සුසිල් මහත්තයාගේ දැවැන්ත- ගම්භීර මන්දිරය දැක්ක ගමන්ම මං වහන්සේ හේබාලා ගියා. ‘එසේ-මෙසේ පුතයෙක් නොවෙන කෙනෙකුට මෙහෙම තැනක ඉන්න පුළුවන්ද?’
ඒ හැඟීම ඉක්මනින්ම වාෂ්ප වෙලා ගියේ සුසිල් මහත්තය මාව
පිළිගත්ත සුහද ලීලාවෙන්. “බෝල්ඩ්වින් මටත් ටෙලිෆෝන් කළා. කෝ නිමල් එයා එවපු ලියුම...”
ඒ ලියුම කියවල ඉවර වෙලා, එතුමා මගෙන් ඉල්ලා ගත්ත ‘හිනා වෙන්න
හිනා’ පොතත් අතැනින්- මෙතැනින් කියවල බැලුවා.
ඊට පස්සේ මගේ දිහාවට බොහොම සානුකම්පිත බැල්මක් හෙළුවා.😖
![]() |
මෙහෙම කතා එකතුවක් තියෙන්න බෑ විවිධ මට්ටමේ අයව ඇසුරු නොකරන
කෙනෙකුට. |
සුසිල්
සිරිවර්ධන මහත්තයගේ ඒ කතාවෙන් මගේ හිතට පුංචි මොකක්දෝ එකක් හිතට කාන්දු වුණේ
නැතැයි කිව්වොත් නං ඒක තඩි බොරුවක්. අපි කවුරුත් වැඩියෙන් කැමති අපේ ගැන මිහිරි
දේවල් කියැවෙනවා අහන්නනෙ. මොකද මේ ලියන මං වහන්සේ කියලා ඊට වෙනස් සතෙක්යැ? ඒත්... ඒ
එක්කම මං හැබෑ ලෝකෙට ආවා.
“මට
කුරුප්පු මහත්තයත් කල් තියාම කියලයි තිබ්බේ ඔබතුමා මෙහෙම කියන්න වුණත් ඉඩ තියෙනවයි
කියලා.”
“ඇත්තට... එතකොට නිමල්ට මොනවද හිතුණෙ? කමක් නැහැ නේද මම එහෙම ඇහුවට.”
“ඇත්තම කියනවා නං සුසිල් මහත්තයා, මම දන්නවනේ මගේ ලියැවිලි සම්භාව්‍ය- විදග්ධ ඒවා
නොවෙන විත්තිය. හැබැයි වැඩි දෙනෙකු හැම තිස්සෙම බරසාර ඒවාට කැමති නැති විත්තියත් මම
දන්නවා...”
“... ඒ හින්දා මමත් ඔයාගේ මේ යාන්ස් පොතට කැමති වෙයි කියලද හිතුවේ? කමක් නෑ- කමක්
නෑ... එහෙම හිතුවට කමක් නෑ...” සුසිල් මහත්තයා හිනා පොත මේසය උඩින් තිබ්බා.
“මෙහෙම
කතා එකතුවක් තියෙන්න බෑ විවිධ මට්ටමේ අයව ඇසුරු නොකරන කෙනෙකුට. අනෙක නිමල්ට
තියෙනවා රුචිකර ලේඛන හැකියාවකුත්... ඒත් එක්කම මට දැනෙනවා නිමල් ලියන්නේ සාමාන්‍ය
ජනතාව ඉලක්ක කරගෙනයි කියලත්. ඒත් මට ඔයාගේ මේ පොතට නම් උදව්වක් කරන්න විදිහක්
නෑ නිමල්. නමුත්... ඔයාගෙන් අනාගතයේදී ලියවෙන දෙයකට නං...”
“ගොඩක් ස්තුතියි සර්. ඔබතුමා එක්ක මෙහෙම කතාබහ කරන්න ලැබුණු එකම ලොකු වාසනාවක්
විදිහටයි මට දැනෙන්නේ...”
