li Item

Tuesday, September 5, 2023

ආයෙමත් වතාවක්... -දෙවෙනි කොටස

 ඒ විදිහට කෙරෙන්නට උවමනා හරියත්, පොරොන්දු වුණු; බාරගත්; එකේක්කෙනාට බාර දෙන වගකීම් ආදියත් ලිඛිතව දැනුම් දුන්නාම ලෙහෙසිය. එහෙම කළාම කෙනෙකු වෙතින් වැරැද්දක් වෙන්නට- අතපසු වීමක් වෙන්නට තියෙන ඉඩ ඉතාමත් අඩුය. මෙහෙම සටහන් කිරීමේ පුරුද්ද මට ඇති වුණේ මීට අවුරුදු 40 කටත් එහා ඉඳලාය...

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ, තරුණ ජනගහණ කමිටුවේ කටයුතු කරද්දීය මා ඒ පුහුණුව ලද්දේ.

හිතේ සාමය නැති කරන්නත්...

මට තවමත් පුදුමය. තජකයේ තිබුණු තරම් හැදියාවක්, ප්‍රතිපත්තිගරුක බවක්, සිරිත්-විරිත් පිළිපැදීමක් හෝ කාර්යක්ෂම බවක් හෝ වෙනත් කිසිම තැනකදී මා දැක නැත! තජකයේ ක්‍රියාකාරී කමිටුවට හිටියේ සාමාජිකයන් දහදෙනෙකුට අඩු ගණනකි. ඔවුන් තෝරා ගැනුණේ නෑදෑ-හිතමිතුරුකම් මත නොවේ; දක්ෂතාව කැපවීම හා ක්‍රියාකාරී වීම වැනි ගුණාංග සලකා බැලීමෙනි. සභාපති- ලේකම් ධුරවලට පත් වෙන්නට කෙනෙකුට ඉඩ තිබුණේ එකම එක වරක් පමණි. ඒද එක් වසරක් සඳහා ධුරය දැරීමට පමණකි!

ඉතිං, එහෙව් කමිටුවේ රැස්වීම් වාර්තා ලියැවුණේත් ඉතාම සංක්ෂිප්තවය; ක්‍රමවත්ව අංකනය කරමිනි.
වස්ගමුවේ සංචාරය ගැන එහි සාකච්ඡා කෙරිණි නම් වැල් වටාරම් රහිතව ඒ වාර්තාව ලියවෙනු ඇත්තේ මේ විදිහටය:

1. ජුලි 8, 9, 10 වස්ගමුවේ තෙදින සංචාරය
  1.1. ගමන සංවිධානය, පිරිස තීරණය කිරීම හා සම්බන්ධීකරණය: කාර්ය භාරය
- ලලිත් ප්‍රියන්ත / ටිරාන් විජේසුන්දර
  1.1.1. කඳවුරු බිම- බංගලා වෙන් කිරීම හා කූඩාරම් ආදිය සූදානම් කිරීම: කාර්ය භාරය- ලලිත් ප්‍රියන්ත
  1.2. අවශ්‍ය බඩු- කෑම බීම ලැයිස්තු සැකසීම: කා.භා.- නිමල් දිසානායක
  1.2.1. 1.2.හි සඳහන් දේ මිලට ගෙන සූදානම් කිරීම: කා.භා.- ලලිත් ප්‍රියන්ත
  1.2.2. බයිට් වර්ග සූදානම් කිරීම: කා.භා.- නෙවිල් අනුරසිරි

තවමත් ඒ ඉගෙනගත් දේවල් ප්‍රයෝජනයට ගනිමින්, ඒවා ඍජුවම ක්‍රියාවටත් නංවන නිසා ගොඩාරියක් තැන්වලදී මට ලොකු අවාසියකුත් වෙයි. “නිමල් අයියත් එක්ක වැඩ කරන්න හරි අමාරුයි!” සමහරු මගේ මූණටමත් කියන්නේ ඒ ‘අමාරුව’ හෙළිදරව් කරමිනි...
අපේ අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ අයස්මන්ත පීරිස් මිතුරුතුමා ඒ ගැන විග්‍රහයකුත් කළා, පාද යාත්‍රාව ගැන ලියැවුණු
post එකකදී, මෙහෙම:

‘-අපටත් වඩා අපේ නඩේ ගුරා වන නිමල් අයියා ඉතාම ක්‍රමානුකූල හැදෑරීමක් අප හැම දෙනා වෙනුවෙන්ම සිදු කළා.
කෑම වේල් ගණන
, සරලම සහ රසවත්ම කෑම, ඒවායේ බර, දිනයකට යන දුර, දිනයකට අවශ්‍ය පානීය ජලය ප්‍රමාණය ආදී වශයෙන්.

-නිමල් අයියා ගනුදෙනු කරන්නේ ‘ඒ තරම් ක්‍රමානුකූලව නිතිපතා, සතිපතා ජීවිත විශ්ලේෂණය කර වැඩ කරන අය සමඟ නොවේ’ය යන දේ තේරුම් නොගැනීම එයාගේ දුර්වලකමයි. චේතනාන්විතව නොවුණත්, එයාගේ හිතේ සාමය නැති කරන්න මෙම අවිද්‍යාව නිතර හේතුකාරක වෙනවා...’

