පැයට සැතපුම් 350ක වේගයෙන් වෙන්නෝනි...
මිනිස් මොළය ඇතුළේ පණිවිඩ ගමන් කරන උපරිම වේගය ඒකයි කියලනෙ කියන්නේ.
ආසන්න වශයෙන් රාත්තල්
හයක බරකින් යුතු මස්තිෂ්කය ඒ මොහොතේදී නොපමාවම අවසන් තීරණය ගත්තේය. ‘තමුසෙ ආයිත් England යනවා.’ |
එහෙත්...
අවුරුදු 25ක්
වනතුරුම වර්ධනය වෙන; 60%ක්ම මේදයෙන් සමන්විත; ආසන්න වශයෙන් රාත්තල් හයක බරකින්
යුතු මස්තිෂ්කය ඒ මොහොතේදී නොපමාවම අවසන් තීරණය ගත්තේය. ‘තමුසෙ ආයිත් England යනවා.’
ඒ වෙනකොට
මං වහන්සේ පළමුවෙනි වතාවට එංගලන්තෙට ගිහිං ඇවිත් අවුරුදු දහයකටත් වැඩිය.
‘රංජි, මම ටිකට් එකක් එවන්නං. ආයෙත් මෙහෙ ඇවිත් යන්නකෝ.’ ඒ අවුරුදු ගණනාව තිස්සෙම අපේ
අම්මාත් කිහිප විටක්ම කිව්වාය. ඩැඩාත් අම්මාට රුකුල් දුන්නා තමයි. ඒත් මට හිත
දුන්නේ නැත.
“මට තේරෙනවා...
ලොකූ ඩස්න්ට් want අම්මටම කියල වියදං කරවන්න, again. ඒක හින්දා නේද ඔයා එන්නෙ
නැත්තේ? I’ll send you a ticket. එහෙම කළාම එනව නේද ලොකූ?”
එහෙම කියමින් මට වඩාත්ම පෙරැත්ත කළේ Sam. සෑම් පුංචි කෙල්ල කාලෙ නං හෙණ මෝඩයි. එයා තමයි ඒ දවස්වල අපේ තාත්තගේ අම්මා; මහරගම ආච්චී මැරෙනකල් බලාගෙන උන්නේ. ‘එතකොට ආච්චිගෙ පර්ස් එක මට අයිති කර ගන්න පුළුවනිනෙ’ කිය-කියා. රූප ලස්සනෙනුත් සමන්ති වැඩියත්ම කිට්ටු වුණේ ආච්චිට.
ඒ හින්දද මංදා, සමන්ති නංගි තමයි අපේ පවුලේ කෙල්ලෝ පස් දෙනාගෙන් කැතම කෙල්ල වුණෙත්. චූටි
නංගි දීපානි තමයි ලස්සනම එක්කෙනා. හැබැයි- මොළේ වැඩිම කෙනා; වැඩියත්ම නුවණක්කාර
කෙනා සෑම්. එයාම තමයි අනෙක් අයව තේරුම් ගන්න සමර්ථම එක්කෙනා වෙන්නෙත්. (ඒ මම
තේරුම් ගන්න විදිහයි- හොඳේ.)
ඔය විස්තර සමහරක් නම් මීට කලිනුත්
‘නිදිගෙ පංච තන්තරේ’ පෝස්ට්ස්වලදී කියැවිලා තියෙනවා. (අලුතින් කියවන කෙනෙකුට
දැනගන්නයි ආයෙමත් ලියන්නේ.
අපේ පවුලේ පිරිමි පස් දෙනා අතරින් (මගේ නිගමනය විදිහට නම්) කඩවසම්ම හාදයා අපේ අනිල් මල්ලී. ඊළඟට
දීපාල්. ඒ දෙන්නා එකිනෙකාට වඩා කිට්ටුවෙන් හිටියෙ. එකටමයි අමු තකතිරු මොට්ටකම් කළෙත්.
අනිල් පිළිකාවෙන් පෙළුණු අවසන් කාලයෙත් හිටියෙ ගල්කිස්සේ දීපාල්ල ගෙදර.
