කුළු හරකෙක් හීලෑ කරගන්න නං ඌව ඈඳන්න ඕනෙ හීලෑ මී හරකෙක් එක්ක....... |
“ඒ ගැන නෙවෙයි මට
විශේෂයෙන් කතා කරන්න ඕනි වුණේ..... මට පෙනුණු විදියට මේ දෙන්නාම කුළු හරක්.... කැලේම
හැදිච්චි එවුන්... කුළු හරකෙක් අල්ල ගත්තාම ඌව හීලෑ කර ගන්න නං ඈඳන්නෙ හීලෑ වෙච්චි
මී හරකෙක් එක්කලානෙ.... ඉතින්...”
මම දිගටම කතා කළෙමි.
මංගල සභා තොමෝ නිහඬව අසා සිටියාය.
“මේ කුළු හරක් නාම්බයි
නෑම්බියි දෙන්නාව එක සැරේම එකට ඈඳන්නේ නැතිව, අපි ටිකක් පරක්කු කරලා බලමුද? එතකොට
බලාගන්න පුළුවන් වෙයිනේ, අපේ සාලිය කුමාරයා දුන්නු පොරොන්දුව හරියට රකිනවද කියලත්....
මිනිහා හය මාසයක් විතර නොබී ඉන්නකොට ඒක පුරුද්දටත් යයිනේ.....”
ඒ ගැහැනු දරුවාගේ තාත්තා
කොහොම වෙතත් අම්මාගෙන් පෙනුණේ මගේ කතාව නුරුස්නා බවකි; හදිස්සි බවකි.
“මොනවා වෙතත්, දැන්
දෙගොල්ලම කැමති වෙලා තියෙන එකේ මට කියන්න තියෙන්නේ එච්චරයි. අදම නොකිව්වත් ඒ
දෙන්නයි, ඔයාලගේ පැත්තේ කට්ටියයි කතාබහ කරලා තීරණේ අපටත් කියන්නකෝ....” එහෙමත්
කියලාය මං අන්තිම තුරුම්පුවත් ඇද්දේ.
විවෘත ආර්ථිකයත් එක්කම මංමාවත් ලොකු වුණේය... සංවර්ධනය කෙරුණේය....... |
“ඔයාලගෙ දුවව පුළුවන්
තරම් ඉක්මනින් කාට හරි දීලා නිදහස් වෙන්න ඉන්නවත් නෙවෙයිනේ... මෙහෙම වෙලාවක කියන
එක හරි නැතත් මේ කියන්නේ... වැරැද්දක් නම් සමාවෙන්න ඕනේ. මේ ජෝඩුව හම්බවෙලා සුමාන
දෙකට, ඉක්මනින්ම නොබැඳ ඉන්න බැරි තරමට කටයුතු දුර-දිග ගිහිල්ල වෙන්නත් බැහැනෙ.”
මං එහෙම කිව්වේ එදා;
අසූව දශකයේ මැද භාගයේ තිබුණු තත්ත්වය නිසාය.
විවෘත ආර්ථිකයත් එක්කම,
පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා බහුල වීමත් එක්කම; ගම්වල තරුණ-තරුණියන් රැකියා
කරන්නට නගර කරා පැමිණෙන්නට පටන් ගැනීමත් එක්කම සුචරිතවාදී තත්ත්වය වේගයෙන් වෙනස්
වීගෙන ගියේය.
කුමර බඹසර කියලා දෙයක් නොදන්න අයගෙන්
වුණත් කුමරි බඹසරට; කන්‍යා පටලයට තිබුණේ ඉහළ පිළිගැනීමකි. ඒ කාලයේ, ඒ පිළිගැනීමට
හෙණ පිට හෙණ වැදෙමින් තිබිණි!
ඒකටම උදව් වෙමින්, හැම
නගරයකම ගහක්- ගලක්- මුවාවක් ගානේ rooms හැදුණේ හතු පිපෙන්නාක්සේය.
