li Item

Friday, March 4, 2022

හෙනහුරු ගුණ්ඩු- බත්තලං...- තෙවෙනි කොටස

අපට ඕනෑ කරන්නේ අවුරුදු නිවාඩුවේ දවස් පහම වස්ගමුවේ, මැදපිටිය camping සයිට් එකේ...(2017 දී...)

ඒ අතරේ මගේ පිට පැත්තෙන් උහුලා ගන්නට බැරි තරමේ වේදනාවක් ඇවිළෙයි.
“පීරිස් මහත්තයෝ... නැද්ද මොකුත් බේතක්? ඉන්න බැරි තරම් කැක්කුමයි!”

“කරලක් දෙන්නං. ඒක හරි යනවා නං පැය බාගෙන් pain එක අඩු වෙයි.”
පැය බාගෙන් අඩු නොවුණොත් කියලා මං නිකමටවත් හිතුවේ නැත. එහෙම හිතන්නේ negative උදවියයි!

‘විශ්වාසය කඳු සොලවයි’ කියන කීම ඇත්ත වගෙය. පැය බාගයක් යන්නටත් කලින් වේදනාව නැත්තටම නැතිව ගියේය.

දොස්තර මහත්තුරුන් වුණු කාලයේ ඉඳලාම අයස්මන්ත, පෝල් (චමී) හිතවත්තු දෙන්නාම, trip එකක් යද්දී අවශ්‍ය වෙතැයි හිතන බෙහෙත් ජාති තොගයක්ම අරගෙන එති. එයින් වැඩියෙන්ම පල-පොරෝජන් ගත්තේ අපේ මිතුරන් තුන්-හතර දෙනෙකි. ඒ මීට අවුරුදු විසිපහකට- තිහකට එහා පැත්තේ හිටලාය; වැඩියත්ම එහෙම වුණේ වස්ගමුවේ මැදපිටිය කඳවුරු බිමේදීය.

(එතකොට අපේ දෙන්නෙකු වනජීවී කන්තෝරුවට ගිහින්ය; මැදපිටිය camping site එක වෙන් කරවා ගන්නේත්. එක්කෙනෙකුට එක් තැනක් book කළ හැක්කේ දින තුනක් දක්වා පමණකි. අපට ඕනෑ කරන්නේ අවුරුදු නිවාඩුවේ දවස් පහම එතැන ගත කරන්නටය....)

ආසාවෙන් එතැනට ගියත්, අපේ දහ දෙනාගෙන් තුන්-හතර දෙනෙක්ම රාත්තිරි කාලයේ කට්ට කළුවරේ එළි බහින්නටවත් අකැමැත්තෝය. (එතකොට විකාර කොන්ක්‍රීට් අට්ටාල හා වවුල් දොර වැසිකිළි මැදපිටියේ හදලා තිබුණේ නැතිය. ලොකු කතාවක් කරන්නට ඕනෑ වුණාම කැලයට ගිහිං, උදලු කෙටියෙන් පොඩි වළක් හාරා, සිරුරු කිස කොට ඒ වළ වසා දමා ඒමය අප කළේ.)

චුට්ටක් ඉන්න මල්ලී. අපි ගෙනාපු කේක් වගයක්... (foto- වෙනුජ තේජාන්)

‘මොන හදිස්සියකට වුණත් තමුසෙලා ළඟම තැනකට යනවා හෙම නෙවෙයි. උදැල්ලයි ටෝච් එකයි අරං ඈතට යන්න බය නං බම්බු ගහ ගනිල්ලා. කැලේට එනවා නං ඒ විදිහට ඉන්න වෙනවා. අපි දවස් පහක්ම මෙතන ඉන්න ඕනිනේ.... ගඳේ ඉන්නයැ?’ Tents අටවා ගන්නා පමාවෙන් වැඩිමල් කෙනෙකු තග දමන්නේ කාගෙත් යහපත වෙනුවෙනි.

එතකොටය අඳුරට බියැත්තන් දොස්තරලාගේ පිහිට අයදින්නේ...
‘අනේ අයියේ, මේ දවස් ටිකේම ටොයිලට් නොයා ඉන්න අර පෙති  ටිකක් දෙන්නකෝ!’

“යකෝ, දවස් ගාණක් දිගටම එහෙම බඩ වේළවා ගන්න හොඳ නෑ!”
“ඒ වුණාට, රෑ තිස්සේ මේ කැලේට ගිහින් අලියෙකුට හරි වලහෙකුට හරි අහු වෙලා....” ඒ තර්කය පිළිගන්නා දොස්තර මහත්තයෙක් එයාලට මොනවාදෝ පෙති කිහිපයක් දෙයි.
දැන් නං එහෙම ගමන් ගිහින්-ගිහින්ම එයාලාගෙ බය දුරු වෙලාය!

ඒ වුණත් නඩයත් වැඩිවී, මං වාගේ නාකිත් වැඩිවී, ලෙඩ්ඩුත් වැඩිවී ඉන්නා බැවින්, දොස්තර මහත්තුරු මෙහෙම ගෙනෙන බෙහෙත්වලට තවමත් ඇත්තේ ඉහළ demand එකකි.

අයස්මන්ත මහත්තයාගේ බෙහෙත් කැප්සූල් එකෙන් වේදනාව දුරු වෙද්දී, හිතේ තිබුණු ලොකු සාංකාවකුත් දුරු කෙරෙන පෙරමඟ ලකුණු දිස් වුණේ, මගේ සතුට ඉහවහා යවමිනි.
තේ!
ප්‍රියංකරගේ ගෝලයෙක් කෝප්ප ගොඩක් හා තේ කේතලයක් අරගෙන එයි.!!

