අපි දෙන්නා විතරක් ඉන්න වෙලාවක වුණත්, අම්මා කුස්සියට ගිහිං ඇතිළි- වළංවලින් කෑම බෙදා ගත්තෙ නෑ. ‘මට බඩගිනියි, රංජි. කෑම ටික මේසෙට ඇරිය නං.’ අම්මා මට එහෙම orders දෙනකොට...
අපේ ගෙදරදී අම්මාට තේ එකක් දුන් විටෙක ‘ඇයි, පීරිසියක්
නැත්ද? ට්‍රේ එකක තියලා නෙවෙයිද දෙන්නේ?’ වැනි ‘නෝනා හාමු පන්නයේ’ විවේචනාත්මක දේවල් කියනකොට...
එහෙම දේවල් සිද්ද වෙද්දී මගේ හිතේ නොරුස්නා ගතියක් ඇති
වුණේ ඉබේමයි. එහෙම වුණේ අපේ අම්මා වුණත් මාව දෙකේ කොළේට දානව වගේ මට දැනුණු නිසාද?
එහෙමත් නැත්තං මාත් පුරුෂාධිපත්‍යය පිළිගත් කෙනෙක් නිසාවත්ද?
නායකයෙක් වෙච්චි පළියටම; ඉඩක්
ලැබිච්ච පළියටම දුර්දාන්ත වෙන්න ගිහිං; අසාධාරණ වෙන්න ගිහිං
හරි යනවැයි... |
පුරුෂාධිපත්‍යය මගේ මනාපය දිනා ගත්තු ප්‍රතිපත්තියක්
නෙවෙයි. ස්ත්‍රී- පුරුෂකමක් නොබලා නිසි කෙනාට, නිසි තැන දෙන්න ඕනියි කියලයි මං
හිතන්නේ. එහෙමයි කියන්නේ පිරිමිකමවත්, ගැහැනුකමවත් යටපත් කරන්න කියන එකත් නෙවෙයි.
උත්තරීතර නායකත්වයකට පත් වුණත් ගැහැනියකගේ
මව්වත්කම, ලාලිත්‍යය, සුකොමලබව නැති කර ගන්නේ නැතිව ඉන්න කාන්තාවකට ඇහැකියි
නෙව.
පිරිමියෙකුට වුණත් එහෙමයි. නායකයෙක් වෙච්චි පළියටම; ඉඩක් ලැබිච්ච පළියටම දුර්දාන්ත
වෙන්න ගිහිං; අසාධාරණ වෙන්න ගිහිං හරි යනවැයි... සමහරුන් එහෙමනේ, පොඩි බලයක් අතට
ලැබුණු ගමන් ‘වළන් කඩේට වැදිච්ච ගොනා’ වගේ වෙනවා.
දුර්දාන්ත... අසාධාරණ... කියලා විශේෂණ පද දෙකක් මම
කිව්වනේ. එහෙම කිව්වේ...
‘... ගෙදරට කවුරු හරි ආව ගමන්ම අම්මා ‘වෙනස්ම මහන්තත්ත; අහංකාර; අධිපති
චරිතයකට ආරූඪ වෙනවා’ කියල මට හිතුණා.
‘මම ලක්ෂ ගාණක් වියදං කරලා ඔයාට ගෙයක් හදල දුන්නා.
දැන් ඔයා ඒකට කළගුණ සලකන්න ඕනි.’ කියන පණිවිඩේ අම්මා ගොඩක් විදිවලින් මට නොකියා
කිව්ව කියලයි මට හැඟුණේ.’ පහුගිය කොටසෙදී
මං ලිව්වා. අන්න එතැනදී- මම එහෙම හිතුවේ ඇයි කියන එකට
සාක්කියක් මේ.
(අම්මා ජීවතුන් අතර ඉන්නතාක් කල් මේ වගේ දේවල් නොලියන තීරණයකයි මං හිටියේ. ඒත්
දැන් මට ඒ නිදහස තියෙනවා. ඒ නිසාමයි ප්‍රෝඩාරාම post එක වුණත් කිසිම පැකිළීමක්
නැතුව ලියන්න ගත්තේ.)
1992 අපේ අලුත් ගෙදරට ගෙවැදිලා දවස් කීපෙකට පස්සේ දවසක
උදේ දහයමාරට- එකොළහට විතර බදුල්ලේ ඉඳලා කට්ටියක් අපේ ගෙදරට ආවා. කට්ටියක් කිව්වේ සෝමා පුංචි-
කඩේ පුංචි- ලොකු මාමා
ඇතුළු හත්-අට දෙනෙක්...
ඉක්මනට තේ හදල දුන්නත් මගේ හිතට මදි- ඒ තරං කට්ටියකට
දෙන්න විස්කෝතු, කෙසෙල් ගෙඩිවත් ගේ සන්තකේට තිබ්බේ නැති නිසා. ‘කලින් දන්නවා නං
කේක් ගෙඩියක්වත්...’
සංග්‍රහය ඉවර වෙලා පීරිසි කොප්ප හෝදන අතරේ, අම්මා මට කතා කළා. සාලෙම වාඩි වෙලා
ඉඳගෙන.
