li Item

Monday, March 17, 2025

Rekhachithram සහ කෝප්

‘මේක බලන්න. හැබැයි ඉතිං හිණේ කෝණම් පොජ්ජක් තියෙන නිසාම තාමත් දිසාපොජ්ජ මන්දො කරනා යමකෙ පොජ්ජේ පෝරුගං පොජ්ජට කෝණම් පොජ්ජත් කොදු කොරාන වට්ටං පොජ්ජට ගච්චන නිමල් දිසානායක හූරා වෙන්ට බැරූං කියලා මේ ඇත්තන්ට හිත්ලානවා බොලංලා, මොකෑ ඔය ඇත්තන්ට හිත් ලාන්නේ?

ඉතා නිර්මාණාත්මක ලෙස ‘ආදිවාසීන්ගේ බසින්’ comment එකක් එවමින් රසිකයෙක් කියලා තිබුණා. හැබැයි නොනමින්. Ano කෙනෙකු විදිහට.

ඇයි මේ කුලප්පු post එකට ඉතා නිර්මාණාත්මක ලෙස ‘ආදිවාසීන්ගේ බසින්’ comment එකක් එවමින් රසිකයෙක් කියලා තිබුණා. හැබැයි නොනමින්. Ano කෙනෙකු විදිහට. (මොකද මන්දා- ඔහොම comments එවන ගොඩක් දෙනා තමන්ගේ අනන්‍යතාව හෙළිදරව් නොවෙන විදිහටයි ඒ හපන්කම කරන්නේ!)

‘මේ චූටි ක්ලිප් එකේ ඉන්නේ නිමල් දිසානායක සහෝදරයා නේද? කියල link එකකුත් එවමිනුයි ඒ කමෙන්ටුව පටන් ගෙන තිබුණේ. මාත් ඒ ලින්ක් එකට ගිහිං බැලුවා. අනේ, ඒ මං නෙවෙයිනෙ...
Ano, කනගාටුයි, ඔයාට වැරදිලා.’ කියල මං එයාට උත්තරයකුත් දුන්නා.

ජනිත් ලියනගේ මහතාත් ඒ link එකට ගිහිල්ලා වගෙයි. එයා කියලා තිබුණේ මෙහෙමයි.
“ඔය ක්ලිප් එකේ ඉන්නේ නම් නිදී ලොක්කා වෙන්න බෑ බං. මොකද ඉණේ වස්තරයක් තියෙනවා නේද
? මේකා අමු හෙළුවෙන්නේ මේකේ ඩෝබි රාජකාරිය අකුරට ජයට උදයේ හවස කරගෙන යන්නේ.

ඇත්තටම මචං නිදී ලොක්කා අංකල් උඹ දවසක වලකජ්ජ ගහන්නේ ඔහොම වැටිලා එහෙම නෙවෙයි ඔය හෝදන්න ගොඩ ගැහිලා තියෙන රෙදි කන්දරාවට යටවෙලා. දවසින් දවස ගොඩ ගැහෙන්නේ ඩබල් එකෙන්නේ. එන්න එන්න වැඩි වෙනවා. මේ සංසාරේ හෝදලා ඉවර කරන්න බැරි තරමට අසූචි තැවරුණ මාලිමා කුණුරෙදි ගොඩ දැන් අර මැදමුලනේ පාදඩ ජරාපස්ස හොර හැත්ත හොරාකන්නම හදලා දාපු අර මෙලෝ වැඩකට නැති ගොබ්බ නෙලුම් කුළුණටත් වැඩිය උසයි නේද?
මූට පිස්සුද ඕයි. නොදකින් විතරක් පුත්තලම් බූරුවා. විලි ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වැඩියි කියලා කියන්නේ ඒකනේ. ඇත්තටම උඹේ ලැජ්ජ බිමින් තියලා ද බං නිදි අංකල්
?

කොහොම comments වුණත් ඒවා පළ කරන එක ගැන මගේ හිතේ තියෙන්නේ නං ප්‍රසාදයක්. විවිධ අදහස් නෙව! ඒත්, සමහරු කමෙන්ට් කරන්නේ තමුන්නේ වැරදි වහ ගන්නලු; බඩවියත රැකගන්නලු; රස්සාවටලු.
අනේ, මම නං ඒ විත්තියක් දන්නෙ නෑ ඕං... යමක් දැකලා- කියවලා- අහලා ඒ මොහොතේම... රැස් යන්න කලින්ම තමන්ට දැනෙන අව්‍යාජ සිතුවිල්ල ලෝකෙටම කියන එක කොච්චර අගේ ඇති වැඩක්ද?

