ගමක ඉඳලා ගෝල්ෆේස් ආපු
දුප්පත්... |
“කියන දේ අහලා ෆෝන් එක දියං. මම තොට ගහනවා මැරෙන්නම.....” 2ත් කිව්වා.
“ම...ම.. මං ගත්තෙ නෑ.” හොරා කෙඳිරුවා.
“මෙයා නිඳාගෙන හිටිද්දී මේකා ෆෝන් එක ඉස්සුවේ!” 5 කිව්වා. අපේ ජයශංඛ හිටියේ ඒ සේරම
අහගෙන. මිනිහත් මැදට පැන්නා. “දීපං Xත්තෝ ෆෝන් එක.” ඒ අස්සේ හොරා
බාගෙට නැඟිට්ටා. ‘චටාස්’ අතක් ගුලි කළ මුෂ්ටි ප්‍රහාරයක්- හොරාගෙ මුහුණටම එල්ල
වුණා.
“අම්මොහ්....” ආයෙමත් පුටුවේ වැදීගෙන ඒකා එතැනම බිම වැටුණා....
(මෙන්න එතන ඉඳලා විස්තරේ:) හොරා එයාගේ කට
වහගෙන හිටිය අත දිග ඇරලා බැලුවා. ලේ තලියක් මිනිහගෙ අතේ. හොරාගෙ මූණ හරහට පාරක්
ගැහුවේ මැදිහත්කාරයා- 2. දැන් එයාත් හොරාගේ වම් පැත්තෙන් ඇණ තියාගෙන වාඩි වෙලා.
“මම ඕකනේ තොට කිව්වේ. ඔය ගැහුවා නෙවෙයි මචං, අත ගෑවා. යකෝ... ගමක ඉඳලා ගෝල්ෆේස්
ආපු දුප්පත් කොල්ලො දෙන්නෙක්නෙ. පව් බං... ෆෝන් එක දීලා දාපං. අපෙන් මැරුම්
නොකා...” මැදිහත්කරුවා කිව්වා, අනුකම්පාවක් පෙන්නමින්.
“මම ගත්... ගත්තෙ නෑ අයියේ....” හොරා කෙඳිරි
ගාමින් කීවා. ජාතික කොඩිය අතේ තියාගෙන හිටිය මැදිහත්කරුවා- 3ත් මගේ කකුල්වල
ගෑවි-ගෑවී වගේ වාඩි වෙලා හිටියේ. හොරාට දකුණු පැත්තෙන්. “තොට පේනවද මේක. නිකං
නෙවෙයි යකෝ කොඩිය මේකේ එල්ලගෙන ඉන්නේ.....” මිනිහා කොඩිය දරාගෙන ඉන්න ලීය පෙන්නුවා.
“... මේක නිකම්ම ලීයක් නෙවෙයි xත්තෝ. මට පුළුවන් මේකෙන් ඇනලම තෝව මරන්ඩ.”
අම්මට සිරි!
මෙයාලා ඇත්තටම තරුණ අරගලයට උදව් වෙන්ඩ ආව අයද?
ටික දවසකට කලින් උද්ඝෝෂණකරුවන් කාල්ටන් නිවස වටලාගෙන හිටිය වෙලාවෙත්, ආරක්ෂක
අංශවලට පිටුපසින් හිටි සමහරුන්ගේ ඇඳුම් අස්සෙ මේ වගේ පොලු තිබුණු විත්තියයි මට
මතක් වුණේ. (නිරායුධ උද්ඝෝෂණකරුවන්ට පහර දීලා, පැනලා යද්දී වාහනය පෙරළිලා
එක්කෙනෙක් මළේ!)
මේ අරගලය කඩාකප්පල් කරන්න; අරගලය අල කරන්න හිතාගෙන කාට හරි මෙතනට එන්න බැරිද?
හොඳටෝම පුළුවන්! එකම දේ, එහෙම එන්න ඉඩ තියෙන බව අරගලයේ නියුතු තරුණ පෙළ දැනුවත්ව
ඉන්න එකයි. ඒ ගැන විමසිලිමත්ව ඉන්න එකයි.
මල්ලිලා දැක්කද මූ හොරාට.... |
හොරා විස්තර කිව්වා. මැදිහත්කාරයාත් ප්‍රශ්න
ඇහුවා. හොරා රාගම- වත්තල- ජාඇල නගර තුනේම විස්තර කිව්වා. “ඒකනෙ කියන්නේ. මාත් ඒ
පැත්තෙ පොරක් තමයි යකෝ... ඔන්න ඕක දීලා දාපං.” මැදිහත්කරුවා යෝජනා කළා.
