ඇල්ලට focus කරගෙන
හිටි නිසා කිසි කචල් එකක් නැතිවම තමුසෙගෙ මාරක පිම්ම අහු වෙනවනෙ..... |
‘තවත් තරුණ ජීවිතයක් පරෙයියන් ඇල්ලට බිලි වෙයි’
‘මුද්‍රණ කළමනාකරුවා පරෙයියන් ඇල්ලෙන් පල්ලට!’
'යුවති කිරිල්ලී නවකතා කතුවරයා පරෙයියන් ඇල්ලට බිලි වෙයි!'
එහෙම හෙඩිමකින් 1999 අලුත් අවුරුද්ද දවස්වල පත්තර සැරසීමේ chance එක missවී ගියේ නූලෙනි.
“අපරාදේ හලෝ! නියම ෂොට් එකක් ගන්න තිබ්බා.” නෙවිල්
කිව්වේය.
“... අපි ට්‍රයිපොඩ් එහෙම මානලා, ඇල්ලට focus කරගෙන හිටි නිසා කිසි කචල් එකක්
නැතිවම තමුසෙගෙ මාරක පිම්ම අහු වෙනවනෙ වැටුණ නං!”
“මචං, ඕකට තමයි කරපු පව් මේ ආත්මෙදිම පළ දෙනවා කියන්නේ!
මූ චණ්ඩියා වගේ කයිවාරු ගගහා ආවනේ එක දිගටම ගම් කුකුල්ලු පණහක්-හැටකුයි කළුකුම්ලා
වගේකුයි බෙලි කපලා මරපු හැටි කිය-කියා.... ආන්න... දිට්ඨ
ධම්ම වේදනීය විදිහටම කර්මේ පළ දුන්නා!” මර්වින් බොතේජු හිතවතා කළේ ධර්ම දේශනයකට
අවස්ථාව උදා කර ගැනීමයි.
නිමල් දිසානායකට පෙළක් වෙලාවට මොළේ කළඳක්වත් නැතිව යන බව
අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. එදාත් වුණේ ඒකය. මොට්ට මගේ පිම්මක් වැරදී ගියේ....
මැණික් ගඟට වැටුණේ....
දිය සුළියකට හසු වුණේ...
‘දැනුත් මොට්ටයෙක් වෙන්නද හදන්නේ? ඔහොම තැනින්-තැන නෙවෙයි මිනිහෝ, කොනක ඉඳලා කතාව
කියහං. එතකොටයි තේරෙන්නෙ.’ නිමල් දිසානායකගේ මොළයේ බුද්ධිමත් කොටසෙන් අණාඥාවක්
නිකුත් වෙයි. මම කීකරු වන්නෙමි.
“කොහෙද ප්‍රියන්ත, එක්ගල් ඔය කියන්නේ?” මම
ඇසුවෙමි. |
“කොහෙද එක්ගල් ඔය කියන්නේ?” මම ඇසුවෙමි.
“අම්පාරට මෙහා.... මොනරාගලට එහා. සියඹලාණ්ඩුවෙන් වමට යන්න ඕනි....” ප්‍රියන්ත
ඉසව්ව කිව්වේ මට විස්තර හොයාගැනිල්ල පහසු කරවමිනි.
එතකොට ගූගල් අක්කා කරළියට ඇවිත් නැතිවා වෙන්නැති!
ශ්‍රී ලංකාවේ ලොකු සිතියමකි, රට පුරාම යන්නට අපට පාර පෙන්නුවේ. සිතියමේ ආරක්ෂකයා; අයිතිකාරයා;
නිසි බලධරයා වෙලා හිටියේ මං වහන්සේය.
“මතකයිද මචං, නිමල් සිතියමෙන් බලලා යන්න ඕනි direction එක කියලා ඉවර වෙලා, කෝකටත් පාර අයිනේ ඉන්න කෙනෙකුගෙනුත් අහල බලමුයි කියනවා...” මේ ළඟදීත් ප්‍රියන්ත ඇසුවේය. ඒ අපේ කට්ටියක්, ඔහුගේම වාහනයෙන්- හිතවත් වෛද්‍ය ශිරන්ත පෙරේරාගේ නැන්දනියගේ අවමඟුල් ගෙදර එක්කං යද්දීය. කලින් වතාවකත් අවමඟුලකට අප එහාට ගිහිල්ලා තිබ්බත්, ඒ මහ රාත්තිරියකය.
“සාන්ත, ශිරන්තට කියනවද location එක එවන්නයි කියලා....”
ප්‍රියන්ත කීවේ කිංස්ලි සාන්ත මස්සිනාටය; බබීතා නංගිගේ සැමියාටය.
“අයියේ, ශිරන්ත ඇඩ්‍රස් එක නං එව්වා... බො..ක..රමුල්ල...ගොඩ!”
