li Item

Thursday, March 7, 2024

ප්‍රෝඩාරාමය - හත්වෙනි කොටස

නිල්ල නිලන කෙත් යායක නියරවල් උඩින්... ඉතාම සුන්දර වන ලැහැබ් මැදින්... උතුරක්-දකුණක් හිතා ගන්නට බැරි තරම්වූ වන වදුලු මැදින් අප මාපුටුගල නැංගා මට මතකය. ඒ ගමන හිතුවට වඩා අසීරු එකක් වුණු බවත් මට මතකය. මහ විශාල වනාන්තරයක් නොවුණත්, එහි වල්දෙල් ගස් ගොඩකුත් තිබිණි. මා වේවැල් හා තම්බටු වැලුත් තිබිණි. ගස්-වැල් ගැන මට මතක එච්චරය!

එහෙම වුණත්- මාපුටුගල රක්ෂිතයේ වෙසෙන විහඟුන්ට, සමනලයන්ට, කුරා කුහුඹුවන්ට පවා එදා වන තරණය කළ නඩයේ එක්කෙනෙකු හොඳින්ම මතක තිබෙනවා විය යුතුය. ඒ හාදයා විටින්-විට කැලය දෙදරවමින්; ගිරිය යටින් විලාප දුන්නේය. ඒ කූඩැල්ලන් දෙපයේ එල්ලුණු විටෙකය...

අපි තව ටිකක් ඉස්සරහට ගියාම පහළට බහින්න තව පාරක් හම්බ වෙනවා...

අපට පාර පෙන්වන්නට ඉදිරියෙන් ගිය ගම්වැසියා දොඩමලු වුණේ එතකොටය. “මහත්තයලා පරෙස්සමෙන් අඩිය තියලා මේ ගලේ අයිනට ඇවිත් බලන්න... පරෙස්සමින්, වැඩිය අයිනට එන්න එපා. ලිස්සනවා. අර... අර පැත්තේ... පේනවද?”

ඒ මනුස්සයා අපට පෙන්නුවේ... අපේ අම්මාගේ තෙමහල් බංගලාවයි.
ඒ මන්දිරයත්- ගස්කොළන්, කෙත්වතු, ගෙවල් සේරමත් තිබ්බේ අපට පහළින්... එක එක අතට දුවන පාරවල් අපට පෙනුණේ සර්පයන් විදිහටයි.

“අන්න අන්න සුනිල් මහත්තයගෙ නෝනා මිදුලට බහිනවා...” අපේ මාර්ගෝපදේශකයා මාපුටුගල කන්ද මැද්දේ ඉඳන් එයාට පහතින් පෙනෙන දර්ශනය ගැන විස්තර විචාරයකුත් කරන්න ගත්තා. ඒ අතරවාරේ අපි හැමෝමත් අර ගල් පරුවතේ අයිනට ගිහිං ඒ මනස්කාන්ත දර්ශනයේ අසිරිය විඳ ගත්තා.

අද එතැනට ගිහිං බැලුවොත්...
ඒකාන්තයෙන්ම කොළ පාට අඩුවෙන් පෙනෙයි; ගහකොළ කුඹුරු වතුපිටි අඩුවෙලා තියෙන හැටි පෙනෙයි. ගෙවල්වල වහලවල් ගොඩක් වැඩි වෙලා තියෙන හැටි පෙනෙයි!
කාලය මැවු වෙනසක අරුමේ තමයි....

“සුනිල් මහත්තයලට මුළු රක්ෂිතය පුරාම නං යන්න වෙන්නෙ නෑ කොච්චර ඉක්මන් කරලා ගියත්. බවලත් උදවියත් ඉන්නවා නෙව.”
“ඒකට කමක් නැහැ උන්නැහේ. අපේ අයියලට ඕනි මේ කට්ටියත් එක්කම පුළුවන් තරමක් කන්ද නැඟලා, දවල් බතට පල්ලෙහාට බහින්නයි. එයාලා හවස් වෙද්දී ආපහු ගෙවල්වලට ගිහිං, හෙට වැඩට යන්නත් ඕනිනේ.”

“අනේ සුනිල්, මට නං මේ නැංග ටිකත් ඇති. හොඳටම හති. පපුව බල් බල් ගානවා. දණිස් ටිං ටිං ගානවා...” නඩේ හිටි xx xxxxx ඒ ටික කිව්වෙත් හති හළමින්.
“හති නැතිව තියෙයිද? එකක් නිවෙනකොටම ඔයා තව සිගරැට් එකක් පත්තු කර ගන්න එකේ.” එයාගේ බිරිය ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. “ඒක නෙවෙයි හලෝ. අපිට මේ වගේ කඳු නැඟල නුපුරුදුකම. කෙහෙල්මල් සිගරැට්...” අඹුසැමි වාදයක් පටන් ගන්න වගේ...

“මේ මේ. තමුන්නාන්සේලගේ ගෘහස්ත වලිවල දෙවෙනි කොටස ගෙදරදීම කර ගන්නවලා. අපිට පේන්න ප්‍රසිද්ධියේ බෑ. හරිද. අපි ඉස්සරහම ඔයාලා රණ්ඩු වෙද්දී අපි කාගෙ පැත්තද හලෝ ගන්නේ? ඒක අපිට කියා දීලා ඊට පස්සේ ඕන්නං..!”

“අයියේ, එහෙනං ආපහු හැරෙමුද? බහින්නත් ටිකක් වෙලා යයිනෙ.”

“නෑ සුනිල් මහත්තයෝ. අපි තව ටිකක් ඉස්සරහට ගියාම පහළට බහින්න තව පාරක් හම්බ වෙනවා. එතකොට මහත්තයලට පාරවල් දෙකේම ලස්සන බලාගත්තහැකිනෙ.” මඟ පෙන්වන කෙනාගේ කතාව මර්විනුත් අනුමත කළා. “That is good!”

ඇත්තටම ජීවිතේ නම් මහා පුදුමයක්!

හිත ඇදගන්න තැනකට ගියාම කවුරු හරි කෙනෙක්ගෙන් නොවරදවාම කියවෙන දෙයක් එදාත් කියවුණා. “නිමල් අයියේ, අපි ආයෙමත් දවසක මේ කන්ද නඟිමු...”