හොරා එතකොටත් කියන්නෙ ෆෝන් එකක් නොගත්ත කතාවමයි.
ජාතික කොඩිධරයා නැඟිට්ටා. “මල්ලිලා දැක්කද
මූ හොරාට ෆෝන් එක ගන්නවා.” ෆෝන් එකේ අයිතිකාරයාගෙනුයි; 4, මිත්තරයාගෙනුයි; 5
ඇහුවා.
එච්චර වෙලා 4-5 දෙන්නට කිසිම දෙයක් කියන්නවත්- කරන්නවත් ඉඩක් ලැබුණේ නෑනෙ. ඒ
දෙන්නම නිකංම- නිකං ප්‍රේක්ෂකයන් වෙලයි හිටියේ.
“මෙයා නිඳාගෙනයි අයියේ හිටියෙ... මාත් එතැනම
හිටියෙ. මේකා තමයි අපි ළඟින්ම ඇල වෙලා හිටියේ. මෙයාට දැනුනලු සාක්කුවට අත දාලා
ෆෝන් එක ගන්නවා... එතකොටම අපි මූව අල්ල ගත්තා...” කතාව කිව්වේ ෆෝන් එක නැති වුණු
කෙනාගේ මිතුරා; 5.
“එතකොටම මගේ ෆෝන් එකෙන් මෙයාගේ ෆෝන් එකට ring එකක් දීල බැලුවා. ඒ ළඟින්ම එක සැරයක්
රින්ග්ස් යනවත් ඇහුණා. ඊට පස්සේ ඒක සයිලන්ට් වුණා....”
එතකොට තමයි ජයශංඛටත් ඉහිලුම් නැතිව ගියේ.
මිනිහත් මැද්දට පැන්නා. “ගත්ත ෆෝන් එක දීපං යකෝ මුන්ට.”
බොහොම අමාරුවෙන් නිස්සද්දව ඉවසගෙන හිටි
මගෙත් රතු ඉර පැන්නා. “චූටි පුතා, තමුසේ මෙතැනින් වාඩි වෙනවා හොඳ හිතින්....”
එච්චර වෙලා ජයශංඛ වාඩි වෙලා හිටි තැන පෙන්නමින් මං කිව්වා. ඊළඟට මං කතා කළේ ජාතික
කොඩිය දරාගෙන හිටි කෙනාට.
හැබැයි දෙන්නම පුදුම
සහයෝගෙකින් වැඩේ handle කළේ; පියවරෙන් පියවර. |
මොන? අඩි තුන-හතරයි ගියේ, හොරා ආයෙමත් ඇදගෙන වැටුණා, ඊළඟ උපවාස කුටියේ මායිමේ!
අපරාදේ කියන්න බෑ. අපේ ජයශංඛ ඊට පස්සේ නළියව්වේ
නෑ! තොල් හපාගෙන වාඩි වෙලා හිටියා.
ඒත් අපි දෙන්නටම පෙනුණා ඊළඟට වෙච්චි දේවල්.
හොරාව වට කරගෙන මැදිහත්කරුවෝ දෙන්නා ප්‍රශ්න ඇහුවා; තර්ජන කළා; ගහන්නත් හැදුවා....
එයාලා දෙන්නා කලින් අඳුරන දෙන්නෙක් විදිහට නෙවෙයි පෙනුණේ. හැබැයි දෙන්නම පුදුම
සහයෝගෙකින් වැඩේ handle කළේ; පියවරෙන් පියවර.
“මූට ගහලා වැඩක් නෑ මල්ලි. ගැහුවොත් මේ කාලකන්නියා මැරෙනවා.... අපි පොලිසියට
කියමු!”
විනාඩි ගණනකින් පොලිසියේ නිලධාරීන් දෙතුන්
දෙනෙක් එතනට ආවා. කට්ටිය වටවුණු නිසා වෙච්ච දේවල් අපිට පෙනුණෙවත් ඇහුණෙවත් නෑ.
ටිකකින් පොලිස් නිලධාරීන් පිටත්ව ගියා!
හොරා ඇතුළු පිරිස එතනමයි......
“තුවාල වෙන්න ගැහුවට පස්සේ පොලීසියෙන් බාර
ගන්නෑ!” එතැන වෙච්චි සේරම බලාගෙන හිටි රාජන් අපට කිව්වා. “පොලිසියට ගිහිල්ලම
කියන්නලු!”
රාජන් කාගෙ කවුද- එතන මොනවා කරනවද කියලා නම් (ආපහු ගෙදර එනකල්වත්) මට තේරුණේ නෑ.
