li Item

Monday, March 24, 2025

අම්මාට පිං ඇත! -පළමුවෙනි කොටස

සිරි ලංකාවේ හුඟාාාාාාාාක් හුඟාාාාාාාාක් උදවිය නං මීට ටික දොහකට කලින් ‘උගේ අම්මට හැම නියං කාලෙදීම වැස්ස ලැබේවා!’ කියලා එක්කෙනෙකුට සුබාසිරි පැතුවාට සැක නැත. ද්වේෂ සහගතව- හොඳටෝම පක්ෂපාතීව- නිලයේ බලතලත් උපරිමයෙන් යොදාගෙන අයුතු ලෙසින් කටයුතු කළාම එහෙම කතන්දර අහන්නට වීමේ පුදුමයකුත් නැත.

අපේ අම්මා, සුනිල්, සමන්ති, බිමල් සමඟින් බදුල්ලේ සෝමා පුංචිලගේ ගෙදරදී...

නැත, නැත! ඒ පුතණ්ඩියාගේ මෑණියන්දෑ ගැන නෙවේ, මේ පෝස්ටුව.
මේ පෝස්ටුව අපේ මෑණියන්දෑ ගැනය! ආර්.වී. ලීලාවතී (ලීලා ශ්‍රෝඩර්) මාතාව ගැනය!!

හද්දා ඩොටේක; බදුල්ලේ කණුපැලැල්ල මයිලගස්තැන්නේ ඉපදුණු ලීලාවතී ‘ඒ ගමේ කෙල්ලන්ගෙන් දික් කලිසංකාරයෙකු කසාද බැඳගත් පළමුවැන්නිය’ වූවාය.
කසාදියෙන් (ඒ දවස්වල බදුල්ලේ උදවිය විවාහයට කියව්වේ ‘කසාදිය’ කියලාය.) අවුරුදු දොළහකට විතර පස්සේ දිසානායක හේවගේ ගුණපාලත් එක්ක මහරගමට ආවේ දරුවන් හතර දෙනෙකුත් සමඟිනි. කාලයකට පස්සේ එතැනින්
කොළඹ හතට...

පදිංචියට නොවේ... රස්සාවට.
ඒ ඇති වුණු සම්බන්ධකම්
මාර්ගයෙන් එංගලන්තයට... එංගලන්තයේදී නැවතත් විවාහ වී (එතකොට අපේ තාත්තා වියෝවී අවුරුදු හතරකි.) ලීලා ශ්‍රෝඩර් බවට පත් වුණාය!

අපේ අම්මාට එහෙව් විවිධ වූ, විචිත්‍රාකාර වූ අත්දැකීම් ලබා දුන් ‘ඉරණම’ එතැනින් නැවතුණේ නැත. ඩිමෙන්ෂියාවත්, බඩවැල්වල පිළිකාවකුත් ඇයට ලබා දුන්නේය.

‘මයිලගස්තැන්නේ ලස්සනම කෙල්ල’ / ‘සාවිත්‍රී වගේ කෙල්ල’ 2023 නොවැම්බර් 15 වෙනිදා මියගියේ හොඳටෝම වැහැරී, ‘පරඬැලක්’ බවට පත් වුණාටත් පස්සෙය. අම්මා මියගියේ මානෙල් නංගිලාගේ ගෙදර සියලු ඇප උපස්ථාන ලබමින් සිටියදීය. එතකොටත් සමන්ති- දීපාල් දෙන්නාම ලංකාවට ඇවිදින් සිටියහ. ආදරණීය දරුවන් පස් දෙනෙකුගේ සුමේටම කැපවී සිටින චූටි නංගි දීපානිට ලංකාවට එන්නට තරං ඉස්පාසු නොවිණි. ඒ හිලව්වටත් එක්ක අම්මාගේ හත් දවසේ පිංකම ඉහළින්ම කරවන්නට එයාට ඕනෑ විණි.
මානෙල්ගේ ඉහවහා යන සර්ධාවත් ඒකට එකතු වුණාම...

“ලොකා, මං අපේ පංසලෙන් අම්මගෙ තුන් මාසේ දානෙට දිනේ වෙන් කරවගත්තා.” හත්දොහේ දානමය පිංකම ඉවර වෙනවාත් එක්කම මානෙල් කිව්වේ, මාව දැනුවත් කරන්නයි.

හත් දවසේ පින්කමේදී සිද්ද වෙච්ච දේවල් ටිකක් මගේ හිත ‘චාං චඃ’ කරලයි තිබ්බේ!
අනෙක ඉතිං, මං වහන්සේ පෝයකටවත් පන්සල් නොයන- උදේ හවා මල් පහන් පූජා කිරීමේ පුරුද්දක් නැති ‘අබෞද්ධයෙක්’ නෙව.

මානෙල්ලට ඕනි වෙලා තිබ්බේ ‘සංඝික දානයක්’ දෙන්න. අට පිරිකර හතකට වැඩියෙන් පූජා කරන්න. එහෙම දානෙකට ස්වාමීන් වහන්සේලා හත් නමකට වැඩියෙන් ඉන්න ඕනිලු. ඒත් ගමේ පන්සලේ වැඩ සිටින්නේ හාමුදුරුවන් වහන්සේලා හත් නමකට අඩුවෙන්. ඒ හින්දා අල්ලපු ගමේ පන්සලටත් ආරාධනා කරන්නැයි මානෙල් උපාසිකා මාතාවට උපදෙස් ලැබිලා.

එළිපිට පෙනුණේ නැතත් (මට හිතුණේ) ඒ පන්සල් අතර පොඩි පොඩි කෝන්තර තියෙන විත්තියයි.

‘මේ ලියන අන්දොස් බෞද්දයා’ට පෙනෙන්නේ එකම බුද්ද සාසනේ උන්නාන්සේලා අතර තියෙන සමඟියක් නැතිකමක්.
අද්‍යතන හාමුදුරුවන් වහන්සේලාගේ විවිධාකාර ‘hair cuts’වලිනුත්, ප්‍රභේද ගොඩකට නතු වෙලා තියෙන සිවුරු වර්ණවලිනුත් ‘මේ ලියන අන්දොස් බෞද්දයා’ට පෙනෙන්නේ එකම බුද්ද සාසනේ උන්නාන්සේලා අතර තියෙන සමඟියක් නැතිකමක්.

ඒ දවස්වල අපේ මානෙල් වැඩියෙන් කල්පනා කරමින් උන්නේ ‘මරණයෙන් පස්සේ ලැබෙන දේවල්’ ගැනයි. දන්නවනේ... එහෙම අයගේ ශ්‍රද්ධාව කොහොමද කියලා. (2024 වෙද්දී නං ඒ ඇත්ති තදටම මාලිමාවට බැඳිලා උන්නේ. තවමත් එහෙමයි. පොස්ටර් ගහන්න- ගෙයින් ගෙට යන්න- ශ්‍රමදාන කරන්න... යන්නේ හිටු කියලා.) 
ඉතිං. බණට, දානයට හාමුදුරුවන් වහන්සේලා වඩම්මන්න ගියාම සිද්ද වෙච්ච අවුල්වලින් යසටම දැනුණා ‘පන්සල් අතර කෙරෙන සන්නිවේදනයේ මහිමය’.
“අනේ ලොකා... ඒවා හිතට ගන්න එපා. අපි ඔන්නොහෙ හොඳ හිතිං කරන දෙයක් කරමු.” කියලයි මානි හිත හදා ගත්තේ.

“... මානෙල් දිසානායක උපාසිකා මාතාව අපේ පන්සලේ හොඳම දායිකාවක්... පහුගිය දවසක මානෙල් උපාසිකාව තමන්ගේ සහෝදරියන් එක්ක එකතු වෙලා ලොකු පින්කමකුත් සිදු කළා. අපේ පංසලේ චෛත්‍යයේ සංවර්ධන වැඩවලට රුපියල් 25,000/-ක්ම පූජා කළා...”

සිරි ලංකාද්වීපයේ පංසල්වල කවම කවරදාකවත් ඉවර නොවෙන සංවර්ධන කටයුතු ගැනයි, මහා පරිමාණයේ කටයුතු ගැනයි මං වහන්සේ දැක්කෙම විවේචනාත්මක ඇහැකින්. අපේ ගමේ පංසලේ ලොකු හාමුදුරුවො ‘JVP නිමල්ගේ ගෙදරින් ගෙනා දානෙත් එපා.’ කියලා පාත්තරේට උඩින් අත තියල කියව්වාට පස්සෙවත් මට පාඩමක් ඉගෙන ගන්න බැරි වෙච්ච හැටි!

