li Item

Saturday, April 6, 2024

ප්‍රෝඩාරාමය - දොළොස්වෙනි කොටස

“... මේ ශ්‍රෝඩාරාම සංඝාරාමය විවෘත කරන දවසටත් මේ පිරිස පවුල් පිටින්ම පැමිණෙන්න ඕනෑ! ලීලා මැතිනියත්. ඔබතුමියත් ලෝකෙ කොහේ හිටියත්- ඒ දවසට ඒ පින්කමට සහභාගී වෙන්නට එන්න ඕනි. අපි නිකංම නිකං නෙවෙයි එදාට ඔබතුමියව මෙහාට කැන්දගෙන එන්නේ... අලි-ඇතුන්, නැටුම්-ගැයුම්, කුඩ-කොඩි සේසත් සහිත බොහොම ගරු ගාම්භීර පෙරහරකින්...”

‘අලි-ඇතුන්, නැටුම්-ගැයුම්, කුඩ-කොඩි සේසත් සහිත බොහොම ගරු ගාම්භීර පෙරහරකින්’ කියන වචන ටික ඇහුණා විතරයි, අපේ අම්මට ගිය හිනාව! එයාගෙ කට කණේ!!

අපේ අම්ම හීනෙනුත් දකින්න ඇති එහෙම පෙරහරක උජාරුවෙන් යන හැටි!

මං හිතන්නේ ඊට පස්සේ අපේ අම්ම හීනෙනුත් දකින්න ඇති එහෙම පෙරහරක උජාරුවෙන් යන හැටි.

අපේ බඩා මල්ලා දීපාල් කසාද බඳින වෙලාවේ එයාගේ මනාලිය; පීයාට උවමනා වුණේ පෝරුව මුහුදු වෙරළේ ඉදි කරවාගන්නයි... අපි සේරම සරොම්- බැනියම්, චීත්ත- හැට්ට ඇඳගෙන මඟුලට සහභාගී වෙන්නයි. ඒ වගේම Piaට ඕනෑ වුණා මංගල ඇඳුමෙන් සැරසිලා අලියෙකුගේ පිටේ නැඟිලා, උඩරට නැට්ටුවන් හා සක්- බෙර- නළා වාදකයන් එක්ක පෝරුව ළඟට එනකල් එන්න. ඒ වෙලාවේ ‘කළුතර ඉඳලා අලියාව කොග්ගල බීච් හෝටලය’ට ගෙනියන වැඩේට අරුණ ඉන්ද්‍රසිංහ හිතවතා දායක වුණු හැටි මං මීට කලින් ඔයාලට කිව්වා.)

මට දැනුණු විදිහට නං අපේ අම්ම හිතුවේ, එතැනදී එයා ටිකක් second වුණා කියල වෙන්නැති. (මං තේරුම් ගනිපු හැටි වැරදි වෙන්නත් පුළුවන්, හොඳේ.)
ඒත් හැම දෙයක් ගැනම පුරසාරම් කියන අම්මා, කොග්ගල වෙරළේ තිබුණු දීපාල්ගේ මංගල්‍යෝත්සවය ගැන කා එක්කවත් මොකවත්ම කියනවා මට නං ඇහිලම නෑ! ඒකයි මං අරහෙම හිතුවේ.

“ඉතිං හාමුදුරුවනේ, එහෙම පෙරහරක් පවත්වන්න සෑහෙන වියදමක් එහෙමත් දරන්න වෙනවනේ...”
විනීතා නෝනාත් එතන්ට ඇවිදින්- අපට පිටිපස්සෙන්ම වාඩිවෙලා හිටිය බව එතකොටයි මං දැක්කේ. ආයෙමත් ආලවකයා මගේ සිරසට නඟිනවද මංදා...

‘හිටපංකෝ... උඹව අල්ල ගන්නං පස්සේ...’ මගේ ඊළඟ හිතිවිල්ල පහළ වෙන අතරේ නන්ද හාමුදුරුවන්ගේ කටහඬ පැතිරුණා.

“අද කාලේ එහෙම පෙරහරක් කරන්න ලේසියෙන් බෑ, විනීතා නෝනා. ලක්ෂ දෙක තුනක්වත් යයි... ඒත් මේ නන්ද හාමුදුරුවන්ට ඔය ඉච්චිකං පුරුදු නෑ නෙව. ඊටත්- මේ ලීලා ශ්‍රෝඩර් මැතිනියට ගරු සම්මාන පුදන වැඩේ තුට්ටු දෙකේ වැඩක් විදිහට කරල පුළුවන්ද?
මම නිකමට හොයල බලලා තියෙන්නේ...
මේ ආරාමයට එන දොරටුව ළඟ ලොකු ගේට්ටුවක් දාන්නයි- කැටයම් කරපු අකුරුවලින් ශ්‍රෝඩාරාමය කියලා නම ගහන්නයි කොච්චර වියදමක් යනවද කියලා... බර ගාණක් යනවා උපාසකම්මේ!
බැරි නං නො..ක..ර නිකං ඉන්නවා! බා..ල විදිහට නං මම වැඩ කරන්නෑ!”

