li Item

Monday, April 19, 2021

ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස

විපත සැපතකට හරවා ගන්නට මඟ පෑදී, දෙවෙනි වතාවටත් පරෙයියන් ඇල්ලට යන්නට......

“... මේ මගේ පළමු සෙල්ෆියයි! 2017 මාර්තු මාසයේදී මේක ගත්තෙත් දෙවෙනි දවසේ ඉදිමුම බාගෙට බැස්සාටත් පස්සෙය!! මේකත් මෙහෙම නම් පළමුවෙනි දවසේ කොහොමදැයි හිතාගැනීම....

මට ඒ ලොතරැයිය කිහිප වතාවක්ම ඇදුණේය. ඒ හැම විටෙකම ලියලන හකු ඇටය කප්පාදු කොට, විදුරුමස්වලින් වසා මැහුම් දමනතුරු කට බලියාගෙන ඉන්නටත් සිද්ධ වුණේය....
ඒ mission එකේ බරපතලම කොටස උදාවෙන්නේ දන්ත ශල්‍යාගාරයේ වැඩ ඉවර වුණාමය.
මගේ ලේ කැටි ගැහෙන්නේ නැති තරම්ය.
අර මිෂන් එක අහවරවී දවසක්- දෙකක්- තුනක් යනතුරුමත් මට ඉන්නට වෙන්නේ සමාජයෙන් වසන්වී ගෙනය. ඒ එවැනි දවසක මා දකින කෙනෙකු 119 අමතා ‘ඩ්රැකියුලා ඇවිදින්!’ කියා දන්වන්නට ඉඩ තියෙන නිසාය; හිටි ගමන් මාත් නොදැනුවත්වම මුඛයෙන් නොනවත්වාම ලේ ගලන්නට වෙන නිසාය!

එහෙම වතාවකය මගේ මනදොළ සපුරාලමින්, විපත සැපතකට හරවා ගන්නට මඟ පෑදුණේ!දෙවෙනි වතාවටත් පරෙයියන් ඇල්ලට යන්නට අවස්ථාව එළඹුණේ............

“නිමල් අයියේ... මේ සැරේ කට මහපුවාම ඉස්පිරිතාලේ දවසක් නවතින එක හොඳයි නේද කොයිකටත්?” අයස්මන්ත දොස්තර මහත්තයා ඇසුවේය.

“ඒ මොකටද?” මමත් ඇසුවෙමි. උත්තර ලැබුණේ මට නොවේ. නෙවිල්ටය.

“බලපන් මචං මේ බූරු පයන්නගේ කතාවක හැටි. මේ සැරෙත් තමුසෙගෙ කටෙන් ලේ පෙරෙන්න ගත්තොත් කොහේ ඉස්පිරිතාලෙටද යන්නෙ.... ගෙදර ඉඳන් හම්බන්තොට එන්නද?”

බූරුකම නෙවෙයි පීරා, මේකගෙ තියෙන පණ්ඩිතකම.......

“ආ! දැන්ද උඹටත් තේරුණේ.... බූරුකම නෙවෙයි පීරා, මේකගෙ තියෙන පණ්ඩිතකම.....” නෙවිල් පෝර ගොඩක්ම දැම්මේය.

“විහිළු නෙවෙයි අයියේ.... Dr. ක්‍රිශාන්ත කිව්වා මේ සැරේ මැහුම් ගොඩක් දාල හරි ඔය bone එක හොඳට cover කරන්න වෙයි කියලා. මාස දෙක තුනකට සැරයක් ඔහොම මහනවට වැඩිය, හොඳ නැද්ද එහෙම කරන එක?” 

“පීරා, මෙයාගෙ ඔය ඉලව් හක්ක දිගටම වැවෙන්න ඇරියොත්.... කපලා අඩු කරන්නේ නැතිව?” නෙවිල්ම ඇසුවේය.
“එහෙම වැවෙන්න ඇරියොත් මේකට කට වහන්න බැරි වෙයි.... හැබැයි මචං, එහෙම වෙන්න ඇරියොත් නං නිමල් දිසානායකට කතා කරගන්න බැරිව යනවා ෂුවර්!” එතකොට නං සභාවටම හිනා ගියේය. සභාව කිව්වේ අනෙක් දෙන්නාත් එක්කය. මර්වින් හා ගවීන්.

“අන්න වැඩේ... මචං මාත් කීයක් හරි දෙන්නං. කරමු ඒ වැඩේ!” ඒ මර්වින්.