“ඔව් අනේ, හරී ෂෝක්!” එවෙලේම යෝජනාව සම්මත වුණත් එක්ක. හැබැයි, මේ වෙනකල් ඒ යෝජනාව ක්‍රියාත්මක වුණේ නං නෑ.
නමුත්, සංචාර ලෝලී කට්ටියකට කියන්නේ ‘මාපුටුගල කන්ද’ කොළඹට ඉතා කිට්ටුයි; ඉක්මනින්ම  එහාට යන්නත් පුළුවනි. දවසක hike එකකට කියාපු තැනක්!

ප්‍රෝඩාරාමය 6 කොටසට පළමු comment එක එවමින් ‘මයියා’ මෙහෙම කියා තිබුණා.

‘ආ ගිය තැන රහ කරලා ලියන එක කොච්චර හොඳද...ඒක බ්ලොග්වල වෙනම ශානරයක් වගේ දෙයක්නේ... ඉස්සර මගේ බ්ලොග් එකේ ඒ වගේ ලිපි ලියැවුණේ නෑ... ඒත් මමත් මෑතක ඉඳන් ඒ වගේ ලිපි ලියන්න හිතා ගත්තා... පරණ පින්තූර ටිකක් හොයා ගත්තම කථාව ලියන්න ගොඩක් පහසු වෙනවා....

අලුත් ගෙදර බලන්න එන අයට කෑම හදන එකේ අමාරුව නම් නිදි හොඳට ලියලා තියෙනවා... ඔය විසල් මන්දිරය අතු පතු ගාලා ලස්සනට තියා ගන්නත් ඒ වගේම මහන්සියක් වෙන්න ඇති කියලා හිතනවා... ඒ ගැනත් ලියලා දාන්න... ඒක අලුතින් ගෙවල් හදන්න ඉන්න අයට ලෙසන් ලර්න්ඩ් පාඩමක් වේවි... තමන්ගේ අවශ්‍යතාවයට, ඉස්සරහ ගැනත් හිතලා අවශ්‍ය ප්‍රමාණයට විතරක් හරි යන ගෙයක් හදා ගන්න.’

මයියෝ, ඔයාගේ කමෙන්ටුව කියවනකොටම මට මතක් වුණේ fb එකෙන් දැකලා, පිටපත් කරගෙන තිබුණු කවි හතරක්. කවිත් එක්ක රචකයාගේ නම තිබ්බේ නෑ. එහෙම වුණත්, එයාට ස්තුතියකුත් අයිතිමයි!

‘ගෙයක් විකිණීමට තිබේ!

  ජීවිතේ කවද හරි සැනසිල්ලෙ        සැතපෙන්න
  පීනන්න, ජිම් යන්න, හවසකට සෙට්     වෙන්න
  හැම දේම අඩු නැතිව, ඇති වෙන්න විඳ   ගන්න
  දුක් විඳල ණය වෙලා හදාගත් ගේ         මෙන්න

  විශ්‍රාම දිවියෙ මට තියෙයි වැඩි           නිදහසක්
  ඒ වුණත් පීනන්න නෑ හිතේ                අදහසක්
  ඇල් වතුර නෑවොතින් කිපෙනවා තුන් දොසක්
  තටාකය ඇත්තටම දැන් ඉතිං මහ           බරක්

  රූෆ් ටොප් හැදුවාට නැහැ කව්රුවත්       එන්ට
  ඒ කාලෙ හිතුවාට හවසකට සෙට්         වෙන්ට
  මටත් දැන් වාරු නෑ තරප්පුව නැඟ         ගන්ට
  යාළුවොත් මං වගෙයි  වාරු නෑ         ඇවිදින්ට

  ජිම් එකක් තිබුණාට ඇඟට නැහැ    ප්‍රාණයක්
  තරප්පුව උඩ පහළ යන එකත්       කරුමයක්
  ඒ කාලෙ නොහිතාම කළේ මං   ගොන්කමක්
  ඇත්තටම ජීවිතේ නම් මහා              පුදුමයක්’

ඕවා සීතලයි තෙතමනෙයි හොඳට තියෙන කැලෑ පැතිවල විතරයි හැදෙන්නේ...

ඇත්තටම, පොතක් පිරෙන්න තියෙන තරං දේවල් ඒ කවි හතරෙන් කියවෙනව නේද?

ගෙවල් හදන්න හිතන අයට- අනාගත හීන මවන අයට චූටි මාර්ගෝපදේශ ටිකක් එව්වයින් නොකියා කියනවා- හරිම අපූරුවට. ඒ දවස්වල මට වුණත් ඔහොම දේවල් කල්පනා වුණේ නෑ.

“නිමල් මොකද හිතන්නේ courtyard එකක් ගැන?” හිතවත් WAL ප්‍රියන්ත මගෙන් ඇහුවේ, අපේ ගෙදරට plan එක අඳින්න කලින්.
“ඒකක් ඕනිද ප්‍රියන්ත?”
“මෙහෙමයි. කෝට්යාඩ් එකක් තියෙනවා නං ගේකට එළියයි.
Ventilation එකත් වැඩියි. ඔයාට කැමතියි නං පොඩි water fall එකකුත් එතන හදා ගත්තැකි නිමල්. එතකොට ඔයා කැමති පොඩි ගස්වැල් ටිකක් හෙමත්...”

“නියමයි... දාමු- දාමු.”
වනචර වුණු ගමන්වලදී මගේ හිත තදින්ම ඇදගත් ශාක වර්ග දෙකක්, අපේ මැද මිදුලෙත් වවා ගන්න එකයි, මගේ ඉලක්කය වුණේ.

“ඕවා සීතලයි තෙතමනෙයි හොඳට තියෙන කැලෑ පැතිවල විතරයි හැදෙන්නේ. ඔයාගේ මහන්සිය නිකං අහක යනවා හලෝ.” මගේ දොළදුක එළිදරව් කළාම දෙතුන්- දෙනෙකුගෙන්ම ලැබිච්ච නිශේධනීය ප්‍රතිචාරයයි ඒ.
නිකම්ම ඒ උත්තරේ බාර ගන්න මං ලැහැස්ති වුන්නෑ. “ගිහිං බලනවකො කෝට්ටේ නාග විහාරේ කෝට්යාඩ් එක. ඔය ජාති දෙකේම ගස් දෙකක් එතන හිටවල- හරි ගිහිල්ලත් තියෙනවා.”

