එහෙව් ආදරයක්, ඕනෑම බරක් දරා ගන්නට; ඕනෑම දුකක් දරා ගන්නට අවශ්‍ය ශක්තිය..... |
එදා
ඩගී මගේ ‘එපා’කීමට
කීකරු වී බස් නැවතුමේ සිට බලාගෙන සිටි අයුරු තවම මගේ ඇස් දෙකේය. ඔහොම ඒවා මට තදින්
මතක හිටියි.
අපට එහෙම
මතක හිටින්නේ මොන වගේ දේවල්ද?
ඊට පසුවදා
උදේම දීඝායු අතරමඟට වෙලා බලා උන්නේය. ‘නිමා, එහෙනං ඔයා මේක පරෙස්සමෙන් එස්ට
දෙනවද?’ කියා අහන ගමන් ලියුමකුත් මගේ අතට දුන්නේය. දීඝායුගේ වචනවල ඒ මොහොතේ ගැබ්ව
තිබුණු ආදරණීය ස්වරය තවමත් මගේ සවන් යුග ඇතුළේ නින්නාද නංවයි. ඒ හඬ ඒ තරමටම
සෙනෙහෙබරය.
එහෙත් එසේ ආදරණීය වූයේ මා වෙනුවෙන් නොව එස් වෙනුවෙන් බව එදාත් මට වැටහුණේය; ඒ වැටහීම නිසාම, දුකකුත් හිතුණේය!
දැන් මම
දනිමි.
ආදරයට සුදු-මුදු-සිනිඳු කළ නොහැකි දළ-රළු-ගොරහැඩි දෙයක් තිබෙන්නට බැරිය.
රසවත් කළ නොහැකි; සුමිහිරි කළ නොහැකි නීරස-අමිහිරි දෙයක් තිබෙන්නට නොහැකිය!
ඇත්තය. එහෙව් ආදරයක් ඕනෑම බරක් දරා ගන්නට; ඕනෑම දුකක් දරා ගන්නට අවශ්‍ය ශක්තිය අපට
ලබා දෙයි. මට තිබෙන ප්‍රශ්නය නම් ‘එවන් ආදරයක් වුවත්, නොනැසී; අඛණ්ඩව දිගු කාලයක්
පවත්වා ගත හැකිද?’ යන්නයි.
විපරම
කෙරුණේ මගේ දෙනෙතින් විතරය. |
කවදාවත් දීඝායුගෙන් ඒ ගැන ඇසුවේ නැතුවා වුණත්, තවමත් මගේ හිතේ ඒ කහට පැල්ලමේ
ඡායාවක් ඉතිරිව තිබේ!
දීඝායුගේ ඒ ලියුම
දුන්නාම එස් පෑ හිනාවත් මට මතකය. මා කාටත් රහසින් එස්ට ලිපිය දුන්නත්, එස් මට
ස්තුති කරද්දී බට්ටිත් එතැන හිටියාය. ‘එහෙනං මෙයාටත් කියලයි තියෙන්නේ.’ මට සිතිණි.
ඉතිං ඒ
පෙම්වතුන් දෙන්නාට ‘පුළුවන් විදිහකින් උදව්වක් කරන්නට’ හිත හදා ගත්තත්, මගේ හිතේ
පිරී තිබුණු දුක තුනී වුණේ නැත.
දීඝායුට රිදවන්නට හෝ අවැඩක් වේවායි සිතන්නටවත් උවමනාවක් මට නොවිණි. නමුදු ඔහු
වෙනුවෙන් මගේ හිතේ තිබුණු ඉඩ පිළිබඳව කියා ගන්නට බැරි තරම් තරහක් මට තිබිණි; මගෙත්
එක්කම උපන් තරහක් මට තිබිණි. සමහර දුකක වුව මිහිරක් ගැබ්ව තියෙනවාවත්ද? තිත්ත
කරවිල ගෙඩිය කාගෙන සිටින පණුවාට ඒ තිත්ත දැනෙන්නේ රසයක් විදිහටලු නේද....
“මගේ ලියුම
දුන්න නේද?”
හැන්දෑවේ මාව දැක්ක ගමන් දීඝායු ඇහුවේ ඒකය. ‘දැන් ඉතිං හැමදාමත් මෙහෙම තමා!’ මට
සිතුණි.
එදා ඩග්ලස්
පෙනෙන්නටවත් නොසිටියේය. විපරම කෙරුණේ මගේ දෙනෙතින් විතරය.
එයාට
ආසයිලු ඔයාගේ නැටුමක් බලන්න! |
එතකොට ඒ බස් නැවතුම තිබ්බේ හයිලෙවල් පාරෙන් නුගේගොඩ පරණ පාරට හැරෙන තැනම තියෙන
පල්ලිය ඉස්සරහය. ඩගීගේ හිනාවට මගෙනුත් හිනාවක්; ප්‍රශ්නයකුත්....
“කොල්ලා
අදත් ටියුෂන් පන්ති ගියේ නෑ වගේ... හවස මං ඔයාව දැක්කෙ නැහැනේ...”
“අපිව
පෙනෙයිද... අර භූතයාව විතරනේ නිමල්ට පේන්නෙ....”
“ඔයා හිතන විදිහේ මොනවත් නෑ.... එයා මට ලොකූෟෟෟෟෟ උදව්වක් කරපු කෙනෙක්....” මට
කියැවුණේ හිතන්නෙවත් නැති කඩිනමකිනි.
“මේ මේ... මට
ඌ ගැන වැඩක් නෑ... මට ඔයාටත් උදව්වක් වෙන දෙයක් කරන්නයි ඕනි. මම ඊයෙම ඔයාට කිව්වේ
සීරියස් වැඩක් තියෙනවයි කියලා.... ඔයාව ගමනක් එක්ක යන්න තියෙනවයි කියලා.”
“ඒකටමද ඩගී මේ තකහනියේ මං එනකල් බලා හිටියේ....”
“ඔන්න. ඔන්න... පොඩ්ඩ බැරි වෙන්න බැහැනේ ඔයත් එක්ක.. ඔයාට විතරක් නෙවෙයි, ඒ උදව්ව
කරන්න යන්නෙ... මගේ තව යාළුවෙකුටත් එක්කම...”
ඩග්ලස් එහෙම
කියද්දී නං මටත් කුතුහලයක් දැනුණි.
“තව
යාළුවෙකුටත්?”
