li Item

Sunday, May 25, 2025

මඟුල් වදේ - පළමුවෙනි කොටස

“මේ මචං. එකක් කියන්නං. උඹලට ඕනෙම නං අපටත් රැග් එකක් දීපල්ලා. හැබැයි ඔය ගොබ්බ වැඩ නං කරන්න හිතන්න එපා...” සොක්‍රටීස් කිව්වේ තිරසාර ස්වරයකින්.

සොක්‍රටීස්?
සමාවෙන්න ඕනි. අද ලියන්න යන කතන්දරේට සම්බන්ධ කතා නායකයා තමයි සොක්‍රටීස් කියන්නේ. තව කට්ටිය මේ මිෂන් එකට සම්බන්ධයි. හැබැයි එයාල ගැනත් ලියන්න වෙන්නේ ආදේශක නම්වලින්.

අවුරුදු තුන හතරක හිටන්මයි නිදි මේ කතාව නිදිගෙ පංච තන්තරේ’ට ලියන්න හැදුවේ!

සොක්‍රටීස්, බැලසන්ත, නීරෝ, ඇට්ලස්, රයිගමයා, ගම්පොළයා, ඉඳිකටු පැංචා, බූබම්බා, මහෝදර, ඕල්කොට්, කිරිහාමි, යසලාලකතිස්ස, ආතබූත. 13 දෙනයි මං වහන්සේයි. (ඔයාලට මතක ඇතිනෙ ‘ත්‍රෛලෝක විජයපත්‍ර’ දාලා හදාපු හර්බල් කේක් කෑව -අබ්ලික් snack- කතන්දරේ මෙයාලා උන්නා.)

අවුරුදු තුන හතරක හිටන්මයි නිදි මේ කතාව නිදිගෙ පංච තන්තරේ’ට ලියන්න හැදුවේ. ඉතිං මම සොක්‍රටීස් උන්නැහේගෙන්- මිසිස් සොක්රටීස්ගෙන් හා එයාලට කපුකම කරපු ආදරණීය යුවලගෙන් පවා මේ වැඩේට උදව් ඉල්ලුවා. විශේෂයෙන්ම ෆොටෝස් ලබා ගන්න හිතාගෙන... ඒ වගේමයි ඒ සිද්ධිය ගැන පළ වෙච්ච පත්තර වාර්තාවකුත් තිබ්බනේ. ඒකත් ඉල්ලා ගන්න...

“ඔව් නිමල් අයියේ, ඔයාලගෙ වැඩේ ගැන ලංකාදීප පත්තරයෙ තිබ්බ ‘දෙයියෝ සාක්කි’ එකේ කොපියකුත් අපේ වෙඩින් ඇල්බම් එකට දාල තියෙනවා.” එහෙමත් කියැවුණාම මං හිතුවේ වැඩේ කෙරෙයිම කියලා.

ම්හු...
ආයෙ ආයේ තුන් වතාවක් මතක් කළත් එක්ක. ඒත් ම්හු...
දොඩමළු නිස්සද්දතාව කියාපු පණිවිඩය මං තේරුම් ගත්තා.

ඉතිං මං ලැහැස්ති වෙලා උන්නේ නම්ගම්- වගවාසගම් අඩුවෙන්ම දාලා මේ කතන්දරේ blog එකට ලියන්න. එහෙම හිතාගෙන ඉන්න අතරෙයි ‘හෘදය සාක්ෂ්‍යයක අඳෝනාව’ ලියැවුණේ. එහෙම කෙරෙද්දී මට කල්පනා වෙච්චි- මේ ‘වද’ සිද්දවීම් සේරොගේම එකට එකක් සම්බන්ධ ගතියක්; පොදු ධර්මතාවක් තියෙනවා නේද කියලා. ඒ හින්දයි මේ posts කීපයත් මේ වෙලාවේම ලියන්නේ.

ඒ දවස්වල ඔය ඉහතින් කියාපු කට්ටිය හැම සති අන්තයකදීම වගේ අපේ ගෙදරදී සෙට් වෙනවා. (මේ කියන්නේ අවුරුදු තිහකට විතර ඉස්සර. මේ පිරිසෙන් හතර දෙනෙක්ම එතකොට අපේ inner circle එකට සම්බන්ධ වෙලත් නෑ. ඒ වගේමයි, එතකොට අපේ සෙට් එකේ තව අයත් හිටියා. දැන් එයාල කිහිප දෙනෙකුම ඉන්නේ විදෙස්ගතවයි.) ඔන්න එහෙනං ආපහු අර සංවාදයටම යනවා.

“ගොබ්බ වැඩයි කිව්වේ සොක්‍රටීස්?” කිරිහාමි ඇහුවා. (උන්නැහේ තමයි අපේ කට්ටියේ ඉන්න අන්තිම අහිංසකයා. හැබැයි ත්‍රිවිධ හමුදාවලින් එකක සේවය කළේ!)

“උඹ බබා! තොත්ත බබා... මොකුත් නොදන්න බබා...” (සභාවේ සිනා.)
“මචං. කව්රු හරි මේ කිරිහාමිට කියල දියංකො මඟුල් දවසක දෙන රැග්ස් ගැන...”
“අඩෝ නීරෝ. මූ බඳින දවසෙත් උඹල set එක ඔහොම මඟුලක් කළා නේද?”
“මම? මේ මම... මං එහෙම කරනවද බං. මේකා මාවනේ best man විදිහට තෝරගෙන හිටියෙත්.” නීරෝ අහිංසක චරිතය රැඟුවා.

“අනෙඃ පලයන් බං යන්න. මම නොදන්නවයැ උඹේ තරම... උඹ තමයි අපේ ඇඳුම් සූට්කේස් එකෙන් අපේ එක්කෙනාගේ නයිටියත් එළියට අරං දීල තිබ්බේ.” කිරිහාමි මොහොතකට අංගුලිමාල වුණා. “නිමල් අයිය දන්නවද මේකා කරල තිබ්බ බලු වැඩේ. අපේ ඇඳුම් bags තිබ්බේ මුගේ car එකේනෙ. මූ... මූ... මූව තියන්න වටින්නෙ නෑ. මේකා හොරෙන්ම xxxxxx නයිටිය අරගෙන දීල...”

“ඈ? ඉතිං ඉතිං...”
“ඉතිං නිමල් අයියේ, නයිටිය පුරාම එක එක අතට මහන මැෂිමකින් මැහුම් දාලා. හනිමූන් එක පැත්තකින් තියලා එදා රෑ එයාගෙ නයිටියේ මැහුම් ලෙහ-ලෙහා ඉන්නයි අපට වුණේ.” කිරිහාමි කිව්වේ දත්කූරු කන අතරේ.

ඒ කියන්නෙ උඹලට මාව විශ්වාස නෑ?

“උඹ කොහොමද මචං කියන්නේ මහන මැෂින් එකකින්ම මැහුම් දාලය කියලා... නිකං පලයං ඩෝ යන්න. උඹයි මායි දන්න මහන මැෂින්... උඹ පුරුදු වෙලා හිටියෙ අතේ මහගන්නනේ...” බූබම්බාත් කතාවට පැන්නා.

“අඩෝ මේ, මෙතැන වල් කතා කියන්න එපා මචං... අඃ අඃ පොඩ්ඩක් හිටහං... මෙච්චර කාලයක් මට හිතා ගන්න බැරිවයි හිටියෙ, දැනුයි මට මතක් වෙන්නේ...
මට පේන්නෙ උඹ තමයි එහෙනං අපේ එක්කෙනාගේ නයිටියට මැහුම් දාන්න ඇත්තේ...” කිරිහාමිට යමක් මීටර් වුණු විදිහය.

“පිස්සුද යකෝ... අපි උඹට එහෙම කරනවද මචං? අනිත් එ..ක මචං අපි එ..හෙ..ම කෙරුවත් උඹට නං කි..ය..න..ව..ද මචෝ?”