“හිතේ ඇති මගේ කට වහන්න! ඒකට නං පුතෝ.... තමුසෙලට මැරිලා ඉපදිලා එන්න වෙයි!” ඔහොම කියන අතරේය මගේ ඔළුගෙඩිය අස්සේ විදුලියක් කෙටුවේ. 

ඊළඟ වතාවේ රෝහලට ගියාම හක්ක කපලා මහන්නට වෙයි. දවසක්වත් යනතුරු රෝහලේ නේවාසිකව සිටීම හෝ  රෝහලට කිට්ටුවෙන් සිටීම හෝ කළ යුතුයැයි පීරිස් මහතා සිතයි. ඒ හදිසියෙවත් මගේ මුවෙන් ලේ වහනය වෙන්නට ගනීවි යැයි සැකයෙනි.

මගේම ප්‍රතිකාර ක්‍රම ගැන පීරිස් මහතාටවත් අනෙක් අයටවත් එතරම් විශ්වාසයක් නැත. එක දිගටම වැඩි-වැඩියෙන් පලා වර්ග කෑමට ගත්තාම මගේ ලේ කැටි ගැසීමේ දුර්වලතාව අඩු වෙයි! ඒ කාරණයත් හිතේ තියාගෙනය මං කතා කළේ.  

මට පුදුම ආසාවක් හලෝ තියෙන්නේ, ආයෙම වතාවක් පරෙයියන් ඇල්ලට ගිහින් එන්න.

“අපි මෙහෙම කරමුද මහත්තයෝ... එදාට වැඩේ ඉවර වුණාම අපිට බැරිද මොනරාගලට යන්න....” very polite විමසීමක්.... ආචාරශීලී tone එකක්....

(උවමනා වෙලාවට ඇති පදම් නිහතමානී වෙන්නට හැකියාවත් මට තිබේ. කොයි හස්ති රාජයාත් ඡන්දදායකයා ළඟට මනාපය ඉල්ලාගෙන එන කාලයේදී, කරන්නෙත් ඒ ටිකමයිනේ.)

“මොකෝ? තමුසෙගෙ කවුරු හරි ඉන්නවද මොනරාගල?” නෙවිල් කඩා පැන්නේය. කැත්තට පොල්ල වගේ ඒ tone එකෙන්ම උත්තර දීලා නං ‘මගේ වැඩේ’ කරවාගන්නවා බොරුය.

“පොඩ්ඩක් ඉවසලා ඉන්නවකෝ අනුරසිරි මහත්තයා... ඔන්න, අපි පුළුවන් තරම් ඉක්මනට පිටත් වෙලා යනවා පරෙයියන් ඇල්ල බලන්න. හ..රි..ද? ..... බල...ලා ඒ කිට්ටුවම කොහේ හරි නවතිනවා.... රෑට bleed වීමක් නොවුණොත් ඒ පැත්තෙන්ම කොළඹ යනවා.... පහුවදා උදේට....

-මට පුදුම ආසාවක් හලෝ තියෙන්නේ, ආයෙම වතාවක් පරෙයියන් ඇල්ලට ගිහින් එන්න. මැරෙන්න කලින්...”

කාගේත් හිත උණු වුණා වගෙය. ඉස්ස්ස්සෙල්ලාාාාාාම මර්වින්. “පව් මචං පීරා. උගෙත් ආසාවනේ...” ඊළඟට ගවීන්. “නිමල් අංකල්, එහෙම යනවා නං මාත් ආසයි ඇවිත් බලන්න. මමත් එහාට ගිහිල්ලා නෑ.”

තීන්දුව ගත යුත්තේ අයස්මන්ත මහතාය.

“මෙච්චරයි. තමුන්නාන්සෙගෙ ශ්‍රී මුඛය මහලා පැය තුන-හතරක්වත් යනකල් අපි හම්බන්තොට ඉන්න ඕනි. එතකොට bleed වීමක් නැතිනං විතරයි අපි බුත්තලට යන්න පිටත් වෙන්නේ..... කොහොම වුණත් එදා මෙයාගෙන් සෑහෙන තරමක් ලේ ගිහින් තියෙද්දී ඔය කැලෑ අස්සේ රිංගන්න බෑ ළමයි.... (ඒ ආමන්ත්‍රණය අනෙක් තිදෙනාටය. මේ මටය.)
යුෂ්මතා! ටෞකන්නෙ නැතිව අපිට මළ ඇණයක් නොවී, රෑ තිස්සේ ලේ පෙරාගන්නෙ නැතිව හිටියොත් විතරයි, උදේට ඇල්ල බලන්න යන්නේ.... ඔය ඔක්කොම වෙන්නේ බ්ලඩ් clot වෙන විදිහ උඩ.... හරිනෙ? එහෙම වුණොත් විතරක්, සාදර අනුග්‍රහය ටිං ටිං, අයස්මන්ත පීරිස්!”