මොබයිලයට එබීගෙන ඉඳලා ටිකකින්ම සාන්ත කිව්වේය.
“ඒ මොන ගොඩක්ද යකඩෝ?”
“බොකරමුල්ලගොඩ- උළුවිටිකේ....”
කලින් පාර බණ ගෙදර එද්දී නං, මට මතකයි.... |
බබීතා නංගී මතකය අවදි කෙරෙව්වේ බැරිම තැනදීය. “අයියේ...
කලින් පාර බණ ගෙදර එද්දී නං, මට මතකයි පෝද්දල වගේ නමක් කිව්වා වගේ!”
ප්‍රියන්තගේ බිරින්දෑ; රසිකා නංගිත් නෑනාට උදව් කළාය. “.... පාර අයිනේමනේ ඒයි
ගෙවල් තිබුණේ....”
“පේනවා නේද නිමල් දිසානායකගේ map එකේ වටිනාකම? ඒක තිබ්බා
නං කිසි ප්‍රශ්නයක් නැහැනෙ....” නෙවිල් අනුරසිරිත් හොට දැම්මේය. “.... ඇත්තටම
කොහෙද හලෝ දැන් ඒ හම්පඩ map එක?”
“හම්පඩ? හරි නං ඒකට මල් තියල වැඳලා, හඳුන්කූරු පත්තු කරන්න වටිනවා යකෝ....” ඒ
මහත්තයාගේ ඉස්මුඳුනටම දුන්නු මගේ ප්‍රහාරයේ සැර නිසාදෝ, එතකොට නෙවිල්ටත් කාරණයක්
මතක් වුණේය.
“ඊයේ රෑ නදීලාත් මළ ගෙදර ආවලු... ගාල්ලටම ඇවිල්ලයි ආවා කිව්වේ. කිලෝ මීටර් හයයිද කොහෙදලු කියලත් කිව්වා.....”
“කොයිකටත් එහෙනං පෝද්දල පාරේ යමු!” ප්‍රියන්ත තීරණය
ගත්තේය. සාන්තත්, බබීතා නංගීත් අප යන පාරේ වම් පැත්තේ කඩ-සාප්පුවල බෝඩ් කියවන්නට පටන්
ගත්හ. දකුණු පැත්තේ board කියවීම මගෙනි.
.... ලකුණක්වත් අපට හම්බ වුණේ නැත. “පෝද්දල කියලා නං
බෝඩ් තිබ්බා...”
“මේ පැත්තෙත් එහෙම බෝඩ් නම් තිබුණා නිමල් අයියේ.”
“ශිරන්තට කතා කරන්න බැරිව ඉන්නවා ඇත්තේ..... පාංශුකූලේ දෙන්නේ ගෙදරමනේ...”
“කමක් නෑ... තව ටිකක් ඉස්සරහට ගිහිල්ලම බලමු!”
වැඩි දුරක් යන්නට වුණේ නැත. පාර අයිනේම අප සෙවූ අවමඟුල්
ගෙදර තිබුණේය. හැබැයි, බොකරමුල්ලගොඩක අංශු මාත්‍රයක්වත් අපට හමු වුණේ නැත.
දෑවැද්දට හම්බ වෙච්චි ඔප්පුවක
වෙන්න ඇති ඔය බොකරගොඩ තිබ්බේ! |
පරෙයියන් ඇල්ලට යන කාලේ; 1999, සිතියම විතරක් නොවේ අපට
මඟ පෙන්නුවේ. පුවත්පත්වල පළවූ සංචාරක සටහන් ලිපි! මගේ ළඟ ඒවාත් එකතු කෙරෙමින්
තිබිණි. ඒ දවස්වල ‘තරුණයා’ පත්තරේ හැම කලාපයකම එවැනි විශේෂාංග ලිපියක් වැරදුණේ
නැත.
‘තරුණයා’ පත්තරය දිගටම මිලදී ගත්තේ කුමුදුලාල්ය. (කාලි
අම්මා ටීචර්ගේ පුතා!) කුමුදු ඒ ලිපි සේරම මට
ගෙනත් දුන්නේය.
මම ඒ ලිපි ගොඩෙන් අම්පාර, මොනරාගල පැත්තේ තොරතුරු
හොයන්නට පටන් ගත්තෙමි. එකක් හමු වුණේය. දෙවැන්න මතක් වුණේය. එක: පත්තර සටහනකි!
තව ඩිංගෙන් මට මරු කැඳවන්නට හේතුකාරකවූ ඒ තීරණාත්මක විශේෂාංග ලිපිය තරුණයා පත්තරේ
පළ වුණු එකකි. මට හොඳට මතකය; ලේඛකයා රොඩ්නි විදානපතිරණ මහත්මාය.
