li Item

Monday, April 22, 2024

ප්‍රෝඩාරාමය - පහළොස්වෙනි කොටස

“හරි! එහෙම කරන්නං. තරහ නැතිව අපිට ඒ මහත්තයගෙ ටෙලිෆෝන් නොම්මරේ දෙනවද?”

“නො..ම්ම..රේ... චුට්ටක් ඉන්න සර්. මම ඒ සර්ට කියල ඉන්නං...” ඒ මනුස්සයා ජංගමයාගේ අංක ඔබද්දී මට හිතුණේ ‘වැඩේ අනාථයි!’ කියලය.

XXXX සර්... මහරගම ඉඳලා මහත්තුරු වගයක් ඇවිත් ඉන්නවා. මේ ගෙදර ඉස්සර අයිති වෙලා තිබ්බ නෝනගේ පුතාලු. ජෝසප් කියල මහත්තයෙක් ගැනත් අහනවා... ආ... දෙන්නං දෙන්නං සර්. ෆෝන් එක ඒ මහත්තයට දෙන්නං.” ඒ මනුස්සයා ටෙලිෆෝනය මගේ අත දුන්නේය...

හැබැයි එහෙම කෙරෙන්නෙත් ‘බෞද්ධකම’ට මූලිකත්වය දීලා වගෙය. එයට හොඳම සාක්ෂියක්, අපේ නමිනං උන්නැහේ අරගත් foto අතර තිබෙයි. සමාධි පිළිමයක්!

“... අපි ඉන්නේ මහරගම. මේ කිට්ටුවට ආවා. මේ ඉඩම මුලින්ම අයිති වෙලා තිබ්බේ අපේ අම්මට...” මගේ විස්තරයට උනන්දුවෙන් කන් දෙමින් සිටි xxxx මහතාත් එතකොටය, මුව’ගුලු ඇරියේ.

“මමත් ඉන්නේ මහරගමට කිට්ටුව... මිස්ටර් නිමල්. අපේ තාත්තා කියන විදිහට නං ඔය ඉඩමේ first owner එංගලන්තෙ හවුන්ස්ලෝවල ඉන්න lady කෙනෙක්....”
“ඒ කිව්වෙ, ඔයා මිස්ටර් ජෝසප්ගේ පුතෙක්! අපේ අම්මා තමයි Englandවල Hounslow ගෙදර හිටියේ.”

Xxxx මහතාට; ජෝසප් මහතාගේ පුතුට අනුව ‘මේ කෙරෙමින් තියෙන්නේ හොරණ ගෙදර ‘වැඩිහිටි නිවාසයක්’ බවට පරිවර්තනය කෙරෙන කටයුතු’යි.
හැබැයි එහෙම කෙරෙන්නෙත් ‘බෞද්ධකම’ට මූලිකත්වය දීලා වගෙය. එයට හොඳම සාක්ෂියක්, අපේ නමිනං උන්නැහේ අරගත් foto අතර තිබෙයි.

සමාධි පිළිමයක්!
ඔබ හොරණ ගෙදර ගේට්ටුවෙන් ඇතුළු වෙන විටම, දකුණු පැත්තෙන් ඔබ දකින්නේ මේ සමාධි බුදු පිළිමයයි!

‘කොරෝනා එපිඩෙමික් එක ආවයින් අපේ plans සේරම අවුල් වුණා. / අපි ටිකක් ලොකු ලෝන් එකක් ඉල්ලලයි තිබ්බේ, මේ ඩිවලොප්මන්ට් වැඩවලට. ඒක ඇප්රූ වෙන්නත් ගොඩක් කල් ගියා. / එතකොට අපි එස්ටිමේට් කරලා තිබුණ cost එකත් දැන් ගොඩක් වැඩි වෙලා.’ වැනි ගොඩාරියක් දේවල් ඔහුගෙන් කියැවුණේය.

“මිස්ටර් නිමල් අපේ ගෙවල් පැත්තට එන්නකො නිවාඩු වෙලාවක. මගේ ෆෝන් නොම්මරේ ඔයාට දෙන්නං... එතකොට call එකක් දීලම එන්න පුළුවනි නේද?”

එයාලා ප්‍රෝඩාවක් කරන පාටක් නැතැයි මට හිතුණේ ඒ මොහොතේය.

එහෙත් මේ ඉඩම වෙනුවෙන් ඔවුන් අපේ අම්මාට කිසිම මුදලක් ගෙවන්නට නැති විත්තිය නම් පැහැදිලිය. එලෙස ගෙව්වා නං ඒ තරං සල්ලියක් අම්මා piggy බැංකුවක තියා ගනීවිද? පසුගිය අවුරුදු දෙක-තුනේම අම්මගේ බැංකු ගිණුම්වල කටයුතු කරගෙන ගියේ සමන්ති නංගීයි.
“නෑ ලොකූ, අම්මට එහෙම සල්ලියක් හම්බ වුණා නං අම්මා අපිටත් නොකිය ඉන්නෙ නෑ. But... මිස්ටර් ජෝසප්ලා අම්මගේ එයාර් ටිකට්ස්වලට එහෙම නං ගෙවන්න ඇති.” Samගේ මතය ඒකය.

“අම්මා  හිතාගෙන හිටියේ තව ගොඩක් කල් ජීවත් වෙන්නනේ. මිස්ටර් ජෝසප්ල අම්මට කියන්නත් ඇති, මේ elderly home එකේ තරු පහේ කාමරයක් එයාට free of charge දෙන්නං කියලත්... පව් අම්මා!”
“මාරයා ඉස්සර වුණා, Sam! පිං පළ දෙන හැටි බලාගන්න අපෙ අම්මට බැරි  වුණා!”