සමහරු ඒ රාජකාරිය කරනවා බොහොම සංයමයෙන් යුතුව. සැබි විදිහට. තව අය ඊට හාත්පසින් වෙනස්වයි ඒක කරන්නේ. තව අය හිතේ කැකෑරෙන වේදනාව නිසා වෙන්නැති, පුදුමාකාර වෛරයකින් comment කොටන්නේ.
ඒ වගෙමයි- සමහර කමෙන්ට්ස් ඉතා හරවත්, නැණහුරු, කාලෝචිත ඒවා. අර කලින් සඳහන් කෙරුණු කමෙන්ටු අතරේම තියෙන Lotus රසිකාවියගේ මේ comment එක එහෙම එකක් විදිහටයි, මම දකින්නේ.

එහෙම දුටු තැන වෙඩි තියන්න පාතාල සාමාජිකයො 'ආ අපි පාතාලෙ' කියලා බෝඩ් එල්ලගෙන හරි ඇඟේ කොහෙ හරි කොටාගෙන ඉන්නවද ‘අනේ අපිව දුටු තැන මරන්න’ කියාගෙන.

"මේකට සම්බන්දයක් නැතත් මම මේ ලඟදි දැක්කා YouTube කමෙන්ට් එකක් "පොලිසියට අවසර දෙන්න පාතාල සමාජිකයින් දුටු තැන වෙඩි තියන්න" කියලා. මම බලපු වෙලාවෙ ඒක තමයි ටොප් කමෙන්ට් එක- බොහෝ අය හුරේ දාලා තිබුණා.

නමුත් ඇත්තටම හිතලා බැලුවොත් එහෙම දුටු තැන වෙඩි තියන්න පාතාල සාමාජිකයො 'ආ අපි පාතාලෙ' කියලා බෝඩ් එල්ලගෙන හරි ඇඟේ කොහෙ හරි කොටාගෙන ඉන්නවද ‘අනේ අපිව දුටු තැන මරන්න’ කියාගෙන.
හරි වෙඩි තියන්න පටන් ගත්තා කියමුකො. එතකොට අනිත් පාතාල සාමාජිකයො නිකන් ඉඳියිද තමන්ගෙ අය මරනවා බලාගෙන
, mistaken identity නිසා අහිංසක මිනිස්සුත් මැරෙන්නෙ නැතිවෙයිද, රටේ මානව හිමිකම් රෙකෝඩ් එකට මොකද වෙන්නෙ.
දැන් දැක්කනෙ හිටපු ජනාධිපතිතුමෙක්
AJ එක්ක ඉන්ටර්වීව් එකකට ගිහින් වෙච්ච දේ. "not contesting, next question please" කිය කිය ඉන්න වුණේ 😁. So much of childish behaviour and evading responsibility. හැබැයි සමහරුන්ට නම් ඒ ඉන්ටවීව් හරි ලොකුයිලු රට පාවා දුන්නෙ නැති නිසා.’

මේ දවස්වල මගේ වේලාවෙන් ලොකුම කොටහක් යන්නේ YouTube එකට. ඒකෙ තියෙන කෝප් කමිටු රැස්වීම්වල වීඩියෝස් බලන්න. ඒවාට එකේක්කෙනා කියල තියෙන comments කියවන්න.
ඒ හින්දා films බැලිල්ලත් අඩු වෙලා. Blog එක ලිවීමේ වේගයත් අඩු වෙලා. (
වැටිච්ච එකෙන් තැලිච්ච තැන් තවමත් රිදෙන නිසා කොම්පියුටරේ ඉස්සරහ හිටිය හැකි වෙලාවත් අඩු වෙලා හින්දයි ඒ!)
කෝප් කමිටු රැස්වීම්වල ඉතිං බලන්න තියෙන්නෙ ප්‍රශ්න අහද්දී හිටපු; ඉන්න අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්... සුදු කරපටිධාරී නිලධාරීන්ගේ ‘මුඛ පූට්ටු’වෙන හැටි නෙව. අනෙක තමා ඒ නිලධාරී මාත්තුරුන්ගේ ලේ කඳුළක් නැති; හිනාවක ශේෂයක්වත් නැති; විරවෙච්ච; පරවෙච්ච මුහුණු...
ඒ මුහුණු දිගටම දැකීම මට නං හරිම අප්පරසන්නයි.

