li Item

Friday, September 29, 2023

තිස් එකේදී... -විසිතුන්වෙනි කොටස

“ශ්‍රී ලංකාවේ ගෙවල්වල බිත්ති paint කරන එකලු මෙයාලා කරන්නේ.” ඩැඩා තෝල්ක මුදලිගේ job එක කරද්දී මං වහන්සේ කළේ ‘ඔළු’ බාසාවෙන් උත්තර දීමය.

එයින් පස්සෙය මට මීටර් වුණේ. අපේ council ගෙදර බිත්තිවලටත් වෝල් පේපර්ස්ය, අලවලා තිබ්බේ. බනාසේ ගෙදරත් එහෙමය... මම මතක් කළෙමි. රෝයිලගේ ගෙදර- සෝෆා කවර මැසූ ගෙදර... ඒ හැම තැනකම එහෙමය. ඇයි ඒ?

ඉතිං අන්තිම ‘වලත්ත’ තොරතුරක සත්‍යතාව එයාලාගෙන් අහලා තහවුරු කර ගන්නට පුළුවනිද?

ඒ විස්තරය ‘තිස් එකේදී 22 කොටස’ට ලියලා මාස තුනකටත් වඩා වැඩිය. ඊට පස්සේ ඒ පෝස්ටු පෙළ දිගටම ලියාගෙන යන්නට බැරි විදිහටය කටයුතු යෙදුණේ.

ප්‍රධාන වශයෙන්ම, ලියන්නට තිබුණු මගේ විවේකය හොඳටම අඩු වුණේය. 1985 තරම් ඈත වකවනුවක විස්තර මතක් කර ගැනීම මං වහන්සේට වුණත් එච්චර ලේසි නැත. (1985 මා ලියූ දිනපොත තිබ්බා වුණත් එහෙමය. මතකය වාන් දමන්නේ කලාතුරකිනි.) අනෙක් අතට මෙතෙක් නොකියා රැකගත් මගේ රහසිගත; පෞද්ගලික තොරතුරු... ඒවාට සම්බන්ධ අනෙක් පාර්ශ්වවල අනන්‍යතාව හෙළිදරව් නොවෙන විදිහට ලියන්නටත් එපැයි. ආරූඪ නම් හෙමත් දාලා ලියන නිසා ඒ කාරිය තවත් අමාරු වෙයි...

අවාසනාවට, ඒ රහස්‍ය විශ්වයේ වැඩි දෙනෙක් දැන් ජීවතුන් අතරත් නැත! එහෙම වුණත් මියගිය ඒ පිරිසටත් ගෞරව කළ යුතුමය!! ඒ හැම දෙනාටම යහපතක්ම වේවා!!!
මගේ රහසිගත විශ්වයේ කාලයක් වාසය කළ; අදටත් ජීවත්ව සිටින සමහරුන්ගේ මතකය ඉතාම දුර්වලය. සමහරෙකු දැන් ගෙවන තැන්පත්- උපාසක- සුචරිතවත් ජීවිත දෙස බලද්දී මටම පුදුමය. (ඔවුනටත් යහපතක්ම වේවා!) ඉතිං අන්තිම ‘වලත්ත’ තොරතුරක සත්‍යතාව එයාලාගෙන් අහලා තහවුරු කර ගන්නට පුළුවනිද?
ඔන්න ඔය වගේ කරුණු-කාරණ ගොඩාරියක් හින්දාය ‘තිස් එකේදී 23 කොටස’ ලිවීම ටිකකට පැත්තකින් තිබ්බේ.

මාස ගණනාවකට කලින් මා ලියු ඒ posts 22ම ආයෙමත් කියවා බලා, මතකය අලුත් කර ගෙනය; මං නං දැන් මේ ලියන්නට සැරසෙන්නේ.

මේ කතාවේ කලින් ලියූ කොටස් 22ක් ආයෙමත් කියවා, මතකය අලුත් කර ගන්නැයි දයාබර පාඨක ඔබටත් කොහොම කියන්නද? කැමැත්තක් තිබ්බත් ඒ වගේ දෙයකට විවේකයක් තියෙන්නේ කීයෙන් කී දෙනෙකුටද?
ඒ නිසාය මෙතෙක් කතාව ඉතා කෙටියෙන් මෙහෙම ලියන්නේ. වැඩි විස්තර දැනගන්නට උවමනා කෙනෙකුට අදාළ තැනට යන්නට linksතුත් යොදමින්. එහෙම හොඳයි නේද...