බදුල්ලේ ඥාති දියණියක් පදිංචිව හිටි ගෙවල් පැත්තේ නාය යාමක් සිද්ද වෙන්න ඉඩ තියෙන බවක්...

අපේ රටේ වැඩි දෙනෙකුත්- අපේ අම්මා වගේම හිතන-පතන උදවියයි! එයාලා කරන තරමක් පිං දහම් කරන්නේ ‘භව තණ්හාව’ පෙරටු කර ගෙනය; වෙනස්ම ගණයේ බිස්නස් එකක් විදිහටය. ටිකක් ආයෝජනය කරලා ගොඩක් ලබන්නට බලාගෙනය.

මට එහෙම හිතෙන්නේ හේතු ඇතිවය.

මතකයි නේද- අපේ අම්මලගේ බදුල්ලේ මහ ගෙදර ඉඩමෙන් කොටසක අයිතිය අපේ අම්මටත් තිබුණු විත්තිය මම කලින් දොහක කිව්වා. අම්මා ඒ ගැන කතා කරපු හැම වෙලේම, අපි සේරම; අපේ සහෝදර-සහෝදරියෝ සේරම අම්මාට කිව්වේ එකම එක දෙයයි.
‘අපෙන් කවුද අම්මේ බදුල්ලට යන්නේ ඔව්වා ගන්න බලාගෙන. ඔන්න ඔහෙ ඕවා අතෑරලා දාලා, ඉන්න කෙනෙකුට ඒවා නිරවුල්ව භුක්ති විඳින්න ලියලම දුන්න නං ඉවරයිනෙ.”
“එහෙම කරල කොහොමද? අපේ තාත්තලාගෙන් කියල මට අයිති වුණේ ඔච්චරයිනේ.” ඒ හැම සැරේමත් අම්ම උත්තරේට කීවා.

ඒ අතරේ අම්මගේ බදුල්ලේ ඥාති දියණියක් පදිංචිව හිටි ගෙවල් පැත්තේ නාය යාමක් සිද්ද වෙන්න ඉඩ තියෙන බවක් කියැවුණා. “අම්මේ, එයාලට ඉක්මනින්ම ගෙවල්වලින් අයින් වෙන්න කියල. එයාලටවත් ඔන්න ඔය ඉඩම දීලා දාන්න.”

“නිකම්ම?”
“නිකං නැතිව මේ වෙලාවේ, ඒ අමාරුවේ වැටිලා ඉන්න මිනිස්සුන්ගෙන් අම්ම සල්ලිත් ගන්නද හදන්නේ?”
“ඔයාලා මේකට හොට දාන්න ඕන්නෑ. මම දන්නවා කරන්න ඕනි වැඩේ!”
අම්මා ඒ ඉඩම  එයාලාට විකුණුවේල, රුපියල් ලක්ෂයකටද කොහෙද... ඒ අසරණයන්ගෙන් අරගත් සල්ලිවලට අම්මා කරලා තිබ්බෙත් අපූරු වැඩකි.

“ඒ එන ගමන්ම මම බදුල්ලේ දුනුවංගිය ගමේ පන්සලට ගිහිං, ඒ සල්ලි ඔක්කොම ලොකු හාමුදුරුවන්ට පූජා කළා.”
“මම එහෙම පන්සලක් ගැන අහලවත් නැහැනෙ අම්මේ.... අම්මා ඒ හාමුදුරුවෝ අඳුරනවද?”
“අපි ඉන්දියාවේ
වන්දනාවෙ ගියේ ඒ පන්සලේ හාමුදුරුවොත් එක්ක. ඒ පන්සලට ඝන්ටාර කුලුනක් හදන්නයි රංජි, මං ඒ සල්ලි දුන්නේ. උන්නාන්සේ අපේ මැරිච්ච දෙමවුපියන්ටයි නෑදෑයෝ ඔක්කොමලටමයි පැයක් විතර තිස්සේ දිගටෝම පිං දුන්නා. මම ඔයාලගෙ නම් ටිකත් උන්නාන්සෙට කිව්වා ඒ වෙලාවේ... ඔයාලටත් පිං ලැබෙන්න.”

“එහෙනං දෙකක් නෑ, හොඳටම ෂුවර්- අපේ නමටත් දිවිය ලෝකෙ නියම තැනකින් කෑලි ටිකක් මෙලහටත් බුක් වෙලා ඇති.” ඒ වෙලාවේ අම්මා දිවිය ලෝකය ගැන සිහියෙන් හිටි නිසාදෝය, මගේ නර්මාලාපය තේරුම් නොගත්තේ....

ඒ විත්තිය, දිග් විජයේ යෙදුණු අධිරාජයෙකු වූ මහා ඇලෙක්සැන්ඩර් පවා...

“ලොකුවට පිං කළොත් එහෙම නේන්නං.”

අවසන් ගමන් යද්දී අපට ‘ලොකු පිං’ පොට්ටනි අරගෙන යා හැකිද?
ඒ විත්තිය, දිග් විජයේ යෙදුණු අධිරාජයෙකු වූ මහා ඇලෙක්සැන්ඩර් පවා-
මරණ මංචකයෙදීවත් දැනගෙන උන්නේ නැත. උන්නැහේ ගැන මට ආයෙමත් මතක් වුණේ ‘ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා’ හිතවතාගේ ලියැවිල්ලකිනි.

‘කඳුළු පිරුණු නෙතින් යුතුව ජනරාල්වරු ඔහුගේ අවසන් මනෝරථය සපුරන බවට පොරොන්දු වූහ. ඔහුගේ පළමු ඉල්ලීම වූයේ තම දෙන වෛද්‍යවරුන් විසින් පමණක් ඔසොවාගෙන යා යුතු බවටය. මොහොතක් නිහඬව සිටි ඔහු සිය දෙවැනි ඉල්ලීම ද ප්‍රකාශ කළේය.