ඉතිං මගේ ගෙදරට මැද මිදුලක්, දිය ඇල්ලක්, පොකුණක් යන අංගෝපාංග සේරමත් එකතු වුණා. ගෙට ගෙවැදෙනවත් එක්කම මැද මිදුලේ අර ජාතිවල ගස් දෙකක්, මීවන ජාති කිහිපයක් එහෙමත් හිටෙව්වා. පොකුණටත් කුමුදු පැල ටිකකුයි, නෙලුම් පැල ටිකකුයි, වැටකෙයියා කුලයේ පැල කීපෙකුයි ගෙනාවා.
ඒ ගස්- වැල්- පැල සේරම හරිම පුදුම වේගයකින් නාටු ගැහි-ගැහී; කෙට්ටු වෙවී; ගිහිං මැරිලා ගියා. ඒ තියා මේ මැද මිදුලේ හබරල ගස්වත් හරියට වැවෙන්නේ නැති හැටි...

පැල වැවෙයිද මැද මිදුලට හරි-හමන් අව්වක් නොවැටෙනකොට?    

ඊළඟට දිය ඇල්ල... චොර චොර සද්දෙන් දවස තිස්සේ ඒ කෙහෙල්මල වැක්කෙරෙද්දී කොයි තරං කන් දෙක රිදෙනවද කියලා අත්විඳලම බලන්න. තුන්මාසයක් වෙන්න කලින් දිය ඇල්ලේ වැක්කෙරිල්ල නැවැත්තුවා; මෝටරයත් ගලවල දාලා.

ඔය සේරම කාරණා දැකලා- දැනගෙන හිටිද්දී තමයි අපේ සුනිල් හොරණ ‘සොබාවික දිය තඩාගයක්’ හැදුවේ.

තාත්තාට හොරෙන් බොරලැස්ගමුවේ වැවේ පීනලා දිය කෙළි පුරුදු වෙච්චි සුනිල්ට swimming pool නඩත්තුව ගැන කල්පනා වෙන්ඩ නැතිව ඇති. ඒ හින්දම මිනිහා ඒ ගැන අම්මට කියල තිබ්බෙත් නැතිව ඇති...

අපිත් මේ දවස්වල අනිත් සේරම වැඩ පස්සට දාලා, 10වෙනිදා හෝමාගම NPP කාන්තා සමුළුවට ලැහැස්ති වෙනවා!

නිසියාකාරව තටාකයේ වතුර filter කෙරෙන ක්‍රමයක්; තද අව්ව නිසා වේගයෙන් වතුරේ හැදෙන ඇල්ගී මර්දනය කෙරෙන ක්‍රමයක් නැති නිසා...

පූල් එකේ වතුර දවස් තුන හතරෙන්ම කොළ පාට වෙන්න පටන් ගත්තමයි කාටත් තරු පෙනුණේ.

අපේ සුනිල් ගෝඨාභයත් ඉතිං දිසානායක හේවගේ පරම්පරාවේ අයිඩියානන්ද ජාන උරුම කර ගත්තු කෙනෙක්නෙ. කාගෙන් හරි උපදෙසක් අරගෙන වෙන්නැති- සුදු පාට ක්ලෝරීන් කුඩු (හරිම වචනේ නොවෙයිද මන්දා.) පූල් එකට දාලා, තටාකය පුරාම පැතිරිලා තිබ්බ කොළපාට මර්දනේ කළා.

මං වගේ ගොබිලෙක්!
මම හොඳටම දන්නවා- ඔයාලටත් ගොඩ සැරයක් කියල තියෙනවනෙ, මට තියෙන්නේ මහ අකීකරු; දහ අතේ දුවන හිතක් විත්තිය. දැනට ටිකකට කලින් ඔය උඩින් තියෙන වචන ටික කොටද්දී- ඊයේ රෑ මට පෙනුණු හීනයක්... ආයෙමත් මගේ ඔළුවෙ හරි අපූරු චිත්තරයක් විදිහට ඇඳීගෙන- ඇඳීගෙන යනවා දැනුණා.
නිදිගෙ පංච තන්තරේ දිගටම කියවපු ඇත්තන්ට නං මතක ඇති, නිදි දකින්නෙ
පාට-පාට හීන බව!

මුලින්ම ඇඳුණේ තද කොළපාටක්... ඊළඟට ඒකෙ එක කෙළවරකින් තද නිල් පාටක් පැතිරෙන්න පටන් ගත්තා. ඒක එහෙම පිටින්ම පැතිරිලා, මුලින් තිබ්බ කොළ පාට යට වේගෙන ගියා නැත්තටම නැති වෙනකල්...
මෙන්න බොලේ ඊළඟට කුරහන් පාටක් මතු වෙනවා... ආාාාාාා... ඒ එක්කම කොළ පාට පුල්ලි පුල්ලි තැනින් තැන මතු වෙවී යට යනවා. දැන් නං තියෙන්නේ මහ කැත පාට චිත්‍රයක්.

සමහර තැනක කොළ පාට පදාස. සමහර තැනක කුරහන් පාට පදාස... ගොඩාරියක් තැන්වල ඒ පාට දෙකම අඩු-වැඩි විදිහට මිශ්‍ර වෙලා හැදිච්ච අප්‍රසන්න කළු පාට පුල්ලි!
අන්තිමට ඒ චිත්‍රය උඩින් දීප්තිමත් රතු පාටක් පැතිරෙන්න ගත්තා. සහමුලින්ම ඒ රතු පාට පැතිරෙන්න කලින් මට ඇහැරුණා.