කොසොල් මහ රජතුමාගේ බිසවු මල්ලිකාව ගැන කතන්දරෙත්...
‘හිතේ සාමය  නැති කරන්න...’ අයස්මන්ත හිතවතා ලස්සන වචනවලින් එහෙම කියල තිබ්බේ ‘මගේ මළ පනින ගතිය’ ගැන. ඔව්! ඇත්තටම ඔව්!! මට කේන්ති යනවා නේන්නං!!! හැබැයි, මට තේරෙන විදිහට නම් සහේතුකව හා සාධාරණව...

‘අසාධාරණයකදී, කෙනෙකුගේ නොසැලකිල්ල නිසා අපේ කණ්ඩායමක සාමාජිකයන්ට කරදර වෙද්දී, කවුරුන් හරි දිගින්-දිගටම එකම වැරැද්ද කරද්දී, අසද්ද බොරු කියද්දී...’ ඒවා මාව කුප්පනවා. කවුරුන් නිහඬව හිටියත්, එතකොට නම් ‘මොට්ට මගේ’ කට ඇරෙනවා.

මේවා කිව්වේ, අර දෙවෙනි වස්ගමු ගමනෙදී වෙච්ච දෙයකට අදාළ හින්දා නම් නෙවෙයි, හොඳේ.
නමුත් මෑත අතීතයේදී සිද්ද වෙච්ච අමිහිරි සිදුවීම් කිහිපයක හොල්මන් තවමත් විටින්-විට මතුවෙන නිසා. මේ blog ලිපිවල ලියවෙන්නේ මගේ ජීවන අත්දැකීම් නෙව! ඉතින් ඒ සිදුවීම් ගැනත් ඔන්න ඡායාමාත්‍රිකව හරි ලියල තිබ්බා.
සුමිහිරි මතකයන් තිළිණ කළ ගමනක රසබර තොරතුරු අස්සට, ඔය අමිහිරි විස්තර ටික එබුවේ තවත් හේතුවකට... ලිපියකින් වුණත් උපද්දන ‘රස භාවයන්’ හිටි හැටියේම වෙනස් කරන්නත් මං වහන්සේ කැමතියිනෙ!

ඒ වෙනස් කිරීම කවුරුනුත් කරනවා නේන්නං.

මගේ ඊමේල් එක කියවපු ප්‍රියන්ත, එයාගේ ආදරණීය ඇඹණිය රසිකාවත් එහෙම අවුස්සලාය. ඒ විතරක් නෙවෙයි, මටත් ඒක කිව්වා- විශේෂෙන්ම ටෙලිෆෝන් call එකකුත් දීලා.
“නිමල්, මම ඔයාගේ ඊමේල් එක ගැන අපේ රසිකටත් කිව්වා. හඃ හඃ හඃ! එයාලව අවුස්සන්නත් එක්ක මං රසිකගෙන් ඇහුව ඇයි ඔයාලටත් මේ වගේ පිළිවෙලට වැඩ කරන්න බැරි කියලත්...”

“ඔය වැඩෙන් වෙන්නේ රසික නංගිලා කට්ටියම මගෙත් එක්ක ඔරොප්පු වෙන එකයි ප්‍රියන්ත.”
“නෑ නිමල්, එයාලව ටිකක් අවුස්සන්නත් ඕනි. අපි කට්ටිය trip යන්න පටන් අරං දැන් අවුරුදු හතළිහකටත් වැඩියිනේ. අපි විතරක් වස්ගමුවේ මැදපිටියටම කී සැරයක් ගිහිල්ල තියෙනවද. දැන් එයාලගෙ හිතේ අපිට එයාලා නැතිව යන්න බෑ කියලා... මම දන්නවනෙ, එයාලා ඔයත් එක්ක තරහ වෙන්නෙ නැහැ කියලා.” (බත්තලංගුණ්ඩු ගමනේදීත් ප්‍රියන්ත ඔය විදිහටම ‘තේ හැදීම ගැන ප්‍රශ්නයක්’ අසා අපේ නඩේ හිටි කාන්තාවන්
රොත්තම කේන්ති ගැස්සෙව්වේය!)

විෂ්ණු ෂර්මන් පඬිතුමන්ගේ ‘පංච තන්ත්‍රය’ පොතෙන් කියවූ ‘දන්තිල- ගෝරම්භ කතන්දරේ’ත්, කොසොල් මහ රජතුමාගේ බිසවු මල්ලිකාව ගැන කතන්දරෙත් මට හොඳට මතකය. ඒ නිසාය, මං නම් ‘අර වගේ ඇවිස්සිලි’වලට අකැමති.

ඒ පැත්තේ ටිරාන් විජේසුන්දරගේ සූදානම හා සංවිධානය...(මිතුරු-මිතුරියන් පිරිවරාගෙන දකුණු කෙලවරේ ඉන්නා මහ කළු සිංහලයා ටිරාන්ය. පිටුපස පේළියේ මැදින් සිටින්නේ ඔහුගේ බිරින්දෑ නදීකායි.)

“ඔන්න නිමල් අයියේ, ඔයා තමයි මේ trip එකේදී අපේ සෙරාන්ව බලා ගන්න ඕනි... ඔයාලා ඉතින් අපිව දාලා යන්නනෙ හදන්නේ.” ගමනට කලින් දවසේ බබිතා නංගි මට call කළාය.