‘‘භාණ්ඩාගාරයේ ඇති රන්, රිදී, මුතු, මැණික් හැකි තරම් ගෙන මගේ සිරුර මිහිදන් කිරීමට ගෙන යන මාර්ගය පුරා ඉසින්න.’’

ඔහුගේ තෙවැනි ඉල්ලීම වූයේ තම දෙඅත් දෙන මතින් පහළට එල්ලා වැටෙන සේ තබන ලෙසය.

රජුගේ අපූර්ව ඉල්ලීම් පිළිබඳව සෙන්පතියන් විස්මයට පත් වුවද, ඒ පිළිබඳව විමසීමට තරම් ධෛර්යයක් ඔවුනට නොවීය. එහෙත් ඔහුගේ සමීපතම සෙන්පතියකු ඇලෙක්සැන්ඩර්ගේ දෑත සිපගෙන එය තම ළැම මත තබා මෙලෙස පැවසීය.

‘‘මහ රජුනි. අපි ඔබගේ සියලු ඉල්ලීම් ඒ අයුරින්ම ඉටු කරන්නෙමු. එහෙත් මෙවැනි අරුම පුදුම ඉල්ලීම් තුනක් ඉදිරිපත් කරන ලද්දේ මන්දැයි දැන ගැනීමට කැමැත්තෙමි’’යි කීවේය.

දිගු සුසුමක් ඉහළට ගත් ඇලෙක්සැන්ඩර් “ලෝකය මේ මූලධර්ම තුන අවබෝධ කරගත යුතුයැ’’යි පැවසීය.

‘‘මගේ වෛද්‍යවරුන් විසින් දෙන ඔසවාගෙන යා යුතු යැයි මා ඉල්ලා සිටියේ කිසිදු වෛද්‍යවරයකුට මරණය පරාජය කළ නොහැකි බැව් ලොවට පැවසීමටය. රන්, රිදී, මුතු, මැණික් මගේ දෙන රැගෙන යන මාවතට විසි කරන්නැයි කීවේ, අප ජීවිත කාලය පුරා වෙහෙසෙනුයේ ධනය ඉපැයීමටය. එහෙත් ඒ කිසිවක් අප යන විට රැගෙන යන්නේ නැත. මට අවශ්‍ය වූයේ එම සත්‍යය ලොවට පැහැදිලි කිරීමටය.’’

තුන් වැනිව සිරුර රැගෙන යන විට දෑත දෙන දෙපසින් පහළට එල්ලා වැටෙන සේ ගෙන යන්නැයි කීවේ හිස් අතින් මෙලොවට පැමිණි මා හිස් අතින්ම නික්ම යන බව පැහැදිලි කිරීමටය.’’ යැයි පැවසීය.’

එවැනි සිදුවීම් දුරාතීතයේ පමණක් නොවේ- අදත් සිදුවෙයි. එහෙත් අපි ඒවා අපේ මතකයේ තබා ගන්නමෝ වෙමුද; ඒවායින් පාඩමක් ඉගෙන ගන්නමෝ වෙමුද?

මට අත්තන ඇට කැවිලා හෙම නොවේ; මෝදක ගුලියක් කැවිලත් නොවේ; සැරයක් වාගේ ‘ගංජා කේක්’ කැවිලාත් නොවේ!!

“එතකොට නිමල් අයියලගෙ අම්මා නැති වෙච්ච විත්තිය මිස්ටර් xxxx, ජෝසප් මහත්තය වගෙ අය දන්නෙ නැහැල්ලුද?” අමිල හිතවතා ඇසුවේ ‘මාවක්ඔය හෙළ බොජුන් හළේ’ පුටුවකට බර දෙන ගමන්.

“එහෙම වෙන්න පුළුවන්ද නිදි?” නමීත් ඇහුවේය.
“ටෙලිෆෝන් එකෙන් මට කිව්වෙ නං, අපේ අම්මා අන්ත්‍රා වෙච්චි බව එයාලා නොදන්න විත්තියක්! ඒ විතරක් නෙවෙයි... අම්මට අසනීප වෙලා ලංකාවට එක්කගෙන ආවයි කියලවත් එයාලා දන්නැහැල්ලු.” මාත් අවන්හලේ පුටුවකට බර වුණා. නමීත්...

‘කොහේ තියෙන මාවක්ඔය අටමඟලක් ගැනද නිදි මේ හිටි ගමන් කියන්නේ?’ නිදිගෙ පංච තන්තරේ කියවන ආදරණීය රසික-රසිකාවියන් දැන් හිතනවා ඇති!
මට අත්තන ඇට කැවිලා හෙම නොවේ; මෝදක ගුලියක් කැවිලත් නොවේ; සැරයක් වාගේ
‘ගංජා කේක්’ කැවිලාත් නොවේ!! අපි මාවක්ඔය හෙළ බෝජුන්හලට ගියේ, ආපහු එන ගමන අතරතුරේය. Mission of Finding ප්‍රෝඩාරාම නිමාකොට එන අතරතුරේය.

“එහෙනං මිස්ටර් xxxx. ඉඩක් ලැබුණොත් මම වෙලාවක ඔයාව හම්බ වෙන්න එන්නං. ගොඩක් ස්තුතියි කතා කළාටයි, ඔයා දන්න විස්තර ටික කිව්වටයි! දැන් ඔයාගේ නොම්මරේ මගේ ළඟ තියෙනවනෙ... ඕනෑකමක් වුණොත් කතා කරන්න.” මම අපේ දුරකථන සංවාදයට තිත තබමින් xxxx මහතාට කීවෙමි.
එහෙත් එදායින් පසු; පෙබරවාරි අටවෙනිදායින් පසු මා ඔහුට ඇමතුවේ නැත! මා දැනගත් තොරතුරු හොඳටම සෑහෙතියි කියා මට හිතෙයි. තවත් මොනවා අහගන්නද? මොකකටද...