“කලබල වෙන්න දෙයක් නෑ නිමල්. මම අඳුරන මහත්තයෙක් ඔයාව දැකලා.... එයාට ආසයිලු ඔයාගේ
නැටුමක් බලන්න.” ඩග්ලස් කිව්වේය.
“මං
නැට්ටුවෙක්ද?”
මං එහෙම අහනකොට නං ඩග්ලස් ටිකාක් විතර පසු බැස්සා වගෙය. එයා ගැළපෙන වචන තේරුවා
වෙන්නට ඇති....
ඒ
මහත්තයා එයාගේ කාර් එකෙයි එතකොට ඉඳල තියෙන්නේ... එයාට ඕනිලු ඔයාගේ වැඩේ... |
“මම ආසාවට පේව්මන්ට්වල නටන්නේ නෑ ඩගී....
ඒකාංගික නාට්‍යයක් පෙන්නලා කවි පොත් විකුණනවා...” එතකොටත් මං කරන දේවල් ගැන හංගා
ගන්නා පුරුද්දක් මට නොතිබුණා විය යුතුය. ඊටත් වඩා අපේ දුප්පත්කම ගැන කිසිම
ලජ්ජාවක් මට නොතිබුණා විය යුතුය.
“හරි! ඒ වුණාට වෙනම ඇඳුමක් ඇඳලනෙ ඔයා....” ඩගී කිරා බලන සෙයියාවෙන් කිව්වේය.
“...හ්ම්!”
“අර මහත්තයට ඕනිලු ඔයා ඒක කරන හැටි බලන්න... එයා යන්තමට ඔයාව දැකලා තියෙන්නේ....”
ඩග්ලස් දිගටම කියාගෙන ගියේය.
ඩගී කියන හැටියට නම් ඒ මහත්තයා කොළඹ ලොකු කන්තෝරුවක ලොක්කෙකි. කොටුවේ පල්ලිය ඉදිරිපිටදීය, මං ‘පේව්මන්ට් එකේ රජ වෙන’ හැටි දැකලා තියෙන්නේ. “ඒ මහත්තයා එයාගේ කාර් එකෙයි එතකොට ඉඳල තියෙන්නේ... එයාට ඕනිලු ඔයාගේ වැඩේ බලා ගන්න.”
“එහෙනං එයාට
කියන්න එහෙම තැනකට එන්න කියල....” මගේ ආඩම්බරය ඔළුව ඉස්සුවාවත්ද? ඩග්ලස් මගේ
පස්සෙන්ම ආවේ මේ මඟුලකටද?
“මං ඔයාට
කිව්වෙ නිමල්.... එයා ලොක්කෙක්. එයාට පුළුවනිද ඕනෙම තැනකට එන්න.... ඉන්නකො, මං
ඔයාල ගෙදරට ඇවිත් තාත්තා එක්කලම කතා කර ගන්න.” ඩග්ලස්ගේ කතා පරෙස්සම එයාටම අමතක වෙලාය.
මම
එස්ට ලියුමක් ලිව්වා! |
ඒ වෙලාවේ මට උත්තර බඳින්නට නොආ ඩග්ලස් දවස් හත-අටකට විතර පස්සේ අපේ ගෙදරටම ඇවිදින්
තාත්තාව හම්බ වෙලා තිබුණේය.
දැන් නං එදා
සිට දවසක් දෙකක් අතීතයට නොගිහින් බැරිය. එහෙම නොකළොත් සිදු වුණු දේවල් මඟ හැරේවි!
එස් ලියූ පිළිතුරු ලිපියත් දීඝායුට අරගෙන
ගිය පියුන්කාරයා වුණේ මං වහන්සේය. නමුත් මේ ගැන කිසිම දෙයක් කොරල සුන්දරීටවත්,
දඩෝරියාටවත් නොකියන්නටත් මම වග බලා ගත්තෙමි.
සාමාන්‍යයෙන්ම මට තිබෙන්නේ ඒ පුරුද්දය. අනෙක් අයගේ පෞද්ගලිකත්වය හැකිතාක් ආරක්ෂා
කරලා දෙන එක හොඳයි කියලාය අදත් මං හිතන්නේ.
ඊළඟ වදකාර
ප්‍රශ්නය මතු වුණේත් මගේ ඒ ප්‍රතිපත්තිය නිසාය.
“මචං
නිමල්... උඹට බඩ්ඩක් කියන්නං, හැබැයි කාටවත් කියන්න බෑ....” දඩෝරියා මට කිව්වේ අප
දෙන්නා විතරක් පන්තියේ හිටි වෙලාවක් බලලාය.
“ඔච්චර රහසක් නං ඉතින් මටවත් නොකියා හිටපංකෝ!” මට කියවුණේය.
“අඩෝ... මචං
නිමලෝ... ඉස්සෙල්ලම මේක උඹට කියන්න හිතුවම ඔහොමද බං...”
“හරි හරි. එහෙම නං කියපංකො.”
“මම එස්ට ලියුමක් ලිව්වා!”
ජංජාලේ! මේ
මොන මඟුලක්ද වෙන්න යන්නෙ?
“මොකක්?”
“යකෝ කට, කට.....” දඩෝරියා මගේ කට මිරිකුවේය. “රහසක් කියන්න ආවම, උඹ නං මරු....
මොට්ටයා!”
මට එහෙම සද්දෙන් ප්‍රශ්නයක් ඇහුණු එකෙනුත් වාසියක් වුණේය. පන්තියේ දෙතුන්-දෙනෙක්ම
අප දෙස බලනවා දුටු නිසා දඩෝරියා නිස්සද්ද වුණේය. ‘අදට නං බේරුණා... ඒත් හෙට...
එතකොට එස්?’
එහෙම
වෙන්නෙත් කේන්දරේ ග්‍රහයන් පිහිටීම අනුවවත්ද? |
“ඔයාට නං බොරුවක් හරි කිව්වැකි. ඔයාට දඩෝරියාව හම්බ වෙන්නේ කලාතුරකින්නේ. මට
එහෙමද... වරුවක්ම...” මං කීවේ මට පෙනුණු පැත්තයි.
“ඌට බොරු
කියලත් බෑ... ඇත්ත කියලත් බෑ. අපි ටික දවසක් සද්ද නැතිව ඉඳිමුද?”
මම ඔළු භාෂාවෙන් උත්තර දුන්නෙමි. ‘හා!’
‘නිදිගෙ පංච
තන්තරේ’ කියවන ඔයාලට කොහොමද මන්දා, මට නම් අරුම දේවල් සිද්ධ වෙන්නේ එක-පිට එකමය. එහෙම
වෙන්නෙත් කේන්දරේ ග්‍රහයන් පිහිටීම අනුවවත්ද?