ඔයාලා හිතුවේ, අපේ අම්මා ඒ වියදම් දරන්න ලැහැස්ති වෙන්න ඇති කියලනේ.

ඒකම නේන්නං වුණෙත්. “හාමුදුරුවනේ, ඒ වැඩේ අතාරින්න ඕනි නෑ. ඔබ වහන්සේ ඒ වැඩ දෙකටම යන වියදම ගණන් බලන්නකො. බලලා මට කෝල් එකක් දෙන්නකො. මම ඒ වියදම බාර ගන්නං!”

අපේ රටේ අහිංසක රාජ්‍ය අමාත්‍යවරයෙකුත් නොදන්නාකම නිසා- කැප නැති ගෞරවයක් ලබන්නට ගිහින්...

“ඔන්න බලන්න... හොඳ වැඩවලට දෙවි දේවතාවුන්නාන්සේලත් ආශීර්වාද කරනවා. මට හිතෙන්නේ ලීලා මැතිනියනි- දැන්මම මේ භූමියට සම්දිටු දෙවි- දේවතාවුන් වහන්සෙලා රාශියක් අධිගෘහිතව වැඩ වසන්න ඇවිදින් වගෙයි. ඒ නිසයි ඔබතුමියගේ හිත මේ තරම්ම පිනට නැමෙන්නේ...”

හුඟක් වෙලාවට- ඇඳගන්නම බලාගෙන ඉන්න ගොඩක් දෙනා ඇඳගන්නවා, ඔහොම කතන්දර ඇහිච්ච ගමන්...
කෙනෙකු අගතියට යන ‘ඡන්ද- දෝෂ- භය- මෝහ කියන මාර්ග සතර’ පිළිබඳව දන්නා අය වුණත්, එහෙම වෙලාවට අසරණ වෙනවා. එහෙම දේවල් එදත් සිද්ද වුණා; අදත් සිද්ද වෙනවා; හෙටත් සිද්ද වේවි.

අපේ රටේ අහිංසක රාජ්‍ය අමාත්‍යවරයෙකුත් නොදන්නාකම නිසා- කැප නැති ගෞරවයක් ලබන්නට ගිහින් කෙළවරක් නැතිව- අවමානාත්මක කතන්දර අහගත්තෙ පහුගිය දවස්වලයි. උසස් පෙළින් උඩට ඉගෙන නොගත් එතුමා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයකට සහභාගී වෙන්නට ගියාම කවුරුන්දෝ අහිංසක එතුමාට ‘උපාධි ලෝගුව’ක් අන්දවලා!

ඒ ඇන්දවිල්ල එක්ක බැලුවම, නන්ද හාමුදුරුවෝ ඇන්දවීමේ කප්පිත්තෙක්. උන්නාන්සේ අපේ අම්මව විතරක් නෙවෙයි අන්දවන්න හැදුවේ. සම්දිටු දෙවිවරුන්වත්... ඇයි මාව?

ඒත් සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන්ටවත් නසරානි මගේ හිත නම්මවන්නට බැරි හැටි.
ඒ වෙලාවේ මගේ ඉවසිල්ල හොඳටෝම නැති වෙමින් තිබ්බේ. ඇත්තමයි- නන්ද හාමුදුරුවන්ටත් මගේ හිත පෙනුණා වගෙයි!

“නිමල් මහත්තයා, මට ශ්‍රෝඩර් මැතිනිය කිව්වා තමුන්නාන්සේ හොඳ සිංහල දැනුමැත්තෙක් බව. පවුලේ දරුවන්ගෙන් බාල සහෝදර සහෝදරියන් හතර- පස් දෙනාටම නම් දමල තියෙන්නෙත් ඔබතුමාමනෙ.
ඒ නිසයි අහන්න බලාගෙන හිටියේ, නිමල් මහත්තය හිතනවද ශ්‍රෝඩාරාමය ගණ අනුව හෙම හොඳ නමක් කියල?” නන්ද උන්නාන්සේ අහපි.

