තවමත් වාසනාව
තියෙන්නේ මගේ පැත්තටය!
මෙච්චර කාලෙකට කෙලින් තියාගෙන උන්නු මගේ කොන්ද නොකැඩී පරෙස්සම් කෙරෙන කෙරෙන
විදිහටය, පෙරේදාත් මගේ ‘වාසනාව’ විසින් මාව බිමට වැට්ටුවේ.
ට්‍රීන් ට්‍රීන්
ට්‍රීන්... ට්‍රීන් ට්‍රීන් ට්‍රීන්... ටෙලිෆෝන් එක එක දිගටම කෑ ගහන්න ගත්තා. ‘කවුද
බොලේ?’ මං වතුර කරාමය වැහුවේ මගෙන්ම අසා ගනිමින්. මම හිටියෙ නාමින්. දවසේ පළමු
වතාවට. දෙවෙනි වතාවට නාන්නේ හවසටනේ!
විනාඩියකට නෑම නවත්තලා, තුවායත් ඉණ වටේ දවටාගෙන මං නාන කාමරෙන් එළියට ආවේ ටිකාක්
කඩිනමින්.
![]() |
ඒත් හිතෙන් නං ඉන්නේ... |
මං කියවපු
ලියවිල්ලක ‘ප්‍රවංක දශකය’ අර්ථ කථනය කරලා තියෙන්නේ මෙහෙමයි. ‘ප්‍රවංක දශකය යනු හැත්තෑව, අසූව
දක්වා අතර ඇති කාලයයි. ප්‍රා යනු ඉදිරියයි. වංක යනු වක ගැසීමයි. ශරීරය ඉදිරියට නැමෙන
ගතිය සහ බරවන ගතිය වැඩි වීමයි. තම ශරීරය තමාට අවනත නොවන ස්වභාවයයි. එවිට සැරමිට්ටක්
සැරයටියක් ආධාරකයක් අවශ්‍ය කරන කාලයයි.’
ඔන්න ඔය ප්‍රවංක
දශකය නිසාත්, මල්ටිපල් මයෙලොමාව නිසාත්, මයෙලොමාවට ගන්න බෙහෙත් කන්දරාව නිසාත් මං දැන්මම ‘මෝමූහ දශකය’ට
ඇවිත් සිටින්නෙක් ගණනයි. (ඒත් හිතෙන් නං ඉන්නේ ක්‍රීඩා, වර්ණ දශක දෙක මැද්දේ.)
මේ කාලෙ මම
හැරෙන්නෙත් හෙමින්. මං දඩිබිඩියේ හැරුණත් ඇති ‘දඩස්’ ගාලා බිම වැටෙන්න. අනේ, අනේ...‘මිස්ටර් කලබල’
වෙලා හිටිය නිමල් දිසානායකයාට වෙලා තියෙන දෙයක්! දැන් ඒ හාදයා ‘xxx මිහිරානි’ වෙලා.
(xxx මිහිරානි ඉතිහාසගත වෙච්ච දක්ෂ නිළියක්. හැබැයි, මට හිතෙන විදිහට ලංකාවේ ටෙලි නිළියන්ට
අන්තිම අඩු වේගයකින් හැරෙන- පෙරලෙන- හෙලවෙන ලෙඩේ බෝ කළේ එයා.)
ඔය slow මෝෂන්
වැඩේ අමතක වෙලයි, මං ඒ වෙලාවේ අඩිය ඉස්සුවේ. එතකොටත් මගේ සරුවාංගයෙන්ම දිය
බේරෙනවා. ටයිල් පොළොව උඩට වතුර වැටිලා තිබ්බම වෙන දේ අමුතුවෙන් කියන ඕනැයි-
ලෙස්සනවා!
(අපේ සාලේ
තියෙන්නෙ කොටස් දෙකකට. එක කොටසක ඉඳලා අනෙකට යන්න වෙන්නේ පඩි තුනක් නැඟලා. WAl ප්‍රියන්ත
plan එක අඳින්න යනකොට,
මං වහන්සේ ඕනිමය කියාපු එක දෙයක් ඒ. එහෙම ඇඳපු සැලැස්මට අනුව Wash Room එක
තියෙන්නෙ ඉහළ කොටහේ දකුණු කෙලවරේ. ඒකෙ ඉඳලයි මං පහළ කොටහට යන්න හැදුවේ.)
මොන? හැදුවට
යන්න වුණේ නෑ.