“මම මඟදී හම්බ වෙන්නං. ඒ කිට්ටුව අපේ ඥාති නංගි කෙනෙක් ඉන්නවා...” අසංග කීවේය.
“එතකොට අපි බුත්තල කොහෙද ඉන්නේ?”

ගමන දෙකට-දෙවාරේ හින්දා නවාතැනක් වෙන් කරගැනීම අපරාදේය. “ඒ වැඩේ මම බාරගන්නං.” මම කීවෙමි.

“මම බාර ගන්නං කියලා තමුසෙ නාන්න නං ලෑස්ති වෙන්න එපා.... තමුසෙයි, දොස්තරයයි, මර්විනුයි ඕනි මඟුලක්... ගවීන් මල්ලී, මොකද කියන්නේ.... අපි දෙන්නා හීනියට සප්පායම් වෙලා නියම ආතල් එකක් ගන්නත් එපැයි....”
“මොනවද කියන්නේ....මේ මම නෙවිල් අංකල්ට බෑ කියනවද කවදාවත්?”
“මෙන්න නියම කොල්ලෝ! දාපං ගවීන් මල්ලී පහක්!!”

ඒ වතාවේ හම්බන්තොට රෝහලට යන්නත් කලින් මං කතා කළේ බිබිලේ අසංග ලක්ෂ්මන් හිතවතාටය. (නිල්ගල ගමනෙදී අපේ මාර්ගෝපදේශකයා වුණේත්, එක්ගල්ඔය පන්සලක ධර්ම ශාලාවේ වැඩ අපේ සහයෙන් නිමා කරවද්දී සියලුම වගකීම් කරට ගත්තෙත් මේ අසංගයි.)

සේරම විය-නොවිය හැකිතාවන් මම අසංගට කීවෙමි.

“හරි නිමල් අයියේ... ඔයාලා හම්බන්තොටින් පිටත් වෙද්දී මට කියන්න. ඔයාලා එනවා නං මම මඟදී හම්බ වෙන්නං. ඒ කිට්ටුව අපේ ඥාති නංගි කෙනෙක් ඉන්නවා... එහෙ නවතින්න පුළුවන්.... ෂුවර් නැති බවත් එයාට කියලා තිබුණම ඉවරයිනෙ. එතකොට හදිසියේ එනව නං හෙම ඔයාලට කෑම?”

“අපි මඟ කඩේකින් කොත්තුවක් හරි අරගෙන එන්නං... නංගිලගෙන් උදේටත් තේ එකක් විතරක් ඇතියි කියන්න.....” කටයුතු එකලාසයක් වුණේ එහෙම කරන්නටය.

ආයෙමත් වතාවක් පරෙයියන් ඇල්ලට යන ගමන කෙරෙහි තිබුණු ආසාව නිසා ඒ සති දෙක තුනේ මම එළුවෙක් වීමි. උදේ- දවල්- රෑ- තුන් වේලේම මගේ කෑම පිඟාන කොළපාටින් පිරී තිබ්බේය. කොහොමද මගේ පෙර සූදානම?

අරක්කු නිසා set වෙන යාළුකම් මුරුක්කු තරම්වත් හයිය නැහැ කියලා...

හකු ඇටය කප්පාදු කරලා, විදුරු මස්වලින් ආවරණය කොට මැහුම් දැමුවාට පස්සේ.... එදා මගේ දිවා ආහාරය වුණේ කිරි පැකට් එකකි. රෑට ඇඟිලි තුඩුවලින් කුඩු කළ ස්පන්චියක් හා කිරි පැකට්ටුවකි. ස්පන්චි කුඩු ටික ගිල්ලෙත් කටේ එක පැත්තකින් විතරය; පැයක් විතර තිස්සේ, හරිම පරෙස්සමට- සීරුවටය. එහෙම කරලාත් රෑ නවය විතර වෙද්දී මගේ මුවට අර අප්‍රසන්න මළකඩ රස දැනෙන්නට ගත්තේය.

එතකොට අප හිටියේ අසංගගේ සහෝදරියට අයත් නිවසේය; බඩල්කුඹුරේය.