“රංජි, ඉක්මනට සෝම නංගිලට බත් ටිකක් උයන්න වෙයි නේද? සෝම නංගිලා අද එනවැයි කිව්වම
මම කිව්වත් එක්ක- දවල්ට කාලම යන්න බලාගෙන එන්න-යි කියලා.”
ඒක ඇහුණා විතරයි, මට ඌරු ජුවල් ගියා. “එහෙම නං අම්මා ඒ
විත්තිය මට කියන්න තිබ්බේ මම අද උදේ උයන්න කලින් නේද” මගේ කටෙනුත් වචන වීසි වුණා;
පුපුරණ tone එකකින්. “දැන් මම ආපහු උයන්න ඕනිනෙ.”
“ඕක මහ ලොකු වැඩක්ද? ඔයාට බැරි නං නිකං ඉන්න. මේ සෝම
නංගියි, කඩේ නංගියි දෙන්නා එකතු වෙලා බත්
ටිකක් උයල ගනියි.” අම්මා එයාලවත් අපේ කතන්දරේට පටලව ගත්තේ එහෙමයි.
මගේ ගිනි පිටවෙන
ගෝරනාඩුව නිසා වෙන්නැති අම්මා උත්තර නොදුන්නේ! |
“එයාල බදුල්ලේ ඉඳන් ඇවිත් තියෙන්නේ, කන්නම නෙවෙයි. මං ලක්ෂ හතලිස් ගාණක්* වියදම්
කරලා ඔයාට හදවල දීපු ගෙදර බලන්නයි. ඉතිං සේරටම කලින් මම එයාලට ගේ පෙන්නලා ඉන්න
එපැයි.” (* මගේ ගෙදර හදන්න 33 ලක්ෂයයි වියදම් වුණේ. ඒත් අම්මා එයාට හිතුණු-හිතුණු
විදිහට සැරෙන්-සැරේ ඒ ගණන වැඩි කළා. හැබැයි වැරදිලාවත් ගණන අඩු කළේ නං නෑ!)
අම්මා එහෙම කියනකොට සෝම පුංචි පිටිපස්සට වෙලා, ඉඟිවලින්
මට කිව්වේ කට වහගන්න කියලයි.
“ඔව් මයෙ පුතාාාාාා, ආාාායෙ බත් කන එක නං පස්සේ වුණත් බැරියැ. අපි ලීලක්කගේ බංගලාව
බලලා, කෑම ටිකක් හරි ගස්සමු.” කඩේ පුංචිත් ඉඟි මැරිල්ලට සම්මාදන් වුණා.
මට තවම මතකයි, ඊට පස්සේ මං එපැයි කියද්දීම පුංචිලාත්
දවල්ට උයන්න උදව් වුණා.
එයාලා ගියාට පස්සේ තමයි අම්මයි, මායි තදින්ම රණ්ඩු වුණේ.
අම්මගෙ කැත මහන්තත්ත ගතිය ගැනත් එතකොට මගෙන් කියවුණා. “මාත් අනිල් වගේ ගොං
එහෙයියෙක් වෙයි කියලා නං හිතන්න එපා අම්මේ කීයටවත්...”
“ඒ මොකක්ද ඒ? අනිලා ගොං එහෙයියෙක්ද.”
“ඒ මොකක්ද? කියන්නත් ලජ්ජා හින්දයි අම්මෙ, මං මෙච්චර
දවස් නොකියා හිටියේ. එදා අනිල් ආව වෙලාවේ අම්ම ඌට කියල අම්මගෙ රෙදි හෝදව ගත්ත එක
හරිද? එතැන අම්මගෙ යට ඇඳුම් හිට තිබ්බ නේද?
අම්මට සල්ලි තිබ්බට හැ..ම මිනිහෙක්ම වි..කි..ණෙන්නෙ නෑ අම්මේ. විශේෂෙන් මම එහෙම
නෑ! කලිනුත් කිව්ව වගේ අම්මා වැඩියෙන් වියදම් කරල හදපු ගෙදරනේ. මේකට මගේ අතින්
වියදම් වෙච්ච සතයක්වත් එපා. අම්මට ඕනි නං මුළු ගේම දෙන්නං, මම එළියට බැහැලා.
හැබැයි, අදින් පස්සේ මේ ගෙදරට කවුරු ආවත්- එහෙම ආවට පස්සේ නං මම කිසි දෙයක් උයන්නේ
නෑ. තේ එකක් හදල දෙනවා විතරයි! ඒ ඕනිම කෙනෙක් ඉස්සරහම මං අම්මටත් ලජ්ජ කරනවා- මට උයන්න
කියලා හෙම ලොකුකං අටවන්න ආවොත්!”
මගේ ගිනි පිටවෙන ගෝරනාඩුව නිසා වෙන්නැති අම්මා උත්තර
නොදුන්නේ.
“... තව එකක්! මීට පස්සේ කවුරු ආවත්- එයාලව ගෙදර හැම
අස්සක් මුල්ලක් නෑරම එක්කගෙන යන්නත් බෑ. මේක ප්‍රදර්ශනාගාරයක් නෙවෙයිනෙ; ගෙයක්.