නිකංම යැවුණා... ලෙස්සලා. උඩම පඩිය උඩට පය තිබ්බා විතරයි, ‘සුරුස්’... ලෙස්සුවා.
(සුරුස් ගාලා ලිස්සලා යන යෙදුම ණයට ගත්තේ සහෝදර blog රචක බකුසු මහතාගෙන්.)
හිම මත
ලිස්සල යනවා වගෙයි මාත් සුරුස් ගාලා ලෙස්සුවේ.. ඒත් මං ලිස්සල ගියේ නෑනෙ... ලිස්සල
වැටුණනේ. පඩි තුනෙන් පහළට විතරක් නෙවෙයි. ලිස්සල ගිය වේගයට තවත් අඩි තුන-හතරක්
ඉස්සරහටත් තල්ලු වෙලා ගිහිල්ලයි මාව නැවතුණේ! හරියටම කිව්වොත් තුන්වෙනි පඩියේ සිට
පැතලි පොළොවේ තවත් අඩි පහක් පෙරට!!
![]() |
ඉකුත් අරගල සමයේදී... |
එහෙම්ම ඉඳගෙන මං සිද්ද වෙච්ච අලාභ-හානි තක්සේරු කරන්න පටන් ගත්තා. මටම අවංකව...
අලාභ-හානි තක්සේරු
කරන්න... රජයේ තක්සේරුකරු වගේද?
ආණ්ඩුවේ / රජයේ තක්සේරුකරු කියලා කෙනෙක් ඉන්නවලු නෙව. (එතුමාගේ කෙරුවාව ගැන තක්සේරු
කරන්නේ කව්ද දන්නෑ!) මේං බලන්නකෝ- ඒ තක්සේරුකරුත් ගෑවිච්ච කතන්දරයක්:
‘ඥාණක්කාගේ ගෙදරටත් රජයෙන් දෙකෝටි අසූ ලක්ෂයක් වන්දි ගෙවලා!
හිටපු
ජනාධිපතිවරුන්, දේශපාලඥනයන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් රැසක් විවිධ
කාර්යයන් සඳහා ආශිර්වාද ලබාගැනීමට පැමිණි, අනුරාධපුර පදිංචි ඥාණවතී ජයසූරිය (ඥාණක්කා)
නමැත්තියගේ නිවෙස ඉකුත් අරගල සමයේදී ගිනිතැබීමෙන් පසු ඊට හානි පූර්ණ වන්දි වශයෙන් රුපියල්
දෙකෝටි අසූ ලක්ෂයක මුදලක් ඇයට ගෙවා ඇතැයි හානිපූර්ණය සඳහා වන කාර්යාලය සඳහන් කරයි.
‘අරුණ’
වාර්තා කර ඇති ආකාරයට, තොරතුරු
දැනගැනීමේ පනත යටතේ හානිපූර්ණය සඳහා වන කාර්යාලයෙන් කරන ලද විමසීමකට අනුව මෙම තොරතුරු
ඉදිරිපත් කර තිබේ.
අනුරාධපුර
නව නුවර පාරේ, ඉසුරුපුර
ප්‍රදේශයේ පදිංචිව සිටින ‘ඥාණක්කා’ නමින් හඳුන්වන කාන්තාවගේ නිවසට, දේවාලයට
සහ හෝටලයට ඉකුත් අරගල සමයේදී එනම් 2022 වසරේ මැයි 10 වැනිදා කිසියම් පිරිසක් විසින්
ගිනිතබන ලදී.
ඒ අනුව, හානිපූරණය
සඳහා වන කාර්යාලය කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ රජයේ තක්සේරුකරු විසින් ලබාදී ඇති රහස්‍ය
තක්සේරු වාර්තාවෙහි වටිනාකම මත පදනම්ව මූල්‍ය සහන ලබාදී ඇතැයි එම කාර්යාලයේ තොරතුරු
නිලධාරියා සඳහන් කරයි.
මෙලෙස
මූල්‍ය සහන ලබාදීමේදී (ඥාණක්කාගේ) හෝටලයට සහ දේවාලයට ගෙවීම් කර නැතැයි ද හානිපූරණය
සඳහා වන කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.’
