li Item

Thursday, February 13, 2020

ශ්‍රී ලංකා not Vs England - නවවෙනි කොටස

“...... ඕක විසි කරදාලා හොඳට සබන් දාලා වීදුරුව හෝදලා තියන්න- කියලා නෝනක්කානේ මට කිව්වේ.....” මානෙල් නංගී කිව්වේ නෝනාගේ මරණය සිදුවී දින කිහිපයකට පස්සේ හිස් ‘ග්‍රැමොක්සෝන්’ බෝතල වගයක සුලමුල හොයද්දීය.
අපේ ගෙදර පොඩි එකෙක් අසනීපවුණු වහාම අම්මා අතට ගන්නේ කුස්සි රාක්කයේ තියෙන රුබාබ් වතුර.........
ගොඩාරියක් ඉස්සර ලියවුණු පෝස්ටුවකදී අපේ ගෙදර පොඩිවුන්ට ලෙඩ හැදුණාම කෙරෙන ප්‍රතිකාර ගැන කිව්වා මතකය.
කාට හරි එහෙම අසනීප වුණු වහාම අපේ අම්මාට පිහිට වෙන්නේ අපේ කුස්සියේ රාක්කයයි. අම්මා රාක්කය ළඟට යන්නේ ‘රුබාබ් වතුර’ බෝතලය හොයාගෙනය.
ඉස්පිරිතාලයෙන් වුණත්, පන්නිපිටියේ (පරණ පාරේ- කන්ද උඩ හරියේ තිබුණු) ආණ්ඩුවේ ඩිස්පෙන්සරියෙන් වුණත් ඕනෑම ලෙඩකට බෙහෙත් දෙද්දී ‘රුබා වතුර’ත් දෙයි. අනෙක් හැම බෙහෙතකටම වඩා ඒ ගැන විශ්වාසයක් අපේ අම්මාට තිබුණේ කොහොමද?
උම්මග්ග ජාතකයේ කියවෙන විදිහට නම් ‘මහෞෂධ කුමාරයා’ උත්පත්තිය ලබන අවස්ථාවේ ‘සඳුන් ගැටයක්’ මිට මොලවාගෙන උන්නේල! ඒ සඳුන් ගැටය දිව්‍ය ඖෂධයක් වැනි වීල. එයින් සුඟක් ගලගා දුන් විට ඕනෑම අසනීපයක්...........
උම්මග්ග ජාතකය කියලා එකක් තියෙනවාද කියලාවත්..........
අපේ අම්මා උම්මග්ග ජාතකය කියලා එකක් තියෙනවාද කියලාවත් දන්නේ නැති වර්ගයේය. ඒත් එයාට ‘රුබා වතුර’ අර කිව් විදිහේ දිව්‍ය ඖෂධයක් වෙලා තිබිණි. රාක්කයේ තිබුණු බෙහෙත් බෝතලය මහාර්ඝ වස්තුවක්වී තිබ්බේ එබැවිනි.
“වෙන බෙහෙත් ඕනේ නෑ.... බෙහෙත් කුඩු මුලක් දිය කරලා පොවන්න යනකොට තමයි, උඹලගෙත් ගිරියෙන් පල්ලෙහාට තල්ලු කරගන්න බැරි.... 
රුබා වතුර විතරද පෙවෙන්නේ? දැන් උණ බැහැගෙන යන්නේ. 
රුබා වතුර ටික තිබ්බාවේ.... ඒකත් ඉවර නම්, ආයේ කාට හරි ලෙඩ වෙච්චි ගමන් උස්සගෙන දුවන්නත් ඕනි මමමනේ....”
අම්මා එහෙම කියන්නේ අපෙන් කවුරු හරි ඇයගෙන් බෙහෙත් ඉල්ලූ වෙලාවටය.  එහෙම බෙහෙතකට කියලා අප ඉල්ලුවොත් ඉල්ලන්නේ රුබා වතුර විතරය. එහෙම වුණේ අපට රුබා වතුරත් ‘ඔරේන්ජ් බාර්ලි’ වගේ අමුතු රසයක් ගෙන දුන් හින්දාය.
කුස්සි රාක්කයේ හිස් වස බෝතල් කිහිපයක්ම තිබුණේ ලොකු නංගී .............
ලොකු නංගී මියගිය දිනවල, ගෙදර හතර දෙනෙකුටම සරම්ප හැදී සිටි බව මතකයිනේ? ඉතින්, බඩා මල්ලියාට උණ වැඩි වුණ බව මානෙල් නංගී මට වාර්තා කළේ ඒ අතරේය. 
 “ලොකූ... බඩාට ටිකක් උණ ගතිය වැඩියි වගේ. බෙහෙත් ටිකක් ගේන්නවත්.....”
“අම්මා කරනවා වගේ, ඉස්සෙල්ලා රුබා වතුර ටිකක් දීලා බලමු. බෝතලේ රාක්කේ ඇති නේද?”
මට හිතෙන්නේ රුබා වතුරවලට expire date එකක් නැතිවා වෙන්නට ඇතිය. එහෙම තිබිලා කල් ඉකුත් වුණත් වස වන්නේ නැති බව ෂුවර්ය. එහෙම වෙනවා නම් හෙම අපේ ගෙදරින් ළමා මරණ කිහිපයක්ම වාර්තා වෙනවා සිකුරුය. ඉතින්......
එදා කුස්සි රාක්කය ළඟට ගියාමය, මානෙල් නංගිට එහි තිබී හිස් ග්‍රැමොක්සෝන් බෝතල දෙක තුනක්ම හම්බ වුණේ. 
“මේවා තමයි එදා නෝනක්කා වීදුරුවකට දාලා තිබිලා බොන්න මතක නැති වෙලා තිබ්බේ.... මට ඒ ගඳ තවම මතකයිනේ....  වීදුරුව හෝදන්න ගියාම....”
තවත් තරුණ ගුරුවරයෙකුත් සියදිවි හානි කරගෙන තිබුණේ නිස්කාරණයේ.......
කුස්සි රාක්කයේ හිස් ග්‍රැමොක්සෝන් බෝතල දෙක-තුනක්ම තිබුණේ, ලොකු නංගී කිහිප වතාවක්ම වහ බොන්නට ගිහින් නිසාද?
ඒ සැකය මතුවුණේ, ඒ අස්සෙම තවත් මරණයක් ගැන ආරංචියක් ලැබුණාමය.
බුවෙනකබා විදුහලේ තරුණ ගුරුවරයෙකුත් සියදිවි නසාගෙන තිබුණේය; අහේතුකවය. එහිදී පශ්චාද් මරණ පරීක්ෂණයක් සිදුකොට තිබිණි. “ඒ සර්ගේ මොළේ ගෙඩි වගයක් තිබුණය කියන්නේ... සැරෙන්-සැරේ මැරෙන්න හද-හදා ඉඳලා තියෙන්නේ. කිහිප සැරයක්ම අහුවෙලා බේරාගෙනත් තියෙනවලු.....”
එහෙම සැරෙන්-සැරේ එක-දෙක කරුණු එකතු වුණේය!
මොළයේ ගෙඩි වගයක් නිසා අවපීඩනයක් ඇති වේලු. සමහර දෙනෙකුට ඒ නිසා අපස්මාරය වැනි තත්ත්වයක් පවා ඇතිවීමටත් ඉඩ තිබේලු. එවැනි රෝගීන් වරින්-වර සියදිවි නසා ගැනීමට තැත් කරන්නේලු.
අවුරුද්දකදී 3,500 දෙනෙකු විවිධ මානසික රෝගී තත්ත්වයන් නිසා ජීවිතය ............
“විවිධ මානසික රෝගී තත්ත්වයන් හේතුවෙන් වසරකට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 3,500ක් පමණ දිවිනසාගන්නවාය කියලා කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහත්තයා ප්‍රකාශ කරලා තිබුණේ පසුගිය සතියේ. 
ඒ වාර්තාවේ හැටියට නම් 2020 වසරේදී මානසික අවපීඩන තත්ත්වය ඉතාම ඉහළ තැනක වැජඹෙන රෝගයක්. පිරිමින් 8 දෙනෙකුගෙන් එක අයෙකුටත්, කාන්තාවන් 5 දෙනෙකුගෙන් එක අයෙකුටත් කියන අනුපාතයට මේ ලෙඩේට ගොදුරුවෙන බවත් කියවෙනවා. ඒ විතරක් නෙවෙයි... මෙහෙම දිවිනසා ගන්නා මානසික රෝගීන් වැඩි දෙනෙක් අවුරුදු 15- 40 අතර වයස් කාණ්ඩයේලු.
එහෙම ලෙඩුන් වෛද්‍යවරුන් හමුවේ තම රෝගී තත්ත්වය හෙළි කරන්නට මැලිවීමත් ඔවුන්ගේ ස්වභාවයලු!
“ඔබේ පරම්පරාවේ කිසිවෙක් මානසික රෝගයක් නිසා පීඩාවට පත්වෙලා තිබෙනවද?” වෛද්‍යවරයා විමසයි.
“අපොයි නෑ! එයාලා හැමෝම සතුටෙන් ඒක විඳගත්තා!” රෝගිනිය පවසයි!!! එහෙම කියන්නේ පහත තියෙන කාටූනයේය.
අපොයි නැහැ! එයාලා සේරම ඒකෙන් සතුටු වුණා!!
මං මේ කාටූනය දැක්කේ ප්‍රදීප් ජයතුංග හිතවතාගේ මුහුණු පොතේ තියෙද්දීය. 