1 කොටස- Soul matesලා/ මගේ චපලකම/ ‘xයිය කප්පගෙන xත්තක් හදව ගනිං.’ පියසිරි කියයි/ එංගලන්තයට එන්නැයි අම්මා කියයි/ අනුර ජිනදාසගේ අනාවැකිය/ පද්මේ හා සබඳකම/ ඔහුගේ විශේෂත්වය.

2 කොටස- වීසා ඉල්ලුවේ අනිල්ටත් එක්කය/ අනිල් හා විරසකය/ තානාපති කාර්යාලයේ සම්මුඛ පරීක්ෂණ/ ලාල් අයියාගේ සහාය, පෙරහුරු/ දිනපොත් ලිවීම/ මහපොළ දිනපොත/ රහසිගත ඉලක්කම් බසෙන් ලිවීම/ පද්මේ කුඩුවලට ඇබ්බැහි වෙයි/ ඒ වෙද්දී මගේ සමරිසි සබඳකම් සංඛ්‍යාව 120 ඉක්මවා ගොසිනි.

Sex hunger කෙනෙක් ගණිකාවක් හොයා ගන්නෙත් ඒ වගෙයි. Homosexualලටත් ඒ වගේ ඉවක් තියෙනවා ඇති. මොකක් හරි chemist එකක්...

3 කොටස- අත්දැකීම්වලින් මගේ වලත්තකම තවත් පෝෂණය වෙයි/රැකියා විරහිත පද්මෙගේ තැවිල්ල/ මගේ විශ්වයන් දෙක/ මව්බිම හැර යන්නෝ/ අම්මා ගෙනෙන්නැයි කී බඩු කන්දරාව/ ගුවන් තොටුපළේදී වුණු ලජ්ජාව/ ගුවන් යානයේදී හඳුනාගත් ගුවන් විදුලි නිවේදක විල්මන් ජයසිංහ

4 කොටස- විල්මන් අපේ ගෙදරට/ හීත්රෝ ගුවන් තොටේදී කෙරුණු විමසීම්/ සංචාරක වීසා දෙන ක්‍රමය/ අම්මල හිටියේ Hounslowවලය/ ඩැඩා ඉස්සරහපිටත් අපි සිංහලෙන් කතා කළ අවිනීතකම/ අම්මා ගෙනා මංගල යෝජනා/ එතකොටත් අනිල් මල්ලී පෙම්වතෙකි/ අම්මාගේ මුදල් ආරක්ෂාකාරීව හංගා තැබීම මට බාර වෙයි/ ඩැඩාට උවමනා විදිහට කෝපි හදන ක්‍රමය.

5 කොටස- ඩැඩාගේ වැඩවල පිළිවෙල, සුද්දන්ගේ විදිහ/ ඩැඩා- අනිල් දීපාල් දෙන්නවම දැක්කේ එයාගේ ආධිපත්‍යයට තර්ජනයක් ලෙසින්ද?/ රෝයි අංකල් හා සුමිත්‍රා ආන්ටි/ අන්නාට රස්සාවක්/ ඩැඩාගේ mini bar එක/ අම්මලාගේ Council Flat එක/ ලංකාවේ උදවිය බොන විදිහ.

6 කොටස- ලිංගික සැත්කමේ අරමුණ/ සංජේ ගෙනවුත් දුන් ‘මට වෙච්චදේ’ පොත/ තිලකපාල තිලකා වුණි නං.../ ඉංග්‍රීසි බස හැසිරවීමේදී මගේ දුර්වලතාව/ අම්මා රැකියාවකුත් කරන්නියකි/ ඩැඩාට පාන් ටෝස්ට්/ "Do things for people not because who they are or what they do in return, but because of who you are" (Harold S. Kushner).’/ රෝයි අංකල්ලාගේ ගෙදරට ආරාධනයක්.

7 කොටස- අශාන් හා කයිසර්, සමලිංගික යුවල ප්‍රසිද්ධියේ පෙනී සිටිති/ ඩැඩාත් රෝයිත් ඔවුන් නොරුස්සති/ අශාන් මට හිතවත් වෙයි/ ඒ දිනවල එංගලන්තයේ සිරිත් හා ආකල්ප/ Bend it like Beckham ෆිලුම/ ඊළඟ අත් බවේදී පිරිමියෙකු වී ඉපදෙන්නට පැතූ කළු අක්කාට සෝමේ අයියා අවසර දීම/ ප්‍රියමනාප නීලියා.

8 කොටස- Coconut Cream, අශාන්ගෙන් මට රැකියා ඔත්තුවක් සහ වැඩියෙන් උදව්/ හවුන්ස්ලෝ පත්තර/ සීතලේ ගැහෙමින් වාහනයක පින්තාරු වැඩ/ මාව ආපසු ගෙනියන්නට අශාන් එයි.