සාම්ප්‍රදායිකව කෙරුණු
ලිංගික සේවා සැපයීම වැඩිවීමත් සමඟම තුරුණු පෙම්වත්තුද රිසිසේ නිදහස් සුවය විඳින්නට
පටන් ගත්හ. ඒ අසීමිත නිදහස සඳහා මාර්ග සංවර්ධනයත්, නගරාන්තර ගමනාගමනය කඩිනම් හා
පහසු වීමත් බලපෑ බව මගේ අදහසයි.
ඒ විස්තර සේරම කිව්වේ වැඩ සිද්ද වුණු 'කඩිනම' තේරුම කර දෙන්නටය........... |
අපේ අනාගත නෑනන්ඩිගේ
නිවස තිබුණේ තරමක් උස බිමක ඉහත්තාවේය. එතැන පොළොව සමතලා කොට ගෙය හදා තිබ්බේ පඩි
තුනක් නැඟලා යා යුතු විදිහටය.
අපි ආපසු එන්නට හැරී පඩි
බසිමින් හිටියෙමු. පේළියේ අන්තිමයාට කලින් හිටියේ මේ ලියන්නාය. තරුණියගේ අම්මා
දඩි-බිඩියේ ගෙයි උළුවස්ස ළඟට විත් අප අමතන විට මං හිටියේ දෙවෙනි පඩියේය. ඒ විස්තර
සහසුද්දෙන්ම කිව්වේ, කටයුතු කෙරුණු; තීන්දු ගැනුණු ‘කඩිනම’ තේරුම් කරන්නටය.
“අපේ දුව කියනවනෙ ‘මේ
කටයුතු ඉක්මනටම කරමු’ය කියලා!” කෙල්ලගේ අම්මා කිව්වාය. මං ළිඳක වතුර අදිමින් වත්කර
තියෙන්නේ මුණින් නැවූ කළගෙඩියකටය.
හෙනහුරා නීච වෙලා, සිකුරා
උච්ඡම වෙලා හිටියා වෙන්නැති. නැත්තං අනංග දේවතාවා මොකාක්ම හරි පිස්සුවක් කෙළලා
වෙන්නැති. ආපහු එද්දී මට හිතුණේ එකකි. ‘වපුරන දේවල් එයාලාම කපා ගන්නැතැයි.’
වපුරණ දේවල්ම නොවේද කපා ගන්න වෙන්නේ? එවෙලේ මට සිතිණි... |
මංගල්ලය කෙරුණාට පස්සෙද,
ඉස්සෙල්ලාද කියන කාරණය නම් මට හරියට නිච්චි නැත. Mගේ අලුත් ව්‍යාපාරය ඉක්මනින්ම
බංකොලොත් වුණේය.
“උඹේ කට නං හොඳ කටක්
නෙවෙයි රංජි. කියන ඒවා ගොඩක් හරි යනවාමයි.... උඹ ඉතින් බුලත් විටක්වත් හපන එකක්යැ.
කටවහ වදිනවා වගේ.... උඹ නරකක් කිව්වාම ඒක හරි යනව බං.” අපේ තාත්තා කිහිප වරක්ම මට
කියා තිබිණි.
ඒ කතාවේ පොඩි ඇත්තකුත් මටම පෙනී ගිහින් තිබෙයි.
ඒත් එහෙම වෙන්නේ, මට
ඇති සුවිශේෂ බලයක් නිසා නොවේ. මගේ විශ්ලේෂණ බොහොමයක් නිවැරැදි වෙන හින්දාය.
“කොහොමද රංජි අයියේ mගේ
වැඩේ හරි යන්නේ. මේකා වැඩේ අයිතිකාරයා වුණාට මොන බම්බුවක්වත් දන්නෙ නෑ. කෙට්ටු rනෙ
කාලෙක ඉඳලා ඔය වැඩේ කළේ.... කඩකාරයෝ අඳුරන්නෙත් ඌ. බඩු දාන්නෙත් ඌ, බඩු ගෙනෙන්නෙත්
ඌ. ඌට ඕනේ හැටියට මේකා නැටෙව්වා.”