“නිමල්
අවංකව කතා කරන බව- එක එල්ලේම මගේ ඇස්දෙක දිහා බලලා කතා කිරීමෙන් මට පෙනෙනවා. ඒ
නිසයි මමත් මෙච්චර විවෘතව කතා කරන්නේ. අපි වගේ අයත් එක්ක කතා කරන හුඟක් දෙනා
කියන්නේ තම-තමන්ගෙ අවංක අදහස් නෙවෙයි- අපිව සතුටු කරවන දේවල්... අපි එකඟ වේවිය
කියල එයාලා හිතන දේවල්...
නිමල් දන්නවද? කෙනෙක් සමාජයේ කැපී පේන්න ගත්ත ගමන්ම, නායකයෙක් බවට පත් වෙන්න පටන්
ගත්ත ගමන්ම එයාගෙ වටේ රොක් වෙනව ආන්න එහෙම පිරිසක්. එයාලා අර මනුස්සයව වට කරන කඩතුරාවක්
වෙනවා.
-ඒ හින්දයි බෝල්ඩ්වින් කුරුප්පුට
මං
ගොඩක් කැමතිත්. අරහෙම මිනිස්සු අතරේ එයා එහෙම පිටින්ම වෙනස් කෙනෙක්. මිනිහා
යකාටවත් බය නැති- මොන යකෙක්වත් මායිම් කරන්නේ නැති- කට කෑවත් ඇත්තම කියන කෙනෙක්...”
![]() |
කැපී පෙනෙන්නන්ගේ ගති-සොබා; ඇවතුම්-පැවතුම්; විශේෂතා
ආදිය... |
“නිමල්ට
මතකද 71 කැරැල්ල?”
“ටිකක් මතකයි සුසිල් සර්.”
“ඒ මතකවලින් හොඳම එක මොකක්ද කියලා මං ඇහුවොත්...”
එතකොට නං මම ටිකක් වෙලා ගත්තා- කල්පනා කරන්න. “ඇත්තම කිව්වොත් සර්- මට වැඩියත්ම
මතක් වෙන්නේ 71 කැරලිකාරයන්ට අපේ මහරගම ආච්චි කියපු නමනෙ.” මං කිව්වේ හිනාවකුත් එක්ක.
“ඒ
මොකක්ද නිමල්? ඔයාගෙ හිනාවෙන් පේන්නේ ඒ නම ලස්සන එකක් වෙන්නැති කියලයි.”
“අපේ ආච්චි එයාලට කිව්වේ
‘චේගුරාකාරයො’ කියල...”
“ආාාහාාාා... චේගුරා? ඔයාලගෙ ආච්චිත් නිමල් වගේම හොඳ කතාකාරියෙක් වෙන්නැති. ඒ වගේ
උදවියව මට හම්බ වෙලා තියෙන්නෙ අඩුවෙන්. අපරාදේ...”
මටත්
සුසිල් මහතා මුණ ගැසී තිබෙන්නේ හතර-පස් වතාවක් විතරකි. ඒකත් මාස ගණනාවක පරතරයක්
ඇතුවය. එවන් හමුවීම්වලදී එතුමන්ගෙන් කියැවුණු දේවලින් මට මතක තියෙන්නේ ස්වල්පයක්
පමණය. එසේ වෙතත් එතුමන්ගෙ ‘කථන ස්වරූපය- නිතර කියැවුණු භාෂා යෙදීම්’ ආදිය නම් මට සපුරාම
අමතකය. (මා නිතර ඇසුරු කරන්නන්ගේ හා කැපී පෙනෙන්නන්ගේ ගති-සොබා; ඇවතුම්-පැවතුම් හා විශේෂතා
ආදිය මට හොඳින් ‘මීටර්’ වෙයි!)
නිදිගෙ
පංච තන්තරේ ලියද්දී- ලේඛනයට ප්‍රාණවත් බවක් ලබාදීම උදෙසා ‘සංවාද’ ලෙසිනුත් සමහර
දේවල් ලියන්නෙමි. එසේ කිරීමේදී සුසිල් මහතාණන්ගේ ‘කථන රටාව හා ශෛලිය’ වෙනස්වී තිබේ
නම් එහි වැරැද්ද මේ ලියන නිදි සතුය.