ඔය රජයේ තක්සේරුකරු
කියන කෙනා පොඩිපටු කෙනෙක් වෙන්ඩ බෑ. උන්නැහෙගේත් වාර්තා එහෙම සැලකිල්ලට අරගෙන
වෙන්නෝනි ඒ ආණ්ඩුවේ මැති ඇමති මන්ත්‍රීවරු 43 දෙනෙකුටත් රුපියල් කෝටි 122කට කිට්ටු
මුදලක් ලෝස් නැතුව ගෙවල දමල තියෙන්නෙ.
කිසිම පළපුරුද්දක්
නැතුව පාර්ලිමේන්තු ආව නවකයන් වැඩි දෙනෙකුගෙන් හැදුණු අලුත් ආණ්ඩුවෙ උදවියගෙන් කියවෙච්චි
විදිහට නං ‘මෑත අතීතයේ පත් කෙරුණු කොමිසම් හැටහුටහමාරෙන්’ තිතටම; අධිවේගීව වැඩ කරලා
තියෙන්නෙත් ඒ කොමිසම විතරයිලු.
මං හිතන්නේ ඒ කොමිසමේ සාමාජිකයන්ට ඔවුන්ගේ කාර්යක්ෂමතාව වෙනුවෙන් ‘ගෞරව සම්මාන-
බුහුමාන’ පුද කළ යුතුමයි!
ඔන්න දැනටමත්
ඒ වන්දි මුදල් අරගෙන තියෙන පහුගිය ආණ්ඩුවල මන්තිරිතුමන්ලගේ ලැයිස්තුවත් මේ post
එකට එකතු කරනවා ‘හුදී ජනතාවගේ පාන් සංවේගය’ උදෙසා.
ඉතිං ‘ලිස්සලා වැටිල්ලෙන්’ සංවේගප්‍රාප්ත වෙච්චි මම ඉස්සෙල්ලාම වටපිටාව තක්සේරු කළා. දොරවල් වැහුණු විදිහටම තියෙනවා. ජනේලත් සුපුරුදු විදිහටම බාගෙට ඇරුණු ගමන්. වැටිච්ච ගමන්ම ඉන්න මං... විතරයි නුපුරුදු සෙයියාවකින් ඉන්නේ.
එතකොටයි මට මීටර් වුණේ! මං වැතිරිලා ඉන්නේ
අමු නිරුවතින්... ඇඟේ නූල් පොටක්වත් නෑ... හෑ...
කෝ යකෝ මගේ ඉණ වටේ දවටාගත්ත තුවාය?
මට හැරෙන්න
වුණේ කැක්කුම් දාහක් මැද්දේ... අර තියෙන්නෙ අවතැන් වෙච්චි තුවාය. උඩම පඩිය උඩ. ඒක
අරගන්න නං එතැනට යන්න ඕනි. අමාරුයි තමා- ඒත් නොගිහිං කොහොමද?
කාගෙන් හරි උදව්වක් ඉල්ලලා කෑගහන්න හරි වුණත්- ඉස්සෙල්ලම හෙළුව වහගෙන ඉන්න එපැයි.
![]() |
අරුණ, විනාඩියකට ඇවිත් යන්න- තරහ නැතුව. කලබල වෙන්නවත් කාටවත්
කියන්නවත් එපා. මාව වැටුණා! (මලිත් හා අරුණ) |
මං වහන්සේ එහෙම කරලයි පඩිය උඩින් වාඩි වුණේ. වාඩි වෙලා තුවාය දවට ගත්තේ.
‘තමුසෙ නෑවේ
බාගෙට නේද?’
වැටෙනකොටම වැඩි වෙච්චි පපුවේ ගැස්ම දැන් නං නෝමල් වගෙයි. හුස්ම වැටිල්ලත් සාමාන්නියයි.
පඩි පෙළේ එක පැත්තක තියෙන අත්වැට අල්ලගෙනයි ඕං මගේ කඳ කෙලින් කර ගත්තේ.
මගෙ සංතෝ! ඒකට ගිය වෙලාවක්... ඒ මදිවට ඒ වෙලාවේ දැනුණු වේදනාව... ඒත් ස්නානය ඉවර
කරගෙන ඉන්න එපැයි.
පුළුවන් උපරිමේටම
සීරු-මාරු වෙවී නාන රාජකාරිය ඉවර කරගෙනයි අරුණට කෝල් එකක් දුන්නේ. අරුණ ඉන්නේ අපේ
ගෙදරට ගෙවල් දෙකක් එහායින් තියෙන නූල් කඩේ.