9 කොටස- ‘ඔයා හෝමෝද’ අශාන් මගෙන් අහයි/ ‘ඔයාවත් තවම ඔයාගේ sexual identity එක හරියටම දන්නෑද?’/ Mirror Cells ඇතිවීම/ “Sex hunger කෙනෙක් ගණිකාවක් හොයා ගන්නෙත් ඒ වගෙයි. Homosexualලටත් ඒ වගේ ඉවක් තියෙනවා ඇති. මොකක් හරි chemist එකක්.../ ‘මාත් ඔයාගෙන් පරෙස්සම් වෙන්නෝනි’ අශාන් කියයි/ එංගලන්තයේ සාප්පු සංකීර්ණ/ රුබාබ් අතුරුපස.

ලංකාවේ සංචාරකයන්ට සලකන අයුරු...

10 කොටස- අවුරුදු දොළහේ සිට රැකියා කළත්, ඒ වනවිටත් මා සතුව ඉතිරි කර ගත් මුදලක් නොවිණි/ අම්මාගේ ඉතිරි කිරීමේ පුරුද්ද/ ඩැඩාගේ සොහොයුරිය ඩොරති/ ‘ලීලා වෙනස් වෙලා’ ඩැඩා කියයි, ‘එයා බ්‍රිටිෂ් අයටත් වැඩිය බ්‍රිටිෂ් වෙන්නයි හදන්නේ’/ නීලියාට lunch එකක් දෙන්නට සැරසෙයි/ අපේ ගෙදරත් ඉරිදා දවල් කෑම සම්ප්‍රදායික විදිහටය. අනිල්ට ඒ කෑම ඇල්ලුවේ නැත/ අශාන්ට මා හමුවීම සතුටක් වගේය.

11 කොටස- මම අශාන්ට ආසක්ත වුණෙමිද?/ සිහිනෙන් පැමිණි අශාන්/ මගේ ජාගර චිත්තය/ මගේ ලිංගික ක්‍රියාශීලීත්වය ගණන් බැලෙයි/ අතිධාවන කාම යෝගය නිසාද මේ?/ පිහිනුම් තටාකයට ගියාම තිස් එකේ මටත් බාගෙ ටිකට් එකක්/ නීලියා එයි/ නිමල්ට හොඳ කසාදයක් කරවමු!

12 කොටස- මට වදයක් වෙන ඇගයීම්/ ‘නිමල් මට හොඳ වැඩියි’ නීලියා කියයි/ යුරෝපා උදවිය trip යන හේතු/ ලංකාවේ සංචාරකයන්ට සලකන අයුරු/ ඩැඩාත් මට job එකක් හොයලාය/ You have something seductive! අශාන් කියයි/ Hug එකකින් පවා අප වැරැද්දකට පෙළඹෙන්නට හැකිය- ඔක්සිටොක්සින් ශ්‍රාවය වැඩි වීම නිසා.

12 කොටසට comment එකක්- Pra Jay මහතාගේ දිගු කමෙන්ටුව/ Comments එවන දයාබර පාඨකයන් එසේ කරන්නේ ඇයි?/ මගේ සැබෑ ස්වරූපය- ලිංගික අනන්‍යතාව හංගාගෙන හිඳීම/ සමලිංගික වීමේ වරදට ජීවිතයෙන්ම වන්දි ගෙවූ ‘පරිගණකයේ පියා- ඇලන් ටියුරින්’/ පිට පෙනුමින් මිනිසුන් මැනීම කොතරම් නිවැරදිද?/ සිය අභිමතය පරිදි වැඩි දෙනෙකු සමඟ ලිංගික අත්දැකීම් ලැබීම වැරද්දක්ද?

13 කොටස- ‘හෝමෝලා අතරේ ලෙඩක් පැතිරෙන්න අරං’ අශාන් අනතුරු අඟවයි/ ඔයා හෝමෝ ගැන්සියකට වැටුණොත්/ වේස ගෙදර/ STD වෙනරල් ඩිසීස් වෙයි/ ලිංගාශ්‍රිත රෝග පැතිරීමේ වේගය අතින් ලංකාව පළමු තැනට/ 33 කාමරයට ගිය ගමන/ පිරිසක් ඉදිරියේ මා සිප ගැනීමෙන් දීඝායු මට ‘හණ ගැසීමක්’ කළේද?/ අශාන් හා කයිසර් ඕස්ට්‍රේලියාවට යන්නට සැරසෙති/ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු හා විවාහ වෙන අයෙකුට එරට පුරවැසිකම ලැබෙන නීතිය/ එංගලන්තයේ පත්තර කියවීම.

