‘මා සම්බන්ධයෙන් ගත් කල ‘ප්‍රේමය රාගයෙන් සපිරි එකකි. අනුරාගයෙන් පිරුණු එකකි.’ ඉදින් කෙසේ නම් මගේ ඒ ප්‍රේමය පාරිශුද්ධ වූවකි; සුරම්‍ය වූවකි යැයි කියන්නද? මා සම්බන්ධයෙන් නම් සුපසන් ආදරය යනු විහිළුවක් නොවෙද?’ කියා විමසමිනි මා පසුගිය කොටස අවසන් කළේ.
ආදරය යනු ලොව පවත්නා අති සුන්දර
දෙයකියි හැඟීමක්... |
එහෙම වෙන්නට ඇත්තේ නිකංම නිකං නොවේ.
බිලිඳු වියේ සිටම මට අහන්නට දකින්නට ලැබුණු දෙයින්- කියවන්නට ලැබුණු දෙයින්- අත් විඳින්නට
ලැබුණු දෙයින් මගේ සුපිරි මතකය පිරී-ඉතිරී යමින් තිබුණු නිසා විය යුතුය, එසේ වන්නට
ඇත්තේ. (මට හිතෙන විදිහට මගේ මතකය ඉතා ප්‍රබල එකකි. ඒ නිසාවෙනි, මා ‘සුපිරි’
විශේෂණය මතකය වදනට පෙරාතුව යෙදුවේ.)
ආදරය යනු ලොව
පවත්නා අති සුන්දර දෙයකියි හැඟීමක් හය-හතර වැටහුණු දවසේ සිටම මම ඇදහීමි. එවන් අති
සුන්දර ආදරයක් ලබන්නටත්, එවැන්නක මිහිර විඳින්නටත් මම සිහින දකිමින් සිටියෙමි.
අපේ අම්මාවත්-
තාත්තාවත් දරුවන්ට දැනෙන තරමට ආදරය පෙන්වූ අය නොවේ. තාත්තා වැඩියෙන්ම කළේ ‘දරුවන්ට
තිබිය යුතු යැයි ඔහු විශ්වාස කළ ගුණාංග’ සහිතව තම දූපුතුන් තනන්නට උපරිමයෙන්
වෙහෙසීමයි. (මා කලින් කියා ඇති- අපේ අන්නාට කෙසෙල් කැවිල්ල ඊට හොඳම
උදාහරණයකි.)
බොහොමයක් දෙමාපියන් එහෙමය. ඔවුනට නැති පරමාදර්ශී ගුණාංග පවා දරුවන් තුළ පිහිටුවන්නටය,
ඔවුන් තැත් කරන්නේ; ඔවුනට සාක්ෂාත් කරගත නොහැකි වූ ඉලක්ක සිය දරුවන් ලවා හෝ සපුරා ගැනීමටය
ඔවුන් වෙහෙසෙන්නේ.
එවන් පරමාර්ථයන්
තිබියදීම අපේ තාත්තා දරුවන්ට වඩා තම බිරියට ඇලුණු, පුරුෂාධිපත්‍යයෙන් අන්ධ වුණු,
රාගාධික සැමියෙක්ද වුණේය. මා ඔහු දැක්කේ අඹුසොඬ කෙනෙකු ලෙසයි. (තාත්තාගේ දෙපා
අහිමිව සිටි අවසන් කාලයේ පවා ඔහුට ලෛංගික ප්‍රීණනය අවැසි වුණු බවත්- අම්මා ඔහුව ප්‍රතික්ෂේප
කළ විට ඇතිවුණු දබරත් අපට
රහසක් වුණේ නැත!
ඒකට අපේ දුප්පත්කම නිසා අපට උරුමව තිබුණු කෑලි දෙකේ වරිච්චි බිත්ති ගෙදරත් උදව්
වුණේය.)
‘පිරිමියෙකුට
යන්තම් පැදුර පෑගුණත් ගැබ්බර වෙන පරම්පරාවක’ ජාන
උරුම කරගත් අපේ අම්මා අවුරුදු 18 සිට නිතරෝම උන්නේ ගැබ්බර වෙලාය. තවත් විදිහකින්
කියනවා නම් මට අවුරුදු 21 වෙන විටය, අම්මා ඇයගේ දසවෙනි දරු ප්‍රසූතියට සැරසී
උන්නේ!) ඉතිං දරුවන් හුරතල් කරන්නට ඇයට ඉස්පාසුවක් තිබිණිද?