රූප සම්පත්තියෙන් අඩුම කෙනා මගේ ලොකු මල්ලී; අපේ සුනිල්. (සුනිල්ලාට දුන්නු
පොරොන්දුව රැකපු නිසා තමයි මං වහන්සේට ගෙදරින් පැනලා යන වික්‍රමය කරන්න වුණේ! ‘දුන්හිඳ අද්දර මාරකේ’
post එක එහෙම ලියන්න ඇහැක් වුණේ.)
අපේ කොල්ලො පස්
දෙනාගෙන්... (වමේ සිට-පිටුපසින්ම සුනිල්, අනිල් (මැද පෙළ)- නිදි, අම්මා, සමන්ති,
මානෙල්, අජිත් (ඉදිරියෙන්) දීපානි, දීපාල්. සමන්තිලා 1982 එංගලන්තයට ගිය දවසේ) |
අම්මාගේ රූප සම්පත්තිය වැඩියෙන්ම උරුම වෙලා තිබ්බේ දීපානිටයි, මටයි. ඊළඟට අජිත්ටයි, මානෙල්ටයි.
ඉතිං, ආයෙම
ප්‍රධාන කතන්දරේට යංකො.
“ලොකූ, දැන් මට සල්ලි තියෙනවා. I can ටිකට් එක එවන්න... Hounslowවල අම්මලගෙ ගෙදර ඉන්න
ඕනත් නෑ. ඔයා කැමති නං අපි එක්ක ඩ්රුතිල ගෙදර වුණත් ඉන්න පුළුවන්. 100% ෂුවර් ඩ්රුති
ගොඩක් කැමති වෙයි ඔයාට. එයා විතරක් නෙවෙයි. අර්ජුන් කුමාරුත්... එයාලා හරි ආසාවෙන්
ඉන්නේ ලොකූව meet වෙන්න. මං ඔයා ගැන ඔක්කොම විස්තර එයාලට කියලයි තියෙන්නෙ.” කියලත්
සමන්ති මට කිව්වා.
එයා
නිච්චියටම දැනගෙන නොහිටියත්, ඒ වෙද්දීත් අම්මා එයා ගැන සෑහෙන විස්තරයක් මට කියලයි
තිබුණේ- සැරෙන්-සැරේ.
“රංජි. දැඩා
නං හරි තරහෙන් ඉන්නේ, සමා එක්ක. මෙච්චර එංගලන්තේ සුද්දො ඉඳිද්දී, සමන්ති මේ කොහෙද
යන ඉන්දියන් කොල්ලෙක් එක්ක මාට්ටු වෙලානේ. ඉගෙන ගැනිල්ලත් නවත්තලා- දැන්
රස්සාවකුත් කරන්න පටන් අරං.” ඒ අම්මගෙ මුල්ම වාර්තාවල කියැවුණු ඒවායින් එකක්.
(එංගලන්තයේ තොරතුරු සේරම කියන්නටත්, ලියන්නටත් අම්මා කවදාවත් කම්මැලි වුණේ නැත.
ඒත් සමහර තැනදී අම්මාගේ අක්ෂර වින්‍යාසය දෝෂ සහගතය. අම්මා හැම විටම පාහේ ලිව්වේ ‘දැඩා’
යනුවෙනි. නමුදු ඇය ඒ වචනය උච්ඡාරණය කළේ ‘ඩැඩා’ යනුවෙනි.
‘අම්මේ, ලියනකොටත් දැඩා කියලා නෙවෙයි ‘ඩැඩා’ කියලා ලියන්න. ඒකයි හරි විදිහ.’ එකම
වැරැද්ද දිගටම කෙරෙනවා උහුලගෙන බලා ඉන්නට බැරිම තැන- නිමල් දිසානායක අතිපණ්ඩිත
මෝලා උගේ මෑණියන්දෑට උපදෙස් දෙන්නටත් ගියේය.
‘ඇයි, මම
දැඩා කියලා ලිව්වයි කියල නඩු දාන්නයැ...’ ෆ්ලැට් තියරියෙන් උත්තර දුන් අපේ අම්මා
ඊට පස්සෙත් ලියුම්වල ලිව්වේ ‘දැඩා’ කියලාමය.) නමුත් අනිත් අය ලියන-කියන හැටි ගැන
උනන්දු වුණාය.
“අපරාදේ!
සමන්ති අනිත් දෙන්නාට වැඩිය ඉගෙන ගන්න සමර්ථයි. පේනවනෙ- තවම මල්ලාට හරියට ඉංග්‍රීසි
ලියාගන්න බැහැයි කියලයි සැසිල් තිස්සෙම බනින්නෙත්...