පුදුම හිතෙන්නේ කෝප් කමිටුව ඉස්සරහට ගෙන්වන ඔය නිලධාරින් ඔක්කොමල්ලමත් මේ සිරි ලංකාද්වීපයේ; මේ ධර්මද්වීපයේ පුරවැසියන්ම නේද කියලා මතක් වෙනකොටයි! අපිත් එක්කම මේ රටේ ජීවත් වෙන උදවිය නේද කියල හිතෙනකොටයි!!
මොකද ඒ ගොල්ලො අඟහරු ලෝකෙන් ආව අය නෙවෙයිනෙ. තනතුරු ආරස්සා කරගන්නම විතරක්ද උන්නැහෙලා අර වගේ අනීතික වැඩවලට උදව් දීල තියෙන්නෙ?
උන්දලට හෘදය සාක්ෂිය කියලා එකක් තිබිලම නෑ වගෙයිනෙ!

මේ කමිටු රැස්වීම්වලදී හෙළිවෙන තොරතුරු නං අපේ නරඹන්නන්ට එච්චර අල්ලලා යන පාටක් නැහැ. ඒ තියා පත්තරවලවත් එව්වා වැටෙන්නේ නැතිම තරං නෙව. (මාත් දැන් පත්තර නොකියවන නිසා- මේ නිගමනයට එද්දී මට වැරදිලා වෙන්නත් ඉඩ තියෙනවා.)

විවේක්ව මට හම්බ වුණේ ඊයේ. Rekhachithram මලයාලි film එකෙන්.

නාට්‍යානුසාරී සිදුවීම් නැති කෝප් කමිටු රැස්වීම් බලන අය හරිම අඩුයි වගේ. නමුත් රණ්ඩු, මිනීමැරීම්, අනතුරු වගේ ට්‍රෙන්ඩින් වීඩියෝස් බලන අය වැඩියි...

ප්‍රේක්ෂක රුචිය නෙව!

‘යුක්තිය’ මෙහෙයුම එහෙම දියත් කරවපු; අපේ (හිටපු / තවමත් ඉන්නවාද මන්දා.) පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්තයාව හොයා ගන්නට තවමත් අපේ පොලිසියේ දක්ෂ- පක්ෂ නිලධාරී මහත්වරුන්ට බැරි වෙලා. ඒ, දේශබන්ධු මහතාව අත් අඩංගුවට ගන්නැයි පෙබරවාරි 28 වෙනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් කළාට පස්සේ.

ඇත්තටම ‘විවේක් ගෝපිනාත්’ වගේ හපනුන් අපේ රටේ පොලිසියේත් ඉන්නවා නං!!!

විවේක්ව මට හම්බ වුණේ ඊයේ. Rekhachithram මලයාලි film එකෙන්.
දැනටමත් ඒ ෆිලුම ගොඩක් වාර්තා තියලා. කෝටි 7කට ආසන්න මුදලක් වියදම් කරලා හැදූ ‘රේඛාචිත්‍රම්’ ප්‍රදර්ශනේ කරලා මාසයක් යන්නත් කලින් කෝටි 5ක ආදායමක් උපයාගෙන... Imdb දර්ශකයෙනුත් (දහයෙන්) 8.5 වගේ ඉතා හොඳ අගයක් ලබාගෙන...

මං දැකපු හැටියට නම් mystery crime thriller ගොඩට වැටෙන මේ ෆිලුමට ‘සිංහල උපසිරසි’ ලබාදෙන හැම අඩවියකින්ම වගේ දැනටම subs දීලාත් අහවරයි.

“අයියා, අයියා. ඊයේ අපේ තාත්තා චිත්රපටියක රඟපෑවනේ.”
කැලෑබද පාරක යන ගමන් පොඩි කොල්ලෙක් ලොකු කොල්ලෙකුට කියනවා.
“බොරු කියන්න එපා!” වැඩුමලා පොඩි එකාට කියන්නේ තරවටුවෙන්.
“ඇත්ත. මම දැක්කා.”
“මොනවද ඔයා දැක්කේ?”
ලොකු එක්කෙනා අහනවා.

එහෙමයි Rekhachithram පටන් ගන්නේ.
ඊළඟට කැමරාව පොඩි හාදයාගේ මුහුණට යොමු වෙනවා... සමීප රූපයක්... හැඟුම්බර දෙනෙතක්... පැදුරක ඔතාගත් අප්‍රාණික සිරුරක් උස්සාගෙන මහ රෑක යන හතර දෙනෙක්... වැස්සේ තෙමි-තෙමී... පැදුරෙන් වැහිච්ච නැති සියුමැලි දෙපය ප්‍රේක්ෂක අපට ඉඟි කරනවා ‘ඒ සිරුර තරුණියකගේ’ බව...
(පස්සෙයි අපි දැනගන්නෙ ඒ සිද්දිය වෙලා තියෙන්නෙ 1985 අවුරුද්දේ බව...)

