අන්ත දිළිඳු බවේ ගැලී සිටි ඔවුහු යන්තම් ජීවිතය
පවත්වාගෙන ගියහ... |
ඉරුණු සපත්තු... වැරහැලි වී ගිය අණ්ඩ දැමූ ඇඳුම්...
ඒවායින් සැරසුණු ජෝන්ගෙන් පළ වුණේ සිත් ඇදගන්නා පෙනුමක් නොවේ. ඊටත්, ඒ ඇඳුම වුණත්
ජෝන්ට වඩා විශාල අයෙකුට ඔබින්නකි.
ඒ ඇපල් නෙළන සමය විය. තරගයට මෙන් ඉදෙන ඇපල් නෙළන්නට
විශාල පිරිසක් අවශ්‍ය වූයෙන්, උතුරු කැරොලිනාවට කළු
ජාතික සංක්‍රමණිකයෝ පැමිණෙමින් සිටියහ. අන්ත දිළිඳු බවේ ගැලී සිටි ඔවුහු යන්තම්
ජීවිතය පවත්වාගෙන ගියහ. එහෙ-මෙහෙ යමින් කම්කරුවන් ලෙස සේවය කළහ.
ජෝන් ඉවන්ස් අයත් වුයේද එවැනි පවුලකටය.
මම එකල දෙවෙනි ශ්‍රේණියේ උගැනුම ලබන සිසුවියක් වීමි.
*****
පැහැබර උදෑසනක අපේ පන්තියට ගලා එමින් තිබුණු
ළා හිරු කිරණ මැදින් ජෝන් අපේ පන්තියට පැමිණියේය. ලජ්ජාශීලීව පැකිලෙමින් ගුරුතුමිය
වෙත පා නඟන ජෝන් දුටු අපි මුහුණෙන් මුහුණ බලා ගත්තෙමු. අපේ මුහුණුවල තිබුණේ එකම හැඟීමකි.
ඒ අප්‍රසාදයයි!
ඔන්න ඔන්න ඔයාලගෙත් අප්‍රසාදය
ලියලන වෙලාව ආවා!
ඒත් ඉතිං මක් කරන්නෙයි. පටන් ගත්තු කතන්දරේ කියල ඉවර වෙලා අටුවා-ටීකා ටික කියන්න හිටියෝතින්...
එහෙම ‘අන්තිමට පූර්වාපර සන්ධි ගලපන ක්‍රමය’ හොඳයි ‘පන්සිය පනස් ජාතකය’ ලියපු කාලෙට.
මට මතකයි ඉස්සර පිචැර් එකක් බලද්දී වැඩි දෙනෙකුට අන්තිම චුට්ට මිස් වෙන හැටි. එහෙම
වුණේ අන්තිම සීන් එකත් බලන්න තරං ඉවසිල්ලක් නැති මිනිස්සු නැඟිට-නැඟිට යන්න පටන් ගන්න
නිසා.
හැබෑටම අපි කිසිම ඉවසිල්ලක් නැති ජාතියක්ද?
ඒක නෙවෙයි.
අද කියන්න යන කතාව ඇත්ත කතන්දරයක්. Reader’s Digest සඟරාවක පළ වෙලා තිබුණු මේ කතාව
අනුවර්තනය කරලා සිංහලෙන් ලිව්වේ ‘නිමල් දිසානායක වන මම්ම වම්හ’.
ඒ, 1998 ඔක්තෝබර් 5 වෙනි සඳුදා පළ වුණු ‘පිවිතුරු’ යොවුන් පත්තරේට.
ඒ පත්තරයේදි මං ‘ලොකු අම්මා’ විදිහට රූපාන්තරණය වෙච්ච හැටි ‘ලොකු අම්මත් එක්ක’ postsවලදී
ලිව්වා, ඔයාලටත් මතක ඇතිනෙ.
‘දඟකාරි...’ ලිපි පෙළයි, ‘සිකුරු විජිතය’ නවකතාවයි දෙක සතිපතාම පත්තරේට ලියන අතරේ ඉඳහිට
මෙහෙම දේවලුත් මගෙන් කෙරුණා. (‘පිවිතුරු’ සංස්කාරක අංජන ඉන්ද්‍රජිත් හිතවතාත් මගේ මෙහෙම
වැඩවලට බොක්කෙන්ම සහාය දුන්නා. ස්තුතියි අංජන.)
ඔන්න මං අනුවර්තනයෙන් තව
කොටහක් දීලා ඉන්නයි හදන්නෙ. (දුඹුරට හුරු රතු පාටින් තියෙන්නෙ ඒ කතන්දරේ කොටස්ය.)
අපේ ගුරුතුමිය පාමෙල් මහත්මිය ඔහුගේ නමත් පැමිණීමේ
ලේඛනයට ඇතුළත් කළාය.
අපේ විරෝධය ක්‍රමයෙන් වැඩි වෙන මුණු-මුණුවක්ව නැඟී එද්දී පාමෙල් මහත්මිය හිස ඔසොවා බැලුවාය. පංතියම නිහඬතාවේ ගිලුණි.
“ළමයි... මේ ජෝන් ඉවන්ස්!”
ජෝන්ගේ මුහුණෙත් මඳ සිනහවක් පිපී තිබුණද අපි සිනා
නොවූයෙමු! |
පාමෙල් මහත්මිය පන්තිය සිසාරා බලද්දී මට දෙවියන් සිහි වුණි.
“අනේ දෙවියනේ...
ටීචර්ට මේ හිස් පුටුව පේන්න එපා.”
දෙවියන් මගේ යැදුම් ගණනකට නොගත්තා විය යුතුය. පාමෙල් මහත්මිය
මා අසලම තිබුණු හිස් පුටුව දැක්කා පමණක් නොව, ඉවාන්ව එතැනට එව්වාය. මා අසලින් වාඩි
වෙන අතරෙත්, ජෝන් සිනහවක් පාමින් මා දෙස බැලුවද මම බුරුලක් නොපෙන්වූයෙමි. හිස ගස්සා ඉවත බලා ගත්තෙමි.