ඇත්තම කියනවා නං ඉතිං, හාමුදුරුවෝ අපේ නංගිලාගේ විසිපන්දාහක පරිත්‍යාගය ගැන කිව්වම, මට දත් මිටි කැවිලා- මහම මහ පාපයකුත් සිද්ද වුණා.
ඒ පාපයම ආයෙත් සිද්ද වුණයි කියමුකො එදාම හවස කෙරුණු සංවාදයකින්...

“ලොකූ දන්නවද? බණ අහන්න එනකොටයි- දානේ වැඩවලට එනකොටයි එක එක්කෙනා ලියුම් කවරවල දාලා දුන්නු සල්ලි ඔක්කොමත් අපි ලොකු හාමුදුරුවන්ට පූජා කළා.”
“කීයක්ද Sam?”
“දන්නෑ ලොකූ. අපි ඒ ලියුම් කවර ඇරල බැලුවේවත් නෑ.”

කොහොමෙන් හරි ඒ දාන-මාන කටයුතුවලදී මගේ මුල්‍ය දායකත්වය දෙවුණේ බොහොම අඩුවෙන්. මොකද කියතොත්, මගේ හිතට වෙනින් අයිඩියාවක් වැදිලයි තිබ්බේ!

පිළිකා රෝහල සම්බන්ධව...
මං ඉස්සෙල්ලාම එහාට ගියේ අවුරුදු හතළිහකටත් ඉස්සරින්. ‘අන්දොස් මංගල්ලේ’ post එකේදී කියපු ‘සුසිලා’ එක්ක. මතකයිනෙ, “බෑ දිසානායක බෑ! මම
ගෙදරින් පැනලා යනවා.....” කියාගෙන මාව හොයාගෙන ආව සුසිලා.

අපේ හිතුමතේට එහෙම දාන-මාන පිරිනමන්නට බැරිය. ඒ සඳහා...

'සුසිලා හිත හොඳ එකියකි. සල්ලිය බාගෙත් යහමින් අතේ ගැවසෙයි.

ඊට අවුරුදු කිහිපයකට කලින් සුසිලලා මහරගම පිළිකා රෝහලට දානයක් දෙන්නට ගිය විටෙක රෝගී තරුණයෙකු හඳුනා ගත්හ. මේ අක්කාත්, මල්ලීත් අම්මට කියා කෑම උයවාගෙන, අඩුපාඩුත් අරගෙන නිතිපතාම වාගේ ඒ රෝගියා බලන්නට ගියහ; මුදල්-හදල්වලින් පවා ආධාර කළහ. කුරුවිට පැත්තේ තරුණයෙකුවූ ඒ රෝගියා, රෝහලේදී මිය ගිය විට (අතින් සියලු වියදම් කොට) මෘත දේහය රැගෙන කුරුවිටටත් ගිහින්, මළගමටත් සහභාගී වූහ!

හත් දොහේ පින්කමටත්....’ කියලයි මං ඒ ගැන කිව්වේ.

“අනේ දිසානායක. වරෙන්කො ඒ මල්ලියාව බලන්න යන්න. පව් බං. කුරුවිට ඉඳලා ගෙදරින් කවුරු හරි එන්නෙත් හරිම කලාතුරකින්. යමංකො බං.”
සුසිලාගේ පෙරැත්තය හින්දාය, මං පළමු වතාවට පිළිකා රෝහලට පිය නැඟුවේ. එතකොට නම් ආණ්ඩුවේ ඉස්පිරිතාල දැන් තරං ලකයකට තිබුණේ නැත. ඉස්පිරිතාල ගන්ධකේ හින්දා නහය හකුලාගෙන අර ලෙඩ මල්ලියාගේ දුක්බර කතාන්දරය අහගෙන හිටිද්දීය, මල්ලී සුසිලා යෝජනාවක් ගෙනාවේ.

“නිමල් අයියේ, අපේ මහරගම අමද්‍යප ශාඛාවෙන් පුළුවන් වෙයිද මෙහාට කොළ කැඳ දානයක් දෙන්න...”
“ඊළඟ සමිති රැස්වීමට ඔයාම යෝජනාව ගේන්නකො.” මම කීවෙමි. එහෙම්ම කෙරුණේය. යෝජනාව සම්මත  වුණේය. “පෙනෙල කැඳ දානයක් දෙමු!” කියන අදහසත් මතු වුණේය.

“කොහෙන්ද ඔච්චර පෙනෙල වැල් හොයන්නේ? කවුද එව්වා කොටන්නේ?”
“වැල් පෙනෙල කොච්චරක් ඕනිද? අපි හොයන්නං... සයිකල් තුන-හතරක මහරගම වටේ යන්න විතරයි ඕනි. නේද මචං...” මට කොහොඹ කොළ
කිනිති 50ක් කවන්නට මුල් වුණු සෝමවීර මල්ලිකාරච්චි පෙරමුණ ගත්තේය.
“දානේ දෙන දවසට කලින් දවසේ හවසට අපි එන්නං. ළඟ ගෙවල්වලින් වංගෙඩි දෙක තුනක් ඉල්ලගෙන එමු. එළි වෙනකල් හරි අපි පෙනෙල ටික කොටලා දෙන්නං.” සමිතියේ සාමාජිකාවෝ කීහ... “බතික් වැඩපොළේ ළමයිනුත් එයිනෙ!”

නොහිතූ පරිමාණයෙන් ඒ දානය දෙවුණේය. වාට්ටු හත අටකම නේවාසිකව උන්නු රෝගීන්ට... ඒ කටයුත්ත නැවත නැවතත් තුන්-හතර වතාවක්ම කරන්නටත් අපට හැකි විණි.

ඒ එකලය! දැන් පිළිකා රෝහලේ රෝගීන්ට අපේ හිතුමතේට එහෙම දාන-මාන පිරිනමන්නට බැරිය. ඒ සඳහා කලින් අවසර ගත යුතුය. බිස්කට්, යෝගට්, සීනි, තේකොළ, කිරිපිටි, සබන් වැනි දේවල් වුණත් පරිත්‍යාග කරන්නට වෙන්නේ අවසර අරගෙනය; වාට්ටුවේ බලධරයෙකුගේ අධීක්ෂණය යටතේය.

සිතු දේ නොම වෙයි, නොසිතු දෙයක් වෙයි ලෝ දම් කැරකෙනවා!

ඊට පස්සේ මා පිළිකා රෝහලට ගියේ ‘අපේ සුනිල් මල්ලිගේ බිරින්දෑ මල්ලිකාවන්ගේ සුවදුක් බලන්නට’ය. දෙපා අවසඟ පාපන්දු පිස්සා- රාජමනි අංකල් බලන්නට එහාට ගියාමවත්, මුඛ පිළිකාවකට ගොදුරු වී උන් නෙවිල්ලගේ තාත්තාව බලන්නට එහාට ගියාමවත් ‘මතු දිනෙක මාත් එහි නේවාසික රෝගියෙකු වෙති’යි සංකාවක්වත් මට නොවිණි.

ජීවිතයේ හැටි එහෙමය.
‘සිතු දේ නොම වෙයි,
නොසිතු දෙයක් වෙයි ලෝ දම් කැරකෙනවා’ නෙව...

හොඳටෝම අසාධ්‍ය වී මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව සිටියදී පවා, එහි කටයුතු කෙරෙන ආකාරය ගැන විමසිලිමත් වෙන්නට මට හැකි විණි. විශේෂයෙන්ම අසරණ රෝගීන් ගැන... සමහර රෝගියෙකු බලන්නට ගෙදරින් කෙනෙකු ආවේ ඉතා කලාතුරකිනි.

උදේ, දවල්, හවස තුන් වතාවෙම අපේ හිත-මිතුරන්ගෙන් හා නෑදෑයන්ගෙන් දෙතුන් දෙනෙකුන්වත් මගේ ගිලන් ඇඳ අසල රොක්වී හිඳිද්දී- අර අසරණ රෝගීන් බලා සිටි විදිහ මට තවමත් මතකය... ඒ රෝගීන්ගෙන් වැඩි දෙනෙකු කල් මැරුවේ රූපවාහිනිය ඉදිරියේය.

‘2017 අවුරුදු දවස්වල අප උන්නේ අම්පාර කිට්ටුවය. ඒත් තිහක් විතර පිරිසකි. නඩයේ වැඩිමහලු සැදැහැතියන්ට නොනගතයේදී පන්සලකට යන්නට උවමනා විණි. ඒ පළාත දන්නා අසංකට කතා කළ මම පන්සලක අයුරුවක් අහගෙන කට්ටියම එහි කැන්දාගෙන ගියෙමි. ඒ පන්සල කිසිම දියුණුවක් නැති එකකි. බණ මඩුව හැදිල්ල අවුරුදු දහයකටත් වැඩි කාලයක් තිස්සේ නැවතී තියෙන්නකි. දහම් පාසලේ ළමයින් දූවිලි ගොඩේ බිම ඉඳගෙනය, ඉගෙන ගනිමින් උන්නේ. 'අපි මෙහෙට උදව්වක් කරමුද?' යෝජනාවකි. ඒ වෙලාවේම රුපියල් තුන්-හාරදාහක් එකතු කර දුන්නෙමු. ඒත් අපේ හිතට මදිය!