මෙච්චර දුරක් ඇවිදිනුත් වැඩේ වකූර් වෙන්නට එන විදිහය.

කටට මළකඩ රහ දැනෙන්නේ ලේ ගලන්නට පටන් ගත්තාමය. අප්පිරියාව නිසා හරි කෙළ ගසන්නට ගියොත්, කට හෝදන්නට ගියොත් ඉවරය. එහෙම කළොත් ලේ වහනය වීම තවත් වැඩි වෙයි.

‘අරක්කු නිසා set වෙන යාළුකම් මුරුක්කු තරම්වත් හයිය නැහැ කියලා වෙරි බැස්සම තේරුම් යනවා!’ මේ ළඟදි දවසක fb පෝස්ටුවක තියෙනවා දැක්කෙමි. යාළුකම් මුලින් ඇතිවී පස්සේ set වුණාම දැනෙන්නේ කොහොමද?
රෑ නවය විතර වෙද්දී; මුලින් යාළුකම් ඇති කරගෙන- පසුව set වෙන්නට පුරුදු වුණු නෙවිල්ලා පුංචි මධු සාදයකට ‘ස්ටෙලා’ වෙමිනි, හිටියේ.

මං එතැනට ගෑටුවේ අයිස් කැට දෙක තුනක් අරගන්නටය. “ඒයි බලපංකො මචං වීරයට කෙළවිලා ඉන්න හැටි! දඩිබිඩියේ කටේ කෑම පුරෝගත්ත දඹුල්ලෙ රිලවෙක් වගේ... තමුසෙගෙ කටේ මොනවද ඔය පුරෝගෙන ඉන්නේ.... දෙන්නද මුරුක්කුවක්?”

අන්න මතං අපේ චාන්ස් එක.... අපි මොනවා කිව්වත් පොරට බනින්න බෑ!

“පිස්සුද මචං? මේ යකාට මුරුක්කු දෙන්න හදන්නේ? .... මිනිහට මුරුක්කු හපන්න හොඳද. නිමා කොලුවට කතා කරන්නත් බැරුව ඉන්නෙ මචං. ගෝස් කෑලි ඔබලා තියෙන්නෙ කට පිරෙන්නම.... මොකෝ නිමල් අයියේ, bleed වෙනවද?” නෙවිල්ට උත්තර දුන් අයස්මන්ත ඉන්නේ හොඳ විමසිල්ලෙනි.

රුධිර වහනය වෙන බව කිව්වොත් ලෙඩකි.  මං ඔළු භාෂාවෙන් නැහැයි කියා, හස්ත මුද්‍රාවෙන් අයිස් කැට දෙක-තුනක් ඉල්ලුවේ වෙනසක් නොපෙන්වමිනි.

“අන්න මතං අපේ චාන්ස් එක.... අපි මොනවා කිව්වත් පොරට බනින්න බෑ!”  එතැන හිටි අපේ එක යාළුවෙකුට ‘මචං’ කියවෙන්නේ ‘මතං’ කියලාය.
ඒ විත්තිය උලුප්පන්නටවත් එවෙලේ මගේ කට අරිනු බැරිය!

“නිමා කොලුවො, යුෂ්මතා ගිහින් නිඳා ගන්නවා! මුන් drink එකක් ගත්තට මම යන්තම් ෂොට් එකක් දා ගන්නව විතරයි.... මොනව හරි වෙනසක් තියෙනව නං.... දන්නවනේ, ටක් ගාලා කියන්න ඕනි!” අයස්මන්ත කිව්වා වගේම කළේය. රෑ මැද්දේත් දෙතුන්-වතාවක්ම ළඟට ඇවිත් ‘කොහොමද’ කියලාත් ඇසුවේය.
මර්විනුත් එහෙමය. (ඔයාලා දෙන්නාම එදා රෑ මගේ ගැන එහෙම විමසිලිමත්ව හිටියාට ගොඩක් ස්තුතියි!)

“නිමල් අයියා දන්නවද, යුෂ්මතා සෙල්ලමට ගත්තට අපි කොච්චර සැකෙන්ද හිටියේ කියලා? එදා රෑ මට drink එකක් ගන්නත් නෑ... එදා කල් ඇතිවම මම ඩොක්ටර් ක්‍රිෂාන්තගෙන් ඇහුව, අපි කරන්න හදන වැඩේ ගැන... අපරාදෙ කියන්න බෑ, ක්‍රිෂාන්ත මොනරාගල හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙකුට කිව්වා.... මෙහෙම ලෙඩෙක් හදිසි bleed වීමක් වෙලා එන්න පුළුවන් කියලත්.