තවකෙක් කියූ කතාව නම් ඊට
වෙනස්ය.
බලන්න එපාය තිබිච්චි උජාරුව! |
“කෙට්ටු r අතේ වැරද්දක්
නැහැ ලොකු අයියේ. M විහින්ම ගොනාට ඇඳගත්තා!”
“ඒ කිව්වේ?”
“ඔයා දකින්න තිබ්බේ m
බිස්නස් ගිය විදිහ..... හරියට ලොකු කොම්පැණියක sales rep කෙනෙකුටවත් නැති උජාරුවක්නෙ
මෙයා ළඟ තිබ්බේ. R බඩු පෙට්ටිය බැඳපු සයිකලේ තල්ලු කරගෙන යද්දී, මේකා සපත්තුත්
දාගෙන බිල් පොතයි, පෑනයි අරන් පස්සෙන් යනවා ලොක්කා වගේ. මුදුනා වගේ බිල ලියන එක
විතරයි මෙයා කළේ. එහෙම බිස්නස් කරලා හරි යනවා නම් හැමෝම කරයිනේ.”
ටික කාලයකට පස්සේ ආරංචි
වුණේ කෙට්ටු r ආයෙමත් තනියම ඒ වියාපාරයම කරගෙන යන්නට පටන් ගත් බවයි. මට මතක හැටියට
නම් mගෙන් ආපහු අර සයිකලයත් අරගෙනය...... බඩු පෙට්ටියත් එක්කම.
‘දැන වෙළෙඳාම් - නොදැන
ගොවිතැන්’ කියන කියමන අපේ මිනිහාට අහුවෙලා නැතිවා වෙන්නැති.
නොදැන ගොවිතැන්?
මේ දවස්වල මා හරිම
ආසාවෙන් කියවන බ්ලොග් අඩවියකි ‘ඉකොනොමැට්ටාගේ බොජුන්හල’. මැට්ටා කියලා කියාගත
යුත්තේ මං වගේ අයයි. ඉකොනෝ ලෝකයේ තියෙන තාක් දේවල් ගැන හොයයි; බලයි; කියවයි.
ඊළඟට ඒවා අපට තේරුම් යන
භාෂාවෙන් ලියයි. කොරෝනාවෙන් පස්සේ ලෝකයට වැදගත්වෙන ගොවිතැන ගැනත් ඉකොනෝ කියා තිබිණි.
ඇමෙරිකාවේ වී ගොවියෙකුට ඉන්දියාවේ ගොවියන් 30 ක් එක්කයි fight කරන්න වෙන්නේ! |
“ධනවාදය
අකාර්යක්ෂමතාවයට අනුකම්පා නොකරයි!
... ඉතිං මොනවා කරන්නද? ඇමරිකාවේ වී ගොවියාට ලෝකයේ අනෙක් රටවල් එක්ක
සටන් කරන්න වෙනවා. නමුත්, මෙය සාධාරණ
තරඟයක් නෙමෙයි. ඇමරිකාවේ ශ්‍රමය ඉන්දියාවේ මෙන් 30 ගුණයක් වැඩියි. ඒ නිසා, ඇමරිකාවේ වී ගොවියෙක්ට ඉන්දියාවේ වී ගොවියන්
30 දෙනෙක් එක්කයි සටන්
කරන්න වෙලා තියෙන්නේ. තනි ඇමරිකන් කාරයා ගිහින් තිහකට ගේම දීලා එන හොලිවුඩ් චිත්‍රපට
වල වගේ.
ඔහොම තිහකට තනියම ගේම
දීලා එන්න පුළුවන් ඇමරිකානුවෝ ඉන්නවා.
හැබැයි ගොඩක්
ඇමරිකානුවන්ට ඔය වගේ දෙයක් කරන්න බැහැ. ධනවාදය විසින් කරන්නේ එහෙම පුළුවන් කෙනාව
හොයා ගෙන අවස්ථාව දෙන එකයි.