“චුට්ටක් ඉන්න මල්ලී. අපි ගෙනාපු කේක් වගයක් තියෙනවා. කාල ඉවර වෙලාම තේ බොමු!” කාන්තා පෙරමුණෙන් නිවේදනයක්!
ඊළඟට බරපතළ ප්‍රශ්නයකි. ‘කවුරු ගෙනා කේක්ද ඉස්සෙල්ලා ගන්නෙ.’ මට මතක විදිහට; හා සාමාන්‍යයෙන් කෙරෙන විදිහට මල්කාන්ති, බබීතා, මැණිකේ, දිලිනි ගමනකට එනවා නම් කේක් වර්ග හතරක් වරදින්නේ නැත.
අපේ සංචාරවලදී කෑම හිඟ වෙන්නේ නැතිම තරම්ය!

අයියලට බත්තලංගුණ්ඩුවටම ඇවිත් තේ බීලා යන්නයි කියන්න.

දිගටම පංච තන්තරේ කියවන්නට එන Praසන් හිතවතා මේ සීරීස් එකේ දෙවෙනි කොටසට comment එකක් එවමින් වැදගත් ප්‍රශ්නයක් අසා තිබ්බේය. ඔය ගිහිල්ල කන එකයි බොන එකයි විතරමද කළේ? කට්ටිය. කොහෙවත් ඇවිද්දෙ නැද්ද?

ඇත්තය! ඇබින්දන් දූපතකට ගියාට පස්සේ කොහෙ- කොහේ ඇවිදින්නද?
ඒත් අපි ඉන්දියාව කිට්ටුවටම ඇවිද්දෙමු. ඒ විස්තරය කියන්නට වෙන්නේ දෙවෙනි දවසට කතන්දරේ ආවාමය.
අනෙක් අතට කොරෝනා නිසා, අපට දූපතේ කිසිවෙකු හා කතාවටවත් යන්නට කලින් දෙවරක් හිතන්නැයි උපදෙස් ලැබී තිබිණි.

එතෙක් කියන්නට තියන්නේ, අපේ ගොඩ දෙනෙකුට යකඩ වුණත් හොඳින් ජීරණය වන බවයි.

කේක් කාලා, තේ බොද්දී ප්‍රියන්ත අන්තිම අහිංසක තාලෙන් කොක්කකට මුල පිරුවේය.
“ඇයි දන්නෑ නේද අපේ ගෙවල්වල ඉන්න අයටත් මේ වගේ රසට තේ හදන්න බැරි!” ප්‍රියන්ත අහන පමාවෙන්ම තව දෙතුන්-දෙනෙක් එයාට උඩ-ගෙඩි දෙන්නටත් පටන් ගත්හ. “මමත් මේ හිතුව විතරයි!”
හරිම තැන්වලට වාග් ඊතල වැදිලාය.

“මීට පස්සේ හදල දෙන්න එපා රසිකා තේ! අයියලට බත්තලංගුණ්ඩුවටම ඇවිත් තේ බීලා යන්නයි කියන්න.”
“ඔව්, ඔව්. මමත් මීට පස්සේ ගෙදරදී තේ හදන්නෙ නෑ...” කාන්තා බල ඇණිය තවත් තර වෙද්දී පිරිමි කට්ටිය උත්තර නොදී පසුබැස්සේ, ඇඟට ගුණ නිසා වෙන්නැතිය.

ඇත්තම කිව යුතුය. පුංචි බත්තලංගුණ්ඩුවේ වෙරළේ සිසිල් පවන් වැදි-වැදී පානය කරන්නට ලැබුණු ඒ උණු- උණු ඉඟුරු ප්ලේන් ටීය මරේ මරුය. විශ්වාස නැද්ද? එහෙම නම් කරන්නට තියෙන්නේ එහාට ගිහිල්ල බීලාම බලන එකය!

සහරා කාන්තාරයේත් camping කරනවා නං...

මම එපැයි කියන්නේ නැත!!

හිරු මුහුදේ ගිලෙන්නට තතනයි.
“රෑට නං සීතල වෙන පාටයි!” රවීන්ද්‍ර ඇඹුල්දෙනිය බරසාර ලෙසින් පුරෝකථනයක් කරයි. “දවල්ට පට්ට රස්නේ... රෑට හීතල... එක දවසකට වැඩියෙන් නං මෙහෙ කෑම්පින් කරලා වැඩක් නෑ! දැක්කනේ දෙකට විතර අපි එද්දිත් තිබිච්ච රස්නේ.....”

සහරා කාන්තාරයේත් camping කරනවා නං බත්තලංගුණ්ඩුවේ කූඩාරමක දහවල ගෙවීම කජ්ජක්ද?
ඒ සැසඳීම කරන්නට හිතුණේ Pra Jay මහත්තයා පහුගිය කොටසට Sand Bath ගැන එවා තිබුණු link එකට ගිය වේලාවේය. (මුහුදු වෙරළේ වැලි නෑම ඇඟට ගුණ යැයි මට කිව්වේ ඇඹුල්දෙනියයි. ඒ විත්තිය කියවලාය Pra Jay ඒ අගනා links එව්වේ.)
වැලි ස්නානය අවුරුදු සිය ගණනාවක ඉතිහාසයක් හිමි, මිල අධික එකක් බව ඒ මූලාශ්‍රයේ සඳහන්ය.

දැන් සූරිය දිවිය රාජයාගේ සලකුණක්වත් නැත. තරු විතරය අහසට තනියට ඉන්නේ.

වෙරළේ කරුවල මකා දමන්නට තැනින් තැන පුංචි පුංචි එළි දිදුලයි; ගිනි මැල දැල්වෙන්නට පටන් ගනියි. නෙවිල්ලා දෙවෙනි මජ්ජපාන සැසියට සූදානම් වෙද්දී හර්ෂ හා බියුටස් බාබකිව් උදුන් හතර දල්වන්නට සැරසෙති. ප්‍රියංකර අනෙක් කණ්ඩායම අසලටත් දුවයි; අපේ ළඟටත් එයි; ඊළඟ නඩය වෙතටත් යයි!