ඔහුගෙන් කියැවුණු විදිහට නම් ඒ වැඩිහිටි නිවාසය පවත්වාගෙන යන්නට සැරසෙන්නේ ‘පිං තකා’ නොවේ. ව්‍යාපාරයක් වශයෙනි. එය විසල් ආයෝජනයක් කරමින් කෙරෙන්නක් බවත් මොනොවට පැහැදිලිය!
ඒත් කමක් නැත. අද කාලේ වැඩියෙන්ම අසරණ වෙන්නේ ඇති-හැකි වයෝවෘද්ධ වැඩිහිටියන්ය!! එහෙව් උදවියට හරි මේ වැඩිහිටි නිවාසය පිළිසරණක් වේවා!!!

ඉන්නකො ඉතිං, මාවක්ඔය ගැනත් කියලම හිටින්නං. එතකොට පිළිවෙලයිනෙ.
අමිල හිතවතා වාහනේ ඉස්සරහට පදවලා, කොළඹ පැත්තට හැරෙව්වා. නමී ලොකු ඈනුමක් යැව්වා. “නිදි, තේ එකක් බීලා යමු නේද, මගේ ගණනේ...”
නමී කෑම-බීම-තේ-කෝපි ගැන උනන්දුවක් නැති ගොබිලෙක්. මිනිහගේ අස්ථි පංජරේ දැක්ක ගමන්ම ඒ විත්තිය ඕනිම කෙනෙකුට පේනවා.

“ඇයි යක්ෂ පැටියො, තමුසෙ නිවාඩුත් දාගෙන මගේ ගමනකට ආවා මදිවට- ඔයාගෙ ගණනේ අපිට තේත් පොවන්නද හදන්නේ... හැබැයි මටත් තේ එකක් බොන්නම ඕනි. අපි මොනවා හරි කාලා- තේකක් බීලම යමු, මගේ කොන්දේසියකට අම්ලයි, ඔයායි දෙන්නම එකඟයි නං.”
“ඒ මොකක්ද?”
“බිල ගෙවන්නේ මං!”

ඔන්න නමියෝ, මෙයාගේ blog එකෙත් මාවක්ඔය මේ spot එක ගැන ලියවෙන්න යනවා වගෙ...

ඒ මදිවාට, තේ බොන්නට යන තැන තේරුවෙත් මං වහන්සේමය. “අර අර අතැන... වම් පැත්තේ... අලුතින් ඇරපු තැනක් වගෙ... පෙනුම නං හොඳයි වගෙත් නේද?”

“ඔන්න නමියෝ, මෙයාගේ blog එකෙත් මාවක්ඔය මේ spot එක ගැන ලියවෙන්න යනවා වගෙ...”
“Sure, ෂුවර්. නිදිගේ හැටි එහෙමනෙ, අමිල අයියේ!”

“කවුරු හරි මේ පාරෙන් යද්දී, මේ විස්තරෙනුත් වැඩක් ගනියිනෙ. නරකද මං අහන්නෙ... හැබැයි රජෝ- පෙනුම වගේම කෑමබීමත් හොඳ නං විතරයි බ්ලොගේට ලියන්නේ. නමී, කොයිකටත් foto එකකුත් ගනිමු නේද?”
“ගන්නං ලොක්කා ගන්නං. ඔහෙ මාව එක්කං ආවෙත් ඒකටමයිනෙ.”

ඒ හෙළ බොජුන් හළ වැඩියත්ම අපේ හිතට ඇල්ලුවේ ‘අබේරත්න සහෘදයාගේ ආචාරශීලී සුහද සත්කාරය’ නිසාය.

“හොරණ ප්‍රාදේශීය සභාවෙන් මේක කරන්නේ.” අබේරත්න අපට සංග්‍රහ කරන අතරේම කළේ, සෑහෙන විස්තරයකුත් අපට පැවසීමය. “මේ වගෙ තැන් දියුණු වෙනවා නං සර්, අපිටත් හොඳයි- ගමටත් හොඳයි- රටටත් හොඳයිනෙ සර්!”
“ෂා... ආණ්ඩුවේ රාජකාරි කරන හුඟක් අය ඔහොම හිතන්නේ නැහැනෙ... පඩිය ගැන විතරයිනේ එයාලා හිතන්නේ. රාජකාරිය ගැන හිතන්නේ අන්තිමටම. අබේරත්නද මෙතැන බාරව ඉන්නේ?”

අපට සංග්‍රහ කරන අතරේම තවත් මේස පිස දැමූ- පිඟන් පිරිසිදු කළ ඒ හාදයා වැන්නෙකු දැකීමත් සතුට උපදවයි!

“සර්ලා කැමතියි නං, සර්ලට එළු කිරි බොන්නත් පුළුවන්. මෙහෙ හදන කෑම ජාතිවලට වැඩි හරියක්ම ගන්නෙ මේ ළඟ farm එකකින්... වස විස නොදා හදන එළවලු...”
“මරුනේ ලොක්කා! එහෙනං අපිට එළු කිරි තුනක් ගනිමු... ආාාා... මස් රොටිත් රහයි!”
“කමක් නැද්ද අබේරත්න මහත්තයා ගැනයි, මෙතැන ගැනයි විස්තර ටිකක් මං ලියන blog එකකට ලිව්වට. එහෙම කැමතියි නං අපිට ඔයාගේ foto එකකුත් ගන්නෝනි.”
“කමක් නෑ සර්. මටත් වැඩිය අපේ බොජුන් හළට හොඳක් වෙයිනෙ.”