මෙහෙම ඒවා දැකලා හිනාවෙන අතරේම ඒවායේ යටින් කියවෙන අදහසත් ග්‍රහණය කරගන්නට අපට හැකි නම්.... 
ලෙඩ-දුක් ගැන මැසිවිලි කියමින්; නහයෙන් අඬමින් හිඳීමට කැමති කොපමණ දෙනෙක් අප අවටම සිටිත්ද?
එහෙමවුන් අතරෙත් කරුණු විමසන- විචක්ෂණ උදවිය හිඟ නැත.
“පුෂ්පාත් නිසඳැස් එහෙම ලිය-ලියා හිටියා නේද? මැරෙන්න කිට්ටුව ලියපු එව්වා කියවලා බැලුවේ නැතිද?”
නෝනාගේ hand bag එක ඇදලා බලන්නට අපට කල්පනා වුණේ එතකොටය. 
අනේ, කලින්; ලොකු නංගී මැරෙන්නට කලින් අප මේවා ගැන හාන්කවිසියක්වත් දැනගෙන උන්නා නම්............ 
අප වඩාත් විමසිල්ලෙන් හිටියා නම්....
ලොකු නංගිටත් මානසික අවපීඩනය ඇති වුණේ මොළයේ ගෙඩි නිසාද?
හය මාසයක් විතර කාලයක් තිස්සේ නෝනා ලියූ ලියුම් තොගයක් අත්බෑගයේ තිබිණි. ඒ හැම එකක්ම ‘මරණය තුරුලු කරගන්නට ඇතිවුණු ආසාවක්’ ගැන ලියැවුණු ඒවාය. 
සුන්දර සදාකාලික නින්දක් ගැන ලියැවුණු ඒවාය. 
තවමත් ඒවා අපේ ගෙදර කොතැනක හෝ සැඟව හිඳියි.
“ඒවා ඔහේ තිබිච්චාවේ ලොකා. කාටවත් මොකටද? දැන් ඒ වගේ ලෙඩ අඳුනාගන්න ලෙහෙසියි. බෙහෙතුත් තියෙනවනේ....”
ලොකු නංගි අදෘශ්‍යමානව ඉඳගෙන කියන්නීය.
එයාම ලියුම් ටික අදෘශ්‍යමාන කරලා; හංගලා තියලාත් වගෙය.
“ඔන්න නෝනා, මං ඒවා බ්ලොග් එකට දමන අදහස අත්හැරියා. ඒත්....
-.... ඔයා දන්නවද, ඔයාගේ මරණේ නිසා මාවයි හොඳටම කරදරේ වැටුණේ. ඔයා මැරුණය කියලා බොරලැස්ගමුවේ කඩේ වහන්නද? 
බතික් එකත් වැහෙන ගානට තිබුණු බව ඔයාට මතකයිනේ. ගෙදර ආදායම නැති කරගෙන බැරි හින්දා මටයි කඩේට යන්න වුණේ!"
පරස්තාවට කලින් රස්සාවක් හොයාගන්නට ඕනෑ හින්දා අපේ අනිල් මල්ලී..........
ලොකු නංගිගේ මරණය අපේ අනිල්, අජිත් මල්ලිලා දෙන්නාටම ලොකු ඉඩක් විවර කර දුන්නේය. ඒ දෙන්නාගේම ප්‍රේමවන්තියෝ අපේ ගෙදරට ඇවිත් ගියහ. 
අනාගත නෑනලා දෙන්නා ගැනම නිල නොවෙන විදිහට මට කිව්වේ මානෙල් නංගිය. 