‘එයා කොහෙද මාව යාළු කර ගන්නේ... ඒව හඳේ!’
මම මටම කියා ගත්තෙමි.
පළමු සතිය ගෙවී ගියේය. තවමත් ජෝන්ට මිතුරු මිතුරියන් කිසිවෙකු
නැත.
*****
“ජෝන්ගෙම වැරැද්ද අම්මේ! එයා තවම හරියට ගණන් කරන්නවත් දන්නෙ නෑ... අඳින්නෙත් පරණ ඒවා. මහ විසාල බාච්චු ඇඳුම්.” එක් සවසක මම අම්මාට කීවෙමි. හැම සවසකම ජෝන් ගැන මොන-මොනවා හෝ කීම ඒ වනවිට මගේ දින චරියාවේම අංගයක්ව තිබුණු බව මට නොවැටහිණි.
එහෙත් ඒ සෑම විස්තරයකටම හොඳින් කන්දීමට අම්මා පුරුදුව සිටියාය.
එහි ප්‍රතිඵලය වූයේ ඇසින් නොදැකම අම්මා ජෝන් ගැන සියල්ල දැනගෙන සිටීමයි. ඇයට මගෙන්
වැඩි විස්තර අවශ්‍ය වූ විටෙක ඇය කළේ ‘ඇත්තද?’, ‘ඉතිං ඉතිං’ වැනි වදනක් පිට කිරීම පමණි.
එයින් දිරිමත් වෙන මම ගිරවියක සේ සියලුම විස්තර අකුරක් නොහැර ඇයට කිව්වෙමි.
*****
එක් දිවාහාර විවේකයකදී, මම මගේ අහර බඳුනට එබීගෙන එහි ඇති
දෑ තෝරමින් සිටියෙමි.
“මං මෙතැනින් වාඩි වෙන්නද?”
මේ, මාත් පොඩ්ඩක් පීල්ල මාරු කරන්නද...
දන්න විදිහට දත කාලා- නැහීගෙන හරි මට නං මෙහෙම සිංහලයට නඟන්න හිතෙන්නේ ‘මගේ බොක්කටම
වැදුණු ලියවිල්ලක්’ විතරයි... එහෙම හිතට වැදුණු මේ කතන්දරේ ‘පිවිතුරු’වල පළ වුණේ කොටස් දෙකකට.
1998; අදින් වසර 25කට කලින් ලියැවුණත්,
මේ ලිපිය outdated වෙලා නෑ කියලයි මට හිතෙන්නේ.
1998; අදින්
වසර 25කට කලින් ලියැවුණත්, මේ
ලිපිය outdated වෙලා නෑ කියලයි මට
හිතෙන්නේ. |
මේ සතියේ මගේ නෑදෑ - හිතවතුන් ගණනාවකගේ උපන් දින යෙදී තියෙනවා. එක්කෙනෙක් තමයි අපේ
මානෙල් නංගිගේ දූ; උපේඛා කෞෂිනී. පෙරේදා; 21 වෙනිදා උදේ මම එයාට සුබ පැතුවා. හවස එහෙ
ගියා, අම්මව බලන්නත් එක්ක.
දවස් කීපයක ඉඳලා අම්මව ඇඳෙන් නැඟිට්ටවන්න
අමාරුයි. එකම ඉරියව්වකින් වැතිරිලා ඉන්නයි කැමති. ඒත් කවුරු හරි ඇවිත් ඉන්නවා නං,
ටිකක් නම්‍යශීලීයි.
ඔන්න උදේට මං අම්මට වීඩියෝ call එකක් ගන්නවා. බාග ඇත්තක් කියනවා. “මම අම්මව බලන්න එනවා...
මානි අම්මට wash එකක් දාල, මොනව හරි කවල ලැහැස්ති කරලා තියයි. මම එන්න කලින්, එයාට
එව්වා කරන්න අම්මත් උදව් වෙන්න ඕනි, හොඳේ.” මම කියන්නෙමි. මං අම්මාට නොකියන්නේ එහි
යන වෙලාවයි. නෙවිලුත් මාත් කොට්ටාවට යන්නේ හවස්කරේය.
එදාත් කළේ එහෙමය. ඒත් එහෙම යනකොටත්
අම්මා ඇඳේය.
“අම්මේ, මෙන්න ලොකාල ඇවිත්. අපි ඉක්මනට
වොෂ් එකක් දාගෙන එමු නේද?” අම්මාත් කැමැත්ත දෙයි. අසල්වැසි හේමමාලිගෙත් උදව් ඇතිවය;
මානි අම්මාව සෝදා පිරිසිදුකොට රෝද පුටුවේ වාඩි කරවන්නේ. “ලොකා ආවම අම්මා නැඟිටින්න
කැමතියි. කීයට හරි ඔයා යනකල්ම පුටුවේ ඉන්නත් ලැහැස්තියි.” අම්මලා දෙන්නාට කවන රාජකාරිය
කරන්නට සැරසෙන අතරේ මානෙල් කියයි.
දැන් අපේ අම්මා වචන දෙක-තුනකට වඩා කතා
නොකරයි. ඒ අඩුව පුරවන්නේ මානෙල්ය. එයාටත් හිතේ හැටියට ඒ ටික කර ගන්නට ඉඩ නොදෙන්නේ
හුරතල් හිමන්‍යාය. සිය වතාවක් විතර බොහෝම පොලයිට් විදිහට ‘Excuse me ලොකු සීයා...’
කියමින් එයාට අවධානය ඇද ගනියි; එයාගෙ කතන්දර කියයි.
ඉතිං, අන්තිමට අපි කට්ටිය කෑමට සැරසුණාමය,
‘රෝසි’ දුක හිතෙන කතාව කිව්වේ.
“මම අද දවල්ටත් නොකා රෑටම කන්න හිටියෙ අම්මා කහබත්වත් හදල තියෙයි කියල. නැත්තං ලොකු
මාමා මොනවා හරි හදාගෙන එයි කියලා මගේ birth day එකටත් එක්ක. ෂෙඃ, වැඩේ වැරදුණානෙ.”