අනිත් පැත්තෙන් අපේ අම්මා මව්වත්කමින් අඩු ගැහැනියකි. (අකැමැත්තෙන් වුණත් එහෙම
කියන්නේ අගෞරවයක් කරන්නට නොවේ.) මව්වත්කමක් තිබ්බා නං අපේ පවුලේ දහවෙනියා අංග විකල දැරියක
ලෙස උපදින්නේ නැතැයි මට හිතේ.
වද විඳ විඳ කවද හරි දවසක කකුල් දෙක
මැද්දෙන් හඳ පායයි කියල බලන් ඉන්නවට වඩා මට මේ ජීවිතේ සැපයි... |
ඉඩකඩක් ලැබුණු විගස මා අපයෝජනය කළෙත් උණුසුම් සෙනෙහසකින් යුතුවය.
ඉදින් මා අතරමං
වූවා විය යුතුය. ආදරයත් රාගයත් දෙකම එකිනෙකට යාවී තිබේ යයි හැඟීමක් ඒ ඇසුරේදී මගේ චිත්ත
සන්තානයේ නිධන් වූවාවත්ද?
“...
මං පුංචි කාලෙ මගෙ අප්පොච්චි මට කකුල් තවන්න එන්න කියද්දී මම ඔය මොකුත් දැනගෙන
හිටියෙ නෑ.
මං ජීවිතේ දෙපාරක් ගෙට වුණා නංගි. එක පාරක් අප්පොච්චිගෙ කකුල් තවන්න ගිහිල්ලා.
අනිත් පාර නවය වසරෙදිද කොහෙද දන්නෙම නැතුව.
මගේ ජීවිතේට වෙච්ච දේවල් දන්නෙ මං විතරයි.
ඒ ඔක්කොම අමතක කරලා අලුතෙන් ජීවිතේ පටන් ගන්න කියල හිතාගෙන මිනිහෙක් එක්ක ගියා.
ඒ මිනිහ කළෙත් තොටිල්ලක් වගේ පැද්දි පැද්දී ඉඳල දාඩිය දාපු ගමන් නැඟිටල යන එක...
ගිහිං නා ගන්නව. මට ඕනි වුණේ දාඩිය නිවෙනකං ළඟට වෙලා ඉන්න.
ඒව කතා කරන්න ගියාම... එක්කො එළි වෙනකම්ම හූල්ලන්න වෙනව... නැත්තං ඉතිං මූණ අතපය
පොට්ටනිවලින් තවා ගන්න වෙනව.
ඔක්කොටම වඩා... පහුවදා උදේට වැඩට ගිහිල්ල මොකුත් වෙච්ච නැති ගාණට හිනා වෙලා ඉන්න
වෙනව.
ම්..හ්හ් මට ඒ මිනිහ එපා!
ඒ මිනිහ මාව දාල ගියේ සිද්ධාර්ථ කුමාරයා වගේ බුදු වෙන්න හිතාගෙන නෙවෙයි නංගි. එහෙම
ගියා නං මට නරසිහ ගාථා කියල හිට ගන්න තිබ්බා.
මට ආපහු ඒ ජීවිතේ ඕන්නෑ.”
“ඔහොම
දිගටම ඉන්න බෑනේ අක්කේ... මං කියන්නෙ මමත් දවසක යයිනේ.”
“කමක්
නෑ! මිනිහෙක් ගාව වද විඳ විඳ කවද හරි දවසක කකුල් දෙක මැද්දෙන් හඳ පායයි
කියල බලන් ඉන්නවට වඩා මට මේ ජීවිතේ සැපයි... මාව දාල යන - මගෙ හිත රිද්දන
මිනිස්සුන්ට නිබ්බුත පද කිය කියා ළඟ තියා ගන්නවට වඩා...”
(යටින් ඉරි ගහල තියෙන වචන මට ඇහුණු; තේරුම් ගත්තු විදිහටයි කෙටුවේ. වැරදියි නං සමා
වෙන්න ඕනි. හොඳේ.)
හිත පාරන;
හිත කීරි ගස්සන ඒ දෙබස් ඛණ්ඩ තුන මම උපුටා ගත්තෙ මේ දවස්වල සති අන්තයේ ITN
නාලිකාවෙන් විකාශය වෙන ‘බැක්සයිඩ්’ ටෙලියෙන්. ටෙලියේ 4 වෙනි එපිසෝඩ් එකේ
13 වෙනි විනාඩියේ ඉඳලා බැලුවොතින්, මේ කෑල්ල ඔයාලට හම්බ වෙයි.