චූටි මාමාත්, පුතා රංගත් රුපියල් විසිපන්දාහක ලන්සුවක් තැබූහ. ප්‍රභාත්, නදී, විජේසිරි තුන්දෙනාත් 25 ගණනේම පරිත්‍යාග කරන්නට කැමැති වූහ. එතනම ලක්ෂයකි. පොසොන් පෝයට කලින් ධර්ම ශාලාවේ බිමට කොන්ක්‍රීට් අතුරා දෙන බවට පොරොන්දුවකුත් හාමුදුරුවන්ට දීලාය අප ආපහු ආවේ. දන්නා-කියන අයට අපේ සත් ක්‍රියාව කියා උදව් පැතුවෙමු. ලක්ෂය මදි හින්දාය. හරියටම තුන් ලක්ෂ විසිදහස් හාරසිය පනහක් එකතු කර ගන්නට අපට හැකි විණි.’

ඒ විතරක් නොව, ඒ පන්සලේ ස්වාමීන් වහන්සේලාට වැසිකිළියකුත් සාදා දෙන්නට අපට හැකි විණි. ඊට පස්සෙත් රුපියල් 25,554.00 ක් ඉතිරිව තිබුණු බැවින් අප කළේ ඒ මුදලෙන් රූපවාහිනී යන්ත්‍රයක් මිලදී ගෙන පිළිකා රෝහලට පිරිනැමීමයි!

පිළිකා ඉස්පිරිතාලේ ළඟම පන්සලක් තියෙනවා. ඔය දුර පලාත්වල ඉඳලා ලෙඩ්ඩු බලන්න එන අය ඒ පන්සලේ තමයි නැවතිලා ඉන්නේ.

ඉස්සර උදවිය ළඟ නම් ‘පිං පොත’ කියා පොතක් තිබුණේලු. ඒ පොතේ සටහන් කර තිබ්බේ ඒ පොත් හිමියා විසින් කෙරුණු යහපත්- පිං අතේ වැඩ ගැනලු.

මට පිං පොතක් නැත. ඒත් මගේ මැදිහත් වීමෙන් කෙරුණු ‘හොඳ වැඩ’ ඉඳහිට මතකයට එයි. එතකොට පෙනෙන්නේ එවන් වැඩවලදීත් මේ ලියන්නා විවිධත්වය පැතූ වගයි.

ඉතිං, අපේ අම්මාගේ තුන් මාසයේ පින්කමත් වෙනස් විදිහකට කරන්නට මට උවමනා වුණේය. ඒ හින්දාම ඒ ගැන හිතන්නට වීමි.

“පිළිකා ඉස්පිරිතාලේ ළඟම පන්සලක් තියෙනවා. ඔය දුර පලාත්වල ඉඳලා ලෙඩ්ඩු බලන්න එන අය ඒ පන්සලේ තමයි නැවතිලා ඉන්නේ. ඒ මිනිස්සු බස් ගාස්තුව හොයාගෙන එන්නෙත් හරිම අමාරුවෙන් අයියේ.” අපේ සුනිල් කියූ විස්තරයක් මට සිහිපත් වුණේ එතකොටය. “දෙතුන් දවසක් වුණත් එහෙම මිනිස්සු එතැන නැවතිලා ඉන්නවා. ඉස්පිරිතාලේ නවත්ත ගත්තේ නැති ලෙඩ්ඩුත් දවස ගාණේ ගම්වල ඉඳගෙන යන්නෙන්න බැරි හින්දා නවතින්නෙත් ඒ පන්සලේ.”

“එතකොට එයාලට කෑම-බීම?”
“පන්සලෙන්... හුඟක් අය ඒ වැඩ කරන්න පන්සලට උදව් කරනවත් එක්ක, අයියේ...”

ගිහිල්ලම බලන්න ඕනි!
ඉතිං, හැන්දෑවක මාව එහාට එක්කරගෙන
ගියේ අරුණයි. අප එහාට යනකොටත් පංසල කලබලකාරීය. තරුණ- තරුණියන් රැසක්ම එකේක වැඩවලය. “මහත්තයෝ, අපි දානයක් දෙන්න කතා කර ගන්නයි ආවේ...” වඩාත් තැන්පත් වැඩිහිටියෙකුටය මං එහෙම කිව්වේ.
“අනේ හොඳා! මහත්තයල එහෙනං කෙලින්ම පොඩි හාමුදුරුවන්ටම කතා කරන්න. අර ටෙලිෆෝන් එකෙන් කතා කර කර ඉන්නේ පොඩි සාදු. උන්නාන්සේ තමයි ඉස්පිරිතාලේ දාන වැඩ සේරම බාරව ඉන්නේ.”

පොඩි සාදු එක්කල කතා කරන්නට පැය බාගයකටත් වැඩි කාලයක් බලා හිටින්නට අපට සිද්ද වුණේය. එකක් ඉවර වෙනකොට තවත් call එකක්... ඒ සේරමත් දානය පිරිනැමීම පිළිබඳවය.

“මල්ලී මේ මහත්තයලට අර විස්තර පත්‍රිකාවක් ගෙනත් දෙන්න... මහත්තයෝ, ඒ පත්‍රිකාවේ සේරම විස්තර තියනවා. මහත්තයලගෙ මව්තුමීගේ තුන්මාසයේ පිංකම නේද කරනවයි කිව්වේ? මෙහෙදිම බණක් කියවලා... කැමති විදිහකට පිරිකර එහෙමත් පූජා කරලා පිං අනුමෝදන් කරවන්නත් මෙහෙ පහසුකම් තියෙනවා.
හෙට අනිද්දට ලොකු පිංකම් දෙක තුනක්ම යෙදිලා තියෙන නිසා අද මට හරියට වැඩ. මහත්තයට තව විස්තර කතා කරගන්න පුළුවනි ලබන සතියේ දවසක දවල් වෙලාවක ආවොතින්... නැත්තං මට කෝල් එකක් දෙන්න.”

“මෙතැන හෙණ ලොකු වැඩ සටහනක් යනවා වගෙයිනෙ...” ආපසු එන අතරේ අරුණ කීවේය. “එක දානෙකට කීයක් විතර යනවද ලොක්කා?”

 “මෙතැන හෙණ ලොකු වැඩ සටහනක් යනවා වගෙයිනෙ...” ආපසු එන අතරේ අරුණ කීවේය.

මේ කොළේ කියන හැටියට නං අරුණ, එක එක ගණන්වලට දානෙ වේල් තියෙනවලු. එක දවසකදී ලෙඩ්ඩු 100ක් විතර පන්සලේ නැවතිලා ඉන්නවලු. ඒ ගොල්ලන්ට තුන් වේලටම කෑම- තේ- ඕනේ කරන දේවල්... බෙහෙත් එහෙමත් පන්සලෙන්ම දෙනවලු...”

“අඩේ... මරුනේ ලොක්කා. ඔයාල කරන්න යන වැඩේ සුපිරි... අම්මපා.”

පිළිකා රෝහල් විහාරස්ථානය මඟින් කෙරෙන සියලුම සේවාවන් අර විස්තර පත්‍රිකාවේ දැක්වෙනවා වගෙය.

උදේ ආහාර වේල සඳහා වියදම රුපියල් 27,000/-කි. දහවල් වේල සඳහා රුපියල් 37,000/-ක් වැය කරන්නට සිදු වෙයි. රාත්‍රී වේල සඳහාත් එම වියදමමය.
“අරුණ, තේ වේලකට නං රුපියල් 17,000/-ක් යනවලු. සුප් දානෙකට 12,000/-ක්ලු. කැඳ දානෙකට රුපියල්  10,000/-යිලු. ඒ ඕනිම දානයක් දෙනකොට අමතරව තව රුපියල් 3,000/-කුත් ගෑස්වලට ගෙවන්න වෙනවලු.”
“ඒ කියන්නෙ ලොක්කා, එයාලමද දානේ උයන්නේ?”
“ඔව්, ඔව්. අපටත් පුළුවනිලු කැමති නං උදව් වෙන්න.”

ඒ ඔක්කොම හරියට තිතට කෙරෙන පාටය. “ලොක්කා, ඔය අස්සේ ගැහිලිත් යනව ඇති නේද?” අරුණ ඇසුවාමය මගේ හිතේ තිබුණු විචිකිච්ඡාවත් එළියට පැන්නේ.