අපි එහෙන් පිටත් වෙලා ආවේ හරිම තෘප්තිමත් හැඟීමකින්. ඒ අබේරත්න නිසා. එයාලා සුවඳ පතුරුවන මල් වගෙ. පලාතම සුවඳ ගන්වනවා.
අපේ අම්මාගේ මරණයේදී නිලධාරීන්ගෙන් අත් විඳින්නට සිද්ද වුණු
අකරුණාවන්ත- ගොරෝසු- කටුක දේවල් තවමත් හිතේ රිදුම් දෙනවා. එහෙම පසුබිමකදී මෙහෙම කෙනෙකු හමු වුණාම...
ගොඩාරියක් ස්තුතියි අබේ!!!
තවත් අබේරත්නලා වැඩි වැඩියෙන් මුණ ගැසීමේ වාසනාවත් අපට උදා වේවා!

අබේරත්නට ස්තුති කරනවාත් එක්කම මට මතක් වුණේ අපේ අම්මා අතින් කෙරුණු ‘ඉතාම කාලෝචිත වැඩ’ක්. ඒකටත් ඉඩමක් සම්බන්ධයි.
ඒත්... ඒත්... ඒ සිද්දියත් ඔයාලට කියලම ඉන්නයි හදන්නේ. අම්මා කරපු ‘සුපිරිම වැඩක්’ නිසා!

මං වහන්සේ ඒ පාඩම හොඳටම ඉගෙන ගත්තේ අපේ රෝසිගේ හුරතල් දෝණි හිමන්‍යාගෙන්.

හොරණ ගෙදර අච්චර ජරමරවලට මැදිහත් වෙලාවත් අපේ අම්මා පාඩමක් ඉගෙන ගත්තෙ නෑ කියමුකො. “ආයෙ ගෙවල් හදන්නේ නං නෑ. හදපු එකක් ගන්නවා මිස.” අම්මා තිස්සෙම මතුරන්න ගත්තා.

“අම්ම ලංකාවට ආවම ඉන්නෙ මාසයයි. ඒකට වෙනම ගෙයක් ඕනිද අම්මේ? එකකින් පාඩමක් ඉගෙන ගත්තම මදිද...” එහෙම පණ්ඩිත කතන්දර කියනවට කවුරුන්වත් කැමති නැති විත්තිය ඒ දවස්වල අපිට ගනිච්චියක් වුණේ නෑ.

මං වහන්සේ ඒ පාඩම හොඳටම ඉගෙන ගත්තේ අපේ රෝසිගේ හුරතල් දෝණි හිමන්‍යාගෙන්. කෙල්ලට තවම අවුරුදු පහක්වත් නෑ. කව්රු හරි එයාට මොකක් හරි කරන්න එපයි කිව්වොතින්... ඒකමයි කරන්නේ. ඉතිං අපේ මානෙල් එයාගේ චූටි මිණිබිරිය කරන්න අකැමැති දේවල් කරවා ගන්නෙ ‘නොපිටට කියල’යි.
ඒ වගෙ, අපටත් අම්මට කියන්න තිබ්බේ ‘ඔව්, ඔව් අම්මේ. තව ගෙදරක් ගන්න.’ කියලයි.

කොහොමෙන් හරි අම්මා, මානෙල්ලගේ ගෙවල් කිට්ටුවෙන්ම තඩි ගෙයක් ගත්තා. “කෝ ඉතිං මම මෙච්චර ලොකු ගෙයක් අරගත්තමවත් ඔයාලට ආඩම්බර නැද්ද? ඔයාලා ඇයි දවසක් දෙකක් මෙහෙ නැවතිලා ඉන්න එන්නැත්තෙ?” අම්මා සැරෙන් සැරේ ඇහුවත් එක්ක.
ඒත් අපට විවේකයක් තිබ්බේ නෑ, තිස්සෙම එහෙ යන්න එන්න. (ලොකු කැමැත්තකුත් තිබ්බෙ නැ!) මානෙල්ටවත් දරුවෝ දෙන්නගේ අධ්‍යාපන වැඩ හින්දා එහාට යැවුණේ අඩුවෙන්. සුනිල්ගේ පුතාල දෙන්නත්, අනිල්ගේ දරුවන් තුන් දෙනාමත් එතකොට ඉස්කෝලේ යන ළමයි. එයාලත් අම්මව බැහැ දකින්න ගියේ අඩුවෙන්.

අම්මා මොකද කළේ, මූණත් එක්ක තරහට නහය කපා ගත්තා.
ඒ ගෙදර විකුණලා, පිටකෝට්ටේ (එපිටමුල්ල පාරෙන් වගෙයි මතක) වෙන ගෙයක් ගත්තා.

මානෙල්ල ගෙදරට කිට්ටුවෙන් හිටිද්දී අම්මට උයන්න පිහන්න ඕනි වුණේ නෑ. මානි කෑම යැව්වා. අම්ම පිටකෝට්ටේට ගියහම මානිට ඒකත් කරගන්න බැරිව ගියා.
“අයියේ ඔයාවත් අම්මට කියන්න දැන් ඔය ගෙවල් කෙරුවාව නවත්තන්න කියලා. ගෙයක් ගන්න ලක්ෂ ගණන් වියදං කළාට මොකද, හරිහමන් විදිහට කන්න බොන්නවත් වියදම් කරන්නෙ නෑ වගෙයි. ඔයාලා අපි හාල් පොල් ටිකක් නොගෙනිච්චොත්, හාමතේ හරි ඉඳියි...” සුනිල් මගෙත්තෙක්ක කියාගෙන ගියා. “මාත් දන්න සිංහලෙන් අම්මට කිව්වා, අයියේ... කොහෙද? ලොකුකං අටවන එකමනෙ වැඩේ!”