“නිමල්ට
පුළුවන්ද ආයෙමත් වෙලාවක ඇවිත් යන්න... ඔයාට පොත් ටිකක් දෙන්න හිතුණා... එනකොට හොයල
තියන්නං...” එදා අපේ සාකච්ඡාව අවසානේදී සුසිල් මහත්තයා ඇහුවා. මාත් කැමැත්ත පළ
කෙරුවා.
එහෙම ගිය වෙලාවේ එතුමා ‘සංස්කෘති සඟරා’ කිහිපයක්ම මට තිළිණ කළත් එක්ක.
‘රුපියල්
අස්සේ අලුක්කාල් ගැන්නෙන්න යන්නෙ මක්කටෙයි’ කියන හීනමානය නිසාද කොහෙද මං සුසිල්
මහත්තයාව හමු වෙන්න ගියේ ඉතාම කලාතුරකින්. එතුමන් පරලෝ සැපත් වුණාට පස්සෙ නං සිහිපත්
වුණා ‘අපරාදේ’ කියලා; ඉහළම ගණයේ බුද්ධිමතෙකු විදිහට පිළිගැනුණු කෙනෙකුව මීට වඩා
ඇසුරු කරන්න තිබුණ නේද කියල.
‘සිරිවර්ධන මහත්තයාත් එක්ක කෙරුණු හැම කතාවක්ම ඒ තරමට හරවත් වුණේ කොහොමද?’ මට
තවමත් හිතෙනවා!
(සුසිල් සිර්වර්ධන මහතා නිවනින් නිවී සැනසේවා!)
කුරුප්පු
මහත්තයා එවල තිබ්බ අනෙක් ලියුම ‘කරුණාරත්න අමරසිංහ’ මහත්තයගෙ නමටයි කියල මං ඔයාලට
කිව්වනෙ. ඉතිං මං එතුමටත් ෆෝන් කළා. ඒ දුරකථන සංවාදය ඉවර වුණෙත් හමුවීමට වෙලාවක්
යොදා ගනිමින්.
![]() |
කරුණාරත්න අමරසිංහ මහතා ඔහුගේ ගෘහස්ථ රාජධානියේදී සුමිතුරු ජිනසේන
ගමගේ මහතා සමඟ. |
පොත
යැව්වට පස්සේ ලැබුණේ හොඳ ප්‍රතිචාරයක්. “අපි රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් කරමු.
නිමල්ට පුළුවන් නේද SLBC එකට එන්න- මම කියන වෙලාවට.”
“එන්නං කරුණාරත්න මහත්තයෝ.” මං කිව්වේ ඉහ-වහා ගිය සතුටකින්. සතුටු නැද්ද දෙයියනේ ‘පුංචි
කාලේ හිට හිතේ වැජඹෙන වීරයෙක්ව පණ පිටින්ම හම්බ වෙන්න ඉඩක්’ පෑදුණාම.
ඊට කලින්
ගුවන් විදුලි වැඩ සටහන් කීපෙකටම සහභාගි වෙන්න ඒ ආයතනයට ගිහිං තිබුණු හින්දද කොහෙද ‘රේඩියෝ
ප්‍රෝග්‍රෑම්‘ එක ගැන නං අමුතු සතුටක් ඇති වුණේ නෑ. හැබැයි ජීවිතේ පළමුවෙනි වතාවට සම්බන්ධ
වුණු ‘ආරෝග්‍ය ශාලා සේවය’ වැඩ සටහන (දුප්පත් අපිට රේඩියෝවක් නොතිබුණු නිසා) මටවත්
අහගන්න බැරි වෙච්චි දුක නං එදා අලුත් වුණා.
ඒත් එක්ක,
(ඇත්තම කියනවා නං) කරුණාරත්න මහත්තයා මිත්‍රශීලී ගතියෙන් අඩු කෙනෙකු විදිහටයි,
පළමු හමුවේදී මට හැඟුණේ. එක එක්කෙනා එක එක විදිහනේ. අනෙක එදා එතුමා ඇවිත් උන්නේ ‘මිත්‍ර
සමාගම්’ පවත්වන්න නෙවෙයිනේ.