“ඔහොම වැඩ කෙරෙනකොට පොඩි පොඩි හරි මරිසි වැඩත් කෙරෙනව ඇති. ඒත් අරුණ, එහෙමවත් වාසියක් නැත්තං ඔය වගේ වැඩ දිගටම කරගෙන යන්න කට්ටිය එන්නේ නැහැනෙ...
මේ කොළේ කියවාගෙන යද්දී මට ටිකාක් විතර අප්සෙට් වැඩ දෙක තුනකුත් අහු වුණා.” තලියේත් කිඹුලන් දකින මම කීවෙමි.

“ඒ මොනවද බොසා?”
“හැම දානේකටම ඕන කරන බඩුයි, ගණනයි වෙන වෙනම පෙන්නුවාට පස්සෙයි ‘ගෑස්වලට තව 3,000/-ක් ඕන’ කියලා තියෙන්නේ. ඒ මදිවට මෙහෙමත් කියලනෙ අරුණ... අතුරුපස සඳහා යෝගට් / කෙසෙල් ගෙඩි රැගෙන එන්න. ඒවායින් මට නං පේන්නේ හොඳ බිස්නස් මයින්ඩඩ් කෙනෙක් එහෙම මෙතැන ඉන්නවා කියලයි...”
“ඒ කියන්නේ ඔයාට මෙතැන සැටිස් නෑ?”

“එහෙමමත් නෑ අරුණ. ඒත් තව ටිකක් හිතන්න ඕනි... බත් ඇති තැනටම කොසුත් බෙදනවට වැඩිය හොඳයිනේ, බත් නැති තැනකට කොස් බෙදන එක...”

අරුණ නිහඬ වුණේය. ඒ එයාගේ ත්‍රී වීලරය තද ට්‍රැෆික් එක මැද්දේ නිසාය. මම විස්තර පත්‍රිකාව කියවන්නට වීමි.

‘දහවල් ආහාර වේලක් සඳහා රුපියල් 37,000/-
සාමාන්‍ය ආහාර වේල:-
බත් / එළවලු වර්ග 2ක් / පලා වර්ගයක් / මස්, මාළු හෝ බිත්තර (කුමන හෝ එකක්) / පරිප්පු / පපඩම්

සම්බා හෝ නාඩු කිලෝ 20ක් / මාළු, කුකුළු මස් කිලෝ 9ක් හෝ බිත්තර 100ක් / කැමති එළවලු වර්ග දෙකකින් කිලෝ 06 බැගින් / ගම්මිරිස් කුඩු ග්රෑම් 250 / ලුණු කුඩු පැකට් / මිරිස් කුඩු ග්‍රෑම් 500 / තුනපහ කුඩු (අමු) ග්‍රෑම් 250 / සුදුළූණු කිලෝ 01 / අමු මිරිස් ග්‍රෑම් 500 / අමු ඉඟුරු ග්‍රෑම් 500 / උලුහාල්, අබ කුඩු ග්‍රෑම් 50 / පලා වර්ග මිටි 08 / කරාබු නැටි ග්‍රෑම් 50 / කෑලි මිරිස් ග්‍රෑම් 500 / පොල් ගෙඩි 20 / පොල්තෙල්  බෝතල 04 / ලොකු ළූණු කිලෝ 04 / කහ කුඩු ග්‍රෑම් 200 / බැදපු තුනපහ ග්‍රෑම් 250 / රතු ළූණු කිලෝ 01 / පරිප්පු කිලෝ 03 / දෙහි කිලෝ 01 / රම්පෙ, කරපිංචා, සේර, එනසාල් / පපඩම් කිලෝ 02

අතුරුපස සඳහා යෝගට්, අයිස් ක්‍රීම්, ජෙලි, කෙසෙල් හෝ ගස්ලබු රැගෙන එන්න.     

(අතුරුපස සඳහා යෝගට්, අයිස් ක්‍රීම්, ජෙලි, කෙසෙල් හෝ ගස්ලබු රැගෙන එන්න. ගෑස් සඳහා රුපියල් 3,000/-ක් අය කෙරේ.)

‘හාල් කිලෝ එකක බත් වැඩිහිටි පිරිමි හය-හත් දෙනෙකුට ඇති. කිලෝ 20ක්...’
‘දිසානායක මේ, තමුසෙගෙ ගණනට කෑම හදනවා තමුසෙ තනියෙන්ම දාන දෙන දවසට. දැන් දෙනවා ඒ මිනිස්සු කියලා තියෙන හැටියට...’
‘එහෙම කරන්න කලින් ටිකක් හොයල බලන එක වැරැද්දක් නෙවෙයිනෙ. අර කවියකිනුත් කියන්නේ
‘විමසුවයි කෙනෙක් යා නම් නරකාදී
මට සුවයි එහිම යමි වෙනතක නෑදී’ කියලා.’

“ලොක්කා, අපි ගෙදරට ආවා. මොකෝ? ඇස් ඇරගෙන නිදිද?”
“බර කල්පනාවක හිටියේ අරුණ.”
‘ඒකට කමක් නෑ බොසා. ආයේම පන්සලට එහෙම යන්න ඕනි වුණොත් මට කියන්න. Free of charge! මටත් පිනක්නේ...”
“කියන්නං, කියන්නං. මට හිතෙන්නේ වැඩේට කලින් සැරයක් දෙකක්වත් අපිට එහාට යන්න වෙයි!” මං වහන්සේ එවෙලේ අරුණට එහෙම උත්තර දුන්නත්- නැවත වතාවක් එහි යන්නට උවමනා වුණේ නැත.

YouTube එක මගේ අදහස වෙනස් කරන්නට මුල් වුණ නිසාය, ඒ...
දෙවෙනි කොටසට
à

35 comments:

  1. අපේ ගම ආශ්‍රිත පන්සලක දායකයෝ පන්සල පිරිසිදු කරන්න ගිය දවසක දැකල තිබුනා හාල් කිලෝ පහේ දහයේ බෑග් ගොඩගහලා තියනවා වැඩි හරියක් ගුල්ලෝ ගහලා නරක් වෙලා. හාමුදුරුවනේ මේවා විසිකරමු නේද කියන කොට ලැබුන පිළිතුර තමයි, හා හා එපා ඒවා එහෙමම තියන්න කියන එක. හැබැයි ඒ පන්සල අවටම දවසට එක වේලක් කන්න නැති පවුල් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මගේ අදහස Litseeker, අද කාලෙ ඉන්න ස්වාමීන් වහන්සේලා බහුතරයක් මහණ වෙලා තියෙන්නෙ සසර කෙටි කරගන්න නෙවෙයි, තව ටිකක් දික් කරගන්න බවයි.
      උන්නාන්සේලා බහුතරයකගේ කෙලෙස් වැඩි විත්තිය නේද හැම පැත්තෙන්ම පෙනෙන්නේ.

      Delete
  2. Replies
    1. ස්තුතියි Pra Jay මහත්තයෝ, දැන් පන්සල්වල ශබ්ද ඝෝෂාව නං ටිකක් අඩුයි නේද?

      Delete
  3. අපේ පන්සල්/හාමුදුරෝවෝ ගැන කතා කිරීමෙන් වෙන්නේ අපි පව් පුරවා ගැනීමයි. අපේ ගමෙත් පන්සල් දෙකේම ලොකුනම ගමෙන් පිට උගන්වන්න ගිහින්, දැන් පොඩිනම ලොකුනමට එන්න දෙන්නේ නෑ, කාමර වහලා හැන්ගෙනවා කියල තමයි ආරංචිය, තණ්හාය ජායති සෝකෝ. සන්වර්දන වලට සල්ලි නොදුන් ගෙවල් වලට පන්සකුලේට එන්නේ නෑ කියලා පොඩිනම කිව්වලු (මම කිව්වා කොළඹින් හාමුදුරු කෙනෙක් ගේන්න කියල පන්සකුලේට) ගම්වල දුප්පත් පන්සල් උනත් වැඩිදියුණු උනාම පොඩිනමලට තන්හාව උපදිනවා.

    පිලිකා රෝගීන් සහ පවුල් වල අයට සලකන එක නම් උතුම් වැඩක් (පන්සල් වලට දෙනවට වඩා). මෙහෙ ඉන්න ඉංජිනේරු කෙනෙක්ගේ මුලිකත්වයෙන් අපිත් ඔය පන්සලට මුළුතැන් ගෙයක් හදලා දුන්නා මතකයි, බෝර්ඩ් ලැල්ලක් ගහලා අපිටත් එවල තිබුණා.