ප්‍රියංකර වැන්නවුන්ට එහෙම නොකර බැරිය!
අප වාගේ පිරිස් මෙවැනි තැන්වලට එන්නේ උපරිමයෙන්ම සතුට ලබන්නටය. ඒ සඳහා පහසුකම් සැලසිය යුතුය; බාධා අවම කළ යුතුය.

සතුට.... සතුට.... සතුට තියෙන්නේ කොතැනද? කුමකද?

ඒ සන්ධ්‍යාවේදී පුංචි බත්තලංගුණ්ඩුවේ කඳවුරු ලා ගත් සිය ගණනක් දෙනා වූහ. ප්‍රියංකරලා පහසුකම් සැලසූ නඩ තුනකි. අපේ 28 දෙනාත් සමඟ අනෙක් නඩ දෙකේත් 20ක් විණි නම් එතැනම 48 දෙනෙකි. ඒ හැම දෙනාමත් සතුට සොයන්නෝ වෙත්ද?
එයින් වැඩිම දෙනාට ‘බෝතල් කළ සතුට’ත් නැතිව බැරි පාටකි, මට නං පෙනුණේ!

දැන් අපේ හාදයෝ බොන්නේ expensive brandsවල ඒවා! (foto- සෙරාන් එච්. ගමගේ)

“නිමල් දන්නවද, බත්තලංගුණ්ඩු ගමනෙදී අපේ කට්ටිය කීයක විතර බිව්වද කියලා?” පස්සේ වෙලාවක ප්‍රියන්ත මගෙන් ඇහුවේය. (ප්‍රියන්ත සැර මත්පැන් නොබොන්නෙකි. පැය දෙක තුනක් තිස්සේ මජ්ජපාන සංගමයක ඇසුර ලබද්දී වුණත්, බියර් can බාගයකි ඔහුට උවමනා කරන්නේ.)

“තිස්-හතළිස් දාහක විතර?” මම අනුමාන කළෙමි.
“ඒ ඉස්සර නිමල්.... දැන් අපේ හාදයෝ බොන්නේ expensive brandsවල ඒවා....” ප්‍රියන්ත ගණන් හදන්නට පටන් ගත්තේය. “...ආසන්න වශයෙන් බැලුවත් නිමල්, ලක්ෂයකට කිට්ටුයි....”

‘මොන අපරාදයක්ද?’ හිතුණේ මටය. ඒ විදිහට හිතනවා නම්, අපේ කෙළවරක් නැති සංචාරවලට දහස් ගණනින් වියදම් කිරීමත් අපරාධයකියි කෙනෙකුට කිව හැකිය.
එක ප්‍රශ්නයක් ගැන වුව කිහිප ආකාරයකින්; වෙනස්ම කෝණවලින් බලන්නට; විග්‍රහ කරන්නට පුළුවන් නේද?

කෙසේ වුවත් එක කාරණයක් ගැන නම් අපත් ආඩම්බර විය යුතුය. නෙවිල්ගේ කොංගෝ ඩ්‍රම් වාදනය.... ඒ කරුණයි. ඊට ගැළපෙන්නට අපේ ගී ගායනයත් පටන් ගත්තාම අසල්වාසී කණ්ඩායම්වල පිරිස සවන් දෙන්නට පටන් ගත්හ. මිහිරට ඇහුණ නිසා වෙන්නැති, එයාලා එහෙම කළේ.

නමුත්, මොන ගීත මිහිරක්වත් විඳ ගන්නට ඉඩක් නැති වුණේ ප්‍රියංකර, හර්ෂ, බියුටස් තිදෙනාටය. මාමා නම් කූඩාරමක් ඇතුළට වැදී විවේකයෙනි.

බාබකිව් උදුන්වල චාකෝල් ගිනියම්වී රතුම රතු පාටින් දිදුලද්දී, එයාලා පදම් කර තිබුණු මාළු කිලෝ ගණනක් පැලැහුවෝහ. එසේ පුළුස්සන පමාවෙන් උණු උණුවේමය; උන් පිඟන්වලට-> සුරත්වලට-> වැඩම කරලා බඩවල් තුළට අතුරුදහන් වුණේ!

දෙන්න නිමල් අයියෙ, dance කරන්න පුළුවන් fast numbers ටිකක්.... (2016 foto එකකි.)

නොකඩවා ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන; හැම විටම ගුණදොසුත් දක්වන ළබැඳි රසිකාවියක වන Lotusටත් අපේ කෑම ගැන පුදුම හිතිලාය. පසුගිය කොටස කියවූ Lotus මෙහෙම අසා තිබුණේ එනිසා වෙන්නැතිය.  

'බාබකිව් එකෙන් පස්සේ නූඩ්ල්ස්' අම්මෝ.. ඔහොමත් කන්න පුළුවන්ද. දවල්ටත් බත් කාලා. අනිත් එක කට්ටිය ඇවිදින එක වගේ ඇඟ වෙහෙසෙන දෙයක් කලෙත් නෑ නේද.’
ඇත්තය. මට නම් කිසිම බඩගින්නක් දැනුණේ නැත. එකම එක මාළු කෑල්ලක රස බලන්නටවත් මට හිතුණේ නැත. එකම එක සොසේජ් කරලක්වත් කට හරියට ගන්නට මට හිතුණේ නැත. පිළිස්සූ කුකුළු මස් ගැනත් කියන්නට තියෙන්නේ ඒ සංතෑසියමය.

බඩගින්නක් නොදැනුණා වගේම නිඳිමතකුත් නොදැනුණු නිසා නෙවිල්ලාට ඇති වෙනතුරුම සිංදු කියන්නටත්, මතක් කරන්නටත් මට සිදු විණි.