“සෙරාන්ව? සාන්තටයි, චිරන්තටයි දෙන්නටම වැඩිය උසත් ගිහින් ඉන්න ඉලන්දාරියා... මම එයාව බලා ගැනිල්ල කොහොම වුණත්, සෙරාන් නං මාව බලා ගනියි! අපරාදෙ කියන්න බෑ, බබිතා- ඒ ළමයි කට්ටියමත් මාව පරිස්සං කරනවා, ඔයාල වගේම. දැන් එයාලා ලොකුයිනෙ නංගි. දැන් ඉස්සරහට එන්නේ එයාලගෙ කාලේ! අපේ කාලේ ගෙවීගෙන ගිහිං... තව පොඩ්ඩයි ඉතිරි.”

“නිමල් අයියේ, ඔන්න මං ඔයාලට ළූණු බැදුමක් හදල එවනවා.” මැණිකෙ නංගිත් කිව්වාය. “රසික ගානෙ මිරිස් මාළුත් ඔයාලට හම්බ වෙනවනෙ...” ඒ ප්‍රියන්තගේ ඇවිස්සීම් නොතකා හරින ලද කාන්තා නඩේ ප්‍රතිචාරයන්ය!

“ඔයා කළා වගේම දවල්ට බතක් විතරයි උයා ගන්න තියෙන්නේ. මම චිකන් කරියකුයි, තැල් කොළ කිරි හොද්දකුයි, පොල් සම්බෝලෙකුයි හදනවා, දවල්ට ගන්න. එතකොට මැණිකෙ නංගි- රෑටත් බතුයි, පරිප්පුයි, ගෝවා කොළ මැල්ලුමකුයි හදා ගත්තම ඇති. මිරිස් මාළුව රෑට තියා ගන්න පුළුවනිනෙ.”
“ඒ මදැයි අයියේ. ඔයාට පුළුවන්ද ඉතිං...”
“හිත ඇත්තං මොනාද නංගි කරන්න බැරි? උදව්වටත් කට්ටියම ඉන්නවනේ...”

මං දන්නේ මේ පැත්තේ විස්තර විතරකි. නොදන්නේ ඒ පැත්තේ ටිරාන් විජේසුන්දරගේ සූදානම හා සංවිධානය ගැනයි.
බණ්ඩාර- පාලිත කුටුම්බයන් දෙකේ උදවියත්, තවත් එකේක වයසේ සහෘද කිහිප දෙනෙකුත් ගමනට එක්කාසු කර ගන්නා වගකීම රැඳී තිබුණේ ටිරාන් අතේය. තවත් කිහිප දෙනෙකුටම අන්තිම මොහොතේ මේ සංචාරයට එන්නට බැරි විණියි ටිරාන් කියනවා මට මතකය. සමූහ ඡායාරූපයක් කියන්නේ ටිරාන්ලගෙන් 15 දෙනෙකු මේ ගමනට එකතු වුණු විත්තියයි.

“ප්‍රියන්ත. මචං උඹලගේ ජීප් එකේ ඉඩ තියෙනවා නේද අපෙන් කෙනෙකුටත්. Please, එයාවත් දාගනින් මචං.” ටිරාන්ගේ ඉල්ලීම අනුව අපේ වාහනයට මුලින්ම නැංගේ නුවන්ය.

බණ්ඩාර- පාලිත දෙන්නාටත් පසුව; සැරෙන් සැරේ ඒ ‘බැට්න්’ එක ගන්නට වුණේය. එයින් සිද්ද වුණේ වස්ගමුවට යන්නටත් කලින්ම ටිරාන්ලාගේ නඩේ තිදෙනෙකු- අපි හත් දෙනාගේ වංහුං දැනකියා ගැනීමය. අප හා මිතුරු වීමය.
ඔවුන්ට අප ගැන වැඩි හරියක් කරුණු දැනගන්නට ලැබුණේ නං අපට පුරුදු ‘සුමිතුරු දබර’ හරහාය!

මට ආප්ප/ මට Egg Hoppers / මම නං රොටි- කට්ට සම්බෝලේ සැරයිද දන්නෑ / පිට්ටුත් තියෙනවා / ඇයි මෙයා Milk  Rice?

ටිරාන්ලාගෙන් තිදෙනෙකුට ලැබුණු ඒ chance එක අපට නං 50%ක්වත් ලැබුණේ නැත. එහෙම කියන්නේ වැඩිහිටි කට්ටියට අදාළව හෙම නොවේ. තරුණ හා බාල පිරිසට අදාළවය. යොවුන් වියේ පසුවෙන දරුවන් කවුරුනුත් මේ සියවසේ අනෙත් දරුවන් වගේමය; ඔවුහු දවසෙන් වැඩි වෙලාවක් තාක්ෂණ මෙවලම්වල සිරකරුවන් වී සිටිති!

එයින් වැඩි දෙනෙක් අන්තරාවර්තීහු වෙති. ඇතුළටම නැඹුරු වුණු ස්වභාව ඇත්තෝ වෙති. එහෙව් උදවිය අලුතින් හිත-මිතුරු සබඳතා ගොඩ නඟාගන්නේ , හිතවත්කම් වගා-දිගා කර ගන්නේ ඉතා සීමිතව... හෙමි-හෙමින් බව මගේ දැනීමයි.