සමහරෙකුට උපන් දිනය සුවිශේෂී එකකි. විශේෂයෙන්ම ළමයින්ටත්, තරුණ වියේ
පසු වන්නන්ටත්...
එතකොට ජෝන්ට? එයාට කොහොමද දැනුණේ කියලා ඉතිරි ටික කියවලම බලමුකෝ.
පේන තරමටම එයා නරක නැහැ වගේ... |
කෑම ශාලාවේ හැමෝම අප දෙස බලාගෙන සිටිතැයි මට හැඟුණත් මම වටපිට
නොබැලුවෙමි. පුංචි සිනහවක් පාමින්, හිස සලා ජෝන්ට අනුමැතිය දුන්නෙමි. පසෙකින් වාඩි
වූ ඔහු සංවරව අහර ගන්නට වූයේය.
‘පේන තරමටම එයා නරක නැහැ වගේ.’
අලුත්ම සිතිවිල්ලක් මගේ හිතේ ඇඳී ගියේ මටත් හොරෙනි.
ආහාරයෙන් පසු මම ජෝන්ගේ අතින් අල්ලා ගෙන පිට්ටනියට දිව්වෙමි. එවෙලේ මගේ හිත පුදුමාකාර
ප්‍රමෝදයකින් පිරී තිබුණු බව මට තවමත් මතකය.
*****
“ඇයි අම්මේ අනිත් ළමයි ජෝන් එක්ක යාළු වෙන්නෙ නැත්තේ”
එදාම සවස මම අම්මාගෙන් ඇසුවෙමි. ඇය දෙවුර හැකිළුවාය.
“අනේ මන්දා... සමහර විට එයාලා දන්නෙ නැතුව ඇති අලුතින් එන
යාළුවෙක්ව පිළිගන්න හැටි.”
එතැනින් එහාට කිව යුතුදේ සිතාගත නොහැකිව මම ගොළු වුණෙමි.
මා වෙනදාට වඩා හුරතල් වෙමින් අම්මාගේ ළඟම දැවටෙන විට ඇයට යමක් වැටහුණා විය යුතුය.
“මොකද ළමයෝ?”
“හෙ..ට ජෝ..න්ගේ උ.ප.න් දිනේ අම්මේ...”
“ඇත්තද?”
“ජෝන් පව් අම්මේ! අම්ම දන්නවද, එයාට උපන් දි..නේ..ට..වත්
මොනවත් හම්බ වෙන්නෙ නැහැල්ලු අම්මෙ... එයාගෙ තාත්තට සල්ලි නැති හින්ද කේක් එකක්වත්
හදන්නෙ නැ..හැ..ලු...”
“කවුද ඔයාට ඕවා කිව්වේ?”
“ජෝන්මයි කිව්වේ... ම.ම.නෙ දැන් එයාගෙ යාළුවා...”
අම්මා හිස සලා නිහඬ වූවාය.
නිහඬව සිටි නමුත් මට මැවි-මැවී පෙනුණේ අපේ උපන් දින දවස්ය. අක්කාගේත්, මගේත් උපන් දිනවලදී
නොවරදවාම අපට තෑගි ලැබෙයි. අපේ පංතියටම සෑහෙන ලොකු කේක් එකක් සාදන අම්මාම එය පාසලට
ගෙනෙයි.
අපේ පන්තියේ අනිත් ළමුන්ගේ උපන් දිනවල ඔවුන්ගේ අම්මලාත් එසේ කරන්නට පුරුදුව සිටියහ.
ඒත්, දැන් ඒ සිරිත කැඩෙන්නට යයි. ජෝන්ගේ උපන් දිනය කිසිම විශේෂත්වයකින් තොරව ගෙවී යනු
නිසැකය.
‘පව්! ජෝන්ට හොඳටම දුක ඇති.’
මුව ගහණය වඳවී යන්නට කිට්ටු විත්තිය මම ලිව්වෙමි. එයින් කම්පිතව
Praසන්ன හිතවතා
මෙසේ... |
“ජෝන් පව් නේද අම්මේ...”
“ඔයා බලන්නකෝ, සේරම හරි යයි.”
ඒ දක්වාම අම්මා කියන ඕනෑම දෙයක් දේව භාෂිතයක් ලෙස අදහන්නට
පුරුදුව සිටි මගේ සිත එවෙලේ නම් කීරි ගැසී යනු මට හැඟිණ.
‘සේරම හරි යන්නෙ කොහොමද? අම්මට වැරදිලා... ජෝන්ලට එක පාරටම
අද රෑට සල්ලි ගොඩක් ලැබෙනවයැ...’
*****
“අනේ අම්මේ, අද මං ඉස්කෝලේ නොයා ඉන්නං.”
එදින උදේ තේ බොද්දී මම මගේ අහිංසක ඉල්ලීම අම්මාට ඉදිරිපත්
කළෙමි.
“මොකෝ, අද ජෝන්ගේ උපන් දිනේ හින්දද?”
අම්මාට මගේ හිතේ තිබුණු හැඟීම පෙනුණාවත්ද? ලජ්ජාවෙන් මගේ දෙකම්මුල්වලට ලේ පුරන්නට විය.
මම බිම බලා ගත්තෙමි.
“ඔයා ආසයිද ඔයාගෙ උපන් දිනේ දවසෙ ඔයාගෙ හොඳම යාළුවා ඉස්කෝලේ
නෑවිත් ඉන්නවට...” අම්මා ඉතාමත් මෘදුව විමසුවාය. ඇගේ කතාව නිවැරදිය.
ජෝන්ට කේක් නැති විය හැකිය; තෑගි නොලැබීමටත් හැකිය; එහෙත් ජෝන්ගේ හොඳම යෙහෙළියගේ උපන්
දින සුබ පැතුමත් ඔහුට අහිමි වී යා යුතු නැත!
ඇහැට ඇඟිල්ලෙන් ඇනලා මෙහෙම දේවල් උලුප්පා
පෙන්වා දිය යුතු නැතත්, පෙන්වන්නෙමි.