චමින්ද දිසානායක රසිකයා ‘පහළොවේදී 3’ පෝස්ටුවට comment එකක් එවමින් ‘පෝරුවෙ කතාව කලින් දැනන් හිටියනම් නංගි කෙනෙක් ඉන්න මනමාලියක් හොයාගන්නවා. මොකද අපි හොඳ බෞද්ධයෝනෙ.’ කියා සඳහනක් කොට තිබිණි.
අනුර ජිනදාස
හිතවතා ඒ කමෙන්ටුවට ජ්‍යෝතිෂයෙන්ම උත්තරයක් දීලාය. ‘හත්වැන්නේ උප අධිපති
ද්විස්වභා රාශියක නැතිනම් ඒ කෙළි හරියන්නේ නෑ.’
එහෙම කරලා අහවරවී,
අනුර මට ෆෝන් කළේය.
ඒ කෙනෙකුගේ ග්‍රහ පිහිටීම් අනුව බහු විවාහ ගැන නිච්චියටම කිව හැකි බව කියමිනි. “අර
කොටුවේ මේ ග්‍රහයෝ ඉන්නවා නං....” වගේ විස්තර ගොඩකුත් කිව්වේය. ඒ අස්සෙම කලින්
කතාවකට ඌන පූරණයකුත් කෙරුණේය.
“අර
ශුද්ධෝදන රජතුමා ප්‍රජාපතී ගෝතමීවත් විවාහ කරගත්තනෙ පොළොවෙන් මිටි රියනක් උඩට නඟින
පෝරුවක් හදවලා.... මතකයිනෙ පළමුවෙනි පෝරුව හැදුණු කතන්දරේ. දරුවන් ගොඩක් හදලා ප්‍රජාවක්
බිහි කරවන්න හිතාගෙන රජ්ජුරුවෝ ඒ බහු විවාහේ කර ගත්තත්, ඒක හරි ගියේ නැහැනෙ හිතපු
විදිහට....”
කෙනෙකුට
තිබෙන විශේෂ හැකියාවන් ගැනත් කේන්දරෙන් කියවෙනවාද? (එවන් දක්ෂයෙකු ශාක පත්‍රයකින් කළ කැටයමකි මේ.) |
“නෑනේ
නිමල්.... ඒ කියන්නේ, සමහර දේවල් කේන්දරවලින් වුණත් පෙන්නන්නේ වෙනස් විදිහට. අපි ඒ
ග්‍රහ පිහිටීම් බලලා මෙහෙම-මෙහෙමයි වෙන්නේ කිව්වට ඒක වෙනස්ම විදිහකට වුණත් වෙන්න
ඉඩ තියෙනවා....අපිත් මිනිස්සුනේ. අපි කියන්නේ අපට පෙනෙන විදිහ...
ප්‍රජාපතී ගෝතමී බිසව තමන්ගේම දරුවන් ලැබුවේ නැති එක ඇත්ත. නමුත් හිතන්නකෝ, එතුමිය
නව ප්‍රජාවක්ම බිහි කළානෙ!” අනුර කියද්දී නං මගේ ඉවසිල්ල නැත්තටම නැති වෙලාය,
තිබ්බේ.
“ඒ කිව්වේ ඒ අනාවැකිය බොරු?”
“ඒ ඔයා
දැකපු විදිහනේ.... ඇයි හලෝ, කවුද භික්ෂුණී ප්‍රජාවම බිහි කරන්න මූලිකත්වය ගත්තේ?”
අනුර ජිනදාස හිනා වෙමින් අහයි.
ඒ වෙලාවේ
මගේ හිතට ආවේ මේකය.
ජ්‍යෝතිෂ විද්‍යාවේදී කෙරෙන්නේ ගණිතමය කටයුත්තකි. ඒ කියන්නේ ජ්‍යෝතිෂවේදීන්
ගණිතඥයන්ද වන බවයි. ඒක එහෙම නං ගණන් හදනවා වගේම ‘ගණන් අරින්නටත්’ එයාලා ප්‍රවීනයන්
වෙන්නට හැකිය. එහෙම බලද්දී සාස්තරකාරයන් එක්කලා හැරෙන්නටවත් අපට බැරිය. එයාලාට හැම
දෙයක්ම වෙනස් විදිහකින් බලන්නත්- එව්වාට අර්ථ කථන දෙන්නටත් අපූරු හැකියාවක් තිබේ.
ඒ පැසසුම
කරන ගමන්ම අනුරගෙන් ප්‍රශ්නයකුත් අහන්නට අවසර දෙන්න.
‘කෙනෙකුට තිබෙන විශේෂ හැකියාවන් ගැනත් කේන්දරෙන් කියවෙනවාද?’
අපරාදේ!
අනාගතයේදී මෙහෙම දේවල් ලියවෙතියි දැනගෙන හිටියා නං ‘ඩගී’ හාදයාගේ උපන් වෙලාවත් ලියාගෙන
තියා ගන්නවාය; අනුරට කියලා බලවාගන්නට.
ඩග්ලස්ට ඒ හැකියාව; අනුන් නම්මා ගැනීමේ හැකියාව උපතින්ම ලැබිලා තිබුණා වගෙය.
උඹට
ඔහොම ලේසියෙන්ම ලෙස්සලා යන්ඩ හම්බ වෙන්නෙ නෑ.... |
“මගෙන් වරං
අරගෙනද තාත්තව හම්බ වෙන්න එන හැමෝම මෙහෙට්ට එන්නෙ?” කියමිනි, මං තාත්තාගේ ප්‍රශ්නය
නිදැල්ලේ යන්නට දුන්නේ.
යළි-යළිත් මේ ඔබට අවධාරණය කර කියන්නේ මගේ බොරු නොකියා, ඇත්තත් නොකියා, ප්‍රශ්නවලට
උත්තරත් සපයා බේරෙන උපාය ගැනයි. ඉතිං, මං ලියන දේටත් ඒ ආභාසය ලැබිලා තියෙනවා වගේ
වුණත් ‘can’t help’ තමාය.
“උඹට ඔහොම
ලේසියෙන්ම ලෙස්සලා යන්ඩ හම්බ වෙන්නෙ නෑ රංජි.
ඒ හාදයා දන්න හොඳ වැදගත් මහත්තයෙක්ව උඹට මුණ ගස්සන්නනෙ හදන්නේ... එදාට රස්සාව කර
ගන්න බැරිවෙන පාඩුවත් ඒ මහත්තයා බලා ගන්නවලු.... තව මොනවද?