මගේ පණ කෙන්ද බේරුණාට, ඒ ලිපිය පරෙයියන් ඇල්ලට බිලි වුණු
හින්දාය එහි foto එකක්වත් මෙතනට යොදාගන්නට බැරි!
මතක් වුණු තොරතුර ‘නෙල්ලි කැලේ’ පාඩමය. මට මතක හැටියට නං
‘සිංහල හත හෝ අට හෝ පොතේ’ පළමු පාඩම ‘නෙල්ලි කැලේ’ වුණේය. අනේ, ඒ පාඩම කෙරෙද්දී මං
නම් හිටියෙම නෙල්ලි කැලේ අස්සේ කරක් ගසමිනි.
ඒ සිංහල පාඩම කළේ, අතිදක්ෂ ගුරුවරියක වුණු එම්.පී. පෙරේරා ටීචර් වෙන්නට ඕනෑය.
මං හරි නම්, මගේ මතකයත් හරි නං, මහරගම
‘විද්‍යාකර විද්‍යාලයේ’ ලොකු පන්තිවලට සිංහල
ඉගැන්නුවේ ඇයයි. පහළ පන්තිවලට සිංහල ඉගැන්නුවේ එන්.එම්. පෙරේරා ටීචර්ය. (ඇය
විමලසිරි පෙරේරා කිවිඳුන්ගේ ප්‍රිය බිරියයි.)
තෙවෙනි සිංහල ගුරුතුමිය ‘වීරසිංහ ටීචර්’ය.
නෙල්ලි කැලේ පාඩම අවසානයේ
තිබුණු ‘දිගාමඬුල්ලේ
ආශ්චර්යය’ ඔස්සේ
ගිහින්... |
එන්.එම්. පෙරේරා ගුරුතුමිය ඒ තිදෙනාගෙන්, වඩාත්ම රූමතියයි.
වීරසිංහ ටීචර්ව මට මතක තියෙන්නේ කට සැර- උස මහත කෙනෙකු හැටියටය. හතේ පන්තියේදී විය
යුතුය. මොකක්දෝ පාඩමකදී අපේ පන්තියේ අනවධාන සිසු මිතුරෙකුට ඇගෙන් ප්‍රශ්නයකි. “
... කියනවා බලන්න .... මොනවද තියෙන්නේ?” මිතුරා අන්ද-මන්දව කීවේ ‘කපු’ කියලාය.
“කපු නෙවෙයි පුක!” වීරසිංහ ටීචර් කීවාය.
විද්‍යාකර විද්‍යාලයයෙන් ආයෙමත් නෙල්ලි කැලේට නොගිහිං
බැරිය!
නෙල්ලි කැලේ පාඩම අවසානයේ තිබුණු ‘දිගාමඬුල්ලේ ආශ්චර්යය’
ඔස්සේ ගිහින් ඒ පොත් දෙකමත්, 1999 වෙද්දී
මගේ සන්තකයට අරගෙනය තිබ්බේ.
ඒ දවස්වල හැම සෙනසුරාදාම වාගේ අපේ කට්ටියේ හමුවක් අපේ
ගෙදරදී පැවැත්වුණේය. ඒ එකතුවට පැමිණි බොහෝ දෙනෙකු දැන් හැළී ගිහින්ය; ඒ එයාලා නොරට
ගිහින් සිටින බැවිනි. ඒ නඩයෙන් දැන් set එකටත් ඉතිරිවී ඉන්නේ ප්‍රියන්ත, මර්වින්,
නෙවිල්, අජන්ත විතරයි වගෙය.
එතකොට අයස්මන්ත පීරිස්, ශිරන්ත පෙරේරා, එම්.සී. පෙරේරා, අරුණලාල් පෙරේරා දොස්තර
මහත්වරු අපේ නඩයේ ප්‍රොබේෂන් අවදිය ගෙවමින් සිටියහ.
ඒ කාලේ අපේ ගමන් සගයන්වූ නදී, මංජු, චූටි මල්ලී සසිත,
ධම්මික, සඳුන්, රංග හය දෙනාමත් දැන් ඉන්නේ පවුල් පිටින් ගමන් යන කණ්ඩායමේය. මට මතක
හැටියට නම් මේ හය දෙනාගෙනුත් පස් දෙනෙක්ම ඒ තීරණාත්මක ගමනට එක් වූහ.
පාන්දරම කොළඹින් පිටත්වී, උඩවලව හරහා ගිහින්
තණමල්විලට.....
“කෝ.... පීරිස් ඇවිත් නැහැ නේද, තවමත්?”
“ඒක නේන්නං.... කිව්වේ නං තණමල්විලට ඇවිත් ඉන්නවා කියලයි.... බලමුද ගෙදරට කෝල්
එකක් දීලා....” නලින් කිව්වේය. එයිනුත් පලක් වුණේ නැත.