ඇත්තම කියනවා නං මට තියෙන්නේ එක විදිහක පඩික්කං කටක්. හැබැයි, බොහොමයක් වෙලාවට ඒ කට වටේට මමම වැටක් බැඳගෙනයි ඉන්නේ. ‘වාග් සංයමය’ කියන්නෙත් හරි වැදගත් දෙයක් නෙව. කියවෙච්ච දෙයක් ආයෙමත් ඇදලා ගැනිල්ල බොරු කියන විත්තියත් මං වහන්සේ හොඳටම දන්නවා.
තජක වැඩ සටහන්වල දේශකයෙකු විදිහට
පුහුණුව ලැබීමෙන් වෙච්චි වාසිය තමයි- ඕනිම දෙයක්; ඕනිම දෙයක් කිව්වෙ කුණුහරුපයක් වුණත් සභ්‍ය විදිහට කියන්නට පුළුවන් බව ඉගෙන ගන්නට ලැබීම. ඒ වගේමයි- යමක් නොකියා කියන හැටිත්...

එහෙම කෙරිච්ච හොඳම අවස්ථාවන්වලින් දෙකක් මගේ හිතේ රැඳිලා තියෙනවා.

1977 මහ මැතිවරණයෙන් මහරගම ආසනයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරලා ජයගත් ප්‍රේමරත්න ගුණසේකර මහත්තයාට ‘පොල් කටු මාලයක් දානවා’ කියල ප්‍රසිද්ධියේ කීම පළමුවැන්නයි.
(අපි දෙන්නා නෑදෑයන් වෙලා දෙමස්සිනෝ වුණේ අපේ චූටි නංගි;
දීපානිගේ විවාහයෙන් පස්සේ.)

ධනංජය රත්නායක කියල කෙනෙකුගේ නිර්මාණයක් fb එකෙන් දැක්කා, ඊයේ. 

දෙවෙනි ප්‍රකාශය කෙරුණේ නන්ද හාමුදුරුවන් වහන්සේටයි. උන්නාන්සේ ‘ශ්‍රෝඩාරාමය හොඳ නමක්ද?’ කියල අහපු වෙලාවේ.

“අනේ හාමුදුරුවනේ, මට නං නමක් කියන්නේ මොකක් හරි දෙයක්- එහෙමත් නැත්තං කෙනෙක් හඳුන්නන දෙයක් විතරයි. සීලවතී කිව්ව පළියට සිල් ඇත්තියක් වෙනවයැ, නැහැනෙ. ධනපාල කියල නම තිබ්බ පළියට පෝසතෙක් වෙන්නෙත් නැහැනෙ. කරන දෙයින් තමයි නියම නම වැටෙන්නේ.
මේ ආරාමෙටත් ශ්‍රෝඩාරාමය නෙවෙයි ප්‍රෝඩාරාමය කියල නම තිබ්බත් මට නං කමක් නෑ. මෙතැන කෙරෙන්නට යන කටයුතුයි හාමුදුරුවනේ, මට නං වැදගත්!”

ධනංජය රත්නායක කියල කෙනෙකුගේ නිර්මාණයක් fb එකෙන් දැක්කා, ඊයේ.

සිංහයයි කොටියයි හරි අහිංසකයි. ගවයයි මුවයි ඉතා භයානකයි. තණකොළ ගහ කීවේය.
යම් දෙයක් කවුරුන් විසින් කියා ඇති දැයි නිගමනය වීමෙන් පසු සත්‍ය බව පැහැදිලිවේ ’

කියලයි ඒ නිර්මාණයේ තිබ්බේ.

ඒ අදහස කොච්චර ඇත්තක්ද? එහෙම වුණත් අපට ඒ ගැන කල්පනා වෙන්නෙ හරිම කලාතුරකින් නේද...

මාත් මගේ ඇහෙන් බලලා- මගේ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් වටහා ගත්තු විදිහට ශ්‍රෝඩාරාම project එක ගැනයි, නන්ද හාමුදුරුවෝ ගැනයි එකේක දේවල් කිව්වා. ඒත්... ඒත්, අපේ මල්ලිකා වගෙ උපාසිකාවක් මං ලියපු දේවල් කියෙව්වොත් හෙම හොඳටම හූල්ලලා ‘අපෝ, පව්කාරයා!’ කියල නැහෙනවා හොඳටම ෂුවර්!
‘අයියේ, ඔයාට ඊළඟට ලියන්න තියෙන දේවල්වල විස්තර ගොඩක් හම්බ වෙන්නැත්තෙත් ඒ පව් පල දුන්නු හින්දයි... දිට්ඨ ධම්ම වේදනීය කර්මේ...’ මල්ලිකා හිටියා නම් කියනු ඇති.