“ඒ කියන්නෙ උඹලට මාව විශ්වාස නෑ?”
කිරිහාමි එහෙම ඇහුවම බූබම්බා එයා ළඟට ගිහිං එයාව බදාගෙන hug එකක් දුන්නා. “ඒක නේන්නං සූ..කි..රි පැටියෝ... උඹව විශ්වාස නෑ නේන්නං... හඃ හඃ හඃ! කවුද දන්නෙ උඹ ඒක මතක තියාගෙන ඉඳලා පස්සෙ දවසක වාඩුව ගනියිද කියලා- අර DKRගේ Homecoming එකේදි කළා වගේ...”

අද කියන කතාව මඟුල් රැග් ගැනනෙ. ඒ නිසා පීල්ල මාරු කරලා ගිහිං- මේ අතුරු කතාවත් මෙතැනදීම කියල හිටිය නං හොඳයි වගේ- හොඳේ.

DKR’ගෙ ‘හෝම් කමින්’ එකේදියි මේ ගම කන වැඩේ සිද්ද වුණේ. (ඔයාලට මතක ඇති නේද- ගුණසිරි කොළඹගේ මහත්තය තමා DKRව ‘කඩවසම් හාදයා’ නමින් කුලවැද්දුවේ.)

හෝම් කමින් එක තිබ්බේ හෝල් එකකදී නෙවෙයි. ඒ කාලෙ Reception Halls වැඩිය තිබ්බෙත් නැහැනෙ.
ඩී.කේ.ආර්ලගේ ගෙදරම තමයි උත්සවේ තිබ්බේ. (එදා තමයි මං ‘සීතා රංජනී’ ඇතුළු මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම හඳුනා ගත්තේ. එයාල DKR එක්කම ‘යුක්තිය’ පත්තරේ වැඩ කළ උදවිය.)

උත්සවේ ජයටම තිබුණා. වැඩි දෙනෙක්ම ආපහු ගියාට පස්සෙයි අපිත් පිටත් වෙන්න සැරසුණේ. තෑගිබෝග, සුබ පැතුම් එහෙමත් පිරිනමන අතරේ තමා අපේ කිරිහාමි ගොයියා ඒ නොහොබිනා වැඩේ කළේ.
මිනිහා බාගයක් බීලා අතේ තියාගෙන උන්නු කොකාකෝලා බෝතලේ හොඳට හොලවල- හොලවලා ඒකෙන් DKRවයි මනාලියවයි නෑව්වා. ඩී.කේ.ආර්. නං පස්සට පැන්න හින්දා කොකාකෝලා වැස්සෙන් බේරුණා... ඒත්- මනමාලි Coca-Colaවලින් නෑවුණා.

මොකක්ද ඩෝ උඹ ඒ කළේ? / උඹට වෙරිද යකෝ? / බලපං... අර අර ළමයගෙ ගොයින් අවේ සාරියත් ඉවරයිනෙ බං... කිරිහාමිට අම්බානක බැනුම්.

කිරිහාමි කරලා තිබුණේ පැරණි කෝන්තරයක් පිරිමහගත්ත වැඩක්. “එහෙනං එදා DKR මට රැග් එක දුන්නේ...” කිරිහාමි නිදහසට කරුණු කිව්වා.

දැන් පිස්සුවක් කෙළියට මූ හරිම හිත හොඳ එකා... 

“ගණන් ගන්න එපා මචං... දන්නවනෙ මුගේ හැටි.” DKR අපිව සංසිඳුවලා මනාලිය පැත්තට හැරුණා. “ඔයා ගිහිං change කර ගන්න. මම ඔයාට පස්සේ කියන්නංකො මේකගේ විස්තර. දැන් පිස්සුවක් කෙළියට මූ හරිම හිත හොඳ එකා... නැද්ද මචං.”

“අනේ වෙරි සොරි නංගි...”
“නෑ නෑ... අයියලාත් මේක ගණන් ගන්න එපා. Weddingsවලදී මෙහෙම වැඩ වෙනවනේ...” අපටත් කියාගෙනයි මනාලිය ගෙට ගියේ.

එදා වෙච්ච දේ වෙන තැනකදී වුණා නම්? මනාලිය කේන්ති ගත්තා නම්? වැඩිහිටි නෑදෑයන් ඒ වැඩේට කේන්ති ගත්තා නම්?
සමාජ මාධ්‍යයක
පළ වෙලා තිබ්බ විදිහට, අමායායි එයාගේ දෙමාපියනුයි නම් දෙවෙනි ගමන දවසේ දුන්නු වධයක් නිකංම ඉවසලා නැහැ. ඒ විස්තරේ ගොඩාරියක් දිග නිසා edit කරල තමයි මෙතැනට ඔබන්නේ.

හනිමූන් එකෙන් පස්සේ අමායා රුවනුත් එක්ක රුවන්ලගේ ගමට ආවලු. එතකොට රුවන්ගේ යාළුවො සෙට් එකක්  එයාලගේ කාර් එක වට කර ගත්තලු.
‘“මගේ බොක්කේ සෙට් එක. මතකයි නේද වෙඩින් එකට ආවා
?" රුවන් විමසන අතරේ පිරිස මෝටර් රථයට තට්ටු කරන්නට වූවෝය.

රියදුරුද අප දෙස බැලුවේ අන්දමන්ද වූ බැල්මකිනි.

"බැ..හැ..ප..ල්ලා බැ..හැ..ප..ල්ලා..." පිටත කෑ ගසන හඬත්, හූ හඬත් ඇසෙද්දී මම තිගැස්සී ගියෙමි.
"අනේ මොකද මේ
?"මම රුවන්ගේ අත සොලවමින් ඇසුවෙමි. "බහිමු බහිමු" මාගේ ප්‍රශ්නයට පිලිතුරු නොදීම ඔහු පැවසුවේ දොර විවෘත කරමිනි.

ඔහුව පිටතට ඇදගත් මිතුරන් ඔහුගේ හිසේ සිට නෑවී යන පරිදි ජල ප්‍රහාරයක් එල්ල කලෝය.

මා රථයෙන් බිමට බැස්සා නොවේ. පැන්නෙමි.
"මොකද්ද ඒ කලේ
? අයියෝ." මම කෑ ගැසුවේ ඔහුගේ හිසෙහි රැඳුනු බිත්තර කටු,කෙසෙල් ලෙලි කැබලි පිස දමමිනි.

"විකාර කරන්න එපා අමායා. ලැජ්ජයිනේ." රුවන්ගේ මුවින් ගිලිහෙද්දී මම ගල් ගැසී ගියෙමි. ඔහු ඔහුට වතුර ගැසූ අයට නොව, මාහට ලැජ්ජ කරන්නට එපා කියන්නේ මන්ද?

"නංගී නැ..ග..ප..න් මේ විල්බැරෝවට. එල්ල ගනින් මේක කරේ." කියමින් එකෙක් මගේ අතට බෝර්ඩ් එකක් දුන්නේය. ඒ සමඟ නැගුනේ මහා හූ හඬකි.
බෝර්ඩ් එක දෙස බැලූ මාගේ දෙකන් රත් වී යනු මට දැනිනි. මෙවන් අසැබි වදන් සහිත බෝර්ඩ් එකක් මා කරේ එල්ලා ගන්නේ කුමකටද
?’

ඒත් රුවන් හිනා වෙවී අමායට ඉඟි කරලා කිව්වලු, එහෙම කරන්නයි කියලා. අමායා දඩිබිඩියෙ කාර් එකට පැනලා ඩ්‍රයිවර්ට කියලා දොරවල් lock කරවගෙන. ඊට පස්සේ...

මේ වගේ නොසන්ඩාල ජෝක්වලටද මම මගේ දුවව උඹට පරිස්සමින් භාර දුන්නේ?

"අන්කල් ප්ලීස් මාව අරගෙන යන්න අපේ ගෙදරට" මම හැඬුවෙමි.