14 කොටස- අසනීප අම්මා ලංකාවට එයි/ කෙනෙකුට සත්කාර කළ යුත්තේ මිය යන්නට කලින්ය/ ලංකාවේ ඩිමෙන්ෂියා රෝගීන් දෙලක්ෂයකට වඩා වැඩිය/ පද්මේගෙන් ලියුමක්/ ආදරය තාර්කිකද?/ එංගලන්තයේ සිට අඩු වියදමකින් මා ලංකේය හිතමිතුරන්ට නොකඩවා තොරතුරු දන්වා එවූ හැටි/ උපාලි ජයරත්න ඊට මහෝපකාරී වෙයි/ ‘කචල් පුරේ සිට...’ මර්වින් බොතේජු එවූ ලිපියක්.

ඔබ අනෙකුන්ට ගරු කරනවා නම්...

15 කොටස- වර්තමාන ලංකාවේත් සංක්‍රාන්ති ලිංගිකයෝ ප්‍රසිද්ධියේ පෙනී සිටිති/ භූමි නරේන්ද්‍රන් මැයි රැලි වේදිකාවක/ මටත් ඔපරේෂන් එකක් කරවගන්න ඩැඩාගෙන් උදව් ඉල්ලනවා- ලියුමකින්/ ඒකට කඩුව පොලිෂ් කරගන්නෝනි/ ඩැඩාගේ මිතුරාගේ ගෙදර සෝෆා කවර මැසීම/ කිරි බෙදන විදිහ/ එංගලන්තයෙදී ලාංකික උදවිය මඟ හරින්නෝ.

16 කොටස- විල්මන් ජයසිංහගෙන් ඇමතුමක්/ ගෙදර ප්‍රධානියා කවුද- ඩැඩා අසයි/ අනෙකුන්ට ගරු කරනවා නම්..../ ගැහැනිය පුරුෂයාට දෙවෙනි විය යුතුද?/ මා එවැන්නකට සූදානම්ද.../ විල්මන්ගේ බොරු පොරොන්දු/ Jumble Sales/ චූටි නංගි දීපානිගේ සුරතල් තිළිණය.

17 කොටස- 2nd Hand යුගය ඇරඹෙයි/ දික්කසාද වැඩුමලිය මියුරියල්/ එංගලන්තයේ National Theater නාට්‍ය දර්ශනයක් බලන්නට...

18 කොටස- එංගලන්තයේ නිවාස/ Prefabs/ අපේ ගෙදර plan එක/ England වීදි නාට්‍යකරුවෝ හා මැජික් ශිල්පියෝ

19 කොටස- නීලියා අස්වර්ව අපට හඳුන්වා දෙයි/ ‘එංගලන්තෙදි නිමල්ට කවුරුත් බටහිර කාන්තාවන් attract වුණේ නැද්ද?’ Lotus රසිකාවිය අසයි/ එංගලන්ත වැසියෝ/ පොදු ප්‍රවාහන සේවා/ බනාසේ නිවසට- විස්තෘත පවුල

20 කොටස- අම්මා සොයා දුන් රැකියාව/ මානෙල් නංගි අම්මාවත්, නැන්දම්මාවත් රැක-බලා ගනී/ ඩැඩා බලාපොරොත්තු සුන් කර ගත්තෙකි.

21 කොටස- රෝගියෙකු බලා ගැනීම කුසලයකි/ Crumpets/ පොහොසත් වෙතත් බනාසේ මැඩම් පවා ගෙවන්නේ ශෝකී දිවියකි/ ලංකාවේ ඉන්ධන හිඟය/ Kew Gardens.

22 කොටස- කිව් උද්භිද උද්‍යානය නරඹන්නට යයි/ එහි මහිම/ යෝධ නෙළුම් වගාව/ මානෙල් කියා එවයි: ‘පවුල් සංවිධානේ වැඩේ හරි ගියා.’/ මට තවත් තාවකාලික jobs දෙකක්/ ජෝ හා අහමඩ් දෙදෙනාගේ ගෙවල්වල Wallpapers ඇලවීමට.

දැන් මේ ලියවෙන්නේ එතැන් සිටයි:
එංගලන්තයේ බොහොමයක් නිවෙස්වල බිත්ති වෝල්පේපර්ස් ඇලවීමෙන් අලංකාර කෙරෙන්නේ ඇයිදැයි කියා මට නම් හිතා ගන්නට බැරි විණි. ඒ ගැන දැනුවත් භවතෙක් වෙතොත් එම හේතුව අපටත් දන්වා එවත්වා!

