li Item

Monday, March 24, 2025

අම්මාට පිං ඇත! -පළමුවෙනි කොටස

සිරි ලංකාවේ හුඟාාාාාාාාක් හුඟාාාාාාාාක් උදවිය නං මීට ටික දොහකට කලින් ‘උගේ අම්මට හැම නියං කාලෙදීම වැස්ස ලැබේවා!’ කියලා එක්කෙනෙකුට සුබාසිරි පැතුවාට සැක නැත. ද්වේෂ සහගතව- හොඳටෝම පක්ෂපාතීව- නිලයේ බලතලත් උපරිමයෙන් යොදාගෙන අයුතු ලෙසින් කටයුතු කළාම එහෙම කතන්දර අහන්නට වීමේ පුදුමයකුත් නැත.

අපේ අම්මා, සුනිල්, සමන්ති, බිමල් සමඟින් බදුල්ලේ සෝමා පුංචිලගේ ගෙදරදී...

නැත, නැත! ඒ පුතණ්ඩියාගේ මෑණියන්දෑ ගැන නෙවේ, මේ පෝස්ටුව.
මේ පෝස්ටුව අපේ මෑණියන්දෑ ගැනය! ආර්.වී. ලීලාවතී (ලීලා ශ්‍රෝඩර්) මාතාව ගැනය!!

හද්දා ඩොටේක; බදුල්ලේ කණුපැලැල්ල මයිලගස්තැන්නේ ඉපදුණු ලීලාවතී ‘ඒ ගමේ කෙල්ලන්ගෙන් දික් කලිසංකාරයෙකු කසාද බැඳගත් පළමුවැන්නිය’ වූවාය.
කසාදියෙන් (ඒ දවස්වල බදුල්ලේ උදවිය විවාහයට කියව්වේ ‘කසාදිය’ කියලාය.) අවුරුදු දොළහකට විතර පස්සේ දිසානායක හේවගේ ගුණපාලත් එක්ක මහරගමට ආවේ දරුවන් හතර දෙනෙකුත් සමඟිනි. කාලයකට පස්සේ එතැනින්
කොළඹ හතට...

පදිංචියට නොවේ... රස්සාවට.
ඒ ඇති වුණු සම්බන්ධකම්
මාර්ගයෙන් එංගලන්තයට... එංගලන්තයේදී නැවතත් විවාහ වී (එතකොට අපේ තාත්තා වියෝවී අවුරුදු හතරකි.) ලීලා ශ්‍රෝඩර් බවට පත් වුණාය!

අපේ අම්මාට එහෙව් විවිධ වූ, විචිත්‍රාකාර වූ අත්දැකීම් ලබා දුන් ‘ඉරණම’ එතැනින් නැවතුණේ නැත. ඩිමෙන්ෂියාවත්, බඩවැල්වල පිළිකාවකුත් ඇයට ලබා දුන්නේය.

‘මයිලගස්තැන්නේ ලස්සනම කෙල්ල’ / ‘සාවිත්‍රී වගේ කෙල්ල’ 2023 නොවැම්බර් 15 වෙනිදා මියගියේ හොඳටෝම වැහැරී, ‘පරඬැලක්’ බවට පත් වුණාටත් පස්සෙය. අම්මා මියගියේ මානෙල් නංගිලාගේ ගෙදර සියලු ඇප උපස්ථාන ලබමින් සිටියදීය. එතකොටත් සමන්ති- දීපාල් දෙන්නාම ලංකාවට ඇවිදින් සිටියහ. ආදරණීය දරුවන් පස් දෙනෙකුගේ සුමේටම කැපවී සිටින චූටි නංගි දීපානිට ලංකාවට එන්නට තරං ඉස්පාසු නොවිණි. ඒ හිලව්වටත් එක්ක අම්මාගේ හත් දවසේ පිංකම ඉහළින්ම කරවන්නට එයාට ඕනෑ විණි.
මානෙල්ගේ ඉහවහා යන සර්ධාවත් ඒකට එකතු වුණාම...

“ලොකා, මං අපේ පංසලෙන් අම්මගෙ තුන් මාසේ දානෙට දිනේ වෙන් කරවගත්තා.” හත්දොහේ දානමය පිංකම ඉවර වෙනවාත් එක්කම මානෙල් කිව්වේ, මාව දැනුවත් කරන්නයි.

හත් දවසේ පින්කමේදී සිද්ද වෙච්ච දේවල් ටිකක් මගේ හිත ‘චාං චඃ’ කරලයි තිබ්බේ!
අනෙක ඉතිං, මං වහන්සේ පෝයකටවත් පන්සල් නොයන- උදේ හවා මල් පහන් පූජා කිරීමේ පුරුද්දක් නැති ‘අබෞද්ධයෙක්’ නෙව.