උඹට නං ඒ හාදයාව අල්ලන්නෙ නැති බව මට තේරෙනවා. ඒ වුණාට බූරුවෝ, ලොකු- ලොකු
මිනිසුන්ව අඳුරගෙන හිටියම කවදා හරි වැඩක් වෙන්න පුළුවන්... හොඳට මතක තියා ගනිං,
දවසක උඹටම තේරෙයි.... කොහෙද, පවට පින දෙන්න බැහැනෙ බං...” තාත්තා හෑල්ල ඉවර කරන
පාටක් ඇත්තේ නැත.
“හරි හරි...
කියන දවසක, කියන තැනකට ගිහින් බලන්නංකො ඔය මහ ලොකු සිටාණෝ සලකන විදිහ....”
ඊට දවස්
දෙකකට පස්සෙ දවසේ උදේ මං පන්තියට ගියා විතරය. දඩෝරියා බුම්මාගෙන මගේ ළඟට ආවේය.
“අඩෝ, උඹ මහ වලත්තයෙක් බං.... යකෝ! ගමේ වැල ගමේ කපුටන්ට බං... ඒකවත් හිතපන් බං...”
දඩෝරියා කිව්වේ full වොලියුම් එකෙන්ම නොවුණත්, හෙමින්මත් නොවේ. ඒ කතාවෙන්
අන්ද-මන්ද වුණු මට හුස්මක් ගන්නටවත් ඉඩ නොතියා රණවකත්, ඒකටම සූදානමින් හිටියා වගේ-
මගේ desk එක ඉස්සරහට කඩා පාත් වුණේය.
ඒ
ආදරයද, ආසාවද
නැතිනම් තණ්හාවද... ඒත් නැතිනම්... |
රණවක කියා
හමාර වෙනවත් එක්කම දඩෝරියා... “අදින් පස්සේ අපේ කිසිම යාළුකමක් නෑ බට්ටෝ!” යි
දිවුරා කීවේය.
යාළුකමක්
නැතිවීම එකකි; සතුරුකමක් ඇතිවීම තවෙකකි. යාළුකම නැති වෙන බව කිව්වත්, සතුරුකමක්
ඇති වෙන බව දඩෝරියා එදා මට නොකිව්වේය. තදම එදිරිවාදීකමක් ඇති කර ගන්නා බව නොකිව්වේය.
එහෙම වුණේ පෙම් පලහිලව්වක් නිසා වීමය, සිනහවට හේතු වෙන්නේ. ඒ ආදරයද, ආසාවද නැතිනම්
තණ්හාවද... ඒත් නැතිනම් අපේ හැදියාවද?
ආදරය, ආසාව,
හැදියාව හා සිතුම්-පැතුම් රටෙන් රටට වෙනස් වෙනවාද? ජාතියෙන් ජාතියට වෙනස් වෙනවාද?
කාලයෙන් කාලයට....
දැන්, ඕස්ට්‍රේලියානු
ක්‍රිකට් කණ්ඩායමේ නායකයා නායකත්ව තනතුරෙන් ඉල්ලා අස්වෙලා. ලෝකප්‍රසිද්ධ ‘අළු
බඳුන’ උදෙසා පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය කටේ තියෙද්දීයි ‘ටිම් පෙයින්’ ඒ
විදිහට ඉල්ලා අස්වී තිබෙන්නේ.
ඒ 2017 අවුරුද්දේ ටස්මේනියා ක්‍රිකට් සමාජයේ සේවිකාවකට පෙයින් යැවුවයි කියවෙන
‘ලිංගික අදහස් සහිත කෙටි පණිවිඩ’ කිහිපයක් ගැන විමර්ශනයක් ඇරඹීමට නියමිතව තිබියදී.
එහෙමයි ඒ රටවල තත්ත්වේ.
නමුත්
ලෝකෙන් උතුම් රට ලංකාවේ?
මතකයිද බාල වයස්කාර දැරිවියක් අපයෝජනයට සම්බන්ධ සිදු වීම... කවුරුන්ද වැරදිකාරයන්
වුණේ.... දැන් අපට ඒ ගැන උනන්දුවක් නෑ, මතකයකුත් නෑ. 2021දීත් ලංකාවේ තත්ත්වය
ඒකයි. අවුරුදු පනහකට එහා අවධියක ශ්‍රී ලංකා හැදියාවේ තරම ඔයාලට හිතාගන්න පුළුවන්
නේද?
‘ලිංගික අදහස් සහිත කෙටි පණිවිඩ’ කිහිපයක් යැවීම ගැන විමර්ශනයක් ඇරඹීමට
නියමිතව තිබියදී.... |
දඩෝරියා මට
එදිරි වූයේ එස් දඩෝරියාගෙ ප්‍රේමාරාධනාව ප්‍රතික්ෂේප කිරීම නිසාය.
“අනේ
නිමල්.... මෙච්චර දෙයක් වෙයි කියල මං හිතුවේ නෑ. xx (දඩෝරියා) ලියුමක්
දුන්නම මම ආපහු ඒක එයාටම දුන්නා. ඇයි එපා කියන්නේ කිය-කියා වද කරනකොටයි මං කිව්වේ.
මට දීඝායු ඉන්නවා කියලා.... xx වෙන්ඩ බෑම කිව්වා..... මං දන්නවනෙ ඔයාලගේ යාළුකම. ඒ
හින්දයි xxට කිව්වේ ඔයත් දන්නවා- ඔයාගෙන් අහගන්න කියලා!”
ඒ විස්තරය
එස් මට කිව්වේ ටිකෙන්-ටිකය. ඉඩ ලැබුණු ලැබුණු විදිහටය. පන්තියේ අනිත් ළමයින්ට
රහසෙන්ය. කොරල සුන්දරී හා බට්ටි (බී. එස්.) විතරක් ඉස්සරහදීය.
ඉතිං ඊට පස්සේ..... කියවමු ඊළඟ කොටසින්...
පලවෙනි කොමෙන්ට් එක දාල බස්සා වගේ ලිස්සලා ගියා ඔන්න. +++++++ ලියුම් මාරු කරනවට හොඳ වැඩේ
ReplyDeleteඅපි නං එහෙම ලිස්සන්නෙ නෑ.😊
Deleteසුරුස්....
ඇයි අජිත්, ඔය ලියුමක් දෙකක් ගෙනිහින් දීලා ගැටවර වයසේ පෙම්වතුන් දෙන්නෙකුට උදව් කෙරිල්ල ඔය හැටි ලොකු වරදක්ය.