පෙනුණු විදිහට එයා දෙමළ. ඒකයි මං එයාට ‘රාජන්’ කියලා නමකුත් දුන්නේ. අපට යාබද උපවාස
කුටියේ අයත් එක්ක රාජන්ට මොකක් හරි සම්බන්ධකමක් තිබුණු හැඩයි. රාජන් නිතරම හිටියේ
ඒකේ. එයාත් ප්ලාස්ටික් පුටුවක් හොයාගෙන ඇවිත් මට කිට්ටුවෙන් වාඩිවෙලා හිටියෙ,
ගොඩක් වෙලාවට.....
හොරාවත් ඇදගෙන කට්ටියම පිටත්ව ගියේ, හොරාව
පොලීසියට බාර දෙන්න වෙන්නැති.
“පොලීසි ගියාට වැඩක් වෙන්නෑ. කුඩ්ඩව එළියට දානවා.” එතැනම හිටි නරඹන්නෙක් කිව්වා.
“.... නිකං රස්තියාදුවක් විතරයි!”
ඔයාලා මේ ශුද්ධවූ අරගල බිමට
එකතු වෙලා ඉන්නේ අපේ සටනට උදව් දෙන්නයි! |
-කරුණාකරලා ඔබේ මොබයිල් ෆෝන්, බෑග්, මුදල් පසුම්බි ඒ සුජාත නොවෙන පිරිසගෙන්
පරෙස්සම් කරගන්න..... එල්ලාගෙන ඉන්න ඔයාලගේ බෑග් පපුව ඉස්සරහට හිටින විදිහට එල්ලා
ගන්න.....”
‘අරගල භූමිය’ අට්ටාලයෙන් එහෙම නිවේදන
විටින්-විට නිකුත් වුණත් සමහරුන් ඒ අනතුරු ඇඟවීම් ගණනකට නොගන්නවා වගෙයි. සමහර
වෙලාවට ඒ යකඩ කටෙන්ම කියවෙච්ච විදිහට නං අරගල බිමේදී- දවසකට ජංගම දුරකතන දහයක්
දොළහක්වත් හොරකම් කෙරෙනවාලු!
සුදු ඇඳගත්තු ලොකු හොරුන්ව දැක්ක ගමන්
අඳුනාගන්න අමාරුයිනේ. මොට්ට අපි පුරුදු වෙලා ඉන්නේ ඇඳුමෙන් මිනිස්සුන්ව මනින්න.
ඇත්තම කියනවා නං මමත් එහෙම තකතිරුවෙක්; බාහිර පෙනුමෙන් කුඩුකාරයන්ව මනින්නෙක්. ඒ
අනුව කෙරුණු නිරීක්ෂණයක් මේ:
හකු පාඩා බැහැලා තියෙන, ඇස්වල කිසිම දීප්තියක් නැති, අපිරිසිදු පෙනුමැති, කෘශ වුණු
අතපය ඇති ‘කිළුටු බායිලා’ කල්ලි පිටින් ‘ගෝඨා ගෝ ගම’ පුරා කරක් ගැහුවා, දවස
තිස්සෙම...
අර ෆෝන් හොරාත් ඒ වගේ එක්කෙනෙක්!
ඒත් එතකල් ඉන්නේ නැතිව.... |
“මහප්පේ, මම ඔයාට ටවල් එකක්, ටූත් බ්‍රෂ්
එකක්, සබන් කැටයක් හෙම ගෙනාවා. Wash එකක් දාගන්න විදිහක් හොයන්නද?” ජයශංඛ
පාන්දරින් ඇහුවා.
කිසිම කෑමක් නොගෙන ඉන්නකොට කටේ අප්‍රසන්න
ගතිය ඇති වෙන්නේ නැතිම තරම්. එහෙම වුණත් මම ඊයේ රාත්තිරියේම කරාබු නැට්ටක් හැපුවා,
අමි රහක් නොදැනෙන්න.
උපවාසේ අස්සේ කොහෙන්ද යකෝ කරාබු නැටි? ඔයාලට එහෙම හිතුණද?
දන්නවද, මගේ කන්නාඩි කොපුව ඇතුළේ තියෙන්නේ
කන්නාඩිය විතරක් නෙවෙයි. ටූත් පික්ස් තුන හතරක් වගේම කරාබු නැටි තුන හතරකුත් ඒක
ඇතුළේ තියෙනවාමයි, හදිසියකදී ගන්න.