දැනුම්-තේරුම් ඇති යුරෝපීය මාතාවක් තම දූ සිඟිත්තියගේ සිතේ මෙලෙස ‘යහ ගුණදම් බීජ’
රෝපණය කරන්නේ කෙතරම් සූක්ෂ්ම අයුරින්ද? සිතක් සංවේදී කළ යුත්තේ; සිතක් සුසර කළ යුත්තේ
ඉසියුම් ආකාරයෙන් මිස පොල්ලෙන් ගහන්නා සේ දඩබ්බර අයුරින් නොවේ. ඇත්තෙන්ම එය කලාවකි!
ඒ කලාව අපේ ගුරු- දෙගුරු- දෙමාපිය ඇත්තන්ට
නුහුරු නිසාදෝ, අපේ රටේ අද්‍යතන පුරවැසියන් බොහොමයකගේ හිතේ තෙතමනය අඩුවී ගොසිනි.
මට එහෙම හිතුණේ මන්දැයි, ඊයේ උදේත්
මගෙන් ලියැවිණි. ඒ නිදිගෙ පංච තන්තරේ නොකඩවා කියවන; නොකඩවාම commentsතුත් එවන Praසන්ன හා බස්සා
රසිකයන්ට උත්තර දීමේදීය.
වස්ගමුවේ මුව ගහණය වඳවී යන්නට කිට්ටු විත්තිය මම ලිව්වෙමි. එයින් කම්පිතව Praසන්ன හිතවතා මෙසේ කියා තිබිණි.
‘මේ දවස්වලත් සත්තුන්ට
උදාවෙලා තියෙන්නෙ එච්චර හොඳ කාලයක් නෙමෙයි. මේ පෑවිල්ල තව ටික කාලයක් අල්ලල
හිටියොත් ඔය කැලෑවල ඉන්න ගොඩක් සත්තුංගෙ ඉරණම විසඳෙයි. එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා
කරමු.’
‘උපන් දිනේ කියන්නෙත්
අනිත් දවස් වගේම එකක් තමයි.’ |
‘මාත් එහෙම ප්‍රාර්ථනා කරනවා ප්‍රසෝ!
සති දෙකකට කලින් අඟුණකොළපැලැස්සේ
හිතවතෙක් කිව්වා දැන් එයාලා ඒ පැත්තේ කිසිම මසක් කෑමට නොගන්නා බව. එහෙම කරන්නෙ
මිනිස් තිරිසන්නු කුඩා වතුර වළවල්වලට වස දාලා වනසතුන් බුරුතු පිටින් මරලා- මස් කරන
හින්දලු.
පෙරේදා ඒ ගැන නිව්ස් එකකුත්
දැක්කා...’
බස්සා මහතාත් අපේ අදහස් හුවමාරුවට එකතු
වුණේ මෙසේ අසමිනි:
“අපෝයි! දෙයියනේ. ඇයි අපට මෙහෙම වුණේ?”
ඒ විතරක් නොවේ, උන්නැහේගේ ‘බකමූණු අඩවියේ’
අලුත්ම පෝස්ටුව; ‘සොහොන්පල්ලාගේ
මතක වස්තුව’ එකේ comment එකකදීත් මේ ගැන සඳහන්කොට තිබිණි.
මේ ‘අපේ මනුස්සකම විතැන් වී - හිතේ
තෙතමනය තුරන් වී තියෙන තරම පෙන්නන එක දර්ශකයක්’ බව මගේ නිගමනයයි! ජාතියක් වශයෙන් පමණක්
නොව, රටක් වශයෙන්මත් වඩා සංවේදී වන්නට අපි පුරුදු විය යුත්තෙමු.
ඒ බව ධාරණය කර ගන්නා අතරේම, කාරුණික ගුණයෙන් සපිරි අපේ කථිකාවිය ඊළඟට කළ- කී දේවල්
මොනවාදැයි දැන් සොයමු.
පාසලට ගිය විගස මම ජෝන්ට සුබ උපන් දිනයකට ආසිරි පැතුවෙමි.
ජෝන්ගේ විසල් දෙනෙත් කාන්තියෙන් බබළන්නට ගත් විට ඔහුගේ ප්‍රීතිය
නිම්හිම් නැති එකක් බව මට වැටහුණි.
අම්මා කියා තිබුණේ ඇත්තම ඇත්තකි! මොනවා නැතත් ජෝන්ට මගේ උණුසුම් සුහදත්වයවත් ලබා දිය
යුතුය.
එදා දහවල් වන විට මගේ පුංචි සිතේ ලොකු සිතුවිල්ලක් පැලපදියම්ව
තිබිණි.
‘උපන් දිනේ කියන්නෙත් අනිත් දවස් වගේම එකක් තමයි.’
පාමෙල් මහත්මිය කළු ලෑල්ලේ ගණනක් සාදමින් සිටියදී සුපුරුදු
රිද්මයැති හඬක් අතින් නැඟී ආවේය.
ඒ හඬ මට හොඳටෝම පුරුදු එකකි; මා හඳුනන එකකි... ඒත්, අද? අද ඇය සුබ උපන් දිනයක් පතන්නේ
කාටද?
ටිකකින්ම, පන්ති කාමරයට පිවිසෙන දොරටුව අසල අපේ අම්මා දිදුලමින්
පෙනී සිටියාය. නිකන්ම නොවේ; දැල්වෙන ඉටිපන්දම් සහිත සුවිසල් කේක් ගෙඩියක්ද සුරතේ දරා
ගෙනය.
අම්මාගේ අනිත් අතේ ලස්සනට ඔතනු ලැබූ හුරුබුහුටි පාර්සලයකි. පාර්සලය මනාව ඔතා,
ලස්සන කඩදාසි රිබන් පටියකින් ගැට ගසා තිබිණි.
‘හැපි බර්ත් ඩේ ටු යූ!’ අම්මගෙ කන්කලු හඬට පාමෙල් මහත්මියගේ
උච්ච ස්වරයත් එක් වුණි.
පන්තියේ සියලුම ළමෝ මා දෙසට හැරුණාහ. ඔවුහු අපේ අම්මාව හඳුනති.
මගේ උපන් දිනය ඊට මාස දෙකකට පෙර යෙදුණු බවද ඔවුහු දනිති.