පසුපස රථයෙන් මාගේ මව්පියන්ද පැමිණෙන බව මට සිහි වූයේ අප අසලින් නැවැත්වූ ඔවුන්ගේ රිය දකිද්දීය. මගේ පියා ඔහුගේ රථයෙන් බැස වේගයෙන් අප සිටි තැනට පැමිණියේය.

"මොකද්ද රුවන් පුතා මේකේ තේරුම? මේ වගේ නොසන්ඩාල ජෝක්වලටද මම මගේ දුවව උඹට පරිස්සමින් භාර දුන්නේ?” තාත්තා විමසුවේ බිම වැටී තිබුණු අර බෝර්ඩ් එක කියවීමෙන් අනතුරුවය.

"අනේ අන්කල් මේ යාලුවන්ගේ පොඩි විහිලුවක්නේ." රුවන් තතනමින් කියා ගත්තේය.

"පලවෙනි දවසෙම තමන්ගේ ගෑනිව රැක ගන්න බැරි වුනු තමුසෙට කොහොමද මම මගේ දුවව භාර දෙන්නේ ජීවිත කාලෙටම බලා ගන්න කියලා?” තාත්තා කෝපයෙන් විමසනවා මට ඇසුණි.
මම නැවතත් රථයේ දොර හැරගෙන එලියට බැස්සෙමි.

"ආපෝ... විහිලු නොතේරෙන එවුන් එක්ක අපිට ගනුදෙනු නැහැ." රුවන්ගේ මිතුරන් එකිනෙකා ලිස්සා යන්නට වූයේ එලෙස කියමිනි.

"මේවා විහිලුද මිනිහෝ? මේවා නොසන්ඩාල, සත්තුවත් නොකරන කැත වැඩ." තාත්තා කෑ ගැසුවේ පිටව යන පිරිස දෙස බලමිනි. "දුව මට බයයි මේ වගේ දෙයක් සාමාන්‍යයි කියලා දැකපු රුවන් ගාව දුවව තියන්න.” තාත්තා විමසුවේ මගෙනි.

"මටත් බයයි තාත්තේ මේ ගමේ මෙයාලා එක්ක ඉන්න." මම කීවා නෙවේ, කෙඳිරුවෙමි.

"අමායා.. මේ අහන්න. අනේ මම ඔයාට වරදක් කරන්න හිතුවේ නැහැ. ඒත් ඒ මගේ යාලුවොනේ." රුවන් ගොත ගසමින් කියද්දී මගේ නෙතින් කඳුලක් වැටුණි.

"රුවන් පුතා. ඒ ඔයාගේ යාලුවෝ නෑදෑයෝ බව ඇත්ත. ඒත් මේ ඔයාගේ වයිෆ්. අර තරම් ජ..රා දේවල් ලියපු බෝර්ඩ් එකක් වයිෆ්ගේ කරේ එල්ලන්න හදද්දි පුතාට කරන්න තිබ්බේ පැහැදිලිව ඒකට විරුද්ධ බව කියන එක මිසක් උන් එක්ක එකතු වෙන එක නෙවේ." සියල්ල බලා සිටි අම්මාද පැවසුවාය.

"මම කෙල්ලව අරන් යනවා. මගේ කෙල්ලව ඕනෙ නම් අපේ ගෙදර ඇවිත් පදිංචි වෙන්න. මොකද මම කැමති නෑ මේ වගේ බාල අදහස් තියෙන මිනිස්සු මැද්දේ මගේ කෙල්ලව තියන්න." කියූ තාත්තා මා තුරුලු කරගෙනම ඔවුන් පැමිණි රථයට නැග්ගෝය.

රුවන් වේදනාවෙන් බලා සිටිද්දී මා පියාගේ උරහිසේ මුහුණ සඟවා ගත්තෙමි.’

ඒ වගේ සිද්දි තව කොච්චර නම් සිද්ද වෙනවා ඇත්ද?
කොයි තරම් හිත හොඳ මිත්තරයෙක් වුණත් එදා අපේ කිරිහාමි කළේ කෝන්තරයක් පිරිමහගෙන පළිගැනිල්ලක් නේද...
මඟුල් ගෙදරකදී මනාලයාටයි මනාලියටයි දෙන මේ වගේ වද වැටෙන්නේ මොන ගණයටද? නව යුවලකට දෙන වදයක්...

නිමල් අයියට පාර මතකද හරියටම...

වද?
මාත් ‘වද’ කියල ‘දන්තජ ද’ අකුර යොදලා ලිව්වට මොකද ඒ වචනය වැරදියි වගෙනෙ.

ඒක ‘වධ’ විය යුතුයි නේද. දඬුවමක්- හිංසාවක්- හිරිහැරයක් කියන අදහස දෙන්නේ ‘වධ’ වචනයෙන් නෙව. හැබැයි සිංහල රට; ජාතිය වෙනුවෙන් පණ වුණත් පූජා කරන්න සූදානං උදවිය ‘සිංහල භාෂාව’ වැරද්දුවාම කෙඳිරි ගාන්නේවත් නෑ. ඉතිං අපිත් ‘දැන දැන වැරදි කරනවා.’

“... ඔය ගොබ්බ වැඩ නං කරන්න එපා කියල මං කිව්වේ අර නයිටියට මැහුම් දාන වැඩේ, සරමට මැහුම් දාන වැඩේ... මනමාලිව විල්බැරෝවක තියලා තල්ලු කරගෙන යන වැඩේ වගේ එව්වට.” සොක්‍රටීස් දිගටම එයාගේ අදහස කියාගෙන ගියා. “පුළුවන් නං අලුත් දෙයක් හිතපල්ලා. හැබැයි පුතෝ, ඒ වගේ රැග්වලින් බේරෙන්න මාත් try කරනවා. ඒකත් මතක තියා ගනිල්ලා.”

“ඒක නං පැහැදිලි මදි මචං!”
“මදිද? එහෙනං අහගනිල්ලකො... මං තීරණේ කරල තියෙන්නෙ යාළුවො කාටවත් වෙඩින් එක නොකියන්න...”
“අපිටවත්?”
“ඔව් යකෝ... උඹල යාළුවො නෙවෙයිද?”

“හෝම් කමින් එකවත් කියන්නෙ නැද්ද?”
“කියනවා. පාටියක් ගන්න දවසට. ඒත් පාටිය ගන්නේ හනිමූන් ගිහිං ඇවිත් දවස් ගාණකට පස්සේ.”

පැහැදිලිවම සොක්‍රටීස් අපට කළේ අභියෝගයකි. ඒ නිඳාගෙන උන් කොටි අවුස්සා ගැනිල්ලකි!

ඊට පසුවදා පටන්ම දුරකථන සංවාද ගණනාවක් සිද්ද වුණේය; පණිවිඩ එහා-මෙහා ගියේය.
අපේ නඩයෙන් කිහිප දෙනෙක්ම අපේ ගෙදරට එකතු වුණෝහ. ඒ සොක්‍රටීස්ට රහසෙනි- ඔහුට ආරංචි නොවන විදිහට පරෙස්සම් වෙමිනි.

“ඉස්සෙල්ලම හිතන්න වෙන්නේ අපි මොකක් හරි කෙරුවොත් සොක්‍රටීස් තරහ වෙයිද කියලයි.”
“පිස්සුද... මොකට තරහ වෙන්නද... එයාමනේ challenge කළේ.”

“ඔව් ඔව්, මට පේන්නේ පොරටත් ඕනේ අපිට කියලා හොඳම type එකෙන් රැග් එකක් දෙව්වගන්න.”
“හැබැයි එහෙම වැඩක් කරනවා නං පොරටත් උඩ යන්නම වැඩේ දෙමු... කීයක් ගියත් කමක් නෑ.”
“ප්‍රශ්නෙ තියෙන්නෙ home coming දවස කවද්ද කියල අපි දන්නෙ නැති එක. පාටිය දවසට ඔහොම වැඩක් කරලා වැඩක් නැහැනෙ මචං.”
“එහෙනං අපි වෙඩිම දවසට රැග් එක දෙමු.”
“වෙඩිම තියෙන්නෙ මනමාලිගේ ගෙදරනේ... අපි එහෙ ගිහිං තියෙන එකක්යැ?”