අත්තානං උපමං කත්වා’; තමන් උපමාකොට සිතා... |
ඒ, ‘බැක්සයිඩ්’
ටෙලියේ කතාව, දෙබස්, ගීත රචනය හා තිර රචනය කරන ලක්ෂාන් වත්තුහේවා හරි අගේට එයාගේ
job එක කරල තියෙන නිසා වෙන්නැති. අශෝක් ජයකොඩිගේ නිෂ්පාදනයක් වෙන මේ ටෙලිය අධ්‍යක්ෂණය
කළ ජෝ දිසානායකයන් නළු- නිළියන්ගෙ දක්ෂතා උපරිමයෙන් ලබාගෙන තියෙන හින්දා වෙන්නත්
ඇති, මට එහෙම හිතුණේ.
ඇත්තටම ළමා
වයසේදී සිදු වෙන දේවල්වල මතකය වැඩිහිටියන් වුණාට පස්සෙත් කොච්චර බලපානවාද? (මතකයිනෙ-
මේ සීරීස් එකේ පළමුවෙනි කොටසෙ පටන් ගැන්මේදීම ලියැවුණා- මොළය වර්ධනය වීම අවුරුදු 25 වෙනතුරුම
සිද්ද වෙනවය කියලත්.) මට හිතෙන්නේ පැටි වයසෙදී සිද්ද වෙන ඒ බලපෑම් අමිහිරි නං එව්වා
තදින්ම මොළයේ සටහන් වෙනවා ඇති කියලයි.
හැබැයි-අනෙක්
අයට කොහොම වෙතත්- මට නං ඒ මතකයන් ‘නරක’ විදිහට බලපාල නැහැ වගෙයි.
‘ධම්ම පදයේ’
කියවෙන විදිහට ‘අත්තානං උපමං කත්වා’; තමන් උපමාකොට හිතන්නයි මට පුරුදු වෙලා
තියෙන්නෙ. මං ආදරයට කැමති තරමටම අනෙක් අයත් කැමති ඇතිනෙ. / මට අපහාස වෙනවට මං අකැමැති
වගේම අනෙක් අයත් අකැමැති ඇතිනෙ. / මාව ප්‍රශංසාවට ලක් වෙනවට මම කැමැතියි නං අනෙක්
අයත් එහෙම ඇතිනෙ... වගේ හිතිවිලි තමයි මගේ හිතේ වැඩ කරන්නේ.
හැබැයි, මං ආවේගශීලීයි. ලේසියෙන් ඇවිස්සෙනවත් එක්ක. එතකොට පොල්ලෙන් ගහන්නා වගේ මගේ
අදහස් කෙළින්ම කියවෙනවත් එක්ක... ඒ නිසා හැබෑවටම කේන්ති ගියොත්- ඒ වෙලාවට හැකිතාක්
නිස්සද්දව හිටින එකයි මම කරන්නේ.
දන්නවනෙ...
මගේ සමීපතමයන් ගොඩක් කැමැතියි- මං කේන්තියෙන්; ආවේගයෙන්; ඇවිස්සිලා කියවනවට...
ඉතිං, ගොඩ වෙලාවට එයාලව සතුටු කරවන්න හිතාගෙන මමත් රඟනවා...
ඔහොම මගේ
නසරානි ගති සොබා සේරෝම ගැන හොඳටම දැනගෙනයි ‘එයා’ මට සමීප වුණේ. (අනුර ජිනදාස හිතවතා
මගේ කේන්දරය බලලා කීව
විදිහට) අතිධාවන කාම යෝගයක් තිබුණු මට එයාගෙ ස්පර්ශය, උණුහුම, නාඩි වැටෙන විදිහ
හොඳට දැනුණා... එයාටත් එහෙම දැනිච්ච බවයි මට පෙනුණේ. අපි දෙන්නා නියමෙටම මැච්
වුණා.
අනේ මෝඩයා!
මොට්ටයා!! තකතිරුවා!!!
තමුසෙ කී පාරක් ඔහොම හිතුවද... මගේ හිත විමසයි.