එදා මා සමඟ එකට පන්තියේ සිටි කිසිම යහළුවෙකුගේවත්, යෙහෙළියකුගේවත් නම් පවා අද මගේ මතකයේ නැත. |
බියෙනුත්, කුතුහලයෙනුත්, ලජ්ජාවෙනුත් වෙළී මිරිකුණු ජෝන් කළ යුතු කිසිවක්ම තෝරාගනු
නොහැකිව ගල් ගැසී බලා සිටියේය.
අම්මා ඔහු වෙතට අවුත්, කේක් ගෙඩිය ඔහුගේ ඩෙස්කුව මතින් තැබුවාය.
“සුබ උපන් දිනයක් ජෝන්!”
පන්තියේ ළමයි සැවොම එකාවන්ව අත්පොළසන් දෙමින් ප්‍රීති ඝෝෂා නඟමින් ‘සුබ උපන් දිනයක්
ගීතය’ ගයන්නට
එක් වූහ. මමත් දෙනෙතේ කඳුළු තෙරපෙද්දී ඔවුන් හා එක් වූයෙමි.
*****
ඇපල් නෙළන සමය අවසානයේ ජෝන්ලා වෙනත් පළාතකට ගියහ.
එදා මා සමඟ එකට පන්තියේ සිටි කිසිම යහළුවෙකුගේවත්,
යෙහෙළියකුගේවත් නම් පවා අද මගේ මතකයේ නැත. එහෙත්...
‘සුබ උපන් දිනයක්’ ගීය ගැයෙන ඕනෑම මොහොතක මගේ මතකයට නැඟෙන්නේ ඒ පංති කාමරයයි. එම ගීතය
සැබවින්ම අර්ථාන්විතව, වඩාත් හැඟුම්බරව ගායනා කෙරුණේ එදා බව මට සිතෙයි.
එපමණක්ම නොවේ!
එතෙක් මෙතෙක්- එදා තරම් රසවත් කේක් කැබැල්ලක් රස බලන්නට අවස්ථාවක්ද මට නොලැබුණු බව
මම ඕනෑම තැනක දිවුරා කියන්නෙමි෴0෴
කාලයක් අපෙත් ප්‍රියතම සඟරාව වෙලා තිබ්බේ ඕක තමයි. හිතට දැනෙන කතාවක්.
ReplyDeleteගොඩාරියක් ස්තුතියි Litseeker, ඒ සඟරාව ඉතාම අපූරුවට සංස්කරණය කෙරුණු එකක්.
Deleteපරිවර්තන ගැන මගේ අදහස, මුල් කතාවේ ඇති නම් (ජෝන්,පමෙල් වගේ) යෙදුවම මට පොත නැගල යන්නේ නෑ. සමහර පරිවර්තන ලංකාවට හුරු නම් දාල කරලා තියෙනවා, ඒවා කියවන්න ලේසියි කියල හිතෙනවා (මේක මගේ දුර්වලකමක් වෙන්න පුළුවන්)
ReplyDeleteආ උපන්දින ගැන, අපේ පුතා පොඩිකාලේ තෑගි හම්බ උනාම පොර එකේ මදේ (කාර් වගේ ඒව වල) එලියට ගන්නවා දුන්න කෙනා යන්න කලින්, මාර උප්සැට් වැඩේ. අපි ටක් ගලා තෑග්ග හංගනවා දුන්න කෙනා යනකම්. උන් බලනවා කෝ මේ පොඩි එකාට දුන්න තෑග්ග කියල.
මම විජේබාහු
රුසියානු පොත්වල පරිවර්තනවලට මුල් කෘතියේ නම් යොදල තියද්දී නම් පාඨකයා සෑහෙන අමාරුවක වැටෙනවා. මොකද ඒ නම්වලම කෙටි නමත් පාවිච්චි වෙනකොට.
Deleteඒ බව පරිවර්තකයන්ටමත් වැටහිලා තියෙන බවට හොඳම උදාහරණය 'යුද්ධය හා සාමය'. පරිවර්තනයේ මුලින්ම චරිත ගැන සම්පූර්ණ විස්තරයක් දාලා තියෙනවා විජේබාහු මහත්තයෝ.
දැන් පොඩ්ඩෝ ගැන බැලුවොත් ඔයාට පුදුම හිතෙයි විජේබාහු මහත්තයෝ.
.... එයාලා හෙණ ඇඩ්වාන්ස්!
Deleteඒක හරි සංවේදි🥺🥺🥺🥺
ReplyDeleteස්තුතියි!