ඒ අතරේම මානිගෙන් තවත් ලියුමක්... “ලොකා, මට බබා හම්බ වෙනවයි කියන්නේ ජනවාරි අග හරි පෙබරවාරි මුල හරි. ඒ වෙනකොට ඔයා ලංකාවට ඇවිත් ඉඳියි නේද? ගාමිණීටත් වැඩිය තේරුමක් නැහැනේ...”
මානෙල් නංගි යෝජනාවකින්
විවාහ වුණේ අඩු වයසෙනි; අවුරුදු දාහතෙනි. ඒකත් අම්මලාගේ උවමනාවටය. විවාහයත් එක්කම මානෙල්ට දියවැඩියා රෝගයත් වැළඳිණි. ඒ නිසාම එයා ගැන වැඩි අනුකම්පාවක් මගේ හිතෙත් තිබිණි.

1985 එංගලන්තයෙදී- (ඩැඩා, අම්මා, අනිල්, සෑම්, දීපාල් හා දීපානි එක්ක මං)

‘මානි, පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඔයාට බබා හම්බ වෙන දවස් වෙද්දී මම ලංකාවට ඇවිත් ඉවරයි.’ මම උත්තර යැවීමි.

ඒත්... ඒත්... මා එංගලන්තයට එන්නට පෙළඹවූ ඒ රහසිගත අරමුණ... ඒකට මොකද වෙන්නේ? මට වෙච්චදේ පොතෙන් කියල තිබ්බාට වැඩියෙන් ඒ සැත්කම අසීරු හා සංකීර්ණ එකක් බවය, ඒ වෙද්දී මං දැනගෙන හිටියේ.
‘ඕනි මඟුලක්! කරන කෙහෙල්මලක් වැනි-වැනී නොඉඳ ඉක්මනට කරහං මෝලෝ. අපායට යතත් කලින්ම යන්න කියල නේද කියන්නේ.’ මගේ යටිහිත දිගින්-දිගටම මට අවවාද දෙමින් උන්නේය. මම කීකරු වීමි.

අහමඩ්ගෙනි, මා wallpapers ඇලවීම ගැන සියලුම ශිල්පෝපක්‍රම ඉගෙන ගත්තේ. කඩවසම් අරාබි තරුණයෙකු වුණු අහමඩ් ඒ කරුණු සියල්ලම නොවලහා මට කියා දුන්නේය.
දෙවෙනි දවසේ සිටම, එයාලා ගෙදරින් පිටත්ව යන්නට කලින් මා එහාට යා යුතු වීම විතරකි- ගැටලුවකට තිබ්බේ. එලෙස මා පාන්දරින් එහාට යනකොටත් එයාලා ගෙදරින් පිටත් වෙන්නට සූදානම් වී අහවරය. මා දුටු එංගලන්තවාසී සියල්ලෝම පාහේ එසේ වූවෝ වූ
හ; නූලට රූලට වැඩ කරන්නෝ වූහ.

අව්- වැසි- සුළං- Black Ice- හිම- සීත- අඳුර... ඒ මොනවා තිබුණත් ඔවුහු නොතකති; වෙලාවට වැඩ කරති. එහෙම කරන්නේ නීතියකට බයෙන්ද- නැත්තං හැදියාව නිසාද...

ශ්‍රී ලංකාවේ අපටත් එසේ කරන්නට බැරි ඇයි?
මං වහන්සේ තවමත් ඉන්නේ ඒ ප්‍රශ්නයට උත්තර සොයමිනි.

‘මෙන්න Nimal ගෙදර යතුරු. මේ මේ තැන්වලයි උඹේ job එකට උවමනා බඩු තියෙන්නේ. ඔය තියෙන්නේ කන්න ඕනි දෙයක්- තේ කෝපි හදාගන්න දේවල්... මොනව හරි ප්‍රශ්නයක් ආවොත් call එකක් දෙන්න.’ මං ගෙදරට ඇතුළු වෙනවාත් එක්කම යාන්ත්‍රිකව වගේ අහමඩ්ගෙන් කියවෙයි. “දහයට ලේඩි කෙනෙක් එයි... ගෙදර වැඩ කරන්න.” ඊළඟ විනාඩිය වෙද්දී එයාල පිටත්ව ගිහින්ය!
මට තිබ්බේ වැඩ පටන් ගන්නටය.

පැය දෙකකින් විතර දොරේ සීනුව නාද වෙයි.  මා එහි උන් හැමදාම වාගේ එහෙම සීනුව නාද වුණේ උදේ දහයටය. ඒ ගෙදර වැඩ කරන කාන්තාව පැමිණෙන වෙලාවයි. “Good morning Mr. Nimal. I’m going to have a cup of tea. Would you like having...” හැමදාම ඇසෙයි.