“මම නං ගිහිං තියෙනවා- එක දවසක්! මට පාර මතකයි.” එතකොට නිමල් දිසානායකයා කිව්වේය. (ඒකත් අහම්බෙන් සිද්ද වෙච්ච දෙයකි. වෙනත් කටයුත්තකට නුවර ගිහිං එද්දී සොක්‍රටීස් උන්නැහේ මේ ලියන්නාවත් කැටුව අනාගත බිරින්දෑගේ නිවහනට ගොඩ වැදුණේය.) 
“එක දවසයිද ගිහිං තියෙන්නෙ... නිමල් අයියට පාර මතකද හරියටම...”
“මට ෂුවර්!” (මගේ අනුමානයන් පවා බොහෝවිට වැරැදී නැත. ඒත්
අවාසනාවට වගේ වැරදුණු තැන්ද දෙක තුනකි.)

දන්නවනෙ ගම්වල අයගෙ හැටි. බොහොම සිම්පල්නෙ මචං.

සොක්‍රටීස්ගේ විවාහ මංගල්ලේ දවසෙදී, මනාලියගේ ගෙදරදී රැග් එක දෙන්නට තීරණය කෙරුණේ ඒ වේලාවේය. ඒත් කරන්නේ මොකක්දැයි කියලා හිතා ගන්නටය බැරි වුණේ...

“හොඳට හිතමු! තව දවස් තියෙනවනේ. හැබැයි අන්තිම මොහොත වෙනකල්ම මේ වැඩේ රහසක් විදිහට තියා ගනිමු. පුළුවන් තරං අඩු ගණනක් රහස දැනගත්තම ඇති.”
“අපොයි ඔව්! කිරිහාමි වගේ කෙනෙක් දැනගත්තොත් නං...”
“එයා විතරක් නෙවෙයි- අනිත් අයටත් අන්තිම මොහොතේ කියමු... වැඩේ තිතට plan කරලා.”

“ඒ අතරේම හෙවිල්ලෙන් ඉඳිමු සිද්දවෙන වැඩ ගැන...”

මුලින්ම ආරංචි වුණේ සොක්‍රටීස්ලගේ ගෙදර කෙරුණු වැඩක් ගැනයි. ‘එයාල ගෙදරට අලුතින් ලොකු දොරක් හයි කරනවලු. ඒකට තඩි පිත්තල යතුරක්ලු හැදෙව්වේ. පොර ඒ යතුරත් උස්සගෙන ගියාලු කෙල්ලට පෙන්නන්න!’
‘Proposal එකක් වුණාට කොල්ලා දැන් full ලව් වගෙයි!’
‘කොහොමද- ඉස්සර නං කිය-කියා හිටියෙ ඔව්ව මහ බොරු වැඩ කියලා නේද?’
‘එහෙම තමයි මචං. කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි කියනවනෙ...’

ඒ අතරවාරයේ ආරංචි වුණේ සොක්‍රටීස් උන්නැහේ විවාහ මංගල්‍යයට සහභාගී වන්නට සැරසෙන ඥාති සොහොයුරන්ට තහංචියක් දමා ඇති විත්තියයි.

‘ඇත්තටමද මචං.’
‘බොරුවක් වෙන්න විදිහක් නං නෑ.’ මහෝදර සහතික වුණා. ‘අර කොල්ලො තුන් හතර දෙනාම full upset වෙලා ඉන්නේ. උන් ටික ඉස්-ඉස්සෙල්ලම ටයි කෝට් දාලා කිට මරන්න ලැහැස්ති වෙලාලු හිටියෙ. එකෙක්ද දෙන්නෙක්ද කොහෙද සූට් මහන්නත් ඕඩර් කරලලු...’
‘අඩො අඩෝ, ඒ මොකද... කවුද බං මහෝදරයෝ උඹට ඔය news දෙන්නේ?’

‘හඃ හඃ... මේ මට හංගලා තලපත්පිටියේ මොනවත් කරනවා බොරු මචෝ... නැද්ද නිමල් අයියේ? මම ඉතිං මෙහෙ හැච්චො බැච්චෝ සේරම ආස්සරේ කරන එකානේ. එවුන්ගෙන් මට එනවා news.’ මහෝදර කිව්වේ ටී ෂර්ට් එකේ කොලරයත් උස්සන ගමන්.

‘හරි හරි... ඉතිං කියපංකො විස්තරේ....’
‘මේකයි කතන්දරේ. අපේ එකා බඳින්න යන්නේ ගමක කෙල්ලෙක්නේ. දන්නවනෙ ගම්වල අයගෙ හැටි. බොහොම සිම්පල්නෙ මචං. මනමාලිගෙ පැත්තෙ ඉන්න වැඩි දෙනෙක් මඟුලකදිවත් කොළඹ අය වගේ ටයි කෝට් අඳින්නෙ නැති අයලු... අපේ කොල්ලො ටික ඒරොප්පෙන් ආව එවුන් වගේ එහාට ගොඩ බැස්සම, ගමේ අයගේ හිත රිදෙන්න පුළුවන් කියලලු සොක්‍රටීස් අරහෙම කියල තියෙන්නෙ...’

‘ඒක නං මාර විදිහට හිතල කිව්ව එකක්!’
‘හිතල බලල තියෙන්නෙ කෙල්ලගෙ පැත්තෙන්නෙ. මුගේ පැත්තෙන් නෙවෙයිනෙ... මෙහෙ නෑදෑයෝ කුලප්පු වෙලා ඉන්නේ මිනිහා දැන්මම ගෑනිගේ පැත්ත ගැන ඕනිවට වැඩිය හිතනවයි කියලා.’
‘මේ මේ... එව්වා ගැන නෙවෙයි මචං, අපේ වැඩේ ගැන හිතමුකො ඉස්සෙල්ලා...’

අපේ පැත්තෙන් මඟුලට එන නෑදෑයෝ හැමෝටම සරොම් කමිස, රෙද්ද හැට්ට ඇඳලා එන්නයි කියලත් කිව්වා!

ඒ වෙලාවේය මගේ සිරසට අදහසක් ආවේ.

“මෙහෙමයි... අපි මේ කරන්න යන වැඩේ මොකක් වුණත් කමක් නෑ... අපි සේරමල්ලා එකම විදිහෙ සරොම් බැනියම් ඇඳලා වැඩේට යමු! ගමේ විදිහට...”
‘චා චා චා! සරොම් බැනියම්? මම ගෙදරටවත් සරමක් අඳින්නේ නෑනෙ නිමල් අයියා.’ ගම්පොළයාය පළමුවෙන්ම විරුද්ධත්වය පෑවේ. ‘අනෙක කොහෙන්ද අපි සේරටම එකම විදිහෙ සරොම්?’

“මම දෙන්නං!”
‘නිමල් අයියා අපිට හොරෙන් පාංකඩ පමුණුවේ රෙදි කඩයක් දාල වගෙයි...’

“නෑ හලෝ. මාස දෙක තුනකට කලින් අපේ බඩා මල්ලා දීපාල් කසාද බැන්දනේ. එයාලගේ වෙඩිම ගත්තේ කොග්ගල බීච් හෝටලේ... පීයාට ඕනි වුණා මඟුල් පෝරුව මුහුදු වෙරළේ ගහන්න; අලියෙකුගේ පිටේ නැඟලා පෝරුව ගාවට එන්න. අපේ පැත්තෙන් මඟුලට එන නෑදෑයෝ හැමෝටම සරොම් කමිස, රෙද්ද හැට්ට ඇඳලා එන්නයි කියලත් කිව්වා...”