අපි බැන්දට පස්සේ ආව
ඉස්සෙල්ලම අලුත් අවුරුද්ද. බැඳල මාස හයක්වත් නෑ. |
ඒ තීරණයට එළඹෙන මොහොත උදාවෙනතුරු ගතවුණු කාලය අතරතුරේ,
රොඩ්නි විදානපතිරණ මහතාගේ ‘පත්තරේ විස්තරේ’ හැමෝටම කියවන්නට අතින්-අත ගිහින්ය.
“ගිහිල්ලා බලන්නත් වටින තැනක් වගෙයි....” සුක්කානමේ හිරවී හිටි ප්‍රියන්ත කොළ
එළියකුත් පෙන්නලාය. අප තණමල්විලෙන් පිටත්ව යන අතරේ ප්‍රියන්ත මඟ සලකුණුත්
අහගත්තේය.
“මේකෙ කියන විදිහට නං බුත්තලින් බඩල්කුඹුරට යන පාරේ යන්න
වෙනවා.....”
එදා වගේ නොවේ. දැන් නම් පරෙයියන් ඇල්ලට යන පාර හොයාගැනීම
ලෙහෙසිය. පාර අයිනේම පුවරු පවා සවිකොට තිබේ.
‘.... එතැන් සිට දුන්හිඳයාය ගම්මානය හරහා වැටුණ අඩක් කොන්ක්‍රීට්
කරන ලද පාර දිගේ කි.මි. 2 ක් ගමන් කළ පසු හමුවන බෝ ගහ හන්දියෙන් ඔබ
හැරිය යුත්තේ දකුණටය. එතැනින් ගල් පඩි පෙළ බැස, ගඟ දිගේ ඉහළට යන්න යැයි මඟ අසන
ගැමියකුගෙන් උපදෙස් ලැබෙනු ඇත. ගඟ දිගේ ඉහළට යන්නැයි පැවසුව ද ඔබ යා යුත්තේ ගං
ඉවුර දිගේ උඩහටය.’ මුහුණු පොතේ සටහනක
පරෙයියන් ඇල්ලට මඟ සලකුණු දක්වා තිබුණේ
එහෙමය.
එය මෑත කාලීන සටහනකි.
අප එහි ගියේ 1999 අවුරුද්දෙය.
ඒ අවුරුද්ද මොකක්දැයි හරියටම නිච්චි නැතිවය,
මං හිටියේ. “පීරිස් මහත්තයෝ! ඔයා අපි එක්ගල් ඔයට ගිය පළවෙනිම trip එකට එනවයි කියලා
පොල්ල තිබ්බනේ. ඒ ගැන මතකයිද?” මේ පෝස්ටුව ලියන්නට සැරසෙන විත්තියක් නොකියා, මම
ඇසුවෙමි.
මැණික් ගඟ ඉවුර දිගේ වනාන්තරය මැදින් කිලෝමීටර් භාගයක් පමණ පහළට
ගමන් කළ විට දිය ඇල්ල...... |
පොටක් පෑදුණේ එහෙමය. “ඔයාලා බැන්දේ....?”
“අනූඅටේ දෙසැම්බර් 21.” පීරිස් කිව්වේ දිනයත් එක්කලාමය.
ඒ ඔත්තුව එක්ක බලද්දී, අප පරෙයියන් ඇල්ල ගමන
ගියේ 1999ය.
එතැනට යන මඟ, 2005 අවුරුද්දේදී මුද්‍රණයෙන්
පහරවන ලද ‘ශ්‍රී ලංකාවේ දියඇලි’ පොතේ 324 පිටුවේ නම් විස්තර කරන්නේ මෙලෙසිනි:
‘බඩල්කුඹුර නගරයේ සිට බුත්තල මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ ගමන්කොට, පුන්සිසිගම
හන්දියට ඔබ්බෙන් දකුණු පසට දිවෙන ගම්සභා පාරේ කිලෝමීටර් 2ක් පමණ ගමන්කොට මැණික් ගඟ
ඉවුර දිගේ වනාන්තරය මැදින් කිලෝමීටර්
භාගයක් පමණ පහළට ගමන් කළ විට දිය ඇල්ල හමුවේ. මේ සඳහා සැකසුනු නිශ්චිත මඟක් නොමැති
නිසා උක් සිටුවන කාලයේ සහ වැසි කාලයේදී මාර්ග දුෂ්කරතා ඇතිවේ.’
ඒ සටහන ලියා තිබෙන්නේ පොතේ කතුවර ධර්මන් වික්‍රමරත්න මහතාය.
පාර අයිනේදී හමු වුණු කිහිප දෙනෙක් එදා අපට
මඟ සලකුණු කීහ.