අම්මා කැමති නං අම්මගෙ කාමරේට එක්ක ගිහිං පෙන්නපුවම ඇති. මම අදම අනිත් කාමරවලට
යතුරු දාල තියන්න පටන් ගන්නවා.”
ඔය බණේම තමයි අයියේ අපටත් වුණේ. |
ඒ ගෝරියෙන් පස්සෙ අපේ අම්මා ටිකාක් විතර සරෙන්ඩර් වුණා.
එයා අමුත්තන්ට ආරාධනා කරපු ඉක්මනින්ම, මටත් ඒ විත්තිය කිව්වා. හැබැයි, ඒ එන කාට වුණත්
සංග්‍රහ කරන රාජකාරියයි, වියදමයි දෙකම මට දරන්න වුණා.
ඉතිං කොහොමෙයි ඒ වගේ දේවල් මතක නැති වෙන්නේ? රෑ වැටුණු වළේ දවලුත් වැටෙන්න ඕනැයැ. ඒ
හින්දමයි මම හොරණ ගෙදර නැවතෙන්නේ නැතිව ඉක්මනට ආපහු ආවේ.
“ඔය බණේම තමයි අයියේ අපටත් වුණේ. එහාට ආව අමුත්තන්ට සංග්‍රහ
කරන වැඩේ එහෙම පිටින්ම පැටවුණේ අපේ ඔළුවට. ඇත්තම කියන්න අයියේ, ඉවසන්න බැරි වුණේ
විය හියදම් නෙවෙයි. අම්මා අමුත්තො ඉස්සරහ අපිව පාච්චල් කරනකොටයි. අන්තිමට, සුමාන දෙක
යන්න කලින් අපිත් එහෙ යෑම නැවැත්තුවා!” සුනිල් කිව්වේ එහෙමය.
විසල් ගෙදරක තනි වුණු අපේ අම්මාටත් ඉක්මනින්ම හොරණ ගෙදර
එපා වෙන්නට ඇති!
එයාගේ පුරාජේරු කාට පෙන්වන්නද? කවුරුන් එක්ක පම්පෝරි ගහන්නද? එතකොට ‘නිසලගිරි උයන’
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිසල ගිරි මුඳුනක්ම වගෙයි. ඒකෙ ගෙවල් හැදිලා නොතිබ්බ තරං...
අන්න එතැනදී අපේ අම්ම මට කතා කළා.
“රංජි. මට මේකම බදාගෙන ඉන්න බැහැනෙ. තව සතියකින් මගේ වීසා ඉවරයි. එංගලන්තෙ ගියත්
තව මාස තුන-හතරකින්ම මං ආපහු එනවා. එතකල් ඔයා බැහැයි නොකියා සුමානෙකට සැරයක්වත්
මෙහාට ඇවිත් බලන්න ඕනි. එන්න බැරිම සතියක නං සුනිල්ට හරි ඇවිත් යන්න කියමු.”
අපේ සුපුරුදු සති අන්ත රූටින් එකත් වෙනස් කරන්න වුණයි කියමුකෝ- අම්මගෙ ඒ යෝජනාවෙන්.
අනෙක අපේ යාළු මිත්‍රයොත් කැමති වුණා, එහාට ඇවිත්
නිස්කලංක දවසක් ගෙවන්න.
නෙවිල්ලගේ ලොකු අයියා (එයාත් නිමල්) එයාගෙ බිරියයි, දරුවනුයි එක්ක එහෙම ආපු ගමනක්
ගැන මම කලින් ලිව්වා. විශේෂයෙන්ම ඒ විස්තර ලියැවුණේ නෙවිල්ලගෙ ලොකු අයියා හදාගෙන
ආව ‘හරි අපූරු සාලයෝ ඇඹුල් තියල් ඇතිළියක්’ හින්දයි.
එච්චරකුත් නෙවෙයි. ‘සල්ලිවලට කරන්න දෙයක් නැහැ’යි ඒ
දවස්වල කයිවාරු ගගහ හිටපු නෙවිල්ට නොදැනෙන්න- එයාගේ වියදමෙන්ම 35වෙනි උපන් දින
සාදය ජයටම පැවැත්තුවෙත් හොරණ ගෙදරදී.
35... 35... ඒ අනුව ගණන් බලනකොට අහු වුණේ, 2001 අගෝස්තුවේ තමයි ඒ B’day පාටිය
තිබ්බේ.
නියම පොර අතින් වැඩේ
චොර වෙලා! |
ඔය අතරවාරයේ දවසක හොරණට ගිහිං එද්දී වෙච්චි ‘ගිනි
කෙළියක්’ ගැනත් මම ලිව්වා, පහුගිය කොටසෙදී.
හැබැයි ඒවා ලිව්වේ සිද්ද වෙච්චි කාල වකවනු අනුපිළිවෙලකට
නං නෙවෙයි, හොඳේ. ලියන්නට සුදුසු තැන් එළඹුණාමයි.
ප්‍රෝඩාරාමය 5 කොටසට comments දෙකක් එවමින් Unknown
රසිකයෙකු මෙහෙම අහල තිබුණා.