මානෙල්ලට ඕනි වෙලා තිබ්බේ ‘සංඝික දානයක්’ දෙන්න. අට පිරිකර හතකට වැඩියෙන් පූජා කරන්න. එහෙම දානෙකට ස්වාමීන් වහන්සේලා හත් නමකට වැඩියෙන් ඉන්න ඕනිලු. ඒත් ගමේ පන්සලේ වැඩ සිටින්නේ හාමුදුරුවන් වහන්සේලා හත් නමකට අඩුවෙන්. ඒ හින්දා අල්ලපු ගමේ පන්සලටත් ආරාධනා කරන්නැයි මානෙල් උපාසිකා මාතාවට උපදෙස් ලැබිලා.

එළිපිට පෙනුණේ නැතත් (මට හිතුණේ) ඒ පන්සල් අතර පොඩි පොඩි කෝන්තර තියෙන විත්තියයි.

‘මේ ලියන අන්දොස් බෞද්දයා’ට පෙනෙන්නේ එකම බුද්ද සාසනේ උන්නාන්සේලා අතර තියෙන සමඟියක් නැතිකමක්.
අද්‍යතන හාමුදුරුවන් වහන්සේලාගේ විවිධාකාර ‘hair cuts’වලිනුත්, ප්‍රභේද ගොඩකට නතු වෙලා තියෙන සිවුරු වර්ණවලිනුත් ‘මේ ලියන අන්දොස් බෞද්දයා’ට පෙනෙන්නේ එකම බුද්ද සාසනේ උන්නාන්සේලා අතර තියෙන සමඟියක් නැතිකමක්.

ඒ දවස්වල අපේ මානෙල් වැඩියෙන් කල්පනා කරමින් උන්නේ ‘මරණයෙන් පස්සේ ලැබෙන දේවල්’ ගැනයි. දන්නවනේ... එහෙම අයගේ ශ්‍රද්ධාව කොහොමද කියලා. (2024 වෙද්දී නං ඒ ඇත්ති තදටම මාලිමාවට බැඳිලා උන්නේ. තවමත් එහෙමයි. පොස්ටර් ගහන්න- ගෙයින් ගෙට යන්න- ශ්‍රමදාන කරන්න... යන්නේ හිටු කියලා.) 
ඉතිං. බණට, දානයට හාමුදුරුවන් වහන්සේලා වඩම්මන්න ගියාම සිද්ද වෙච්ච අවුල්වලින් යසටම දැනුණා ‘පන්සල් අතර කෙරෙන සන්නිවේදනයේ මහිමය’.
“අනේ ලොකා... ඒවා හිතට ගන්න එපා. අපි ඔන්නොහෙ හොඳ හිතිං කරන දෙයක් කරමු.” කියලයි මානි හිත හදා ගත්තේ.

“... මානෙල් දිසානායක උපාසිකා මාතාව අපේ පන්සලේ හොඳම දායිකාවක්... පහුගිය දවසක මානෙල් උපාසිකාව තමන්ගේ සහෝදරියන් එක්ක එකතු වෙලා ලොකු පින්කමකුත් සිදු කළා. අපේ පංසලේ චෛත්‍යයේ සංවර්ධන වැඩවලට රුපියල් 25,000/-ක්ම පූජා කළා...”

සිරි ලංකාද්වීපයේ පංසල්වල කවම කවරදාකවත් ඉවර නොවෙන සංවර්ධන කටයුතු ගැනයි, මහා පරිමාණයේ කටයුතු ගැනයි මං වහන්සේ දැක්කෙම විවේචනාත්මක ඇහැකින්. අපේ ගමේ පංසලේ ලොකු හාමුදුරුවො ‘JVP නිමල්ගේ ගෙදරින් ගෙනා දානෙත් එපා.’ කියලා පාත්තරේට උඩින් අත තියල කියව්වාට පස්සෙවත් මට පාඩමක් ඉගෙන ගන්න බැරි වෙච්ච හැටි!

ඇත්තම කියනවා නං ඉතිං, හාමුදුරුවෝ අපේ නංගිලාගේ විසිපන්දාහක පරිත්‍යාගය ගැන කිව්වම, මට දත් මිටි කැවිලා- මහම මහ පාපයකුත් සිද්ද වුණා.
ඒ පාපයම ආයෙත් සිද්ද වුණයි කියමුකො එදාම හවස කෙරුණු සංවාදයකින්...