“ඔය පාර අයිනෙ ඉඩ තියෙන තැනක මිදුලෙන් වෑන් එක දාලා මහත්තැන්ලට පයින් තමා යන්න
වෙන්නේ... උක් කපලා ඉවර වුණාට පස්සෙ කැලෙත් වැවිලා තියෙන්නේ. වල් වැවිලා නිසා
වළවල්, කානු පේන්නෙත් නැහැනෙ. ගස් කපපු උලක් ඇනෙන්නත් පුළුවනි ටයර්වල..... ඒකයි
වෑන් එක දාලා පයින් යන එක හොඳය කිව්වේ...” අපට හරියාකාර උපදෙස් ගොඩක් ලැබිණි.
එනිසාමය ඉඩකඩ තිබුණු මිදුලක අපේ වෑන් එක
නවත්තලා, අප රොත්තම පයින් ගමන පටන් ගත්තේ.
පයින් ගමනත් ලේසි-පාසු එකක් නොවිණි.
දහවල් එකොළහට විතර නිසා, කට්ට අව්ව! ගිනි රත් වුණු වියළි හුළඟ!! දණක් උසට වැවී
තියෙන ඉලුක්-මානා-ගඳපාන පඳුරු....
යා යුතු ඉසව්ව පෙනුණා මිස, අඩුම තරමේ අඩි පාරක්වත් එවක එහි තිබුණේ නැත!
පඩ show එපා! |
“ඒයි මචං, මූ කොළඹ හතෙන් ආව එකෙක් වගේ...
ගමට පේන්න කුඩේකුත් ඉහලාගෙන. පඩ show එපා මල්ලී. උඹට sunglass එකකුත් ඕනිද නිමල්?”
මට එහෙම කතන්දර කියන කෙනෙකුට ඒ නඩේ හිටියේ මර්වින් විතරය. ඔහොම කතාබහ හින්දාය
මැණික් ගඟ ළඟටම යන තුරුත් වෙලාව ගත වෙනවා අපට නොදැනුණේ.
මැණික් ගඟ? ඔබට අමුත්තක් හිතුණාද?
එදා නම් අපට ඒ බව මතක් වුණේ නැත. මැණික් ගඟේ නම ඇසුණු පමණින්ම ‘කතරගම’ මතකයට එන
නිසාදෝ අපට එහි සුලමුල සිහි වන්නේ නැත.
දැවැන්ත කුඹුක් ගස් රැසකට වැඩෙන්නට පරිසරය
සකසමින්; කතරගම වන්දනාවේ යන අනන්ත සංඛ්‍යාත බැතිමතුන්ගේ දාහය නිවන්නට- පැන් සනහා
පිරිසිදු වෙන්නට උදව් දෙමින්; නිසොල්මනේ ඇදී යන මැණික් ගං කොමළිය....
ඇගේ දිගු ගමන අරඹන්නේ සුන්දර නමුණුකුල කඳු වැටියෙනි. එතැන් සිට ලතාවකට ගලා
ඇවිදින්ය, බඩල්කුඹුරේදී මීටර් 22ක් උස පරෙයියන් ඇල්ල නිර්මාණය කරන්නේ.
නුදුරු අනාගතයේදීම අපට මේ දිය ඇලි නැතිව
යනවා සිකුරුය.
“අනේ මහත්තයෝ, ඒ ඉස්සර. දැන් තදට වහින්න
පටන් ගත්තොත් නං ඔය දිය ඇල්ල
බලතහැකි, ඒත්... වැස්ස පායලා සුමානයක් හමාරක් යනකොටම වතුර නැතිව යනවා!”
2020 වසරේදී මොණරාගල දිස්ත‍්‍රික්කයේ ඇති විවිධ වර්ගවලට
අයත් ගස් හැටතුන්දහසක් පමණ කැපීමට අවසරදී.... |
ඊයේ පෙරේදා මට කියවන්නට ලැබුණේ එවැනිම හද
කකියවන කතා කිහිපයකි.
‘පසුගිය 2020 වසරේදී මොණරාගල දිස්ත‍්‍රික්කයේ ඇති විවිධ වර්ගවලට
අයත් ගස් හැටතුන්දහසක් පමණ
කැපීමට අවසරදී ඇති බව වාර්තා වේ.....
... දැව හෙළීම
සඳහා වැඩිම කැපුම් අවසර බලපත‍්‍ර දී ඇත්තේ සියඹලාණ්ඩුව,
මොනරාගල,
වැල්ලවාය,
බිබිල, මැදගම සහ
බඩල්කුඹුර යන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් බවද වාර්තා වේ.’
ඒ විතරකුත් නොවේ. දැන් අලුත් සෙල්ලමකුත් පටන්ගෙන
තියෙනවා වගෙය. දැවැන්ත කුඹුක් ගස්වල ‘පොතු වටයක්ම’ ගලවා දමමින් ඒවා මරෙන්නට සලස්වන
ක්‍රමයක්.... අනේ, ඉස්සර හිටි වෘක්ෂ දේවතාවන්ට මොනවා වෙලාද? රට රකින්නට, පරිසරය
රකින්නට වගකිව යුතු දෙයියෝ පල් වෙලා වෙන්නැතිය!