එහෙම වුණත්, ඒ වැඩ සටහනට සහභාගී වෙන්නට පැමිණ සිටි තුරුණු සහායිකාවටත්; මටත් අවශ්‍ය
උපදෙස් හා ගුරුහරුකම් ලබා දෙන්න නම් කරණාරත්න මහත්තයා අමතක කළේ නෑ. (එතුමන්ලා
අයිති වුණේ ‘පළමුව රාජකාරිය’ පරම්පරාවට නෙව!)
ඉතිං,
“මම මෙහෙම ඇහුවොත්...” කියලා එතුමා මට හදිසි ප්‍රශ්නයකුත් යොමු කළා- මැදිරියේදී
කෙරුණු පෙරහුරුව වෙලාවේ. ඒ මගේ කටහඬේ තත්ත්ව පරීක්ෂාවක් වගේම; පිළිතුරු දීමේදී නිරවුල්ව
එය කරනවාදැයි සෙවීම පිණිස වෙන්නැති.
“නිමල්, ඔයාගේ පොතෙන් තෝරාගත්තු කෙටි යාන්ස් දෙකක් අපේ වැඩ සටහන අතරතුර දෙවතාවකදී ඉදිරිපත්
කරනවා. මේ තරුණ යුවතිය ඇවිත් සිටින්නේ ඒ කාරිය උදෙසා.”
අතරමඟ
නැවතීම්- බාධා කිරීම් මොකවත් නැතිව ඒ වැඩ සටහන පටිගත කෙරුණා. වැඩි කතාබතා මොකුත්
නැතිවම මං ආපහු ආවේ බලාපොරොත්තු සුන් වුණු ගතියකින්. ඒ කරුණාරත්න මහත්තයත් එක්ක සුහදව
කතා කරන්න බැරි වීම ගැන දුකෙන්! ඒ දුක්මුසු; මුසුප්පු සහගත හැඟීම අවුරුදු ගණනාවක්
තිස්සෙම;
2024 සැප්තැම්බර් මාසේ දවසක් වෙනකල්ම අතුරුදහන් නොවී තිබුණයි කියමුකො.
ඒ කිව්වේ සිරිබිරිස් උන්නැහේ මැදිහත් වෙනකල්...
![]() |
ආදරණීය පාඨක ඔයාලට කොහොම ස්තුති කරන්නද මංදා... |
2019
දෙසැම්බරයේ හරි 2020 ජනවාරියේ හරි දවසක හැන්දෑවෙ, අපේ අල්ලපු ගෙදර දේවිකා නංගි මට
කතා කළා. “නිමල් අයියේ... නිමල් අයියේ. මෙන්න කවුද ඇවිල්ල, ඔයාව අහනවා.”
මං දොරකඩට ගිහිං බැලුවා.
දැකලා
නැති අමුත්තෙක් හිනාවේගෙන ගේට්ටුව ළඟ; කාර් එකත් නවත්තගෙන... හතර රියන්; ආරෝහ-පරිණාහ
දේහධාරී පුරුෂයෙක්...මාව දැක්ක ගමන්ම එයා කට පුරා හිනාවකුත් දාපි.
“කොහොමද
ලොක්කා, මං සිරිබිරිස්... ලංකාවට එනකොටමයි හිතාගෙන ආවේ ඔයාව හම්බ වෙන්න එන්න.”
විදේශයක
සිට නිදිගෙ පංච තන්තරේ කියවන; comment කරන සිරිබිරිස්ව මගේ හිතේ ඇඳිලා තිබ්බෙ
ගොඩක් තලත්තෑනි මනුස්ස පරාණයක් විදිහටයි... සිරිබිරිස්ගේ කමෙන්ටුවලිනුත් පෙනුණේ
එයා දැනුම්-තේරුම් ඇති; පරිණත කෙනෙක් හැටියටයි. එහෙව් වැඩිහිටි මනුස්සයෙකුට නම කියල
කතා කරන්න අකමැති වුණු මං ‘සිරිබිරිස්’ නම අගට ‘උන්නැහේ’ කෑල්ලකුත් ඈඳන්නයි එතකොටත්
පුරුදු වෙලා හිටියේ.