“ලොකූ දන්නවද? බණ අහන්න එනකොටයි- දානේ වැඩවලට එනකොටයි එක එක්කෙනා ලියුම් කවරවල දාලා දුන්නු සල්ලි ඔක්කොමත් අපි ලොකු හාමුදුරුවන්ට පූජා කළා.”
“කීයක්ද Sam?”
“දන්නෑ ලොකූ. අපි ඒ ලියුම් කවර ඇරල බැලුවේවත් නෑ.”

කොහොමෙන් හරි ඒ දාන-මාන කටයුතුවලදී මගේ මුල්‍ය දායකත්වය දෙවුණේ බොහොම අඩුවෙන්. මොකද කියතොත්, මගේ හිතට වෙනින් අයිඩියාවක් වැදිලයි තිබ්බේ!

පිළිකා රෝහල සම්බන්ධව...
මං ඉස්සෙල්ලාම එහාට ගියේ අවුරුදු හතළිහකටත් ඉස්සරින්. ‘අන්දොස් මංගල්ලේ’ post එකේදී කියපු ‘සුසිලා’ එක්ක. මතකයිනෙ, “බෑ දිසානායක බෑ! මම
ගෙදරින් පැනලා යනවා.....” කියාගෙන මාව හොයාගෙන ආව සුසිලා.

අපේ හිතුමතේට එහෙම දාන-මාන පිරිනමන්නට බැරිය. ඒ සඳහා...

'සුසිලා හිත හොඳ එකියකි. සල්ලිය බාගෙත් යහමින් අතේ ගැවසෙයි.

ඊට අවුරුදු කිහිපයකට කලින් සුසිලලා මහරගම පිළිකා රෝහලට දානයක් දෙන්නට ගිය විටෙක රෝගී තරුණයෙකු හඳුනා ගත්හ. මේ අක්කාත්, මල්ලීත් අම්මට කියා කෑම උයවාගෙන, අඩුපාඩුත් අරගෙන නිතිපතාම වාගේ ඒ රෝගියා බලන්නට ගියහ; මුදල්-හදල්වලින් පවා ආධාර කළහ. කුරුවිට පැත්තේ තරුණයෙකුවූ ඒ රෝගියා, රෝහලේදී මිය ගිය විට (අතින් සියලු වියදම් කොට) මෘත දේහය රැගෙන කුරුවිටටත් ගිහින්, මළගමටත් සහභාගී වූහ!

හත් දොහේ පින්කමටත්....’ කියලයි මං ඒ ගැන කිව්වේ.

“අනේ දිසානායක. වරෙන්කො ඒ මල්ලියාව බලන්න යන්න. පව් බං. කුරුවිට ඉඳලා ගෙදරින් කවුරු හරි එන්නෙත් හරිම කලාතුරකින්. යමංකො බං.”
සුසිලාගේ පෙරැත්තය හින්දාය, මං පළමු වතාවට පිළිකා රෝහලට පිය නැඟුවේ. එතකොට නම් ආණ්ඩුවේ ඉස්පිරිතාල දැන් තරං ලකයකට තිබුණේ නැත. ඉස්පිරිතාල ගන්ධකේ හින්දා නහය හකුලාගෙන අර ලෙඩ මල්ලියාගේ දුක්බර කතාන්දරය අහගෙන හිටිද්දීය, මල්ලී සුසිලා යෝජනාවක් ගෙනාවේ.

“නිමල් අයියේ, අපේ මහරගම අමද්‍යප ශාඛාවෙන් පුළුවන් වෙයිද මෙහාට කොළ කැඳ දානයක් දෙන්න...”
“ඊළඟ සමිති රැස්වීමට ඔයාම යෝජනාව ගේන්නකො.” මම කීවෙමි. එහෙම්ම කෙරුණේය. යෝජනාව සම්මත  වුණේය. “පෙනෙල කැඳ දානයක් දෙමු!” කියන අදහසත් මතු වුණේය.

“කොහෙන්ද ඔච්චර පෙනෙල වැල් හොයන්නේ? කවුද එව්වා කොටන්නේ?”
“වැල් පෙනෙල කොච්චරක් ඕනිද? අපි හොයන්නං... සයිකල් තුන-හතරක මහරගම වටේ යන්න විතරයි ඕනි. නේද මචං...” මට කොහොඹ කොළ
කිනිති 50ක් කවන්නට මුල් වුණු සෝමවීර මල්ලිකාරච්චි පෙරමුණ ගත්තේය.
“දානේ දෙන දවසට කලින් දවසේ හවසට අපි එන්නං. ළඟ ගෙවල්වලින් වංගෙඩි දෙක තුනක් ඉල්ලගෙන එමු. එළි වෙනකල් හරි අපි පෙනෙල ටික කොටලා දෙන්නං.” සමිතියේ සාමාජිකාවෝ කීහ... “බතික් වැඩපොළේ ළමයිනුත් එයිනෙ!”