අනෙක් අයට කොහොමද මන්දා, මට නං කරාබු නැටි
දෙක තුනක් හැපුවාම හෙම්බිරිස්සාව හැදෙන එක නවතිනවා. හැබැයි, එහෙම හපන්න ඕනි
‘යන්තම් උගුර කසාගෙන එනකොටම’යි.
ඉතිං ඊයේ හවස මදිය නොකියන්නම වැස්සෙන් නෑවාට පස්සේ මම කරාබු නැටි දෙකක් හැපුවා. උදේ
බලද්දී ඉතිරි වෙලා තිබ්බේ එක කරාබු නැට්ටයි.
“ඕනි නෑ චූටි පුතේ. මං මේ කරාබු නැට්ටක් කටේ
දාගත්තා විතරයි. නෙවිල් එනකොට මගේ කමිසෙකුයි, දත් බුරුසුව, රේසර් එක එහෙමයි
ගෙනේවි... ඒත් එතකල් ඉන්නේ නැතිව මං wash room එකට ගිහින් එන්නං.”
“තනියම? Are you sure....” ජයා ඇහුවා.
“මට පුළුවන් මිනිහෝ.”
“ඒ වුණාට මහප්පේ, ඔයා ෆාස්ටින් එකක් කරන ගමන් නිසා....”
“තවම කිසිම අමාරුවක් නෑ චූටි පුතේ. මං හෙමින් සැරේ ගිහින් එන්නං. කවුරු හරි ආවොත්
කියන්න මම ඉක්මනට එනවයි කියලා.” මං එහෙම කිව්වේ, ‘කොළොම්පුරේ’ අසංග රණසිංහ ආරච්චි
හිතවතා මතක් වුණු නිසාය.
“හෙට උදෙත් මම එනවා නිමල් අයියේ.... වැඩට යන
ගමන්.... මොනවද ගෙනත් ඕනේ? උපවාස කරන නිසා වතුර තමයි ඔයාට ගෙනත් දෙන්න
වෙන්නේ.....” කලින් දවසේ මාව බලන්නට ආවාම අසංග කිව්වේය.
දැක්ක දේකින් මං ගල් ගැහුණේ
නැතිවා විතරය! |
දහස් ගණනක් දෙනාට පාවිච්චියට තිබෙන්නේ එපමණි. ඒවාත් අයින් කරවන්නට බලධාරීන් කැස
කැව්වාලු! අර වැසිකිළි 6 දහස් ගණනක් දෙනාට ඇත්ද? ඒ නිසාදෝ ගෝඨා ගෝ ගමේ සමහර අඳුරු තැන්වලින්
යනකොට මං වහන්සේට දැනුණේ ‘ඇමෝනියා’ ගුහාවක් මැදින් යනවා වගෙය.
23 වෙනිදා උදේ එහෙම එද්දී දැක්ක දේකින් මං
ගල් ගැහුණේ නැතිවා විතරය!
මොකක්ද දන්නවද මට පෙනුණේ.... අර ෆෝන් හොරකම් කතන්දරේ මැදිහත්කරුවෝ දෙන්නා එකිනෙකා
හා හිනා වෙවී කතා කරමින් එන විදිහය. (ඊට පස්සෙත් කිහිප වතාවක්ම එයාලා එකට එහෙ-මෙහෙ
යනවා මට පෙනුණා.)
“ආ!” මං ඇවිත් පුටුවේ වාඩි වෙනවත් එක්කම වගේ
රාජන් වතුර බෝතලයක් ගෙනත් දුන්නා. මට ඉස්සරහින්, පාරෙන් අනිත් පැත්තෙ කුටි දෙකකම
වතුර බෝතල දහස් ගණනක් ගොඩ ගහල තිබුණා. අපේ කුටියට යාබද කුටියකත්.... ඕනිම වෙලාවක,
ඕනිම කෙනෙකුට ගන්න, අත පොවන මානෙම වතුර බෝතල තිබ්බා, නොමිලේම.
“මේක පටන් ගත්ත දවස්වල වතුර බෝතල් එකතු
කරගෙන ගිහින් විකුණපු අයත් හිටියා. ඊට පස්සේ වතුර බෝතල් දුන්නේ පැකින් එක කඩලා.
දැන් නං ඒ වැඩේ නැවතිලා වගෙයි....” මට කිව්වේ රාජන්මයි. “ඔහොම පොඩ්ඩකින් තෙමුවට
ඇද්ද? මම තව වතුර බෝතලයක් ගේන්නං...”