කරුමයක් පටිසන් දුන්නාය කියා මට නං හිතෙන්නේ නැත. යමක් ගැන උනන්දුවක් නැති නං විස්තර හොයමින් කාලය කා දමන්නේ මොකාද? ඒ දවස්වල අප නොසෙවූ විස්තර අවුරුදු විසි ගණනකට පස්සේ හොයන්නට ලෙහෙසි නැත.
(මේ විස්තර මට වැදගත් වුණේත් එව්වා ‘නිදිගෙ පංච තන්තරේ’ blog අඩවියට ලියන්නට පටන් ගත් හින්දනේ...)
මේ සේරම විස්තර දැනසිටි හොඳම තොරතුරු මූලාශ්‍රය; අපේ අම්මා දැන් සදහටම නිහඬ වෙලාය.
ඊළඟ තොරතුරු මූලාශ්‍රය අපේ සුන්නාය!!

එහෙත්, ශ්‍රෝඩාරාමය පිළිබඳව ඊළඟ අවුරුදු කීපයේ වැඩි විස්තර අපේ සුනිල්වත් දන්නේ නැත.

“අයියේ, කට රැකගෙන ඉන්න දන්නේ නෑ වගෙ පෙනුණට මොකෝ, අපේ අම්මත් හොඳට දන්නවා ඕනි නං කෙළ බිඳක් නොහෙළා නිස්සද්දව ඉන්නත්. ඔය හොරණ ගෙදර පන්සලක් කරන වැඩේ ටික ටික ඇදෙන්න ගත්තනෙ. නන්ද හාමුදුරුවන්ගෙ පන්සලේම තව හාමුදුරුවරු වගයක් ඒ ගෙදරට බලෙන් ඇවිත්... ඒකටත් නඩුවක් වැටිලද කොහෙද... අන්තිමට බැරිම තැන නන්ද හාමුදුරුවො අපේ හොරණ ගෙදර අත ඇරල ගියාලු- ඕනි කෙනෙක් ඕනි දෙයක් කර ගනිල්ලා කියලා... හැබැයි- ඔච්චර දේවල් වෙද්දීත් අම්ම අපිටත් හැංගුවා!”

ඒ කතන්දරේ එයින් පස්සේ කොටසෙන් බාගයකට විතර නම්...

ඒ වසැංගීමේ සාර්ථකත්වය කොච්චරද කියනවා නං- ජෝසප් මහත්තයා සීන් එකට enter වෙනතුරු ‘කොටස’ තිබෙන්නේ සම්පූර්ණ අන්ධකාරයේය!

“අදටවත් මම දන්නෙ නෑ අයියේ, ඔය ජෝසප් මහත්තයා නන්ද හාමුදුරුවන්ගේ කවුද කියලා. කවුරුවත් වෙන්ඩත් බෑ වගෙයි. මොකද ජෝසප් මහත්තයමනේ අපේ අම්මට උදව් කළේ අනිත් නඩුව කියන්න.” සුනිල් දන්නා හරියය ඒ.
ඒ කතන්දරේ එයින් පස්සේ කොටසෙන් බාගයකට නම් ටිකාාාාාක් විතර එළිය වැටී තිබෙයි.

“රංජි... ඔන්න ඔයාට වුණත් වයසට ගියාම නැවතිලා ඉන්න තැනක් තියෙනවා. මිස්ටර් ජෝසප්ලා හොරණ ගෙදර වැඩිහිටි නිවාසයක් කරන්නයි යන්නේ...
ඒකෙ එක කාමරයක් දැන්මම මටත් වෙන් කරලයි තියෙන්නේ.”
“ඇයි අම්මේ ශ්‍රෝඩාරාමේ? ඒ වැඩේට මොකද වුණේ?” අන්දුන් කුන්දුන් වෙලා මං ඇහුවත්, අම්ම දුන්නේ ‘යන්නේ කොහෙද- මල්ලේ පොල්’ ජාතියේ උත්තරයක්.

“පන්සලකට වැඩියෙන් පිං Elderly Home එකකින් කෙරෙනවා, රංජි.”
ඊට පස්සේ වෙලාවක අපේ අම්මා ඒ තැටියම සුනිල්ලා ඉදිරියේත් ගහලා.