මොකද මංදා මට ඔහොම හීනයක් පෙනුණේ?
ටික වෙලාවක් හිතද්දී තමා මතක් වුණේ. පහුගිය 27 වෙනි අඟහරුවාදා අපි දවසේ trip එකක් ගියා. 2වෙනිදා රෑ හිතවතෙකුගේ ගෙදර රෑ කෑමක්. 3 ඉරිදා තුන් මාසයේ බණ ගෙදරක්... ඊයේ; 4වෙනිදා රෑ මානෙල්ල ගෙදර... ඔය අවස්ථා හතරේදීම වැඩියෙන් අහන්න ලැබුණේ ජවිපෙ පිබිදීම ගැනයි; කාන්තා සමුළුවල සාර්ථකත්වය ගැනයි.
“අපිත් මේ දවස්වල අනිත් සේරම වැඩ පස්සට දාලා, 10වෙනිදා හෝමාගම NPP කාන්තා සමුළුවට ලැහැස්ති වෙනවා. ලොකා, මම පෝස්ටර් අලවන්නත් ගියා.” ඊයේ මානෙල් කිව්වා.

සෙනසුරාදා හරි ඉරිදා හරි එහාට එන අපිව බොහොම සාදරයෙන් පිළිගත්තා.

ඉතිං අර වගේ හීන නොපෙනී තියේවිද?

මේ, හීනවලින් කමක් නෑ නිදි, තමුසෙ කියන්නේ නැද්ද හොරණ ගෙදර මුරකාරයගේ කතන්දරේ?
මේ කියනවා- මේ කියනවා.
ඒ මනුස්සයාගේ නම නං මට මතක නෑ. කතන්දරේ කියන්න ලෙහෙසියට මෙතැන ඉඳලා අපි එයාට සයිමන් කියලා කියමු, කමක් නෑ නේද?

“සයිමන්ට තියෙන්නේ මේ ගෙදර හොඳට බලා ගන්නයි, වත්ත පිටිය පිරිසිදුවට තියා ගන්නයි. අපි හරි අයියල හරි තමයි ඇවිල්ල බලතොත්, හදිසියේ හරි. තව දෙයක්. සිකුරාදා උදේට අර පිහිනුම් තටාකෙට මම කියා දුන්නු විදිහට ක්ලෝරීන් කුඩු ටික දාලා තියන්න ඕනි.” සුනිල් සයිමන්ට අපිවත් අඳුන්නල දීලා, කෙරෙන්න උවමනා රාජකාරි ටිකත් කිව්වා.

“බොරලුගොඩ කඩේ මුදලාලි මහත්තය නං මට කිව්වේ, උදේ නවයට විතර ගෙදර ගිහිල්ලා හවස පහට කලින් මෙහාට ආවම ඇති කියලයි.”
“ඔව්, ඔව්. මුදලාලි මහත්තයා ඔහේව මට පංගාඩම් කරනකොට මටත් එහෙම කිව්වා. එහෙම කළාට කමක් නෑ. හැබැයි, ගෙදර යනකොට මේ ගෙදර යතුරු සේරම බොරලුගොඩ කඩේට බාර දීලා යන්න ඕනි. මොකද, හදිසියේ හරි අපි ආවොත්- එහෙන් යතුරු ඉල්ලා ගන්න පුළුවන්නෙ. නේද අයියේ?”

සෙනසුරාදා හරි ඉරිදා හරි එහාට එන අපිව සයිමන් උන්නැහේ බොහොම සාදරයෙන් පිළිගත්තා. ඒ මනුස්සය එදාට බංගලාව අතු ගාලා එහෙම පේ වීගෙන බලාගෙන හිටියේ අපි එනකල්.
හරියටම  කියනවා නං අපි එනකල් නෙවෙයි; නෙවිල් එනකල්.

“ඔන්න මහත්තයෝ, මම ඊයේ උදෙන්ම පොකුණේ වතුර පිරිසිදු වෙන්න බේත් දැම්මා. නෙවිල් මහත්තයට ඕන්නං මේ දැන්ම වුණත් ඒකට බහින්න පුළුවනි. වතුර පුල් ක්ලීන්.”
“එහෙම නේන්නං සයිමන් උන්නැහේ කෙරෙන්ඩ ඕනි. එතකොට අපිටත් සයිමන් උන්නැහෙව හොඳට මතක හිටිනවා!” වචීපරම  හාදයෙකු නොවූ නෙවිල් ‘මධු සාදයක් තියෙන හැම වෙලාවකම වෙනම වීදුරුවක් ගෙනිහින්’ සයිමන්ට දුන් නිසා ඒ යාළු fit එක තවත් වැඩි වුණා වගෙයි.

ඔහොම මාස කීපයක් හැල-හැප්පිලි නැතිව ගෙවුණයි කියමුකෝ. ඒ අතරේ දවසක හවස තමයි, සුනිල් එයාගේ දඬු මොනරයෙන් අපේ ගෙදර ආවේ. මල්ලිකාත් එක්කම.

වනචර ජෝඩුවලට එහෙ කාමර කුලියට දෙන්න පටන් අරංලු!

“ආ නෙවිල් මහත්තයත් ඉන්න එකෙන් අපිට ලේසියි, නේද ඒයි? නෙවිලුත් මේ..ව..ට වග කියන්න ඕනි. අන්න... නෙවිල්ගේ අ...තී..සා..ර මිත්‍රයා අලුතෙන් බිස්නස් එකක් පටන් අරගෙනලු.” කියාගෙනයි, මල්ලිකා ගෙට ගොඩ වුණේ.

“ඕයි, මොන දේ වුණත් කියන්න ඉස්සෙල්ලා ටිකක් ඉවසල ඉන්නවා. අනේ මංදා අයියේ, මෙයාල සිලුත් ගන්නවලු- භාවනාත් කරනවලු. හැබැයි- බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද දෂ්ට කරන්න හම්බ වෙන්නේ කියලා... ඔයා ඔව්වා ගණන් ගන්න එපා නෙවිල්!”

“වාඩි වෙන්න සුනිල් අයියේ. මං මේ තවම කල්පනා කරනවා, මල්ලිකා කියන මගේ යාළුවා කවුද කියලා.”
“ගණන් ගන්න එපා නෙවිලෝ. දන්නැද්ද ඉතිං, මෙයාලා චුට්ට ඇත්තං කලබල වෙනවනෙ... නෑ, නෑ අයියේ. තේ හදන්න යන්න එපා. ඔයත් මෙහෙන් වාඩි වෙනවා නං තමයි හොඳ. අපි මේ තකහනියක් ආවේ, වැදගත් දෙයක් කියල යන්න.”