-මමත් හෙණ alert එකේ හිටියේ!” අයස්මන්ත හිතවතා අපේ ගමනේ තිබුණු අවදානම ගැන හෙළිදරව් කළේ පස්සේ දවසකය.

... පාන්දරම ගත් ෆොටෝවකි. (එතකොට ඉදිමුම තරමක් අඩුවී ගොසින්ය.)

කාටවත් නොකීවත් මාත් ඒ ගැන නොදැන හිටියා නොවේ!

සිදු වෙන්නට හැකි ‘නරකම දේ’ත් අනුමාන කළ නිසා, මං ගෙදරින් එද්දීම අමතර bed sheet එකක් අරගෙනය ආවේ. ඒ හිස තියන කොට්ටය ඔතන්නටය. පසුවදා පාන්දර වෙද්දී, කොට්ටය ඔතා තිබුණු ඒ ඇඳ ඇතිරිල්ල තෙමෙන තරමට ලේ ගලලාය. නමුත් ඉෂ්ට දේවතාවන් අසරණ ගැත්තාගේ දිහා බලලාය; පාන්දර වෙද්දී, ලේ ගැලීම නැවතිලාය.
මං ඉක්මනින්ම ඒ ලේ වැකුණු ඇතිරිල්ල ඔතා, බෑගයට එබුවේ මිනීමරුමක සාක්කි වසංගනවා වගේය; කාටත් රහසෙනි.

ගවීන්, අසංග, නෙවිල් තුන්දෙනා නම් රෑ තිස්සේ මගේ ගැන වද නොවූවෝහ.

උදෙන්ම නම්, එයාලාට හොඳ කට ගැස්මක් වී තිබ්බේ මගේ ඉදිමුණු මුහුණය.
ඔවුන් විඩෙන්-විඩේ, එක-එක කෝණවලින් මගේ foto ගත්තේ මාව තවත් අවුස්සමිනි. “ඉන්නවා... ගෙදර ගිය ගමන් මේවා සේරම fb එකට දානවා.... තමුසෙ චීත්තවාහිනියට අපේ ඒවා දාන්නේ.... තමුසෙගෙ කට විරවෙලා- කෙළවෙලා ඉන්න foto අපිවත් යාළුවන්ට පෙන්නන්න එපැයි!”

“අන්න වැඩේ මචං.... නිමලෝ, ඔන්න උඹට කෙළවෙන්නයි යන්නේ!” එහෙම වෙලාවට මර්විනුත් ඒ ගොඩට එකතු වෙන්නේ එක පයින්මය!

“තමුසෙලා කියන්න ඕනි නෑ. මගේ foto එකක් මමම දාන්නං!” කෙඳිරි ගාමින්- නැවතිල්ලේ හෙමි-හෙමිං කියූ මම, කියූ ලෙසම කළෙමි. (මෙතැනටත් යොදන්නේ පාන්දරම ගත් ඒ ෆොටෝවකි. එතකොට ඉදිමුම තරමක් අඩුවී ගොසින්ය.)

තිබුණු ආසාව නිසාම දෙවෙනි වතාවෙත් පරෙයියන් ඇල්ලට ගියේ එහෙමය; මට තිබුණු බැරි-අමාරුකම් මොකුත්ම නොපෙන්නා හංගා ගෙනය. (මේ පෝස්ටුව හැකිතාක් පරිපූර්ණ එකක් කර ගන්නට, ඒ දෙවෙනි ගමනෙදී ලබාගත් අවබෝධයත්- ඡායාරූපත් ඉවහල් වෙයි.)

ඉතිං, එහෙම නම් දැන් අප යා යුත්තේ 1999 අවුරුද්දේ අප්‍රේල් මාසයටයි.
මතකයි නේද, පළමු ගමනෙ විස්තර නැවත්තූ තැන. කට්ට අව්වේ කුඩයකුත් ඉහලාගෙන, ඉලුක්- මානා පඳුරු අස්සෙන් මැණික් ගං ඉවුරට පා ගමනින්.... ඒ ගමනට තිබුණු එකම උදව්ව මැකී යමින් තිබුණු අඩි පාරකි.

අපිද යකෝ පාර අහගත්තෙ? තමුසෙමනේ!

“අර තියෙන්නේ!”