ඉතිං...
ධර්මන් වික්‍රමරත්න මහතාගේ ‘ශ්‍රී ලංකාවේ
දිය ඇලි’ පොතේ සිරිලක දිය ඇලි 382ක් ගැන කියවෙයි. උසේ අනුපිළිවෙල අනුව බලනවා නං,
පරෙයියන් ඇල්ල වැටෙන්නේ 141-147 අතර ඒවායින් එකකටය. එහෙම වෙන්නේ මීටර් 22ක් උස දිය
ඇලි හතක් තියෙන නිසාය.
(ඩයගම ‘බේකර්ස්’, කුරුවිට ‘මලන්කන්ද’, වැලිමඩ ‘මානා’, කළුපහනේ ‘ලංකා’, බදුල්ලේ
‘වේවැස්ස’, අයගම ‘සිපිරිමල’ කියන්නේත් මීටර් විසිදෙකේ ‘දිය ඇලි සුන්දරියන්’ය.)
දැන් නම් පරෙයියන් ඇල්ලට යන පාර එදාට වඩා
වෙනස්ය; දියුණුය.
.... ඒ ගමන ආපහු යැවුණේ
නොසිතූ විදිහටය. අද එතැන වෙනස්වී;
දියුණුවී... |
ඒ වෙනුවෙන් විශේෂයෙන්ම ස්තුති කරන්නට
වෙන්නේ, මුල්ම ගමනේදී එනවාය කියා නෑවිත් හිටි අයස්මන්ත පීරිස් හිතවතාටය.
“පීරිස් මහත්තයෝ, හම්බන්තොට ගිහින් එන දවසක
එමුකො මොනරාගල පැත්තෙන්!” කිහිප වතාවක්ම මම පින්සෙන්ඩු වීමි. “පිස්සුද යකෝ. මොන
එහෙකටද එහෙන් එන්නෙ....” එක පාරම උදැල්ල දැම්මේ ‘local නසාර්’ නෙවිල්ය. එහෙම
ගිහින්-ගිහින් වාසනාවෙ දාදු කැටය මගේ පැත්තට පෙරළුණේ 2018 දීය; එපාම කරපු
වේදනාවකුත් එක්කමය.
මතකයි නේද? වැරදි බෝනස් එක - 14 පෝස්ටුවේ මෙහෙම කොටසකුත් ලියවුණා.
“මිස්ටර් නිමල්, දැන් මේ ට්‍රීට්මන්ට්ස්
කරගෙන යද්දී ඔයාට ‘සොල්ට්රෝනික් ඇසිඩ්’ ඉන්ජෙක්ෂන් එකත් දෙන්න
වෙනවා. මාසෙකට එකක්. මොකද ඔයාගේ ඇටකටු දිරන එක නවත්තා ගන්න. හැබැයි, ඊට ඉස්සෙල්ලා යන්තමට හරි
නරක් වෙලා තියෙන දත් සේරම ගලවන්න වෙනවා. නැතිනම් පස්සේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙයි!”
දොස්තර රොහාන් පුල්ලෙපෙරුම
මහත්තයා අනතුරු ඇඟෙව්වේය. තිබුණු දත්වලින් තුන හතරක්ම මට නැති වුණේ එතැනදීය.
ඒත් සේරම හරි ගියේ නැත. දත් ගැලෙව්වාට මගේ හකු ඇටය සම්පූර්ණයෙන්ම විදුරුමස්වලින් වැහුණේ නැත!
“හොම්බ රිවට් වෙන්න දෙනවා” “හක්ක කැඩෙන්න ගහනවා!” වගේ කුප්පන කතන්දර, කේන්ති
ගියාම සමහරුන්ට කියවෙයි. ඒත් ඒක නොකෙරෙන; කරන්නට
බැරි දෙයකි.
ඇයි ඒ? මනුස්ස ශරීරයේ වැඩියෙන්ම සවි-සක්තිය තියෙන්නේ ‘හකු ඇටයට’ය. යටි
හනුවටය. කියවෙන විදියට නම් කකුලේ ‘ජංඝාස්ථිය’ වගේ 12 ගුණයක්
යටි හනුව ශක්තිමත්ය !
මේ 2017දී මගේ ‘I Pad’ එකන්
ගත් පළමු හා එකම සෙල්ෆියයි! |
අයස්මන්ත මහත්තයා හම්බන්තොට රෝහලේ ‘දන්ත වෛද්‍ය අංශයේ’ ලොකු මහත්තයාටම කතා කළේය. මාව පෙන්වන්නට වෙලාවක් යොදා ගත්තේය. දොස්තර කේ.අයි. සමරනායක මහත්තයාත් බොහොම හොඳට, උනන්දුවෙන් මා පරීක්ෂා කළේය.