‘Nidi, do you remember the Janaranjana Hotel. or is it Janaranjana stores’. එතකොට මට මතක් වුණේ හොරණ ගෙදරට යන ශ්‍රී ධීරානන්ද පාර
ඉස්සරහ තිබ්බ වෙළෙඳ සලක්. ප්‍රෝඩාරාම පෝස්ටුවට අදාළව ඒ ප්‍රශ්නය ඇහුව කියලයි, මම
ඒකට උත්තර දුන්නෙත්.
(මේ දැන් මට කල්පනා වුණා, මේ අහන්නේ පමුණුව පාරේ තිබුණු
ජනරංජන හෝටලය හා ස්ටෝර්ස් ගැනවත්ද කියලා. Unknown උන්නැහේ, එයාලා ගැන නම් මතකයි. ජනරංජන
මුදලාලිට දුවෙකුයි, පුතාලා දෙන්නෙක්ද කොහේදැයි හිටියේ. දෙවෙනි පුතා පරෙයියන් ඇති
කළා. ඊට අදාළ ‘නික් name’ එකකින් කිව්වාම තමයි, ඒ හාදයාව පමුණුවේ කවුරුනුත් දන්නෙ.)
ඉතිං, අර හොරණ පාරේ මං කියාපු කඩය තිබ්බ ඉසව්වේ නං දැන්
තියෙන්නේ K.T. Super Center කියල සාප්පු පෙළක්. ඉස්සර එතන තිබුණු කඩෙන් තමයි අපේ
සුනිල්ට ඒ පැත්තේ විස්තර හම්බ වුණේ.
තව ඉස්සරහටත් ඒ කඩේ ගැන කියවෙන නිසා, ඔන්න මං ඒකට නමක් දෙනවා ‘බොරලුගොඩ කඩේ’ කියලා.
(ඒ නම දුන්නේ බොරලුගොඩ සිංහ පරම්පරාවේ ආදිතමයන්ව සිහි වෙලා හෙම නෙවෙයි.)
“අයියේ, අර බොරලුගොඩ කඩෙන් කියනවා අපේ ගෙදරට මුරකාරයෙක්ව
හරි දාන්න වෙයි කියල. දැන් දැන් කුඩ්ඩො ඒ පැත්තේ කරක් ගහනවලු. බලන්න කෙනෙකුත් නැති
නිසා... උන් වෙලාවක දොර ජනෙල් ලයිට් ටිකවත් ගලවාගෙන යයිලු.” සුනිල් තකහනියක්ම
මහරගමට ඇවිත් වාර්තා කළේ ඉක්මන් පියවරක් ගන්න ඕනි නිසා.
නමුත් එතන ගැන තීරණ ගන්න ඕනි අම්මනෙ. මං කළේ අම්මට පණිවිඩය දෙන එක.
මට දැනගන්නට ලැබෙන-
සංචාරය කරන්නට ඉඩ ලැබෙන සොඳුරු ස්ථානවලට හැකිතාක් පිරිසක් යනවාටත් මං ඉතා කැමතිය.
(foto- තරංග ප්‍රියදර්ශන) |
“ඇති යන්තං ඒ වැඩේ ඔහොමවත් ගොඩ ගියා. නේද නෙවිල්?”
“ඔහෙලා නං ගොඩ යයි! මටනේ හලෝ නිදහසක් නැත්තේ. හැම ඉරිදාම තමුසෙලව හොරණ එක්කරගෙන
පලයල්ලකො, වැඩ නැතිව වගේ.”
“හරි හරි, ඔන්න එහෙනං මම මේ සතියේ plan එක වෙනස් කළා. එතකොට ඉවරයිනේ...” සිරා
ස්වරයකින් මං කිව්වා.
“ඒ මොකෝ?”
“ඔයාට යන්න බැරි ඉරිදටනේ. මේ සැරේ අපි එහෙ යනවා සෙනසුරාදා හවසට...”
“?”
“ගිහිං එන්නේ ඉරිදා හවසට.”
“ඒ පාර මගේ සෙනසුරාදා හවස් වරුවත් කන්නද ඔය හදන්නේ?”
”නෑ... ම..හත්ත..යෝ. අපි ඉරිදා උදෙන්ම මා..පු..ටු..ග..ල කන්ද නඟින්නයි යන්නෙ. අර මුරකාරය
ගමේ කෙනෙක්වත් set කරලා- අපිට පාර පෙන්නන්න.”
“කවුද අපි?”
”අපි කියන්නේ මර්වින්, ඉන්දිරා වගේ තව ටික දෙනෙක්.”
“අඩමානයක් නෑ, හැච්චෝ බැච්චෝ රොත්තක්ම ලෑස්ති කරගෙන ඇති! ඇත්තමයි දිසානායක, තමුසෙට
නං තියෙන්නේ එසේ-මෙසේ xx අමාරුවක් නෙවෙයි හලෝ.”
ඇත්තය! නෙවිල් පුනරුච්ඡාරණය කළේ එයාගේ කණට වැටුණු දෙයකි.
මගේ මේ ප්‍රතිපත්තිය සමහර දෙනෙකුට එතරම් රුස්සන්නේ නැත.