එකම හොඳේ, සමන්ති යාළු වෙලා ඉන්න කොල්ලා අඩු කුලේක එක්කෙනෙක් නොවෙන එක. ඉන්දියාවේ
කිව්වට ඉන්දියාවේම නෙවෙයිලු. පංජාබිද ගුජරාටිද මොකක්දලු... පටෙල්- මහේන්ද්‍රභායි
පටෙල් කියලයි බිමල්ගේ වාසගම කිව්වේ...”
අම්මා ඉන්දියාවේ කුල ගැන ඉගෙන
ගත්තේ කොහොමද? / කවදා- කාගෙන්ද?
අම්මා එංගලන්තයේ පුරවැසිකම ලබා ගැනීමේ පරම; පවිත්‍ර අරමුණෙන්ම ‘ඩැඩා’ හා විවාහ වෙන්නට කලින් වුණත් ‘සැසිල්
ෆෙඩ්‍රික් ශ්‍රෝඩර්’ මොන කුලේට අයිති කෙනෙක්දැයි සොයා බැලුවාද? කියන ප්‍රශ්න දෙක-තුන
මං ඒ වෙලාවේ අම්මාගෙන් ඇහුවේ නැත.
පරම පවිත්‍ර සුපිරිසිදු
සීයට සීයක් බෞද්ධ සිංහල කෙනෙකුගෙන් ‘ස්වදේශ වාත්සල්‍යය- දේශ මාමකත්වය- සිංහල සංස්කෘතිය’
ගැන ඇහුවාම සිද්ද වෙන දේ වෙනවාට සැක නැත. ‘#$@@# *&*/+#@!’ |
අපේ ආච්චිගෙ අඩුකුල පිළිකුල තදින්ම එළියට ආවේ අමරේ අපේ ගෙදරට ආවාමය.
ඇත්තෙන්ම යුරෝපීය රටවලත් කුල භේදය පවතිනවාද? එය දැනුවත් කෙනෙකුගෙන් අසා
ගන්නට වටිනා කරුණකැයි මට හිතෙයි!
ඒ දවස්වල හොයන්නට නොහිතුණු; හගිස්සා ගන්නට නොහිතුණු සමහර කාරණා ගැන මතක් වෙන්නේ දැන්- දැන්ය. අපේ ඩැඩා සුපිරිසිදු British සිටිසන් කෙනෙකු වීම ගැන පමණටත් වැඩියෙන් ආඩම්බරෙනි උන්නේ. ඒ අතරේම Schroeder වාසගම ගැනත් හරිම උනන්දුවෙන් උන්නේය. ඒ වාසගමේ හයවෙනි අකුර; e නැතුව ලියවිලා තිබුණොත් ගෝලු ගත්තාත් එක්කය.
මේ හරිය අකුරු කරද්දී මට මතක් වුණේ ඩැඩාගේ උජාරු Schroeder වාසගමේ ප්‍රභවය ගැන චුට්ටක් අන්තර්ජාලයෙන් හොයා බලන්නටය.
මේං තියෙනවා ලැබිච්ච උත්තරේ- ගෙඩිය පිටින්ම.
‘The name Schroeder is a German surname that
originated as an occupational name for a tailor or cloth cutter:
Origin
The name comes from the Middle Low German word schrōden or
schrāden, which means "to cut".’
හොඳ වෙලාවට දැන් ඩැඩා නැතිය. (උන්දෑ සමාදානයේ සැතපේවා!)
‘ඩැඩා කොහොමද 100% බ්‍රිටිෂ් වෙන්නේ? ඔයාගෙ සර්නේම් එක ජර්මන්නෙ?’ කියලා
එයාගෙන් ඇහුවා නං... පරම පවිත්‍ර සුපිරිසිදු සීයට සීයක් බෞද්ධ සිංහල කෙනෙකුගෙන් ‘ස්වදේශ
වාත්සල්‍යය- දේශ මාමකත්වය- සිංහල සංස්කෘතිය’ ගැන ඇහුවාම සිද්ද වෙන දේ වෙනවාට සැක
නැත. ‘#$@@# *&*/+#@!’