නොහිතූ පරිමාණයෙන් ඒ දානය දෙවුණේය. වාට්ටු හත අටකම නේවාසිකව උන්නු රෝගීන්ට... ඒ කටයුත්ත නැවත නැවතත් තුන්-හතර වතාවක්ම කරන්නටත් අපට හැකි විණි.

ඒ එකලය! දැන් පිළිකා රෝහලේ රෝගීන්ට අපේ හිතුමතේට එහෙම දාන-මාන පිරිනමන්නට බැරිය. ඒ සඳහා කලින් අවසර ගත යුතුය. බිස්කට්, යෝගට්, සීනි, තේකොළ, කිරිපිටි, සබන් වැනි දේවල් වුණත් පරිත්‍යාග කරන්නට වෙන්නේ අවසර අරගෙනය; වාට්ටුවේ බලධරයෙකුගේ අධීක්ෂණය යටතේය.

සිතු දේ නොම වෙයි, නොසිතු දෙයක් වෙයි ලෝ දම් කැරකෙනවා!

ඊට පස්සේ මා පිළිකා රෝහලට ගියේ ‘අපේ සුනිල් මල්ලිගේ බිරින්දෑ මල්ලිකාවන්ගේ සුවදුක් බලන්නට’ය. දෙපා අවසඟ පාපන්දු පිස්සා- රාජමනි අංකල් බලන්නට එහාට ගියාමවත්, මුඛ පිළිකාවකට ගොදුරු වී උන් නෙවිල්ලගේ තාත්තාව බලන්නට එහාට ගියාමවත් ‘මතු දිනෙක මාත් එහි නේවාසික රෝගියෙකු වෙති’යි සංකාවක්වත් මට නොවිණි.

ජීවිතයේ හැටි එහෙමය.
‘සිතු දේ නොම වෙයි,
නොසිතු දෙයක් වෙයි ලෝ දම් කැරකෙනවා’ නෙව...

හොඳටෝම අසාධ්‍ය වී මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව සිටියදී පවා, එහි කටයුතු කෙරෙන ආකාරය ගැන විමසිලිමත් වෙන්නට මට හැකි විණි. විශේෂයෙන්ම අසරණ රෝගීන් ගැන... සමහර රෝගියෙකු බලන්නට ගෙදරින් කෙනෙකු ආවේ ඉතා කලාතුරකිනි.

උදේ, දවල්, හවස තුන් වතාවෙම අපේ හිත-මිතුරන්ගෙන් හා නෑදෑයන්ගෙන් දෙතුන් දෙනෙකුන්වත් මගේ ගිලන් ඇඳ අසල රොක්වී හිඳිද්දී- අර අසරණ රෝගීන් බලා සිටි විදිහ මට තවමත් මතකය... ඒ රෝගීන්ගෙන් වැඩි දෙනෙකු කල් මැරුවේ රූපවාහිනිය ඉදිරියේය.

‘2017 අවුරුදු දවස්වල අප උන්නේ අම්පාර කිට්ටුවය. ඒත් තිහක් විතර පිරිසකි. නඩයේ වැඩිමහලු සැදැහැතියන්ට නොනගතයේදී පන්සලකට යන්නට උවමනා විණි. ඒ පළාත දන්නා අසංකට කතා කළ මම පන්සලක අයුරුවක් අහගෙන කට්ටියම එහි කැන්දාගෙන ගියෙමි. ඒ පන්සල කිසිම දියුණුවක් නැති එකකි. බණ මඩුව හැදිල්ල අවුරුදු දහයකටත් වැඩි කාලයක් තිස්සේ නැවතී තියෙන්නකි. දහම් පාසලේ ළමයින් දූවිලි ගොඩේ බිම ඉඳගෙනය, ඉගෙන ගනිමින් උන්නේ. 'අපි මෙහෙට උදව්වක් කරමුද?' යෝජනාවකි. ඒ වෙලාවේම රුපියල් තුන්-හාරදාහක් එකතු කර දුන්නෙමු. ඒත් අපේ හිතට මදිය!

චූටි මාමාත්, පුතා රංගත් රුපියල් විසිපන්දාහක ලන්සුවක් තැබූහ. ප්‍රභාත්, නදී, විජේසිරි තුන්දෙනාත් 25 ගණනේම පරිත්‍යාග කරන්නට කැමැති වූහ. එතනම ලක්ෂයකි. පොසොන් පෝයට කලින් ධර්ම ශාලාවේ බිමට කොන්ක්‍රීට් අතුරා දෙන බවට පොරොන්දුවකුත් හාමුදුරුවන්ට දීලාය අප ආපහු ආවේ. දන්නා-කියන අයට අපේ සත් ක්‍රියාව කියා උදව් පැතුවෙමු. ලක්ෂය මදි හින්දාය. හරියටම තුන් ලක්ෂ විසිදහස් හාරසිය පනහක් එකතු කර ගන්නට අපට හැකි විණි.’