අම්මා හිතුවේ සතුට තියෙන්නේ ලොකු ගෙවල්වල කියලයි; හැකිතාක් සාටෝපකාරී වෙලා කරන විච්චූරණ ඇතුළේ සතුට තියෙනවා කියලයි එයා හිතුවේ. පූච්චානං කියන; බොරු මවාපෑම් කරන යාළුවොන්ගෙ රැඟුම් තේරුම් ගන්න අපෙ අම්මට බැරි වුණා. එහෙම දේවල් අපේ අම්මට තෝරලා දෙන්න තරං පිරිසක් එයා වටේ හිටියෙත් නෑ. අම්මට හිටිය මිතුරු මිතුරියනුත් වැඩි දෙනෙක් මහ පොළොවේ පය ගහගෙන හිටි- දැන-උගත් අය විදිහට නෙවෙයි මට පෙනුණේ.
එකම ජාතියේ කුරුල්ලොනේ එක අත්තේ ලගින්නේ!

ඒ වෙද්දී ඒ ඉසව්වේ ගෙවල් බිඳීම් දෙක තුනක්මත් වෙලා තිබුණා. අම්මත් හිටියේ බයෙන්...

පිටකෝට්ටේ ගෙදර අරගෙන මාසෙකින් අම්මා ගෙදර වහලා දාලා එංගලන්තෙට ගියා. මාස දෙකකින් විතර ආයෙම ආවා. ඒ වෙද්දී ඒ ඉසව්වේ ගෙවල් බිඳීම් දෙක තුනක්මත් වෙලා තිබුණා. අම්මත් හිටියේ බයෙන්... “මේ මාසේ මේ දවස් ටිකේවත් ඔයාලා කවුරු කවුරු හරි මෙහාට ඇවිත් ඉන්න- රෑට රෑටවත්.”

“මේ මාසෙන් පස්සේ?”
“මේ ගේ විකුණලා දානවා. මට දැන් ගෙවල් ඇති වෙලා.”

“රංජි... ඔන්න මං පිටකෝට්ටේ ගේ විකිණුවා. ඒ සල්ලි ලංකාවේ ඉන්න ඔයාලා අතරේ බෙදලා දෙන්නයි මං හිතුවේ. ඔයා මොකද හිතන්නේ...” ඒ කිට්ටුවම දවසක අම්මා ඇහුවා.
“හිතන්නෙද? අම්මා අපි හැමෝටම ඉඩම්- ගෙවල් අරගෙන දීලනේ තියෙන්නේ. සමන්ති- දීපාල්- දීපානි තුන්දෙනා එයාලගෙ දරුවන් ගැන බලා ගනීවි, එංගලන්තේම ඉන්න නිසා.
සුනිල්, අනිල්, මානෙල් තුන් දෙනාගේම දරුවෝ හත් දෙනෙක්... හත් දෙනාම තවම ඉගෙන ගන්නවා. ඒ ළමයින්ට ලොකු වියදමක් යනවා එව්වට. එයාලට උදව් ඕනි කරන කාලේ තමයි මේ. අම්මා කැමතියි නං මේ සල්ලි ඒ ළමයින් වෙනුවෙන් දෙන්න. අද අම්මා එයාලට දෙන ලක්ෂයක් ඒ වගෙ දෙතුන් ගුණයක් වටිනවා. හැබැයි අද දෙනවා නං... තව ටික දවසකින් එයාලා අපිට උදව් කරන තත්ත්වෙට දියුණු වේවි අම්මේ.”

මටම පුදුමයි!
කිසිම කන්කෙඳිරියකින් තොරවම අම්මා එකඟ වුණා. වැඩේට දිනයක් යොදා ගත්තා.

එදා හවස මානෙල්ලගේ ගෙදරදී අම්ම මගේ අතට දුන්නා සල්ලි bag එකක්. මර්වින්, නෙවිල්, ඉන්දිරා තුන්දෙනාත් එතැන හිටියා. මට මතක විදිහට එතැන ලක්ෂ තිස් එකක් තිබුණා. “රවුම් ගණනක් වෙන විදිහට බෙදන්න. සුනිල්ටත් එයාගේ මොටර් සයිකලේ හදාගන්න ලක්ෂයක් දෙන්න ඕනි...”

ගණන් හැදුවේ ඉන්දිරාය. නෝට්ටු ගණන් කරමින් ගොඩවල්වලට වෙන් කළේ මර්විනුත්, නෙවිලුත්ය. “නිමලො, එක්කෙනාට හාරලක්ෂ විසිපන්දාහ ගණනේ බෙදමු. එතකොට විසිනවයයි හැත්තෑපහක්. සුනිල්ට ලක්ෂයත් එක්ක තිහයි හැත්තෑපහයි. තව විසිපහක් ඉතිරියි. ඒකත් හතට බෙදනවද ආන්ටි?”
“නෑ ඉන්දිරා. ඒක මගේ වියදමට තියා ගන්නං.”

(තවමත් මාව හිනස්සන දෙයකුත් ඒ සල්ලි බෙදූ වෙලාවේ සිද්ධ වුණේය.
විටෙක දසසිල්
මෑණි කෙනෙකු වීමට පවා සැරසුණු අපේ ලොකු නෑනා; මල්ලිකා රුපියල් අට ලක්ෂ පනස්දාහ අතට ගෙන සුසුමක් හෙළා කීවේ මේකය. “මෙහෙම හම්බ වෙන්න තියෙන බවක් දන්නවා නං මාත් අනිල්ලා වගෙ තුන් දෙනෙක්ම හදා ගන්නවනේ!”)