    කිරල මැනලා පින් කරන්න බෑ නිදි, චේතනාහන් බික්කවේ කිව්වලුනේ. මගේ නෝනා එක්ක පාරේ ඉන්න හිගන්නෙකුට සතයක් දෙන්න බෑ, කුඩු ගහයිද? මුදලාලි ගන්නවද? අහනවා, මටනම් අතේ ඇතිදේ දුන්නා එපමණයි. පන්සලේ හාමුදුරුවෝ ගානයි, ගිහියෝ ගානයි කලින් ගැනගන ගිහින් ගෙදරින් උයාගෙන ගෙනා දානෙත් පොලිස් කාරයෝ දන්ගෙයිම වාඩිවෙලා වලන්දනවා මම දැක්ක.

    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ගොඩ දෙනෙක් පන්සල් ගැන- ස්වාමීන් වහන්සේලා ගැන කතා කරන්න බයයි, පාන්ශුකූලේට හාමුදුරුවරු නැති වෙයි කියලා. අනෙක් අතට මෝඩ (මෝහ) සර්ධාව හින්දා.

      ඔයා හරියටම හරි විජේබාහු මහත්තයෝ, අපි යමක් දෙනවා (අත් හරිනවා) නං ඒ ගැන එක හිතින්මයි අත් හැරිය යුත්තේ. හොඳ හිතින්ම දෙයක් දුන්නට පස්සේ ඒක එතැනින්ම ඉවරයි! ඊට පස්සේ මොකද වුණේ කියලා පස්සෙන් පන්නලා බලන්න ඕනි නැහැනෙ.

      පොලිසියේ ඇත්තෝ කැප-අකැප ඕනි දෙයක් වළඳන්න රුසියෝ නෙව!!!

      Delete
  4. අපෙත් අදහසක් තියෙනවා පිලික රෝහලට දානයක් දෙන්න

    ReplyDelete
  5. //විමසුවයි කෙනෙක් යා නම් නරකාදී// කුමාරතුංග මුනිදාස කියාපු එකක්!

    ReplyDelete
  6. ආරෝග්‍යා පරමා ලාභ කීවට... අපේ සමහර උන්දල රෝග සහ රෝගියො පරම ලාභය කරගෙන නෙව ජීවත්වෙන්නෙ හිටං

    ReplyDelete
    Replies
    1. උන්දැල තමයි මේ මිහිපිට ඉන්න යක්කු- පෙරේතයෝ.

      Delete
  7. "YouTube එක මගේ අදහස වෙනස් කරන්නට මුල් වුණ නිසාය, ඒ..." නිමල් දැන් YouTube ෆෑන් කෙනෙක් වෙලා වගෙයි.

    “...එක එක්කෙනා ලියුම් කවරවල දාලා දුන්නු සල්ලි ඔක්කොමත් අපි ලොකු හාමුදුරුවන්ට පූජා කළා.” ඔය සල්ලි පූජා කරන වැඩේ මෙහෙත් තියෙනවා, ලංකාවෙ අය පුරුදු කරගෙන. අජාන් චා හාමුදුරුවන්ගෙන් ධර්මය ඉගෙන ගත්ත Western හාමුදුරුවරුනම් සල්ලි අල්ලන්නෙවත් නෑ.

    ReplyDelete
    Replies
    1. අජාන් චා හමුදුරුවන් වහන්සේ අපට මොකටද Lotus?

      අපේම අපූරු උපදේශයක් තියෙද්දී...
      'ආඳා මාළු අතින් නොකම්- ඉරටෙන් කම්'

      Delete
    2. තනියම පොඩි පංසලකට වෙලා, තමන්ම වැඩ ටික කරගෙන ඉන්න (බස්සා කියලා තියෙන විදිහෙ) හාමුදුරු කෙනෙකුට නම් යම් මුදල් ප්‍රමාණයක් දුන්නට කමක් නෑ කියමුකො. නමුත් මට තේරෙන්නෙ නැත්තෙ ලියුම් කවරවල දදා මහා පරිමාණයෙන් සල්ලි දෙන්න අවශ්‍යද කියන එක. ගිහියන්ට පින් කරගන්න හාමුදුරුවන්ට සල්ලි දෙන්න අවශ්‍යද. දැන් මාස කීපයකට කලින් වෙඩි තැබීමකින් මිය ගිය අය අතර කලින් හාමුදුරුනමක් වෙලා හිටපු කෙනෙක් හිටියා. ඔහුගෙ බණ අහලා මිනිස්සු පූජා කරපු සල්ලි වලින් වෙන කට්ටියක් සැප විඳිනවා කියලා සමහර අය ඒ දීපු සල්ලි ආපහු සාසනයට ලබා ගත යුතුයි කියලා සෑහෙන සටනක් ගෙනිච්චා සාසනේට නම් සල්ලි දෙන්නෙ ඇයි තනි හාමුදුරු කෙනෙකුට සල්ලි පූජා කරන්නෙ. දුන්නා නම් ඇයි සල්ලි ආපහු ඉල්ලන්නෙ. our people are insane 🤣. (මම එක එක ඒවා ලියලා නිමල් අමාරුවෙ වැටෙයිද දන්නෙ නෑ).

      Delete
    3. අපොයි නෑ Lotus මාව අමාරුවේ වැටෙන්නේ නෑ, ඔයාලට දැනෙන- හිතෙන දේ නෙව ලියන්නේ. දිගටම ලියන්න.
      ඔයා කියනවා වගේ සීලවන්ත අයට හරි හොරුන්ට හරි වේවා- දානයක් දුන්නම; පූජා කලාම ඒක අපට අයිති නැහැ නෙවෙන්නං.
      ඊට පස්සේ ඒකට මොකද වුණේ කියලා හෙව්වට වැඩක් නැහැ. හොයන්න ඕනි දෙන්න කලින්...

      Delete
  8. "පොඩි සාදු එක්කල කතා කරන්නට පැය බාගයකටත් වැඩි කාලයක් බලා හිටින්නට අපට සිද්ද වුණේය. එකක් ඉවර වෙනකොට තවත් call එකක්". එතනම red flags කීපයක් නේද.

    ReplyDelete
    Replies
    1. Lotus, මං දැක්ක විදිහට නම් දැන් ඒ පන්සල අසලම මේ සේවාව සඳහා තවත් තැනක් තියෙනව වගෙයි.

      ඉල්ලුමට සැපයුම වෙන්නැති...
      එහෙම වුණත් මම හිතන්නේ ඒ හැම තැනකින්ම යම් තරමක හරි සේවයක් වෙනවනෙ කියලයි.

      Delete
    2. ඇත්ත හැමෝටම කරන්න බැරි දෙයක්නෙ ඒගොල්ලො කරන්නෙ. නමුත් ඔය තැන් වලට උපකාර කරන බහුතරයත් සාමාන්‍ය අහිංසක මිනිස්සු නිසා, බිස්නස් එකක් නොකරගෙන ඕව කෙරෙනවා නම් හොඳයි. ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ පුරාම ඔය චැරිටීස් ගත්තත් කොයි තරම් අක්‍රමිකතා වෙනවද. හොඳම දේ අපේ හිත හදාගෙන දෙන දෙයක් දීලා ඊට පස්සෙ හිතන්නෙ නැතුව ඉන්න එක. හිතට හරියන්නෙම නැත්නම් නොදී ඉන්න එක.

      Delete
  9. හොඳ නිරීක්ෂණයක්. දැන් ආගමත් බිස්නස් එකක් බවට පත් වෙලා. එකාතකට මේ සමාජෙ, පවතින්න එහෙම නැතුවත් අමාරු ඇති.

    මෙහෙ හොඳ හාමදුරු නමක් ඉන්නවා. ඉන්නෙ වියට්නාම් පන්සලක. බූට්ස්, වින්ටර් කෝට්, තොප්පි දාලා කාර් එක එලවගෙන එනවා. වෙජිටේරියන්, දානෙට ඇවිත් බණ කියල යනවා. ආවම දායකයො කවරෙක දාලා සල්ලිත් දෙනවා. එහෙම නැතුවත් බෑ කියල හිතෙනවා.

    හාමදුරුවන්ට දිව්‍යලෝකෙට වීසා දෙන බලය තියනවා කියල මම විස්වාස නොකරන නමුත්, එහෙම හාමදුරුවරු ගැන මගෙ අහිතක් නෑ.

    ReplyDelete
    Replies
    1. මෙහෙත් ඉන්නවා . ඒක තමයි දැන් සිරිත . ලෙච්වර්ත් කියල පන්සලක් තියනවා . හාමුදුරුවන්ට හොඳ SUV එකක් තියනව . ඒකෙ තමා එන්නේ . සාමාන්‍යයෙන් පවුම් 50 ක් වත් දුන්නේ නැත්නම් එන්නේ නැහැ . පෙට්‍රල් වලටත් මදි කියනව .