“අරුණ, විනාඩියකට ඇවිත් යන්න- තරහ නැතුව. කලබල වෙන්නවත් කාටවත් කියන්නවත් එපා. මාව
වැටුණා!”
අපරාදේ
කියන්න බෑ- අරුණ කලබල වෙලා තිබ්බේ නං නෑ. Phone එක තියන්නත් කලින් මට ඇහුණා අරුණ
ගිනි කසයා වගේ දුවගෙන එන සද්දේ. “මොකෝ ලොක්කා වුණේ?”
“මේ ක්‍රීම්
අරවා මේවා ගාලා හරි යයිද ලොක්කා... නෙවිල් අයියට හරි දොස්තර මහත්තයට හරි කියමුද?
නැත්තං මෙහෙ දොස්තර කෙනෙක් ගාවට යමුද?”
අත් බේත් විදිහට ගෙදර තියාගෙන ඉන්න සිද්ධාලේප කුප්පියයි, ශර්ෂපාදිය තෛලය බෝතලයයි,
Movelat Cream ටියුබ් එකයි පෙන්නුවාම අරුණ කියපි.
”ඕනි නෑ අරුණ. අමාරුව වැඩි වුණොත් යමු...”
“අමාරුව වැඩි
වෙන්නේ පහු වෙන්න වෙන්නයි. මේ... පිටේ පැත්තක් ඉදිමිලත් වගෙයි.” අරුණ හූල්ලමින් කිව්වා.
“අම්මට සිරි! මේ... ඔළුවෙත් ටීක් බෝලයක් විතර ගැටයක්... පැලිල නං නෑ- තැලිලා
විතරයි. හොඳ පාරක් බොසා වැදිලා තියෙන්නෙ. තැලිච්ච තැන් රිදෙන්න ගනියි වෙලාව යනකොට.
අද මලිතුත් නෑ කඩේ. ගමේ ගිහිං. ඒත් අපේ බොසා කිව්වා ඉක්මනට ගිහිං ඔයාට මොකද කියලා
බලන්න කියලා. ඔයා තනියමනෙ කියලත් කිව්වා. මං යන්නං. මොනව හරි ඕනිකමක් වුණොත් call
එකක් දෙන්න.”
පිටෙන් බාගයක
Movelat Cream
තවරලා, අරුණ පිටත් වෙන්න හැදුවේ අත සෝදා ගන්නෙවත් නැතිව. “අත හෝදාගෙන යන්න අරුණ!”
“ලෙඩෙකුට තෙල් බේත් සාත්තුවක් කළාට පස්සේ අත හෝදන්න- පිහදන්න එපැයි කියනවනෙ,
ලොක්කා.”
“කවුද?”
“අපේ අම්මා. එයා ටිකක් කැඩුම්- බිඳුම් වෙදකම ගැන දන්නවා බොසා...”
![]() |
අරුණලගේ අම්මාගෙනි, මට තැම්බූ ‘දමින ඇට’ රස විඳින්නට ලැබුණේත්. |
බිත්ති
ඔරලෝසුවෙ කටු පුරුදු විදිහටම කැරකෙමින් වෙලාව කිව්වා. එකොළහයි. පුරුදු ඉරියව්වෙන්ම
පුටුවේ වාඩි වෙන්න හදද්දී මට තේරුණා, ටිකකට කලින් අරුණ කියූ දේ ඇත්තය කියලා.
දැන්මම අලුත් අලුත් ඉසව්වල අලුත් වේදනා කැක්කුම් දැනෙන්න පටන් අරං!
මගේ මාධ්‍ය
ප්‍රකාශක උන්නැහේට ගත්ත call එකක්.
“නෙවිල්, මාව
වැටුණා...” මං විස්තරේ කිව්වා. එතකොටයි දැනුණේ කතා කරනකොටත්- හෙලවෙනකොටත් වේදනායි.
“තුවාලද?”
“නෑ. තැලුම් විතරයි.”
“මම හවස වැඩ ඇරිලා යන ගමන් එන්නං” කියලා කිව්ව නෙවිල්ගෙන් අයස්මන්ත මහත්තයාට
පණිවුඩය ගිහිං. “නිමල් අයියේ, මම නෙවිල් අයියට sms කරන්නං ගන්න ඕනි බෙහෙත්. ඉඩක්
හම්බ වුණොත් මාත් රෑ වෙලා එන්න බලන්නං.”