Deleteඒකෙන් තමයි මං අන්තිම වතාවට ගුටිත් කෑවේ අම්බානකට. ඉස්සරහට බලන්නකෝ...
බකුසු, අජිත් මහත්තුරු දෙන්නටම ස්තුතියි.
මමත් එහෙම ඒවා කොරල තියනවා, අහුවුනත් එක්ක. ගුටි කෑවේ නෑ හැබැයි
Deleteඔයා වාසනාවන්තයි අජිත්!
Delete@අජිත් මාමෙ,
Deleteඔයා 3මාන ලිපි කියවනවා දැක්ක.
එයාලා යෝජනා කරන ආකාරයේ දේශපාලනයක් ගැන ඔයාගෙ අදහස මොකක්ද?
මම ත්‍රිමාණ එකට ලිපි ලියනවා දැකල නැත්ද
Deleteඩීසල් බලාගාර මාෆියාවට මුහුණ දීම
@නවින් එයාලා යෝජනා කරන දේශපාලනය ගැන ඔයාට එයාලගේ ලිපි කියවල දැන ගන්න පුළුවන්. නැත්නම් එයාලගේ දේශනා තියනවා. මගේ අදහස වැදගත් නැහැ. මගේ අදහස් මම ලිපි වලින් ලියනවා මගේ බ්ලොග් එකේ. මම මේ කල්පනා කොලේ දුවල දෙන්නම තවම බැඳලා නැති එකේ බෑන කෙනෙක් හම්බ වුනේ කොහොමද කියල. 🧐
Deleteඅජිත්, නවීන් මටත් මාමේ කියනවනේ මට දූලා පුත්තු කවුරුවත් නැතිවත්.
Deleteලංකාවේ මාමා නෑකම දෙව්දිහකට හැදෙනවනේ. ඔයා කියන එක එකක්. අනෙක අම්මගේ සහෝදරකමට. ගම්වල අය නෑකමක් නැතිවත් වැඩිහිටි කෙනෙකුට මාමේ කියන්නේ (අම්මගේ සොයුරෙකුට)දක්වන ගෞරවය දෙමින් නේද? මම නං එහෙම කියනවට කැමතියි.
හැබැයි, මම නවීන්ට මුලදීම කිව්වා එකක්."මට මාමා කිව්වට මං පුතා කියන්නේ නම් නෑ නවීන් කියනවා මිසක්. මොකද මගේ බෑනලා, ලේලිලා සේරටමත් මං නම කියලයි අමතන්නේ." කියලා!
මාමෙ කියල කතා කරෙ ඉතින් බෑණා මගුලක් නිසා නෙමෙ🤣
Deleteමං ගමේ එකානෙ. කාටත් කතා කරන්නෙ නැන්දෙ මාමෙ කියලා; නිදි මාමා දන්නෙ නෑති මාමා කියලා කියන 3 වෙනි ක්‍රමය,
නෑදෑකමකට නෙමෙයි නිකම් කතාබහේදි මම මට වඩා සෑහෙන වැඩිමල් නම්, නිකම් මගෙ අම්මගෙ තාත්තගෙ වයසෙ වගෙ කෙනෙක්ට ආමන්ත්‍රණය කරන්නෙ මාමෙ, නැන්දෙ කියලමයි.
ඒක එහෙම කරන එක අවුල් ද? නැත්නම් නිකම් සුදුසු නෑ වගේ මොකක් හරි තියෙනවද?
ඒ වෙනුවට පොදුවේ භාවිතා කළ හැකි ආමන්ත්‍රණයක් යෝජනා කරන්න පුලුවන්ද එහෙම නම්....
අජිත් _____, මුලින් මට නිකම් භාවිතා කල හැකි ආමන්ත්‍රනයක් කියල දෙන්න. නම විතරක් කියන එක නිකම් හරි නෑ වගේ...
DeleteMr/ මහත්තයා වගේ ආමන්ත්‍රනයක් මට දැනෙන්නෙ ටිකක් රාජකාරීමය වගේ කියලා...
3මාන ලිපි කියෙව්වා, ඔයා ලියපු ඒවත් දැක්කා.
දැන් දාපු එකත් බලන්නම්.
නෑ මට දැන ගන්න ඕනි ඔයාගෙ ලංකාව ගැන තියෙන නිරීක්ෂණ එක්ක, එයාලා යෝජනා කරන විදියේ දේශපාලනයක් කරන්න පුලුවන් වෙයි ද?
බැරි වෙයිද?
වගේ බැරි වගේ නම් ඇයි කියන එක.
එහෙම අදහසක් උනත් පොදුවේ කියන්න බැරි අවුලක් තියෙනවද?
නිදි මාමෙ, එදා මම මුලින්ම අනුර සර් ට කතා කරෙ මහත්තයා කියල හරිද යන්නකලින්,
Deleteඊට පස්සෙ ගියාම තමයි දන්නෙ එයා ගුරුවරයෙක් කියලා, ඔන්න එතන ඉදලා කියන්නෙ සර් කියලා..
මහත්මයා කියන එක familiar නැහැ වගේ ඒකයි අවුල මට.
වෙන කොහොම කියලද කතා කරන්න පුලුවන්?
මම හිතන්නේ බ්ලොග් ලෝකයේ ඔය මහත්තයා, සර් , මාමා , නැන්ද අරව එම්ව තියෙන්න බහ කියල. එහම ගෞරව අරව මේවා බලාපොරොත්තුවෙන් එන අය සාමාන්‍යයෙන් කොමෙන්ට් දාන්න එන්නෙත් නැහැ. මම ඒක විහිළුවට කීවේ. හැබැයි ජර්මනියේ වගේ රටවලනම් තමා කියන්නේ. මම ඕක පුරුදු වුනේ සෝවියට් දේශයේදී, සහෝදරයා නැත්නම් නම. අපේ බොස් ලට වුනත් අපි කතා කරන්නේ නම කියල.
Deleteමම බැන්ද අලුත් ඉනෙස් ගේ අම්මටයි තාත්තටයි අම්ම තාත්ත කීව . මට තේරුණා අප්සෙට් කියල ටිකක්. පස්සේ ඉනෙස් ම කීවඑයාල ඔයාට ආදරෙයි. ඒත් නම කියල කතා කරන්න කියල. ඒක ඇත්තටම හොඳයි. මගේ දුවල ආච්චි සීය කියනවා. පස්සේ බලනකොට ඒක විතරයි. හැබැයි සීය ගේ සහෝදරයට අපේ ලමයිඋනත් නම කියල කතා කරන්නේ. රටේ හැටි.