Yes, please හෝ Why not... වැනි දෙයක් එවිට මගෙන් කියවෙයි.
තේ එක බිව්ව තැනේ හිට එයා එයාගේ පාඩුවේ එයාගේ වැඩය- මං මගේ වැඩය. හරියටම දොළහ වෙද්දී ඇය රාජකාරි නවත්වයි; ඒප්‍රණය ගලවා තබයි. “See you tomorrow!” කියාගෙන පිටව යයි.

තමන්ගේ හිතේ ලියන්න දේවල් කප්පරක් තෙරපි- තෙරපී තිබ්බට කමක් නෑ. ජලාශයක් වාන් දානවා වගේ නොවී, නිවිහැනේ; පිළිවෙලට ගලපලා ලියන්න වෙයි.

ඇය රෝබෝවෙකුවත්ද?
මා නම් එසේ නොවේ; බිත්තිවල උස මනිමින් ලියා ගනිද්දී- ඒ ඒ තැන්වලට (මෝස්‌තර වෙනස් නොවෙන සේත්) ගැලපෙන ලෙසත් වෝල්පේපර්ස් කපද්දීත්- අලවන විශේෂ පාප්ප මිශ්‍රණය හදා ගනිද්දීත් හොඳින් හුස්ම ගත්තෙමි; කල්පනා කිරීමත් නොඅඩුව කළෙමි!

එහෙම කල්පනා කරමින්, හිතේ කටු සටහන් ලියා ගත්තෙමි. ඩැඩාට ලියන ලියුමය; මා හිතේම කෙටුම්පත් කළේ. අහමඩ්ලාගේ ගෙදර තිබුණු නිසකලංක; නිහඬ; බාධාවන්ගෙන් තොර පරිසරය ඒ කෙටුම්පත් කිරීමට අවකාශ සපයන්නකි.

ඔව්, ලියන්න වචන තෝරා ගනිද්දී පරෙස්සම් වෙන්නෝනි නේන්නං.
දන්නවනෙ,
ඩැඩා සබ්ජෙක්ට්කාරයන්ට කැමති නැහැනේ! උඹත් සමනලයෙක්ය කියල ලියනකොට පරෙස්සමින් ලියහං, පොල්ලෙන් ගහන්නා වගේ නැතුව.

තමන්ගේ හිතේ ලියන්න දේවල් කප්පරක් තෙරපි- තෙරපී තිබ්බට කමක් නෑ. ජලාශයක් වාන් දානවා වගේ නොවී, නිවිහැනේ; පිළිවෙලට ගලපලා ලියන්න වෙයි, ඕං!
ලියුමක් ලියල දුන්නට හරි යැව්වට හරි පස්සේ ආයේ වෙනස් කරන්නයැ... ඒක තමයි කෙනෙකුට යමක් ලියලා දන්නන එකේ තියෙන ලොකුම වැරැද්ද. හොඳට මතක තියා ගනිං! යමක් ලියලා යැව්වොත් යැව්වමයි රජෝ... ආයේ no හෙල්ලුම්...
ඒත් දන්න ඉංග්‍රීසි ඩිංගෙන් තටම-තටම හරි ලියනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නැහැනෙ. මොකෝ මූණට මූණ බලාගෙන කියන්නං කියලයැ.
ඒ නිසා එයාව ඉහළින් තියලා, මේ වැඩේදී උඹට උදව් ඉල්ලන්න ඉන්න එකම එක්කෙනා එයාය කියල හොඳ පැහැදිලිව ලියහං. (තමුන්ව උස්සල- පුම්බල තියනවට අකමැති එහෙමත් කෙනෙක් විතරයිනේ.)
ඒත් එක්කම, මේක රහසක් විදිහටම තියා ගන්න කියලත් විශේෂයෙන් ඩැඩාට ලියපං...

ඒ 'පහිණපත් රාජයා' මුලින්ම ලියැවුණේ අර ‘රහසිගත ඉලක්කම් භාෂාවෙනි.’ ඊළඟටය, එය වඩාත් රහසින් ඉංග්‍රීසියට හැරෙව්වේ. එසේ හරවා ලියද්දී...
à ඊළඟ කොටසට...

30 comments:

  1. ඔබ ලිවීම අරඹන තැනින් අප කියැවීම අරඹන්නෙමු!

    ReplyDelete
    Replies
    1. ඉතා මැනවි තට්ටයා මහත්තයෝ, ගොඩක් ස්තුතියි!

      Delete
  2. වෝල් පේපර් ඇලවීමේ ඉතිහාසය වික්ටෝරියානු යුගයටම යනවා. ඇයි වෝල් පේපර් ඇලෙව්වෙ කියල දන්නෙ නෑ? අපේත් මෑත ඉතිහාසයෙ තිබ්බෙ සමර සහ හුණු පිරියම් විතරක් නේද?