      Delete
    2. බස්සා මහත්තයෝ, ලංකාවෙත් හොඳ සිල්වත් හාමුදුරුවන් වහන්සේලා ඉන්නවා. එහෙම අය ගැන කටින් කට ගියාම අපේ උපාසක උපාසිකාවෝ උන්නාන්සේලා වටේ රොද බැඳගෙන එතුමන්ලව විනාශ කරලම දානවා.
      කියවල තියෙනවද 'ගුණදාස ලියනගේ මහතා ලියු -තෙවෙනි සිල් පදය නොකඩමි- පොත?

      Delete
    3. අජිත් මහත්තයෝ, පහුගිය කාලෙ අසපුවල ඉන්න උන්නාන්සේලා බණකට වඩම්මවන්න නං වාහන කුලී විතරක් නෙවෙයි- sound උපකරණත් උන්නාන්සේලා නිර්දේශ කරන තැනින්ම ගන්න වුණා, වෙනම ගෙවලා.

      Delete
  10. මට මෙන්න මෙහෙමෙ ප්‍රශ්නයක් තියනව . ඇයි ඔය එතන නතර වෙන් එන මිනිස්සුන්ට ඔච්චර නිකන් රෙස්ටුරන්ට් එකක වගේ කෑම දෙන්නේ . බත් / එළවලු වර්ග 2ක් / පලා වර්ගයක් / මස්, මාළු හෝ බිත්තර (කුමන හෝ එකක්) / පරිප්පු / පපඩම්, අතුරුපස සඳහා යෝගට්, අයිස් ක්‍රීම්, ජෙලි, කෙසෙල් හෝ ගස්ලබු රැගෙන එන්න. ගෑස් සඳහා රුපියල් 3,000/-ක් අය කෙරේ.) - බත් , එක මාළු , බිත්තර හ මස් , පරිප්පු , ඕනේ නම් සැලඩ් එකක් හෝ පලා එකක් , යෝගට් නැත්නම් පළතුරක් . එතකොට හුඟ දෙනෙකුට දෙන්න පුළුවන් . උඹලා කනවා වැඩියි . 😀

    ReplyDelete
    Replies
    1. අජිත් ධර්ම මහත්තයෝ,
      අපේ තියෙන හොඳකමක්ද නරකකමක්ද මන්දා අප ටිකක් වැඩියෙන් සෝබනේට කැමතියිනේ. ඒ නිසැ වෙන්නත් පුළුවන් ඔහොම කරන්නේ.
      අනිත් අතට අසරණ වෙලා ඉන්න අයට හිත පිරෙන කෑම බීම ටිකක් පිරිනමන චේතනාවෙන් ඔහොම ගොඩක් සරුවට දාන දෙනවා වෙන්නත් පුළුවන් නේද?

      ඔයා හරි! අපි කනවා වැඩියි තමා... කෝප් කමිටු රැස්වීමක් බලන්නකෝ. හිටපු තරමක් ලොකු ලොක්කෝ, නිලධාරීන් එකතු වෙලා කාල තියෙන තරම...

      Delete
    2. ඒ කෑම උන් කොහොමත් කෑවනේ . මම කියන්නේ , හරි අසරණ අයට හොඳම කෑම වේලක් නෙමේ , ලෙඩ්ඩු බලන්න එන අයට දෙන කං එකක් නිසා සාමාන්‍ය කෑමක් දීල මුදල් ඉතිරි කර ගත්තොත් හෝ ද්‍රව්‍ය ඉතිරි කරගත්තොත් වැඩි දෙනෙකුට කන්න දෙන්න පුළුවන්නේ කියන එක .

      Delete
    3. නිමල් සහ අජිත්,

      මාතෘකාවට අදාල නොවුනත් පුංචි ඉල්ලීමක් කරන්න ඕනේ,

      මෙන්න මේ ලින්ක් එකට ඔයාලගේ Facebook profile එකෙන් ගිහිල්ල ජාතික ජන බලවේගයට සහාය දක්වන කමෙන්ට් පුළුවන් තරම් දාන්න පුළුවන්ද

      https://www.facebook.com/share/1BQVuS8ETd/

      ඉඩම් මිලදී ගන්න අයට පැවරීමේ ගාස්තුව 1% සිට 2% ක් කරන්නේ එක වරක් පමණක් ගෙවීමට පමණයි, කුලියට බද්දට ගන්න අයට ගාස්තුව වැඩි කරන්න අවශ්‍යයි මේ හැම දෙයක්ම ක්‍රමවත් ලෙස ඉහල මට්ටමක පවත්වාගෙන යාමට, ඒ නිසාම මේක හොඳ වැඩක්. ලෝකයේ හැමරටකම එංගලන්තය යුරෝපය ඕස්ට්‍රේලියාව වගේ හැම රටකම මේ වගේ බදු අයකරනවා. දැන් මේකටත් මෝඩ සජබයි සිලින්ඩර පොහොට්ටු බයියෝ මැරෙන්න හදයි. වර්තමාන n..p.p ජනතා රජය හොරකම් නාස්තිකාර වියදම් දූෂණ නවත්තපු එකම මදිද? ඒවායේ ප්‍රතිලාභ ළඟදීම එනවා. ඒ නිසා රජයට බදු.මුදල් සාධාරණ ලෙස ගෙවා දමමු. රට අනිවාර්යයෙන්ම අපි හදනවා, ඒ නීසා මදකට ඉවසා එතකම් මේ පාරත් පලාත් පාලන ඡන්දය මැයි මාසයේදී මාලිමාව ඉහලින්ම දිනවමු. මේකට සහාය දක්වන කමෙන්ට් පුළුවන් තරම් දාලා මාලිමාවට සහයෝගය දෙන්න.

      Delete
    4. ඔයාගේ ඉල්ලීම ඉටු කරන්න බැරි වීම ගැන කනගාටුයි Ano.
      මං මාලිමාවට සහාය දැක්වුවාට එහි ප්‍රචාරකයෙකු නෙවෙයිනෙ.

      Delete
    5. @ Anno 10.11 am

      Carry වැඩේ ඕයි, ඉඩම් පැවරීමේ මුද්දර ගාස්තුව දෙගුණයක් වෙනවා ඔියි මේ පාර...ඉඩම වටිනාකමෙන් 3% කලින් තිබුණේ

      මම ලංකාවේ ඇතුල්කෝට්ටේ ඉඩමක් ගන්න ගිය පෙබරවාරි මාසයේ ඇඩ්වාන්ස් කරා, ඉඩමේ අයිතිය තියෙන Owner New Zealand ඉඳලා ලබන ජූනි වල ආවම ඔප්පුව ලියන්න ලෝයර් ගාස්තු නැතුව පැවරීමේ ගාස්තුව විතරක් කෝටි දෙකකට ලක්ෂ හයයි කියලා එස්ටිමේට් එක හදාගෙන තිබූණේ, දැන් ඒක ලක්ෂ දොළහක් ගෙවපල්ලකෝ...

      දැන් ඉතින් ලෝයර්ලත් ගාස්තුව වැඩි කරයි ඕකත් එක්ක, නොදකින්, අපි යකෝ මේ රටවල් වල ඇවිල්ල කට්ට කන්නේ නිකරුණේ කිසිම වැඩකට නැතුව රජයේ පිංපඩි කාරයන්ට දොලපිදේනි දෙන්නද යකෝ.... නොදකින් තොපේ අමන ආණ්ඩුව, හෙණ ගහලා අකුලෝලම පළයව්... තව මේ වගේ පාහර වැඩක් කරාම ඒකත් අගය කරලා කමෙන්ටුත් කරන්න ලු, ළඟ හිටියනම් දෙන්නේ තොට හෙල්මට් පාරක් ගොන් හිවලා.. වෙලාවට අපි කතිරය ගහන්න ආවේ නැත්තේ නැත්නම් අත කපාගෙන මැරෙන්න වෙන්නේ මුන්ට කතිරේ ගැහුවානම්... ෂික්...

      Delete
  11. බොහෝ කාලෙකට ඉස්සර "තපස් හාමදුරුවරු" කියල ට්‍රෙන්ඩ් එකක් ආවා. කැලේට වෙලා භාවනා කරපු සෙට් එකක්. එක කැලේක ඉඳලා අනිත් කැලේට මාරු වෙනවා, අලිමංකඩ අලි වගේ. ඒ තැන්වල සෙනඟ බලාගෙන හිටියලු වඳින්න. ඒකත් පස්සෙ නිකම්ම දියවෙලා ගියා.