හවස් වෙද්දී
නෙවිල් ආවේ, පීරිස් මහත්තයා කියල තිබුණු බෙහෙතුත් අරගෙන.
ඒ වෙද්දී මං උන්නේ චිත්‍ර වධය විඳිමින්. ඉඳගන්න බෑ- හිටගන්න බෑ- ඇලවෙන්න බෑ- අතපය හොලවන්න බෑ- කතා කරන්නවත් බෑ, සරුවාංගයම ඇදුම්
කනවා.
කැස්සක් ආවාමයි වැඩේ බරපතලකම හොඳටම තේරුණේ. කැස්ස හංගා ගන්නයැ? ඒත් ඊට පස්සේ උගුර
කසාගෙන එනකොටම පුළුවන් තරං දහිරිය දාලා ඒ උවමනාව යටපත් කර ගත්තා.
‘අනේ දෙයියනේ,
කිඹුහුමක් නං එවන්න එපා!’ මං දෙයියන්ට යැද්දා.
මොන? දෙවිවරු සේරමත් කෝප් කමිටුවේ රැස්වීම්වල වීඩියෝ බල-බලා ඉන්නවා ඇති. ලක්ෂ-කෝටි
ගණනින් සල්ලි හොරා කන්න ඕනෑවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලොකු-ලොක්කන් ගහල
තියෙන game!
එයාලගෙන් ප්‍රශ්න කරද්දී තමයි පේන්නේ උන්නැහේලා විරුවපට්ටං ගහගෙන ඇඹරෙන
ලස්සන...
ඇටි කෙහෙල් ගිලපු උගුඩුවෝ වගේ; ගලේ පහරපු බළල්ලු වගේ තමයි දැන් උන්දැල තටමන්නේ! “320ක් රට යවන්න බිලියන 1.2ක්! කෝප් කමිටුවේ ඇස් උඩගිය හෙළිදරව්ව- රටම කළඹන අනාවරණයක්!” කියන වීඩියෝව ඔයාලටත් බලන්න හම්බ වුණාද?
“ඔයාත් ඕවා සේරම බැලුවද හලෝ?”
“වෙනදාට නං එච්චර වෙලාවක් එව්වට හිර වෙන්න බැහැනෙ නෙවිල්.” මං කියාගත්තේ කොඳුරමින්.
“මොනම දෙයක්වත් කරන්න බෑ- මේ රිදිල්ලත් එක්ක. නිඳා ගන්නවත් බෑ.”
“තමුසෙගෙ චීත්තවාහිනිය ලියාගන්නත් බැරිද?”
“Blog එක නොලියා කොහමද... ලියනවා හෙමි-හෙමින්.”
“අන්න
අයස්මන්ත මහත්තයත් එනවයි කිව්වා.”
“එහෙනං අදත් මට ගෙදර යන්න වෙන්නේ යක්කු ගස් නඟින ජාමෙට තමයි.”
![]() |
නිමල් අයියගෙ ඇටකටුවල බිඳීමක් වෙලා
නං එහෙම පොරට මාස හයක්වත්... |
“තාම තමුසෙගෙ ආදරණීය නංගිට කිව්වෙත් නැද්ද හලෝ?”
“කතා කරනකොටත් මසල්ස් රිදෙනවා... කොහෙ කතා කරන්නද?”
නෙවිල් මානෙල්ට පණිවුඩය කියලා නැවතුණේ
නැත. “ඉන්නවකෝ- තරුණ blogකාරයටත් කියන්න...”
“ඒයි නමී.
එන්නැද්ද ඔහෙලගෙ මැන්ටල් බ්ලොග්කාරයව බලන්න... දැන් තමයි එන්න හොඳ වෙලාව. මිනිහගේ
කට වැහිලා- බැන්නත් නිකං ඉන්නවා. එයා සාලෙ මැද්දේ ලෙස්සල වැටිලා. ඇටකටු නොකැඩී බේරිලා
තියෙන්නෙ වාසනාවට... මොකද යකෝ හිනා වෙන්නේ... බොරු? බොරු නෙවෙයි, මිනිහෝ. මම මේ
ඉන්නෙත් දිසානායකලගේ ගෙදර.” නෙවිල් ජංගමයා මගේ මුහුණට ළං කරයි. “බොරු නං බලා ගන්නවා.”
“අම්මට සිරි!
ඇත්ත නේන්නං. මොකද නිදි වුණේ?”