ඊට පස්සෙයි සුනිල් ‘වැදගත් දේ’ අපට කිව්වේ.
“අයියේ, බොරලුගොඩ කඩෙන් අපිට කෝල් එකක් දුන්නා. ගමේ මිනිස්සු කුලප්පු වෙලාලු...”
“ඔව් අයියේ, අර සයිමා... හොරණ ගෙදර මුරකාරයා වනචර ජෝඩුවලට එහෙ කාමර කුලියට දෙන්න පටන් අරංලු!” මල්ලිකාත් මැදිහත් වුණේ හොඳටම කේන්තියෙන්. “ඌට වටින්නෑනෙ ගෙදර බලා ගන්නවට පඩියකුත් ගන්න ගමං එහෙම කරන්න. ජරා සතා.”

“එහෙම නෙවෙයි මල්ලිකා, නිකං වහල දාලා තියෙන කාමරවලින් කාට හරි වැඩක් වෙනව නං පිනක් නෙවෙයිද, මං අහන්නේ?” නෙවිල් ඉඟි මරමින් කිව්වේ මල්ලිකාව අවුස්සන්න.
“අනේ මේ නෙවිල්. කුණුහරුප කියන්න එපා. ඔයාට හැම එකක්ම විහිළුවක්නේ.” නෙවිල්ට එහෙම කියලයි, මල්ලිකා මගේ පැත්තට හැරුණේ. “අයියේ, ඔයා ඌව හෙටම අස් කරල දාන්න!”

ඒ ප්‍රශ්නෙට අපේ සුනිලා මටත් කලින් උත්තර දුන්න.

“නිකං පිස්සු කතා නොකියා ඉන්නවා මල්ලිකා.
සයිමන් ගමේ මිනිහා; එයාව අයින් කළාම කවුද ගේ බලා ගන්නෙ... තමුසෙද? අය්යේ, මෙයා දැඟලුවට අපි කලබල වෙන්න ඕනි නෑ. හැබැයි, මොකක් හරි ක්‍රමයකින් අපි මිනිහට අඟවන්න ඕනි- අපි මේ ගැන ටිකක් දන්න බවත්. නෙවිල් මොකෝ හිතන්නේ?”
“මම හිතුවෙ සුනිල් අයියෙ, නරකද කවුරු හරි හොඳ කෙනෙකුට ඔය ගෙදර කුලියට දෙන එක. මාසෙකට සයිමන්ට දෙන හයදාහත් ඉතුරුයි. ඔයාලගේ අම්මට ගණනකුත් හම්බ වෙනවනෙ. අනෙක සුනිල්, ඔය වගේ තැනකටම නොගියට couple එකකට යන්න ඕනි තරම් තැන් හොරණ තව ඇතිනෙ.”

“ඔය කියන තරමටම ගමේ මිනිස්සු කුලප්පු වෙන්න නැතුවත් ඇති, සුනිල්- සමහර විට.”

අම්මයි මමයි සුසිලාරාමේ සිල් මෑණිවරුත් එක්ක අනුරාධපුරේ වන්දනාවේ යනවා.

“ඒකත් ඇත්ත. ඒ මුදලාලිලම තමයි සයිමන්ව මට රෙකමදාරු කළෙත්. කොයිකටත් මම අම්මටත් කියල ඉන්නං අයියේ. නෙවිල් කියනවා වගේ මේක කුලියටවත් දෙන්න ඇහැක් නං...”

“එහෙම සුදුසු කෙනෙක්ව දන්නවද කියලත් හොයන්න වෙන්නේ අම්මටම තමයි. කාටද අප්පේ ඔච්චර තඩි ගෙදරක් කුලියට ගන්න ඕනි.”

“මුලින්ම මං ඔව්වා කිව්වා. පිළිගන්න මිනිස්සුනේ හිටියේ නැත්තේ.” එහෙම මතක් කිරීමකුත්, ඒ වෙලාවේම කරන්න මං වහන්සේ අමතක කළේ නෑ. අවස්ථාව උදා වුණාම, කළ යුතු දේ කළ යුතුමයි!

ප්‍රෝඩාරාමය 6 කොටසෙදී අපේ ආදරණීය පාඨක රසික-රසිකාවියන් වෙනදාටත් වඩා සංකීර්ණ අදහස් පළ කළ විත්තියයි මට හැඟුණේ. Ano කෙනෙකුට පිළිතුරු දෙමින් බස්සා මහත්තයා මෙහෙම කියල තිබ්බා.                                                      @ Ano
ආයෙ අහල.
😁
ඒත් එතන නිදි කියන දේත් ඇත්තක් තියනවා. නිදිලෑ මුලු පවුලම ගොඩ දාන්න අම්මා මූලික වුන බව ඇත්ත. ඈ සෑහෙන තරම් පරිත්‍යාගශීලී වෙලා තියන බවත් පේනවා. ඒත් ඒ එක්කම යටින් දිවෙන ආත්මාර්ථකාමී ගතියකුත් මට හැඟෙනවා. කල්පවතින, තෝරා-බේරාගත් දේට පමණක් පරිත්‍යාගශීලී වීම, අනෙකුත් නඩත්තු කටයුතු සහ එදිනෙදා වියදම් අනෙක් අයගේ කරේ ගැසීම මඟින් මට හිතුනේ ඒකයි. නිදිම කියන විදිහට, අම්මා සාල ඇණයක් වෙන තරමට, අනිත් අයගේ හැකියාව/ඇවසිකම් ගැන අසංවේදී වෙලා තියනවා. මේක ආත්මාර්ථකාමීත්වය වෙනුවෙන් පරිත්‍යාගශීලී වීමක්දෝ කියලත් මට හිතෙනවා.’

ඒ අදහස දැක්කම මට හිතුණු දේ මං අකුරු කළේ මෙහෙමයි.
’බස්සා මහත්තයෝ
, තවමත් මම හිතන දෙයක් මේ. මොකද අම්මගෙ සමහර හැසිරීම් තේරුම් ගන්න 'විශේෂ මනෝ විද්‍යාවක් උවමනයි වගේ. මේ ගැන post එකකදීම ලියන්නන්.’
අපේ මව් යානයේ සුවිශේෂ ගතියක් ගැන මෙන්න ලියනවා එහෙම එකක්.