“මිස්ටර් නිමල්ගේ හක්ක ලියලනවා. විදුරුමස්වලින් කවර් වෙලා නැති තැන්වලින් හකු ඇටය ලියලලා. ඒ වැවුණු තැන කපලා, මට්ටම් කරලා, විදුරුමස් ඇදලා අරන් කවර් කරලා මැහුම් දාන්න වෙනවා!” ඩොක්ටර් ක්‍රිශාන්ත කිව්වේය.
කියන විදියෙන්ම පෙනුණේ ඒක මහ යමර වැඩක් බවයි. ගෙවන්නට කරුමයක් තියේ නම් එය ගෙවන්නම වෙයි. නැතිව උරච්චි කරලාවත් ඒක ගෙවාගන්නට බැරිය.
හම්බන්තොට ඉස්පිරිතාලයේ දන්ත වෛද්‍යාගාරයේ ගිලන් ඇඳ උඩ දපාගෙන කල්පයක විතර කාලයක් ඉන්නට මට සිදු වුණේ එහෙමය.
අමාරුම වුණේ මකර කට වාගේ ‘හායි ගාලා’ කටත් ඇරගෙන ඉන්නට වීමයි. විස්තර ඕනෑ නැත. මගේ මුහුණ දෙකවී තිබුණු හැටි දැක්කාම ‘සෙල්ෆියක්’ අරගෙන තියන්නට මට සිතිණි.
මේ මගේ ‘I Pad’ එකන් ගත් පළමු හා එකම සෙල්ෆියයි! 2017 මාර්තු මාසයේදී මේක ගත්තෙත් දෙවෙනි දවසේ ඉදිමුම බාගෙට බැස්සාටත් පස්සෙය!! මේකත් මෙහෙම නම් පළමුවෙනි දවසේ කොහොමදැයි හිතාගැනීම....”
Usual beating around the bush, main story is yet to come? Wijebahu
ReplyDeleteඔව් විජේබාහු මහත්තයෝ.
Deleteවටේ පඳුරු තලන්න වෙනවා සමහර දෙනා ගැන කිව යුතුම නිසා. අනෙක ඒ හැමෝමත් මගේ ජීවිත අත්දැකීම්වලට එක එක යුගවලදී හවුල් වුනු අයනෙ.
ඊළඟ කාරණේ මගේ වත්මන් අත්දැකීම් ගැන වෙනමම ලියන්න හිතාගෙනත් නැති එකයි. ඒ නිසා වැදගත් දේවල් අතීත සිදුවීම් එක්කම ඉදිරිපත් කරනවා, ඔබතුමාලට වෙහෙසක් වගේ දැනුණා වුණත්!
සුභ අලුත් අවුරුද්දක්!
ReplyDeleteකැලේ හයික් එකක් යනකොට කුඩ ඉහලන අයත් ඉන්නවා නේද??
අසූවේ දශකයේ මුල, බදුල්ලේ දුම්රියපොලේ රනිං ෂෙඩ් එක පැත්තෙන් මයිලගස්තැන්නට (මතක හැටියට ලංකාතිලක වත්ත තමයි පඩිපෙළ අවසානයේ තිබුනේ) යන පඩි පෙළ මටත් හොඳට හුරු පුරුදු තැනක්.
අවුරුදු සුබ පැතුම් පිරිනමන්නට නං අරක්කු වැඩි වුණා සෑම්!
Delete12 රාත්‍රියේ කැලේ යන්න ගියා. සේනානායක සමුද්‍රය අයිනේ කොස්සපොල කඳවුරු බිමට. එතැනින් නකල්ස් පැත්තට. තංගමලේ සිට කිලෝ මීටර් හතක් කොබට්ස් ගැප් එකට පා ගමනින්. ආපහුත් ඒ ටික බැස්සා. 18 මහා රෑ ඇවිත්, අද තමයි බ්ලොගය ගැනත් හෙව්වේ,
රනින් ෂෙඩ් එක අයිනෙන් තිබුණු අඩි පාරේ තැන් කිහිපයක තිබුණු පඩි ගැන විතරයි මට මතක. එතැනින් ගොඩවී පන්සල අයිනෙන් තියෙන පාරත් දැන් කොන්ක්‍රීට් කරලයි තියෙන්නේ. අපේ ගෙවල් හරියෙන් උඩහට මම ගිහිල්ලම නැහැ. ආයෙ බදුලු ගිය වෙලාවක තමයි සෝමා පුන්චිගෙන් ලංකාතිලක වත්ත ගැන අහගන්න ඕනි.
අමතක වුණා. එදායින් පස්සේ නං මම කුඩ ඉහලුවේම නැහැ. ඊයේ පෙරේදාත් හයික් එක යද්දී නං අව්ව සැර හින්දා තුවායක් ඔලුවේ දාගෙන ගියා.