ඒ විතරක් නොව, ඒ පන්සලේ ස්වාමීන් වහන්සේලාට වැසිකිළියකුත් සාදා දෙන්නට අපට හැකි විණි. ඊට පස්සෙත් රුපියල් 25,554.00 ක් ඉතිරිව තිබුණු බැවින් අප කළේ ඒ මුදලෙන් රූපවාහිනී යන්ත්‍රයක් මිලදී ගෙන පිළිකා රෝහලට පිරිනැමීමයි!

පිළිකා ඉස්පිරිතාලේ ළඟම පන්සලක් තියෙනවා. ඔය දුර පලාත්වල ඉඳලා ලෙඩ්ඩු බලන්න එන අය ඒ පන්සලේ තමයි නැවතිලා ඉන්නේ.

ඉස්සර උදවිය ළඟ නම් ‘පිං පොත’ කියා පොතක් තිබුණේලු. ඒ පොතේ සටහන් කර තිබ්බේ ඒ පොත් හිමියා විසින් කෙරුණු යහපත්- පිං අතේ වැඩ ගැනලු.

මට පිං පොතක් නැත. ඒත් මගේ මැදිහත් වීමෙන් කෙරුණු ‘හොඳ වැඩ’ ඉඳහිට මතකයට එයි. එතකොට පෙනෙන්නේ එවන් වැඩවලදීත් මේ ලියන්නා විවිධත්වය පැතූ වගයි.

ඉතිං, අපේ අම්මාගේ තුන් මාසයේ පින්කමත් වෙනස් විදිහකට කරන්නට මට උවමනා වුණේය. ඒ හින්දාම ඒ ගැන හිතන්නට වීමි.

“පිළිකා ඉස්පිරිතාලේ ළඟම පන්සලක් තියෙනවා. ඔය දුර පලාත්වල ඉඳලා ලෙඩ්ඩු බලන්න එන අය ඒ පන්සලේ තමයි නැවතිලා ඉන්නේ. ඒ මිනිස්සු බස් ගාස්තුව හොයාගෙන එන්නෙත් හරිම අමාරුවෙන් අයියේ.” අපේ සුනිල් කියූ විස්තරයක් මට සිහිපත් වුණේ එතකොටය. “දෙතුන් දවසක් වුණත් එහෙම මිනිස්සු එතැන නැවතිලා ඉන්නවා. ඉස්පිරිතාලේ නවත්ත ගත්තේ නැති ලෙඩ්ඩුත් දවස ගාණේ ගම්වල ඉඳගෙන යන්නෙන්න බැරි හින්දා නවතින්නෙත් ඒ පන්සලේ.”

“එතකොට එයාලට කෑම-බීම?”
“පන්සලෙන්... හුඟක් අය ඒ වැඩ කරන්න පන්සලට උදව් කරනවත් එක්ක, අයියේ...”

ගිහිල්ලම බලන්න ඕනි!
ඉතිං, හැන්දෑවක මාව එහාට එක්කරගෙන
ගියේ අරුණයි. අප එහාට යනකොටත් පංසල කලබලකාරීය. තරුණ- තරුණියන් රැසක්ම එකේක වැඩවලය. “මහත්තයෝ, අපි දානයක් දෙන්න කතා කර ගන්නයි ආවේ...” වඩාත් තැන්පත් වැඩිහිටියෙකුටය මං එහෙම කිව්වේ.
“අනේ හොඳා! මහත්තයල එහෙනං කෙලින්ම පොඩි හාමුදුරුවන්ටම කතා කරන්න. අර ටෙලිෆෝන් එකෙන් කතා කර කර ඉන්නේ පොඩි සාදු. උන්නාන්සේ තමයි ඉස්පිරිතාලේ දාන වැඩ සේරම බාරව ඉන්නේ.”

පොඩි සාදු එක්කල කතා කරන්නට පැය බාගයකටත් වැඩි කාලයක් බලා හිටින්නට අපට සිද්ද වුණේය. එකක් ඉවර වෙනකොට තවත් call එකක්... ඒ සේරමත් දානය පිරිනැමීම පිළිබඳවය.