“මට අමාරුයි. නෙවිල් විස්තරේ කියයි.”
හීනෙකින්වත්
හිතා ගන්නට බැරි විනාශකාරී ඇබැද්දියක් කඩා පාත් වුණේ ඒ වේලාවේය. ‘ලෑස්ති වෙයං!’
නහය කිව්වේය. On your mark- Get set...
Go කියවෙන්නටත් කලින් කිවිසුම ආවේය. හ්..හ්..හ..හ..හ..හච්චිං!
එතෙක් වෙලා
නොතිබුණු ‘සුළුදිය පහ කිරීමේ අවශ්‍යතාවක්’ මට ඇති වුණේ කිවිසුම යනවාත් එක්කමය.
කියන්නත් මොකක්ද වගෙය. අවශ්‍යතාව දැනෙන්නටත් කලින් සුළුදිය ස්වල්පයක් පහ වෙලා වගෙත්ය...
කොයිකටත් කියල මම සරම මාරු කර ගත්තා!
අයස්මන්ත
මහත්තය ආවෙ තව බෙහෙත් වගයකුත් අරගෙන.
“කෝ බලමු,
වෙලා තියෙන හරිය... හොඳ වෙලාවට ෆ්‍රැක්චර්ස් නං මොකුත් වෙලා නැහැ වගෙයි. Pain එක
වැඩි වෙනවා නං අපි එක්ස්රේ එකක් අරගෙන බලමු. මෙතැන පේන් කිලර්ස් එකකුත් තියෙනවා.
බෙහෙත් බිව්වම කැක්කුම අඩු වෙලා නින්ද යයි. බලපං නෙවිල්, එක ගොන් biජ්ජෙක් හින්දා
වෙන ජරමර...”
“මමත් කිය-කියා
හිටියෙ පීරා, මේ යකා දැනගන්න එපැයි දැන් මෙයා මැන්ටලයක් බව. ලෙඩෙක් බව. මිනිහා අද
නං කට වහගෙන ඉන්නවා, පාන් කියාගන්නවත් පණ නැතිව. මේ බේත් ටික අපි දවසක් දෙකක් පරක්කු
කරලම දිසානායකට දෙමුද මචං?” (සභාවේ සිනා.)
“විහිලු
නෙවෙයි මචං. උඹ දන්නවද- නිමල් අයියගෙ ඇටකටුවල බිඳීමක් වෙලා නං එහෙම පොරට මාස
හයක්වත් ඇඳේම තපින්නයි වෙන්නේ. ඔව් නිමල් අයියේ. සෙල්ලං නෙවෙයි. එහෙම දෙයක්
වුණෝතින් අපි කී දෙනෙකුට පරිප්පු කන්න වෙනවද? එහෙනං මානෙල්ට තමයි අම්මටයි,
නැන්දම්මටයි කර ගැහුවා වගේ මේ අලුත් ලෙඩාටත් කර ගහන්න වෙන්නේ...
නාන වෙලාවට මොන එහෙකටද යුෂ්මතා ෆෝන් එකට
දුවන්නේ? අත්‍යවශ්‍ය කෙනෙක් නං ආපහු කෝල් එක ගනියිනේ.” පීරිස් මහතා කීවේය.
![]() |
ලොකා කැමති එයාට ඕන විදිහට නිදහසේ
ඉන්නයි... |
දවසකට දෙකකට සෑහෙන තරමේ කෑම ගොඩකුත් හදාගෙනය, මානි රෝසිත් හිමන්‍යාත් එක්ක පසුවදා උදෙන්ම ආවේ.
“ලොකාට
තියෙන්නෙ නාන්න යනකොට ෆෝන් එක උස්සල පැත්තකින් තියන්න...”
“නෑ නෑ... මීට පස්සෙ නාන වෙලාවට කොච්චර rings ගියත් මං කලබල වෙන්නෑ!”
“කලබල වෙලා
තියෙන හරිය මදැයි ලොකු මාමේ. මේ... පිටේ පැත්තක්ම නිල් වෙලා...” තෙල් සාත්තුවක්
කරන ගමන් රෝසි කිව්වේ හූල්ලමින්. “අම්මේ, අපි ලොකු මාමාව දවස් දෙක-තුනකට හරි අපේ
ගෙදර එක්ක යංද?”