“තමුසේ මට කිව්ව බවක් අඟවන්නේ නැතිව ඉන්නවා.....”
පරස්තාවක් කර ගන්නට නම් කොල්ලෙකුට රස්සාවක් තියෙන්නට ඕනෑය.
ඒ කීම ඇදහූ නිසාද කොහෙද අනිල් රස්සාවක් හොයාගත්තේ උසස් පෙළ විභාගයට වාඩි වුණත් එක්කමය. (අපේ ගෙදරින් උසස් පෙළ දක්වා ඉගෙන ගත්තේ අනිලුත්, අජිතුත් විතරය. එංගලන්තයට ගිය තුන්දෙනා වුණත් උසස් අධ්‍යාපනයට යොමු වුණේ නැත.)
“අනිල්, තමුසෙ කවද ඉඳලද සිගරට් බොන්න පටන් ගත්තේ?”
දවසක් අනිල් මල්ලී සිගරැට්ටුවක් උරමින් ඉන්නවා අතටම අහුවුණාම, මං ඇහුවා මතකය.
නිඳි මරන්නට දුම්බීම උදව් වෙනවාද?
“නෑ ලොකා, රෑට නිඳිමරන්න අමාරුයි නිකම්ම. සිගරට් එකක් බිව්වම නිඳිමත නැති වෙනවා!” අනිල් නිදහසට කිව්වේ ඒ කාරණයයි.
“එහෙනම් අද ඉඳලම ඔය රස්සාවට නොයා ගෙදර නවතිනවා. 
තමුසෙට සිගරට් බොන්න ඕනේ නම් ඒක වෙනයි, 
රස්සාව හරියට කරන්න ඕනේ හින්දා සිගරට් බොන්න ඕනේ නම් ඒක වෙනයි.....” 