“දඹුල්ලේ බොජුන්හලේ කෑම හොඳයි. Choices ගොඩක් තියෙනවත් එක්ක...” ප්‍රියන්ත කිව්වේ උදේ නවයට විතර, jeep රථය එතැනට හරවමිනි. අන්න එතැනදී වාහනවලින් බිමට බැස්සාමය, එවර වස්ගමුවේ සංචාරයට යන අපි හැමෝටම එකිනෙකාව දැකගන්නට ඉඩ ලැබුණේ. ඒවාත් කෙටි බැලුම්වලට පමණක් සීමා කෙරුණේ, වැඩි දෙනෙකුගේම මුත්‍රාශයන් පිරිලා තිබුණු නිසා බව මගේ මතකයයි.
ඇයි, හිස්වී තිබුණු ආමාශයන්?

බොජුන්හලේ තිබුණු කෑම ජාති කන්දරාව නං ‘බඩගිනිකාරයන්ව’ අන්ද-මන්ද කරවන තරම් විශාලය.

‘මට ආප්ප / මට Egg Hoppers / මම නං රොටි- කට්ට සම්බෝලේ සැරයිද දන්නෑ / පිට්ටුත් තියෙනවා / ඇයි මෙයා Milk  Rice / කට්ලට්ස්... පැටිස්.../ පොඩි පුතාට ඉඳියාප්පද?’ විමසීම් ඉහවහා යන්නට; වැඩි වෙන්නට ගත්තාමය, ප්‍රියන්තටත්- ටිරාන්ටත් පිස්සු හැදුණේ. “ එක-එක්කෙනා ඇවිත් ඔයාලට කැමති දේවල් ඉල්ල ගන්න. Choices are yours!”

එකෙන්ම මගේ තෝරා ගැනීම වුණේ කිරිබත්ය. ඒ එක්කම තිබුණු ලුණුමිරිසේ සිනාවය- මාව ඒ තීරණය ගන්නට පෙළඹුවේ. ඒ plate එකත් අරගෙන, රවුම් කුඩයක් යටට ගිහිං වාඩි වුණාම තවත් කීප දෙනෙක්ම එතැනට...
“මේ කට්ලටුත් රහයි” කට්ලට් බාගයකුත් මගේ පිඟානට. “නිමල් අයියේ, බිත්තර ආප්ප කෑල්ලකුත් කමු. මම තව එකක් ගෙනත් දෙන්නද?” බාගෙ-බාගේ කෑවත්, කෑල්ල-කෑල්ල කෑවත් යන්නෙ එකම බඩට නෙව... ඒ අස්සේ දහනායක, හරිශ් හිතවතුනුත් ‘තව මොනව හරි ගෙනත් දෙන්න’ සූදානමිනි.

“නිමල් අංකල්, Fruit ජූස්ද, දිවුල් කිරිද... මම ගෙනත් දෙන්නං.” සෙරානුත් අහන්නේ මං වහන්සේ ඉස්මුරුත්තා වෙන්නට ඔන්න- මෙන්න විත්තිය නොදැනය; ප්ලේන් ටී එකකට විතරක් බඩේ ඉඩ තියාගෙන ඉන්නා විත්තිය නොදැනය.

අපේ කට්ටියේ බිල හදන්නට ගියාම පුංචි අවුලකි. “නෑ නෑ ඔහොම බෑ. එක එක්කෙනා ගත්ත දේවල් කියන්න...”
එහෙම කියලා ගණන් හැදුවාමත් පුංචි සටනක් ඇති වුණාද කොහෙදය; ප්‍රියන්ත හා ටිරාන් අතර. ඈතින් හිටි මට පෙනුණු විදිහට නං, පාතරාසයේ බරපැන දැරීමේ සටනින් ජය ගත්තේ ටිරාන්ය.

එතන දුටුගැමුණු රජ්ජුරුවන්ගෙයි එළාර රජ්ජුරුවන්ගෙයි සේනාවල් දෙක හටන් කරපු තැනක්ය කියලත් කියනවා. ඒ වෙලාවේ එතැනදී පොළොවට වැටිච්ච ලේ ගංගාව හින්දලු යුදඟනාපිටියේ පස් තවමත් රතු පාටට...

“දැන් අපි කෙලින්ම යන්නෙ හෙට්ටිපොළට. Lunch එක ගන්න අපිට මැදපිටිය camping site එකට යන්නත් වෙනවනෙ. ටිරාන්. මාව ෆලෝ කරගෙන වරෙන් මචං. නිමල්, එළවලු ටික විතරයි නේද එහෙන් ගන්න තියෙන්නේ... ඔයා ට්‍රැකර්ටත් කෝල් එකක් දෙන්න ඕනි නේද? ඒ ගමන්ම jeep එකේ එක්කෙනාටත් කියන්න.”

ඒ වෙලාවේ ගයාන්ට ඇමතුම අරං දුන්නේ වෙනුජ පුතාය. ගයාන් හිටියේ අප එන බව දැනුවත්වය. “ලසිතත් කතා කළා... ජීප් එකත් හරි.”