Deleteපරිවර්තනයක් වුණත් ඉතාම සංවේදීව හිතට දැනෙන විදියට ලියන්න පුළුවන් සැබෑ දක්ෂ ලේඛකයෙක් විදියට අපට නිමල් දිසානායකයන් හඳුනාගත හැකි විදියේ පෝෂ්ට් එකක්, ඇත්තටම නිමල් මේ කියන විදියට මානූෂීය ගුණාංග වර්ධනය කර ගැනීම වගේම සරලකම සහ ලැබෙන ආදායමට අනුව සතුටින් ජීවත් වෙන ගමන්ම ඉදිරි දියුණුව සහ සුබසිද්ධිය ගැන කැපවීම වගේ දේවල් වලට ලංකාවේ ජනතාවට හුරු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් ලෙස මට හිතෙනවා
ReplyDeleteමම මාතලන්ගේ බ්ලොගය තුල සරලකම විශේෂයෙන්ම භාරතීය සමාජය තුල විද්වතුන්ගේ ඇති සරලකම ගැන ලියුවා මෙහෙම
//ලංකාවේ මීගවයෝ අල්ලපු රටෙන් ගන්නේ එපාම කරපු නරකම දේවල් විතරයි හොඳ දේවල් මොනවත් ම නෑ නේද? මාතේ ඔය ඉන්දියාව හදට ගිය රහස ගැන කියද්දී ඉන්දියාවේ නායක නරේන්ද්‍ර මෝදි ළඟින්ම ගමන් කරපු අර ඡායාරූප වල ඉන්න සුප්‍රසිද්ධ කෙසඟ පුද්ගලයා කවුද දන්නවද..? ඔහුගේ නම මහාචාර්ය සම්බාජි බීඬේ. ලොවම පිළිගත් පරමාණුක භෞතික විද්‍යාවට රන් පදක්කම් දිනූ අසහාය විද්‍යාඥයෙක්. මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ පූනා හී ෆගියුසන් ආයතනයේ මෙන්ම භාරතයේ කීර්තිමත් සරසවි රැසක දශක ගණනාවක් ඉගැන්වීම් කළ විද්වතෙක්. ඔහු සිදුකළ පශ්චාත් අධ්‍යයන ප්‍රමාණය අසමසමයි. 67කට වැඩි මේ අධ්‍යයන නිබන්ධන වලට මේ මහාචාර්යවරයා භාරතීය හා ජගත් තලයේ සම්මාන සියයකට වැඩි සංඛ්‍යාවක් හිමි කරගෙන තිබෙනවා. ඇමෙරිකාවේ නාසා ආයතනයේ හා පෙන්ටගනයේ උපදේශකත්වයට පත්වූ එකම ඉන්දියානුවා ඔහු පමණයි. මේ සියලු කටයුතු අවසානයේ ඔහු මහාරාෂ්ඨ ප්‍රාන්තයේ තරුණයන් මිලියනයක් සමග භාරතය වෙනුවෙන් සමාජ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. ලෝකයේ ඉහළම සැප සම්පත් විඳින්නට තරම් උගත්කමක්, ධනයක් තිබුණත් ඔහුගේ ජීවිතය ගෙවෙන විදිහ විශ්මයජනක ලෙස අති සරළයි. ඔහු අඳින්නේ දළ රෙදි පමණයි. සපත්තු තබා සෙරෙප්පුවක් වත් දාන්නෙ නෑ. අනුභව කරන්නේ සරළ ආහාර.
ඒ අනුව ඔබත් මදක් සිතා බලන්න ජාතියේ අසහාය දියුණුව වෙනුවෙන් රටේ නායකයන් සමග කටයුතු කරන්නට ලැබෙන අවස්ථාවක් අපි ප්‍රයෝජනයට ගන්නේ කොහොමද? අපට තිබෙන හොඳම ඇඳුම, හොඳම සපත්තු යුගලය, හොඳම ඔරලෝසුව... එහෙම නේද?
ඒත් මහාචාර්ය සම්බාජි බීඬේ........ ! සැබිවින්ම බුද්ධිමත්කමට මනුෂ්‍යයෙකු තුළ ඇති කෙතරම් පරිවර්තනයක් ඇති කළ හැකිද යන්නට මහාචාර්ය සම්බාජී බීඬේ ජීවමාන සාක්ෂියක්. බුද්ධිමත්ව තීරණ ගැනීමට පුළුවන්කම ලැබිල තියෙන භාරතයේ විද්වතුන් උගතුන්ගේ සරල බව අපේ අයත් අධ්‍යයන කල යුතුයි. මෙහෙම මිනිසුන් ජීවත් වන්නෙ මේ මහ පොලවෙමයි කියල අමතක කරන්න එපා//
නිමල් දිසානායක සූරීන්ටත් මීට යමක් එකතුකර මීට වඩා හොඳට පෝස්ටුවක් දාන්න පුළුවන් බව හිතෙනවා.
දැනුවත් කිරීම ගැන ස්තුතියි ඇනෝ!
Deleteකාගෙ වුණත් ඔළුව දැනුමින් පිරෙනකොට- ඒ දැනුම භාවිතයට ගැනෙනකොට- මොළේ පුස් නොකා තියෙනකොට තමයි සරල ඇවතුම්- පැවතුම් ඇති වෙන්නේ.
ලංකාවේ එහෙම තිදෙනෙක්ව දැන හඳුනා ගැනීමේ වාසනාව මට ලැබුණා.
පලමුවෙනියයි- දෙවෙනියයි දෙන්නා ගමන්-බිමන් පවා ගියේ නිරුවත් දෙපයින්. සපත්තු සෙරෙප්පු නොදා. පළමුවැන්නා මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ. දෙවැන්නා බලංගොඩ තාරක ප්‍රකාශන ආයතනය පවත්වාගෙන ගිය (අභාවප්‍රාප්ත) රෝලන්ඩ් මහතා.
තෙවැන්නා ඩී.අයි.ජී. ධර්මසේකර මහතා. පුදුම දැනුමක් තිබෙන කෙනෙක්. 80 ගණන්වල ඔහුගෙ සියලු සේසත පොඩි සිලි මල්ලක දාගෙනයි 'කාලය' සඟරාවේ වැඩවලට අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයට ආවේ. දැනුත්- අනගාරික ධර්මසේකර වුණාට පසුවත් ඒ අල්පේච්ඡ ගතිය රැකිලා තියෙනවද කියලා නං මේ මොහොතේ මගේ නසරානිකමට හිතුණා.
පංකාදු පරිවර්තනය!
ReplyDeleteපොඩිකාලෙ ඔවදන් වලට වැඩිය ආදර්ශය මගින් පණිවිඩයක් දීම සාර්ථකයි, ඒ වගේම අරක මේක කරන්න එපා කියනවට වඩා දෙයක් කරහම ඒකෙ ප්‍රථිපලය පෙන්වෙ දීමත් සාර්ථක ක්‍රමයක් කියලයි මට හිෙන්නෙ.
- නමියගෙ වීදිය
එකඟයි නමී, ස්තුතියි!
Deleteර් අකුර හුටපට කරන හින්දා මම දැන් හැකි හැම විටම මැදට ර් එන වචන භාවිතය අඩු කරලයි තියෙන්නෙ.
ඒකයි comment එකේ මුලට 'සම්පූර්ණයෙන්ම' වචනය නොදැම්මේ...
Such an inspiring story.