දැන් සුනිල්ගේ ලොකු පුතා රජිතුත්, මානෙල්ගේ ලොකු පුතා සුරංගත් එංගලන්තයේය. අනිල්ගේ ලොකු පුතා (මට blog අඩවිය පටන් ගන්නට උදව් කළ) අකලංක සිංගප්පූරුවේය.

කෙටි නිවාඩුවකට ලංකාවට ඇවිත් උන් අකලංක... (බිරිඳ හා දරු දෙදෙනා සමඟ, බාල නැගණිය සිඟිති- ඇයගේ සැමියා ෂෙහාන් හා දරු දෙදෙනාට මැදිවී...)

මොන චේතනාවකින් යුතුව කළා වුණත්, අපේ අම්මා කළ දේවල්වලට ලැබිය යුතු දේවල් අම්මාට ලැබුණේය; ලැබෙන්නේය. විශේෂයෙන්ම ඇයගේ අන්තිම දෙවසරක කාලයේත්, මියගිය පසුවත්... දූලා- පුතාලා- බෑනලා- ලේලිලා හා මුණුබුරු මිණිබිරියන් හැමදෙනාගෙන්ම... උපරිමයෙන්ම...

“නැනාට පිං දෙන්න ඔයාලා පිළිකා රෝහල ගාව ලෙඩ්ඩුන්ව බලා ගන්න පන්සලට ආධාරයක් දෙන්න නේද plan කරන්නේ. මේක මගෙන්... පොඩි contribution එකක් මහප්පේ.” කෙටි නිවාඩුවකට ලංකාවට ඇවිත් උන් අකලංක, 2024 අප්‍රේල් 16 වෙනිදා රුපියල් 50,000/ක් මගේ අතේ තබා කිව්වේය.
ඒ අපේ අම්මා මේ නුදුරේ දවසක ලද ඇගයීමය!

අදින් ‘ප්‍රෝඩාරාමය’ posts පෙළ අවසන් කරන්නට සැරසුණත්- මේ පෝස්ටුව ලියවී තිබෙන විදිහ ගැන නම්, මා සෑහීමට පත් වන්නේ නැතිය. මට හිතෙන්නේ පෝස්ටුව සංස්කරණය කළා නම් හොඳ බවයි. ඒත් එහෙම කරන්නටත් හිත නොදෙයි.
සෝබර මතකයන් යළි යළිත් ආවර්ජනය කරන එක ලොකු වෙහෙසකි.
මේ දිනවල පවතින ඉසිලිය නොහැකි තරමේ දැඩි උණුසුමත් මගේ කෙඩෙත්තුව වැඩි කරවන්නකි. එබැවිනි, අකැමැත්තෙන් වුණත් මෙතැනට කුණ්ඩලි සලකුණු යොදන්නේ෴0෴

25 comments:

  1. මට ප්‍රොඩාරාමයේ පසුගිය කොටස් ටිකක් මිස් උනා. ඒ උනාට උණු උණුවෙම මේක කියෙව්වා... මිස් උන ඒවාත් කියවන්න එන්නම්..

    ඔය හාමුදුරුවො හැමතිස්සෙම කියවන පින් පව් දිව්‍යලෝක අපාය වල් නැත්තං , දැන් ඔය කනේ තියෙන කරඹු ජෝඩුවත් ගලවලා පින් කරන උපාසික උපාසිකාවන්ගේ දාන පාරමිතාවේ තරම බලා ගන්න පුලුවන්. ඕක දන්න හින්දම තමයි චිරාත් කාලයක් තිස්සේ, බණ පොත්වල ඉදන් හාමුදුරුවොත් දිව්‍යලෝක අපාය වල ගැන කියවමින් මිනිස්සුන්ව බය කරමින් ‘පින් තකා‘ වැඩ සිදි කර ගන්නේ.. ඇත්තටම කරන්නේ ධර්මධ්දානය නෙවේ මිනිස්සු බය කරලා සිමෙන්ති ගඩොල් බිස්නස් එකක්. බුද්ධාගමේ හරය පැත්තක දාල ශාසනයේ චිරස්තතියට වැලලෙන එක තමයි දැන් ට්‍රෙන්ඩ් එක.


    මමත් හෙල බොජුන් කීපයකම කාලා බීලා තියෙනවා. හැබැයි මේ කියන එක නම් හම්බු වෙලා නෑ.. හොරණ්ඒ පැත්තේ මගේ රවුම් ගැසීම් ටිකක් අඩුයි.

    ඇලෙක්සැන්ඩර්ගේ කථාව මම මීට කලින් අහලා තිබ්බ එකක්..ඒත් ඒක නැවත මතක් කරලා රහට ලියපු එකට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. //මිනිස්සු බය කරලා සිමෙන්ති ගඩොල් බිස්නස් එකක්.//
      ඇත්තමයි මයියෝ. කවුද කිව්වා වගෙ කිසිම පන්සලක ඉදිකිරීම් නං කවදාවත්ම ඉවර වෙන්නෙ නැහැනෙ...
      හොරණ පහු කරලා යන්න ඕනි මාවක්ඔය හම්බ වෙන්න. ගියොත් අබේටත් කතා කරලා බලන්න.

      මහා ඇලෙක්සැන්ඩර් කතාව මාත් කලින් අහල තිබුණු එකක්. මේ පෝස්ටුව ලියන දවස්වලම 'ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා හිතවතා' ලියපු විස්තරේ ඇහැ ගැටුනා. උපුටගත්තා. ඒකෙ ගෞරවය ප්රියන්ජන් සහෘදයාටයි හිමිවිය යුත්තේ.