මේ කටයුත්තේදී අතින්
පයින් ගහගන්න යනවාට වඩා ආයුධයක් අරන් යාම කාර්යක්ෂමයි.
ඒ කියන්නේ ඇමරිකාවේ වී
ගොවියා විසින් කළ යුත්තේ මිනිස් ශ්‍රමය යොදා ගැනීම පුළුවන් තරම් අඩු කරලා වැඩි
වැඩියෙන් යාන්ත්‍රික ශ්‍රමය යොදවන එකයි. තිහකට ගහන එකේ රහස තියෙන්නේ එතැනයි.
ඇමරිකාවේ ශ්‍රමය
ඉන්දියාවේ මෙන් 15 ගුණයක් හා
ලංකාවේ මෙන් 30 ගුණයක් මිල
අධික බව මම කිවුවනේ. එසේ තියෙද්දීත්,
ඇමරිකාවේ වී
අක්කරයක් වවන්න යන ශ්‍රමයේ වියදම ලංකාවේ වියදමට වඩා අඩුයි.
ලංකාවේ වී අක්කරයක්
වවන්න මිනිස් දින 17ක් අවශ්‍ය
වුවත්, ඇමරිකාවේ වී
අක්කරයක් වවන්න උපයෝගී කර ගන්නේ මිනිස් පැය 4ක් පමණයි. ලංකාවේ වී ගොවියා දවස් 17ක් තිස්සේ කරන වැඩ ඇමරිකාවේ වී ගොවියා පැය 4කින් කරන්නේ යාන්ත්‍රික ශ්‍රමයේ උදවුවෙන්.”
අපේ මනුස්සයාට දැන වෙළෙඳාමත්, නොදැන ගොවිතැනත් දෙකම යාදුන්නේ නැතිය! |
කොහොමෙන් හරි අපේ එකාට දැන
වෙළෙඳාමත්, නොදැන ගොවිතැනත් දෙකම යාදුන්නේ නැතිය! කසාදය.....?
ඒ දෙන්නාම ප්‍රාර්ථනා කළ
විදිහටම මංගල්ලය කෙරුණේය; ජයට මඟුල් කාලා පෙරහරින් මනාලිය කැන්දාගෙනත් ආවේය.
ශ්‍රී ලංකා පවුල්
සංවිධාන සංගමයේ, තරුණ ජනගහණ කමිටුවට සම්බන්ධවී මා කටයුතු කරමින් සිටි කාලයයි ඒ.
වැඩියෙන්ම අප කළේ තරුණ-තරුණියන් දැනුවත් කෙරෙන අධ්‍යාපනික වැඩ සටහන්, සම්මන්ත්‍රණ
ආදිය රට පුරාම පැවැත්වීමයි.
‘නැණ ලැබ ගත්තෙමි’, ‘මගෙන් මංගල යෝජනාවක්’, ‘මාතර
තානායමේ අමු හෙළුවෙන්, ‘පණ බේරපු කිරිල්ලී’ වැනි පෝස්ටු ගොඩාරියකදී එවැනි වැඩ ගැන දැනටමත් මගෙන් කියවී තිබෙයි.
ඒ වැඩ
සටහන්වලදී, දේශකයෙකු ලෙස මා වැඩියෙන්ම දෙසුම් පැවැත්වූයේ ‘මානව ලිංගිකත්වය, ප්‍රජනනය
හා පවුල් සැලසුම’ ගැනයි!
රට මුලුක්කාදියේ ඉන්නා
කොල්ලන්ට-කෙල්ලන්ට කියා දෙන දේවලින් ටිකක් අපේ මිනිහා; Mටත් ඉගැන්විය යුතු බව මට
හිතුණේය.
ඒ දෙන්නට කියනවා 'දැන්ම දරුවෙක් හදාගන්න කලබල වෙන්නෙපයි' කියලා........ |
“මානෙල්.... තමුසෙ mටයි
මනමාලිටයි කියනවා ‘දැන්මම දරුවෙක් හදා ගන්න යන්න එපා’ කියලා. මම කිව්වයි කියලමත්
කියනවා. එයාලා ටිකක් පිළිවෙලක් වෙනකල් දරුවෙක් හදා නොගෙන ඉන්නවා නං හොඳයිනේ.”