“මල්ලී මේ මහත්තයලට අර විස්තර පත්‍රිකාවක් ගෙනත් දෙන්න... මහත්තයෝ, ඒ පත්‍රිකාවේ සේරම විස්තර තියනවා. මහත්තයලගෙ මව්තුමීගේ තුන්මාසයේ පිංකම නේද කරනවයි කිව්වේ? මෙහෙදිම බණක් කියවලා... කැමති විදිහකට පිරිකර එහෙමත් පූජා කරලා පිං අනුමෝදන් කරවන්නත් මෙහෙ පහසුකම් තියෙනවා.
හෙට අනිද්දට ලොකු පිංකම් දෙක තුනක්ම යෙදිලා තියෙන නිසා අද මට හරියට වැඩ. මහත්තයට තව විස්තර කතා කරගන්න පුළුවනි ලබන සතියේ දවසක දවල් වෙලාවක ආවොතින්... නැත්තං මට කෝල් එකක් දෙන්න.”

“මෙතැන හෙණ ලොකු වැඩ සටහනක් යනවා වගෙයිනෙ...” ආපසු එන අතරේ අරුණ කීවේය. “එක දානෙකට කීයක් විතර යනවද ලොක්කා?”

 “මෙතැන හෙණ ලොකු වැඩ සටහනක් යනවා වගෙයිනෙ...” ආපසු එන අතරේ අරුණ කීවේය.

මේ කොළේ කියන හැටියට නං අරුණ, එක එක ගණන්වලට දානෙ වේල් තියෙනවලු. එක දවසකදී ලෙඩ්ඩු 100ක් විතර පන්සලේ නැවතිලා ඉන්නවලු. ඒ ගොල්ලන්ට තුන් වේලටම කෑම- තේ- ඕනේ කරන දේවල්... බෙහෙත් එහෙමත් පන්සලෙන්ම දෙනවලු...”

“අඩේ... මරුනේ ලොක්කා. ඔයාල කරන්න යන වැඩේ සුපිරි... අම්මපා.”

පිළිකා රෝහල් විහාරස්ථානය මඟින් කෙරෙන සියලුම සේවාවන් අර විස්තර පත්‍රිකාවේ දැක්වෙනවා වගෙය.

උදේ ආහාර වේල සඳහා වියදම රුපියල් 27,000/-කි. දහවල් වේල සඳහා රුපියල් 37,000/-ක් වැය කරන්නට සිදු වෙයි. රාත්‍රී වේල සඳහාත් එම වියදමමය.
“අරුණ, තේ වේලකට නං රුපියල් 17,000/-ක් යනවලු. සුප් දානෙකට 12,000/-ක්ලු. කැඳ දානෙකට රුපියල්  10,000/-යිලු. ඒ ඕනිම දානයක් දෙනකොට අමතරව තව රුපියල් 3,000/-කුත් ගෑස්වලට ගෙවන්න වෙනවලු.”
“ඒ කියන්නෙ ලොක්කා, එයාලමද දානේ උයන්නේ?”
“ඔව්, ඔව්. අපටත් පුළුවනිලු කැමති නං උදව් වෙන්න.”

ඒ ඔක්කොම හරියට තිතට කෙරෙන පාටය. “ලොක්කා, ඔය අස්සේ ගැහිලිත් යනව ඇති නේද?” අරුණ ඇසුවාමය මගේ හිතේ තිබුණු විචිකිච්ඡාවත් එළියට පැන්නේ.

“ඔහොම වැඩ කෙරෙනකොට පොඩි පොඩි හරි මරිසි වැඩත් කෙරෙනව ඇති. ඒත් අරුණ, එහෙමවත් වාසියක් නැත්තං ඔය වගේ වැඩ දිගටම කරගෙන යන්න කට්ටිය එන්නේ නැහැනෙ...
මේ කොළේ කියවාගෙන යද්දී මට ටිකාක් විතර අප්සෙට් වැඩ දෙක තුනකුත් අහු වුණා.” තලියේත් කිඹුලන් දකින මම කීවෙමි.

“ඒ මොනවද බොසා?”
“හැම දානේකටම ඕන කරන බඩුයි, ගණනයි වෙන වෙනම පෙන්නුවාට පස්සෙයි ‘ගෑස්වලට තව 3,000/-ක් ඕන’ කියලා තියෙන්නේ. ඒ මදිවට මෙහෙමත් කියලනෙ අරුණ... අතුරුපස සඳහා යෝගට් / කෙසෙල් ගෙඩි රැගෙන එන්න. ඒවායින් මට නං පේන්නේ හොඳ බිස්නස් මයින්ඩඩ් කෙනෙක් එහෙම මෙතැන ඉන්නවා කියලයි...”
“ඒ කියන්නේ ඔයාට මෙතැන සැටිස් නෑ?”

“එහෙමමත් නෑ අරුණ. ඒත් තව ටිකක් හිතන්න ඕනි... බත් ඇති තැනටම කොසුත් බෙදනවට වැඩිය හොඳයිනේ, බත් නැති තැනකට කොස් බෙදන එක...”