Deleteප්‍රධාන කතාව කියවන්න ට මග බලා සිටිමි!
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා!
ගොඩක් ස්තුතියි මහත්තයෝ!
Deleteහෙටානිද්දම ඊළඟ කොටසත් දාන්නම්!
https://en.m.wikipedia.org/wiki/Femur
ReplyDeletehttps://en.m.wikipedia.org/wiki/Mandible
යටි හනුව මුහුණේ ශක්තිමත්ම අස්ථිය කියලයි කියන්නෙ මගෙ හිතේ
https://expandusceramics.com/qa/why-is-the-mandible-the-strongest-bone.html
DeletePra Jay මහත්තයෝ, ස්තුතියි කියන්නේ නැතිව ප්‍රශ්නයක් අහන්නං.
Deleteමං ඉතිං මැට්ටා නිසයි අහන්නේ. කොහොමද මෙච්චර සාර්ථක විදිහට , ඕනිම විෂයයකට අදාළව links දෙන්නේ?
https://developers.google.com/search/docs/beginner/how-search-works
Deleteගොඩාරියක් ස්තුතියි Pra Jay මහත්තයෝ. හොයන අයට ප්‍රයෝජනවත් වෙනවා සිකුරුයි!
Deleteමැණික් ගඟ දිගේ නෙමෙයි මහරගම වටේ තියෙන පඳුරු ටිකත් තලලද කොහෙද අදනං. හැක්..
ReplyDeleteනි.දි. මහත්තයට සුබ අලුත් අවුරුද්දක් වේවා !
ප්‍රසන්න, දන්නවනේ ඉතිං... නිදිට තියෙන links ගොඩ.... ඉතිං ඉබේම වටේම පඳුරු තැලෙනවා.
Deleteසතියක්ම ගෙදර හිටියේ නැහැ. වල් වැදිලා. හැබැයි ඔයාලත් එක්ක බෙදා ගන්න වටිනා තරම් අත්දැකීම් ගොඩක් ලැබුණා!
ඒත් ඔන්න පරක්කු වෙලා අවුරුදු සුබ පැතුම් පතනවා සේරම රසික- රසිකාවන්ට!
ඒ ෆොටෝ එකේ ඉන්න කෙනාගෙ පෙනුම වරදක් නැහැ. (ඔලුවත් චුට්ටක් විතර ඉදිමිලා නේද).
ReplyDelete'එම්.පී. පෙරේරා ටීචර් තරමක් කළුය. ඒ නිසාදෝ නිතරම ඇන්දේ කර පියවූ හැට්ටය'. මොකක්ද ඒ උපකල්පනයෙ අදහස. කලු අය ඇඟ පෙන්නන්න අකැමතියි වගේ එකක්ද. ලංකාවේ තාමත් ඒ වගේ stereotypes තියෙන එකනම් හොඳ මදි.
ඔව්නේ Lotus, මගේ ඔළුව ඇත්තටම ලොකුයි. හැබැයි ඉදිමිලා නෙවෙයි. උපන් කැත!
Deleteමායි අපේ ලොකු නංගියි ගත්තු foto එකක ඒ විත්තිය හොඳටම තිබුණා. පොස්ට් එකකටත් දැම්මා. link එක දෙන්න බැරි වැඩ ගොඩ ගැහිලා නිසා, හොයන්න වෙලාව මදි නිසයි .... එන සති අන්තෙත් දවස් තුන-හතරක ගෙදර ඉන්න නොවෙන නිසා ඔයාලට කියවන්න පොස්ට් එකක්වත් ලියන්නත් ඕනිනේ.
එම්.පී. පෙරේරා ටීචර් වැඩිපුර කාන්තා ලාලිත්‍යය දායාද කරගෙන නොතිබුණු කෙනෙක්. ඒ නිසාද මන්දා අර විදිහේ හැට්ට ඇන්දේ. හැබැයි Lotus දැන් නම් ලංකාවේ හුඟ අයත් තමන්ට ගැළපෙන විදිහට ඇඳුම්- වර්ණ- විලාසිතා ගලපා ගන්නවා. ඒත් සුදු වෙන්න නම් ගොඩ අය කැමතියි!
එයාලා සිත්කළු පාට ගැන තවම දන්නෙ අඩුවෙන්!
හක්ක ඉදිමුනු පොටොව දැක්කාම මතක්වුනේ බොලිවුඩ් ප්‍රහසන නළු කාදර් කාන්ව (Kader Khan)
ReplyDeleteඅනේ අසංග මහත්තයෝ. කාදර් කාන්ව හොයලා බලනවා පස්සේ.... මාවත් නළු බට්ටෙක් කරාට ගොඩක් ස්තුතියි, හොඳේ!
Delete