    ReplyDelete
    Replies
    1. @ බස්සා

      සියල්ල මුදල් මත තීරණය වන ජරාජීර්ණ වුණ සමාජයක ආගමික සංස්ථාව තුලත් සිදු වන්නේ මාකට් හදාගන්න trend නිර්මාණය කොට ඒවාට followers ලා හදාගෙන ඒ හරහා මුදල් ඉපැයීම, මෙය free market economy එකක ස්වභාවය නිසා ඒක ගැන විවේචනය කරලා වැඩක් තියෙනවද කියල හිතන්න ඕන, ඕක තමයි සමාජවාදීන් විවේචනය කරන ධනවාදී සමාජයක බූර්ෂුවා ක්‍රමය කියලා කියන්න හේතුව

      කොහොම වුණත් මේ ගැන සිනමා නිර්මාණයකට වස්තු බීජ තියෙනව කියල මට හිතෙනව

      ඔයා අර දේශබන්ධු නාඩගම ගැන සිනමා නිර්මාණයක් කරන එක ගැන ලියපු මේ සටහන දකින්න ඇති නේද?

      //ශ්‍රී ලංකා පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගේ මෙතෙක් සිදුවූ සිඳුවීම් තුලින් සිනමා පටයකට, හෝ ටෙලිවෘත්තාන්තයකට සුදුසුයැයි මට හැඟුනද, ලබන වසරේ හෝ මෙම වසරේ අවසානයේ මා නිර්මාණය කරන 'The Colour Snakes' නම් චිත්‍රපටය තුළද මෙවන් චරිතයක් ඇති බව පසුව මට සිහිවිය. එය වෙනම කථාවකි.

      මාතර මහේස්ත්‍රාත් විසින් දේශබන්ධුව වරෙන්තු කර දින 20 ක් යන තෙක් පොලිසියට ඔහුව සොයා ගැන්මට නොහැකිවූ බව කියන සිද්ධාන්තය තිර නාටකයට අයත් දෙයක් බව කව්රුත් දන්නා සත්‍යයකි. පොලිසිය විසින් තම වෘත්තීය, ප්‍රධානියාව එසේ පාවා දීම නොකෙරුවෙ, තමන්ගේම වරිගේ මහඑකාව පාවා දීමේ, කුණු ගොඩට අහුනොවී ඔහේ අහක බලා සිටීම, තම ජීවිතයටත්, වෘත්තියටත් හිතකර බැවිනි. පොලිසිය තුලින් එක 'ජූදස්' කෙනෙකුව සොයා ගැන්මට නොහැකි වූයේ ඒ නිසා විය හැක. ලංකාවේ නීතිය කෙතරම් ස්වාධීනයයි කීවද, ඔය නීතියේ චූටි හිලකින් හෝ රිංගන හැටි දේශබන්ධුලා හොදාකාරව දනී. අනිත් අතකට අනුරගේ ටීම් එක, විශේෂයෙන් නීතිය පිළිබද ඇමති හර්ෂණ නානායක්කාර පමණක් නොව පොලිස් ඇමති විජේපාලද තම අණසක යටතේ සිටින බව දේශබන්ධුලා, ටිරාන්ලා, රනිල්ලා වගේම අනුරලාද හොඳටම දනී. එහෙයින් මේ ට්‍රේනිං පීරියඩ් එකේ සිටින අදාල අංශ ඇමැත්තන්ගේ දෑස් නොවසාම ඔවුන්ට පෙනී පෙනී නීතියේ හිල් අස්සෙන් රිංගන හැටි දේශබන්ධුලා දනියි. එවිට හර්ෂණ නානායක්කාර ට සිද්ධ වෙන්නේ අර ඉස්සර යොවුන් කාලයේ වාගේ නැවතත් ලාංකීය සිනමා ලෝකයට අවතීර්න වී, සංගීතා වීරරත්න සමඟ 'යසස' වැනි විත්‍රපටවල රඟපෑමටය. දැන් ඔවුන් එලෙස රඟපෑමට වයස වැඩිද කියන එක වෙනම ප්‍රශ්නයකි.

      දේශබන්ධු භාර වීමට සති දෙකකට පෙර ඔහු ඔහුගේ නිතිඥ වරයෙකු අතේ ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා යැවූ රීට් පෙත්සම ගෙන ගිය එකී නිතිඥයවරයා දේශබන්ධු සිටින තැන දැනගත යුතුමය. නැත්නම් ඔහු ඒ රීට් පෙත්සම පිළියෙල කරන්නේ කෙසේද? දේශබන්ධු ව හොයා ගැන්මට අවශ්‍යව තිබුණා නම් පොලිසියට ඒ නිතිඥ වරයාගෙන් දැන ගන්නට ඉඩ තිබුණි. එහෙත් වෘත්තිමය ලෙස නිතිඥ ක්‍රේෂ්තය තුල තමසේවාදායකයාගේ රහස්‍ය භාවය රැකිය යුතුද කියන එක නම් මා දන්නෙ නැත. ඇතැම් විට එය එසේ විය හැක.

      දේශබන්ධු සැඟවී සිටියා යැයි මා සිතන්නේ නැත. ඔහු කිසියම් ප්‍රභූවරයෙක් යටතේ ඉතාමත් සුඛෝපභෝගිව සිටින්නට ඇත. වෙනසකට වූයේ ඔහු වැඩිය එළිපෙහෙලියට නොයෑමය. දේශබන්ධු සිටින තැන, පොලිසියේ බොහෝ දෙනා දැනන් සිටියහ. එය වැඩ බලන පොලිස් පති තුමාද දැන සිටියේය. ඒ ගැන හර්ෂණද, විජයපාලද, අනුර සහෝදර ජනාධිපති තුමාද අනිවාර්යයෙන්ම දැන සිටින්නට ඇත. නමුත් දේශබන්ධු එක දිගටම සුපුරුදු මිනිස් ආශ්‍රයෙන් තොරව සිටීමට නොහැකි නිසා ඔහු කවදා හෝ අධිකරණයට භාර වී, මේ නූල් බෝලය ඔහු විසින්ම ලිහා ගනු ඇතැයි ඔවුන් සිතා සිටින්නට ඇත. එසේ ලිහා ගැනීමට අපහසු වන තැන්, රනිල් හා ටිරාන්ද, ඒ සමඟ ආණ්ඩුවෙ ⁣විජේපාල හා හර්ෂණද, තවත් අපහසු වුවහොත් ජනපති අනුර සහෝදරයාද එක්වී ලිහා දෙනු ඇත. ඉන් පසු මෙතෙක් දේශබන්ධු වෙනුවෙන් දැඩි විරෝධයක් පාන බව පෙන්වන සොලිසිටර් දිලීප පීරිස්ගේ පැත්තට නඩුව හැරී දෙදෙනාම බේරා අවසන්වීමට පුළුවන. ඒ තිරනාටකයට අයත් වන එක් සිනොප්සියකි.

      Cont'd...

      Delete
    2. Cont'd....

      දෙවැන්න සජීව සිදුවීමයි. එක්වරම හදිසියේම දේශබන්ධු අධිකරණය⁣ට භාරවීමය. එය මීඩියාව හදිසි භාරවීමක් ලෙස පෙන්වූවද, එය කිසිසේත්ම හදිසියේ සිඳුවීමක් නොවේ. එය, රනිල්, ටිරාන් මෙන්ම මහී,ගෝඨාභය මෙන්ම අනුර සහෝදරයාගෙද සාමූහික සැලැස්මක් විය හැක. දේශබන්ධු ටයි කෝට් පැලඳ ගෙන තම බෙන්ස් රථයෙන් කිසිදු බියක් නැතිව අධිකරණයට පැමිණ බංකුවෙ ඉඳගෙන සිටියේ තමාව වරෙන්තු කෙරුවෙකු හෝ තමන්ව දින 20 ක් තිස්සේ පොලිසිය රට පිර පීරා හොයන පුද්ගලයෙක් කියා වගේ වගක් නැතිවය. පොලිසිය පීර පීරා කිව්වට, පොලීසියට අනන්ත අප්‍රමාණ වාරයක් දේශබන්ධුව හමුවෙන්නට ඇත. සාමාන්‍ය වරන්තු කරුවන් ඉදිරියේ අතීශයින්ම අසංවර, අසංවේදී වන පොලිසිය, දේශබන්ධු ඉදිරියේදී අතීශයින්ම සංවේදි වී හොටු පෙරාගෙන හඬමින් 'අපි කොහොමද සර්, සර්ව අල්ලන්නේ. සර් කැමති කාලයක් ඉඳලා කැමති නම් විතරක් අධිකරණයට භාර වෙන්න. අපි දැක්කා නොදැක්කා වගේ ඉන්නම්' කියා කියන්නට ඇත. ඒ අතරේදී 'සර් ඔහොම ඉන්නගමන් අනුරයියටත් කෝල් එකක් දෙන්න. අනුරයියා ටීවී වල බොරුවට ටෝක්ස් දාලා කිඩ දැම්මට, සර් කෝල් කරපු ගමන් සංවේදි වෙලා සර්ව ගොඩ දායි.. දැං බලන්න මහින්දව නිල නිවසින් එළියට දානවා කියලා ටීවී වල, ස්ටේජ් වල අඩ් හප්පලා කෑගහලා කිව්වට, ඔය මහින්ද අපූරුවට ඉන්නේ. ඒ වගේ තමා සර් අනුරයියට කෝල් කරලා කියන්න. අනුරයියගෙ හිත හොඳයිනේ සෑර්ලාවගේ රනිල් රාජපක්ෂ ටිරාන් පන්තියේ ඉහළම මට්ටමේ හිතවතුන්ට. එතකොට ඔක්කොම හරියනවා. දැනටමත් ඔය ඉල්ලීම් රනිලුයි ටිරානුයි අනුරයියට කියලා ඇති. ඒත් සර්ත් කෙලින් කිව්වොත් වැඩේ ගොඩ. වැඩිම වුනොත් කියයි පළාත්පාලන ඡන්දය ඉවර වෙනකල් රිමාන්ඩ් එකේ ඉන්න කියයි. මොකද අනුරයියට ඒක හොඳ තුරුම්පුවක් හින්ද?