රාජන් එහෙම කිව්වේ මම කරන වැඩේ දිහාව බලාගෙන ඉඳලයි. මම පුංචි අත් පිස්නාවක් යන්තමට
වතුරෙන් තෙමලා මුහුණ-කට, බෙල්ල, අත් එහෙම තෙමාගන්න වෙලාවේ. (බඩා මල්ලා පොඩි කොලෝන්
බෝතලයක් ගෙනත් තිබුණා, එහෙම වෙලාවට බින්දුවක් අත් පිස්නාවට දාන්න.)
ගෝඨා ගෝ ගමට ඉර පායාගෙන එද්දී අසංග ආවා. පැය
බාගයක් විතර තනි රැකලා ගියා. ඊට පස්සේ මම බලාගෙන හිටියේ සාරවිටකාරයෙක් එනකල්.
අන්න එක්කෙනෙක් පාරෙන් එහා පැත්තෙ!
“ජයෝ, අර සාරවිටකාරයාගෙන් කරාබු නැටි දෙක තුනක් අරගන්නවකෝ... තියෙනවා නං.” මම
ජයශංඛට කිව්වා. එතකොටත් එයා කවුද හාදයෙක් එක්ක බජනෙට වැටිලයි හිටියේ. ඒ හාදයාටත්
වැඩක් නැතිවා වගෙයි. ජයා එක්කම මිනිහත් ගියා කරාබු නැටි ගේන්න. එයාලා ආවේ විනාඩි
හතලිස් පහකට විතර පස්සෙ.
ඊට වැඩිය ලොකු ප්‍රොබ්ලම්ස්
ලස්සනට සොල්ව් කරලා තියෙනවා.... |
“ඕනි නෑ මිනිහෝ. කරදර වෙන්න එපා.”
“මොන කරදරයක්ද මහප්පා. Take it easy! යමු බ්‍රෝ!”
මට එච්චර ඇල්ලුවේ නෑ ජයාගේ අලුත් මිත්තරයාගේ
විදිහ. ඒ වෙනකොටත් මිනිහා පැය එකහමාරක් විතර ජයා එක්ක එහෙ-මෙහෙ ගිහින්, කතා කරමින්
ඉඳලා ඉවරයි. දැන් ඒ දෙන්නම චැතැම් වීදියටත් ගිහින්.... ඒ හාදයාට ගෝඨා ගෝ ගමේ කරන්න
දෙයක් ඇත්තෙම නැතිවද මෙහෙම රස්තියාදු ගගහා ඉන්නේ?
දන්නවනෙ, මගෙත් වැරද්දක් තියෙනවා. සමහර දෙනෙකුව දැකපු ගමන්ම එයාලට 100%ක් ලකුණු
දෙන මං, සමහරෙකුව දුටුමනින්ම ‘හොම්බට හැටක් අනින්න ඇත්තං’ කියල හිතනවා. අර හාදයා
වැටුණෙත් ඒ දෙවෙනි ගොඩටයි.
පැය එකහමාරකට පස්සේ ඔන්න දෙන්නා ආවා. කරාබු
නැටි පැකට් එකක් අරං. ග්රෑම් 25 පැකට් එකක් රුපියල් 125/-කට.
එතකොට මම කිරල- මැනලා වචන එකලස් කරගෙන; හිත හදාගෙනත් ඉවරයි.
චූටි පුතා කරාබු නැටි පැකට් එක දෙන අතරේ මං
කතා කළා. “ජයෝ... තමුසෙට කියන්න දෙයක් තියෙනවා!”
“මොකක්ද මහප්පේ?” මිනිහා පුටුව ළඟින්ම ඇණ තියල වාඩි වුණා.
“තව ටිකකින් නෙවිල් මාමා ආවම ඔයා ගෙදර යනවා. ඉතිරි දවස් ටිකේ ඔයා මට උදව්වට එන්න
ඕනි නෑ......”
“ඇයි ඒ? මම ආවේ දවස් තුනම අදින්න....”
“අද පාන්දර වෙච්ච දේ දැක්කනේ.... ඔයාට ආව
වැඩේ මතක නැති වෙනවා..”
“මහප්පා, You have no අයිඩියා අබවුට් මී. මම ඊට වැඩිය ලොකු ප්‍රොබ්ලම්ස් ලස්සනට
සොල්ව් කරලා තියෙනවා....”
“වෙන්න ඇති. ඒත් අපි මෙහාට ආවේ ඒකට නෙවෙයිනේ.... ඔයාට කැමතියි නං ආයේ මෙහාට ඇවිත්
ඕනි දවසක් මෙහෙ ඉන්නවා. හැබැයි, මගෙත් එක්ක, මෙතන නෙවෙයි.... වෙන ඕනෑම තැනක....”
