මම
වධක රාජකාරිය කරන්නට පටන් ගත්තෙමි.
මං
හිත-හිතා හිටියේ නැත; බල-බලා හිටියේ නැත. එකෙක් අතට.
බෙල්ල කොට කෑල්ල උඩට. පිහිය ඉහළට. ඊළඟට පිහිය පහතට. One shot. දඩාස්! බෙල්ල පැත්තකට. කඳ බැරල් එක ඇතුළට. ආයෙමත් ඒකමය. ඔහොම
දිගින්-දිගටම ශීර්ෂඡේදනය කරගෙන-කරගෙන ගියෙමි.
![]() |
ඒ උන්ගේ කරමල්වල තිබුණු ගැටිති තොගය නිසාය. ඒවා මට
පෙනුණේ කරමල්වල එල්ලීගෙන රුහිරු උරා බොමින් ඉන්නා කිනිතුල්ලන් සේනාවක්... |
ඒ උන්ගේ කරමල්වල තිබුණු
ගැටිති තොගය නිසාය. ඒවා මට පෙනුණේ කරමල්වල එල්ලීගෙන රුහිරු උරා බොමින් ඉන්නා
කිනිතුල්ලන් සේනාවක් විදිහටය.
“එහෙම හිරිකිත හිතිලා ඔයා
වැඩේ අල්ලලා දැම්මෙ නැහැනේ?” සිරිබිරිස් උන්නැහේ ඇහුවේ ඇස් නටවමින්.
“අපොයි නෑ... කුකුළන්ගේ බෙලි
කපල අන්තිමටනෙ කළුකුම්ලට අත තිබ්බේ. අපේ තාත්තා අපට උගන්නල තිබ්බේ ‘බාගෙට කරන්න නං
මොනම වැඩක්වත් පටන් ගන්න එපැයි කියලා.' ඒ දවස්වල අපි නාට්‍ය කරද්දී තමයි
විශේෂයෙන්ම ඕක කිව්වේ. තාත්තා දිගටම කිව්වේ ‘නාට්‍යය පෙන්නන දවසේ මම මළත් නාට්‍ය
පෙන්නිල්ල නවත්තන්න එපා. මිනිය ගෙදර තියෙන්න ඇරලා හරි උඹලා නාට්‍යය පෙන්නපල්ලා.’
කියලයි.”
“ඒ අතින් නං ලොක්කත් තාත්තගෙම පුතෙක්. ඉස්සර මිනිස්සු කියල තියෙනවනෙ -තාත්ත කරපු
දේ කරන්නෙ නැත්තෙ නොට්ටිගෙ පුතාල විතරයි- කියලා.”
සිරිබිරිස් උන්නැහේ හා-හාපුරා
කියලා අපේ ගෙදරට ගොඩ වැදුනු දවසේත් අපි දෙන්නගෙ කතාබහට කෙළවරක් නොතිබිණි. ඉන්
පස්සෙත් එහෙමය. පසුගිය අවුරුදු හයේම එයා ලංකාවට පැමිණි හැම වතාවකම මා හමු වෙන්නට ආවේය; නොවරදවාම!
“ඔයා එපැයි කිව්වට හරි යන්නෑ ලොක්කා. අපේ අම්ම තමයි මට උගන්නල තියෙන්නේ- කෙනෙකුගෙ ගෙදරකට
යනකොට හිස් අතින් යන්න එපැයි කියලා.” එහෙම කියමිනි, ඒ හැම වතාවකම තෑගිත් උස්සාගෙන
එන්නේ. ඒත්, එහෙව් හිතවත්කමක් තියෙද්දී වුණත් උන්නැහේ මෙතෙක් එකම එක වාරයකවත් මට කලින්
දැනුම් නොදී- අවසර නොගෙන අපේ ගෙදරට කඩා වැදී නැත!