මා කියවූ හොඳ ලිපියක්- පොතක් තව-තවත් අය කියවනවාට මං කැමතිය.
මා ඇසූ හොඳ කවියක්- ගීතයක් තව-තවත් අය අසනවාටත් මං හරි කැමතිය.
මා නැරඹූ හොඳ ටෙලියක්- ෆිලුමක් තව-තවත් අය නරඹනවාටත් මං ගොඩක් කැමතිය.
එලෙසින්ම මට දැනගන්නට ලැබෙන- සංචාරය කරන්නට ඉඩ ලැබෙන සොඳුරු ස්ථානවලට හැකිතාක්
පිරිසක් යනවාටත් මං ඉතා කැමතිය.
“අපි කොහේ හරි ලස්සන තැනක් හොයාගෙන නිමල්වත් එහාට
එක්කගෙන ගියොත්, ඊළඟ සති ටිකේ මේ යක්ෂයා තව groups දෙක තුනක්වත් ඒ තැන්වලට එක්ක
ගිහිං! නැත්තං යන්න ප්‍රචාරේ කරලා.” වතාවක් මගේ එක හිතවතෙක් චෝදනා මුඛයෙන් ප්‍රසිද්ධියේම
කිව්වේය.
මං ඒ බව සතුටෙන් පිළිගත්තේ තව කොටසකුත් එයට එකතු කරමිනි.
“සත්තකින්ම මං එහෙම කරනවා තමයි. ඒ ගමන්ම මං ඒ කාට-කාටත් කියනවා මේ තැන ගැන මාව
දැනුවත් කළේ කවුද කියලත්. මොකද, මාව දැනුවත් කරපු කෙනාටත් නිසි ගෞරවය දෙන්න ඕනිනේ.
මං ඒකෙන් ලකුණු දාගන්න යනවා නං අන්න ඒක තමා හරි නැත්තේ.”
නිල්ල නිලන කෙත් යායක
නියරවල් උඩින්... |
2024 අවුරුද්දේ ගතවුණු පළමු දෙමාසයේ දින 60න් දවස්
දහයක්ම මා සිටියේ ගෙදර නොවේ. Trips හතරක් ගිහින්ය. ඒ දවස් දහය 12ක් වී- trips ගණන
පහක් වෙන්නට ගිහිං, නැවතුණේ අන්තිම මොහොතේය.
ඒ ගමන දවස් දෙකකියි කියැවුණු එකකි. ගමන දවස් තුනකට දිගු වෙන විත්තිය දැනගත්තාමය, මම
නොගිහිං නැවතුණේ. ඒ මං වහන්සේ, ඊළඟ දවසේ සවස ‘සිරිබිරිස් උන්නැහේ’ හා මිතුරන් කීප දෙනෙකුගේ
සුහද හමුවකට වෙන්කොට තියාගෙන උන් බැවිනි.
දැන් සිරිබිරිස් උන්නැහේ ආපහු ඕස්ට්‍රේලියාවට ගිහිංය.
ලංකාවේ හිටි ටික දවසෙනුත් මුළු දවසක්ම මේ blog අඩවිය
වෙනුවෙන් කැප කරමින් සිරිබිරිස් උන්නැහෙත්, නමීත් (ප්‍රෝඩාරාම posts ටික ලියන්නට)
ලොකු support එකක් දුන්හ. බෙල්ල ගහල යන size ඒ ‘වික්‍රමාන්විත මෙහෙයුම’ ගැන විස්තරත්
හෙටානිද්දාම ලියන්නට තියෙයි. එතකල් ඔබ දෙපලටම ගොඩක් ස්තුතියි.
“අයියේ, ගමේ මනුස්සයා කියනවා උදෙන්ම ගිය තරමට අපිට ලේසියි
කියලා.” මාපුටුගල නඟින්නට ඇවිත් හිටි සුනිල් කිව්වේය. “මල්ලිකා කියනවා එයාට කන්ද
නඟින්න එන්න බැහැලු. අපි ගිහිං එනකොට එයා දවල්ට කෑම උයල තියන්නංලු.”
“ඒකත් ජයසිරි මංගලම්! එහෙනං අපි උදේට කෑව ගමන්ම පිටත්
වෙමු.”
එහෙම කළ බව මට මතකය.
නිල්ල නිලන කෙත් යායක නියරවල් උඩින්... ඉතාම සුන්දර වන
ලැහැබ් මැදින්... උතුරක්-දකුණක් හිතා ගන්නට බැරි තරම්වූ වන වදුලු මැදින් අප
මාපුටුගල නැංගා මට මතකය. ඒ ගමන හිතුවට වඩා අසීරු එකක් වුණු බවත් මට මතකය. මහ විශාල
වනාන්තරයක් නොවුණත්, එහි වල්දෙල් ගස් ගොඩකුත් තිබිණි. මා වේවැල් හා තම්බටු වැලුත්
තිබිණි. ගස්-වැල් ගැන මට මතක එච්චරය!