මේ වර්තමානය...
රාජකාරි වෙලාවේ ඔන්ලයින් රූමි ක්‍රීඩා කරලා අහුවෙන පොලිස් පරීක්ෂක විවේක් ගෝපිනාත්ගේ වැඩ තහනම් කෙරෙනවා. විවේක් වැඩ්ඩෙක්. මිනිහව දඬුවමක් විදිහට කේරළයේ
  Malakkappara පොලිසියට මාරු කෙරෙනවා... එහෙමට කරන්න තරං රාජකාරි නැති පොලිස් ස්ටේෂන් එකක් ඒ.

ඒ අතරේ පොහොසත්; වියපත්; බේබදු තැනැත්තෙක් එයාගෙ වාහනෙන් රියැදුරාත් එක්ක මාලක්කප්පාරාවෙ නිහඬ නිසංසල කැලයක අද්දරට සේන්දු වෙනවා. රියැදුරාට වාහනයේම ඉන්නට කියලා බෝතලේකුත් කිහිලි ගන්නාගෙන එයා කැලේට වදිනවා. එක්තරා විශේෂිත තැනකට එන ඔහු එතන වාඩිවෙලා මොබයිල් ෆෝන් එකේ කැමරාව ක්‍රියාත්මක කරනවා.

මේ ගහ යට... මගෙ කකුල් යටින් තියෙන පස් යට... මේ පස් යට එයා වැතිරිල ඉන්නවා..

‘ඔයාල හිතනවා ඇති මම මෙතනම වාඩි වෙලා මොනවද කියන්න යන්නෙ කියල.

-වැඩි දෙයක් නෑ. මා ගැන තමයි, මගෙ ජීවිතේ ගැන. සල්ලි පස්සෙ දුවල සෞඛ්‍ය තත්ත්වය, පවුල, හිතේ සැනසීම... මේ සේරම නැති කරගත්තු එක ගැන. මම සල්ලි ගොඩක් හම්බ කළා. ඒත් ඒ සේරම අපරාදෙ. ඒත් ඒකට හේතුවක් තියෙනවා.
ඒ සේරම පටන් ගත්තෙ ලේ තැවරුණු සල්ලි එක්ක. ජීවිතයක මිල...
මට ඒක ප්‍රතික්ෂේප කරන්න තිබුණා. ඒත් මම ඒක ගත්තා. ඒ 1985. මම, ඇලිස් ජුවලරියේ අයිතිකාර වින්සන් සහ ප්‍රැන්සිස් තඩත්තිල් සමඟ මෙතැනට ආවා. අපි කෙල්ලෙක්ව පැදුරකින් ඔතල උස්සගෙන අරං ආවා. එයාට  යන්තම් අවුරුදු 18ක් විතර ඇති. කොහෙ කෙනෙක්ද කියලවත් අපි දන්නෙ නෑ.

-කවුරු හරි කොහෙ හරි ඉඳල ආපු කෙනෙක්.
අන්තිම හුස්ම යන්නටත් කලින් අපි එයාගෙ මූණ උඩට දාපු පස්වලින් තමයි එයාගෙ ජීවිතේ ඉවර වුණේ.

-ඒත් ඒ එක්කම අපේ ජීවිත ආරම්භ උනා.
කාලය මාව මෙතනට අරගෙන ආවා. ඒක පටන් ගත්ත තැනට.

-මේ ගහ යට... මගෙ කකුල් යටින් තියෙන පස් යට... මේ පස් යට එයා වැතිරිල ඉන්නවා.
මම හිතුවේ කවද හරි මිනිස්සු මේ ගැන දැනගනී කියලා. ඒත් නෑ... අද වෙනකල් නෑ.’

ඊළඟට කැලේ තිබ්බ නිසංසලකම නැති කරමින් වෙඩි හඬක් පැතිරෙනවා. රියැදුරා අඩි පාර දිගේ කැලේට දුවගෙන යන්නේ හාම්පුතාව හොයාගෙන.