බිලී කටුවට හාල්මැස්සකු ඇමට අමුණලා තඩි මෝරෙක් බා ගන්නට බැරිය. ජෝසප් මහත්තයා අනෙක් කාටත් වැඩිය හොඳින් ඒ විත්තිය දැනගෙන හිටියා වගෙය.
(හිතාදර රසික- රසිකාවියනි,
නැවතත් අවධාරණයෙන් කිව යුතුය! දැන් කියන්නට යන තොරතුරු අනුසාරයෙනි; මා ජෝසප් මහත්තයා ගැන නිගමනවලට බැසගෙන ඇත්තේ. මට කිසි විටෙක ඔහු මුණ ගැසී නැත. එබැවින්, සමහර විටෙක මගේ නිගමන සම්පූර්ණයෙන්ම වැරදි වෙන්නටත් ඉඩ තිබේ. ජෝසප් මහත්තයා ‘නිස්සරණාධ්‍යාසයෙන් කටයතු කරන්නා වූ බෝධිසත්ත්ව ගුණෝපේත උත්තමයෙකු’ වීමටත් ඉඩ තිබෙයි!)  

ඒ ආසන්න අවුරුදු කිහිපයේ අපේ අම්මා අවුරුද්දට දෙතුන් වතාවක් ලංකාවට පැමිණෙන්නට පටන් ගත්තාය.

“මොකද අම්මේ මේ? ඔහොම ළඟ ළඟ යන්න එන්න ලොකු සල්ලියක් යනව ඇතිනෙ... ගිය සැරේ අම්ම ඇවිත් ගිහින් තවම මාස තුනක් වුණෙත් නැහැ නේද?””
“සල්ලි යන්නෙ මගෙන් නෙවෙයිනේ, මානෙල්! මිස්ටර් ජෝසප් එයාර් ටිකට්ස් අරං දෙනවා. සමහර වෙලාවට එයාලත් මාත් එක්කම එංගලන්තේ ඉඳල ලංකාවට එනවා...”

ඒ ‘අදිසි මිනිසා’ ශ්‍රී ලාංකිකයෙකු විය හැකි බවත්, Englandවලම නිවසන බවත් මා දැනගත්තේ එවිටය.

“ඒ මනුස්සයට නිකං ඉන්න බැරුවටද, ඔහොම තිස්සෙම අම්මව ලංකාවට එවන්නේ?”
“කවුද තිස්සෙම එන්නේ? නඩුව තියෙන දවස අල්ලලයි අපි එන්නේ. එදාට මමත් උසාවියේ පෙනී ඉන්න ඕනිනේ. ජෝසප් මහත්තයලට වැඩිහිටි නිවාසේ වැඩ ටික කර ගන්න නං ඉස්සෙල්ලම හොරණ ගෙදර අයිතිය නිරවුල් වෙලා තියෙන්න ඕනිලුනේ.”

අපේ අම්මලත් ඒ නඩුවේ එක පාර්ශවයක ඉන්නවා. ඒත් අම්මලා ඉන්නේ පැමිණිල්ල පැත්තෙද- විත්තිය පැත්තෙද... 

‘ම්.. ම්.. ම්... ඒකයි මේ! එහෙනං හොරණ ඉඩමේ අයිතිය ගැන තව කව්රු හරි එක්ක නඩුවක් තියෙනවා. අපේ අම්මලත් ඒ නඩුවේ එක පාර්ශ්වයක ඉන්නවා. ඒත් අම්මලා ඉන්නේ පැමිණිල්ල පැත්තෙද- විත්තිය පැත්තෙද...’

අපේ ගෙදරදීවත්, සුනිල්ලාගේ ගෙදරදීවත්, මානෙල්ලාගේ ගෙදරදීවත් අපේ අම්මාගෙන් ඒ විස්තර නම් කියවිලාම නැත!

“දන්නවද රංජි? මේ සැරේ මම ලංකාවේ ඉන්නකල් මට කෑම ගෙනත් දෙන්න පැවරුවාලු, ජෝසප් මහත්තයගේ පිළියන්දල කිට්ටුව ඉන්න එයාගේ නෑදෑයෙකුට...” ඒ වතාවේ ලංකාවට පය ගහපු පළමුවෙනි දවසේම අම්මා මයෙත්තෙක්ක කිව්වෙ, හරි ආඩම්බරෙන්. “... එයාල මටමයි කියලා වෙනමම ෆ්‍රිජ් එකක් ගෙනැත් තියන්නත් හදනවා- සුනිල්ල ගෙදරින්.
ජෝසප් මහත්තය කියනවා, මේ මාසෙටම මට ඕනි දේවල් ගෙනත් ඒකෙ පුරවන්නං කියලත්...”

“චී... චී.. චී! ඒ මොන ලජ්ජ නැති වැඩක්ද අම්මේ?
ජෝසප් කියන්නේ බූරුවෙක්ද? සුනිල්ලා, මානෙල්ලා අම්ම එයාලගෙ ගෙවල්වල ඉන්න තාක් කල් කන්න බොන්න මොකුත් අඩුවක් කරල තියෙනවද... මම සුනිල් නං එහෙම ඒ මිනිස්සුන්ට ආයෙ ගෙදර පස් පාගන්න ඉඩ දෙන්නෙ නෑ, ඔව්ව කරන්න ගියොත්.
එයාලටත් ආත්ම ගෞරවයක් කියල දෙයක් තියෙනවනෙ අම්මේ!”