ඇත්තකි. අතීතයේදී අභී අයියා, පියසිරි, දේමිත්ත, සංජේ, පද්මේ වැනි ලිංගික සහකරුවන්
කීප දෙනෙකු කෙරෙහිත් මම තදින් ඇලී උන්නෙමි. එහෙත් ඒ හැම විටම පාහේ අප අතර එතරම්ම
දැඩි මානසික සබඳතාවක් නොවුණු බවකි මට දැන් හිතෙන්නේ. ඒවා එකක්වත් අවුරුදු ගණන් පැවතුණු
සබඳතාවනුත් නොවේ.
ඒ කැලණිවැලි කෝච්චියේ මැදිරියකදී, ඔහුගේ පාසල් සගයන්ට අහක බලා ගන්නැයි කියා ‘අති දීර්ඝ ප්‍රංශ
හාද්දක්’... |
ඒ කැලණිවැලි කෝච්චියේ මැදිරියකදී, ඔහුගේ
පාසල් සගයන්ට “මට නිමල්ව kiss කරන්න
තියෙනවා.... මචංලා බලන්නෙපා!” යැයි කියා ‘අති දීර්ඝ ප්‍රංශ හාද්දක්’ මගෙන් ලබා
ගනිමිනි.
මට ලැබී තිබුණු
එවැනි සියලු ලිංගික අත්දැකීම් යළි සිහියට නංවමිනි ‘ඔහු’ මගේ දිවියට ප්‍රවිෂ්ට වූයේ.
ඔහු ජව
සම්පන්නය. කඩවසම්ය. බුහුටිය. ප්‍රියමනාප ඇවතුම්- පැවතුම් හා කතාබහෙන් යුතුය.
විශ්වාසවන්තය... ඉතිං ඔහු හා ගෙවමින් සිටි ඒ කාලය මට දැනුණේ දීර්ඝ මධු සමයක් ලෙසය.
එයට හය වසරක් සපිරී තිබ්බේ අප දෙදෙනාම නොදැනුවත්වය.
සමන්ති නංගිගේ ආරාධනය 1994 වසරේදී මට ලැබුණේ ඒ වකවනුවේදීය.
ඇත්තම කිව
යුතුය. Samගේ ඇරයුම සවනට වැටෙනකොටම මගෙ හිතේ ඇති වුණේ ප්‍රශ්නයක්.
‘එයාගෙන් ඈත් වෙලා කොහොමද ඉන්නේ... අඩුම ගාණේ මාස හයක්වත් එංගලන්තෙ ඉන්න වෙයිනෙ!’
එනිසාමය, මා
දෙලොවක් අතර දෝලනය වෙමින් උන්නේ. ‘ආයෙත් එංගලන්තෙට යනවද- නැද්ද? ගිහිල්ලත් බෑ-
නොගිහිනුත් බෑ.’
“ඔයා ගිහිල්ල එන්න. සමන්ති නංගි ගොඩක් ආසාවෙන් වෙන්ඩ ඇති බලාගෙන ඉන්නේ. ඔය මාස ගාණ
නොදැනිම ගෙවිල යයි...” ඔහු කිව්වේ නිස්කාංසුවේය.
“ඒක නං එහෙම තමයි!” මමත් අලගු තැබුවෙමි.
”එහෙනං ඉතිං තව මොනවද?”
“හැබැයි ඔන්න ඔයා සුමානෙකට එක ලියුමක් ගානෙවත් මට එවන්න ඕනි. හාද? තුණ්ඩු කෑල්ලක්
නෙවෙයි... දිගම දිග ලියුමක්. එහාට ගිය ගමන්ම ඔයාට නිදහසේ කෝල් කරන්න විදිහකුත් මම
හදා ගන්නංකො.”
මං කිව්වේ අම්මලගේ
හවුන්ස්ලෝ ගෙදර ටෙලිෆෝනය තිබෙන තැන මතක් වුණු බැවිනි. ඒක තිබ්බේ ඩැඩාගේ මිනි බාර් එක ළඟය.
එතැන ඉඳගෙන රහස් කොඳුරන්නට බැරිය!
“ඒක නෙවෙයි...
ඔයා දන්නවනෙ, මම ඔය ලියන වැඩේට නං එච්චර දක්ෂයෙක් නෙවෙයි කියල... ඒත් අමාරුවෙන්
හරි සුමාන දෙකකට එක ලියුමක් වෙන්ඩ ලියල එවන්නං.”
“ඔන්න එහෙනං ඒක පොරොන්දුවක්. හොඳේ.” මං තව සැරයක් එයාගේ කටෙන්ම වචනය පිට කරවා
ගත්තා.