...එහෙමට රාජකාරි නැති මාලක්කප්පාරා පොලිසියේ වැඩ බාරගත්තු ගමන්ම විවේක්ට බරපතළ රාජකාරියක්... ධනවත් රාජේන්ද්‍රන් කැලයක් මැද්දෙදි වෙඩි තියාගෙන සියදිවි නසා ගන්නට කලින් කරපු පාපෝච්චාරණය ඇත්තම ඇත්තක්ද?
එතැන පස් යට නන්නාඳුනන තරුණියකගේ ඇටසැකිල්ලක් තියේවිද?
රාජේන්ද්‍රන් කියන විදිහට ඇලිස් ජුවලරියේ අයිතිකාර වින්සන් ඇත්තටම ඒ අපරාදෙට හවුල් වුණාද? (දැන් වින්සන් ගොඩක් සරුසාර කෝටිපති ව්‍යාපාරිකයෙක් නිසා වැඩ කරන්න වෙන්නේ හරීම පරෙස්සමෙන්.)

පැය 2 විනාඩි 17ක් විතර දිග ‘රේඛාචිත්‍රම්’ ෆිලුම පටන් ගෙන විනාඩි 13ක් යනකල් කතන්දරේ තමයි මෙතෙක් කිව්වේ...

අන්තිමට බලද්දී රාජෙන්ද්‍රන්ගේ පාපෝච්චාරණය ඇත්තක්!
එතන පස් යට ඇටසැකිල්ලකුත් තිබිලා හමු වෙනවා!!! ඒක කාගෙද...
වින්සන්? ප්‍රැන්සිස් තඩත්තිල්? එයාල කෝ... එයාලට එරෙහිව චෝදනා ගොනු කරන්න නං සාක්කි ඕනෑ... ප්‍රැන්සිසුත් අතුරුදහන් වෙච්ච ගාණයි.
කොහෙන් කොහොම පටන් ගන්නද?

නීති-රීති, අණ-පනත් අඩු; වැරදි වැඩ වැඩි ‘ධර්ම ද්වීපයේ’ මිනිස්සුන් ළඟ ඒ කෑදරකම්- ආශාවන් හා අමනුස්සකම් වෙන කොහෙටත් වඩා වැඩියිද...

හොඳටෝම ඇම්ම තියෙන විවේක් චුට්ටක්වත් පරක්කු නොවී වැඩ පටන් ගන්නවා.

අවුරුදු හතළිහකට ඉස්සෙල්ල අතුරුදහන් වුණු, ඒත් ඒ බවට කිසිම තැනක පැමිණිල්ලක්වත් නැති; නමක් ගමක් උන්හිටි තැනක් නොදන්නා තරුණ කෙල්ලෙකු ගැන හොයන රාජකාරියයි ඒ.
වින්දිතයාට සාධාරණය ඉටු කරන එකයි විවේක්ගේ එකම අරමුණ.

Film එකේ තියෙන්නෙ විවේක් ඒ අරමුණ ඉටු කරගන්නා විදිහයි...

ඒ කොහොමද කියලා දැනගන්න නං ඔයාලට Rekhachithram බලන්න වෙනවා. ඒ වෙනුවෙන් ටිකක් මහන්සි වීම ගැන ඔයාල ඇබින්දක්වත් නොතැවෙන විත්තිය නං මට හොඳටම ෂුවර්!
ෆිලුමේ රඟපාන නළු-නිළියන් ගැන, අධ්‍යක්ෂක ගැන, කාර්මික ශිල්පීන් ගැන, සාර්ථකත්වයේ වාර්තා ගැන නොහෙව්වට කමක් නෑ. රේඛාචිත්‍රම් බලන්න කියන එකයි මගේ නිර්දේශය.

‘බයිස්කෝප් සිංහලෙන්’ අඩවියට මේ ෆිලුම සඳහා subs සැපයූ Bandula K සහෘදයා එයාගේ හැඳින්වීම් ලිපියේ මෙහෙමත් කියනවා.
‘අපි හැම දෙනාම මනුස්සයොනෙ. මනුස්සයෙක් අපරාධයක් කලොත් ලැබෙන දායාදයක් නැතිනම් තමන්ටම ලැබෙන ස්වයං දඬුවම තමයි තමන්ට හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන්න බැරි වෙන එක. කොච්චර උත්සාහ කලත් තමන් කරපු වරද තමන් පස්සෙන් එද්දි දැනෙන වේදනාව සමහර වෙලාවට තමන්ගෙ ජීවිතේ කනපිට හරවනවා- නැත්තම් මරණයෙන් කෙලවර කරවනවා.’    