ගයාන් ඒ වෙනවිටත් වරින්-වර මගේ ප්‍රශ්න ගණනාවකටම සවිස්තරාත්මක පිළිතුරු සපයා තිබිණි.
පළමුවෙනි වතාවට වස්ගමුවේ සංචාරයට ගිය වතාවේ ඉඳලාමය, එක ‘ටැපලිලි ප්‍රශ්නය’ක් මගේ හිත කොනිති ගහමින් තිබ්බේ.
‘වස්ගමුවට කොහෙන්ද යුදඟනාපිටියක්?
ඌව පළාතේ ලොකුම දාගැබ; යුදඟනාව රජමහ විහාරේ තියෙන්නේ මොනරාගල පහු කරලා
වැල්ලවාය පැත්තට යනකොටනේ. ගැමුණු තිස්ස අයියමලෝ දෙන්නගේ යුද්දෙන්- තිස්ස පැරදිලා ගිහින් හැංගුණු දෙමටමල් විහාරයත් ඒ කිට්ටුවනේ තියෙන්නේ... ඉතිං වැල්ලවායේ ඉඳලා මෙච්චර දුරින් තියෙන වස්ගමුවෙත් කොහොමද යුදඟනා පිටියක්...’

සමහර දේවල් හිතට ආවත් ඉක්මනින්ම අමතක වෙලාත් යයි. මේ වතාවේ ආයෙමත් මතක් වුණාමය ඒ යුදඟනාවේ පුරස්නය මං ගයාන්ගෙන් ඇහුවේ.
‘ඔව්නේ... එතන දුටුගැමුණු රජ්ජුරුවන්ගෙයි එළාර රජ්ජුරුවන්ගෙයි සේනාවල් දෙක හටන් කරපු තැනක්ය කියලත් කියනවා. ඒ වෙලාවේ එතැනදී පොළොවට වැටිච්ච ලේ ගංගාව හින්දලු යුදඟනාපිටියේ පස් තවමත් රතු පාටට තියෙන්නේ කියලත් කියනවා.’ ගයාන් මට කිව්වේ එහෙමය.

“ගයාන්, මොකද ‘කියලත්’ කියල කිව්වේ? ඔය ගැන තව තව දේවලුත් කියනවද?”
“ඔව්නේ, මේ පැත්තේ අත්තල කියනවලු ‘එහෙම නෙවෙයි’ කියලා- රාවණ රජතුමා රිටිගල කන්ද මුඳුනට ගිය වෙලාවේ එතැන ඉඳලා විද්ද ඊතලයක් වැටුණේ මෙතෙන්ටලු. තවත් මතයකුත් තියෙනවා... යුදඟනාපිටියට ගොඩක් ඉස්සර කාලෙක උල්කාපාතයක් කඩං වැටුණයි කියලා. එතකොට ගින්දරට පිච්චුණු නිසාලු පස් රතුපාට වෙලා තියෙන්නේ. ඔව්වයෙන් ඇත්ත මොකක්ද කියලා නං අපි දන්නෙ නෑ...”

යන-එන තැන්වල වග-විස්තර, පුරාණ හොයන්නට ගොඩක් අයට උවමනාවක් නැත. එයාලා උනන්දු වෙන්නේ වෙනිං වැදගත් දේවල් ගැනය...

(ටිරාන්, සමාවෙන්න ඕනේ)- ඔයාගේ හිතවතෙක් ගැන මේ රසවත් විස්තරෙත් ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන අපේ ආදරණීය පාඨකයන්ට කියනවට.
මතකද, අපි ඔයාගේ හිතවත් මිත්රයෙක්ව හම්බ වෙන්න ගියා. (එයත් වස්ගමුවේ entrance එකට එනකල්ම එයාගේ වාහනේකින්ම අපිත් එක්ක ‘පසු ගමන්’ ආවේ.)

මීට කලින් වස්ගමුවේ trips ආව මගේ ෆ්‍රෙන්ඩ්ස්ල ඔක්කොමටම ආයෙමත්...

ඉතින්, යන-එන විස්තර ටිරාන්ගෙන් අහලා ඒ මිත්‍රයා කිව්ව කතාව තමයි, ඉතා වැදගත්. “... මචං, ඇති වෙන්න bottles නං අරගෙන පලයං. මීට කලින් වස්ගමුවේ trips ආව මගේ ෆ්‍රෙන්ඩ්ස්ල ඔක්කොමටම ආයෙමත් හෙට්ටිපොළට එන්න වුණා, බෝතල් මදි වෙලා.”

“එව්වා ready මචං!”
ඇත්තය. කොච්චරට හරිදැයි හිතුණේ අන්තිමටම ගණන් බලනවා ඇහුණු වේලාවේය. ඒ ගමනේදී අපේ ඇත්තන් රුපියල් එක්ලක්ෂ විසිපන්දාහකට ආසන්න වටනාකමක් ඇති මද්‍යසාර ලීටර් හයක් විතර ‘මජ්ජපමා දට්ඨනය’ කරලය.

හෙට්ටිපොළදී එළවලු ගන්නට අප ගියේ සුපුරුදු එළවලු කඩේටය. සුපුරුදු කිව්වාට ඊට කලින් අප එතැනට ගිහින් තිබ්බේ එක වතාවකි.
මිනිසුන් බොහෝමයක් කැමැත්ත දක්වන්නේ කලින් ගොහින් පුරුදු තැනකට යන්නද? අපේ ‘Comfort Zone’ එක රඳන්නේ කොහෙ-කොහේද? අලුත් අලුත් තැන්වලට යන්නට කැමති ගවේෂණශීලීන් විතරක්ද?