Trip එකකට අතුල ආවොතින්, පටන් ගැන්මේ ඉඳලාම අපට ගයන්නට වෙන්නේ වේග රිද්ම ගීතය. “දෙන්න නිමල් අයියෙ, dance කරන්න පුළුවන් fast numbers ටිකක්....” අතුල ඉල්ලයි.
ඒ හාදයා නිකම්ම නටනවා නොවේ; ගීතයට අනුකූලව අරුත්බරව අභිනයත් දක්වයි. ඒවායින් වැඩි හරියක් හාස්‍යජනකය.
එනිසාදෝ වැඩිම ඉල්ලුම ඇත්තේ ‘ආරොන් මාමා වයසක මිනිහෙකි’, ‘කොළොම්පුරේ ශ්‍රියා’, ‘පරණ කෝට්’, ‘සුදු අසු පිට නැඟලා’ වගේ සිංදුවලටය.

මේ හිනා කන නැටුම් බලන්නට මුළු නඩේම දැන් වටේට රොක් වෙලා ඉවරය. අතුලගේ රංගනයට සාන්ත, මර්වින්, හක්ස්ලි, හරිශ් එහෙමත් වරින්-වර එකතු වෙති. දිගටම නටන්නේ අතුල, සාන්ත සුසංයෝගයයි. කොච්චර නැටුවත් හති වැටෙන්නේ නැත්තේත් එයාලා දෙන්නාටය.
“මේ දෙන්නා ජපානේ ඉන්න කාලෙ ඉඳලම practice කරන්න ඇති!” ඒ අර්ථකථනයේ ගත යුත්තක් තියෙන බව මේ ගමනේදීත් ඔප්පු වුණේය.

පහුවදා උදේ බලද්දී... (foto- වෙනුජ තේජාන්)

නැට්ටුවන්ට හති නොවැටුණා වුණාට නරඹන්නන්ට හති වැටිලා විදිහය. එකොළහ විතර වෙද්දී එතැන ඉතිරිව හිටියේ කීප දෙනෙකු විතරය. එක-එක්කෙනා හොරෙන්ම නින්දට ගිහින්ය.

ඒ වේලාවේය මට බඩගින්නක් දැනුණේ. එතකොට බාබකිව් ඉවරය; ප්‍රියංකරලා කෑම කාලාත් ඉවරය.
“ඔන්න මොනව හරි පොඩ්ඩක් තියෙනවද බලමු, මර්වින්.”

“නිමලෝ, මාළු නං නෑ... chicken කෑලි වගයක් නං තියෙනවා. හැබැයි දැන් සීතල වෙලා.” ඇති තරමින් යමක්, කෑමට නැති වීම ගැන මටත් වඩා විස්සෝප වුණේ මර්වින්ය.

“මේ හොඳටම ඇති මනුස්සයෝ! චිකන් බ්‍රෙස්ට්ස් දෙකක්ම තියෙන්නේ... මම සවුදං ජෙමා නෙවෙයිනේ.”

නූඩ්ල්ස් ගැන ඒ වෙලාවෙවත් අපට මතක් වුණේ නැත.
පහුවදා උදේ බලද්දී නූඩ්ල්ස් පාර්සල් අඩංගු පෙට්ටිය බෝට්ටුවක් උඩ තිබ්බ විදිහටම තිබ්බේය. කවුරුන්වත් ඒක දැකලා නැත- නන්ද කුමාර හැර.
“මම නං එකක් අරගෙන කෑවා. මං හිතුවේ අනිත් අයට ඕනි නෑ කියලයි!” නන්දේ කිව්වේය.

(මිතුරන් කෙටවීම හොඳ නැති නිසාය- නම් ගම් නැතිව කියන්නේ. නන්ද කුමාර අරහෙම කියද්දී එක්කෙනෙක් රහසෙන් කොඳුරා කිව්වේ ‘මලාකා නන්දෙ’ කියලාය.
නාවුකයෙකු ලෙස රැකියාව කරද්දී සිදු වුණු සැබෑ අත්දැකීමක් ‘මන්දාරම් නුවර ගමනේදී’ නන්ද කුමාර අපට කිව්වේය.
‘මලාකා’ වචනය අප ඉගෙන ගත්තේ එදාය!)

“අනේ සොරි සර්ලා. මම හවසම සර්ලට කිව්වනේ බාබකිව් එකෙන් පස්සේ නූඩ්ල්ස් තියනවා කියලා.” ප්‍රියංකර හොඳටම හිත රිදවාගෙන, සමාව ඉල්ලයි.
“ඔයාලට තිබ්බේ නූඩ්ල්ස් පාර්සල් පෙට්ටියත් මෙතන මේස උඩින්ම තියන්න. මෙතැනනේ සේරම කෑම තිබ්බේ... හැබැයි, එහෙම තිබ්බා වුණත් අපේ කට්ටියගේ බඩවල්වල ඉඩ තිබ්බ එකක්යැ.”

ගමනේදී ප්‍රියංකරලා අතින් සිදු වුණු ‘අඩුවක් නොවුණු’ ලොකුම අඩුපාඩුව ඒකය. ඒකත් මහ ලොකු එකක් වුණේ නැතත් ප්‍රියංකර තවමත් තැවෙයි!

පිරිසුදු, නොඉඳුල් සයුරක් සේම වැල්ලකි මං දැක්කේ.

ප්‍රියංකර, ඔයාලා හැම දෙනාටම ආඩම්බර විය හැකි කාරණයකුත් කියන්නට අවසර දෙන්න. එදා හිමිදිරියෙන් අප පිබිදෙන විටත් කෑම මේස උඩ තිබුණු ඉඳුල්, වැල්ලේ ගිනි මැලවල ඉතුරු-බිතුරු සේරම ඉවත්කොට තිබිණි. පිරිසුදු, නොඉඳුල් සයුරක් සේම වැල්ලකි මං දැක්කේ. ඔයාලා ඒ තරමටම කරන දේට කැපවූවන්ය.