    කතාවෙ මේ යන හරියට මම නං කැමතියි.

    ReplyDelete
    Replies
    1. Wallpaper ගැන පස්සේ හොයා බලන්න ඕනි.
      ස්තුතියි බස්සා මහත්තයෝ- මේ යන හරිය ඉතා වැදගත් තීරණයක් ගන්න වුණු වෙලාවක්නෙ- ඒකද ඔයා කැමති?

      Delete
    2. https://multibriefs.com/briefs/exclusive/brief_history_of_wallpaper.html#:~:text=Although%20it%20is%20difficult%20to,landscapes%20painted%20on%20rice%20paper.

      Delete
    3. මේ තියෙන්නේ Wallpapers විස්තර නිධානයක්ම- Pra Jay මහත්තයා එවලා... ගොඩක් ස්තුතියි!

      Delete
    4. එහෙම වැදගත් තීරණයක් නිසා නෙමෙයි, මේ කාලෙ එංගලන්තෙ ජන ජීවිතය ගැන කියවෙන නිසා. හොයා ගෙන යනකොට මේක දැක්කා.
      https://www.youtube.com/watch?v=HntXdOxYPVY
      වික්ටෝරියානු යුගයෙ සුද්දොත් අදහන්න වටින මිනිස්සු.

      Delete
    5. කොච්චර ශෝචනීය ඉතිහාසයක්ද? තවමත් සැඟවුණු මරුවන් අපේ වටේ කොච්චර ඉන්නවා ඇතිද?

      Delete
  3. සමරිය හොදයි මිස් උන ඒවා කියවන්න පුළුවන්
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. මාස කීපෙකට කලින් ඒවා නිසයි විජේබාහු මහත්තයෝ- සමරියක් දැම්මේ. ස්තුතියි හොඳේ!

      Delete
  4. "උඹත් සමනලයෙක්ය කියල ලියනකොට පරෙස්සමින් ලියහං, පොල්ලෙන් ගහන්නා වගේ නැතුව". නිමල් ඒක ලියලා තියෙන විදිහට හිනා යනවා. ඩැඩාට ඒ ගැන යම් තරමක අනුමානයක්වත් තිබුනෙ නෑ කියලා හිතන්න අමාරුයි.

    කලින් කොටස් විසි දෙකේ සාරාංශ දාපු එකනම් හොඳ මොලේ ඇති වැඩක්.

    ReplyDelete
    Replies
    1. //ඒක ලියලා තියෙන විදිහට...//
      Lotus, ඒ විදිහටම තමයි මම මටම දේවල් කියා ගන්නේ. සමහර වෙලාවට මමම ටොක්කකුත් ඇනගෙන.

      ඉඳහිට මං වහන්සේ මොළේ ඇති වැඩත් කරනවා නේන්නං... දිගටම අන්දොස් වැඩ කලාට...

      Delete
  5. "ඒ මොනවා තිබුණත් ඔවුහු නොතකති; වෙලාවට වැඩ කරති". ඒ හුඟක් දෙනා hourly paid, casual jobs කරන අය වීමත් එක හේතුවක් වෙන්න පුලුවන්. වැඩ කරන පැය ගාන හරියටම කරන්න ඕනෙ නිසා, ස්වබාවිකවම හිත ඇතුලෙන් එන motivation එකක් තියෙනවනෙ. (මම එහෙම කියන්නෙ ඒගොල්ලො වෙලාවට වැඩ කරන පුරුද්දෙ අගය අඩු කරන්න නෙවෙයි).

    ඊට සාපේක්ශව ලංකාවෙ අය ගත්තොත්, බහුතරයකට වෙලාවට වැඩ කිරීම සඳහා financial හෝ වෙනත් incentive එකක් නෑ. ලංකාවෙ වැඩි දෙනෙකුට casual, hourly paid, sessional jobs ගැන ලොකු අවබෝදයක් ඇත්තෙත් නෑ. හැම රස්සාවම ස්ථිර, පෙන්ෂන් එකක් සහිත ඒවා කියලනෙ හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. Lotus,
      //"ඒ මොනවා තිබුණත් ඔවුහු නොතකති; වෙලාවට වැඩ කරති".// කියල ලියපු තැනට මම ලියන්නයි තිබ්බේ 'ඔවුහු වෙලාවටම වැඩ නවත්වති.' කියලත්. ඒකත් මං දැක්ක දෙයක්.
      හැබැයි, මට හිතා ගන්න බැරි විදිහට ඒ රටේ මිනිස්සු සේවක මහත්ම මහත්මීන්ව විශ්වාස කරනවා. ගෙදර යතුරු පවා ඔවුන්ට දෙනවා. අපේ රටේ එහෙම කලොත්...
      අනෙක ඒ වැඩ කරන අයත් හරියට වැඩ කරන විදිහයි මම දැක්කේ- අධීක්ෂණයක් නැතිවම.