මම කීවෙමි. අද නම් මට හිතෙන්නේ ඒ දිනවල මා දරදඬු වුණා වැඩිත් වගෙය කියලාය.
අනිල් හොයාගෙන තිබුණු රස්සාව ‘සිකියුරිටි කෙනෙකු’ වීමය. 
ඒ දවස්වල උස-මහත-කඩවසම් පෙනුම තියෙන තරුණයන්ට කිසිම අමාරුවක් නැතිව හොයාගන්නට තිබුණු රස්සාව සිකියුරිටි රාජකාරියයි.
අන්නා ඒ රස්සාව අත හැරියේ නැත; සිගරට් බීම අත හැරියේත් නැත; මත්පැන් බීමත් අල්ලා ගත්තා මිස!
පසුගිය ඉරිදා; හරියටම දවසත් එක්ක කියනවා නම් පෙබරවාරි 9 වෙනිදා රාත්තිරියේ, අපේ දිහාවේ පුංචි මධු සාදයක් පැවැත්වුණේය.
මධු සාදයක් පැවැත්වෙන අතරේ එක්කෙනෙක් ...(රිචර්ඩ් ගේබ්‍රියෙල් මහතාගේ චිත්‍රයකි.)
“තමුසෙගෙ ඔය හෝන්දු-මාන්දු ගති සේරම යනවා ටිකක් දාගත්තා නම්...” කෙනෙක් යෝජනා කළේය. ඒ මට කෝචෝක් කරන්නටය.
“එච්චර තමයි මට අඩුවෙලා තියෙන්නේ...” කියා පටන් ගෙන මං ‘වෙඩි පිපිරෙව්වේ’ තරහට නොවේ. මා අවුස්සන්නට හැදුව අයගේ සතුට ඒක නිසාය. 
එතකොට, මගේ කතාවට අපූරු කවියක් කියලා උත්තර දුන්නේ එතැන හිටි නෝනා මහත්මියකි. (ඇගේ වංහුං මෙතැනට ඕනෑ නැහැ නේද?)
          බීමෙහි ඇති සැපත්
          එහි ඇති මනා ගුණයත්
          බොන සුදනෝ මිසක්
          නොබොන අනුවණ දනෝ නොදනිත්! (සභාවේ සිනා හා අත්පොළසන්!)
මත්පැනින් තොර, අමද්‍යපික ‘නිදි’ බලහත්කාරයෙන් ‘මතට තිත’ තියනවාට විරුද්ධය; නොබොන අයට බලහත්කාරයෙන් පොවනවාටත්  විරුද්ධය. එහෙම පටන් ගෙන බේබද්දන්වී ඉන්නා අය දැනටත් මට හමුවෙති. දුක ඒකය!!!
අර කවිය මෙතැනට එබුවෙත් එයින් කියවෙන අරුත නිවැරදි යැයි මා සිතන නිසා නොවේ. එය රසවත් ප්‍රබන්ධයක් බැවිනි.
අනිල්ගේ කලණ මිතුරන්...(වමේ සිට) ශිරානි, ස්වර්ණකාන්ති, අනුලා, රේණුකා, තෙන්නකෝන් ගුරුතුමා සහ උදිතා. පිටිපසින් සිටින්නේ නලින් සොයිසා යුවලයි.... 
ඉතින්, අපේ අනිලුත් මත් වතුරට අත තිබ්බේ පාප මිත්‍රයන් කියූ නිසාය. 
ඊට පස්සේ කල්‍යාණ මිත්‍රයන් කියූ හින්දාවත් එය අත හරින්නට මිනිහාට ශක්තියක් තිබුණේ නැතිය. 

සිරි ලංකාවේ ඉන්නා වැඩි හරියක් එවන් ආත්ම ශක්තියක් නැති අයද?
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය හා ශ්‍රී ලංකා පොලීසිය එක්ව 2019 කළ ජාතික සමීක්ෂණයක ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාවේ තිස්ලක්ෂ තිස්පන්දහස් එකසියහතළිස්තුන් දෙනෙක්; 30,35,143 මත්පැන් බොති. පිරිමි 30,14,557 ක්ද කාන්තාවන් 20,586 ක්ද වශයෙනි.
ඒ අතරින් 10,63,383ක් දෙනා දිනපතාම මත්පැන් බොති! 
අදටත් අපේ අනිල් මල්ලී ජීවතුන් අතර නම් ඒ සංඛ්‍යාව තවත් එකකින් වැඩිවෙනවා සිකුරුය.
ගිය අවුරුද්දේ පිළිකාවෙන් පීඩා විඳ මියයන තෙක්ම අන්නා ඒ දෙකටම; සිගරට්- මත්පැන් දෙවගයටම තදින් ඇබ්බැහිවී උන්නේය; විවාහයත්, බිරියත්, දරු තිදෙනෙකුගේ සෙනෙහසත් බේබදුකම නිසාම ජීවිතයට අහිමි කරගත්තේය. 
මට තවමත් පුදුම හිතෙන්නේ, අපේ තාත්තා බීම නිසා පිරිහුණු තරම; ඒවායේ ආදීනව දැක-දැකත් අනිලා බීමට පුරුදුවීමය.
එදා ගොඩිගමුව කනත්තේදී ඔයාලා කට්ටිය foto ගත්තා නේද?
“අනේ නිමල් අයියේ, අනිල් කොච්චර ලස්සන හැන්ඩියෙක්ද ඒ කාලේ?” උදිතා සූරියආරච්චි අනිල්ගේ මළගමට පැමිණි වෙලේ ඇහුවාය. 
උදිතා විතරක් නොව, මෛත්‍රීත් අනිල්ගේ පාසල් මිතුරු-මිතුරියෝ රැසකුත් මෘතදේහය දැක විස්මයට පත් වූහ. 