“අර තියෙනවා තමයි, ගඟ.... කෝ මිනිහො ඇල්ලක්?”
“පොඩ්ඩක් හිටපල්ලකො ඔය දෙමළ මීටරේ නවත්තලා....” එක්කෙනෙක්  කන්දීගෙන ඉඳලා බැලුවේය. “.... ඇල්ලක් තියෙනවා වෙන්න ඕනි ටිකක් පහළින්.... සද්දෙ ඇහෙනවා.... පාර කියපු මිනිස්සුත් කිව්ව නේද, ගඟේ එහා පැත්තට ගිහිල්ලා පල්ලෙහාට යන්න පුළුවන් කියලා....”

“අපිද යකෝ පාර අහගත්තෙ? තමුසෙමනේ!”

“කොහෙද ඒවා මතක් කරගන්නවත් දෙනවයැ වෙලාවක්....” චෝදනා ලැබූ වාසනාවන්තයා වටපිට බලද්දී දෙතුන්දෙනෙක් ගලින්-ගලට පනිමින් ගඟෙන් එගොඩට ගියහ; සෝදිසි කළහ.
“මේ පැත්තෙන් මිනිස්සු පල්ලෙහාට ගිය පාරක් තියෙනවා.... අපි බලාගෙන එන්නං!”

එයාලාට බලාගෙන එන්න වෙලාවක් තිබ්බේ නැත. හැම දෙනාම ඒ පස්සෙන් ගියහ.

පරෙයියන් ඇල්ල බලන්නට දැන් යන අයට, ගඟ ළඟටම යන්නට පඩි පෙළක් බැඳ තිබේ. ඊළඟට වම් අතට හැරී, ගං ඉවුර දිගේ පහළට යන්නට වෙයි. ඒ මිහිකත සිප ගන්නට හිතා බිමටම ඇද වැටුණු රූස්ස ගස් උඩින් පනිමින්- යටින් රිංගමින්ය; වැටකෙයා පඳුරු මඟ හරිමින්ය; ගඟ ඉදිමී දෙගොඩ තළා යන කාලයට සාදන ගැඹුරු වළවල් තරණය කරමින්ය. තරමක් වෙහෙසකර ගමනකි!

පළමු වතාවේ ඇල්ල බලන්නට යද්දී අපට පහළට යන්නට වුණේ ගඟේ දකුණු ඉවුර දිගේ පහළටය.

“ෂා මාරයිනේ!”, “හෙණ ගති හලෝ!”. තරමක් පහළට බැස හොඳින් දිය ඇල්ලේ අසිරිය දුටු විට අපේ කාගෙනුත් පළ වුණේ එහෙම ‘විස්මයාවහ ප්‍රකාශන’ය.
ඒ දවස්වල අපේ නඩේ කැමරාකාරයන් වැහි වැහලා වගෙය. (එයාලා ඒ දවස්වල ගත්තු fotos තමාය නැත්තේ. ආයෙ මොකටද එයාලගේ නම්-වනම් හෙළිදරව් කරලා කතන්දර අහගන්නේ.) කැමරාකරුවෝම හතර දෙනෙක් හෝ පස්දෙනෙක් එකතුවී, පරෙයියන් ඇල්ලට ට්‍රයිපොඩ් එක මානන්නට පටන් ගත්තෝය.

කෙළින්ම වතුරට පනින්නට බලාගෙනය එදා ගියේ. මේ අලි නාවන තරමේ වළවල් වතුරෙන් වැහිලාය එදා තිබුණේ...

“අම්මට සිරි නිමල් අයියේ, අර!” කැමරා අතේ නැතිව හිටි නදී පෙන්නුවේ පහළට එමින් සිටි තවත් කිහිප දෙනෙකුවය. “... තව නඩයක් ඇවිත්... උනුත් නාන්න ඉඳියි වගේ.... එන ගමන් අපි බලපු නාන්න නියම පොට් එක උන් අල්ල ගනියිද දන්නෑ..... නිමල් අයියේ.”

ඔබ දැනටමත් දනී. මා පෙර ආත්මයක දියකාවෙකු වෙන්නැතිය.

“නදී, මේගොල්ල foto අරන් එනකොට හැට පැයක් යයි. අපි තුන්-හතර දෙනා ඉක්මනට උඩහට ගිහින් එතැනට බහිමු....” මම යෝජනා කළෙමි.
නදීලාත් එක පයින්මය. අපි යළිත් උඩට යන්නට... යන්නට? යන්නට නොවේ, දුවන්නට පටන් ගත්තෙමු. එවෙලේ අපේ ඒකායන පරමාර්ථය වී තිබුණේ පරෙයියන් ඇල්ලේ ඉහළ කොටසේවූ තරමක් ඉඩකඩ සහිත තැනක් අපේ කර ගැනීමය.