නිදිගෙ
පංච තන්තරේ ලියන්න පටන් ගත්තු නිසා ලංකාවේ වගේම පිටරටවල ඉන්න ගොඩාරියක් සහෘදයන්
හඳුනා ගැනීමේ වාසනාව මට ලැබුණා. ඒ අතරෙ ඉන්න තවත් හිතවතෙක් තමයි සිරිබිරිස් උන්නැහේ...
තවත් කීප දෙනෙක්ම ඉන්නවා, මෙතැනදී නම් ලැයිස්තුව නොලිව්වට. හොඳේ...
මටම
පුදුමයි- මුල්ම අවුරුදු කිහිපයෙන් පස්සේ මේ බ්ලොගය වැඩියෙන්ම කියවන්නේ විදේශවල
ඉන්න හිතාදර රසික-රසිකාවියන්!
අද (2026 ජුලි 19) උදේ බලද්දිත්, මේ බ්ලොගයට වැඩියත්ම පිවිසිලා තියෙන්නේ විදෙස්
පාඨකයන්. හරියටම කියනවා නම් ලංකාව තියෙන්නේ ඒ ලැයිස්තුවේ 14 වෙනි ස්ථානයේ.
තව
එකක්. ඊයේ දවසේ අපේ blog එකේ Hit Counter එක හත් ලක්ෂය පහු කරලා; 7,02,577ට
කැරකිලා! ඊයේ දවසේ පිවිසුම් ගණන 2,912ක්.
2026 ජුනි මාසේ තමයි ‘නිදිගෙ පංච තන්තරේ’ට අඩුම posts ගණන; 3ක් වැටුණේ. හැබැයි, වැඩිම
පාඨක සංඛ්‍යාවක් බ්ලොගය කියවන්න පැමිණිලා තිබ්බෙත් ජුනි මාසේ. සංඛ්‍යාව 89,776ක්.
නිදිගෙ
පංච තන්තරේට මෙච්චර පිළිගැනීමක් ලබා දුන් ආදරණීය පාඨක ඔයාලට කොහොම ස්තුති කරන්නද
මංදා.
හැබැයි අපි ආවේ බොහොම හෙමින් ගමනක්. මුල්ම
කාලේ දවසකට 150ක් විතර තමයි බ්ලොගය කියෙව්වේ. බ්ලොගය පළ කරන්න පටන් ගෙන මාස 18කට
පස්සේ; 2020 ජනවාරියේ ‘ශ්‍රී ලංකා not vs England - හයවෙනි කොටස‘ට මං
මෙහෙමත් ලිව්වා මතකද?
![]() |
මානෙල් නංගිගේ විවාහ මංගල්‍ය උත්සවයට ‘ගම් කුකුළු මස්’ම උයවන්නට ඕනෑ
යයිද, අජිත් මල්ලිගේ කුකුළු කොටුවේ කුකුළන්
ඒ සඳහා මරවා ගැනීමට හැකි යයිද ‘අපේ ගෙදර වරිග සභාව’ තීරණය කළේය. |
මගේ පාඨක හිතවතුන්- හිතවතියන් සැම දෙනාටම ස්තුතිවන්ත වෙමින්, විස්සයි විස්සට
සුබ පතන අතරේ මට හිතෙන්නේ එහෙමය.’
සිරිබිරිස්
උන්නැහේ නමෝ විත්තියෙන්ම අපේ දිහා ආවෙත් ඔය දවස්වලමයි.
“ඔයා
දන්නවද ලොක්කා, මට ඔයාව හම්බ වෙන්නම හිතුණෙ ඇයි කියලා. පව් විකුණන්න බැහැයි කියලා-
නංගිගෙ වෙඩින් එකට ඔයාම කුකුළො පනහක් විතර මරපු විස්තරේ blog එකෙන් කියෙව්වට
පස්සේ... මට හිතුණා, අඩේ- මේකා මාර ඩයල් එකක්නෙ. මේ සැරේ ලංකාවට ගියාම පොරව හම්බ
වෙන්න යන්නම ඕනි කියලා.”