“එහෙම අහල එන්නේ, පැයක්
දෙකක්වත් දිග කයිවාරුවක් ගහන්න ඕනි නිසානෙ නිමල් අයියේ. මොකද දන්නවද- ඔයයි මමයි
දෙන්න එකම ෆ්‍රීකුවන්සියෙ ඉන්න දෙන්නෙක්... එහෙම මිනිස්සු හරි ඉක්මනට එකට set
වෙනවා...” ඒ සිරිබිරිස් උන්නැහේගේ දැක්මයි.
උන්නැහේගෙනි මං වහන්සේට පළමු වතාවට ‘එක ෆ්‍රීකුවන්සියෙ කට්ටිය’ ගැන අසන්නට ලැබුණේ.
‘එක ජාතියේ කුරුල්ලෝ තමයි එක අත්තේ ලගින්නෙ’ කතාව වෙනුවට මටත් දැන් අර ෆ්‍රීකුවන්සි
කතන්දරේ කියවෙයි!
සිරිබිරිස්ය කිව්වාට උන්නැහේට
අපූරු නමක් ඇත. අමිල!
අමිල එක ජාතියක පිස්සෙකි. එක එක දේ සොයා යන්නට- වැලලෙන්නට යන තොරතුරු පිස්සුවෙන්
වගේ හොයා බලන්නට මේ යක්ෂ පැටියා ගජ හපනෙකි.
![]() |
ලේනම කොටි හැරුණාම Pra Jay මහත්තයා වැඩියත්ම උනන්දු
වෙන්නේ අතීත; ඓතිහාසික දේවල්... |
-ඒ ගල් බරු පාවිච්චි කරල තියෙන්නේ මිනිස්සුන්ව දියේ ගිල්ලලා මරනකොට- කකුල් දෙකට ගැට
ගහන්නලු. මං ඒ ගැන ප්‍රදීප්ටත් කියලයි තියෙන්නේ.”
“මරුනෙ. අපි හඟුරන්කෙත යමුද
බොසා ඒක බලන්න...”
“හඟුරන්කෙත?”
“එක දවසෙන් ගිහිල්ල එන්න පුළුවන් ගමනක්නේ.” අමිල කීවේ එයාගේ යෝජනාව එයාම ස්ථිර
කරමිනි.
Pra Jay හෙවත් ප්‍රදීප්
ජයතුංග නොහඳුනන blogකරුවෙක් නැති තරම්ය. හැබැයි, එයා බ්ලොග් ලියන්නේ නැත. කියවනවා හා
comment කරනවා විතරය. ප්‍රදීප් මහත්තයා කෙනෙකුට උදව්වක් අවශ්‍ය ඕනෑම වෙලාවක ‘බෑ’ කියන්නේ
නැත!. ඒකට ඉදිරිපත් වෙයි. (විශේෂයෙන්ම මේ ලෙඩා උදව්වක් ඉල්ලූ හැම විටම!)
(ස්තුතියි ප්‍රදීප්- එතැනදී අසංග රණසිංහආරච්චි සහෘදයාටත් ස්තුති නොකරම බැරිය.
බ්ලොගය ලියන්නට පටන් ගත්තම පළමුවෙනියට මට කතා කළෙත්- අපේ ගෙදරට ආවෙත්- Pra Jay
මහත්තයාව කැටුව ආවෙත්- blog ලිපිවලට links යොදන හැටි මට කියා දුන්නෙත් ‘කොළොම්පුරේ’
අසංග හිතවතායි!)
ඒ වෙද්දී අපේ ෆ්‍රීකුවන්සියේම
සගයෙකු විදිහට කුලවැද්දී උන් Pra Jayත් හඟුරන්කෙත ගමන සඳහා ‘උනන්දුවාගේ චරිතය’ට
පිවිසුණේය. (මා දන්නා තරමින් ලේනම කොටි හැරුණාම Pra Jay මහත්තයා වැඩියත්ම උනන්දු වෙන්නේ අතීත;
ඓතිහාසික දේවල් ගැනයි!)
“මට රවී වීරසිංහ අයියාවත්
හම්බ වෙන්න තියෙනවා. එයාටත් ගමනට කතා කරමු. නෙවිල් අයියත් අපි එක්ක එයි නේද?”