ස්තුතියි! දිගටම මේ යහ ගුණය පවත්වා ගනු මැනවි!!

ඉතිං, මං පැය පහ-හයක් ආපස්සට යා යුතුය.
චිකන් බ්‍රෙස්ට්ස්වලින් කොටසක් කාලා අහවරවී, ගස් ගොන්නක් අයිනේ තිබුණු අපේ කූඩාරමක් තුළට රිංගා ගත්තෙමි. එතකොට ඒ tent එක හිස්ය.

එක වරක් හෝ නොකැඩුණු; දිග නින්දකින් මං ඇහැරෙනවිට තව දෙන්නෙකු කූඩාරමේය. හක්ස්ලි හා මර්වින්. හුරුළුවැව තානායමේ ලැගුම් ගත්තායින් පස්සේ, මං වහන්සේ හක්ස්ලි ඉන්නා අහලගම් හතකවත් නිඳා ගන්නේ නැත. එයාට අපේ කිට්ටුවකටවත් එන්නට දෙන්නෙත් නැත. මේ යක්ෂයා ඒ තරමටම ගොරවයි!
කෝ ඒ ගෙරවිල්ල? හරි නේන්නං... ගෙරවීම නවත්තන්නට විශේෂ කොට්ටයක් බෙල්ල වටේ දමාගෙනය හක්ස්ලි නිඳන්නේ.

ඒ අතරේ කීප දෙනෙකුගේ කතාවක් මට ඇහෙයි. සද්දය එන්නේ කූඩාරම ළඟින්මය. මම අත් ඔරලෝසුවට එබුණෙමි. තවම පාන්දර හතරටවත් නැතිය. කවුද යකඩෝ මේ... මේ යක්කු ඊයේ රෑ හිටන් තවම බිබී ඉන්න ගමන්ද?

“සීනි ඇත්ද”
“ඇති! තේ එක එළ.”
එහෙනම් මේ බාබෙද්දන් රැලක් නොවේ.
අනුන්ගේ කතාවලට හොරෙන් කන්දීම නරකය. ඒත් මේ නඩයේ උදවිය කතා කරමින් හිටියේ පුද්ගලික දේවල් නොවේ; ඕපාදූපත් නොවේ. කන් දෙන්නට තරම් වටින කරුණුය.
අනෙක් අතට මං එපැයි කිව්වත් ‘ශබ්ද තරංග’ නිදැල්ලේ ඇවිත් මගේ දෙසවනට වැටෙයි.

ඉස්සර තිබිච්ච ලස්සනෙන් බාගයක්වත් දැන් මෙහෙ නෑ මචං...

“මාර ලස්සන පොට් එක නේද මචං.....”

“උඹ මචං ළඟදී ඉඳලානේ අපට set වුණේ. ඉස්සර තිබිච්ච ලස්සනෙන් බාගයක්වත් දැන් මෙහෙ නෑ මචං... කාලකන්නි!”
බොරු කියන්නේ මොකටද? එතකොට නං මගෙත් උනන්දුව ලියලුවේය. කන් දෙකම රබර් වුණේය.

“කාටද බං මේ පාන්දරම බණින්න තියා ගත්තේ?”
“ඇයි? මේ රටේ දැන්- අපි වගේ එවුන්ට බණින්නවත් නිදහසක් නැද්ද xකයො... මචාං, උඹ දන්නවද මේ දූපත ඉස්සර කුරුලු පාරාදීසයක්. මේකේ ඉස්සර තිබිච්ච වෙරළෙන් බාගයකටත් වඩා දැන් මූදේ. අම්මගේ xxx සංවර්ධනේ.... අරහේ මූද ගොඩ කරලා city හදනවා, මෙව්වා මූදට යනවා....”

ඒ කේන්තිකාර කතිකයා ඉස්සරහින්ම වාඩිවී ඔහුට සවන් දෙන්නට තිබ්බා නම්... තවත් ටිකක් ඔහුව අවුස්සන්නට තිබ්බා නම්....

ඒ අස්සේ මගේ මුත්‍රාශයත් සන්නිවේදනය පටන් අරගෙනය.

“නිමලෝ, උඹට ඕනි වුණොත් කියලා මම නිඳාගන්න කලින් උඹේ ළඟින් ටෝච් එක තියන්නං.” මර්වින් කිව්වේ, මං වහන්සේ සංගීත ඉසව්වෙන් නැඟිටින්නට හදද්දීය. ඒ වචනය රැක්කාට ස්තුතියි මර්වින්. ටෝච් එක දල්වා කූඩාරම වටේම බැලුවෙමි. අල්ලා ගන්නට සවිමත් දෙයක් නැති නිසා ටිකක් තඩමාරු වෙලාය, මං නැඟිට ගත්තේ!

චඃ! ටෝච් එකේ එළිය එහා-මෙහා වැනෙනවා, අර කට්ටිය දැකලා වගෙය. එයාලා සද්ද වැසුවෝය; කොඳුරන සද්ද විතරය දැන් ඇහෙන්නේ!
සීරුවෙන් පා ඔසවමින් කූඩාරමෙන් එළියට...

මේ posts මාලාවට නම යෙදුවේ ‘හෙනහුරු ගුණ්ඩු...’ කෑල්ලකුත් එක්කලාය. ඒත් ඒ මාතෘකාව අරුත් ගන්වමින් හැබෑම හෙනහුරු කතන්දර දිගාරින්නට වෙන්නේ, ඊළඟ; අවසන් කොටසේදීය.
ඒකත් කියවන්නට එනවා නේද?