ඔය ඔක්කොමත්
හරි, කොයි වෙලාවේද තමුසෙගෙ පඩත්තල ගතිය ගැන කියන්නේ? දැනට නං පෙනෙන්නේ තමුසෙ
අලුතෙන් ඉපදිලා; සුද්දවන්තයෙක් වෙලා හිටිය වගෙයි!
පේන්නේ තමුසෙලා දෙන්න අතරේ බොහොම
ලොකු love එකක් තිබුණයි කියලනෙ. ඇත්තටම එහෙම
bond එකක් තිබුණද? |
හැම දෙයකම
නිරුවත් සත්‍යය පාඨකයනට කියන්නට සැරසීගෙනය මං වහන්සේ ‘නිදිගෙ පංච තන්තරේ’ ලියන්නට
පටන් ගත්තේ. ඒ කාරියෙදී අවුරුදු දසක තුන හතරක් පැරණි විස්තර නම් කිසිදු අපහසුවකින්
තොරව කිව හැකි විණි. එසේ කියද්දී නොදැනුණු චකිතයක් දැන් දැන් මා පෙළන බවක් හැඟෙයි.
මෑත අතීතයේ- වර්තමානයේ තොරතුරු පැවසීම මං හිතුවාට වඩා අසීරුය.
මගේ ගැන
ඇත්තම ඇත්ත නම් පැකිළීමකින් තොරව දයාබර ඔබට හෙළි කළ හැකිය. එහෙත් වෙනත් අයව
හෙළිදරව් නොවෙන ලෙසය- මා මගේ තතු ඔබට කිව යුත්තේ...
දැන්මම
කියමි. එතැනදී නම් මට දැඩිව උපක්‍රමශීලී වෙන්නට සිදු වෙයි. සුපුරුදු ලෙසින්ම බොරු
නොකියන අතරේ- ඇත්ත සඟවා කීමටත්- ඇත්තෙන් අඩක් පමණක් කීමටත්- ඊටත් අමතරව ඇත්තම ඇත්ත
තනුක කරමින් කීමටත් මට සිදු වෙයි. එවන් ප්‍රයෝග රැසක්ම මට
මනාව හුරු-පුරුදුය!
ශක්තිවන්තයෙකු
ලෙසින් පෙනී සිටියත් මේ නිමල් දිසානායකයාත් පුහුදුන් පුඟුලෙකි; අබල- දුබලකම් සහිත
කෙනෙකි. ඒ නිසාමද කොහෙද මේ විස්තර ලිවීම බෙහෙවින් ආයාසකරය.
1994 වෙද්දී
මට තිබුණු සබඳකම ගැන තොරතුරුත්- ටික කලකට හෝ ඔහුගෙන් ඈත්වී සිටීමට අකැමැති වූ
හැටිත් දැන් ඔබ දනියි. ඒ ලියා තිබෙන දේවල් යළිත් වතාවක් කියවන විට...
‘තමුසෙ ඒවා ලියල තියෙන හැටියට නං පේන්නේ තමුසෙලා දෙන්න අතරේ බොහොම ලොකු love එකක්
තිබුණයි කියලනෙ. ඇත්තටම එහෙම bond එකක් තිබුණද?’
‘හිතන්නේ අපි
අතරේ එහෙම බැඳීමක් තිබ්බේ නැහැයි කියලද? මම නං එක හිතින්ම...’
‘හරි! මෙහෙම අහමුකො. වෙනදට තමුසෙ කව්රු හරි ගැන ලියද්දී ‘බොරු නමක්’ දාලාමනෙ
ලියන්නේ... ඇයි මේ වතාවේ විතරක් ඒ වැඩේ නොකළේ? ‘ඔහු’ කියලනෙ මෙච්චර දුරට ලියද්දීත්
ලියල තියෙන්නෙ.’
‘එ... එ... ඒ...
එයාට ගැළපෙන නමක් තවම හිතා ගන්න බැරිවුණු හින්දා.’
‘ආහා... එහෙනං පුතෝ දීපංකො, මේ ප්‍රශ්න දෙක තුනටත් උත්තර... ඔට්ටුද?’
‘හරි... අහන්න.’
‘එයා කී වෙනියද?’
‘ඒකත් කියන්න
ඕනිද?’
‘හේතුවක් ඇතිවයි අහන්නේ. කියන්න බැරි නං නොකියා ඉන්නවා.’