අන්නා මියයද්දී ඉතිරිව තිබ්බේ ඇටයි, හමයි විතරය.
අනිල්ගේ එවක පෙම්වතියත්, මෛත්‍රීත් (ජනාධිපතිව හිටි කෙනා නොවේ.) විතරය මා දැන හිටියේ. 
හිතවත් ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වාගේ ‘රසෝඝය’ හරහා උදිතාව දැනගෙන හිටියත් ඇය මහරගම බුවෙනකබාවේ, අපේ මල්ලිලා එක්ක අකුරු කළ බව මා දැනගත්තේ අනිල් මල්ලිගේ මළගම දවසේය.
“උදිතා නංගී, එදා කනත්තේදී ඔයාලා යාළුවො කට්ටිය ෆොටෝ ගත්තා නේද? අනිල් ගැනත් මේ වතාවේ ලියවෙන නිසා බ්ලොග් එකට දාන්න හොඳ ෆොටෝ දෙකක් විතර තියෙනවද බලන්නකෝ.” මම උදිතාට මැසේජ් එකක් යැව්වෙමි.
ෆොටෝ විතරක් නෙවෙයි ලැබුණේ. උදිතාගේ මතක සමුදායක්.... මේ එයින් බිඳක්.......
ගොඩිගමුව සුසාන භූමියේදී අනිල්ගේ පාසල් මිතුරන්... (මැදින් සිටින්නේ දීපාල් මල්ලී හා ධර්මේය.)
“...... අනිල් කියන්නේ සිකියුරිටි ජොබ් එකකට යන්න තරම් සුදුසු කෙනෙක් නොවෙයි අයියා. එයා කොච්චර දක්ෂ කෙනෙක්ද? එක පැත්තකින් විතරක් නෙමේ හැම පැත්තෙන්ම..... 
මට මතක් වෙනවා අපි අටේ පන්තියෙන් නවය පන්තියට යද්දි, අටේ පන්තියෙදි හොඳම ළමයි ටික තෝරලා තමයි ‘නවය A පන්තිය හැදුවේ.... 

-හැම පන්තියකම එකේ ඉඳලා පහ දක්වා ස්ථාන ගත්ත ළමයි හතළිහක්...
-ක්‍රීම් එක කියලා තමා අපේ තෙන්නකෝන් සර් කිව්වේ.... ඒකට මාත් අනිලුත් හිටියා... 
-ඉතින් ඒ පන්තිය අපට කවදාවත් අමතක නොවන පන්තියක්.. NCGE කියන විභාගයට අපි ලිව්වේ ඒකෙදියි.... විභාගයක තියන බැරෑරුම්කමක් නොදැනෙන වයස අවුරුදු 14 විතර සිටි අපි හරිම උද්යෝගයකින් විභාගයට මුහුණ දුන්නා... මට මතක විදියට නම් අපේ පන්තියේ සිටි හැමෝම ඉතා ඉහළින් සමත් උනා.....”
“ධර්මේ තමයි අනිල්ගේ හොඳම යාළුවා...” උදිතා තව දුරටත් කීවාය. 
“ඔයාලගේ පොඩි මල්ලී දීපාල් එක්ක foto එකේ ඉන්නේ ධර්මෙයි. ඒකෙ දකුණු කෙළවරේ ඉන්නේ නලින්ගේ වයිෆ්. ඒකත් අපේ ඉස්කෝලේ love එකක්.... ක්‍රිකටර් නුවන් සොයිසා නලින්ගේ මල්ලී....”
ස්තුතියි උදිතා නංගී... ඔයා කියාපු විස්තරවලින් ටිකක් ඊළඟ කොටසටත් තියාගත්තා.  
ඉතින්.... අන්නා සිකියුරිටි රස්සාව කරමින් ඉඳිද්දී මට බොරලැස්ගමුවේ කඩයට යන්නට සිදුවිණි. වැඩි කාලයක් එතැනට හිරවී ඉන්නට බැරි විදියටම ‘මගේ විමානය රත් වුණේ’ය.
අපේ ආච්චිව ඉස්සරහට දමාගෙන යුද්ධයට සූදානම් වුණේ.....
“පොඩි මාමේ. මට නම් මේක හොඳටම එපාවෙලා තියෙන්නේ. ඔයාට ඉතින් කඩ කෙරුවාව පුරුදු මනුස්සයානේ ...” මම කීවෙමි. ඒ පොඩි මාමා හෙවත් ආර්.වී.ජයසූරියටය. 
පොඩි මාමාත් අකමැත්තක් පෙන්නුවේ නැත. 
අකමැත්ත පෙන්වන්නට විතරක් නොවේ, එළිපිටම යුද්ධ ප්‍රකාශ කරන්නටත් එඩිතර වුණේ අපේ පවුලේ අනෙක් අයය. 
“තමුන්ගේ එකාට වැඩිය පිට එකාව ලොකු කරගන්නද හදන්නේ?”
“කවුද ආච්චියෙ තමන්ගේ එකා? කවුද පිට එකා?”
ආච්චිව ඉස්සරහට දමාගෙන කඳවුරු බැඳගත් අය ගැන එළිදරව් වුණේ එතකොටය. 
“පොඩි මාමා උඹේ සහෝදරයෙක්ද? ඌ කඩේ මල්ලිගේ පුතා වෙලාත් උන්දා තමන්ගේ පුතණ්ඩියාට කඩේ බාර දුන්නද? ඒකා බූරුවා ගහන්න පුරුදු වෙලා හිටිය හින්දා නේද උඹලගේ තාත්තා බදුල්ලෙන් මහරගමට එක්ක ආවෙත්. මම විතරක් නෙවෙයි, ගෙදර සේරමලා කියන්නේ... ඇයි උඹට කඩේ කරන්නම බැරි නම් ඒක අනිල්ට බාර දෙන්න බැරි? අනිල් නේද උඹේ සහෝදරයා....” 
වගකීමක් බාරදිය යුත්තේ වඩා සුදුස්සා තෝරාගෙනද? එහෙමත් නැතිනම් පවුලේකම- සහෝදරකම- සමීප ඥාතිකම සලකලාද?