“ඔව් අයියේ, අපිට ලජ්ජ කරන්නේ අපේම අම්මා වෙච්චි එකයි අපේ කරුමේ. කිව්වටත් ගණන් ගන්නවයැ. ‘ඔයාලට ඉතිං පේන්නෙම මගේ වැරදි’ කියල අඬන්න ගන්නවා- හරි වැරැද්දක් කියන්න ගියොත්... එහෙමනෙ අම්මා බැරිම තැන කරන්නේ!
හැබැයි, මගෙත් රතු කට්ට පැනලා තිබ්බේ- කන බොන දේවල් ගෙනත් දාන්න හදපු වැඩේට. අර මිනිස්සුත් අහිංසකයෝ වගයක්... ජෝසප් මහත්තය උන්ට සල්ලි දෙන්න ඇති. ඒ වුණත් මං  බලාගෙන හිටියේ- වෙලාවක හොඳවයින් දෙකක් කියන්න.”

“කව්ද සුනිල් ඒ මිනිස්සු?”
“කව්ද අයියේ දන්නෙ... ත්‍රී වීල් එකක එන්නේ. ගෑනියි මිනිහයි... අම්මම තමයි ඔය කූටාලි සේරම එක්ක ගනුදෙනු කරන්නේ, අපිට නෑහෙන්න.”

ලස්සනම දෙය කියන්නේ සුනිලුත් මාත් ඔය කතාබහ කරද්දී, ඒවා සේරම කණට වැටෙන මානයේ දුරකින් අපේ අම්මාත් වාඩිවී හිටි එකය!
හැබැයි, එහෙම වෙලාවට නෑහුණා වගෙ ඉන්නවා මිස- අපේ මෑණියන්දෑ නෙවෙයි කටක් අරින්නේ!

එහෙම නමුදු, අම්මා ඒ කතා සියල්ලම ‘අදාළ අනෙක් පාර්ශ්වයේ ඇත්තන් එක්කලා’ කියන්නට ඇතුවා නිසැකය. ඔවුන් ශීතකරණය නොගෙනාවේ ඒ නිසා වෙන්නැති.
“සැරෙන් සැරේ ඒ මිනිස්සු කෑම නං හදාගෙන ආවා... ගෙදරට ආව මිනිහෙකුට බණින්න පුළුවනිද අයියේ. ඒ හින්දයි මං නිස්සද්දව හිටියේ.” මගේ විමර්ශනය නිසාම, සිය අතීත මතක ආවර්ජනය කරමින් කියන්නේ අපේ සුනිල්ය.

ඒ වතාවේ අම්මා බදුලු සවාරිය ගියේ ‘පිං ත්‍රී වීල් එකේ’ය!

“ඒත් අයියේ උනුත් මහ ඇට මෝඩයෝ ටිකක්...
ඔන්න ඊට පස්සේ දවසක ඒ මිනිස්සු එනකොට අම්මා හිටියේ උණ ගතියෙන්... අම්මත් ඒ ජෝඩුව එක්ක හුටු හුටු ගගා හිටියා- එකෙක් ජෝසප් මහත්තයටද කොහෙද ෆෝන් කරනවත් ඇහුණා... මෙන්න බො..ලේ, උන් ලැහැස්ති වෙනවා අම්මව බෙහෙත් ගන්න දොස්තර කෙනෙක් ගාවට එක්කං යන්න...” අපේ සුනිල් තවමත් ඒ සිදුවීම ගැන තරහෙන් පිපිරෙයි.

“එච්චරටම ඉවසන්න මං රහත් වෙලා නැහැනෙ අයියේ. මට වැඩියත්ම තරහ ගියේ එතකොටත් අපි අම්මට බෙහෙත් ගෙනල්ල තිබ්බ නිසා. ඒ මදිවට, මල්ලිකා උණ හෙම්බිරිස්සාවට දෙන කසාය මුලකුත් තම්බලා දීල හිටිය නිසා.”