ReplyDeleteනිමල් කියලා තියෙනවා වගේ මමත් කැමති "දැනුම්-තේරුම් ඇති යුරෝපීය මාතාවක් තම දූ සිඟිත්තියගේ සිතේ මෙලෙස ‘යහ ගුණදම් බීජ’ සූක්ෂ්ම අයුරින් රෝපණය කරන" විදිහ මේ කතාවෙන් පෙන්වන එකටයි. බෞද්ධ රටේ නම් බොහෝ විට "ආ ඒ ලමයා ගිය ආත්මෙ පව් කරලා ඒකයි" වගේ කතා විතරක් ඇහෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට අපිට අමතක වෙනවා පොඩ්ඩො අපිව observe කරලා ගොඩක් දේවල් ඉගෙන ගන්න බව.
"එම ගීතය සැබවින්ම අර්ථාන්විතව, වඩාත් හැඟුම්බරව ගායනා කෙරුණේ එදා බව මට සිතෙයි".
ඇත්තටම එහෙම අවස්තා තියෙන්නෙ කොයි තරම් අඩුවෙන්ද.
අවුරුදු හත-අටේ දූ පුතුන් ලවා පුංචි හොරකම් කරවන අම්මලා තවමත් මං දකිනවා. ඒ වයසේ ළමුන් 'අම්මා මතක් කර බනිනවා'ත් දකිනවා. (අයස්මන්ත මහතා වරක් කිව්වා හම්බන්තොට රෝහලේ ඔපරේෂන් තියටරයෙදී පොඩි දරුවෙක් xත්තො කියමින් බෙරිහන් දුන් හැටි.)
Deleteඇත්තටම Lotus කුඩා දරුවන්ව නිසි විදිහට හදන්න ඕනි කරන දැනුම අපෙ ගොඩක් තරුණ මව්පියන්ට නෑ. ඒවායේ ප්‍රතිඵල ගොඩක් ඛේදනීය පුවත් හැටියට එළියට එනවනේ දිනපතාම.
මට තියෙන මොට්ට හිතිවිල්ලක් මේ. ඉංග්‍රීසි පන්නෙට ගුඩ් මෝනින්- තැන්ක්ස්- සොරි- විශ් යු කියලා කොච්චරවත් කිව්වට අපෙ උදවිය ඒවා ඇත්තෙන්ම; හදවතින්ම අදහස් කරලාද කියන්නෙ?
ලංකාවේ වී,විද්‍යාලවල රැග් ගැන කියද්දී හැමෝම මතක් කරන්නේ පිටරට එහෙම නෑ කියල, එත් බුලි කරන එක පිටරට ඉස්කෝල වලත් ඇති කියල මට හිතෙනවා.
ReplyDeleteපිටරටවලත් බුලි කරන පුරුද්ද තියෙනවා කියලයි මගෙත් අදහස.
Deleteකල්ලි ගැහීමේ - කල්ලි හදා ගැනීමේ එක නරක ප්‍රතිඵලයක් විදිහටයි මම එක දකින්නෙ. කල්ලියක හිටිද්දී හුඟක් අයට බූරු එඩිතරකමක් එනවා.
ලලිත්, අපෙ ගෙදරදී සෙට් වෙන කණ්ඩායම් කිහිපයක් තියෙනවා. ඒ අතරේ ඉන්නවා තමන්ගේ දූ පුතුන් ඉදිරියේ මත්පැන්- දුම්වැටි පාවිච්චි කිරීම නොකරන අයත්. තව සමහරුන් තමන්ගේ දරුවන් ඉදිරියේ උඹ- බං- පුx කියලාවත් කියවෙනවාට අකමැති සුචරිතවාදියෝ. හැබැයි- එයාලා අපේ
ගෙදරදී මිතුරන් කුණුහරුප කියනකොට එයාලාව දිරි ගන්වනවා. අවුස්සනවා. ඒ කණ්ඩායම හුඟක් දවසට විසිර යන්නෙ මගෙන් බැනුම් අහලයි. මහ රෑ වුණත්- අහලපහල ගෙවල්වල ළමයින් සිටින නිසා කුණුහරුප නොකිව යුතු බව පුන-පුනා මතක් කරවන්නයි මට වෙන්නේ.
පරිවර්තනය පංකාදුයි. මේ කතාව දේශීයකරණය නොකර එහෙම්ම ලියපු එකට මම නං කැමතියි. අතිශය සංවේදී කතාවක්👌🙏
ReplyDeleteකතාව මැදදි නැතුව, වංගු දෙක කතාව අගදි ගැහැව්ව නං තවත් අපූරුයි කියල හිතුනා. මට එහෙම හිතුනට, අනෙක් අයට එහෙම නොවෙන්නත් ඉඩ තියනවා. මේ ලොකා උන්නැහේ, ඔහේ "ගිනියා පිග්" කිය, කිය අපිව කඩේ නේද අරින්නෙ? නැත්නම් කොහොමද මේ වගේ ගැලපෙනම වචන හොයලා මේ පරිවර්තන මෙච්චර යසට කලේ? 😡😮🤔
ස්තුතියි බස්සා මහත්තයෝ.
Deleteඇත්තමයි- ඔයාලා කාවවත් කඩේ යවන්න හීනෙන්වත් හිතන්නේ නෑ. හැබැයි පුරුදු වෙච්ච වැරදි වචන තියෙනවානේ- වැඩිය භාවිත නොවෙන. ගිනීයා පිග් ඒ වගේ වචනයක්.
ම්..ම්..ම්.. සමා වෙන්න ඕනි මෙහෙම කියනවට. මං කරලා තියෙන්නෙ පරිවර්තනයක් නෙවෙයි. අනුවර්තනයක්. හැබැයි මුල් කෘතියේ රටාව- ශෛලිය- යෙදුම් එහෙම හැකිතාක් රැකෙන විදිහට.
මේක කියන්නම හිතුනේ ඊයේ රෑ 'හිරු ස්ටෙප් අප්' වැඩ සටහන බලනකොට අනුවර්තනය. පරිවර්තනය ගැන පුදුම හිතෙන නිර්වචනයක් ඇහුනු නිසයි.