අත ඉක්මන්කොට එළවලු තෝරාගන්නා අතරේ, ප්‍රියන්ත ඒ වෙළෙඳ සලේ තිබුණු ලොකු වතුර බෝතල් කිහිපයම මිලදී අරගෙනය.
“මෙච්චර? එතන වතුර නැද්ද ප්‍රියන්ත.”
“කොහෙද... අපේ ගෑනු කට්ටියත් ලොකු බර-බරයක් දැම්මනෙ මචං ගිය සැරේ. මැදපිටියේ වතුරද බොන්න යන්නෙ කියලා. මේ නිමල්ගෙනුත් අහපංකො. හැබැයි සද්ද නැතිව හිස් බෝතල්වලට එතන වතුර පුරවල තිබ්බම ඒව බිව්වා. කියන්න බෑනේ මචං, උඹලගේ කට්ටියේ ලේඩීස්ලා කොහොමද කියලා... ඒකයි කොයිකටත් කියල වතුර ගත්තේ...”

ප්‍රියන්ත එහෙම හිතුවත් ‘අලුත් ගමන් සාමාජිකාවන්’ එහෙම නැති අයයි. ඔවුහු කිසිම අපුලක් නොදක්වා මැදපිටියේ දිය දහරාවෙන් ගත් වතුර පරිභෝජනය කළහ! එනිසා ගෙනගොස් තිබුණු ලීටර් පහේ ලොකු වතුර බෝතල හතෙන් තුනක්ම විවෘත නොකොටය, අපි ආපහු ගෙනාවේ.

“ප්‍රියන්ත. ඔයාලා සෝඩා අරව- මේවා ගන්නකල් මම ටක් ගාලා අර තොග කඩේට දුවල එන්නං.” මං දිව්වේ කලින් වතාවේ මඩු පියලි මිලදී ගත් වෙළෙඳ සලටය. කැෂියර් මේසයේ උන්නේ ‘අර පැහැපත් බිස්නස්කාර ලලනාව’ නොවේ. ‘එයාගේ මහත්තයා වෙන්නැති!’
“කීයද මුදලාලි මහත්තයෝ මේ මඩු පියලි?”
“රුපියල් එකසිය අසූවයි!”
(ගිය වතාවේ කියැවුණේ 200/-ක් බවය.)

ලංකාවේ වෙළෙන්දන්ගේ හැටි එහෙම විය යුතුය. නියම මිලක් නැත. බොහෝවිට ගැනුම් මිලත්- විකිණුම් මිලත් තීරණය වන්නේ වෙළෙන්දාගේ හිතූ-මනාපෙටය. “කොච්චරද මහත්තයට ඕනි?”
“කිලෝ පහක්.”
“ඔච්චරයි මහත්තයා තියෙන්නේ. ඔක්කොම ටික වැඩිද?” එතන තිබුණු මඩු පියලි කිලෝ හතම අරගෙනය, මං ආපසු ආවේ. (ඊළඟ සතියේ ඒ මඩු පියලි පිටි කෙරුණේය; මඩු පියලි නොදැක තිබුණු- ඒවා ගැන නොදැන හිටපු මගේ හිත මිතුරන් බොහොම දෙනෙකුගේ ගෙවල්වලටත් ටික-ටික යැවුණේය; හදන්නට උපදෙසුත් එක්ක!)

මඩු ගැන තවත් විස්තර ටිකක් මට කිව්වේ හිතවත් වනජීවී නියාමක ගයාන්ය.

‘මඩු පිටිවලින් තනියම වුණත් රොටි- පිට්ටු හදන්න පුළුවනි’ කියලා මහියංගනේ පැත්තේ නන්දා අපේ නෙවිල් උන්නැහේට කියලය. නන්දා මෙයාට සහතික වුණාලු- මුරුංගා කොළ ටිකක් කවලම් කරල ගත්තම මඩු පිටිවල මත් වෙන ගතිය මැකෙනවයි කියලත්. (නෙවිල්ලාගේ අම්මාව බලා ගන්නට ඇවිත් දවස් කීපයකින්ම, ඒ උන්නැහේගෙන් ඉල්ලීම් කිහිපයක් දිනා ගන්නට තරම් හපනියක වුණේ මේ නන්දාය!)

මඩු ගැන තවත් විස්තර ටිකක් පසුව කියන විත්තිය පසුගිය වතාවක මම ඔබට කිව්වෙමි. ඒ විස්තරයි මේ. මේවා මට කිව්වේ හිතවත් වනජීවී නියාමක ගයාන්ය.

“මඩු ගස්වල පිරිමි ගසුයි ගෑනු ගසුයි කියල දෙගොල්ලක් තියෙනවලු...”
“මේ කිට්ටුවද ඒ ගස් මණ්ඩිය තියෙන්නේ ගයාන්”
“නෑ මහත්තයා. හෙට්ටිපොළට කිලෝ මීටර් නවයක් විතර දුරින්... එහෙ තියෙන හිබිලියාකඩ ගම කිට්ටුව කැලෑවල. අවුරුද්දට සැරයයිලු ගෙඩි හැදෙන්නේ. අර ගමේ මිනිස්සු තමයි කැලේ ගිහින් ඔය මඩු ගෙඩි එකතු කරලා, කපල, වේලලා විකුණන්න ගේන්නේ...”