54 comments:

  1. මේ ටිකේම නිදි ‌ගෙ ලියවිල්ල කියවලා ‌ලොකු හුස්මක් ‌හෙලන්න සිද්ධ වුණා. හරි කණගාටුදායක ‌දේවල් ඉතිං. අපේ තාත්තටත්, මම ‌ගෙයක් හදල පදිංචි වුණු එක, ඩිග්‍රිය ගත්ත එක, රස්සාවෙ උසස්වීම්, කසාද බැඳපු එක, මගෙ පුතා ‌ගෙ මූණ ආදී ‌දේවල් දකින්න ‌නොලැබුණේ සිගරැට් නිසා. මගෙ පුතා දකින ‌කොට මට හිතෙනව, එයා උන්නනං ඒ පුතාට ‌කොයිතරම් ආදරෙන් සළකයිද කියල. මට ‌පොඩිකාලෙ ආදරේ කරපු හැටි මතක් ‌වෙනව.

    අන්තිමේදි කියන්න ඉතුරුවෙන්නෙ, ජීවිතේ හැටි ඔහොම තමයි කියල තමා.

    ReplyDelete
    Replies
    1. ජීවිතං අනියතං - ඉන්නකං ජොලි කරං
      දර්ශනය හරිත් වගේ නේද ඩ්රැකී.

      Delete
  2. මං එක වීම ගැන ‌මොනවත් කියන්නෑ ‌මේ පාර. අසංග ‌ගෙ මිටිය මතක් වුණා.

    ReplyDelete
  3. මං ‌දෙක වීම ගැනත් ‌‌මොනවත් කියන්නෑ.

    ReplyDelete
  4. මං තුන වීම ගැනනං එක වචනයක්වත් කියන්නෑ

    ReplyDelete
    Replies
    1. එක- දෙක- තුන ඔය ඔක්කොම ගැන මාත් මොකුත් කියන්නේ නැහැ.

      Delete
  5. අසංග, අසංග, ‌කෝ ‌මේ අසංග...

    ReplyDelete
  6. සිරිස් බිරිස්... අර ‌කොළොම්පුරේ අසංග ‌එහෙම දැක්කද...?

    ReplyDelete
    Replies
    1. අසංග උන්නැහේට වාරණ පැනවිලා, ඒකෙන් කෙලවෙලා. පව් අසරණයා.

      Delete
  7. මේ නිවේදනය අසංග රණසිංහ ආරච්චි ‌වෙතටයි...







    අසංග පුතා එනතුරු ඩ්‍රැකී කමෙන්ට් වැල යට බලා සිටී.

    ReplyDelete
  8. මං ‌මේ ප්ලේන්ටියක් බීල එන්න ගියා. ‌කෝ තාම නෑනෙ කවුරුවත්...

    ReplyDelete
  9. මං යනව දවල් ලන්ච් එකට...

    ReplyDelete
  10. Replies
    1. ඔව්. මං ‌කොච්චර ‌වෙලා බලං හිටියද?

      Delete
    2. බලං හිටියට ‌කීයක්හරි ගෙවනවනං මං ඔ්නෙ තරං බලං ඉන්නං

      Delete
  11. Replies
    1. නැතුව අප්පුහාමියෑ... මං තමා.

      Delete
    2. ටිකක් වෙනස් වේලානේ.හක්හ වනවෙච්චි රිලා මොටෙක්වාගේ ඇදිලා පැදිලා ගිහිල්ලා

      Delete
    3. ඒ අර ‌යෝජිත තැලිල්ලට බයවෙලා, ‌මේ දවස්වල කාපු - බීපුව ‌මොනවත් ඇඟට ඇල්ලුවෙ නෑ. ඒකයි.

      Delete
  12. බෝල මිටිය පොඩි වැඩියි මං ගියා ලොකු කුලු ගෙඩියක් ඇන්න එන්ට...

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්... ඒකෙම්ම ‌පේනවනෙ තැලීමේ අරමුණට වස්තුවිිෂය වන ‌දේපළවල තරම...

      Delete
    2. පුරේ,බලාගෙන මේකගෙ වැල මැරිලද දන්නේ නෑ.

      Delete
    3. කොළොං...
      ඔය කුලුගෙඩියත් මදි, ගල් ‌රෝලක්ම අරං වරේ...ං

      සිරා,
      වැලත් ‌හොඳයි, අලත් ‌හොඳයි, ‌මොකද කියන්නෙ?

      Delete
  13. තාක්ෂණික දෝෂයක් නිසා බ්ලොග් එක යාවත්කාලීන කිරිමට බෑ. කොමෙන්ට් කොටන්නෙද අසිරුවෙනි.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි දිට්ඨධම්මවේදනීය කරුමෙ කියන්නෙ... හැක්...

      Delete
    2. ලග පාතක උන්නා නම් පෙන්නන්න තිබුනා කරුමේ තරම...;p

      Delete
    3. එක සැරයක් කඩු පයිට් මේ සැරේ මොනවා පෙන්නයිද දන්නේ නෑ

      Delete
    4. අපි හිතුවෙනං කඩුපයිට් ඔක්කොම ඇති කියල තමා. ඒ උනාට අපේ රුපියල් පා ‌කේව...

      Delete
    5. අසංග, ඔහෙම ඉඳං තැපෑලෙං ‌පෙන්නහං...

      Delete
  14. අඩේ ‌කොහොමද ඒක ‌ට්‍රෙන්ඩ් එකක් විදිහට ගත්තහම? බ්ලොග් එකේ ලියන්නෙ එකක්, කමෙන්ට් කරන්නෙ ‌වෙන ‌වෙන වල්පල් ගැන...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ ඇති දේ ගැන කතාකරලා ඒ අසරණයාගේ හිත පාරන්නේ මොකටද

      Delete
    2. හ්ම් හ්ම්...