“... පටෙල්-
මහේන්ද්‍රභායි පටෙල් කියලයි බිමල්ගේ වාසගම කිව්වේ... අපේ සමා හරි ලක්කාරි!
ඔයා දන්නවද රංජි- තියෙන ලොකුම හොඳේ, බිමල්ගේ අක්කා ඩ්රුතී එයාගේ මල්ලිට තරම්ම අපේ
සමන්තිටත් ආදරේ එකයි. Sam දැන් හින්දි බාසාවෙන් කතා කරන්නත් දන්නවා...” වගේ දේවල්
කියමින් තමයි අපේ අම්මා මාව තව-තවත් දැනුවත් කළේ.
“සමා ලක්කාරි
නේන්නං අම්මේ.
අපේ හිතකවත් තිබ්බ දෙයක්යැ සිද්ද වුණේ. ලාල් අයියට හිතුණු නිසානේ සමාටත් එක්කම
වීසා ඉල්ලුවේ. හරි ගියොත් ගියාවේ- එතකල් සමාටවත් කියන්න එපැයි
කියලනේ ලාල් අයියා කිව්වෙත්.”
“ඔය එකක්වත් කෙරෙයිද මම එංගලන්තෙට නාව නං... ලොකා ලොකා කිය-කියා තවමත් කියවන්නෙ
ඔයාගෙ වරුණේ... තුන් දෙනාම එකයි. මට පේන්න බැරි, මං චුට්ටක් සැර කළත් ලොකාට කියලා යවනවයි
කියල කියන එක... එයාලව කුසෙන් වදපු- එයාලව එංගලන්තෙට ගෙනාපු මට වැඩිය ලොකුයි ඔයාව.”
ආදරෙයි ගවුරවෙයි
බලෙන් ගන්න බෑ. එහෙම ගත්තත් වැඩක් නෑ. ඒවා ලැබෙන විදිහට වැඩ කළාම නිකංම ලැබෙයි. |
මා කලිනුත් කියා ඇත. අපේ අම්මා අඬන්නට ඉතා සමර්ථය. එයා අඬන්නට ගන්නවත් එක්කම නහය
රතු වී- ඉදිමී- බර වෙයි! (ඊට පස්සේ වැවක් පිරෙන තරමට සොටු දියර වගුරයි.)
“ආදරෙයි ගවුරවෙයි
බලෙන් ගන්න බෑ අම්මේ. එහෙම ගත්තත් වැඩක් නෑ. ඒවා ලැබෙන විදිහට වැඩ කළාම නිකංම
ලැබෙයි.”
“ඔය කිව්වේ... ඔය කිව්වේ...
නිකංම ලැබෙනවා නං කෝ? මම මෙච්චර කරනවා මදිද... කවදද රංජි, ඔයත් මගේ පැත්ත ගත්තේ?
ඔයාට දැන්වත් එයාලට කියන්න බැරිද මීට වැඩිය මට සලකන්නයි කියලා. එතකොට එයාලා
අහයිනෙ.”
“අම්මෙ අම්මෙ අම්මේ! අම්මට මතක නැද්ද මම තුන්-හතර වතාවක්ම, අම්මටත් කියල තියෙන
ලියර් රජ්ජුරුවන්ගෙ කතාව. ඇට නැති දිව හොලවලා ඕනි දෙයක් කියන්න ලේසියි. ඒක නෙවෙයි
වටින්නෙ කෙරුවාවයි. තිස්සෙම නොකිව්වත් අපි සේරම අම්මට ආදරෙයි. වෙලාව ආවම අම්මටම ඒක
පෙනෙයි.”
එදා මා කීවේ ඒ
වෙනවිටත් මා තේරුම් ගෙන සිටි සත්‍යයයි.
ඒත් ඒ වෙලාව නොපැමිණියේ නම් වඩා හොඳය!
අම්මාගේ අවසන් අවුරුදු දෙකේදී අම්මාට තිබුණු
අපේ ආදරය දැක ගැනීමේ
වෙලාව හා වාසනාව ඇයට උදා විණි. අවාසනාව ඒ වෙද්දී ඇය ඩිමෙන්ෂියාවට හා පිළිකාවකට
ගොදුරු වෙමින් හිඳීමයි.
නිරෝගීව සිටින
කාලයේදී අපේ අම්මාට උවමනා වුණේ ‘පූච්චානම් බස් ඇසීම’ටයි; රටුනට පෙනෙන සේ වැඳුම්
පිදුම් ලැබීමටයි.