      සිනොප්සියේ තුන්වැන්න නිතිඥ වරුන් 50 ක් එක්වර අධිකරණයට ඒම. එය මාධ්‍ය විසින් හුවා දක්වන්නේ ඒ දිනම සිදුවූවක් ලෙසටය. එය කෙසේවත් සිදුවිය නොහැක. මෙම නීතිඥ වරුන් සමඟ දේශබන්ධු අවම සතියකට පමණ පෙර සිටම සම්බන්ධ වී ති⁣බිය යුතුය. ⁣නැත්නම් මෙම සැලැස්ම කළ නොහැක. මෙම නිතිඥ වරුන්ගේ විවිධ විවිධ නීතිමය දක්ෂතාවයන් මත දේශබන්ධු ට ඇප අරන් දීම ටොයිස් ය. ඔවුන් අනේක ලෙස දේශබන්ධුට තම වෘත්තිමය පුරාජේරුව කියන්නට ඇත. ඔවුන්ගේ උපදෙස් මතය දේශබන්ධු මඟුල් ගෙදරකට යනවාක් මෙනි ටයිකෝට් පැළද ගෙන අධිකරණයට පැමිණියේ. අධිකරණයට බඩගාගෙන ආ යුතු වරෙන්තුවෙක් විරාජමාණව පැමිණීමෙන් හෑල්ලු කළේ සමස්ත පොලීසියද, නැත්නම් අධිකරණය ද කියා නම් තෝරා බේරා ගැන්මට නොහැක.

      දැන් දේශබන්ධු රිමාන්ඩ් භාරයේය. එහෙත් ඔහු තවම නීතිය ඉදිරියේ වැරදි කරුවෙකු නොවේ. ඔහු සැක කරුවෙකු පමණි. ඔහු වැරදි කරුවෙකුද, නිවැරදි කරුවෙකුද, ඔහුට ඇප ලබා දෙනවාද කියා තීරණය වන්නේ ඉදිරි නඩු වාරයන් වලදීය.

      Cont'd..

      Delete
    3. Cont'd

      සිනොප්සියේ අනෙක් කොටස මෙසේය. දැන් දේශබන්ධු සාමාන්‍ය කුටියක ගාල් කර ඇත. ඔහු දැන් කන්නෙත් නැත, බොන්නෙත් නැත. කිසිවෙක් සමඟ කථා කරන්නෙත් නැත. ඔහේ බලාගත් අත බලාගෙන සිටියි. මාධ්‍ය එසේ කියනු ඇත. නමුත් මෙයද නිතිඥ වරුන් 50 දෙනාගෙ සැලැස්මකි. ඔවුනුත් මේ පිළිබඳව කුමක් හෝ කල යුතු වේ. ඔවුන් තවමත් උත්සහා කරනුයේ දේශබන්ධු මානසිකව වැටුණු බවක් පෙන්වා ඇප ලබා ගැනීමටය. නොකා නොබී සිට ලෙඩ කර, නැවත නඩුවාරය එනතෙක් හෝ පුද්ගලීක රෝහලේ හෝ නැවැත්වීමටය. අවම ජාතික රෝහලේ හෝ නැවැත්වීමටය. මේ සියල්ලම කර ගත නොහැකි වුවහොත් අඩුම තරමේ බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමටය.

      බොහෝ විට ඔහුට මෙම අප්‍රේල් 3 වනදා ඇප ලැබේවී. ඉන්පසු නඩුව ඇඳි ඇඳී යාවි. මහේස්ත්‍රාත් වරයාවත් කොහාට හෝ මාරුකරාවි. අනුරයියත් පලාත්පාලන ඡන්දය ගැන ජනතාවගේ හිත යොමුකරධලා විට ඔය සිද්ධිය අමතක කරවාවි. රනිල්, ටිරාන්,මහින්ද, අනුරයියාට කරන්න ඕනෙ මොනවාද කියා සියලුම උපදෙස් දේවී. අපි පොඩි කාලේ හිතුවේ ඩඩ්ලි සේනානායකයි, සිරිමාවෝ බණ්ඩාරනායක යි නයි වෛරයෙන් සිටිනවා කියාය. පසුව දැනුන් තේරුම් වයසට පැමිණෙන විට සිතුවේ මහින්ද රාජපක්ෂයි, රනිල් වික්‍රමසිංහයි නයි වෛරයි කියාය. ඉන්පස්සේ සිතුවේ ගෝඨාභය රාජපක්ෂ යි සජිත් ප්‍රේමදාසයි නයි වෛරයි කියාය. කෙතරම් මුහුකුරා ගියත් දැනුත් හිතෙන්නෙ ජනාධිපති අනුර කුමාරයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයි නයි වෛරයි කියාය. ඇත්තටම අපි තවම කොච්චර චූටිද කියා සිතෙන්නෙ එවිටය. රන්ජන් රාමනායක 'උං ඔක්කොම යාලුයි මල්ලි' කියා කියපු කථාව සිහියට එන්නට විය.

      දේශබන්ධු ට ඉදිරියේදි කෙරෙන්නේ මොනවාද කියා දන්නෝ දනිති. ⁣එය දැනට රහසේ පත්වී ඇති කොමිසම තීරණය කරාවි. එම කොමිසමට රනිල්, ගෝඨාභය, මහින්ද, ටිරාන්, පමණක් නොව අපි පත්කෙරු අපේ අනුරයියාද සිටින බව කව්රුත් දන්නා රහසකි. දේශබන්ධු වැන්නෙක් ව හිර ගෙයක ගාල් කල යුතු චරිතයක් නොවේ. ඔහු හොඳ ඡන්ද ගුණ්ඩුවකි. එහෙයින් එකී කොමිසම ඉතාමත් සුපරික්ෂාවෙන් දේශබන්ධු නාටකය රඟදක්වා එය ඔවුනට වාසිවන විදියට නිම කරනු ඇත.

      හේතුව මේ හැම දේශපාලුවෙකුට දේශබන්ධු කෙනෙකුද අවශ්‍ය නිසාය.

      දේශබන්ධු ගේ චරිතය මට විශේෂ වන්නේ ඒ තුලින් හොඳ තිරනාටකයක් ලියා චිත්‍රපටයක් කිරීමටය. හේතූව දේශබන්ධු ගේ කථාව තනිකර⁣ම නාටකයක් නිසාය.

      මට ඇති විශාලම ප්‍රශ්නය, මේ තුලින් මා චිත්‍රපටයක් කරන්නේ නම් දේශබන්ධු තෙන්නකෝන් ගේ චරිතය⁣ට මා තෝරා ගන්නා නළුවා කව්ද කියාය.

      -ශෝන් මැක්ස්මස් දිසානායක
      A day in the life
      ///

      උපුටාගැනීම අවසන්ය

      මේ තිර පිටපත පිළිබඳව ඔබටත් අදහස් යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්ද?

      මේ තිර නාටකයට අනුව රූගත කරන සිනමා පටයකට වේසබන්දු චරිතයට ඔබ යෝජනා කරන නළුවා කව්ද? මම නම් සිතන්නේ ඌම ඒක රඟපෑවොත් වඩාත්ම තාත්වික වෙයි කියලයි.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්