ පටන්
ගැන්මේදීම මා සඳහන් කළේ.
ජාතක පොතෙත් තියෙන A to Z කතන්දර කියන ශෛලියට
අනුව නං එහෙම දේවල් ‘වච්චිල්’ය; ‘out’ය. තවත් විදිහකින් කියනවා නං ‘ඔට්ටු නැතිය’. ඒ
නිසා ගත වෙච්ච සති දෙකේදී සිද්ද වුණු වැදගත්ම කාරණා ටික අනුපිළිවෙලින් කියලම ඉන්නංකො.
එතකොට ඉවරයිනෙ...
අපේ නාට්‍යයට රුපියල් දාහ ගණනේ වියදම් කරන්න
කැමති තවත් සහෘදයන් හය දෙනෙකුව හොයා ගන්න අපට ඇහැක් වුණා. ඉතාම ළාවට වගේ මට මතකයි-
ඒ හය දෙනා අතරේ (මට කොහොඹ කිනිති 50ක් අමුවෙන්ම කවන්නට මුල් වුණු) සෝමවීර මල්ලිකාරච්චි හිතවතාත්
උන්නු විත්තිය. සෝමවීරත් රඟපෑමේ පිපාසයෙන් හොඳටම ආතුර වෙලා හිටපු කෙනෙක්.
සල්ලි දාපු අනිත් පස්දෙනා පිළිබඳව කිසිම මතකයක්
මට නැති එක ගැන මටම පුදුමයි.
කොච්චර සුපිරි මතකයක් තියෙන කෙනෙකුට වුණත් එහෙම වෙන්න ඇහැකියිලු නෙව- කාලාන්තරයක්
තිස්සෙ යන්තමින්වත් මතක් නොකරන කාරණාවලදි. මෙතෙන්දිත් ඒක තමා වෙන්න ඇත්තෙ. පහුගිය
අවුරුදු හතලිස් පහකටත් වැඩි කාලයක් ඇතුළත මේ නාට්‍යයට සල්ලි දැම්ම හිතවතුන් ගැන
මතකයන් ඇවිස්සුවේ නැහැනෙ. ඉතිං ඒ මතකයන් මැකිලා ගිහින් වෙන්නැති.
අනෙක් කාරණේ තමයි නාට්‍යයට තෝරා ගන්න කතාව.
![]() |
| ඒ කාලේ එහෙම තමයි. දැන් වගේ නෙවෙයි! |
“තමුසෙටම වුණත් හිනා ගියේ නැද්ද සමහර films බලද්දී... මෝරපු නිළියො ඉස්කෝලේ යන කෙල්ලන්ට ඇක්ට්
කරනවා දකිනකොට?”
(ඒ කාලේ එහෙම තමයි. දැන් වගේ නෙවෙයි! ජනප්‍රිය වෙලා හිටි වැඩිහිටි නළු නිළියන්වම
තමයි ළාබාල චරිතවලටත් ගත්තේ, නොගැලපුණත්. ගොඩක්ම සිංහල සිනමාවේත්- හින්දි, දමිල සිනමාවේත්.)
ඒ අතරේ මට දිගටම මතක් වුණේ සුප්පා දේවිට act
කරන්න බඩේ- පපුවේ මයිල් ගෑවාම
වෙච්චි දේ. ඊට පස්සෙ එව්වා තවත් හොඳට වැවුණා. ඒ හින්දා නාට්‍යයක් වෙනුවෙන්වත්
ආයෙමත් සැරයක් එහෙම මයිල් ගාන්න බැහැයි කියල මට හිතුණා. ‘ඔව්! හොයන්න ඕනේ ටිකක්
මෝරපු- වැඩිහිටි ගෑනු චරිතයක් තියෙන කතාවක්. එතකොට හරිනෙ! ඒත් ඒක බණ කතාවක්
වෙන්නත් එපැයි!’
එහෙම හිතාගෙන හොයනකොටයි මට හම්බ වුණේ යකින්නක්
ඉන්න ජාතක කතාවක්!
‘පද මානවක ජාතකය!!’
‘ඒ කතන්දරේ නාට්‍යයකටත් හොඳයි. ළද-බොළඳ ගෑනු
චරිතයක් වෙනුවට ඒ ජාතක කතාවේ ඉන්න යකින්නිට ඇක්ට් කෙරිල්ල මට ගැළපෙයි!’ මං හිතා
ගත්තා. ඒත් එක්කම නාට්‍යයේ සීන්ස් මෙහෙම මෙහෙමයි වෙන්නේ කියලත් හිතේ ඇඳගන්න පටන්
ගත්තා.