ඉස්සර වගේ නෙවෙයි, දැන් ලෝකය පුංචියි. ජනගහණය වැඩියි; සංකීර්ණ වැඩියි. තාක්ෂණය දියුණුයි. දැනුවත්කම අතින් පුළුල්...
ඒත් මිනිසුන්ගේ තණ්හාබර කෑදරකම්- ආශාවන් ඉස්සර වගේමයි; ගොඩ වෙලාවට ඉස්සරටත් වැඩිය වැඩියි.

නීති-රීති, අණ-පනත් අඩු; වැරදි වැඩ වැඩි ‘ධර්ම ද්වීපයේ’ මිනිස්සුන් ළඟ ඒ කෑදරකම්- ආශාවන් හා අමනුස්සකම් වෙන කොහෙටත් වඩා වැඩියිද මන්දා...

අමාරුවෙන් වෙලාවක් හොයාගෙන හරි (විනාඩි 21.21 දිග) මේ වීඩියෝව බලන්න පුළුවනිද? එතකොට පෙනෙයි අපේ මිනිස්සුන්ගේ අමනුස්සකම් කොයි තරම්ද කියලා.
ඒ වීඩියෝව බලන්න ඉඩක් නැති අය වෙනුවෙනුයි, එහි 14 වෙනි විනාඩියේ සිට 15.30 තෙක් විනාඩි එකහමාරෙදි කියවෙන දෙයින් කොටසක් අකුරුවලින් සටහන් කරන්නේ.

‘... ඒ කියන්නේ ඊළඟ අවුරුද්දට අවශ්‍ය ඖෂධ ගෙන්වන්න සැලසුම් කරනවට වඩා වෙහෙසිලා තියෙනවා මෙන්න මේක plan කරන්න...’
‘...’
‘දැන් අපි ගත්තොත් ඇස් අන්ධ වීම සම්බන්ධ කතන්දරේදී ඒ ඖෂධය ගෙන්වපු ආයතනයට එරෙහිව අමාත්‍යාංශය හෝ NMR එක පැත්තෙන් ගන්න පුළුවන් ක්‍රියා මාර්ග අරගෙන තියෙනවද?’
‘Black list කරල හරි තියෙනවද?’

ඔව්... අපි ඒ product එක withdraw කරල තියෙන්නෙ.

ඔව්... අපි ඒ product එක withdraw කරල තියෙන්නෙ.’
‘...’

'එතකොට 27 දෙනෙක්ගේ ඇස් අන්ධ කිරීම කරපු සමාගමක් බ්ලැක් list කරන්න තීන්දු නොකිරීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවනේ. ඒක සරලයිද ඔබතුමාලට? ඒ කියන්නෙ කොච්චර ඇස් අන්ධ වෙන්න ඕනද? කී දෙනෙක් මැරෙන්න ඕනිද ඒ වගේ drug ගෙන්නන කොම්පැනියක් black list කරන්න. 27ක් ඇස් අන්ධ වීම මදිද ඒ තීන්දුව ගන්න.’

‘ඒ සමාගමේ නම මොකක්ද?’

‘...’
‘දැන් ඔබට ඔබේ දරුවාට මට මෙහෙම වුණාට පස්සෙද... අපි එහෙම හිතන්නෙ නැද්ද? ඒ සංවේදීකම...’

අපේ සංවේදීකම අපේ තෙතමනය නැත්තටම නැති වෙලාද? මොන තරමේ අපරාධයක් සිද්ද වෙද්දී වුණත් ‘අපට නෙවෙයිනෙ’ කියල අහක බලාගෙන ඉන්න තරමට අපි නිවටයන් වෙලාද?

කවදාක හරි (රාජේන්ද්‍රන්ගේ වගේ) මේ නිලධාරීන්ගේත්, ඔවුන් මෙහෙයවූ දේශපාලකයන්ගේත් හෘදය සාක්ෂිය අවදි වේවිද?
මොවුන්ගේ සටකපට, අනීතික, කුමන්ත්‍රණකාරී, සාපරාධී, අනීතික කෙරුවාවල් හෙළිදරව් කර ගන්න සමත් ‘විවේක් ගෝපිනාත්ලා’ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නැද්ද?

දසක හතක් තිස්සේ ඔඩු දුවපු තුවාල සනීප කරන්න කොච්චර විතර කාලයක් තිබ්බොත් ඇතිද කියලයි මං මේ තවමත් කල්පනා කරන්නේ෴0෴

1 comment:

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්