ඔයාලා මොනවද මේ සිද්ධිය ගැන හිතන්නේ කියලත් කැමති නං කියන්න.

-“අයියේ, අම්මයි මමයි සුසිලාරාමේ සිල් මෑණිවරුත් එක්ක අනුරාධපුරේ වන්දනාවේ යනවා.” අපේ මල්ලිකා දවසක් කිව්වා.
-“හරි වැඩේනෙ අයියේ අම්මා කළේ!
සුසිලාරාමේ ලොකු මෑණියන්ට අයිති පොඩි ආරාමයක් අනුරාධපුරෙත් තියෙනවා. අපි කට්ටියම නැවතුණේ ඒකෙ. එදා රෑ නිදියන්න ගියාම අම්මා කිව්වනේ ‘මට නං බිම නිදියන්න බෑ ‘ කියලා. අනේ, ලොකු මෑණියෝ එයාගේ ඇඳෙන් පැදුරට ආවා- අම්මට ඇඳ දීලා. අම්මා නිකමටවත් එපා නොකියා, යසට ඇඳේ  නිදා ගත්තනේ.” අනුරාජපුරේ ගිහිං ආවට පස්සේ මල්ලිකා කිව්වා. “එහෙම හොඳ නෑනෙ.- කියලා අපි ආපහු ආවම, මම අම්මට කිව්වා. දැන් අම්මා මගෙත් එක්ක කතා නෑ.”
-“බලන්නකො අයියේ. අම්මා කරන කැත වැඩ... අපි අනුරාධපුරේ ගිහිං ආවට පස්සේ,  සුසිලාරාමේ මෑණියෝ මටත් වැඩිය අපේ අම්මව ඔළුව උඩ තියාගෙන හිටියේ. හැබැයි ටික දවසයි... අම්මා මගේ ගැන මොනවදෝ එයාට කියලා- ඒ මනුස්සයා දැන් මගෙත් එක්ක හිත හොඳ නෑ.” ඊටත් සති දෙකකට විතර පස්සේ දවසක මල්ලිකා අපට කිව්වා.

අද ටිකක් වැඩියෙන් ලියැවිලා... කමක් නැද්ද මන්දා. එහෙනං, ‘ප්‍රෝඩාරාමය අටවෙනි කොටසෙදී’ නැවත හමු වෙමු!


30 comments:

  1. //නිකං වහල දාලා තියෙන කාමරවලින් කාට හරි වැඩක් වෙනව නං පිනක් නෙවෙයිද, මං අහන්නේ?// හැක්.. ඒක මරු.

    ReplyDelete
    Replies
    1. නෙවිල් උන්නැහේ ඔහොම අදහස් පළ කරන්න දෙයියෙක් ප්‍රසන්න මහත්තයෝ!

      Delete
  2. බෝධිනාගලත් ගියාද?

    ReplyDelete
    Replies
    1. නෑ Pra jay, මම තවමවත් බෝධිනාගල ගිහිල්ල නෑ.

      Delete
  3. අර කවි ටික නං මසුරං ඈ? නිදිලෑ අම්ම නං අදහන්න වටින චරිතයක්. ඉස්සර ගම්වල හිටිය ඔහොම අයට කියල තියෙන්නෙ, දිය යටින් ගින්දර ගෙනියන අය කියලයි. 👌🤭💐

    ReplyDelete
    Replies
    1. බකුසුතුමෝ, ඒ කවි ටික නං මසුරන්ම තමා. ඒත් ඒවා එක්ක රචකයාගේ නම තිබ්බේ නැහැනෙ!
      අපේ අම්මා? තවමත් මම එයාගේ විදිහ විග්‍රහ කරමින්; උගනිමින් ඉන්නේ. මේ බ්ලොගය පුරාමත් විටින්-විට අම්මාගේ ගැන ලියවුණානේ. තව ඉස්සරහටත් ලියවේවි.

      Delete
  4. ජීවිතේ කවද හරි සැනසිල්ලෙ ඇලවෙන්න
    පූල් එක, තට්ටු තුන රූෆ්ටොප් ඇති ඔන්න
    විදුලි සෝපානයක් නැති නිසා උඩ යන්න
    දුක් විඳල හදාගත් ගේ දැම්ම විකුණන්න

    සෑසනේට පූජා කරමුද උපාසක මේක
    මහප්පල ආනිසංස ලැබෙනා වැඩකී මේක
    කාමර ටික ඔහේ නිකං වහලාම ඇති දාක
    ගමේ කොලු-කෙල්ලන් ගෙ ප්‍රේම ගිණි නිවු සේක

    - බකුස් -

    ReplyDelete
    Replies
    1. ආනිශංස ලැබෙනව නං හොඳා හොඳා
      දෙමු දෙමු සියලු දේවල් සාසනෙට මෙදා
      දෙන දෙන සියලු දේවල් ගත්තාම බදා
      ගණ උන්නාන්සෙල කොහි යයිදෝ මන්දා

      Delete
  5. ඔය පැත්තේ තියනව ලස්සන පන්සලක. හෙන උඩට නගින්න ඕනේ. පාහියන්ගල වෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. පාහියන්ගල මාත් ගිහිං තියෙනවා. ලස්සනයි- සිත්කලුයි....
      අජිත්, ඔයා බටදොඹ ලෙන බලන්න ගිහිං තියෙනවාද? හරිම අපූරු තැනක්. ලොකු නැග්මක්... වයසට යන්න කලින් ගියොත් තමා!

      Delete
  6. හෙහ්... හෙ. අම්මත් මරැ වැඩේ කරල තියෙන්නෙ. එතන හිටපු අයට සිද්ධියට මූන දෙන්ට අපහසු උනාට... අපිට මෙහෙම අහනකොට නං හිනා 😁😁🤭

    ReplyDelete
    Replies
    1. නිර්නාමික කයියත්... මරැ ✌

      Delete
    2. ඔව් නමී, ඒ කවිවල රචකයා නං හැබෑ දක්ෂයෙක්!