අරුණ නිහඬ වුණේය. ඒ එයාගේ ත්‍රී වීලරය තද ට්‍රැෆික් එක මැද්දේ නිසාය. මම විස්තර පත්‍රිකාව කියවන්නට වීමි.

‘දහවල් ආහාර වේලක් සඳහා රුපියල් 37,000/-
සාමාන්‍ය ආහාර වේල:-
බත් / එළවලු වර්ග 2ක් / පලා වර්ගයක් / මස්, මාළු හෝ බිත්තර (කුමන හෝ එකක්) / පරිප්පු / පපඩම්

සම්බා හෝ නාඩු කිලෝ 20ක් / මාළු, කුකුළු මස් කිලෝ 9ක් හෝ බිත්තර 100ක් / කැමති එළවලු වර්ග දෙකකින් කිලෝ 06 බැගින් / ගම්මිරිස් කුඩු ග්රෑම් 250 / ලුණු කුඩු පැකට් / මිරිස් කුඩු ග්‍රෑම් 500 / තුනපහ කුඩු (අමු) ග්‍රෑම් 250 / සුදුළූණු කිලෝ 01 / අමු මිරිස් ග්‍රෑම් 500 / අමු ඉඟුරු ග්‍රෑම් 500 / උලුහාල්, අබ කුඩු ග්‍රෑම් 50 / පලා වර්ග මිටි 08 / කරාබු නැටි ග්‍රෑම් 50 / කෑලි මිරිස් ග්‍රෑම් 500 / පොල් ගෙඩි 20 / පොල්තෙල්  බෝතල 04 / ලොකු ළූණු කිලෝ 04 / කහ කුඩු ග්‍රෑම් 200 / බැදපු තුනපහ ග්‍රෑම් 250 / රතු ළූණු කිලෝ 01 / පරිප්පු කිලෝ 03 / දෙහි කිලෝ 01 / රම්පෙ, කරපිංචා, සේර, එනසාල් / පපඩම් කිලෝ 02

අතුරුපස සඳහා යෝගට්, අයිස් ක්‍රීම්, ජෙලි, කෙසෙල් හෝ ගස්ලබු රැගෙන එන්න.     

(අතුරුපස සඳහා යෝගට්, අයිස් ක්‍රීම්, ජෙලි, කෙසෙල් හෝ ගස්ලබු රැගෙන එන්න. ගෑස් සඳහා රුපියල් 3,000/-ක් අය කෙරේ.)

‘හාල් කිලෝ එකක බත් වැඩිහිටි පිරිමි හය-හත් දෙනෙකුට ඇති. කිලෝ 20ක්...’
‘දිසානායක මේ, තමුසෙගෙ ගණනට කෑම හදනවා තමුසෙ තනියෙන්ම දාන දෙන දවසට. දැන් දෙනවා ඒ මිනිස්සු කියලා තියෙන හැටියට...’
‘එහෙම කරන්න කලින් ටිකක් හොයල බලන එක වැරැද්දක් නෙවෙයිනෙ. අර කවියකිනුත් කියන්නේ
‘විමසුවයි කෙනෙක් යා නම් නරකාදී
මට සුවයි එහිම යමි වෙනතක නෑදී’ කියලා.’

“ලොක්කා, අපි ගෙදරට ආවා. මොකෝ? ඇස් ඇරගෙන නිදිද?”
“බර කල්පනාවක හිටියේ අරුණ.”
‘ඒකට කමක් නෑ බොසා. ආයේම පන්සලට එහෙම යන්න ඕනි වුණොත් මට කියන්න. Free of charge! මටත් පිනක්නේ...”
“කියන්නං, කියන්නං. මට හිතෙන්නේ වැඩේට කලින් සැරයක් දෙකක්වත් අපිට එහාට යන්න වෙයි!” මං වහන්සේ එවෙලේ අරුණට එහෙම උත්තර දුන්නත්- නැවත වතාවක් එහි යන්නට උවමනා වුණේ නැත.