අමිලගෙන් තවත් අදහසක්.
“මචං, හඟුරන්කෙත ගිහිං-
පුළුවන් නං නිදියා කියන ගල් බෝලෙත් 😃😃😃 උස්සගෙන අපේ ගෙදර එමු. අපේ හාමිනේ අපි කට්ටියට
දවල් කෑම හදන්නංලු!”යි රවී අමිලට කියා තිබිණි.
එහෙමය අපි කට්ටිය 2020 දී හඟුරන්කෙත යැවුණේ. (තකතිරු; මැටි මෝල් මං වහන්සේ හිතාගෙන
උන්නේ අවුරුදු 24කටත් වැඩි කාලයක් තිස්සේ හඟුරන්කෙත එදා අනූහයේ තිබ්බ විදිහටම
තිබෙතැයි කියලාය. ඒත්... ඒත්... හඟුරන්කෙතත් එහෙම පිටින්ම ‘සංවර්ධන සුනාමිය’ට අහු
වෙලාය!)
![]() |
මේ |
ඒත්- ලැබුණු ඔත්තු ඔස්සේ, හඟුරන්කෙත
ඉන්න තරමක් ඉන්නා ‘වීර ඩිංගිරාළ පරම්පරාවෙන් පැවතෙන ඇත්තනුත්, ජයසේකරලාත්
හොයමින් හතර-අතේ කරක් ගැසුවෙමු.
(1996දී මට
හමු වුණු ජයසේකර මහත්තයාගේ ඥාතියෙකු වන කටුගස්හින්නේ ඒ.ජේ.එම්. නවරත්න
බණ්ඩා ජයසේකර මහත්තයා ගැන ඔත්තුවක් නම් ‘චමිලානි’ මහත්තයා
දුන්නේය! ඊළඟට අප ගියේ එහාටය...
ඒ නවරත්න
මහත්තයා ඉතා ළෙන්ගතුව විස්තර කීමෙන් නොනැවතී 1848 මැයි 9 දාතමෙන් යුතු ඔප්පුවක් හා පොත්පත් රැසක්
පවා අපට පෙන්නුවේය!
ඒ සේරම
සාක්කි අපට හම්බ වුණත්...
(ආපහු
එන ගමනේදී) ‘බඩ කපාගෙන මැරෙන්නට උවමනා මලකඩ කාපු පිහියක්’ මට හම්බ වුණේ නැත. මීඇස් දෙක
පල්ලා 😂😂; මේඇස් දෙක පල්ලා 😂😂 එදා එහෙම දෙයක් එහෙම තිබුණා නං මෙලහකට මෙව්වා
ලියන්නට නිදියෙක් නැත! එදා ආපහු ගමන පුරාවටම; හොඳටෝම මේ නිමල් දිසානායකයා ‘පණ
පිටින්ම බයිට්’ වුණේය!
“ඕන්න නිමලෝ තරහ වෙන්න නං
ඔට්ටු නෑ. උඹේ ගල් පැලෙන ගල් බෝලේ කතාවයි, අපි සේරම ඒකට ඇන්දුනු කතාවයි මං ලුණු-ඇඹුල්
ඇතිවම ‘නිදහස් සිතුවිලි’ එකට ලියනවා. කමක් නෑ නේද මචං?” රවී අනිත් අයගෙන් අවසරත්
ගත්ත.
“මචං රවී, නිමල් හදාගෙන ආව තඩි
ඉඹුල් කිරිබත් ගෙඩි ගැනත් මතක ඇතිව ලියන්න වෙයි!” එතකොට Pra Jayත් පෝර දැම්මා. ඒත්
රවී අතින් ඒ post එක ලියැවුණේ නැත- කවදාවත් ලියැවෙන්නෙත් නැත!
(ඔයාට නිවන් සුව රවී. අපේ බෝමුරේ ගමන ගැන post එක නං මං ඉක්මනින්ම ලියනවා,
පොරොන්දු වුණු විදිහට. ඒක කරන්න වෙන්නේ- මාරයා ඔයාව හොයාගෙන ආවා වගේ හදිසියේ හරි
මාවත් හොයාගෙන නොආවොත් තමයි...)