      ඔයා, Pra Jay, සිරිබිරිස් උන්නැහේ හෙම නම් ඩිමෙන්ෂියාවෙන් පෙළෙමින් හිටි අපේ අම්මවනෙ දැක්කේ.
      අසංග නං අපේ අම්මත් ගිය තුන් දවසේ trip එකකුත් ගියා- වස්ගමුවට.

      Delete
  7. ඉස්සෙලම ඉතින් මම කරපු ඉල්ලීම බලාපොරොත්තු උනාටත් ඉහලින් විස්තරලා කරලා ලියලා තියෙන එකට නිදී ට ලොකුම ස්තූතියක් දෙන්න ඕනේ..
    ඒ ලියලා තියෙන කවි ටික නම් ඇත්තටම හරි...
    තමන්ට අවශ්‍ය දේ ටික පමනක ලං කරගෙන , බොරු පම්පෝරී වැඩ නැතිව ජීවත් වීම කලාවක්...ඒත් අපේ ජීවීත වල එක එක ඇරියස් තියෙනවා...ඒ ඇරියස් අපට පුලුවන් වෙන කොට රිලීස් කරන්න ගන්න්නවා...ඒක නිසා නිසි වයසෙදි ඒ ඒ අදාල දේවල් කරලා තියෙන්නා ඕනේ කියලා තමයි මට හිතේන්නේ...ඉස්කෝලෙට් පැනලා වල බහින කාලේ ඒවා කරන්න ඕනේ..ලව් කරන කාලේ ඒවා කරන්න ඕනේ...ඉගෙන ගන්න කාලේ ඒවා කරන්න ඔනේ...කන බොන කොට ඒවා ඒ කාල වල කරලා තියෙන්න්නෙඅ ඕනේඑ....ඕවා මග හැරලා පස්සෙ කාලේක ඔවා කරන්න හිතුනම ජීවිත ෆුල් අවුල් යනවා...සල්ලි නැතිව ඉදලා සල්ලි හම්බෙන කොට පුරා ජේරු ජීවීත ගත කරන එක මට පේන්නේත් අර වගේ ඇරියස් කවර් කිරීමක් විදිහට තමයි...මේ ඔක්කොම හිතන විදිහේ වෙනසක්....තමන් හිතන විදිහ වෙනස් කර ගත්තම අනිත් අයට තමන්ගේ නැති දේවල් පෙන්වන්න අවශ්‍යයක් නෑ..

    නිදි ඉතා අවංකවම මේ කථාව ලියන එකටත් මගේ තුති මල් මිටක්

    ReplyDelete
    Replies
    1. ඔයාගේ අවංක අදහස් ලිව්වටත් ගොඩක් ස්තුතියි මයියෝ!
      අපි වැඩි දෙනෙක් අමාරුවේ වැටෙන්නේ (නොදැනම හෝ දැන දැනම හෝ) ඇරියස් කවර් කර ගන්න ගියාම තමා.

      Delete
  8. මට තිබ්බ හොරණ මාපුටුගලට යන්න කලින් තියෙන පර්ත් පැරඩයිස් එකේ (පර්චස් මතක නැහැ කීයද කියල) ඉඩමක්. අර ඉන්දියන් කාරයෝ බොරු කියල විකුනපු එක. ඉනෙස් කීවේ පොඩි බන්ග්ලෝ එකක් හදමු. අපට ගියහම නිවාඩුවේ ඉන්න. අම්මත් ළඟ ඉන්නේ කියල. (එයා ලොකු ගෙවල් වලට අකැමැතියි).ඉන්දියන් කාරයෝ පූල් එකක් හදනව කීව එකත් ලොකු ප්ලස් එකක් වුනා.නමුත් නෑදෑයෝ විරෝධය ආව පිස්සුද ඔතන තට්ටු තුනකවත් ගෙයක් හදන්න. ලැජ්ජා නැත්ද එංගලන්තයේත් ඉන්න අය වෙලා. කියල. අපට තේරුනේ නැහැ. ඊට පස්සේ ඉන්දියන් හෝ ලංකාවේ ඒජන්ට් ලා අපේ තුන් පැත්තේම ඉඩම් වික්ක. මේ ලන්ඩන් පවුලක් ඇවිල්ල පදිංචි වෙන්නේ කියල. අපිව මාකටින් කරලා. හොඳ මිනිස්සු ගත්ත අය . නමුත් ඒ ඔක්කොමල පත ගෙවල් හැදුව. රුපියල් අස්සේ අලුක්කල් ගහනව වගේ පොඩි බන්ග්ලෝ එකක් එතනට ගැලපෙන්නේ නැහැ. අපි වැඩේ අත ඇරලා දැම්ම.පස්සේ ඒක විකුණුව. ඉන්දියන් කාරයෝ හදපු මගුලකුත් නැහැ . ගත්ත උනුත් අනාතයි

    ReplyDelete
    Replies
    1. අජිත්, නැයෝයි මීයෝයි වේයෝයි ඕනැවට වඩා ළං කර ගන්න හොඳ නැහැයි කියනවා නේද?
      ලංකාවේ උදවිය වැඩි දෙනෙකුට ඕනි ලොකුම දේවල් අයිති කර ගන්න- ඒවා ලෝකෙටම ප්‍රදර්ශනය කරමින් පුරාජේරු කියන්න- අනුන්ට ඕනි දේවල් කරමින් ජීවත් වෙන්න.
      ලොකුකමට මිස හොඳකමට- දක්ෂකමට- හැකියාවන්ට නෙවෙයි අපේ රටේ මිනිස්සු වැඩිය කැමති!

      Delete
  9. අම්මා නිකමටවත් එපා නොකියා, යසට ඇඳේ නිදා ගත්තනේ.- respect to you Mrs Schroeder, here's someone who has no false modesty. She knows what she wants and gets it. Another life, she 'd have been a fortune 500 CEO

    ReplyDelete
    Replies
    1. බොරුවට නිරහංකාර වීම- එහෙමත් නැත්තං බොරු නිහතමානීකමක් පෙන්වීම නං මටත් අප්‍රසන්නයි. ඒත් Ano...
      ආරාමයේ ප්‍රධාන සිල් මෑණියන්ගේ ආගන්තුක සත්කාර ලබලා, ඇගේ සයනය තමන්ට ලබා ගැනීම නං ....