රටුනට පෙනෙන ප්‍රදර්ශනාත්මක ආදරයකි, අපේ අම්මා තම දරුවන්ට පෑවෙත්.
එයට විරෝධය පාමිනි මා ‘එක වැළඳ ගැනීමකට රුපියල් පන්සීය බැගින්’ ඉල්ලා හිටියෙත්. (2018
වසරේදී මා ඒ විත්තිය ‘නිදිගෙ පංච තන්තරේ’ අඩවියට ‘හයටත් කලින් 2’ පෝස්ටුවේ
දී ලිව්වේ මෙහෙමය.)
‘...
ඒ දවස්වල දරුවන් වැලඳ නොගත් අපේ අම්මා දැන් දකින-දකින වාරයක් ගණනේ අප කාවත් බදා ගන්නට ලෑස්තිය. සිප ගන්නට ලෑස්තිය. පුතේ කියන්නට ලෑස්තිය. පරණ කෝන්තරය හිතේ තියෙන; අලියෙකුගේ මතකයක් ඇති මට එයාගේ ඔය වැඩ තුනම
අරහංය.
අම්මා
සාමාන්‍යයෙන් අවුරුද්දකට තුන් වතාවක්වත් ලංකාවට එයි. ඒ එක වාරයකදී අපේ අම්මාට මාව
බදාගත හැක්කේ එක වාරයකි. එතකොට
අවුරුද්දකට බදා ගැනීමේ උපරිමය තෙවතාවකි. එක සංචාර වාරයකදී මා සිප ගැනීමටත් ඒ සංතෑසියමය. ඒ දෙකම මා කන්ට්‍රෝල් කරගෙන
ඇත්තේ අම්මාගේ හිත නොතළාය.
ජීව ගුණය රැකගෙන
මේ ක්‍රමේට... |
“ඔන්න අම්මා ලංකාවට එන
සැරයකදී එක පාරකට වැඩිය මාව ඉඹිනවා නම් හරි, මාව
කිස් කරනවා නම් හරි එක සැරේකට මට රුපියල් පන්සීය ගණනේ ඕනෑ!” මම
නීතියක් දැම්මෙමි. එදා
ඉඳන් මටත් වැඩිය හොඳින් ඒ නීතිය මතක අපේ අම්මාටය...’
ඔය
වගේ කාරණාවල් නිදිගෙ පංච තන්තරේ අඩවියේ (පෝස්ටු 678ක) ලියැවුණේ පහුගිය අවුරුදු 6
තිස්සේ- වරින් වර; කඩින් කඩ. හැබැයි ඒ එකක්වත් ලියැවුණේ එව්වා සිද්ද වෙච්චි අනුපිළිවෙලට
නම් නෙවෙයි.
දන්නවනෙ- එහෙම ලීවා නං රහ අඩු වෙනවා.
ජීවිතේ
එහෙමනෙ- තිර නාටක පිටපතක ලියැවුණු දේවල් නෙවෙයිනෙ සිද්ද වෙන්නෙ. සමහර කාලෙකට දිගටම
ආතල්... කාලෙකට දිගටම අවුල්- කචල්... කාලෙකට එක වැලට සිද්ද වෙන්නේ හරිම බෝරින්;
අප්‍රසන්න දේවල්...
ආන්න
ඒ නිසයි blog අඩවියේ ජීව ගුණය රැකගෙන; අතැනින් මෙතැනින් අරගෙන මේ ක්‍රමේට ලියන්නේ.
පරණ
ෆොටෝස්- ලියුම්- එක එක පන්නයේ සටහන් එහෙමත් මං ඒකෙදි උදව්වට ගන්නවා. ලියන්නේ මගේ
ජීවිත කතාව හින්දා මට නං ඒක හොඳට මතකයි- අවුලක් නැතුව කරුණු කාරණා ගළපගන්නත්
පුළුවනි.
ඒත් සංදුක්කේ කියවන ඔයාලට එහෙම නෙවෙයිනෙ. ඒ නිසාමයි ඔයාලගේ ලේසියට වැඩි විස්තර
හොයා ගන්න ලේසි වෙන්න පෝස්ටුවෙ රතු පාටෙන් links යොදාපු තැන් තියෙන්නෙ. අවශ්‍ය එව්වා
උඩ විතරක් වුණත් click කර-කර කියවන්නත් වෙලාවක් යනවනේ.