එහෙම හිතා ගෙනය; සිරිබිරිස් උන්නැහේ ‘සුවිශේෂ තෑගි කිහියකුත්’ ඕස්ට්‍රේලියාවේ සිටම
සූදානං කරගෙන ඇවිත් තිබුණේ.
එව්වා අතර ‘1901 සත ¼ හෙවත් අලුක්කාලේ කාසිත්’ තිබිණි.
අපේ
හිතවත්කම ලියලා ගිය විදිහ කියන්නට කලින්- මගේ අඳුරු වික්‍රමයක් වූ ‘සැවුළු සංහාරය’
ගැන ලියූ විස්තරය මෙතැනට යොදන්නේ (විශේෂයෙන්ම) නවක පාඨක සහෘදයන් වෙනුවෙනි.
මානෙල්
නංගිගේ විවාහ මංගල්‍ය උත්සවයට ‘ගම් කුකුළු මස්’ම උයවන්නට ඕනෑ යයිද, අජිත් මල්ලිගේ
කුකුළු කොටුවේ කුකුළන් ඒ සඳහා මරවා ගැනීමට හැකි යයිද ‘අපේ ගෙදර වරිග සභාව’ තීරණය
කළේය. ‘කොහොමද උන්ව මරන්නේ’ යැයි මම විමසීමි.
මේ එතැන් සිට කතාවයි. (එය උපුටා ගැනෙන්නේ සත් වසරකට පෙර ලියැවුණු ‘සැවුළු සංහාරය 6-7’
postsවලිනි.)
“ළමයෝ, කුකුළු මස් කඩේට ගෙනිහින් උන්ව
මස් කරවා ගත්තැකි. එතකොට ඉවරයිනේ.” අපේ සීයා කීවේය.
“එහෙම කොහොමද ඉවර වෙන්නේ?” මම ඇසීමි. මං එහෙම ඇහුවේ සීයාගේ
කතාව නොතේරී නොවේ!
“ඒ මිනිස්සු ඒක කරලා දෙයි, සල්ලි දෙනවා
නම්!” සීයාම උත්තර බැන්දේය. ගොනා හැරෙනවිටම ඒ පොල් පැළය කන්නට බව දැනුමැත්තෙකුට තේරෙයි.
ආලවකයා සිරසටම නැඟලා හිටිද්දීත්, මං දර්මයෙන් ඇහුවේ ‘ධර්ම’
ප්‍රශ්නයකි.
“ඒකත් හරි කියමුකෝ. ඈ සීයේ, කවුද එතකොට
ඒ මිනිස්සුන්ට ඔය සල්ලි දෙන්න ඕනේ?”
ඔන්න එතකොට නම් සීයාටත් හිනහ ගියේය. “ඇයි ළමයෝ, මේ ගෙදර වැඩවලට
වියදම් කරන්නේ ඔය ළමයනේ....”
“ඈ ආච්චියෙ, ආච්චීනෙ බණ-දහම් හොඳට දන්න කෙනා.
දැන් කුකුළු මස් කඩේ මිනිස්සුන්ට කියලා අපේ කුකුළෝ මරවගන්න සල්ලි දෙන්න වෙන්නෙ මට.
එතකොට ඒ ප්‍රාණඝාත අකුසලේ කාටද? මටද, ඒ මිනිසුන්ටද?” අපේ ආච්චීත් හැදිලා තිබුණේ මව්කිරි
බීලාය.
![]() |
උඹට ඉතින් තිස්සෙම ප්‍රශ්න අහනවා ඇර වෙනින් වැඩක් තියෙන එකක්යැ. අනේ, මං දන්නා තරම මදි පුතේ... |
ඒ නිසාම වැටෙන්නට යන සකල අමාරුව කල් ඇතිවම තේරුම් ගත්තාය.
හොඳටම අහුවෙන ප්‍රශ්නයකදී, හරියටම අපේ
පොලිටික්කන් කරන්නේ වෙනින් කතාවක් ඇදලා ගන්න එකය. පීල්ල මාරු කෙරිල්ලය. ආච්චිත් කළේ
ඒකය. “උඹට ඉතින් තිස්සෙම ප්‍රශ්න අහනවා ඇර වෙනින් වැඩක් තියෙන එකක්යැ. අනේ,
මං දන්නා තරම මදි පුතේ ඔව්වට උත්තර දෙන්න!”.