‘ඉතිං ඔයාල එහෙම කළාද?’
“කළා නේන්නං!”
‘අඩෝ, එහෙනං උඹල දෙන්නත් එහෙමද ඇන්දේ?’ ඒ ප්‍රශ්නේ යොමු වුණේ නීරෝටයි, ආතබූතටයි. එයාලා දෙන්නා අපේ පවුලේ නෑදෑයන් වගෙයි කියල යාළුවො දන්නවා.

‘අපටත් එහෙම අඳින්න වුණානෙ මචං!’

“ඒකට ගත්තු සරොම්- චීත්ත හුඟක් අපේ ගෙදර තියෙනවා. බැනියම් ටිකකුයි හැට්ට ටිකකුයි විතරයි අලුතෙන් හරි ගස්සගන්න වෙන්නේ.”
‘ඒ කියන්නේ ගෑනු කට්ටියත් මේ වැඩේට හවුල් කර ගන්නවයි කියලද?’
“නැතුව? එතකොටනෙ ලකයක් තියෙන්නෙ... ලස්සන...”

‘කවුද ඉතිං ඔහොම දෙයකට එන්න කැමැති බවලත්තු... අපේ එක්කෙනා නං එක පයින්ම එයි... වෙන...’ ගම්පොළ උන්නැහේ positive උත්තරයක් දුන්නා, තව ප්‍රශ්නයකුත් අහන ගමන්.
“ඒ වැඩේ මම බාර ගන්නං. අඩුම ගණනේ තව ගෑනු කට්ටිය දෙතුන් දෙනෙක්ව හරි මම කතා කර ගන්නංකො.”

‘ඇහුවට තරහ ගන්න එපා මිස්ටර් නිමල්... තමුන්නාන්සේට ඔහොම බවලතුන්ට කතා කරන්න පුළුවන්කම තියෙද්දී මොකද මෙච්චර කල් කතා කරලා එක්කෙනෙක්ව හරි දිගටම ගෙදර නවත්ත ගන්න බැරි වුණේ?’
එහෙම පන්දුවලට නිදැල්ලේ යන්න අරින එකය, ඒ දවස්වල මං වැඩියත්ම කළේ! නැත්තං මෙහෙම උත්තරයක් දෙන එකය. ‘තාම මගේ වෙලාව එච්චරටම නරක් වෙලා නැහැ වගේ!’

අපේ වෙලාවත් එච්චර නරක නොවිණි. පංකාදු අදහසක් ඉක්මනින්ම කරලියට ආවේය. ඒ අදහස ගෙනාවේ කවුරුන්දැයි මට මතක නැත. ඒත් අදහස නං හොඳටම මතකය...
එතැන් සිට ඊළඟ කොටසෙන්
à

Monday, May 19, 2025

හෘදය සාක්ෂ්‍යයක අඳෝනාව - තෙවෙනි කොටස

ඒත් මේ රැල්ල කොච්චර කල් අල්ලා හිටීවිද?

මට එහෙම හිතෙන්නේ ශ්‍රී ලාංකික අපේ වැඩි දෙනෙකුට තියෙන ‘දහදුරා පජාති ජඩ ගති’ හින්දමයි.
ඒකට මං දන්න
හොඳම උදාහරණෙ සුමුදු මල්ලී. සුමුදු ඉන්නේ පමුණුවේ. (නම නං ආදේශකයක්.) එයා තේරුණේ ජපුරෙට. (මීට අවුරුදු විසිපහකට- තිහකට විතර කලින්.)

අපේ සීනියර්ස්ලා වුණයි කියල උන්ට පුළුවන්ද එහෙම අපිට වද දෙන්න. මුල් මාස ටිකේම කසිකබල් ඇඳුම් අඳින්නයි, රබර් සෙරෙප්පු දාන්නයි, උන් කියන ජරා වැඩ සේරම කරන්නයි...

“බලන්නකෝ නිමල්... අපේ පුතණ්ඩියා කැම්පස් යන්න බැහැයි කියනවනෙ.” සුමුදුල තාත්තා මට කිව්වා. මං එයාලගේ පවුලේ හිතවතෙක්.

“අනේ ළමයෝ, ඔයාවත් මේ දරුවට කියන්නකෝ... අපේ පවුල්වලින් එකකවත් ඉන්නවද විස්ස විජ්ජාලෙකට ගිය එකෙක්. අපට කොච්චර ආඩම්බරයක්ද- මෙයා උපාධිකාරයෙක් වුණොත්...? පවුලේ එකම කොල්ලාත් වෙච්චි එකේ... කෙල්ලෝ දෙන්නට නං ඉහළට උගන්නන්න ඕන්නෑ නෙව ළමයෝ, පිටට දෙන්න ඉන්න එවුන්නෙ.” සුමුදුලගෙ තාත්තා දිගටම කියාගෙන ගියා.

අපේ ආච්චී සමහර වෙලාවට ගායනා කරපු ‘පිරිමි ජාතිය උතුම් ජාතිය - කන්න දීලා මල් පුදාපිය’ කවිය ඒ වෙලාවේ මට මතක් වුණත් මං එතැනදී ඒ ගැන කියන්න ගියේ නෑ. මොකද සුමුදු මල්ලී ඒ වෙනකොටත් ‘විත්ති පාර්ශ්වය පැත්තෙන්’ නිදහසට කරුණු කියන්න පටන් අරගෙන තිබ්බ නිසා.
“තාත්ත කොළේ වහනවා නිමල් අයියේ. මං කැම්පස් ගියා... ගියාම සීනියර්ස්ලා මට රැග් එක දෙන්න ආවම මම බැන්නා... ගහගන්නත් ගියා. අපේ සීනියර්ස්ලා වුණයි කියල උන්ට පුළුවන්ද එහෙම අපිට වද දෙන්න. උන්ට කොහෙන්ද එහෙම අයිතියක්..
මුල් මාස ටිකේම කසිකබල් ඇඳුම් අඳින්නයි, රබර් සෙරෙප්පු දාන්නයි, උන් කියන ජරා වැඩ සේරම කරන්නයි වෙනවා කියපුවම තාත්තම තමයි මගෙන් රැග් එකේ තරම ගැන හාර-හාරා අහගත්තෙ.
මම ලෑස්ති වෙලා හිටියෙ එකෙක් දෙන්නෙක්ට නෙලන්න... එතකොට තමයි තාත්තම කිව්වේ කැම්පස් නොගිහින් හිටහං කියලා. හොඳයි නැද්ද?”

“මොකද නැත්තේ? මම එහෙම කිව්වා තමයි.
ඇයි නිමල් ළමයෝ- මෙයා එහෙම චණ්ඩි පාට් දාන්න ගියොත් ඒ මැරයෝ නිකං ඉඳියිද? මෙච්චර කල් මෙයාලගේ අතපය නොකඩ හදල දැන් එහෙම වෙනවට කොයි තාත්තද කැමති. ඒකයි මම කිව්වේ ඔය වදේ ඉවර වෙනකල්; මාස දෙක තුනක් යනකල් විස්ස විජ්ජාලෙට නොගිහිං ඉඳල ඊට පස්සේ යන්නය කියල.
මෙයා කියනවා ‘එහෙම බැරිය- එහෙනං දිගටම ගෙදර ඉන්නංය’ කියලා.”

එදා ඒ දෙන්නාගේ කරුණු දැක්වීම දිගින්-දිගටම කෙරුණේය. ඒ දෙන්නාටම උවමනා වුණේ තම-තමන්ගේ ආස්ථානයන් සාධාරණ විත්තිය ඔප්පු කරන්නටය. ‘හොඳට කාරණා හොයලා බලලා- නිදහසේ හිතල බලලා තීරණයක් ගනිමු. මමත් ඔය ගැන ටිකක් හොයල බලන්නංකො...’ කියල පොරොන්දුවකුත් වෙලාය, මං වහන්සේ එදා එතැනින් නික්මුණේ.

ඒ ප්‍රශ්නය විසඳී තිබුණේ නොසිතු විදිහකටය.
”ඔව් නිමල් ළමයෝ... ජයවර්ධනපුරේටම තේරිච්ච අපේ සුමුදුගෙ යාළුවො හත්-අට දෙනෙක් එකතු වෙලා, ප්‍රශ්නෙ ඉවර කරගත්තයි කියන්නේ.”