      Delete
  10. While Sri Lankan people look up to to humblebrag, here is someone who clearly isnt lol

    ReplyDelete
    Replies
    1. ඇනෝ වෙනස්ම විදිහකට හිතන කෙනෙක් නේද. You got a point. තමන්ට ඕනෙ දේ ඇඹරෙන්නෙ නැතුව ඉල්ලන්න පුලුවන් වීමත්, ලැබුනම gracefully ගන්න පුලුවන් වීමත් හොඳ ගතිගුණ. හැබැයි ඉතින් තමන්ගෙ අවශ්‍යතාවයක් ඉටු කරගනිද්දි අනිත් අයට අපහසුවක් වෙනවද, සමාජයේ සම්මත protocols බිඳෙනවද කියලා තේරුම් ගන්නත් ඒ විදිහටම පුලුවන් වෙන්න එපැයි.

      අපිට පොඩි කාලෙ ඉදන්ම කියලා දීලා තියෙන්නෙ humble වීම කියන්නෙ හැමෝටම ඔලුව පාත් කරගෙන, ගෞරව කරගෙන ඉන්න වගේ අදහසක්නෙ. ඒ නිසා තමයි ගොඩක් අයට low self-esteem තියෙන්නෙ හා ඒ හේතුව නිසාම අනිත් අය පහත් කරලා සලකන්නෙ. ඇත්තටම humble මිනිස්සු අනිත් අයගෙ අදහසටත් ගෞරව කරන අතර, තමන්ගෙ අදහස නොපැකිලී, අනිත් අයගෙ හිත රිදවන්නෙ නැතුව කියන්න පුලුවන් අය. Humility වචනයේ definition එක "not proud and does not believe they are better than other people", "having the self-esteem to understand that even though you are doing well, you do not have to brag or gloat about it".

      Delete
    2. ඇනෝ වෙනස්ම විදිහකට හිතන කෙනෙක් නේද.- lol very true, like Mrs Scroeder, me too like Marmite , get what I mean lol

      Delete
    3. ඇත්තෙන්ම Lotus, පළමු Ano වෙනමම ව්දිහට හිතන කෙනෙක්. ඒක මරු!
      මොන දෙයක් වුණත් අපි නොබලන කෝණයකින් බලන එක නියමයිනෙ.

      Lotus කියා තිබෙනවා වගේ- සමාජ සම්මතයන් ගැ නටත් වඩා මම සැලකිලිමත් වෙන්නේ මානුෂීයකම ගැනයි.
      කොච්චර නිහතමානී වුණත් කෙනෙකුට අභිමානයකුත් තියෙන්න ඕනි කියලයි මම අදහන්නේ. අපේ නිරහන්කාරකමෙන් තව කෙනෙකුට අයුතු ප්‍රයෝජන ගන්න නං මම ඉඩ දෙන්නේ නෑ. ඒ වගේමයි, හිඟන්නෙකුට වුණත් අභිමානවත් වෙන්න අයිතියක් තියෙන බවත් මං හැමදාම කියනවා! පිළිගන්නවා!!

      Delete
  11. "සහමුලින්ම ඒ රතු පාට පැතිරෙන්න කලින් මට ඇහැරුණා". For the sake of the country, නිමල් දැකපු සිහිනය සැබෑ වෙන්න කියලා හිතමු. නමුත් තමන් අතට යමක් ලැබුනම ඒ දෙය අනිත් අය තලා පෙලන්නෙ නැතුව, productively භාවිතා කරන්නෙ කොහොමද කියලා පුහුණුවක් වැඩි දෙනෙකුට නෑ. කලින් අර 'පොළවෙන් මතු වූ' කෙනාටද කාටද උනේ මොකක්ද. දියසෙන් ඇවිල්ලා මාල දිවයිනට පැනලා ගියා, මහරජ ගැමුණු කැනඩාවට ගිහින්. අනේ මංදා!

    කැනඩා කියද්දි මතක්වුණේ ශ්‍රී ලංකික පවුලේ කුරිරු ඝාතනය ගැන සිංහල වෙබ් සයිට්ස්වල හා YouTubeවල තියෙන සිංහල කමෙන්ට්ස් දැක්කම මට නම් හිතුනෙ මේ බෞද්ධ රටක මිනිස්සු දාන කමෙන්ට්ස්ද කියලා. යන්තම් පණ බේරගෙන තාමත් ප්‍රතිකාර ලබන ඒ පවුලෙ එකම කෙනාගෙ sexuality එකත් සමහරු තීරණය කරලා ඉවරයි. Typical.

    ReplyDelete
    Replies
    1. Lotus, අයස්මන්ත දොස්තර මහත්තය නිතරම කියන දෙයක් තමයි මට මෙතැනදී මතක් වෙන්නේ.
      "දැන් ලංකාවේ මිනිස්සු මෙගා ටෙලි බලල බලලා ඒවට adict වෙලා ඉන්නේ. එයාලට ඕනි drama."

      තව මට හිතෙනවා අපේ රටේ උදවියට තිබුණු බුලත් හපන පුරුද්දයි. පසු කාලයක ආව චුවින්ගම් හපන පුරුද්දයි දෙකත් news බලද්දී මතු වෙනවයි කියලා.

      Delete
  12. Wadipura liwwatanam kamak naa.wdipura kiywanna thamayi api balaagena inne.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සන්තෝසයි Ano මහත්තයෝ!

      Delete
  13. ඇත්තටම් ඔය වගේ ගමන් ගියාම පුරුද්දට කියවෙන්වද මන්ද අපි ආයේ මෙතනට එමු කියලා. එහෙම තැන් ගොඩක් මටත් තියෙනවා, ඒත් යේ කවදාවත් ඒ කොතනකටවත් ගියේ නම් නෑ

    ReplyDelete
    Replies
    1. ඒ හින්දම තමයි ඉවාන්, මේ ගැන සඳහන් කළෙත්!
      ඉතිං කොහොමෙයි?

      Delete
    2. ජීවිතේ අපේ ඔහේ ගෙවෙනවා පුතේ තමා නිමල්ලයියා

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්