එහෙම වුණත්- මාපුටුගල රක්ෂිතයේ වෙසෙන විහඟුන්ට, සමනලයන්ට, කුරා කුහුඹුවන්ට පවා එදා
වන තරණය කළ නඩයේ එක්කෙනෙකු හොඳින්ම මතක තිබෙනවා විය යුතුය. ඒ හාදයා විටින්-විට
කැලය දෙදරවමින්; ගිරිය යටින් විලාප දුන්නේය. ඒ කූඩැල්ලන් දෙපයේ එල්ලුණු විටෙකය.
“ඈ නෙවිල්, ඔයාලා අපේ අයියත් එක්ක සිංහරාජේ- අවාරේ
සිරීපාදේ හෙමත් ගියා නේද... එතකොටත්...”
“කියල වැඩක් නෑ සුනිල් අයියේ. ඒ එක ගමනකදිවත් අපිට ආසාවට එක කුරුල්ලෙක්වත් දැකගන්න
හිටියෙ නෑ. හිටියිද... මේ මනුස්සයාගේ කෑ ගැහිල්ලට.”
අපට පාර පෙන්වන්නට ඉදිරියෙන් ගිය ගම්වැසියා දොඩමලු වුණේ
එතකොටය. “මහත්තයලා පරෙස්සමෙන් අඩිය තියලා මේ ගලේ අයිනට ඇවිත් බලන්න... පරෙස්සමින්,
වැඩිය අයිනට එන්න එපා. ලිස්සනවා. අර... අර පැත්තේ... පේනවද?”
ඒ මනුස්සයා අපට පෙන්නුවේ...
ඔයාලට ඒ විස්තරේ දැනගන්න වෙන්නේ ‘ප්‍රෝඩාරාමය හත්වෙනි කොටස’ කියවනකොටයි, හොඳේ.
මේ දැන් මට කල්පනා වුණා, මේ අහන්නේ පමුණුව පාරේ තිබුණු ජනරංජන හෝටලය හා ස්ටෝර්ස් ගැනවත්ද කියලා.- anna junction Nidi lol
ReplyDeleteI was asking about this, in 70s I had a friend down 4th lane and the shop was right at the top of the lane. Recently I drove that way but couldn't figure out the place. Things have changed. Do you live close by?
එහෙම කියන්න එපැයි මහත්තයෝ, මම ඉන්නේ පමුණුවේ දේවාල පාර ඉස්සරහම තියෙන පාරේ. එතන ඉඳලා පා ගමනින් යතත් ජනරංජන ඒක හරියට යන්න විනාඩි පහක්වත් යන්නෙ නෑ.
Deleteආ ගිය තැන රහ කරලා ලියන එක කොච්චර හොදද...ඒක බ්ලොග් වල වෙනම ශානරයක් වගේ දෙයක්නේ...ඉස්සර මගේ බ්ලොග් එකේ ඒවගේ ලිපි ලියැවුනේ නෑ...ඒත් මමත් මෑතක් ඉදන් ඒ වගේ ලිපි ලියන්න හිතා ගත්තා...පරණ පින්තූර ටික හොයා ගත්තම කථාව ලියන්න ගොඩක් පහසු වෙනවා....
ReplyDeleteඅළුත් ගෙදර බලන්න එන අයට කෑම හදන එකේ අමාරුව නම් නිදි හොදට ලියලා තියෙනවා...ඔය විසල් මන්දිරය අතු පතු ගාලා ලස්සනට තියා ගන්නත් ඒ වගේම මහන්සියක් වෙන්න ඇති කියලා හිතනවා..ඒ ගැනත් ලියලා දාන්නා..ඒක අලුතිය්න් ගෙවල් හදන් ඉන්න අයට ලෙසන් ලර්න්ඩ් පාඩමක් වේවි....තමන්ගේ අවශ්‍යතාවයට, ඉස්සරා ගැනත් හිතලා අවශ්‍ය ප්‍රමාණ්යට විතරක් හරියන ගෙයක් හදා ගන්නා.
හොඳමයි මහත්තයෝ, ඊළඟ කොටසෙන්ම බංගසාල බංගලාවල් හදා ගැනීමේ සිද්දියක් දෙකක් ලියන්නන්.
Deleteනිමල් ලියලා තියෙන අම්මගෙ සමහර හැසිරීම් වලින් පෙන්වන්නෙ "Money cannot buy class" කියන එක තමයි. අපි අවට කොච්චර ඉන්නවද තමන් ඉගෙන ගත්ත රට, සංචාරය කරන රටවල්, ඉන්න රට, තමන්ගෙ සුදුසුකම් ගැන පුරසාරම් කියමින්, අනිත් අය හැම වෙලේම පහත් කරලා කතා කරන, ජීවිතේ අවම decency එක වත් පවත්වා ගෙන යන්නෙ නැති අය.
ReplyDeleteAu contraire mon frere, I think her behaviour such as demanding that the meals be served to the table or insisting on having a cup and saucer suggests that she has acquired class. Nidi may disagree here though. Also just look at her story, from impoverished beginnings to a first world citizen- so isn't she entitled to some boastfulness. She's an iron woman, to have survived and thrived in those times. Hats off to Mrs Schroeder , her life is worth of a movie script imho
DeleteLotus, අපේ අම්මාගේ ගොඩක් දුර්වලකම්වලට හේතු වුණේ 'තමන්ට නැති තත්ත්වයක් බලෙන් ආරෝපණය කර ගන්න වෑයම් කිරීම' නිසා කියලයි මමත් හිතන්නේ.