උන් බයේ ගැහි-ගැහී අපට respect කරද්දී හෙණ ආතල්... උන් නිකං වහල්ලු වගේ!

ඒ කොහොමදැයි මං අහන්නට ගියේ නැත.

ඒත් අවුරුද්දකට විතර පස්සේ සුමුදුලගේ තාත්තාම හිනැහෙමින් (පුතණ්ඩියා ඉදිරිපිටදීම) ඒ සිද්දිය ගැන ආපහු මතක් කළේය. “ඔය ළමය දන්නවද වැඩක්? අර නවක වදේට බයේ විස්ස විජ්ජාලෙට යන්නේ නැතුව ඉන්න හදපු අපේ සුමුදුලාම දැන් අලුත් ළමයින්ට වදේ දෙනවලුනෙ! හඃ හඃ හඃ.”

සුමුදු මල්ලි ඉදිරිපිටදීම එහෙම කියැවුණාම නං මටත් කට පියාගෙන ඉන්නට බැරි වුණේය.
“රැග් වෙන්න අකැමැත්තෙන් හිටි කෙනෙක් විදිහට ඔයා එහෙම කරන එක අසාධාරණයි නේද සුමුදු මල්ලී?”

“මෙහෙම නොකර කොහොමද බැජ් fit එක හදන්නේ.... අපි කාපු පරිප්පුව ප්‍රෙෂාලටත් කවන්න එපැයි නිමල් අය්යේ... අපිට දීපු රැග් එකෙන් කාලක්වත් අපි මුන්ට දෙන්නෑ. අනික රැග් එක දෙන එකෙත් හෙණ ගැම්මක් තියෙනවා... රැග් එක දුන්නම සින්නන්ට ප්‍රෙෂාලව බය කරගන්ඩ පුළුවන් නිකංම... උන් බයේ ගැහි-ගැහී අපට respect කරද්දී හෙණ ආතල්... උන් නිකං වහල්ලු වගේ...”

මගේ සිතැඟි අනුව නම් සුමුදු මල්ලී වැන්නවුන්ය, අන්තිම නරක!

කුසල් කළුආරච්චි.
පෙනෙන විදිහට නං කුසලුත් සබරගමුවේ කැම්පස් එකට ගිය හාදයෙකි; ඒ විශ්වවිද්‍යාලය පිළිබඳව හැංගී තිබෙන කරුණු රැසක්ම කුසල් එළියට දමයි. ඔහු මුල සිටම නවක වදයට විරුද්ධව නැඟී සිටියෙකියි කියැවෙන commentsද කුසල්ගේ
fb පෝස්ටුවේ තිබෙයි. ඒ post එකය මේ.

‘අර කොල්ලා ජීවිතේ නැති කරගත්ත හිංදා එලියට ආව මිසක් සබරෙ ඉන්න බහුතරයක් උන්ට නම් මේව මැජික් නෙවෙයි...

මේ එකක් විතරයි... තව කොච්චර නම් මේ වගේ දේවල් මේක අස්සෙ වෙනවද... හැමෝම දන්නව... හැබැයි කවුරුත් කියන්නෑ...😪 ඇහුවොත් කියන්නෙ සබරෙ කොහෙද මල්ලි රැග්, අපි නෙවෙයි උඹලව රැග් කරන්නෙ මාශලුයි පරිපාලනෙයි තමා උඹලව රැග් කරන්නෙ කියලා...
අපි තමා ඒවයින් උඹලව බේරගන්නෙ කියලත් කියනව තව ලැජ්ජ නැතුව.

අන්තිමට මේ වගේ දෙයක් උනාම ඔය කයිය ගහන අයියල හොයන්නත් නෑ... දැන්වත් ඔය උප සංස්කෘතියෙ මෝඩ පාට් ටික අතෑරපල්ලා..

- ජුන්නෙක් කොක්කක් එක්ක ගියොත් ඒක පේන්න බෑ
- ජුන්නෙක් ශෝර්ට් කට් එකක ගියොත් ඒක පේන්න බෑ
- උන්ට බෑන්ගල් දාන්න බෑ, කැම්පස් ටී ශර්ට් අඳින්න බෑ
- ෆස්ට් ඉයර් උන් මොන්ටිසෝරි බබාලා සත්තු වත්ත පෙන්නන්න එක්ක යනව වගේ පෝලිමේ යන්නෝනි
- උන්ට කැමති කඩේකින් කන්න බෑ... හෙලබොජුන් තහනම්... මැට්ටෙන්ම තමා කන්න ඕන.
- සෙකන්ඩ් ඉයර් ආවම බැජ් මීටින්, ඇක්ශන් මීටින්, පැරා මීටින්, හොස්ටල් මීටින්, කොමන් මීටින් මීටින් මීටින් මීටින් මීටින්

කැම්පස් එකේ පොරක් වෙන්න ඕනි නම් මේව කරන්න ඕනි වගේ ගොබ්බ පසුගාමී අදහස්වලින් ඔලුව පුරෝගත්ත උන් ටිකක් හැම බැච් එකකින්ම වගේ හැදෙනව...

- ජූනියර් බැච් එකක් ආවම උන්ගෙ හොස්ටල් ගේට්ටු ගාවට වෙලා රෑ එලි වෙනකන් පිනි බබා මුර කරන්න ඕනි.
- ඊට පස්සෙ ජුන්නොන්ට වැඩ හදන්න ඕනි... ඒවා සින්නොන්ගෙ කාමර කාමර ගානෙ ගිහින් මහ පාන්දර 3, 4 වෙනකන් උන්ව දැනුවත් කරන්න ඕනි... කටපාඩම් තියෙන්න ඕනි... වැරදුනොත් පහුවෙනිදත් යන්න ඕනි... දවස් ගනන් ඕව කරන්න ඕනි.

- ස්ට්රෙස් නැතිවෙන්න කියල Function කරනව... අන්තිමට Function හින්දම ස්ට්රෙස් හැදෙනව...
- බලෙන් ළමයින්ව පිකට්වලට ඇදන් යනව
- සින්නො ඉන්න හොස්ටල් එකක නම් ශෝට ඇඳන් කාමරෙන් එලියට එන්න බෑ...
- 3rd year 4th year යනකන් බයික් එකකින් කැම්පස් එකේ යන්න බෑ.
- කාඩ් ඕනි නම් උන් කියන ඕනිම ජරා වැඩක් කරන්න ඕනි.
- මොකෙක් හරි එකෙක් මේව මට බෑ මම මේව කරන් නෑ කිව්වොත් ඌව පුලුවන් තරම් කොන් කරනවා, පුලුවන් තරම් මානසිකව වට්ටනව, ගහනවා...

ඔය මගුල් ඔක්කොම කරද්දි ඉතින් assignment, mid exam, presentation ඔක්කොම ගොඩ ගැහෙනව... ඉතින් ඉගෙනගන්න වෙලාවක් නෑ... රිසල්ට් මදි...

උන්ට ඉගෙනගන්න නැති උනාම ඉතින් ඊට පස්සෙ එන උන්ට ඉගෙනගන්න දෙන්න හිතෙන්නෙත් නෑ...

ඔය අතරෙ සෙට් එකක් හැදෙනව (හැමෝම නෙවෙයි) ඔය උප සංස්කෘතියෙ ගොබ්බම පාර්ට් ටික ඉස්සරහට ඇදන් යන උන් ටිකක්... අම්මෝ දවස්වල අපිට අපේ සින්නො අපිට මොනාද නොකලේ, අපි මුන්ට ඒවයින් 10%ක්වත් තවම කලේ නෑ... ඕව කරන්නෙ බැජ් ෆිට් එක හැදෙන්න... කැම්පස් එකේ පොරක් වෙන්න ඕනි නම් මේව කරන්න ඕනි වගේ ගොබ්බ පසුගාමී අදහස්වලින් ඔලුව පුරෝගත්ත උන් ටිකක් හැම බැච් එකකින්ම වගේ හැදෙනව... ඔය දේවල් කරන්න ඇත්තෙත් එහෙම උන්ම තමා...