එහෙව් වෙහෙසක් දරා ඔවුන් විකිණීමට ගෙනෙන ‘මඩු පියලි’ මිලට ගැනෙන්නේත් ස්ථිර ගැනුම් මිලකට වෙන්නට බැරිය. අපිදු ඒවා මිලදී ගන්නේ හැකිතාක් අඩු මිලකට ඒවා විකුණන්නට තිබෙනවා නම් විතරක් නේද?
කොහොමෙන්- කොහොම වෙතත් වැඩි ශ්‍රමයක් දරන; වැඩි වෙහෙසක් දරන නිෂ්පාදකයාට සාධාරණ මිලක් මෙතනදීත් නොලැබෙන බවකි- මට නං පෙනුණේ...

ඉතිරිය ඊළඟ කොටසෙන්...

14 comments:

  1. ඔය වෙළහෙලදාං කටයුතු වලදි ගෑණු කට්ටිය ටිකක් වැඩිපුර ගණං කියන වෙලාවල් තියෙනව.

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං.... මොකෝ විකුණන බඩු හැම එකේම මිල දර්ශනය කරලා තියෙනවැයි කියලයැ? එහෙම නේද ප්‍රසෝ...

      Delete
  2. //නිමල් අයියා ගනුදෙනු කරන්නේ ‘ඒ තරම් ක්‍රමානුකූලව නිතිපතා, සතිපතා ජීවිත විශ්ලේෂණය කර වැඩ කරන අය සමඟ නොවේ’ය යන දේ තේරුම් නොගැනීම එයාගේ දුර්වලකමයි. චේතනාන්විතව නොවුණත්, එයාගේ හිතේ සාමය නැති කරන්න මෙම අවිද්‍යාව නිතර හේතුකාරක වෙනවා...’//
    මේ කතාව සහතික ඇත්ත.....
    --කොළොම්පුරේ අසංග----

    ReplyDelete
    Replies
    1. හැබැයි අසංග මහත්තයෝ, මගේ හිතේ සාමය නැති වුණත් - මං ප්‍රතිපත්ති අනුව, පිළිවෙලකට වැඩ කරන එක වෙනස් කරන්න හිතන්නේ නෑ.
      මොකද මං එහෙම කරන එකෙන් මෙතෙක් නම් වෙනත් කිසිම කෙනෙකුට පාඩුවක්- අලාභයක් කරදරයක් වෙලා නැති නිසා.

      Delete
  3. https://exploreslk.com/ussangoda-national-park/
    https://www.dwc.gov.lk/wnp/geology/

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ, links දෙකට.
      උස්සන්ගොඩටත් අපි ගිහින් තියෙනවා. ඊට වැඩි වතාවන් ගණනක් විල්පත්තුවටත්.
      එහෙ තියෙන රතු පස් ගැන 'අපේ කුණු අපට එපාවී- 2' post එකේදී මම ලිව්වත් එක්ක.
      http://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_27.html

      Delete
  4. බොන වතුර ගැන සැලකිලිමත්වීම නරකම අදහසක් නෙමෙයි. යනකොට වතුර බූලියක් ගෙනියන එක හොඳ නැද්ද? මඩු වගේ ඒ පලාතට ආවේනික ස්වාභාවික කෑම, ඔය ගාණට ලැබිච්ච එක ලොකු වාසියක්.👌

    ReplyDelete
    Replies
    1. බස්සා මහත්තයෝ, මැදපිටියේ වතුර දූෂිත නැති නිසයි අපි ඒවා පාවිච්චියට ගන්නේ. අනිත් කාරණේ අපෙන් වැඩි දෙනෙකුට ඕනි වතුරකට ඔරොත්තු දීමේ හැකියාව තියෙනවා.
      80 ගණන්වල දවසක ප්රියන්තලා අපි කට්ටියම සිතුල්පව්වේ ගියා. එතකොට එහෙ විහාරාධිපති හාමුදුරුවන් වහන්සේ පිරිමි විතරක් ඉන්න කිසිම නඩයකට එහෙ නවතින්න දෙන්නේ නෑ. අපිත් වාහනේ අවුලක් වෙලා නන්නත්තාර වෙලායි හිටියේ. නිදි උපාසක මහත්තයා ගිහින් අතිසංවරව මාදුළුවාවේ සෝභිත සමිඳුන් ගැනත්, තමා සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානයේ ගරු ලේකම් බවත්, අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයේ කළමනාකරු ලෙස සේවය කරන බවත් කිව්වාම 'එහි බණ මඩුවේ නවාතැන් ගැනීමේ අවසරය' ලැබුනා. එතන තිබුණු ලිඳෙන් තමයි වතුර ගත්තේ- බීමට හා කෑම පිසීමටත්. පහුවදා පාන්දර තමයි අපි දැක්කේ ඒ ළිඳේ වතුර උඩ පා වෙවී තිබුණු 'පාන් වහලු- ෂොපින් බෑග්ස්- රොඩුබොඩු කන්දරාව. එදා තමයි අපි දැනගත්තේ අපේ බඩවල් ඕනිම කුණු ගොඩක් දිරවන තරමේ ඒවා බව!