“ඉතිං ඔයා ඒ මිනිස්සුන්ට බැන්නද සුනිල්?”
“බැන්නේ නෑ! ඒත්... මං එයාලට කිව්වා- ‘මේ ඉන්නෙ අපේ අම්මා... මිනිස්සු වුණාම ගෙදරක හදන බල්ලෙක් බළලෙක් ලෙඩ වුණත් හොයල බලනවා. ඉතිං, අපේ අම්මට අසනීප වුණාම හොයල බලන්නැතුව ඉන්න තරං සක්කිලියොද අපි?
අද උදේමයි අපි අම්මට බෙහෙත් ගෙනාවේ. එහෙමත් තියෙද්දී ආයෙමත් බෙහෙත් ගෙනෙන්න හදන්නේ බොන්නද නැත්තං නාන්නද’ කියල.

-එතකොටයි එයාලගෙන් කියැවුණේ බෙහෙත් ගෙනාපු වගක් අම්මා එයාලාට නොකිව්ව බව!

-ඔව්, ඔව්. එහෙම දේවල් කියාගන්න අපේ අම්මට බෑනෙ. ඔහොම වෙලාවට එයාගේ කටේ පිට්ටු හිරවෙලානෙ තියෙන්නේ...”
අනේ පව්! එදා තමන්ගේ වහලය යටදී අමුත්තන්ට එහෙම කී එක ගැන සුනිල් තවමත් අසතුටෙනි, ඉන්නේ.

මෙහෙම දේවල් දැනගන්නා- දැනගන්නා තරමට මට තේරෙන්නේ- අපේ අම්මා මැරෙන තුරුමත් අප ඇයව හරිහැටි වටහා නොගත් බවයි. ඒක හරි නම් පිටස්තර අය ගැන කවර කතාද? ජෝසප් මහත්තයාටත් වෙන්නට ඇත්තේ ඒ සංතෑසියමය! අම්මාගේ ගති-සොබාව නොදන්නකම නිසාම ඒ මනුස්සයා වතාවක් කොටි වලිගයකිනුත් අල්ලා ගත්තේය.

“රංජි... හෙටානිද්දා දවසක මගෙත්තෙක්ක බදුලු යමුද?”
අපේ අම්මාත් එක්ක දිවිය ලෝකයට වුණත් යන්නට පසුබාන මං ඒ ප්‍රශ්නයට උත්තර දෙන්නට ගියේ නැත. අම්මා ලංකාවට එන හැම වතාවකම බදුල්ලටත් යයි; යන්නට අපටත් අඬගහයි. බොහොමයක් වෙලාවට ඒකට බිලි වෙන්නට වෙන්නේ අපේ අනිල්ටය. නැත්තං සුනිල්ගේ දෙවෙනි පුතු ජයශංඛටය.

“... මේ සැරේ පාරෙ බස් එකක නෙවෙයි යන්නේ... සෝම නංගිලා ගෙදරට ගිහිං, එයාලගෙ දුවලගේ ගෙවල්වලටත් යන්නයි හදන්නේ. ඒ කෙල්ලෝ ටිකත් හරි කැමති වෙයි, රංජි- ඔයාත් එනවට.”
“ඒ මොකද මේ සැරේ අම්මට ඔය ගෙවල් ඔක්කොටම යන්න හිතුණේ?”
“මේ මාසෙ ඕනෙම වෙලාවක, මට ඕනි දිහාවක යන්න අරයලගේ ත්‍රී වීල් එක එවන්නං කියල මිස්ටර් ජෝසප් කිව්වා. තෙල් ගහන්නවත් ඕන්නෑලු!”

ඉතිං ත්‍රී වීලරේ බදුලු යන්න?”
“මොකද බැරි...”

තැලෙන යකඩය දැක්කාමලු, ආචාරියා උඩ පැන පැන තලන්නේ!
ඒ වතාවේ අම්මා ‘බදුලු සවාරිය’ ගියේ ‘පිං ත්‍රී වීල් එකේ’ය. අම්මාගේ පරිවාරෙට යන්න සිද්ද වුණේ මානෙල් නංගිටය.

අම්මෝ! දෙදාහටත් කිට්ටුයි... ඔව්, අද post එකත් වචන දෙදාහට ඔන්න-මෙන්න වෙනකල් ලියැවිලා. ඉතිං අදට ඇති නේද? හෙනං... ප්‍රෝඩාරාමය 13 පෝස්ටුවෙන් ආයෙ හමුවෙමු!

19 comments:

  1. ඔය ප්‍රෝඩාරාමය පැවරුවේ මහාභාරකාර දෙපාර්තමේන්තුවට නොවෙයි ද? කාත් එක්කද අම්මයි ජෝසප් මහත්තයායි නඩු කිව්වේ?

    ReplyDelete
    Replies
    1. ඒවා එකක්වත් ගැන හරිම විස්තර අපි දන්නෙත් නෑ අසංග මහත්තයෝ.