36 comments:

  1. කියවන්නට එනවාද කියලත් අහනවා? එනවා, එනවා.🙏👌😊
    අද කතාව, මට වෙනදට වැඩිය නැගලා ගියා. ට්‍රිප් එකක වටිනා කොටස් තමයි පරිසරය,කෑම, බීම සංගීතය. ඒක අඩු නැතුව විස්තර කරලා තිබුන නිසා, නියමෙට රස වින්ඳා.

    සමහර අය ට්‍රිප් ගැන ලියද්දි, කාපු කෑම බීම ගැන ලියන එක ඕනෑකමින්ම මඟාරිනවා. කෑම බීම වලටම වෙන් වෙච්ච බ්ලොග්. යූටියුබ් තියන මේ කාලෙ, ඒක කොහොමටවත් අනවශ්‍ය දෙයක් නෙමෙයි.

    හුලං වැදි,වැදි බීපු ඉඟුරු තේකෙ රස, උදැසන හීතලේ බොන උණු තේකෙ රස, පෝස්ට් එකේ අතුරුපස තරමටම රහයි.👌

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි බස්සා මහත්තයෝ.

      අපේ ට්‍රිප්ස්වල විස්තර සේරම කියනවා නං තව blog එකක් පටන් ගන්නයි වෙන්නේ. ඒත් ඇහැක් විදිහට ඔන්න ටිකක් විස්තර එකතු කරනවා, ඔයා කියන විදිහට.

      Delete
  2. /“ඇයි දන්නෑ නේද අපේ ගෙවල්වල ඉන්න අයටත් මේ වගේ රසට තේ හදන්න බැරි!” ප්‍රියන්ත අහන පමාවෙන්ම තව දෙතුන්-දෙනෙක් එයාට උඩ-ගෙඩි දෙන්නටත් පටන් ගත්හ. “මමත් මේ හිතුව විතරයි!”
    හරිම තැන්වලට වාග් ඊතල වැදිලාය./

    අබේපාල මහත්තයා සහ තේ කෝප්පය මතක් වුණා. (තවත් ඉල්ලං කෑමක පෙර නිවිති...)

    ReplyDelete
    Replies
    1. පෙර නිවිති? පරිප්පු මිටක් දාලම උයහං.

      ඔය අර "කැත්ත අරං වරෝ" සංග්‍රාම උද්‍යෝග කතාවක් නේද? "මහන්සි වෙලා වැඩ කරන අයට විතරයි, මේ තේ වල රස දැනෙන්නෙ" කියලා, මගේ දීර්ඝකාලීන මතකයෙ, මකුලුදැල් බැඳිච්ච කාමරයක කොනක තිව්නා. 🤔

      Delete
    2. ඔව් ඔව්. ඔය ගැන ලියවෙච්ච සිංදුත් තිබුණා මතකද?

      සොඳුර මට සමු දෙන්න සමු දෙන්න...
      ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ...
      එම්බා ගංගා නවතිනු නවතිනු නවතිනු...
      මහවැලි මහවැලි මහාවැලී...

      Delete
    3. ඩ්රැකී, මට මතකයක් නැහැ නෙව 'අබේපාල මහතා හා තේ කෝප්පය'ක වගක්.
      බස්සා මහත්තයට මතකෙයි?

      Delete
    4. කතාවෙ සාරාංශය විතරයි මතක.

      Delete
    5. ඩ්‍රැකී

      එහෙන් මෙහෙන් මතකයි. ටී එම්ගෙ දේවාලෙ දෙයියො සින්දුවත් ඔය කැටගරියම තමා කියලයි මතක.

      Delete
    6. නිදි, මේක...
      https://drackey.blogspot.com/2022/03/blog-post_5.html

      Delete
    7. හෙනං ඩ්රැකී තවත් කඩුල්ලක් පැන ගත්තා, අපි කවුරුවත් බිත්තියට හේත්තු කරන්න කලින්. එහාට ගිහි කියවලා ඉවර වෙලයි මේ ආවේ!

      මටත් නියම තේ එකක් බොන්න හිතුණා, මේ දැන්!

      Delete
  3. Malakas (Greek: μαλάκας [maˈlakas]) is a commonly used profane Greek slang word, with a variety of different meanings, but literally meaning "man who masturbates". While it is typically used as an insult, with its literal equivalent in Commonwealth English being "wanker” and “jerk off” in American English, the meaning varies depending on the tone and context used. It can be an exclamation of pleasure, an expression of dark horror, a cry of anger, a declaration of affection, and other different things. Common alternative meanings include "asshole", "motherfucker" "jerk" or "idiot", and the contrasting "dude", or "mate", depending on the context. It has been described as "the most used Greek slang word".

    ReplyDelete
    Replies
    1. /"the most used Greek slang word"/
      ඔය විත්තිය අපේ නන්ද කුමාරවත් දැනගෙන ඉන්ඩ නෑ. එයාගෙන් ඒක කියවෙන්න නැතිව ඇත්තේ ඒකයි, අසංග.
      හොඳ විස්තරයක් සැපයුවාට ස්තුතියි, නන්දේ ගොඩ කලක් නැව්වල සේවය කල නාවිකයෙක්.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. දැන් දොස්තර මහත්තයාගෙන් බෙහෙත් වැඩේ අල්ලගෙන මර්වින් ලොක්කා වස්ගමුවේදි ගැස්ටික් වැඩිවෙච්චි මට බෙහෙත් දීලා පොල්මුඩු කාඩ් එකකුත් ගැහුවා මතකනේ. දැන් බනින්න එපා වස්ගමු සංචාරය ලිව්වේ නෑ කියලා..

    ReplyDelete
    Replies
    1. බැනලා වැඩක් වෙනවා නං බනින්නං.
      ආපහු ලියන්න බලමුකෝ අසංග, මරු විස්තර ටිකක්නේ මඟ ඇරෙන්නේ. විශේෂෙන් තුන් පැත්තකින්ම අලි වට කරපු එක! අනෙක මගේ මතකය අනුව එක තැනක දැකපු ලොකුම අලි රංචු.