තරුණ කොල්ලො කට්ටියකට ඇහැක්
වෙලා, සූර්ය
පැනල කීපෙක උදව්වෙන් පැය 24ම ගෝඨා ගෝ ගමට විදුලිය දෙන්න. |
ජයශංඛ ආපහු ගියේ නෙවිල් ආවට පස්සේ;
ඒ අල්ලපු කුටියේ ඉඳලා අපේ කුටියට වයර් එකක් ඇදල, විදුලි බුබුලකුත් සවි කරලා දීලයි.
“නිමල් අයියා දන්නවද, මෙහාට කරන්ට් එක
දෙන්නෙ සෝලා යුනිට් එකකින්. මගේ යාළුවෙක් එහෙමත් එතන ඉන්නවා.” කුටියට ආව තමීර
හර්ෂක කිව්වා.
මට හීල්ලුණා. තරුණ කොල්ලො කට්ටියකට ඇහැක් වෙලා, සූර්ය පැනල කීපෙක උදව්වෙන් පැය 24ම ගෝඨා ගෝ ගමට විදුලිය දෙන්න. ඒත් දැනුත් අපේ රටම බාගෙට අඳුරේ.... ඇයි දන්නෑ මෙහෙම වෙන්නේ? අද රෑට තමිරත් එනවයි කිව්වනෙ, එයාත් එක්කම ගිහින් හරි අර යාළුවාගෙන් විස්තර අහගන්න වටිනවා.
විස්තර?
හිතවත් වෛද්‍යවරියක වන බෝධිනී සමරතුංග සැතපුම් දහස් ගණනක් දුරින් හිඳිමින් වුණත්
මගේ විස්තර හොයා බලලා මුහුණු පොතේ සටහනකුත් යොදලා. ඒ මදිවට සෞඛ්‍ය සේවාවේ
නිරත හැමෝටම වගේ පවරලා මගේ ගැන හොයා බලන්න.
• අප්‍රේල් 23 14.14
Hunger strike at Gall face Sri
Lanka - Day 2
Mr. Nimal Dissanayake is a fellow
blog writer I have read for many years.
He writes the blog නිදි ගේ පංචතන්ත්රය ....In Sinhala
language. He is one of the Sinhala bloggers who were active through blogs apart
from face book and other social media platforms.
He is also suffering from multiple myeloma, a cancerous status which
makes us all distress and worried as his health status may deteriorate any
moment.
The volunteer doctors who give their services to the protesting area in
Galle face, which is called "gotagogama" have been
notified and alerted regarding his health.
... to support the protest and wish the
current president and governing party would respect the wishes and pleeds of the citizens of this country. |
I pray for his health and that his selfless humane act would reach the
hearts of many in this country.
#BBC
#CNN
#AlJazeera
#GoHomeGota2022
මට යාබද කුටියේ උපවාසය කරන කෙනා කමිසයත් ගලවා දාලා බිම
දූවිලි ගොඩේම හිඟන්නෙකු වගේ වැතිරිලා හොඳටෝම නිඳි. නින්දේය කිව්වට කලන්තේ හැදිලද
කියලත් සැකයි. එයා ගැන හොයා බලන්න කෙනෙකු ආවේ ඉඳහිට. හොඳ වෙලාවට එයා ඇවිත් හනික
ගියේ කාව හරි එක්ක එන්න වගේ. හරි නේන්නං. ආවේ රාජංගනේ හාමුදුරුවෝ- තව තුන්හතර
දෙනෙකුත් පිරිවරාගෙන.
එක්කෙනෙක් නින්දේ හිටි කෙනාව කීද්දුවා.
“දැන් උපවාසේ කෙරුවා ඇති! කිරි එකක්වත් බොමු. පේනවනෙ ඔහේගෙ හැටි. මැරිලා යයි...”
“එයා කියනවා හාමුදුරුවනේ දිගටම උපවාසේ කරන්න ඕනියි කියලා....” උපවාසකරුවා
කිට්ටුවටම පහත්වී කතා කළ කෙනෙක් කිව්වා.
“එහෙනං ඉතිං මට කරන්න දෙයක් නෑ. බල කරන එක මගේ ප්‍රතිපත්තිය
නෙවෙයි...” හාමදුරුවෝ කිව්වා. ඒ අතරේ කවුද කෙනෙක් මාවත් හාමුදුරුවන්ට පෙන්නුවා.
උන්වහන්සේ මගේ කිට්ටුවටත් වැඩියා. විස්තර ඇහුවා.