Deleteලංකාවේ තියනව මළ විකාර සර් සන්කෘතියක්
Delete//
Deleteනෑ මට දැන ගන්න ඕනි ඔයාගෙ ලංකාව ගැන තියෙන නිරීක්ෂණ එක්ක, එයාලා යෝජනා කරන විදියේ දේශපාලනයක් කරන්න පුලුවන් වෙයි ද?
බැරි වෙයිද?
වගේ බැරි වගේ නම් ඇයි කියන එක.// නවීන් මේ දේශපාලනය හරි කියල මේ දේශපලනය කරන්න කියල හරි කාටවත් කියන පුරුද්දක් මට නැහැ. ඔයා එයාලගේ ලිපි කියවල, ඒ සංවිධානෙට කැමතිනම් ගිහිල්ල සහභාගී වෙලා ඔයාම තේරුම් ගන්න. ඔයාගේ තීරණය තමයි හරි තීරණය
අජිත්😑,
Deleteමම හැදිලා තියෙන පරිසරය අනුව වැඩිහිටියෙකුට නම විතරක් කියල කතා කරන්නෙ නෑ. නම විතරක් කිවම හරි නෑ වගේ.ඒකයි එහෙම කතා කරෙ.
ඉස්කෝලෙ security officers ලටත් security uncle කියල කතා කරන්නෙ. ඒක පුරුදු වෙලා. අනේ මන්දා 😞😞😞
සර් කියන එක නම් මාර කේස් එකක් තමා. ඒක ගැන මන් දැක්කා කට්ටිය කතා කරලා තිබුනා කොහෙදි හරි....
ඔව් මම ම ගිහින් බලන්න ඕනි. මගෙ තිබුන අවිශ්වාසෙ වගේ එකක් නිසා තමයි මම ඔයාගෙන් ඇහුවෙ කියල මට පස්සෙ තේරුණා වෙන ලිපියක් කියවද්දි...
නවින් ඔයා මට කොහොම කතා කළත් ප්‍රශ්නයක් නැහැ. ඔයයි නිදියි පට්ට සීරියස් පොරවල්. /. -මම මේ කල්පනා කොලේ දුවල දෙන්නම තවම බැඳලා නැති එකේ- මේක ස්ටෑන්ඩඩ් ජෝක් එකක්. ඔයාට පහසු විධිහකට කෙනෙකුට කතා කරන්න. හැබැයි ඉතින් අවුරුදු 20-21 පැන්නට පස්සේ තමන්ගේ තාත්තගේ යාළුවන්ට ඇර අනිත් අයට ඇන්ටි අන්කල් කියන එකනම් පට්ට අවුල්. අපේ ළමයි වුනත් අපේ යාළුවන්ට ඇරෙන්න පාරේ හම්බවෙන හැමෝටම මාමේ නැන්දේ කියන්නේ නැහැ. ඔයා එයාලගේ වයස දන්නේ නැහැනේ.
Deleteඒක හරි.
Deleteවයස 19ක් උනාට මම තාම පොඩි එකා වගේ නෙ ඉන්නෙ😅 ඒකත් බලපානව ඇති😁
වයසයි වගේ පේන අයට විතරයි කියන්නෙ හැබැයි😁😁
හේ හේ එහනම් කමක් නැහැ නවින් පුතේ. මගේ පොඩි දුවට තවම 18 යි. 😀
Deleteකෝමද ඒක😀😀
Deleteදුරරට ඉන්න අය හරියන්නෙ නෑ😂😂
මගෙ ෆැන්ටසිය ගමේ කෙල්ලෙක්😅
😆 ගමේ ඉඳගෙන නැහියන් ඉතින්. වෙන මොනව කියන්නද 😆
Deleteඅනිවාරෙන්ම😁👌
Deleteවර්ණපාල
ReplyDeleteගිහින් කොමෙන්ට් එකක් දාලා ආවා.
Deletehttps://sandhakadapahana.blogspot.com ගිහින් ඊමේල් එකක් දාහං. නැත්තං හැමදාම වර්ණපාලම තමයි.😂
මාත් ගිහින් බුරලා ආවා. 🙏👌
DeleteMe තුමෝ, ඔන්න මාත් එහාට ගොඩ නැඟලා ආරාධනාවකුත් කරලම ආවා.
Deleteසැකෙන් තමයි, ඔබතුමා දාලා තියෙන වර්ණපාල වචනේ උඩ ක්ලික් කළේ.
ඒකා මේ වෙනකොට නිව්ටන් ගෙ හැට නමවන නියමය ගැනත් ලියලා. බොලා මෙමෙ මේ බඹර පැණියක් ගැන දොඩවනව.
Deleteමං කියපු දේ වැරදියට කියවෙලා වගේ.
ReplyDeleteජ්‍යේතීර්වේදියා අන්තර්ඥානයෙන් යුක්ත වෙනවා කියන්නෙ කාලයේ හැටියට දේශයේ හැටියට කියන එකයි. රාජ යෝග කියල පොතේ තියෙන එකක් දැකපු හැටියෙම රජ වෙනවා කීවොත් මොකද වෙන්නෙ. පච වෙනවානෙ.
ජ්‍යේතීර්වේදීන් කොහොමත් ගනං කාරයො. ඇයි අහල නැද්ද සිකුරු ගණිතයා බරණ ගණිතයා ගැන එහෙම.
සිකුරු කිව්වේ සිකුරගේ කුණ්ඩලාභරණේ ලබාගෙන සිකුරාජපති වෙච්චි කෙනාද?
Deleteබරණ ගණිතයා නේද අනුර 'දවසක මෙ කඳු දෙක හා වෙනවා' කියලා අනාවැකියක් කිව්වේ. ඒ කඳු දෙකේ නම් නං මතක නෑ. හා වෙච්ච වේල්ල නං වික්ටෝරියා. මතකයිද අපි කට්ටියම වික්ටෝරියා වේල්ල හැදෙන කාලෙ ඒ ළඟ කන්දක් නැඟලා උඩම ඉඳන් බැලුවා... මට මතක හැටියට එයි ඔයා ඔය විස්තර අපට කිව්වේ.
ඒ දෙන්න තමයි.ඔයාට 86 87 ඒවා තවම මතක හැටි
Deleteඑතකොට දැන් කියනවනෙ වික්ටෝරියා වේල්ල ලගදිම පුපුරල යයි කියලා ඒක ගැන මොකුත් අදහසක් නැද්ද?