‘හැබැයි ගොයියෝ, ආයෙමත් නාට්‍යයක් කරනකොට අලුතෙන් නළු-නිළියො හොයාගන්න වෙයි. මතකයි
නේද විධුර නාට්‍යයට නළු-නිළියො ඇහිඳපු හැටි! දැනටමත්
හිටපු කට්ටිය සීසීකඩ විසිරිලා ගිහිංනෙ ඉන්නෙ...’ ඒ කාරණෙත් හොඳින් කල්පනාවට ගත්ත
නිසා මං නාට්‍යය ලියන වැඩේට අත තිබ්බෙ නෑ. ටිකක් ඉවසුවා...
“කරන්න යන අලුත්ම නාට්‍යය ගැන පොඩි සාකච්ඡාවක්
ලබන සෙනසුරාදා හවස හතර-හමාරට අපේ ගෙදරදී කෙරෙනවා. නොවරදවාම ඔයාත් එන්න- පරක්කු නොවී.”
අදාළ උදවිය ගොඩකට මමම පණිවිඩේ කිව්වා.
කළු අක්කා, සරත් රංචාගොඩ ඇතුළු තව කිහිප දෙනෙකුත් මගේ පයිණ්ඩය බෙදා හරින්න උදව්
වුණා. ඒ job එක එච්චර දෙයක් නොවුණේ අපි කවුරු- කවුරුත් උදේ හවස හම්බවෙන ගම්මුන්
වීම හිංදයි.
ඒ කාලය වෙද්දීත් පමුණුව මේ තරමටම පිටස්තරයන්ගෙන්
පිරිලා ඉතිරිලා ගිහිං තිබුන්නෑ. ඒකටත් එක්ක දැන්... පිටස්තරයෝ කියද්දි කල්පනාවට
ආවේ එම්. බී. රත්නකාන්ති වික්‍රමආරච්චි අම්මාවයි, එස්. වත්සරණි රත්නායක ආදරණීය දියණියවයි.
ඒ දෙන්නත් පදිංචි වෙලා හිටියෙ අපේ මහගෙදර- බතික් වැඩපොළ එහෙම තිබුණු පමුණුවේ,
එක්සත් සුබසාධක මාවතේ ගෙදරකයි.
ඒ අම්මගෙයි, දූගෙයි විත්තිය මං දැනගත්තේ අප්‍රේල් 19 වෙනිදා...
![]() |
ඔය හැම trip එකක්ම plan කරන්න ගත්ත දවසේ ඉඳලම WAL ප්‍රියන්ත, අයස්මන්ත, නෙවිල් ඇතුළු හිතවතුන් මට
බල කරනවා ‘යං යං’ කියල. (Foto- සෙරාන් එන්. ගමගේ) |
Camping ගියාම නිඳා ගන්න වෙන්නේ ඇඳන් උඩ නෙවෙයිනේ... බිම නෙව. එහෙම නිඳා ගත්තම මට
තනියෙන් නැඟිටගන්න බෑ- කාගෙ හරි උදව්ව ඕනිමයි. ඒක නං කොහොම හරි කර ගන්නවයි
කියමුකො.
ඒත් සිරුරු කිස?
හුඟ වෙලාවට අපට ශරීර කෘත්‍යය කරන්න වෙන්නේ කැලේට ගිහිං... (අපේ නඩේ ඔහොම කැලේ වදින
trip යනකොට පොඩි උදලු කෙටියකුත් ගෙනියනවාමයි.) සමහර කඳවුරු බිම්වල නං වැසිකිළි
තියෙනවා තමයි. එව්වයෙත් තියෙන්නේ උක්කුටික පෝච්චිනෙ. එහෙම එකක උක්කුටිකයෙන් වාඩි
වුණාට පස්සෙ නැඟිටගන්නත් උදව් ඉල්ලන්නයැ. ඔය දැවෙන ප්‍රශ්න තියෙද්දි මං මතකයට
කැන්ද ගත්තෙ ‘උපදේශ කාව්‍යයෙ’ තියෙන කවියක්.
බොරැල්ලේ තරම දැන ගෙන උඩ පනිනු
ගොඩැල්ලේ තරම දැන ගෙන ළිඳ කපනු
ක ඩු ල් ලේ තරම දැන ගෙන කද බඳිනු
තමන්නේ තරම දැන ගෙන දවසරිනු
ආන්න ඒ නිසයි ‘මට මහලු වයසේ - බැරිය වෙණ ගායනා
පෙරසේ’ කියලා මං දැන් වැඩිපුර එහෙ-මෙහෙ නොයා විහිංම නිවාස අඩස්සියට පත් වෙලා ගෙදර
ඉන්නේ.