“අනේ ඔව් ලොකා. මට පෙනෙන
විදිහට අරයාට වුණත් තවම බරක්-පතළක් තේරෙන පාටක් පේන්නෙ නෑ.” අලුත් නෑනා ගැන මානෙල්
නංගීගේ නිරීක්ෂණය වුණේ ඒකය. “තවම වයසක්යැ. උයන්නවත් දන්නවද මන්දා.”
“මටත් එහෙම පෙනිච්ච
හින්දා තමයි, තමුසෙට අරහෙම කියන්නය කිව්වේ.... මම දන්න විදියට නං එයාලට හොඳම ක්‍රමේ
තමයි ‘ගිලින පෙති’. ඒක ලේසිත් එක්ක. FPA එකටම යන්න ඕනෙත් නැහැනේ.... ඔය හන්දියේ
දොස්තර මහත්තයා ළඟට ගිහින් හරි කමක් නැහැ, හරියටම උපදෙස් ගන්නය කියනවකො.”
“කවුද? කක්ක දොස්තර
ළඟටද?” එතකොට මානෙල් නංගී ඇහුවාය.
මගේ බ්ලොගයෙන් මහරගම
ඉතිහාසය ගැනත් ලියවෙන්නේ ඉබේමය. ඉස්සරෝම මහරගම කියලා ගමක් තිබුණේ නැති බවත්, එය ‘හික්ගස්
හන්දිය’ වුණු බවත් මගෙන් ලියවුණේ අහම්බෙනි. මේකත් එහෙමය; ලියා තියන්නට කල්පනා වුණේ
දැන්ය.
දැන් නැති මහරගම- කඩුවෙල 112 බසයක් 1973 කොටුවේදී..... |
ඒ දවස්වල මහරගම වැඩි දෙනෙකු
බෙහෙත් ගත යුතු අසනීපයක් හැදුණොතින් ගියේ ‘මුනිදාස අයියා’ළඟටය. (එයා වැඩ කළේ පරණ
පාරේ නිව්ටන් මහත්තයාගේ ‘ජයන්ති ෆාමසියේ’ය.)
මනුස්සයා දොස්තර කෙනෙක් නොවේ.
හැබැයි අත් ගුණය
පළපුරුද්ද ඉස්තරම්ය.
සිරුරෙන් පුංචි, සද්දෙන් කතා නැති, අක්කර දහයක තියෙන පොල්ගස්
දහයේ කෙස්සක් ඇති මුනිදාසයියා කොච්චර ෆේමස්ද කියනවා නම් එයා අලුත් ෆාමසියක වැඩට
යනකොට එතැන දවසින්-දෙකෙන් නැඟලා එයි. පරණ තැන පල්ලමටම වැටෙයි.
මුනිදාසයියා තරමටම වාගේ
‘කක්ක දොස්තර මහත්තයා’ත් මහරගම කට්ටියට අල්ලලා ගිය කෙනෙකි. එයා ළඟට බෙහෙත් ගන්නට
යන ඕනෑම කෙනෙකුගෙන් නොවරදවාම අහන ප්‍රශ්නයක් තිබුණේය.
“කක්ක යනවද? චූ යනවද?”
ඒ සරල ප්‍රශ්නය අහන්නෙත්
බුලත් විට හපන අතරේය. කලිසම, කමිසය අඳින- බුලත් හපන- තෙල් අල්ලක්ම හිසේ අතුල්ලා,
පස්සට කොණ්ඩය පීරන ඒ දොස්තර මහත්තයා දෙපයට දාගෙන හිටියෙත් හම් සෙරෙප්පු කුට්ටමකි.
කිසිවිටෙකත් සල්ලි පස්සේ දිව්වේ නැති ඒ දොස්තර මහත්තයාට සමහරුන් කිව්වේ ‘බුලත්
හපයා’ කියලාය.