Deleteභරණ ගණිතයා කීවෙ තමා මළාට පස්සෙ දවාලෙත් විවාහ නැකැත් ගනී කියලයි. වික්ටෝරියා නෙවෙයි කොත්මලේ වේල්ල ගැනයි එහෙම අනාවැකියක් කීවෙ.ඒ කොත්මලේ ගණිතයා. සිකුරාධිපති ගැන ඔයාම කථාව කියලනෙ.
Deleteනවීන්, එහෙම කතාවක් තියෙනවද? හිතන්නවත් බැරි ව්‍යසනයක්නේ.
Deleteඅනුර,මට අවුරුදු හතරේ පහේ සිට දේවලුත් ගොඩක් මතකයි! මටම පුදුමයි ඒ ගැන.
දවාලේ විවාහ නැකත් ගැන, සිකුරු හටන ගැන වගේම එකක්ද-දෙකක්ද ඇට තිබුණු යෝධ ගස්ලබ්බ ගැන වගේ දේවලුත් විස්තර ඇතිව ඔයාගෙම බ්ලොගයකින් කියවන්නට ලැබේවා!
එහෙම කතාවකුත් තියෙනවා ඉතින් අනේ මන්දා
Deleteවිමලධර්මසූරිය රජතුමාගෙන් ගම්වර ලබපු පවුලකින් පැවත එන පිරිසක් අදත් ඉන්නවා කෑගල්ල ප්‍රදේශයේ. ඒ ගම ගණිතපුර. ඒ අයගෙ කේන්දරය තියෙන්නෙ අපේ වගේ කොටු දොළහක් නෙවෙයි. අටක්. ඒ ක්‍රමය ශිව දෙවියන් අතින් උමාවට ලැබුණු ක්‍රමයක්ළු.එයාල නැකැත් හදන්නෙත් ශිවා ලිඛිතය කියන වෙනස්ම ක්‍රමයකට
ReplyDeleteස්තුතියි අනුර, අලුත් පුවතක්... නරකද ඔව්වා ගැන රසිකයන්ට කිව්වොත්.... මං කියන්නේ blog එකක්වත් පටන් අරං..අපූරුවට හිටියි.
Deleteඒක තමයි බ්ලොග් එකක් ලියන්න කියන්නම වෙනවා නේද නිදි මාමෙ😁
Deleteමම නං අනුර මහත්තයට ඒ යෝජනාව කළත් එක්ක. ඔයාටත් එහෙම අදහසක් තිබ්බ නේද නවීන්?
Deleteඒ ගැන කටයුතු කරමිනුයි ඉන්නෙ. හැබැයි මං ලියන්න හිතාගෙන ඉන්නෙ මං ගැන. මට වෙච්ච දේවල් ගැන. මං කරපු මරිමෝඩකං නිසා වුණු දේවල් ගැන වගේම සා පෙළ පංතියේ ඉඳං පශ්චාත් උපාධි ලබාගෙන අදවෙනකං මෙහෙම ජීවත් වෙන්න මං කරපු ජීවන අරගලය ගැන. යමක් ගැන මං දන්න දෙයක් තියෙනවනං ඒක අනෙක් අයට කියන්න මට තිබුණු උණ නිසා වෙච්ච දේවල් අතර සමහර ඔයවගේ දේනලුත් ඒ තැන්වල ලියැවෙඉවි.
Deleteනිදි මාමෙ, ඔව් ඔව් මාත් කියන්නෙ අනුර සර්ට ලියන්න කියලා.
Deleteඅනුර සර්,
ඒවා තමයි මන් දකින විදියට ලියන්න ඕනිම දේවල්.....
අනුර මහත්තය ලියන්න. ගොඩක් වැදගත් ඔය දේවල්, කැමති කෙනෙකුට ජීවිකය හැඩ ගස්වගන්න.
Deletehttps://www.boredpanda.com/unbelievable-historic-coincidences/?utm_source=google&utm_medium=organic&utm_campaign=organic
ReplyDeleteඅම්මෝ Pra Jay මහත්තයෝ, හෙණට වටිනා විස්තරයක්නේ. දැන් කියෙව්වේ ටිකයි. අද උදේම ගමනක් යන්න තියෙන නිසා. ඇවිත් කියවන්න book mark කර ගත්තා. ස්තුතියි!
Deleteබොහොමයක් කතා "ලව් ට්‍රයැන්ගල්" උනාට මේ කතාව ලව් පෙන්ටගන්/හෙක්සගන් විතර වගේ!
ReplyDeleteSam ඔයාලා අටපට්ටන් කියලත් කියයි වගේ තව ටික දවසකින්....
Delete"ඒ ආදරයද, ආසාවද නැතිනම් තණ්හාවද... ඒත් නැතිනම් අපේ හැදියාවද?"
ReplyDeleteපිටින් කෙනෙක් අපේ ජීවිතේට ඇවිල්ලා, කොන්දේසි විරහිතව, සදාකාලිකව අපිව සතුටින් තියයි කියන අදහස පොඩි කාලෙ ඉඳලම අපේ ඔලුවලට දාලා තියෙන්නෙ. එහෙම වෙන්න පුලුවන් වගේම නොවෙන්නත් පුලුවන් කියන දේ ඔලුවට දාලා හෝ ඔලුවට අරගෙන තියෙනවා මදි. පස්සෙ කාලෙක ආපස්සට හැරිලා බලද්දි ඔය ඉස්කෝලෙ කාලේ කතන්දර ඇතුලු සමහර crushes නම් නොවිච්ච එක කොයි තරම් හොඳද කියලා හිතෙනවනෙ.
ඒක නම් ඇත්ත ටයිටැනික් එකේ ජෝඩුව උනත් නිව්යෝක් වලට ගිහින් කසාද බැන්ද නම් එහෙම කොහොමද මළ ජංජාලයක් වෙලා තියෙයි.
DeleteLotus, ලෝකයේ මිනිස්සු වැඩි දෙනෙක් හිතන්නේ 'සතුට තියෙන්නේ වෙනින් තැන්වල; වෙනින් අය ළඟ; වෙනින් දේවල්වල' කියලා නේද? ඒ හින්දාම එයාලට ගොඩක් දේවල් පස්සේ දුවන්න වෙලා තියෙනවා කියලයි මට හිතෙන්නේ..