සැවුළු සංහාරය කරන්නට වුණේ මඟුලට කලින් දවසේය. එතැනදීත් අනුගමනය
කෙරුණේ ආඳා මාළු අතින් නොකා ඉරටෙන් කන තියරි එකමය. “බදුල්ලෙන් කට්ටිය එන්න ඉස්සෙල්ලා
කුකුළො ටික මරලා සුද්ද කරලා ඉවර කළා නම් හොඳයි නේද?”
කරන්නට හොඳය. පෙනෙන්නට නරකය! එත් මේ ඒවාට එරෙහිව රණ්ඩු කරන්නට
වෙලාව නෙවෙයිනේ. මම කට පියාගෙන හිටියෙමි.
“මල්ලා, තමුසේ එහෙනම් කුකුල්ලුන්ගේ කකුල්
ගැට ගහලා එක ගොඩකට දානවා!”
ආයුක්ෂයවී සිටි අවාසනාවන්ත සැවුළන් මරන්නට තෝරා දුන්නේ අජිත්
මල්ලීය. ඒ ගොඩටම නාකි කළුකුම්ලා දෙතුන්-දෙනාත් අයිති වුණේය. උන්ගේ කකුල් ගැට ගහන්නට
ඕනෑවූ ලණු කැරලි ගෙනාවේ අපේ සීයාය.
අනේ අජිතෝ, අනේ
සීයේ. ඔයාලා දෙන්නාමත් නොදැන හරි එදා, ඒ ප්‍රාණඝාත
අකුසලයේ කොටහකට කර ගහලාය. බණේ කියවෙන හැටියට නම් ප්‍රාණඝාත අකුසලයක් සම්පූර්ණ වෙන්නට කරුණු පහක් සපිරෙන්නට ඕනෑය.
1. පණ ඇති සතෙකු වීම
2. පණ ඇති සතෙකු බව දැනගැනීම
3. වධක චිත්තය හෙවත් මැරීමේ චේතනාව
4. මැරීම සඳහා යම්කිසි උපක්‍රමයක් යෙදීම
5. එම සත්ත්වයා එයින් මරණයට පත් වීම, ඒ කාරණා පහයි! මං කරන්නේ තොරතුරු සම්පාදනය විතරය.
තීරණය ගත යුත්තේ බුද්ධිමත් රසිකයන් විසිනි.
පරපණ නැසීමේ අකුසලය කොහොම-කොහොම බෙදෙන්නට ඇතිද?
මගේ හැඟීමත් දැනීමත් අනුව නම්, එදා අපේ ගෙදර හැමෝම එක-එක මට්ටමෙන් ඒ පවට කර ගැසුවෝය!
මේවා තේරෙන වයසක නොහිටි අපේ මැරෑටියා; බඩා
මල්ලා; දීපාල් කුකුල්ලුන්ගේ කකුල් ගැට
ගැහුවේ සෙල්ලමකට අරගෙනය. ඒ වැඩේ සෑහෙන්නට කෙරුණාට පස්සේ මම වධක රාජකාරිය කරන්නට පටන්
ගත්තෙමි.
මං හිත-හිතා හිටියේ නැත; බල-බලා හිටියේ නැත. එකෙක් අතට. බෙල්ල කොට කෑල්ල
උඩට. පිහිය ඉහළට. ඊළඟට පිහිය පහතට. One
shot. දඩාස්!
බෙල්ල පැත්තකට. කඳ බැරල් එක ඇතුළට. ආයෙමත් ඒකමය. ඔහොම දිගින්-දිගටම ශීර්ෂඡේදනය කරගෙන-කරගෙන
ගියෙමි.
මගේ අම්මෝ! ප්‍රාණ හතක් තියෙන්නේ බළලුන්ට විතරක් නොවෙයි වගෙය.
බෙල්ල කපලා, කඳ කොටස උස බැරල් එකට දැම්මාට
පස්සෙත් විනාඩි ගණනාවක් යන තුරුම කඳ දඟලයි! උඩ පනියි!! නිසල වෙන්නේ ඊට පස්සෙය!!! මට
හිරිකිතම හිතුණේ දැවැන්ත කළුකුම්ලාගේ බෙලි කපද්දීය!!!!’