දැන්වත් ඔය ආපස්සට පරිණාමය වෙන ගෝත්රික උප සංස්කෘතියෙ වැඩකට නැති කෑලි ටික අයින් කරපල්ලා... ඕක යන්නෙ වැරදි පාරෙ මචන්..

ඉගෙනගන්න ආපු උන්ට නිදහසේ ඉගෙනගන්න දීපන්... උන් අරන් එන්නෙ උන්ගෙ හීන විතරක් නෙවෙයි... සමහරවිට උන්ගෙ පව්ලම ගොඩ අරන් යන්න ඉන්නෙ විතරක් වෙන්න පුලුවන්...

හැමෝටම එක සමාන අයිතිවාසිකම් තියන, නිදහසේ ඉගෙනගන්න පුලුවන්, Function එකක් උනත් ආසාවෙන් කරන්න හිතෙන කැම්පස් එකක් ඊලඟට එන උන්ටවත් හදමු... තව එකෙක්ට මෙහෙම වෙන්න කලින්...!!

සියළු සිසුන් සරසවියට ඇතුළු වීමේදී නවකවදය යන "සාපරාධී වරද" නොකිරීමටත් එසේ කර අසුවුවහොත්...

කුසල් කියන කතාව ඇත්තය.

මොනවා කෙරුවත් මියගිය චරිත් වැන්නවුන්ට යළි පණ දෙන්නට කිසිවෙකුටවත් නොහැකිය. එහෙත් ඒ අසරණයා වැන්නවුන්ට කළ හැකි උපරිම ගෞරවය ‘සියලුම විශ්වවිද්‍යාල සියලුම සිසු-සිසුවියන්ට නිදහසේ අධ්‍යාපනය ලබන්නට හැකි මිත්‍රශීලී; සුහද; ගුණගරුක තැන් බවට පත් කිරීම’යි.

ඒ සඳහා දැනටමත් විවිධ යෝජනා ඉදිරිපත් කෙරෙමින් තිබෙයි.

තවත් සහෘද blog රචකයකු වන චන්දිම ගෝමස් මහතා මේ හා අදාළව පළකොට තිබුණු පෝස්ටුවකි මේ. (මේ ලින්කුවත් මට එවූයේ බකුසුතුමාමය. ස්තුතියි බස්සෝ!) ‘නවකවදය පිටුදැකීමට’ නම්වූ මේ පෝස්ටුවෙන් කියවෙන යෝජනා ප්‍රායෝගික ඒවා බව නිදිගේත් විශ්වාසයයි.

‘නවකවදය නිසා අහිමිවූ වටිනා ජීවිතය පිළිබඳව මතකය කෙමෙන් මැකී යද්දී නවකවදයට එරෙහිව නැගුණු හඬ ද වෙනදා මෙන්ම අතීතයට එක්වෙමින් පවතී. අපි ඊළඟ ජීවිතය නවකවදයට ගොදුරු වනතුරු සිටිය යුතු නැත. ඒ නිසා මම පහත දැක්වෙන සත් වැදෑරුම් ප්‍රායෝගික පියවර ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. සමාජ මාධ්‍ය සංවාදයකින් පසු එය අදාළ අමාත්‍යංශයට යොමු කිරීමට අපි උත්සහ ගනිමු.

මේ පියවර වසර 10 ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් වනු ඇත.

1. මාස තුනක් වැනි කාලයක් තුල ජේෂ්ඨ සිසුන් නොමැති පරිසරයක නවක සිසුන් සරසවි පරිශ්‍රයට හුරු කිරීම සහ ඔවුන් අතර දැඩි මිතුරු බැඳීමක් ඇති කිරීම.

2. සියළු සිසුන් සරසවියට ඇතුළු වීමේදී නවකවදය යන "සාපරාධී වරද" නොකිරීමටත් එසේ කර අසුවුවහොත් දෙන ඕනෑම දඩුවමක් විඳීමට සුදානම් බවටත් ලිඛිත ප්‍රතිඥාවක් ලබා ගැනීම.

3. සියළු සිසුන්ට වාර්ෂිකව දින කිහිපයක මානසික සෞඛ්‍ය සායනයකට සහභාගිවීම අනිවාර්ය කිරීම.

4. සරසවියේ සදාචාරාත්මකව පිළිගත හැකි සියළුම ස්ථානවල CCTV කැමරා සවි කිරීම.

5. සරසවි ආචාර්යවරුන් නවකවදයට කිසිසේත්ම සහයෝගය නොදෙන පරිදි මානසිකව පුනරුත්ථාපනය කිරීම.

6. Cloud එකක real-time රෙකෝඩ් වන පරිදි වූ body camera වලින් සන්නද්ධ මාෂල්වරුන් කණ්ඩායමක් පත් කිරීම. 

7. නවකවදයට වරදකරුවන් වන සිසුන් සරසවියෙන් නෙරපීමට අමතරව ඔවුන්ට සිවිල් නීතිය යටතේ දඬුවම් කිරීම සහ මානසික පුනරුත්ථාපන කඳවුරක නේවාසික ප්‍රතිකාර ගැනීම අනිවාර්යය කිරීම.

මෙහිදී සිසුන් යන වදන මා සිසුසිසුවියන් යන දෙපාර්ශවයම සඳහා යොදාගන්නා ලදී.

ඉහත ඕනෑම පියවරක් ප්‍රායෝගිකව සිදුකළ හැකි ක්‍රමවේද මට ඉදිරිපත් කළ හැක. එහෙත් ඔබ වැඩි දෙනෙකුගේ අදහස් ලැබෙන්නේ නම් එය වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත.’

රැග් වෙන්න කැමති මානසික ආබාධිතයන්ට වෙනම තැනක් හදල දෙන්න විශ්වවිද්‍යාලයෙන්; උන්ගෙන් ලිඛිත කැමැත්ත සහ වගකීමෙන් මිදීමේ සහතිකයකට අත්සන් අරගෙන. 

නීතිය නොතකා වැඩ කරන්නන්ට ඇති නිදහස ‘නීතියට අනුකූලව කටයුතු කරන්නන්ට’ නැත. නවක වධය මැඩ පැවැත්වීමේදීත් ඒ ගැන හිතන්නට වෙයි!

මං වහන්සේ එහෙම කියන්නේ ‘නරකත් හොඳ වෙන වෙලාවල් තියෙන බව’ මා අදහන නිසාය. ‘බුදු ගුණවලට දමනය නොවෙන සමහර යකුන් කුණුහරුපවලට සරෙන්ඩර් වෙන විත්තිය’ මා විශ්වාස කරන නිසාය.

මේ postsවල දෙවැන්නට Pra Jay සහෘදයා එවා තිබුණු comment එකෙන් කියවෙන්නේ එවැනි යෝජනාවකි. යෝජනාව මේකය:
‘රැග් වෙන්න කැමති මානසික ආබාධිතයන්ට වෙනම තැනක් හදල දෙන්න විශ්වවිද්‍යාලයෙන්;
උන්ගෙන් ලිඛිත කැමැත්ත සහ වගකීමෙන් මිදීමේ සහතිකයකට අත්සන් අරගෙන. අනිත් අයට රැග් කරන කාලකන්නි පිස්සන්ට විරුද්ධව අපරාධ නීතිය යටතේ ක්‍රියා කරන්න.’

ඒ අපූරු අදහස ‘නවක වධය’ට කැමැති එඩිතර විරුවන්ගේ නෙත්වලට යොමු වේවා; මේ ගැන ඔවුනගේ අදහස් ප්‍රසිද්ධියේ පළ වේවා!!!!!!!!!!! 