අපි බෝමුරේ ගියේ 2025
නොවැම්බර් 22.
කරුණාරත්න අමරසිංහ මහත්තයාව හම්බ වෙන්න ගියේ 2024 සැප්තැම්බරයේ... ඉතිං, දැන්වත් ඒ
ගැන ලියල ඉන්න ඕනිනෙ තවත් සුනංගු නොවී.
“ලොක්කා, ළඟදිම දවසක මම
යන්නයි හදන්නේ කරුණාරත්න අමරසිංහ මහත්තයව හම්බ වෙන්න. යංද?” මගෙන් එහෙම අහපු වෙලාවේ නං සිරිබිරිස්
උන්නැහේට විනාඩි දහයක් විතර අහගෙන ඉන්න වුණා- මගේ පම්පෝරි පට්ටන්දර ටික.
“ඔය තියෙන්නේ... එහෙනං යමු- කිරිබත්ගොඩටනෙ යන්න තියෙන්නේ.
ඊට කලින් ගම්පහ අතුල අබේරත්න අයියල ගෙදට්ටත් යන්න තියෙනවා හැබැයි.”
![]() |
පරිසරය සුරැකීමට ගස් හිටවීමට සහාය වෙන... |
“කියෙව්වා. කියෙව්වා. අතුල අයියා බ්ලොග් නොලිව්වට fb එකේ හෙණට ඇක්ටිව් පොරක්නේ. අඹ කයියකට අල්ල ගන්න වටින මරු මනුස්සයෙක්... මට මතකයි- ඔයා ඒ post එකේදී ඒ මනුස්සයගේ එක පැත්තක් නියමෙට paint කරලා තිබුණ වචනවලින්.”
‘... කොහොම වුණත්
මුලින්ම ගෙනෙන ජාතියක් ගැන පූර්ව නිවේදනයක් නිකුත් කළේ අතුල අබේරත්න සහෘදයාය. ඒකෙන් කියවුණේ ඔහු
බයිට් එකට ‘roasted කජු’ ගෙනෙන බවයි. ඔන්න ආයෙමත් නඩේ ෆෝම් වුණේය.
ගෙනෙන්නේ ‘බිලින් දාපු කජුද?’ වගේ ගැටළු මතුවිණි. කවුරුන්වත් ‘කජ්ජ බිස-බිසා ගේනවද?’ කියලා ඇහුවේ නැත්තේ අමතක වෙලා වෙන්නැතිය.
සාදය දවසේ අතුල අයියා
ගෙනා කජු සහිත බෑගය දැක්කාම නම් මට හිතුණේ ඒවා ගන්නට ඇත්තේ බටලීයේ කජු ලියන්ගෙන්
නම් නොවන බවයි.
ඒත් නැත්තං ඒ
බෑග්වලට කජු පැකට් දමා දෙන අය, අතුල
අයියාත් ෆොරිනර් කෙනෙකු කියලා වරද්දා ගන්නට ඇත.
හැබැයි හිතන්නට ඇත්තේ ‘ජැමෙයිකාව
වගේ රටකින්’ ආවා කියලාය. අපේ සහෘද හිතවතා ඒ තරම්
පැහැපත්ය.
ඒත්, දුටු පළමු දවසෙම වුණත් ටික වෙලාවක් අතුල
අයියාගේ ඇවතුම්-පැවතුම්
දිහා බලන් හිටියාම මට පෙනුණේ මනුස්සයාගේ හිත ‘සුදු’ බවයි.
සැනසුම් සුවය පතා ඈත දුරකටවී ඉන්නා, පරිසරය සුරැකීමට
ගස් හිටවීමට සහාය වෙන, නිවුණු- කළු- මැදිවියේ
පාංශු දේහධාරී කෙනෙකු ගැන හිතාගන්න. ඒ හිඳින්නේ ඔහුය.