මම නං ඒ කාරණාවලුත් ගණන් බලනවා.
ඉතිං,
ඒ නිසාත්- මේ දවස්වල තියෙන අයහපත් කාලගුණය නිසාත් අද වැඩිය දිගට නොලියා ඉන්නයි හිතුවේ.
ඒත් බොලේ... (මේ posts මාලාවෙන් කියන්න යන්නේ 1994 අවුරුද්දෙ නිමල් දිසානායකයා
එංගලන්තෙට ගිය ගමනේ විස්තරයි. හොඳේ!)
‘Sauvage / Wild -2018’ ෆිලුම ගැන ගිය සතියෙ පළ කෙරුණු ‘අමුම අමු; වල් වනචර කතන්දරයක්’
post එකට සහෝදර blog රචක අජිත් ධර්ම මහත්තයා එවා තිබුණු comment එකත් මෙතනට ඔබන්න
හිතුණා. මොකෝ දන්නවද? 1993 කාලයේ එංගලන්තෙ සමාජ- සංස්කෘතික තත්ත්ව ගැන තොරතුරු ටිකක්
එයින් කියැවෙන නිසා.
පස්සේ දැන ගත්ත
ගෙදරින් එලවල තියෙන්නේ සමරිසි නිසා කියල. හෙණ අහිංසකයි. ඒ කාලේ- 1993 එංගලන්තෙත් ගහනවා
ඒ අයට. |
මම padington වල හොටෙල් එකක මැනේජර් වෙලා හිටිය. අවුරුදු 19 ඉංග්‍රීසි
(සුද්දෙක් කියල ඔයාල කියන) කොල්ලෙක් ගෙදරින් එලවල, කවුන්සිල්
එකෙන් අපට එවල තිබ්බ රූම් එකක් දෙන්න කියල. පොර ඇයි homeless කියල මම දැනගෙන හිටියේ නැහැ. එක දවසක් මූ උදේ පාන්දර ලන්කට් එක පිටින් දුවගෙන
ආව. පස්සේ මම දැක්ක එළියට ගිහින් අඬනවා. ඇහුවට කීවේ නැහැ. පොලිසියෙන් ආවහම දැන ගත්තේ.
මූව පිරිමි දෙන්නෙක් අරන් ගිහින් සල්ලි දෙන්නම් කියල. හයිඩ් පාක් එකේ බංකුවක් උඩ රේප්
කරල- ඇඳුනුත් උස්සල.
පොලිසිය දුන්න අවවාදය ආයේ කරන්න එපා කියල. රේප් කරපු දෙන්නව පොලිසිය
හෙව්වේ නැහැ. මූව කවුරුත් ගණන් ගත්තෙත් නැහැ. මට පව් කියල හිතිලා රිපෝර්ට් කළේ නැහැ
කවුන්සිල් එකට.
පස්සේ දැන ගත්ත ගෙදරින් එලවල තියෙන්නේ සමරිසි නිසා කියල. හෙණ
අහිංසකයි.
ඒ කාලේ- 1993 එංගලන්තෙත් ගහනවා ඒ අයට.
මම මේ ෆිල්ම් එක ඒ දවස්වල බලල තිබුණා නම් හෝ
දැන් දන්නා දේ ඒ දවස්වල දැනගෙන හිටිය නම් ඒ දරුවට උදව් කරනවා. මොනව උනාද දන්නේ නැහැ.’
බස්සා මහත්තයත් අජිත්ගේ comment එකට මෙහෙම පෝර දාල තිබුණා.
‘D.G.M බස්සා November 24, 2024 at 3:52 PM
පල්ලිය තමයි ඒ පවුවලට වැඩිය වගකියන්න ඕනෙ. මම හිතන්නෙ කිසිම
ආගමක ඒ ගැන කතා කරන්නෙ නෑ, බාලාපචාර සාධාරණීකරණය කරන ආගම්වල පවා.
ඇලන් ටියුරින්ටත් බැස්ටිය දුන්නෙ එංගලන්තෙ නේද?’
ඊළඟ කොටසෙදි ඉතිරි විස්තර කියන්නංකො, හොඳේ.à