“ඒ මහත්තයා තවම ඉන්නවා.
බෙහෙතුත් කරනවා... තාමත් මනුස්සකම නම් එදා වගේමයි....” පැරණි මහරගම වැසියෙකු එහෙම
කීවේ, ඔහු ගැන දන්නවාදැයි මං පෙරේදා ඇහුවාමය!
දැන් සේරම කුණු බේරුවල් බොක්කටය.... තනියම කරන්නට ගිය වැඩක් වගෙය! |
“එයාගෙන්ම වුණත් කමක්
නැහැ, අහගත්තට. හරි නම් එහෙම ගිලින්න පටන් ගන්න තිබුණේ බඳින්න කලින්. මටත්
කල්පනාවක් වුණේ නෑ. කරන දෙයක් පරක්කු නොකර කරන්න කියනවකො.”
අද කාලයේ ආන්දෝලනාත්මක
ප්‍රවෘත්ති ගලන්නේ සොරොව්වක් කැඩිලා වතුර ගලන්නා වැනිවය. වරෙක නිකුත් කෙරෙන ප්‍රමාණය
වැඩිය; වේගයත් වැඩිය.
එහෙ බලලා-මෙහෙ බලන පමාවෙන් ඒ ප්‍රවෘත්තිය අපට අමතකය. ඒ ගැන
පසු විපරමක් නොකෙරුණ බවත් අපට අමතකය.
එහෙම වෙන්නේ ‘රැලි’ එන-යන වේගය හරිම ඉක්මන්
හින්දාය.
බන්දුල මහත්තයලා හෝමාගම
අලුතෙන් හදන්නට ගිය ‘ක්‍රිකට් ක්‍රීඩාංගණය’ට වුණෙත් ඒකය. පොඩි නැත, ආසන
40,000ක එකක්....
හරියට වෙනින් කාටවත්
නොකියා, තනියම හංගාගෙන කරන්නට ගිය දෙයක් වගේය. දැන් ඒකට හොඳය කියන කවුරුන්වත් නැත.
එකට කන්න ගිහින් පොඩ්ඩ වැරදුණාම ‘එකෙකු බිල්ලට දෙන විදිහ’ය. අපටත් ඉතින් දොස් කියන
අයගේ පැටිකිරිය මතක නැතිය! වැරැද්ද අනුන්ගේමය!!
ලොකූ... ඔයා කිව්වට ගිලින පෙති හරි ගිහින් නැහැ වගෙයි..... අරයාට බබෙක්....... |
මානෙල් නංගී කතා කළේත්
මගෙන් මහා විශාල වැරැද්දක් සිදු වුණාය කියන ටෝන් එකකිනි.
“ලොකා... ඔයා කිව්වට
ගිලින පෙති හරි ගිහිල්ලා නැහැනේ....”
“මොකක්?”
මම පුදුමයෙන් ඇසුවෙමි.
අපේ වැඩ සටහන්වලදී අප
කියා දෙන්නේ අපට උගන්වා ඇති දේයි. මේ කියන විදිහට ගිලින පෙති වඩාත් විශ්වාසදායී ක්‍රමයක්
නොවෙයිද?
“ඒකනේ ලොකා. අරයාට බබෙක්
හිටලා..... පෙතිවලින් වැඩක් වෙලා නැහැ....”
“හොඳටම ෂුවර්ද? වෙන්න
බැහැනේ...” කොතෙක් අන්ද-මන්ද වුණත් මගේ සිහිය හොඳට වැඩ කළේය.
“දැන් ඉතින් කරන්න
දෙයක් නැහැ.
ඒත් මට හරියටම දැනගන්න ඕනි කොහොමද- මොකක්ද වුණේ කියලා. තමුසේ හෙමින්
සීරුවේ ජෝඩුවම අල්ලාගෙන අහගන්නවකෝ විස්තරේ....”