YouTube එක මගේ අදහස වෙනස් කරන්නට මුල් වුණ නිසාය, ඒ...
දෙවෙනි කොටසට
à

9 comments:

  1. අපේ ගම ආශ්‍රිත පන්සලක දායකයෝ පන්සල පිරිසිදු කරන්න ගිය දවසක දැකල තිබුනා හාල් කිලෝ පහේ දහයේ බෑග් ගොඩගහලා තියනවා වැඩි හරියක් ගුල්ලෝ ගහලා නරක් වෙලා. හාමුදුරුවනේ මේවා විසිකරමු නේද කියන කොට ලැබුන පිළිතුර තමයි, හා හා එපා ඒවා එහෙමම තියන්න කියන එක. හැබැයි ඒ පන්සල අවටම දවසට එක වේලක් කන්න නැති පවුල් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මගේ අදහස Litseeker, අද කාලෙ ඉන්න ස්වාමීන් වහන්සේලා බහුතරයක් මහණ වෙලා තියෙන්නෙ සසර කෙටි කරගන්න නෙවෙයි, තව ටිකක් දික් කරගන්න බවයි.
      උන්නාන්සේලා බහුතරයකගේ කෙලෙස් වැඩි විත්තිය නේද හැම පැත්තෙන්ම පෙනෙන්නේ.

      Delete
  2. Replies
    1. ස්තුතියි Pra Jay මහත්තයෝ, දැන් පන්සල්වල ශබ්ද ඝෝෂාව නං ටිකක් අඩුයි නේද?

      Delete
  3. අපේ පන්සල්/හාමුදුරෝවෝ ගැන කතා කිරීමෙන් වෙන්නේ අපි පව් පුරවා ගැනීමයි. අපේ ගමෙත් පන්සල් දෙකේම ලොකුනම ගමෙන් පිට උගන්වන්න ගිහින්, දැන් පොඩිනම ලොකුනමට එන්න දෙන්නේ නෑ, කාමර වහලා හැන්ගෙනවා කියල තමයි ආරංචිය, තණ්හාය ජායති සෝකෝ. සන්වර්දන වලට සල්ලි නොදුන් ගෙවල් වලට පන්සකුලේට එන්නේ නෑ කියලා පොඩිනම කිව්වලු (මම කිව්වා කොළඹින් හාමුදුරු කෙනෙක් ගේන්න කියල පන්සකුලේට) ගම්වල දුප්පත් පන්සල් උනත් වැඩිදියුණු උනාම පොඩිනමලට තන්හාව උපදිනවා.

    පිලිකා රෝගීන් සහ පවුල් වල අයට සලකන එක නම් උතුම් වැඩක් (පන්සල් වලට දෙනවට වඩා). මෙහෙ ඉන්න ඉංජිනේරු කෙනෙක්ගේ මුලිකත්වයෙන් අපිත් ඔය පන්සලට මුළුතැන් ගෙයක් හදලා දුන්නා මතකයි, බෝර්ඩ් ලැල්ලක් ගහලා අපිටත් එවල තිබුණා.

    කිරල මැනලා පින් කරන්න බෑ නිදි, චේතනාහන් බික්කවේ කිව්වලුනේ. මගේ නෝනා එක්ක පාරේ ඉන්න හිගන්නෙකුට සතයක් දෙන්න බෑ, කුඩු ගහයිද? මුදලාලි ගන්නවද? අහනවා, මටනම් අතේ ඇතිදේ දුන්නා එපමණයි. පන්සලේ හාමුදුරුවෝ ගානයි, ගිහියෝ ගානයි කලින් ගැනගන ගිහින් ගෙදරින් උයාගෙන ගෙනා දානෙත් පොලිස් කාරයෝ දන්ගෙයිම වාඩිවෙලා වලන්දනවා මම දැක්ක.

    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ගොඩ දෙනෙක් පන්සල් ගැන- ස්වාමීන් වහන්සේලා ගැන කතා කරන්න බයයි, පාන්ශුකූලේට හාමුදුරුවරු නැති වෙයි කියලා. අනෙක් අතට මෝඩ (මෝහ) සර්ධාව හින්දා.

      ඔයා හරියටම හරි විජේබාහු මහත්තයෝ, අපි යමක් දෙනවා (අත් හරිනවා) නං ඒ ගැන එක හිතින්මයි අත් හැරිය යුත්තේ. හොඳ හිතින්ම දෙයක් දුන්නට පස්සේ ඒක එතැනින්ම ඉවරයි! ඊට පස්සේ මොකද වුණේ කියලා පස්සෙන් පන්නලා බලන්න ඕනි නැහැනෙ.

      පොලිසියේ ඇත්තෝ කැප-අකැප ඕනි දෙයක් වළඳන්න රුසියෝ නෙව!!!

      Delete
  4. අපෙත් අදහසක් තියෙනවා පිලික රෝහලට දානයක් දෙන්න

    ReplyDelete
  5. //විමසුවයි කෙනෙක් යා නම් නරකාදී// කුමාරතුංග මුනිදාස කියාපු එකක්!

    ReplyDelete
  6. ආරෝග්‍යා පරමා ලාභ කීවට... අපේ සමහර උන්දල රෝග සහ රෝගියො පරම ලාභය කරගෙන නෙව ජීවත්වෙන්නෙ හිටං

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්