      Delete
  2. ප්‍රෝඩාරාමේ අර මහාවිසාල අලංකාර ගේට්ටුව අම්මාද හදලා දුන්නේ?

    ReplyDelete
    Replies
    1. මට දැනුණු විදිහට නං දැන් ඉන්න අයිතිකාරයන් තමයි ගේට්ටුව හදවල තියෙන්නේ.

      Delete
  3. පන්සල් වල වෙන දේවල් ඇහුවම වැඩිහිටි නිවාසයක් හදන එක දැන් සමාජයට කරන හොද වැඩක් කියල මං හිතන්නේ....

    ReplyDelete
    Replies
    1. හැබැයි සමහර වැඩිහිටි නිවාසත් අපායවල්, ලලිත්. ඉතා මෑත දවසක දැනගත්තා වයසක අම්මල තුන්දෙනේක්වම එකම තුවායකින් පිස දාපු සිදුවීමක්. ඒ නිවාසයේ ගොඩක් අම්මලාගේ ඔළුවේ උකුණෝ.

      Delete
  4. //හුඟක් වෙලාවට- ඇඳගන්නම බලාගෙන ඉන්න ගොඩක් දෙනා ඇඳගන්නවා// - මේ ජන්ද උන්හුම දැනීයන කාලෙ තව හොඳට ඕක වෙනෝ බලාගතැකි

    ReplyDelete
    Replies
    1. ඇමටි කෙනටක් ඩිංගිත්තකට ඔය ලෞගුවක් දාගත්තය කියල අපි කෑමොර දෙන්න ඕනය. රට වෙනුවෙනු සේවෙ කරන හන්ද විභාග වලට ඉඳගන්ට වෙලාවක නැතුව ඇති 🤭

      Delete
    2. කේන්ති ගන්ට කාරී නෑ ආයුබොවන්, ලෝගුව ඇන්දෙව්වාම මොකෝ... අමුඩෙ ගැස්සුවා නං...

      Delete
  5. මට තවමත් තේරුමක් නැහැ ඔය කියන තැන ගැන. හැබැයි කාටහරි අහුවෙලා තියනවා වගේ අම්මා. අපි ඔක්කොමට වරින් වර වෙන දේ තමා 😀

    ReplyDelete
    Replies
    1. අජිත්, හරියටම තැන ගැන හොයා ගත්තෑකි ඔයා ලංකාවට ආව වෙලාවක ගියොත්, තව විස්තර තියෙනවනේ ලියන්න...

      Delete
  6. ඕපනිං පාටි එකටත් ගේ දීපු මනුස්සයගෙංම ගාන කඩාගෙන. අන්න බිස්නස්. හැක්..

    ReplyDelete
    Replies
    1. බිස්නස් එකක් වුණාම ඒ පිළිවෙලටම තියෙන්න එපයි ප්‍රසන්න!

      Delete
  7. ලන්දේසි ඉන්දීය වෙළඳ සමාගමෙහි නිලධාරියෙකු සේම ලංකාවේ ලන්දේසි පාලනයෙහි නිලධාරියෙකු යන් ශ්‍රෑඩර් වැනි චරිතයක් නිදර්ශනය සේ ගත හැකිය. ජර්මන් ජාතිකයෙකු වූ ඔහු ආසියාවේදී ලන්දේසි සේවය කරමින් ලංකාවේදී ඉහළ නිලධාරියෙකුද ආණ්ඩාකාරයද බවට පත් වන නමුත් ඔහුගේ පෞද්ගලික ජීවිතයේදී නොයෙක් ඛේදවාචකවලට මුහුණ දෙයි.
    https://amarakeerthi.blogspot.com/2024/04/blog-post.html

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ.
      ලින්ක් එකට ගියා- කියෙව්වා- කමෙන්ටුවකුත් ලියලයි ආවේ. රසවත් ලිපියක්. ඒ වගේම හරවත්.....
      ඒ ලිපිය කියවද්දී මට මෙහෙමත් හිතුණා.
      අපේ ඩැඩා එංගලන්තෙ හිටියත් ජර්මන් සම්භවයක් සහිත කෙනෙක් වගෙයි නේද?

      Delete
    2. අම්මගේ ඔය වැඩ ඩැඩා දැනගෙන හිටියද? මම කියන්නේ ඔය ගෙදර ප්‍රශ්නෙ.

      Delete
    3. හොරණ ගෙදර ගැන ඩැඩා දැනගෙන හිටියේ නැති බවයි මගේ දැනීම, කුමාර මහත්තයෝ. ඒ කිට්ටුවම විය යුතුයි ඩැඩා නැති වුණේත්. (මගේ ළඟ දින වකවනු සටහනක් නැහැ ඒ ගැන.)

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්