“ඔය දන්නෙ නෑ
රෝසි, මම කී පාරක් ලොකාට කිව්වද කියලා එහෙ ඇවිත් ඉන්න. පොඩි අයියත් කොච්චර කියනවද?
අපි කාටවත්ම ලොකාව බරක් නෙවෙයි... ඒත් අපිට තේරෙනව- ලොකා කැමති එයාට ඕන විදිහට
නිදහසේ ඉන්නයි... ලොකු මාමටම හිතුණොත් අපිත් එක්ක ඉන්න එයිනේ, රෝසි.”
ඉතිං...ඒ
දෙදොහේ; මාර්තු 1- 2 දෙදිනේ ජරමර නම් හිතාදර පාඨක ඔබ සැමට කියා අහවරය. ඒත් ජරමරය
ඉවර නැත. ප්‍රතිකාර ඉවර නැත!
සංසාරේ හැටි එහෙමය.
හතලිහේදී 14වෙනි කොටස වෙනුවට මේ පෝස්ටුව ලිව්වේ, මේ ජරමරය හිංදා ලිවීමේ වේගය අඩු
වෙන විත්තිය- ඊට හේතුවෙන කරුණුත් සමඟම ඔබට කියන්නටය.
එහෙම වුණත් මගේ
කෙටිකාලීන බලාපොරොත්තුව නම් ඉතා ඉක්මනින්ම ඊළඟ පෝස්ටුව අකුරු කරන්නටය.
මගේ
දිගුකාලීන බලාපොරොත්තුවලින් එකක් වන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකාහි කොන්ද' තව තවත් ශක්තිමත් වී කාර්යක්ෂමව පෙරටම යනු දැකීමය෴0෴
නිදී මහතාට ඉක්මන් සුවය පතමි. ඒ අතරම අර කියපු කෝප්, හෝප් යනාදී කමිටුවල හොයාගන්න දේවල් හොයාගැනීමෙන් ඔබ්බට යන්නැත්තේ ඇයි දන්නෑ. කරපු උං ආඩම්බරයෙන් උදම් අනනවා ඇති අන්න අපේ වැඩ! කියලා.
ReplyDeleteමේවා එලියට ඇදීම හොඳ දෙයක් වුනත්, කිසිම වගකීමක්/දඞුවමක් ඇති බවක් පේන්න නෑ. කොහොමත් අපේ සමාජය හොරකම උත්කර්ෂයට පත් කරනවා. "ගේමක් ගසා ගොඩ යෑම" යනුවෙන් කියවෙන්නෙ ඒක බව මගේ අදහසයි.
Deleteවරක් මම ඇහුවා මර්වින් සිල්වාගේ හඞ පටයක්, කප්පම් දීම ප්‍රමාද කල වෙලඳුන්ට තර්ජනය කරන හැටි. දේසපාලුවො විතරක් නෙමෙයි රටේම ඉන්න හොරු.
නිදීට ඉක්මන් සුවය!. අවාසනාවන්ත සිදුවීමක් වුනත්, ඉතාමත් රසවත් , වටිනා කතිකාවකට තොරතුරු පිරි ලිපියක්. මගෙන් විසඳුම:
ReplyDeleteCordless Phone with Answering Machine
හැකි තරම් කාළයක් ස්වාධීනව සිටීමේ, නිදිගේ ප්‍රතිපත්තිය මමත් අනුමත කරනවා. නිදිට නෑඳෑ-හිතමිත්‍ර සංග්‍රහ සම්පත්තිය නොඅඩුව ලැබෙන්නේත්, ඒ අනුන්ට අඩුම ඇණයක් වීමේ ගතිගුණය නිසා වෙන්නත් ඇහැකි.
ReplyDeleteඒත් අලංකාරය මිස, ප්‍රයෝජනයක් නොපෙනෙන නිදි ඉල්ලලම දාගත්ත "WAl ප්‍රියන්තගේ පඩි තුන", ප්‍රවංක දශකයට වඩා කැඩුම්-බිඳුම් අංසෙට මිත්‍රශීලී බව මගේ හැඟීමයි.
පඩි තුන දැන් මැකිය නොහැකි නිසා, හෑන්ඩ් රේල් එකක් වගේ එකක් ප්‍රයෝජනවත් විය හැක.
- පාරෙ තොටේදී පවා "සුරුස්" ගා යන්නට පහසුකම් සලසන වින්ටර් නරියෙක්ගේ සතපහ-
Please take an extra caution. God bless you.
ReplyDelete