ඔහු
ඉංගිරිසින්ගේ කලිසම් කමිසවලින් සැරහී අපේ ගෙදරට ආවත්, ඒ නිමේශයෙන්ම, අරගෙන ඇවිත් හිටි සරමට බැස්සේය! “සරම
විතර ලෙහෙසි ඇඳුමක් කොහෙන්ද?”
ඒ විතරක් නොවේ. එයා සාදයට ආවත් එදා මගේ
අත්තේම වැහුවේය. සැර
බීම පාවිච්චියෙන් වැළකුණේය!’
අවුරුදු
ගණනාවකට කලින් මං වහන්සේම ලියා ඇති දේවල්වලට සම්බන්ධ කොටස් සමහරක් අදය මගෙන්
ලියවෙන්නේ. ඒවා මට මතක තිබුණාට ඔයාලගේ මතකයේ නොතිබෙන්නට තිබෙන ඉඩ වැඩිය.
![]() |
කොළ කැඳ හදනකොට ගම්මිරිස් කුඩු පොඩ්ඩක් එකතු කරනවද? |
(තව දෙයකුත් කියන්නට තිබේ. එක දිගට එක වැඩක යෙදෙන්නට තරම් සුවයක් තවමත් මට ලැබී
නැති නිසා- සුදුසු තැනෙකදී එහෙම කිරීම ලොකු පහසුවකුත් වෙයි!)
දැන්
මේ ආපහු යන්නේ ‘ගම්පහ- කිරිබත්ගොඩ ගමන යමු’යි අමිල මට ආරාධනා කළ වෙලාවටයි.
‘කරුණාරත්න
අමරසිංහ මහත්තයත් මගේ වීරයෙක් එදා ඉඳලම. ඒත්
ඉතිං මමත් ඔය ගමනට ආවොත් ඔයාට අවාසියක් වෙයි. ඔයා තරං නිස්සද්දව අහගෙන ඉන්න බැරිව-
මාත් ප්‍රශ්න අහයි. ඒකෙන්...” මං කියන්න පටන් ගත්තා විතරයි. “ඒකට කමක් නෑ මනුස්සයෝ... මට ඒ දෙන්නගෙන්ම අහගන්න තියෙන්නෙ ප්‍රශ්න
කීපයයි. ඔයා අහන දේවල් මටත් ප්‍රයෝජනවත් වේවි. ඒකමයි ඔයාටත් යන්න අඬ ගැහුවේ...”
සිරිබිරිස් උන්නැහෙ කිව්වා. “... Pra Jayටත් අඬ ගහන්න
හිතුණා... සතියේ දවසක යන නිසයි, ප්‍රා සාහිත්‍යය ගැන
එච්චර උනන්දු නැති නිසයි කතා කරන්න නොහිතුවේ.”
ඉතිං, අත්දැකීම් බහුල- ඒ
දෙන්නගෙත් එක්කම අපි කතාබහ කළ දේවල් නමී පටිගත කර ගත්තා. ඔන්න එව්වයින් එක කාරණයක්
තමයි මේ.
අතුල අයියා ඉතා සාර්ථකව කොළ කැඳ අලෙවි හලක් පවත්වාගෙන යනවා.
ඒ නිසාම එයා සතියේ දවස් හයක්ම හෙණට බිසි. “මගේ කොළ කැඳ බොන්නම දුර ඉඳල එන
කස්ටර්මර්ලත් ඉන්නවා...” අතුල අයියා එහෙම කියද්දී ඔන්න මාත් ප්‍රශ්න අහන්න ගත්තා.
එතකොටයි මේ ‘tip’
එක කියැවුණේ.
“නිමල් කොළ කැඳ හදනකොට ගම්මිරිස් කුඩු පොඩ්ඩක් එකතු කරනවද?”
අවංකවම කිව්වොත්- එහෙම කරන විත්තියක් මං අහලවත් තිබ්බේ නෑ!
(හැබැයි පැණිපොල් හදද්දී නං මම ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරනවා.)
“නැහැනෙ අතුල අයියේ. පොල් කිරි කැඳ හදනකොට නං ගම්මිරිස් ඇට ටිකක් දාලමයි හාල් ළිපේ
තියන්නේ...”