Deleteඅවම decency එකට ගැලපෙන සිංහල වචන ගැන තාම හිතා ගන්න බැරිවයි ඉන්නේ.
Ano මහත්තයෝ, මමත් 100%ක් එකඟයි, අපේ අම්මා යකඩ ගටක් තිබ්බ ගැහැනියක්.
Deleteනමුත් මහත්තයෝ, ඕනෑම කෙනෙක් තමන්ට ගෞරවය ලබා ගත යුත්තේ අනුන්ටත් ගරු කිරීම මඟින් කියලයි මම හිතන්නේ. තමන් ඉහළ යන තරමට නිහතමානී වෙනවා නම් තමයි අන්‍යයන්ගේ ගෞරවයට පාත්‍ර වෙන්නේ.
ලංකාවේ මුල්ම ජනාධිපති ආර්යාවන් දෙදෙනාත්- හිටපු ජනාධිපතිනියත් ගැන චුට්ටක් මතක් කරගන්නකො.
තැන්ක් යූ ඇනෝ. මම මෙතනදි කිසිසේත්ම අදහස් කරේ නෑ නිමල්ගෙ අම්මා classy නැහැ කියලා. “අම්මගෙ සමහර හැසිරීම් වලින් පෙන්වන්නෙ“ කියන වචන මම specifically පාවිච්චි කලේ ඒ නිසයි.
Deleteඔව් නිමල්ගෙ අම්මා legend කෙනෙක් තමයි (and so are all our mothers for various reasons).
නිමල් වඩා බුද්ධිමත් කෙනෙක් නිසා මම කියපු දේ වරදවා වටහා ගත්තෙ නැති එක ගැන සතුටුයි. මගේ නිරීක්ශණය නම් ජීවිතයේ යමක් තියෙන අය, උදාහරණ විදිහට උගත්කම, සල්ලි, පවුල් පසුබිම ඇත්තටම තියෙන අය, කිසිම වෙලාවක ඒ දේවල් ගැන අනවශ්‍ය විදිහට කතාකරන්නෙ හෝ පෙන්වන්න යන්නෙ නෑ කියන එකයි. (නමුත් අපි එකිනෙකා මේ ගැන දරන අදහස් වෙනස් වුනාට කිසිම ප්‍රශ්ණයක් නෑ).
"අවම decency එකට ගැලපෙන සිංහල වචන ගැන තාම හිතා ගන්න බැරිවයි ඉන්නේ". හී හී... වචන ඕනෙ නෑ නේද, නිමල්. කමෙන්ට් එකකින් එන 'ශරීර භාශාව', vibe එක හරහා වුනත් ලේසියෙන්ම ඒක මැනගන්න පුලුවන්නෙ.
DeleteAno, Lotus දෙන්නටම ස්තුතියි.
Deleteමට කල්පනා වෙන්නේ මේකයි, එයා ගැන මෙච්චර කතා වෙන බව අපේ අම්ම දන්නවා නං- හෙණට සතුටු වෙනවාමයි!
I am sure she'd agree with me lol Maybe I have this empathy for her because I know what it takes to succeed and thrive in UK. Being selfish is not a bad thing- it can also be seen as single minded, purposeful, etc
Deleteits a pleasure to have this open discussion , you folks are brilliant
Deleteits a pleasure to have this open discussion , you folks are brilliant
DeleteAno, ඔයා පෙන්නුවේ අලුත් මානයක්.
Delete// I know what it takes to succeed and thrive in UK. Being selfish is not a bad thing//
නමුත් මට අනුව නම්, එංගලන්තයේදී නෙවෙයි කොහේදී වුණත්- ආත්මාර්ථකාමී වීම හොඳ දෙයක් නෙවෙයි.
අපි හැමෝම ආත්මාර්ථකාමීන් තමයි. ඒත් ඒකට සීමාවන්, ලිමිට්ස් තිබිය යුතුයි නේද?
ඇත්තෙන්ම මේ වගේ දේවල් ගැන එකිනෙකාගේ අදහස් දැනගැනීමට ලැබීම ලොකු වාසනාවක්. ඒ ගන ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි.
Deleteකියෙව්වා... පස්සේ ඇවිත් දිග කමෙන්ට් එකක් දාන්නම්....
ReplyDeleteඅනේ සාදු, ලලිත් මහත්තයෝ.
Deleteකියෙව්වා... පස්සේ ඇවිත් දිග කමෙන්ට් එකක් දාන්නම් x 2 👌🤭
ReplyDeleteඋඩින් ලලිත් මහතාට දුන්නු පිළිතුරමයි ඔයාටත් දෙන්නේ බකුසුතුමෝ.
Deleteඅනේ සාදු!
++++++++++++++
ReplyDelete++++++++++++++ස්තුතියි අජිත්!++++++++++++++
Deleteලස්ස තිත්තුනකට ගෙයක්.. දැං නං හිතන්නත් බෑ මාත්තියෝ. 🙃🙃🙃
ReplyDeleteඔය හයිකිං වැඩේ නං පට්ට.