හැබැයි- තවමත් ඔය හැම trip එකක්ම plan කරන්න
ගත්ත දවසේ ඉඳලම WAL ප්‍රියන්ත, අයස්මන්ත, නෙවිල් ඇතුළු හිතවතුන් මට බල කරනවා ‘යං යං’
කියල. ඒ ආදරණීය ඉල්ලීම්වලට ගොඩක් ස්තුතියි, හොඳේ.
ගෙදර උන්නු මට දහනව වෙනිදා රෑ අපේ මානෙල් නංගි
කතා කළා.
“ලොකා, සුබ සාධක මාවතේ ගෙදරක උඩ තට්ටුව ගිනි අරං... ඔයාට ආරංචි නැද්ද? හතර දෙනෙක්ම
පිච්චිලා. අම්මෙකුයි දුවෙකුයි පිච්චිච්ච එකෙන් මැරිලත් එක්ක..”
“කවුද හලෝ මෙහෙ වෙන දේවල් කොට්ටාවේ ඉන්න තමුසෙට ඔච්චර ඉක්මනට කිව්වේ?”
“චූටි නංගි!”
“අපේ චූටි? එංගලන්තෙ ඉඳලා...?”
“ඒකනේ ලොකා කියන්නේ... අපේ සුදිත් තමයි news
බලද්දී දැකලා චූටියට කියලා තියෙන්නේ... ඒ ගමන තමයි චූටි නංගි මටත් කතා කරල කිව්වේ...”
“යකඩෝ, ඒකෙත් හැටි. පමුණුවෙම ඉන්න මං දන්නෑ... එංගලන්තෙ ඉන්න සුදිත්ල දන්නවා...
හෙට තමයි මානෙල්, මට ටිකක් විපරම් කරල බලන්න පුළුවන්.”
ඒත්, පසුවදා උදේ විපරම් කර බලන්නට දෙයක් තිබ්බේ
නැත. ඒ සිද්ධිය ගැන තොරතුරු ජනමාධ්‍යවල
පළ වී තිබිණි.
![]() |
රත්නකාන්ති අම්මාත්, වත්සරණි දුවත්, ඔලීත් තිදෙනාම ඒ වෙනවිටත් මිය ගිහිංය. |
ගෙට ගිනි තබා තිබෙන්නේ ගෙවල් හිමියා ඔලීමලු. එයාගේම පුතණ්ඩියා එක්ක තරහටලු!
මේ සිදුවීම ගැන විමසමින් එදා උදේ වරුවේම තවත්
ෆෝන් කෝල්ස් හතරක් මට ආවාමය මං තවත් පුදුම වුණේ. එයින් ඇමතුම් දෙකක්ම blog ලියන
හිතවතුන් දෙදෙනෙකුගෙනි. ‘පමුණුවේ, එක්සත් සුබ සාධක මාවත කිව්වම නිදිලගෙ මහ ගෙවල්
තියෙන්නෙත් එහෙ කියලා මීටර් වුණා... පංච තන්තරෙන්ම කියවලා.’ ඒ දෙදෙනාම කීවෝහ.
“ඔය ඔලී පමුණුවෙම ගම්කාරයෙක්... හැබැයි, එයාලා
අසල්වාසීන් එක්ක වැඩිය පයුරු පාසනයක් පවත්තපු කට්ටියක් නෙවෙයි- මං දැකපු හැටියට
නං.
ඔය ගින්නට සුමාන තුනකට විතර කලිනුත් මට ඔලීව පාරෙදි හම්බ වෙල කතා කෙරුවා. හැබැයි
අද තමයි දැන ගත්තේ එයාගේ නම ඔලිවර්ය කියල.
පුංචි දන්නවද- ඔලීලගෙ ඉඩමේ මායිම දිගටම ඒ කාලෙ හිටවල තිබ්බේ පාවට්ටා ගස්. නික ගහකුත්
තිබ්බා. පමුණුවෙන් බාගයක්ම වගේ කසාය බෙහෙත්වලට ඒ දෙජාතිය හොයන්න ආවෙ එහාට.” මං අපේ
සෝමා පුංචිට ඔලීලා
ගැන ගොඩක් විස්තර කිව්වේ පසු තැවෙමින්.