ඉතිරි
හරිය ඊළඟ කොටසෙන්...






හපොයි අන්තිමට තියෙන කොටස හරිම සාහසිකයි නේද? මේකට දාන්න සංවේදී අය බලන්න එපා කියල. හැබැයි ලංකාවේ කාලයක් තිස්සේ හැත්තෑව අසූව අනූව දශකවල සහ විසි එක්වන සියවසට මුල සිටම ඇතිවූ දැවැන්ත කැරලි කෝලාහල යුද්ධය දේශපාලන ඝාතන සිද්ධි වගේම ඊට පසුවත් සිදුවූ අභිරහස් ඝාතන 2014 සිට 2019 අප්‍රේල් පමණ දක්වා ටිකක් විතර සාමකාමීව තිබිලා ප්ලාස්කු ප්‍රහාර කේස් එකෙන් පසුවත් දැන් වෙන දේවල් එක්ක සන්සන්දනය කළොත් තත්ත්වය ඊටත් වැඩිය භයානකයි නේද?
ReplyDeleteවැළිගම සභාපති - සභාපති තේරීමේ කළබගෑනියෙන් පසු සභාපතිවරයා මරණයට පත්විය, සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැත.
වැලිගම මන්ත්‍රී දෙදෙනා පැහැරගැනීම - පැහැරගත් අයත් නැත නඩුත් නැත බඩුත් නැත.
ඩෑන් ප්‍රියසාද් - කන්ටේනර් 323 පළමු පැමිණිලිකරැ, පාතාල කන්ඩායමක් විසින් ඝා|තනය කරන ලදි.
නන්දන ගුණතිලක - අල්ලස් කොමිසමේ රංග දිසානායකගේ ජවිපෙ සබඳතා එළි කල පසු හදිසියේ ඇතිවූ හඳුනා නොගත් රෝගයකින් අභිරහස් ලෙස අවසන් ගමන් ගියේය.
රංග රාජපක්ෂ - ඩොලර් මිලියන 2.5ට අදාල සිද්ධියේ පළමු පැමිණිකරැ හා සාක්ෂිකරැ අභිරහස් ලෙස සිය නුහුරු අත් වලින් බලනහර තුනක්ම කපාගෙන අතිශය භයානක ලෙස දිවිය නසාගන්නා ලදි.
කපිල චන්ද්‍රසේන - පොඩි එකාගෙයි මහ එකාගෙයි නම නොකිව්වොත් එල්ලිලා මැරෙන්න වෙයි යනුවෙන් තර්ජන කල බවට අධිකරණයට දිවුරැම් ප්‍රකාශයක් ලබා දී දින කීපයකින් බොරු පැමිණිල්ලක් දමා නැවත සිරගත කරන්නට යන බව සැලවී දිවි නසා ගනියි.
සී.ඩී වික්‍රමරත්න - සලේගේ නිර්දෝෂී භාවය වෙනුවෙන් සාක්ශි ලබා දීමට සූදානම්ව සිටි, පාස්කු ප්‍රහාරය නිසා වැඩ තහනම් කල පූජිත ජයසුන්දරට පසු සිරිසේන 2019 පත්කිරීමේ සිට 2023 දක්වා සිටි පොලිස්පතිවරයාය. ජනරාල් සලේට පක්ෂව ඔහුගේ පෙත්සමේ සාක්ෂ්‍යකරුවෙකු ලෙස සාක්ෂ්‍ය දීමට සිටි අයෙකි. හදිසියේම කිසිදු ලියුමක් හෝ කිසිදු ආකාරයක හේතුවක් නොමැතිව සැක සහිත ලෙස පපුවේ දකුණු පැත්තට වෙඩි තබාගෙන මියගිය අතර සියදිවි නසාගෙන ඇතිබවට පැවසේ.
මට සිහි වන්නේ ජර්මනියේ සිටි මාටින් නිමොලර් පියතුමා කී කතාවයි..