      Delete
  2. Replies
    1. අනිච්චාවත සංඛාරා - උප්පාද වය ධම්මිනෝ!
      ඕව ඔහොම තමයි උපාසක.

      Delete
  3. අර ජෝසප් මහත්තයත්, කොහා වගේම තවත් ගල් ආඳෙක් වගෙයි පෙනුනෙ.
    //මෙහෙම හම්බ වෙන්න තියෙන බවක් දන්නවා නං මාත් අනිල්ලා වගෙ තුන් දෙනෙක්ම හදා ගන්නවනේ!//
    හෙහ්, හෙහ්......
    මේ කතාව, හුදී ජන සුබසිද්ධිය උදෙසා පිංතූර සහිතවම පල කිරීම ගැන මගේ ස්තූතිය.🙏👌💐🦉

    ReplyDelete
    Replies
    1. බස්සා මහත්තයෝ, පින්තූර එකතු කළාම post එක වර්ණවත් වෙනවනේ. මේ බ්ලොගය කියවන අයට රසයක් වගේම යම්කිසි ජීවිතාවබෝධයකුත් ලැබේවා කියන එක මගේ තවත් පරමාර්ථයක්!

      Delete
    2. තව ඩිංගෙන් වස වැරැද්දක් වෙන්නෙ. හොරණ ගෙදර අලුත්ම තත්ත්වේ හොයා ගන්නයි, foto ගන්නයි උදව් කරපු අමිල- නමී දෙන්නටමත් ආයෙම ස්තුතියක් පුදන්න ඕනෑ!

      Delete
    3. එව්ව යුතුකම් 😁😁

      Delete
  4. මේ කථාව ලියන්න ගත්ත වෙහෙසට ස්තූතියි නිදී. ඒ උත්සාහය අපතෙ ගියෙ නැහැ. ඒ කථාවෙ මමත් ජීවත් වුනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන් මහත්තයෝ, මතකයිනේ- ඔයා නිසා තමයි මේ posts මාලාව ලියන්න පෙළඹුණේ.

      Delete
    2. ඉයන් කියන "ඒ කථාවෙ මමත් ජීවත් වුනා" කියන එක හොඳට ගැලපෙනවා. මේ කතාවෙ බොහෝ චරිත, අපටත් ජීවිතයේදී මුණගැසුන අය වීම, කතාවට අපේ සමීප කමක් ඇති කලා කිව්වොත් වඩා නිවැරදියි.

      මුල් කොටස් කීපයකදී, ටිකාක් දිග ඇදෙන ගතියක් දැණුනා. ඒත් පස්සෙ ඒ ගතිය නැතුව ගිහින්, කතාව හොඳට ගලා ගෙන ගියා. ගෙදර අද තිබෙන තත්ත්වයේ පිංතූර පල කරන්න, විස්තර හොයන්න , නිදිගෙ තිබ්බ උත්සාහය වගේ දේවල් අගය කල යුතුයි කියල හිතෙනවා.

      Delete
    3. නොවක් අදහස් පැවසීම වෙනුවෙන් ගොඩක් ස්තුතියි බ්කුසුතුමෝ.

      Delete
  5. මම මේ දවස් වල ඉන්නේ ඒ හරියේ. ගිහිල්ල බලන්න ඕනේ. හෙළ බොජුන් එකේ කෑම හොඳි. පැස්ටා හැර. - අජිත් aka කොළඹ ගමයා

    ReplyDelete
    Replies
    1. හරි ෂෝක් අජිත් මහත්තයෝ. එහාට ගියොත් බලන්නකො අබේරත්න මහත්තයා එක්ක කතා කරලා.

      Delete
  6. එක පාරක් ගියා. ඔය හරියට නිසල ගිරි නේ කියන්නේ. මම ඉන්නේ නිසල රැය කියන වත්තට අල්ලපු වත්තේ. හඳපාන්ගොඩ පාර පැත්තේ.

    ReplyDelete
  7. Replies
    1. මොන දේක වුණත් ඉවරෙකුත් තියෙනවනෙ ලලිත් මහත්තයො....

      Delete
  8. https://www.reddit.com/r/AskHistorians/comments/8atl0o/are_the_three_last_wishes_of_alexander_the_great/

    ReplyDelete
  9. ස්තුතියි Pra Jay මහත්තයො.
    සමහර කතන්දර ඇත්තමයි කියල ඔප්පු කරන්න සාධක නැහැ තමයි.
    ඒත් ඒ කතන්දරෙන් කියවෙන දේ ඇත්තක් නං...

    ReplyDelete
  10. හුම්. අම්මල පොඩි කාලෙ ටිකක් දුප්පත්නෙ. ඔය අතර සිහිනයක් තියෙන්ට ඇති... ලොකු බංගලාවක නිවීහැනහිල්ලෙ ඉන්ට. අඩු වයසින් ලමයි හදල ඉන්න අතරෙ රට ගියහම අර පරන හීනෙට නොදැනීම යන්ට ඇති කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපි හැමෝමත් හීන පස්සෙ නෙව දුවන්නෙ හිටං!

      Delete
    2. හිටන්ල හුටන්ලා හිටු කියලා දුවපු දිවිල්ලට වෙච්ච දේ පේනවා නේද?

      Delete
    3. නමී,
      අම්මා ඇරියස් ගොඩක් එක්ක තමයි ඉන්න ඇත්තේ. ඔයා හරි! පාන් කකා හිටපු කෙනෙකුට කේක් කන්න ලැබුනාමනේ දැනගන්නේ ඊටත් වඩා දේවල් තියෙන බව.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්