      Delete
  6. ලෝටස් කීව වගේ සාරන්සයක් දාපු එක හොඳා 👌

    මගෙනං වෙලාවට වැඩකිරීම අඩුවෙනව... අනික් අයත් වෙලාවකට වැඩ නොකිරීමත් එක්ක😊.
    එකට එන්න කිව්වොත් එන්නෙ එකාමාරට. ඒ හන්ද මාත් ටිකක් ඒ වගේ වෙලාවට පහු වෙනව... නොහිත හෝ හිතාමතා

    ReplyDelete
  7. නමී, වරණ ජාතකය කියවලා තියෙනවද?
    https://dhamma.ifbcnet.org/63-%e0%b7%80%e0%b6%bb%e0%b6%ab-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba/

    වෙලාවට වැඩ නොකිරීම නං නමී, මට පෙන්නේ කොරෝනවලට වඩා බියකුරු වසංගතයක් වගෙයි. ඔරලෝසුවක එක දැති රෝදෙක එක දැත්තක් කැඩුනොත් මොකද වෙන්නේ...
    අනෙක, ඔයාගෙන්ම පේනවා නේද ඔයාත් පමා වසංගතේට බිලි වේගෙන යන ගමන්ම රෝග වාහකයෙකුත් වෙන හැටි!
    මාත් ඉස්සර එහෙමයි.
    /අවුරුදු 26ක් වෙන තුරුමත්, වෙලාවට වැඩ නොකිරීම පුරුද්දක් කර ගෙන සිටි මොට්ටයෙකි- මං වහන්සේත්. මා ඒ කැත පුරුද්ද අත්හැර ගත්තේ පුදුමාකාර විදිහටය. 1980දී පටන්ය. තජකයේ උඩවැඩියා පාඨමාලාවේ ආචාර්ය එම්.ජී. ප්‍රේමරත්න මහතාව ආදර්ශයට ගනිමිනි!/ කියවලා බලන්න කැමතියි නං, ප්‍රේමරත්න සර්ටත් පින් අත්වෙයි.
    http://nidigepanchathanthare.blogspot.com/2022/12/blog-post_26.html

    ReplyDelete
  8. වෙලාවට වැඩේ ඉවරකරන්න ඕන කියල දන්න හින්ද වෙලාවට වැඩේ පටංගන්නව ඇති.

    ReplyDelete
    Replies
    1. ඒකම නේද ප්‍රසෝ වෙන්න ඕනිත්...
      මෙහෙ නං පරක්කු වෙලා වැඩ පටන් ගන්නවා- ඉක්මනට වැඩ නවත්තන එක නෙව වෙන්නේ.

      Delete
  9. මම ආපහු බ්ලොග්වලට ආ බව කියන්නයි ආවේ. ලිපිය කියවන්න ආයෙත් එන්නම්...

    ReplyDelete
    Replies
    1. හොඳයි, හොඳයි, හොඳමායි ඩ්‍රැකී උන්නැහේ- සතුටුයි!

      Delete
  10. අපි ගේ ගත්ත ගමන් වෝල්පේපර් ගැලෙව්වා. ඉනෙස් කැමති නැහැ ඒවාට. තීන්ත ගාන එක ඊට වැඩිය ලෙහෙසියි

    ReplyDelete
    Replies
    1. ලාබත් එක්කද අජිත් මහත්තයෝ?

      Delete
    2. ඒකත් එහෙමයි , හැබැයි ලොකුම වෙනසකුත් නැහැ. එකම දේ වෝල් පේපර් අස්සේ සත්තු රැඳෙනවා වැඩියි

      Delete
  11. මිස්ට බීනුත් තීන්ත ගාන්නෙ, අලුත් අවුරුද්දට...
    https://www.youtube.com/watch?v=3amsAlYS5r8&pp=ygUUbXIuIGJlYW4gcGFpbnQgaG91c2U%3D

    ReplyDelete
  12. එංගලන්තෙ වෙලාවට වැඩ කරන හැටි ගැන, මෙතන මිනිත්තු 6:06 ඉඳල ඉදිරියට...
    https://www.facebook.com/watch/?v=880310683260887&extid=NS-UNK-UNK-UNK-IOS_GK0T-GK1C&mibextid=qC1gEa&ref=sharing

    ReplyDelete
    Replies
    1. යුද්ධ කළත් වෙලාවට තමයි කරන්න ඕනි, නැද්ද ඩ්‍රැකී... ස්තුතියි!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්