‘... එකසිය හතලිස් පස් වෙනියා!’
‘ගණන හරියටම
හරිද?’
‘එක්කෙනෙක් දෙන්නෙක් මඟ ඇරුණොත් මිස වැඩියෙන් එකතු වෙලා නෑ.’
‘එතකොට ඔය 145 වෙනියා එක්ක සම්බන්දෙට අවුරුදු හයක් වෙලා තිබ්බයි කිව්ව නේද, දෙවෙනි වතාවේ
එංගලන්තෙට එන්න කියද්දී...’
‘හ්ම්!’
‘සෑම්ගෙන් ඒ
ආරාධනාව හම්බ වෙනකොට තමුසෙ 145වෙනි කඩුල්ලෙමද හිටියෙ?’
අනිල් මල්ලී වෙනම කොළයක ඒ සටහන ලියා, ඒ කොළය අලවා තිබුණේ සමරු පොතක... |
අපේ පවුලේ
හතරවෙනියා අනිල් ධර්මකීර්ති දිසානායකය. වඩාත්ම කඩවසම් හාදයා වුණෙත් අන්නාමය.
අනිල් ඉස්-ඉස්සෙල්ලාම රස්සාවක් විදිහට කළේ සිකියුරිටි job එකකි. ඒ
හාදයා ඒ රස්සාව කරලා හම්බ වුණු පළමුවෙනි සොච්චම් පඩියෙන් පුංචි තෑග්ගක් මිලදී
අරගෙනය. ඒ විත්තිය මං වහන්සේ දැන ගත්තේ අනිල් මගේ ඉදිරියේ දණ ගසා වැඳ- ගරුසරු ඇතිව
දෝතින්ම ඒ තෑග්ග මට පිරිනැමුවාමය.
‘මා
මෙවන් තත්වයකට ගෙන ආ
මා ප්‍රිය සොයුර ,
වරෙක පියෙකු ලෙසත්
තවත් වරෙක ආදර අයියෙකු ලෙසත්
ඔබ මට දුන් ඔවදන්
සදාකල්හි මතකයේ රැඳෙනු ඇත
මා අද දින ලැබූ වේතනයෙන්
පිලිගන්වන මේ පුංචි තිලිණය
වැරදි ඇතොත් සමාවී
පිලිගනු මැන...... සොයුරු
සොයුරු
අනිල්
1979.12.18’
අනිල් මල්ලී
වෙනම කොළයක ඒ සටහන ලියා, ඒ කොළය අලවා තිබුණේ සමරු පොතක මුල් පිට කවරයේ ඇතුළු
පැත්තේය. එහෙම අලවලා තියෙන විත්තිය වසං කරන්නට හිතිලද- නැත්තං වැඩේ තව ටිකක් ලස්සන
කරන්න හිතිලද දන්නෑ... එයා කහපාට ඉලාස්ටික් පටියකුත් පිරිද්දුමට උඩින් අලවල
තිබ්බා.
ඒ දවස්වල ගොඩ
දෙනෙක් ඔය සමරු පොත් පාවිච්චි කළා. විශේෂයෙන්ම කෙල්ලෝ; ගැටවර වයසේ අය. ඉස්කෝලෙ යන
ගැටවර- ගැටවරියන් හැමෝටම වගේ සමරු පොතක් තිබුණ ගණනයි. ඒ හැම සමරු පොතකම වගේ අන්තිම
පිටුවේ ‘කවි පද දෙකක්’ ලියල තිබුණා.
‘කොපමණ යහළුවන් හිටියත් ඉහළ පෙළේ
මමම නේද අන්තිම පිට ඉවර කළේ’ කියන දෙපේළියයි ඒ. හැබැයි එහෙම ලියල තිබුණේ, සමරු
පොතේ මැද පිටු ගොඩාක් හිස්ව තියෙද්දී.
අනිල් මට
තෑගි කරපු සමරු පොත පරෙස්සමින් අරං තියාගෙන හිටියා මිසක්- මං කවුරුන්වත් ලවා සමරු
සටහන් ලියවාගන්න ගියේ නෑ. හිස්ම හිස් පිටු එක්ක පොත ඔහෙ තිබුණා. ඔහොම අවුරුදු
ගණනාවක්ම ගත වුණා...
ගත වෙද්දී දවසක්...
අම්මෝ අදට
ලිව්වා ඇති අනේ... මහන්සිත් එක්ක. ඊළඟ කොටසට යමු නේද...à