“පරෙස්සමෙන්. මෙයා මගේ පන්සලේ ඉන්නේ... එයාත් උපවාසේ
කරන්නයි මෙහෙ ආවේ.... මෙහෙම හිටියට මෙයා රන්ජන්ගේ හොඳ හිතවතෙක්.” උන්වහන්සේ
කිව්වා.
එතකොටත් ඒ බව, ඒ හිතවතාම මට පෙන්වලයි තිබ්බේ. එයාගේ
මුහුණු පොතේ postsවලින්.
හාමුදුරුවන් වහන්සේ යන්න කලින් ‘voice cut’ තුනක් ගත්තා,
කුටිය පසුබිමට තියාගෙන. හාමුදුරුවන් වහන්සේ වගේම තව දෙන්නෙකුත් කතා කළා. මට අදහා
ගන්නත් බැරි වැඩක් ඒ වෙලාවේ නං දැක්කේ. අර උපාසක මහත්තුරු දෙන්නට කැමරාව යොමු වුණා
විතරයි, උන්නැහේලා දෙන්නටම කරන්ට් වැදුණා වගෙයි; වෙවුලන්න ගත්තා; රතු වුණා.
අරගල බිමේ foto ගන්න තරම් වටින දේවල් එමටයි! |
හරිම උද්වේගකර වොයිස් කට්ස් තුනකුත් අරගෙනයි ඒ කට්ටිය
පිටත් වුණේ! හැබැයි අර දූවිලි ගොඩේ හිඟන්නෙක් වගේ වැතිරිලා හිටි උපවාසකාරයාට
කැමරාව එල්ල කළේ නෑ. (අරගල බිමේ foto ගන්න දේවල් එමටයි!) මගේ අතේ කැමරාව තිබුණා
නං, මම ඒක එල්ල කරන්නේ එයාගේ බඩට. සිදුහත් තවුසා දුෂ්කර ක්‍රියා කරන කාලෙ චිත්‍රයක්
සිහි ගන්වමින් මේ උපවාස හිතවතාගේ ඉල ඇට කූඩුව මතුවෙලා තිබුණා; බඩ පිටට ඇලිලා
තිබුණා!
මට හිතෙන්නෙ රාජාංගනේ උන්නාන්සේ ‘බල කළේ නැතිවාට’ මොකද
‘බල කරන්න පුළුවන් කට්ටියකට වැඩේ පැවරුවා’ කියලයි. ‘එයාලා’ ආවේ ඊට ටිකකට පස්සේ.
තුනට විතර ඇති, රතු කුරුස සංවිධානයේ කට්ටිය එතනට කඩා
වැදුණා. පරීක්ෂා කිරීම්; උපදෙස් දීම් ගොඩාරියක්... එයාලා හිතවත් උපවාස සගයාව ගිලන්
රථයකට පටවාගෙන පිටත් වුණා.
ඒත් එක්කම රාජන් උන්නැහේ එතැන එල්ලලා තිබ්බ බැනරය ගලවලා අරං, නවලා ඒක මගේ පුටුව
යටට දැම්මා.
(ඊට පස්සේ රාජන් ඒ බැනරය පාවිච්චි කළේ නිඳා ගනිද්දී බිමට එළා ගන්නයි.)
ඒ අලකලංචිය අහවර වෙලා, හුස්මක් ගන්නවත් වෙලාවක් හම්බ
වුණේ නෑ.
ගෑනු ළමයෙක් ඊයක වේගයෙන් මගේ ළඟට ආවා. ළමයෙක් කිව්වට අවුරුදු දහ අටක- විස්සක විතර
ළමිස්සියෙක්... ගහෙන් ගෙඩියක් එනවාටත් වැඩිය ඉක්මනින් එයා.....
එයා කියපු- කරපු දේවල්වල ඉඳලා විස්තර ඊළඟ කොටසෙන්....
නෙවිල්නම් අර නිමල් කියන ජාතියෙ එක්කෙනෙක්ට සල්ලිත් දුන්න නේද පලවෙනි දවසෙ උදේම?
ReplyDelete'පතාගෙන ඇවිත්' posts ලියද්දී මම කිව්වේ- නෙවිල්ගේ හැටි. ඔන්න Pra Jay මහත්තයෝ, ඔයාත් දැක්කනෙ කුඩ්ඩෙක් කියලා හොඳටම පෙනී පෙනීත් 100/- ක් දුන්න!
Deleteකතාවක් තියෙනවා නෙ.... හම යන්නෙ එකෙක්ගෙ නම යන්නෙ තා එකෙක්ගේ කියලා හිට.