ඔය විස්තර ඩිංගිත්ත
නං 2024දීම ‘රහස් නොවන රහස් ටිකක් - දෙවෙනි කොටස’ post එකට ලිව්වා. ඒත් කරුණාරත්න
අමරසිංහ මහත්තය එක්ක කෙරුණු කතාබහ ගැන නම් ලියැවුණේ නෑ. ඒත් අපේ නමී උන්නැහේ පටිගත
කරලා දුන්; පැය දෙකක් විතර දිග සාකච්ඡාවන් නං තවමත් මගේ ළඟ.
හැබැයි
එව්වයෙ තියෙන ඔක්කොම කරුණු ‘නිදිගෙ පංච තන්තරේ’ට ලියැවෙන එකක් නෑ. මේ වගේ ටිකක්
මිස.
![]() |
ඇයවත් ඇවිස්සුවොත් සංසිඳුවන්නම ඕනි. අපේ හුඟක් දෙනෙක්
එයාලව අවුස්සලා නිකං ඉන්නවා- සංසිඳුවන්නේ නැතුව... |
ඒත් ඒ ප්‍රශ්නයට කරුණාරත්න මහත්තය
දුන්නේ පොතක් ලියන්න තරම් ‘වපසරියකින් යුතු’ උත්තරයක්.
“අමිලට ඔහොම
රුචියක් ඇතිවෙලා තියෙන එකම වුණත් සතුටට කාරණයක්. පැරැණි සාහිත්‍යය විතරක් නෙවෙයි,
ඕනෑම විෂයයක් ගැන හදාරන්න නං කෙනෙක් තුල ඇල්මක්- උනන්දුවක් ඇතිවිය
යුතුයිනෙ. ඒක; ඒ ඇල්ම එන්නේ කුතුහලය නිසා. ඔයාලා දන්නවද?
කතාවක් තියෙනවා ‘කුතුහලයයි ගැහැනියයි දෙකම එකයි’ලු කියලා!” එහෙම කියූ
කරුණාරත්න මහත්තයා අපි තුන්දෙනා දිහාවට හෙළුවේ දඟ බැල්මක්.
“ඒ කතාව දන්නවද? දන්නවද...” නැවතත්
එහෙම අහල එතුමා පෑවේ කොක් හඬ නැඟෙන හිනාවක්. 😆😆😆
“... අපි පුරුදු
වෙලා ඉන්නේ ‘කුතුහලය’ කියල උච්චාරණය කරන්නනෙ. නමුත් ඒක ‘කුතූහලය’ කියලයි නිවැරදිව උච්චාරණය
කරනවා නං කියන්න වෙන්නේ. මොකද, ඒක සංස්කෘත වචනයක්... කුතූහල්!
තුයන්න දීර්ඝ වෙන්න ඕනි.
කොහොමද මේ කුතුහලය ගෑනියෙකුට සමාන වෙන්නේ?” ඒ වතාවේ අර දඟ
බැල්මට අමතරව තද සිනාවකුත්...
එතුමාගේ ප්‍රශ්නයට උත්තර හොයමින්
උන්නු අපටත් ඒ හිනාව බෝ වුණේ හරි ඉක්මනින්. මොකක් හරි ප්‍රශ්නයකට උත්තර නොදන්න
වෙලාවක එහෙම හිනාවක් දැමිල්ල මං වහන්සේ නං කරන සම්‍යක්ප්‍රයෝගයක්...