පෙති බොන්න ගියාම අර බඩ්ඩ බය වෙලා පස්ස ගැහුවලු! |
මානෙල්ට පැවරුණු
රාජකාරිය දෙදිනක් යනවිට අකුරටම ඉටු කර තිබිණි.
“උන් දෙන්නට පිස්සු
ලොකා....” මානි හිනාව තද කරගෙන රැඟුවාය.
“හිනාවෙනවකෝ පස්සේ.
වෙච්චි දේ කියලා ඉවර වෙලා....” මම තරහෙන් කිව්වෙමි. සිද්ද වුණේ මොකක්දැයි දැනගන්නට
මාත් හිටියේ නොඉවසිල්ලෙනි.
“එයාලා කක්ක දොස්තර
මහත්තයව හම්බ වෙලා, විස්තරත් අහගෙන. ගිලින පෙතිත් අරගෙන ආවලු. කියපු විදිහටම පෙති
ගිලින එක පටන් ගන්න ගියාම අර බඩ්ඩ බයෙන් පස්ස ගහලා.....”
“අහවල් දේකටද බය
වෙන්නේ?"
“ඔයා කිව්වට ගෑනු එහෙම
තමයි ලොකා.
බයටම වෙන්නත් ඇති. සමහර විට කසාද බැඳපු අලුතම හින්දා තොඳොල් වුණා
වෙන්නත් ඇති. එයා කිව්ව්වලු ‘අනේ මට බයයි’ කියලා.
දොස්තර මහත්තයත් කිව්වේ මුල් දවස්වල ඔළුවේ කැක්කුමක් එයි කියලා........ |
අපේ එක්කෙනා ඇහුවලු
මොකටද බය වෙන්නේ කියලත්.
‘අර දොස්තර මහත්තයත්
කිව්වේ, ඉස්සෙල්ලම දවස් දෙක-තුනේ පොඩි ඔළුවේ කැක්කුමක් හැදෙන්නත් පුළුවනියි
කියලා.... ඒකයි බය’ කියලා ගෑනිට කියවිලා!”
ගිලින පෙති පැකට්ටුවේ
පෙති විසි අටකි.
එයින් පෙති 21කම අඩංගු වෙන්නේ ස්ත්‍රී හෝමෝන වර්ගයි. ඒවායින්
කෙරෙන්නේ ඩිම්බ සෛල මේරීම නැවත්වීමය.
කාන්තා සිරුරේ ලිංගික හෝමෝන මට්ටම් වෙනස්
කිරීමෙනි; ඒ කර්තව්‍යය ඉටු කරවන්නේ. එසේ හෝමෝන මට්ටම් අසමතුලිත කෙරෙන විට, සමහර
අයට හිසරදය ගතියක් ඇති වෙන්නටත් ඉඩ ඇත.
එහෙත් දින කිහිපයක් යද්දී එය මඟ හැරී යයි.
පෙති පැකට්ටුවේ තිබෙන
අනෙක් පෙති 7 යකඩ විටමිනය සහිත පෙතිය.
පෙති පාවිච්චි කළ යුත්තේ ඊතලවලින් පෙන්වා
ඇති විදිහට; කෙළවරක සිට; දිනකට එකක් බැගින් ක්‍රමානුකූලවය!
එහෙම මැටි මෝල් දිසානායකයෙකු ගැන දැනගන්නට නැති බව කියන්නේ ට්‍රම්ප් මහත්තයා වගේ ආඩම්බරයෙනි! |
“දවසක් දෙකක් විතරයිනේ ඔය
ඔළුවේ කැක්කුම හිටින්නෙත්.... මැරෙනවයැ?”
“අපි කිව්වට බැහැනේ
ලොකා. ඒ කෙල්ල බයේ ගැහෙනකොට m කිව්වලු ‘බය වෙන්නෙපා, වෙන දෙයක් අපි දෙන්නටමනේ,
මාත් පෙති බොන්නම් ඔයා එක්කම. ඔයා එකයි, මං එකයි බොමු කියලා! එහෙමලු පෙති ගිල්ලේ...”