ඉඩක් තියෙනවා නං, මේ වැඩ සටහනේ ඉතා විශිෂ්ට විවරණයක් අතරේදී 'අනුවර්තන' පටලැවිල්ල සිද්ද වෙන හැටි 14 වෙනි විනාඩියේදී දකිත හැකියි.
https://www.youtube.com/watch?v=ouye9krX_ak
මම හිතෙන්නෙ මට තේරෙනවා වෙනස. පින පෑදුන දා - පරිවර්තනය, රොමාගෙ වාසනාව අනුවර්තනය.
Deleteදැන් මේ කතාවෙ ඔරිජිනල් එකට ලින්ක් එකක් නැද්ද? නිදි අතින් දාපු කෑලි මොනවද?🤔
ඒ Reader's Digest සඟරා ගොන්නත් තිබ්බේ වේයෝ කාපු ගොඩේ නෙව බස්සා මහත්තයෝ. නැතිනං මටත් ඔරිජිනල් එකත් එක්ක සසඳල බලන්න තිබ්බා.
Deleteඅනුවර්තනය කරද්දී අතින් කෑලි දැමීම නං මගෙන් කෙරෙන්නෙම නැති තරම්, අදහස නිරවුල්ව තියෙද්දී.
මේ කතාව මම අනුවර්තනය කලේ 1998 දී!
++++++
ReplyDelete+++++++ ස්තුතියි Pra Jay! +++++++
Deleteඔහෙට කියන්න ලොකා උන්නැහේ, ඕං මමත් පෝස්ටුව බලන්න ආව කියහංකො. උදේ පාන්දර ඇටිකුකුල "බුහ්" ගහන ජාමෙ මවුසගෙ බෝලෙ කරකවන්න ගත්තෙ. යාංතං දවල් බතට පොස්ටුවෙ හෙඩිමට සේන්දු වුනා.
ReplyDeleteමයෙ ඉස්සහ ගාතෙ පොට හියත් කාරියක් නෑ, ඇස්වහක් කටවහක් නෑ අගේ ඇති පෝස්ටු පොඩ්ඩ.
මටම පුදුමයි නරිමොටා උන්නැහේ.
Deleteමේ පත්තර පිටු දෙකත් මගේ හමස් පෙට්ටියේ තිබ්බේ. Blog අඩවියට විවිධත්වයක් එකතු කරන්නයි- රෝසිගේ කතාවයි- හිතවතුන්ගේ උපන් දිනයි නිසා තමා මේ post එක ලියවුනේ. Post එක අල්ලලා ගිහින් කියලයි hit counter එක කියන්නෙ. ඊයේ පිවිසුම් ගණන 422ක්.
නිමල් අංකල් සෝනි CX 6400 ගන්න එක හොඳයි ද? ලාබෙට ගන්න තියෙනවා රුපියල් වලින් ලක්ෂ හතරක් විතර වෙන්නේ ලාබයි නේද? පොඩ්ඩක් ඒ ගැන උපදෙසක් දෙන්න පුලුවන්ද? මිරර්ලස් ඒවායින් A7 IV ද හොඳ නැත්නම් EOS R7 ද ඒත් නැත්නම් Z6 II එකද වැඩිය හොඳ? මම කියන්නේ ගන්න ගානට වටින value for money එක මොකක්ද කියල කියන්නකෝ...
ReplyDeleteඔවැනි දේවල් ගැන වචනයක්වත් දන්නේ නැති මම මේ මොනවා කියාගන්නද කියලයි හිතන්නේ.
Deletepariwarthanaya kala kathawata bohom sthoothiyi
ReplyDeleteකියෙව්වටත් බොහොම ස්තුතියි Ian මහත්තයෝ- comment කළාටත්!
Deleteනිදී මේ ක්ලිප් එකේ ජාතික ජන බලවේගයේ නලීන් හේවගේ සහෝදරයා කියන කතාව ඇත්ත නේද?
Deletehttps://www.facebook.com/terans15/videos/2086678475009045/?app=fbl
අනේ දන්නේ නෑ!
Deletehttps://1paththaraarana.blogspot.com/2023/08/reader-digest-magazine_28.html
ReplyDeleteපතපොත කියවීම සුරැකුම හොඳ දෙයකි
Deleteමතු වැඩ සදා දෙන මාහැඟි මාවතකි
වේයො මීයො කාවුන්ටත් නොකෑවකි
තැනක මෙව්ව අසුරන එක පින්කමකි!
ඔත්තුවට ස්තුතියි ඇනෝ. කවියකුත් ලියලයි ආවේ.
https://dumindasanchare.blogspot.com/2023/08/blog-post_26.html
ReplyDeleteතවත් කවියක් ලියැවුණා.
Deleteඑළිසම පිහිටුවා මත් හෙම නොවරදවා
නණලළ කෙරෙහි නොමඳව සැලකිලි යොදවා
වදන් වර්ණයෙන් නෙක සිතුවම් අඳවා
දෙන්නට හැකිය දුමිඳුට- ජය ජය වේවා!
කාලෙකට පස්සෙ පෝස්ටුව කියෙවුවම මගේ අතීත උපන් දිනයක වෙච්ච දෙයක් මතක් වුණා.
ReplyDeleteමගේ පස්වැනි උපන්දිනය දවසෙ බාප්පා (සනත් ගේ තාත්තා) පුංචි අම්මාව බලන්න මට කිසිම තෑග්ගක් ගේන්නෙ නැතිවයි.එයා කීවෙ ගත්ත තෑග්ග කන්තෝරුවේ මේසෙ ලාච්චුවේ දාලා ආව බවයි. මං හිතුවෙම එයා බොරුවක් කීවා කියලයි.පසුවදා මට pilot පෑනක් හම්බවුණා. ඒකට මට සතුටුයි.ඒ කාලෙ එයා විවාහ වෙලා හිටියෙ නෑ.ඒත් දැන් තමා හිතෙන්නෙ එයාපෑනෙ මුවාවෙන් ඊලඟ දවසෙත් අපේ ගෙදර එන්න මගපාදා ගත්තා කියල.
ගොඩක් ස්තුතියි අනුර. ගිය සතියේ ලාල් අයියා ආවා අපේ අම්මව බලන්න. පරණ youth කතන්දරත් කතා කළා.
Delete