“මෙහෙමයි! කුතුහලය
කියන්නේ සැඟවිලා තියෙන යමක් ගැන දැනගන්නට ඇති වෙන ගුප්ත ආසාවටනෙ. දැන් ඔය ඕනෑම නිර්මාණ
කෘතියක... නවකතා- කෙටිකතා- නාට්‍ය- සිනමා වගේ ඕනෑම කෘතියක අන්න අර කුතුහලය;
කුහුල නොමඳව තිබිය යුතුයි. ඒ කුහුල තමයි රසිකයන් ඒ නිර්මාණයෙන් බැහැර
යා නොදී ඔවුන්ව ඒ කෙරෙහි රඳවා තබා ගන්නේ. කුතුහලයෙන් tension
එක දිගටම ගෙනියන්න පුළුවන්. ඒක සාහිත්‍යයේදී වගේම නිර්මාණ කාර්යයකදීත්
ඉතාම හොඳ උපක්‍රමයකුත් වෙනවා.” එහෙම කියල එතුමා පුංචි විරාමයක් ගත්තේ අපි දිහා විමසිලිමත්ව
බලමින්.
“ඉතිං කුතුහලය ඇවිස්සුවොත් ඒක සංසිඳුවන්නම ඕනනෙ. හොඳ නිර්මාණයකින්
ඇවිස්සෙන කුහුල නිවා ගන්නකල් සමහර රසිකයෙකුට නින්ද යන්නෙත් නැති තරම්නේ... ඒ වගේම තමයි
ගැහැනියත්! ඇයවත් ඇවිස්සුවොත් සංසිඳුවන්නම ඕනි. අපේ හුඟක් දෙනෙක් එයාලව අවුස්සලා නිකං
ඉන්නවා- සංසිඳුවන්නේ නැතුව... එහෙමත් නැත්තං සංසිඳවන්න දන්නැතුව...”
![]() |
කරුණාරත්න අමරසිංහ මහත්තයා ලියා, විදර්ශන ප්‍රකාශනයක් ලෙසින් පළ
වී තිබෙන ‘හිතක මතක’ පොතකට... |
“... පස්සේ ඉතිං කෑ ගහනවා -ගෑනි
මට ද්‍රෝහී වුණා -අරක වුණා -මේක වුණා කිය-කියා... සාර්ථක නිර්මාණකරුවන් කුතුහලය ගැන
මේ රහස දන්නවා... නමුත් දැන් ඉන්න නිර්මාපකයන් හුඟ දෙනෙක් ඔය බවක් නොදැනයි වැඩ කරන්නේ.
- හැබැයි, සාහිත්‍යයෙදී කියන්නෙ නැහැනෙ කුහුල දැනවීම
උසස්ම කරුණක්ය කියලා. නමුත් හොඳ විමසිල්ලෙන් බැලුවොත් අපට පෙනෙනවා... උසස් ලෝක සාහිත්‍ය
කෘතිවල වගේම සම්භාව්‍ය පැරණි සිංහල සාහිත්‍ය කෘතිවලත් තිබෙන එක ගුණයක් තමයි පාඨකයන්ගේ
කුහුල රඳවා ගැනීම.”
අපි එහාට ගිහිං සෑහෙන
වෙලාවකුත් ගත වෙලා. අමිලගෙ පළමුවෙනි උවමනාව විතරයි තවම ඉටු කර ගන්න ඇහැක් වුණේ.
කරුණාරත්න අමරසිංහ මහත්තයා ලියා, විදර්ශන ප්‍රකාශනයක් ලෙසින් පළ වී තිබෙන ‘හිතක
මතක’ පොතකට කතුවරයාගේ අත්සන ලබා ගැනීමයි ඒ උවමනාව වුණේ.
ඒ වුණත් අමිලගේ දෙවෙනි අවශ්‍යතාවට;
එයා ඇහුව පළමු ප්‍රශ්නයට උත්තරයක් තවමත් පෙනෙන තෙක් මානයක නැති හැඩයි. ප්‍රශ්නය වෙනින්
විදිහකට අහල හරි අමිලට උදව්වක් වුණොත්...
“ඔබතුමාගේ අදහසට
අනුව අපේ අමිල මහත්තය ඉස්සෙල්ලම කියෙව්වොත් හොඳ සද්ධර්මාලංකාරයද- සද්ධර්මරත්නාවලියද-
පූජාවලියද, එහෙමත් නැත්තං අමාවතුරද?”
ඉතිරි හරිය ඉක්මනටම ඊළඟ කොටසෙන්...







No comments:
Post a Comment