‘ලෝකෙට පරකාසේ - ගෙදරට
මරගාතේ’ කියමන හැබෑ කරමින්, ගිලින පෙති ක්‍රමය අපේම පවුලේ කට්ටියකට කොකම් පෑවේ
එහෙමය!
(දිසානායක පරම්පරාවේ මැටි මෝලෙකු මිස එහෙම ගොන්කමක් කළ වෙනත් මෝඩයෙකු ගැන
තවමත් මට දැනගන්නට ලැබී නැති බවත් නොහංගා කියන්නේ ‘ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිතුමා’ තරම්
ආඩම්බරයෙනි.)
ඌන පූරණය: ඒ දෙමහල්ලන්
ඊට පසුව වුවද පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය කරන්නට අසමත් වුණු බවය, මගේ නිගමනය෴
නිමල්ගේ ලිවීම් ස්ටයිල් එක මේ වගේ tragi-comedyවලට හොදටම ගැලපෙනව.
ReplyDeleteමහරගම ගම හා චරිතවල ඉතිහාසය ගැන ස්තුතියි. කවදහරි ඒක ගැන ප්‍රමුඛත්වය දෙන ලිපිත් ලියයිනෙ
ස්තුතියි Pra Jay.
Deleteමහරගම ගැන කියවෙන පෝස්ට්ස් දෙකක්ම ලියන එක පස්සට වැටුණා කොරෝනා නිසා. දෙතුන් දෙනෙකුව හම්බ වෙන්න යන්න බැරිව ඉන්නේ.
ඒ වගේම ලේඛනාගාරයටත් යන්න වෙනවා, ඔයාගෙත් උදව් ඇතිව. බලමු තව ටික දිනකින්.........
මහරගම ඉතිහාසය කියවන්න මමත් බලාගෙන ඉන්නවා ඕං....
Deleteමිතිල මහත්තයෝ, ඔබතුමාත් Pra Jay මහත්තයාගේ හිතවතෙක් නේද?
Deleteදෙන්නට කාඩ් දෙකක් අරන් දෙන්න
ReplyDeleteමධු, වැඩේ හබක් වෙලා උපන් දරුවත් දැන් බැඳලා. එයාලා ඔව්වා අපටත් උගන්වයි.
Deleteමහරගම ඔය කාලේ හිටිය නේද සෙනෙවිරත්න කියලා දොස්තර මහත්තයෙක්?
ReplyDeleteහිටියා.... ඔය කියන්නේ දැන් Lady j එකට කිට්ටුව තියෙන කල්බූ බේකර්ස් බිල්ඩිමේ ඉස්ස්සර තිබුණු දිස්පැන්සරිය නේද? හැබැයි අපේ ගෙදර අය එහෙට යැවුනේ නැහැ... වියදම වැඩි නිසා.
Delete+++++
ReplyDeleteස්තුතියි ඉයන් මහත්තයෝ!
Deleteයකඩෝ...!!!! පෙති ගිළපු විදිහ....
ReplyDeleteකමෙන්ට් එක කියවන අය හිතයිද දන්නෑ ඩ්රැකී, මමයි පෙති ගිල්ලේ කියලා.
Deleteඇත්තට නිදි නෙවෙයි නෙ? හැක්!
Deleteහුටා! අදහන්න වටිනා පොරක්නේ
ReplyDeleteකවියක් මතක් වුනා, කවියන් හතර දෙනෙක් කියූ. දැකපු සිදුවීමක් ගැනයි මෙයාලා එකිනෙකා එක පදය බැගින් කියන්න ගියේ.
Delete1 කවියා: ඒදණ්ඩේ කොටා
2 කවියා: ගමනක් යන කලටා
3 කවියා: වැටුණේය ජලයටා
4 කවියාට කියන්න දෙයක් සිහිවුනේ නැතුවාම තමයි සිරිබිරිස් උන්නැහේ, ඔයාගේ විස්මයාර්ථ දනවන වචනය කියලා තියෙන්නේ.