ReplyDeleteසුජාත දරුවන්..... අනේ නිදි ඒම කස්ටියනම් මං තාම දැක නෑ.
සුජාත පුත්තු හිටියත් නමී එයාලව යට යනවා. කෝසල සිහිනවල එකක් නෙව මැණික් යට යද්දී ගොම වැරටි උඩ පාවෙන එක! පෙනෙන්නේම ගොම!
Deleteහ්ම්..දැන් ටිකක් තේරෙනවා. බලාගෙන ගියාම, අපේ සහජ ගති ඇරිලා නෑ. මේ වාහෙලත් එක්ක, අරගලය ඔය තත්ත්වයෙන්වත් පවත්වාගෙන යන එක පුදුමයක්.
ReplyDeleteඇත්තටම බස්සා මහත්තයෝ, මෙහෙම මිනිස්සුන් වෙනුවෙන් මොකටද නැහෙන්නේ කියලත් හිතෙනවා තමයි. ඒත් එයාලා සුළුතරයක් වගෙයි. අනෙක දැන් දැන් එයාලත් වෙනස් වෙමින් ඉන්නේ. තව පරම්පරා දෙකක් යද්දී සේරමලා මීට වඩා දැනුවත් වෙලා ඉඳියි නේද...
Deleteඔව් ඔබ හරි. මිනිස්සු කියන්නෙ හොඳ-නරක මිශ්‍රණයක්. අවශ්‍ය වෙන්නේ හරි මග පෙන්නීමයි. එතකොට වැඩි දෙනෙක් හරි අතට හැරෙනවා(ගෲප් තිංකින්). අරගලය ප්‍රතිශේප කරන, හොරකම, බොරුව සහ වංචාවයි හරහා ඒ වෙනස ලැබෙයි කියා සිතනවා.
Deleteඅර ගලේ අස්සෙත් හොඳ හොඳ දේවල් සිද්ද වෙලා තියෙනව බලාගෙන යනකොට.
ReplyDeleteප්‍රසන්න, මෙහෙම දේවල් කොහෙත් වෙනවා. එකම දේ හුඟක් අය මේවා ගණන් ගන්නෙවත්, මතක තියා ගන්නෙවත් නෑ. මට නං ඒවා තමා ජීවන විශ්ව විද්‍යාල පාඩම්!
Deleteනිදියගෙ රෙකෝඩරේ හැම එකම රෙකෝඩ් වෙනව වගේ...😄😄
Deleteඑතකොටනේ ඒ සේරම ලියන්න පුළුවන්....
Deleteහ්ම්.....
Deleteගෝත්‍රිකයන්ගෙන් පාඩමක්...
Deletehttps://chandimagomes.blogspot.com/2022/05/blog-post.html
අලුත් බෝතලේ පරණ වයින්.... ස්තුතියි නමී. ගෝමස් මහත්තයට මෙහෙම ලියලයි ආවේ.
Deleteහරිනෙ, දැන් සටන කෙරෙනුයෙ නියම තැන
තකතිරුවන්ට කවදාවත් නුහුරු තැන
ඒ විතරක්ද නුහුරු උපා පෙරට ගෙන
සටනෙක සිරිලකේ හෙට හිමි තරුණ දන!
https://naadiyaonline.blogspot.com/2022/05/blog-post.html?sc=1651764835467#c4466629807375682848
ReplyDeleteනමී. ඔබෙ මඟ පෙන්වීම ඔස්සේ ගියෙමි, කියෙව්වෙමි, සිහියට පැමිණි දේ මෙලෙස ලිව්වෙමි.
Deleteමෙතැනින් මාරු වෙනු නාටකයේ තිබුණු
ගීයට රැඟුවෙ ඇන්තනියෙකි - වියෙ තුරුණු
පුදුමය, වෙමින් බලු කුක්කෙක් හැට පිරුණු
ඔහු දැන් හිඳී ඉතිහාසයෙ කූඩෙ කුණු!
හෙහ්, හෙහ් ඌරුකොටුව පාර.
ReplyDeleteහොරු ගෝ ගම
තව මොන ගම් හැදෙයිද මන්දා ඉස්සරහට....
Deleteපෝස්ට් දෙකම කියෙව්වෙ එක සැරේ.. දැන් ඉතින් හිටපන්කො කවුද අර දහ අටේ කෑල්ල කියලා හොයාගන්න ඊලඟ පෝස්ට් එක එනකන්.. :)))
ReplyDeleteස්තුතියි කමී, ඔන්න ඊළඟ කොටසත් අද උදේ දැම්මා.
Delete