(කූඩැල්ලො කන්නැත්තං ඉතරක් 😒)
ඔයි අහ එන්න තිබ්බ මටත්.දවසක ඒක මිස් වෙලා ගියා නෙව. ඩ්‍රැකා නං තරහත්.ඇති දැං 😓😓
මහේෂ්, ඒ පැතිවල දැන් කූඩැල්ලෝ නැතිව ඇති. මොකද දන්නවද- ඒ අතීත දැන් හොඳටම වියලියි වගේ.
Deleteදිගට ලියනව කිව්වට, මට හිතුන දේ නිදිම ලියල නෙව?
ReplyDelete//ඕනෑම කෙනෙක් තමන්ට ගෞරවය ලබා ගත යුත්තේ අනුන්ටත් ගරු කිරීම මඟින් කියලයි මම හිතන්නේ. තමන් ඉහළ යන තරමට නිහතමානී වෙනවා නම් තමයි අන්‍යයන්ගේ ගෞරවයට පාත්‍ර වෙන්නේ//
එතන ඇනෝ, මට හිතුන දේ ලියල තිබ්බා, නිදි ඉතුරු ටික පුරෝල තිබ්බා. ඉතිං මට මුකුත් ලියන්න ඉඩ තියල නැති නිසා මෙන්න මගෙන්:
හුම්..හුම්..හුම්..හුම්..හුම්..හුම්..හුම්..හුම්..
So Bassa got my drift eh ......lol
Delete@ Ano
Deleteආයෙ අහල. 😁
ඒත් එතන නිදි කියන දේත් ඇත්තක් තියනවා. නිදිලෑ මුලු පවුලම ගොඩ දාන්න අම්මා මූලික වුන බව ඇත්ත. ඈ සෑහෙන තරම් පරිත්‍යාගශීලී වෙලා තියන බවත් පේනවා. ඒත් ඒ එක්කම යටින් දිවෙන ආත්මාර්ථකාමී ගතියකුත් මට හැඟෙනවා. කල්පවතින, තෝරා-බේරාගත් දේට පමණක් පරිත්‍යාගශීලී වීම, අනෙකුත් නඩත්තු කටයුතු සහ එදිනෙදා වියදම් අනෙක් අයගේ කරේ ගැසීම මඟින් මට හිතුනේ ඒකයි. නිදිම කියන විදිහට, අම්මා සාල ඇණයක් වෙන තරමට, අනිත් අයගේ හැකියාව/ඇවසිකම් ගැන අසංවේදී වෙලා තියනවා. මේක ආත්මාර්ථකාමීත්වය වෙනුවෙන් පරිත්‍යාගශීලී වීමක්දෝ කියලත් මට හිතෙනවා.
බස්සා මහත්තයෝ, තවමත් මම හිතන දෙයක් මේ. මොකද අම්මගෙ සමහර හැසිරීම් තේරුම් ගන්න 'විශේෂ මනෝ විද්‍යාවක් උවමනයි වගේ. මේ ගැන post එකකදීම ලියන්නන්.
Deleteආන්න ජංසන්. ලියමු, ලියමු. ආර් වී ලීලාවතී අනිවාර්‍යයෙන්ම දිරිය කාන්තාවක්. ඈ විරල වගේම සංකීර්ණ චරිතයක්.
Deleteනිදිගෙ පංච තන්තරේ ලියන එකෙන්ම එක විදිහක භාව විරේචනයක් සිද්ධ වෙනවා වගෙයි මට හිතෙන්නේ, Ano මහත්තයෝ.
Deletefor sure, Nidi is not afflicted by Oedipus complex lol
ReplyDeleteඊඩිපස් සංකීර්ණයත්... ස්තුතියි Ano.
DeleteNot much love lost there lol I am joking of course
ReplyDeleteකොතන වුණත් චූටි හරි හාස්‍ය රසයකුත් තියෙනවා නං - මම කැමතියි. ඒ වගෙම කැමතියි විවිධත්වයත් එකතු වෙනවට.
Deleteලක්ෂ 33කට ගෙයක් හැදුවා කිව්වම දැංනං හීල්ලෙනවා 😢
ReplyDeleteඒ ගානෙන් ගෙයක් හැදුවේ 1990 විතරනේ ඉවාන්!
Deleteදැනුයි කියවන්ට වුනේ හිටං 😁
ReplyDelete//උත්තරීතර නායකත්වයකට පත් වුණත් ගැහැනියකගේ මව්වත්කම, ලාලිත්‍යය, සුකොමලබව නැති කර ගන්නේ නැතිව ඉන්න කාන්තාවකට ඇහැකියි නෙව// - රතන ශ්‍රී ලීයා අතුල ගැයූ 'සොඩින් නෙලුම් මල ගෙනියන' සිංදුවෙත් තියෙන්නෙත් ඔය සංතැසිය ගැන නෙ???
අතුල අධිකාරිගේ සිංදුව ආයෙමත් අහන්නන්කෝ, හිටං.
Delete