බාගෙට එක්තැන් වෙලා වගෙ ඉන්න සෝමා පුංචි ලෝකේ
හතර වටේම ඉන්න දූ දරු මුණුබුරු මිණිබිරියන් හා මී මුණුබුරු මිණිබිරියනුත් හමු
වෙනවා What’s App හරහා.
සුමානෙකට දෙකකට සැරයක් පුංචි බදුල්ලේ ඉඳල මේ රංජි
පුතාටත් කතා කරනවා; සැප සනීප අහනවා. එයාගේ දරුවන්ට වගෙම මටත් ආදරෙයි. හරිම මව්වත්... මං පැටියා
කාලේ මාව තව ලස්සන කරන්න ‘වදකහ සුදිය’ත් පොවන්න
හදපු කෙනානේ.
ඒත් මං... මම නෙවෙයිනෙ එහෙව් මනුස්සයටවත් call එකක් දෙන්නෙ. ඒ නොතකා හැරීමක් හිංදා
නෙවෙයි, මං පුරුදු වෙලා ඉන්න විදිහ නිසා. ජන්මෙටත් වැඩිය ලොකුයි කියනවනෙ පුරුද්ද.
ඉතිං... අපි තියන්න සූදානං කරපු අර රැස්වීමටත්
ආරාධනා ලබපු කට්ටිය ආවේ එයාලා පුරුදු වෙලා ඉන්න විදිහට-පැය කාල බාගෙ පරක්කු වෙවී.
හැබැයි, අසෝක පියසිරි නං සරත් රංචාගොඩවත් කැන්දාගෙන කල් තියාම ආවා... සෝමවීරත්. ඒ
ආව වෙලාවේ ඉඳල අසෝකයි, සෝමවීරයි දෙන්නා ළිහන්න තියෙන මල්ල ඔබන්න පටන් ගත්ත.
![]() |
කාගෙ ජාතකේද සෝමවීර අයිය අහන්නේ? (ෆොටෝ එකේ කෙළවරවල්
දෙකේ මේ ලියන්නාත්- සෝමවීරත් සිටී.) |
“පිං සිද්ද වෙයි, තව චුට්ට වෙලාවක් ඉවසගෙන ඉඳපල්ල
යකුනේ... කට්ටිය ආවත් නාවත් අපි පහමාරට වැඩේ පටන් ගත්තම කියන්නං. නැත්තං මට එකම
දේවල් දෙපාරක් කියන්නයි වෙන්නේ... තේරෙනව ඇතිනෙ- දැන්ම ඔයාල අහන එව්වටත් උත්තර
දෙන්න ගියෝතින්...” එහෙම කාරුණික වචන... ටිකාක් විතර තර්ජනාත්මක tone එකකින් උච්ඡාරණය
කරලයි මං ඒ දෙන්නව සංසිඳව ගත්තේ.
අපේ අවිධිමත් මූලික සාකච්ඡාවට සහභාගි වූ ඇත්තන්
පිළිගැනීම, අපේ අරමුණ පැහැදිලි කිරීම වගේ දේවල් කළේ මං වහන්සේමයි. නැඟුණු ප්‍රශ්නවලට
උත්තර දෙන්න වුණෙත් මට.
“මොන කතාවෙන්ද නිමල් අයියේ, ඔය නාට්‍යය කරන්න
යන්නේ? රජ කතාවක් නේද...” අසෝක ඇහුවා.
“ජාතකේ මොකද්ද මචං?” සෝමවීර ප්‍රශ්න අහන්නෙත් පොල්ලෙන් ගහන තාලෙට. ඒ ප්‍රශ්නෙට නං
කළු අක්කගේ මල්ලී; කළු අයියා උත්තර
දුන්නා- තව ප්‍රශ්නයකින්ම. “කාගෙද? කාගෙ ජාතකේද සෝමවීර අයිය අහන්නේ?”
“මං ඇහුවෙ නිමල්ගෙන් මිසක් තමුසෙගෙන් නෙවෙයිනෙ, කළු අයියේ...”
“මාත් අහන්නමයි හිටියේ. නාට්ටියේ කතාව මොකක්ද නිමල්
මල්ලී...”
“පද මානවක ජාතකේ කළු අක්කේ...”
“අනේ, මම නං ඒ නම ඇහුවෙත් අදමයි...” ඉක්මනින්ම ‘ඒක නේන්නං / මාත් එහෙමයි / වැඩිය
ප්‍රසිද්ධ නැති කතාවක්නේ’ වගේ අදහසුත් කිහිප දෙනෙකුගෙන්ම කියවුණා.
“නිමල්ට පුළුවනිද ඒ කතාව අපිට කියල ඉන්න.”