ආත්මාර්ථකාමී චේතනාවක්... කැත හිතක්....
“චේතනාහං භික්ඛවේ - කම්මං වදාමි’. චේතනාවම කර්මය වෙයි. එදා නං වුණේ නරක  චේතනාව ‘කරුමය’ක් වීමයි. කරුමය මට පටිසන් දීමයි!

ගැටවර වියේ හිටි නදී, චූටි මල්ලී, ධම්මික තුන් දෙනාම මටත් වඩා කඩිසරය. එයාලා දිව්වේ මට ඉස්සරහිනි. මං පරක්කුය. මගේ පරක්කුව තවත් වැඩි වුණේ අතරමඟ නැවතී කමිසයත්, කලිසමත් උනා දැමූ බැවිනි. යට ඇඳුම පිටින් ගියාම, කෙළින්ම වතුරට පනින්නට ඇහැකිය.

මාරයා දත් විළිස්සමින්, මං එහෙම කරන දිහා බලාගෙන ඉන්නට ඇතුවා නිසැකය!

අතේ තිබුණු කුඩය දමාගෙන ගෙන හිටි ෂොපින් බෑගය දිග හැර, කමිසයත්- කලිසමත් එයට ඔබන්නට ගියාම බෑගයේ ඉඩ මදිය. බෑගය කුඩාය. කුඩය එළියට ගත් මම, ඇඳුම් දෙක බෑගයට එබුවෙමි. දැන් එක අතක නවන කුඩයයි. අනෙකේ ඇඳුම් දැමූ ෂොපින් බෑගයයි.

මාරයා දත් විළිස්සමින්, මං එහෙම කරන දිහා බලාගෙන ඉන්නට ඇතුවා නිසැකය!

ඒ වැඩි වැඩේ කරන්නට ගිහින් සිදු වුණු පමාව අල්ලා ගන්නටත් එක්කලාය, මං ‘හනුමා’ වගේ ගලින් ගලට පනින්නට වුණේ.
හනුමා වන්නමේ කියන විදිහට ඌ 
ගිරෙන් ගිරට පැන්නේ අරුණෝදයේයි; ‘ගිරෙන් ගිරට පැන ලැගුම් සොයා පුබුදමින් අරුණ කල මා’. මං පැන්නේ මද්දහනෙයි. එතකොට රාහු කාලයද? මරු සිටින දිසාව කොහේ විණිද?

16 comments:

  1. Hmmmmm. Wijebahu

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විජේබාහු මහතාණෙනි!

      Delete
  2. හුඟක් ඉස්සර මට මේ ප්‍රශ්නෙ ආව.

    https://www.realself.com/question/arlington-va-extra-bone-growth-side-chin

    සර්ජරි එකේදි නිකටට යටින් කපල හම උස්සල නිකටෙ බෝන් ග්‍රෝත් එක මට්ටම් කරල හම ඇදල මහල. කැපුම් කැලල තාම තියනව

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ, මට මේ ප්‍රශ්නය ආවේ සොල්ට්‍රොනික් ඇසිඩ් එන්නත දෙන්නට පටන් ගත්තාට පස්සේ. ඒක දෙන්නේ පිළිකා නාශක බෙහෙත්වලට ඇටකටු දිරන නිසාද කොහෙද. එතකොට ඇටකටු ශක්තිමත් වෙනවා විතරක් නෙවෙයි, විවෘතව තියෙන තැන්වලින් ලියලනවා...

      Delete
  3. මේ දවස් වල උඹලගේ ඩයලොග් නිසා බ්ලොග් එන්න කලින් ඩේටා ඉවර වෙනව , එපා වෙලා ඉන්නේ

    ReplyDelete
  4. මාරයාට උනත් ඔයා ඉන්න හැටි දැක්කාම පව් කියලා හිතෙන්න ඇති. හරියකට කෑමක් බීමක් කරගන්න බැරුව, ඒ මදිවට හරියකට කතා කර ගන්නවත් බැරිව ඉන්න කෙනෙක් දැක්කාම පව් කියලා නොහිතෙන්නේ කාටද?
    මේ සිද්ධිය කොහොම සිදු උනත්, ඔයාගේ යාළුවෝ කට්ටිය නම් " ‘අරක්කු නිසා set වෙන යාළුකම් මුරුක්කු තරම්වත් හයිය නැහැ කියලා වෙරි බැස්සම තේරුම් යනවා!’" කියන ගණයට අයිති වෙන අය නොවෙයි. ඒ කට්ටිය එහෙම අය උනා නම්, පංච තන්ත්‍රය ලියන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. සේරම සැටිපිකේට් ඇත්ත, සෑම් මහත්තයෝ.