      ඔය ‌කොයි ආතල් එකත් අපිට ගන්ඩ ‌වෙන්නෙ නිදි එනකං විතරයි.

      Delete
    3. ඇත්ත, එහෙනම් මං මාරු වෙනවා උන්දෑ ආවෙහ් මලජූලියයි..

      Delete
    4. නෑ නෑ.. උන්දැ "නිදි"

      Delete
    5. නෑ නෑ නිඳි නෑ. නිදි නිඳි නෑ. නිසොල්මනේ බලා හිටියා ඔයාලගේ කෙළි!

      Delete
  15. // බීමෙහි ඇති සැපත්
    නිදි මේක සුරාමාලයේ කවියක්.කවි සෙට් එකම අර මාතලන් උන්නැහැගේ පත්තරෙන් ගත්තේ
    http://gadyanohothkavi.blogspot.com/2018/08/blog-post_35.html
    කිතුල් පොල් සහ තල්
    ඈ සුරා දෙන ගස් දුල්
    නැමැද කර සිතු ලොල්
    මඳක් පවසමි සුරා ගුණ පුල්

    සුරාවෙහි රසයත්
    සරා එහි ඇති ගුණයත්
    බොන අය මිස වෙනත්
    නොබොන අනුවන දනෝ නොදනිත්

    දවාලට කාලක්
    සවස් කල බෝතලයක්
    බිව්වොත් දැන පමනක්
    සුරාවට වෙන නොමැත බේතක්

    ගතෙහි සැම කැක්කුම්
    සිත පත් තක්කු බුක්කුම්
    නසා බොරු රැක්කුම්
    සුරති හළ රඟ කෙරෙයි දැක්කුම්

    ඉදිමුමද බරවා
    කැසි රිදුම් බඩ පුරවා
    කිතුල් රා පෙරවා
    බිව හොත් යෙති රෝග හරවා

    අඟ පසඟ වකුටුව
    වාත කැක්කුම් පිහිටුව
    යස පොල් රා දුටුව
    සැණින්යයි ගත වඩා සතුටුව

    අජීර්ණ හද ලෙඩ
    අැත හොත් කිකිළි බිජ මැඩ
    බ්‍රැන්ඩි සමගින් තුඩ
    ලූවොත් යෙයි පිණි දිනිඳු දු⁣ට හැඩ

    ලෝ පූජිත විස්කී
    සෝඩා එක්ක හැක්කී
    බීවොත් වරක් කී
    රෝග සැනෙකින් යයි වැලෙක්කී

    ජින් ඉතාමය
    යහපත් ගුණ යුතාමය
    මුතුරු ලෙඩ තාමය
    බිව්වොත් පිරිසිදු වෙතාමය

    නොකී නොව මනහර
    සුරා ඇත ලොව බටහිර
    ගෙන සමගින් බීර
    බීව නුඹ හට යෙකවර

    එහෙයින් සුරායා
    බීලා බඩ පුරායා
    විඳිමින් නුරායා
    ගෙව්ව කල්දැන මේ සුරායා

    බීම සැම වේලේ
    ⁣වෙරිවී සිටින ලෝලේ
    නුඹේ අද රාළේ
    ගෙලේ ලමි මේ සුරා මාලේ

    දිනේවා දින දින
    සුරා සැල් ළඟ ගැවසෙන
    බේබදු මිතුරුවන
    සුරා තුරු ඇති තුර සතොසින

    ReplyDelete
    Replies
    1. ඒක යකෝ... පට්ට පහර...

      Delete
    2. සුරාව හොයාගතේ සුරයො හා අසුරයො විසින්.නටරාජ් එකෙ පෙන්නන්නේ ශිව දෙවියොත් සුරාව බිලා නටනවා. එතකොට නන්දි ගවයාත් එයත් එක්ක නටනවාලු..

      Delete
    3. සුරාව එන්නෙත් අර කිරි මුහුද කළඹද්දි ‌නෙ. මට මතක නෑ සිව ‌දෙය්යො බීල නටන එකනං. සිව ‌දෙය්ය ගැන විහිලු කරපුු පරණ කවි පන්තියක් තිබ්බ කියල මතකයි.

      Delete
    4. මේ තියෙන්නෙ සිව ‌දෙයියො ගැන...

      තිසුලවි ගත් කරින්
      කළු පැහැ රැගත් උගුරින්
      හන් සළු ගත‘ඹරින්
      අඩක් උමයඟන ගත් සිරුරින්

      දළැ අඩ සඳ බඳින
      ගොර සප් හරක් පලඳින
      රඟ කරන දිනැ දින
      මහලු ගොන් වාහනෙන් ඇවිදින

      ලත් මහ පදවියා
      සිර සුර ගගින් දෙවියා
      අනඟ රුව දැවියා
      යෙහෙකැ පුද කරන මහ දෙවියා

      එ මැ මහ දෙවිඳු හෝ
      නොහොත් සිව ලිංගය හෝ
      වැඳැ පිදුවොත් බොහෝ
      එතී කී ‘ලොවට සෙත ඇම හෝ

      එ මැතිඳු බස් අසා
      මැති‍ඳ‌ෙ‌ක් කියයි මෙ ලෙසා
      ඇති දුක් මඳ නිසා
      තවත් දුක් ගෙනැ ලයි ද එ වසා