ReplyDeleteසතුට තියෙන්නේ තමන් ළඟමය; තමුන් තුළමය කියලා තේරම් ගන්න තරමට පුංචිම දෙකින් වුණත් සතුටු වෙන්න අපට පුළුවන් නේද?
අනෙක, ඔයා කියනවා වගේ ඔය crushes සේරම විවාහවලින් කෙලවර නොවෙන එක හොඳයි තමා... එහෙම විවාහ වුණොත් හෙම ඩිවෝස් කේසස් කොච්චර හිටියිද?
නෙළුම් මම හැමදාම විශ්වාස කරපු දෙයක් තියෙනවා. ඒක වගන්තියකින් ඇහුවේ මගේ පුතාගේ භෞතික විද්‍යා ගුරුතුමාවන පාලිත සිරිවර්ධන මහතාගෙන්. ඒක කොලුවා ඇවිත් මට කීවාමයි තේරුණේ මගේ ජීවිතේම ගෙවිලා තියෙන්නේ ඒ වගන්තියට අනුව නේද කියලා! මෙන්න ඒ වගන්තිය:- "සතුට; ජීවිතයේ සාර්ථකත්වය මනින මිනුම කර ගන්න!"
Deleteමොකක්ද මන්දා රටකත් දියුණුව මනින්නෙ ඔය සතුට අනුවලු...
Deleteසතුට මනුස්සයගෙ තුලම හැංගුව කියල කතන්දරේකුත් තියෙන්නෙ....
තට්ටයා මහත්තයෝ, නවීන් දෙන්නටම ස්තුතියි.
Deleteසතුට හොයමින් නේද අපි ඔක්කොම යන්නෙ... සේරම දේවල් කරන්නේ. නමුත් සතුට කියන්නේ මොකක්ද කියල අඳුනන්නේ නැතිව; බොහෝවිට.
අද බූතානය දියුණු රටක තත්වය ලබාගෙන තියෙන්නෙ ඉහළ GDP අගයකින් නෙවෙයි. සතුට ගැන කියැවෙන GHIGross Happyness Index නිසා. ඒක බදුබනේ තියෙන කථාවක්. සංතූට්ඨි පරමං ධනං. අවුරුදු 2500 ක් ගිහිල්ලත් බෞද්ධ කියාගෙන ඉන්න අපිට තවම මෙ යථාර්තය තේරුම් ගන්න බැරිවෙලා
Deleteඔය සතුට ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ට හොයන්න අමාරුයි සර්, එදිනෙදා මූලින ආර්ථික ප්‍රශ්න එක්ක නෙමේද මිනිස්සු බහුතරයක් ඉන්නෙ?
Deleteඑහෙම උනාම ඔය වගේ දෙයක් තේරුම් ගන්නෙ කොහොමද?
අනික අධිපරිභෝජනය නිසා මිනිස්සුන්ට දෙන අදහස මොකක්ද භාණ්ඩ හා සේවා පුලුවන් තරම් ගන්න එතකොට සතුටින් ඉන්න පුලුවන් කියලා....
නවීන් සතුටේ අර්ථ දැක්වීමක් ගැන හිතන්න.ලබුණු දේ ලවය හැටියටත් ඕනෙ දේ හරය හැටියටත් තියෙන භාගයක් තමා සතුටේ අර්ථ දැක්වීම කියලයි මං විශ්වාස කරන්නෙ. ලැබෙන දේ වැඩිවුණාම සතුට වැඩි වෙනවා. හිතල බලන්න. භාගයක හරය කුඩා වුණාමත් අගය වැඩි වෙනවා. ඒ කියන්නෙ ඕනෙ දේ අඩු වුණාමත් සතුට වැඩි කරගන්න පුළුවන්. ඕනෑ දේ ශුන්‍ය වෙනවා කියන්නෙ මොකක්ද? සතුට අනන්ත වෙන එක නේද? නිබ්බාණං පරමං සුඛං කීවෙ ඒකට නේද?
Deleteස්තුතියි අනුර මහත්තයෝ, හොඳ අදහසක්- ලවය හරය කතන්දරේ....
Deleteඒ වගේමයි, නිබ්බාණං පරමං සුඛං කියන්න ඕනෑ දේ ශුන්‍ය වීමය- අදහසත්..
අනිවාරෙන්ම සර් ඒක ඒ විදියට දකින්න පුලුවන් නම් ගොඩක් වටිනවා
Deleteබුදාම්මෝ! ඔයාට් වෙලා තියෙන දේවල්! අපි මේ ගඟේ මූදෙ බැහැලාවත් ඔහොම දේවල් වෙලා නෑ! හොඳ වෙලාවට තාත්තා "සෙලින්කෝ රන්දරු" අරං තිබ්බේ!
ReplyDeleteඑහෙම අලකලන්චි සම්භාරයක් වෙච්චි නිසානෙ මෙහෙම ලියන්න දේවල් තියෙන්නේ...
Deleteහැමදේම වෙන්නෙ හොඳට කියන්වනෙ. නැත්නම් අපිට මේ කතා අහන්න වෙන්නෙත් නෑ නෙ
ReplyDeleteඔව් ඔව් නවීන්...
Deleteව්‍යාස ඍෂි කීවාලු සංසාර විෂ වෘක්ඛෂ්‍ය ද්වේ මේ අමෘතං ඵලං සුභාෂිත රසාස්වාදඃ සජ්ජනෙසහ සංයුතඃ කියලා
Deleteතේරුමත් කීවා නම් තමයි නේද සර් හොඳ?
Deleteඔය ශ්ලෝකය මම පළමුව ඇහුවේ අනුරගෙන්මයි youth එකේ වැඩවලදී. මට නං ඕකෙන් කියවෙන දේ නොඅඩුව ලැබිලා තියෙනවා. මං ඒ ගැනත්, ශ්ලෝකය- අරුතත් එක්කම 2018 දී ලිව්වත් එක්ක. මෙන්න link එක. https://nidigepanchathanthare.blogspot.com/2018/08/blog-post_29.html
Deleteහරි බොහොම ස්තුති නිදි මාමෙ.😁
Deleteසංයුක්ත නිකායෙ අනාථ පිණ්ඩික සූත්‍රය බලන්න. එතන ඔයවගේ දේකට හොඳ උපදෙස් තියෙනවා සැරියුත් හාමුදුරුවො දීපු අණේපිඬු සිටුතුමාට
ReplyDeleteඒක බැලිල්ල නං අද හෙට කෙරෙන එකක් නෑ, අනුර. ඒ වුණත් අදහස දුන්නාට ස්තුතියි!
Delete