      Delete
  6. ඔහෙට කියන්න, අපි තේ වැව්වට ඉන්දියන් "චායි වාලා"ල තමයි, නේක වර්ගවල තේ හදන්න රුසියො. උන්දලගෙ තියනවා, ඉඟුරු කුළුබඩු රහක් එන කිරි තේකක්. බොනකොට කට දනවා. මට බොන්න ලැබුනෙ, ගිණි ගහන මද්දහනෙ ඒත් නියමයි. මම මෙහෙ තියෙන ඉන්දියන් කඩවලින් කුඩු පැකට් ගෙනත් හදන්න ට්‍රයිකලා. ම්හු.. හරිගියේ නෑ. රැසිපි එකක් ඇති, මහිතේ. මේ තන්දුරි චායි:

    https://www.youtube.com/watch?v=UAPkTPe7kDA

    ReplyDelete
    Replies
    1. බස්සා මහත්තයෝ, ඒ link එකට ගියාම හම්බ වුණා මේක. අපටත් ගෙදරදී අත්හදා බලන්න ඇහැකි!
      https://www.youtube.com/watch?v=nOCVsTTrtFM
      ස්තුතියි!

      Delete
    2. නැවුම් ගුරුලේත්තුවෙ වතුරවල ඔය රහ එනවා. මේක ඒ රහ තේකට ගෙනියන ඉන්දියන් ක්‍රමයක් වගෙයි පේන්නෙ.

      ඉඩෝරයකට පසුව එන වැස්සකට පස්සෙ, පොලොවෙන් එන නැවුම් සුවඳ එන, රෝස සුවඳ විළවුමක් ඉන්දියාවෙ හදනවා. සම්ප්‍රදායික ක්‍රමවලට සීමිතව හදන ඔරිජිනල් එක හොඳයි කියල කියනවා.

      https://www.youtube.com/watch?v=CkM0QI3c3Yk&t=4s

      Delete
    3. හෙටානිද්දම පොඩි මැටි මුට්ටි දෙක තුනක් ගෙනත් try කරලා කියන්නන්කෝ.

      Delete
  7. කියවන්නට එනවාද කියල අහන්ටෙ.. කියවන්ට එපැයි දැන්. භාග දුරට ආ 😊😊නිසා..
    බීමට මුල්තැන දීම දැන් ශින්ගලයගෙ පුරුද්දට ගිහින් නොවැ.. මොනා කොරන්නද

    ReplyDelete
    Replies
    1. හැබැයි නමී, අපේ මිනිස්සු බොන විදිහයි- බොන තරමයි ගැන නම් මට තරහයි!

      Delete
    2. මත්ද්‍රව්‍ය භාවිතය වැඩි නිසා ප්‍රජනන ශක්තිය අඩුවීම වගේම පිරිමි ඝනත්වය අඩුවීමත් සීග්‍ර වර්ධනයක ලංකාව ඉන්ටෙ

      Delete
    3. ළඟකදී ඔය දේවල් ගැන දැනුවත් වුණේ නැහැ නමී.... ස්තුතියි විස්තරයට.

      Delete
  8. හෙනහුරු දසාවෙන් තමා මායි අපෙ උන්දැයි එදා ඩෙවොන්ස් හොයාගෙන ගියෙ. නිදිට මතකද?

    ReplyDelete
    Replies
    1. ඒ ඉතිං ගූගල් අක්කාගේ උපදෙස් අකුරටම පිළිපදින්න ගිහිල්ලානේ.
      සමීරගේ නිෂ්පාදනේ සුපිරි! එයාටත් කියන්න!!

      Delete
  9. නිදි ලියනවනං අපිට කියවන්න එන එක මහ ලොකු දෙයක්යැ.

    //එදා හිමිදිරියෙන් අප පිබිදෙන විටත් කෑම මේස උඩ තිබුණු ඉඳුල්, වැල්ලේ ගිනි මැලවල ඉතුරු-බිතුරු සේරම ඉවත්කොට තිබිණි//
    ඒ වැඩේටනං කට්ටියට ස්තුති කරන්නම ඕන.

    ReplyDelete
    Replies
    1. ඒ නිසාමයි ප්‍රසන්න, මම ඒ වගේ හොඳ වැඩවලට අමතක නොකරම ප්‍රශංසා කරන්නෙත්. එතකොට තව කෙනෙකුටත් එහෙම පරිසර හිතකාමී වෙන්න හිතෙන නිසා.

      අනෙක අපේ ජාතික පුරුද්දක් වගේනෙ නිර්ලෝභීව විවේචනය කිරීම හා පැසසිය යුතු දේට නිහඬ වීම!
      විවේචනය රාත්තලකට වඩා ප්‍රශංසාව අවුන්සයක් අගී!- විත්තිය අපි හැමෝම මතක තියා ගන්නවා නං....

      Delete
  10. බත්තලංගුන්ඩුව කෑම්පින් කරන්න හොඳ තැනක් වගේ! ඒ උනාට බොහොම දුරට වාණිජකරණය වෙලා කියලයි පේන්නේ !

    බෝතල් වලින් සතුට ලබා ගත්ත අයට උණු උණු ඉඟුරු ප්ලේන් ටී එකක් (morning after the night before) බිව්වාම තමයි යන්තං ඔලුව උස්සා ගන්න පුළුවන් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. Sam, ඇත්තටම බත්තලංගුණ්ඩුව කෑම්පින්වලට සුසුදුම තැනක්. හැබැයි, මට හිතුණේ (මං රස්නෙට අකමැතියි!) එක රැයක් හිටියාම ඇති කියලයි. ඊට වැඩිය මගේ හිත දිනුව තැනක් (ඒ ගමනේදීම ගිය) ගැන ඊළඟ කොටසෙන් කියන්නන්කෝ!