      මේ වතාවේ වතුර ලීටර් පහේ බෝතල 7ක් ගෙනිච්චා. වැඩේ තියෙන්නේ ඒවාත් අනිත් බඩුත් වාහනේ පටවාගත්තම අපිට කකුල් දිග හැරගන්නවත් ඉඩ නැති වෙන එකයි!

      මඩු පියලි කිලෝ එකකට ගම්මුන්ට කීයක් ලැබෙනවද කියන එකයි මට නං තවමත් කල්පනා වෙන්නේ- බකුසුතුමෝ.

      Delete
  5. නිදි ලොක්ක මේ ට්‍රිප් විස්තර කියකිය වන්ගු ගන්නෙ... 31න් පහු ජිවිත අන්දරය ලියනෙ නැතෙයි

    ReplyDelete
    Replies
    1. ඒ සීරීස් එක තාවකාලිකව අතරමඟින් නවත්තල මේවා ලියන්න ගත්තේ මේ දවස්වල තියෙන වැඩ ගොඩ නිසා- හා හිතේ අවුල් නිසයි, නමී.
      1985 විස්තර ගොඩක්ම තියෙන්නේ මට තියෙන එකම දිනපොතේ. ඒවා ලියලා තියෙන්නේ ඉලක්කම් භාෂාවෙන්- ඉතින් ඒවාත් කියවමින්- මතකය අවුස්සමින් ලියන්න හිතක් නෑ... මේ දවස්වල. වෙලාවකුත් නෑ. ලියනවා නං හරියටම ලියන්න ඕනිනෙ.
      ඒවා ලියද්දී අම්මා ගැනත් ලියන්නම වෙනවා. එතකොට මට පේන්නෙම ඒ දවස්වල අපේ අම්මා ජව සම්පන්නව හිටි හැටියි- දැන් පරඬලක් වී දුර්වල වී ගොඩක් වෙලාවට කල්පනාවකින් තොරව ඔහෙ ඉන්නන් වාලේ ඉන්න හැටියි.

      ඊයේ අපේ කොලොම්පුරේ අසංග හිතවතා දුරකතනෙන් කිව්වෙත් 2019 අපි කට්ටිය වස්ගමුවේ යනකොට අම්මා හිටිය හැටි. සිංදු කියලා නටලා ජොලියේ... ඒකට දැන්...

      Delete
    2. හ්ම්....ඒකත් එහෙමද?
      මගේ නං ඒ හැටි අවුලක් නෑ මේ ට්‍රිප් විස්තර සීරීස් එකට. ඒවට නිතරම සහභාගි වෙන්න චෑන්ස් එක වැදෙන නමියට ඒව අරහං වගෙයි නේද? ඊළඟ ට්‍රිප් දෙක-තුනකට හලල ගියා නං ඔය ලෙඩේ නිට්ටාවටම සුවවෙයි.😉😂

      Delete
    3. ඕන් බස්ස මහත්තය කීව කතාවක්. //නිතර සහභාගී//. ගියේ පාදයාත්‍රා ගමන් 2ක විතරයි ආයිබොවන්ඩ. ඒ දෙකත් ඉතීම් ට්‍රිප් විදිහට ගත්තොත් 😉

      "ජීවන අන්දර පෝස්ට්" දිගටම කියවන් ආව හන්ද එකට තමා වැඩි අවධානෙ ගියේ. ට්‍රිප් පොස්ට් වලට උනත් වැඩි මනාපයක් යන්න තිව්න... වෙච්ච සාකච්චාවක් 2ක් හෙම දිගට ඇතුළත් උනානං. ඒ ඇරෙන්න කාපු විදි, ගියාපු විදි ගැන කියවන්න වැඩි ඉන්ටරෙස්ට් එකක් නෑ. ඔන් සහසුද්දෙන්ම කියල දෑව 🙇

      Delete
    4. ආන්න ජංසන්! එහෙම සහසුද්දෙන් කිව්වම තමයි, නිදිට පාඨක විචාර විදිහට වටින්නෙ. ඒත් ඉතිං අසරණ අපි ගැනත් හිතුවොත්, කාපු, නාපු විදිත් වටිනවා.😂

      Delete
    5. //එහෙම සහසුද්දෙන් කිව්වම තමයි, නිදිට පාඨක විචාර විදිහට වටින්නෙ.// සහතික ඇත්ත බකුසුතුමෝ!
      පාඨකයන්ගේ අවංක අදහස් දැනගන්ට ලැබීම මට නං හරිම වටිනවා.
      නමී, තමුන්නැහෙව පාද යාත්‍රාවට එක් කර ගැනුණේ එක්කෙනෙකුගේ ඉඩක් ඇති වෙද්දී- ඔයා නිසි විදිහට- නිසි සුදුසුකම් 'අපේ තේරීම් කමිටුවට' පෙන්නපු නිසා. ඒ වගේම ඔයාගේ වාසනාවකුත් තිබිල නිසා.
      මහත්තුරු දෙන්නටම ස්තුතියි හොඳේ, commentsවලට.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්