      දෙවියෝ නම් සඟය
      පැලැඹෙන අයෙකි ස සඟය
      උන් රූ මනරඟය
      විසුළු වෙස් ඇති නො වෙයි මේ රඟය

      උතුමෝ ලියන් වෙත
      නො ඉඳිති විළින් දැකැ සත
      මෙහෙසුරු උමා කත
      තබා රකිතී කියයි සිය ගත

      පවතින මෙ ලොව රැක
      නැති කලැ හිරි ඔතප් දෙක
      ඔහු වැඳැ පුද නොයෙක
      කළෙ යි වැඩ සිදු වේ ද කිකලෙක

      අවි අන් වැනැසුමට
      නැත වෙයි තමා රැකුමට
      එයින් තිසුලවි හට
      ඇතැ යි රා දොස් දැනෙයි මොනොවට

      රා දොස් පව් මිදී
      නිසි උතුමනට නොබැඳී
      සිටි බවයෙන් බැඳී
      ඔහුට පුද කොටැ කිම් ද පැහැදී

      සසරෙහි සබව දත්
      සිල්වත් දනෝ නැණවත්
      තුමූ රඟ නො කෙරෙත්
      අනුන් රඟන රඟකුත් නො බලත්

      නළු වෙස් ගෙනැ එ සේ
      නටන කලැ හැම දවසේ
      උන් පිදුව යි කෙසේ
      වැඩක් සිදු වෙද ලොවට සිත සේ

      දද දන බස් අසා
      කරන පුද ඔහු උදෙසා
      දිඹුලෙහි මල් නිසා
      දියැදැ දුක් විඳින වැනි නොලසා

      අයකු පිළිකුල් වන
      අයකු සිත රා වඩවන
      ලිඟු සටහන් රැගෙන
      කළැ යි පුද පල කිම් ද ඉන් වන

      සිත දුසිරී කිලුට
      පින් කෙත් නොවන මෙ ලොවට
      පුද කරනු ඉසුරුට
      ගලෙක වපුරන වැන්නැ බිජුවට

      - බුදු ගුණ අලංකාරයෙන්

      Delete
    5. කෝමත් වීදාගම ලයින් එක රාහුල ලයින් එකට සහමුලින්ම විරුද්දැයි නොවැ.

      Delete
    6. අද නම් හරිම සතුටුයි. අර බවලතීවයි, මහත්තයාවයි ගෙදරටම ගෙන්නලා පෙන්වන්න වටිනවා මේ සංවාදේ.
      මේවා මට හමුවෙලා තිබ්බෙම නැහැ, මතකේ විදිහට.
      මේ තියෙන්නේ පටිකිරියත් එක්කලාම.
      බොහොම පින්!

      Delete
    7. අමතක වුනා, ඩ්රකී මහත්තයෝ, මම බ්ලොගයේ මුලින්ම ලියපු පොස්ටුවක කිරි මුහුද කැළඹු කතාව ලිව්වා.
      http://nidigepanchathanthare.blogspot.com/2018/04/blog-post_8.html

      Delete
  16. මෙතන අපි තුන් ‌දෙනා ‌විතරනෙ ඉන්නෙ. ‌කෝ ‌මේ නිදි? තාම ඇහැරලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. රජ තුන් කට්ටුව කෙලින තැනකට ඇවිත් මේ හින්නා මොනා කරන්ඩද?
      පැත්තකට වෙලා නැරඹුවා.

      Delete
  17. ඔව්නේ බොල,යොදය නැගිට්ටම තුන්දෙනාම කවා ගන්න ලැස්තිවෙලා හිටපල්ලා.

    ReplyDelete
    Replies
    1. දැක්කනේ සිරිබිරිස් උන්නැහේ. කෙලියේ යෙදෙන අයට රිසිසේ කෙළින්නට ඉඩ දීලා හිටියාම වෙන වාසි.

      නරි අඟ හොයාගන්න ඕනේ වුණාමත් එහෙමලුනේ කරන්නේ. කමත වටේ පිදුරු ගොඩගහලා නරින්ට ඇවිත් හඳපානේ හිතේ හැටියට කෙළගන්න ඉඩ අරිනවලු බාධා නොකර. පහුවදා පාන්දර පිදුරුවලට ගිනි තිබ්බම නරි අඟක් හැලිලා නම් එතන පිදුරු නොදැවී තියෙනවාලු!

      ඒ වගේ වටිනා අදහස් කොච්චර නම් මතුවෙලාද සත්තකට?

      Delete
    2. මොකක්ද නරි අඟ කියන්නේ? නරියන්ට අං තියෙනවා කියල අහල නෑ. හරකුන්ට වගේ නරියන්ට අං තියෙනවාද ?

      Delete
    3. ඉස්සර තිබුණු විශ්වාසයක් මිගාර මහත්තයෝ. හැම නරියෙකුටම අඟක් එන්නෙත් නැහැලු.

      නාගයන්ට කණ්ඨ මාණික්‍ය, ගවයින්ට ගෝරෝචන, මුවන්ට කස්තුරි, ඇතුන්ට ගජමුතු වගේම ඊටත් වඩා දුර්ලභ පිහිටීමක්ලු.

      Delete
  18. මමත් තාම අමද්‍යපයි. පටන්ගන්න අදහසකුත් නෑ.

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්