      ඔය පහුවදා උදේට ඔළුව උස්සගන්න බැරි වෙන්නේ සමහර ජාති ගත්තම විතරක් නේද? අපේ අය නං එහෙම විශ්ලේෂණ කරනවා...

      Delete
    2. වානිජකරණය ගැන නං කියන්න තියෙන්නේ මට එහෙම දෙයක් නොදැනුන බවයි. කෑම්පින් කරන්න තියෙන ඉසව්වේ වැඩ ඉතාම සංවිධානාත්මකව වෙන්නේ. සීමිත පිරිසක් විතරයි බෝට්ටුවලින් එහාට සංචාරකයන් ගෙනයන කාරිය කරන්නේ. එයාල තමන් ගෙනයන පිරිසේ මෙහෙයවීම බලා ගන්නවා.

      අර පිරිසිදු කිරීම තමා වඩා වැදගත්. මගේ නිරීක්ෂණය අනුව බෝට්ටු හිමියන් හැමෝම ඒ වගේ දේවල් ගැන ඉතා සැලකිලිමත්.
      ප්රියන්කරලා අපේ කුණු සේරම එකතු කරලා, වෙනම පෝර ගෝනිවලට දාලා දූපතෙන් ආපහු අරං ආවා.

      එහාට යන අයට උවමනා දේවල් සේරම යන උදවියම ගෙනියන්න ඕනි.

      Delete
    3. -ඒ විත්තිය පැහැදිලි කරන්නයි මේ විස්තරේ කියන්නේ.

      රෑ දහයට විතර අපේ ඉසව්වට ටිකක් එපිටින් හිටි නඩයක අයට 'බඩු' මදිවෙලා අපේ ළඟටත් ආවා මොනවා හරි සල්ලිවලටවත් ගන්න පුලුවනිද කියලා හොයාගෙන. වානිජකරණය වෙච්ච දිහාවක නම් එහෙම වෙන්නේ නැහැ නේද?
      මේ මං දැක්ක විදිහ.

      Delete
  11. කුමණ කැලේ මැද්දෙන් මහලේනමට කිලෝමීටර් 6ක් විතර මහ දවල් අව්වේ ඇවිදපු දවසෙ ප්‍රවාන් කිව්වා මග පෙන්නන්න ආපු පානම ගැමියන් මුට්ටියක වතුර උණුකරල හදපු ප්ලේන් ටී එක එයා බීලා තියන හොදම බීම කියල

    ReplyDelete
    Replies
    1. ඔය රසට, පරිසරය මහන්සිය සහ බඩගින්න වගේ දේවලුත් බලපාන බව අත්දැකීමෙන්ම දන්නවා.

      Delete
    2. හරියට හරි බස්සා මහත්තයෝ.
      Pra Jay, බස්සා මහත්තුරු දෙන්නම ඩ්රැකී දාලා තියෙන අලුත් පෝස්ටුව 'තේ කෝප්පය' රස බැලුවැයි?

      Delete
  12. මගේ හිත ගියෙත් උඩින් ප්‍රසන්නත් කමෙන්ට් කරලා තියෙන මේ වාක්‍යයට 'අප පිබිදෙන විටත් කෑම මේස උඩ තිබුණු ඉඳුල්, වැල්ලේ ගිනි මැලවල ඉතුරු-බිතුරු සේරම ඉවත්කොට තිබිණි'. හොඳ දෙයක් දැක්කම ඒක නොපැකිළව අගය කරන්න ඕනෙ නිමල් කියලා තියෙනවා වගේ. ගොඩක් ලංකාවෙ අය ඒ අතින් හොඳයි මම හිතන්නෙ අඩුපාඩු තිබුනත්. යූ ටියුබ් එකේ අහම්බෙන් දැකලා අපි බැලුවා ජ'මන් ජාතික තරුණයෙක් ලංකාවෙ සංචාරය කරමින් දාන විඩියො කීපයක්. ඉතාම සරල ඉදිරිපත් කිරීම නිසා බලන්න ආසා හිතෙනවා. Ken Abroad නමින් ඔහු ඒ වීඩියෝස් කරන්නෙ. ඔහු 'හෙල බොජුන්' කියලා නුවර කිට්ටුව තියෙන කෑම outlet එකකට යනවා. විඩියෝ එකේ පෙන්නපු කොටස් අනුව නම් මිනිස්සු කාලා බීලා අපිරිසිදු කරන්නෙ නැතුව ඒ අවට හොදින් පිරිසිදුව තියාගෙන ඉන්නවා. විදෙශිකයින්ට (හෝ අවශ්‍ය අනිත් අයට) ප්ලාස්ටික්/disposable හැඳි, ගෑරුප්පු සහ කෑම ඕඩර් කරන, සල්ලි ගෙවන පිලිවෙල ගැන පැහැදිලි උපදෙස් තිබුනනම් තවත් හොඳයි.

    'සතුට.... සතුට.... සතුට තියෙන්නේ කොතැනද? කුමකද?' කොහොම හරි මිනිස්සු සතුටින් ඉන්න එක කොච්චර දෙයක්ද.

    නිමල් ලියන විදිහට අපිට තියෙන මහන්සියත් නැතිවෙන නිසා අපි අනිවාර්යයෙන්ම කියවන්න එනවා.

    ReplyDelete
  13. ඔව්මයි Lotus, දැන් දැන් අපේ තරුණ පරම්පරාව පරිසරය ගැන උනන්දුයි. ව්‍යාපාර කරන අය අනෙක් පැතිත් හොයා බලනවා.

    මගේ ලියවිලි ඔයාලට සතුට දනවන එක ගැන නං මටත් හරිම සතුටුයි!!!
    ගොඩක් ස්තුතියි.

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්