      මේ හිතවතුන් නොහිටියා නං මම මෙලහකටත් පස් යට තමයි. අදටත් මාව පණ පිටින් තියාගන්න ඕනි එයාලටයි. මේ යක්කු මට යන්න දෙන්නෙම නෑ!

      Delete
  5. මේ තරම් හොඳ යාලුවො ඉන්න නිසා තමයි බෝනස් එකක් ලැබිලා තියෙන්නෙ. ඒක 'වැරදි බෝනස් එකක්' නෙවෙයි. අර ස්ටීව් ජොබ්ස් කියලා තියෙනවා වගේ ආපසු හැරිලා ජීවිතේ තිත් යා කරගත්තම තේරෙයි බෝනස් එක හරියටම හරි කියලා.

    ReplyDelete
    Replies
    1. මටම පුදුමයි Lotus.

      මේ 17 වෙනිදා අපි හිටියේ නකල්ස් අඩවියේ තංගප්පුවේ. එතැන ඉඳලා කොබට්ස් ගැප් යනතුරු කිලෝ මීටර් 7ක් හයික් එකක් යන්න කට්ටිය තීරණේ කළා. මම නිසා වේගය ඩුවෙන එකවත් එයාලා හිතුවේ නෑ. මාත් ගියා. ඒ ගමනේදී යන-එන කිලෝ මීටර් 14 දීම කට්ටිය- 26 දෙනාම; වැඩියත්ම බැලුවේ මං ගැනයි. කොයිම වෙලාවකවත් මට තනි වෙන්න දුන්නේ නෑ.

      සෑම්ට කිව්වා වගේ තමා. මේ යක්කු මට යන්න දෙන්නෙම නෑ!

      Delete
  6. කලින් එකයි මේකයි දෙකම බැලුවෙ හරි අමාරුවෙන්. ඔය කපන කොටන එව්වා බලන්න මට ටිකක් අමාරුයි, දත් හිරි වැටෙනවා. පෝස්ට් එකේ වරදක් නෙමෙයි, ඒ අපේ හැටි.

    බොරු කියන්නෙ මොකටෑ, හැබැයි, ප්‍රාජේ උන්නාන්සෙගෙත් හොම් බ රිවට් කරපු කතාව දැක්කාම නං, මට හිනහා ගියා.

    ReplyDelete
    Replies
    1. බස්සා මහත්තයෝ, 1999 කාලේ මාත් තමුන්නාන්සේ වගෙමයි. ඉන්ජෙක්ෂන් එකක් ගහන්න නෙවෙයි, බරවාවලට පරීක්ෂණ සඳහා රෑට ගෙදරට ඇවිත් ඇඟිල්ලෙන් ලේ ගනිද්දීත් කෙඳිරි ගානවා.

      ඒකටත් එක්ක දැන්. පහුගිය මාර්තු 15 වෙනිදා කෙරෙන පරීක්ෂණවලට ලේ ගන්න ගියාම කටුව දිගේ ලේ එන්නෙ නෑ. අත් දෙකේ තැන් අටකට වැඩිය විදිනකල් උහුලාගෙන ඉන්න වුණා.

      Delete
  7. හපොයි ඇල්ලක් බලන්න කාල තියෙන කට්ටක්.

    ReplyDelete
    Replies
    1. කට්ටේ හොඳම එක. තව ඉස්සරහටයි ප්‍රසන්න....

      Delete
  8. උන කියන්නෙ සහලෝප උන.
    කකුලක් බැදගන මීමුරේ ගිය විදිය මතක් උනාග මලාකට ස්කූටර් එක්කට නගින්නැති මම කිමි 300කට එහා පදින්න හිත හදාගත්තු විදිය මටත් පුදුමයි.

    කාලෙකින් ආවෙ.

    ReplyDelete
    Replies
    1. කාලෙකින් ආවත් මධු ඔයාලව අමතක වෙලා නැහැනෙ!
      එහෙම්ස ආවාම උදව්වකුත් කරන්න ඕනිනේ. ඔය උණ ටිකක් කපලා විකිනුවොත් ගණනක් හොයා ගත්තහැකි... වෙසක් ළඟ නිසා කූඩු හදන්න ගනියිනේ....

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්