Ian's Den - ඉයන්ගේ අඩවිය’ බ්ලොගයේ රචක ඉයන් මහතාත් නවක වදේ ගැන අගනා අදහස් ලියා එවල තිබුණා:
‘රැග් එක නවත්වන්න නම් ප්‍රායෝගික විසඳුම් අවශ්‍යයයි. නීතියම නෙවෙයි. අවුරුදු කීපයක්වත් හැම බැච් එකකටම හමුදාවෙ දෙතුන් දෙනෙක් ඇතුලට යවලා රැග් දෙන අයට හොඳට සලකන ක්‍රමයක් හඳුන්වා දෙන්න පුළුවන්.
-අනික රැග් දෙන අයගේ (සහ දුන්න අයගේ) විස්තර ලබාගෙන වෙබ් සයිට් එකක් හරහා ප්‍රසිද්ධ කිරීම.
-අර
Me Too movement එකේ අවුරුදු ගාණකට එහා වෙච්ච සිද්ධිවලට දඬුවම් දුන්නෙ. ඒ වගේ මෙච්චර කල් වෙච්ච දේවල විස්තර හොයලා සාක්කිකාරයො හොයාගෙන නඩු දැමීම. මේක රජය නොව වෙන සංවිධානයක් පිහිටවලා කරන්න පුලුවන්. එකම දේ Time barred ප්‍රශ්ණය රජය විසින් විසඳා දිය යුතුයි....’

මේ ඉයන්ගේ ඒ comment එකට Ano කෙනෙකු සැපයූ පිළිතුරෙන් කොටසක්:

‘... ලංකාව වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ඔය වගේ ම්ලේච්ඡ වැඩ කරන්න බෑ. අනෙක එහෙම යන හමුදාවේ අයට විරුද්ධව ජිනීවා මානව හිමිකම් උල්ලංඝනය කිරීම යටතේ වගේම ජාත්‍යන්තර යුධ අපරාධ සම්බන්ධ Geneva convention වගේ ඒවා යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඒ වින්දිත සිසුන්ට පුළුවන්. ඒ නිසාම හමුදාව ඔය වගේ වැඩ කරන්න ඉදිරිපත් වෙන්නේ නෑ දැන්.
-ඒ වගේ ජඩ වැඩවලට හමුදාව යොදාගත්තේ 2014 සහ ඊට පෙර අවසාන වතාවට රාජපක්ෂ වනචර දශකය තුල මිනීමරු රාජපක්ෂ රෙජීමය
, උන්ගේ ආරක්ෂක ලේකම් මිනීමරු නන්දසේන සහ ෆොන්සේකා ඇතුලු යුධ අපරාධකරුවන් විසින්. නමුත් 2015න් පසුව නීත්‍යානුකූල ලෙස කටයුතු කිරීම හැර ඔවැනි ත්‍රාඩ වැඩ කරන්න ඉඩක් නෑ. පොලීසිය වුණත් ආයුධ පෙන්වන්නට එක්ක ගිහිල්ල මිනිස්සුන්ව මරණ එක දැඩි ලෙස අප්‍රසාදයට...’

ලේසියෙන්ම එක එක කල්ලිවලට බිලි වෙනවාවත්ද? ඒ ඒ කල්ලිවල රූකඩ බවට පත් වෙලා...

මේ  විදිහට එක එක කෝණවලින් ‘නවක වදය’ හා ‘විසඳුම්’ දිහාව බලන එක ගොඩක් වැදගත්. එහෙම කරද්දී හිතෙන; දැනෙන අදහස් අවංකව එළියට දමන එකත් ඉතා වැදගත්...

මෙතෙක් මට දැකගන්නට ලැබුණු එහෙම අදහස් අතරේ ‘කණ්ඩායම් මානසිකත්වය’ ගැන අවධානය යොමු වෙලා තිබ්බේ අඩුවෙන්.
මිනිහය කියන සතා කල්ලි ගැහීමේ වාසියත්, ශක්තියත් හොඳටම තේරුම් ගත්තේ දඩයම් යුගයේ ඉඳලමනෙ. ඒ දැනීම හා පුරුදු අපේ ජානවලටම කා වැදිලා වගෙයි. ඒ හින්දම වෙන්නැති අපි හැකි හැම විටම කල්ලි ගැහෙන්නේ.

හිතල බලමුද අපි අපිම වුණත් බොහෝම ආඩම්බරයෙන් හා කැමැත්තෙන් කණ්ඩායම් කීයකට බෙදිලා- සින්න වෙලා ඉන්නවද කියල...
රටවැසියන්, පළාත්වාසීන්, ගම්වැසියන්, ජාතිකයන්, ආගම් අදහන්නන්, එකේක භාෂා කතා කරන්නන්, කුලගෝත්‍රවලට අයත් වූවන්, පක්ෂවල සාමාජිකයන්... තව කොච්චරක් නං තියෙනවද...

එහෙම බෙදුණම අපිට ආරක්ෂාකාරී හැඟීමක් දැනෙනවා... ශක්තිමත් බවක් දැනෙන්න ගන්නවා. ඒත් ඒ එක්කම අපට නිදහසේ හිතන්න තියෙන ඉඩ අඩු වෙනවයි කියල අපිට තේරෙන්නෙ නෑ. අපේ ස්වාධීන බව අඩු වෙනවය කියල අපිට වැටහෙන්නේ නෑ... අපි නොදැනුවත්වම (කාගේ හරි උවමනාවකට නැටවෙන) රූකඩ බවට පත් වෙනවයි කියල අපට වැටහෙන්නේ නෑ...

අපේ රටේ නම් පුරවැසියන් වැඩි දෙනෙකු ඉන්නෙත් බයෙන් නෙව.
අනාගතය ගැන බයේ; මැරෙන එක ගැන බයේ; මැරිලා යන තැන ගැන බයේ; ඊළඟ ආත්මයේ උපදින තැන ගැන බයේ... ඒ මදිවට ‘නාඳුනන හතුරෙකු’ට බයේ. එහෙව් පවුලක සාමාජිකයෙකු විදිහට හැදෙන- වැඩෙන දරුවෙකුගේ පෞරුෂය කොහොම එකක් වෙයිද?
මානසික සෞඛ්‍යය කොහොම වේවිද...

නිදි, තමුසෙටත් හිතෙන දේවල්!!!!!!!!

එහෙම අත්දැකීම් අඩු, පරිණත නැති, ජවයෙන් හා ශක්තියෙන් සපිරි එකම වයසේ තරුණ තරුණියන් ගොඩක් විශ්ව විද්යාලවලදී එකට එකතු වුණාම... ලේසියෙන්ම එක එක කල්ලිවලට බිලි වෙනවාවත්ද? ඒ ඒ කල්ලිවල රූකඩ බවට පත් වෙලා එයාලට ආවඩන්න ගන්නවාවත්ද?
එහෙම අය අතින් නවක වදය 'මාරක වධයක්' බවට පත් වෙනවාද?

මට දැනෙන විදිහට නම් දැනටමත් චරිත් දිල්ෂාන් අමතකව යමිනි තිබෙන්නේ. නවක වදය ගැන කතාබහ නැවත අරඹන්නේ තවත් අවාසනාවන්ත සිද්දියක් වුණු පසුවද?
නැත- එසේ විය යුතු නැත.

ඊට කලින් විශ්ව විද්‍යාලවලින් නවක වදය තුරන් කිරීමට සුදුසු පියවර ගැනේවා!
ඒ මගේ පැතුමයි.
නිදිගෙ පංච තන්තරේ කියවන දයාබර පාඨක ඔබත් එසේ ප්‍රාර්ථනා කරන බව මගේ විශ්වාසයයි෴0෴

(පසුව ලියමි. රැග් එක ඇත්තේ විශ්ව විද්‍යාල වැනි තැන්වල විතරක් නොවේ. අපේ අපේ ගෙවල්වලත්... 'මඟුල් වදේ' පෝස්ටුවෙන් ඒ ගැන ලියන්නෙමි.)

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්