කාගෙන්ද ආරාධනයකුත් කෙරුණා. වැඩි දෙනෙක් ඒ ආරාධනයට කැමත්ත දුන්නු හින්දා නිමල්
දිසානායකයාම ඒ ජාතක කතන්දරෙත් කියන්න පටන් ගත්තා.
“බරණැස් නුවර රජ කරපු බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ
බිසව හරිම වනචර එකියක්. රජතුමාව රවට්ට රවට්ට තව තව සම්බන්ධකම් පවත්තද්දී දවසක් රජ්ජුරුවන්ටම
මාට්ටු වෙන්න ගියා. ඒ ගමන බිසව බොරුවට දිවුරුවා. ‘මම එහෙම වැරද්දක් කළා නං ලබන
ආත්මයේ අශ්ව මූණක් තියෙන යකින්නක් වෙලා ඉපදෙන්න ඕනි’ කියලා.
-ඉතිං එයා මැරුණම එහෙම යක්ෂණියක් වෙලා උපන්නා;
ඉපදිලා, දොළොස් අවුරුද්දක්ම වෙසමුණි රජ්ජුරුවොන්ට කඹුරලා මිණී කන්න වරමක් ඉල්ල
ගත්තා...”
“වෙසමුණි රජ්ජුරුවොත් දැන් ඉන්න දේශපාලකයෝ
වගෙයිනෙ යකෝ... තමන්ට කඹුරන හෙන්චයියලට වරම් දෙන්නේ...”
“මේ සෝමේ, අපි මෙහාට ආවේ උඹේ කතා අහන්න නෙවෙයි...” අසෝක කිව්වේ තරහෙන්. එයාගෙ
උනන්දුව එහෙම පිටින්ම තිබ්බෙ නාට්‍යය ගැනයි.
“Please සෝමේ, ෂට් අප් යුවර් පඩික්කන් මවුත්!”
“රංජි, මම මුං දෙන්නවම එළියට ඇදල දාන්නද? එතකොට ඔයාට පුළුවනි එක දිගට ඔය කතාව
කියාගෙන යන්න.” අපේ පොඩි මාමා
මගෙන් ඇහුවේ ඇත්තටමයි. පොඩි මාමාත්, සෝමවීරත් දෙන්නා හිටියෙ ඕනෑම මොහොතක කොක්කක්
ඇද ගන්නට සූදානමිනි.
![]() |
හැබැයි රජෝ- කාට කාට කියල හරි උඩ දම්මවගෙන; කාගෙ කාගෙ උදව්වෙන් හරි රජ වෙන්න නං පුළුවන් කියමුකො... |
“හා හා ඇති... මෙතන තව මිනිස්සු ඉන්නවා... අනෙක පොඩි මාමේ- මේ දෙන්නව එළියට ඇදල
දැම්මොත් හෙම අපේ නාට්‍යයට රජවරු දෙන්නෙක්ම නැති වෙනවනෙ.” මගේ හිතේ තිබුණු ඒ කාරණය
කියැවුණාමය, අසෝක ඉස්සරහට පැන්නේ; පැනලා මාව ඉඹ ගන්නට පටන් ගත්තේ.
“මගෙ දෙයිය! මගෙ අම්ම!! මගෙ දෙයියට උම්ම පන්සීයක්
විතර දුන්නත් මගේ හිතට මදි, අම්මප-
සත්තයි- බුදු හාමුදුරුවන්පල්ල නිමල් අයියේ... එහෙනං ඔයා මාව රජෙකුට අන්දවන්න නේද
හිතාගෙන ඉන්නේ? මරු මරු නිමල් අයියේ... මේ උදව්වට නං ස්තුතියි කියල විතරක් මදි! නාට්‍යයකදි
වුණත් රජ වෙන්න තියෙනව නං කොච්චර එකක්ද අප්පා?”
“හැබැයි රජෝ- කාට කාට කියල හරි උඩ දම්මවගෙන;
කාගෙ කාගෙ උදව්වෙන් හරි රජ වෙන්න නං පුළුවන් කියමුකො... ඊට පස්සෙයි අමාරුම හරිය
තියෙන්නේ. නියම රජෙක් විදිහට ඇක්ට් කරන්න වෙනව!!” මට කියැවිණි;
“... එහෙම නොකළොත් නං රජෝ, බබිත් සුං බබියගෙ අම්මත් සුං!”
ඉතිරි ටික කියන්නං ඊළඟ කොටසෙන්... හොඳේ!






No comments:
Post a Comment